ලේබලුත් ගැහුවා

Showing posts with label චාරිකා. Show all posts
Showing posts with label චාරිකා. Show all posts

බත්තලංගුන්ඩුව 03

ගිනි මැළය
අපි සෙට් එක කෑම්ප් එකට එනකොට වටෙන් පිටෙන්ම අදූර ගලාගෙන එනවා. දැන් තමයි අමාරු වැඩ ටික තියෙන්නේ. රෑට කෑම හදන්නත් ඕන. ඒ ඇරුනහම දවල් ගත්ත මාළුයි කකුළුවොයි හදන්නත් ඕන. කට්ටිය බාබකියු එකක් දාන කතාවකුත් තිබ්බා. ඒකට මොනවා වෙනවද දන්නෙත් නෑ. බෝතල් හතරකුත් තිබ්බා. ඒකත් ඉවර කරලා දාන ප්ලෑන් එකක් තමයි කට්ටියට තිබ්බේ. ඔය අස්සේ අපේ බෝට්ටුවේ වැඩ කරපු දෙන්නා අපේ උදව්වට ආවා.

උයන කරන වැඩ වලට ඒ දෙන්නා පට්ට සපෝට් එකක් දුන්නේ. කකුළුවෝ ටික උයලා අරගෙන, පොඩි මාළු ටික බැදලා, ඒ ඇරණහම දවාලේ ගත්ත තඩි මාළුවා බාබකියු දාන එකේ වැඩ වලින් වැඩි හරියක් කලේ මේ දෙන්නා තමයි. රෑට කෑම උයන කටයුතු වලින් වැඩි හරියක් කරට අරන් කලේ පුයිමා කිව්වොත් ඒක වැරදි නෑ. අනිත් කට්ටිය පුලුවන් විදිහට සපෝට් එකක් දුන්නා. බාබකියු දාන්න ඕන කරන අඟුරු අපි අරන් ගිහිල්ලා තිබ්බා. ඒකට ඕන කරන තැටිය තිබ්බේ බෝට්ටුවේ. බෝට්ටුවේ වැඩ කළ අයියලා දෙන්නාගෙන් එක්කෙනෙක් ගානට වැල්ලේ තැනක් සෙට් කරලා මාළු ටික බාබකියු දාන්න පටන් ගත්තා. අරන් ගිහිල්ලා තිබ්බ බාබකියු සොස් එක ගාලා වැඩේ කරන කොට හොද සුවදක් එනවා. ඒ සුවදත් එක්ක කිසි අවුලක් නැතුව පාන් බාගයක් කන්න පුළුවන්.

අනිත් බෝට්ටුවේ අයියා මාළු ටික බදින්න ගත්තා. ඔය අස්සේ අපි පොඩි ගිනි මැළ කෑල්ලකුත් ගහගත්තා. වෙනදා කැලේ ඉන්න කොට ගහන එක වගේ ලොකු එකක් නෙමෙයි. අපිට කෑළෑ සත්තු ගැන බය වෙන්න දෙයක් තිබ්බේ නෑ බත්තලංගුන්ඩුවෙදි. අපේ කයිවාරු කාරයා කළුකුවෝ උයන්ම් කියලා ගත්තට අන්තිමට පොර පැත්තක් අල්ලන් නිදි. අර බොට්ටුවේ අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඒකත් හදලා ගත්තේ. කොහොමත් බත් කාලත් ඉවර වුනාට පස්සේ තමයි කකුළුවෝ එක උයලා ඉවර වුනේ. එහෙම කියලා ඒක ඉතුරු වුනේ නෑ. පහුවදා මලිතයයි කයිවාරුවයි ඒක ඉවර කලා එක කකුළුවෙක් ඉතුරු වෙන්නේ නැති වෙන්න.

කඳවුරු බිම

ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපි ලොකු පොලිතින් එකක් වැල්ලේ එළලා එකේ සෙට් වෙන්න ලෑස්ති කලා. දැන් රෑ 8.00 විතර ඇති. ගිනි මැලයත් ඇවිලෙනවා. මහා එළියක් එකෙන් ආවේ නැතත් අපි අරන් ඇවිල්ලා තිබ්බා චාර් කරන බල්බ් වලින් අපිට ඇති තරම් එළිය තිබ්බා. අපි ඒවා දෙකක් එල්ලලා තිබ්බේ. පරණ අරක්කුත් අරන් අපේ වැඩේ පටන් ගත්තත් බර්ටියට එක ෂොට් එකෙන්ම පරණ අරක්කු එපා වුනා. ගත්ත ෂොට් එකේ ඉතුරු ටිකත් බිමට හලලා බර්ටියා මාළුවෙක් බඩට දාගෙන ෂේප් වුනා. වැඩේ දරුණුවටම නැතත් නැගලා ගියා. රෑට කාලා ටිකක් වෙලා ඉදලා 10.00 විතර බර්ටියා ෂේප් එකේ කුඩාරමකට රිංගුවා නින්දක් දාන්න කියලා හිතාගෙන.

