ඉස්කෝලේ කාලේ මං 4 - කතා හතරක්

ආයුබෝවන් හැමොටම. ඉස්කොලේ කාලේ වෙච්ච සිදුවිම් කීපයක විස්තරත් අරගෙන බර්ටියා අප්‍රේල් මාසේ ලියන අවසාන බ්ලොග් සටහන අරගෙන ආවා කියමුකෝ. පරණ දේවල් ගැන විස්තර ලියන කොට තියෙන අමාරුව තමයි මේ දේවල් බර්ටියාගේ සහ ඒවට මුහුණ දීපු යාළුවන්ගේ මතකයේ ඇරෙන්න වෙන කොහෙවත් සටහන් වෙලා නොතීබීම. ඉතින් අර පරණ මතක ගබඩාව අවුස්සලා මේ මතකයන් එළියට ගන්න එක තරමක් අමාරු වැඩක්. මොකද වෙච්ච දේවල් ඒ විදිහටම මතක නෑ සමහර විට. සමහර වෙලාවට කොහොම ආරම්භවුනාද කියන්නත් මතක නෑ. අවසානය නම් බොහොවිට මතකයි. මේ එහෙම සිද්ධ වෙච්ච දේවල් කීපයක්.

හැමෝටම මතක ඇති බර්ටියා ඇතුළු පහේ කල්ලිය බර්ටියාලගේ ඉස්කෝලේ ප්‍රථමාධාර කණ්ඩායමේ ප්‍රභල සමාජිකයින් බව. ඒ දවස් වල ප්‍රථමාධාර කාමරය තිබ්බේ බොහොම අබල දුබල තත්වයේ පරණ ගොඩනැඟිල්ලක. මේකේ අබල දුබල තත්වය සලකලාමද කොහෙද පාසලේ පරිපාලනය තීරණය කළා මේ තට්ටු තුනේ ගොඩනැඟිල්ල තට්ටු දෙක කරලා ලොකු අළුත් වැඩියාවක් කරන්න. ඉතින් අපිට අපේ කාමෙරන් එළියට දාලා අළුත් වැඩියා කටයුතු බාර දුන්නා කොන්තරත් බුවෙකුට. කොන්තරත් බුවාට අපි කිව්වේ සායි බබා කියලා. මොකද පොරගේ කොන්ඩේ ඒ වගේමයි. මාස කීපයකට පස්සේ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වුනේ නැතත් අපේ කාමරේ අපිට ලැබුණ එක ඉහේ මලක් පිපුණා වගේ දෙයක් වුනාට අපිට. මොකද හදිස්සියකට පීරියඩ් එකක් කට් කරන්න පොත් බෑග් එක දාලා ගෙදර යන්න තැනක් නැතුව බර්ටියා ඇතුළු පහේ කල්ලිය සෑහෙන දුකක් වින්දා මේ දවස් වල. ඒ මදිවට සතියකට දෙකකට සැරයක් ඉස්පිරිතාලේ පැත්තේ කැරකිලා එන්න තිබ්බ අවස්තාවත් මේ වෙනකොට නැතිවෙලා තිබ්බේ. වවුලයි බර්ටියයි දවසක් හැන්දාවක පොඩි එවුන් ටිකත් අල්ලගෙන අපේ ප්‍රථමාධාර කාමරය හෝදලා සුද්ද කරලා ගත්තා. පොඩි පොඩි අළුත්වැඩියා කිරීම් කීපයක් විතරයි මේ වෙනකොට ඉතුරු වෙලා තිබ්බේ.

පහේ කල්ලියේ සාමාජිකයෙක් තමයි පොකයා කියන්නේ. ඇත්තටම පාෙකයා කියන්නේ උගේ කාඩ් එක නැත්තම් සුරතල් නාමය. හැබැයි ඉතින් ඔය නම පාවිච්චි කළහම ඒකා සුරතල් වුනේ නම් නෑ අත පය ඉස්සුවා මිසක්. පොකයව එක දිගට බයිට් කරන්න පටන් ගත්තහම ඒකට අම්බානකට මළ පනිනවා. ඒ වෙලාවට සුද්ධ ඒ වගේම සංස්තණය නොකළ සිංහල තමයි ඒ කටින් එලියට පනින්නේ. ඒත් පොඩි අවුලක් තිබ්බා. මේකට හොදටම කේන්ති ගියහම සමහර වචන වල ඉස්පිලි, පාපිලි, හල් කිරීම් වගේ ඒවා නැතුව යනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එක සැරයක් ගමයත් එක්ක මළ පැනලා (හැමොටම ගමයව මතක ඇති කියලා හිතනවා) "හත්තෝ, හකනවාද?" කියලා ගමයගෙන් ඇහුවා. අපිට වගේම ගමයටත් සිද්ධ වුනේ රණ්ඩුව පැත්තකින් තියලා බඩවල් අල්ලගෙන හිනාවෙන්න. සමහර වෙලාවට පොකයා දරුණුවට අත පයත් උස්සනවා. ගොඩාක් වෙලාවට පොකයා වලි දාගන්නේ ගමයා එක්ක තමයි. මොකද ගමයාටත් ඒකගේ බොක්කු කට පියාගෙන ඉන්න බැරි නිසා. බර්ටියා කියන මේ සිද්ධිය වුනේ අපේ ප්‍රථමාධාර කාමරය අළුත්වැඩියා කරලා අප සතු කළ දවස් වලමයි.

ඔන්න දවසක් ප්‍රථමාධාර කාමරය ඇතුලේදීම සුපුරුදු පරිදි ගමයා සහ පොකයා රණ්ඩුවක් පටන් ගත්තා. සුපුරුදු විදිහට ගමයා තමයි වැඩේ පටන් ගත්තේ. වවුලා, කොමනා සහ බර්ටියා නරඹන්නන් වුනා පමණයි වැඩසටහනට සහභාගීවුනේ නෑ. අන්තිමට ගමයා මොකක් හරි කියලා පැනලා දිව්වා සුසන්තිකා ජයසිංහ වගේ. පොකයත් ආයේ නෑ හුසේන් බොල්ට් වගේ පස්සෙන් එලෙව්වා. ප්‍රථමාධාර කාමරය ඇතුලේ තිරයක් ඇදලා ආවරණය කරපු කාමරයක් වගේ කෑල්ලක් තියෙනවා. ඔතන තමයි අපේ අමරණීය ඇඳ තියලා තියන්නේ. කොළ පාට තිර රෙද්දක් දමයි දාලා තියෙන්නේ‍. ඒකෙන් එළිය පෙන්නේ නෑ. වෙන දේ බලන්න නම් ඔළුව දාලාම බලන්න ඕන. අපිත් ඉතින් මේ වෙලාවෙදි ඔළුව දාන්න ගියේ නෑ. දුවලා එන්නැතැ කියලා හිතලා. ඒත් අපේ ඒ අවිහිංසක ප්‍රාර්ථනය බොඳකරගෙන සලාං ගාන සද්දයක් ඇහුණා. අපි තුන්දෙනා දුවලා ගියා එළියට. බලනකොට ඉස්සරහ පැත්තේ තිබ්බ ජනේලයක වීදුරුව කුඩු. අපරාදේ කියන්න බෑ ජනේල් වලට අළුතෙන් වීදුරු දාලා සතියක්වත් නෑ ජනේලයක් ඉවරයි. දැන් ඉතින් වුනේ මොකක්ද කියලත් හාෙයලා බලන්නත් එපායෑ.

නැත්තම් අපේ කවය බාර සර් (අපේ සර්ගේ සුරතල් නාමය වුනේ ලැවොසියර්. අපි කෙටියට ලැවා කියලත් කිව්වා) අහයි මේකේ ජනේල් කුඩු කරලා යනකම් අපි නිදාගෙන හිටියද කියලා (ඇත්තටම අපි නිදා ගන්න තමයි හැදුවේ). ඊට පස්සේ අපි යන්තම් පොකයවයි ගමයවයි අල්ලගෙන විස්තරය ඇහුවා. බලනකොට පොකයා ගමයව අල්ලගෙන උස්සලා වීදුරුවේ ඇනලා. ගමයගේ වැලමිට තමයි වීදුරුවේ වැදීලා කුඩුවෙලා තියෙන්නේ. වාසනාවකට ගමයට තුවාලයක් නොවී බේරුණා. ටිකකින් ජයසේකර සර් ආවා. වීදුරුව දැක්කා. වවුලගෙන් ඇහුවා "මොකද වරුණ වුනේ?" කියලා. වවුලා ඉතින් කට හදලා කිව්වා "සර්, ගමගේයි දුලිපුයි රණ්ඩුවක්". ඔච්චරමයි වවුලට කියන්න වුනේ සර් ඉතුරු ටික හිතාගත්තා කිරි ගහට මන්න පිහියෙන් කෙටුවා වගේ. "ආ ගමගේයි දුලිපුයිද? මං අළුතින් වීදුරුවක් දාන්න කියන්නම්" . එච්චරයි. ඒ වැඩේ සාමකාමීව එතනින්ම අවසන් වුනා. හැබැයි මුන් දෙන්නා රණ්ඩු නොවී නම් හිටියේ නෑ.

තව දවසක් අපිට කොහෙන් හරි ඉත්තෑකුරු වගයක් හම්බවෙලා තිබ්බා. අපේ යාළුවෙක් ඉත්තෑවෙක් වෙලා හිටියද කියන්න නම් බර්ටියාට හරියට මතකයක් නෑ‍. කොහොම වුනත් ඉස්කොලේ ඇරෙන්න කිට්ටුව වවුලයි ගමයයි අත් පොරයක් ගියා (Hand fight). පොකයා ඕක අස්සේ ඉත්තෑ කූරක් කෙළින් කරගෙන ඉදලා. (මුට කෙළින් කරන් ඉන්න වෙන දේවල් තිබ්බේ නැද්ද මන්දා) බර්ටියා පොඩ්ඩක් එහායින් පොතක් බල බලා හිටියේ. ගමයා වවුලගේ අත බිමට පාත් කරන කොට ජරස් ගාලා ඉත්තෑකූර බැස්සා වවුලගේ අත දිගේ ඇටේට වෙනකම්. මළ කෙලියයි කෙළ බාල්දියයි කියලා ප්‍රථමාධාරවල වැදගත්ම නීතියක් අමතක කරලා වවුලම ඉත්තෑ කූර ගලවලා අයින් කලා. ඉත්තෑ කූරු ඇත්තටම විසයි. ඒක නිසා අපි කලේ සහිද ලුණු (potassium carbonate) ප්ලේවින් (flavin) එක්ක මිශ්‍ර කරලා තුවාලෙට තියන එක. ඒක විසට හොද ප්‍රතිකර්මයක්. ඒ මිශ්‍රණය තියලා තද කරන් ඉන්නකොට අතට දැනෙනවා විස ඇදිලා එනවා වගේ. ඊළඟට කොමනා එක්කද කොහොද වවුලව ඉස්පිරිතාලෙට යැව්වා පටස් ගාලා. දොස්තර අහලා කොහොමද ඉත්තෑ කූර ඇනුනේ කියලා. වවුලා කියලා යාළුවෙක්ගේ අතේ තිබිලා කියලා‍. දොස්තරයත් ගත් කටටම අහලා යාළුවා ඉත්තෑවෙක්ද කියලා. වවුලා නොමැරී ඒ කතාවත් එතනින් අවසන් වුනා.
එක සැරයක් අපි ගම්පහ අස්ගිරිය පන්සලේ තුන් දින නේවාසික පුහුණු කඳවුරක් කළා. මේකට ප්‍රථමාධාර කණ්ඩායෙම් අපිට වඩා ජේෂ්ඨ වගේම කනිෂ්ඨ සාමාජිකයිනුත් මේ පුහුණු කදවුරට සහභාගී වුනා. බර්ටියාගේ පියතුමාගේ තද බල නීතිරීති නිසා බර්ටියට නේවාසික වෙන්න හැකියාවක් ලැබුනේ නෑ. ඉතින් බර්ටියා නහයෙන් අඩ අඩ උදේ කඳවුරට ඇවිල්ලා හවස පහට විතර ගෙදර යන එක තමයි කලේ. තවමත් බර්ටියා කණගාටු වෙනවා බර්ටියාට ඒ අවස්තාව නොලැබිම ගැන. කවදා හරි දවසක බර්ටියාට දරුවෝ හිටියොත් ඒ දරවන්ට මේ වගේ වැදගත් දේකට සහබාගි වෙන්න තියෙන අවස්තාව අහිමි කරන්නේ නෑ කියලා බර්ටියා තද බල විදිහට හිතාගෙන ඉන්නේ. හරි ඒක පැත්තකින් තියමුකෝ. ගමයත් කකුළ මොකක් හරි කරගෙන එක් තැන් වෙලා හිටයා කියලා මතකයි මෙ දවස් වල. ඒත් ඒකා කදවුරට ඇවිල්ලා හිටියා. දවසක් බර්ටියා උදේ පාන්දරින්ම කඳවුරට එනකොට කට්ටිය කන්න ලෑස්ති වෙනවා. බර්ටියත් ටක් ගාලා පාන් කෑල්ලකුත් අරන් කොමනයි වවුලයි කකා හිටපු පරිප්පු පිඟානට සෙට්වුනා. බර්ටියා එක කටයි කෑවේ. අනේ අම්මෝ ඊට වඩා ලුණු අඩු ඇති ලුණු පොල් කට්ටෙත්. මොන විදිහකට වත් කන්න බෑ එච්චරටම ලුණු. බර්ටියා ඒ පාර වවුලාගෙන් ඇහුවා මොකද බන් මේ කියලා. "බලපන් බන් කුක්ලා වැඩි වුනහම මුකුත් කරන්න බෑනේ. මේ හු....... තරගෙට ලුණු දාලා පරිප්පු එකට". ඒ වවුලගේ උත්තරය. බලනකොට වෙලා තියෙන්නේ මේකයි. බලන කොට එදා උදේට උයන්න ඉදලා තියෙන්නේ පොකයයි, දිගයි, වැද්දයි. කට්ටිය පරිප්පු හෝදලා පොල් ගාලා කිරි මිරිකලා ළූනු මිරිස් තුනපහ එහෙම ගාණට මිම්මට දාලා පරිප්පු එක ලිපේ තියලා. ඒත කට්ටිය අතර පොඩි ගැටුවක් ඇතිවෙලා තියෙනවා ලුණු දානකොට පරිප්පු එකට.

