අවාරයේ ආ පෙම්වතී . . . .

ගෙවී ගිය දිවි මගේ
දුක් සතුට මතකයන්
සිහිකරන් යළි යළිත්
තනිකමෙන් ඉකි බිඳින
රිදුම් දෙන හදවතට
ගෙනාවේ ඔබයි සිසිලක්
අවාරයේ ආ පෙම්වති මගේ . . . .

දිලෙන නෙතු යුග සුපුල් දෙකොපුල්
මුදාලු නීල් වරලස
රත් පැහැ දෙතොල්
නටවන නිතඹත්
දඟ කරන අතැඟිලිත්
මත්කළා මගේ සිත අද
අවාරයේ ආ පෙම්වති මගේ . . . .

සොඳුරු බව දිවියට
එක්කළේ නුඹයි දිගැසිය
නිහඩ බව බිඳ දිවි පෙත‍ෙ
පැතිරූ මිහිරි හඩ දස අත
රැදෙන නෙතු මානයේ නිතර
පුදන හිත රැදි පෙම සොඳුරු
අවාරයේ ආ පෙම්වති මගේ . . . .
___________________________________________________________________
KB 2020.09.08

අඳුරේ දඩයම්කරු 05 - ලුහුබැදීම

රාත්‍රියේ ඇසූණු ඒ භීෂණාත්මක මර හඩ සමඟින් නිට්වික් ගම්මානය වෙලාගෙන තිබූ නිසසල බව තප්පර කිහිපයකට ගිලිහී ගිය නමුදු එ සැණින් නැවතත් එය සුපුරුදු ගුප්ත නිසසල බවේ ගිලී ගියා. එයට හේතුවූයේ ගම්මානයේ කිසිවකුටත් ඒ හඩ නැගිණේ කුමකින්ද යනු සෙවීමට තරම් ශක්තියක් හෝ ධෛර්ය්‍යයක් නොතිබූ බැවිණි. වෙනදා මෙන්ම තවත් සිය දරු දැරියන් තදින් තුරුල්ලට ගත් නිට්වික් ගම්වැසියන් කිසිදු ශබ්දයක් නොනගාම සිය නිහඩබව තුල තවත් ගිලී ගියා. නමුත් මේ නිහඩ බවට නතු නොවු එක් විශේෂිත පුද්ගලයෙක් එදා ඒ ගම්මානය තුල සිටියා. ඒ ලෝගන්, අඳුරේ දඩයම්කරු.

අහෝ තවත් එක් ජීවිතයක්, යැයි කෙදිරු ෆාදර් කැන්බි සුපුරුදු ලෙස සිය පපුවේ කුරුසය සටහන් කරගත්තා.

සමහර විට අපි තවමත් පරක්කු නැතිවෙයි. ෆාද්රේ මට පන්දමක් දෙන්න, සිය ගමන් බෑගය පසෙකට දමමින් ලෝගන් පැවසුවා.

ඔබ එළියට යන්නද හදන්නේ? මේ නොදන්නා බලවේගය එළියට ඇවිල්ලා ඉන්න වෙලාවේ?

ඉක්මන් කරන්න ෆාද්රේ, මට ඔබට විස්තර කිය කිය ඉන්න වෙලාවක් නෑ. රයිෆලය පසෙක තැබූ ලෝගන්, සිය අසිපත අතට ගත්තා.

මෙන්න පුතා මේක ගන්න, ඉක්මන් ගමනින් ලෝගන් අසලට පැමිණි ෆාදර් කැන්බි දැල්වෙන පන්දමක් ඔහුට ලබාදුන්නා.

ෆාද්රේ, මම එළියට ගිය ගමන් ඔබ මේ දොරට අඟුල් දාගන්න. මම ඇවිල්ලා තුන් සැරයක් දොරට තට්ටු කළොත් විතරක් දොර අරින්න. ඒ අරුනහම කිසිම දෙයකට, අඩු ගානේ මම කතා කරන සද්දෙටවත් දොර අරන්න එපා යැයි පූජකයාට පැවසූ අඳුරේ දඩයක්කරු සිය අසිපතෙන් හා ඉණ දෙපසින් රැදවූ පිස්තෝල දෙකෙනුන් සන්නද්ධව පන්දමත් රැගෙන ශබ්දය ආ දෙසට ඉක්මනින් පිටවී ගියා.

දෙවියන්වහන්සේ, ඔහුව ආරක්ෂා කරත්වා, දෙවියන්වහන්සේ මේ ගම්මානයම ආරක්ෂා කරත්වා යැයි නිසලවම දෙවියන්ගෙන් අයදූ පූජකවරයා ඒ අසල වූ පුටුවක අසුන් ගත්තා.

     පල්ලියේ දොරටුවෙන් පිටතට ආ දඩයම්කරු වේගයෙන් ශබ්දය ආ දෙසට සිය ගමන      ආරම්භ කළා. කෙතරම් වේගවත් වුවත් ඔහු සිට අවට පරිසරය ගැන ලොකු අවදානයකින්      සිටියා. ඒ කාලාන්තරයක් තිස්සේ මෙවැනි අඳුරු බලවේගයන් දඩයම් කිරීමෙන් ඔහු      ලබාගත් අත්දැකීම්. ඒවා ඔහුට සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතු බව කියා දී තිබුණා.      එසේ නොකළ එසේත් නැති නම් එය කිරීමට අතපසුවු සිය සඟයන් එම වැරදි සමගම      මිහිදන්වන අයුරුත් ඔහු දැක තිබුණා.

     සාමාන්‍ය මිනිසෙකුට වඩා තියුණු දෑසක් මෙන්ම ශ්‍රවණ ඉන්ද්‍රීයන්ද ඔහුට හිමිවුනා. ඒ      වගේම සාමාන්‍ය මිනිසෙකුට වඩා ඔහු කිහිප ගුණයක් වේගවත් වුනා. එයට හේතු වුයේ      ඔහු සිය ජිවිත කාලය තුලදී ලත් සමහර විශේෂිත වු දයාදයන්.

     ගම්මානයේ විදී පසුකරමින් දිගටම ඉදිරියට ගමන්කළ ඔහු ගම්මානය හා වනය අතර වු      කුඩා මායිමට පිවිසියා. ඔහු වඩාත් විමසිලිමත්වෙමින් සිය ගමන් වේගය අඩු කළ      දඩයක්කරුවා එක මොහොතක් එහි රැදී සිටියා. අනතුරුව ක්ෂයෙකින් පන්දම පසෙකට      දමා වනයට තුලට පැනගත් ඔහු අඳුරේම වේගයෙන් නිහඩවම ඉදිරියට ඇදුනා.

     ඔහුගේ ගමන් වේගවත් වුවත් එය කිසිම ශබ්දයක් නම් ඇති කලේ නෑ. වියළි කොළයක්      පෑගීමෙන් හෝ වියළි කෝටු කැබැල්ලක් බිදියාමෙන් හෝ කිසිදු ශබ්දයක්      නොනැගෙන්නට ඔහු වග බලාගත්තා. එසේ මදක් දුර ඉදිරියට ගමන් ගත් ඔහු විදුලි      කෙටීමක් තරම් වේගයෙන් සිට ඉනෙහි දකුණු පැත්තෙහි එල්ලාගෙන සිටි පිස්තෝලය එළියට ඇද එය ඉදිරියෙන් වු අඳුරු ගොනුවට ඉලක්කකර වෙඩි තැබුවා.

පිස්තෝලයේ කෙළවරින් මිදුණු රිදියෙන් නිමකළ රත්වූ උණ්ඩය කෙස් ගහක වැරදීමක්වත් නොමැතිව වේගයෙන් සිය ඉල්ලකයේ පසු පසින් ඇතුළුව එහි ඉදිරි පසට ගමන් කලේ එයට කළ හැකි උපරිම හානිය සිදුකරමිනුයි. උණ්ඩයෙන් සිදුවු හානියෙන් ජීවය සුන්වී ගිය එය කරගසාගෙන සිටි සිරුරත් සමඟම බිම ඇද වැටුණා. උණ්ඩය පිටවු සැණෙකින් එම අදුරු පොදියෙන් මිදුණු තවත් අඳුරු පැහැති උස්වු යමක් වේගයෙන් වනයේ අභ්‍යන්තරයට පළා ගියා.

වහා බිම ඇද වැටුණු අද්භූත අඳුරු පොදිය වෙතට ගිය ලෝගන් එය කරමත තබාගෙන සිටි සිරුර පරීක්ෂා කළා. ඒ වෙනුවෙන් තප්පර කීපයක කාලයක් ගතවෙන්න ඇති. තවම හුස්ම වැටෙනවා, ඒත් තුවාල වලින් ලේ ගලනවා. මේ ලේ යෑම නැවැත්තුවේ නැත්නම් ඇය ඉක්මනින්ම මිය යාවි. ඊළඟ මොහොතේ එම කාන්තා සිරුර සිය දෑතට ගත් ලෝගන් වේගයෙන් පල්ලිය බලා ගමන් කලා.

තෙවරක් වේගයෙන් දොරට පහරදීමත් සමඟම පල්ලියේ දොර විවර වුනා. වහා පල්ලිය ඇතුළු වු ලෝගන් රැගෙන ආ සිරුර පල්ලියේ වු බංකුවක දිගා කලා.

ෆාද්රේ, මට රෙදි කැබලි ටිකකුයි වතුර ටිකකුයි ගේන්න, යැයි පුජකවරයාට පැවසූ දඩයක්කරු වහාම තම ගමන් බෑගය දමා තිබූ තැනට ගොස් එය තුලින් කුඩා මල්ලක් අරගෙන ආවා.

මෙය ප්‍රශ්න ඇසීමට සුදුසු අවස්තාවක් නොවන බව වටහා ගත් පූජකවරයා වහාම වතුර බේසමක් හා පිරිසිදු රෙදි කැබලි කීපයක් රැගෙන ආවා.

තරුණියගේ හිසේ හා උරහිසෙහි වූ ලේ ගලන තුවාල පරික්ෂා කළ ලෝගන් එය ජලයෙන් පිරිසිදු කලා. අනතුරව තම කුඩා මල්ලෙන් වු බෝතලකින් යම් කිසි කුඩක් අතට ගත් ඔහු ප්‍රවේසමින් තුවාලවල ආලේප කර තුවාල හොදින් වෙලා දැම්මා. මේ සියල්ල අවසන් කළ ඔහු පුජකවරයා වෙත හැරුණා.

මම තව එක මොහොතක් ප්‍රමාද වුනා නම් සියල්ලම හමාරවෙනවා. මට කැලය ඇතුලට යන්න වුනා ඇයව බේරගන්න. මට ගම්මානය කෙළවරේදී මට අමුතු අඩි සලකුණු කීපයක් දැකගන්න ලැබුනා. එක අඩි සලකුණක් වඩා ගැඹුරට සටහන් වෙලා තිබ්බ එකෙන් මට තේරුණා ඒ සලකුණුවල අයිති කරුවන් යමක් උස්සාගෙන යනවා කියලා. පන්දම් එළිය දැක්කා නම් එම සතුන් සැගවෙන්න ඉඩ තිබ්බ නිසා පන්දම පැත්තකට දාපූ මම ඒ සලකුණු පස්සෙන් ගියා.

පන්දමක් නැතුව ඔබ කොහොමද ඒවා සොයාගත්තේ? එහෙනම් ඇයි ඔබ මගෙන් පන්දමක් ඉල්ලුවේ?

පන්දම එක්තරා දුරකට උදව්වුනා. ගම්මානය ඇතුලෙදි ඒක ගොඩක් වැදගත් වුනා. ඒත් කැළය ඊට වඩා වෙනස්. අනික සැමවිටම එළියක් අවශ්‍යවෙන්නේ නෑ ඔබට කරුණු අවබෝධ කරගන්න. ඇසෙන කුඩා ශබ්දයක් සුවදක් පවා ඔබට අවශ්‍යකරන ඉඟි පවසනවා. ඔබට තියෙන්නේ ඒ කරුණු හරියට අවබෝධකර ගැනීම පමණයි. අනික මම එවේලේ පන්දමක් නොඉල්ලුවානම් ෆාද්රේට තව ප්‍රශ්න ඇතිවෙනවා ඒ වෙලාවේ. ඒ ප්‍රශ්න මගේ ගමන පමා කරනවා පමණයි.

ඉතින් ඊට පස්සේ මොකද වුනේ? මොක්කුද ඒ? මොක්කුද මෙච්චර දවස් අපිට කරදර කරලා තියෙන්නේ?

හෙට තමක් ෆාද්රේ ඒක හරියටම බලාගන්න වෙන්නේ. හෙට උදේට ගිහිල්ලා ඒ සිරුර අරගෙන එන්න ඕන. මට මේ තරුණිය අරගෙන එන්න සිද්ධවුන නිසා ඒක කරන්න විදිහක් නැතිවුනා.

ඔබ එම සතුන්ව දඩයම් කළාද? ඔව්චර ඉක්මනට? අපිට කිසිම දවසක දැකගන්න නොලැබුණු මේ අඳුරු බලවේගයන් විනාශ කරලා දැම්මද? මට සිද්ධවේචච දේ කියන්න දරුවා.

     ෆාද්රේ කළබල වෙන්න එපා. අඩි සලකුණු ඔස්සේ මම ඒ අඳුරු සෙවණැලි      දෙක ලුහු බැදගෙන ගියා. එතකොට මම දැනගෙන හිටියේ නෑ මේ තරුණිය      ජීවතුන් අතරද නැද්ද යන වග. ගම්මානයෙන් මදක් ඈතට යනකොටම මට      තේරුණා වැඩිදුර ගියොත් අනවශ්‍ය තරමේ අවදානමක් ගන්න සිද්ධවෙන      බව මගේ ජීවිතය ගැන. ඒකෙන් ඔබටවත් මටවත් හොදක් සිද්ධවෙන්නේ නෑ.      ඒ නිසා යන්තම් ජායාවන් දෙක පෙනෙන මානයට එන්න මට පුළුවන්කම      ලැබුණු ගමන්ම මේ තරුණිය ඔසවාගෙන ගිය ජායාවට පිස්තෝලය එල්ල      කරලා කොකා ගැස්සුවා. සුපුරුදු විදිහටම වෙඩි පහර නියමිත ඉලක්කයට ගියා      එපමණයි.

     මේ කරදරය මෙතනින් ඉවරද දරුවා?

     නෑ ෆාදර්. ඒ සත්තු සම්පූර්ණයෙන් විනාශ කරලා දානකම් මේ කරදරය      ඉවරයක් වෙන්නේ නෑ. අපි දැනුවත්ව තව එක සතෙක් ඉන්නවා. ඒ      ඇරුණහම තව සතුන් ඉන්න පුළුවන්. මට මේ මොකෙක්ද කියන එක ගැන      යම් අනුමානයක් තියෙනවා. ඒත් ඒක හරියටම කියන්නේ වෙන්නේ හෙට,      අර මැරුණු සතාගේ සිරුර පරීක්ෂා කළ පසුයි. මේ සියල්ල ඉවරවෙනකම්      ඔබේ ගම්මානය තියෙන්නේ අනතුරක ෆාද්රේ.

ඉතින් අපි ගමේ අයවත් එකතු කරගෙන ගමේ තියෙන ආයුධත් අරගෙන අපි මේ සතුන් හොයාගෙන විනාශ කරලා දාමු.

ඔබලාගේ සාමාන්‍ය ආයුධවලින් ඔවුන්ට හානියක් කරන්න බෑ ෆාද්රේ. මම පාවිච්චි කරන්නේ මේ දඩයම් සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද උණ්ඩ. රිදියෙන් නිමවා රසදියෙන් උණ්ඩයේ අග පිරියම් කර ඇති විශේෂිත උණ්ඩ ඒවා. ඒවා ඔබලා පාවිච්චි කරන සාමන්‍ය උණ්ඩවලට වඩා බලගතුයි. ඒ වගේම වැඩි හානියක් කරනවා. අනික ඔබලා දඩයම්කරුවොත් නෙවෙයි, ඒ වගේ කාර්යයක යෙදෙන්න.

මේ සාකච්ඡාවෙන් අනතුරව මුහුණට මුහුණ බලාගත් ඔවුන් දෙදෙනාම නිශ්ශබ්ද වුනා. එහෙත් මොහොතකින් ඒ නිශ්ශබ්දතාවය බිදගෙන තරුණියගේ කෙදිරිය ඔවුන් දෙදෙනාගේම සවනට වැටුණා. ඒ දෙස බැලූ ඔවුනට දක්නට ලැබූනේ තරුණිය අපහසුවෙන් ඇස් අරිමින් යමක් මුමුණන අයුරුයි.

එමිලියා, බයවෙන්න එපා. ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ නිවහන තුලයි. ඔබ මෙහි ආරක්ෂිතයි.

ෆාදර් ? ෆාදර් කැන්බි ........ බිරාන්තව සිටි තරුණිය අපහසුවෙන් වචන ගොනු කලා. මට
මොකද වුනේ?

ඔබ අනතුරකට මුහුණ දුන්නා එමිලියා. මේ තරුණයා ඔබව බේරගත්තා. පූජකයා පසෙකින්
සිටි ලොගන්ව දක්වමින් පැවසුවා. ඔබේ තුවාලවලට බෙහෙත් දැම්මෙත් ඔහුයි. ඔබට මොනවද මතක දරුවා?