අම්මෝ වැල්ලේ නිදියන එකත් සෙල්ලම් නෑ. කොදු අතපය ඔක්කොම රිදෙනවා. ඒ මදිවට යන එන පාරට වැලි තට්ටු ගණන් කූඩාරම ඇතුලේ. බෑග් එක ඔලුවට තියාගෙන බර්ටියා ඇතුලට වෙලා හිටියා. හරියට නින්ද ගියේ නැතත් නින්ද යනවා එනවා. බර්ටියා එක පාරක් ඇස් ඇරලා බලනකොට මලිතයත් ඇවිල්ලා බුදි. ඔය අස්සේ එළියෙන් සද්දේ ඇහෙනවා. අපේ පොට් එකට ගමේ පොරක් ඇවිල්ලා. අපේ එකෙක් පොරත් එක්කත් බොන්න සෙට්වෙලා. මිනිහා සින්දු කියනවා කියලා බෑගිරි ගහනවා මෙලෝ රහක් නෑ. ඒ අස්සේ මිනිහා මිනිහගේ පුරාජේරුවත් කියෝනවා. බලනකොට පොර මීගමුව පැත්තේ පොරක්. බර්ටියා ඊළග පාර ඇස් ඇරලා බලනකොට නිලූකයත් ඇවිල්ලා බුදි.

ආයි පාරක් බර්ටියා ඇහැරිලා වෙලාව බලනකොට දෙකට විතර ඇති. එලියේ සද්ද ඔක්කොම නැවතිලා. නින්ද යන්නෙත් නෑ. බර්ටියා ටොච් එකත් අරගෙන බොහොම අමාරුවෙන් එළියට රිංගුවා. ගිනි මැළයත් නිවිලා ගිහිල්ලා. සීතල සුලං පාරක් එනවා මුහුදු පැත්තේන්. අපේ එවුනුත් නිදි කුඩාරම් ඇතුලට වෙලා. කයිවාරු බුවා නම් අර පොලිතින් එක උඩම දොයි. බර්ටිය නින්ද යන්නෙත් නැති නිසා පොඩ්ඩක් මුහුද පැත්තට ඇවිදගෙන ගිහිල්ලා මග තිබ්බ ලී කොටයක් උඩට වෙලා අහස දිහා බලන් හිටියා. වැඩි වෙලා ඉන්නත් බෑ නිදිමත්ත් එනවා. ඔහොම ටිකක් වෙලා ඉදලා ආයෙමත් කූඩාරම ඇතුලට රිංගුවා.

නිදාගෙන ඉන්නකොට කූඩාරමේ රෙද්ද යටින් මොක්කුද මන්දා යනවා. සර්පයෝද දන්නේත් නෑ. බලනකොට පොඩි පොඩි සයිස් වල කකුළුවෝ වැල්ල අස්සෙන් රින්ගලා යනවා හතර අතේ. නූල් බදින්න වෙන වැඩ තමයි ඒවා. පහුවදා නිලූකයා ඉදන් කිව්වා රෑ වැල්ලේ කකුළුවෝ හිටියලු තවන් දාලා වගේ. අපරාදේ බර්ටියට ඒ සීන් එක බලා ගන්න බැරිව ගියා ඉතින්.

පාන්දර 4.30 විතර බර්ටියා ආයෙත් එළියට රිංගුවා අරක ඇතුලේ ඉන්න බැරිම තැන. ටික වෙලාවකින් මලිතයත් ඇවිල්ලා යමන් කිව්වා. බර්ටියත් ටෝච් එකත් අරන් ගියා වෙරළ පැත්තට. මෙහේ ඉතින් ටොයිලට් නෑනේ. උදේ පොළොවට එළියට වැටෙන්න කළින් අත්‍යාවශ්‍ය රාජකාරි ඉවර කරගන්නත් ඕනනේ. තරමක් එහාට වෙන්න පදුරු සහිත ප්‍රදේශයකට ස්ථාන ගත වෙච්ච අපි දෙන්නා ඒ කටයුත්තත් ඉවර කරගෙන මුහුදට බැස්සා ඔපරේශන් එකේ දෙවෙනි කොටස සිද්ධ කරගන්න. ඒ වේලාවේ දැනුන සැහැල්ලුව නම් කියලා නිම කරන්න බෑ. මතක තියාගන්න මුහුදු වතුරෙන් හොදන කොට පරෙස්සම් වෙන්න. වැඩේ ගානට සෙට් වුනේ නැත්නම් වැල්ලෙන් තමයි හෝදන්න වෙන්නේ.

ආපහු හැරේන් ........