"උඔලා කොහොද බන් මට ලුණු දාන්න උගන්නනේ? මම මඟුල් ගෙවල් වලත් උයන එකනේ" කියලා රණසිංහ
ඉස්සෙල්ලාම පරිප්පු එකට ලුණු දාලා. ඊළඟට අපේ පොකයා ඇවිල්ලා.
"උඔ කොහොමද රණසිංහ අයියේ එහෙම කියන්නේ? මම අපේ මුත්තත් එක්ක කී සැරයක් මඟුල් ගෙවල් වල
උයලා තියෙනවාද? මේ ලුණු මදි බන්" කියලා පොකයත් ලුණු දාලා පරිප්පු එකට.
අන්තිමට වැද්දා ඇවිල්ලා "අනේ පලයන් තොපි දෙන්නාම යන්න. මම ගිය වෙසක් එකට අපේ දන්සැලෙත්
පරිප්පු ඉව්වා" කියලා වැද්දත් ලුණු පොල් කට්ට හළලා පරිප්පු එකට. අපි නිකන් යෑ ඒකට වැද්දා කියන්නේ.

ඔන්න ඕක තමයි වෙලා තියෙන සන්තෑසිය. අන්තිමට මම කලින් කිව්වා වගේ පරිප්පු එකට වඩා ලුණු අඩුයි ලුණු පොල්කට්ටේ. ඒ පාර බර්ටියයි කොමනයි වවුලයි කලින්දා රෑ ඉතුරු වෙච්ච සොයා මීට් ඇතිලියකයි ලුනු ගෙඩි දෙක තුනක පිහිටෙනුයි පාන් කෑල්ල කාලා ඉවර කලා.

දෙවෙනි දවසේ උදේට බොන්න කිරි වෙනුවට කැඳ හදලා කට්ටිය. බර්ටියා ඉතින් කැඳ බොන මනුස්සයෙක් යෑ. ගමයත් ඒ ජාතියේම තමයි. අපේ සර්ගේ කරදරෙන් බෙරෙන්න බැරිකමට රට ඉදි ඇටයක් කාලා කැඳ උගුරක් බිව්වා සර්ට පේන්න. පස්සේ කට්ටියම අස්ගිරියේ කන්දේ පන්සලට නැග්ගා ශ්‍රමදානේ වැඩවලට. ගමයත් අණ්ඩ කචල් හන්දා ගියේ නෑ. බර්ටියත් හිටියා ගමයගේ තනියට. සරුයි අනිත් කට්ටියයි අපිට කඳවුර බලාගන්න කියලා ගියා. අපි දෙන්නට ඉතින් උදේට කිරි එකක් බීමේ දැඩි අවශ්‍යතාවය ඇති වෙච්ච නිසා අපි කිරි හදන්න තීරණය කළා. ඕන කරන ඔක්කොම ජාති හොයගත්තත් අපේ කරුමෙටමමද කොහෙද සීනී ඉවරවෙලා. ගමයා අණ්ඩ කචල් කරගෙන නිසා ඒකට කඩේ යන්න බෑ. අනික සීනි ටිකක් ගන්න අපි බුලත් කඩේ හන්දියටම යන්න ඕන. මොකද ඒ දවස් වල පන්සල අහල පහල කඩවල් තිබ්බේ නෑ.

බුලත් කඩේ හන්දියට යනවා නම් විනාඩි 20 ක විතර දුරක් පයින් යන්න එන්න තියෙනවා. අපේම කව්රු හරි කෑම්ප් එකට ගෙනාව බයිසිකල් කටුවකුත් අරගෙන බර්ටියා ගියා කඩේට සීනී 100 ගේන්න මොකද වැඩිය ගේන්න සල්ලි නෑ. පන්සලේ ඉදන් බුලත් කඩේ හන්දියට යනකොට දාර පල්ලමක් තියෙනවා. පල්ලම ඉවර වෙන්නෙ ප්‍රධාන පාරෙන් තමයි. බර්ටියා පල්ලමේ බාගයක් විතර ඇවිල්ලා ගැහුවා බ්‍රේක් පාරක්. බ්‍රේක් පාර ගැහුව ගමන් බර්ටියාට හීන් දාඩියයි මහ දාඩියයි එක පාරම දැම්මා. බ්‍රේක් අහුවෙන්නේ නෑ. දැන් බයිසිකලේ විදලා යනවා ප්‍රධාන පාර පැත්තට. බර්ටියට මැවිලා පේනවා ගොක් අතු, කැරම් බාෙඩ්, කාඩ් කුට්ටම්, සුදු කොඩි එහෙම. යන්තම් බ්‍රේක් උපරිමේටම අල්ලලා කකුල් දෙකතු බිම ගහලා යන්තම් මහ පාරට නොගිහින් වාහනේකට අඩයක් නොතබා බිම නොවැටී කාටවත් නොන්ඩිත් නොවී බර්ටියා බයිසිකලය නවත්ත ගත්තා.

ඊළගට බර්ටියා බයිසිකලෙත් තල්ලු කරන් පාරෙන් එහා පැත්තේ තිබ්බ කඩේට ගිහිල්ලා සීනී 100 ක් ගත්තා. කඩේ මුදලාලි බර්ටියා දිහා අමුතු විදිහට බලලා හිනා වුනා. බර්ටියා ඕවා ගණන් ගන්න මනුස්සයෙක්යැ. බර්ටියත් සීනි 100 අරන් ආපහු පන්සලට ගියා. පන්සලට ගියාට පස්සේ තමයි බර්ටියාට මුදලාලියා හිනාවුනේ මොකද කියලා තෙරුම් ගියේ. බර්ටියා කඩේට ගියේ කාගේ හරි අව් කණ්නාඩි දෙකක් (Sun Glass) දාගෙන. අද වගේ නෙමෙයි ඒ කාලේ අව් කණ්නාඩි දාන්නේ හරි කලාතුරිකින්. ඒකතු සල්ලි තියෙන පොරවල්.‍ අව් කණ්නාඩි දෙකකුත් දාගෙන කඩේකට ගිහින් සීනි 100 ගන්නවා කියන එක ඒ කාලේ විහිළුවක් වගේ දෙයක්. බර්ටියා දාන් හිටපු කළු කන්නාඩි දෙකටයි සීනි 100 ටයි තමා කඩේ මුදලාලියා කින්ඩිය වගේ හිනාවෙලා තියෙන්නේ. අනේ බර්ටියාට මොකද? බර්ටියාට ඉතින් ලැජ්ජාවක් කියලා එකක් තියෙන එකක් යෑ. සීනිත් අරන් ඇවිල්ලා අපි දෙන්නා ලොකුවයින් කිරි දෙකක් හදාගෙන බීලා පන්සලේ ධර්ම ශාලාවේ තිබ්බ බන්කු දෙකක දිග ඇදිලා බර්ටියයි ගමයයි හොද නින්දක් දැම්මා.

සෑහෙන වෙලාවකට පස්සේ සර් වෙන කෙනෙක්ව එවලා තිබ්බා අපි දෙන්නට කන්ද පැත්තේ එන්න කියලා. ගමයගේ කැඩිච්ච අණ්ඩත් තිබ්බ නිසා, අපි දෙන්න හෙමින් සැරේ කන්ද නැඟලා කන්ද උඩ පන්සලට ගියා.

අම්පාර 2007 - P-6

අම්පාර 2007 බලන හැමෝම බලයි මොකක්ද මේ කියලා. මොකද බර්ටියා කතාව ඉවර කලානේ කළින් කොටසින්. ඇත්තටම මේ බ්ලොග් පොස්ට් එක අම්පාර 2007 කතාවේ දාන්න බැරි වෙච්ච ෆොටොස් වගයක් තමයි විස්තරත් එක්ක දාලා තියෙන්නේ. මොකද මේ කතාවේ සමහර දේවල් ගැන හොද දර්ශනයක් මවා ගැනීමේ හැකියාව මේ ෆොටොස් වලින් ලැබෙන නිසා. බලන්න ඒක එහෙම වෙනවද කියලා.

මේ ෆොටෝ එකේ තියෙන්නේ අපි පළවෙනි දවසේ නිදා ගත්ත ගල් පොත්ත. ගල් පොත්ත උඩ තියෙන පොකුණු දෙකත් එක්ක ගත්ත ෆොටෝ එකක් තිබ්බා නම් ගාෙඩක් වටිනවා (එක පොකුණක කෑල්ලක් මේ ෆොටෝ එකේ පේනවා). ඒත් 2007 ගමනේදි එහෙම ගත්ත ෆොටො එකක් නෑ. මොකද බර්ටියාට අනිත් අයගේ ෆොටොස් වලින් යැපෙන්න වුනා කැමරාවක් නැති නිසා. ෆොටොස් ගත්ත කට්ටියට ගොඩක් පින් ඉතින්. විශේෂයෙන්ම මොරින් අක්කගේ පුතා මිතුන්ට. මිතුන්ගේ තමයි මේ ෆොටෝස් ඔක්කොම. මේ ගල් පොත්ත උඩ පුරාණ කාලේ ගොඩනැඟිලි වල නටඹුන් කීපයක් තියෙනවා. සමහර විට පුරාණ පන්සල් වෙන්නත් පුළුවන්. නිධන් තියෙනවා කියලත් සමහරු කියනවා. එහෙම නිධානයක් රකින බලවේගයක් හීනෙන් පෙනිලද දන්නේ නෑ අපිට උඩින් තියෙන ගල් පොත්ත උඩ නිදා ගන්න එපා කිව්වේ. කව්රු දනී ද ඇත්ත නැත්ත හොයාගන්න විදිහක් නෑනේ.

මේ තියෙන්නේ අපි පළවෙනි දවසේ කන්ද නගින කොට කැලේ ගහක තිබ්බ දෙබර වදයක්. කොහොමද සයිස් එක. බැරි වෙලා හරි අපේ කටවල් වල සද්දෙට මේක ඇවිස්සිලා අපිට අනින්න ගත්තතා නම්? එහෙනම් අපි තාම ඒ කැලෑව ඇතුලේ පණ කඩා ගෙන දුවනවා. ස්භාදහමේ නිර්මාණ අති විශිෂ්ඨයි අපේ නිර්මාණ වලට වඩා. සෙල්ලම් නෑ නේද? මේ දෙබරෙට පොඩ්ඩක් උඩිහින් තිබ්බ මී වදයක් කඩන්න ගිහිල්ලා තමයි ඉන්දිකයා ඔළුව පලාගත්තේ. ඒ මී වදේ තිබ්බේ තරමක් උඩ. ගහට නගින්න විදිහක් තිබ්බෙත් නෑ. කඩාගන්න තියෙන ඕන කමට ගල් වලින් ගැහුවා. කරුමෙට එක ගලක් ඇවිල්ලා ඉන්දිකයගේ ඔළුවේ වැදුනා. හොද වෙලාවට ඒක දරුණු තුවාලයක් වුනේ නෑ. නැත්නම් කන්ද නැගිල්ල පැත්තකින් තියලා අපිට ඉස්පිරිතාලේ යන්න වෙනවා.
මේ දෙවෙනි දවසේ අපි නාමල් ඔයට යන්න කන්දක් නගින ගමන් ගත්ත ඡායා රෑපයක්. ඔය හරිය නඟින කොට බර්ටියාට පාන් කියාග ගන්න බැරුව තමයි හිටියේ. එච්චරටම මහන්සියි. ඒ මහන්සිය ඔක්කොම නැතිවෙලා ගියා මෙතන හුළං පාරක් වැදි වැදි වාඩිවෙලා මේ පහළින් පේන දර්ශනය බලන් ඉන්න කොට. ගොඩක් ලොකු ගස් එහෙම අපිට දකින්න හම්බවුනේ නෑ මේ හරියෙදි. ගොඩක් තැන් තණකොළ වගේ පඳුරු ජාතියකින් වැහිලා තිබ්බේ. ෆොටෝ එක‍ෙ ඒ තණකොළ වගේ පඳුරු වෙනවා

මේක තවත් එක නැග්මක්. මෙවැනි නැග්මවල් සිය ගාණක් තිබ්බා. සමහර වෙලාවට එක දිගට මේ වගේ නැග්ම වල් 15 - 20 තියෙනවා. කොහොමද සනීපේ? ඔය තියෙන ඔක්කොම බාධාවල් තරණය කරගෙන පහුකරගෙන තමයි බර්ටියා ඇතුළු පිරිස මේ ගමන ගියේ. දැන්නම් පුදුමත් හිතෙනවා මෙච්චර සෙල්ලමක් අපි දැම්මාද කියලත්. සමහර තැන්වල ලොකු වැල් දිගේ ඇවිදගෙන යන්නත් තිබ්බා. සමහර තැන්වල බොහොම පොඩි ඉඩකඩක් තමයි තිබ්බේ කකුල තියාගන්න. දැන් නම් මේ සෙල්ලම් දාන්න බැරිවේවි කියලා හිතනවා.
මේ තියෙන්නේ ගෝන්නු දෙන්නෙක් ලැගලා හිටපු තැනක්. අපි එන්න ටික වෙලාවකට කළින් තමයි උන් දෙන්නා මෙතනින් මාරු වෙලා තියෙන්නේ. බොහොවිට අපේ සද්දේ ඇහිලා වෙන්න ඇති. අපේ සද්දේ ඇහුන ගමන් ගෝන්නු දෙන්නට හිතෙන්න ඇති කමින් කලර් ඊස් නොට් ගුඩ් කියලා. හිටියොත් එන එවුන්ගේ බොක්කේ තමයි නවතින්න වෙන්නේ කියලා දෙන්නා ටක් ගාලා මෙතනින් මාරු වෙන්න ඇති. පොරවල් හැංගිලා බලාගෙන හිටියද යන්නේ නෑ අපිව කොචොක් කරන්න වගේ. කැළැව ඇතුලේ අපේ සද්දේ ගොඩක් දුරට ඇහෙනවා කිසිම අවුලක් නැතුව. තුවක්කුව පත්තු කරගන්න තිබ්බා නම් කෑම තමයි ඉතින්. වෙලාව තමයි බර්ටියගේ වගේම සත්තුන්ගෙත්. මොනා කරන්නද?
මේ අපි කැලේ අතරමං වෙලා (අතරමං කරලා කිව්වොත් තමයි හරියටම හරි වෙන්නේ) ඉන්න කොට ගත්ත ෆොටෝ එකක්. මේ අපේ කට්ටිය බත් විතරක් කන වෙලාව බඩගින්න වැඩි කමට. මේ වෙනකොට දෙකට විතර ඇති. උදේ කෑවට පස්සේ එක දිගටම ඇවිද්ද (කඳු නැගීම හා බැසිම) එක තමයිනේ කළේ. බඩගිනි වෙන එක අහන්න දෙයක් යෑ. මෙතන ඉදලා අපි තේත් හදන් බීලා තමයි ආපහු වැව් පිටියට යන්න පටන් ගත්තේ. මේ ඇවිල්ලා මනතුංග පවුල. මනයයි මනයගේ නෝන වජිරයි (සෝමා) මනතුංගගේ පුතා සඳුයි. අනිත් කෙනා වජිරගේ බාලම නංගිද කොහෙද.
කොහොමද නැගිල්ල? මේක නැගිල්ලට අපිට සෑහෙන වෙලාවක් ගියා. පේනවානේ කෙළවරක් පේන්නේ නෑ කියලා. සෑහෙන කාලයක් ශ්‍රමයක් මේ ගමනට ගත වුනා මේ වගේ නැග්මවල් ගොඩක් තිබ්බ නිසා. කකුල් වලට සෑහෙන්න සනීපයි. රෑට වින්ටෝජිනෝ ගාලා මසාජ් කරන්න වුනා පහුවදා ඇවිදින කොට කකුලේ මස් පෙරලෙන එක නවත්තන්න. ගමේ අයට නම් මේවා ගාණක් නෑ. ඒ කට්ටිය නිතර දෙවෙලේ මේ කන්ද නගිනවා එයාලගේ වැඩ වලට. අනික අපි වගේ නෙමෙයි ඇඟ මහන්සි කරලා වැඩ කරන කට්ටිය නේ. හැමෝම හේන් වැඩ කුඹුරු වැඩ කරන අය. ඊට අමතරව ගොඩක් කට්ටිය ඒ දවස් වල ග්‍රාම ආරක්ෂක බලකායේ (දැන් නම් සිවිල් ආරක්ෂක බලකායේ) වැඩ කලේ. ඒ කට්ටියට මේවා එච්චර ලොකු දේවල් නෙමෙයි.
තවත් බැසීමක්. බර්ටියාට මතක විදිහට දෙවෙනි දවසේ නාමල් ඔයට යනකොට තමයි මේ හරිය පහුකලේ. නැගිලි වගේම තමයි බැසිලිත්. බහින්න වුනහමත් එක දිගට හැතැප්ම දෙක තුන බහින්න තියෙනවා. එත් බැහිලි නම් එච්චර දරුණු විදිහට ඇඟට දැනෙන්නේ නෑ. එත් ගල් උඩින් බැහැල්ල තරමක් වේදනාකාරියි. අනික පරෙස්සම වෙන්න වෙනවා. කල්පනාවෙන බැස්සේ නැත්නම් පිනුම් ගහන්න තමයි වෙන්නේ. ගැලැවිච්ච ගලකට අඩිය තිබ්බොත් දෙවියන්ගේම පිහිටයි.