ෆාදර්, මගේ කුඩා සොයුරිය, ඇය හවස සෙල්ලම් කරමින් ඉදලා බෝනික්කව එළියේ දාලා ඇවිල්ලා. රෑ අපි කාමරේ හැංගිලා ඉන්නකොට ඇයට බෝනික්කාව මතක්වෙලා ඒක ඉල්ලලා අඩන්න ගත්තා. ඇයව නලවා ගන්න වෙන විදිහක් තිබ්බේ නෑ ෆාදර්. අම්මා කියන දෙයක් අහන්නේ නැතුව මම එලියට ආවා බෝනික්කාව අරගෙන යන්න. බොනික්කාව හොයාගෙන එනකොටම මගේ පිටිපස්සෙන් ගෙරවිල්ලක සද්දයක් ඇහුණා. මම හැරෙනකොටම හිසට තද පාරක් වැදුණා. මගේ ඇස් දෙක නිලංකාරවෙලා ගියා. ඊට පස්සේ පල්ලියේදි ඇස් අරින්කම් වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ ෆාදර්.

ෆාදර්, ඒ මොකෙක්ද? මොකෙක්ද මාව අරන් ගියේ? මගේ අම්මයි නංගියි කොහෙද? මට කියන්න ෆාදර්.

එමිලියා කළබලවෙන්න එපා. අපි උදේට බලමු ඒ අයට මොකද වුනේ කියලා. ඔබේ මවටයි සොයුරියටයි කරදරයක් නැති බව මට විශ්වාසයි. දැන් ඔබ මදක් විවේක ගන්න. මෙතන අපි දෙන්නම ඉන්නවා ඔබේ ආරක්ෂාවට. ඒ සතුන් මෙතනට එන්නේ නැති බව මට විශ්වාසයි දරුවා. දැන් ඔබ නිදාගන්න.

උන් ආපහු ආවොත් පණ පිටින්නම් කැළයට යන්නේ නැති බව නම් මටත් විස්වාශයි ෆාද්රේ, තිරසාර හඩකින් එසේ පැවසු දඩයක්කරු නිහඩවුනා.

KB 2020.12.13

අඳුරේ දඩයම්කරු 04 - ඇරඹුම

පූජකවරයා සමඟ මදක් වෙලා පිළිසදරේ යෙදී සිටි මැතිව් වැඩි දුරටත් ප්‍රමාද නොවී සිය නිවස කරා පිටත් වී ගියේ දඩයක්කරුටත් තම නිවසේ රාත්‍රිය ගත කිරීමට එන ලෙස ආරාධනා කරමින්. තමන් පල්ලියේ රාත්‍රිය ගතකරන බව පවසමින් ඔහු එම ආරාධනාව ප්‍රතික්ෂේප කලා. ෆාදර් කැන්බි සමඟ රාත්‍රී ආහාරය බුක්ති විදීමෙන් අනතුරුව නින්දට යෑමට පෙර ෆාදර් කැන්බි ගෙන ආ හොදම වර්ගයේ වයින් බෝතලයක් පානය කරන්න ගත්තා.

ඉස්තරම් වර්ගයේ වයින් බෝතලයක් ෆාද්රේ, ඔබට බොහොම ස්තූතියි කෑම වලට සහ වයින් වලට.

     ඒක බොහොම සුළු දෙයක් පුතා. ඔබ අප වෙනුවෙන් මෙහි පැමිණීමම වචනයෙන් කියා      නිමකළ නොහැකි උපකාරයක්. මම ඔය වයින් බෝතලය මේ ගමට එනකොට අරගෙන      ආපු බෝතල් වලින් එකක්. විශේෂ අවස්තාවක් සඳහා තියාගත්තේ.

     මම තාම කිසිවක් කළේ නෑ ෆාද්රේ.

     ආගන්තුකයින්ට හොදින් සැලකීම අපේ යුතුකමක් දරුවා. ඔබ කැමති නම් මට කියනවද      මේ අඳුරේ දඩයම්කරුවන් කියන සංවිධානය ගැන විස්තර ටිකක්.

     ෆාද්රේ, ඔබ කොහොමද අපේ සංවිධානය ගැන දැනගත්තේ?

     මේ පල්ලියේ හිටපු පූජකවරයෙක්ගේ සටහනකින් තමයි මම ඔබලාගේ මේ සංවිධානය      ගැන විස්තරයක් දැනගත්තේ. ඒත් ඒ සටහනේ ඔබ අයිති සංවිධානය ගැන වැඩි      විස්තරයක් දක්වන්නේ නැහැ. අඳුරු අද්භූත බලවේගවලට එරෙහිව සටන් කරන වැඩ      පිළිවෙළක් ලෙස තමයි ඔබලාගේ සංවිධානය හදුන්වා දී තිබුණේ. ඊට අමතරව තිබුනේ      ඔර්ක්නේ නගරයේ අයින්හොලොව් පල්ලිය හරහා ඔබලාගේ සංවිධානයෙන් උදව්      ඉල්ලිය හැකි බව. එපමණයි.

     අයින්හොලොව් පල්ලියේ හිටපු පූජකවරයා ෆාදර් ඉයන් අයිවන්තේ අප සංවිධානයේ      හොද හිතවතෙක්. එතුමා හරහා තමයි අපි අයින්හොලොව් පල්ලියට සම්බන්ධවෙන්නේ.      ෆාදර් නිකොලොස් අපේ සංවිධානය ගැන දන්නවා.

ඔබලා පල්ලියට සම්බන්ධ වන්නේ කෙසේද?

ඇත්තටම ෆාද්රේ, අප පල්ලිය හා සෘජු සම්බන්ධයක් නෑ. බොහොමයක් පූජකයන් එළිපිට අපිට සහය දක්වන්න කැමති නෑ. කෙසේ නමුත් ස්කොට්ලන්තය පුරා ඇති පල්ලි ගණනාවක් සමඟම අපි හොර රහසේ සෘජු සම්බන්ධකම් පවත්වනවා, යැයි පැවසූ දඩයක්කරුවා සිය හඩ නිහඩ කළා.

දරුවා, ඔබ මා හා පවසන දේවල් වෙන කිසිකෙනෙක් දැනගන්නේ නෑ. එය මා ඔබට දෙවියන්වහන්සේ ඉදිරියේ දෙන ප්‍රතිඥාවක්. මේ රහස් මම හැම විටකම සුරකිනවා. දඩයක්කරුවා වැඩි විස්තර පැවසීමට මැළිවන බව වැටහී ගිය පූජකවරයා එලෙස පැවසුවා.

හොදයි ෆාද්රේ, මා ඔබව විශ්වාස කරනවා. ඒ නිසා මා ඔබට විස්තර කියන්නම්, යැයි පැවසූ දඩයක්කරුවා තම වයින් වීදුරුව අන්තිම බිදුව දක්වා පානය කර, එය නැවත පුරවා ගත්තා.

අපේ සංවිධානය බොහොම රහසිගත අතීතයකට උරුමකම් කියන ඉතාමත් පැරණි සංවිධානයක්. සංවිධානය පවත්වාගෙන යන ඓතිහාසික සටහන්වලට අනුව, සංවිධානයේ ආරම්භය පල්ලියේ නයිට්වරුන් (Knights Templar) ලෙස හදුන්වන ක්‍රිස්තියානි ආගමික සංවිධානය හා සම්බන්ධයි. පළමු කුරුස යුද්ධයෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1120 විතර ජෙරුසමෙදි පල්ලියේ නයිට්වරුන් සංවිධානය ක්‍රිස්තියානි පල්ලියේ අනුදැනුම ඇතිව බිහිවෙනවා. එය ආරම්භවෙන්නේ ශුද්ධ භූමිය වන්දනා කිරීමට එන වන්දනාකරුවන්ව ආරක්ෂා කරන්න.

පල්ලියේ නයිට්වරුන්ගේ සංවිධානය ගැන මා අසා තිබෙනවා. ඒ පිළිබද
මා කියවා තිබෙනවා. මගේ මතකය නිවැරදි නම් එහි පළමු ග්‍රැන්ඩ් මාස්ටර් විදිහට කටයුතු කලේ හියුගස් ඩි පෙයින්ස් (Hugues de Payens) නම් පූජකවරයා.

ඔව්, ඔබ හරි ෆාද්රේ. ඔය ආරම්භයෙන් වසර ගණනාවකට පස්සේ, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1195 ඒ කියන්නේ තුන්වෙනි කුරුස යුද්ධ කාලවකවානුවේදී ටෙම්ප්ලර් නයිට්වරුන් හත්දෙනෙක් ඇතුළු තවත් පිරිසක් වැලි කුණාටුවකට අහුවෙලා ජූඩියන් කාන්තාරයේ (Judaean Desert) අතරමන් වෙනවා. තමන් සතුව තිබූ ජලයත් ආහාරත් ඉවර
වෙන ඔවුන් යායුතු මාර්ගයක් සොයා ගැනීමට බැරුව ඒ මේ අත ඇවිදන කොට අහම්බෙන් වගේ බොහොම සශ්‍රික වු ක්ෂේම භූමියකට පැමිණෙනවා. සටහන් වල නම් තියෙන්නේ ඔවුන්ව කා විසින් හරි ඒ දෙසට තල්ලු කලා වගේ දැනුනා කියලයි.

හරිම පුදුමයි දරුවා. මෙහෙම කතාවක් මා කවරදාකවත් අසා නෑ.

භූමියේ තිබෙන සශ්‍රිකත්වයට වසඟවන ඔවුන් එයින් පිටවී යෑමට කිසිදු උත්සාහයක් දරන්නේ නෑ. ඒත් ප්‍රශ්නය මතුවන්නේ ඔවුන් ඒ භූමියට ඇවිල්ලා දවස් කීපයකට පස්සේ. එක් දිනක් රාත්‍රි කාලයේ ඔවුන්ගෙන් කෙනෙක් අතුරුදහන්වෙනවා. මුළු භූමිය පුරාම හෙව්වත් ඔහු ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නෑ. ඊළඟ රාත්‍රියේ තවත් අයෙක් අතුරුදහන්වෙනවා. පෙර පරිදිමයි. කිසිම හෝඩුවාවක් නෑ ඔහුට වුනේ කුමක්ද කියා. ඊළඟ රාත්‍රියේ තවත් අයෙක්.

නිසැකයෙන්ම ඔවුන් භීතියට පත්වන්නට ඇති.

     ඇත්තටම ඔව් ෆාද්රේ. සටහන්වල තියෙන්නේ ඔවුන් සිහිවිකල්වන තරමට භීතියට      පත්වෙනවා කියලා. කෙසේ නමුත් එක් නයිට්වරයෙක් අහම්බෙන් සොයාගන්නවා පොළොව      යට තිබෙන උමං මාර්ගයක්. මේ අඳුරු උමං මාර්ගය පරික්ෂා කරන්න යන නයිට්වරුන්ට      හමුවෙනවා එහි වාසය කරන අද්භූත සත්ත්ව කොට්ඨාශයක්. මේ අද්භූත සත්තු තමයි අර      අතුරුදහන් වෙච්ච පිරිස රාත්‍රී කාලෙයේදි ගොදුරු විදිහට රැගෙන ගොස් තිබෙන්නේ. ඉතුරු      වෙලා හිටපු පිරිසයි මේ අද්භූත සත්තුයි අතර දරුණු සටනක් ඇතිවෙලා තියෙනවා උමං      මාර්ගයේදීම. ජීවිත බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට      විතරයි. ඒ අවස්තාව ලැබිලා තියෙන්නෙත් මේ සත්තුන්ට දවල් කාලයේදි උමං මාර්ගයෙන්      එළියට එන්න බැරි හින්දා. ඉර එළිය මේ සතුන්ව දුර්වල කරනවා.

     ඇඟ හිරිවැටෙන කතාවක්. පුතා, මොන විදිහක සත්ත්ව කොට්ඨාශයක්ද ඒ?

     ඒක කියන්න කවුරුවත් දන්නේ නෑ ෆාදර්. මේ සිදුවීමට පස්සේ කිසිම දවසක කාටවත් ඒ      සතුන් ගැන දැනගන්න ලැබුණා කියලා කොහොවත් සටහන් නෑ. දැනගන්න ලැබුණත් ඒ ගැන      කියන්න කිසිම කෙනෙක් ජීවත් වෙන්න නැතුව ඇති සමහරවිට.

     ඒක වෙන්න පුළුවන් දරුවා.

     කාන්තාරය තරණය කරලා පාර හොයාගෙන නැවතත් මනුස්ස වාසයක් කරා යන්න පුළුවන්      වෙලා තියෙන්නේ ඉතිරි වෙච්ච පිරිසගෙන් තුන්දෙනෙකුට විතරයි. මේ තුන්දෙනාම පල්ලියේ      නයිට්වරුන්. ටෙම්පල් මූලස්ථානය ගිය ඔවුන් කිව්ව විස්තරය කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. හැමෝම හිතුවේ ඔවන්ගේ සිහිය විකල් වෙලා කියලා. ඔවුන් අනිත් නයිට්වරුන්ගේ සිනහවට ලක්වෙනවා. මේ දේවල් ගැන බොහොමත්ම කළකිරෙන මේ නිර්භීත නයිට්වරුන් තිදෙනා පල්ලියේ නයිට්වරුන්ගෙන් ඉවත්වෙලා නැවත සිය රට වු ප්‍රංශය කරා යාත්‍රා කරනවා.

ප්‍රංශයට ආපු ඔවුන් වැඩිදුර කරුණු හොයනවා මේ අද්භූත සත්ත්ව කොට්ඨාශය ගැන. ඔවුන්ට ඒ ගැන කිසිම විස්තරයක් හමුවුනේ නැතත් ලොකෙන් සැඟවිලා අඳුරේ ඉන්නේ ඔවුන්ට හම්බවෙච්ච සත්ත්ව කොට්ඨාශය විතරක්ම නොවන බව ඔවුන්ට ටිකෙන් ටික අවබෝධ වෙනවා. අද්භූත සතුන්ට අමතරව සාමාන්‍ය මනසට ගෝචර නොවන ගුප්ත හා අද්භූත බලවේග, හදි හූනියම්, මායාකරුවන්, මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුන් වගේ දේවලුත් තියෙන බව ඔවුන් තේරුම් ගන්නවා. ඒ වගේම මේ අද්භූත බලවේගයන් නිසා අසරණවෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න කිසිවෙකුත් නැති බවත් ඔවුන්ට වැටහෙන්න ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ සංවිධානය මූලික අඩිතාලම වැටෙන්නේ.

ක්‍රිස්තු වර්ශ 1120 දී සර් විලියම් ඩි ගොඩ්ෆ්‍රි, සර් ඇලින්ඩ් වැල්මියර් සහ සර් ෆ්‍රැන්සිස් ඩිගොල් කියන හිටපු පල්ලියේ නයිට්වරුන් තිදෙනාගේ මූලිකත්වයෙන් අඳුරේ දඩයම්කරුවන් කියන සංවිධානය බිහිවෙනවා. සර් විලියම් දි ගොඩ්ෆ්‍රි තමයි අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ පළවෙනි ග්‍රැන්ඩ් මාස්ටර් වරයා බවට පත්වෙන්නේ. මොවුන් තිදෙනා සිය ධනය, කාලය වගේම ජීවිතත් ඔවුන් ගොඩනැගු සංවිධානය වෙනුවෙන් කැප කරනවා. “අඳුරේ සිට අඳුරට එරෙහිව” කියන තේමාව ඔවුන් සංවිධානයට යොදාගන්නවා. එකට හේතුව බොහෝ දෙනෙක් මේ අඳුරු ගුප්ත දේවල් විශ්වාස නොකිරීම. ඒක නිසා ඔවුන් මේ සංවිධානය ගොඩනගන්නේ රහසිගත සංවිධානයක් විදිහට. මේ හේතු නිසා අඳුරේ දඩයක්කරුවන් සංවිධානයේ පැතිරීම ඉතා සෙමින් සිදුවන්නේ.

මේ කරුණු ප්‍රසිද්ධ කලා නම් සංවිධානයට මීට වඩා වැඩි පිරිසකට උදව් කරන්න තිබ්බනේ දරුවා.

එහෙම කරන්න බෑ ෆාද්රේ. එදා අච්චර නිර්භීත නයිට්වරුන් කියන දේ කිසිවෙක් පිළිගත්තේ නෑ. ඔබතුමා හිතනවාද සාමාන්‍ය මිනිස්සු මේවා පිළිගනී කියලා. එහෙම වෙන්නේ නෑ ෆාද්රේ. එහෙම වුනොත් අපේ සාමාජිකයන්ට නිකරුණේ මැරෙන්න තමයි වෙන්නේ. නැත්නම් ඔවුනුත් යක්දෙස්සන් යක්දෙස්සියන් කියලා ගිනිබත් වෙන්න හරි දියේ ගිලිලා මැරෙන්න හරි තමයි වෙන්නේ. ඔබ වුනත් මේ අද්භූත බලවේගය මුහුණු දුන්නේ නැත්නම් අපි ගැන විශ්වාස කරන්නේ නෑනේ ෆාද්රේ?