හය විතර වෙනකොට එකා දෙන්නා නැගිටින්න ගත්තා. වැඩ ගොඩක් තියෙනවා ඉවර කර ගන්න. උදේට කන්න හදන්නත් ඕන. කෑම්ප් එක අස්කරන්නත් ඕන. අපිට යන වෙලාව ගැන ගැටළුවක් තිබ්බේ නෑ අපි බොට්ටුවක් හයර් එකට අරන් තිබ්බ නිසා. මේ වෙනකොට අපි ගෙනාව වතුර ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. යන්තම් උයන්න විතරයි වතුර ඉතුරු වෙලා තිබ්බේ. මොනා නැතත් අපි ගෙනාපු එක බෝතලයකුයි සෝඩා ලීටරේ බෝතල් 4 කුයි ස්ප්‍රයිට් බෝතල් 2 කුයි ඉතිරි වෙලා තිබ්බා. අපි ඉතින් උදේට දත් මැදලා සෝඩා වලින් තමයි මූණ කට හෝදා ගත්තේ.

ඔය වැඩ ටික ඉවර කරලා අපි පුයිමලා උයද්දී අපි කූඩාරම් ටික ගලවන්න ගත්තා. ඒවා ගලවන එක නම් ගේමක් නෙමෙයිග ඒත ඒවා පැක් කරලා අර පුංචි ඒවා දාලා තිබ්බ මල්ලට දාන්න පුළුවන් වෙන සයිස් එකට නමාගන්න එක නම් පට්ටම ගේමක්. අම්මෝ ඒකට විදපු දුකක්. සමහර කූඩාරම් දෙතුන් සැරය දිගඇරලා ආපහු නවන්න සිද්ධවුනා බෑග් වලට දාගන්න පුළුවන් වෙනකම්.

ඔය වැඩ අස්සේ අර ගමේ බුවා ආපහු ඇවිල්ලා හිටියා. පොර කියවනවා කියවනවා ඉවරයක් නෑ. පොරගේ ජීවිතේම එකම දුක් සීන් එකක්. ඇත්තටම මිනිස්සුන්ටත් වෙන දේවල්. පොර එක්තරා දවසක පොරගේ ගෑනීව දාලා ඇවිල්ලා වෙන ගෑනියෙක්ට සෙට්වෙලා. මිනිහා ඒ ගෑනිත් එක්ක එකතුවෙලා හොදට හම්බකරලා. යාන වාහන ඉඩම් කඩම් හැමදෙයක්ම අරගෙන. අන්තිමට ඒවා ඔක්කොම අර ගෑණියි ළමයිනුයි අරන් පොරව අත ඇරලා දාලා. මිනිහා මෙහේ ඇවිල්ලා ආයේ මාළු අල්ලනවා. මිනිහගෙන් තමයි සමහර විස්තර දැනගත්තේ දූපත ගැන.

බෝට්ටුවට නගින ගමන්

මේ දූපත අයිති වෙන්නේ මීගමුව චන්ද බල ප්‍රදේශයට. විශ්වාස කරහන්කෝ ඉතින්. අපිත් මුලදී විශ්වාස කළේ නෑ. ඒ වගේම දූපතේ සියලුව ඡන්දේ වැටෙන්නේ මීගමුවේ නම ගිය කුඩු ගෙන්නන පොරකට කිව්වහමත් විශ්වාස නැතුව ගියා. සමහර විට ඒවා එන්නෙත් මේ හරහා වෙන්න පුළුවන් ඉතින්. පහුගිය කාලේ සම්පූර්ණ දූපතම හෝටලයක පවරාගන්නවා කියලා කතාවකුත් තිබ්බලු. ඒ වෙනකොට නම් ඒ කතාව යට ගිහිල්ලා තිබ්බේ. කොයිම වෙලාවක හරි ඒක ආයෙත් එන්න පුළුවන් ඉතින්.

උදේටයි දවල්ටයි දෙකටම අපි නූඩ්ල්ස් හැදුවා. නූඩ්ල්ස් මදිවෙයි කියලා හාල් ටිකකුත් ලිපේ තිබ්බා. මූද පැත්තෙන් එන හුළගත් එක්ක උයන වැඩේ කරන එක ලේසි වුනේ නෑ. බොට්ටුවේ අයියලා දෙන්නා මාර සපෝට් එකක් දුන්නා ඒ වෙලාවෙත්. ඊළගට අපි උදේට කෑවා. උදේට බොන්න තේ තිබ්බෙත් නෑ ඉතින්. ඔය වෙලාවේ තමයි මලිතයයි කයිවාරුවයි කකුළුවෝ ටික කාලා ඉවර කලේ. ආයේ මූදේ නාන්න හිතුනත් හොද වතුර ටිකක් හොයාගන්න සෑහෙන්න දුරක් යන්න වෙන නිසා ඒ අදහස අත ඇරලා දැම්මා හිතුන පරක්කුවටම.