මේක ඇවිල්ලා ජුන්ඩයි බර්ටියයි එකට ගත්ත ෆොටෝ එකක්. අවසාන දවසේ නාමල් ඔය ඉදලා ගමට එන්න කන්ද නගින ගමන් මිතුන්ට කියලා ගත්තේ. බර්ටියාට කන්ද නගින කොට කකුලේ මස් පෙරලෙන්න අරගෙන ක්‍රෙප් බැන්ඩේජ් එකකුත් දාගෙන හෙමින් සැරේ තමයි කන්ද නගින්න වුනේ. සැරින් සැරේ ක්‍රෙප් බැන්ඩේජ් එක ලිහෙන කොට ඒක තද කරලා ආපහු බදින්නත් වුනා. ඒක නිසා කන්ද නගින බහින ගමන් කාට හරි ඇණයක් වෙන්න (බැන්ඩේජ් එක දාන්න කියන්න) බර්ටියාට සිද්ධ වුනා.
ගමට පල්ලම් බහින්න මොහොතකට කළින් ගත්ත ෆොටෝ එකක් මේක. අපි බහින්න හදන කොටම ශාමිනී (අපේ කැම්පස් එකේ යාළුවෙක්) කතා කලා. කන්ද මොබයිල් එක කනේ තියාගෙන බහින්න පුළුවන් කමක් නැති නිසා අපි ෆෝන් එක ස්පීකර් දාලා ශාම්ට සෑහෙන බයිටක් දුන්නා. ම් ම් ම් විනාඩි විස්සක විතර බයිටක්. ඔය කතාව ඉවර වෙලා තමයි අපි ආපහු ගමට එන්න තියෙන අමාරුම බැහිල්ල බහින්න පටන් ගත්තේ. මේ කොටසත් එක්ක අම්පාරේ 2007 ගමන ගැන විස්තර ඉවර වෙනවා. ඊට පස්සේ කීප සැරයක් අම්පාරේ ගියත් කඳු නගින්න ගියේ නෑ. ආයේ 2010 දි තමයි කන්ද නැග්ගේ. ඒ පාර ගියේ මලිත උගන්නපු ඉස්කෝලේ ළමයි කට්ටියකුත් (YES Team) එක්ක. ඒකත් බොහොම රසවත් අත් දැකීමක්. ඒක ගැන පහුවෙලා ලියන්නම්. එක දිගටම අම්පාර ගැන ලිව්වොත් ඒක නීරස වෙවි කියලා හිතෙනවා. එහෙනම් බර්ටියා යන්න යනවා අදට.

අම්පාර 2007 - P-5

නවගිරියාවේ වැව ගැන බර්ටියා මීට කළින් අහලාවත් තිබ්බේ නෑ. රන්ජන මොරින් අක්කලව ගොනාගොල්ලට දාලා ආවා. මලිතයා පරක්කු වෙලා වැවට එනවා කියලා තමයි පණිවිඩය ආවේ. ඔය අස්සේ මහතුන් අයියා අපිට රෑ කෑමට එන්නත් කියලා. කොහොම හරි හවස 4 ට විතර අපි කට්ටිය නවගිරියාවට යන්න පිටත් වුනා. ත්‍රී වීල් එකයි මොටර් සයිකල් දෙකයි මට මතක විදිහට. ඉස්සෙල්ලාම බාර් එකට ගියා වාත තෙල් ගන්න. ගන්න ගියහම කිසිම හොද දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. අඩු ගානේ බ්‍රැන්ඩි එකක් වත්. මොනවා කරන්නද කියලා අපි V.S.O.A අරක්කු බෝතල් තුනක් ගත්තා. කොච්චර වුනත් බර්ටියාට මේ භාන්ඩේ නම් අැල්ලුවේ නෑ. ඒත් බර්ටියා හිතුවා ඉස්කෝලේ යන කාලේ බ්ලු ලේබල් (අරක්කු) ගහපු පුරුද්දට V.S.O.A ගහන්න පුළුවන් වේවි කියලා. මොකද බර්ටියා ගොඩ කාලෙකින් home made brand මොනවාත් පාවිච්චි කරලා තිබ්බේ නැ. ඒ වගේම බර්ටියා හොදටම දන්නවා මලිතයා කීයටවත් V.S.O.A ගහන්නේ නෑ කියලා.

ඉස්සෙල්ලාම යන ගමන් රන්ජා අඳුරන කාවද ත්‍රී වීල් එකට දා ගත්තා. ඊළඟට ගියේ මිනිහා අඳුරන නවගිරියාව වැවේ මාළු බාන මනුස්සයෙක් හම්බවෙන්න. මිනිහා හවස 7 ට විතර වැව පැත්තේ එනවා කිව්වා. ඉතුරු කට්ටිය හවස 5.30 විතර නවගිරියාවට ගියා. සෑහෙන දුරක් ගිහිල්ලා ගිහිල්ලා යන්තම නවගිරියාය වැවට ආවා අපි. පායන කාලේ නිසා වැව හිදිලා. ඒක නිසා වැවේ සෑහෙන දුරකට යන්න අපිට චාන්ස් එක ලැබුණා. ඒත් ලව් ගෙඩි වලින් බේරිලා පරිස්සමින් තමයි අඩිය තියන්න වුනේ. ලව් ගෙඩි කියන්නේ නිකම් කටු කටු තියෙන ගෙඩි ජාතියක්. ඒවා ටක් ගාලා අපේ ඇඳුම් වල පැටලෙනවා. ඇනුනොත් රිදෙනවා. පෑගුනොත් තුවාල වෙන්නත් පුළුවන්. අපේ කට්ටිය කොහොමත් 7 දෙනෙක් විතර හිටියා. මමයි ජුන්ඩයි මනයයි ඉන්දිකයි රන්ජයි රන්ජගේ යාළුවයි.වැව් පිටියට බැහැලා ටිකක් වෙලා කරකැවිලා අපි දර ටිකක් හොයන්න පටන් ගත්තා. මොකද අඳුර වැටෙන්න කළින් ගිනි මැලයක් ගහගන්න ඕන වෙන නිසා. අනික් එක අල්ලන මාළු ටික පුච්ච ගන්නත් එපායැ. ඔය කාරණා දෙකටම ගිනි මැලය වැදගත් වෙනවා. ඉතින් කට්ටිය වගේ කරකැවිලා දරත් එකතු කරගෙන ගලක් උඩට වෙල චැට් එකක් දාන්න ගත්තා. අඳුර වැටෙන කොට ගිනි මැලෙත් ගහගත්තා. මාළු අල්ලන බුවා දැල එහෙම ගහලා එන කොට 7.30 විතර වුනා. ඔය අතර කට්ටිය ගෙනාපු රට කජු, බයිට් පැකට් එක්ක V.S.O.A ගහන්න පටන් ගත්තා. බර්ටියා එක උගුරයි හලා ගත්තේ. ඒකෙන්ම බර්ටියාට තේරුණා වැඩේ හරියන්නේ නෑ කියලා. වීදුරුවේ තිබ්බ ඉතුරු බීම ටික හෙමින් සැරේ බිමට හලපු බර්ටියා සද්ද නැතුව හිටියා. ඔය අතර මලිතයත් ආවා තවත් කව්ද එක්ක. බර්ටියා කිව්වා වගේම මලිතයා V.S.O.A එකට අතවත් තිබ්බේ නෑ. ජුන්ඩනන් ගහනවා ගුදම වගේ. ඒ වෙලාවේ නම් ඒකට මාළු අල්ලන බුවා ගියා මාළු දැළ අදින්න. දැළ අරන් ඇවිල්ලා මාළු ටික ගලවලා සුද්ද කරලා මැලේ දාලා පිච්චුවා. ඇත්තටම පුච්චපු මාළු වල හොද රහක් තිබ්බා.

අපේ වැඩ සටහන කිසිම අවුලක් නැතුව නැගලා ගියා රෑ 10.00 විතර වෙනකම්‍. මලිතයා රන්ජවයි රන්ජගේ යාළුවාවයි අරන් ගියා ගොනාගොල්ලට අක්කලව අරන් එන්න. එතකොටත් ඒකට පරක්කු වැඩියි. මොකද ඒ පැත්තට ටිකක් එල්.ටී.ටී.යි. කේස් තිබ්බා ඒ දවස් වල. කට්ටිය අක්කලව බස්සලා ආපහු එනවයි කියලා ගියේ. කොහොමත් අපි රෑට කන්ඩ මහතුන් අයියලාගේ ගෙදර යන්න ඕන. ඒක කීයට හරි සිද්ධ වෙන්න ඕන මොකද මහතුන් අයියලා බලාගෙන ඉන්නවා කෑමත් නොකා අපි කට්ටිය එනකම්. පැයකට විතර පස්සේ රන්ජගේ යාළුවා නම් ආවා ත්‍රී වීල් එක අරන්. මලිතයා නැවතිලා. රන්ජා මඟ එනවා කිව්වා. දැන් කටිටියි බලන් ඉන්නවා රන්ජා එනකම් මේකා නෑ. ෆෝන් එකතු වැඩ නෑ මේකගේ. පස්සේ බැරිම තැන රෑ 12.30ට විතර අපි එන්න ආවා මූව මගදී වත් හම්බවේවි කියලා. මනයගේ ගෙදරටත් ආවා. ඒත් රන්ජා නෑ. පස්සේ රන්ජගේ යාළුවා ආයේ ගියා රන්ජව බලන්න. දැන් මලිතයගේ අක්කටත් මළ පැනලා. අක්කලා නම් මහතුන් අයියලගේ දිහා ගිහිල්ලා ඇවිල්ලා.

තවත් බලන් ඉන්න බැරි නිසා අපි ගියා මහතුන් අයියලගේ ගෙදර. කොහොම හරි එහාට ගිහිල්ලා කෑම කනකොට පාන්දර 2.00 විතර ඇති. මනයා එහාට යනකොටත් ඉතුරු වෙච්ච V.S.O.A බෝතලයක් ගෙනිහිල්ලා. ජුන්ඩා අරක්කු එක්ක තරහක් ද මන්දා ඒකෙනුත් ගැහැවා. (පස්සෙයි අපි දැනගත්තේ ඒකා බීලා තියෙන්නේ බර්ටියයි මලිතයයි නොබීපු එකේ තරහට කියලා). අපි මහතුන් අයියලගේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා කෑම කනකොට අම්මට සිරි වෙන්න උලමා (යක් කුරුල්ලා) කෑ ගහනවා. උලමා කියන්නේ බකමුණු වර්ගයක් හරිම අඩු සංබ්‍යාවක් තමයි ඉන්නේ. ඒ වගේම උලමා ගැන පැහැදිලා විද්‍යාත්මක විස්තරයක් නෑ ගැමි කටකතා ජනශ්‍රැතියේ එන දේවල් ඇරෙන්න. එදා තමයි බර්ටියා උලමා කෑ ගහනවා ඉස්සෙල්ලාම ඇහුවේ. අම්මෝ ඔළුවේ ඉදන් කකුල් දෙකට යනකම්ම ඇඟ සීතල වෙලා යනවා ඒ මුසල සද්දේ ඇහුවහම. එච්චරටම අප්‍රසන්න සද්දයක් උලමගේ ඇඩිල්ල. සාමාන්‍ය ගැමි වහරේ උලමා කෑ ගහපුවහම මිනිහෙක් මැරෙනවා කියලා කතාවක් තියෙනවා. රන්ජනත් අතුරුදහන්වෙලා ඉතින් හිතාගන්න පුළුවන්නේ කට්ටියට අපිට හිතෙන දේවල්.

