ගරුණ්ඩා

ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තට ඇවිල්ලා සටහනක් තියන්න හිතුණා. බ්ලොග් සටහනක් ලියන්න හිටියත් ලියන්න දෙයක් ඔළුවට ආවේ නෑ. පරණ දේවල් මතක කරන්න හැදුවත් ඒකත් හරි ගියේ නෑ අප්පා. දුක් සීන් එක තමයි ඉතින්. ඒත් ඊයේ පොතක් බල බල ඉන්න කොට එක පාරටම ගරුඩෙක් ගැන කතාවක් මතක් වුනා‍. ගරුඩන්ගෙන් බර්ටියට හරියට අපල කාලයක් තිබ්බා. දැන් නම් ඒක ටිකක් අකාමකා වෙලා ගිහිල්ලා. එක සැරයක් ගරුණ්ඩෙක් බර්ටියාගේ වැදගත්ම තැනක් කාලා තව පොඩ්ඩෙන් බර්ටියාගේ මුලු මහත් අනාගතේම අඳුරු වෙලා යනවා. හා හා ඒක ගැන කතා ඕනේ නෑ. මම කියන්න ගිය කතාව කියන්නම්කෝ. බර්ටියාගේ පහේ කල්ලියේ එක සාමාජිකයෙක් තමයි Hothipera waulata යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ලබන වවුලා. මේ කියන කතාවේ කතා නායකයා තමයි අපේ වවුල් තඩියා. වවුලා දැන් නම් සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්.

අපේ ඉස්කෝලේ ප්‍රථමාධාර කවයේ මල්ලි කෙනෙක් හිටියා ජනිත් කියලා රදාවානේ අල්ලිය වත්තේ. අල්ලිය වත්තේ හොද කකුලක් තමයි ජනිත් මල්ලි. ජනිත්ගේ තාත්තගේ දානේ සාමාන්‍යයෙන් අපිට කියනවා. අපිත් ඉතින් බණ දවසට එහේ ගිහිල්ලා ජනිතගේ ගෙදර ආර්ථිකේ හය මාසෙකින් විතර පස්සට දාලා තමයි ආපහු ගෙවල් වලට එන්නේ. ඉතින් මේ කියන පාර බණට සහ දානෙට අපිට ආරාධනා ලැබුණා. බර්ටියාට මතක විදිහට බර්ටියා එතකොට වැඩ කලේ රණාලේ තිබ්බ සිසිල් බීම පැක්ටරියේ. බර්ටියා වැඩ ඉවර වෙලා කෙළින්ම අල්ලිය වත්තට ආවා. වවුලා ඇතුළු අපේ අනිත් කට්ටිය එනකොට ටිකක් රෑ වුනා. බණත් ඉවර වුනා.

අපිත් කාලා බීලා ඉවර වෙලා අපි සුපුරුදු විදිහට නිදාගන්න ඉස්තොප්පු කාමරේට ගියා. කාමරේ ටිකක් අස්කරලා පැදුරු එහෙම දාලා අපි නිදාගත්තා. කොහොමත් ඔක්කොම කට්ටිය දොළොස් දෙනෙක් විතර හිටියා කාමරේ. බර්ටියාට නම් එච්චර තදට නින්ද ගියේ නෑ එදා. තැන වෙනස් වෙච්ච හින්දා වෙන්න ඇති. පාන්දර දෙකට විතර එක පාරටම වවුලා කෙදිරි ගාගෙන නැගිට්ටා. බර්ටියා එතකොටත් ඇහැරිලා හිටියේ.

බර්ටියා: මොකද බන්?
වවුලා: මොකෙක් හරි මාව කෑවා බන්.
බර්ටියා: මොකෙක්ද?
වවුලා: දන්නේ නැ බන්
බර්ටියා: තාම පැදුර අස්සේ ඇති. අපි බලමු