ඒක නම් ඇත්ත තමයි පුතා. එහෙම වෙන්න ඉඩ තිබ්බා.

කාලයත් එක්ක සංවිධානය ටිකෙන් ටික පැතිරිලා යනවා. ප්‍රංශයෙන් පටන් අරන් එංගලන්තය, ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් වල පැතිර යනවා. තවත් කාලෙකට පස්සේ ආසියාතිකරේටත්, අපි විහිදී යනවා. ඉන්දියාව, සෙරන්ඩිබ් වැනි රටවලත් අපේ සාමාජිකයින් ඉන්නවා.

ආසියාවට? එතරම් ඈතට?

නැත්නම් ෆාද්රේ මම මෙතන ඉන්නේ කොහොමද? මම ඈත ආසියාවෙන් ආ කෙනෙක්.

ආ . . . . . විශ්වාස කරන්නත් බෑ. එතනින් එහාට මොකද වෙන්නේ?

සැඟවිලා හිටියට අපි විශාල සංවිධානයක් ෆාද්රේ. සංවිධානයේ කොටස් කීපයක් තියෙනවා.
එකක් තමයි නව තාක්ෂණික අංශය. එයින් තමයි අපි පාවිච්චි කරන අවි ආයුධ නිර්මාණය කරන්නේ. මා ගාව තියෙන මේ රයිෆලය හා පිස්තෝල එයින් නිර්මාණය කරපුවා. ඔබලා පාවිච්චි කරන ආයුධවලට වඩා ඒ තාක්ෂනයෙන් දියුණුයි. තවත් පිරිසක් ඉන්නවා සංවිධානයේ ඉතිහාසය, ඒ වගේම අපි මුහුණ දෙන අත්දැකීම්, ලේඛන ගත කරන්න. එවිට අපේ තවත් අයෙක් එවැනිම අද්භූත සතෙක්ට හරි බලවේගයකට හරි මුහුණ දෙනකොට කරන්න ඕන මොනවද කියලා දන්නවා. සාමාජිකයන් පුහුණ කරන්න වෙනම පුහුණු පාසලක් තියෙනවා. මේ වන විට අපේ සංවිධානයේ ග්‍රෑන්ඩ් මාස්ටර් තනතුර දරන්නේ රොබට් ඩී ලුකස් නයිට්වරයා.

මුල් කාලයේදී පල්ලිය අපිට එරෙහි වෙනවා. අපේ සමහරක් සාමාජිකයින් මන්තරකරුවන් කියා මරා දමන අවස්ථාත් තිබ්බා. ක්‍රමයෙන් අපි පල්ලියත් එක්ක රහසිගත මිතුදමක් ගොඩනගා ගන්නවා. එය අපේ වැඩ කටයුතු පහසු කරනවා. අදටත් පල්ලිය අපිව පල්ලිය එරෙහි සංවිධානයක් විදිහට තමයි නම් කරලා හංවඩු ගහලා තියෙන්නේ. එහෙම වුනත් අපි අඳුරේ සිට අඳුරේ බලවේග වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.

මේවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් කොහෙන්ද? මම හිතන විදිහට ඔබලා මේ කරන උතුම් කටයුතුවලට මුදල් අයකරන්නේ නැහැනේ?

     නෑ ෆාද්රේ කිසිම වෙලාවට මේ පීඩිතවෙලා ඉන්න මිනිස්සුන්ගේන් අපි      මුදල් ගන්නේ නෑ. ලෝකය පුරාම අපේ මේ කටයුත්ත වෙනුවෙන් මුදල්      ලබාදෙන දානපතියෝ ඉන්නවා. ඒ මුදල් වලින් තමයි අපි මේ කටයුතු      සිද්ධ කරන්නේ. ඒ ඇරුණහම අපේ ආරම්භක සාමාජිකයන් බොහොම      ධනවත් නයිට්වරුන්. ඔවුන් ඒ ධනය නිසිවිදිහට යොදවා තිබෙනවා සිය      සංවිධානයේ උන්තතිය හා නඩත්තුව වෙනුවෙන්. මේ හේතුන් හින්දා      තමයි අපිට එදා සිට අද දක්වාම අසරණයින්ට උදව් කරන්න හැකියාව      ලැබිලා තියෙන්නේ

     පුතා, මේ සංවිධානයට සම්බන්ධවෙන්නේ කොහොමද?

     ඒක තවත් දවසකට අයිති කතාවක් ෆාද්රේ. ඒ ගැන මා ඔබට පසුව      කියන්නම්. දැන් මම නින්දට ගියොත් හොදයි ෆාද්රේ.

     හරි පුතා. එන්න මම ඔබේ කුටිය පෙන්වන්නම්. පළවෙනි වතාවට තමයි      මේ පල්ලිය ඇතුලට ආයුධයක් රැගෙන එන්න අවසරය ලැබෙන්නේ. ෆාදර් කැන්බි දඩක්කරුවාගේ රයිෆලය දක්වමින් පැවසුවා.

මදක් සිනාසි සිය ගමන් මල්ල සහ පසෙක තබා තිබූ රයිෆලය අතට ගත්ත දඩයක්කරුවා ෆාදර් කැන්බි පසු පසින් ගමන් කලා.

මේ තමයි ඔබේ කුටිය. විවේක ගන්න. ඔබට සුබ රාත්‍රියක් ලෝගන්.

සුබ රාත්‍රියක් ෆාදර්.

ලෝගන් කුටියට ඇතුළු වෙනවාත් සමඟම නැගුණු මර හඩකින් නිට්වික් ගම්මානයම සලිත වී ගල් ගැසී ගියා.

KB 2020.12.06

අඳුරේ දඩයම්කරු 03 - ඇල්කැස් වනාන්තරය

ඔර්ක්නේ නගරයට ඇතුළුවීමට මෙන්ම පිටවීමට තිබූ එකම මාර්ගය ඔස්සේ මැතිව් සහ දඩයක්කරු නිට්වික් බලා ගමන්කරනු ඔර්ක්නේ නගරයේ වැසියන් විමසිල්ලෙන් බැලුවා නම් ඔවුනට දැකගන්නට තිබූණා. මද වේලාවකින් තිත් දෙකක් ලෙසින් දිස්වුණු ඔවුන් දෙදෙනා කදු පල්ලම් අතරින් වැටුණු මාර්ගය ඔස්සේ නොපෙනී ගියා.

කීපවිටක්ම දඩයක්කරුවා හා කතාවට වැටී ඔහුගෙන් අඳුරේ දඩයක්කරුවන් ගැන විස්තර විමසා සිටිමට මැතිව් උත්සාහකලත් දඩයක්කරුවා එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ. දඩයක්කරුවා නිහඩවම ඉදිරියට ගමන් කලා.

අතර මග හමුවු විශාල ගහක් යට එදා රැය පහන් කළ ඔවුන් දෙදෙනා පහුදින උදෑසනින්ම නැවතත් ගමන ආරම්භ කලා.

එසේ දිගටම ගමන් කළ ඔවුන් නොබෝ වේලාවකින් නිට්වික් ගම්මානය යන මාර්ගය අසලට පැමිණියා.

මේ පාරේ පැයක විතර දුරක් ගියහම ඇල්කැස් වනාන්තරය හමුවෙනවා. එතැන ඉදන් නිට්වික් වලට යන මඟ වැටී තියෙන්නේ ඇල්කැස් වනාන්තරය හරහා.

මැතිව් දඩයක්කරුවාට විස්තර කලා. එයට හිස සැලීමකින් පමණක් පිළිතුරු දුන් දඩයක්වරුවා නිශ්ශබ්දවම ඉදිරියට ගමන් කලා.

පැයක පමණ ගමනකින් පසු ඔවුන් දෙදෙනා ඇල්කැස් වනාන්තරය අභිමුවට පැමිණියා.

මෙතන ඉදන් රෑස්ස කැලේ. කෑලේ මැදින් යන එක තමයි අමාරුව දේ. මහ දවාලෙත් වෘකයෝ සැරි සරනවා. ඒ මදිවට අපේ ගමට ආපු එවුන් කැලේ ඉන්නවද කියන්න දන්නේ නෑ. මැතිව් චකිතයකින් මෙන් පැවසුවා.

බ ඒ ගැන වදවෙන්න එපා මැතිව්. අපි ඉක්මනින් ඔබගේ ගම්මානයට යමු. ඔබ ඉදිරියෙන් ගමන්කරන්න, ඔබ පාර දන්න නිසා. මට වැඩිය දුරින් ගමන් කරන්න එපා. හැමවිටම පියවර කීපයක් පමණක් ඉදිරියෙන් සිටින්න. කිසිම දේකට කලබලවෙන්න, දුවන්න ඒ වගේම වෙඩිතියන්න හදන්න එපා. ලෙස මැතිව්ට අවවාදයක් දුන් දඩයක්කරුවා මැතිව්ට ගමන ආරම්භ කරන්නැයි හිසින් සන් කලා.

දඩයක්කරුවාගේ කතාවෙන් සිතට මදක් දිරිගත් මැතිව්, වචනයක්වත් නොඩොදා සිය ගමන ආරම්භ කලා. යා යුතු මාර්ගය පහසු එකක් නම් වුනේ නෑ. පටු ගල් අතරින් වැටුණ මං පෙත් අතරින් මෙන්ම ඇද වැටුණ ගස් අස්සෙන් ද රිංගා යෑමට ඔවුන් දෙදෙනාට සිදුවුනා. කෙතරම් මහන්සි දැණුනත් මැතිව්ට මෙම වනාන්තරය තුල විවේකයක් ගැනීමට අදහසක් තිබ්බේ නෑ

     මෙසේ ඉදිරියට ගමන් කළ මැතිව් එකවරම ගල් ගැසුණාක් මෙන්      නැවතුණා. ඔවුන්ගේ ගමන් මග හරහා දත් විලිස්සා ගත් අළුවන් පැහැති      වෘකයෙක් රැදී සිටියා. හිමින් සීරුවේ සිය පිස්තෝලය ඇදගත් මැතිව් එය      ඉදිරියට එල්ල කළා. වෘකයාගේ හිසටම කුරුමානම ඇල්ලූ මැතිව් එහි      කොකා ගස්සන්නට හිතනවාත් සමඟම පිටිපසින් සිටි දඩයක්කරු      ඔහුගේ ඉදිරියෙන් සිටියා.

     තවත් අඩියක් පමණ ඉදිරියට ගිය දඩයක්කරු සිය හිස වසා සිටි      ආවරණය පහත හෙලුවා. ඔහුගේ කළු පැහැති උරහිසතෙක් දික්වු කෙස්      වැටිය වනාන්තරය සිසාර හමන් ආ සුළඟින් සෑලී ගියා. වෘකයාගේ      මුවින් නැගුණු රුදු ගෙරවිල්ලට පිළිතුරක් ලෙස දඩයක්කරුවාගේ      මුවින්ද රුදු ගෙරවිල්ලක් නැගුණා. දඩයක්කරුවා දෙස තවත්      මොහොතක් නෙරවාගෙන සිටි වෘකයා කිසිදු ශබ්දයක් නොකරම      යන්න ගියා. ඊළඟ නිමේෂයේ මැතිව් දෙසට හැරුණු දඩයක්කරුවා,

මම කිවුවනේ ඔබට පිස්තෝලය පාවිච්චි කරන්න ලෑස්තිවෙන්න එපා කියලා.

සමාවෙන්න මම කලබල වුනා. ඔබ කොහොමද එහෙම කලේ?

කිසිදු වදනක් නොපැවසූ දඩයක්කරු පෙරමුණ ගන්නැයි මැතිච්ට සන් කලා.

ගමේ ඉන්න යස්සයා මදිවට තව එකෙක් ගමට අරන් යනවද මන්දා මම. මගේ ජීවිතේටම දැකලා නෑ ඔහොම වෘකයෙක් මනුස්සයෙකුට බයේ යන්න යනවා. කෑලෑ සත්තුත් බයයි මේකට. මොන ජාතියේ මනුස්සයෙක්ද මේ? ගමේ ඉන්න එකාට වඩා මූ භයානකද දන්නේ නෑ? දෙයියනේ අපිට මුගෙනුත් බේරිලා ඉන්න වේවිද? මෙවැනි සිතුවිලි රාශියක් මැතිව්ගේ ඔලුවේ පෙරලි කරන්න ගත්තා.

දැන් ඉතින් කරන්න දෙයක් නෑ, මේකට අරගෙන ගමට යනවා ඇරෙන්න. පල්ලියේ ෆාදර් ඕන මඟුලක් කරගත්තා වේ. කොහොමටත් අපේ ජීවිත ඇර අපිට නැතිවෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ දැන්.

තවත් පැය කීපයක් ඉදිරියට ගිය ඔවුන් දිය පාරක් අසල පොඩි විවේකයක් ගන්න තීරණය කලා.

ඔහේ හොදටම බය වෙලා නේද ඉන්නේ? දඩයක්කරුවා මැතිව්ගෙන් විමසුවා. ඔහේගේ ඇස් දෙකෙන් ඒ විත්තිය මට කියනවා.

න .. . .. නෑ ... එහෙම දෙයක් නෑ.

මේ ගහකොළ, මේ සතා සිවුපාවා අපිට යම් දෙයක් කියනවා. එය තේරුම් ගැනීම පමණයි අප කළයුත්තේ. මා ඔහුට කිවුවා අපෙන් කරදරයක් නෑ කියලා. ඔහු ඒක තේරුම් ගත්තා. එපමණයි.

ඔබ කියන්නේ . . . . ඔබ කියපු දේ අර වෘකයට තේරුම් ගියා කියලද? අර මෘග සතාට?

එයට සිනහවකින් හිස සැලූ දඩයක්කරු නැවත ගමන් ඇරඹීමට නැගිට සිටියා.

තව කෙතරම් වෙලා යාවිද?

අප මේ යන වේගයෙන් ගමන් කළොත් අඳුර වැටීගෙන එනකොට ගමට යන්න පුළුවන් වේවි. අපි ඉක්මන් කරමු.

තව දුරටත් ඒ කටුක දුර්ග මඟකින් යුක්ත වු ඇල්කැස් වනාන්තරයේ ඉදිරියට ඇවිද ගිය ඔවුන් නිට්වික් ගමට යාමට ඇති කුඩා අඩි පාරට අවතීර්ණ වුනා.

වැඩි දුරක් නෑ. අර පේන කදු පෙදෙස පසු කලහම ගම්මානය පේනවා. අපිට තව වැඩි වෙලාවක් යන්නේ නෑ. කැලෑව නිසා අපේ ගමට ඉක්මනින්ම අඳුර ගලනවා.

තවත් විනාඩි විස්සක් පමණ ඇවිද ගිය ඔවුන් වරක් සුන්දරව සශ්‍රීකව පැවතියා වූ නිට්වික් ගම්මානට අවතීර්ණ වුනා.

බලන්න, අපේ තිරිඟු වගාවන් පාළුවෙලා ගිහිල්ලා. හරියකට ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. මේ අද්භූත කාරණාව නිසා. අද වෙනකොට තව කීදෙනෙක් මැරුම් කාලාද දන්නේ නෑ, යන්තම් අඳුර වැටීගෙන එනකොට හැමෝම ගෙවල් වලට රිංගලා දොර ජනේල් වහගන්නවා.

ඇත්තටම ගම්මානය මහත් වූ පාළු බවක් ගත්තා. සියළුම ගෙවල් දොරවල් වසා තිබ්බා. ගෙදරකින් කුඩා එළියක්වත් දකින්නට ලැබුණේ නෑ.

අපි කෙළින්ම පල්ලිය යමු.

හිස සලා මැතිව්ගේ අදහස අනුමත කළ දඩයක්කරුවා, මැතිව් සමඟ පල්ලිය දෙසට ගමන් කළා.

පල්ලියේ ප්‍රධාන දොරටුව ඒ වෙනකොට වසා දමා තිබ්බා. එහි දොරට කීප විටක් වැරෙන් තට්ටු කළ මැතිව්,

ෆාදර්..... ෆාදර් කැන්බි දොර අරින්න

මැතිව් ! ඒ ඔබද? විවර නොවු දොර අතරින් ඒ හඩ එළියට ඇසුණා.

තවත් තප්පර කිහිපයකදි විවර වු දොර අස්සෙන් දුකින් හා භීතියෙන් පීඩිත වු පැවිද්දාගේ මුහුණ දක්නට ලැබුණා.

ඔබ තාමත් ජීවතුන් අතරද මැතිව්? ප්‍රමාද වෙනකොට අපි හිතුවා ඔබත් මේ යක්ෂයාටම බිලිවෙන්න ඇති කියලා.

ඔව් ෆාදර්, මම යහතින් ඉන්නවා. මම උදව් අරන් ආවා. උදව් එනකම් මට බොහේ වේලාවක් බලා සිටින්න වුනා. ඒ වගේම ඔබ දන්නවානේ ෆාදර් මේ ඇල්කැස් වනාන්තරය හරහා යාම ඒම ඉතාම දුෂ්කර කටයුත්තක් බව.

ෆාදර් කැන්බි, මේ ඉන්නේ ලෝගන්, ඔහු අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයෙන්.