කාලා බීලා ඉවර වෙලා අපි ආපහු මනයගේ ගෙදරට ආවා. ඇවිල්ලා නිදාගන්නේ නැතුව කතා කර කර කර හිටියා මොකද නිදාගන්න තරම් හොද මානසික තත්වයක් අපිට තිබ්බේ නැති නිසා. ඔය අස්සේ ජුන්ඩට හොදට ඩොප්. ඒකා කණ සාක්කුවේ දාගෙන වමනේ දානවා. අන්තිමට වජිරාගෙන් දෙහි ගෙඩියක් ඉල්ලන් ජුන්ඩගේ ඔළුවේ අතුල්ලලා ඒකව ඇඳට දැම්මා. අනිත් පැත්තෙන් මලිතයගෙ අක්කා බනිනවා මලිතයට. වෙන කරන්න දෙයක් නැති නිසා, අපි හිතන් හිටියේ පාන්දරින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලන්න රන්ජනයා ඇක්සිඩන්ට්වත් වෙලාද කියලා. මේ අස්සේ රන්ජනගේ ගෙවල් පැත්තෙන් රන්ජගේ පවුල කෑ ගහන සද්දයක් ඇහෙනවා. "මුන් මගේ මිනිහව මුන් අරන් ගිහිල්ලා මරලා දැම්මද දන්නෙත් නෑ" අරකයි මේකයි. ඇයි උගේ අහවල් එක ගන්නනේ අපි. අනේ අම්මපා ගෑණුන්ටත් හිතෙන ගොන් කතා. අපි බොක්ක රත්වෙලා ඉන්නවා මේකා නැතුව, ගෑනි මඟුලක් කියවනවා. ටිකකින් රන්ජගේ යාළුවා (රන්ජගේ යාළුවා කිව්වට මේ මනුස්සයට අවුරුදු 60 ක් විතර වෙනවා) ආවා රන්ජගේ පවුලවත් ෂේප් කරලා. අපේ පපු වල නම් තාම බිත්තර තැම්බෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා අපි ටිකක් ඇල වුනා. උදේම නැගිට්ටා මොකද අක්කලා උදේම යන නිසා. මලිතයයි මනයයි ගිහිල්ලා අක්කලව බස් එකට දාලා ආවා. ඒ ආවට පස්සේ තමයි යන්තම් රන්ජා ගැන ආරංචියක් ලැබුනේ. බයික් එකේ තෙල් ඉවර වුනා කියලා මේකා පොලිස් චෙක් පොයින්ට් එකකට වෙලා නිදාගෙන. අපේ එවුන් නම් කියන්නේ මේකා කොහේ හරි කොටුවක් පැනලා කියලා.

කොහොම නමුත් කරදරයක් නැතුව ඒ ප්‍රශ්නෙ විසදුනා යන්තම්. අපිත් එදා හවස ආපහු යන්න හිතාගෙන හිටියේ. මනයලා අපිට උහනට ගෙනල්ලා දැම්මා. අනුරාධපුරේ ඉදලා අම්පාර යන ඩී. එස්. ගුණසේකර එකේ බස් එකට අපි හවස 5.30 ට විතර උහනින් නැග්ගා අම්පාරට යන්න.

මේ බස් එක අම්පාරට යනකොට තැන් දෙකක නවත්තලා චෙක් කරනවා ඒ දවස් වල. අපේ බෑග් චෙක් කරන නිසා බර්ටියා අර හිස් පතෙරාම් කොපුව කලිසමේ සාක්කුවක දාගෙන හිටයේ. බෑග් චෙක් කලාට අපිව අතගාලා චෙක් කරන්නේ නැති නිසා. පළවෙනි මුරපොලේ බස් එක නැවැත්තුවා. අපිත් බෑග් උස්සන් බැහැලා චෙක් කරන පොලීමේ යනවා. හමුදාවෙන් තමයි මේ චෙක් පොයින්ට් එකේ හිටියේ. බර්ටියාගේ බෑග් එක ඉස්සෙල්ලාම චෙක් කලා. ඊළගට හිටියේ ජුන්ඩා. ජුන්ඩගේ බෑග් එක චෙක් කරන කොට ඒකේ තිබ්බ උල් පිහිය මාට්ටු වුනා. පිහිය පෙන්නපු ආමි බුවා මේක මොකටද කියලා ඇහුමහම ජුන්ඩා ගත් කටටම කිව්වා පළතුරු කපන්න කියලා. අම්මට සිරි වෙන්න හමුදාවේ බුවත් පළතුරුම කපමු කියලා මේකට පෝලිමෙන් අයින් වෙලා ඉන්න කිව්වා. පිටි පස්සේ හිටපු මලිතයා ටක් ගාලා පැනලා අපි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අපි මේ research එකකට ගිහිල්ලා එන ගමන් කියලා යන්තම් ෂේප් එකක් දා ගත්තා.

අම්මෝ බර්ටියගේ කලිසම් සාක්කුවේ තිබ්බ බුලට් කේස් එකත් අහුවුනා නම් එහෙම අපි තාම කූඩුවේ කූරු ගනිනවා. අනේ අම්මෝ. අම්පාරට ගිහිල්ලා කොළඹට එන්න තිබ්බ බස් එකට නැගලා වාඩිවෙන්න බැලුවා. කරුමේ කියන්නේ මුළු බස් එකේම ෂීට් බුක් කරලා. හිටගෙන තමයි යන්න වෙන්නේ. කොළඹට යනකම් හිටගෙන යන්න අපි මැෂින් යෑ. අඩු ගානේ එක ෂීට් එකක් හරි තිබ්බා නම් අපිට ගජේ ගහන් හරි යන්න තිබ්බා. බස් එකත් යන්න පිටත් වුනා. මලිතයා නාමල් ඔය හන්දියට ටිකට් අරන් ජයාටයි මනයටයි කෝල් කලා අපිව ගන්න නාමල් ඔයට එන්න කියලා. අපි නාමල් ඔයෙන් බැහැලා ටිකක් දුර යනෙකාට ජයයි මනයයි ආවා අපිව ගන්න. අපි මනයලගේ ගෙදරට ගිහිල්ලා කාලා නිදා ගත්තා.

උදේ නැගිටලා මුණ එහෙම හෝදගෙන මලිතයා මනයත් එක්ක ගියා අම්පාරට හවසට කොළඹ එන බස් එකේ ෂීට් බුක් කරන්න. නැත්නම් අදත් බස් එකේ ෂීට් බුක් වෙලා තිබ්බොත් අබ සරණයිනේ අපිට. ෂීට් බුක් කරලා නිසා අපි හවස 7.00 ට විතර නාමල් ඔයට ගිහිල්ලා එතනින් තමයි බස් එකට නැග්ගේ. මගදි කන්න කියලා වජිරා අපිට බත් පාර්සල් තුනකුත් බැදලා දුන්නා. බස් එක ආවේ මහියංගණය පැත්තෙන්. මඟ නවත්තපු කඩයකින් අපි බත් මුල තුනත් ලෙහාගෙන කාලා ආතල් එකේ නින්දකුත් දාගෙන කොළඹ ආවා. පාන්දර 4.30 විචර බර්ටියා ගෙවල් ගාව බස් හොල්ට් එකෙන් බැහැලා ගෙදර ඇවිල්ලා ආයෙත් ඇදට වැටිලා නින්දක් දා ගත්තා. ඔය විදිහට තමයි බර්ටියා ගිය හොදම ත්‍රාසජනක චාරිකාවක් අවසන් වුනේ.

අම්පාර 2007 - P-4

තුන්වෙනි දවසේ උදේ නැඟිටලා බැලුවහම තමයි නාමල් ඔයේ හොදම ලස්සන දැක්කේ. ඈතින් පේන කඳු වැටියට උදෑසන හිරු එළිය පතිත වෙලා අතිශයින් චමත්කාර දසුනක් මවනවා. නාමල් ඔය උදෑසන මීදුම අස්සේ ලස්සනට හිනා වෙනවා. ඒ දසුන වචන වලින් විස්තර කරන්න අමාරුයි. බර්ටියා කියන මේ කතාවට ඒ දර්ශනය දැක්ක ඕනම කෙනෙක් එකඟ වෙනවා කිසිම කතාවක් නැතුව.

බර්ටියාට මේක බොහොම නැවුම් අත්දැකීමක් වුනා. අපි කට්ටිය හෙමින් සැරේ උදේ කිරි එක බොන ගමන් අද දවසේ වැඩසටහන ප්ලෑන් කළා. අද අපි ආපහු කහටගස්යායට යන්න ඕන. මොකද මලිතගේ අක්කට හෙට ආපහු ගාළු යන්න වෙලා තිබ්බා. ආපු පාර දිගෙම තමයි ආයේ අපිට යන්න තිබ්බේ. අපිට තිබ්බේ උදේට කෑම කාලා ආපහු කන්ද නගින්න පටන් ගන්න. බර්ටියා ඔය කඳු නගින වැඩ වලට හරි අකමැතියි. ඒත් කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකෝ නාමල් ඔයේ නවතින්න යෑ. වජිරා ඇතුළු කාන්තා පාර්ශවය උදේට කන්න ලෑස්ති කලා. බර්ටියාට මතක විදිහට උදේට කෑවේ බත්. අපි ඉතින් පෝලිමේ ඉන්නේ නැතුව විවෘත වැසිකිලියකට ගිහිල්ලා හුළං වැදි වැදී ඒ කටයුත්තත් ඉෂ්ඨ කරගෙන මූණ කට එහෙම හෝදගෙන ගමනට ලෑස්ති වුනා. මලිතයා කිව්ව විදිහට ගෑනු කට්ටිය හිටියේ නැත්තම් කට්ටිය රෙදිත් නැතුව තමයි ඉන්නේ. ඊළඟට ඉතුරු වුනේ උදේට කෑම කන එක තමයි. බත් තමයි අපි උදේට කෑවේ ආයේ දවල් වෙනකම් කන්න නැති නිසා.

උදේට කාලා ඉවර වෙලා අපි ඒ අවට අස්පස් කලා. දර අඟුරු ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් (ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල්) වැරදිලාවත් ඒ පරිසරයේ ඉතුරු නොකර යන්න අපි වග බලා ගත්තා. මොකද ඒ පරිසරය එච්චරටම වටිනවා‍. කිසිම කතාවක් නැතුව අපි ඒ පරිසරය අනාගත පරපුරට ඉතුරු කරන්න ඕන. ඒක අපේ යුතුකමක් වගේම වගකීමත් වෙනවා.

අපිට ආයිත් ආපු පාරෙම කැලේ මැද්දෙන් දැවැන්ත කඳු නැගිල්ලක් ඉතුරු වෙලා තිබ්බා. දවස් ගාණක් මහන්සිවෙලා හිටපු අපේ කකුල් වලට නම් මේක ලේසි පාසු වැඩක් වුනේ නෑ. ඇත්තටම ඒ නැග්ම නම් බර්ටියාට සෑහෙන්න අමාරු වුනා‍. බර්ටියාගේ කකුලේ ලොකු මස් පෙරලිල්ලක් ඇතිවෙලා බැන්ඩෙජ් එකක් දාන්න වුනා. බැන්ඩේජ් එකකින් දකුණු කකුලත් වෙලාගෙන හැරමිටියකුත් අරගෙන තමයි බර්ටියාට ගමනේ ඉතුරු ටික නගින්න වුනේ. මිතුන් පැපරාසි වැඩේ තව දුරටත් සාර්ථකව කරගෙන යන නිසා වෙච්ච දේවල් සෑහෙන ප්‍රමාණයක් කැමරා කාචේ සටහන් කරගන්න මිතුන්ට අවකාශ ලැබුනා. එහෙම ගත්ත ෆොටොස් තමා බර්ටියා බ්ලොග් එකට පාවිච්චි කරලා තියෙන්නේ. ජුන්ඩත් කැමරාවක් ගෙනිච්චත් මුළු ගමනටම ඒ කැමරාවෙන් ෆොටෝස් තුන හතරකට වඩා ගන්න බැරිවුනා. බර්ටියා හිතන්නේ ජුන්ඩාගේ කැමරාව කැලේ ගලක ගැහුවා නම් වඩාත් හොදයි කියලා. අඩු ගානේ උස්සන් යන බර හරි අඩු වෙනවා නේ.
ඔය විදිහට කොහොමත් අපි කට්ටිය පැය දෙකකට වැඩි කාලයක් කන්ද නැගලා ආපහු ගමට බහින තැනට ලඟා වුනා. කියලා වැඩක් නෑ. ඒකත් පට්ටම බැස්මක් තමයි ඒකත්. එක දිගටම කිලෝමීටර තුන හතරක් බහින්න ඕන. සමහර තැන් වලදි ඉළුක් ගාලවල් තියෙනවා. සමහර තැන්වල පඳුරු වැල් එහෙම අල්ලන් බහින්න වුනා. ඒත් සමහර තැන්වල දී අල්ල ගන්න වැලක් වත් තිබ්බේ නෑ. ඒ මදිවට බහින පාරේ තැනින් තැන ගලුත් ගැලවිලා. බොහොම පරිස්සමින් අමාරුවෙන් ඉතාමත් දුෂ්කර බැහැල්ලක් තමයි බහින්න තියෙන්නේ. සමහර තැන්වල පාර වේලිච්ච කොළ වලින් වැහිලා. ඒවා ලිස්සනවා මාරෙට. වැරදියට අඩියක් තිබ්බොත් ගලක් ගැලවුනොත් එහෙම සෑහෙන දුරක් රූටලා පහලට යන්න නොමිලේ අවස්තාවක් ලැබෙනවා කිසිම කරදරයක් නැතුව. ඊට පස්සේ නොමැරී ඉතුරු වුනොත් මූණ අත පය ලෙලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ. බර්ටියා පස්ස බිම තියලා හිමින් සැරේ රූටලා ගිය තැනුත් තිබ්බා. එක තැනක පාර හරහට ගහක් වැටිලා තිබ්බා. අර බෑවුමේ ගහ උඩට නැගලා ආයේ බහින්නත් වුනා. හොද වෙලාවට ගහ සෑහෙන්න ලොකු එකක්. බැරිවෙලා හරි කව්රු හරි ගහ උඩ ඉන්න වෙලාවක ඒක පෙරලුනා නම් හිටපු එකාව ආප්ප හැන්දෙන් තමයි ගලවන්න වෙන්නේ. වාසනාවට අපේ කාටවත් එහෙම අනතුරක් සිද්ධ වුනේ නෑ. ඔය විදිහට සෑහෙන වෙලාවක් කට්ටිය හෙමින් සැරේ පහලට බැස්සා. අනතුර වැඩි වුනත් මේ බැහිල්ල බර්ටියාට අමාරු වුනේ නෑ. නගින කොට වගේ හති දැමීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ.

