කසාදය-දික් - P-3

මෙතෙක් කතාව - සචින්ත විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. මල්ෂි විවෘතයට අළුතෙන් ආ ශිෂ්‍යාවක්‍. දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙනවා‍‍. සචින්තගේ යාළුවන්ගේ උදව්වෙන් මේ දෙන්නාගේ ආදර කතාව ඉදිරියට යනවා. මල්ෂිට තමන්ගේ ආදරය ගැන එයාගේ නැන්දත් එක්ක කියනවා. සචින්තට ගිහිල්ලා නැන්දව මුණ ගැහෙන්න වෙනවා. නැන්දව මුණ ගැහැලා වැඩි දවසක් ගත වෙන්න කළින් සචින්තගෙයි මල්ෂිගෙයි අාදර කතාවට බාධකයක් ගොඩ නැගෙනවා. ඒ මල්ෂිට ගෙදරින් ගෙනාපු විවාහ යෝජනාව. මල්ෂිගේ ගෙදර කට්ටිය මේක විවාහ යෝජනාවට කැමති බව දැනගත්ත සචින්තගේ යාළුවෝ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මේ දෙන්නව කාටත් නොදැනීම කසාද බන්දන්න තීරණය කරලා ඒ යෝජනාව එදාම ක්‍රියාත්මක කරනවා. අද කතාව එතැන් සිට . . . . .

එදා සෙනසුරාදා දවසක්. බර්ටියා අද කැම්පස් නොගිහින් දවල් වෙනකම් නිදියන්න තීරණය කරලා තිබ්බේ. ඒත් උදේ 8.00 පහුවෙලා ටික වෙලාවක් ගියා විතරයි බර්ටියාගේ කණ ගාවින් දුරකතනය නාද වෙන්න ගත්තා. නෑ නෑ වැරදීමක් නෙමෙයි. ඒ දවස් වල අද වගේ ජංගම දුරකතන ප්‍රචලිත නෑ. අනික රස්සාවක් නොකරන බර්ටියට මොන ජංගම දුරකතනද? බර්ටියා බොහොම කම්මැලිකමින් ඔළුව උස්ස ගත්තා. "අයියෝ . . . එලීෂට සිංහල තේරෙන්නේ නැද්ද මන්දා? මම කිව්වනේ දවල් වෙලා මිසක් කතා කරන්න එපා කියලා". බර්ටියා හිතින් බැණ බැණ රිසීවරය කනේ තියාගත්තා.

"ගුඩ් මො(ර්)නින් බර්ටි අයියේ, මං මේ මල්ෂි කතා කරන්නේ. ඔයා අද ගෙදර නේද?" මේ මොකද යකෝ මේ කියලා හිතින් හිතපු බර්ටියා "ඔව් නංගි මම ගෙදර ඉන්නේ අද" කියලා උත්තර දුන්නා. "මම තව පැයකින් විතර අපේ මාමත් එක්ක අයියලගේ ගෙදර එනවා" කියලා කියපු මල්ෂි ෆෝන් එක තිබ්බා. මොකක්ද යකෝ මේ උදේ පාන්දරම පාත්වෙච්ච අකරතැබ්බේ කියලා හිතින් හිත හිතා බර්ටියා ඇදෙන් නැගිට්ටා. ඒ පාර ආයෙමත් ෆෝන් එක කෑ ගහන්න ගත්තා. ඒ පාර නම් එලීෂා තමයි කතා කලේ. බර්ටියා එලීෂා එක්ක පොඩි මලකුත් කඩලා, මේ හදිස්සියේ මල්ෂි මෙහෙ එන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන කියලා හිත හිතා අම්මට කිව්වා යාළුවෙක් ගෙදර එනවයි කියලා. බර්ටියාගේ අම්මගේ තිබ්බ එක හොදක් තමයි යාළුවෙක් කිව්වහම ඒ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් ඒක ප්‍රශ්නයක් කරනොගත්ත එක.

පැයක් ගියේ නෑ මල්ෂි බර්ටියගේ ගෙදර ආවා මාමා එක්ක. ඇවිල්ලා බර්ටියට මාමව අදුන්නලා දුන්නා. මාමා තරමක් තට්ටේ තිබ්බ පොරක්. බර්ටියා කළින් මාමව දැකලත් තියෙනවා ගම්පහ ස්ටේෂන් එකේදී. ඒත් ඒ මල්ෂිගේ මාමා කියලා බර්ටියා දැනගෙන හිටියේ නෑ. බර්ටියත් ඉතින් දෙන්නවම බර්ටියගේ අම්මට අදුන්වලා දුන්නා. බර්ටියගේ අම්මයි මල්ෂිගේ මාමයි ඉස්සරහ වවලා තිබ්බ මල් ගැන කතා කරද්දි මල්ෂි හොරෙන් සැරේ බර්ටියාගෙන් කසාද සහතිකය ඉල්ලා ගත්තා. ඊට පස්සේ සචින්තට දෙන්න කියලා ලියුම් කෑල්ලකුත් දුන්නා. වැඩි වෙලා නොහිට දෙන්නම යන්න ගියා. බර්ටියව දැන් කරකවලා අත ඇරියා වගේ. මොකක්ද මේ වෙච්ච දේ කියලා හිතාගන්නත් බෑ. මේක කොහොම හරි සචින්තට කියන්න ඕන. බර්ටියට අමිලව මතක් වුනා. අමිල කියන්නේ කැම්පස් එකේ ජංගම දුරකතනයක් පාවිච්චි කරපු බර්ටියගේ යාළුවෙක්. බර්ටියා අමිලට කොල් කරලා කිව්වා "මචං තරහ නැතුව සචින්තට කියපන් මට දැම්මම කෝල් එකක් දෙන්න කියලා". විනාඩි 10 විතර ගියහම කැම්පස් එකේ Block 4 එකේ තිබ්බ කාසි දාලා කතා කරන ෆෝන් එකෙන් බර්ටියට කොල් එකක් ආවා. බර්ටියා විස්තරය කියාගෙන යනකොට ලයින් එක කට්වුනා. මේ වැඩේ හරියන්නේ නෑ කියලා හිතපු බර්ටියා එවෙලේම කැම්පස් එකට යන්න තීරණය කලා. ඒ වෙලාවෙම ආයෙමත් සචින්ත කෝල් කලා. "මචං පොඩ්ඩක් ඉදපන් මම දැන් ගෙදරින් එනවා. පැය දෙකක් යනකොට මම කැම්පස් එකේ" කිව්ව බර්ටියා ඉක්මනට ලෑස්තිවෙලා ගෙදරින් එළියට බැස්සා. කිව්වා වගේම පැය දෙකක් යනකොට බර්ටියා කැම්පස් එකට ගියා. ඒ යනකොට නිමන්ත, මනීෂා, හංසි, සචින්ත හතර දෙනාම බෙන්ච් එකේ. බර්ටියත් බෙන්ච් එකේ වාඩිවෙලා මනීෂගේ තේ එකත් බොන ගමන් සම්පූර්ණ සිද්ධිය විස්තර කරලා අර ලියුම් කෑල්ල සචින්ත අතට දුන්නා.

ලියුම් කෑල්ලේ වැඩි දෙයක් තිබ්බේ නෑ. මල්ෂි බැන්ද විත්තිය නැන්දා දැනගත්තා කියලා ලියුමේ තිබ්බා. ඒ මදිවට සදුදා උදේට සචින්තට වික්ටෝරියා පා(ර්)ක් එක ගාවට ඇවිල්ලා නැන්දව මුණ ගැහෙන්න කියලත් ඒකේ තිබ්බා. කට්ටියම අන්දුන් කුන්දුන් වෙලා දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මල්ෂි නැන්දත් එක්ක කිව්වේ නැත්තම් එයාලා බැන්දා කියලා කොහොමටවත් දැනගන්න විදිහක් නෑ කියලා බර්ටියා කිව්වේ. මේක නිසා බර්ටියා සෑහෙන කෙන්තියකින් හිටියේ මල්ෂි එක්ක. කොහොමටත් සදුදා උදේට 7.30 වෙනකොට මරදානේ දුම්රිය පොළ ගාවට එන්න කතා වුනා තුන්දෙනාම. නිමන්ත කිව්වා අපි කොටාටත් එන්න කියමු කියලා. කොට කියන්නේ සචින්තලගේ ඉස්කෝලේ හොද යාළුවෙක්. ඒකගේ නම අසිත.