කෑම කාලා ඉවර වෙලා අපි කූඩාරම් ගහලා තිබ්බ තැන සුද්ධ කරලා දැම්මා. අපි පස්සෙත් තව අය මෙතනක එනකොට ඒක පිළිවෙලට පිරිසිදුවට තියෙන්න ඕන නිසා. ඔය වැඩ ටික ඉවර කරන කොට එකොළහට විතර ඇති මතක විදිහට. අපි බඩු ටිකත් කරගහගෙන ගියා බෝට්ටුව නවත්තලා තිබ්බා තැනට. අර පොඩි ඉනිමං කෑල්ල දිගේ බොහොම බයෙන් බයෙන් නැගලා යන්තම් බෝට්ටුවට පය ගහගත්තා. බඩු ටික ඔක්කොම පටවලා අපේ සෙට් එකත් නැගගත්තා බොට්ටුවට.

දැන් ඉතින් ආයෙමත් පැය තුනක දිග ගමනක් කල්පිටිය බලා. නැංගුරමත් අරන් බෝට්ටුව ඇතුලට දාගත්ත අපි ගමන පටන් ගත්තා. වැඩි වෙලා ඉන්න නම් හම්බවුනේ නෑ එකා දෙන්නා බංකු උඩ නිදියන්න පටන් ගත්තා. බර්ටියත් ඇලට් එකක් දැම්මා. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා සෑහෙන වෙලාවකට පස්සේ ඈතින් කල්පිටිය වරාය පේන්න ගත්තා. අපි ටිකෙන් ටික ගමනේ අවසානය කිට්ටු වෙනවා. දුකකුත් දැනනෙවා ඉතින්. මේ ගමන අමතක නොවන ගමනක් වුනා අපි වින්ද චමත්කාරයත් එක්ක.

කල්පිටියේ වරායේ බෝට්ටුව නැංගුරුම් දැම්මට පස්සේ අපේ වාහන දෙකත් ඒ ළගටම ගෙනල්ලා බඩු ටික පටෝ ගත්තා. ඩොල්පින් වාඩිය බෝට්ටුවේ අයිතිකාරයාටයි අපිට උදව් කරපු අයියලා දෙන්නයි ස්තූති කරලා ගණදෙනුත් පියවපු අපි ආපහු එන්න පටන් ගත්තා ගම් බිම් බලා ආයෙත් පාරක් මේ වගේ ගමනක් යන බලාපොරොත්තුවෙන්.

බර්ටියා ගමන් සගයා සමග
බත්තලංගුන්ඩුව වෙරළ
කල්පිටිය ධීවර වරාය ඇතුලත

බත්තලංගුන්ඩුව 02

කඳවුරු භූමිය
ගොඩ බිම ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා යනවා. කල්පිටිය වරායත් අපෙන් ඈත් වෙනවා. හිතට පොඩි බයක් එක්කම අමුතු කික් එකකුත් ආවා. බර්ටියා ජීවිතේ පළවෙනි පාරට තමයි මෙහෙම මුහුදු ගමනක් යන්නේ. තව ටිකක් දුර යනකොට බොට්ටුවේ වැඩ කරපු දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිල්ලා අපිට දාගන්න කියලා ලයිෆ් ජැකට් දුන්නා. තව පොඩ්ඩක් ඉස්සරහින් නේවි එකෙන් සමහර වෙලාවට චෙක් කරලා බලනවලු ලයිෆ් ජැකට් දාලද කියලා. ඔය යන ගමන් අපි උදේට කෑම කෑවා. පරාටායි රෝල්ස් වගයකුයි පැටිස් වගයකුයි තමයි කන්න අපි අරගෙන තිබ්බේ.

ටික ටික මුහුදේ ගැස්සිල්ල වැඩිවෙනවා අපි ගැඹුරු මුහුදට යනකොට. අපේ පැත්තකින් විල්පත්තු පේනවා. අපි ටිකක් වෙලා කයිවාරුවක් ගහගෙන හිටියත් ඒකත් එපා වෙලා ගියා. යනවා යනවා ඉවරයක් නෑනේ. කට්ටිය බොට්ටුවේ ගහලා තිබ්බ බංකු උඩට වෙලා සැපට නිදි. බර්ටියත් බංකුවකට වෙලා පොඩි නින්දක් දැම්මා. ඔහොම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ අපිට මූද මැද්දෙන් සෙල් ටවර් එකක් පේන්න ගත්තා. ඔව් ඒ තමයි අපේ ගමනාන්තය වන බත්තලංගුන්ඩුව දූපත.