ඔහොම පැයක් දෙකක් කන්ද බැස්සට පස්සේ ගමට එන පාරට එන්න අපිට පුළුවන් වුනා. දැන් නම් පාන් කියාගන්නවත් බෑ. මෙහෙම බැහැලා ඉවර වුනාට අපේ ගමන නම් ඉවර වෙලා තිබ්බේ නෑ. මෙතන ඉදගෙන තව සෑහෙන දුරක් යන්න තියෙනවා මනයලගේ ගෙදරට. ඒ වේලාවේ නම් තව අඩියක්වත් ඇවිදගන්න බැරි සයිස් එකේ තමයි අපි වැඩිහරියක් හිටියේ. අත පය රිදෙනවා. බර්ටියගේ කකුල් දෙකත් නොසෑහෙන්න රිදෙනවා. කන්ද නගිනකොට කෙණ්ඩ පෙරළුනත් එක්කනේ. තාමත් බැන්ඩේජ් එක දාගෙන තමයි බර්ටියා හිටියේ.

මෙතන ඉදගෙනත් මනයලගේ ගෙදරට තව සෑහෙන දුරක් යන්න ඕන. දැන්නම් හොදටම බඩගිනියි. ප්ලෙන්ටියක් බොන්න තිබ්බා නම් මරු. ඒත් මනයගේ ගෙදරට යන්න තියෙන දුර මතක් වෙනකොට ඇඟ දනවා. ඒ වෙලාවේ තමයි බර්ටියා දැනගත්තේ දවල්ට කන්න අපි යන්නේ මනයලාගේ ගෙදරට නෙමෙයි කියලා. බර්ටියාලා දවල්ට කන්න ගියේ සුබේලගේ ගෙදරට. බර්ටියා සුබේලගේ ගෙදරට ගිිහිල්ලා ඉස්සෙල්ලාම කලේ වතුර කළයක් විතර බීපු එක. ඊට පස්සේ කුරුම්බා ගෙඩියක් බීලා එහෙම තමයි බර්ටියා ඇතුළු පිරිස මූණ කට හෝදගන්න ගියේ. ඊට පස්සේ මිදුලේ පුටු තියාගෙන වාඩි වෙලා කෑම ලෑස්ති වෙනකම් කතා කර කර හිටපු එක. අම්මො කකුල් දෙකත් උඩ තියන් ඉන්න කොට දැනුන සනීපේ. ඔය අස්සේ ජයතිලකත් ආවා සුබේලගේ ගෙදරට. ටිකකින් කෑම බෙදලා අරන් ආවා. බර්ටියාට හොදට මතකයි වැව් මාළු තිබ්බා කියලා කෑම එකට මොකද බර්ටියා එදා තමයි ඉස්සෙල්ලාම වැව් මාළු කෑවේ. තම පිපිඤ්ඤා සම්බෝලෙකුයි පපඩමුයි පරිප්පුයි තිබ්බා. දවස් දෙකකට විතර පස්සේ තමයි මෙහෙම පිළිවෙලකට කෑමක් කන්නේ. බර්ටියයි මලිතයයි කෑවා හුස්ම ගන්න බැරිවෙනකම්ම. වැව් මාළු එක නම් මාර රසයි. ගෑවිච්ච තැන කන්න පුළුවන්. බර්ටියා නම් හිතන්නේ බර්ටියා වැව් මාළු එකට සියළු යුතුකම් ඉෂ්ඨ කලා කියලා.

දවල්ට කෑම කාලා පුටුව උඩට වෙලා ඉන්න ගමන් මලිතයා නිකමට වගේ ඇහුවා T-56 නැද්ද කියලා. බඩු හෑව්. බර්ටියාගේ කට කණ ගාවටම ගියා ඒක දැනගත්ත ගමන්. අපි ජයත් එක්ක ආයුදෙත් අරගෙන සුබේලගේ වත්තේ එහා කොනට (කන්ද පැත්තට වෙන්න) ගියා. ජයා T-56 ගලවලා අපිට විස්තර කරලා දුන්නා ඒක ගැන. ආපහු ඒක හයි කරලා අපි කීප දෙනෙකුට වෙඩිල්ලක් දෙකක් තියන්න අවස්තාවක් දුන්නා. ආයුදෙන් ඉලක්කේ අල්ලන විදිහ එහෙම ජයා අපිට විස්තර කලා. එහෙම කරලා ඈතින් තිබ්බ නුග ගහක උඩ කරුව අපේ ඉලක්කේ විදිහට සටහන් කළා. අවස්තා දෙක තුනකට පස්සේ බර්ටියාගේ අවස්තාවත් ආවා. බර්ටියා ගාණට තිතට නුග ගහේ උඩ කරුවට එක පාරින්ම ෂොට් එක තිබ්බා. කාටද ආඩම්බර. බර්ටියාට නේ වෙන මොකාටද? ඊට පස්සේ පඳුරු අස්සේ හොයලා හොයලා යන්තම හිස් පතොෙරොම් කොපුව හොයා ගත්තා. බර්ටියාට මතක විදිහට මිතුන්ගේ යාළුවා තමයි ඒක හොයලා දුන්නේ.

ඔය වැඩේ ඉවර වුනාට පස්සේ කට්ටිය ආපහු මනතුංගගේ ගෙදර එන්න පිටත් වුනා. මනයගේ ගෙදර ඇවිල්ලා ටික වෙලවක් ඉදලා බර්ටියයි ගියා දඹේ ඇලට ජුන්ඩයි මලිතයි එක්ක නාගන්න. දඹේ ඇලෙත් වතුර හිදිලා ඒ දවස් වල. තරමක් උඩහට වෙන්න වතුර පිරිච්ච වලක් තියෙනවා. එතනට ගියහම ගිලිලා නාගන්න පුළුවන්. අම්මෝ වතුරේ ගිලිලා ඉන්නකොට දැනෙන සනීපේ, කියලා වැඩක් නෑ.

ඔය අස්සේ රන්ජත් ඇවිල්ලා හිටියා මනයගේ ගෙදරට. අපි ඉතින් පොඩි චැට් එකක් දාලා තීරණය කළා හවසට උහන පැත්තේ ගිහිල්ලා තෙල් බෝතලයකුත් අරගෙන නවගිරියාවේ වැවට ගිහිල්ලා පොඩි ජොලියක් දාන්න කියලා. මලිතගේ අක්කට ගොනාගොල්ලට යන්න ඕන වුනා කාවද බලන්න. රන්ජගේ ත්‍රීවීල් එකෙයි මනයගේ බයික් එකෙයි කට්ටිය ගොනාගොල්ලට ගියා. මලිතයි රන්ජයි අක්කලාව දාලා ආපහු එනවා කිව්වා. මනයලා ආපහු ආවහම අපි සෙට් එකත් අර ත්‍රීවීල් එකටම නැගලා නවගිරියාව යන්න පිටත් වුනා. ඒ ගිය ගමන අවසාන වෙන්නේ කව්රුවත් හිතුවේ නැති විදිහට. ජීවිතයේ වැඩියෙන්ම බය දැනිච්ච දවසක් තමයි එදා. මේ වැඩේ දී අන්තිමට හිතපුවත් නැති මරාලයක් කඩා වැටුණා. අම්මෝ ඒක ගැන මතක් වෙනකොටත බර්ටියාගේ ඇඟ හිරිවැටෙනවා‍. එ ගැන දැනගන්න ඕනේ නම් අම්පාර 2007 - P-5 කියවන්න.

අම්පාර 2007 - P-3

අළුත් අවුරුද්දට කළින් තුන්වෙනි කොටස දානවා කිව්වනේ. පොරොන්දුවක් දුන්නහම කඩන්න හොද නැති නිසා බර්ටියා නොනගතය වෙලාවේ " අම්පාර 2007 - P-3" බ්ලොග් සටහන ලියන්න ගත්තා.

මේ දාලා තියෙන ෆොටෝ එකේ තියෙන තැන තියෙන්නේ නාමල් ඔයට යන අතර මඟ මහ කැලෑව තුලේ. මේක විශේෂ තැනක් වෙන්නේ එක්තරා හේතුවක් නිසා. මෙතන එක සීමාවක තියෙන ගල් ඔක්කොම එකට ඇලිලා තියෙන්නේ. හරියට කජු කෑල්ලක තියෙන රට කජු වගේ. එතන තියෙන තිරුවානා, කළුගල් වගේ දේවල් එකට ඇලවිලා එක ලොකු ගල් කීපයක් වෙලා (පහලින් දාලා තියෙන ෆොටෝ එක බලන්න). මමත් මලිතයාගෙන් අහලා බැලුවා මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. මලිතයා විස්තර කරපු විදිහට බොහොම කාලයකට ඉස්සරවෙලා (සමහර විට වසර මිලියන ගාණක් වෙන්නත් පුළුවන්) මෙතන ගිනි කන්දක් (කුඩා පරිමාණයේ) තිබිලා තියෙනවා, එහෙමත් නැත්නම් පෘතුවි කුහරය දක්වා දිවෙන පැල්මක්. අන්න ඒ ගිනි කන්දෙන් හරි පැල්මෙන් හරි ගලා ආපු ලෝදියක් එක්ක ඒ අවට පරිසරයේ තිබ්බ ලොකු කුඩා ගල් එකට කලවම් වෙලා කාලයකදි නිමිලා ගිහින් තියෙනවා. ඒවායින් ඉතුරු වෙච්ච පාෂාණ කොටස් තමයි මේ දකින්න ලැබෙන්නේ. අපි කුඩා හෝ පාෂාණ කොටසක් ගලවගන්න උත්සාහයක් දැම්මා Dr. රොහාන්ට ඒක පෙන්නන්න කියලා හිතාගෙන. එතකොට හරියටම විස්තරය දැනගන්න පුළුවන්නේ. ඒත් වැඩේ හරි ගියේ නෑ. අපිට වැඩේ කරගන්න සුදුසු ආයුධයක් තිබ්බේ නෑ.

මේ වෙනකොට වෙලාව හවස තුනට විතර ඇති. දැන්නම් හොදටම බඩගිනියි, මහන්සියි. ඒත් තාම ගමනේ ඉවරයක් නෑ. පොඩි විවේකයක් අරන් ඉස්සරහට යනකොට ජයතිලකලව හම්බවුනා. ජයාලව දැක්කහම අපිට මාර සැනසීමක් දැනුනේ. අපි පරක්කු හන්දා මහතුන් අයියයි ජයතිලකයි අපිව හොයන්න ඇවිල්ලා. වැඩියෙන්ම මහතුන් අයිය තමා හොයන්න යමු කියලා තියෙන්නේ. ජයතිලකලා තලගොයෙක් දඩයම් කරගෙන. ඒකත් ජයසිරි මංගලම්. කොහාම හරි තවත් විනාඩි 45ක විතර ගමනකින් පස්සේ අපි කට්ටිය කැළැව කෙළවර කරලා නාමල් ඔය වැව් පිටියට පය තිබ්බා. අම්මෝ පැය ගාණක අතිශයින්ම දුෂ්කර ගමනක අවසානය‍. පායන කාලේ හින්දා වැවේ වතුර මට්ටම හොදටම අඩුවෙලා. ඇත්තම කිව්වොත් අපි වැවේ තමයි ඇවිදගෙන ගියේ. අපිට තව ටික දුරයි අපි කදවුරු ගහන්න තීරණය කරලා තිබ්බ තැනට යන්න තිබ්බේ. කරුමේ කොච්චර අපේ පස්සෙන් එළවනද මන්දා? තනි අලියා වැච් පිටියේ එහා කෙළවරේ. දැන් ඉතින් මේකා යනකම් ඉන්න වෙනවා. අපි සද්ද නැතුව හිටියා හිටියා හරිගියේ නෑ. මළ කෙළියයි කෙළ බාල්දියයි කියන්න මේකා වැව් පිටියේ එහා පැත්තේ තියෙන කැලෑවට වැදුනා. හරි නම් වෙන්න ඕන අලියා අපිව පහුකරගෙන ගිහිල්ලා ආපහු අපි ආව කන්ද පැත්තේ කැලෑවට වදින එක. ඒකත් අපේ වෙලාව.

මොනා කරන්න අපිට ආපහු යන්නත් බෑනේ. අපි කඳවුර ගහන තැන වෙනස් කරලා වැවේ තව ටිකක් ඉස්සරහට ගියා. ජයතිලකත් කිව්වා රෑට තුවක්කුවත් තියන් ඇහැරගෙන ඉන්නම් මුකුත් අවුලක් වෙන එකක් නෑ කියලා. අපිත් ඉතින් ජයාව විශ්වාශ කරලා හිටියා. (මේ අපි අලියා යනකම් බලන් ඉන්නකොට ගත්ත ඡායා රූපයක්). දවල්ට උයන්නත් පරක්කු වැඩියි. ඒත් හොදටම බඩගිනියි. ඉතින් අපි තීරණය කලා අපි ගෙනාව මැගී නුඩ්ල්ස් ටික ලෑස්ති කරලා ගන්න.

මොරින් අක්කලා ඒක හදනකම් අපි ගියා දර ටිකක් එකතු කරගෙන් එන්න. රෑට ගිනි මැල දෙකක් වත් ගහන්න වෙනවා. මොකද කොයි පැත්තකින් වත් ආවරණයක් නැති නිසා. අනික අපි කූඩාරම් මොකුත්ම ගෙනල්ලා නෑ.

සෑහෙන්න මහන්සි වෙලා අපි සෑහෙන දර තොගයක් එකතු කරගත්තා. ලාෙකු සයිස් කොට තුන හතරකුත් එකතු කරගත්තා. කොට නැත්තම් මැලේ නිවිලා යනවා ඉක්මනටම වැව පැත්තෙන් එන හුළං පාරට. අපි දර හොයගෙන එනකොට නුඩ්ල්ස් ටික ලෑස්ති වෙලා ඉවරයි.බර්ටියයි මලිතයයි ජුන්ඩයි අපේ පංගුව ගලක් උඩ බත් ඔතන කොළයක් එළලා ඒකට බෙදා ගත්තා. අපිට කොහොමත් එහෙම කාලා පුරුදුයි ඉස්කෝලේ යන කාලේ ඉදලම. මලිතයා කටක් කාලා ලුණු ඩිංගක් මදියි කියලා අක්කගේ දුවට කිව්වා ලුණු පොඩ්ඩක් අරගෙන එන්න. ඒක ඕනේ නම් විනාඩියක් යන වැඩක්. අපි කොච්චර ඉක්මනට කෑවද කිව්වොත් ලුණු ටික අරන් දුව එනකොට අපේ නුඩ්ල්ස් ටික ඉවරයි. සෙල්ලම් නෑ. ඔය වැඩේ ඉවර වුනාට පස්සේ කාන්තා පාර්ශවය (මොරින් අක්කා, නෞචලී, වජිරා, සුදූ -වජිරගේ නංගි) උයන්න ගත්තා. මොකද අඳුර වැටුනහම වැඩ කරගන්න අමාරුයි. මනයලා පොල් ගාන්න ලී කෑල්ලකින් හිරමනයක් හදලා හිතාගන්නවත් බෑ. ගාණට හිරමනේක වගේ ලී කෑල්ලේ කට්ට කපලා. ජයත් දුම් ගහලා තිබ්බ තලගොයාව සුද්ද කරලා උයන්න ලෑස්ති කලා.