උදේ 7.30 වෙනකොට නිමන්තයි බර්ටියයි මරදානේ ස්ටේෂන් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා. තාම සචින්තත් නෑ කොටත් නෑ. සචින්තයා ආවා 7.45 විතර වෙනකොට. කොටා කෙළින්ම වික්ටොරියා පා(ර්)ක් එකට එන්නම් කිව්වලු. තුන්දෙනා බොහොම අමාරුවෙන් සෙනඟ පිරිච්ච 154 බස් එකකට නැගලා ටවුන් හොල් එක ගාවින් අතපය නොකැඩි බැහැ ගත්තා. පා(ර්)ක් එකට යනකොට මල්ෂියි නැන්දයි ඇවිල්ලා හිටියා. ඒ තුන්දෙනාට ඕන දෙයක් කතා කරගන්න දීලා නිමන්තයි බර්ටියි ළඟ තිබ්බ බංකුවකින් වාඩිවුනා. විනාඩි 10 ක් විතර යනකොට කොටත් ආවා. නිමන්ත කොටාව බර්ටියට අදුන්වලා දුන්නා‍. අර තුන්දෙනාගේ කතාව පැයක් විතර ඇදුනා. කතාව ඉවර වෙලා සචින්ත බර්ටිලා හිටපු තැනට ආවා. මල්ෂි එයාගේ කසාදය ගැන නැන්දට කියලා. ගෑනුන්ට රහස් පරිස්සම් කරන්න බෑ කියන්නේ ඕකනේ. නැන්දා ඒක මාමා එක්ක කියලා. බර්ටියා කළින් කිව්වා වගේ නැන්දලගේ කිසිම කැමැත්තක් තිබිලා නෑ මල්ෂිගෙයි සචින්තගෙයි සම්බන්දෙට. බොරුවට උඩින් එහෙම පෙන්නලා විතරයි මල්ෂිගෙන් විස්තර දැනගන්න. මල්ෂි බැන්දා කියලා මාමා දැනගත්තට පස්සේ මාමා එයා අඳුරන නීතිඥයෙක්ට (lawyer) කෙනෙක්ට කතා කරලා. පොරගේ උපදෙස් එක්ක තමයි සෙනසුරාදා මල්ෂි බර්ටිගේ ගෙදර අැවිල්ලා තියෙන්නේ කසාද සහතිකය ඉල්ල ගන්න. මල්ෂිගේ අම්මලටත් නොදැනෙන්න දික්කසාද නඩුවක් දාන්න තමයි නැන්දලගේ කල්පනාව. මල්ෂිගේ අම්මලා මේක ගැන නොදන්නවා කියන එක නම් බර්ටියා කොහොමටවත් විශ්වාශ කලේ නෑ. මේක කට්ටියගෙම ප්ලෑන් එකක් කියලයි බර්ටියා කිව්වේ. කොහොම හරි දැන් සචින්ත අළුත්කඩේ උසාවියට යන්න ඕන අර lawyer බුවා හම්බවෙන්න. කොටාට නම් මේ ගමන එන්න පුළුවන් වුනේ නෑ. මොකද කොටාට එදා කට්කරන්න බැරි lecture එකක් තිබ්බ නිසා. බර්ටියි නිමන්තයි ඉතින් සුපුරුදු පරිදි සචින්තයත් එක්ක කට්ට කන්න තීරණය කරලා මල්ෂියි නැන්දයි එක්ක උසාවියට යන්න පිටත් වුනා.

උසාවියේ වැඩ කටයුතු ලේසි වුනේ නෑ. Lawyer ලොක්කව මුණ ගැහෙන්නත් සෑහෙන වෙලාවක් ගියා. ඒ තුන්දෙනා අවශ්‍ය කරන දේවල් කතා කරගන්න අතරතුර බර්ටියි නිමන්තයි එළියට වෙලා හිටගෙන හිටියා. බර්ටි බොහොම තද කෙන්තියකින් හිටියේ මල්ෂි එක්ක. ඊට පස්සේ කිසිම දවසක බර්ටියා මල්ෂිත් එක්ක කතා කලේ නෑ. ඇත්තටම බැලුවොත් ඒ කේන්තිය අසාධාරණ නෑ. මල්ෂිගේ කට පරිස්සම් කරන් හිටියා නම් මේ ප්‍රශ්නේ මේ තරම් දුර යන එක නවත්ත ගන්න තිබ්බා. Lawyer හම්බවෙලා දික්කසාද නඩුවට දිනයක් දාගත්තට පස්සේ මල්ෂිගේ නැන්දා කට්ටියව කඩේකට එක්කන් ගියා මොනාවා හරි කන්න. බර්ටියා කවදාවත් කන බොන වැඩ වලට පස්ස ගහන්නේ නැති එකා වුනාට එදා බර්ටියා මල්ෂිගේ නැන්දා අරන් දුන්න කෑම වලට අතක් වත් තිබ්බේ නෑ. ඊට දවස් කීපයකට පස්සේ මල්ෂිගේ මාමාට (තට්ටයාට) සචින්තව හම්බවෙන්න ඕන කියලා පණිවිඩයක් එවලා තිබ්බා. හැමදාම වගේ එදත් නිමන්තයි බර්ටියයි සචින්ත එක්ක කට්ට කන්න ගියා‍. මරදානේ හොටෙල් ඩී බඩජාරි එක ඉස්සරහා හිටගෙන තමයි සචින්තයි මාමයි කතා කලේ. සචින්ත කියපු විදිහට නම් මාමට ඕන වෙලා තිබ්බා සචින්ත අවුලක් නැතුව තමන්ගේ වැඩ කරනවද කියලා දැන ගන්න. බර්ටියටයි නිමන්තටයි පැත්තකට වෙලා කරන්න වැඩක් තිබ්බේ නැති හින්දා පාරෙන් එහා පැත්තේ බස් හොල්ට් එක කිට්ටුව හිටපු තරමක් ලස්සන කෙල්ලෙක්ට (අක්කා කෙනෙක් වගේ දැක්කේ) ලයින් එකක් දාන්න ගත්තා. වෙන කෙල්ලො වගේ නෙමෙයි මේ කෙල්ල ටක් ගාලා බර්ටියයි නිමන්තයි එක්ක හිනා වුනා. දෙන්නට හෙණ හැපි ඉතින් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ‍නේ ඉතින්‍. ඒත් තව පොඩි වෙලවක් යනකොට බර්ටියාට විතරක් නෙමෙයි නිමන්තටත් තේරුම් ගියා කෙල්ලගේ රස්සාව මොකක්ද කියලා. දෙන්නා ලයින් එක දැමිල්ල පැත්තකින් තියලා තට්ටයයි සචින්තයි ඉන්න පැත්තට හැරුණා. ඒ දෙන්නගෙත් කතාව ඉවරයි ඒ වෙනකොට. තුන්දෙනාම ආපහු කැම්පස් එකට ගිහිල්ලා කට්ටිය එක්ක විස්තරේ කිව්වා.

මේ සිදුවීමට මාසෙකට විතර පස්සේ සචින්තටයි බර්ටිටයි ආයෙමත් උසාවි යන්න වුනා. එදා බර්ටියා දැනගන්න ඕනකමින් හිටපු දෙයක් දැනගන්න ලැබුණා. ඒ මේ දික්කසාදය කෙරෙන්නේ මොන පදනමක් උඩද කියන එක. ලංකාවේ නීතියේ හැටියට දික්කසාදය ගන්න පුළුවන් හේතු තුනක් තියෙනවා‍;

     1. ද්වේශ සහගත ලෙස අතහැර යාම.
     2. විවාහයෙන් පසු ලිංගික බෙලහීනතාවය.
     3. අනාචාරයේ හැසිරීම.

බර්ටියාට තිබ්බ ප්‍රශ්නේ මේ කොයි කාරණය මතද දික්කසාදය ගන්නේ කියන එක. දෙවනි කාරණය නම් කොහොමටවත් වෙන්න විදිහක් නෑ. තුන්වෙනි කාරණයට අවශ්‍ය දේවල් කෘතිමව හදන්න පුළුවන් වුනත් තට්ටයා එහෙම පහත් වැඩක් කරලා සචින්තගේ ජීවිතය එක්ක සෙල්ලම් නොකරයි කියන විශ්වාසේ කොච්චර වුනත් බර්ටියගේ ඔළුවේ තිබ්බා. එහෙමනම් නොම්මර 1. ඒත් ඒක කොයි විදියහටද පාවිච්චි කරන්නේ කියලා එදා තට්ටයා පැහැදිලි කලා. සචින්ත මල්ෂිව බැන්දට කැන්දන් ගියේ නෑනේ. මේ සිද්දිය වෙලත් දැන් ටිකක් කල් ගිහිල්ලත් එක්කනේ. මෙන්න මේක තමයි ද්වේශ සහගත ලෙස අතහැර යාම කියන කාරණයට පදනම වුනේ. එදා දවසෙත් නඩුව කල් ගියා. සචින්තට lawyer කෙනෙක් හොයන්න අවශ්‍යතාවයක් වුනේ නෑ. කොච්චර වුනත් ඒ හැම දෙයක්ම තට්ටයා බලාගත්තා. මේ විදිහට තවත් නඩු වාර කීපයකට පස්සේ සචින්තට දික්කසාදය ලබාගන්න පුළුවන් වුනා. එදා සචින්තගේ යාළුවෝ කට්ටියම උසාවි ඇවිල්ලා හිටියා. හැමෝම සතුටු වුනා මේක මේ විදිහට ඉවර වෙච්ච එක ගැන. අැත්තටම බැලුවොත් මල්ෂි හරිම ස්ථිර නැති චරිතයක්‍. මේ දෙන්නා බැදලා ළමයෙක් එහෙම ඉන්නකොට ප්‍රශ්නයක් අැති වුනානම් හැමදේම නරක අතට හැරෙන්න තිබ්බා. අර කතාවකුත් තියෙනවානේ හැමදේම වෙන්නේ හොදටයි කියලා. ඔය සිද්ධියෙන් මාස කීපයකට පස්සේ මල්ෂි කසාද බැදලා ඕස්ට්‍රේලියාවට ගියා. මල්ෂි ඊට පස්සේ කීප සැරයක්ම සචින්තට කතා කලත් සචින්ත වචනෙකින් දෙකකින් කතාව ඉවර කලා. ලංකාවට ආව වෙලවක සචින්තව මුණ ගැහෙන්න ඕන කිව්වත් සචින්ත ඒකට කැමති වුනේ නෑ. අද සචින්ත විවාහ වෙලා හොද ජීවිතයක් ගත කරනවා.

