ඉස්කෝලේ කාලේ මං 1 - පැනීම

ආයුබෝවන් කට්ටියටම. ඉතින් කොහොමද? දවස් දෙක තුනක ඉදන් අළුතින් යමක් ලියන්න හිතුවට වැඩත් එක්ක ඒක කරගන්න හැකියාවක් ලැබුණේ නෑ. කොහොම හරි පෙබරවාරිය ඉවරවෙන්න කලින් තව සටහනක් ලියන්න ඕන කියලා හිතාගෙන හිටියේ. ඉතින් ඒක හෙමින් සැරේ ලියන්න ගත්තා. කියවලා බලන්න.

මේක බර්ටියගේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච දෙයක්. දන්නවනේ බර්ටියා ගියේ ගම්පහ තිබ්බ එකම පිරිමි පාසලට කියලා. දන්න අය ඒක මොකක්ද කියලා දන්න නිසා බර්ටියා අළුතෙන් ඒ ගැන කියන්න යන්නේ නෑ. බර්ටි උසස් පෙළ විභාගේ කරන කොට තමයි මේ සෙල්ලම අපි දැම්මේ. මට මතක විදිහට අපි 12 වසරේ එතකොට හිටිය‍ේ. මම දැනටමත් කියලා තියෙනවා පහේ කල්ලිය ගැන. බර්ටිගේ හොදම යා‍ළුවො සෙට් එක තමයි මේකේ හිටියේ. ඒ කියන්නේ වවුලා, කොමනා, ගමයා, පොකයා සහ බර්ටියා. අපි පස්දෙනා උසස් පෙළ කරන කොට පන්ති තුනක හිටියේ. බර්ටිය කලේ කෘෂී විද්‍යාව නිසා මම වෙනම පන්තියක. වවුලා වෙන පන්තියක. ඉතුරු තුන්දෙනා තව පන්තියක. කොහොම හරි අපි ‍ඔක්කොම හිටියේ විද්‍යා අංශයේ තමයි. අපි ඉතින් ඒ කාලේ කරන තරමක් කලේ පිස්සු වැඩ තමා. ඒවා එක එක තමා මේ හෙමින් සැරේ දිග ඇරගෙන යන්නේ.

අපේ ඒ දවස් වල ප්‍රයතම විනෝදාංශයක් වුනේ වේලාසනින් ගෙදර යෑම. වේලාසනින් ගෙදර යෑම නිළ වශයෙන් කරපු වෙලාවලුත් තිබ්බා. ඒත් වැඩි පුරම වේලාසනින් ගියේ නොනිළ විදිහට තමයි. ගොඩක් වෙලාවට ක්‍රිකට් තරඟයක් එහෙම තියෙන දවසට අපිට වේලාසනින් ගෙදර යෑමේ වුවමනාව ඇති වෙනවා. ක්‍රිකට් තරඟ නැතත් අපිට කම්මැලි හිතුනහම ගෙදර යන වෙලාවල් තිබ්බා. වාසනාවට බර්ටිගේ අම්මා වේලාසනින් ගෙදර ආවට බනින්නේ නෑ. බර්ටියා හිතන්නේ ඒ බර්ටි රස්තියාදුවේ නොගිහින් ගෙදරම එන නිසා වෙන්න ඇති. කට්ටිය ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් පැනලා එක්කො බර්ටිලගේ ගෙදර නැත්නම් වවුලගේ ගෙදරට තමා සෙට්වෙන්නේ. අපි දෙන්නම ඉස්කෝලෙට කිට්ටුවෙන් තමයි හිටියේ. ඒ නැතත් දුරයි කියලා අපේ එවුන්ට ගැටළුවක් ඇති වුනේ නෑ. වවුලගේ ගෙදරත් කොල්ලොම සෙට් එකක් හිටපු නිසා අපේ කඩා පාත්වීම ගෙදර කට්ටියට අවුලක් වුනේ නෑ. කොහාට ගියත් කිසිම කරදරයක් නැතුව කන බොන එක නම් අපේ එවුන් කළා. ආයේ නිකම් ඉතියෝපියාවෙන් සෙට් එකක් ගෙනල්ලා දැම්මා ‍වගේ තමයි. හිතාගන්න පුළුවන්නේ. අපේ සෙට් එක ගෙදරකට ගියහම ගෙදර ආර්ථිකේ මාසේකින් පස්සට යනවා කියලා තමයි හැමෝම කිව්වේ. අපිත් ඉතින් ඌරන්ට මොන සෙෘඛ්‍යයද කියලා කන එක තමයි කලේ.