නාමල් ඔයේ ලස්සන විස්තර කරන්න බර්ටියාට වචන නෑ. ඇත්තටම ඒක වචන වලින් කියන්න බෑ. ඇහැට දකින්නම ඕන. බර්ටියා කලින් කිව්වා වගේ ඒක කීප දෙනෙකුට විතරක් ලැබෙන අවස්තාවක්. බලන්නකෝ නාමල් ඔයේදී ගත්ත මේ ෆොටෝ එක. ඇත්තටම ලස්සනයි නේද? වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි. බර්ටියාටත් වැව දැක්කහම ඉන්න බෑ. පනින්නමයි හිතෙන්නේ. දවසම ඇවිදලා දාඩිය දාලා කැලේ රිංගලා ඇඟ පුරාම ජරාව.

බර්ටියා වැවට පනින්න ඉස්සරවෙලා බර්ටියා අහලා බැලුවා මේකේ කිඹුල්ලු ඉන්නවාද කියලා? මනයා ගත් කටටම කිව්වා ඉන්නවා කියලා. කෙළියා තාප්පෙට කියහන්කෝ. අනිත් පැත්තට මනයා ඉදන් කිව්වා බය නැතුව බැහැලා නාපන් කියලා. මේක හතර බීරි කතාවක්නේ. කිඹුල්ලුත් ඉන්නවලු බය නැතුව නාපන් ලු. බර්ටියා මනයට සුද්ද සිංහලෙන් අමතන්න හදනකොට මනය විස්තරේ කිව්වා බර්ටියත් එක්ක. වැවේ කිඹුල්ලු හිටියට මිනිස්සුන්ට කිඹුල්ලු බයලු. මේකයි හේතුව නාමල් ඔය මිරිදිය ධීවර කර්මාන්තය කරන වැවක්. මිනිස්සු ඇවිල්ලා දැල් ගහලා මාළු අල්ලනවා. කිඹුල්ලු දැල් වල පැටලෙනවලු සැරින් සැරේ. එහෙම පැටලිච්ච වෙලාවට මිනිස්සු කරන්නේ පැටලිච්ච කිඹුලා පිටින්ම දැළ බදිනවලු ඔරු කදේ. බැදලා හබල අරන් සබ්බුව දෙනවලු කිඹුලට තරු විසික් වෙනකම්. ඔය හේතුව නිසා කිඹුල්ලු බයයි මිනිස්සුන්ගේ සද්දෙට. කතාව ඇත්ත කියලා බර්ටියා හිතන්නෙත්. මොකද බර්ටියා නාමල් ඔයේ බැහැලා නාලා පීනලා තියෙනවා ඇති තරම් උදේ, දවල්, රූ දොළහට එකට, පාන්දර කියලා වෙනසක් නැතුව‍. කවදාවත් අපිට කිඹුලෙක්ගෙන් කරදරයක් වෙලා නෑ. මොකද බර්ටියාගේ ඇඟේ මස් නැති එකක් යෑ කිඹුලට කන්න. කොහොම හරි ඔය කතාවෙන් පස්සේ කට්ටියම නාමල් ඔයට බැහැලා නා ගත්තා. අපිට බොන්න, උයන්න වතුරත් නාමල් ඔයෙන්ම තමයි ගත්තේ. මේ දක්වාම අපිට බඩේ කැක්කුමක තරම් දෙයක්වත් හැදිලා නෑ කැලේ වතුර පාවිච්චි කලා කියලා. නාමල් ඔයේ වතුරත් එහෙමම තමයි.

ඔය අවු අස්සේ අපි දැක්කා තඩි හාවෙක් අපි ඉන්න තැන කිට්ටුවෙන් තිබ්බ පඳුරු අස්සේ සෙල්ලම් දානවා. අපි වහාම මේ ගැන මහතුන් අයියව දැනුවත් කලා. මහතුන් අයියා කිව්වා දැන් බෑ අපි රෑ වෙලා බලමු කියලා. අපි නාලා කරලා 7.00 - 7.30 වෙනකොට කෑවා. තලගොයි මසුස් පරිප්පුයි බතුයි. තලගොයාගෙයි කුකුළගෙයි වෙනසක් කියන්න බෑ. ඊට පස්සේ වාත තෙල් සාත්තුව. කොහොම හරි අපි ගෙනාපු වාත තෙල් බෝතල් වලින් එකක් බිදිලා තිබ්බා. එකක් ඉවර වුනා කළින් දවසේ රූ ඇඟේ පතේ අමාරුවට පාවිච්චි කරලා. ඉතුරු එක අපි අවසාන කළා එදා රෑ කළින් වගේම. ඔය වැඩේ ඉවර වෙනකොට 10.00 විතර ඇති. ඊට පස්සේ අපි ටොච් කෑල්ලකුත් අරන් හාවව හොයන්න ගියා. ඉන්නවා ඉන්නවා හාවා කොහෙවත් ගිහිල්ලා නෑ. මහතුන් අයියා වන් ෂාෙට්ම වැඩේ දුන්නා. ඒ වෙලාවෙම හාවව සුද්ද කරලා ඉව්වා. තව විනාඩි දහයක් යනකොට හාවෙක් හිටියද කියලත් නෑ.

ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපි නිදියන්න තීරණය කළා. ගිනි මැලේට දර දාලා මැලේටම කිට්ටු වෙලා අපි නිදා ගත්තා. බර්ටිලා නිදාගන්න කොට බිමට එලන්න දෙයක් ගෙනිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් බර්ටියයි ජුන්ඩයි මලිතයි තුන්දෙනා තණකොළ ගොඩේම නිදාගන්න තීරණය කළා.

අවුලකට වුනේ වැව් පිටියේ වැලි මැක්කෝ හිටපු එකයි. මැක්කෝ සෙට් එක සැරින් සැරේ අපිට ෂොට් එක දෙන්න ගත්තා. අපිට තිබ්බ මහන්සියට නින්ද ගිය නිසා ඒ වෙලාවේ ඒක දැනුනේ නැතිවුනාට පහුවදා කහලා කහලා බිබිලි දාලා ආවා කට්ටයගෙම ඇඟ පුරාම. ඒ විතරක් නම් මදෑ උන් ඇලිලත් ඉන්නවා හමට. පාන්දරට වැව් පිටිය හීතලයි කළින් දවසේ හිටපු ගල් තලාවටත් වඩා. කිසිම ආවරණයක් නැතුව වැව් පිටියේ නිදියන්න ඇත්තටම අමාරුයි. පාන්දර දෙකට විතර බර්ටියා ඇහැරලා බලනකොට ගිනි මැළේ නිමිලා ගිහිල්ලා. ඒ මදිවට මුරට ඉන්නවා කියපු ජයත් හොදටම නිදි. තනි අලියා ආවා නම් එහෙම අපිට දුවන්න පාරවලුත් නෑ. එහෙම නැත්තම් කට්ටියට ස්ටිකර් ගැහුවා වගේ වැව් පිටියේ ඇළිලා ඉන්න තිබ්බා. බර්ටියා වට පිට බලනකොට ජුන්ඩත් ඇහැරිලා ඉන්නවා දැක්කා. පස්සේ අපි දෙන්නා ජයාව හොයගෙන ගිහින් මිනිහට ඇහැරෙව්වා. අලියා ආවොත් එහෙම අපි දෙන්නා අතින් වෙඩි තියන්න යෑ. ඊට පස්සේ ගිනි මැළෙත් අවුලොලා අපි ආයෙත් පොඩ්ඩක් නිදා ගත්තා.

ඉතුරු විස්තර අම්පාර 2007 - P-4 කොටසින් කියවමු. එහෙනම් සුභ සිංහල දෙමළ අළුත් අවුරුද්දක් වේවා කියලා බර්ටියා යනවා.

අම්පාර 2007 - P-2

අම්පාර 2007 - P-2 එක්ක බර්ටියා ඉක්මනටම ආවා. සමහරු බර්ටියට මරණීය තර්ජන එල්ල කරනවා දෙවෙනි කොටස ඉක්මනට ඕන කියලා. ඒක නිසා බර්ටියා දෙවෙනි කොටස ඉක්මනටම ලිව්වා හොදේ. අනික කල්ගියහම කතාවේ රසෙත් නැතිව යනවා. පළමු කොටස බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක ඉස්සෙල්ලාම කියවලා ඉන්න මොකද කතාව පටන් ගන්නේ අම්පාර 2007 - P-1 කොටසින්. හරි එහෙම නම් කතාවට බහිමු.

මේ තියෙන්නේ කන්ද උඩ ඉදන් දැක්ක අතිශයින් මනස්කාන්ත දර්ශනයක් (දැන් වචන වලින් කියනවා නම් සුපිරිම දර්ශනයක්). අම්පාරට හිරු උදාව. මේ වගේ ලස්සන දර්ශනයක් බලන්න ලැබෙන්නේ පින් කරලා තියෙන අයට විතරයි කියන එකයි බර්ටියාගේ වගේම මලිතයගෙත් හැඟීම. තවත් ලස්සන දර්ශන තියෙනවා. ඒවා ඉස්සරහට දාන්නම් හොදද? ඔක්කොම එක පාර දාන්න බෑ නේ.

ඇත්තටම දශමෙන් දශමේ ඉරේ වෙනස් වීම දැකීමේ හැකියාව බර්ටියාට මෙතනදී ලැබුණා. ඊට පස්සේ මලිතගේ ඉල්ලීම උඩ ජයතිලක (ජයා) එයා ගේ තනි උණ්ඩේ තුවක්කුව කෑලි වලට ගලවලා පෙන්නුවා. බර්ටියා කොහොමත් තුවක්කු වලට ආසා නිසා මේක බොහොම උවමනාවෙන් බලාගෙන ඉන්න බර්ටියා අමතක කළේ නෑ.

අපි හිටියේ කන්ද උඩ නිසා වෙඩි තියලා අත්හදා බැලිීම් කරන්න ගියේ නෑ. ටිකකින් ජයායි මහතුන් අයියයි දඩයෙම් යන්න පිටත් වුනා අපිට හෙමින් සැරේ නාමල් ඔයට එන්න කියලා. කට්ටිය උයනකම් බර්ටියයි මලිතයයි ජුන්ඩයි ගියා ගලේ පහල කැළෑව පැත්තට විවෘත වැසිකිලියක් හොයාගෙන. වතුර පාරක් හොයාගෙන ඒ වැඩෙත් සිද්ධ කරගෙන ඒ ළඟම තිබ්බ ගල් පොකුණ ගාවට ගියා නා ගන්න කියලා.. ඒ ගල් පොකුණ අඩි 40ක් විතර ගැඹුරුයි කියලා මලිතයා කිව්වා.

ඒ වගේම කිසිම දවසක් වතුර හිදෙන්නෙත් නෑ කියලා මලිතයා කිව්වා. සාමාන්‍යයෙන් මලිතලා කරන්නේ ලිදලා බැහැලා හරස් අතර ලී පොල්ලක් දෙකක් රදවනවා පොකුණේ අඩි 5ක් විතර පහලින් තියෙන කට්ටෙක. එතකොට කරදරයක් නැතුව ඒ ලී පොළු වලින් හිටගෙන නාන්න පුළුවන්. ඒත් මේ පාර ඒ පොළු තිබ්බේ නෑ‍. ඉතින් බර්ටියටයි මලිතයටයි සිද්ධවුනා කෙළින්ම පොකුණට බැහැලා නාගන්න. අම්මෝ දැන් නම් ඒක මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා‍. ජුන්ඩා නම් නෑවද නැද්ද කියලා මතක නෑ (ජුන්ඩා ඉතින් කොහොමත් නාන කරන මනුස්සයෙක් නෙමෙයිනේ). මේ පහලින් දාලා තියෙන්නේ ඒ ගල් පොකුණේ පින්තූරයක්.

ඔය වැඩ ඉවර කරගෙන උදේට කාලා බීලා ඉතුරු වෙලා තිබ්බ බත් ටිකත් මුට්ටියේම තියාගෙන ඒක පෝර උරයක දාගෙන අපි කට්ටිය නාමල් ඔයට යන ගමන පටන් ගත්තා. මේ ගමන යනකොට මූලිකත්වය ගත්තේ මනයා නෙමෙයි වෙන ගමේ පොරක්. අපිටත් ඕක ගාණක් වුනේ නෑ. ඇයි ඉතින් ගමේ ඒකානේ. කොහොම හරි අපි දැන් ගල් උඩින් පැන ගෙන බොහොම දුෂ්කර ගමනක් නාමල් ඔය දක්වා යන්න පටන් ගත්තා. ඇත්තටම මේ යාම බොහොම අමාරු වැඩක් වුනා. සමහර තැන් වලදී පාර හොයාගන්නත් අමාරු වුනා. රතු ගල, නිල් ගල වගේ නම් වගයක් කියවුනා කියලා නම් අදටත් බර්ටියාට මතකයි. කොහොම හරි අපි ගමන් කරලා තියෙන්නේ ගල් ඔය කඳු වැටිය දිගේ. කොහොම හරි ඔහොම ගිහිල්ලා අපි කන්දක් මුදුනට ආවා. මේ වෙන කොට බර්ටියාට පාන් කියාගන්නත් බැරි සයිස්. හොදටම මහන්සියි. ඇයි යකෝ පැය ගාණක් තිස්සේ ඇවිදිනවානේ දැන්. හැබැයි කන්ද මුදුනේ ඉදලා බලන කොට පේන දර්ශනේ නම් මරු. එතනට පේන ලස්සන දර්ශනෙත් බලාගෙන අපි ටිකක් වෙලා මහන්සි ඇරියා.