ඔබව නිට්වික් ගම්මානයට සාදරයෙන් පිළිගන්නවා ලෝගන් දරුවා. ඔබව මේ භයානක කටයුත්තට පිළියමක් ලෙස මෙහි එන්න සිදුවීම ගැන මම කණගාටු වෙනවා. එන්න ඇතුලට. මේ වේලාවේ එළියට වෙලා කතා කරන එක හරිම භයානකයි.

දඩයක්කරුවාත් හා මැතිව් පල්ලියට ඇතුල් වූ පසු වටපිට මඳක් විමසිල්ලෙන් බැලූ ෆාදර් කැන්බි පල්ලියේ ප්‍රධාන දොරටුව වසා දැම්මා.

අඳුරේ දඩයම්කරු 02 - හමුවීම

     ඔර්ක්නේ නගරයේ රාත්‍රි කාලයේ නිහඩතාවය බිදි යන්නේ එහි වු අයින්හොලොව්      පල්ලියේ ඝංඨාර නාදයෙන් පමණයි. එක් දිනක්, එනම් 1845 මාර්තු මස විසි තුන්වෙනිදා      පුර්ණ චන්ද්‍රයා ඔර්ක්නේ නගරයේ අඳුර කඩතුරාව බිද දමා තිබුණා. ඒ හැරෙන්නට      නගරයේ වෙනත් කිසිදු විශේෂිත වු දෙයක් සිදුවූයේ නම් නෑ.

     රාත්‍රි 8 පසුවී මිනිත්තු කීපයක් ගිය තැන අයින්හොලොව් පල්ලියේ ප්‍රධාන පූජක තැන වු      පූජක නි‍කොලොස් අර්බි නිසොල්මනේ මදක් වෙලා රන් පැහැයෙන් දිදුලන අහස් කුසට      ඇස් යොමු කරගත්වනම සිට පල්ලියේ ප්‍රධාන දොරටුව දෙසට පිය මැන්නා. එදින තව      දුරටත් දෙවියන්වහන්සේ හමුවීමට කිසිවෙකු නොපැමිණෙන බව ඔහු වසර ගණනක      පුරුද්දෙන් දැන සිටියා. ප්‍රධාන දොරටුව වසා දැමූ පූජක තැන තම නිදන කුටිය දෙසට      ඇදුනත් කිසිවෙකු පල්ලියේ ප්‍රධාන දොරටුවේ ඇති සීනුව වේගයෙන් නාද කරන හඩ      ඔහුගේ සවනේ රැව් පිළි රැව් දී ඇදී ගියා.

     කවදාවත් නැතුව? කවුරුන් විය හැකිද මේ අවේලාවේ? සිතමින් ෆාදර් නිකොලස් ප්‍රධාන      දොරටුව අසලට පිවිස දොර අඟුල විවෘත කලා. යන්තම් අරින ලද දොරෙන් ෆාදර්      නිකොලස්ට දැක ගත හැකිවුයේ තමන් මින් පෙර කිසිම දිනෙක දැක නොතිබූ අතිශයින්      විඩාබර මුහුණක්.

     ඇයි දරුවා මේ අවේලාවේ?

     ෆා...ර් .... ෆාදර් බොහොම අපහසුවෙන් ඒ පුද්ගලයා වචනයක් මුවට නගාගත්තා. නැවත වරක් තොළ කට අපහසුවෙන් දිවෙන් තෙමාගත් ඔහු වතුර . . . මට වතුර ටිකක් දෙන්න ෆාදර් යනුවෙන් පැවසුවා.

වාඩිවෙන්න දරුවා යනුවෙන් කරුණාවෙන් පැවසූ නිකොලස් පූජකතුමා මිනිත්තු කීපයකින් වතුර ජෝගුවක් හා වීදුරුවක් රැගෙන මේ නන්නාදුන පුද්ගලයා ඉදිරියට පැමිණියා. වතුර වීදුරුව වෙනුවට ජෝගුවම උදුරාගෙන මහත් කෑදර ලෙස එය මුවට හලා ගන්නා ආකාරය ෆාදර් නිකොලස් පුදුමයෙන් බලා සිටියා.

සමාවෙන්න ෆාදර්, අද උදේ ඉදන් මේ වෙනකම් මම වතුර ටිකක් බොන්නවත් නොනැවතී ඔබතුමා හමුවෙන්න ආවේ. මම මැතිව්. මෙතන ඉදන් දවස් දෙකක පමණ දුරින් උතුරටවෙන්න පිහිටා ඇති නිට්වික් ගම්මානයෙන්.

මට යාන්තමට වගේ මතකයි මගේ ගුරුතුමා ඔය නම සදහන් කරනවා. ඒත් මට කාරණය නම් මතකයක් නෑ. ඇයි මේ දරුවා මේ හදිස්සියේම මාව හොයාගෙන ආවේ?

සිය ගමන් මල්ලට අත දමා මදක් සෙවු මැතිව්, එයින් එලියට ගත් ෆාදර් කැන්බි විසින් ලබා දුන් ලිපිය ෆාදර් නිකොලස් අතට පත්කළා.

මදක් එහායින් වු පුටුවක් ඒ අසලට ඇදගත් ෆාදර් නිකොලස් එහි අසුන්ගෙන තම අතවු ලිපියට අවධානය යොමු කලා. ලිපිය කියවාගෙන යන ඔහුගේ මුහුණ අතිශයින්ම බැරෑරුම්බවක් ගත්තා. ලිපිය කියවා අවසන් කළ පියතුමා මදක් වෙලා නිසොල්මන්ව සිට සුරතින් සිය පපුවේ කුරුසය ඇද ගත්තා.

අතිශයින්ම භයානකයි! ඔහුගේ මුවින් ඒ වදන මැතිව්ගේ සිත මහත් භීතියකින් වෙලාගත්තා.

මේක අතිශයින්ම භයානක තත්වයක්. මම දන්නේ නෑ මට ඔබට උදව් කරන්න හැකියාවක් තියෙනවද කියලා. බලමු. මම මට පුළුවන් හැමදෙයක්ම කරනවා ඔබේ ගම වෙනුවෙන් යැයි පැවසු පුජකවරයා සිය අසුනින් නැගී සිටියා. මැතිව් අද ඔබට මෙහි නවතින්න පුළුවන්. එන්න මා සමඟ. වචනයක්වත් නොදෙඩු මැතිව් ෆාදර් නිකොලස්ගේ පපුපසින් වැටුණා.

මැතිව්ට රාත්‍රී ආහාර වේල හා නිදා ගැනීමට තැනක් ලබාදීමට තම ගෝලයෙකුට පැවරු පියනම සිය රාජකාරී කුටියට පිවිස ලිපියක් ලිවීම ඇරඹුවා. ලිපිය ලියා අවසන් කළ ෆාදර් නිකොලස් එවේලෙම එම ලිපිය ගෙනගොස් බාරදීමට අතවැසියෙක් පිටත්කර හැරියා. දැන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න යැයි තමාටම පවසාගත් පූජකවරයා තම නිදන කුටියට පිවිසුනා.

පසුදින උදෑසනින්ම අවදිවු පුජකවරයා, නිට්වික් හි මැතිව් සොයාගෙන ගියා. ඒ වන විටත් අවදිව සිටි ඔහු ගැඹුරු කල්පනාවක නියැලී සිටියා. පූජකවරයා දුටු සැනින් නැගී සිටි ඔහු කිසිවක් කියන්නට පෙර පූජකවරයා සිය හඩ අවදි කලා.

පුතා මැතිව්, අපි අද බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මම ඊයේ රෑම අවශ්‍ය කරන පණිවිඩය යැවුවා. ඔවුන්ගේ වචනයක් ලැබෙන තුරු අපිට ඉන්න වෙනවා.

ෆාදර්, මේක බල බලා ඉන්න වෙලාවක් නෙවෙයි. දැනටත් ගමේ මොනවා වෙලාද දන්නේ නෑ. ජීවිත කීයක් විනාස වෙලාද දන්නේ නෑ දැනටමත්.

දෙවියන්වහන්සේ ඔවුන් රැකදේවි මැතිව්, ඉවසන්න කලබල වීමෙන් කිසිම පලක් නෑ. අපි යමු උදේට කෑම ටිකක් කන්න. ඔබගේ ශක්තිය රැකගන්න ආහාර උවමනායි. එන්න දරුවා.

ඔවුනට මුළු දවසම මෙලෙස බලාගෙන සිටියත් කිසිදු පණිවඩකරුවෙක් අයින්හොලොව් පල්ලිය කරා ලගාවුයේ නම් නැහැ, එදිනෙදා පැමිණෙන වන්දනාකරුවන් හැර. හවස හය පමණ වන විට මැතිව්ගේ සියළුම බලාපොරොත්තු බිද වැටි තිබුණා. ඔහු කිහිප සැරයක්ම ආපසු යෑමට තැත් කළත් පූජකවරයාගේ ඉල්ලීම මත පසු දින වෙනකම් එහි රැදී සිටිමට තීරණය කළා.

සියලූම බලාපොරොත්තු බිදවැටී ගිය මැතිව් රාත්‍රී නවයට පමණ නින්දට යෑමට තීරණය කලා. ඒ තවදුරටත් මෙසේ බලාසිටීම තේරුමක් නොමැති දෙයක් බව ඔහුට හැගීගිය නිසා. ඔහු පූජකවරයාට ආචාර කොට තම කුටිය දෙසට පිය නගනවාත් සමගම පල්ලියේ ප්‍රධාන දොරටුවේ ඇති සීනුව හඩ නැගුවා. ප්‍රධාන දොරටුව දෙසට වහා දිව ගිය ඔහු එය විවර කර බැලුවත් කිසිවෙකුත් දැක ගැනීමේ හැකියාවක් ලැබුණේ නෑ. ඒ වන විට පූජකවරයාද ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණ සිටියා.

කවුරුවත් නෑ ෆාදර්, කවුරු හරි අපිට විහිළුවක් කරලා.

මේ දෙවියන්වහන්සේගේ නිවහනයි දරුවා. දෙවියන්වහන්සේ සමඟින් කිසිවෙක් විහිළු කරන්නේ නෑ. බලන්න, මෙතෙක් වෙලා මැතිව්ගේ ඇස නොගැටුණු, ප්‍රධාන දොරටුව අසල තබා ගිය ලිපියක් පූජකවරයා මැතිව්ට දක්වා සිටියා.

බලන්න දරුවා, මේ තියෙන්නේ සංවිධානයේ සංකේතය. ලිපියේ ඉදිරිපස ලෝකඩ තැවරුමක ගිල්වු යම් සටහනක් පියතුමා, මැතිව්ට පෙන්වා සිටියා. හොදින් එදෙස බැලු මැතිව්ට දැකගත හැකිවුයේ පස්කොන් තරුවක් (Pentacle) හරහා ගමන් කළ අසිපත් දෙකක්.

පුරාණයේ පටන්ම පස්කොන් තරුව ආරක්ෂාවේ සංකේතයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණා. අඳුරේ දඩයම්කරුවන්ගේ සංවිධානයට අනුව අසිපත් දෙක ශක්තිය හා නිර්භීතව නිරූපනය කලා.

බලන්න ෆාදර් මොනවද ලියලා තියෙන්නේ කියලා.

පල්ලියේ ප්‍රධන දොරටුව වසා දැමු ඔවුන් දෙදෙනා, පල්ලියේ ශාලාවේ වු බංකුවක වාඩිවුනා. පූජකවරයා ලිපිය විවෘත කල එය කියවා මැතිව් වෙතට දිගු කලා.

ෆාදර්, මම කියවන්න දන්නේ නෑ. මට කියන්න මොනවද ඔවුන් කියන්නේ කියලා. ඔවුන් අපිට උදව් කරනවාද?

මම ඔබට කලිනුත් පැවසුවානේ මැතිව්, දෙවියන්වහන්සේ අපව අතහැරලා නෑ. ඔවුන් ඔබට උදව් කරන්න කැමතියි. හෙට උදෑසන ඔවුන් ගමනට සූදානම්. ඔබට තියෙන්නේ නගරයෙන් පිටත තියෙන කුඩා ගල් අල්තාරය ළග උදේ 7 වනවිට ගොස් සිටින්න. එතැනට ඔවුන්ගෙන් කෙනෙක් පැමිණෙවි.

ෆාදර්, ඔබට ස්තුති කරන්න මට වචන නෑ. මම කිසිම බලාපොරොත්තුවක් නැතිව සිටියේ.

මට ස්තුති කරන්න අවශ්‍ය නෑ දරුවා මා සිටින්නේ ඔබට උදව් කරන්න. දැන් අපි නිදාගනිමු. ඔබට උදෑසනින්ම පිටවෙන්න තියෙනවා. ඒ වගේම දිගු ගමනක් ඔබ ඉදිරියේ තියෙන්නේ.

     උදෑසනින්ම අවදිවුණු මැතිව් තමන් ඉදිරියේ ඇති ගමනට සැරසුණා. පූරකවරයාගෙන් ලැබුණු      ආහාර පාන තම ගමන් මල්ලට දමාගත් මැතිව් පූජකවරයාට ස්තුති කොට ගමනට සැරසුනා.

     දෙවියන්වහන්සේ ඔබව රැකදෙනවා මැතිව්. ඔබගේ ගම්මානයත් දෙවියන්වහන්සේ රැකදේවි.

     කඩිනමින් ගමන් කළ මැතිව් ඔර්ක්නේ නගරයෙන් පිටතට පැමිණියා. පූජකවරයා දැක්වු මග      සලකුණු ඔස්සේ ගමන් කළ ඔහුට කුඩා ගල් අල්තාරය සොයාගැනීමට අපහසුවක් වුණේ නෑ.      එහි පැමිණි වට පිට බැලූ ඔහුට දැකගත හැකිවුයේ කුඩා ගල් අල්තාරය ඉදිරිපස වු ගලක් මත      හිදගෙන සිටින හිස වසාගත් පුද්ගලයෙක්. සෙමින් ඔහු කරා එළඹුණ මැතිව්, සිය කටහඩ අවදි      කලා.

     ඔබ අඳුරේ දඩයම්කරුවන්ගේ සංවිධානයෙන්ද?

     පල්ලියේ වචනයට ආවා. ඔබ සූදානම්ද? අපිට දිගු ගමනක් තියෙනවා ඉදිරියට. කාල වර්ණ      ඇඳුමක් ඇද සිටි රුව පැවසුවා.

     මම මැතිව්, නිට්වික් ගම්මානයෙන්. ඔබ?

     මේ ජීවිතකාලය පුරාවට මාව විවිධ නම් වලින් හදුන්වා තිබෙනවා. ඉන් සමහරක් මටත්      අමතකයි. ඔබට පුළුවන් මට ලෝගන් කියලා කතා කරන්න. අපි යමු. අපිට ප්‍රමාද වේවි ඉන්න      කාලයක් නෑ.

දඩයක්කරුවා යුරෝපීය සම්භවයක් ඇත්තෙක් නම් නොවෙයි. බොහෝ විට ඔහු ආසියාතිකයෙක් විය හැක. ආසියාතිකයින්ට උරුම වු දුඹුරු පැහැති සමකින් යුතු වු ඔහු අඩි හයක් පමණ උසකින් යුතු වුනා. ඒ උසට සරිලන මහතකින් යුත් ඔහුගේ සිරුරේ වැඩුණු මස් පිඩු ඔහු ශක්තිවන්තයෙක් බව ප්‍රකාශ කලා.

ඔහු කාල වර්ණ දිගු කබායක් පැළද සිටියා. එයින් ඔහුගේ සිරුර දණ හිසින් පහල දක්වාම ආවරණය වුණා. හිස වසා සිටි ආවරණයෙන් ඔහුගේ කළු පැහැති කෙස් එළියට පැන ඇති බව දැකගන්න පුළුවන්. ඔහුගේ දුඹුරු පැහැති ඇස් දීප්තිමත්ව බැබලුණා. ඒවා කියා පැවේ ඔහුගේ ඇති නිර්භීත භාවයයි. දකුණු අතේ ඉදිරි පස උඩපැත්තට වන්නට ආරක්ෂිත පස්කොන් තරුවක පච්චයක් දැකගත හැකිවුනා.

බටහිර ගොපළු චිත්‍රපටවල සිටින ගොපල්ලන්මෙන් ඔහු සිය ඉණ දෙපස පිස්තෝල දෙකක් රඳවාගෙන හිටියා. උරහිස හරහා වැටුණු පටියකින් රැදවු මස්කට් වර්ගයට අයත් රයිෆලයක් මෙන්ම ඉණේ දකුණු පැත්තේ රැදවු අසිපතකින්ද ඔහු සන්නද්ද වී සිටියා. එයට අමතරව ඉණේ කිණිස්සක්ද දක්නට ලැබූණා. වඩා සැලකිල්ලෙන් බැලුවොත් ඔහු පැළද සිටි දකුණු බූට් සපත්තුවේ තවත් කිණිස්සක් රදවා තිබුණා. ඔහුගේ වම් උරහිසෙහි තරමක් විශාල බෑගයක් රැදී තිබුණා. සරලවම කිවහොත් ඔහු ඇවිදින ආයුධ ගබඩාවකට සමාන වුනා.

වාඩිවී සිටි තැනින් නැගිට ගත් දඩයක්කරුවා මැතිව් සමග නිට්වික් බලා යන ඒ දිගු අවිනිශ්චිත ගමන ඇරඹුවා.