තවත් පැයක විතර ගමනකින් පස්සේ අපි බත්තලංගුන්ඩුවට කිට්ටු වුනා. කොහොමත් ඒ වෙනකොට දහයමාරට එකොළහට විතර ඇති. ඒ පැත්තේ කිසිම වරායක් ජැටියක් ඇත්තේ නැහැ. අපේ බෝට්ටුව වෙරලට බොහොම කිට්ටු කරලා නැංගුරම් දැම්මා. ඊළගට බෝට්ටුවේ වහලේ උඩ දාලා තිබ්බ ඉනිමඟක් අරන් බෝට්ටුවේ ඉස්සරහා පැත්තට සෙට් කලා. ඕක දිගේ බිමට බැහැලා තමයි අපිට දූපතට යන්න තිබ්බේ. බැහැලා ඉවර වෙලා බර්ටියා මලිත ඇතුලු තුන් හතර දෙනෙක් අපිට කෑම්ප් ගහන්න තියෙන තැන බලන්න ගියා. එතන ඒ වෙලාවෙත් කට්ටි දෙකක් හිටියා. ඒ දෙගොල්ලම ආපහු යන්න ලෑස්ති වෙනවා. මොකද තව ටික වෙලාවකින් සෙනග ගෙනියන බෝට්ටුව එනවා දූපතට.

දවල්ට උයන ගමන්

අපි ආපහු බොට්ටුව තියෙන තැනට ආවා. කට්ටියක් බඩු බාගන්න අතරේ කට්ටියක් ගියා අලුත් මාළු ටිකක් හෝයා ගන්න. පැයකට විතර පස්සේ මාළු හොයන්න ගිය සෙට් එක ආපහු ආවා. පුයිමා එනවා තඩි මාළුවෙකුත් උස්සන්. තව පොඩි මාළු වගේකුයි කකුළුවෝ වගේකුයි ඕඩර් කරලා කට්ටිය ඇවිල්ලා. අපි ඉතින් අපේ බඩු ටිකත් අරගෙන ගම අස්සෙන් කැම්ප් කරන්න තිබ්බ තැනට ගියා. මොන නැතත් අපේ එවුන් නාන්න තරම් සෝඩයි ස්ප්‍රටුයි ගෙනල්ලා තිබ්බා. එක වැට් 69 බෝතලයයි පරණ පඹයෝ හතර දෙනයි තමයි නැටුම් තෙල් වලට තිබ්බේ. අහස පැහැදිලියි මේ වෙනකොට. වහින ලකුණක් තිබ්බේ නෑ. කලින් දවස් වල දිගටම වැස්සා කියලා තමයි එහෙ මිනිස්සු කිව්වේ. අපේ වෙලාවට වහින එකක් නෑ කියලා තමයි අපේ හිත් කිව්වේ.

දූපතටම තිබ්බේ කලින් මම කියපු ගොඩනැගිලි ටික තමයි. ඒ අරුණහම වෙන ගලින් බැදපු ස්ථීර ගොඩනැගිල්ලකට තිබ්බේ ටොයිලට් තුනක් විතරයි. ඒකෙනුත් දෙකක්ම ඉබ්බෝ දාලා වහලා තිබ්බේ. බර්ටියා හිතන්නේ මෙහේ මිනිස්සුන්ට මෙහෙම ටොයිලට් ගිහිල්ලා පුරුද්දක් නෑ කියලා. මේ ටොයිලට් වලටත් වතුර වෙනම ගේන්න ඕන. ළඟ පාත වතුර ටිකක් ගන්න තැනක් නෑ. බත්තලංගුන්ඩුවට කෙනෙක් එන්න හිතාගෙන ඉන්නවානම් සැප පහසුකම් අමතක කරලා තමයි එන්න ඕන. නවතින්න හොටේල් තියා කාමරයක් ගන්නවත් තැනක් එහේ නෑ. වතුර අන්තිම අමාරුයි. ඒක නිසා ඇති වෙන්න වතුර ගේන්න මතක තියාගන්න ඕන. ගේන වතුර ටිකත් පරෙස්සමින් පාවිච්චි කරන්න ඕන. මේක ඇතුලේ බඩු ගන්න තැනක් නෑ. පොඩි කඩ කෑල්ලක් තිබ්බට ඒකේ ඇති දෙයක් නෑ කියලා තමයි ආරංචි වුනේ. බර්ටියාට නම් කඩේ පැත්තට යන්න අවස්තාවක් ලැබූණේ නෑ ඉතින්.

වැට් 69 යේ අවසානය

බර්ටියා උඩින් කියපු හේතු හින්දා දුෂ්කර පරිසරයක් ඉන්න පුළුවන් අයට විතරයි බත්තලංගුණ්ඩුවේ කෑම්ප් කරන්න පුළුවන්. සීනි බෝල වලට චරිත වලට නම් මේ වැඩේ කරන්න අමාරුයි. විදුලි බලය නෑ දූපතට. දන්න තරමින් පොලිස් මුරපොලටයි නේවි එකේ මුර පොලටයි ජෙනි දෙකක් තිබ්බා.

