අම්පාරට දස වසරක්

ඉස්සර වගේ නෙමෙයි දැන් බ්ලොග් එකට ලියන්න ටිකක් කම්මැලි හිතිලා තියෙන්නේ. සිංහලෙන් කොටන්න ගියහම වෙලාවකට එපා වෙනවා. එත් එහෙම කියල බෑනේ, පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න එපා යැ. පහුගිය සතියේ හරියටම කිවුවොත් දෙසැම්බර් මාසේ 09 වෙනිදා බර්ටියා අම්පාරේ ගියා මලිතත් එක්ක සුපුරුදු විදිහට බස් එකේ. එහෙම යනකොට තමයි මලිතයා මතක් කලේ බර්ටියා අම්පාරට යන්න එන්න පටන් අරන්ගෙන අවුරුදු දහයක් වෙන විත්තිය. ඒ වගේම මලිත අම්පාරට එන්න පටන් අරන් අවුරුදු විසි දෙකක් වෙන බව. ඇත්තටම බැලුවොත් අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක් තමයි. ඒ කාලේ ඇතුලත බර්ටියා දහදොළොස් සැරයක් අම්පාරේ ඇවිල්ල ඇති. ඇත්තටම බැලුවොත් බර්ටියා ආපු වාර ගණන බර්ටියටවත් මතක නෑ. මොනවා කරන්නද ඒ ගැන?. මේ ආපු කාලෙට මේ අවුරුදු දහයට කොච්චර දේවල් වෙනස් වුනාද? ඒත් තාම අම්පාරේ හරියටම කිවුවොත් කහටගස්යායේ ලස්සන නම් අඩුවක් වෙලා නෑ.

බර්ටියා ඉස්සර වෙලාම අම්පාරට යන්නේ 2007 අවුරුදේ මතක විදිහට අගෝස්තු මාසේ. මලිතයා අම්පාර ගැන කියන විස්තර අහගෙන ඉදල බර්ටියටත් කාලෙක ඉදන් අම්පාරට ගිහින් බලන්න ආසාවක් ඇති වෙලා තිබ්බා. ඉස්සෙල්ලම ආපු පාර උහනින් බැස්සේ හවස හතරට විතර. ඒ බැහැලා උහන පොලිසියට ගියා මලිතයගේ යාළුවා මනයා හෙවත් මනතුංග මුණ ගැහෙන්න. මනයා ඒ දවස් වල වැඩ කලේ ග්‍රාම ආරක්ෂකේ. සරල විදිහට කිවුවොත් ඒකා ගම් බට්ටෙක්. මනතුංග ඕෆ් වෙලා එනකම් උහනේ තිබ්බ ඔක්කොම බාර් වලට (ඒ කාලේ උහනට බාර් තුනක් තිබ්බා. තාමත් තුනයි තමයි.) බඩ ගෑවා වොඩ්කා බෝතලයක් හොයාගන්න. වොඩ්කා බෝතලේ අතේ තියාගෙන ඒක සැන්ඩි කරන්න ගත්ත සන්කුවික් එක දානේ ගෙදරකට කියල කඩේ හිටපු ගෑනු මනුස්සයට කිවුවත් තාම මතකයි. මනයා ආවට පස්සේ තුන්දෙනාම ඩබල් දාලා අලි එන පාරේ බයික් එකෙන් ගිහිල්ලා දඹෙි ඇලේ වැල්ලේ වලක් හාර ගෙන නාලා තමයි කහටගස්යායේ මනයලගේ ගෙදරට ගියේ. ඒ දවස් වල එහාට කරන්ට් එකත් නෑ. සුර්ය කෝෂයක් ගහල තමයි ගෙදර බල්බ් එකක් පත්තු කරගෙන කළු සුදු ටීවී එක බැලුවේ.

දෙවෙනි පාර බර්ටියා මනයලගේ ගෙදර ගියේ ඊට මාස තුනකට විතර පස්සේ දෙසැම්බර් මාසේ මලිතගේ අක්කලත් එක්ක කඳූ නගින්න බලාගෙන. ඒක බොහොම දුෂ්කර ඒ වගේම ත්‍රාසජනක අත්දැකීමක් වුනා. ඒක ගැන කතා දෙකක් නෑ. කැළේ අතරමං වෙලා නාමල් ඔයට යන්න පාර හොයාගන්න බැරුව ඇවිදලා වතුර නැතුව පොලොව හාරාගෙන වතුර බීලා අමාරුවෙන් පාර හොයාගෙන නාමල් ඔයට බැස්ස හැටි අද වගේ මතකයි. ඒ වෙනකොට අපි පරක්කු නිසා උපාලි අයියයි ජයතිලකයි අපිව හොයාගෙන එනවා. නාමල් ඔයට බැහැලා එතන හිටපු තනි අලියා යනකම් අපිට ගොඩක් වෙලා බලගෙන ඉන්න වුනා. අපි දවල්ටත් කාලා නැති නිසා ඒ වෙලාවේ ගොඩක් අමාරුවෙන් හිටියේ. කඳූ නැගලා, ඇවිදලා අමාරුවට මහ රෑ කකුලේ මස් පෙරලෙනකොට වින්ටොජිනෝ ගාලා අතුල්ල ගත්ත හැටිත් තාම මතකයි. තනියා ආපහු ගියේ නැති නිසා රෑ තිස්සේ ගිනි මැලේ පත්තු කරගෙන ජයතිලක ඇහැරිලා හිටියා තුවක්කුවත් තියාගෙන. ඒ මදිවට වැල්ලේ නිදියපු අපිව වැලි මැක්කෝ කාලා පහුවදා ඇග පුරාම කසන්න ගත්තා.

තනි අලියා ගෙදර යනකම්

ඒ දවස් වල කොටි ප්‍රශ්නත් තිබ්බා. ඒත් අපිට ඒ ගැන නම් බයක් දැනුනේ නෑ. ආපහු ඇවිල්ලා සුබේගේ ගෙදරින් වැව් මාළු එක්ක බත් කන්දකටම වග කියන්න පුළුවන් වුනා අපිට. ඊට පස්සේ T-56 ක් හොයාගෙන ජයෙත් එක්ක වත්ත පහලට ගිහිල්ලා ඉස්සෙල්ලාම තුවක්කුවකින් වෙඩි තියපු හැටි කොහොම අමතක වෙන්නද? බර්ටියාට හරියටම ඉලක්කෙට වෙඩි තියාගන්න පුළුවන් වුනා. ලොකුම ප්‍රශ්නේ වුනේ එදා හවස නවගිරියාව වැවට ගිහිල්ලා එනකොට රන්ජනයා අතුරුදහන් වෙච්ච එක. ඒ මදිවට ජුන්ඩා බර්ටියි මලිතයි එක්ක තරහට බීලා කරටි කඩාගෙන වමනේ දානකොට මලිතගේ අක්කට නොන්ඩි වෙලා බර්ටියි මලිතයි අම්බානකට අක්කාගෙන් බැනුම් ඇහුවා වෙච්ච දේවල් වලට. එදා තමයි පලවෙනි පාරට බර්ටියා උළමෙක් කෑගහනවා ඇහුවේ. අම්මෝ ඒක හරිම භයානක සද්දයක්. පාන්දර හතරට විතර රෑට කෑව පළවෙනි පාරත් ඒක.

පහුවදා උදේ අක්කලා ගාලු ගියත් බර්ටියි මලිතයි ජුන්ඩයි හවස යන්න නතර වුනා. අපේ වාසනාවකට රන්ජනයා පහුවදා ගෙදර ආවා. ඒකාටත් සුද්ද සිංහලෙන් අමතලා අපි අම්පාරට ඇවිල්ලා රෑ 8.00 විතර කොළඹ එන බස් එකකට නැග්ගත් එකේ ඔක්කොම ෂිට් වෙන්කරලා තිබ්බ නිසා මනයලට කෝල් කරලා අපිව ගන්න එන්න කියල නාමල් ඔයෙන් බැහැලා ආපහු මනයලගේ ගෙදර ගියා. පහුවදා තමයි අපි කොළඹ එන්න ආවේ.

ඊලග පාර බර්ටියා කඳූ නැග්ගේ මලිතයගේ "Yes TEAM" එකත් එක්ක. Yes TEAM එකත් එක්ක බර්ටියත් ආවේ කහටගස්යායේ දුප්පත් ඉස්කෝලෙකට ආධාරයක් දෙන්න. මේ වැඩේ Yes TEAM එකේ ළමයින්ට අමුතුම අත්දැකීමක් වුනා. ඒ වැඩෙන් පස්සේ අපි කන්ද නගින්න පටන් ගත්තත් අපි කන්ද උඩට යනකොට ගොඩක් රෑ වුනා. පහුවදා නාමල් ඔයාට බහින කොට කලින් පාර වගේ අතරමන් නොවුනත් වතුර නැතිව ලොකු කරදරයක වැටුණා. ළමයි ටික විජලනය වෙන්න වගේ යනකොට බර්ටියාගේ බෑග් එකේ තිබ්බ අන්තිම කොකා කෝලා බෝතලෙන් ඒ ප්‍රශ්නේ විසදගෙන යන්තම් නාමල් ඔයට පල්ලම් බැස්සා. මේ පාර නම් අපිට තනි අලියා එක්ක ඔට්ටු තියන්න වුනේ නෑ. කට්ටිය ගොඩක් විනෝද වුනා. මාළු පුච්චගෙන කාලා, හිතු හිතු වෙලාවට නාමල් ඔයට පැනලා නාලා වගේ එක එක දේවල් කරලා. සමහරු මහා රෑ එකට දෙකටත් නාමල් ඔයට බැහැලා නානවා කට්ටිය. ඒ ඇරුනහම Yes TEAM එකේ සමහර වැඩ වලට මළ පැනපු මලිතයවත් කූල් ඩවුන් කරගෙන කට්ටියම අතුරු අන්තරාවක් නැතුව ආපහු ගෙවල් වලට ආවා.

ඊට ටික දවසකට පස්සේ බර්ටියාට අයෙත් කහටගස්යායට යන්න වුනේ මුට්ටියගේ ඩිජිටල් කැමරාව මානයගේ ගෙදර දාලා ආපු නිසා. ඒ ආපු පාර මෙච්චර කාලයකට මලිතයටත් යන්න බැරි වෙච්ච නෑල්ල කියන තැනට යන්න බර්ටියාට අවස්තාව ලැබුණා. ඇත්තටම ඒක සිංහල රජ කාලේ නටඹුන් තියෙන තැනක්. ඒත් ඒ හැම දෙයක්ම වගේ නිධන් හොරුන් අතින් සම්පුර්ණයෙන්ම විනාශයට පත්වෙලා තිබ්බා. පුරා විද්‍යා එකටවත් ඒ දේවල් රැකගන්න කිසිම අවස්ථාවක් ලැබිලා තිබ්බේ නෑ. ඒක හරිම කණගාටුවට කාරණයක්. අපි නෑල්ලේ කැලය ඇතුලට යනකොට තව පොඩ්ඩෙන් අපිට වලහා කෙළිනවා. අපි දෙන්න එතැනට යන්න විනාඩි දෙක තුනකට කලින් තමයි වලහා එතන ඉදලා ගිහිල්ල තියෙන්නේ. වලහගේ අඩි පාරවල් ගොඩක් ඒ හරියේ තිබිලා අපිට බලාගන්න පුළුවන් වුනා. පරණ සෙල් ලිපියක් හරි දෙකක් හරි එතන තිබ්බා කියලත් බර්ටියාට මතකයි. සමහරවිට ඒවා කවුරුවත්ම කියවලා නැතුව ඇති. ඒ වෙනකොටත් එතන ග්‍රාම ආරක්ෂක මුර පොලක් දාලා තිබ්බත් ඒ නටබුන් වලට වෙන්න ඕන විනාශය සිද්ධවෙලා ඉවරයි.