මෙම නිර්මාණයේ එන සියළුම නම්, ගම් හා ස්ථාන බර්ටියාගේ කල්පිත මනසේ වල් බිහිවු ඒවා මිසක මෙම සත්‍ය සිදුවීමට අදාල ඒවා නොවේ. බර්ටියා විසින් සත්‍ය කතාවට ලුණු, ගොරකා, මිරිස් කුඩු, රම්පේ හා කරපිංචා වැනි රස කාරක එක් කරන ලදි.

කසාදය-දික් - P-2

මෙතෙක් කතාව - සචින්ත විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. මල්ෂි විවෘතයට අළුතෙන් ආපු ශිෂ්‍යාවක්‍. දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙනවා‍‍. සචින්තගේ යාළුවන්ගේ උදව්වෙන් මේ දෙන්නාගේ ආදර කතාව ඉදිරියට යනවා. මල්ෂි තමන්ගේ ආදරය ගැන එයාගේ නැන්දත් එක්ක කියනවා. සචින්තට ගිහිල්ලා නැන්දව මුණ ගැහෙන්න වෙනවා. අද කතාව එතැන් සිට . . . . .

තවත් දවසක හිරු උදාවක්. කවදත් වේලාසනින් කැම්පස් එන බර්ටියා Computer Lab එකට ඔළුව දාලා අන්තර්ජාලයේ රවුමක් ගහලා ඉවරවෙලා කැන්ටිමෙන් මොනවා හරි අමාශගත කරගෙන තමයි බෙන්ච් එක පැත්තට එන්නේ. ඒ ඇවිල්ලත් පැය භාගයකට විතර පස්සේ තමයි නිමන්ත, මනීෂා, හංසි ඇතුළු බජාර් එක පාත් වෙන්නේ. ඔය ඔක්කොම කට්ටිය ආවට පස්සේ තමයි සචින්ත කැම්පස් එකට එන්නේ. සැමදා පරක්කුයි. කවදා හරි සචින්තයා පෝරුවට නගින්නෙත් වෙලාව පැනලා. ඒත් එදා බර්ටියා බෙන්ච් එකට එනකොට කවදාවත් නැතුව සචින්ත වේලාසනින් ඇවිල්ලා. බර්ටියාගේ හිතට අමුත්තක් දැනුනා. අද CAT එකක් වත් Practical එකක්වත් නෑ කට්ටියට. සචින්ත මෙච්චර වේලසනින් කැම්පස් එකට එන්න මොකක් හරි හේතුවක් තියන්න ඕන. මේ දේවල් බර්ටියාගේ හිතට ආවත් මේක ගැන අහන්න අනිත් කට්ටියත් එනකම් ඉන්න ඕන කියලා බර්ටියා තීරණය කළා. කට්ටිය උදේට කාලා ඉවර වෙලා පොතක් පතක් අතට ගන්න කලින් මේක ගැන අහන්න බර්ටියා ලෑස්ති වුනත් එලීෂා ආපු නිසා කතාව බර්ටියාට කතාව පටන් ගන්න බැරිවුනා. "අනේ බර්ටි අයියේ මාත් එක්ක කැන්ටිමට යන්න එන්න, මට තව පොඩ්ඩකින් Micro Practical (Micro=Microbiology)". "මචං, මං මෙයාව දාලා එනකම් උඹලා කොහාටවත් යන්න එපා, මට වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" කිව්ව බර්ටියා එලීෂවත් ඇදගෙන කැන්ටිම පැත්තට ගියා. (ඒ දෙන්නගේ ප්‍රේම කතාවෙන් අපිට වැඩක් නැති නිසා අපි බර්ටියා ආපහු එනකම් විනාඩි 10 ක් විතර ඉමු).

විනාඩි 10 කෙසේ වෙතත් විනාඩි 20 කට විතර පස්සේ බර්ටියා ආවා. ඇවිල්ලා හරි බරි ගැහිලා බෙන්ච් එකේ වාඩි වුනා. "මචං සචින්ත මොකක්ද අවුල? මුකුත් නෑ කියන්න නම් හදන්න එපා, උඹේ මූණ දැක්කහම කියන්න පුළුවන් අවුලක් කියලා. උඹේ මූණත් හරියට නයා මැරිච්ච අහිකුණ්ටියා වගේ. කියපන් බලන්න මොකක්ද ප්‍රශ්නේ කියලා?" බර්ටියා සචින්තට කටක් අරින්න නොතියාම ඇහුවා. සචින්තගෙන් සද්දයක් නෑ‍. "ඔව් සචින්ත ඔයා වෙනදා වගේ නෙමෙයි අද. ඇයි මේ?" ඒ හංසි. "පිස්සු කෙළින්න හදන්න එපා. උඹගේ වෙනසක් දැනිලා උඹලගේ අම්මා මොනවා හරි ඇහුවොත් මට බොරු කියන්න බෑ කියලා උඹ දන්නවනේ. ඒක නිසා ඇත්තම කියපන්." නිමන්තත් හඩ අවදි කලා. "නෑ බන් මල්ෂිට ප්‍රොපොසල් එකක් ගෙනල්ලා ගෙදරින්, අද එයාව බලන්න මනමාලයෙක් එනවා ගෙදරට. ඒකයි මම අවුලෙන් ඉන්නේ". "ආ ආ ඕක මොකක්ද මනමාලයා ඇවිල්ලා යයි සචින්ත. මල්ෂි කැමති ඔයාටනේ" ඒ මනීෂගේ ප්‍රතිචාරය. "මේක ටිකක් බරපතලයි බන්. මනමාලයා මල්ෂිලාගේ අම්මලා අඳුරන කෙනෙක් ඕස්ට්‍රේලියා වල වැඩ කරන්නේ". "ඒකත් එහෙමද? මොකද බන් ඕක හදිස්සියේම එළියට පැන්නේ? උඹ ගැන මොනවා හරි දැනගෙනද? මම කිව්වනේ ඕක අර නැන්දා කියන ගෑනිට කියන්න එපා කියලා. මට ඔය ගෑනිව සත පහකට විශ්වාස නෑ බන්" ආයෙත් බර්ටියා. "නෑ නෑ එහෙම නෑ, මල්ෂිට නැන්දව විශ්වාසයි". "අනේ පලයන් බන් යන්න, බලහන්කෝ නැන්දා උඹලා දෙන්නට ඇණේ ගැහුවේ නැත්තම් මම බොන එක නවත්තනවා ආයෙත් හම්බවෙනකම්. හරි හරි අපි යමු පාඩමක් දා ගන්න. ඉතුරු ටික වැඩේ පත්තු වුනොත් බලමු" කිව්ව බර්ටියා පුස්තකාලෙට යන්න නැගිට්ටා.

මේ කතාව සිද්ධ වෙලා දවස් දෙකකට විතර පස්සේ බර්ටියා එලීෂයි එයාගේ යාළුවෝ දෙන්නෙකුටයි Microbiology වල අමාරු හරියක් කියා දි දී ඉන්න කොට මනීෂයි හංසියි හදිස්සියෙන් වගේ බර්ටියව හොයන් ඇවිල්ලා මොනවද කිව්වා බර්ටියාගේ කණට කරලා. බර්ටියත් කලබල වෙලා එලීෂට ඉක්මනට එන්නම් කියලා මනීෂලත් එක්ක Block 4 වලට ආවා. ඒ එනකොට සචින්තයි මල්ෂයි එතන බෙන්ච් එකක වාඩිවෙලා ඉන්නවා. මල්ෂිගේ ඇස් දෙකත් රතු වෙලා, ඒ මදිවට ඇස්වල කඳුළු කැට පිරිලා. නිමන්ත, ප්‍රසන්න අයියා, චතුර, ශම්මි කට්ටියම වටවෙලා. බර්ටියා විතරයි අගක් මුලක් නොදන්නේ. "මොකද බන් වෙලා තියෙන්නේ. මල්ෂි හුරතලේට ඇති කරපු ගෝල්ඩ් පිෂ් එකාවත් මළාද?, කියපන්කෝ බන් සිංහලෙන් මගේ යකා අවුස්සන්නේ නැතුව". බර්ටියාට මල පැනලා අම්බානකට.