දැන් ඉතින් නැග්ග හරිය ආපහු බහින්නත් එපායැ කියලා ආපහු කටු පදුරු, ගල් මුල්, දෙබොක්කාවල් අස්සෙන් අපි පහලට බැස්සා. දැන් වෙලාව 1 ත් පහුවෙලා. ඒත් අපේ ගයිඩ් කාරයට පාර හොයාගන්න බැරි වෙලා. අපි එහාට යනවයි මෙහාට යනවයි. ගිහිල්ලා ගිහිල්ලා මාර අමාරුයි. බඩත්ගිනියි. ගෙනාපු වතුරත් ඉවර වෙලා. මිනිහා නම් කියනවා පාර හොයාගන්න බැරි මං මුලා වැල් පෑගිලා කියලා. මනය ඉදන් කියලා මෙතනින් පහලට බැස්සා නම් හරි කියලා. බර්ටියා කට ඇරන් හති දදා බලන් ඉන්නවා. මොකද ඒකා පාර දන්නේ නෑ නේ. දුක තමයි. අන්තිමයට අපි තීරණය කළා වතුර ටිකක් හොයාගෙන තේ ටිකක් හදාගෙන බොන්න. මොකද මේ වෙනකොට කට්ටියටම හොදටම මහන්සියි. විජලනය වෙන්නත් ඇවිල්ලා. වතුරත් නෑ. ඒ මදිවට රස්නෙත් එක්ක. වතුර හොයාගන්න ඇවිදන් යනකොට අපිට ගස් කපන මිනිස්සු ගහපු වාඩියක තිබිලා අහක දාපු ප්ලාස්ටික් කෑන් එකක් හම්බවුනා. එතන ඉදලා වැඩිදුරක් යන්න වුනේ නෑ දෙයියනේ කියලා අපිට වතුර වලක් සෙට්වුනා. ඒකේ තිබ්බ වතුර අපිට අමෘතය වගේ වුනා ඒ වෙලවේ. වතුර මෙච්චර රසවත් වේවි කියලා කවුද හිතන්නේ?. මනයා නම් අර දාගෙන ආපු බත් ටිකක් කෑවා කිසිම මාළුවක් පින්නක් නැතුව. බර්ටියාට නම් ඒ හපන්කම කරන්න බැරිවුනා. තේ ටික හදනකම් බර්ටියා ඇතුළු කීප දෙනෙක් එහෙම්මම බිම දිගාවෙලා නිදා ගත්තා. ගෙදරදී නිදා ගන්න කොට අපි කීයක් දේවල් බලනවාද? කැලේදී ඒවා මුකුත් නෑ. වැටුණා නිදාගත්තා.

තේ එක කට්ටියම අළුත් පණක් දුන්නා. ආයෙත් බඩු ටික එල්ල ගත්ත අපි කට්ටිය පල්ලම් බැස්සා. ඒ පාර නම් අපේ ගයිඩ් බුවාට හරි පාර අහුවෙලා තිබ්බා. අයෙත් ඉතින් ගමනේ යා තමයි. හැබැයි ඒ ගමන තරමක් ලේසි වුනා මොකද කඳු තිබ්බේ නෑ අපිට නගින්න. ගොඩක් දුරට තැනිතලා බිම්ක්. බර්ටියාට කොහොමටත් තැනිතලා බිමේ යන්න අමාරුවක් තිබ්බේ නෑ. මේ යන පාරේ සමහර තැන් විනාඩි කීපයකට කලින් වල් ඌරෝ හාරලා දාලා තිබ්බා. එක තැනකට අපි එන්න විනාඩි කීපයකට කළින් ගෝනනු දෙන්නෙක් ලැගලා ඉදලා තියෙනවා. එතන තනි මඩ වලක්. අපි කැලේ ඇතුලේ කතා කර කර ආපු සද්දේ නිසා අපිට සත්තු බලාගැනීමේ හැකියාව නම් ලැබුනේ නෑ. ඒත් සත්තු විනාඩි කීපයකට කළින් ඉදලා ගිය සලකුණු තිබ්බා. අපේ සද්දෙට කොහෙද සත්තු ඉන්නේ? මේ හේතුව නිසා සත්තු බැලීමේ වාසනාව නම් අපිට තිබ්බේ නෑ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී අපි නාමල් ඔයට බහින්න තියෙන අවසාන බැස්මට ආවා. ඇත්තටම එතනට බැස්සහම දිය පාරක් දිගේ තමයි ගමන් කරන්න තියෙන්නේ. පායන කාලේ නිසා දියපාර බොහොම තැන් වලින් හිදිලා ගිහිල්ලා තිබ්බා.

මේ දිය පාර දිගේ ගමන් කරන කොට එක විශේෂ ස්ථානයකට එන්න පුළුවන්. මම ඒ විශේෂ ස්ථානය ගැන අම්පාර 2007 - P-3 කොටසින් කියන්නම්.

කොහොම හරි මේ ගමන යනකොට බර්ටියාට අළුත් විස්තරයක් දැන ගන්න ලැබුණා අපේ අතරමංවීම ගැන. අපේ ගයිඩි කාරයා වුවමනාවෙන්ම තමයි අපිව අතරමන් වුනා වගේ එහෙ මෙහේ අරන් ගිහිල්ලා තියෙන්නේ. මිනිහා අපි කොළඹින් ආපු නිසා අපිට රැග් එකක් දෙන්න හිතාගෙන තමයි බොරුවට අපිට කැළේ පුරා ඇවිද්දවලා තියෙන්නේ. මෝඩ යකා. කොහාෙම වුනත් අපි ඒ සිදුවීම එච්චර ගණන් ගත්තේ නෑ. අනික ගණන් ගත්තා කියලා නිකරුණේ ගමේ මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න පුළුයන් යෑ. අපි නම් වැඩේ ඉවර වෙලා ආපහු එනවා. ඒත මනයා ගමේ ඉන්න එපායෑ. ඒත් බර්ටියාට තාමත් පුදුමයි මලිතයා අපේ ගයිඩ් එක්ක පැටලිච්ච නැති එක ගැන.

නාමල් ඔයට යන අතර මගදී ජුන්ඩාගේ කලිසම මොකක හරි පැටලිලා ඉරිලා ගියා කියලා මතකයි. වෙන කලිසමක් ගෙනල්ලා තිබ්බේ නැති නිසා තරමක අවුලක් වුනත් මලිතගේ අක්කගේ දුව මොලේ පාවිච්චි කරලා ඉදිකටු නූල් ගෙනල්ලා තිබ්බ නිසා අපි ඔය ගලක් උඩ වාඩිවෙලා ජුන්ඩගේ කලිසම අලුත් වැඩියා කරගත්තා. ජුන්ඩා ගාව විතරක් නෙමෙයි බර්ටියා ගාවවත් මලිතයා ගාවවත් වැඩිපුර ඇඳුමක් තිබ්බේ නෑ. කැලේ හිටපු දවස් ගාණම එකම ඇඳුම පිටින් තමයි අපි හිටියේ. ඒ තියා කැලේ හිටපු දවස් ගාණටම මූණ හේදුවෙත් නෑ. කැලේ ඉන්න කොට කැලේ විදිහට ඉන්න තමයි අපි තීරණය කරලා තිබ්බේ. අනික ඔය දත් බුරුසු අමතර ඇඳුම් එහෙම උස්සන් ආවහම බර වැඩිවෙනවානේ.

අනික කාන්තා පාර්ශවය නැත්තම් අපිට ඇඳුම් ඇදගෙන ඉන්න උවමනාවක් ඇතිවෙන්නෙත් නෑ ඉතින්. ඇත්තටම කැළේ හිටපු ඒ දවස් ටික කිසිම බරක් පතලක් නැතුව නිදහසේ ගතකළා කිව්වොත් ඒක තමයි හරි. බාහිර ලොකේ වෙන දේවල් ගැන හොයන්න අපිට උවමනාවක් තිබ්බේ නෑ. එදා දවසේ ඒ වටපිටාවේ වෙන දේවල් විතරයි අපිට වැදගත් වුනේ.

කතාව කියවන අය comments දැමීම අඩුයි කියලයි බර්ටියා හිතන්නේ. කියවන කට්ටිය හොදයි කියලා හරි බැනලා හරි comment එකක් දානවා නම් ඒක බර්ටියාට ලොකු හයියක් වෙනවා. අවුරුදු ගාණක් ගතවෙලා නිසා වෙච්ච දේවල් 100% මතක නැතක් 95% මතක තියෙනවා. ඒක නිසා කතාවේ රසවත් බව නම් අඩුවක් වෙන එකක් නෑ කියලා බර්ටියා හිතනවා. එහෙනම් ඉතින් බර්ටියා ගිහිල්ලා අම්පාර 2007 - P-3 එක්ක එන්නම්. අළුත් අවුරුද්දට කලින් එන්න පුළුවන් වේචි කියලා බර්ටියා හිතනවා.

අම්පාර 2007 - P-1

ඔන්න බර්ටියා ආපහු ආවා අලුත් අවුරුදු මාසේ අළුත් බ්ලොග් සටහනකුත් අරගෙනම. පහුගිය ටිකේම ප්‍රශ්න පත්තර එක්ක ඔට්ටු වෙලා බර්ටියාට එපා වෙලා හිටියේ. බ්ලොග් සටහනක් ලියන්න තරම් විවේකයක් තිබ්බේ නෑ හිතටත් ගතටත්. මේක ඇත්තටම දිග සටහනක් අඩුම ගානේ කොටස් තුනක් හාේ හතරක් ලියන්න වේවි කියලා තමයි බර්ටියා හිතාගෙන ඉන්නේ. පාසල් නිවාඩු කාලේ පටන් ගන්න නිසා බර්ටියාට කරදරයක් නැතුව බ්ලොග් සටහන් ටික ලියන්න පුළුවන් වේවි කියලා බර්ටියා හිතනවා. පහුගිය දවස් වල බර්ටියාගේ සිංහල ටයිප් කරන මෘදුකාංගය වැඩ නොකර සෑහෙන දුකක් වින්දා. ඒ් මදිවට දැන් සමහර සිංහල අකුරු Sinhala Typing Tools වලින් ලියන්නත් බෑ. ඒක හරි කරදරයක් අප්පා. හරි හරි දැන් ඉතින් අපේ කතාවට බහිමුකෝ. වැල් බයිලා ගැහුවා මදැ, නේද?

2007 සැප්තැම්බර් මාසෙදී බර්ටියා අම්පාරේ ගියේ දෙවෙනි පාරට. (මුස්ලිම් ඉස්කෝල මේ කාලෙදි වහලා නොම්බි අල්ලන කාලේ නිසා) මේ ගමනට බර්ටියා හිතුවට වඩා පිරිසක් සහභාගී වුනා. අපිත් එක්ක දෙමටගොඩ ඉස්කෝලේ ඉගන්නුව විවෘතයේ ජුන්ඩත් මලිතගේ අක්කා මොරිනුත් අක්කගේ ළමයි දෙන්නත් දුව නෞචලී පුතා මිතුන් එක්ක මිතුන්ගේ යාළුවෙකුත් මලිතයගේ නෑ කෙනෙක් වෙන ඩැනී අයියත් මේ ගමනට සහභාගී වුනා. ගමන ගොඩක් දවසක ඉදලා කතා කරගෙන් තිබ්බත් බර්ටියාට බොහොම අවුල් සහගත තත්වයක් ඇතිවුනා මුදල් සම්බන්ධව. දෙමටගොඩ ඉස්කෝලේ වැඩ කරන කාලේ බර්ටියා ඇතුළු කට්ටියට තිබ්බ ලොකුම සහ එකම ගැටළුව වෙලාවට වැටුප් නොලැබීම. ඒ් දවස් වල ඒ ආයතනයේ අයිතිකරුට මුදල් සම්බන්ධව ගැටළු බර තොගයක් තිබ්බා. ඒ නිසා අපේ වැටුප වෙලාවට ලැබුණේ නෑ ගොඩක් මාස වල. මේ දවස් වෙනකාෙට බර්ටියාට මාස දෙකකම සල්ලි හම්බවෙන්න තිබ්බා.

අම්පාරේ යන්න පෙරුම් පුරාගෙන හිටියට සල්ලි නෑ. අම්පාරේ යන්න තිබ්බ දවසට දවස් දෙකකට කළින් බර්ටියා කැම්පස් ඒකේ හිටියේ මලිතයත් එක්ක කතාවක් දාගෙන. මම විස්තරේ මලිතයට කිවුවා. මලිතය කිවුවා අපි ඉස්කෝලේ පැත්තේ ගිහින් බලමු කියලා. ඒ පාර 10.00 ට විතර මලිතයත් එක්ක බයික් එකේ ගියා දෙමටගොඩ ඉස්කෝෙල් පැත්තේ. වෙලාවට වගේ යනකොට විදුහල්පතිවරයා හිටියා. ලේසියට හා පුරුද්දට පිනා කියමුකෝ. ඉස්කෝලේ අයිතිකාරයත් පිනාම තමයි. අපි සෑහෙන වෙලාවක් කතා කරකර හිටියා. මිනිහා මිනිහගේ ගැටළුව කිව්වා. බර්ටියා බර්ටියගේ ගැටළුව කිව්වා. අන්තිමට පොරගේ අතේ ඉතුරු වෙලා තිබ්බා රු 5000 බර්ටියාට දුන්නා. කොච්චර වුනත් හාෙද මනුස්සයා. බර්ටියා මාර සන්තෝෂෙන් ඒකත් අරන් මලිතයා එක්ක කැම්පස් එකට ගිය. දැන් ගමන යන එක ගැන ගැටළුවක් නෑ‍. බර්ටියා ඉතින් බොහොම සතුටින් ගෙදර ගියා.

අපි රෑ දහයට විතර පිටකොටුවෙන් තිබ්බ අම්පාරේ බස් එකේ යන්න හිතාගෙන හිටියේ. උදේ බර්ටියට මලිතය කතා කරලා කිවුවා කෝකටත් කියල බර්ටියා එනකොට පිටකොටුවට ගිහිල්ලා දහයේ බස් එකේ ෂීට් දෙකක් බූක් කරලා එන්න කියලා. බර්ටියා ඉතින් පිටකොටුවට ගිහිල්ලා ටිකටුත් අරගෙන් හවස හතරට විතර මලිතලගේ බෝඩිමට ගියා. අපි දෙන්න හවස විජේරාම හන්දියට ගිහිල්ලා රතු කැකුලෙන් කට්ටියටම බතුත් අරගෙන ආවා. අටට විතර මලිතය අයියත් එක්ක දෙහිවලට ගිය අක්කලව අරගෙන එන්න. ඒ කට්ටියව ගෙනත් දාලා මලිතයා ආපහු ගිය ජුන්ඩව එක්ක ගෙන එන්න. ඒකව ගෙනාවට පස්සේ අපි කාලා බීලා ඇදුම් බෑග් ටිකත් උස්සගෙන විජේරාම හන්දියට ඇවිල්ලා පිටකොටුවට බස් එකක් අල්ලගෙන 9.45 විතර වෙනකොට පිටකොටුවට ආවා. බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. අපි ඔක්කොටම වැඩිවෙලා යන්න ෂීට් තිබ්බට බස් එකේ කොන්දා ගුලක් කෙලපු නිසා බර්ටියාටයි මලිතයාටයි මාරුවෙන් මාරුවට හිටගෙන යන්න වුනා. කොහොමහරි ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට උදේ 8.00 විතර අපි නාමල් ඔයෙන් බස් එකෙන් බැහැ ගත්තා. අම්මෝ මේ වෙනකොට හැමෝගෙම පස්චාත් බාගය රිදුම් දෙමින් ඇදුම් කමින් තමයි තිබ්බේ. ඉතින් අපිට මාරම සනීපයක් දෙනුනා.