අපි බඩු ටිකත් අරන් ගියා කෑම්ප් ගහන තැනට. එතන එක පැත්තකින් පොඩි ගස් ජාතියකින් ආවරණය වෙලා. අනිත් පැත්තෙන් මුහුද. නාගන්න ඕන වුනහම දුවලා ගිහින් මුහුදට පනින්න තමයි තියෙන්නේ. ඊළගට තිබ්බේ අපි ගෙනිච්ච ටෙන්ට් ටික ගහලා ලෑස්ති කරන්න. මලිතයා තමයි වැඩේ දැනගෙන හිටියේ. බර්ටියත් එක සැරයක් ඔය ටේන්ට් ගහලා තියෙන නිසා වැඩි වෙලාවක් යන්න කලින් අපි ගෙනිච්ච ටෙන්ට් පහ ගහලා ඉවර කලා. ඊළගට දවල් කෑම. කෑම හදන වැඩේ වැඩි බරක් බාර අරන් වැඩ කලේ පුයිමා තමයි. අනිත් අයත් පුයිමට සපෝට් එක දුන්නා. ඔය වැඩේ යන අතරෙම වැට් 69 බෝතලය අවසන් කරන්න අපි තීරණය කලා.

ගමන් යන කොට එක එක පොරවල් සෙට් වෙනවනේ. මෙතනත් හිටියා සද්දේ විතරක් තියෙන යුද්දේ නැති පොරක්. රටේ තියෙන වැඩ කරන්න බාර ගත්තට අනිත් මිනිස්සුන්ට තමයි වැඩේ කරන්න සිද්ධ වුනේ. මොක නැතත් පොරගේ කයිවාරුව තියෙනවා. හැබැයි රුවල් ඔරුවක වැඩක් නෑ. පොර ඉතින් වැඩ ටික අනිත් මිනිස්සුන්ට පටවලා මාරු වෙනවා. බෝතලෙත් ඉවර වුනා. උයන වැඩෙත් යනවා. උයන අස්සේ කව්ද කලිසම් කෑල්ලක් ගහගත්ත මාළු අල්ලන පොරක් කිව්වා අපෙන් කව්රු හරි දෙන්නෙකුට පොලිස් පොස්ට් එකට එන්න කියලා පණිවිඩයක් දුන්නා. මලිතයයි නිලූකයි ඒ වැඩේට යන්න පිටත් වුනා. ගිනි ගහන අව්වේ යන්න තියෙන හින්දා බර්ටියා කෑම්ප් එකේම හිටියා. පැයක් විතර ගියා මුන් දෙන්නා නෑ. තවත් පැය බාගයකට විතර පස්සේ මුන් දෙන්නා එනවා දාඩිය පෙරාගෙන. පොලිස් පෝස්ට් එක තිබිලා තියෙන්නේ දූපතේ එහා කෙලවරේ. මුං දෙන්නට ගිනි අවුවේ පාරත් හොයාගෙන ඒකට බඩගාන්න වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි හොදම කතාව. අපේ කෑම්ප් එකට ඇවිල්ලා ගිය මාළු අල්ලන පොරක් කියලා හිතපු කෙනා එක පොලිස් කාරයෙක් එකේ ඉන්න. පොරවල් දෙකයි එතන පෝස්ට් එකේ ඉන්නේ. ඒ දෙන්නත් ඉන්නේ සිවිල් පිට. අපේ පොරවල් දෙක එකෙක්ගේ එඩ්රස් එකට අනිත් එකාගේ ටෙලිෆොන් නම්බර් එක දීලා ඇවිල්ලා.

කදවුරු බිමට ඉදිරි පසින් ඇති මුහුදු තීරය

පොලිසියෙන් ඩයලොග් නම්බර් එකක්ම ඉල්ලලා. මොකද මොබිටෙල් වලට සිග්නල් නෑ එහාට. එයාටෙල් වැඩ. එයාටෙල් වලට ඉන්දියාවේ සිග්නලුත් අහුවෙනවා. හුට් ගැන නම් කියන්න දන්නේ නෑ. ඕක නිසා නිලුකයගේ එඩ්රස් එකට මලිතයගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා මුන් දෙන්නා ඇවිල්ලා. ඒ අස්සේ අතුරුදහන් වෙච්ච බුවා ගිහිල්ලා ගමේ පොරක්ව සෙට් කරගෙන. පොර නොම්බර එකේ ඇණයක් වුනා රෑ කෑම්ප් එක අස්සේ රිංගලා.