ඊට පස්සේ කීප සැරයක්ම කහටගස්යායට ගියත් ඒවා එච්චරම මතක හිටියේ නෑ. එක සැරයක් මලිතයගේ කූඹූරේ ගොයම් කපන්න ගිහිල්ලා මලිතයා පෙරේතයා වගේ (වගේ කෑල්ල අවුල් ද මන්දා?) කූඹූරේ නිදාගත්ත මතකයි අපි ගොයම් කපනකම්. ඊට පස්සේ මලිතයි ලාන්කි නංගියි දෙන්නා එක්ක ගියා කියලා මතකයි. ඒ පාර නම් විශේෂ දෙයක් සිද්ද වුනේ නම් නෑ. ලාන්කි නංගි ටකරමක් හයියද බලන්න ගිහිල්ලා ඔලුව තුවාල කර ගත්ත මතකයි බර්ටියට. ඒ වගේම අපි කට්ටිය සුදුත් එක්ක බුද්දංගල වන්දනා කරන්න ගියා. එතනත් හරිම ලස්සන පරිසරයක්. අපි ආපහු එනකොට කතරගම හරහා ගාල්ලට ගිහින් මලිතගේ අම්මගෙයි අක්කාගෙයි දුක සැප බලලා තමයි ආවේ. බර්ටියට අමු කවුපි උයලා කන්න ලැබුනේ මනයලගේ ගෙදර ගිහිල්ලා. ඒ වගේම බර්ටියා ඉස්සරවෙලාම වැව් මාළු කෑවෙත් අම්පාරේ ගිහිල්ලා තමයි.

නෑල්ලේ විනාශ වී ගිය අපේ ඉතිහාසය

ඊට පස්සේ ආයෙත් මලිතයගේ කැබ් එකේ අම්පාරේ ගියා එකාගේ ගෝලයෝ කීප දෙනක් එක්ක. ඒ පාර තමයි බර්ටියට බොදව අදුරගන්න ලැබුනේ. යන්න කලින් "House ඔෆ් Fashion" එකේ කාර් පාර්ක් එකේ "Fast and Furious" විදිහේ යෑමක් ගිය එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ පාර අපි කඳූ නගින්නේ නැතුව මලිතයගේ කැබ් එක ඔෆ් රෝඩ් දාලා නාමල් ඔයට ගියා. ඒ ලගට කැබ් එක මග තියලා හැතැප්ම තුන හතරක් පයින් ගිහිල්ලා මාරම ලස්සන තැනකට ආවා. එතන නම හරියට කියන්න කවුරුවත් දන්නේ නෑ. ඉදල් ඔය එහෙමත් නැත්නම් උදල් ඔය කියලා තමයි කට්ටියම එතනට කිවුවේ. එතන තමයි නාමල් ඔයේ ආරම්භය. හරිම ලස්සන තැනක්. බර්ටියා කලින් එතනට ඇවිල්ලා තිබ්බේ පායන කාළෙක නිසා එදා එච්චර ලස්සනට පෙනුනේ නෑ උදල් ඔය. වතුර තියෙන කොට තමයි එකේ ලස්සන පෙන්නේ. වතුර හරිම සීතලයි එතන.

කැබ් එකෙන් ආපු නිසා අපිට බඩු උස්සන් ගොඩක් දුර එන්න සිද්ධ වුනේ නෑ. අපි දවල්ට කෑම උයලා, නාලා කරලා, අපි ගෙනිච්ච විස්කි (Hundred Pipers Bottle) බෝතලෙත් ඉවර කරලා හවස් වෙලා තමයි ආපහු කැබ් එක තියෙන තැනට ආවේ. එදා රෑ අපි එතන නැවතුනා. කැලෙන් දර එකතු කරලා ගිනි මැලයකුත් ගහගෙන රෑ ඔරු කාරයෙක්ගෙන් මාළුත් අරගෙන දෙවෙනි විස්කි බෝතලෙත් (Ballantine's Finest Bottle) එකත් ඉවර කළා. අම්මෝ එක හරිම සැර විස්කි එකක්. කුඩු වෙන්න වදිනවා ඒක. සමහරුන්ට වැඩිත් වෙලා පිස්සු නටන්න ගත්තා (අපෝ නෑ බර්ටියට එහෙම ලේසියෙන් වැඩිවෙන්නේ නෑ). පහුවදා දවල් වෙලා තමයි අපි ආපහු මනයලගේ ගෙදර ආවේ. ඒ තමයි බර්ටියා එතනට ගිය අන්තිම පාර. දැන් වන සංරක්ෂණෙන් එතනට යන්න දෙන්නේ නැහැයි ලු. අපරාදේ ගොඩක් ලස්සන තැනක් ඒක. අපි කවදාවත් පොලිතින් එකක්වත් එතන දාලා ඇවිල්ලා නෑ. කිසිම වෙලාවක ඒ ලස්සන පරිසරයට හානිවෙන දෙයක් අපි කළේ නෑ. අපි ගොඩක් ආදරේ ඒ සුන්දර පරිසරයට. ජිවිතේ කීප දෙනෙකුට පමණක් ලැබෙන අවස්ථාවක් එතනට යන්න ලැබෙන එක. ඒකට අපි පින් කරලම තියෙන්න ඕන. මං හිතන්නේ මලිත වුනත් එකග වේවි මාත් එක්ක ඒ කතාවට.

ඉදල් ඔය එහෙමත් නැත්නම් උදල් ඔය

ඊට පස්සෙත් කීප සැරයක්ම මලිතත් එක්ක බර්ටියා මනයලගේ ගෙදර ගියා බස් එකේ වගේම මලිතයගේ වාහනෙත්. ඒ වෙනකොට බර්ටියත් ඒක ගෙදර යනවා වගේ වැඩක් වෙලා තිබ්බා. කොහොමත් අම්පාරේ ගිහිල්ලා එනකොට අපි දෙන්නා අඟලක් දෙකක් මහත් වෙලා තමයි අාපහු එන්නේ. මොකෝ වැඩක් විදිහට කන එක තමයි කරන්නේ. ඉතින් මහත් වෙන එක අහන්න දෙයක් යෑ.

මේ මාසේ මුල තමයි බර්ටියා අන්තිම පාරට. ඒ පාර අපි දෙන්නා බෝලෙයි සඳුයි එක්ක නෑල්ලට පයින් ගියා නාන්න කියලා. හැතැප්ම හතරක විතර දුරක් වෙල් උඩින්, බඩ වැටි, ළදු, වගා කරපු හේන් අස්සෙන් ගිහින් අපි නාන තැනට අාවා. එතනට ආවහම අර ගමන් මහන්සිය ඔක්කෝම නැතිවෙලා ගියා. අම්මෝ එතන වතුර අයිස් වගේ සීතලයි. මලිතයව බොහොම අමාරුවෙන් තමයි වතුරට බස්ස ගත්තේ. අපි පැයක් විතර එතන නෑවා. ඊට වඩා ඉන්න බැරි වුනේ රෑ වුනහම අලි පාරට එන හින්දා. ඒ වුනත් අපි ආපහු එනකොට හොදටම අඳුර වැටිලා තිබ්බා. අපි දෙන්නගේ ෆෝන් වල ෆ්ලැෂ් ලයිට් ගහගෙන තමයි අන්තිම ටික එන්න වුනේ.

මේ පාර මනයා, සඳරුවන්, ඉන්දික ඇතුළු කට්ටියම ගොඩක් කාර්යය බහුල වෙලා කුඹුරු වැඩ හන්දා. හැමදාම රෑට කට්ටියම කුඹුරු වලට යනවා කුඹුර වල් අලින්ගෙන් පරෙස්සම් කරගන්න. පහුවදා දවසේ අපි දෙන්නා වැඩි කාලයක් ගත කළේ සඳරුවන්ගේ කුඹුරේ. ඒකට සතියකට විතර කළින් අලි පැනලා සඳරුවන් යන්තම් බේරිලා තියෙන්නේ. අපි කුඹුරට එහායින් තිබ්බ සිරී අයියගේ හේන පැත්තටත් රිංගුවේ බඩ ඉරිඟු කරලක් හොයාගෙන පුච්චන් කන්න. ඒත් බඩ ඉරිඟු ලොකු වෙලා මදි ඒ වැඩේ කරන්න. කරන්න දෙයක් නැති එකේ අපි කවුපි පුච්චන් කෑවා. ඒ වැඩෙත් නැගලා ගියා. අපි ඉතින් දොළහා එක වෙනකම් කුඹුරට වෙලා ඉදලා දවල්ට කන්න ගෙදර ගියා. පහුවදා පාන්දර හය හමාරට එහෙන් තියෙන බස් එකේ අපි අම්පාරට ඇවිල්ලා ගෙදර එන්න ආවා.

අපිට අම්පාරේ කහටගස්යාය කියන්නේ ගෙදර වගේ තැනක්. කොච්චර ගියත් අපිට ඒක එපා වෙන්නේ නෑ. අදටත් හෙටටත් හැමදාටමත් ඒක වලංගුයි. ආයෙත් ජනවාරි මාසේ එහේ ගොයම් කැපුවට පස්සේ පෙබරවාරි මුල විතර එහේ යන්න හිතාගෙන ඉන්නේ අපි දෙන්නා. අම්පාරේ කහටගස්යාය සුන්දර මතකයන්ගෙන් පිරි තැනක්. කවදාවත් අමතක නොවෙන සුන්දර තැනක්. විශේෂ ස්තුතිය මලිතයට මාව අම්පාරේ එක්කගෙන ගියාට. අළුත් යාලුවෝ සෙට් එකක් සුන්දර පරිසරයක් දැක ගන්න බර්ටියාට පුළුවන් වුනේ මලිතයා හන්දා.

2007 දී කන්ද නැග්ග අපේ කට්ටිය
2010 දී "YES Team" එකත් එක්ක
2014 දී මලිතගේ කැබ් එකේ නාමල් ඔයට
නාමල් ඔය සුන්දරත්වය
ඉදල් ඔය නැත්නම් උදල් ඔය
නාමල් ඔයට ඉර බැසිම
කට්ටිය උයන්න දර එකතු කරන ගමන්
බර්ටි සහ මලිත 2017 දී
ඉදල් ඉරිඟු/සෝගම් (Sorghum bicolor)
නෑල්ලේ නාන ගමන්
සඳරුවන්ගේ කුඹුරේ පැළේදී
සිරි අයියගේ රට කජු වගාව

විදී නාට්‍යය

     

පහුගිය දවසක බර්ටියා වැඩ කරන ජාත්‍යන්තර පාසල පා ගමනක් සංවිධානය කලා‍. ඒකේ තේමාව “දරුවා සුරකිමු” කියන තේමාවයි. ඇත්තටම ඒක තුළින් අපි කියන්න හැදුවේ දැන් කාල‍ේ හැදෙන ළමයින්ට අන්තර්ජාලය තුළින් මෙන්ම සමාජය හා වැඩිහිටියන්ගෙන් වෙන අකටයුතුකම් ගැන කතා කිරීම‍. මේ තුළින් දරුවන් අපහරණය, මත් ද්‍රව්‍ය, අන්තර්ජාලයට හා ජංගම දුරකථනයට ඇති ඇබ්බැහිය, Cyber Bulling (මේකට යොදන්න පුළුවන් සිංහල වචනයක් බර්ටියා දන්න‍ේ නෑ) වගේ කාරණා‍ තමයි කතා කලේ‍. වැස්ස නිසා පා ගමන සියයට සියයක්ම සාර්ථක නොවුනත් යම් තරමක හෝ පණිවිඩයක් සමාජයට දෙන්න ඇති කියලා අපි බලාපොර‍ොත්තු වෙනවා‍. බර්ටියා මෙතන පා ගමන ගැන ලියන්න නම් යන්නේ නෑ. බර්ටියා ඇතුළු පිරිස ඒ වෙනුවෙන් කළ වීදී නාට්‍යය‍ේ තිර රචනාව දාන්න තමයි අදහස. මේක බර්ටියා තනියම ලියපු එකක් නම් නෙමෙයි. ‍මේක බර්ටියාගෙයි, සිතාරා ටීචර්ගෙයි, ලකික සර්ගෙයි එකතුවේ ප්‍රථිපලයක් කිව්වොත් තමයි හරි. අපි කට්ටියම ගොඩක් මහන්සි වුනා (නාට්‍යයේ රඟපෑව ළමයිනුත් ඇතුළුව) මේ වීදී නාට්‍යය වෙනුවෙන්. නාට්‍යයේ කතාව ගලාගෙන යන්නේ මෙන්න මෙහෙමයි.