මචං බර්ටි, සචින්ත හෙමින් සැරේ කට හඩ අවදි කලා. "මල්ෂිට ගෙනාව ප්‍රොපොසල් එකට මල්ෂි ඇරෙන්න හැමෝම කැමති වෙලා. වැඩිකළක් යන්න කළින් Registration එක ගනීවි. මොකද බන් අපි කරන්නේ? මට මල්ෂිව නැතුව බෑ බන්". "හදිස්සි වෙන්න එපා බන්, හැම දේකටම විසදුමක් තියෙනවානේ". "මේකට වෙන විසදුම් නෑ බන්, අපි මුන් දෙන්නව බන්දවමු" ඒ විසදුම චතුරගෙන්. "අපි එච්චරටම හදිස්සි වෙන්න ඕන නෑ නේද?" බර්ටියා කොහොමටත් මේ වගේ බරපතල් දෙයකදි එක පාරටම තීරණ ගන්න කැමති වුනේ නෑ. "කසාද බදින්න?" ඒ මල්ෂි "එහෙම එක පාරටම බදින්නේ කොහොමද අපි?" "ඔයාට පුළුවන්ද සචින්තව නැතුව ඉන්න?" ඒ පාර කතා කලේ මෙච්චර වෙලා කතා නොකර හිටපු ශම්මි. "බෑ බෑ. මට සචින්තව නැති කරගන්න බෑ" හැරෙන තැපෑලෙන්ම උත්තරේ ආවා මල්ෂිගෙන්. "එහෙනම් මේක තමයි විසදුම" ආයෙත් ශම්මිගෙන් උත්තරයක් ලැබුණා. "වෙන කරන්න දෙයක් නෑ බන්, මුන් දෙන්නව අදම බන්දමු" චතුර තව දුරටත් "කසාදය" කියන පිළිතුර ඉදිරියට අරගෙන ආවා. "ප්‍රසන්න අයියා ඔයා මොකද කියන්නේ?" බර්ටියා ආයෙත් අැහුවා. "කරන්න දෙයක් නැත්තම් මේක කරමු බර්ටි" ඒ ප්‍රසන්න අයියගේ උත්තරය. "එහෙම නම් එහෙම කරමු, හැබැයි මම මේ වැඩේට එච්චර කැමති නෑ. තොපේ හදිස්සියනේ ඉතින්". බර්ටියා අකමැත්තෙන් වැඩේට හා කිව්වා. "දැන් කොහොමද මේක කරන්නේ? කොහාට ගිහිල්ලද කසාද බදින්නේ?" මනීෂගේන ප්‍රශ්න වැලක්. "මං අදුරන lecturer කෙනෙක් ඉන්නවා law පැකල්ටියේ. අපි එයාගෙන් අහමු, යන් බර්ටි" ප්‍රසන්න අයියා බර්ටිවත් ඇදගෙන law පැකල්ටිය පැත්තට ගියා.

තිබ්බ හොදටද කරුමෙට දන්නේ නෑ ප්‍රසන්නටයි බර්ටියාටයි වැඩි දුරක් යන්න හම්බවුනේ නෑ ප්‍රසන්න අයියා දන්න lecturer මඟ එනවා. "යකෝ මේ අපිට law කරපු මැඩම් නේද? මළා. මමයි එලීෂයි එකට day school එකේ ඉන්නවත් මැඩම් දැක්කා. මට නම් බෑ ඔතනට යන්න. ඔයා අහගෙන එන්න ප්‍රසන්න අයියේ. මම මෙහෙන් ඉන්නම්" කියපු බර්ටියා මග නැවතුනා‍. ප්‍රසන්න අයියා තනියම ගියා lecturer මැඩම්ව හම්බවෙන්න. විනාඩි 10 කට විතර පස්සේ ප්‍රසන්න අයියා එනවා හිනා වෙනා වෙවි. "මොකද වුනේ? බර්ටියා ඇහුවා. මැඩම් ගත් කටටම ඇහුවා උඹද marry කරන්න යන්නේ කියලා. මමත් ඉතින් ඔව් කිව්වා. "මොනවද ප්‍රසන්න අයියේ ඔයා කරන්නේ? ඔයා මගේ චරිතය සාතනය කරලනේ?". "හැබෑට උඹට එහෙම එකක් තිබ්බද බර්ටි? මැඩම් කිව්වා දෙන්නගේ වයස හරි නම් ප්‍රශ්නයක් නැතුව මැරි කරන්න පුළුවන් කියලා. Museum එක හරියේ Registrar කෙනෙක් ඉන්නවා කිව්වා. ගිහිල්ලා කාගෙන් හරි අහන්න කිව්වා". "එහෙනම් පරක්කු වෙන්නේ නැතුව දැම්මම යමු. දවල් වුනොත් කට්ටිය අතුරුදහන් වෙන්න පුළුවන්". "ප්‍රසන්න අයියේ, ඔයා ගිහිල්ලා කට්ටිය එක්කන් ඉස්සරහ ගේට්ටුව ගාවට එන්න. මම ගිහිල්ලා ගෑණිව ෂේප් කරලා එන්නම්. නැත්තම් මගේ පවුලත් අවුල් වෙනවානේ", කියලා බර්ටියා මාරු වුනා‍.

"සචින්ත උඹලා දෙන්නා කැමතියි නේද මේකට? අකමැති නම් පස්සේ කුණු කුණු නොගා දැම්මම කියපන්. ආයේ අපි බොරුවට එතනට ගිහිල්ලා හැරිලා එන්න ඕන නෑ නේ". නිමන්ත කැම්පස් එකෙන් එළියට බහින්න කළින් සචින්තගෙනුයි මල්ෂිගෙනුයි ඇහුවා. දෙන්නම අකමැත්තක් පෙන්නුවේ නැති නිසා, කට්ටියම 176 නැගලා හයිලෙවල් පාරට ඇවිල්ලා එතනින් කෞතුකාගාරය ගාවින් යන 138 කොටුව බස් එකකට ගොඩවුනා. කට්ටියම කෞතුකාගාරය ගාවින් බැහැලා හෙමින් සැරේ කොටුව පැත්තට යනවා විවාහ ලේකම් කෙනෙක්ගේ නාම පුවරුවක් තියෙනවාද බලා බලා. වැඩි දුරක් යන්න වුනේ නෑ කට්ටියටම ආණ්ඩුවේ කන්තෝරුවක් නාම පුවරුවක විවාහ රෙජිස්ටාර් කියලා තියෙනවා දැක ගන්න ලැබුණා. බර්ටියා ඇතුළු පිරිස ගෙට්ටුව ගාව හිටගෙන ඉන්න අතරේ ප්‍රසන්න අයියයි නිමන්තයි කන්තොරුව ඇතුලට ගියා විස්තර හරියටම දැනගෙන එන්න. විනාඩි 10 කට විතර පස්සේ දෙන්නා ආපහු ආවා. එතන විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉන්නවා. දෙන්නාගේම වයස හරි නම් ජාතික හැදුනුම් පත් තියෙනවා නම් සාක්ෂියට අත්සන් කරන්න අය ඉන්නවා නම් කසාදය කරන්න පුළුවන් කිව්වලු. සාක්ෂියට නම් 2 ක් නෙමෙයි 7 ක් ම ඉන්නේ. ප්‍රසන්න අයියා පස්සේ වෙලාවක නම් කිව්වේ ඒ ලේඩිගේ මුණයි කරේ දාලා තිබ්බ කුරුසයයි දැක්ක ගමන් වැඩේ හරි යයි කියලා හිතුනයි කියලා. ඉතින් කට්ටියම සචින්තයි මල්ෂියි එක්ක විවාහ ලේකම් නෝනාගේ කාමරයට ඇතුල් වුනා. දැන් කාමරේ කට කපලා කට්ටියා. ඇයි ඉතින් 9 දෙනෙක්ම ආවනේ මේ කසාදේ කරන්න‍. විවාහ රෙජිස්ටාර් නෝනා නීති රීති ඔක්කොම විස්තර කරලා දීලා අවශ්‍ය කරන කාරණා පහදලා දුන්නා. ඊළගට සචින්තගෙයි මල්ෂිගෙයි ජාතික හැදුනුම් පත් අරගෙන බලලා අවශ්‍ය කරන දේවල් තඩි පොතක ලිව්වා‍‍. ඊළගට අළුත් කපල් එකට නැගිටින්න කියලා දෙන්නගේ ප්‍රතිඥා දීලා අත්සන් කලා. සචින්තගේ පැත්තෙන් නිමන්තත් මල්ෂිගේ පැත්තෙන් ප්‍රසන්න අයියත් කසාදෙට අත්සන් කළා. ඊළඟට පොතෙන් කසාද සහතිකය ඉරලා අරගෙන සචින්තයි මල්ෂියි අතට දීලා සුභ පැතුවා. මේ වැඩ ඔක්කොම ඉවර වුනාට ප්‍රසන්න අයියා ලියුම් කවරෙක දාලා රු 500.00 රෙජිස්ටාර් නෝනාගේ අතේ තිබ්බා. රෙජිස්ටාර් නෝනා නම් සල්ලි ගන්න බැහැ කිව්වත් කව්රුවත් ඒක ආපහු ගන්න කැමති වුනේ නෑ. විවාහ සහතිකේ සචින්තගේ අතින් බර්ටියාගේ අතට ආවා වැඩි පරිස්සමට. කට්ටියම එළියට ඇවිල්ලා සචින්තටයි මල්ෂිටයි සුභ පැතුවා. ඊළඟට බර්ටියා කතා කළා "මචං මේක අපි 9 දෙනාගෙන් පිට කිසිම කෙනෙක් දැනගන්න ඕන නෑ. මම මේ ගැන එලීෂට වත් කියන්නේ නෑ. අවශ්‍ය වෙලාව එනකම් අපි සද්ද නැතුව ඉමු". හැමෝම ඒක අනුමත කළා.