දවල්ට කාලා බීලා ඉවර වෙලා පොඩි රෙස්ට් එකක් අරගෙන අපි වෙරළට ගියා සෙල්ලම් කරන්න. අපිට එහා පැත්තට අලුතෙන් සෙට් එකක් ඇවිල්ලා හිටියා. කොහේ හරි කැම්පස් එකක කෙල්ලෝ වගයක්. අපි පොඩි ෆුට්බෝල් පාරක් ගහලා පිස්සුවක් නටලා මුහුදේ නෑවා පැය ගාණක්. මූදේ නාන එක නම් හරිම සනීපයි. එකම අවුල් තිබ්බේ ඇඟ ඇලෙනවා ගොඩට ආවහම ලුණු නිසා. අපි ඉතින් හොද වතුර ටිකක් නාගන්න තැනක් හොයන් ගියා ඊට පස්සේ. එහේ වෙරළ කිට්ටුවට තැනින් තැන මිනිස්සු වලවල් හාරලා ඒවට එකතු වෙන වතුර තමයි බොන්න නාන්න ගන්නේ. ඒ වතුර කිවුල් නෑ. අඩිය දෙක හාරනකොට වතුර එකතු වෙනවා. පායන කාලෙට මේ හාරන වල වල් ගාන වැඩි වෙනවා. අපිත් ඉතින් වතුර වලක් හොයාගෙන එහාටයි මෙහාටයි ඇවිද්දා. නිලූක වතුර වලක් දැකලා තිබ්බා අපි හිටපු තැනට කිට්ටුවෙන් එයාලා පොලිස් පෝස්ට් එකට ගිහිල්ලා එනකොට. අපිත් ඒ පැත්තට ගියා.

ඔහොම යනකොට අපිට වතුර වලක් සෙට් වුනා. බෝතල් කෑල්ලක් කපාගෙන එකෙන් තමයි නාගන්න වතුර ගන්න වුනේ. එකෙන් වලේ පැත්තකට බැහැලා වතුර අරන් දෙනවා. අනිකා නානවා. බොහොම කටු වැඩක්. එකෙක් නාගෙන ඉවර වෙනකොට ගමේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ඔතනින් නාන්න එපා කියලා. එතන වතුර හොද නැහැයිලු. තව වතුර වලක් තව ඉස්සරහින් මූද පැත්තට වෙන්න තියෙනවා එතනට යන්න කිව්වා. දැන් අපි වතුර වල හොයාගෙන යනවා යනවා යනවා. ඔහේ නෑ. දැනටම කිලෝමීටරයක් දෙකක් විතර ඇවිදලා. ඒ අස්සේ අපේ ඉස්සරහින් ගිය දෙන්නට තව කව්ද හම්බවෙලා බාල්දිකුත් දීලා දැන් ඒ ගොල්ල හෑරුව වලක් තියෙනවා කියලා තව පොඩ්ඩක් ඉස්සරහින්. ඒ පාර ඒ පැත්තට යන්න පටන් ගත්තා. යනවා යනවා ඉවරයක් නෑ. දැන් නම් ඇතිවෙලා. බර්ටියාට නම් දැන් නෑවේ නැතත් කමක් නෑ. අව්වයි දාඩියයි හොදටම. නිලුකයි බර්ටියයි ටිකක් පහුවුනා වෙරලේ තිබ්බ සිප්පි කටු බෙල්ලෝ අහුල අහුල. මලිතයයි අනිත් සෙට් එකයි අපිට සෑහෙන්න ඉස්සරහින් දැන්. බර්ටියා නම් දැන් නාන අදහස අත ඇරලා දාලා තමයි තිබ්බේ. මේක කරන්න පුළුවන් වැඩක් යෑ.

ගිනි මැලය

කොහොම හරි අපේ ඉස්සරහින් ගිය සෙට් එකට වතුර වල හම්බවෙලා තිබ්බා. අපි දෙන්නත් හෙමින් සැරේ ඒ පැත්තට ගියා. එකෙක් වලට බැහැලා වතුර අරන් දෙනවා. අනිකා නානවා. බර්ටියත් වතුර බාල්දි පහ හයක් දාගෙන නෑම ඉවර කලා. සෙල්ලම් දදා නාන්න වතුර නෑ ඉතින් එහේ. අන්තිම හරියෙදි වල ටික ටික කඩා වැටුණා. ඒ හැටි ඉතින්. වැල්ල නිසා තියෙන්නේ නෑ. අපෙත් නෑම ඉවරවෙලා තිබ්බ හන්දා හෙමින් සැරේ කෑම්ප් එක පැත්තට එන්න පටන් ගත්තා. දැන් වෙලාව හවස පහත් පහුවෙලා.