KB 2020.11.20

අඳුරේ දඩයම්කරු 01 - පහරදීම

     ස්වර්ගයේ වැඩ සිටිනා සර්ව බලධාරි පියාණෙනි, අප ආරක්ෂා කළ      මැන.

      කට වහපන් ගැණියේ, එලාගේ යාදිනි හඩ වියැකී යන්නටත් මත්තෙන්      ක්ලයිඩ් එලාගේ කණට කෙදිරුවා. උඹගේ වැලපිල්ල එළියේ ඉන්න      එවුන්ට ඇහුනොත් එහෙම අපි ඔක්කොටම වළපල්ලට තමයි යන්න      වෙන්නේ. ඔය පොඩි එකීට අඩන්න දෙන්න එපා.

     නිට්වික් ස්කොට්ලන්තයේ කෙළවරකට වෙන්න පිහිටි කුඩා සුන්දර      ගම්මානයක්. ගොවිතැනින්, මසුන් ඇල්ලීමෙන් ජීවිකාව ගෙනගිය පවුල්      තිහක් තිස්පහක් විතර මේ ගමේ පදිංචිවෙලා හිටියා. ඒත් සති කීපයක      ඉදලා මේ සුන්දර බව ගිලිහිලා ගිහිල්ලා තිබ්බා. ගම්මානය මරණීය සළු      පටක පැටලිලා හිටියේ. මේ වන විටත් ගම්වැසියන් කීප දෙනෙක්ම ඉතාමත් භයානක විදිහට මරලා දාලා තිබ්බා. ඔවුන්ගේ සිරුරු කීතු කීතු කරලා තිබ්බත්, ඒ මරණ වලට වග කියන්න ඕන කවුද කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. මළ සිරුරුවල අවශේෂ වු කොටස් පමණයි ගම්වැසියන්ට හොයාගන්න ලැබුණේ. මේ හින්දා මුළු ගම්මානයම භීතියට පත්වෙලා හිටියේ.

සෑදෑ අදුර වැටෙන කොටම ගෙවල් ඇතුලට වී දොර ජනේල් වසාගන්නා ගම්වැසියන්ට රැයේ අඳුර මකන්න එළියක් වත් දල්වන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ජනේල් පියන් වසා දමා ඒවායේ අමතර ආරක්ෂාවට හරස් අතර ලෑලී පටි සවිකර තිබ්බා ගමේ හැම ගෙදරකම. දොරවල් වලට අඟුල් කීපයක්ම දමා වසා තිබ්බත් පහුගිය ගිය දිනෙක් නිවස ඇතුලේ ජෙකොබ්ව මරා දමා තිබුණ නිසා ඒ ගැනත් වැඩි විශ්වාසයක් තියන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. මේ හින්දා ගෙදර තියෙන කබඩ් එකක් වගේ බර දෙයක් ගෙදර දොරටුව වැහෙන්න තියන්න බොහෝ ගම්වැසියන් මේ වෙනකොට පෙළඹී සිටියා.

මේ අයුරින් දොර ජනෙල් ආරක්ෂා කරගන්නා ගම්වැසියන් සවස හය පමණ වනවිට, බොහෝවිට නිවසේ ඇති එකම කාමරයට ගුලිවී මුළු රැයම නොනිදා පහන් කළා.

සශ්‍රිකව වැඩීගෙන ආ තිරිඟු පැල මේ වන විට වියැළී යමින් තිබ්බා. ඒ කිසිවෙකුටත් නිසි පරිදි ගොවිතැන් කටයුතු වලට අවධානයක් ලබාදෙන්න හැකියාවක් නොලැබුණ නිසයි. ගමට තිබ්බ කුඩා පල්ලියට එකතු වු ගම්මුන් මේ ගැන සාකච්ඡා කළත් පල්ලියේ පියතුමන්ටවත් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න හැකියාවක් තිබ්බේ නෑ. මුළු ගම්මානයම මේ වෙනකොට අමිහිරි නිහඩ බවක ගිලිලා තිබ්බේ. දිනෙන් දින සිදුවන මරණයන් ඒ අමිහිරි නිහඩ බව තවත් ත්‍රීවුර කලා.

ස්කොට්ලන්තයේ අයින්හොලොව් පල්ලිය
ෆාදර්, අපි මොකක්ද දැන් කරන්නේ. අපේ වගාවන් දවසින් දවස පාළුවෙලා යනවා. මාළුවෙක් අල්ලගන්න විලට යන්න විදිහක් නෑ. අපි අපේ දරුවන්ට මොනවද කන්න දෙන්නේ? රෑ එළිවෙනකම් නින්දක් නෑ. අපේ පොඩි එකා පොඩි සද්දෙකටත් ගැස්සෙනවා. ෆාදර්, මේවා කියන්න අපිට වෙනකෙනෙක් නෑ ඔබ ඇරෙන්න. ඒ ගම්පතියා වු කැලන්.

අපිට මේ ගම අත ඇරලා දාලා යන්න තමයි වෙන්නේ මේ විදිහට ගියොත්. ඒත් ඒකට වත් ඉඩක් තියෙනවද කියලා මම දන්නේ නෑ ෆාදර්.

ඒත්, කැලන් ගිය සතියේ එබ්‍රහම්ව මරලා දාලා හිටියෙත් ගම්මානෙන් එළියට යන පාරේ. අපිට මේ ගමෙන් පිටවෙලා යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නෑ.

දරුවා එස්තර්, මට තේරෙනවා ඔබලා කියන දේ. මමත් කිසිම දවසක මේ වගේ දෙයක් අහලා නෑ. මට මේකට කරන්නේ මොකක්ද කියලා කිසිම අදහසක් නෑ.

අපේ ජිවිත බේරගන්න අපිට කරන්න පුළුවන් කිසිම දෙයක් නැද්ද ෆාදර්?

එක දෙයක් තියෙනවා ඇලන්. මම මේ පල්ලියේ තිබ්බ පරණ සටහන්, පොත් එකින් එක කියෙව්වා මේ ප්‍රශ්නෙට විසදුමක් හොයන්න. මට උදව්වක් ගන්න පුළුවන් මාර්ගක් ගැන දැන ගන්න ලැබුණා. හැබැයි ඒක හරියටම හරිද කියන එක ගැන මට ගැටළුවක් තියෙනවා දරුවා. ෆාදර්, අපිට දැන් කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවක් තියෙනවනේ. අපි මේ දේත් කරලා බලමු ෆාදර්.

හොදයි කැලන්, මේ එක පොතක තිබිලා මට දැනගන්න ලැබුණා මේ වගේ නොදන්න අඳුරු බලවේගවලට එරෙහිව වැඩකරන සංවිධානයක් ගැන. ඒ ගැන වැඩි විස්තරයක් තිබ්බේ නෑ ඒ පොතේ. ඒත් අපිට වෙන කරන්න දෙයක් නෑ මේ සංවිධානයෙන් උදව් ඉල්ලනවා ඇරෙන්න. ඒත් මේ සංවිධානේ ගැන තාමත් තියෙනවාද කියලා මම හරියටම දන්නේ නෑ.

ෆාදර්, මොකක්ද ඔය කියන සංවිධානේ?

අඳුරේ දඩයක්කරුවන් කියලා තමයි ඒ සංවිධානය ගැන මම කියවපු පොතේ හදුන්වලා දීලා තිබ්බේ.

කොහොමද අපි මේ සංවිධානේ හොයාගන්නේ ෆාදර්? අපි කොහොමද මේ සංවිධානෙන් උදව් ඉල්ලන්නේ?

ඒ ගැනත් ඒ පොතේ සදහන් වෙලා තිබ්බා. මෙතන ඉදන් දවස් දෙකක දුරින් තියෙනවා නගරයක් ඕර්ක්නේ (Orkney) කියලා. ඒ නගරයේ ඉපැරණි පල්ලියක් තියෙනවා අයින්හොලොව් (Eynhallow) කියලා. අන්න ඒ පල්ලියෙන් තමයි අපි උදව් ඉල්ලන්න ඕන. මම ආයෙත් කියනවා මේ කියන දේ ගැන මට සියයට සියයක විශ්වාසයක් නෑ.

      ෆාදර් දවස් දෙකක් දුරින් තියෙන්නේ ඔය නගරය. මේ ගමෙන් එළියට යන පාර      වැටිලා තියෙන්නේ මරු කටක් හරහා. අපි කොහොමද ඕර්ක්නේ නගරයට යන්නේ?      කවුද මේ දේ කරන්නේ. ගමේ නායකයා හැටියට මට කාටවත් කියන්න බෑ මේ      ගමන යන්න කියලා.

     පල්ලියම තප්පර කීපයක් නිහඩතාවයේ ගිලුනා. හරිම ගුප්ත අවිනිශ්තබවක් පල්ලිය      පුරාම පැතිරිලා ගියා.

     මම යන්නම්. නිහඩ තාවය බිදගෙන මැතිව්ගේ කටහඩ පල්ලිය පුරාම පිළිරැව් දුන්නා.

     මැතිව් ගමේ සිටි බොහොම නිශ්ශබ්ද ඒ වගේම බොහොම නිර්භීත පුද්ගලයෙක්. තම      වසර කීපයකට පෙර සිදුවු සිය බිරිදගේ මරණයෙන් පසු ඔහු ගම්මානයේ කෙළවරක      වු තම නිවහනේ බොහොම නිහඩ ජීවිතයක් ගතකලා. ගම්වැසියන්ට හැමවිටම හැකි       පමණින් උදව්කළ අයෙකු ඔහුගේ මේ ඉදිරිපත්වීම ගම්වැසියන්ට ඉමහත්      අස්වැසිල්ලක් වුනා.

     මම කළයුත්තේ කුමක්ද? මැතිව් ෆාදර් කැන්බිගෙන් අසා සිටියා. පුතා, හෙට      උදෑසනින්නම ඔබ මේ ගමන පිටත් වෙන්න ඕන. මම යා යතු මාර්ගය සටහන් කරලා      දෙන්නම්. ඒ වගේම අයින්හාෙලොව් පල්ලියේ පූජකවරයාට දෙන්න ලියුමකුත් ඔබට      ලබාදෙන්නම්.

කැලම්, ගමනට අවශ්‍ය කරන කළමනා ලෑස්ති කරලා දෙන වගකීම ඔබ බාරගත යුතුයි. ඒ වගේම ඔහුට ආයුධයකුත් ලබාදෙන්න බලන්න.

හොදයි ෆාදර්, මම ඕන කරන වැඩ ටික කරලා දෙන්නම්, හෙට උදේ වෙනකම් ජීවත් වුනොත්. අපි දැන් ගෙවල් වලට යමු. අඳුර වැටෙන්න කලින් ගෙදරට රිංග ගත්තේ නැත්නම් අපේ මළකදවත් ඉතුරු වෙන්නේ නෑ. මැතිව් හෙට උදේ හය විතර වෙනකොට පල්ලිය ගාවට එන්න ගමනට ලෑස්තිවෙලා. ඊට වඩා උදෙන් යන්න තියෙනවානම් හොදයි. ඒත් දැන් තියෙන තත්වේ හැටියට ටිකක් එළිය වැටිලා ගමන ආරම්භ කරන එක හොදයි මැතිව්. දැන් අපි ගෙවල් වලට යමු ඉක්මනින්.

රාත්‍රිය අවිනිශ්චිතව ගලා ගියා. රාත්‍රියේ ගමේ ගෙදරකින් මරහඩක් ඇසුනත් ඒ ගැන සොයා බලන්න කවුරුවත් එඩිතර වුනේ නෑ. පසුදා උදැසන හයවෙනකොට මැතිව් පල්ලිය අසලට ආවා. ඒ වෙනකොටත් කැලන් සහ ෆාදර් කැන්බි ඇවිල්ලා එතනට ඇවිල්ලා හිටියා.

කවුද ඊයේ ගොදුර? මැතිව් කැලන්ගෙන් විමසා සිටියත් එයට පිළිතුරක් දුන්නේ ෆාදර් කැන්බි. අර වයසක රිචඩ්. රාත්‍රියේ කටහඩක් ඇහිලා එළියට ගිහිල්ලා. හරිම බිහිසුණු දර්ශනයක්. දෙවියන්වහන්සේ ඔහුගේ ආත්මය රැකදේවා, යයි පැවසූ ෆාදර් කැන්බි සිය පපුවේ කුරුසය සටහන් කරගත්තා.

මැතිව්, මේ මල්ලේ ගමනට අවශ්‍ය ආහාර පාන ටිකත් වතුර බෝතලයකුත් තියෙනවා. හැකිතරම් වේගයෙන් ගමන් කරන්න. අඩුවෙන් විවේක ගන්න. හැකිතරම් ඉක්මනින් කැලෙන් පිටවෙන්න. මේ පිස්තෝලෙත් තියාගන්න. මේ නොදන්නා දෙයට එරෙහිව ඒක කොච්චරක් දුරට සාර්ථක වෙයිද කියන්න මම දන්නේ නෑ.

ගමන් මාර්ගය සටහන් කල කඩදාසි කොළයක් වගෙම, ෆාදර් කැන්බිගේ ලිපියත් ගමන් බෑගයේ ලා ගත් මැතිව් කැලන්ගෙන් ලැබුණ පිස්තෝලෙයත් ඉනේ ගසාගෙන තමන් ගෙදරින් රැගෙන ආ අසිපතත් දකුණතින් අරගෙන කැලන් හා ෆාදර් කැන්බි දිහා බැල්මක් හෙලපු මැතිව් මේ අවිනිශ්චිත, බොහෝ විට මරණයෙන් කෙළවර විය හැකි ගමන පිටත් වුනා.

KB 2020.11.22

අඳුර

අඳුර විටෙක හරිම සුන්දරයි. විශේෂයෙන් කවි ලියන්නන්ට, ඒ වගේම අසම්මත ආදරයක් සොයා යන්නන්ට. එනමුත් අඳුර ඇතැම් විට අතිශයින්ම බියකරු මෙන්ම රුදුරු විය හැක. එයට හේතුවන්නේ බොහෝ දහවලට, එළියට අකමැති නපුරේ බලවේග රාත්‍රියට අවදිවෙන නිසා. අප නිසි පරිදි පාර සොයා නොගතහොත්, අපද ඒ අදුරේ බලවේගයන්හි තවත් එක් ගොදුරක් වනු නොඅනුමානයි.

ඉඟි කරමින් අඳුරට
හිරු කුමරු නික්ම ගිය කළ
දහවලේ නිදි වින්ද තරු කැට
දෙනෙත් ඇර ලොව දකින කල

දහවලේ ඇස් වසා
ලොවෙන් සැඟව සිටි
අඳුරට ලොබ බැදි රුදු සතුන්
අවදිවෙයි බිද හෙලා
උන් වටා ඇති කඩතුර

යොමු කරයි රුදුරු ඇස්
සොයමින් තවත් ගොදුරක්
සරයි ඇස් දසත
විිඳින්නට ලේ රසය දෙතොලට

නොවුනොත් මදක් විමසිලි
විය හැක ඔබත් ගොදුරක්
නොයනු මැන මාවත වූ අඳුරු
සොයන්න එළිය දෙන තරු කැට
බිඳ හෙලන මාවතේ රුදු අඳුර
___________________________________________________________________
KB 2020.07.10

අනුමාපනය

     මේ සිද්ධිය වුනේ බර්ටියා විවෘතයේ ඉගෙන ගන්න කාලේ. බර්ටියා      විවෘතයේ ඉන්න දෙවෙනි අවුරුද්දෙදි ලෙවල් 4 සබ්ජෙක්ට් වලට      රසායන විද්‍යාව කලා. ඒ දවස් වල ලෙවල් 4 වලට රසායන විද්‍යාව      තෝරාගත්තොත් සබ්ජෙක්ට් 4 ක් කරන්න සිද්ධ වුනා. ඒ භෞතික      රසායනය (Physical), කාබනික රසායනය (Organic), අකාබනික      රසායනය (Inorganic) සහ විශ්ලේෂන රසායනය (Analytical)      කියන සබ්ජෙක්ට් හතර (අන්තිම සිංහල වචනය නම් හරිද කියන්න      දන්නේ නෑ). බර්ටියත් මී හරකා වගේ ඔය සබ්ජෙක්ට් 4 ම ගත්තා.      ඒකෙන් බර්ටියට සදාකාලයට රසායන විද්‍යාව එපා වෙලා ගියා. එකක්      ඇරෙන්න අනිත් සබ්ජෙක්ට් තුනම ඇණගත්තා ඒ මදිවට.

     ඒ කතාව පැත්තකින් තියමුකෝ. මේ කියන සිද්ධිය සිද්ධ වුනේ බර්ටියා ඇතුළු සෙට් එක පිසිකල් කෙමෙස්ට්‍රි ප්‍රැක්ටිකල් කරන කොට. ඔය කාලේ කැම්පස් එකේ ලස්සනම ඩෙමෝලා ටික හිටියේ කෙමෙස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ. කැම්පස් පාස් අවුට්වෙච්ච ගමන්ම වගේ ආපු සෙට් එකක්. වැඩි වයසක් නෑ. ඔය අතර හිටියා හරිම ලස්සන, සුදු, කොන්ඩේ ක්‍රේල් ඩෙමෝ කෙනෙක්. මුළු කැම්පස් එකේම කොල්ලෝ ඔය මිස්ට ලයින් දාන සයිස් එකේ හිටියේ. එයා පට්ටම ලස්සනයි.

බර්ටියත් ඔය වගේ ඒවා දැක්කහම නිකන් ඉන්නම බෑනේ. බර්ටියා විතරක් නෙවෙයි කැලුමා, ගීතිකයා එහෙමත් ෆුල් ඇලට් එකේ හිටියේ ඔය මිස් ගැන. බර්ටියා ඉතින් ෆුල් ලව් මිස්ට. ඒක පාර්ශවික ලව් එකක් ඉතින්. අපි ඉතින් එයාගේ නම් දන්නේ නැති නිසා එයාට නමකුත් දාලා තිබ්බා ස්විට් මිස් කියලා. දැනටත් ඒ මිස්ගේ නම බර්ටියට මතක නෑ. ස්විට් මිස් කියලා තමයි තාමත් මතකයේ තියෙන්නේ.

පළවෙනි සෙමෙස්ටර් එකේ ඉස්සෙල්ලාම තිබ්බ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එක තමයි පිසිකල්. ඔය සබ්ජෙක්ට් එකේ ප්‍රැක්ටිකල් දවස් තුනක් තිබ්බා. ඒ තිබ්බෙත් මේන් ලැබ් එකේ නෙවෙයි වෙන පොඩි ලැබ් එකක. ප්‍රැක්ටිකල් එකට යනකොට අපිට assignment එකකුත් කරගෙන ප්‍රැක්ටිල් එකට රු 200 ක් ද කොහෙද ගෙවලා එකේ රිසිට් එකත් අරගෙන උදේ 9 වෙනකොට ලැබ්එක ගාව ඉන්න ඕන. කෙමෙස්ට්‍රි ඩිපාට්මන්ට් එක තමයි තිබ්බ සැරම ඩිපාට්මන්ට් එක. ලේසියෙන් ළමයෙක්ට චාන්ස් එකක් දෙන්නේ නෑ.

අපේ සෙට් එකේ හිටියේ බර්ටියයි, ගීතිකයයි, කිරියි, මියුරුයි, කැලුමයි, ඇන්ටියි. ඇන්ටි කිවුවට මේකි බර්ටියගේ වයසේ කෙල්ලෙක්. කැම්පස් එකේ ගහලා තිබ්බ කාඩ් එක තමයි ඇන්ටි. අපි සෙට් එක ඉතින් ඕන කරන දේවල් ටිකත් අරගෙන ලැබ් එක අරිනකම් ලැබ් එක ගාවට වෙලා ඉන්නකොට නොසිතු වාසනාවක් කඩාපාත් වුනා. නෑ නෑ. ප්‍රැටිකල් කල්දාලා කියන එක නෙවෙයි. අපේ සුවිට් මිසුත් ලැබ් සෙෂන් එකේ වැඩ ඒ දවස් තුනේ. අම්මේ ඉතින් බර්ටියගේ කට කනේ. ප්‍රැක්ටිකල් කරනවට වඩා මිස් දිහා බලාගෙන ඉන්න එක තමයි ඉතින් ඒ දවස් තුනේ කලේ. එහෙම කරන්න ගිහිල්ලා අමාරුවෙත් වැටුණා. ඒක තමයි අමාරු වුනත් කරපු හොදම ප්‍රැක්ටිකල් එක.

මතක විදිහට දවසකට ප්‍රැක්ටිකල් දෙකක් තිබ්බා. එකක් උදේ වරුවේ අනික හවස් වරුවේ. හැම ප්‍රැක්ටිකල් එකකම පාඨාංක (Readings) අපේ ගෲප් එක බාරව ඉන්න ඩෙමෝට කියලා සයින් කරවා ගන්න ඕන. අපේ සුවිට් මිස් එක්ක තව මිස්ලා දෙන්නෙකුයි තව සර් කෙනෙකුයි තමයි ඩෙමෝල් විදිහට හිටියේ. කොහොම හරි ප්‍රැක්ටිකල් පටන් අරන් වැඩිවෙලාවක් යන්න කලින් අපි අපේ ගෲප් එකේ මිස් එක්ක හිතවත් වුනා. බර්ටියට මතක විදිහට ඒ මිස්ගේ නම අනුරාධා, ජ’පුරේ තමයි උපාධිය කරලා තිබ්බේ.

මේ ඔක්කොම දෙන්නා දෙන්නා කරන ප්‍රැක්ටිකල්. බර්ටියයි යොමෙන්ද්‍රයි තමයි සෙට්වෙලා හිටියේ වැඩේට. පළවෙනි ප්‍රැක්ටිකල් එකේ තිබ්බේ ප්ලාක්ස් එකකුයි උෂ්නත්වමානෙකුයි අරන් උෂ්නත්වේ මනින සීන් එකක්. ඒක යන්තම් 12 විතර වෙනකොට ඉවර කරගත්තා. හවස ප්‍රැක්ටිකල් එකට අපේ සුවිට් මිස් ඇවිල්ලා හිටියා. අම්මෝ ඉතින් බර්ටියට දැනුන සන්තෝසේ. ඒක කියලා නිම කරන්න බෑ.

     දෙවෙනි ප්‍රැක්ටිකල් එකට අපිට අනුමාපන (Titration) වගයක්      කරන්න තිබ්බේ. බර්ටියා හරිම ආසයි ඔය වැඩේ කරන්න. හරියට තිතට      අනුමාපනය කරන්න පුළුවන් හැකියාවක් බර්ටියට තිබ්බා. දැන්නම් ඒවා      අමතක වෙලා ගිහිල්ලා. අවුරුදු 15 කින් විතර අනුමාපනයක් කරලා      නෑ. දැන් ඉතින් අපි අනුමාපන කරනවා. අනුමාපනයේ හරි ප්‍රථිඵලය      ගන්න නම් යාන්තම් පාට වෙනස් වෙනකොටට පාඨාංකය ගන්න ඕන.      එක බිංදුවක් කෙමිකල් එක වැඩිපුර වැටුනොත් පාඨාංකය වෙනස්      වෙනවා. ඕකට අපි කියන්නේ end point එක පනිනවා කියලා. ඕක      හරිම පරිස්සමින් ඉවසිල්ලෙන් බලාගෙන ඉදලා කරන්න ඕන වැඩක්.

     ඔය අස්සේ මිස්ලත් ඇවිල්ලා බලනවා අපි වැඩේ හරියට කරනවාද      කියලා. නැත්නම් අපේ එවුන් බොරු ඒවා දානවනේ. බර්ටියා හිටියේ      මැද පේළියේ. කිරියි මියුරුයි බර්ටියට පිටිපස්සේ පේළියේ. අපේ සුවිට්      මිස් මුන් දෙන්නගේ ප්‍රැක්ටිකල් එක බලන ගමන් බර්ටියව පෙන්නලා කියලා අරයා හරි සුවිට් කියලා. මුන් දෙන්නගෙත් කටවල් හොද නෑනේ. මුන් දෙන්නා අනිත් පැත්තට මිස්ට කියලා, මිස් එයත් මිස් ගැන ඔහොමම කියනවා කියලා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ඉතින්.

බර්ටියා දෙවෙනි අනුමාපනය කරන කොට මිස් බර්ටියට ඉස්සරහා පේළියේ ප්‍රැක්ටිකල් එක බලනවා. බර්ටියත් මිස් දිහා බලාගෙන අනුමාපනය කරගෙන යනවා. එක පාරටම බර්ටියගේ කන ගාවින් සද්දයක් ඇහුනා ඕකේ එන්ඩ් පොයින්ට් එක පැනලනේ කියලා. හැරිලා බලනකොට අනුරාධා මිස් බර්ටියා පිටිපස්සේ. ලැජ්ජා සාගරයයි. අනුමාපනයේ එන්ඩ් පොයින්ට් එක පැනලා සෑහෙන දුර ගිහිල්ලා. ලා රෝස පාටට තියෙන්න ඕන solution තද දම් පාට වෙලා. වටේ ඉන්න එවුනුත් බලනවා බර්ටියා දිහා. ඒ මදිවට ඇන්ටිගෙන් බර බරේ මොනවද බර්ටි ඔයා කරන්නේ කියලා. බර්ටියා සුවිට් මිස් දිහා බලාගෙනනේ හිටියේ. බර්ටියට අනුමාපනය අමතක වෙලා ඒ සොදුරු දසුනට. අනුමාපනය විතරක් නෙවෙයි ලෝකේම අමතක වෙනවා බර්ටියට සුවිට් මිස්ව දැක්කහම.

අනේ ඉතින් ඒක අහක දාලා ආපහු solution එකක් හදලා අනුමාපනය පටන් ගත්තා. නෑ නෑ. ඒ පාර අවුලක් නැතුව කරගන්න ලැබුණා. මොකද මිස් බර්ටියගේ පිටිපස්සේ හිටියේ ඒ වෙලාවේ. ඔය ප්‍රැක්ටිකල් එකෙන් පස්සේ මිස්ලා දෙන්නම අපි සෙට් එකත් එකත් පිට්වුනා හොදට. අපේ readings නැති හිස් ෂිට් පවා මිස්ලා දෙන්නා අත්සන් කරලා දුන්නා. සුවිට් මිස් නම් සමහර වෙලාවට අපේ බෙන්ච් එකටත් ඇවිල්ලා වාඩිවෙලා කතා කර කර ඉදලා යනවා. ඒ දෙන්නව නම් බර්ටියට කවදාවත් අමතක වෙන්නේ නෑ. විශේෂයෙන්ම සුවිට් මිස්ව. ඒ ආදරේ තාමත් හිතේ ඉතින්.

KB 2020.11.22

වලි බේරීම

     මේ දවස් වලා බර්ටියා ගෙදරට වෙලා ඉන්නේ. කොරෝනා නිසා      ඉස්කෝල වහලා හින්දා යමක් ලියන්න වෙලාව ඕන තරම් තිබ්බත්      බර්ටියා හොදටම කම්මැලි වෙලා ඉන්නේ. ඒක නිසා පහුගිය ටිකේම      බ්ලොග් එක ලියන්න බැරිවුනා.

     බර්ටියා ඉස්සර ඉස්කෝලේ යන කාලේ හිටපු ගෙදරට අල්ලපු ගෙදර      වත්ත තරමක් ලොකු එකක්. එහේ කට්ටියක් පදිංචිවෙලා හිටියා. ඒ      ගැන වැඩි විස්තර බර්ටියා ලියන්න යන්නේ නෑ. ඔය ගෙදර හිටපු      තාත්තයි ලොකු පුතයි මාසෙකට සැරයක් දෙකක් හොද වලියක්      දාගන්නවා. වලියේ සද්දේ වටේටම ඇහෙනෙවා ඉතින්. වලිය      ලොකුවට නැගලා ගිහින් එක පාරටම නතර වෙනවා. ඒ තාත්තා      පුතාගේ අතින් ගුටි කාපුවහම. නෑ නෑ. වැරදිලා නෙවෙයි ඇත්තටම      වලිය ගොඩාක් වෙලාවට අවසන් වෙන්නේ ඒ විදිහට.

     විශේෂ අවස්තාවලදි අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා තාත්තට      නෙලනවා. එක සැරයක් පුතා තාත්තට හෝස් එකෙනුත් ගහලා තිබ්බා.      ඔන්න ළමයගේ තරම ඉතින්. හැබයි ඒ ගහලා දවස් දෙකක් ගියේ නෑ      පොරට දෙයියන්ගේ ලෙඩ හැදුනා. කොහෙන් හරි ඕවා පලදෙන්නත්      එපැයි ඉතින්.

ඉතින් අර මනුස්සයා මහ හයියෙන් අඩන සද්දේ ඇහෙනවා එහා පැත්තේ ඉන්න අපිටත්. බර්ටියට සමහර දවස් වලට සිත් පහල වෙනවා මේ උද්වේගකර දර්ශනය නරඹන්න. ඒ වෙලාවට බර්ටියයි සමහර විට බර්ටියගේ මල්ලිකාරයයි දෙන්නම ගෙදර පිටිපස්සේ තියෙන වැලි දෙහි පඳුර පැත්තට නිරීක්ෂන චාරිකාවක් දානවා අම්මට හොරෙන්.

වැල් දෙහි පඳුර කටුත් ඇනගෙන තාප්පේ ගාවට රිංග ගත්තහම මේ උද්වේගකර ඇඟ කිලිපොලා යන දර්ශනය ටිකට් නැතුව නැරඹීමේ අවස්තාවක් අපිටත් ලැබෙනවා. එහෙම චාන්ස් ලැබෙන්නේ කලාතුරකින් ඉතින්. අම්මට හරි තාත්තට හරි අහුවුනොත් නැව් ගුටි තමයි කන්න වෙන්නේ.

අපි කවදාවත් මේ වලි බේරන්න ගියේ නෑ. ගෙදර මිනිස්සුන්ට කුලල් කාගන්න ඉඩදීලා අපි හොරෙන් හිල්මට් එකක් දාලා ආතල් එකක් ගත්තා මිසක් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන නෑ කියලයි බර්ටියගේ දෙමව්පියෝ හිතුවේ. මොකද අන්තිමට අපිම නරක මිනිස්සු වෙන්න තියෙන ඉඩකඩ වැඩියිනේ. අනික අහක යන මෝටාර් එකක් අපිට වැදුනොත් එපැයි කියන්නද?

ඔහොම කාලෙයක් ගියාට පස්සේ අපේ ගෙදරට ඉස්සරහා තියෙන ගෙදරට පදිංචියට කට්ටියක් ආවා. අම්මයි තාත්තයි ළමයි දෙන්නයි. මේ ගෙදර අම්මයි තාත්තයි අරහේ වලියන වෙලාවට බොහොම කරුණාවෙන් දුවලා යනවා අර වලි සමතය කරන්න. අර ගෙදර පිරිමියා ගිහිල්ලා ගොඩක් වෙලාවට පුතණ්ඩියව අල්ලගෙන අනම් මනම් කියලා වලිය සමතයකට පත්කරන්න ට්‍රයි එකක් දෙනවා ඉතින්. ගෑණු කෙනත් යනවා හස්බන්ඩා එක්කම වලිය බේරන්න. ඔහොම කීප සැරයක්ම දෙන්නා වලිබේරන්න ගියා ඉතින්.

     ඔන්න එක දවසක් සාර්ථක විදිහට වලියක් පටන් ගත්තා. එදා බර්ටියටත් සාර්ථක විදිහට      වැල් දෙහි පඳුර අස්සට රිංගලා හිල්මට් එක දාන්න අවස්තාවක් ලැබුණා. අම්මෝ වලිය      නැගලා යනවා දැන්. පුතණ්ඩියා තාත්තට සුද්ධ සිංහල වචන කියලා අමතනවා. තාත්තත්      රිටන් එක දෙනවා. මහ ගෑණිත් සෙට් වෙලා පුතාගේ පැත්තට වලිය නැගලා යන අතර තුර      අර මෝඩ ජෝඩුවත් එදා ආවා වලියට සමතයකට පත්කරන්න.

     මොකක් හරි දෙයක් නිසා එදා වලිය වෙනදට වඩා අතිශයින් දරුණු වුනා. එක පාරටම      පුතණ්ඩියා අතට අහුවෙච්ච ජෑම් බෝතලයකින් (නෑ යකෝ එකේ ජෑම් තිබ්බේ නෑ) කෙළලා      අරිනවා තාත්තට. පැයට කිලෝමීටර් 185 විතර වේගෙන් ආවා ජෑම් බෝතලේ වදිනවා දඩාස්      ගාලා ඔළුවේ. කරුමේ කියන්නේ බෝතලේ වදින්නේ අර වලිය බේරන්න ආව ඉස්සරහා      ගෙදර කපල් එකේ ගෑනු මනුස්යගේ. ඔන්න වලි බේරීමේ විපාක ඇස් පනාපිටම පටිසන්      දුන්නා.

     වලිය එතනින්න ඉවර වෙනවා. අර මනුස්සයා ගෑනිවත් අරන් දොස්තර ගාවට යනවා      තුවාලෙට බේත් දාගන්න. මතක විදිහට එච්චරම ලොකු තුවාලයක් වෙන්නේ නෑ. එදායින්      පස්සේ අර ඩබල වලිබේරන්න ආවේ නෑ කවදාවත්ම. අර තාත්තයි පුතයි ඊට පස්සෙත් රණ්ඩු      වුනා ඉතින්.

     අවවාදය - අල්ලපු ගෙදර වලි බලා ආතල් ගත්තාට කමක් නැත. ඔළුවට ආදරේ නම් වලි      බේරීමට යෑමෙන් වලකින්න.

