වඩේ ගැන කතාවක්

මේක ඇවිල්ලා වඩේ ගැන කතාවක්. අපේ ගොඩක් අය වඩේ කන්න කැමතියි නේ. ගොඩක් කට්ටිය කෝච්චියේ යන එන කොට කම්මැලිකම යන්නත් එක්ක එහෙම නැත්නම් පොඩි බඩගින්නක් හැදුනහම කෝච්චියේ වඩේ විකුණන මනුස්සයෙක්ගෙන් වඩේ ටිකක් අරන් හප හපා එනවනේ. අනික වඩේ හොද කටගැස්මක්. මේක ඇවිල්ලා කෝච්චියේ වඩේ විකිණීම හා සම්බන්ධ කතාවක්. මේක වෙච්ච දවස් වල බර්ටියා විවෘතයේ ඉගෙන ගන්නවා. හවසට ගෙදර එනකොට නාවලින් 176 හෙට්ටියාවත්ත බස් එකක නැගලා මරදානින් බැහැලා ගම්පහට එන්න කෝච්චියක නගිනවා. මේ වෙලාවට කෝච්චියේ අම්බානකට සෙනඟ‍. දැන් වගේ බලවේග කට්ටලත් (Power set) නෑ ඒ දවස් වල. සමහර දවස් වලට පරණ කෝච්චිවල පෙට්ටි දෙකක් අස්සේ තියෙන යකඩ තැටිය උඩ තමයි එන්න වෙන්නේ. කොහොමත් හැමදාම වගේ අපි තුන් හතර දෙනෙක් හිටියා ගම්පහට එන්න. මුට්ටියා, ශශී, අපේ නිවුන්නු දෙන්නා ඒ ඇරුණහම තව ඉදලා හිටලා සෙට් වෙන කීප දෙනෙක් හිටියා තිලිණ, චමිලා, වවුලා වගේ. මේ කියන සිද්ධිය වුන දවසේ ශශීයි බර්ටියයි විතරයි හිටියේ.

ඒ දවස් වල මරදානෙන් හවස 6.05 පොල්ගහවෙල යන කෝච්චියක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේ කෝච්චියේ තමයි ගෙදර එන්නේ මොකද මේ කෝච්චියේ සෙනඟ ටිකක් අඩුයි. ඉස්සරහින්ම නැග්ගොත් සමහර වෙලාවට ඉදගන්නත් ලැබෙනවා. මේ කියන දවසෙත් අපි දෙන්නා මරදානට ඇවිල්ලා 6.05 කෝච්චියට නැග්ගා. එදා නම් සෙනඟ ටිකක් හිටියා. අපි දෙන්නා ඉතින් සුපුරුදු විදිහට කෝච්චි පෙට්ටි දෙකක් අස්සේ තියෙන තැටිය ගාවට සෙට් වෙලා කතාවක් දාගෙන ආවා. කෝච්චිය දෙමටගොඩ, කැළණිය පහු කරගෙන පොල්ගහවෙලට බලා ඇදෙනවා. හුණුපිටිය හරියෙදි කෝච්චියේ වඩේ විකුණන වෙලෙන්දෙක් ආවා වඩේ කූඩෙත් ඔළුවේ තියාගෙන එක අතකින් සිලි සිලි බෑග් එකකුත් එල්ලගෙන.

මිනිහා අපි දෙන්නා හිටපු තැනට ඇවිල්ලා වඩේ කූඩේ බිමින් තියලා සිලි සිලි බෑග් එක දිග ඇරලා ඒකෙන් වඩේ වගයක් අරගෙන අර වට්ටියේ අහුරන්න ගත්තා බොහොම ලස්සනට පිළිවෙලට‍. ඒ වැඩේ ඉවර වෙලා කපපු ලොකු ළුෑණු පෙති වගයක් අරගෙන අර වට්ටියේ අඩුක් කලා. වෙළදාම් කරන කොට පොඩි ප්‍රදර්ශනයකුත් තියෙන්න එපායෑ නැද්ද මං කියන්නේ. අපි දෙන්නත් ඕක දිහා කට ඇරගෙන බලන් හිටියාට අපිට වඩේ කන්න ඕන කියලා හිතුණේ නෑ (අපේ වාසනාව). මිනිහා ඒ වැඩේ ඉවර කරලා "වඩේ වඩේ" කියාගෙන ආපහු වෙළදාම පටන් ගත්තා. අපි ඉතින් හිතුවා ගෙදරින් ගෙනාපු වඩේ ටික තමයි වඩේ කාරයා කූඩේට අඩුක්කරගෙන ගියේ කියලා. මෙතනින් ඉවරයි මේ සිද්ධිය. ශශී බටුවත්තෙන් බැහැලා ගෙදර ගියා. බර්ටියත් ඉතින් ගම්පහ ගිහිල්ලා පොඩි රස්තියාදු පාරක් ගහලා ගෙදර ගියා.