දූපතේ මිනිස්සු කියපු විදිහට කාලෙකට කලින් දූපත පුරාම ගස් තිබිලා තියෙනවා. ඒත් කාලෙත් එක්ක එපා නැතිවෙලා ගිහින්. මිනිස්සු කපලා වෙන්නත් පුළුවන්. අපි කැම්පින් කරන තැන තමයි යන්තම් ගස් ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ. වෙරළේ වැලි සමහර තැන්වල දුඹුරු පාටයි. ඒ කියන්නේ ඉල්මනයිට් තියෙනවා. සමහර විට ලොකු නිධියක් තියෙන්නත් පුළුවන්. දැක්ක නරකම දේ දූපතේ වෙරල පුරාම ප්ලාටික් බෝතල් පොලිතින් තියෙන එක. නැව්වලින් විසික් කරන බෝතල් හැම තැනට ගොඩ ගහලා. ඒ අස්සේ වීදුරු බෝතලුත් තියෙනවා සමහර තැන්වල. ඔන්න ඔහොමයි දූපතේ ඇතුලේ තත්වේ.

වෙරල පුරාම එක එක මාදිලියේ සිප්පි කටු, බෙල්ලෝ. ඇත්තටම ලස්සනයි. අපිත් ප්ලාස්ටික් බෝතල් දෙක තුනක් හොයාගෙන බෙල්ලෝ එකතු කර කර හෙමින් සැරේ කෑම්ප් එක පැත්තට ආවා. ඈතින් මුහුද පැත්තෙන් වැහි කලුවකුත් පේනවා. ඒ මේ පැත්තට ආවොත් අනිවා වහිනවා. එහෙම වුනොත් අපේ කූඩාරම් ඇති වෙන එකක් නෑ ඒ වැස්සට ඔරොත්තු දෙන්න. ඉතුරු ටික ඊළඟ කොටසින් කියන්නම්.

බත්තලංගුන්ඩුව 01

බත්තලංගුණ්ඩුව ගූගල් මැප් වල
ලංකාවේ වයඹ දිග මුහුදු තීරයේ කුඩා ප්‍රමාණයේ දූපත් ගණනාවක් පිහිටලා තියෙනවා. අන්තර්ජාලයේ සමහර වෙබ් පිටුවලට අනුව දූපත් 14 ක්. පල්ලිය වත්ත, උච්චිමුණේ, ඉප්පන්තිව්, බත්තලංගුන්ඩුව ඒ අතරින් කීපයක්. බර්ටියා අද කියන්න යන්නේ පහුගිය දවසක මේ බත්තලංගුන්ඩුවට ගියපු චාරිකාවක් ගැන. කට්ටියම දන්නවනේ බර්ටියා ඇවිදින්න බොහොම කැමති කෙනෙක් කියලා. මේ ගමන ගියේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ. බර්ටියා බත්තලංගුන්ඩුව ගැන දෙසැම්බර් වෙනකම් අහලා තිබ්බෙත් නෑ.

බත්තලංගුන්ඩුව දූපත පිහිටලා තියෙන්නේ කල්පිටියේ ඉදලා නාවික සැතපුම් 20 ක් එහෙම නැත්නම් කිලෝමීටර් 38 විතර දුරින් මුහුදේ. මේ දුපතේ වර්ග ඵලය හෙක්ටයාර 145.53 ක් වෙනවා. ජනගහණය සාමාන්‍යයෙන් 3000 ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. ඒ හැමදෙනෙක්ම තමන්ගේ ජීවිකාව වශයෙන් කරන්නේ මාළු අල්ලලා වෙලදාම් කරන එක තමයි. කල්පියේ නාවික වරායේ ඉදලා උදේ 8.30 එක යාත්‍රාවක් පිටත් වෙනවා බත්තලංගුන්ඩුවට. බෝට්ටුවට රුපියල් 270 ක් ගෙවන්න ඕන ගමන් වාරයකට. දූපතට අවශ්‍ය කරන සියලුම දේවල්, මගීන් ප්‍රවාහන කටයුත සිද්ධ කරන්නේ මේ යාත්‍රාව හරහා. ඒ ඇරුණහම ඉරිදා දවසට මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ බෝට්ටු ගමනට පැය තුනක විතර කාලයක් ගත වෙනවා. හැබැයි මෝටර් බෝට්ටුවකට නම් මේ දුර විනාඩි 45 පැයක් වගේ කාලයක් ඇතුලත ඉවර කරන්න පුළුවන්.

කල්පිය වරාය බෝට්ටුවේ සිට
දුපතේ පොලිස් මුර පොලක්, නාවික හමුදා මුර පොලක්, කුඩා පල්ලියක් හා පල්ලිය මගින් පවත්වාගෙන යන කුඩා පාසලක් තියෙනවා. මේවා තමයි මේ දුපතේ තියෙන ස්ථිර ගොඩනැගිලි. අනිත් හැම ගෙයක්ම පොල් අතු වලින් ගොඩ නැගිච්ච නිවාස තමයි. බර්ටියට මතක විදිහට එකම එක පොඩි කඩ කෑල්ලක් තියෙනවා දූපතේ. දූපතේ වෙසෙන වැඩි පිරිසක් කතෝලිකයෝ. ඒ අය අනිවාර්යයෙන් ඉරිදා පූජාවට සහභාගී වