ආදරය සහ අරමුදල

     පහුගිය දවස් වල සමාජ මාධ්‍ය හරහා වෙන වංචා ගැන පොඩි කතිකාවක් ඇවිල්ලා තිබ්බ හින්දා      බර්ටියත් හිතුවා බර්ටියට මේ ගැන ලැබුණු අත්දැකීමක් ලියන්න ඕන කියලා. බර්ටියට මේ එකම      විදිහේ අත්දැකීම කීප සැරයක්ම ලැබිලා තියෙන නිසා තව කෙනෙක්ට දැනගන්නත් එක්ක ඒ      ගැන ලියන්න හිතුවා.

     බර්ටියට මේ අත්දැකීම පළවෙනි පාරටම ලැබෙන්නේ මීට අවුරුදු හතකට අටකට විතර උඩදී.      ඒ බර්ටියගේ ඊ-තැපෑලට ලැබුණු ලිපියක් එක්ක. ඊට පස්සෙත් කීප විටක්ම බර්ටියගේ විවිධ      සමාජ ජාලා ගිණුම් වලට ඒ වගේ ආරාධනා ලැබිලා තිබ්බා. කීප සැරයක්ම බර්ටියගේ ඊ-මේල්      ලිපිනයට, ඊළඟට බර්ටියගේ ටිචිටර් ගිණුමට මේ වගේ ආරාධනා ලැබිලා තිබ්බා. එහෙම බර්ටියට      ලැබුණු ආරාධනා වලින් තාමත් මකා නොදමා ඉතුරුවෙලා තියෙන සාක්ෂි කීපයක් මේ සටහනට      අමුණනනවා.

     බර්ටියට එක සැරයක් ඊ-මේල් එකක් ලැබුණා සිම්බාබ්බේ රටේ හිටපු ගෑණු ළමයෙක්ගෙන්.      ඒ ගෑණු ළමයගේ ලස්සන පින්තූර කීපයකුත් එක්ක බර්ටියට විස්තර එවලා තිබ්බා. ඒ දවස් වල      මේක මහ කූට ව්‍යාපාරයක් කියලා නොදන්න තනිකඩ බර්ටියත් තකහනියක්ම මේ ගෑණු ළමයට      බර්ටියගේ විස්තර කියලා ඊ-මේල් එකක් යැව්වා. ඊට පස්සේ තව පින්තූර කීපයකුත් එක්කම      බර්ටියට ඒ ගෑණු ළමයගෙන් පහුවදාම විස්තරයක් ඇවිල්ලා තිබ්බා.

ඒකේ කියලා තිබ්බ විස්තරේ හැටියට ඒ ගෑණු ළමයගේ අම්මයි තාත්තයි දෙන්නවම සිම්බාබ්බේ රටේ තිබ්බ සිවිල් යුද්ධ තත්වය දී රජයෙන් මරලා දාලා තියෙනවා. ඒ ගෑණු ළමයත් ජීවත්වෙන්නේ අනාථ කඳවුරක කියලා තමයි බර්ටියට ලියලා එවලා තිබ්බේ. බර්ටියට ඔය දේවල් හොයලා බලන්න තරම් දැනුම මුහුකූරා ගිහිල්ලා තිබ්බේ නෑ ඒ දවස් වල.