කතාවේ දෙවනි කොටස ආරම්භ වෙන්නේ පහුවෙනිදා. පහුවදා උදේ බර්ටියා කැම්පස් එකට ගිහිල්ලා බෙන්ච් එකට වෙලා පොතක් බල බලා ඉන්න කොට ශශී ආවා. ශශී එක්ක අපේ නිවුන්නු දෙන්නත් ආවා, ධනොජා සහ ඔනෝජා. ශශී හරි බරි ගැහිලා වාඩි වෙලා "මාර වැඩක්නේ උමේෂ් වෙලා තියෙන්නේ" කියලා කිව්වා (ශශී මට බර්ටි කියලා කතා කරන්නේ නෑ). බර්ටියත් ඉතින් බැලුවා මොකක්ද මේ මාර වැඩේ කියලා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

ශශීලගේ තාත්තා වැඩ ඇරිලා එන්නෙත් කෝච්චියේ. සමහර වෙලාවට අපි එන කෝච්චියෙත් එනවා. ඊයේ ශශී කෝච්චියෙන් බැහැලා ගෙදර යන්න හදන කොට ශශීගේ තාත්තා එනවලු තෙල් පෙරාගෙන. ශශී ඉතින් අහලා මොකක්ද වුනේ කියලා. කොහොමහරි ශශීලගේ තාත්තට වාඩි වෙන්න තැනක් ලැබිලා ඊයේ. එහෙම වාඩිවෙලා එනකොට රාක්කේ උඩ තියලා තිබ්බ වඩේ කූඩයක් ශශීගේ තාත්තගේ ඇඟට පෙරලිලා. ඒ වඩේ වල තිබ්බ තෙල් වලින් තමයි ශශීගේ තාත්තා නාලා තියෙන්නේ. වෙලාවට වඩේ කාරයත් ඒ හරියේ ඉදලා. මිනිහා ඇවිල්ලා බිම වැටිච්ච වගේ ටිකයි ළුෑනු ටිකක් සිලි සිලි බෑග් එකකට දාගෙන අරගෙන යනකොට ශශීලගේ තාත්තා ඒ මිනිහට කියලා ඕවා විසිකරලා දාන්න, කාටවත් විකුනන්න එහෙම එපා කියලා. වඩේ කාරයත් කියලා ඔව් මහත්තයා මේ ටික අරගෙන ගිහිල්ලා විසික් කරලා දානවා කියලා. එහෙම කියපු වඩේ බුවා අපි දෙන්නා හිටපු තැනට ඇවිල්ලා විසික් කරන්න ගෙනිච්චි වඩේයි ළුෑනුයි ගානට විකුනන්න අඩුක්කර ගත්තා අර වඩේ කූඩේටම. අම්මට සිරි වෙනවා තාත්තට කෙළවෙනවා කියන්නේ ඕවට තමයි ඉතින්.

