අම්පාරට දස වසරක්

ඉස්සර වගේ නෙමෙයි දැන් බ්ලොග් එකට ලියන්න ටිකක් කම්මැලි හිතිලා තියෙන්නේ. සිංහලෙන් කොටන්න ගියහම වෙලාවකට එපා වෙනවා. එත් එහෙම කියල බෑනේ, පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න එපා යැ. පහුගිය සතියේ හරියටම කිවුවොත් දෙසැම්බර් මාසේ 09 වෙනිදා බර්ටියා අම්පාරේ ගියා මලිතත් එක්ක සුපුරුදු විදිහට බස් එකේ. එහෙම යනකොට තමයි මලිතයා මතක් කලේ බර්ටියා අම්පාරට යන්න එන්න පටන් අරන්ගෙන අවුරුදු දහයක් වෙන විත්තිය. ඒ වගේම මලිත අම්පාරට එන්න පටන් අරන් අවුරුදු විසි දෙකක් වෙන බව. ඇත්තටම බැලුවොත් අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක් තමයි. ඒ කාලේ ඇතුලත බර්ටියා දහදොළොස් සැරයක් අම්පාරේ ඇවිල්ල ඇති. ඇත්තටම බැලුවොත් බර්ටියා ආපු වාර ගණන බර්ටියටවත් මතක නෑ. මොනවා කරන්නද ඒ ගැන?. මේ ආපු කාලෙට මේ අවුරුදු දහයට කොච්චර දේවල් වෙනස් වුනාද? ඒත් තාම අම්පාරේ හරියටම කිවුවොත් කහටගස්යායේ ලස්සන නම් අඩුවක් වෙලා නෑ.

බර්ටියා ඉස්සර වෙලාම අම්පාරට යන්නේ 2007 අවුරුදේ මතක විදිහට අගෝස්තු මාසේ. මලිතයා අම්පාර ගැන කියන විස්තර අහගෙන ඉදල බර්ටියටත් කාලෙක ඉදන් අම්පාරට ගිහින් බලන්න ආසාවක් ඇති වෙලා තිබ්බා. ඉස්සෙල්ලම ආපු පාර උහනින් බැස්සේ හවස හතරට විතර. ඒ බැහැලා උහන පොලිසියට ගියා මලිතයගේ යාළුවා මනයා හෙවත් මනතුංග මුණ ගැහෙන්න. මනයා ඒ දවස් වල වැඩ කලේ ග්‍රාම ආරක්ෂකේ. සරල විදිහට කිවුවොත් ඒකා ගම් බට්ටෙක්. මනතුංග ඕෆ් වෙලා එනකම් උහනේ තිබ්බ ඔක්කොම බාර් වලට (ඒ කාලේ උහනට බාර් තුනක් තිබ්බා. තාමත් තුනයි තමයි.) බඩ ගෑවා වොඩ්කා බෝතලයක් හොයාගන්න. වොඩ්කා බෝතලේ අතේ තියාගෙන ඒක සැන්ඩි කරන්න ගත්ත සන්කුවික් එක දානේ ගෙදරකට කියල කඩේ හිටපු ගෑනු මනුස්සයට කිවුවත් තාම මතකයි. මනයා ආවට පස්සේ තුන්දෙනාම ඩබල් දාලා අලි එන පාරේ බයික් එකෙන් ගිහිල්ලා දඹෙි ඇලේ වැල්ලේ වලක් හාර ගෙන නාලා තමයි කහටගස්යායේ මනයලගේ ගෙදරට ගියේ. ඒ දවස් වල එහාට කරන්ට් එකත් නෑ. සුර්ය කෝෂයක් ගහල තමයි ගෙදර බල්බ් එකක් පත්තු කරගෙන කළු සුදු ටීවී එක බැලුවේ.