තවත් ඉස්කොලේ දවසක්. එදා ගමයයි පොකයයි හිටියද කියන්න මතක නෑ. බර්ටියා පන්‍තියේ ඉදලා මොකක් හරි එකකට අපේ රතු කුරුස කාමරයට එනකොට වවුලයි කොමනයි බර කතාවක. කොමනා යන් කියනවා. වවුලා බෑ කියනවා. බර්ටිත් ඉතින් ඔළුව දාලා බැළුවා. කොමනා වේලාසනින් යමු කියනවා වවුලා බැහැයි කියනවා. ඒ පාර කොමනාගෙන් බර්ටිටත් ආරාධනාවක් ලැබුණා යන් කියලා. බර්ටිටත් කම්මැලි හිතිලා හිටියේ ඒ නිසා ගත් කටටම බර්ටි හා කිව්වා. ඊට පස්සේ වවුලටත් වද කරලා කැමති කරගෙන පොත් ටිකත් කිහිල්ලේ ගහගෙන වට පිට හොදට විපරම් කරලා බැස්සා පඩිපෙළෙන් පිට්ටනියට. පිට්ටනියේ කෙළවරේ ගෙට්ටුවක් තියෙනවා. ඒ දවස් වල එතන ආරක්ෂක නිලධාරියෙක් හිටියේ නෑ. තාප්පෙත් දැන් වගේ උස නෑ. අපිට ගෙට්ටුව වහලා තිබ්බට එතනින් පාරට පනින්න පුළුවන්. අපිත් ඉතින් අපේ ඔත්තු බලන චන්ද්‍රකා ඔක්කොම පාවිච්චි කරලා බොහොම පරෙස්සමට හිමින් සැරේ ගියා පිට්ටනියේ ගේට්ටුව ගාවට. එතනට යනකම් කිසිම අතුරු ආන්තරාවක් අපි තුන්දෙනාට ඇති වුනේ නෑ. ගේට්ටුව ගාවට ගියහම තමයි අපි තුන්දෙනාට තරු පෙනිලා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් සිහිවුනේ.

කොච්චර පරෙස්සමට වැඩේ කළත් අපි තුන්දෙනාට අමතක වෙච්ච දෙයක් තිබ්බා. අමතක වීමට හේතු වුනේ ඒ කාරණේ අවුරුද්දකට සැරයක් විතරක් වෙන දෙයක් නිසා. එදා තමයි අළුතින් ළමයි හය වසරට ඇතුලත් කරපු දවස. අපි තුන්දෙනාටම ඒක අමතක වෙලා තිබ්බා. හය වසර ළමයි ඉස්කෝල් ඇරිලා එනකම් අම්මලා තාත්තලා පහළොවක් විස්සක් විතර පිටි පස්සේ ගේට් එක ගාවට වෙලා මුර කරනවා. දැන් අපි තුන්දෙනා තරු ගනිනවා එකයි දෙකයි තුනයි කියලා. ආපහු යන්න විදිහකුත් නෑ. ගියොත් විනය කමිටුවට අතේ මාට්ටු වෙනවා. පැනලා යන්න විදිහකුත් නෑ අම්මාලා තාත්තලා ‍ක‍ට්ටියක් ගේට් එක ගාව. අල්ලලා දුන්නොත් එහෙම අපිව‍. තව තොප්පියයි. දඩුවම් තවත් වැඩි වෙනවා. අපි තුන්දෙනා මූණට මූණ බලා ගත්තා. මොකද බන් කරන්නේ කියලා අහනවා වගේ. උත්තරෙත් මූණු වලින්ම ලැබුණා. "ඕන රෙද්දක්, පනිමු බන්"

ඒ පාර ලැජ්ජාවයි බයයි පැත්තකින් තියලා කොමනා ඉස්සෙල්ලාම තාප්පෙන් පැන්නා. ඊළඟට වවුලා. අවසාන‍යට බර්ටියා වන මම. පැනලා වට පිටවත් බලන්නේ නැතුව දෙමව්පියො එතන නෑ කියලා හිතාගෙන අපි යන්න ගියා. කොහොම වුනත් අපි දැක්කා අම්මලා තාත්තලා තූෂ්නිම් භූතවෙලා අපි තුන්දෙනා දිහා බලාගෙන ඉන්නවා. වවුලා යන ගමන් කියනවා කට්ටිය අදම ළමයි ටික අස්කරගෙන වෙන ඉස්කෝලෙකට දායි කියලා. තව විනාඩි 10 ක් යනකොට අපි තුන්දෙනා හිටියේ වවුලාගේ ගෙදරට පාත්වුනා. එහෙන් මොනවද බඩට දාගෙන 1.30 විතර වෙනකම් ඉදලා අපි තුන්දෙනා පන්ති ගියා.

අපි කරපු ඔය වගේ වැඩ හින්දා තමයි අපේ ඉසකෝලේ කාලේ ලස්සන වුනේ. අපි දැනටත් එකතු වුනහම මේවා මතක් කරලා හිනාවෙනවා. අපි පිස්සු වැඩ කලාට අපි අපේ ඉගෙනීම් වැඩත් හරියට කරගත්තා. ඒක නිසා අපි අද හොද තැන්වල ඉන්නවා. අපේ ගුරු දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න. ඒකටත් එක්ක දැන් හැදෙන ළමයි. දැන් ළමයින්ට ජංගම දුරකථනයයි අන්තර් ජාලයයි ඇරුණහම වෙනදෙයක් නම් දෙයක් නෑ. අනේ මන්දා. මේ ළමයි යන්නේ කොයි අතද කියලා හිතාගන්නවත් බෑ. එහෙනම් අදට බර්ටියා යන්න යනවා. පස්සේ හමුවෙමු අළුත් කතාවක් එක්ක.

ගුරු වෘත්තියේ අත්දැකීම් 1

කොහොමද ඉතින්? ගොඩ දවසකට පස්සේ තමයි බ්ලොග් එකට සටහනක් ලියන්න ගත්තේ. පහුගිය ටිකේම හිතේ කිසිම එකලාසයක් තිබ්බේ නැති නිසා ලියන්න හිටපු දේවල් කල් ගියා. දැනටත් හිත එකලාසයක් වෙලා නෑ‍. ඒත් අසනීපවෙලා කම්මැලිකමේ ඇඳට වෙලා ඉන්නවට වඩා මේකේ සටහනක් ලියන එක හොදයි කියලා හිතුන නිසා තමයි මේක ලියන්න ගත්තේ. අද සටහන ලියන්න යන්නේ නම් මගේ ජීවන වෘත්තියේදි මට ලැබිච්ච මතක සටහනක් ගැන. මතක සටහන් නම් ගොඩක් තියෙනවා ඒත් මේක විශේෂ එකක් වෙනවා. මේක බර්ටියා උගන්නපු ළමයෙක්ගේ උත්සාහය අගය කරන්න ලියන සටහනක්.

ගුරුවරයෙක් වෙනවා කියන එක බොහොම ලේසි රස්සාවක් කියලයි ගොඩක් අය හිතන්නේ. අර කතාවකට කියන්නේ පාක් එකක යනවා වගේ වැඩක් කියලා. ඒත් ඇත්තට ඒක ගම්පහ මල් වත්ත වගේ එකක් නම් නෙමෙයි. ගැලපෙන උදාහරණය තමයි ජුරාසික් පාක් වගේ එකක් කියන එක. ම් ම් ම් ගොඩක් අය හිතන් ඉන්නේ ගුරු වෘත්තිය කියන්නේ පැය 6 ක් වැඩ කරලා මාස 3ක් පඩිත් එක්ක නිවාඩු ලැබෙන රස්සාවක් කියලා. ඒත් ඒක ඇතුලේ හැංගිලා තියෙන අමාරුකම්, අවදානම, වගකීම් එක්ක සමහර වෙලාවට ඇතිවන දරාගන්න අමාරු පීඩනය, මානසික අවිවේකය කියන දේවල් ගුරු වෘත්තියේ හැබැවටම යෙදුනු කෙනෙක් ඇරෙන්න අනිත් කෙනෙක්නම් කොහොමටවත් දන්නේ නෑ.

මුදල් පස්සේ දුවන මෝඩ කළමනාකරනයක් ඉන්න වෙලාවට ඒ පිස්සන්ගෙන් එන රටේ නැති කොළ පුරවන්නත් ඕන උගන්නන එකට අමතරව. ඔන්න ඔය වගේ අමාරුකම් ගොඩක් ගුරු වෘත්තිය තුළ තියෙනවා. ඒවා ගැන පස්සේ දවසක වෙනම කතා කරමු. කොහොම වුනත් ගුරු වෘත්තිය තරම් වටිනා දෙයක් නම් මේ ලොකේ නෑ. බර්ටියා ඉස්සෙලාම උගන්නපු ආයතනයේ විදුහල්පතිවරයා කියන කතාවක් තමයි "It's a Holy Job" කියන එක. මම නම් ඒ කතාව හදවතින්ම පිළිගන්න දෙයක්. මේ කතා ඇති දැන් බර්ටියා කියන්න යන කතාවට එමු ආපහු.

