ඇඹිලිපිටියෙන් කෑම

මේ කියන දේ සිද්ධ වුන දවස් වල බර්ටියා රස්සාවක් නැතුව වේලී වේලී හිටියේ. දවසක් බර්ටියාට බටයා කෝල් එකක් දීලා කිව්වා අපේ ගැට කිඹුලගේ තාත්තා අන්තරා වෙලා කියලා. මලිතටත් පණිවිඩය කිව්වා, අපි කොහොම හරි මළ ගෙදර යන්න ඕනේ කියලා බටයා තරයේ කියා සිටියා. ලපයි සිපයි අර මොක්කුද මොනාද කරයි කියලා බර්ටියා බටයට යන් කියලා කිව්වත් බර්ටියාගේ පර්ස් එක හරියටම තිබ්බේ රුපියල් 200 යි. ඕකෙන් කොහෙද ඇඹිලිපිටි ගිහිල්ලා එන්නේ. බර්ටියා ඒ පාර මලිතයට කතා කරලා බර්ටියගේ අමාරුව කිව්වා. මලිතයා ඉතින් සුපුරුදු පරිදි කිව්වේ උඹ ඇදුමක් දාගෙන බෝඩිමට වරෙන් කියන එක. අනේ ඉතින් බර්ටියා හවස 4 විතර වෙනකොට මලිතයාගේ බෝඩිමට ගියා. ඒ දවස් වල බටයට තිබ්බේ නිසාන් වැනට් වෑන් එකක්. බටයා වැඩ ඉවර වෙලා ඕකත් අරගෙන හවස 7 විතර මලිතයගේ බෝඩිමට ආවා. අපි ඉතින් 7.30 ට විතර ඇඹිලිපිටිය බලා යන ගමන ආරම්භ කලා.

ඇඹිලිපිටියේ කිව්වට මළ ගෙදර තිබ්බේ මිද්දෙනියේ. ඇඹිලිපිටියෙන් හැරිලා ඇතුලට යන්න ඕන. අපි යන පාර දැනගෙන හිටියෙත් නෑ. කිඹුලටම කොල් කරලා තමයි පාර අහගත්තේ. අපි තුන්දෙනා රත්තනපුර පැත්තට එනකොට පොලීසියෙන් වාහනේ නැවැත්තුවා. අපි ඈත තියාම දැක්කා පොලීසිය ඉන්නවා. එතකොටත් අපි ගියේ 80 වට විතර. බටයා දන්න සෙල්ලම් දාලා 70 ට විතර වේගය අඩු කරගත්තත් පොලීසියෙන් අපිට දඩේ ගහන්න තමයි ලෑස්ති වුනේ. අපි ඉතින් කැම්පස් ID එහෙම පෙන්නලා මළ ගෙදරක යනවා කියලා යන්නතම් වැඩේ ෂේප් කරගත්තා‍. පොලීසියෙන් බටයගේ ලයිසන් එක ගත්තා නම් අපිට ඒක ගන්නම ආයෙත් එන්න වෙනවා. සෙල්ලම් වැඩක් යෑ ඒක. පොලීසියෙන් යන්තම් බේරුණා.

ඊට පස්සේ තව තැනකදී වංගුවක් ගන්න ගිහිල්ලා අපි වංගුවේ ස්ටිකර් වෙන්න ගිහිල්ලා යන්නතම් බේරුණා. බටයා දන්න සෙල්ලම් ඔක්කොම දාලා කපලා කපලා යන්තම් වාහනේ නවත්ත ගත්තා. අම්මෝ ඒ වංගුව ගන්න බැරිවුනා නම් අපි තුන්දෙනා තාමත් වංගුවේ ස්ටිකර් වගේ ඇලවිලා ඉන්න තිබ්බා. ඊට පස්සේ අපි ටිකක් හෙමින් ගියා. මගදි හම්බවෙච්ච පෙට්ටි කඩේකින් රෑටත් කාලා ආපහු ගමන පටන් ගත්තා. අන්තිමට යන්තම් පාර හොයාගෙන පාන්දර 1 ට විතර අපි මිද්දෙනියේ තිබ්බ කිඹුලගේ ගෙදරට ආවා. කිඹුලගේ තාත්තට අවසාන ගෞරව දැක්කුවට පස්සේ කිඹුලා අපිට ළග තිබ්බ ගෙදරකට එක්ක ගියා. අපි එවුන් කීප දෙනෙක්ම එතන හිටියා. ඇම්ඩා, කයි අප්පුවා එතකොට ජුන්ඩා මේ කට්ටියම පොඩි චැට් එකක් දාගෙන ඕමියක් බලනවා. බර්ටියයි මලිතයයිත් ගිය ගමන්ම ඕමියට සෙට්වුනා. බටයා පුටුවකට වැටුණා මොකද ආපහු වාහනේ එළවගෙන යන්නත් තියෙනවනේ එකට. පහුවෙලා හේමාලි නංගියි, බර්නාඩුයි, මොහොමඩ් චින්තකයි තුන්දෙනත් මළ ගෙදර ආවා. චින්තකයා ඔය දවස්වල යාළුවෙලා හිටියේ මුස්ලිම් ගෑණු ළමයෙක් එක්ක. ඒකයි පොරට මොහොමඩ් චින්තක කියන්නේ.