දෙවෙනි පාර බර්ටියා මනයලගේ ගෙදර ගියේ ඊට මාස තුනකට විතර පස්සේ දෙසැම්බර් මාසේ මලිතගේ අක්කලත් එක්ක කඳූ නගින්න බලාගෙන. ඒක බොහොම දුෂ්කර ඒ වගේම ත්‍රාසජනක අත්දැකීමක් වුනා. ඒක ගැන කතා දෙකක් නෑ. කැළේ අතරමං වෙලා නාමල් ඔයට යන්න පාර හොයාගන්න බැරුව ඇවිදලා වතුර නැතුව පොලොව හාරාගෙන වතුර බීලා අමාරුවෙන් පාර හොයාගෙන නාමල් ඔයට බැස්ස හැටි අද වගේ මතකයි. ඒ වෙනකොට අපි පරක්කු නිසා උපාලි අයියයි ජයතිලකයි අපිව හොයාගෙන එනවා. නාමල් ඔයට බැහැලා එතන හිටපු තනි අලියා යනකම් අපිට ගොඩක් වෙලා බලගෙන ඉන්න වුනා. අපි දවල්ටත් කාලා නැති නිසා ඒ වෙලාවේ ගොඩක් අමාරුවෙන් හිටියේ. කඳූ නැගලා, ඇවිදලා අමාරුවට මහ රෑ කකුලේ මස් පෙරලෙනකොට වින්ටොජිනෝ ගාලා අතුල්ල ගත්ත හැටිත් තාම මතකයි. තනියා ආපහු ගියේ නැති නිසා රෑ තිස්සේ ගිනි මැලේ පත්තු කරගෙන ජයතිලක ඇහැරිලා හිටියා තුවක්කුවත් තියාගෙන. ඒ මදිවට වැල්ලේ නිදියපු අපිව වැලි මැක්කෝ කාලා පහුවදා ඇග පුරාම කසන්න ගත්තා.

තනි අලියා ගෙදර යනකම්

ඒ දවස් වල කොටි ප්‍රශ්නත් තිබ්බා. ඒත් අපිට ඒ ගැන නම් බයක් දැනුනේ නෑ. ආපහු ඇවිල්ලා සුබේගේ ගෙදරින් වැව් මාළු එක්ක බත් කන්දකටම වග කියන්න පුළුවන් වුනා අපිට. ඊට පස්සේ T-56 ක් හොයාගෙන ජයෙත් එක්ක වත්ත පහලට ගිහිල්ලා ඉස්සෙල්ලාම තුවක්කුවකින් වෙඩි තියපු හැටි කොහොම අමතක වෙන්නද? බර්ටියාට හරියටම ඉලක්කෙට වෙඩි තියාගන්න පුළුවන් වුනා. ලොකුම ප්‍රශ්නේ වුනේ එදා හවස නවගිරියාව වැවට ගිහිල්ලා එනකොට රන්ජනයා අතුරුදහන් වෙච්ච එක. ඒ මදිවට ජුන්ඩා බර්ටියි මලිතයි එක්ක තරහට බීලා කරටි කඩාගෙන වමනේ දානකොට මලිතගේ අක්කට නොන්ඩි වෙලා බර්ටියි මලිතයි අම්බානකට අක්කාගෙන් බැනුම් ඇහුවා වෙච්ච දේවල් වලට. එදා තමයි පලවෙනි පාරට බර්ටියා උළමෙක් කෑගහනවා ඇහුවේ. අම්මෝ ඒක හරිම භයානක සද්දයක්. පාන්දර හතරට විතර රෑට කෑව පළවෙනි පාරත් ඒක.

පහුවදා උදේ අක්කලා ගාලු ගියත් බර්ටියි මලිතයි ජුන්ඩයි හවස යන්න නතර වුනා. අපේ වාසනාවකට රන්ජනයා පහුවදා ගෙදර ආවා. ඒකාටත් සුද්ද සිංහලෙන් අමතලා අපි අම්පාරට ඇවිල්ලා රෑ 8.00 විතර කොළඹ එන බස් එකකට නැග්ගත් එකේ ඔක්කොම ෂිට් වෙන්කරලා තිබ්බ නිසා මනයලට කෝල් කරලා අපිව ගන්න එන්න කියල නාමල් ඔයෙන් බැහැලා ආපහු මනයලගේ ගෙදර ගියා. පහුවදා තමයි අපි කොළඹ එන්න ආවේ.

ඊලග පාර බර්ටියා කඳූ නැග්ගේ මලිතයගේ "Yes TEAM" එකත් එක්ක. Yes TEAM එකත් එක්ක බර්ටියත් ආවේ කහටගස්යායේ දුප්පත් ඉස්කෝලෙකට ආධාරයක් දෙන්න. මේ වැඩේ Yes TEAM එකේ ළමයින්ට අමුතුම අත්දැකීමක් වුනා. ඒ වැඩෙන් පස්සේ අපි කන්ද නගින්න පටන් ගත්තත් අපි කන්ද උඩට යනකොට ගොඩක් රෑ වුනා. පහුවදා නාමල් ඔයාට බහින කොට කලින් පාර වගේ අතරමන් නොවුනත් වතුර නැතිව ලොකු කරදරයක වැටුණා. ළමයි ටික විජලනය වෙන්න වගේ යනකොට බර්ටියාගේ බෑග් එකේ තිබ්බ අන්තිම කොකා කෝලා බෝතලෙන් ඒ ප්‍රශ්නේ විසදගෙන යන්තම් නාමල් ඔයට පල්ලම් බැස්සා. මේ පාර නම් අපිට තනි අලියා එක්ක ඔට්ටු තියන්න වුනේ නෑ. කට්ටිය ගොඩක් විනෝද වුනා. මාළු පුච්චගෙන කාලා, හිතු හිතු වෙලාවට නාමල් ඔයට පැනලා නාලා වගේ එක එක දේවල් කරලා. සමහරු මහා රෑ එකට දෙකටත් නාමල් ඔයට බැහැලා නානවා කට්ටිය. ඒ ඇරුනහම Yes TEAM එකේ සමහර වැඩ වලට මළ පැනපු මලිතයවත් කූල් ඩවුන් කරගෙන කට්ටියම අතුරු අන්තරාවක් නැතුව ආපහු ගෙවල් වලට ආවා.

ඊට ටික දවසකට පස්සේ බර්ටියාට අයෙත් කහටගස්යායට යන්න වුනේ මුට්ටියගේ ඩිජිටල් කැමරාව මානයගේ ගෙදර දාලා ආපු නිසා. ඒ ආපු පාර මෙච්චර කාලයකට මලිතයටත් යන්න බැරි වෙච්ච නෑල්ල කියන තැනට යන්න බර්ටියාට අවස්තාව ලැබුණා. ඇත්තටම ඒක සිංහල රජ කාලේ නටඹුන් තියෙන තැනක්. ඒත් ඒ හැම දෙයක්ම වගේ නිධන් හොරුන් අතින් සම්පුර්ණයෙන්ම විනාශයට පත්වෙලා තිබ්බා. පුරා විද්‍යා එකටවත් ඒ දේවල් රැකගන්න කිසිම අවස්ථාවක් ලැබිලා තිබ්බේ නෑ. ඒක හරිම කණගාටුවට කාරණයක්. අපි නෑල්ලේ කැලය ඇතුලට යනකොට තව පොඩ්ඩෙන් අපිට වලහා කෙළිනවා. අපි දෙන්න එතැනට යන්න විනාඩි දෙක තුනකට කලින් තමයි වලහා එතන ඉදලා ගිහිල්ල තියෙන්නේ. වලහගේ අඩි පාරවල් ගොඩක් ඒ හරියේ තිබිලා අපිට බලාගන්න පුළුවන් වුනා. පරණ සෙල් ලිපියක් හරි දෙකක් හරි එතන තිබ්බා කියලත් බර්ටියාට මතකයි. සමහරවිට ඒවා කවුරුවත්ම කියවලා නැතුව ඇති. ඒ වෙනකොටත් එතන ග්‍රාම ආරක්ෂක මුර පොලක් දාලා තිබ්බත් ඒ නටබුන් වලට වෙන්න ඕන විනාශය සිද්ධවෙලා ඉවරයි.

ඊට පස්සේ කීප සැරයක්ම කහටගස්යායට ගියත් ඒවා එච්චරම මතක හිටියේ නෑ. එක සැරයක් මලිතයගේ කූඹූරේ ගොයම් කපන්න ගිහිල්ලා මලිතයා පෙරේතයා වගේ (වගේ කෑල්ල අවුල් ද මන්දා?) කූඹූරේ නිදාගත්ත මතකයි අපි ගොයම් කපනකම්. ඊට පස්සේ මලිතයි ලාන්කි නංගියි දෙන්නා එක්ක ගියා කියලා මතකයි. ඒ පාර නම් විශේෂ දෙයක් සිද්ද වුනේ නම් නෑ. ලාන්කි නංගි ටකරමක් හයියද බලන්න ගිහිල්ලා ඔලුව තුවාල කර ගත්ත මතකයි බර්ටියට. ඒ වගේම අපි කට්ටිය සුදුත් එක්ක බුද්දංගල වන්දනා කරන්න ගියා. එතනත් හරිම ලස්සන පරිසරයක්. අපි ආපහු එනකොට කතරගම හරහා ගාල්ලට ගිහින් මලිතගේ අම්මගෙයි අක්කාගෙයි දුක සැප බලලා තමයි ආවේ. බර්ටියට අමු කවුපි උයලා කන්න ලැබුනේ මනයලගේ ගෙදර ගිහිල්ලා. ඒ වගේම බර්ටියා ඉස්සරවෙලාම වැව් මාළු කෑවෙත් අම්පාරේ ගිහිල්ලා තමයි.

නෑල්ලේ විනාශ වී ගිය අපේ ඉතිහාසය

ඊට පස්සේ ආයෙත් මලිතයගේ කැබ් එකේ අම්පාරේ ගියා එකාගේ ගෝලයෝ කීප දෙනක් එක්ක. ඒ පාර තමයි බර්ටියට බොදව අදුරගන්න ලැබුනේ. යන්න කලින් "House ඔෆ් Fashion" එකේ කාර් පාර්ක් එකේ "Fast and Furious" විදිහේ යෑමක් ගිය එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ පාර අපි කඳූ නගින්නේ නැතුව මලිතයගේ කැබ් එක ඔෆ් රෝඩ් දාලා නාමල් ඔයට ගියා. ඒ ලගට කැබ් එක මග තියලා හැතැප්ම තුන හතරක් පයින් ගිහිල්ලා මාරම ලස්සන තැනකට ආවා. එතන නම හරියට කියන්න කවුරුවත් දන්නේ නෑ. ඉදල් ඔය එහෙමත් නැත්නම් උදල් ඔය කියලා තමයි කට්ටියම එතනට කිවුවේ. එතන තමයි නාමල් ඔයේ ආරම්භය. හරිම ලස්සන තැනක්. බර්ටියා කලින් එතනට ඇවිල්ලා තිබ්බේ පායන කාළෙක නිසා එදා එච්චර ලස්සනට පෙනුනේ නෑ උදල් ඔය. වතුර තියෙන කොට තමයි එකේ ලස්සන පෙන්නේ. වතුර හරිම සීතලයි එතන.

කැබ් එකෙන් ආපු නිසා අපිට බඩු උස්සන් ගොඩක් දුර එන්න සිද්ධ වුනේ නෑ. අපි දවල්ට කෑම උයලා, නාලා කරලා, අපි ගෙනිච්ච විස්කි (Hundred Pipers Bottle) බෝතලෙත් ඉවර කරලා හවස් වෙලා තමයි ආපහු කැබ් එක තියෙන තැනට ආවේ. එදා රෑ අපි එතන නැවතුනා. කැලෙන් දර එකතු කරලා ගිනි මැලයකුත් ගහගෙන රෑ ඔරු කාරයෙක්ගෙන් මාළුත් අරගෙන දෙවෙනි විස්කි බෝතලෙත් (Ballantine's Finest Bottle) එකත් ඉවර කළා. අම්මෝ එක හරිම සැර විස්කි එකක්. කුඩු වෙන්න වදිනවා ඒක. සමහරුන්ට වැඩිත් වෙලා පිස්සු නටන්න ගත්තා (අපෝ නෑ බර්ටියට එහෙම ලේසියෙන් වැඩිවෙන්නේ නෑ). පහුවදා දවල් වෙලා තමයි අපි ආපහු මනයලගේ ගෙදර ආවේ. ඒ තමයි බර්ටියා එතනට ගිය අන්තිම පාර. දැන් වන සංරක්ෂණෙන් එතනට යන්න දෙන්නේ නැහැයි ලු. අපරාදේ ගොඩක් ලස්සන තැනක් ඒක. අපි කවදාවත් පොලිතින් එකක්වත් එතන දාලා ඇවිල්ලා නෑ. කිසිම වෙලාවක ඒ ලස්සන පරිසරයට හානිවෙන දෙයක් අපි කළේ නෑ. අපි ගොඩක් ආදරේ ඒ සුන්දර පරිසරයට. ජිවිතේ කීප දෙනෙකුට පමණක් ලැබෙන අවස්ථාවක් එතනට යන්න ලැබෙන එක. ඒකට අපි පින් කරලම තියෙන්න ඕන. මං හිතන්නේ මලිත වුනත් එකග වේවි මාත් එක්ක ඒ කතාවට.

ඉදල් ඔය එහෙමත් නැත්නම් උදල් ඔය

ඊට පස්සෙත් කීප සැරයක්ම මලිතත් එක්ක බර්ටියා මනයලගේ ගෙදර ගියා බස් එකේ වගේම මලිතයගේ වාහනෙත්. ඒ වෙනකොට බර්ටියත් ඒක ගෙදර යනවා වගේ වැඩක් වෙලා තිබ්බා. කොහොමත් අම්පාරේ ගිහිල්ලා එනකොට අපි දෙන්නා අඟලක් දෙකක් මහත් වෙලා තමයි අාපහු එන්නේ. මොකෝ වැඩක් විදිහට කන එක තමයි කරන්නේ. ඉතින් මහත් වෙන එක අහන්න දෙයක් යෑ.

මේ මාසේ මුල තමයි බර්ටියා අන්තිම පාරට. ඒ පාර අපි දෙන්නා බෝලෙයි සඳුයි එක්ක නෑල්ලට පයින් ගියා නාන්න කියලා. හැතැප්ම හතරක විතර දුරක් වෙල් උඩින්, බඩ වැටි, ළදු, වගා කරපු හේන් අස්සෙන් ගිහින් අපි නාන තැනට අාවා. එතනට ආවහම අර ගමන් මහන්සිය ඔක්කෝම නැතිවෙලා ගියා. අම්මෝ එතන වතුර අයිස් වගේ සීතලයි. මලිතයව බොහොම අමාරුවෙන් තමයි වතුරට බස්ස ගත්තේ. අපි පැයක් විතර එතන නෑවා. ඊට වඩා ඉන්න බැරි වුනේ රෑ වුනහම අලි පාරට එන හින්දා. ඒ වුනත් අපි ආපහු එනකොට හොදටම අඳුර වැටිලා තිබ්බා. අපි දෙන්නගේ ෆෝන් වල ෆ්ලැෂ් ලයිට් ගහගෙන තමයි අන්තිම ටික එන්න වුනේ.

මේ පාර මනයා, සඳරුවන්, ඉන්දික ඇතුළු කට්ටියම ගොඩක් කාර්යය බහුල වෙලා කුඹුරු වැඩ හන්දා. හැමදාම රෑට කට්ටියම කුඹුරු වලට යනවා කුඹුර වල් අලින්ගෙන් පරෙස්සම් කරගන්න. පහුවදා දවසේ අපි දෙන්නා වැඩි කාලයක් ගත කළේ සඳරුවන්ගේ කුඹුරේ. ඒකට සතියකට විතර කළින් අලි පැනලා සඳරුවන් යන්තම් බේරිලා තියෙන්නේ. අපි කුඹුරට එහායින් තිබ්බ සිරී අයියගේ හේන පැත්තටත් රිංගුවේ බඩ ඉරිඟු කරලක් හොයාගෙන පුච්චන් කන්න. ඒත් බඩ ඉරිඟු ලොකු වෙලා මදි ඒ වැඩේ කරන්න. කරන්න දෙයක් නැති එකේ අපි කවුපි පුච්චන් කෑවා. ඒ වැඩෙත් නැගලා ගියා. අපි ඉතින් දොළහා එක වෙනකම් කුඹුරට වෙලා ඉදලා දවල්ට කන්න ගෙදර ගියා. පහුවදා පාන්දර හය හමාරට එහෙන් තියෙන බස් එකේ අපි අම්පාරට ඇවිල්ලා ගෙදර එන්න ආවා.

අපිට අම්පාරේ කහටගස්යාය කියන්නේ ගෙදර වගේ තැනක්. කොච්චර ගියත් අපිට ඒක එපා වෙන්නේ නෑ. අදටත් හෙටටත් හැමදාටමත් ඒක වලංගුයි. ආයෙත් ජනවාරි මාසේ එහේ ගොයම් කැපුවට පස්සේ පෙබරවාරි මුල විතර එහේ යන්න හිතාගෙන ඉන්නේ අපි දෙන්නා. අම්පාරේ කහටගස්යාය සුන්දර මතකයන්ගෙන් පිරි තැනක්. කවදාවත් අමතක නොවෙන සුන්දර තැනක්. විශේෂ ස්තුතිය මලිතයට මාව අම්පාරේ එක්කගෙන ගියාට. අළුත් යාලුවෝ සෙට් එකක් සුන්දර පරිසරයක් දැක ගන්න බර්ටියාට පුළුවන් වුනේ මලිතයා හන්දා.

2007 දී කන්ද නැග්ග අපේ කට්ටිය
2010 දී "YES Team" එකත් එක්ක
2014 දී මලිතගේ කැබ් එකේ නාමල් ඔයට
නාමල් ඔය සුන්දරත්වය
ඉදල් ඔය නැත්නම් උදල් ඔය
නාමල් ඔයට ඉර බැසිම
කට්ටිය උයන්න දර එකතු කරන ගමන්
බර්ටි සහ මලිත 2017 දී
ඉදල් ඉරිඟු/සෝගම් (Sorghum bicolor)
නෑල්ලේ නාන ගමන්
සඳරුවන්ගේ කුඹුරේ පැළේදී
සිරි අයියගේ රට කජු වගාව