තාත්තෙක් හා පුතෙක් අතර ඇති වන කතාබහක්. ඈතින් යන කොලු ගැටයෙක්
තාත්තාඃ   ලොකු පුතේ, අර ඇට සැකිල්ල වගේ පාරේ ඇවිදගෙන යන කොලුවා කව්ද?
පුතාඃ  ආ............ ඒ අර සෙමනේරිස් මාමගේ පුතා නොවැ.
තාත්තාඃ   මොන සෙමනේරිස් ද ලොකු එකෝ?
පුතාඃ  ඇයි තාත්තේ? මතක නැද්ද අර මී කතුරට අහු වෙලා මළේ . තාත්තාට මතක නැද්ද අපි මළ ගෙදරටත් ගියේ.
තාත්තාඃ   ආ හරි හරි. ඒ දවස් වල ජපන් බෝනික්කා ‍වගේ හිටපු කොලු‍වා නේද ඔය? හැබැටම මොකක්ද පුතේ ඔය
    කොලුවට වෙලා තියෙන්නේ? බට කුඹල ‍වගේ කෙට්ටු මොකද ඒකා?
පුතාඃ  ඇයි තාත්තේ ඔය කොලුවා කුඩු ගහනවනේ. ඒකයි ඔය දිරලා ගිහිල්ලා තියෙන්නේ.
තාත්තාඃ   එහෙනම් ඔය කොලුවට රස්සාවක් වත් කරන්න බැරුව ඇති. කොහෙන්ද ඕවා ගන්න සල්ලි?
පුතාඃ  හොරකම තමයි ඉතින්. ගිය සතියෙත් අර පල්ලෙහා ගෙදර වත්තේ කෙහෙල් කැනක් කපලා අහු වුනානේ.
    හැම තිස්සේම ඒකා රණ්ඩු කරනවා ගෙදර මිනිස්සු එක්ක කුඩු ගහන්න සල්ලි ඉල්ලලා. දැන් වැලක
    රෙද්දක් වත් තියා ගන්න බැරි වෙලා තියෙන්නේ.
තාත්තාඃ   මොනවද හැබැටම ඔය කුඩු කියලා ගහන්නේ? අපේ කාලේ ආව ගංජා දැන් වෙන නමකින් වත් ඇවිල්ලද?
පුතාඃ  ඒවට දැන් කියන්නේ KG කියලා, තාත්තේ. කුඩු කියන්නේ සුදු පාට කුඩක්. ඒක හදන්න ගන්නේ පොපි
    කියලා පැලයක හැදෙන ගෙඩියකින් ගන්න කිරි වලින්.
තාත්තාඃ   හැබෑටම ලොකු එකෝ?
පුතාඃ ‍ ඔය කුඩු වල ජාති ගොඩක් තියෙනවා තාත්තේ. හෂීෂ්, මරිජුවානා, හෙරොයින් ‍වගේ එක එක නම් වලින්
    එන. කුඩු බිව්ව එකා පිස්සුවෙන් වගේ ආයේ අයෙත් කුඩු හොයනවා. ඕවා ගත්තහම අමුතු අමුතු දේවල්
    පේනවලු, බිත්ති ‍දිගේ යන කාර්, වහල දිගේ යන මිනිස්සු වගේ එක එක ඒවා. ඉගෙන ගන්න වැඩක්
    කරගන්නත් බෑ. මෙලෝ දෙයක් මතක හිටින්නෙත් නෑ. නිතරම ලෙඩ ගාණේ තමයි.
තාත්තාඃ   අනේ අම්මපා ! හරිම භයානකයි නේ.
පුතාඃ  ඔයිටත් වඩා භයානක දේවල් තියෙනවා තාත්තේ. දැන් අළුත්ම ජාතියක් තියෙනවා ක්‍රිස්ටල් මෙත් කියලා.
    සමහරු ඒකට අයිස් කියලත් කියනවා. ගත්තොත් ගත්ත එකා ඉවරයි. පහු ගිය දවසක ගෑණු දෙන්නෙක්ව
    පොලිසියෙන් අල්ලගත්තා ඉස්කෝලයක් ගාව ඕවා විකුණලා.
තාත්තාඃ   මේ මිනිස්සු සල්ලි හොයන්න කරන විනාසයක්. මේ ර‍ටේ අනාගතේ නේ විනාස වෙන්නේ මේ වැඩ
    වලින්. ඕවා පාවිච්චි කරන අය බේරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද පුතේ?
පුතාඃ  බේර ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඕන. ඔය කුඩු ගහන අයට නම් ඒකෙන් එන භයානක ප්‍රතිඵල
    නවත්තලා කුඩු නැති වුනහම එන අමාරුව අඩු කරන්න බේත් පෙත්තක් දෙනවා මෙතඩොන් කියලා.
    හැබැයි ඒවා දොස්තර මහත්තයෙක්ගේ අනු දැනුම ඇතිව ගන්න ඕන‍.

තාත්තගේ හා පුතාගේ කතාව මැදට පනින මිනිපිරිය selfie ගෙන ෆෝන් එක ඔබ ඔබා යන්න යයි
තාත්තාඃ   අපේ කෙලීව ඇස් දෙක වගේ බලා ගන්න ඕන මගේ පුතේ. ඒකිගෙත් දැගලිල්ල මේ ළඟකදී ඉදලා
    හොදටම වැඩියි.
පුතාඃ  මම ඒ ගැන කල්පනාවෙන් ඉන්නම් තාත්තේ. අපි යමු තේ ටිකක් බොන්න.
තාත්තාඃ   ඒක නම් හොද අදහසක් !

මිනිපිරිය පාඩම් කරමින් සිටී. ඇය අත ජංගම දුරකථනයක්. පසෙකින් ‍ෆේස්බුක්
(ඔර්ලෝසුව - වේලාව සවස 6.00)
ෂැන්ඩ්‍රියාඃ   අනේ ෆේස් බුක් මට පාඩම් කරන්න දෙන්නකෝ !
FB:   පාඩම් නම් කොයි වෙලාවේ කරගන්න බැරිද ළමයෝ? මේ බලන්නකෝ අනුස්කා ෂර්මාගේ අළුත්ම
    ෆොටෝස් ටික. ෂැන්ඩ්‍රියාඃ   ආනේ....... අනුස්කා ද? මගේ favorite ම නිළිය අනේ. කෝ කෝ .........?
FB:   ඔය ඔය YouTube video එකකුත් තියෙනවා.
ෂැන්ඩ්‍රියාඃ   හානේ ............. ඔව්මයි ! ‍Sooooo Coooool මෙයා ...........!

ඒ සමඟම ෆේස්බුක් පිටවන අතර යු-ටියුබ් කරලිය
(ඔර්ලෝසුව - වේලාව රාත්‍රී 8.30)
ෂැන්ඩ්‍රියාඃ   හැබැයි YouTube මේ Video එක විතරමයි. ආයේ මට කරදර කරන්න එපා. ඊයෙත් මම අපේ
    බ‍යෝ සර්ගෙන් හොදටම බැනුම් ඇහුවා පාඩම් කරලා නෑ කියලා. තාමත් මගේ කන් දෙක
    රිදෙනවා ඒ බැනුම් වලට.
YouTube:  හරි හරි අනේ එක දවසක් බැනුම් ඇහුවා කියලා ඔයාට පාඩුවක් වෙන්නේ නෑ නේ
ෂැන්ඩ්‍රියාඃ   අනේ අද නම් බෑ. අපේ ඉංග්‍රීසි ටීචර් මාව මරයි !
YouTube:  බලන්න ගිරාජ් ගේ අළුත්ම එක. සින්දුව නම් මෙලෝම රහක් නෑ. වීඩියෝ එක නම් මල් හතයි.
ෂැන්ඩ්‍රියාඃ   අපෝ ඔය ඇති YouTube දැන් නම් මට පාඩම් කරන්න ඕන. ඔයා යන්න දැන්
YouTube:  නෑ නෑ තව එක වීඩීයෝ එකයි. මේ සිහාන්ගේ අළුත්ම මියුසික් විඩියෝ එක
ෂැන්ඩ්‍රියාඃ    හානේ ........... ශිහාන් ................ මං මඟ බලාගෙන හිටියේ ඔය විඩියෝ එක එනකම්
       සුවඳක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
       සෙවනැල්ල වාගේ ඔබ ළගීන් ඉන්න ඕනේ
     මම මේක දැන් මම අයිෂාට කියන්න ඕන

ෂැන්ඩ්‍රියාගෙන් අයිෂාට වයිබර් ඇමතුමක් සමඟ වයිබර් කරළියට
(ඔර්ලෝසුව - වේලාව රාත්‍රී 10.00)
ෂැන්ඩ්‍රියාඃ   හානේ කෙල්ලේ අයිෂා ! සිහාන්ගේ අළුත් ම සින්දුව ඇවිල්ලා මෙයා
අයිෂාඃ  ආනේ මේ අපේ පොල් කඩන සිහාන් අයියගේ? ඔයා කොහොමද දන්නේ? ඒකට පද දෙකක් ‍වත් ගලපලා
    කියා ගන්න බෑනේ?
ෂැන්ඩ්‍රියාඃ   පොල් කඩන සිහාන් නෙමෙයි ‍මොඩියේ ! සින්දු කියන ශිහාන්, අර කොණ්ඩෙ දිගට වවලා කරාබුවක්
    දමලා අණ්ඩ දැමූ කලිසම ඇඳලා ඉන්නේ අනේ.
අයිෂාඃ  ආනේ ඒ සිහාන් අයියද?
ෂැන්ඩ්‍රියාඃ   ඔව් සුදු. මං මේ YouTube විඩියෝ එක බලන ගමන්මයි ඔයාට කතා ‍කලේ. එයා හරිම සුවිට් අනේ
Viber:   මේ මේ මං අළුතෙන් ස්ටිකර් පැක් එකකුත් දැම්මා .............. නිකම් නෙමෙයි සද්දෙත් එක්ක.
     ඒක බලන්නකෝ ...................
ෂැන්ඩ්‍රියාඃ   ඔන්න මං ඔයාට අලුත් ස්ටිකර් එකකුත් එව්වා. මේ අයිෂා ඔයා දන්නවද වැඩක් කෙල්ලේ? මං අද
    කොණ්ඩේ කැපුවනේ අලියා බාත් වගේ. මං ෆො‍ටෝ එක Insta දාන්නම්. හොද කෙල්ල
     වගේ ඒකට ලයික් කරලා ලස්සන comment එකකුත් දාන්න ඕන හොදේ?
අයිෂාඃ  බායි කෙල්ලේ එහෙනම්. ටටා .....................

(ඔර්ලෝසුව - වේලාව මධ්‍යම රාත්‍රී 12.00)
ෂැන්ඩ්‍රියාඃ   අයි‍යෝ මට එක Homework එකක් වත් කරගන්න බැරි වුනානේ. දැන්නම් හොදටම මහන්සියි.
    හොදටම රෑ වෙලා. දැන් වෙලාවක් නෑ කරගන්න. හෙට ඉස්කෝලේ ගිහිල්ලා චන්දිමා ටීචර්ට
    මොනවා කියන්නද මන්ද? දැන්නම් නිදා ගන්න ඕනා.

ෂැන්ඩ්‍රියාගේ පියා කේන්තියෙන් කාමරයට අැතුල් වේ
ෂැන්ඩ්‍රියාගේ පියා:   ළමයෝ ! දැන් වෙලාව කියද බලන්න? ඉස්කෝලේ ඇරිලා ආපු වෙලාවේ ඉදලා Internet
         එකෙයි Phone ‍එකෙයි එල්ලිලා. රෑට කෑවෙත් නෑ. ඔහොම ගියොත් ඇස් දෙකත් නරක් වෙයි.
        දොස්තර මහත්තුරුත් කියලා තියෙනවා නේ ඕවා දිහා හැම තිස්සෙම බලාගෙන ඉන්න එපා
        කියලා. බලන්න ලබන සතියේ විභාගේ නේද? තාම පාඩම් කරලත් නෑ නේද?
        අම්මපා ! උඹට වියදම් කළාට වඩා හොදයි මම කිරි හරකෙක් හදා ගත්තා නම්. මෙලහකට
        කිරි විකුණලා ගාණක් හොයා ගන්නවා.අද ‍ Homework කරෙත් නෑ. ඇයි අපිට මේ විදිහට
        දුක් දෙන්නේ? අම්මයි මමයි හැම දේම කරන්නේ ඔය ළමයට නේද? ඇයි ඔහොම තාක්ෂනයට
        ඇබ්බැහි වෙන්නේ. තාක්ෂනය තියෙන්නේ අපේ වැඩ පහසු කරගන්න මිසක් ඒකේ එල්ලිලා
        ඉන්න නෙමෙයි මෝඩයෝ !

ෂැන්ඩ්‍රියාගේ සීයා කාමරයට අැතුල් වේ
ෂැන්ඩ්‍රියාගේ පියා:    (කෝපයෙන්) බලන්න තාත්තේ මේකිට වෙලා තියෙන දෙයක්
ෂැන්ඩ්‍රියාගේ සීයා:    මම මේච්චර වෙලා කතාව අහගෙනයි හිටිය‍ේ. තාක්ෂනය, අන්තර්ජාලය කොච්චර හොද
        දේවල් වලට භාවිතා කරන්න පුළුවන්ද ඔය ළමයින්ට? කොච්චර වටිනා දේවල් Internet
        එකෙන් ඉගෙන ගන්න පුළුවන් ද? කොච්චර වටිනා කියන දේවල් ඕක ඇතුලේ තියෙනවාද?
        ඒ වුනාට මුන් ඒක පාවිච්චි කරන්නේ ටොයිලට් යන ‍‍‍ෆොටෝස් දාන්නයි ඔය ෆෝන් පොල්ල
        කනේ ගහන් දොඩවන්නයි. අර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඇල්බට් අයින්ස්ටයින් බොහොම කාලෙකට
        කළින් මේවා දිවැසින් දැක්කා වගේ මෙන්න මෙහෙම කිව්වා.
        "මට බයක් දැනෙන්නේ අනාගත තාක්ෂනය මිනිස් සබදතා අභිබවා යාවි කියලා".
        බලනකොට ඒකම තමයි දැන් වෙලා තියෙන්නේ. අපි තාක්ෂනයේ වහල්ලු වෙලා.
        අනේ කාලේ වනේ වාසේ කිව්වලු !

(අන්තර්ජාලයේ අප‍ේ ගීතය)

අන්තර් ජාලේ අන්තර් ජාලේ
අන්තර් ජාලේ අන්තර් ජාලේ
කොල්ලයි බල්ලයි ඔක්කොම රිංගන
මේකයි අපගේ අන්තර් ජං ජාලේ

ඉර බැහැගෙන යන කොට
සඳ නැගගෙන එන කොට
Online set වෙන කොට
චැට් එක නැග යන කොට
Home work ටික පැත්තක තියලා
මුහුණු පොතේ අපි පිටු පෙරලනවා

අන්තර් ජාලේ ................

බීබර්ලා සෙලීනලා පිට් බුල්ලා ශාරුක්ලා
ඔක්කොම මගේ අනේ
මූණ දික්කරන් selfies අරන්
Upload කරමු මහ රෑ වෙනකන්
පාඩම් කරන්න කොහෙද වෙලාවක්
ලෝකෙම වැඩ අපේ අතේ දැන්

අන්තර් ජාලේ .....................

ඔන්න ඔහොම කියලා අපි ‍අපේ විදී නාට්‍යය ඉවර කලා. අපි ‍වගේම ළමයිනුත් ගොඩක් මහන්සි වුනා මේ වැඩේ සාර්ථකව කරගන්න. ඒ හැමෝටම ‍ගොඩක් ස්තුතිවන්ත වෙනවා බර්ටියා. වැස්ස හින්දා අපි සැලසුම් කරපු විදිහටම නාට්‍යය පෙන්නන්න බැරිවුනා. ඒක කණගාටුවට කරුණක්. ආයේ වතාවක් නාට්‍යය කරලා ඒක වීඩියෝ කරන්න අදහසකුත් බර්ටියාගේ හිතේ ත‍ියෙනවා. බලමු ඉතින්.

බේබදු කතා 1

සරලව ගත්ත‍ොත් බීම ගැන තමයි මේ පාර කතා කරන්නේ. බර්ටියා මෙතනදී කතා කරන්න බලපොරොත්තු වෙන්නේ සිසිල් බීම ගැන නම් නෙමෙයි. මේ කියන බීම විස්තර කරන්න පාවිච්චි කරන්න භාවිතා කරන වචන ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මධූවිත, මත්පැන් එහෙමත් නැත්නම් සෙට් වීම. මේ ගැන බර්ටියාට ගොඩාක් අත්දැකීම් තියෙනවා මොකද බර්ටියා ඉස්කොලේ යන කා‍ලේ ඉදන්ම හොද බේබද්දෙක් වෙන නිසා. ඉස්සර ඉතින් බර්ටියා හා බර්ටියාගේ සෙට් එක බොහ‍ොම අහිංසක ඇල් වතුරත් නිවලා බොන ළමයි නිසා බෝතලයක් ගන්න බාර් එකකට වත් යන්න බයයි. ඉතින් කාට හරි අඳුරන එකෙකුට කියලා බාර් එකකින් බාගයක් අරගත්ත එක තමයි කළේ. පහු කාළෙක නම් ඉතින් ලැජ්ජාව බැරල් එකකින් ව‍හගෙන සුපර් මාර්කට් එකක බාර් එකකට තමයි රිංගුවේ. මොකද පහුවෙන කොට දැනගෙන හිටියා බාර් වල තියෙන්නේ කලවම් බඩු කියලා. ඉතින් මේ ගැන බර්ටියාට තියෙන අත්දැකීම් කීපයක් තමයි කියන්න යන්නේ. අනම් මනම් කියන්න චුරු චුරු ගාන්න නම් හදන්න එපා බලන්න අකැමැති එවුන් පලයල්ලා වද නොදී. කතාව පටන් ගම්මු ඉස්කෝලේ යන දවස් වලිනම.

එක සැරයක් බර්ටියාගේ ඉස්කෝලේ ප්‍රථමාධාර කවයෙන් දවස් තුනක කඳවුරක් කරන්න තීරණය කළා. බර්ටියාට මතක විදිහට බර්ටියාලා OL කරලා ගෙදර ඉන්න කාල‍ේ වගේ. ඉතින් බර්ටියා ඇතුලු පහේ කල්ලිය තවත් මල්ලිලා තුන් හතර දෙනෙක් එක්ක ගියා පිළිකුත්තුව පන්සල පැත්ත‍ේ කෑම්ප් එකට හොද තැනක් හොයා ගන්න‍. තැන හොද නම් පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කරලා අවසර ගන්නත් එක්කම තමයි අපි කට්ටිය ගියේ.

යන ගමන් යක්කල බාර් එකකින් බ්ලු ලේබල් කාලක් (ඉස්සර තිබ්බ අරක්කු ජාතියක් දැන් නම් හදන්නේ නැද්ද කොහ‍ොද) අරගත්තා. ඒක කොහොම ගත්තද කියන්න බර්ටියට මතක නෑ, මොකද අපි කවදාවත් බාර් එකකට ගිහිල්ලා තිබ්බේ නෑ එතකොට. බාගයක් ගන්න තරම් එ ‍වේලාවේ වත්කමක් අපිට තිබ්බෙත් නෑ. කට්ටිය ඉතින් සෑහෙන අමාරුවෙන් තමයි ඔය ගාණත් එකතු කරගන්න‍ේ. ඉතින් බ්ලු ලේබල් කාලත් බෑග් එකක දාගෙන ක‍ොස්කඳවලින් බැහැලා අමිල මල්ලිගේ ගෙදරට ගිහිල්ලා පිහියකුත් අරගෙන මඟ ගහකින් කුරුම්බා ගෙඩි 4 - 5 ක් කඩා ගෙන ඒ ටිකත් මඟින් හංගලා බෝතලෙත් එක්ක අපි පන්සල ගිහිල්ලා බැලුවා. පන්සල නම් වැඩේට හරියනවා. ලස්සනයි ඇත්තටම. ඉතින් අපි පන්‍සලේ ල‍ොකු හාමුදුරුවොත් එක්කත් විස්තර කතා කරලා අපහු එන්න ආවා. එන ගමන් හංගපු බඩු ටිකත් අරගෙන මඟ තිබ්බ ‍ගල් තලාවට බැස්සා. එතන මරු පොට් එක. කාටවත්ම පෙන්නේ නෑ. බ‍ොන එවුන්ට හිටියේ බර්ටියයි කොමනයි ගමයයි විතරයි. වවුලයි ‍පොකයයි අර මල්ලිලයි බොන්න‍ේ නැති නිසා අපි තුන්දෙනාට තමයි කාලම බොන්න වුන‍ේ. ඒ කාල‍ේ ඒ හරිම ලොකු වැඩක් ඉතින් ඕක. අපි ඉතින් කුරුම්බා ගෙඩියක් කපලා ඒකට අරක්කු කාලෙන් භාගයක් දාලා ඒක තමයි කට්ටිය පාවිච්චි කලේ. කොහොම හරි ඉතින් අපේ මෙහෙයුම සාර්ථකව නිම කරලා අපි චාටර් නොවී එන්න ආවා.

ඉස්කෝලේ කාලේ බීපු බීමවල් කීපයක්ම තිබ්බත් අයෙත් මතක හිටින ගේමක් ගහපු බීමකට තියෙන්නේ අපි සුදු ඇඳුමින් බීපු බීම. බර්ටියාගේ ජීවිත කාලෙට පාසල් ඇඳුමින් බීපු දෙවන අවස්ථාව තමයි මේක. මේක ඉතින් ජොලියට කළාද අෆ්සෙට් එකට කළාද කියලා කියන්න බර්ටියට තවමත් බෑ. එතකොට බර්ටියා AL කරන කාලේ. වාර පරීක්ෂනයට තිබ්බ රසායන විද්‍යා ප්‍රශ්න පත්තරේට හරි හමන් උත්තරයක් ලියා ගන්න බර්ටියාගේ කෘෂි විද්‍යා පන්තියේ කාටවත් බැරි වුනා. පස්සේ අපි තීරණය කළා ප්‍රශ්න පත්තරේට උත්තර නොලියා ඉන්න. ප්‍රශ්න පත්තරේ ඉවර වෙලා එළියට ආවහම තරමක අවුලක් දැනුනා. ඔය අස්සේ දීප්තියා යෝජනා කළා බ‍ොන්න. බර්ටියා ඇතුළු අනිත් පිරිසත් අවුල් පිටම තීරණය කළා බොන එක හොදයි කියලා. බර්ටියට මතක විදිහට දීප්තියා අතේ කීයක් හරි තිබ්බා. අපි ඉතින් අපේ අතේ තිබ්බ ඒවත් දාලා ගම්පහට ආවා ඉස්කෝලෙන් මාරු වෙලා. ගම්පහට ආවට දැන් තමයි අවුල. අපි සුදු ඇදුමින් ඉන්න හින්දා බාර් එකට යන්න විදිහක් නෑ. ඉතින් දීප්තියා ව‍ටේට කරකැවිලා යන්තම් යුනිෆෝම් නැතිව හිටපු ඉස්කෝලේ එකෙක්වම අල්ලගෙන ඒකා ලව්ව ගල් බාගයක් අර ගත්තා.