බර්ටියා කදාන පැත්තේ තියෙන ජාත්‍යන්තර පාසලක උගන්නන දවස් වල (මීට අවුරුදු තුනකට විතර කළින්) වෙච්ච දෙයක් ගැන තමයි ලියන්න යන්නේ. ඒ දවස් වල කේම්බ්‍රජ් විභාගයේ මැයි ජුනි විභාග වාරයට තමයි අපි සුදානම් වෙවි හිටියේ. පන්තියේ ඔක්කොම ළමයි 11 හිටියා. එයින් 3 දෙනෙක් වානිජ විෂය දහරාවෙන් විභාගේ කලා. අනිත් අය විද්‍යාව විෂය දහරාවෙන් විභාගයට පෙනී සිටියා. මේ කට්ටිය එක්ක තමයි බර්ටිට වැඩ කරන්නත් වුනේ මොකද බර්ටියා ඉගැන්නුවේ ජීව විද්‍යාව (Biology) නිසා.

මේ ළමයි ඔක්කොම ගෙවල් වල හුරතල් වෙලා හැදිච්ච ළමයි. කිසිම බරක් පතලක් නෑ. මහන්සි වෙලා වැඩත් නෑ. ඔය කාරණය නිසා බර්ටියාට වගේම මේ පන්තියට උගන්නපු අනිත් ගුරු භවතුන්ටත් තරමක් ගැටළු සහගත තත්වයක් ඇතිවෙලා තිබ්බා. ඔය අතර දක්ෂ ළමයිත් හිටියා. අවුරුදු ගාණක් ඉහල ලකුණු ගත්ත හොද ළමයි හිටියා. ඒත් ගැටළුව වුනේ Cambridge වි‍භාග රටාවේ පිළිතුරු සැපයිම පිළිබදව ඔවුන්ට පැහැදිලි අවබෝධයක් නොමැති වීමයි. වෙනදා ලකුණු 75 - 80 ගන්න ළමයි ලකුණු 40 ට 50 ට බැස්සා.

මේක ගැන අපි ගුරු දෙගුරු හමුවීම් වලට කතා කළත් ළමයි එච්චරම මහන්සි වෙලා වැඩ කරන්න කැමති වුනේ නෑ. හේතුව අවුරුදු ගාණක් තිස්සේ මේ ළමයි සරළ විභාග රටාවකට හුරුවෙලා තිබීමයි. මොකද බර්ටියා මේ ජාත්‍යන්තර පාසලට යනකොටත් වාර අවසාන වි‍භගේ කිට්ටු වුනහම Study Guides කියලා වාර අවසාන විභාගයට එන ප්‍රශ්න වලට සමානම (සමහර වෙලාවට ඒවම) ගැටළු අඩංගු ප්‍රශ්න පත්‍තරයක් දෙනවා. ඉතින් ළමයිනුත් දන්නවා මොනවද ‍විභාගෙට තියෙන්නේ කියලා. ළමයිනුත් ලකුණු ගන්නවා. බර්ටියා ඇත්තටම මේ Study Guides වලට කැමති වුනේ නෑ. බර්ටියා ‍වගේම වසන්ත සර්, ඉන්දිකා ටීචර්, නසීහා ටීච වගේ කීප දෙනෙක් මේ ළමයි රවට්ටන රටාවට කැමති වුනේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි ඒ ගැන කළමනාකරණය එක්ක කතා බහත් කළා. ඒත් හොඳ පිළිතුරක් අපිට ලැබුනේ නෑ. කොහොම හරි අපි‍ මේ ඉස්කෝලෙට එනකොට ළමයි මේ රටාවට හුරුවෙලා ඉවරයි. ඉතින් ලොකු ගැටළු ගොඩක් අපිට ඉතුරු වෙලා තිබ්බා කොහොමද මේ ළමයිව Study Guides වලින් මුදවලා Cambridge විභාග රටාවට හුරුකරන්නේ කියලා. බර්ටියා නම් මේකට කළේ නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක්. බර්ටියා Study Guide එකක් දුන්නට එකේ තියෙන ගැටළු වැරදිලාවත් විභාගෙට නම් ආවේ නෑ (කොහොමද ටිකිරි මොළේ?).

ඔය අතරෙදි අපිට නොසිතු ගැටළු කීපයකට මූණ දෙන්න සිද්ධවුනා. එකක් තමයි අපේ විදුහල්පතිවරයාවෙලා හිටපු ඇමරිකන් ජාතික මහාචාර්ය ‍ග්‍රෙග් ගේ නික්ම යෑම. ඒ එක්කම විනය ගැටළු ගණනාවකුත් මතුවුනා විශේෂයෙන්ම හැංගි හැංගි තිබ්බ ආදර සම්බන්ධතා ගණනාවක් එක පාරම එළියට ඒම. ඔය අතරින් එක දක්ෂ ළමයෙක් හිටියා බර්ටියාගේ ජීව විද්‍යාව පන්තියේ. මේ ළමයටත් ආදර සම්බන්ධතාවයක් තිබිලා අපිට අහුවුනා. ඉතින් විනය කමිටුවේ සාමාජික‍යෙක් විදිහට බර්ටියාටත් අනිත් විනය කමිටු සාමාජික සමාජිකාවන්ටත් පැය ගාණක් මේ ළමයි එක්ක කතා කරන්න වුනා මේ දේවල් නිරාකරණය කරගන්න. අන්තිමට ළමයින්ගේ දෙමව්පියන් එක්කත් කතාකරලා පළවෙනි සහ අවසානවතාවට ඔවුන්ට සමාව දෙන්න විනය කමිටුව හා පරිපාලනය තීරණය කළා. මේ සමාව නිකම් හම්බවෙන එකක් නෙමෙයි. ඒ මොහොතේ පටන් සියළුම ආදර සම්බන්ධතා නවත්තලා දාලා තමන්ගේ ඉගෙනීම් කටයුතු වලට කැපවෙන පොරොන්දුව පිටතමයි මේ සමාව ලැබුණේ. මේ කටයුතු වලින් පස්සේ ගොඩක් ආදර සම්බන්ධතා නම් නැවතුනා. ඒත් ඉගෙනීම් වැඩවල ඒ හැටි ලොකු වෙනසක් නම් අපිට දකින්න ලැබුනේ නෑ ගොඩ දෙනෙක්ගෙන්.

බර්ටියගේ මේ කතාවේ කතා නායිකාව ඉමාෂි. ඉමාෂි මම උඩින් ‍කිව්ව ගොඩට වැටුණේ නෑ. මොකද ඒ ළමයා අම්මා එක්ක අපි ගාවට ඇවිල්ලා හදවතින්ම තමයි පොරොන්දු වුනේ. ඉමාෂි බොහොම දක්ෂ දරුවෙක්. ඒත් එයාටත් Cambridge විභාග රටාවට පිළිතුරු සැපයිීම අහුවෙලා තිබ්බේ නෑ. ඒක නිසා විභාගෙදි ලකුණු 40 යි 45 යි ලැබුණේ (පන්තියේ වැඩිම ළකුණු). මම ඕකට දීපු විසදුම තමයි හැකිතරම් පැරණි විභාග ගැටළු වලට පිළිතුරු ලිවීම. මේ දක්වාම කව්රුවත් ඒක කලේ නෑ. මේ සිද්ධියෙන් පස්සේ ඉමාෂි තමන්ගේ ආදර සම්බන්ධතාවට නැවතීම් ලකුණ තිබ්බ. තියලා නියම විදිහට තමන්ගේ ඉගෙනීම් කටයුුතු වලට යොමුවුනා. බර්ටියට මතක විදිහට මේ ළමයා කිසිම විෂයකට ටියුෂන් වලට ගියෙත් නෑ. හැකි හැම අවස්තාවේම ඇවිල්ලා ඇයට තියෙන ගැටළු ගුරුවරුත් එක්ක කතා කළා. පාඩම් කළා. ඒ වගේම පරණ විභාග ගැටළු වලට පිළිතුරු ලියලා ගෙනත් දෙන්න පුරුදු වුනා.

