YES Team

Yes Team එකට සිය නෑ පිරිවර මුණ ගැසීම
"බර්ටි අනිද්දට යමන් අම්පාරේ."

සුපුරුදු විදිහට කට මුලට තියලා මලිතයාගෙන් ලැබෙන ආරාධනාව. කොච්චර තදියමේ වැඩේ සෙට් කළත් බර්ටියාට යමන් කියන්න මලිතයට කවදාවත් අමතක වෙන්නේ නෑ.

"කොහොමද බන් මේ හදිස්සියේ යන්නේ? අතේ සල්ලිත් නෑ."

සල්ලි වැඩක් නෑනේ බන්. උඹ ඇදුමක් දාගෙන වරෙන්කෝ අපේ ගෙදරට අනිද්දට."

මේක බර්ටියාට සාමාන්‍ය දෙයක්. හැම අවුරුද්දකට සැරයක් වගේම මේ වගේ වැඩක් සිද්ධ වෙන නිසා. මේ කියන්න යන විස්තරය සිද්ධ වුනේ 2010 අවුරුද්දේ අගෝස්තු මාසෙදි.

අපි වැඩ කරන ඉස්කෝල වල නිවාඩු කාල හින්දා අපිට ඕන වෙලාවක රස්තියාදුවක් ගහන්න බාදාවක් තිබ්බේ නෑ‍. හැබැයි මේ පාර වැඩ සටහනේ තරමක වෙනසක් තිබ්බා. මොකද මේ පාර මලිතගේ YES Team එකේ ළමයි කට්ටියක් අම්පාරේ ගමනට එකතු වෙන නිසාත් අම්පාරේ කහටගස්යායේ තියෙන අඩු පහසුකම් සහිත ඉස්කෝලෙක ළමයි වෙනුවෙන් කරන්න හදන පුංචි උපකාරයක් නිසාත් මේ ගමනේ වෙනසක් තිබ්බා. වෙනදා නම් මලිතයයි බර්ටියයි ගිහිල්ලා කඳු නැගලා වටේ පිටේ ඇවිදලා නාලා කරලා විනෝද වෙලා එන එකට. හැබැයි මේ වැඩේ ඊට වඩා අළුත් දෙයක්. බර්ටියත් ඒ ඉස්කෝලේ පුස්තකාලෙට දෙන්න අවශ්‍ය පොත් කීපයකුත් ගමනට කළින් මිලදී ගත්තා.

වැඩ සටහන අවසානයේ කඳු නැගීමට සුදානම

බර්ටියත් ඉතින් ඇඳුම් බෑග් එකත් උස්ස ගෙන අගෝස්තු මාසේ 7 වෙනිදා හවස මලිතයගේ ගෙදර බලා පිටත් වුනත් අන්තිමට මලිතයව අල්ල ගත්තේ නාවල ROOTS එකේ ඉදලා. එතනට ගිහිල්ලා මලිතයා ගානේ තඩි අයිස් ක්‍රීම් එකකුත් ගිලලා බර්ටියා මලිතයයි ලාංකි නංගියි එක්ක කොට්ටේ මලිතලගේ ගෙදරට ගියා. ඊට පස්සේ මලිතයත් එක්ක ආපහු රාජගිරියේ කීල්ස් එකට ආවා ගමනට ඕන කරන හාල්, පරිප්පු, නුඩ්ල්ස් වගේ අපිට කැලේ යනකොට ගෙනියන්න ඕන කරන ලට්ට ලොට්ට ටික අරගෙන යන්න.

ඔය ඔක්කොම වැඩ ඉවර කරගෙන මතක විදිහට පාන්දර දෙකට විතර කිරුලපනේ තිබ්බ මලිතයා ඒ දවස්වල වැඩ කරපු ජාත්‍යන්තර පාසලට ආවා. ළමයිනුත් එකා දෙන්නා එන්න පටන් ගෙන තිබ්බා අම්මලා තාත්තලා එක්ක. ඒ මිනිස්සුන්ට මලිත ගැන තද විශ්වාසයක් තිබ්බේ. නැත්නම් කවදාවත් ගිහිල්ලා නැති තැනකට දවස් තුනකට විතර කව්ද මේ ළමයින්ව එවන්නේ. මලිතයත් ඉතින් බෙල්ල ගහලා ගියත් ඒ තියලා තිබ්බ විශ්වාසේ රකින විත්තිය නම් මේ සටහන ලියන බර්ටියා දැනගෙන හිටියා. ටිකකින් චමරිත් ආවා. චමරිත් මලිතත් එක්ක එකට වැඩ කරන ගුරුවරියක්. ගෑණු ළමයිනුත් යන නිසා චමරිත් අපිත් එක්ක ගමනට එකතු වුනා. ළමයි 15 - 20 විතර ඇවිල්ලා හිටියා වැඩේට.

බුලත් අතක් දී දණ ගසා වැද පිළි ගැනීම
උත්සව සභාව දක්වා
අත්පොළොසන් මැදින්

මේ හැම දෙයක්ම බර්ටියාගේ හොදම යාළුවෙක් ඒ වගේම ගමන් සගයා වන මලිතගේ අදහස් නිසා සිද්ධ වෙන කියලා බර්ටියා දැනගෙන හිටියා. මොකද මේ ළමයි ඇත්තටම දුප්පත්කම කියන එක අත් විදපු ළමයි නෙමෙයි. හැම දෙයක්ම මේ දරුවන්ට තිබ්බා. රටේ කොටසක් දුක් විදිනවා කියන එක ගැන මේ ළමයින්ට අවබෝධයක් තිබ්බේ නෑ. අන්තර් ජාලය, ජංගම දුරකතනය එක්ක තනිවෙච්ච ලෝකයක් තමයි මේ ළමයින්ට තිබ්බේ. මලිත තමයි ඒ මාර්ගයෙන් මේ ළමයින්ව අළුත් පැත්තකට තල්ලු කලේ. අවශ්‍ය වෙලාවට කට්ටියම අත දිග ඇරලා සලකන්න මලිතයා කොයිම වෙලාවකවත් පසුබට වුනේ නෑ. හැබැයි එතනින් එහාට ඒ දේ ගෙනියන පුරුද්දක් ඒ ළමයින්ටවත් මලිතටවත් ඒ ළමයින්ගේ දෙමව්පියන්ටවත් තිබ්බේ නෑ. ඒ දෙමව්පියෝ මාර විදිහට මලිතයට ගරු කළා.

තැන තැන නවත්ත නවත්ත ගිය අපේ ගමනට සෑහෙන වෙලාවක් ගත වුනත් ළමයි වෙච්ච විනෝදයේ නම් අඩුවක් වුනේ නෑ. ඔය පළවෙනියටම දාලා තියෙන් ඡායා රූපය ගත්තේ උඩවලවේ වනෝද්‍යානය ළඟදී. කොහොම හරි අපි 10.30 විතර වගේ වෙන්න කහටගස්යායේ මනතුංගලගේ ගෙදරට ළඟා වුනා. ඒ කට්ටිය දවල් කෑමත් ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නවා අපි එනකම්. මනයා සුපුරුදු ලෙංගතුකමින් බර්ටියාවයි මලිතයාවයි පිළිගත්තා. බර්ටියා අවුරුදු තුනකට විතර පස්සේ තමයි ආපහු කහටගස්යායට අවේ. එතන හිටපු කට්ටියත් අපි ආපු බස් එකටම නැගලා පාසල තියෙන ඉසව්ව බලා පිටත් වුනා. කොහොමත් විනාඩි 10 ක විතර ගමනින් අපි ඒ පාසලට ළඟා වුනා (ඇත්තටම බර්ටියා මේ පාසලේ නම නම් මතක නෑ දැන්). ළමයි තමන්ට තිබ්බ හොදම පාසල් ඇදුමින් සැරසිලා අපිව පිළිගන්න ඉස්කෝලෙට එන පාර දෙපැත්තේ පෙළ ගැහිලා හිටියා. ඇත්තට මේක අපේ YES Team එකට විතරක් නෙමෙයි බර්ටියාටත් අළුත් අත්දැකිීමත් වුනා. මෙහෙම ඉස්සරට යනකොට සුදු ඇඳුමින් සැරසිච්ච පුංචි ගෑණූ ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඇවිල්ලා බුලත් අතක් මලිතටත් චමරිටත් දීලා දණගහලා වැදලා කට්ටියවම පිළිගත්තා. ඇත්තටම මේක අපේ ළමයින්ට ඇසට කඳුලක එකතු කරපු දර්ශනයක් වුනා. අපි හෙමින් සැරේ ඉදිරියට එනකොට පාර දෙපැත්තේ හිටපු ළමයි අත්පුඩි ගහලා අපිව පිළිගත්තා.

ජාතික කොඩිය එසවීම
ජාතික ගීය ගායනය
ශාලාවේ රැස්ව සිටි පිරිස

ඊළඟට තිබ්බේ ජාතික කොඩිය ඔසවලා ජාතික ගීය ගයන අවස්ථාව. මේ ළමයි කිසිම දවසක සංගීත බාණ්ඩයක වාදනකට ජාතික ගීය කියන්න පුරුදු වෙලා තිබ්බේ නෑ. ඒ ළමයින්ට කිසිම සංගීත භාණ්ඩයක් තිබ්බෙත් නෑ. ජාතික ගීය ගායනා කරලා සම්ප්‍රදානුකූලව පොල් තෙල් පහන පත්තු කරන කොට පොල් තෙල් නැතුව තිර විතරක් පත්තු කරන්න තමයි තිබ්බේ. ඇත්තටම ඒක ගැන නම් බර්ටියාගේ පැහැදීමක් නෑ. පොත් තෙල් නොතිබීමද එහෙමත් නැත්තනම් පොල් අමතක වීමද කියන ගැටළුව බර්ටියාට අදත් තියෙනවා. ඊට පස්සේ පිලිගැනීම් කතාව. ඊට පස්සේ මේ කටයුත්ත එහෙමත් නැත්නම් මේ වැඩ සටහන සිද්ධ වුනේ කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක්. ඒකට නම් ඇත්තටම මූලික වෙලා තියෙන්නේ මනතුංග. මනයත් ඉගෙනගෙන තියෙන්නේ මේ ඉස්කොලේමයි. මනයා හරහා මලිතට මලිතගෙන් YES Team එකට තමයි සම්බන්ධී කරණ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ.

ඊළඟට සිද්ධ වුනේ වැදගත්ම දේ තමයි අපි අරගෙන ගිය පොත් පත් ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම. කිසිම කෙනෙක්ගෙන් ආධාර උපකාරයක් නැතුව මේ ළමයින් (YES Team) විතරක් මහන්සි වෙලා එයාලගේ අම්මලා තාත්තගෙත් උදව්වෙන් මේ කරපු දේ පුංචි වැඩක් නම් නෙමෙයි. ළමයි තෑගි අරගෙන දණ ගහලා වදිද්දී අපේ ළමයි අඩපු විදිහ බර්ටියට තාම මතකයි. අපිට වගේ නෙමෙයි මේ ළමයින් කාගෙන්වත් වැදුමක් අරන් තිබ්බේ නෑ. ඒ ළමයි ලොකු පොඩි භේදයක් නැතුව අපේ ළමයින්ට දණ ගහලා වැන්දා. ඇත්තටම අපේ එවුන් ඇඩුවා හොදටම ඒ වෙලාවේ‍. කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් ඇඩුවා. ඒ ලමයින්ටත් මේ අහස යට තියෙන කටුක යථාර්තය යම් තරමකට හරි තේරුම් යන්න ඇති ඒ වෙලාවේ. අවපැහැ ගැන්විච්ච සුදු ඇදුම්, මේස් නැති සපත්තු, සපත්තු නැතුව සෙරෙප්පු වලින් ආවරණය වෙච්ච දෙපා මේ හැම දෙයක්ම අපේ ළමයින්ට අළුත් දෙයක් වුනා.

වචන අඩු කරලා වැඩිපුර ඡායා රූප දැම්මේ වචන වලට වඩා හොදට ඒවා මට ඕනකරන කතාව කියන නිසයි. කටුක කාලගුණයක් එක්ක කර්ෂක පරිසරයක ඉතාමත් අඩු පහසුකම් තුළ ජීවත් වන ඒ දරුවන්ට අපි කළ දේ මහ මෙරක් වගේ. මේ ළමයින්ට විද්‍යාගාර පහසුකම් ඇත්තෙම නෑ. පරිගණයක් කියන දේ ඒ ළමයින්ට සිහිනයක් පමණයි. උගන්නන්න හරි හමන් ගුරුවරු නෑ. අළුතෙන් පත්වෙලා එන ගුරුවරු මාසයයි දෙකයි ඉන්නේ. කොහොම හරි මාරු වෙලා යනවා. ගොඩක් ගෑනු ළමයි යන්තම් O/L ඉවර කරලා කසාදයක් බදිනවා. පිරිමි ළමයි ග්‍රාමාරක්ෂක. ඕක තමයි ඒ පැත්තේ තත්වය. අපි ඉතින් කළේ මේ කටුකත්වයට පුංචි දිය බිදක් ඉහින එක විතරයි. ඒත් ඒ ළමයින්ට ඒක මහ මෙරක්.

මේ වැඩ ටික ඉවර වුනාට පස්සේ ගමේ කට්ටය අපෙන් තෑගි ගත්ත ළමයින්ගේ දෙමව්පියෝ අපිට ඉස්කෝලෙම දවල් කෑම ලෑස්ති කරලා ති්බ්බා. අපේ ළමයින්ට නම් මේ කෑම එච්චර හුරු වුනේ නෑ. සමහරු නම් කෑවා. සමහරුන්ට දැවිල්ලයි. බර්ටියයි මලිතයයි නම් සුපුරුදු විදිහට කෙළින් වෙන්න බැරි වෙන්න කෑවා. අපිට හවස් වෙන්න කළින් කන්ද නගින්න ඕන වෙච්ච හන්දා අපි ඉක්මනින්ම කෑම කාලා ඒ ළමයි එක්ක ටිකක් කතා බහ කරලා එන්න පිටත් වුනා‍. කඳු නැගපු විස්තරය පස්සේ දවසක කියන්නම්.