KB 2020.11.18

පෙර දිනෙක සෙනෙහස

ආදරය යනු සියළු මනුෂ්‍යය සිත් තුල ඇතිවන්නා වු එක් සුවිශේෂි හැගිමකි. එයට කුලයක්, ජාතියක්, ආගමක්, වයසක්, දුප්පත් පොහොසත් බවක් බලනොපායි. එනමුදු මවුපියන් හෝ සමාජය හෝ ඒ දෙස බලන්නේ වෙනත් ආකල්පයකින් විය හැක. එම හේතුන් නිසා බොහෝ පෙම්වතුන්ට එක්වීම කෙසේ වෙතත් සිය සිත රැදි ආදරය ප්‍රකාශ කිරීමට තරම්වත් අවස්තාවක් නොලැබේ. සමහරක් විට ඔවුන් වෙන් වෙන් මාවත් ඔස්සේ පියනැගුවත් ජීවිතයේ යම් සංධිස්තානයකදී ඔවුන් යළි මුණ ගැසී නැවතත් ඒ ප්‍රේමය දලුලා වැඩිය හැක. සමාජය මෙවැනි සබදතා වපර ඇසින් බැලුවත් එම පෙම්වතුන්ට එය ගැටලුවක් නොවිය හැක. මෙය එවැනි සටහනක්.

සඳ එළියෙන් එකළු වු මාවතක දෙපිය නගා යමු අපි දෙදෙනා
අදත් පෙර පුරුදු සෙනෙහසින් . . . . .
පෙර දිනෙක වෙන් වුවද මාවත් දෙකක් අද්දර
අහඹුවක් වු හමුවකට මුල පුරා ඇත අප නැවත
ඔබට මා ද මා හට ඔබද හිමි නොවුවත්
එදා බැදි සෙනෙහස අදත් එලෙසින්ම රදයි අප සිත් තුළ
දෙනොදහක් අද්දර අත් පටලන්න වරම් නැති වුවද
ලොවම නිදන මේ පාළු රැයේ දෑත් පටලා ඇවිද යමු අප
අපව වෙන්කළ මේ කුරිරු ලොවෙන් සැඟවී
සිටින විට ඔබ තුරුල්ලේ පෙර ලෙසම සෙනෙහසින්
අමතකයි අහිමි බව අප අපට
___________________________________________________________________
KB 2020.02.06

සිත්තර පටි කතා දෙකක්

     බර්ටියා සිත්තර පටියක් බලන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක් කලින් කියලා ඇති. මේකත් ඒ      වාගේ ඇබැද්දියක් තමයි. හැබැයි එක ඇබැද්දියක් වුනේ බර්ටියට නෙවෙයි. බර්ටියගේ යාළුවෝ      සෙට් එකකට. ඉස්සෙල්ලම බර්ටියට වෙච්ච ඇබැද්දිය කියලා ඉන්නම්. මේක සිද්ධවුනේ බර්ටියා      A/L කරන කාලේ. ඒ කියන්නේ 97 – 98 කාල වකවානුවේ.

     බර්ටියා මුලින්ම කෘෂි විද්‍යාවට පන්ති ගියේ ගම්පහ ඉස්පිරිතාලේ කිට්ටුව තිබ්බ හෝල් ක්ලාස්      එකකට. ඒ පන්තිය ඒ දවස් වල කලේ මේ දවස් වල බොහොම ප්‍රසිද්ධ ජීව විද්‍යා දේශකයෙක්. ආ      ඔව් ඔව්. එයා තමයි. මුල් දවස් වල කලේ කෘෂි විද්‍යාව. ඕන නම් අහලා බලන්න. සෙනසුරාදා      උදේ තමයි අපිට පන්තිය තිබ්බේ. මතක විදිහට උදේ 8.00 සිට 10.30 වෙනකම්.

     දවසක් අපිට ආරංචියක් ආවා ඇඟේ වෛරන් 3 එදා ගම්පහ නයෝමි එකේ පෙන්නන්න ගන්නවා      කියලා. අපිටත් ඉතින් ඔය මදෑ. නිවුස් එක අරන් ආවේ ආඳද කොහෙද. අපේ සෙට් එකත් යන්න      කතා වුනත් අන්තිමට සෙට් වුනේ තුන්දෙනයි. බර්ටියයි, ආඳයි, හිපාචියයි. අනිත් එවුන්      සෙට්වුනේ නෑ වැඩේට. උදේ 10.30 ෂෝ එක බලන්න පොඩ්ඩක් වේලාසන යෑමේ      අවශ්‍යතාවයක් ඇති වුනා. පරණ පරිප්පු කාපුවා තියෙන හින්දා බර්ටියා කැමති වුනේ නෑ හරියටම      වෙලාවටම එතනට යන්න.

     අපි ඉතින් සර්ට චිට් එකක් යැව්වා ඉස්කෝලේ මල් පාත්ති වගයක් හදන්න ටීචර් එන්න කිව්වා.      ඒක නිසා 10.00 යන්න අවසර ඉල්ලලා. සර්කාරයා චිට් එක කියවලා මල් පාත්ති දාන්න යන එක      ගැන පොඩි විස්තරයක් කළා. ඒකෙන් වුනේ අපේ රෙදි ගැලවුණ එක. කැම්පස් එකේ බාසාවෙන් මල් පාත්ති දාන්න යනවා කියන්නේ කෙල්ලත් එක්ක කොහෙ හරි රස්තියාදුවක් යන එකට. සර් ඉතින් අපි තුන්දෙනාව පට්ට අපහසුතාවයකට ලක්කලා අර කෙල්ලෝ කොල්ලෝ ගොඩේ.

එහෙම කළයි කියලා අපි ෂෝ එක බලන්න යන එක අත ඇරියද. නෑනේ නෑනේ. අපි තුන්දෙනා ලැජ්ජාව නොට් පොතින් වහගෙන පන්තියෙන් එළියට පැනලා ෆිල්ම් එක බලන්න ගියා. අපි යනකොටත් සෙනඟ. හැබැයි ග්ර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න ගියා වගේ අවුලක් තිබ්බේ නෑ අපිට. අපිත් පෝලිමේ ඉදලා ඕ.ඩී.සී ටිකට් තුනකුත් අරන් ඇතුලට රිංගුවා ෆිලුම බලන්න. 10.30 වෙනකොට කට කපලා සෙනඟ. හොද වෙලාවට එදා වගේ කෑල්ලක් ආවේ නෑ. හැබැයි කපල්ස් දෙක
තුනක්ම හිටියා.

දැන් කට්ටිය ෆිලුම පටන් ගන්නකම් බලන් ඉන්නවා. මෙන්න යකෝ ඕ.ඩී.සී එක දිගේ බැලුමක් එනවා. ඒක බැලුමක් කිවුවට බැලුමක්ම නෙවෙයි. කවුරු හරි ෆිලුම බලන්න ආපු අපතයෙක් කොපුවක් පුම්බලා. නෑ බන් පෑන් කොපුවක් නෙවෙයි. ඒවා පුම්බන්න පුළුවන්යෑ. කොන්ඩම් එකක් දෙයියනේ.

ටිකකින් ෆිලුම පටන් ගත්තා. හපෝ මොලෝ රහක් නැති ෆිල්ම් එකක්. කවුරු මේවා හදනවද කියලා හිතුණා එක් බලනකොට. සුමනා ගෝනමසුයි රන්දි චශිකයි එහාටයි මෙහාටයි කැරකැවෙන සීන් ටිකක් තියෙන්නේ. කිසිම වැඩක් නෑ. සල්ලි දීලා ආපු එකේ ෆිල්ම් එක ඉවර වෙනකම් ඉදලා කුණුහරුපෙන් බැණ බැණ හෝල් එකෙන් එළියට බැස්සා. ඔහොම වුනයි කියලා අපි පාඩමක් ඉගෙන ගත්තද? කොහෙත්ම නෑ. ආයෙත් ඔය වගේ ඒවා බලන්න ගියා වරද්දන්නේ නැතුව.

දෙවෙනි කතාවට මූලික වෙන්නේ බර්ටියගේ යාළුවෝ ටිකක්. මතක විදිහට මේ කතාව කිවුවේ රාජ හංසයා හරි කටු පොලොසා දෙන්නගෙන් එක්කෙනෙක්. මේ සෙට් එක කොළඹ ඉස්කෝලේකට ගියේ. කට්ටිය දවසක් ඉස්කෝලෙන් පැනලා ෆිලුමක් බලන්න ගිහිල්ලා යුනිෆෝම් එක පිටින්ම. අවුලක් නැතුව ඇතුලටත් ගියාලු මුන් නිතර දෙවේලේ යන සෙට් එකක් නිසා. කට්ටිය ගිහිල්ලා කොළඹ තවත් ඉස්කෝලෙකට යන සෙට් එකක් ගාව වාඩිවෙලා ඒ ඉස්කෝලේ වගේ ෆිල්ම් එක පටන් ගන්න කම් බලන් ඉන්නවලු.

     ඔන්න ඉතින් ෆිල්ම් එක පටන් ගත්තා. පටන් අරන් නම් එහෙම දාලා      ටිකක් වෙලා යනකොට කොළඹ මුන් යන ඉස්කෝලේ පෙන්නනවලු      ෆිලුමේ. ඒ සීන් එක යනකොටම මුන් එක්ක ගිය එක ගෝතයෙක්      සද්දෙට කිව්වලු “මචං මචං, අන්න අපේ ඉස්කෝලේ” කියලා. කට්ටියට      ඉතින් ඇදන් එන්න රෙදි නෑලු. ෆිලුම ඉවරවුනාට පස්සේ ෂේප් එකේ      මූණුත් කවර් කරගෙන කට්ටිය එළියට ආවලු අරෑටත් බැණ බැණ.

     ෆිල්ම් ගැන කතා ලියන්න තියෙන්නේ කොල්ලොත් එක්ක ගියොත්      තමයි. කෙල්ල එක්ක ගියොත් එහෙම ෆිල්ම් එක පටන් ගන්නකොට      අකුරු දානවයි ඉවරවෙනකොට අකුරු දානවයි තමයි මතක. මැද      බැලැන්ක්. අන්න එහෙමයි එතකොට වෙන්නේ.

KB 2020.10.08

ලාවා කේක්

     මේ කතාව බර්ටියා අටම්පහියට ලියලා බ්ලොග් එකට දාන්න බැරිවෙච්ච කතාවක්.      මේක වුනේ ගිය අවුරුද්දේ ජූනි මාසේ 22 දා. බර්ටියා වැඩ කරන ජාත්‍යාන්තර      පාසලෙන් සාමාජ සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා. ඒ පිළියන්දල SOS ළමා      ගම්මානයට වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ලබා දීම. මේ කතාව නම්      ඒ ගැන නෙමෙයි (ඒ ගැන පස්සේ දවසක කියන්නම් කෝ).

      ඔය කටයුත්ත ඉෂ්ඨ සිද්ධ කරලා එන ගමන් අපේ කට්ටිය කඩවත ප්‍රසිද්ධ රොටි      කඩයකට ගොඩ වැදුණා (මේවා ජාත්‍යාන්තර රොටි හරිද ලංකාවේ ඒවා වගේ      නෙමෙයි). කට්ටිය කිව්වට මහ ගොඩක් හිටියේ හිටියේ නෑ. අපේ කට්ටිය බර්ටියත්      එක්කම පස් දෙනයි. මොකද රටේ ඒ වෙනකොට තිබ්බ ආරක්ෂක තත්වෙත් එක්ක      පස්දෙනෙකුට වඩා පිළියන්දල SOS එකට ඇතුල් වෙන්න අවසර ලැබුණේ නෑ      (බෝම්බ සීන් තමයි ඉතින්). අපි රොටි කඩේ ඇතුලත තිබ්බ මේසෙකින් වාඩි වුනා. පොඩ්ඩ වෙලාවකින් රොටි කඩේ වැඩ කරන ගෑනු ළමයා ආවා මෙනු එකකුත් උස්සගෙන.

අපේ ප්‍රින්සිල්පල් මැඩම් මෙනු එක බලලා එකේ ස්ටොපැෂල් ෆැමිලි පැක් එකක් ගන්න තීරණය කලා. ඉස්සෙල්ලාම අල ද නැත්නම් සුදු ළූනු පාන් ද කියලා තීරණය කරපු තරගෙන් බර්ටියා ඒ කියන්නේ සුදු ළූනු පාන් පරාජයට පත් වුනා. කරන්න දෙයක් නෑ. ඉතුරු ටිකත් ඕඩර් කලා. ඕය ඕඩර් කරපු ෆැමිලි පැක් එකට නොමිලේ හම්බවෙනවා තඩි කොකා බෝතලයකුයි ලාවා කේක් හතරකුයි.

දැන් අපේ සද්දේ රොටි කඩේ දෙක වෙන්න. හරියට දෙක වසරේ සෙට් එකක් කඩේ ගිහිල්ලා වගේ. වැඩිම සද්දේ කාගෙද දන්නවද? අපෝ ඒක කියන්න බෑ. නෑ නෑ මගේ නෙමෙයි. බර්ටියා ඉතින් අහිංසකයානේ. කොහොම හරි අපි කට්ටිය අල තම්බපුවත් කාලා තඩි රොටියකුත් ගිලලා අර කොකා බෝතලේම ඉවර කලාට පස්සේ තමයි ලාවා කේක් ටික හම්බවුනේ. පහක් හිටියට කේක් හතරයි හම්බවුනේ ඉතින්. අපි ඉතින් කොම්බුව ලොප් නොකරගෙන බෙදා හදාගෙන ලාවා කේක් කන්න ගත්තා.

මේ වෙනකොට නම් තව කට්ටිය තව ඇවිල්ලා හිටියා වටේ පිටේ මේස වලට. දැන් කට්ටිය බැරි බැරි ගාතේ ලාවා කේක් කනවා. ඔහොම කේක් කන ගමන් අපේ ප්‍රියදර්ශනී ටීචර් කිව්වා, බලන්න කෝ අනේ මේවා ලාවා කේක් වුනාට එන්නේ චොකලට් රහනේ කියලා. අම්මට සිරි ඒ කියන්නේ ප්‍රියදර්ශනී ටීචර් මීට කලින් ලාවා වල රස ටෙස්ට් කරලා තියෙනවා. ඕක කියලා ඉවර වුනා විතරයි අපේ කටවල් වලින් මහ සද්දෙට පැන්න හිනාව රොටි කඩේ වීදුරුත් දෙදරවලා දැම්මා.

දැන් කට්ටියම බඩවල් අල්ලගෙන කැහැ කැහැ හති දදා හිනා වෙනවා. මේ අවු අස්සේ අපේ රොටි කඩේ ගෑණු ළමයා දුවගෙන ඇවිල්ලා කියනවා මැඩම් හිනාව වුට්ටක් අඩු කරන්න, අනිත් අයට කරදරයි කියලා අපේ හිනාවෙන්. ඔන්න අපිට වෙච්ච දේ ලාවා කේක් කන්න කියලා. යන්තම් කඩවතින් ගුටි නොකා එන්න ආවා ලාවා කේක් කාලා.

KB 2020.10.16

ගුරු වෘත්තියේ අත්දැකීම් 03

     බර්ටියා වෘත්තීයෙන් ජීව විද්‍යා ගුරුවරයෙක් කියලා බර්ටියගේ බ්ලොග් එක      කියවන අය නම් දන්නවා. ජීව විද්‍යාවට අමතරව සාමාන්‍ය විද්‍යාව, තොරතුරු      තාක්ෂනය හා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයනුත් බර්ටියා වැඩ කරන      ජාත්‍යාන්තර පාසලේ උගන්නනවා. අඩු ගානේ පීරියඩ් 30ක් වත් තියෙන්න      ඕනනේ. ඒකයි ඔච්චර විෂයන් ගොඩක්. බර්ටියා වැඩිපුරම කැමති කෙම්බ්‍රිජ්      විභාගය සඳහා ජීව විද්‍යාව උගන්නන්න. බර්ටියාට අද ඕනම පන්තියක් පාලනය      කරගැනීමේ හැකියාව තිබ්බත් බර්ටියා උගන්නන් පටන් ගන්න කාලේ ඒක එහෙම      වුනේ නෑ. අද කියන්න යන්නේ ඒ ගැන විස්තරයක්.

     බර්ටියා ගුරුවරයෙක් වෙන්න හිතාගෙන හිටපු එකෙක් නෙවෙයි. ඒත් රස්සාවක්      නැතුව වේලි වේලි ඉන්න කොට ලකියා තමයි ඒ දවස් වල ලකියා උගන්නපු      දෙමටගොඩ තිබ්බ ජාත්‍යාන්තර පාසලක උගන්නන්න සෙට් කරලා දුන්නේ. ඒ      උදව්ව බර්ටියට හැමදාටම මතක තියෙනවා. ලකියා ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට      කතා කරලා විස්තරය කියලා බර්ටියට කිව්වා ගිහින් ප්‍රින්සිපල්ව හම්බවෙන්න      කියලා. හැබැයි මැඩම් එක්ක කතා නොකර ප්‍රින්සිපල් සර්වම හම්බවෙන්න කියලා      තමයි ලකියා වගේම ශාමිනිත් බර්ටිට උපදෙස් දුන්නේ. ඒ දවස් වල බර්ටියගේ      විවෘතයේ යාලුවෝ 10 විතර එතන වැඩ කළා.