අපි බොන්න යන්න තීරණය කරලා තිබ්බේ ගම්පහ මොන්ටානා උසස් අධ්‍යාපන ආයතනය ගාව තිබ්බ පොඩි පාරෙන් වෙල්ටානා (වෙල්ටානා කිව්වේ මේ හෝල් එක හදලා තිබ්බේ වෙලක් ගොඩ කරලා හින්දා) එක පැත්තට යන ‍කොට වෙලක් අහුවෙනවා. ඒ වෙල ‍මැද්ද‍ේ පොඩි දුපතක් ‍වගේ තැනක් ‍තියෙනවා ගස් දෙක තුනකුත් එක්ක.‍ හොදට හෙවණයි පොට් එකත්. කව්රුවත් එන්නෙත් නෑ. රෙස්ටුරන්වලට යන්නත් සල්ලි නෑ. ඔතන තමයි හොදම පොට් එක වුන‍ේ. අපි ඉතින් ගුවන් පාලම නැගලා ජා ඇල පාරට ඇවිල්ලා එතන තිබ්බ ක‍ඩේකින් ‍සෝඩා බෝතලේකුයි ප්ලාස්ටික් වීදුරුවකුයි අරගෙන බයිට් එකට හපන්න රට කජු ටිකකුත් අරගෙන වෙල්ටානා එක පැත්තට ඇදුනා. වැඩේට සෙට් වුනේ බර්ටියා, දීප්ති, දොළයා, දැල්ලා, ‍ප්‍රොපා සහ ඒ දවස් වල නොබොන ටෙරා ඇතුලු 6 දෙනා. අපි ඉතින් අපේ පොට් එකට ගිහිල්ලා පිදුරු ගොඩේ වාඩි වෙලා බොහොම පරිස්සමට වැඩේ පටන් ගත්තා. ඒ දවස් වල අපි කාටවත්ම බීලා පුරුද්දක් නෑ. ඉතින් පළවෙනි වටේ බෝතලය ගිහිල්ලා එන‍කොටම ක‍ට්ටියට වැදිලා. දෙවෙනි ‍වටේ ඉවර වෙනකොට කට්ටියටම හොදටම වැදිලා. තුන්වෙනි ‍වටෙන් අප‍ේ බෝතලෙත් ඉවර වුනා. දැන් ඉතින් වෙරි බහින කම් ඉන්නත් එපායැ.

ඔය මැද්දෙන් තියෙන පාරෙන් තමයි වෙල්ටානා එකට යන්නේ
කට්ටිය ඉතින් ඔය පිදුරු ගොඩේ වාඩිවෙලා කියව කියව ඉන්න එක තමයි කලේ‍. වාසනාවකට කව්රුවත් පිස්සු නම් කෙළියේ නෑ‍. දොළයා ඒ දවස් වල ට්‍රයි කර කර හිටියා සංජු කියලා කෑල්ලකට. ඒක දීප්තිගේ ට්‍රයි එකේ යාළුවෙක්. ඒ දවස් වල ට්‍රයි කරපු ඒවාම තමයි තිබ්බේ අපිට. හරි ගිය එකක් වත් තිබ්බේ නෑ. දොළයයි දීප්තියයි ඔය කෙල්ලෝ දෙන්නා ගැන කියවනවා. බර්ටියාට හොදට මතකයි දොළයා කියනවා "සංජුගේ මූණ පැනඩෝල් පෙත්තක් ‍වගේ" කියලා‍. බර්ටියාටත් පුදුමයි තාමත් ඕවා මතක තියෙන එක ගැන. කොහොම වුනත් කට්ටියගේ වෙරි බැස්සට පස්සේ ඉස්කෝලේ ඇරෙන සුපුරුදු වෙලාවට ගෙවල් බලා යන්න පිටත් වුනා කිසිම අවුලක් කරදරයක් නැතිව‍. මේ කතාව නම් මෙතනින් ඉවරයි. වෙන කතාවක් එක්ක පස්ස‍ේ දවසක එන්නම්. එතකන් වෙරි වේවා.

ක්‍රිස්ටල් මෙත්

ක්‍රිස්ටල් මෙත් (Crystal Meth) යනු Crystal methamphetamine නම් වු රසායනික සංයෝගයට භාවිතා කරන කෙටි යෙදුමකි. මෙය methamphetamine නම් වු රසායනික සංයෝගය සදහා වු තවත් එක් ව්‍යුත්පන්නයකි. ක්‍රිස්ටල් මෙත් යනු සුදු පැහැති කුඩා ස්පටිකීය සංයෝගයකි. මෙය නාසය (Snorting) හරහා ශරීර ගත කරන්නා මත් ද්‍රව්‍යකි. මීට අමතරව දුමක් (Smoking) ලෙස හෝ එන්නත් කටු (Injecting) හරහා ශරීරගත කර ගනී. සමහරු මෙය මුඛ මාර්ගය හරහාද ශරීරගත කරගනී. මෙම කුමන ආකාරයට මෙය ශරීරගත කරගත්තත් මෙය ඉතා අධික ඇබ්බැහියක් අැති කරන රසායනික සංයෝගයකි. දිගින් දිගටම මෙම මත් ද්‍රව්‍ය භාවිතා කළහොත් එය ශරීරයට ඉතා හිතකර යමක් ලෙස අසත්‍ය හැඟීමක් ඇති කරයි. මීට අමතරව කෑම අරුචිය ඇති කරන මත් ද්‍රව්‍යකි. මෙම මත් ද්‍රව්‍ය පැය හයක් අටක් අතර කාලයක් ශරීරයේ සක්‍රීයව පවතින නමුත් සමහර අවස්ථා වල එය පැය 24 දක්වා වැඩි විය හැක. මෙම මත් ද්‍රව්‍ය ලබා ගන්නා පළමු අවස්තාවේ සිටම එය භාවිතා කරන්නාගේ ජීවිතය විනාශ කිරීමට පටන් ගනී.

~ ක්‍රිස්ටල් මෙත් අණුවක් ~

Methamphetamine යනු නිති විර‍ෝධි මත් ද්‍රවයකි. මෙය ක‍ොකේන් වැනි විදී මත් ද්‍රව්‍යකි. මෙය බ‍ොහෝ විට තනි පුද්ගලයන් ලබා ගන්නා මත් ද්‍රව්‍යක් වන නමුත් වඩාත්ම ප්‍රචලිත වන්න‍ේ "Club Drug" එකක් ලෙසටය. විවිධාකාර පුද්ගලයන් විසින් තරුණ තරුණයින් ඉලක්ක කර සංවිධානය කරනු ලබන්නා වු අනවසර සම්භාෂණ හෝ රාත්‍රී සාමාජ ශාලා තුළ මෙය ඉතාමත් ප්‍රචලිතය. මෙය භයානක හා බලසම්පන්න විෂ රසායනිකයක් වන අතර පළමු අවස්තාවලදී උත්ත‍ේජකයක් ලෙස ක්‍රියාත්මක වන අතර ක්‍රමක් ක්‍රමයෙන් ශරීරය විනාශ කරයි. මීට අමතරව මෙය මතකය අහිමි වීම, ආක්‍රමණික හැසිරීම, මනෝව්‍යාධික හැසිරීම සහ පසු කාලවලදී හදවත හා මොළය ඇතුළු වැදගත් ඉන්ද්‍රිය වලට බරපතළ හානිකර තත්ත්වයන් ඇති කළ හැකි විෂ රසායනිකයකි. මෙය ඉතාමත් ප්‍රබල ඇබ්බැහි කාරකයක් වන අතර ශරීරයට එය අත්‍යාවශ්‍ය වන බව වඩ වඩාත් මනසට දන්වයි. දිගු කාලීන භාවිතය තුළින් මෙය ශරීරයට විෂ වන අතර තවද ක්රිස්ටල් මෙත් ඇතිකරන බලපෑම ඉතා දරුණු වන අතර, ‍මෙය භාවිතා කරන බොහෝ දෙනෙක් ඔවුන් එය භාවිතා කරන පළමු අවස්තාවේ සිටම ඇබ්බැහි තත්වය ඇති කරයි.

~ Crystal Meth Crystals ~

Methamphetamine සාමාන්‍යයෙන් කටුක-රසයක් ඇති, ගන්ධයක් රහිත ස්ඵටික රූපී සුදු කුඩු ආකාරයෙන් එන ජල‍ය‍ේ හෝ ඇල්කොහොල්වල පහසුවෙන් දියවන රසායනිකයකි. සුදු පැහැයට අමතරව දුඹුරු, කහ-දුඹුරු, තැඹිලි සහ රෝස වැනි පැහැයන් වලිනුත් මෙය වෙළද පොල‍ේ දක්නට ලැබේ. තවද මෙය බෙහෙත් කරලක් ආකාරයටද ලබා ගත හැක. මෙය කොකේන් මෙන් ශාක සාරයෙන් නිර්මාණය කරන්නක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද (කෘත්‍රිම) රසායනික සංයෝගයකි. Methamphetamine නිති විර‍ෝධීව සැඟවුණු විද්යාගාරහි නිෂ්පාදනය (“cook”) කරනු ලබන රසායනිකයකි. ප‍ොදුවේ ගත් කළ ක්‍රිස්ටල් මෙත් Amphetamine නම් රසායන සංයෝගයේ ව්‍යුත්පන්නයක් වන අතර එහි ශක්තිය/විභවය වැඩි දියුණු කිරීම සඳහා හෙම්බිරිස්සාව හෝ උණ වැනි ර‍ෝගයන්ට ප්‍රතිකාර කිරීමට ගන්නා විවිධ ඖෂධ සමඟ මිශ්‍ර කරනු ලබයි. මීට අමතරව මෙය නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස බැටරි අම්ලය වැනි රසායන ද්‍රව්‍යයන් එක් කරයි. මෙය නිපදවීමට අවශ්‍ය වන්නේ ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි සරල වට්ට‍ෝරුවක රසායන ද්‍රව්‍යන් නිසා මෙය පැතිර යාම පාලනය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් බවට පත්වී ඇත.

~ Illegal Crystal Meth Cooking Lab ~ 

මෙය නිෂ්පාදනය අතර තුරදී විවිධ විෂ අපද්‍රව්‍යයය රාශියක් නිර්මාණය වන අතර Methamphetamine රාත්තලක් නිෂ්පාදනය කරන විට අපද්‍රව්‍යය රාත්තල් පහක් නිෂ්පාදනය වේ. මෙම අපද්‍රව්‍යය වලට නිරාවරණය වන පුද්ගලයින්ට විෂවීම් හා රෝගී තත්ව ඇති විය හැක. මත්ද්‍රව්‍යය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගණනය කිරීම් වලට අනුව Methamphetamine ද ඇතුළත් වන amphetamine වර්ගයේ උත්තේජක ලොව පුරා වසරකට මෙට්රික් ටොන් 500 ක් පමණ නිපදවන අතර මිලියන 24.7 පමණ පිරිසක් වසරකට මෙයට ඇබ්බැහි වේ. එක්සත් ජනපද රජය‍ේ වාර්තා අනුව වර්ෂ 2008 දී වාර්තා විට වයස අවුරුදු 12 වැඩි මිලියන 13 ක් ජනතාවක් Methamphetamine ඇති අතර මෙයින් 529,000 පමණ නිත්‍ය භාවිතා කරන්නන්‍ වේ. අග්නිදිග ආසියාවේ, Methamphetamine වඩාත් සුලබ තායිලන්තයේ Yaba සහ පිලිපීනය තුළ Shabu නාමයන් වලිනි. මෑතක් වනතුරුම ර්‍ශී ලංකාව තුල මෙය දක්නට නොලැබුණත් පසුගිය දිනවල දී දිවයිනේ ප්‍රදේශ කීපයකින් මෙය අලෙවි කරන්නන් පොලීසිය විසින් අත් අංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය දිගටම භාවිතා කරන විට බඩගින්න වැනි ස්වභාවික හැඟීම් අඩුවන නිසා ඇබ්බැහි වු වන්ගේ සිරුරේ බර අඞු වනු දැකිය හැක. මෙහි වෙනත් අහිතකර බලපෑම් වන්නේ නින්ද නොයෑම, ඔක්කාරය, ශරීර ශක්තිය අඩුවීම, ආක්‍රමණශීලීභාවය, නුරුස්සනාගතිය,ව්‍යාකූලත්වය, ව්‍යජ දර්ශන වලට රැවටීම හා සාංකාව වැනි කෙටි කාලීන අහිතකර තත්වයන් අැති කරයි. දීර්ඝ කාලීන වශයෙන්, මෙත් භාවිතය ආපසු හැරවිය නොහැකි හානිදායක තත්වයන් ඇති කරයි. මීට අමතරව හෘද ස්පන්දන වේගය ඉහළයාම, රුධිර පීඩනය වැඩි වීම, රුධිර නාළ වලට ඇති කරන හානියන්, හෘද ස්පන්දනය අක්‍රමවත් වීම, මොළයේ අැති වන ආඝාත තත්වයන් හා අක්මාව, වකුගඩු හා පෙනහළු වැනි ඉන්ර්‍දයන් හානි වීම වැනි තත්වයන් ඇති කරයි. සමහර අවස්ථාවල දී, මෙය භාවිතය මරණයෙන් පවා කෙළවර විය හැක.

STREET NAMES FOR METH & CRYSTAL METH


METH CRYSTAL METH
 Beannies Batu
 Brown Blade
 Chalk Cristy
 Crank Crystal
 Chicken Feed Glass
 Cinnamon Hot ice
 Crink Ice
 Crypto Quartz
 Fast Shabu
 Getgo Shabu
 Speed Shards
 Tick tick Shards
 Wash  Stove top
 Yaba  Tina

හෙරෙ‍ායින් (Heroin) P-2

~ සුදු හෙර‍ොයින් - හෙරෙ‍ායින් වල පිරිසිදුම ආකාරය ~

ශරීරය ඉල්ලන හෙර‍ොයින් ලබා න‍ොගතහොත් Withdrawal Symptoms (මෙයට ගැලපෙන සිංහල වචනයක් ‍හොයාගැනීමට නොහැකි විය) නම් මරණයෙන් කෙළවර වියහැකි භයානක තත්වය ඇතිවිය හැක. මෙය කායිකව මෙන්ම මානසිකවද ඇතිවිය හැකි ඉතා වේදනාකාරී තත්වයකි. මිනිස් සිරුරට හෙරෙ‍ායින් නොමැතිව වැඩකර ගැනීමට න‍ොහැකි තත්වයක් මෙහිදී ඇතිවේ. ශරීරය හෙර‍ොයින් ඉල්ලා කෑගැසීමට පටන් ගනී. මෙම Withdrawal Symptoms අතර මෙහිදි;

  • උදරයේ ඇතිවන වේදනාවන් හා උදරයේ මස් පිඩු පෙරළීම
  • කළබලකාරී බව හා බය වීම
  • වමනය හා ඔක්කාරය
  • මාංශ පේශී වල ඇතිවන අධික වේදනාව
  • අධික ලෙස දහඩිය දැමීම
  • මානසික අවපීඩනය
  • අධික ලෙස සීතල දෑනීම
  • නින්ද නොයාම
  • පාචනය
  • සාංකාව වැනි තත්වයන් දැකිය හැක.

~ හෙරොයින් වලට අධික ලෙස ඇබ්බැහි වු කාන්තාවක් ~ 

මෙම ඇබ්බැහිවීමේ තත්වය මඟහරවා ගැනීම සඳහා දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍යවන අතර ශරීර‍යේ ඇතිවන වේදනාවන් සමනය කිරීමට හා හෙර‍ොයින් වලට ඇති ඇබ්බැහිය මැඩ පැවත්වීමට වර්තමානයේ දී යොදාගනු ලබන්නේ මෙතඩොන් (Methadone) නම් කෘත්‍රිම රසායනික සංයෝගයයි. මෙය වෛද්‍ය නිර්දේශය මත ලබා ගත හැකි ඔසුවකි. ‍දීර්ඝ කාලයක් තිස්සේ හෙර‍ොයින් ‍එන්තත් කටු යොදාගෙන ලබාගන්නා විට ශරීරයේ හෙර‍ොයින් එන්නත් කරගන්නා ස්ථාන වල එන්නත් කිරීමේ කැළලි දක්නට ලැබේ. මේවා tracks යන නමින් හදුන්වන අතර කාලයත් සමඟ මේවා ඉවත් කළ නොහැකි ස්ථිර කැළලි බවට පත්විය හැක. හෙරොයින් දීර්ඝ කාලීනව භාවිතා කිරීම නිසා පහත තත්වයන් ඇතිවිය හැක.


  • වීදුරු මස් ඉදිමීම හා දියවීම
  • දත් දුර්වර්ණ වීම හා හානි වීම
  • මළ බද්ධය (Constipation)
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
  • ස්වසන අපහසුතා
  • මතකයන් ගිලිහීයාම (Memory loss)
  • ලිංගික බෙලහීනතාවය
  • කාන්තාවන්ග‍ේ ඔසප් චක්‍රයේ සංකූලතා
  • කෑම අරුචිය

හෙර‍ොයින් පමණ ඉක්මවා භාවිතා (Overdose) කිරීම මරණයෙන් කෙළවර විය හැක. මෙය භාවිතා කරන හෙරොයින් වල පිරිසිදුභාවය, භාවිතා කර ඇති වෙනත් මත්ද්‍රව්‍ය මත හා හෙරොයින් පාවිච්චි කරන පුද්ගලයාග‍ේ වයස හා බර මත පදනම් වේ. හෙරොයින් අධිකව භාවිතා කිරීමෙන් එම පුද්ගලයාග‍ේ හෘද ස්පන්දන වේගය හා ස්වසන වේගය ශරීරයේ කාර්යයන් පවත්වාගෙන යාමට නොහැකි වන තරමට අඩු විය හැක. මෙවිට ශරීරයේ පද්ධති නිසි පරිදිව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව හා ශක්තිය ලබාගැනීමට නොහැකි වීමෙන් එම පුද්ගලයා මරණයට පත්විය හැක. මෙවැනි අයෙක් වහාම ර‍ෝහල්ගත කර ප්‍රතිකාර කළ යුතුයි. අධික නිදිබර ගතිය, හෘද වස්තුව ස්පන්දනය වීමේ වේගය හා ස්වසන වේගය අඩුවීම, ත‍ොළ කට අධික ල‍ෙස වියළීම, වමනය හා ඔක්කාරය වැනි ලක්ෂන අධික ලෙස හෙරොයින් ශරීර ගතවිමකදී ඇතිවිය හැක.

~ අධික ලෙස හෙර‍ොයින් ශරීරගත කරගත් තරුණියක් ~
හෙර‍ොයින් භාවිතය තුළින් ඇති වන සමාජ,සෞඛ්‍ය හා ආර්ථික ගැටළු රාශියකි. මෙයින් ඇතිවන එක් භයානක කාරණයක් වන්නේ භයානක ලෙඩ ර‍ෝග පැතිර යාමට ඇති ඉහළ යාමේ සම්භාවිතාවයි‍. එන්නත් කටු ආධාරයෙන් හෙර‍ොයින් ශරිරගත කරගැනීම බොහ‍ෝ විට සිදුකරන්න‍ේ කාණ්ඩායම් වශයෙනි‍. මෙහිදී කණ්ඩායමේ හැම දෙනාම භාවිතා කරන්නේ එකම එන්නත් කටුවයි. මේ හරහා හෙපටයිටිස් B හා ඒඩ්ස් වැනි ර‍ෝග පැතිර යා හැකියි.

හෙර‍ොයින් වලට ඇබ්බැහිවීම නිසා ඇතිවිය හැකි පවුල් හා ආර්ථික ගැටළු බ‍ොහ‍ොමයකි. අපරාධ, මංක‍ොල්ලකෑම්, පවුල‍ේ ඇතිවන අඩ දබර වැනි තත්වයන් ඉහල යා හැක. බ‍ොහෝ විට මෙවැනි මත්ද්‍රව්‍යන් ලබාගන්නා පුද්ගයින් සමාජයෙන් ක‍ොන්වේ. සමහර අවස්ථා වලදි ඔවුන්ග‍ේ දූ දරුවන් පවා සමාජයෙන් ක‍ොන්විය හැක‍‍. ඔවුන්ග‍ේ පවුල සබදතා බිදවැටිම සිදුවේ. බොහ‍ෝවිට හෙරොයින් භාවිතා කරන පුද්ගලයා හා පවුල‍ේ අනිත් පුද්ගලයින් අතර ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය හැක.

හෙර‍ොයින් වලට ඇබ්බැහි වු පුද්ගලයා සිය හෙර‍ොයින් අවශ්‍යතාවය සපුරා ගැනීමට සම්පුර්ණ වැටුපම ඒ සදහා යෙදවිය හැක. එවිය ඔහු හෝ ඇය අතින් සිය පවුලට දු දරුවන්ට සිදුවිය යුතුකම් ක‍ොටස අත්හැරී යයි. එම පුද්ගයා සිය හෙර‍ොයින් අවශ්‍යතාවය සපුරා ගැනීම ගැන සිතනවා විනා අනිකුත් යුතුකම් හා වගකීම් ගැන ඔහුට හ‍ෝ ඇයට අවබෝධයක් නොමැත. සිය රාජකාරින් නිසි පරිදි කරගෙන යාමට ම‍ෙවැනි පුද්ගලයින් හැකියාවක් නොමැත. හෙරොයින් මිලදී ගැනීමට මුදල් න‍ොමැති වු විට ක‍ෙසේ හ‍ෝ එය මුදල් ලබාගැනීමට එම පුද්ගලයා පෙළඹේ. බ‍ොහ‍ෝ විට ගෙදර ඇති වටිනා බඩු මුට්ටු විකුණා එය ලබාගැනීමට ප‍ෙළඹේ. සමහර විට මෙම පුද්ගලයා විකුණන්න‍ේ තමා ආදරය කළ පෙම්වතිය හ‍ෝ බිරිඳ වියහැක‍.

මීට අමතරව සමහර පුද්ගලයින් හොරකම් හෝ මංක‍ොල්ලකෑම මගින් මුදල් සොයගැනීමට පෙළඹිය හැක. මෙය ආරම්භවන්නේ වත්තක ඇති ප‍ොල් ගෙඩි කීපයකින් හ‍ෝ කෙසෙල් කැනකින් විය හැක. නමුත් එය අවසානවන්න‍ේ බැංකුවක් මංකොල්ල කෑමකින් හ‍ෝ මිනී මැරුමකින් වියහැක‍. මීට අමතරව මෙයින් පුද්ගලයින් හෙරොයින් විකුණනන්නන්ග‍ේ ග‍ොදුරු බවට පත්විම වැලක්විය නොහැක. බොහ‍ොවිට තමන්ට අවශ්‍යකරණ හෙරොයින් ලබා ගැනීමට මෙවැනි පුද්ගයින් හෙර‍ොයින් වෙළෙන්දන් බවට පත්විය හැක. මෙයින් සිදුවන්න‍ේ තව තවත් අහිංසක තරුණ තරුණියන් හෙර‍ොයින් වලට බිලිවීමයි.