අපි ඕමි ගහනකොට කයි අප්පුවයි මලිතයයි අතර වලියක් යන්න ගිහිල්ලා ඒකත් බේරලා බටයට වෙන්න ගිය අතවරකිනුත් ඒකාව බේරගන්න ගත්තා. අතවරේ මොකක්ද කියලා අහන්න එපා ඒක කියන්න බෑ. ඔය අපි බටයව අතවරේකින් බේරගත්ත දෙවෙනි පාර. එක සැරයක් මාතර ගිහිල්ලා එනකොට බස් ඒකේදී කෙල්ලෙක්ගෙන් වෙච්ච අතවරේකින් අපි මූව බේරගත්තා (අතවර බටයව හොයාගෙන එනවාද මන්දා). ඊට පස්සේ කිඹුලා අපි තුන්දෙනාව ළග තිබ්බ ගෙදරකට එක්ක ගෙන ගියා නාගන්න කියලා. එහෙ වතුර ටැංකිවලට පුරවලා තියන්නේ. අපි තුන්දෙනා නාලා ඉවර වෙලා පොඩි නින්දක් දා ගත්තා. උදේ නැගිටලා මූණ කට හෝදගන්න බලනකොට කිඹුලා ඇවිල්ලා අපිට එක්කගෙන ගිහා මාළු වගයක් කපා ගන්න කියලා. මලිතයා ඉතින් පිහියත් ගාලා ඉවර වෙලා මාළු කපන්න ලෑස්ති වෙනකොට වටේම ඉන්න පොරවල් උපදෙස් දෙන්න ගත්තා මාළු කපන විදිහ ගැන. අම්බානකට තච වෙච්ච මලිතයා මාළු කපන එක උපදෙස් දුන්න පොරවල් වලටම කරගන්න දීලා පැත්තට වුනා. ඊට පස්සේ අපි මූණ හෝදගෙන උදේට කෑවා. උදේට කනකොට 10 ට විතර ඇති.

දැන් ඉතින් ආපහු යන්නත් එපායැ. යන්න කලින් නාන්න ඕනේ කියලා අපිට හිතුණා‍. තැන තැන තිබ්බ ටැංකි වලින් නාන්නේ නැතුව කිඹුලගෙන් විස්තර අහගෙන ළඟ පාත තිබ්බ වැවකට යන්න අපි තීරණය කලා. අපි තුන්දෙනාට අමතරව බර්නාඩ්ලා කට්ටියත් සෙට්වුනා වැඩේට. අපි ඉතින් වැවට යන්න ගත්තා. යනවා යනවා ඉවරයක් නෑ මේ යෑම. ඒ පාර වැවට යන එක පැත්තකින් තියලා මිනිස්සු නාන ඇල පාරකින් අපිත් නාගත්තා. නාලා අහවර වෙලා ආපහු කිඹුලගේ ගෙදරට ඇවිල්ලා අපි කොළඹ එන්න ලෑස්ති වුනා. කිඹුලට කියලා මාරු වෙන්න හැදුවට හරි ගියේ නෑ. මේකා දවල්ට කාලා මිසක් යන්න දෙන්න බෑ කිව්වා. ඒ පාර 12 ට විතර දවල්ට කෑවා කිඹුලගේ ගෙදරින්. දැන් ආපහු කොළඹ එන්න අපි තුන්දෙනාට අමතරව තව 5 ක් ඉන්නවා. බර්නාඩ්, මොහොමඩ් චින්තක, හේමාලි, ඇම්ඩා, සහ ජුන්ඩා. බටයගේ වෑන් එකේ පිටිපස්සේ එක ශීට් එකයි තියෙන්නේ. මුන් පස්දෙනාම කොහොම හරි ඕකේ පශ්චාත් භාගය ඔබා ගත්තා. යන්න පොඩ්චකට කළින් මොහොමඩ් ඉදන් කිව්වා අපේ ගෙදර ගිහිල්ලා යමු. මෙහාට හරි කිට්ටුවෙන් තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒකම අහපි මොනවද හදලා තියන්න ඕන කියලා. ඒ පාර අපි කාලම නැති කුරහන් තලප හදන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒකත් වැඩේ හරි කිව්වා. ඉතින් අපි කිඹුලගේ ගෙදරින් පිටත් වෙලා 1.30 විතර වෙනකොට මොහොමඩ් චින්තකගේ ගෙදරට ආවා.

අප්පට සිරි මොහොමඩ්ලගේ ගෙදර කුරක්කන් තලප විතරක් නෙමෙයි මඤ්ඤෙක්කයි බතුයිත් ලෑස්ති කරලා. කුරහන් තලප ගිලින්න සැමන් මාළුයක් සැරට හදලා තිබ්බා. බර්ටියා කෑම පටන් ගත්තේ කුරහන් තලප වලින්. ඊට පස්සේ බත් වලටත්, බත් වලින් මඤ්ඤෙක්කා වලටත් මාරු වුනා. දැන් නාහේ කිට්ටුවට විතර ඇවිල්ලා. කාලා ඉවර වෙනකොටම වගේ මොහොමඩ්ගේ අම්මා කිරි හට්ටි තුනක් ගෙනල්ලා තිබ්බා අතුරු පසට. දැන් කට්ටියම අයිස් ක්‍රීම් කන පොඩි කප් වලට කිරි බෙදාගෙන සීනි දාගෙන කනවා බොහොම වැදගත් විදිහට. බර්ටියත් කෑම මේසේ පුටුවක වාඩි වෙලා බලන් ඉන්නවා. මලිතයා බර්ටියට ඉතුරු වෙච්ච කිරි හට්ටි දෙක පෙන්නලා ඇහුවා කමුද කියලා?

බර්ටියා ඉතින් කන බොන වැඩ වලට බෑ කියලා අපහාස කරන චරිතයක් නෙමෙයිනේ. ඒ පාර අපි දෙන්නා වට පිට බලලා හොදි බෙදන දීසි දෙකක් හොයා ගත්තා. මලිතයා කිරි හට්ටිය මැද්දෙන් ඉරක් ඇන්දා. බාගයක් බර්ටියගේ දීසියට ඉතුරු බාගේ මලිතයගේ දීසීයට. ලුණු පොඩ්ඩකුයි සීනියි දා ගත්තා විනාඩි 5 ක් යනකොට කිරි හට්ටිය ඉවරයි. දෙවෙනි කිරි හට්ටිය කද්දී නම් සීනි ඉවර වෙලා මොහොමඩ්ගේ අම්මාට කියලා තව සීනි ටිකක් ගෙන්න ගත්තා. දෙවෙනි කිරි හට්ටියත් ඉවරයි. දැන් බර්ටියටයි මලිතයටයි පුටුවෙන් නැගිට ගන්නත් අමාරුයි. කොහොම හරි මොහොමඩ්ගේ අම්මාටයි තාත්තාටයි වැදලා කරලා අපි වෑන් එකට ආවා. දැන් බර්ටියයා මලිතයයි වෑන් එකට හේත්තුවක් දාගෙන ඉන්නවා, නැගගන්න බැරුව. ඇම්ඩා ආවා. මේකා අපි දෙන්නගේ කෑම දැකලා බය වෙලා හිටියේ. මේක ගත් කටටම කිවවා "බුදු අයියේ උඹලා දෙන්නට නම් මගේ වෙඩින් එක කියන්නේ නෑ, තරහා වෙන්න නම් එපා" කියලා. අපි සැලෙයිද ඕවට? නෑනේ නෑනේ. කොහොම වුනත් ඒකා වෙඩින් එක කිව්වේ නෑ අපිට. බර්ටියට බොහොම අමාරුවෙන් ඉස්සිලා වෑන් එකේ ඉස්සරහා ශීට් එකට නැග ගත්තා. වැඩි දුරක් යන්න වුනේ නෑ ආපහු වෑන් එක නැවැත්තුවා අපිට තුඹ කරවිල ගන්න. එතන ලස්සන ආනමාළු කැනක් තිබ්බා. ඒකෙනුත් ගෙඩි කීපයකට වග කියලා තමයි අපි දෙන්නා ආපහු වෑන් එකට නැග්ගේ.

ආපහු එන ගමන් හේමාලි නංගිව රත්නපුරේ එයාලගේ ගෙදරින් බැස්සුවා. බර්ටිලට තේ බොන්න ආරාධනාවක් ලැබුණා හේමාලිගෙන්. අනේ ඉතින් අපි කට්ටියත් වෑන් එකෙන් බැහැලා ඇවිල්ලා කෑම මේසෙන් වාඩිවෙන අතරේ වැදගත් මිනිස්සු ටික ගියා මූණ කට අත පය හෝදගෙන එන්න. තේ මේසේ කේක්, බිස්කට්, කෙසෙල් ගෙඩි, චොකලට් රෝල් වගේ කෑම ජාති හය හතක් තිබ්බා. මේසේ වාඩි වෙලා හිටියේ බර්ටියි මලිතයි බටයයි ජුන්ඩයි විතරයි. මලිතයා ඇහුවේ කමුද කියලා විතරයි. කට්ටිය මූණ හෝදගෙන එනකොට කෙසෙල් ගෙඩි දෙකක් විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඔක්කොම ටික ඉවර කරන්න අපිට විනාඩි පහක්වත් යන්න නැතුව ඇති. හිතාගන්න බෑ එච්චර කෑම ගොඩක් කොහාට බැස්සුවද කියලා. හොද වෙලාවට හේමාලි නංගිලට කඩයක් තිබ්බේ. නැත්නම් අනිත් එවුන්ට තේ විතරයි බොන්න වෙන්නේ.