සමහර වෙලාවට බර්ටියාට උත්තර හරිද කියලා බලන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. බර්ටියා රෑ නිදි මරාගෙන ඉමාෂි ලියපු උත්තර නිවැරදි කළා. ඒකට හේතුව තමයි මහන්සිවෙලා ඉගෙන ගන්න ළමයෙකුට උදව් කරන එකෙන් බර්ටියා මාරම සතුටක් ලබපු එක. ඒ වගේම ඒක හොද ගුරුවරයෙකුගේ වගකීමක් වගේම යුතුකමක්. මේ වෙනකොට විභාගෙට ටික කාලයයි ඉතිරි වෙලා තිබ්බේ. ඉමාෂි හැර අනිත් ළමයි ඔක්කොම විභාගේ කල්දැම්මා ඔක්තොම්බර් නොවැම්බර් විභාග වාරයට. අපි ගොඩාක් මහන්සි වුනා. සමහර වෙලාවට හවස හතර විතර වෙනකම් ඉස්කෝලේ ඉවර වෙලත් වැඩ කලා. එහෙම කරලා විභාගෙට කළින් විශාල වැඩ ප්‍රමාණයක් කරගන්න අපිට හැකියාව ලැබුණා. විභාගෙත් ආවා. ඉමාෂි බොහොම හොදින් විභාගෙට උත්තර ලිව්වා. ඊට පස්සේ අපිට තිබ්බේ ප්රතිඵල එනකම් බලන්න එක තමයි. ‍පන්තියේ යාළුවන්ගෙන් මේ ළමයට සහයෝගයක් ලැබුනේ නම් නෑ‍. කියන්නත් කණගාටුයි මේ ළමයා ගැන ඉරිසියාවක් තමයි අනිත් ළමයි‍න්ගේ හිත්වල තිබ්බේ. පන්තියේ යාළුවෙක් නැතුව තනියෙන්ම තමයි ඉමාෂි අන්තිමට වැඩ කරගත්තේ. හොද වෙලාවට වටිනා ගුරුවරු ටිකක් ළමයව තේරුම් ගත්ත අම්මෙක් තාත්තෙක් ඉමාෂිට හිටියා. ඒක නිසා හැමදෙයක්ම හොද අතට පෙරළුනා.

බර්ටිට අද වගේ මතකයි ඉමාෂිගේ අම්මා ‍මට කතා කරලා ප්‍රතිඵල කිව්ව වෙලාව. ඉමාෂි එතකොටත් අඩනවා. බර්ටියගේ විෂයට A පාස් එක ළකුණු තුනක් මිස්වෙලා කියලා‍. ඉමාෂිට ලකුණු 77ක් ජීව විද්‍යාව විෂයට තිබ්බා. බර්ටිට නම් ඒක ලකුණු 100 කට වඩා වටිනවා අපි ටික කාලෙකදි කරපු වැඩ කොටසත් එක්ක. බර්ටි ඒකම ඉමාෂිටත් කිව්වා. ඉමාෂි හැම විෂයකටම හොද ලකුණු අරන් තිබ්බා. බර්ටිට හරියටම ඒවා කියන්න නම් මතකයක් නෑ. බර්ටියගේ ජිවිතේට හම්බවෙච්ච වටිනාම B පාස් එක තමයි ඒක. මහමෙරටත් වඩා ලොකුයි.

කාලයයි තාක්ෂනයයි එක්ක හැම දෙයක්ම වෙනස් වෙලා. අපේ ළමයි තාක්ෂණය එක්ක දියුණු වුනාට ළමයිගේ මනුස්ස ගති ගුණ දියුණු වෙලා නෑ. එවා අභාවයට ගිහිල්ලා. තමන්ගේ රට, භාෂාව, ඉතිහාසය වගේ දේවල් මේ ළමයි වැදගත් නෑ කියලා හිතනවා. අනිත එක අපේ ළමයි දැන් ඉස්සර වගේ නෙමෙයි. මහන්සිවෙලා වැඩ කරන්න කැමති නෑ. ජංගම දුරකතනයටයි පරිගණකයටයි හිරවෙලා. ඒ දෙකෙන් එහාට ජිවිතයක්, සුන්දර ජීවිතයක් තියෙනවා කියලා ඒ ළමයි දන්නේ නෑ‍. ගොඩක් අම්මලා තාත්තලාටත් එහෙම දෙයක් තියෙනවා කියලා කියන්න උවමනාවක් නෑ. පොතක් පතක් කියවන්නේ නෑ‍. කියවන කෙනෙක් දැක්කහම හිනා වෙනවා. මේ යන සමාජ රටාවත් එක්ක යන්ත්‍ර වෙලා ඒ මිනිස්සුත්. තවත් මොනවා කියන්නද? කතාව නම් දිග වැඩිවුනා. කමක් නෑ. එහෙනම් ගිහිල්ලා එන්නම්.