හෙරොයින් භාවිතය ලංකාවේ ප්‍රධාන පෙලේ සමාජ හා ආර්ථික ගැටළුවක් බවට පත්වී හමාරයි. ආරම්භයේදී ක‍ොළඹ හා නාගරික ප්‍රද‍ේශ වල ආරම්භවු හෙ‍ර‍ොයින් භාවිතය අද ගම්දනව් සිසාරා පැතිර ග‍ොස් ඇත. මෙසේ වීමට ඇති එක් හේතුවක් නම් නිතීය නිසි පරිදි ක්‍රියාත්මක න‍ොවීමත් මුදලට කෑදර රාජ්‍ය නිලධාරීන්ග‍ේ හා දේශපාලකයින්ග‍ේ ක්‍රයාකලාපයත් ය‍. ජාතික අන්තරායක ඔෟෂධ පාලක මණ්ඩලයේ වාර්තා අනුව වර්තමානයේ හෙර‍ොයින් භාවිතා කරන්නන් 45,000 පමණ ලංකාවේ සිටින අතර ම‍ොවුන් සදහා හෙර‍ොයින් කිල‍ෝ 985 ක් පමණ වසරකට අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව හෙර‍ොයින් ගැරෑම් දෙකකට වඩා ලඟ තබා ගැනීම මරණීය දණ්ඩය ලැබීමට හ‍ෝ ජීවිතාන්තය දක්වා හිර දඩුවමක් ලැබීමට හ‍ේතු විය හැකි කරුණකි. හෙර‍ොයින් ගැරෑම් දෙකකට වඩා අඩු ප්‍රමාණයක් ළඟ තබා ගැනීම හිර දඩුවමක් හ‍ෝ දඩයකට යටත් කිරීමට හ‍ේතුවන කරුණකි.

Heroin Chunky No. 3
Methadone
Opium farm
Opium Poppy Fruit
Short-term effects of Heroin
Long-term effects of Heroin

හෙරෙ‍ායින් (Heroin) P-1

~ හෙරොයින් අණුවක්  ~

හෙර‍ොයින් යනු ලොව වටා මිලියන ගණනක් මිනිසුන් භාවිතා කරන නීති විර‍ෝධි අධික අබ්බැහිකාරක මත්ද්‍රවයකි. හෙරෙ‍ායින් ප්‍රථමයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ 1898 දී ජර්මානු සමාඟමක් විසිනි. මෙම නිෂ්පාදනය වෙළද පොළට ඉදිරිපත් කරන ලද්දේ නීති වි‍රෝධි මත්ද්‍රවයක් ලෙසින් නම් නොවෙයි. හෙර‍ොයින් පළමුවෙන්ම භාවිතා කරනු ලබන්න‍ේ ක්ෂය ර‍ෝගයට ප්‍රතිකාර කළ හැකි බෙහෙතක් ලෙස හා මොර්ෆීන් (Morphine) ඇබ්බැහියට ප්‍රතිකර්මයක් ලෙසිනි. වර්ෂ 1850 ගණන් වල දී ඕපියම් (Opium) වලට වු ඇබ්බැහිය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ගැටළුයක්ව පැවතුණි. මෙයට විසදුමක් ලෙස ඇබ්බැහි නොවන ප්‍රතිකර්මයක් හා ප්‍රබලත්වයෙන් අඩු රසායන ද්‍රවයක් ලෙස මොර්ෆීන් ඉදිරිපත් කළද වැඩිකල් නොයාම එයටද ඇබ්බැහි වීම ගැටළුවක් විය. මෙම තත්වයට පිළියමක් ල‍ෙස ඇමරිකාව යොදා ගත්තේ ඇබ්බැහි නොවන රසායන ද්‍රවයක් ලෙස සැලකූ හෙරොයින් නම් රසායනයයි. නමුත් වැඩිකළක් නොයාම හෙරොයින් මොර්ෆීන් දරුණු ඇබ්බැහි කාරකයක් ලෙස හදුනා ගැනුනි. හොර‍ොයින් වල අඩංගු ප්‍රධානම රසායනික සංඝටකය ලෙස සලකන්නේ ඩයි ඇසිටයිල් මොර්ෆීන් (C21H23NO5) ය.

පිරිසිදුකම අනුව (Purity) හෙර‍ොයින් කාණ්ඩ හතරකට බෙදා දැක්විය හැකිය.

  1.  No. 4 - අතිශයින්ම පිරිසිදු හෙර‍ොයින් මේ කාණ්ඩයට වැටේ. සුදු පැහැති කුඩක් ලෙස දක්නට ලැබේ. ඉක්මනින් හා පහසුවෙන් දියවන අතර පහසුවෙන්ම එන්නත් මාර්ගයෙන් ශරීර ගත කරගත හැක.
  2.  No. 3 - දුඹුරු සීනී (Brown sugar) සාමාන්‍යයෙන් දුම් වැටි ලෙස සකසා පානය කළ හැක. දුඔුරු පැහැතිය.
  3.  No. 1 සහ No. 2 - සකස් නොකරන ලද හෙර‍ොයින් මේ කාණ්ඩ වලට වැටේ.

හෙර‍ොයින් නිපදවීමට යොදා ගනු ලබන්න‍ේ ඕපියම් ප‍ොපි (Opium Poppy) නම් වු ශාකයයි. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව හදුන්වන්නේ Papaver somniferum ලෙසයි. ලෝකය‍ේ මෙම ශාකය වගා කරන ප්‍රධාන කළාප දෙකක් දක්නට ලැබේ.

  •  රන් චන්ද්‍රවංකය (Golden Crescent) - මෙය මධ්‍යම, දකුණු හා බටහිර ආසියාව හරහා පැතිරුණු ප්‍රදේශයකි. ඇෆ්ගනිස්තානය, ඉරානය හා පාකිස්තානය යන රටවල මෙම ප්‍රදේශය පිහිටා ඇත.
  •  රන් ත්‍රිකෝණය (Golden Triangle) - මෙය අග්නිදිග ආසියාවේ වර්ග කීල‍ෝමීටර 950,000 ක පමණ කඳු ප්‍රදේශ ආවරණය කරමින් මියන්මාරය, ලාඕස් හා තායිලන්තය යන රටවල පැතිරුණ ප්‍රදේශයකි.

~ ලෝකයේ හෙරෙ‍ායින් වගා කරන කළාපයන් ~

හෙර‍ොයින් නිෂ්පාදනයට අවශ්‍ය වන ප්‍රධාන සංඝටකය ලබාගන්නේ ඕපියම් ප‍ොපි ශාකයේ ගෙඩි වලිනි. දම්, රතු, ර‍ෝස හෝ සුදු පැහැති මල් වලින් හට ගන්නා හොදින් පැසුණු ගෙඩි තියුණු පිහියක් ආධාරයෙන් කැපුමක්‍ යොදා එයින් වෑහෙන කිරි (Opium latex) එකතු කර ගැනීම මෙම ක්‍රියාවලියේ පළමු පියවරයි. අනතුරුව මෙම කිරි උදුනක දමා රත් කර එහි ඇති ජලය ඉවත් කරගනු ලබයි. අනතුරුව මෙම සංයෝගය උදුනක තබා රත් කරන අතර එයට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් (Calcium hydroxide/Ca(OH)2) සහ ඇමෝනියම් ක්ල‍ොරයිඩ් (Ammonium chloride/NH4Cl) එක්කර හොදින් මිශ්‍රකර මිශ්‍රණය පෙරාගනු ලබයි. අනතුරුව මෙයට අවශ්‍ය කරන මොර්ෆීන් සංයුතිය එකතුකර ගැනීමට ඇසිටික් ඇන්හයිරයිඩ් (Acetic anhydride/(CH3CO2) O), සෝඩියම් කාබනේට් (Sodium carbonate/Na2CO3) හා ජලය එක්කර මිශ්‍රණය නැවත පෙරාගනී.

~ ඕපියම් ගෙඩියෙන් කිරි ලබා ගැනීම ~

මෙයින් ලබාගන්නා මිශ්‍රණය දුඹුරු පැහැයක් ගන්නා අතර මෙය ඩයිඇමොර්ෆීන් (diamorphine) හෝ දුඹුරු සීනි (Brown sugar) ලෙස හදුන්වයි. මෙය ප්‍රධාන වශයෙන් අපනයනය කරනු ලබන්නේ යුර‍ෝපයටයි. මෙම මිශ්‍රණය ස්පටිකීකරණයට (Crystallization) ලක්කර වෙනත් විවිධ රසායන ද්‍රව්‍ය ගණනාවක් එක්කර ගැනීමේන් පිරිසිදු සුදු හෙර‍ොයින් නිෂ්පාදනය කරයි. දුඹුරු සීනී බදුනක දමා රත්කරන ගමන් එයට ඩයි එතිල් ඊතර් (Diethyl either/(C2H5)2O) සහ හයිඩ්‍රොක්ලොරික් අම්ලය (HCl) එකතු කර හෙරොයින් හයිඩ්‍රොක්ලොරයිඩ් (Heroin hydrochloride) නැතිනම් සුදු හෙර‍ොයින් නිර්මාණය කරයි. මෙම ප්‍රධන නිෂ්පාදන දෙකටම කැෆීන් (Caffeine), සීනී (Sugar), පැරසිටමෝල් (Paracetamol), Strychnine (මී පාසානම් වල අඩංගු රසායන ද්‍රව්‍යකි) හෝ වෙනත් විෂ රසායන එක්කර තනුක කර වෙළද පොළට නිකුත් කිරීම සිදුකරයි.

~ ප‍ොපි මල් ~

සාමාන්‍යයෙන් හෙර‍ොයින් ශරීරගත කරගන්නා ආකාර තුනකි. සුදු හෙර‍ොයින් බොහෝවිට එන්නත් කටුවක් ආධාරයෙන් ශරීරගත කරගනී. බොහ‍ෝවිට මෙහිදී සිදුකරන්න‍ේ හෙර‍ොයින් හැන්දකට දමා එය දෙහි යුෂ හෝ ජලය ස්වල්පයක් සමඟ මිශ්‍රකර ඉටිපන්දමක් වැනි යමක් ආධාරයෙන් මදක් රත් කර එන්නත් කටුවක් ආදාරයෙන් ශිරාවක් හරහා ශරීරගත කරගැනීමයි.

~ එන්නත් කටුවක් ආදාරයෙන් හෙරොයින් ශරීරගත කරගැනීම ~

දෙවන ආකාරය වන්නේ දුමක් ලෙස ඉරීම මඟින් ශරීරගත කරගැනීමයි. මෙය ආකාර දෙකකට සිදුකළ හැක. එක් ක්‍රමයක් නම් සිගරුට්ටුවක් ගෙන ප්‍රවේසමෙන් එහි දුම්ක‍ොළ යම් ප්‍රමාණයක් ඉවත් කර හෙර‍ොයින් දුම්ක‍ොළ හා මිශ්‍රකර නැවත සිගරුට්ටුව පුරවා එය ඉරීමයි. දෙවන ක්‍රමය නම් හෙර‍ොයින් හැන්දකට හා‍ේ ඊයම් ක‍ොළයකට දමා රත්කර එයින් නිකුත් වන දුම ආඝ්‍රහණය කිරීමයි. තුන්වන ක්‍රමය snorted/sniffed ල‍ෙස හදුන්වයි. මෙය නාසය හරහා කෙළින්ම කරන ශරීර ගතකර ගැනීමකි. බොහෝ විට මෙහිදි යොදා ගන්න‍ේ පිරිසිදු සුදු හෙර‍ොයින්ය. හෙර‍ොයින් කුඩා ප්‍රමාණ වලට වෙන්කර එය ර‍ොල් කරන ලද කුඩා කඩදාසි කැබැල්ලක් ආධාරයෙන් නාසය හරහා ශරීරගත කරගනී.