බර්ටියා නම් හිතන්නේ හේමලි නංගිගේ ගෙදර මිනිස්සු බය වෙන්න ඇති මේ මොන සාගත හමුදාවක් ද කියලා. ඒ හින්ද මද කොහෙද හේමාලි නංගිගේ වෙඩින් එකත් අපි දෙන්නට කිව්වේ නෑ. තේ බීලා ඉවර වෙලා ගමනේ ඉතුරු ටික එන්න අපි සෙට් එක ආපහු වෑන් එකට නැග්ගා. කොහොමත් රෑ අටට විතර බර්ටියයි මලිතයයි විජේරාම හන්දියෙන් බැහැ ගත්තා. බටයා ඔය කොහොද අස්සකින් දාලා ගෙදර ගියා. මලිතයා බර්ටියට බයික් එකේ පිටකොටුවට ගෙනල්ලා දැම්මා. මලිතයගෙන් රුපියල් පනහක් ඉල්ලගෙන බර්ටියා නිට්ටඹුව බස් එකක නැගලා ගෙදර ආවා රෑ 10.30 විතර.

මෙහෙම කෑමක් බර්ටියා වුනත් ඊට කළින් කාලා තිබ්බේ නෑ. මේ සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගියත් අද වගේම මතකයි. ඔය කතාව අහපු අපේ මුට්ටියා බර්ටියාටයි මලිතයාටයි කාඩ් එකක් ගැහුවා ආහාර විනාශ කරන යන්ත්‍ර දෙක කියලා. කතාව ඉවරයි ඕං.

විදේශික බර්ටි

හැමෝටම සිද්ධ වෙනවා වගේ බර්ටියාටත් හිතන්නේ නැති සිද්ධි කඩා පාත් වෙනවා. මෙහෙම පාත් වෙන සිද්ධි ගොඩක් වෙලාවට හිනාවෙන්න පුළුවන් දේවල්. සමහර වෙලාවට එහෙම හිනාවෙන්න බැරි භයානක දේවලුත් සිද්ධවෙනවා. මේ කියන්න යන්නේ එහෙම දෙයක් නෙවෙයි හිනා වෙන්න පුළුවන් දෙයක්. බර්ටියාව දැකලා තියෙන අය නම් දන්නවා බර්ටියා සෑහෙන්න සුදුයි කියලා. හා හා කැරපොතු සුද එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා බොහොම ලස්සන දැකුම් කළු සුදක් හොදද?

ඔන්න ඉතින් දවසක් බර්ටියා බර්ටියා මලිතයත් එක්ක අම්පාරේ රවුමක් ගහන්න ගියා. අම්පාරේ සෑහෙන පිස්සුවක් කෙළලා 10 ට විතර කහටගස්යායෙන් පිටත් වුනා කොළඹ එන්න. ඒ එනකොට එහෙ මල්ලි කෙනෙකුත් ආවා අපිත් එක්ක. පොර මහියන්ගනේ කාර්මික විද්‍යාලෙක මොකක්ද පාඨමාලාවක කර කර හිටියේ. බස් ඒකේ කට්ට කන වට වඩා අපිත් එක්ක එන ඒක ලේසි නිසා පොරත් ඉතින් අපිත් එක්ක සෙට්වුනා. ඒත් මලිතයාගේ වාහන එලවිල්ල දැකලා නම් මිනිහා පොඩ්ඩක් විතර බය වෙලා හිටියේ. බර්ටියාට නම් මලිතයා ඩබල් සිග්නල් දාලා ඉස්සර කරන ඒවා පාරේ ඉන්න කෙල්ලන්ට හොන් ගහන ඒවා එහෙම හොදටම පුරුදු නිසා මේ එලවිල්ල ගාණක් වුනේ නෑ. ඇත්තම කිව්වොත් බර්ටියා ඒ වැඩේට කැමතියි. ඉතින් ඔහොම එනකොට පාර අයිනේ කොමඩු විකුණන්න තියෙනවා දැක්කා‍. ඉතින් අපිටත් හිතුනා කොමඩු ගන්න. ගෙදර ගෙනියන්නයි කාලා යන්නයි දෙකටම. ඔහොම ඇවිල්ලා දඩ සයිස් කොමඩු වගයක් විකුණන්න තියෙන තැනක් දැකලා මලිතයා එතන ඩබල් කැබ් එක නැවැත්තුවා. බර්ටියා මේ වෙලාවේ හිටියේ සුදු කොට ෂෝටකුයි සුදු ටී-ෂර්ට් එකකුයි ඇදලා. වාහනේ නැවැත්තුවට කොමඩු විකුණන තැන කවුරුවත් හිටියේ නෑ. මලිතයා ඉතින් හෝන් එක ගැහුවා කීප සැරයක්. විනාඩියක් ගියේ නෑ ඇතුලට වෙන්න තිබ්බ ගෙදරින් වයසක් ගෑණු කෙනෙක් දුවගෙන ආවා කොමඩු විකුණන තැනට. වයසක කිව්වට ගොඩක්ම වයස නෑ ඉතින්. අවුරුදු 60 ක් 65 ක් වගේ තමයි.

බර්ටියත් ඉතින් පොර වගේ කැබ් එකේ දොර ඇරගෙන බිමට බැහැලා කොමඩු ගෙඩියකට තට්ටුවකුත් දාලා බලන කොට මලිතයි අර මල්ලියි එතනට ඇවිල්ලා හිටියා වාහනෙන් බැහැලා. බර්ටියා ඉතින් අර ගෑණු කෙනාගෙන් කීයද මේ කොමඩු කියලා ඇහුවා. මේ ගෑණු මනුස්සයා බයවෙලා වගේ බර්ටියා දිහා බලලා "හානේ සිංහලත් කතා කරනවනේ" කියලා කිව්වා. ඊළඟ තප්පරේදී මලිතයා බක බක ගාලා හිනා වෙන්න ගත්තා. බර්ටියාටත් හිනා. මේ ගෑණු කෙනා හිතලා තියෙන්නේ බර්ටියා වෙන රටක ඉදන් ආපු සුද්දෙක් කියලා. අප්පට සිරි වෙනවා කිව්වලු. "පිස්සුද ඇන්ටි, අපි මූව මේ ගම්පහ පැත්තෙන් අහුල ගත්තේ". "මූ මේ සුදු පාටට හිටියට සුද්දෙක් නෙමෙයි" කියලා මලිතයා කතාව දිග ඇරියා. ම් ම් ම් ඒත් ඇන්ටි කතාව පිළිගන්න පාටක් නෑ. ඇන්ටිට ඕන මඟුලක් කරගන්න කියලා බර්ටියයි මලිතයයි කොමඩු තෝරන්න ගත්තා. මේවා පත සයිස් කොමඩු. අපි දෙන්නා කොමඩු ගෙඩි තුනක්ම ගත්තා. දෙකක් ගෙවල් වලට ගෙනියන්න. ඉතුරු එක ඒ වෙලාවේ කන්න. ඇන්ටිට සල්ලිත් දීලා ඇන්ටිගෙන්ම පිහියත් ඉල්ලන් අපි ඉතුරු කොමඩු ගෙඩිය කැපුවා. ඉස්සෙල්ලාම ගෙඩිය දෙකට කපලා ඒකෙන් තව තරමක කෑලී 3ක් කපා ගත්තත් තවත් කොමඩු ගෙඩියේ බාගෙකට වඩා ඉතුරුයි. බර්ටියයි මලිතයයි අර මල්ලියි කෑලි කොමඩු කෑලි 3 කෑවා. කලා ඉවර වුනාට පස්සේ අර මල්ලි අහනවා ඉතුරු ටික අරගෙන යන්නේ කොහොමද කියලා? මලිතයා ගත් කටටම ඇහුවා මොන ඉතුරු ටිකද කියලා. "ඇයි මලිත අයියේ කොමඩු ගෙඩියේ ඉතුරු ටික?" "ඕකේ මොනවා ඉතුරු වෙන්නද මල්ලි" කියපු බර්ටියා පිහිය අරගෙන අර ඉතුරු වෙච්ච කොමඩු ගෙඩිය කෑලි වලට කැපුවා. මල්ලිට නම් වෙන කන්න බැහැයි කිව්වා. කොමඩු විකුණපු ඇන්ටියි අර මල්ලියි ඇස් උඩ තියන් බලන් ඉන්දිද්දී බර්ටියයි මලිතයයි කොමඩු ගෙඩියා කාලා ඉවර කලා. ඇන්ටිගෙන් වතුර ටිකකුත් ඉල්ලන් මූණයි අතුයි හෝදගෙන බර්ටියයි මලිතයයි ආපහු වාහනේට නැග්ගා.