ඔන්න ඔහොමයි ඉතින් වුනා කියන්නේ. හැබැයි එදායින් පස්සේ අපි කවුරුවත් කෝච්චියේ විකුණන වඩේ කන එක නම් නැවැත්තුවා. ඇයි දෙයියනේ සල්ලි ගෙවලා කුණු ජරාව කන්න පුළුවන්ද? කොහොමටත් කෙනෙක් කන බොන දෙයකට ජරා වැඩ කරන්න හොද නෑ කියන එකයි බර්ටියාගේ අදහස. බ්ලොග් එක කියවන කට්ටියත් කෝච්චියේ යන එන ගමන් කෝච්චියේ විකුණන වඩේ කන අය නම් පොඩ්ඩක් කල්පනාවෙන් වඩේ කෑවොත් හොදයි. මොකද ගෙදර යන්න කළින් දොස්තර ගාවට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ යන කොට දොස්තර හොද ඉස්කෝල ඉල්ලලා වර්ජනය කරලා හිටියොත් එහෙම මාර අවුලක්නේ වෙන්නේ.

Johnnie Walker

අද බර්ටියා කතා කරන්නේ යන්නේ ඉතාමත් ජනප්‍රිය විවිධ මිල ගණන් වලින් මිල දී ගන්න පුළුවන් කාටවත්ම අමතක නොවෙන නමක් හා ලාංඡනයක් තියෙන ස්කොච් විස්කි වෙළද නාමයක් වන ජොනී වෝකර් ගැන.      

ජොනී වෝකර් (Johnnie Walker) මත්ලෝලීන් අතර අතිශයින්ම ප්‍රසිද්ධියටපත් ස්කොච් විස්කි වෙළද නාමයයි (brand name). මෙය ලොව පුරා වැඩිම බෙදාහැරීමක් ඇති blended ස්කොච් විස්කි වෙළද නාමයයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ ඉහළ අලෙවියක් වාර්තා කරන මෙහි බෝතල් මිලියන 130 පමණ වසරකට ලොව පුරා අලෙවි වෙයි. මෙය අයත් වන්නේ ස්කොට්ලන්තයේ කිල්මර්නොක් (Kilmarnock, Scotland) ප්‍රදේශයේ පිහිටි ඩියාජියෝ (Diageo) නම් නිෂ්පාදකයන්ටයි.

මෙය මුලින්ම හැදින්වුයේ වෝකර්ස් කිල්මරනොක් විස්කි (Walker's Kilmarnock Whisky) ලෙසය. ආරම්භයේ දී මෙහි පළමු නිෂ්පාදකයා වන ජෝන් "ජොනී" වෝකර් (John "Johnnie" Walker) විසින් සිය සිල්ලර වෙළද සැලේ තබා අලෙවි කරන ලදි. වර්ෂ 1857 දී සිදුවු ඔහුගේ මරණයෙන් අනතරුව ජොනීගේ පුතා වන ඇලෙක්සැන්ඩර් වෝකර් (Alexander Walker) හා මුණුපුරා වන දෙවන ඇලෙක්සැන්ඩර් වෝකර් (Alexander Walker II) විසින් මෙහි නිෂ්පාදන හා අලෙවි කටයුතු ඉහළ මට්ටමකට ඔසවා තැබීමට සමත් විය. වර්ෂ 1865 දී ඔවුන් විසින් සිය පළමු blend විස්කි වර්ගය වෝකර්ස් ඕල්ඩ් හයිලෑන්ඩ් (Walker's Old Highland) නමින් වෙළද පොළට ඉදිරිපත් කරන ලදි.

වර්ෂ 1865 දී ඇලෙක්සැන්ඩර් වෝකර් විසින් ජොනී වෝකර් වලටම ලාක්ෂණික වු හතරැස් හැඩයේ බෝතලය හදුන්වා දෙනු ලැබීය. මේ නිසා වැඩි බෝතල් ගණනක් එකම ඉඩක ගබඩා කිරීමේ හැකියාවත් ප්‍රවාහනයේදී හා පැටවීමේදි බිදෙන බෝතල් ගණන අඩු කරගැනීමේ හැකියාවත් ඇලෙක්සැන්ඩර් වෝකර් හට ලැබිනි. ඔහු විසින් ජොනී වෝකර් බෝතලය එක්කල අනෙක් අංගය වුයේ අංශක 24 ආනතව ඇලවු බෝතලයේ ලේබලයයි. මෙ මගින් ලේබලයේ වු අකුරු විශාලව හා පැහැදිලිව දැක ගනීමට පුළුවන් කම ලැබිණි.

වර්ෂ 1906 සිට 1909 දක්වා කාලය තුළ ජෝන්ගේ මුණුපුරන් වු ජොර්ජ් සහ ඇලෙක්සැන්ඩර් විසින් මෙය වැඩි දියුණු කරන ලද අතර එහි නිෂ්පාදන විවිධ වර්ණ වලින් නම් (colour names) ක්‍රමය හදුන්වා දෙන ලදි. 1908 දී මෙය ජොනී වෝකර් විස්කි (Johnnie Walker Whisky) ලෙස නැවත නම් (rename) කිරීමක් සිදුකරන ලදි. මේ අවධියේදි එහි ආදර්ශ පාඨය වු (the slogan) "Born 1820—Still going Strong!" නිර්මාණය කරන ලදී. ඒ සමඟම නිල ලාංඡනය වු ඇවිදින මිනිසාගේ රුවද මෙහි ලේබලයට හා අසුරණයට එක් කරල ලදි. ඇලෙක්සැන්ඩර් විසින් Johnnie Walker Swing නිෂ්පාදනය 1932 දී හදුන්වා දෙන ලදී. මෙම විස්කි වර්ගය අඩංගු බෝතලය අමුතු හැඩයක් ගන්නා ලද අතර එම බෝතලය ඉදිරියට හා පසු පසට පැද්දීමේ හැකියාව ඇත.

ජොනී වෝකර් ගබඩා සංකීර්ණය හා කාර්යාලය කිල්මර්නොක් හි දක්නට ලැබුණත් තව දුරටත් එහි විස්කි මිශ්‍ර කිරීම සිදුකරනු නොලබයි. 2012 දී කිල්මර්නොක් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දමන ලද අතර දැන් නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ Leven, Fife, සහ Shieldhall, Glasgow ප්‍රදේශ වලයි.

ආරම්භයේ සිටම ජොනී වෝකර් සීමිත වු මිශ්‍ර විස්කි ප්‍රමාණයක් වෙළද පොළට ඉදිරිපත් කරන ලදි. මෙයට අමතරව විටින් විට විශේෂ හා කෙටි කාලින නිෂ්පාදන රාශියක් (several special and limited bottling) වෙළද පොළ තුල දක්නට ලැබිණි.

    Standard Blends
  1. Johnnie Walker Red Label (from 1909)
  2. Johnnie Walker Black Label (from 1909)
  3. Johnnie Walker Double Black Label (from 1997)
  4. Johnnie Walker Swing (from 1932)
  5. Johnnie Walker Green Label (from 1997)
  6. Johnnie Walker Gold Label "The Centenary Blend" (1997 - 2012)
  7. Johnnie Walker Gold Label Reserve (from 2013)
  8. Johnnie Walker Platinum Label (from 2013)
  9. Johnnie Walker Blue Label (from 1992)
  10. Red & Cola (from 2013) - sold in cans and bottles similar to beer.
    Special/limited bottlings
  • Celebrity - 1972 දී බෝතල් 1462 පමණක් නිෂ්පාදනය කරන ලදි.
  • 21 year old - ඇමෙරිකන් ඩොලර් 1200 වටිනා දුර්ලභ ගොල්ඩ් ලේබලයක්.
  • Blue Label 200th Anniversary - වර්ෂ 2005 දි නිපදවු අතිශයින්ම දුර්ලභ ඇමෙරිකන් ඩොලර් 3600 වටිනා බ්ලු ලේබලයක්.
  • Blue Label King George V Edition - වර්ෂ 2007 දී නිපදවු බ්ලු ලේබලයක්. වටිනාකම ඇමෙරිකන් ඩොලර් 600.
  • Original Swing - ඇමෙරිකන් ඩොලර් 1500 වටිනා පොරොප්පයක් සහිත බෝතලයක්.
  • Quest - විශේෂ දුර්ලභ මිශ්‍රණයක් සහිත බ්ලු ලේබලයක්. වටිනාකම ඇමෙරිකන් ඩොලර් 500.

  • Honour - අතිශයින්ම දුර්ලභ ඉතාමත් මිල අධික මිශ්‍රණයක් සහිත ජොනී වෝකර් ස්කොච් විස්කි විශේෂයක්.
  • The John Walker - කලකට පෙර වසා දැමු ස්කාගාර වලින් ලබාගත් විස්කි මිශ්‍ර කර නිෂ්පාදනය කර ඇත. එකක මිල ඇමෙරිකන් ඩොලර් 3,500 වන බෝතල් 330 පමණක් නිෂ්පාදනය කරන ලදි.
  • Johnnie Walker Diamond Jubilee - වර්ෂ 2012 දි දෙවන එලිසබත් රැජිනට ගෞරව පිනිස 1952 දී ආසවණය කරන ලද විස්කි වලින් නිපදවා ඇති මෙහි බෝතල් 60 සිංගප්පුරුවේදි අලෙවි කර ඇත.
  • Excelsior - 1997 දී බෝතල් කරන ලද ඇමෙරිකන් ඩොලර් 1,700 වටිනා දුර්ලභ විස්කි විශේෂයක්. 1947 දී ආසවණය කර ඇත.

විස්කි

ටික දවසකට පස්සේ ආපු එකේ හැමදාම ලියන දේවල් වලට වඩා වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා‍. මෙදා පාර මම කතා කරන්නේ විස්කි ගැන. කොහොමද මේ විස්කි හදන්නේ කොහෙද ඉස්සෙල්ලාම හදන්න පටන් ගත්තේ කියන වගේ විස්තර ටිකක් කතා කරන්න බර්ටියා බලාපොරොත්තු වෙනවා. අපේ අමද්‍යප කාණ්ඩය නම් මේකට කැමති වෙන එකක් නෑ. ඒත් බර්ටියා වගේ බා බෙද්දෝ නම් වැඩේට කැමති වේවි. එහෙනම් කියව කියව ඉන්නේ නැතුව කෙලින්ම වැඩේට බහිනවා බර්ටියා.

මධ්‍යසාර එහෙමත් නැත්නම් අපේ අයගේ වචනෙන් කියනවානම් අරක්කු. මෙතනදි අපේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ බියර් සහ වයින් ඇරුණහම අනිත් හැම මධ්‍යසාර අඩංගු පානයක්ම වැටෙන්නේ අරක්කු කියන ඝනයට කියන එක නෑ. ඒත් ඒක එහෙම නෙමෙයි. විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා වගේ දේවල් මේ අරක්කු කියන ඝනයට අයත් වෙන්නේ නෑ. බර්ටියා ඒක ගැන වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මධ්‍යසාර පානයක අඩංගු වන ප්‍රධාන රසායනික සංඝටකය වෙන්නේ එතනෝල් (Ethanol, aka alcohol, ethyl alcohol, drinking alcohol) යන නමින් හදුන්වන රසායනික සංයෝගය. අපි රසායන විද්‍යාවේදි මේ සංයෝගය දක්වන්නේ මෙන්න මේ C2H5OH විදිහට.

එතනෝල් වලට අමතරව වෙනත් ඇල්කොහොල් වර්ග (උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතනෝල්) තිබුණත් මිනිසාගේ පරිභොජනට සුදුසු එකම ඇල්කොහොල් වර්ගය වන්නේ එතනොල්‍. ඒතනොල් වුනත් පමණට වඩා පානය කිරිම සුදුසු වන්නේ නෑ. අපි මේ මධ්‍යසාර අඩංගු පාන වර්ග (Alcoholic beverages) වල ඉතිහාසය ගැන කතා කළොත් එහි ආරම්භය හරියටම පැහැදිලි නැතත් මෙහි ඉතිහාසය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය දක්වාම දිව යනවා. බලන් ගියහම ඒ කාලේ ඉදලම මිනිස්සු බේබදදෝ තමයි. මෙම මධ්‍යසාර අඩංගු පාන වර්ග අතරින් ප්‍රධාන තැනක් අරගන්න විස්කි ගැන තමයි බර්ටියා අද ලියන්නේ.