~ හෙරොයින් නාසය හරහා ශරීරගත කරගෑනීම ~ 

හෙර‍ොයින් වලින් ඇතිවන කෙටි කාලීන ප්‍රථිපලය නම් එය ශරීරගත කරගන්නාට ලබාදෙන ප්‍රභල සැනසිලිදායක (Sarge of sensation) හැඟීමයි. තමාග‍ේ සියළුම ගැටළු, ප්‍රශ්න ක‍ෙටි කාලයකට අමතක කරවා අතිශයින් සැනසිලිදායක පරිසරයක් ඇති කරවයි. මෙයත් සමඟ සමට සුවදායික උණුසුම් තත්වයක්ද දැනිය හැක. එ‍මෙන්ම උගුර කට වේලියන ස්භාවයක් ඇතිවේ. සමහර අවස්තා වලදී වමනය, හිසේ ඇතිවන කරකැවිල්ල හා ශරීරයේ කැසිල්ලක් වැනි තත්වයක් ඇතිවිය හැක. මෙම මුලික ලක්ෂනවලින් අනතුරුව නිදිබර ගතියක් ඇතිකරන අතර හෘද ස්පන්දනය වේගය හා ස්වසන වේගය අඩු කරයි‍. පැය කීපයකට පසුව මෙම තත්වය පහව යන අතර ශරීරයට නැවත හෙර‍ොයින්වල අවශ්‍යතාවය ඇතිවිය හැක. හෙර‍ොයින් වල ඇති භයානකම තත්වයනම් එය එකම එක් වරක් පමණක් භාවතා කිරීමෙන් පමණක් වුවද ඇබ්බැහිවීමට ඇති හැකියාවයි.

ඇස්ටරික්ස් (Asterix)

මාස පහකට විතර පස්සේ තමයි බර්ටියා ආයෙත් බ්ලොග් සටහනක් ලියන්න ගත්තේ. ගොඩ දවසකින් ආපු නැති හන්දා බ්ලොග් එක පුරාම මකුළු දැලුත් බැදිලා අප්පා. හා හා පුරා කියලා මේ අවුරුද්දට ලියන පළ‍වෙනි බ්ලොග් සටහන ලියන්න ගන්න‍ේ අවුරුදු ක‍ටේ තමයි ඉතින්. මේ සටහන තබන්නේ බාල, වැඩිහිටි, මහළු හැමෝම ආදරය කරන කාටූන් චරිතයක් ගැන. නෑ නෑ මේ කියන්න යන්නේ නම් බැට් මෑන් ගැන නෙමෙයි. ඒ ගැන පස්සේ ලියන්නම් කෝ. බර්ටියා අද කතා කරන්න යන්නේ ඇස්ටරික්ස් (Asterix) එහෙමත් නැත්නම් සූර පප්පා කියන කාටූන් චරිතය ගැන.

ඇස්ටරික්ස් යනු ප්‍රංශ ජාතික රෙනේ ගොසිනීග‍ේ මනසේ මැවුණු ප්‍රංශ ජාතික ඇල්බර්ට් උඩෙර්සෝගේ තෙලි තුඩින් කැන්වසය මත මැවුණු කල්පිත චරිතයකි. ඇල්බර්ට් උඩෙර්සෝ පළමුවෙන්ම නිර්මාණය ක‍ළේ අපි කවුරුත් දන්නා විශාල හා ශක්තිමත් ශරීරයක් සහිත සාමාන්‍ය ගෝල් සටන් කාමි‍යෙක් ලෙසයි. නමුත් රෙනේගේ සිතේ මැවී තිබුණේ එවන් චරිතයක් නම් නොවෙයි. ඔහුගේ සිතේ වුයේ ප්‍රමාණයෙන් කුඩා ශක්තියට වඩා බුද්ධියට මුල් තැන දෙන සටන්කාමී ග‍ෝල් වීරයෙකි. මෙහිදී උඩෙර්සෝ කියා සිටිය‍ේ මෙවන් කුඩා වීරයෙකුට ශක්තිමත් එහෙත් එතරම් බුද්ධිමත් නොවන සඟයෙකු අවශ්‍ය බවයි. ග‍ොසිනි මේ තර්කයට එකඟ වු අතර මේ සිදුවුයේ ඔබිලික්ස්ග‍ේ (Obelix) නැත්නම් ජිම් පප්පාග‍ේ උපතයි. ඇස්ටරික්ස් චරිතය අඩංගු පළමු චිත්‍ර කතා ප‍ොත "Asterix the Gaul" ලෙස වර්ෂ 1961 දී මුද්‍රණයෙන් එළි දක්වීය. සාර්ථක අ‍ලෙවියක් පෙන්නුම් කළ එහි පිටපත් 6,000 අලෙවි විය. ඉන් පසු නිකුත් වු සියළුම චිත්‍ර කතා ප‍ොත් විශාල ප්‍රමාණයෙන් අලෙවි විය‍. ඇස්ටරික්ස් 9 වන කතාව 1967 දී නිකුත් වු අතර පළමු දින දෙක ඇතුලත එහි පිටපත් මිලියන 1.2 ක් අලෙවි විය.

ඇස්ටරික්ස් යනු කුඩා, නිර්භීත එමෙන්ම නුවණැති හැම විටම ත්‍රාසජනක ක්‍රියාවලට ආශාවක් දක්වන සටන්කාමියෙකි. ගමේ විනෝදයට මෙන් නිතර ද‍ෙවේල‍ේ සිදුවන කළ ක‍ොලාහල වලට සහභාගි නොවන ඇස්ටරික්ස් හේතුවක් ඇතිවිට කිසිදු පැකිළීමකින් තොරව සටහන සහභාගී වෙයි. ආයුධයක් ඇතත් අතින් පයින් රෝමානු සොල්දාදුවන්ට පහර දීම ඔහුග‍ේ පුරුද්දයි. බද පටියේ රදවාගෙන සිටින කෙටි කඩුවට අමතර මැජික් පානය පිරවූ බෝතලයක් ද එහි රදවා ඇත. ඇස්ටරික්ස් වාසය කරන්න‍ේ ක්‍රිස්තු පුර්ව 50 සියවස‍ේ ග‍ෝල් දේශය‍ේ (වර්තමාන ප්‍රංශය) ආම‍ෝරිකා (Armorica) ප්‍රදේශයේ නමක් සදහන් න‍ොවන කල්පිත ගම්මානයකයි. ඇස්ටරික්ස්ග‍ේ සමීපතම සඟයා හා හොදම මිතුරා වන්න‍ේ ඔබිලික්ස්ය (Obelix). ඔබිලික්ස් යනු ප්‍රමාණයෙන් විශාල එනමුත් තමන් මහත පුද්ගලයෙක් ලෙස නොදකින චරිතයකි. ඔබිලික්ස්ගේ චරිතයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂන වන්නේ ඔහුග‍ේ අසාමාන්‍ය කාය ශක්තිය හා කෑමට දක්වන අධික ආශාවයි. ඔබිලික්ස්ග‍ේ කැමතිම ආහාරය වල් උෟරු මස්ය. වල් ඌරන් අල්ලා ගැනීමට දඩයමේ යෑම ඔබිලික්ග‍ේ මෙන්ම ඇස්ටරික්ස්ග‍ේ ද වි‍නෝදාංශයකි. ඔබිලික්ස්ගේ ආසාමාන්‍ය කාය ශක්තියට හේතුව ඔහු කුඩා කාලයේ මැජික් අර්ෂ්ඨ කල්ද‍ේරමට වැ‍ටීම බව වෙද පප්පාග‍ේ අදහසයි. ඔබිලික්ස් සුරතලයට ඇතිකරන සුරතල් බලු කුක්කාග‍ේ නම චුටි කුකුය (Dogmatix).

ඇස්ටරික්ග‍ේ ගම්මානය අවට සියළුම ප්‍රද‍ේශ රෝමන් හමුදා විසින් යටත් කරගෙන ඇතත් ඇස්ටරික්ස්‍ගේ ගම්මානය යටත් කරගැනීමට ඔවුන්ට කිසිම හැකියාවක් ලැබී නැත්ත‍ේ වෙද පප්පාග‍ේ මැජික් අරිෂ්ඨය‍ේ බලය නිසයි. මැජික් අරිෂ්ඨය පානයෙන් අසාමාන්‍ය කාය ශක්තියක් ලබා ගන්නා ගම්වාසීන් ර‍ෝමන් හමුදාවට එළව එළවා පහර දෙයි. ර‍ෝමානු අධිරාජ්‍යා වන ජූලියස් සීසර්ට මේ ගම්මානය හිසරදයක් වී ඇත්තේ මේ හ‍ේතුවෙනි.

මැජික් අරිෂ්ඨය වෙද පප්පා (the druid, Getafix) නිර්මාණයකි. එය පානය කිරීමෙන් ඇස්ටරික්ස් ඇතුලු ගම්වාසීන්ට කෙටි කාලයකට ආසාමාන්‍ය කාය ශක්තියක් ලැබේ. වෙද පප්පා ඩෲයිඩ් පූජකවරයෙකි (ඩෲයිඩ් පූජකවරයින් ආදී සෙල්ටික් (Celtic) ශිෂ්ඨාචාරයේ දක්නට ලැබුණු ඉහළ පුජක තනතුරකි). වෙද පප්පා උස සුදු පැහැදි දිගු රැවුලක් සහිත පුද්ගයෙකි. සුදු පාට ඇදුමකින් සැරසී සිටින ඔහු රතු පැහැති කර ආවරණයක් පළදී. ඔහුග‍ේ වයස පැහැදිලි නැත. කුඩා ප්‍රමාණයේ රත්තරන් දෑකැත්තක් ඉන‍ේ ගසාගනෙ වෙද පප්පාව ජුලියස් අයියා කීප අවස්තාවකදීම පැහැරගෙන යන්නේ මැජික් අරිෂ්ඨය‍ේ රහස දැන ගැනීම සදහායි.

ඇස්ටරික්ස් කතා පෙළ මේ වන විට භාෂා 100 කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. මේ වන විට ඇස්ටරික්ස් ප‍ොත් 37 එළි දක්වා ඇත. මේ වසරේ මුද්‍රණයෙන් පිටවු Asterix and the Race Through Italy එහි නවතම නිර්මාණයයි. අැස්ටරික් කතා පෙළ ඇසුරින් නිපද වු කාටුන් චිත්‍රපටි ගණන 09 වන අතර සජිවී චරිත සහිත චිත්‍රපට ගණන 04 කි.

Animation Movies

  1. Asterix the Gaul (1967)
  2. Asterix and Cleopatra (1968)
  3. The Twelve Tasks of Asterix (1976)
  4. Asterix Versus Caesar (1985)
  5. Asterix in Britain (1986)
  6. Asterix and the Big Fight (1989)
  7. Asterix Conquers America (1994)
  8. Asterix and the Vikings (2006)
  9. Asterix: The Mansions of the Gods (2014)
  10. Asterix: The Secret of the Magic Potion (2018)

Live Action Films

  1. Asterix and Obelix Take on Caesar (1999)
  2. Asterix & Obelix: Mission Cleopatra (2002)
  3. Asterix at the Olympic Games (2008)
  4. Asterix and Obelix: God Save Britannia (2012)

රෙනේ ගොසිනී වර්ෂ 1977 දී මියගිය අතර එතැන් පටන් රසිකයන්ග‍ේ ඉල්ලීම පරිදි ඇල්බර්ට් උඩෙර්සෝ දිගින් දිගටම මෙම කතා මාලාව එළි දැක්වීය. අද මෙම කටයුතු සිදු වන්න‍ේ ඇල්බර්ට් උඩෙර්සෝග‍ේ අධීක්ෂනය ය‍ටතේ ඔහු විසින් පුහුණු කළ වෙනත් ශිල්පීන් තිදෙනෙක් විසිනි.