මේ ෆොටෝ එක ගත්තේ නාමල් ඔයෙන් බැහැලා තරමක් දුරට කහටගස්යාය පැත්තට ඇවිල්ලා‍. මනතුංග එනකම් අපි වාඩිවෙලා හිටියා. ඒත් මිනිහා කොහාට හරි අතුරුදහන් වෙලා අත් ට්‍රැක්ටරයක් එක්ක. මනයා අපිව ගන්න ඇවිල්ලා ඒත් වෙච්ච දෙයක් නෑ. අපි ඒ පාර මළු ටිකත් පොදි ගහගෙන අැවිදන් යන්න තීරණය කළා මනයව කොහෙදි හරි හම්බවෙනකම්.

ඒත් මනයව හම්බවුනේ නෑ ඒකගේ ගෙවල් ළඟට එනකම්ම. උගේ ගෙදරටත් ගියාට පස්සේ තමයි ඒකා ආවේ. ඊට පස්සේ අත් ට්‍රක්ටරේ නැගලා ගියා ඉන්දිකලගේ ගෙදරට (ඉන්දික තමයි මනයගේ නෝනගේ නංගිව බැදලා ඉන්නේ). ඉන්දිකලගේ දිහායින් උදේටයි දවල්ටයි දෙකටම කාලා මනයලගේ ගෙදරට ඇවිල්ලා අපි පොඩි විවේකයක් ගන්න තීරණය කලා. මේ අතර ජයතිලක එහෙම ඒ පැත්තට ඇවිල්ලා හිටියා. ජයා හොද වෙඩික්කාරයෙක්. පොරත් අපිත් එක්ක කන්දේ යන්න ලෑස්ති වෙලා හිටියේ. ඉන්දිකයි මහතුන් අයියයි (මහතුන් අයියත් හොද වෙඩික්කාරයෙක්) තව ගමේ බර්ටියා නොදන්න කීප දෙනෙකුයි ලෑස්ති වෙලා හිටියා. කදු නගින්න කළින් අපිට ඕන කරන බඩු ගන්න මලිතයා මනයත් එක්ක උහනට ගියා. හාල්, පොල්, නූඩ්ල්ස්, පරිප්පු, සැමන්, පාන් පිටි, සිනී, තේ කොළ, මිරිස් කුඩු වගේම අපිට ඕනෙම කරන වාත තෙල් බෝතල් කීපයක් ඒ ලැයිස්තුවේ තිබ්බා. කොහොමත් පැය දෙකකින් විතර මලිතයා බඩු අරගෙන ආවා. ඒ අතර Ritz බ්‍රෑන්ඩ් වාත තෙල් බෝතල් තුනකුක් තිබ්බා බර්ටියාට මතක විදිහට.

බඩු ටිකත් පරෙස්සමින් බෑග් වලට අහුරලා 3.30 විතර අපි කන්ද නගින්න පටන් ගත්තා. තරමක් දුරට ගම දිගේ ඇවිදගෙන ගිහින් එතන ඉදලා කන්ද නගින්න තමයි තියෙන්නේ. බර්ටියාට මතකයි මනයා සද්ද නැතුව ඉන්න කියල කොළ අත්තක් කඩලා ගහක එල්ලුවා. ෆිල්ම් වල නාට්‍ය වල ඒ වගේ දේවල් දැකලා තිබ්බට ඇත්තට එහෙම දෙයක් දැක්කේ එදා තමයි. අපිත් ඒකම කරන්න කියලා මනයා කිව්වා. එතන ඉදන් නැග්මක් තමයි තිබ්බේ. බර්ටියත් හති දදා නැවති නැවති කන්ද නැග්ගා ඉතින්. අතර මඟ එක තැනක් තියෙනවා එතනින් උඩට නගින්න තියෙන්නේ මුලක් දිගේ. එතනට නැග්ගට පස්සේ ගල් අතරින් පෙරිලා එන දිය පාරක් තියෙනවා. වතුර අයිස් වගේ සීතලයි එතන. එතනින් වතුර බීලා චුට්ටක් වාඩිවෙලා ඉදලා ආපහු කන්ද නගින්න පටන් ගත්තා. වැඩිවෙලා විවේක නොගන්න හේතුව තමයි කරුවල වැටුනොත් කැලේ ඇතුලේ පාර හොයාගන්න බැරුව යන එක. ඔය විදිහට තව සෑහෙන වෙලාවක් දුක් විදලා බොහොම අමාරුවෙන් ඉතුරු ටිකත් නැගලා කරුවල වැටෙන්න ඔන්න මෙන්න කියලා අපි කන්ද මුදුනට නැගගත්තා‍.

කන්ද මුදුන තනි ගල් තලාවක්. ගලේ පොඩි පොකුණු දෙකක් තියෙනවා වතුර කොළ පාට වෙච්ච. ඒ වතුර තමයි අපේ පාවිච්චියට තියෙන්නේ. වතුරේ පාට හරි නෑ ගෙම්බෝ ඉන්නවා කියලා වතුර පාවිච්චි නොකර සිටීමේ හැකියාවක් අපිට තිබ්බේ නෑ. බර්ටියාට ඒක මුලින්ම පොඩ්ඩක් අවුල වගේ වුනාට පස්සේ ඒක මහ දෙයක් වුනේ නෑ. කන්ද උඩට නැග්ග බර්ටියා ගල උඩ පෙරළිලා සෑහෙන විවේකයක් ගත්තා. ඒ්ත් මනයට වජිරට (මනයගේ නෝනා - බර්ටියයි මලිතයයි සෝමා කියලත් කියනවා විහිළුවට) විවේක ගන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ. එයාලට කරන්න ගොඩක් වැඩ තිබ්බා. සෝමා තේ හදන්නයි රෑට උයන්නයි ලෑස්ති වුනා‍. මනයයි අනිත් කට්ටියයි දර හොයන්න කැළේට ගියා. දර ගොඩක් ඕන කරනවා ගිනි මැලයට. මොකද පාන්දර වෙනකොට කන්ද උඩ පට්ට හීතලයිලු. ඒක බර්ටියාට අත්දැකීමෙන්ම විදගන්න ලැබුණා පැයි කීපයකට පස්සේ. රෑට උයන්නත් දර ඕනේ. බර්ටියත් රෙස්ට් එකක් අරන් ජුන්ඩත් එක්ක වටේ පිටේ ඇවිදලා බැලුවා.

පට්ට ලස්සනයි කන්ද උඩ ඉදගෙන පල්ලෙහා බලනකොට. කහටගස්යාය ගමම පේනවා. ඈතින් අම්පාර ටවුන් එක පේනවා මාර ලස්සනට. හවස 6.30 වෙනකොට හතර වටින්ම කරුවල වෙලා ආවා. තේ බීලා ඉවර වෙලා ගෙනාව දර වලින් අපි ගිනි මැලයක් ගැහුවා. 7.30 විතර වෙනකොට සෝමා මොරින් අක්කත් එක්ක එකතු වෙලා උයලා ඉවර කළා. රෑ කෑමට පරිප්පුයි බතුයි සැමනුයි. මාර රහයි. ගෙදර දී නම් මෙහෙම කන්නෙත් අමාරුවෙන්. ප්ලාස්ටික් පිගානකට කෑම එක බෙදා ගෙන ගල උඩ වාඩි වෙලා අපි රෑ කෑම අවසන් කරලා වාත තෙල් ටිකක් පාවිච්චි කරන්න ලෑස්ති වුනා.

බර්ටියා කොච්චර වාත තෙල් පාවිච්චි කරලා තිබ්බත් කට්ටියක් වටේට ඉදගෙන තනි ඇළුමිනියම් කොප්පයක් එක්ක වාත තෙල් බෝතලය අතින් අතට යෑම අළුත් අත්දැකීමක් වුනා. වාත තෙල් වැඩේ ඉවර කරලා අපි නිදා ගන්න ලෑස්ති වුනහම මනයයි මලිතයයි කිව්වා උඩින් තිබ්බ ගල් තැල්ලේ නිදා ගන්න එපා කියලා. එක සැරයක් උන් ඒ ගල් තැල්ලේ නිදාගෙන ඉන්න කොට කාට ද අස්සයෙක් පිටේ ආපු මිනිහෙක් හෙල්ලයක් දික්කරලා එතන නිදා ගන්න එපා කියලා. කතාවේ හැටියට එතන නිදා ගත්තොත් සමහර විට පහුවදා උදේට කන්ද පාමුලින් නැගිටින්න තිබ්බා. කන්ද උඩ ඉදන් බලන කොට අම්පාර ටවුන් එක බොහොම ලස්සනට පේනවා. ඒක බොහොම සුන්දර දර්ශනයක්.

බර්ටියා තාමත් දුක් වෙනවා බර්ටියා ගාට කැමරාවක් නොතිබ්බ එක ගැන ඒ සුන්දර දර්ශන හැමදාටම තියාගන්න. කැමරා ගැන කතා කරනවා බර්ටියා ඒ දවස් වල පාවිච්චි කළෙත් Nokia 1100 ෆාේන් එකක්. තව කොහෙද ඉතින්? මෙතන උඩින් තියෙන ෆොටෝ එක මිතුන් ගත්ත එකක් කන්ද නගින කොට. මිතුනුත් පැපරාසියා වගේ ෆාේන් එක මානගෙන ෆොටෝ ගන්න එකමයි කළේ. මේ ෆොටෝ එකේ බර්ටියාට ඉස්සරහින් ඉන්නේ ජුන්ඩා හෙවත් දිමුතු. බර්ටියාට පිටිපස්සෙන් ඉන්නේ මහතුන් අයියා.

කොහොම හරි මලිතයාගේ සරමකුත් පෙරවගෙන බර්ටියා ගිනි මැලේ කිට්ටුවටම වෙලා නිදා ගත්තා. අම්මට සිරි වෙන්න පාන්දර දෙකට විතර පට්ට හිතලයි ඉන්න හිටින්න බෑ. බලන කොට ගිනි මැලේ නිමිලා ගිහිල්ලා දරත් ඉවර වෙලා. හීතලත් එක්ක පට්ට සුළඟකුත් එනවා අම්මෝ ඇඟ හිරි වැටිලා යනවා. මලිතයත් නැගිටලා බලලා ජුන්ඩවයි මනයවයි ඇහැරවගෙන ජයතිලකවත් අඩගහගෙන ටොච් කෑල්ලකුත් අරගෙන දර හොයන්න ගියා.

කැලේ ඇතුලෙදි ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නෑ. ජයතිලක පරිස්සමින් අඩිය තියන්නත් කිව්වා සර්පයෝ ඉන්නවා කියලා. මොනවා වුනත් අපිට වැඩි දුරක් යන්න වුනේ නෑ. උස්සන් එන්න පුළුවන් සයිස් එකේ හොද දර කොට වගයක් හම්බවුනා. කට්ට කරුවලේ ටොච් පාර දිගේ පාර හොයාගෙන ගල් උඩින් පැන පැන බොහොම අමාරුවෙන් අපි කට්ටිය දර කොට ටික ගිනි මැලය ගහපු තැනට අරගෙන ආවා. අඟුරු ඉතුරු වෙලා තිබ්බ නිසා අපිට ආපහු මැලේ අවුල ගන්න මහ වෙලාවක් ගියේ නෑ. ඔය වැඩේ ඉවර කරලා අපි කට්ටිය පැයක් දෙකක් විතර අපහු නිදාගත්තා. ඇත්තම කිව්වොත් බර්ටියාට නින්දක් නම් ගියේම නෑ. කොහොම හරි පාන්දර 4.00 විතර වජිරද කොහෙද ඇවිල්ලා වතුර මුට්ටියක් තියලා ගියා මැලේ උඩින් තේ ටිකක් හදන්න කියලා.

අපි තුන් හතර දෙනත් කෙලින් වෙලා පොඩි චැට් එකක් දා ගත්තා කෝපි හදනකම්. බර්ටියා එදා යන්න තියෙන තැන ගැන විස්තර ඇහුවා. තව කදු දෙකක් නැගලා කන්ද දිගේ ඇවිදගෙන ගිහිල්ලා ආපහු පහළට බහින්න ඕන කියලා මනයා කිව්වා. කොහොමත් එදා හවස තුන හතර වෙනකම් ඇවිදන්න තියෙනවා කියලා මනයා කිව්වේ. ඇවිදින එක නම් ඕන මඟුලක්. ඒත් කදු නගින්න ගියහමනේ අහවල් එක ඉරෙන්නේ බරත් උස්සගෙන. මොනවා කරන්නද? මෙච්චර දුර ආපු එකේ නොයා ඉන්න යෑ.

තේ බීලා ඉවර වුනා විතරයි වජිරලා ආපහු උයන්න ලෑස්ති වුනා. උදේට බත් උයන්න තමයි කට්ටිය තීරණය කළේ. මොකද ගමන පිටත් වුනාට පස්සේ උයන්න කන්න බොන්න වෙන්නේ නැති නිසා. ටිකෙන් ටික එළිය වැටීගෙන ආවා බොහොම සුන්දර දර්ශනක් මවමින්. කළින් දවසේ කරුවලට හෙවනැලි වගේ දැක්ක දේවල් දැන් තමයි පැහැදිළි වෙලා පෙන්නේ. බර්ටියා ඇදගෙන හිටපු සරම යාපනේ වැලක වනල තිබ්බ එකක් වගේ වෙලා. රෑ තිස්සේ ගිණි මැලෙන් විසිවේච්ච අඟුරු කෑලි වලට. තව පැය භාගෙකට විතර පස්සේ අපි තුන් හතර දෙනා අපි හිටපු තැනට පහළින් තියෙන කැලේ පැත්තට ගියා එන්ජිම පොඩ්ඩක් පාත් කරලා මූණ හෝදගෙන නාගෙන එහෙම එන්න. පල්ලෙහා තියෙනවා ගලේ හැදිච්ච ලිදක් වගේ එකක් සෑහෙන්න ගැඹුරු. කට්ටිය නම් කියන්නේ අඩි 40 කටත් වඩා ගැඹුරුයි කියලා. හැබැයි කවදාවත් වතුර හිදෙන්නේ නෑ. මෙතනින් එහාට විස්තර ටික බර්ටියා අම්පාර 2007 - P-2 කොටසෙන් ලියන්නම්. අදට බර්ටියා ගිහිල්ලා එන්නම්.