යන ගමන් අර මල්ලි කියනවා අපි දෙන්නා කොමඩු කනකොට ඇන්ටි හෙමින් සැරේ ඒකගෙන් ඇහුවලු බර්ටියා ඇත්තටම සිංහලද කියලා. ඒකා කියලා අපොයි ඔව්, ඔය මාස තුන හතරකට සැරයක් අපි අම්පාරේ ඇවිල්ලා යනවා අපි ඉන්නේ කොළඹ කියලා. ඒ මදිවට ඒකා කියනවා ඒකා හිතුවේ නැහැයිලු අපි දෙන්නා කොමඩු ගෙඩිය කාලා ඉවර කරයි කියලා. බර්ටියා ඉදන් කිව්වා අපෝ මල්ලි ඕකත් කෑමක්ද, අපි කන කෑම මනතුංගගේන අහලා බලන්න කියලා. එක සැරයක් අපි කන කෑම දැකලා එකෙක් කිව්වා බුදු අයියේ උඹලා දෙන්නට නම් මගේ වෙඩින් එක කියන්නේ නෑ කියලා. ඒක වුන හැටි ඊළඟ කතාවෙන් කියන්නම්. අපි දෙන්නා ඉතින් අර මල්ලිවත් මහියංගනේ ටෙක්නිකල් එක ගාවින් බස්සගෙන කොළඹ පැත්තට ඇවිල්ලා ඇඹිලිපිටිය පහුවෙලා දවල්ට කන්න තැනක් හාෙයාගන්න තීරණය කලා.

ඇහුව කතා දෙකක්

මෙදා පාර නම් කියන්න යන්නේ බර්ටියා යාළුවන්ගෙන් අහපු කතා දෙකක්. පොඩි හරි ගත යුතු දෙයක් මේ කතාවල තියෙනවා කියලා බර්ටියා හිතනවා ඉතින්. එහෙම නැත්නම් කියවලා හිනා වෙන්න වත් බැරියෑ. මේ කතා දෙකම විවෘතය හා සම්බන්ධයි. හැබැයි බර්ටියා කතා දෙකම දැනගත්තේ දෙමටගොඩ තිබ්බ ජාත්‍යාන්තර පාසලේ වැඩ කරන දවස් වල. ඒ ඉස්කොලේ බර්ටියා වැඩ කරන කාලේ විවෘතයේ සෙට් එකක්ම බර්ටියා එක්ක වැඩ කළා. හීරා, මලිතයා, ලාංකි නංගි, ලකී, ජුන්ඩා, චින්තා නංගි, සුනාලි නංගි, නිලන්ති නංගි, මොහමඩ් චින්තක (මේ මාෙහොමඩ් කෑල්ල අපි එකතු කරපු එකක් හාෙදේ) එක්ක ගංඟා නංගිත් අපේ සෙට් එකේ හිටියා. වාර විභාග ඉවර වුනාට පස්සේ සමහර දවස් වලට අපි හවස් වෙනකම් ප්‍රශ්න පත්තර බැලුවා. එක දිගටම ප්‍රශ්න පත්තර බලලා කම්මැලි වෙච්ච වෙලාවට අපි සෙට් වෙලා පොඩි කතාවක් දානවා ඔලුව ටිකක් නිදහස් වෙන්නත් එක්ක. මේ ඒ වගේ වෙලාවල කියපු කතා දෙකක්.

පළවෙනි කතාව බර්ටියාට කිව්වේ අපි කාගෙත් හිතවතා වන හීරෝෂ් අයියා. අපි ආදරේට කියන්නේ හීරා කියලා. විවෘතයේ level 5 සත්ත්ව විද්‍යාව කරන කොට එක විෂයක් තියෙනවා මානව ජීව විද්‍යාව (Human Biology) කියලා. බර්ටියාට මතක විදිහට එක දිගට දවස් පහක් මේ විෂයේ ප්‍රායෝගික ක්‍රියාකරකම් (practicals) තියෙනවා. එක සැරයක් හීරා මේ ප්‍රැක්ටිකල් එක කරන කොට තමයි මේ පොල් මලේ කේස් එක සිද්ධ වෙලා තියෙන්නේ. හීරා කිව්ව විදිහට දවසක් මේ ප්‍රැක්ටිකල් එක කර කර ඉන්න අතර තුර එක පාරටම ගෑණු ළමයෙක් ඉකි ගගහා අඩන්න ගත්තලු. කව්රුවත් දන්නේ නෑ මොකක්ද හේතුව කියලා. ඒ අස්සේ අපේ සත්ත්ව විද්‍යා අංශයේ නාලනා මැඩම් ඇවිල්ලා මේ ගෑණු ළමයව වෙනම තැනකට එක්ක ගියාලු. දැන් කට්ටියට ප්‍රැක්ටිකල් එක ගැන නෙමෙයි මේ වෙච්ච සිද්ධිය ගැනයි කතාව. ඒ කට්ටියට විතරක් නෙමෙයි මේ කතාව කියන වෙලාවේ අපිත් හිටියේ මොකක්ද යකෝ මේ වුනේ කියලා හිත හිතා.

හීරා කිව්ව විදිහට මේ ප්‍රැක්ටිකල් එකේ තියෙනවා යම් කිසි රසායනික ද්‍රව්‍යක් එහෙමත් නැත්තම් chemical reagent එකක් පාවිච්චි කරලා pregnancy test එකක් කරන්න. හා හා reagent එක මොකක්ද කියලා අහන්න එපා මොකද හීරා අයියා ඒකේ නම කිව්වේ නෑ බර්ටියාට. අනික දැන් අළුත් ඒවා නෑතැ මේවට වඩා හොඳ. අපේ මේ කතාවට හේතු වෙච්ච අවිවාහක ගෑණු ළමයගේ pregnancy test positive වෙලා. ඒක තමයි ඒ ගෑණු ළමයා හොටු පෙරාගෙන ඉකි ග ගහා අඩලා තියනේනේ. ඒ පාර නාලනා මැඩම් වෙන ගර්ල් කෙනෙකුටත් මේ පරීක්ෂණය කරලා. අප්පට සිරි වෙනවා කියන්නේ ඒකත් ධනාත්මකයි. හැබැයි ඒ ගෑණු ළමයා නම් අඩලා නෑ. ඒ පාර නාලනා මැඩම්ම පරීක්ෂනය කරලා බලලා. ඒකත් ධනාත්මකයි. ඒ පාර ප්‍රැක්ටිකල් කරපු කොල්ලෙක්ටත් මේ pregnancy test එක කරලා‍. කෙළ වෙනවා කියන්නේ ඒකත් positive. අන්න ඒ පාර තමයි අපේ මැඩම්ලා කට්ටිය ස්ථිරවම කියලා තියෙන්නේ මේක පාව්ච්චි කරපු chemical reagent එකේ අවුලක් කියලා. ඒත් කතාවේ හොදම කෑල්ල අර අවිවාහක ගෑණු දරුවා ඇඩුවේ ඇයි කියන එක. සරලවම කිව්වොත් අදාල නෑනේ. ඒත් අදාල වෙලාද දන්නේ නෑ ඇඩුවේ නේද? පුළුවන් නම් දීපල්ලකෝ උත්තර මේවට. හීරා අපෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා. අපේ කට්ටිය දීපු උත්තර බර්ටියා මෙතන කියන්න යන්නේ නෑ. අැත්තටම අඩන්න තරම් හේතුවක් ඒ ගෑණු දරුවට තියෙන්න ඇති නේද? බර්ටියා ඉතින් ඒ ගෑණු ළමයව මනින්න කරන්න යන්නේ නෑ අද කාලේ වෙන කොට ඔය වගේ දේවල් බොහොම සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ.

දෙවෙනි කතාව බර්ටියට කිව්වේ අපේ ජුන්ඩා මල්ලි. ජුන්ඩා ඇවිල්ලා අපේ ඉංජිනේරු හා තාක්ෂන පීඨයේ ශිෂ්‍යයෙක්. මේ ඇවිල්ලා අරක්කු හා සම්බන්ධ වෙච්ච කතාවක්. ජුන්ඩා ඉස්සර හිටියේ විවෘතය කිට්ටුවම බෝඩිමක. මේ බෝඩිමේ ජුන්ඩගේ බැජ් ඒකේ කීප දෙනෙක්ම නැවතිලා හිටියා. ඔය අතරින් හිරන්ත, දෙවටා හා ඇම්ඩා කියන චරිත තාමත් බර්ටියගේ මතකයේ තියෙනවා. හදිස්සියකට නවත්න්න තැනක් නැති ජුන්ඩලගේ සෙට් එකේ කට්ටිය නවතින්න එන්නේ මේ බෝඩිමට තමයි. බර්ටියත් දවසක් දෙකක් ඔය බෝඩිමේ රැය පහන් කරලා තියෙනවා. ඒ දවස් වල මේකේ හිටපු කට්ටිය අනිවා මාසෙකට සැරයක් වත් සෙට් වෙනවා. මොනවා කරන්නද පොත් එක්කම ඔට්ටු වෙලා වෙනසක් තියෙන්නත් එපායැ. ඔහොම සෙට් වෙච්ච වෙලාවක් ඉතුරු වෙච්ච කොටයක් (කොටයක් කියන්නේ බොන්න බැරි නිසා බෝතලේ ඉතුරු කරන අරක්කු ටිකට) තිබිලා තියෙනවා දුක් විද විද. එක දවසක් මේ බෝඩීමේ නිතර දෙවෙලේ නොයින්න පොරක් ජුන්ඩටද කොහෙද (බර්ටියට කෙනාව මතක නෑ) කතා කරලා අහලා තියෙනවා අර කොටේ තාම ඉතුරු වෙලා තියෙනවාද කියලා. ජුන්ඩත් ඔව් කියලා. ඒ පාර මේකා ජුන්ඩට කියලා මචං මායි තව එකෙකුයි අද බෝඩිමට එනවා‍‍. ඕක එහෙනම් තියපන් අපිට බොන්න කියලා. ජුන්ඩත් හා කියලා ෆෝන් එක තියලා. ඉතින් මේ කෙරිච්ච සංවාදය හෙම්බිරිස්සාවට කොත්තමල්ලි තම්බ තම්බ හිටපු හිරන්තයටත් දැනගන්න ලැබුණා. අපේ එවුන්ටත් ඔහොම දෙයක් දැනගන්න ලැබුණහම අර හිඟන්නට ප්‍රයිඩ් රයිස් එකක් ලැබුණා වගේ වැඩක්නේ. මේකා මොකද කලේ අරක්කු කොටේ වෙන බාේතලයකට දාලා අරක්කු බෝතලේට මුගේ හෙම්බිරිස්සාවට තම්බපු කොත්තමල්ලි පුරවලා තිබ්බ තැනින්නම තිබ්බා. දැන් ජුන්ඩයි හිරන්තයයි සද්ද නෑ.

අනේ ඉතින් අපේ කතා නායකයා හැන්දෑවේ 7 ට විතර යාළුවත් එක්ක බෝඩිමට අාවා රයිස් එකකුයි සැන්ඩි බාේතලේකුයි අරගෙන කොටේට වග කියන්න. ඇවිල්ලා මුණ කට එහෙම හෝද ගෙන රයිස් එකත් දිග ඇරගෙන සෙට්වුනා කොත්තමල්ලි බොන්න. ජුන්ඩයි හිරන්තයයි හෙම්බිරිස්සාව පිටින් දාලා ෂේප් වුනා. දැන් අපේ පාෙරවල් දෙක කොත්තමල්ලි කොකා කොලා එක්ක සැන්ඩි කරගෙන රයිස් කන ගමන් කතාව. අපි කතාව ලේසි වෙන්න දෙන්නගෙන් එකෙකුට සුරංග කියමු අනිකට මංජු කියමු, මොකද බර්ටියාට දැන් කට්ටියගේ අැත්ත නම් මතක නෑ. ඇත්තම කිව්වොත් මුං දෙන්නටම බොන්න බෑ. තනි ෂොට් එක ගහනකොට කරටිය කඩා ගන්න පොරවල් දෙකක් මේ.

සුරංග: මචං !
මංජු: ඇයි බන්?
සුරංග: ඇයි බන් අපිට අද වෙරි නැත්තේ?
මංජු: ඒ මචං අපි දැන් බීලා පුරුදු වෙලා. ඒකයි අපිට දැන් ගැහුවට වදින්නේ නැත්තේ

මංජුවට මේක කියලා කටගන්න හම්බවුනේ නෑ ජුන්ඩයි හිරන්තයයි අමාරුවෙන් තද කරගෙන හිටපු හිනාව කඩාගෙන එළියට පැන්නා. අනේ හුත්.... තොපි දෙන්නා මෙතන කොත්තමල්ලි බීලා තව එනවා පොරවල් වෙන්න‍. අඩු තරමේ තොපි දෙන්නට අරක්කුයි කොත්තමල්ලියි වෙන් කරලා අදුර ගන්න බෑනේ. ඒ වුනාට මහ ලොකු බේබ්දදෝ. හිරන්නතයා කැතම විදිහට මුන් දෙන්නවම නොන්ඩි කරලා දැම්මා.

ඇත්තනේ කතාව. යකෝ මුන්ට අරක්කු වලයි කොත්තමල්ලි වලයි වෙනස තේරෙන්නේ නැත්නම් තියන්න වටින්නේ නෑනේ. ඔන්න ජීවිතේට නොබ්ව්ව එකෙක් නම් කමක් නෑ කියමුකෝ. ඒ මදිවට ලොකු කතා කියන්නත් එනවා‍. කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සේ සුරංගයාටයි මංජුවටයි මාස ගාණක් යනකම් මූණ හංගගෙන තමයි කැම්පස් එක පැත්තේ යන්න වුනේ.

ඉතින් ඔන්න ඔහොමයි කතා දෙකම සිද්ධ වුනේ. බර්ටියා අැතුළු කට්ටියම මේ කතා අහලා බඩ අල්ලගෙන හිනා වුනා එදා නම්. බර්ටියා කොමඩු කන්න ගිහිල්ලා විදේශිකයෙක වෙච්ච කතාව ඊළඟ පාර කට්ටියට කියන්නම්. අදට ඔය අැති. තව සතියකින් විතර ඉස්කෝලේ වාර විභාග පටන් ගන්න හින්දා බර්ටියාට විවේකයක් නැතුව යනවා. කමක් නෑ අපි බලමුකෝ. ගිහිල්ලා එන්නම්. ආයුබෝවන් හැමෝටම.