විස්කි (Whisky or Whiskey) ආසවනය (distilled alcoholic beverage) කරන ලද මධ්‍යසාර නැත්නම් ඇල්කොහොල් අඩංගු පානයක්. විස්කි නිෂ්පාදන කිරීමට සඳහා ප්‍රධාන වශයෙන් බාර්ලි යොදා ගනු ලබනවා. බාර්ලි වලට අමතරව බඩ ඉරිඟු, රයි හෝ තිරිඟු වැනි ධාන්‍ය වර්ග යොදා ගනු ලබනවා. නිෂ්පාදනයෙන් අනතුරුව විස්කි පදම් (aged) කරනු ලබන්නේ ඕක් ලීයෙන් නිර්මාණය කරන ලද බැරල් (barrel, cask or tun) වලය. විවිධ වු විස්කි වර්ග අතරින් ස්කොච් විස්කි (Scotch Whisky or simply Scotch) ස්කොට්ලන්තයේ (Scotland) එයටම ආවේණික වු නීති රීති හා සම්ප්‍රදායන් පද්ධතියක් තුල නිෂ්පාදනය කරනු ලබන පානයකි. සෑම ස්කොච් විස්කි වර්ගයක්ම අවම වශයෙන් වසර තුනක් වත් පදම් කළ යුතුයි. මේ අනුව විස්කි නිෂ්පාදනට අවම වශයෙන් වසර තුනකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. බොන තරම් ලේසි නෑ නේද හදන එක? පදම් කරනු ලබන කාලය අනුව මෙම පානයේ රසය හා වර්ණය වෙනස් වෙනවා‍.

ඕනෑම ස්කොච් විස්කි බෝතලයක් වසර කීයක් පැරණිද යන වග එහි ලේබලයේ ඉලක්කමින් (from number) සදහන් කළ යුතුමයි. ඒ වගේම යම් කිසි විස්කි වර්ගයක අඩංගු වන මධ්‍යසාර ප්‍රතිශතය එහි ලේබලයේ අනිවාර්යයෙන්ම දැක්විය යුතුයි. මෙය "ABV" ("Alcohol By Volume") යන යෙදුමෙන් හෝ "Vol" යන යෙදුමෙන් පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් විස්කි බෝතලය ඇල්කොහොල් ප්‍රතිශතය 40% - 46% අතර වෙනවා. සාමන්‍යයෙන් ස්කොච් විස්කි ප්‍රධාන කාණ්ඩ 5 කට බෙදා දක්වන්න පුළුවන්.

1. Single malt scotch whisky - මෙය නිෂ්පාදනය කිරීමේදී ජලය සහ බාර්ලි පමණක් යොදා ගනු ලබයි.

2. Single grain scotch whisky - මෙහිදි ජලය හා බාර්ලි සමඟ වෙනත් ධාන්‍ය වර්ග යොදා ගනු ලබයි.

3. Blended malt scotch whisky - ස්කාගාර කීපයක නිෂ්පාදනය කරන ලබන Single malt scotch විස්කි වර්ග දෙකක් හෝ කීපයක් යොදා නිපදවයි.

4. Blended grain scotch whisky - ස්කාගාර කීපයක නිෂ්පාදනය කරන ලබන Single grain scotch විස්කි වර්ග දෙකක් හෝ කීපයක් යොදා නිපදවයි.

5. Blended scotch whisky - මෙය නිෂ්පාදනය කිරීමේදී blended malt scotch whisky වර්ගයක් හෝ කීපයක් හා Single grain scotch whisky වර්ග එකක් හෝ කීපයක් එකට මිශ්‍ර කරයි.

ස්කොච් විස්කි වල ඉතිහාසය 1494 දක්වා දිව යන්නක්. ස්කොච් විස්කි සංඟමයට (Scotch Whisky Association) අනුව මෙම පානය විකාශනය වී ඇත්තේ "uisge beatha" නම් වු සාම්ප්‍රදායික ස්කොට්ලන්ත පානයක් ඇසුරෙනි. මෙහි තේරුම වන්නේ "ජීවයේ ජලය" ("Water of Life") යන්නයි. ස්කොට්ලන්තයේ විස්කි නිෂ්පාදනයන් සදහා පළමුවෙන්ම බදු අයකර ඇත්තේ 1644 වර්ෂයේදී යි.