කට්ටිය පාරේ ආපු 138 ක නැගලා නුගේගොඩට ඇවිල්ලා ආපහු කැම්පස් එකට ආවා. කැම්පස් එකට ඇවිල්ලා කට්ටියම කැන්ටිමට ගිහිල්ලා මහන්සිය යන්න හැමදාම බොන මෙලෝ රහක් නැති ප්ලේන්ටිය වෙනුවට කූල් එකක් බිව්වා. "මචං අපි යනවා. උඔලා දෙන්නව ගැට ගැහුවා කියලා ළමයි හදන්න නම් ලෑස්ති වෙන්න එපා. අපිට බෑ ක්ලිනික් වලයි කිරි පිටි පෝලින් වලයි ඉන්න", බර්ටියා දෙන්නටම සද්දයක් දැම්මා. අපි ගෙවල් වලට යමු නේද හංසි? දැන් ආයේ පාඩම් කරන්නත් වෙලවක් නෑනේ? මනීෂා හංසිගෙන් ඇහුවා. හංසිත් හා කිව්වා. එහෙනම් මාත් යනවා බන්, තොපි දෙන්නා හන්දා හන්දා මගේ පවුලත් කැඩෙනවා කිව්ව බර්ටියා එලීෂව හම්බවෙන්න ගියා. සචින්තවයි මල්ෂවයි බෙන්ච් එකේ තනි කරලා අනිත් කට්ටියත් යන්න ගියා, ගෙවල් වලට යන්න හිතාගෙන.

මෙම නිර්මාණයේ එන සියළුම නම්, ගම් හා ස්ථාන බර්ටියාගේ කල්පිත මනසේ වල් බිහිවු ඒවා මිසක මෙම සත්‍ය සිදුවීමට අදාල ඒවා නොවේ. බර්ටියා විසින් සත්‍ය කතාවට ලුණු, ගොරකා, මිරිස් කුඩු, රම්පේ හා කරපිංචා වැනි රස කාරක එක් කරන ලදි.

කසාදය-දික් - P-1

පාන්දර 5.00 හේ කනිසමට බෙල් එක වදිනවත් එක්කම සචින්ත ඇදෙන් බිමට බැස්සා. බැස්සත් නෙමෙයි පැන්නා වගේ තමයි. වෙනදා නම් බෙල් කීයක් වැදුනත් අම්මා ඇවිල්ලා ඇහැරවනකම් සචින්ත නැගිටින්නේ නෑ. කවදාවත්ම නැතුව දත් බුරුසුවත් කටේ ගහගෙන කුස්සිය පැත්තට එන සචින්තව දැක්කහම සචින්තගේ අම්මත් පොඩ්ඩක් කලබල නොවුනාම නෙමෙයි. ඒත් ඒ වගක් නොපෙන්වා "ඇයි පුතේ මේ උදෙන්ම ඇහැරිලා? නෑ අම්මේ අද උදේම මට විභාගයක් තියෙනවා, පරක්කු වුනොත් වෙලවට යන්න බැරිවෙනවා කිව්ව සචින්ත නාන කාමරේට වැදුනා. අම්මත් ඉක්මන් කරලා උයන්න ගත්තා. මොකද සචින්තට කෑම එක ලෑස්ති කරලා දෙන්න ඕන නිසා.

සචින්ත විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. රසායන විද්‍යාව හා උද්හිද විද්‍යාව තමයි සචින්තගේ ප්‍රියතම විෂයන් වුනේ. ඒකෙනුත් රසායන විද්‍යාවට සචින්ත විශේෂ ඇල්මක් හැකියාවක් දැක්වුවා. ඇත්තම කිව්වොත් මේ වේලාසනින් නැගිටිමට හේතුව එහෙම නැත්නම් මේ වෙනසට හේතුව ගෑණු ළමයෙක්. මීට සති දෙකකට කළින් තමයි විවෘතෙට අළුතෙන් ළමයි බදවා ගත්තේ. කැම්පස් වචන වලින් කිව්වොත් අළුත් නැවක් ආවේ. මේ නැවේ හිටපු කෙලිපැටික්කියකට සචින්තගේ හිත ගිහිල්ලයි තිබ්බේ. මේක කියාගන්න ක්‍රමයක් නැතුව තමයි මේ දවස් වල සචින්ත ලත වෙන්නේ. සචින්තගේ යාළුවෝ ටිකටවත් තාම සචින්ත මේ ගැන කියලා නෑ. කිව්වොත් නම් කට්ටිය උඩින් උදව් කරයි. හැබැයි ඉතින් අම්බානකට බයිට් වෙන්න වෙනවා. විගේෂයෙන්ම බර්ටියාගෙන්. ඒත් දැන්නම් සචින්තට වෙන විසදුමක් නෑ වගේ. අද නම් යාළුවොත් එක්ක විස්තරේ කියන්න හිතාගෙනයි තමයි සචින්ත ගෙදරින් ආවේ.

ඔක්කොටම කළින් උදේම මල්ෂිගේ මූණ බලලා ඉන්න ඕන කියලා සචින්ත තීරණය කරලා හෙමින් සැරේ ඉස්සරහා ගේට්ටුව පැත්තට ඇදුනා. සචින්තට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ, මල්ෂි එනවා උදේම සුරංඟනාවියක් වගේ. සචින්තව දැකපු මල්ෂි මලක් වගේ හිනාවෙලා "ගුඩ් මො(ර්)නින් සචින්ත අයියේ" කිව්වා. සචින්තගේ හිතේ ඇතිවෙච්ච සතුට කියලා නිම කරන්න බෑ. සචින්තත් බොහොම ආදර බර හිනාවක් දාලා "ගුඩ් මො(ර්)නින්" කියලා කිව්වා.

"අඩේ උඹ අපිටත් නොකියා පැණි හලන්න ගත්තා නේද?" ඒ බර්ටියාගේ බෝක්කු කට. සචින්තගේ යාළුවෝ සෙට් එක හොරෙන් ඔක්කොම බලන් ඉදලා. "හරි හරි බන් දැන් ඔය මදැ. මූට මල්ෂිව සෙට් කරලා දෙන්න ක්‍රමයක් බලමු". ඒ හඩ නිමන්තගේ සචින්තගේ ඉස්කෝලේ පරණ යාළුවෙක්. සචින්ත නම් බර්ටියාව නම් අඳුරගත්තේ කැම්පස් ආවට පස්සේ. මෙතන තව හිටියා සචින්තගේ කණ්ඩායමේ මනීෂයි හංසියි. ඊට අමතරව සචින්තගේ තවත් ඉස්කෝලේ යාළුවෙක් වෙච්ච චතුරයි චතුරගේ ගෑණු ළමයා වන ශම්මියි. ඒ ඇරුණහම ලෝ පැකල්ටියේ ප්‍රසන්න අයියත් මෙතන හිටියා.

තොපි කල්පනා කරන කොට බැරියෑ. මං කියන්න නම් වැඩක්? ඒ යොජනාව බර්ටියාගෙන්. බර්ටියා ඔය වගේ නුල් සූත්තර වැඩ වලට දක්ෂයි කොහොමටත්. මචං ලබන සතියේ අපි කෙමිස්ට්‍රි වලට කුප්පියක් දාමු. අනිවා මල්ෂිත් ඒවි කුප්පියට (කුප්පිය කියන්නේ නොමිලේ කරන ටියුෂන් එකක් වගේ වැඩක්). කුප්පිය ඉවර වුනහම අනිත් සෙට් එක යවලා මුන් දෙන්නව තනි කරමු. සචියා උඹ ගිහින් කෙල්ලගෙන් අහපන් තේරෙන්නෙ නැති මොනවා හරි තියෙනවාද කියලා. ඒකිගේ යාළුවෝ ටික අයින් කරන එක මං බලා ගන්නම් බර්ටියා එහෙම කිව්වා. ඒ වැඩේ අවුලක් පේන්න තිබ්බේ නැති නිසා අනිත් හැමෝමත් ඒ වැඩේට කැමති වුනා.

"හිටපන් අපි අදම කුප්පිය තියෙනවා කියලා පොස්ටර් එකක් ගහමු. මේවා කල් දදා ඉන්න ඕන වැඩ නෙවෙයි. මලිතයා හොයාගත්තා නම් වැඩේ පටස් ගාලා ගොඩ දාගන්න පුළුවන්" කියන ගමන් බර්ටියා යුනියන් එක පැත්තට හැරුණා.

කට්ටිය ප්ලැන් කරපු විදිහට වැඩ ටික හරියටම සිද්ධ වුනා. මල්ෂිවයි සචින්තවයි අයිනක තිබ්බ බෙන්ච් එකක තනි කරලා සචින්තගේ යාළුවො ටික යන්න ගියා. මල්ෂිගේ යාළුවෝ ටිකෙන් මල්ෂිව තනි කරන එක ඒ හැටි අමාරු වැඩක් නොවුනේ තාම රැග් සීසන් එක නිසා. අළුත් කව්රුත් තාමත් බයයි ජේෂ්ඨ උත්තමයින්ට. පැයකට විතර පස්සේ සචින්ත යාළුවෝ ටික හොයාගෙන ගියා. කට්ටිය කැන්ටිමේ තේ බොනවා. මොකද සචියා වුනේ? ඒ ප්‍රශ්නේ හංසිගෙන්. මුකුත් නෑ බන් ඒ සචින්තගේ උත්තරේ. මොන මඟුලක්ද බන් තොපි දෙන්නා පැයක් තිස්සේ බෙන්ච් එක උඩට වෙලා කළේ? ඒ පාර චතුරයා ඇහුවා. අපි කෙමෙස්ට්‍රි ගැන කතා කලා බන්. යකො තොට කෙමෙස්ට්‍රි ගැන කතා කරන්න අපි මෙච්චර මහන්සි වෙලා උඹවයි ඒකිවයි බංකුවක වාඩි කරන්න ඕනේද? නිමන්තට අම්බානකට තදවෙලා. මොනවා කරන්නද බන් මට ඒක අහගන්න තරම් හයියක් තිබ්බේ නෑ. අනිත් පාර අහපන් බන්. නැත්නම් උඹේ මධු සමය ගත කරන්නත් අපිට එන්න වෙයි. අපි යමු දැන් හොදටම හැන්දෑ වෙලා, මට එලීෂව එක්කගෙන යන්නත් තියෙනවා නුගේගොඩට කිව්ව බර්ටියා බෙන්ච් එකෙන් නැගිට්ටා.

ඔය අලකලංචි අස්සේ අප්‍රේල් මාසේ උදාවෙලා කැම්පස් එකේ අවුරුදු උත්සවය අත ළඟටම ආවා. කට්ටිය එදා හොදට විනෝද වුනා තරඟ වලට සහබාගී වෙලා. කට්ටියටම තිබ්බ වැදගත්ම වැඩේ තමයි සචින්තවයි මල්ෂිවයි තරඟ වලට ඇතුලත් කරන එක. බර්ටියත් අවුරුදු උත්සවයේ සංවිධායක කමිටුවේ හිටපු නිසා සචින්තගේ යාළුවන්ට මේ වැඩේ ලේසි වුනා. ඉදි කට්ටට නූල දැමීම, යෝගට් කෑම වැනි තරඟ වලට සචින්තටයි මල්ෂිටයි එකට සහබාගි වෙන්න ඉඩ ලැබුණා. මේකෙන් දෙන්නගේම හිත් වල තිබ්බ බය අයින් වෙලා කිට්ටුවෙන් ඇසුරු කිරීමේ අවස්තාව ලැබුණා. සචින්තට නම් කළින් ගෑනූ ළමයෙක් ඉදලා තිබ්බේ නෑ. දන්න තරමින් මල්ෂිටත් එහෙමයි. ඒක නිසා දෙන්නම අර නන්දා මාලිනී මහත්මියගේ සිංදුවක කියනවා වගේ "ආදරයේ කෝඩුකාරයෝ" වුනා. දැන්නම් සචින්තගේ ආදරය මල්ෂිට කියන්න හොදම කාලේ. මොකද තව දුර ගියොත් මේ කතාව අති උත්තම පරම පිවිතුරු සහෝදර ප්‍රේමයක් වෙන්න ඉඩ තිබ්බ නිසා. යාළුවෝ ටික කතා වෙලා ඊළඟ කුප්පිය තිබ්බ දවසට මල්ෂිට ආදරය ප්‍රකාශ කරන්න සචින්තට බල කලා. සචින්තටත් මේ විදිහට ඉදලා ඇති වෙලා තිබ්බේ. ඒක නිසා ඊළඟ දවසේ මල්ෂිට ආදෙරයි කියන්න සචින්තත් හිතා ගත්තා.

ඊළඟ සතියේ කෙමෙස්ට්‍රි කුප්පිය ඉවර වුනහම මල්ෂිගේ යාළුවො ටික වෙනදා වගේ නැතුව මල්ෂිව බලෙන්ම වගේ සචින්ත එක්ක දාලා ගියා. එදා නම් සචින්තගේ යාළුවො ටික සචින්තලව පෙනෙන නොපෙනෙන දුරින් නැවතිලා හිටියේ. සචින්තට මල්ෂිගෙන් ආදරය ගැන අහන්න බැරි වුනොත් හංසියි මනීෂයි යවලා වැඩේ ගොඩදාන්න තමයි කට්ටිය හිතාගෙන හිටියේ. පැයකට වඩා ගියත් සචින්තයා නැති නිසා කට්ටියා ඒ පැත්තට ගියා. කවුරුවත් නෑ දෙන්න හිටපු තැන. බලපන් ළඟ තියෙන පදුරු ටික හොල්ලලා, මුන් දෙන්නා ඇතුලෙද කියලා. මොනවද බර්ටි ඔයා කියන කතා. සචින්ත එහෙම ළමයෙක් නෙමෙයි ඒ දොස් මුරේ හංසිගෙන්. හරි හරි සචින්ත එහෙම නොවෙන්න පුළුවන්. ඒත මල්ෂි ගැන අපි දන්නේ නෑනේ. බර්ටියට ඕක කියලා කට ගන්න හම්බවුනේ නෑ. මොනවද බර්ටි අයියා ඔයා කියන කැත කතා ඒ සද්දේ එලීෂාගේ. බර්ටියාගේ ගෑණු ළමයා. ඒක තමයි බලන්න නංගි ඔයාවත් මෙයාට කියන ඔහොම කතා කියන්න එපා කියලා. අපි කියන දේ ගනන් ගන්නේ නෑ, මනීෂා හෝ ගාලා ගින්නට පිදුරු දාන්න ගත්තා. හරි හරි ඔය මදැ කට්ටියම අපි දැන් අපේ බෙන්ච් එකට යමු. සචින්ත එතනට එයිනේ. එහෙම කිව්වේ ප්‍රසන්න අයියා.

කට්ටිය බෙන්ච් එකට යනකොට සචින්ත බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්නවා. කොහෙද බොල තෝ ගියේ ගත් කටටම බර්ටියා ඇහුවා. මම හිතුවා අදත් අහගන්න බැරි වෙල උඹ මැහි තෙල් බෝතලයක් ගන්න ගියා කියලා. සචින්තට බර්ටියාගෙන් ගැලවීමක් ඇත්තෙම නෑ. ඇත්තට සචින්ත මොකද වුනේ හංසි බොහොම උනන්දුවෙන් සචින්තගෙන් ඇහුවා. සචින්ත ඒකට උත්තරයක් දුන්නේ නෑ. ඔළුව උස්සලා හිනාවුනා මිසක්. ඒ හිනාව ඇතුලේ හංසි අහපු ප්‍රශ්නෙට උත්තරේ තිබ්බ විත්තිය එතන හිටපු හැමෝම දැක්කා. ඉතින් උඹ කොහෙද ගියේ? නිමන්ත අැහුවා. මම මල්ෂිව බස් එකට දාලා එන්න ගියා. යකෝ මේ ඩිංගට ඔච්චර දුර ගියාද? පිස්සු බෝල බෝල. මේ උඹ හනිමුන් ගියේ නෑ නේද? යමන් කැන්ටිමට අද උඹ ගානේ අපිට පා(ර්)ටියක් ඕනේ කියලා බර්ටියා සචින්තවත් ඇදගෙනම බෙන්ච් එකෙන් නැගිට්ටා. මට නම් තේ බීලා මදි බන්, බාගයක්වත් ගහමුද උඹ ගෙවලා බලන් ඉදපන් මං බොන්නම්. බර්ටියා කට වහන්නෙම නෑ අද. බොන්න? අප්පට සිරි ඒකත් එලීෂටත් ඇහිලා. ගෑණුන්ට සැටලයිට් කන්ද මන්දා තියෙන්නේ.

"මොනවා බොන්නද කොකා කොලා එකක් මිසක්", බර්ටියා ෂේප් වෙන්න හිතන් කිව්වත් එලීෂාගෙන් ගැලවීමක් ලැබුනේ නෑ. "කොකා කොලා බොන්න ඔහොම හොරෙන් හොරෙන් කතා කරන්න ඕනයෑ සචින්ත අයියත් එක්ක. මං අල්ල ගන්නම් කෝ". ඔය කතාවෙන් පස්සේ කට්ටියම හෙමින් සැරේ කැන්ටිමට ඇවිල්ලා තේ බීලා විසිරිලා ගියා.