විස්තරේ එතනින් ඉවර නෑ. ඒක තව දුරට යනවා. ගෑණු ළමයා දෙවෙනි ඊ-මේල් එක එවන්නේ බර්ටියට කැමතියි කියලා. ඒ ගෑණු ළමයා කියන විදිහට එයාගේ තාත්තා බොහොම ලොකු ධනවතෙක්. එයාගේ සල්ලි මැරෙන්න කලින් මොකක් හරි විශේෂ අරමුදලකට බැර කරලා තියෙනවා. කියන විදිහට ඒ සල්ලි ගන්න පුළුවන් වෙන්නේ මේ ගෑණු ළමයව විවාහ කරගන්න කෙනාටයි. ඉතින් බර්ටියට කරන්න තියෙන්නේ අර ගෑණු ළමයව විවාහ කරගෙන මේ සල්ලි අරන් ලොකු ධනවතෙක් වෙන්න. කවුද ඉතින් අකැමැති ඔය වගේ ලස්සන සල්ලි තියෙන ගෑණු ළමයෙක්ව විවාහ කරගන්න. බර්ටියත් කැමති වුනා. ආයේ මොනවද? මේ තියෙන්නේ බර්ටියට මේ ලිපිය ලියන්න කරුණු හොයාගන්න ඕන නිසා ඔය වගේ ඊ-මේල් එකකට යවලා ගෙන්න ගත්ත උත්තරයක්. බර්ටියා එකේ වැදගත් ටික මෙතන උපුටා දක්වනවා. බර්ටියා ඒක පරිවර්තනය කරන්න යන්නේ නෑ. බර්ටියා මේක ගෙඩි පිටින්ම මෙතනට දානවා. අකුරක්වත් වෙනස් කරලා නෑ.

“When my Father was alive he never hide anything from me
as his only child, after the death of my father i was able to
get my late father's documents including the certificate of deposit were he Deposited his money, my uncle later got to know about it, that was his reason he was threatening me so that he can be able to claim the money too. It contains 2.8 million British pounds and as the only child i am the next of kin, i am giving you all this information due to the trust
I have deposed on you. Dear at this moment i want to come out of this camp to live my normal life as a woman, i want
you to help so that i could be able to get this money, i have already contacted the bank and i found out and i was also informed by the bank that my father have an agreement with the bank that in case of dismay the money should be release to me with an appointed trustee who could stand on my behalf to help me get the money.

So i will like you to help me transfer this money to your account Or in the alternative, if you can help me to get the Camp Clearance and international Passport to come to join you in your country then on my arrival i will apply directly to bank myself so that they will transfer the money into your bank account.

It is now left for you to choose which option you prefer to help me. (1.) Either to agree to represent me at the bank so that I can give you the contact of the bank in London and all information for you to contact them directly so that they can transfer the money into your bank account. (2). Or to help me come over to your country so that the bank can transfer the money into your bank account.

If you want to marry me, We are going to invest the money together or if you wish not to, I will give you 34% percent of the total amount of the money for your kind assistance. I believe I can trust you on this issue and if you think I can't please do let me know and if you can be trusted with this small secret between us please send me your Real Names and Country of origin for me to use your name and write to the bank to introduced you as my partner to stand on my behalf for the transfer. I hope to hear from you soon and take care of yourself for now bye.”

     ඊට පස්සේ ඔය ගෑණු ළමයා තව විස්තර ටිකක් එවනවා. ඒකේ තියෙන්නේ      බැංකුවේ තියෙන එයාගේ අරමුදල සම්බන්ධව බැංකු කටයුතු කරන      පුද්ගලයගේ විස්තර. සම්බන්ධ කරගන්න පුළුවන් ඊ-මේල් ලිපිනයක්, ඒ      වගේම දුරකථන අංකයක්. කියන විදිහට මේ පුද්ගලයා එංගලන්තයේ තියෙන      බැංකුවකට සම්බන්ධ පුද්ගලයෙක්. බර්ටියත් ඉතින් ඔය තිබ්බ ඊ-මේල්      ලිපිනයට ඊ-මේල් එකක් දාලා මේ සම්බන්ධව විස්තර හොයලා බැලුවා.      දවස් දෙකකට විතර පස්සේ මේ කියන බැංකුකරුවගෙන් ලිපිනයක් ආවා. ඒ      අරමුදලේ තියෙන මුදල් ප්‍රමාණය පවුම් වලින් සඳහන් කරලා. ඒ ගාණ      දශමස්ථානෙට එහා පැත්තේ තියෙන බින්දු දෙක නැතුව ඉලක්කම් 7කට වැඩි      අගයක්. හරියටම කිවුවොත් පවුම් මිලියන 2.8. ඒ ඇරුණහම මේ සම්බන්ධව      කටයුතු කරන්න අවශ්‍ය කරන නීතිමය ලියකියවිලි වගයක විස්තර. ඒවා නම්      මොනවද කියලා කියන්න බර්ටියට දැන් මතකයක් නෑ.

     ඊළඟට වුණේ මේ ගණුදෙනුව කටයුත්ත කරන්න ඕන කරන ලිපි ලේඛන වලට      මෙච්චර මුදලක් අවශ්‍ය වෙනවා. අන්න ඒ මුදල එවලා තිබ්බ ගිණුමක තැම්පත්      කරන්න කියපු එක. ඒක ඇවිල්ලා රුපියක් 80,000 විතර මුදලක්. ඔන්න ඔය      ඊ-මේල් එකත් එක්ක බර්ටියගේ මොළේ ගැස්සිලා ඇහැරුණා. බර්ටියට මීටර්      වුනා මේක ගාණක් කපන්න කරන වැඩක් කියලා. එතනින් එහාට බර්ටියා ඒ      ගෑණු ළමයට ඊ-මේල් කරන්න ගියේ නෑ. වැඩේ එහෙමම අත ඇරලා දැම්මා.      ඔන්න ඉතින් බර්ටියට ඊ-මේල් කෙල්ලයි සල්ලියි දෙකම නැතුව ගියා.

     ඊට පස්සෙත් බර්ටියට කීප සැරයක්ම මේ වගේ ඊ-මේල් ලැබුනා. ටිවිටර්      ගිණුමටත් පණිවිඩක් ලැබුණා. ටිවිටර් එකට ලැබුණු මැසේජ් එක එවලා තිබ්බේ      ඇමෙරිකානු හමුදා සෙබළියක් විදිහට. වැඩි ඈතක නෙවෙයි ගිය අවුරුද්දේ      තමයි ඒක ලැබුණේ. බර්ටියා නිකමට එවලා තිබ්බ ෆොටෝ එක අරන් ඉමේජ්      සර්ච් එකක් කරලා බැලුවා ගූගල් සහෝදරයාගෙන්. බලනකොට ඒ ඇමරිකන්      මේජර් ජෙනරාල්වරියකගේ ෆොටෝ එකක්. විකිපීඩියා වලත් විස්තර      තියෙනවා ඇත්ත පුද්ගලයා ගැන.

මේක ඇවිල්ලා කවුරු හරි පිරිසක් කරන සංවිධානාත්මක වංචාවක්. මේ වගේ ඊ-මේල් යැව්වහම ඒ වට රුවටිලා සල්ලි දානා එකෙක් දෙන්නෙක් හරි ඇතිනේ මේ ලොකේ. අනිවා ලංකාවෙත් ඇති මේවට අහුවෙන් එවුන්. බර්ටියට හිතෙන විදිහට අන්තර්ජාලෙන් ලබාගන්නා ෆොටෝ පාචිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. හැම දෙයකම තියෙන්නේ එක හා සමාන කතාවක්. අම්මා, තාත්තා යුද්දෙන් මැරිලා. පවුලේ එකම දරුවා. තාත්තා කෝටිපතියෙක්. සල්ලි තියෙන්නේ අරමුදලක. බදින්න කැමතියි. සල්ලි ගන්න උදව් කරන්න. ඕක තමයි සරල සාරංශය. මේක තනිකරම බොරුවක්. මහාම මහා හොර වැඩක්. අහුවෙන්න නම් එපා කියලා තමයි බර්ටියට කියන්න තියෙන්නේ.

ඔය කළු පාට ඇදුම ඇදන් ඉන්නේ බර්ටියව බදින්න කැමති අලුත්ම ගෑණු ළමයා. වයස අවුරුදු 24. අඩි පහයි අඟල් 9 උසයි. තනිකඩයි. බැදලා නෑ එයා කියන විදිහට. දකුණු අප්‍රිකානු සම්භවය. ඉන්නේ සෙනගාල් වල අනාථ කඳවුරක. එකම කතාව තමයි. පොඩි පොඩි දේවල් ටිකක් විතරයි වෙනස්. මිනිස්සු අහුවෙනවා තමයි මේවට සිහිකල්පනාවෙන් වැඩ කළේ නැත්නම්. __________________________________________

KB 2021.08.03