විස්කි නිෂ්පාදනයේදි ප්‍රධාන වශයෙන් යොදා ගන්නා අමු ද්‍රව්‍ය වන්නේ බාර්ලි, ජලය හා යීස්ට් ("Yeast") නම් වු ඒක සෙෙලික දිලීර වර්ගයයි. සාමාන්‍යයෙන් විස්කි නිෂ්පාදනයේදී ප්‍රධාන අවධි 7 ක් දක්නට ලැබෙනවා. ඒත් බර්ටියා ඒ අවධි ගැන වෙන් වෙන්ව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ සඳහා යොදා ගන්නා බාර්ලි ඉතාමත් සුපරික්ෂාකාරීව තෝරාගත යුතුයි. එයට හේතුව විස්කි වල රසය බාර්ලි වල තත්වය හා කෙළින්ම බැදී පවතින්නක් විමයි. මීට අමතරව යොදා ගන්නා ජලයේ තත්වයද මෙහි රසයට බලපානවා. ප්‍රථමයෙන් සිදුකරන්නේ බාර්ලි ජලයේ පොඟවා එය ප්‍රරෝහණය වීමට එහෙමත් නැත්නම් පැල වීමට (germination) සැලැස්වීමයි. සාමාන්‍යයෙන් මේ සඳහා දින 8 ත් 21 ත් අතර කාලයක් ගත වෙනවා. ජලයෙන් පෙඟවු බාර්ලි විශාල කාමර වල බිම අතුරා වරින් වර මිශ්‍ර කිරීම සිදුකරනවා. බොහෝ විට මෙය සාම්ප්‍රදායික තාලයට සිදුකරනු ලබන කටයුත්තක්. ඇත්තටම ජලයේ පෙඟවීම තුළින් සිදුවන්නේ බාර්ලි බීජ වල ඇති එන්සයිම (enzymes) ක්‍රියාත්මක වී එහි අඩංගු පිෂ්ඨය (starch) සීනී (sugar) බවට හැරවීමයි. මෙම සීනී යිස්ට් වල ක්‍රියාකාරීත්වයට අතිශයින්ම වැදගත් සාධකයක්. වැඩි දුර බීජ ප්‍රරෝහණය වීම වලක්වා ගනු ලබන්නේ උදුනක දමා බාර්ලි වියලා ගැනීමෙනි.

අනතුරුව මෙම බාර්ලි යන්ත්‍රානුසාරයෙන් කුඩු කර පිටි (grist) කරගැනීම සිදුකරනු ලබනවා. ඉන්පසු මෙම බාර්ලි පිටි විශාල ප්‍රමාණයයේ බැරල් වල දමා ජලය හා මිශ්‍ර කරනු ලබනවා. මෙම බැරල් (mush tun) නිපදවා ඇත්තේ තඹ (copper) ලෝහය යොදා ගෙනයි. එ මගින් පසු අවස්තාවකදී මෙම මිශ්‍රණය රත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් බාර්ලි පිටි හා ජලය අතර අනුපාතය 1:4 ක් වෙනවා. මෙම විශාල බැරල් එකක් ලීටර් 25,000 ක පමණ ධාරිතාවයකින් යුක්ත වෙනවා. බාර්ලි පිටි හා ජලය හොදින් මිශ්‍ර කිරීමට අවශ්‍ය වන භ්‍රමණය වන තල (rotating blades) මෙම බැරල් වල දක්නට ලැබෙනවා. වරින් වර මෙම මිශ්‍ර කිරීමෙන් සමජාතීය මිශ්‍රණයක් (homogeneous mixture) ලබා ගැනීම ඉතාමත් වැදගත් පියවරක්. අනතුරුව සිදුකරන්නේ නියමිත දීලීර විශේෂය මෙම මිශ්‍රණයට එක කිරීමයි. මේ සදහා විවිධ යීස්ට් වර්ග යොදා ගන්නවා. බොහෝ විට මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ Saccharomyces cerevisiae නම් වු යීස්ට් (දීලීර) විශේෂයයි.