කාලය ගතවෙලා ගියා. සචින්තගෙයි මල්ෂිගෙයි ආදර කතාව ගලාගෙන යනවා. මල්ෂි හිටියේ හෝමාගම පැත්තේ. ඒත් මල්ෂිගේ නැන්දා කෙනෙක් හිටියා බර්ටියලගේ ගෙවල් පැත්තේ ඒ කියන්නේ ගම්පහ පැත්තේ. සමහර දවස්වලට මල්ෂි එහේ ඉදලත් කැම්පස් ආවා. ඔය අතරතුර මේ ආදරය ගැන මල්ෂිගේ නැන්දට කියන්න වුවමනාවක් මල්ෂිට ඇති වුනා. සචින්ත ඒකට වැඩිය කැමැති වුනේ නෑ. තාම උපාධිය ඉවරත් නෑ රස්සාවකුත් නෑ. ඒ අස්සේ ගෙදරට ආදරයක් ගැන කිව්වහම තවත් ප්‍රශ්නනේ. සචින්තගේ අම්මට තියෙන කරදරත් එක්ත මේ වගේ දෙයක බරක් අම්මට දෙන්න සචින්ත කොහොමටවත් කැමති වුනේ නෑ. කොහොම හරි වැඩි දවසක් යන්න කළින් මල්ෂි තමන්ගේ ආදර කතාව නැන්දත් එක්ක කියලා තිබ්බා. නැන්දත් සචින්තව හම්බවෙන්න ඕන කිව්වා. මල්ෂිට තිබ්බ ආදරය නිසාම සචින්තත් අකමැත්තෙන් හරි ගිහිල්ලා මල්ෂිගේ නැන්දව හම්බවෙන්න තීරණය කළා. ඒක බොහොම සාමාන්‍ය කතා බහක් කියලයි සචින්ත යාළුවන්ට කිව්වේ.

මෙම නිර්මාණයේ එන සියළුම නම්, ගම් හා ස්ථාන බර්ටියාගේ කල්පිත මනසේ වල් බිහිවු ඒවා මිසක මෙම සත්‍ය සිදුවීමට අදාල ඒවා නොවේ. බර්ටියා විසින් සත්‍ය කතාවට ලුණු, ගොරකා, මිරිස් කුඩු, රම්පේ හා කරපිංචා වැනි රස කාරක එක් කරන ලදි.

ආඳා හෙවත් ලොරියා

ආයුබෝවන් කිව්වා හැමදෙනාටම. ගොඩ දවසකට පස්සේ තමයි බර්ටියා බ්ලොග් සටහනක් ලියන්න ගත්තේ. සටහනක් ලියන්න ඕනකමක් තිබ්බත් කම්මැලිකම දුවගෙන පැනගෙන ඉස්සරට ආව නිසා ලිවිල්ල දවසින් දවස පස්සට ගියා. ඒත් ඉතින් නොලියත් බෑනේ. බැදගත්ත බෙරේ ගන්න එපායෑ. අනික අපේ ආඳා මල්ලි බර්ටියාට සුද්ද සිංහලෙන් අමතලා මොනවා හරි ලියපන් කිව්වා. ඒක නිසා ජුනි මාසේ පළවෙනි බ්ලොග් සටහනෙන් ආඳා මල්ලි ගැනම කියලා වැඩේ පටන් ගන්න කියලා බැලුවේ. ආඳායි බර්ටියයි එක පන්තියේ හිටියේ උසස් පෙළ කරන කොට. ආඳා හය වසරේ ඉදලම බර්ටියා ගිය ඉස්කෝලේ හිටියත් බර්ටියා උසස් පෙළට වෙනකම්ම එක පන්තියක ඉදලා නෑ. සමහර වෙලාවට බර්ටියා ඇතුළු පිරිස ආඳාව ලොරියා කියලත් ඇමතුවා. ඒ ආඳාගේ තාත්තට ලොරියක් තිබ්බ නිසා. ආඳාගේ තිබ්බ ලොකුම අවුල තමයි ඒකට පටස් ගාලා කේන්ති යන එක. කොක්ක අතේ තියන් හිටියේ ඒ දවස් වල. දැන් ඒක ලිව්වා කියලා බර්ටියාව මරන්න හොයයිද දන්නේ නෑ. කොච්චර කේන්ති ගියත් ආඳා බොහොම හිත හොඳ මනුස්සයා. වැඩිය බොරු එහෙම කිව්වේ නෑ. ආඳා කියලා නම වැටෙන්න හේතුවෙලත් තිබ්බේ මේකා අත ඇරපු කෙබරයක්. පොඩි පන්තියක් ඉන්නකොට (6 වසර හරි 7 වසර හරි) මේකා කියලා ගෙවල් පල්ලෙහා ගැඹුරු ළිදක් තියෙනවා ඒකේ කඩුක්කන් දාපු ආඳෙක් ඉන්නවා කියලා. ඔය කතාවෙන් පස්සේ මේකා ආඳා වුනා. ආඳාට හොදට කාටුන් අදින්න පුළුවන්. මේ ආඳා කරපු වික්‍රම කීපයක්.

අපි උසස් පෙළ කරන්න ගියහම අපේ ඉස්කෝලෙට වෙන ඉස්කෝල වලින් ළමයි ගත්තා උසස් පෙළ පන්ති වලට. කෘෂි විද්‍යාව පන්තියටම පරණ ළමයි දහදෙනයි ද කොහෙද හිටියේ. බර්ටියා, දොළයා, ආඳා, දීප්ති, පණ්ඩුලයා, දරකඩියා, මේනකයත්, ආනන්දයා එක්ක තව දෙන්නෙක් ද කොහෙද හිටියා බර්ටියාට නම් වලින් කියන්න මතක නෑ. අපි ඉතින් ඔය අළුත් සෙට් එකට හීන් සැරේ නවක වදය පාරක් එහෙම දුන්නා ඉතින්. අනේ දරුණු දේවල් තිබ්බේ නෑ. බර්ටියාලා වැඩිපුරම කල්පනා කලේ බඩ පුරවා ගැනිම නිසා අපි සෑහෙන්න බිස්කට් එහෙම කෑවා අළුත් ළමයි ගාණේ. ඔය අළුතින් ආව සෙට් එකේ පොරක් හිටියා පොල්පිටිමූකලාන පැත්තේ. මිනිහා ආපු දවස්වලම සිරිපාල ගැන කතා කිව්ව නිසා අපි පොරට සිරිපාල කියලා කාඩ් එකක් ගැහුවා. පස්සේ සිරිපාල කෙටිවෙලා සිරා වුනා. සිරා ආපු මුල්ම දවස්වලම අපේ ආඳා මල්ලිට හිතුනා සිරාට අළුත් විදිහේ නවක වදයක් දෙන්න.

ඒක නිසා මේකා දවසක් සිරාට කිව්වා "සිරාේ තෝ හෙට එනකොට ජොකා නොදා එන්න ඕන කියලා. සිරත් ආඳාට තිබ්බ බයටමද කොහෙද පහුවදා සිරාවටම ජොකා නාෙදා ආවා. දැන් ඉතින් කට්ටිය හිතයි කොහොමද එහෙම කියන්නේ සිරා ජොකා ඇදලා එන්න ඇති බොරුවට අපිට නෑ කියන්න ඇති කියලා. එව්වා කොහෙද අපිත් එක්ක සහෝදරයා. එහෙම බොරු කරන්න බෑ, අපි ඒක බලලම මූ ජොකා දාලා නෑ කියන එක තහවුරු කරගත්තා.

දෙවෙනියට කියන්න යන සිද්ධිය සිද්ධ වුනේ 98 අවුරුද්දේ මුල විතර. ඔය අළුතින් ආපු සෙට් එකේ තවත් පොරක් හිටියා යාගොඩ පැත්තේ ඉදන් ආපු. මිනිහට අපි ගහලා තිබ්බ කාඩ් එක තමයි හිපා. මොකද පොර කළොත් කරන්නේ මහ හිපාචි වැඩක්ම තමයි. මොකක් හරි හේතුවක් නිසා හිපායි ආඳා මල්ලියි තරහා වුනා. ඒත් ගැටළුවක් තිබ්බේ නෑ. පස්සේ හිපා වුෂු ක්‍රීඩාව හදාරන්න පටන් ගත්තා. ඕක පටන් ගත්තට පස්සේ හිපා පොඩ්ඩක් විතර උඩ ගියා. මට හොදට මතකයි එදා බ්‍රහස්පතින්දා දවසක්. එදා අපේ විවේකය පටන් ගන්න මොහොතකට පෙර දෙන්නා අතර භයංකාර, ත්‍රාසජනක, ඇඟ කිලිපොලා යන උද්වේගකර ප්‍රේම ජවනිකාවක් පටන් ගත්තා. බර්ටියත් වැරදිලා වගේ ඒ වෙලාවේ පන්තියේ හිටිය නිසා මේ ත්‍රාසජනක පෙම් ජවනිකාව නැරඹීමේ අවස්ථාව බර්ටියාටත් ලැබුනා. පළවෙනි පාර එල්ල කලේ අපේ ආඳා මල්ලි. අපේ ආඳා මල්ලිත් දෙකේ දෙකේ පොර. සෙට් එක එහෙම දානවා ඒ දවස් වල. ඒක නිසා පළවෙනි පාර බොහොම සැරට වැදුනා හිපාට. ඒක වැදිච්ච පාරට හිපා විසිවෙලා ගිහිල්ලා පන්තියේ කළු ලෑල්ල හයියද කියලා බැලුවා. ඊළගට හිපා පැනලා පාරක් ඇන්නා ආඳාට. දැනෙන ප්‍රථිපලයක් නෑ. ආඳා ආයේ පයින් පාරක් ගැහුවා. හිපාට ඒකත් වැදුනා. මේ ටික වෙන්න තප්පර 15 ක් විතර යන්න ඇති.