     බර්ටියත් 2007 දෙසැම්බර් මාසේ සෙනසුරාදා දවසක උදේම සහතික ටිකත්      උස්සගෙන දෙමටගොඩ තිබ්බ මේ කියන ජාත්‍යාන්තර පාසලට ගියා. ඒ තට්ටු තුනක ගොඩනැඟිල්ලක්. ගාමන්ට් එකක් ඉස්කෝලයක් කරලා. බර්ටියගේ වෙලාවට ප්‍රින්සිපල් සර්ම හිටියා. පරණ වාසනාවක් තිබිලා බර්ටියට රස්සාව හරි ගියා. මාසෙකට රුපියල් 9,000.00 දෙන්නම් කිවුවා, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් මුකුත් නැතුව. . බර්ටියත් හා කිවුවා කීයක් හරි ලැබෙනවානේ කියලා හිතලා. ජනවාරි මාසේ පළවෙනිදා ස්ටාෆ් මීටින් එකක් තියෙනවා ඒකට එන්න පිනා කිවුවා

බර්ටියත් ඉතින් ජනවාරි මාසේ පළවෙනිදා ගියා ස්ටාෆ් මීටින් එකට ගියා. අපේ කට්ටියෙන් ලකියා, හීරා අයියා, ලාංකි නංගි, ශාමිනී, චාමිනී, චින්තා කට්ටිය හිටියා. අවුරුද්දේ පළවෙනිදා නිසා පිනා හැමෝටම රුපියල් 100 ගානේ බෙදුවා. ඊට පස්සේ හැම ස්ටාෆ් මීටින් එකකම අද දක්වාම අහන බයිලා ටික කිවුවා. ඒ බයිලා සදාකාලිකවම සමානයි ඉතින්. මුළු මැනේජ්මන්ට් එකම පිනයි පිනාගේ වයිෆයි නිසා දැන් වගේ ටොප් මැනේජ්මන්ට් එකෙන් එන වැල් බයිලා නෑ. ඒක නිසා ස්ටාෆ් මීටින් එක වැඩිම වුනොත් පැය භාගයයි. දැන් වගේ වැල් දුවන්නේ නෑ.

බර්ටියට හම්බවුනේ හය, හත, අට, නවය පන්ති වලට විද්‍යාව උගන්නන්න. ඒ ඉස්කෝලේ මුස්ලිම් නිසා මුල් දවස් වල ගෑණු ළමයි පිරිමි ළමයි වෙන්කරලා තිබ්බේ. ඔන්න ඉතින් ගේම. ඒ දවස්වල දැන් වගේ කඩ්ඩත් බෑ. බර්ටියා හරිම අමාරුවෙන්
තමයි ගේම ගහගත්තේ. හරියට අච්චු පොතක් වත් තිබ්බේ නෑ ඉස්කෝලෙන් දීලා. ඉන්ටර්නෙට් එකත් නෑ අද වගේ. ඒ දවස් වල බර්ටියට කොම්පියුටර් එකකුත් තිබ්බේ නෑ.

විෂය කරුණු දැනගෙන හිටියට ඉංශ්‍රිසි දැනුම අඩු නිසා එක දිගටම උගන්නගෙන
යන්න බෑ. සැරෙන් සැරේ පොත බලන්න ඕන වචන මතක කරගන්න. ළමයි අමතර ප්‍රශ්න ඇහුවට උත්තර දී ගන්න බෑ. බර්ටියට හොදට මතකයි නවය වසරේ පන්තියේ (නවය වසරේ ගෑණු ළමයි ඉන්න පන්තිය බර්ටියට තිබ්බේ) ගෑණු ළමයින්ට සිංහලෙන් පාඩම විස්තර කරලා දුන්නා. එක ගෑණු ළමයෙක් හිටියා ඒ ළමයට සිංහලත් බෑ. හිතාගන්නකෝ බර්ටියා වැටිච්ච අමාරුව. ආරම්භය ලැජ්ජා සහගතයි තමයි. ඒත් ඒවා කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ.

ගෙදර ගිහිල්ලා පහුවදාට කරන්න තිබ්බ පාඩම දහ සැරයක් විතර බලනවා. සමහර වචන වල තේරුම ඉංශ්‍රීසි සිංහල ශබ්ද කෝෂයෙන් බලලා පැන්සලෙන් අච්චු පොතේ ලියාගන්නවා. හරියට සටහනක් දෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ. අලුතෙන් දෙයක් දෙන්න වචන දන්නේ නෑ. හරියට ගලපලා ඉංශ්‍රීසි ටික ලියගන්න බෑ. අච්චු පොතේ තිබ්බ සටහනම යන්තම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි දෙන්නේ. අච්චු පොතක් නැති වුනොත් උගන්න ගන්න බෑ. හරිම දුක්බරයි ඉතින් ආරම්භය.

     හතේ පන්තියට උගන්නන්න බර්ටියට අච්චු පොතක් තිබ්බේ නෑ.      පන්තියේ ළමයෙක්ගේ අච්චු පොතකින් තමයි පාඩම කළේ. එක      සැරයක් අමතර පන්තියක් දැම්මා හතේ පන්තියේ විෂය නිර්දේශය      (Syllabus) එක ආවරණය කරගන්න. කරුමේ කියන්නේ එදාම අර      අච්චු පොත තියෙන ළමයා ඉස්කෝලේ ආවේ නෑ. පන්තියටම එක      අච්චු පොතයි තිබ්බේ. බර්ටියට ඉතින් අමතර පන්තිය කැන්සල්      කරන්න සිද්ධ වුනා එදා. මෙන්න ටිකකින් පිනා එනවා බර්ටියව      හොයාගෙන. ඇවිල්ලා බර්ටියට දෝස් මුරයක් දාලා ගියා එහෙම පන්ති      කැන්සල් කරන්න බෑ කියලා.

     ඒ ළමයි පන්ති කියලා ආවහම පන්ති කැන්සල් කලොත් හවස්      වෙනකම් යන්න විදිහක් නැහැයිලු. අපිට වගේ බස් වල ගිහිල්ලා      පුරුද්දක් නෑ ඒ ළමයින්ට. වැඩි හරියක් ළමයි ඉස්කෝලේ ඉන්නේ      ත්‍රී වීල් එකේ. අන්තිම ශෝචනීයයි ඒ දවස් වල තත්වය. කොහොම      හරි පිනා ගිහිල්ලා විද්‍යාව කරන ගෞරි ටීචර්ට කියලා තිබ්බා බර්ටියට      අච්චු පොතක් හොයලා දෙන්න කියලා. පහුවදා ගෞරි ටීචර් අච්චු පොතක් ගෙනල්ලා දුන්නා. යන්තම් අච්චු පොත් ප්‍රශ්නේ විසදිලා බර්ටියට හුස්මක් කටක් ගන්න පුළුවන් වුනා.

පිරිමි ළමයිගේ විනය අන්තිම සවුත්තුයි. පන්තියකට වේවැලක් අරන් යන්නේ නැතුව උගන්නන්න බෑ. අත දිග ඇරලා වේවැල පාවිච්චි කරන්න අපිට අවසර තිබ්බා. පොඩ්ඩක් එහා මෙහා බැලුවොත් වලියක්. බර්ටියට මුල් කාලේ පිරිමි ළමයින්ගේ පන්ති පාලනය කරගන්න බෑ. මාරම සද්දෙයි. අහල පහල පන්ති වල අයත් උගන්නන්නේ අමාරුවෙන්. බර්ටියා දෙතුන් සැරයක්ම බැනුම් අහලා තියෙනවා ප්‍රිනාගෙන් පන්තිය කොන්ට්‍රොල් නෑ කියලා.

එක සැරයක් පොර ස්ටාෆ් මීටින් එකකදිත් ඔය කතාව කියලා බර්ටියව නැති නාස්ති කරලම දැම්මා. එහෙම හිටපු බර්ටියා අද වෙනකොට ක්ලාස් කොන්ට්‍රොලින් වලින් හොදම තැනක ඉන්නවා කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ අර ලබපු අමිහිරි අත්දැකීම් වල ලද පන්නරය.

මොනවා වුනත් පිනා බර්ටිගේ උගැන්නිල්ලට වචනයක් කිව්වේ නෑ. පොර කිව්වේ බර්ටියා හොදට උගන්නනවා කියලා. පොර සමහර වෙලාවට ඇවිල්ලා උගන්නනවා බලන් ඉන්නවා. පොර කෙළින්ම කියනවා ළමයි අඩුවෙන් ළකුණු ගත්තට කමක් නෑ බර්ටියා උගන්නන විදිහ හොදයි කියලා. ඒ අතින් බර්ටියට යම් වාසනාවක් තිබ්බා.

පිනා නිතරම ලෙසන් ප්ලෑන් ලියන්න කිවුවත් අපි කවුරුවත් ඕවා
ලියන්න උනන්දු වුනේ නෑ. අපිට තිබිම ලොකුම ප්‍රශ්නේ තමයි වෙලාවට පඩි හම්බවෙච්ච නැති එක. දහවෙනිදට තමයි පඩි හම්බ වෙන්න තිබ්බේ. ඒත් ඕක ගන්න සෑහෙන දුකක් විදින්න වුනා. ළමයින්ගෙන් සල්ලි හරියට එකතු වුනේ නැතිවුනහම පඩි හම්බවෙන්න පරක්කුයි. පිනා තව එක එක බිස්නස් කරනවා. ඒවා නිතරම පාඩුයි. කෙළවෙන සීන් තමයි තියෙන්නේ. ඉතින් අපිට පඩි නෑ.

එක සැරයක් පොර මට්ටක්කුලියෙන් ඉඩම් අක්කර දෙකක් අරන් තිබ්බා ඉස්කෝලේ තිබ්බ බිල්ඩින් එක උගස් කරලා. අන්තිමට බලනකොට මට්ටක්කුලියේ ඉඩම ආණ්ඩුවේ එකක්. විකුණපු එකයි පිනාගේ ලෝයර්කාරයයි එකතු වෙලා පොරට ගේමක් දීලා. ඉතින් පඩි ලැබුණේ
නෑ අපිට වෙලාවට.

සමහර මාස වල රුපියල් 5000 විතර ලැබෙනවා. සමහර වෙලාවට චෙක් ලියලා දෙනවා. අපි ඉතින් ඉස්කෝලේ ඇරුණ ගමන් ළඟ තියෙන මහජන බැංකුවට දුවනවා චෙක් එකෙන් සල්ලි ටික ගන්න. පරක්කු වුනොත් එකවුන්ට් එකේ සල්ලි නැතිවෙන්න පුළුවන් නිසා. හැබැයි දැන් බර්ටියා වැඩ කරන ලොකු නමක් තියෙන ඉස්කෝලේ වගේ නෙවෙයි මිනිහා කවදාවත් අපිට හම්බවෙන තුට්ටු දෙකට විද්දේ නෑ එහෙම වුනා කියලා. අන්තිම සතේට සල්ලි බේරුවා පරක්කු වෙලා හරි. දැන් එවා ගැන කතා නොකර ඉමු ඉතින්.

එක ඇවිල්ලා මුස්ලිම් ඉස්කෝලයක්. සිංහල ස්ටාෆ් එක 15ක් විතර හිටියේ මුළු ඉස්කෝලෙටම. පොර සල්ලි හම්බවුනාහම ඉස්සෙල්ලම සල්ලි බේරුවේ සිංහල ස්ටාෆ් එකේ. පොර හැමදාම කියන්නේ සිංහල ටීචර්ස්ලා මුස්ලිම් අයට වඩා හොදට උගන්නනවා කියලා. පොරගේ කටේ හැම ස්ටාෆ් මීටින් එකකම කියන තව දෙයක් තිබ්බා. උගැන්වීම කියන්නේ ශුද්ධ වු රැකියාවක් (Teaching is a Holy Job) කියන එක. ඒක නම් බර්ටියා හැමදාටම පිළිගන්න දෙයක්.

වෙලාවට පඩි ගෙවන්නේ නැති නිසා අපි දෙයියනේ කියලා නිවාඩු ගත්තා. කැම්පස් එකේ විභාග වලට, ප්‍රැක්ටිකල් වලට යන්න, පරක්කු වෙලා ඉස්කෝලේ එන්න අපිට කිසිම කරදරයක් තිබ්බේ නෑ. සමහර වෙලාවට අපි කෝල් එකක්වත් දුන්නේ නෑ. අපෙත් වැරදි තමයි ඒවා. පොර ඉතින් ඒවට බර බරේ දැම්මට අපි ගණන් ගත්තේ නෑ. හැබැයි පොර කවදාවත් බර්ටියට වචනයක්වත් කිව්වේ නෑ නිවාඩු ගැන. බර්ටියා හවස පන්ති දාලා හරි විෂය නිර්දේශය ආවරණය කළා. පොර ඒක ගැන සැටිස්. පොර බර්ටියට කිව්වේ නිවාඩු ගත්තට ඔයා සිලබස් එක පන්ති දාලා කවර් කරන නිසා අවුලක් නෑ කියලා. ඔය නිවාඩු ප්‍රශ්නෙට වැඩිපුරම බැනුම් ඇහුවේ අපේ චින්තා තමයි.

     ඉගැන්වීම ගැන බොහොම දේවල් දැනගත්තේ මේ ඉස්කෝලේ ගෙවුන      අවුරුදු දෙක ඇතුලේ තමයි. අවුරුද්දක් විතර යනකොට ක්ලාස්      කොන්ට්‍රොලින් හදාගෙන සුද්දා වගේ උගන්නන්න බර්ටියාට      හැකියාවක් ලැබුණා. බර්ටියා ඒ තත්වෙට එන්න ගොඩක් මහන්සි      වුනා. එක සැරයක් 9 පන්තියේ රොෂානලා අපේ ශාමිනි එක්කද      කොහෙද කියලා තිබ්බා බර්ටියා ඉංශ්‍රීසි කතා කරන්නේ සුද්දෙක් වගේ      කියලා. ඒ වෙනකොට එක සිංහල වචනයක් පාවිච්චි කළේ නෑ බර්ටියා      උගන්නන්න.

     අපිත් එක්ක උගන්නපු හිරා නැත්තම් හිරෝෂ් අයියා බර්ටියට ලොකු      උදව්වක් වුනා උගන්නන වැඩ වලට. බර්ටියා විතරක් නෙවෙයි අනිත්      සෙට් එකත් නොදන්න වචනයක් අහගන්න මොනවා හරි උදව්වක්      ඉල්ලගන්න හිරා ගාවට තමයි දුවගෙන ගියේ. හිරා අපි හැමෝටම උදව්      කලා, උපදෙස් දුන්නා. සමහර වෙලාවට ජීවිතෙත් කියලා දුන්නා. බර්ටි උඹ මෙහෙම කරපන් කියලා කිව්වේ හිරෝෂ් අයියා. ඒ දේවල් හැමදාටම මතකයි.

අද වෙනකොට බර්ටියා ඉන්ටර්විව් එකකට ගියොත් ඕනම තැනකින් පාඩමක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකට එකම විනාඩියකවත් පෙර සුදානමක් අවශ්‍ය වෙන්නේ නෑ. එතනට එන්න බර්ටියා සෑහෙන කට්ටක් කෑවා. අද වෙනකොට නම් තත්වය ලේසියි. ඉන්ටර්නෙට් තියෙනවා. ඕන තරම් උගන්නන්න ඕන කරන විඩියෝස් නෝට්ස් හොයා ගන්න පුළුවන්. එක ලොකු වාසියක් වගේම පහසුවක්. කාලය ඉතුරු වීමක්.

ඔන්න ඔහොම දුක්බර, ශෝචනීය ආරම්භයක් තමයි බර්ටියට තිබ්බේ. බර්ටියා අද ඉන්න තත්වෙට ඉන්න ගොඩක් දුක් වින්දා. මහන්සි වුනා. තවත් ඉතින් දුක් කරදරවල නම් අඩුවක් කියලා නෑ. පටන් ගන්න කොට ප්‍රශ්න ඇති වෙනවා. ක්ලාස් එක කොන්ට්‍රොල් කරගන්න බැරිවෙනවා. උගන්නන්න අමාරුයි. සද්දේ වැඩියි. ඒවා අවුලක් කරගන්න එපා. ඒවා හදාගන්න පුළුවන් තමන්ගේ උත්සාහයෙන්. හැබැයි උගන්නන්න පටන් අරන් අවුරුද්දක් ගියාට පස්සෙත් ඒ දේවල් එහෙම්ම නම් අන්න එතන අවුලක් තියෙනවා. එතන තියෙන්නේ ඒ ගුරුවරයගේ වැරැද්දක්. ඒක හදාගන්න බැරි නම් එයා හොද ගුරුවරයෙක් වෙන්නේ නෑ.

අනික කවුරු හරි හිතනවා නම් මේක පැය හයේ රස්සාව. මාස තුනක් නිවාඩු. එක හන්දා උගන්නන එක මාර ලේසියි කියලා, ඒ හිතන අයට ලොකු වැරදීමක් වෙලා. ඒ පැය හය කවර් කරන්න වෙන මහන්සිය දන්නේ ගුරුවරු විතරයි. අනිත් එක සමහරු හිතනවා උපාධියක් තිබ්බ පළියට උගන්නන්න පුළුවන් කියලා. ඒකත් ලොකු වැරදීමක්. උපාධි නැති මිනිස්සු උපාධි තියෙන අයටත් වඩා හොදින් උගන්නනවා බර්ටියා අනන්තවත් දැකලා තියෙනවා. උගැන්වීම කියන්නේ උපතින්ම ගෙන එන්න ඕන හැකියාවක් (Born Talent) කියලයි බර්ටියා හිතන්නේ. උපාධිය එකට උදව්වක් වෙනවා.

KB 2020.10.12