යීස්ට්, බාර්ලි පිටි වල ඇති සීනී උපස්ථරයක් ලෙස යොදා ගනිමින් නිර්වායු තත්ව යටතේදී ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව මුදා හරිනවා. මෙම ක්‍රියාවලිය මනා ලෙස පාලනය කළ යුතු වු ක්‍රියාවලියක්. විශේෂයෙන් උෂ්ණත්වය සහ මාධ්‍යයේ ආම්ලික භාෂ්මිකතාවය (Temperature and pH value of the medium) මනාව පාලනය කළ යුතුයි. වර්තමානයේදී මේ සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ පරිඝණක පද්ධති හා මෘදුකාංග යොදා ගනු ලබනවා. දැන් මෙම මිශ්‍රණයේ අඩංගු 8% පමණ ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගු වෙනවා. අනතුරුව මෙම මිශ්‍රණය ආසවණ ක්‍රියාවලියට ලක්කරනවා. මෙහිදි සිදුකරන්නේ මෙම මිශ්‍රණය අඩංගු බැරලය සෙන්ටිග්‍රේට් අංශක 100 (100 OC) පමණ උෂ්ණත්වයකට රත් කරනු ලබනවා. සෙන්ටිග්‍රේට් අංශක 80 දී පමණ ඇල්කොහොල් වාෂ්පීකරනය ආරම්භ වනවා.

මෙම වාෂ්පය නළයක් තුලින් ජලය හරහා යැවීම තුලින් ඇල්කොහොල් ඝනීභවනය කරනු ලබනවා. මෙලෙස ලබාගන්නා ඇල්කොහොල් ද්‍රවය වෙනත් බැරල් වලට එකතු කරගන්නා අතර මෙය මිශ්‍රණය නැවත වාරයක් ආසවණ ක්‍රියාවලියට ලක් කරනු ලබනවා. ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නේ මෙම මිශ්‍රණයේ අඩංගු ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යෑමයි. අනතුරුව මෙසේ ලබාගන්නා ඇල්කොහොල් මිශ්‍රණය ඕක් ලීයෙන් සාදන බැරල් වලට දමා පදම් කීරීම සිදුකරනවා. අවම වශයෙන් මේවා වසර තුනක්වත් පදම් කළ යුතුයි. සමහර ස්කොච් විස්කි වර්ග වසර 12, 18 හෝ ඊට වඩා වැඩි කාලයක් පදම් කරනු ලබනවා. මෙලෙස පදම් කරනු කාලය අනුව විස්කි වල රසය තීරණය වෙනවා. පදම් කීරිම තුළින් විස්කි වල ඇති ඊට විශේෂ වු රසයත් වර්ණයත් අතර පදම් කරනු ලබන කාලය අනුව මිලද වෙනස් වෙනු ලබනවා. අනතුරුව මේවා බෝතල් කිරීම සිදු කරනවා. නියමිත අාකාරයට එයට අදාල ලේබල් යෙදීමත් මේ සමඟම සිදුකරන කටයුත්තක්. අනතුරුව බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබනවා.

විවිධාකාර රසයෙන් යුත් ස්කොච් විස්කි වර්ග ලොව පුරා දක්නට ලැබේ. එයින් වඩාත් ප්‍රචලිත විස්කි වර්ග කීපයක් තමයි පහළින් දාලා තියෙන්නේ.

1. Hundred Pipers
2. Johnnie Walker
3. Black & White
4. Chivas Regal
5. Ballantine's
6. Teacher's Highland Cream
7. Grant's
8. Vat 69
9. The Famous Grouse
10. Clan Gregor
11. White Horse
12. Justerini & Brooks (JB)

අන්තිමටම බර්ටියාට කියන්න තියෙන්නේ "සුරාවේ අැති අගයත්, එහි ඇති මනා ගුණයත්, බොන උතුමෝ මිස. නොබොන අනුවණ දනෝ නොදනිත්" කියලා. මේක බලන බොන එවුන්ට කියන්න තියන්නේ බීපන් අනිත් මිනිස්සුන්ට වදයක් නොවෙන්න, බීපන් සින්දුවක් කියලා විනෝද වෙන්න අනිත් මිනිස්සු එක්ක ගහ මරා නොගෙන, බීපන් තමන්ගේ සල්ලි වලින් අම්මලා තාත්තලා අමාරුවෙන් හොයන සල්ලි වලින් නැතුව.