තව පාරවල් එහාට මෙහාට විසි වෙන්න කලින් අපි පැනලා දෙන්නව අල්ලගෙන ප්‍රේම ජවනිකාව අවසන් කරලා දැම්මා. කොහොම හරි හවස ඉස්කොලේ ඇරෙන්න ටිකකට කලින් හිපාට වමනේ ගිහිල්ලා. ඒ වෙලාවේ බර්ටියා පන්තියේ හිටියේ නෑ. හිපා ඇවිල්ලා බර්ටියාට විස්තරේ කිව්වහම බර්ටියා කිව්වේ දැන්මම ඉස්පිරිතාලේ පලයන් කියලා. මොකද ආඳා ගැහුව පාරට හිපාගේ ඔළුව වැදුනනේ කළු ලැල්ලේ. වැරදිලා හරි ඒ ඔළුව අැතුලේ අබ ඇටයක තරම්වත් මොළයක් තිබ්බා නම් මොකක් හරි අවුලක් වෙන්න ඉඩ තිබ්බ නිසා තමයි බර්ටියා කිව්වේ ඉස්පිරිතාලේ පලයන් කියලා. එදා හවස අපිට සමාධියේ සරත් සර්ගේ සත්ත්ව විද්‍යාව පන්ති. පහේ කල්ලිය ඉතින් කඩේට ගිහිල්ලා මාරි බිස්කට් එකක් කාලා තේ එකක් බීලා ආපහු පන්තිය පැත්තට එනකොට හිපාව හම්බවුනා. මේකා ඉදන් කියනවා මචං මම හවස ලුණු කාලා හිටියේ, ඒකයි මට වමනේ ගියේ කියලා. බර්ටියා ඉතින් ගත් කටටම ඇහුවා ඈ බොල තොට ලුණු කැටයක් කෑව පලියට වමනේ යන්නේ තො බඩදරු වෙලාද කියලා. හිපා සද්ද නැතුව මාරු වෙලා ගියා. ඒත් ඒකට පහුවදා ඉදලා ගර්භනී කියලා කාඩ් එකක් වැදුනා. ඒකේ සම්පූර්ණ ගෞරවය අයිති වෙන්න මේ බර්ටියාට තමයි.

උසස් පෙළ කරන මුල් කාලේ ගම්පහ තිබ්බ කොළ පාට ටයි එක තියෙන බාලිකාවේ කලා අංශයේ ඉගෙන ගත්ත වසන්ති කියලා ගෑණු ළමයෙක්ට බර්ටියාගේ හිත ගිහිල්ලා තිබ්බා. ඒ ආදරය නිසා බර්ටියා සෑහෙන කට්ටක් කෑවා. සෑහෙන පිස්සු වැඩත් කලා. ඒත් අවාසනාවක මහත මේ ගෑණු ළමයාගෙන් බර්ටියාට සහනදායි උත්තරයක් ලැබුනේ නෑ. කොමනලා දොළයලා වැඩේට උපරිම සහයෝගය දුන්නත් වැඩේ හරි ගියේ නෑ‍. බර්ටියාගේ හිතේ ඇතිවෙච්ච දෙවෙනි ආදරයත් අවසන් ගමන් ගියා මේ ගෑණු ළමයගේ වෙනස් නොවෙන උත්තරෙත් එක්ක. ඔය අතරෙදි තමයි දැන ගත්තේ මේ ගෑණු ළමයා අපේ ආඳා මල්ලිගේ නෑයෙක් කියලා. ඉන්නෙත් මෝල පාර පැත්තේ කියලා. ඉතින් තදටම හිත රිදොගෙන හිටපු බර්ටියා ආඳාගෙන් සහයෝගයක් ඉල්ලුවා.

ආඳාත් ඉතින් උපරිම සහයෝගය දෙන්නම් කියලා කිව්වා. සතියකට පස්සේ විතර මේකා ඇවිල්ලා කියනවා අන්න වසන්තිලගේ අම්මත් උඹ ගැන දැනගෙන, උඹ ලේ වලින් ලියුමක් ලිව්වා කියලත් දන්නවා. උඹව හම්බවෙන්න ඕන කියලත් කිව්වා. ලබන සෙනසුරාදා වරෙන් අපේ ගෙදර කිව්වා. කිරි අප්පට කළේ පොළොවේ ගැහුවා කිව්වලු. මොකක්ද මේ නස්පැත්තිය බර්ටියට පාත්වෙච්ච. දැන් මොනවා කරන්නද වෙන්න නැන්දම්මාවත් හම්බවෙලා දුවව ඉල්ල ගන්න හිතාගෙන බර්ටියා සෙනසුරාදා උදේ තිබ්බ පන්තිය ඉවරවෙලා දොළයත් එක්ක ගියා ආඳලගේ ගෙදර. ගෙදර වසන්තිලගේ අම්මා තියා ආඳාවත් නෑ. අපි දෙන්නා ආපහු ගම්පහට යන්න යනකොට අපි දෙන්නා නගින්න ගිය බස් එකෙන් මේ නසරාණියා බැස්සා. මේකා ඒ පාර කියනවා වසන්තිගේ අම්මා අද ගෙදර නැහැයි කියලා. බර්ටියි දොළයයි ඉතින් ලස්සන සුද්ධ සිංහල වචන කීපයක් පාවිච්චි කරලා මේකව අමතලා ආඳත් එක්කම ආපහු ගම්පහට ගියා ඊළග පන්තියට යන්න. බර්ටිය කවදාවත් වසන්තිගේ අම්මව හම්බවුනේ නෑ‍. මේකා සුපුරුදු පරිද කෙබරයක් අත ඇරලා.

ඔය හැම දේමත් එක්ක කාලය ගෙවිලා ගියා. අපි වෙන්වෙලා ගියා. ඒත් අපේ යාළුකම තාමත් ඉතුරු වෙලා තියෙනවා. දැන් ආඳා වැඩ කන්නේ විදුලි බල මණ්ඩලයේ. ඉතින් විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වෙන එක අහන්න දෙයක් යැ. පහු ගිය දවසක (ගිය අවුරුද්දේ වෙසක් දවස් වල) බර්ටියා ඉන්න ගෙදර විදුලි බලය නැතුව ගියා. කොච්චර උත්සාහ කළත් හදාගන්න කෙනෙක් හොයාගන්නත් බැරිවුනා. එක මනුස්සයෙක් ආවත් මිනිහට මොකද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න බැරුව යන්න ගියා. අපි බර්ටියා කරුවලේ. පස්සේ තමයි බර්ටියාට මතක් වුනේ ආඳාව. බර්ටියා ඉතින් ජංගම දුරකතනයෙන් ආඳාගේ නොම්බෙර් හොයාගෙන මේකව අමතලා බර්ටියාගේ දුක කිව්වා. කියල කාව හරි දන්න කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා බර්ටියා වැටිලා ඉන්න අමාරුවෙන් ගොඩ එන්න. පැය දෙක තුනකට පස්සේ ආඳා බර්ටියා හිටිය ගෙදරට ඇවිල්ලා මීටරේ ගාව චෙක් කරලා ලෙඩේ හොයාගෙන වැඩේ ගොඩ දැම්මා. කතා දෙකක් නෑ හොඳ බාස්.

මේවා තමයි ඉතින් ආඳා ගැන මතක තිියෙන විස්තර. අපේ කෘෂි විද්‍යාව පන්තියේ කවුරුවත් හම්බ වුනෙත් නෑ ළගකදී පරණ විස්තර මතක් කරගන්න. මොනා කරන්නද ඉතින්, බර්ටියාට මතක තියන විදහට තමයි ලියන්නේ. මේ ටික කොටාගන්නත් පැය ගාණක් ගියා. සෑහෙන දවසක් නොලියා ඉදලා බර්ටියා කම්මැලි වෙලා කියලයි බර්ටියා හිතන්නේ. මේ මාසෙට බ්ලොග් සටහන් පහක් වත් ලියන්න බර්ටියාගේ අදහසක් තියෙනවා. බලමු උත්සාහ කරලා හරියයිද කියලා. සිංහලෙන් ටයිප් කරන්න සෑහෙන්න මහන්සි වෙන්නත් එපායෑ. කට්ටියට බර්ටියාගේ කතා එපා වෙලාද මන්දා. කියවන කට්ටිය කොමෙන්ට් එකක් වත් දාන්නේ නෑ. කියවන කව්රු කව්රුත් බැනලා හරි කොමෙන්ට් ඒක බර්ටියාගේ හිතට හොදයි. එහෙනම් අදට බර්ටියා ගිහිල්ලා එන්නම්.