බර්ටියා දනි-පනි ගාලා නැගිටලා ලයිට් එකත් දාලා අනිත් කට්ටියත් ඇහැරවලා පැදුරු අස්සේ බැලුවා. දෙවෙනි පැදුර ඉස්සුවා විතර දඩ සයිස් ගරුඩෙක් පැදුර යටින් ප්‍රාදුර්භූත වුනා කියහන්කෝ. ඒ එක්කම හතර වටින් එල්ල වෙච්ච සෙරෙප්පු පාරවල් මැද ගරුඩා අවසාන ගමන ගියා. වවුලගේ අමාරුව වැඩියි. පුදුමේ කියන්නේ ගරුඩා තවත් එකෙක්වත් කාලා. ඒකා සද්ද නැතුව නිදාගෙන ඉදලා. දැන් ලෙඩ්ඩු දෙන්නයි. මේකා කළින් ගරුඩා කෑවා කියලා කිව්වා නම් මේ අකරතැබ්බ වෙන්නේ නෑනේ. අපි වේලාසනින් හොදලා බලනවනේ. ගරුණ්ඩා වවුලගේ නරක තැනක් කාල නෑ. අතට තමයි දෂ්ඨ කරලා තියෙන්නේ. දැන් මොනා කරන්න්නද? ජනිතගේ අම්මයි අක්කලයිත් ඇවිල්ලා බැලුවා. ඇන්ටි අපිට දෝෂ දර්ශනයකුත් එල්ල කරලා ගියා ගරුඩගේ අවසාන කටයුතු සිද්ධ කලා කියලා. එහෙම වුනහම වේදනාව වැඩියිලු. බර්ටියා නම් ඒක ඇත්තද නැත්තද කියන්න දන්නේ නෑ. ටිකකින් ඇන්ටි ආපහු ආවා රතු ළුෑණු හරි දෙහි හරි අරගෙන. ගාලා බැලුවා. හරි ගියේ නෑ. වෙනදා පොර ටොක් දෙන වවුලා කෙදිරි ගානවා කැක්කුමයි කියලා. කරන්න දෙයක් නැති තැන ඒ පැත්තේ ඉන්න වෙද මහත්තයෙක් ගාවට අරගෙන යන්න කියලා ජනිත්ලගේ අම්මා කිව්වා. අපි කට්ටියම වවුලවයි අනිත් (ගරුඩා කාපු අනිත් එකා ජනිතගේ නෑයෙක්) එකාවයි අරගෙන ජනිත්ගේ වාහනේට නැග්ගා. වෙද ගෙදරට ටිකක් දුරයි. කිරිදිවැල ටවුමට ගිහිල්ලා එතනින් ආපහු යන්න ඕන‍. පාන්දර දෙකයි කියලා කරන්න දෙයක් නෑනේ මේකට බේතක් ගන්න එපායැ.

ජනිතා වෑන් එක එළවගෙන යනවා හැටට හැටේ. රදාවාන පහු කරලා කිරිදිවැල ටවුමට ආවා. ඇවිල්ලා මේකා එක පාරටම කඩයක් වගේ එකක් ගාව වෑන් එක නැවැත්තුවා. නවත්තලා මේකා එක පාරටම අැහුවා වරුණ අයියේ මේකත් කරගෙනම යමුද කියලා. බර්ටියත් තකහනියක්ම වෑන් එකෙන් ඔළුව එළියට දාලා බැලුවා. මළ කෙළියයි ! ජංජාලයි ! මේකා වෑන් එක ගෙනල්ලා නතර කරලා තියෙන්නේ කිරිඳිවැල ටවුමේ ආනන්ද මල් ශාලාව ගාව. කරගෙන යමුද අහලා තියෙන්නේ මොකක්ද කියලා කාටත් තේරෙනවා ඇතිනේ. (එම්බාම් යකෝ එම්බාම්) වවුලත් අමාරුවෙන් එළියට බහින්න හදනකොට තමයි දැක්කේ මේකා වාහනේ නවත්තලා තියෙන්නේ මල් ශාලාව ගාව කියලා. වවුලා ඉතින් සුද්ධ සිංහල වචන ටිකක් පාව්ච්චි කළත් අපි කට්ටියම බඩවල් අල්ලගෙන හිනාවුනා.

ඊට පස්සේ ඉතින් අපි කට්ටිය වෙද ගෙදරට ගියා. එතකොට පාන්දර තුනට විතර ඇති. ඒ වෙලාවෙත් තව කීප දෙනෙක් හිටියා මේ වගේ හදිස්සි දේවල් වලට බේත් ගන්න ඇවිල්ලා. ඇත්තට මේ වෙදකම් කරන මනුස්සයෝ කරන්නේ කොච්චර ලොකු සේවයක්ද කියලා බර්ටියාට දැනුනේ ඒ වෙලවේ තමයි. පාන්දර තුනටත් තමන්ගේ ගෙදරට එන ලෙඩ්ඩුන්ට බේත් කරනවා. ඇත්තටම පුදුමයි. අපිත් ඉතින් වවුලාට බේත් කරන කම් එතන තිබ්බ බංකුවක් උඩට වෙලා වාඩිවෙලා හිටියා. පැය භාගයක් විතර ගියා ඒ් වැඩේට. ගෙදර ගිහිල්ලා කරපිංචා කැඳ බොන්න කියලා කිව්වා වෙද මහත්තයා. අැත්තම කිව්වොත් බර්ටියාට මතක නෑ එතන හිටියේ වෙද මහත්තයෙක්ද නෝනා කෙනෙක්ද කියන්න. කව්රු හිටියට ඒ බේත් වලින් පස්සේ වවුලගේ වේදනාව ගොඩක් අඩු වුනා. අපි ගෙදර එනකොට ජනිත්ලගේ අම්මයි අක්කලයි කරපිංචා කැද හදාගෙන බලන් ඉන්නවා. කැඳ ටික වවුලට පොවලා අපි පොඩ්ඩක් නින්දට වැටුනා. බර්ටියාට මතක විදිහට සෑහෙන දවසක් යනකම් අපි ඔය එම්බාම් කතාව කියලා වවුලව බයිට් එකට ගත්තා. මේ කතාව නම් මෙතනින් ඉවරයි හොදේ. මේකට කොට ගොඩ වැදිලා කතා කියවන කට්ටිය කොමෙන්ටුවක් එහෙම දාලා යනවා නම් ගොඩාක් හොදයි ඉතින්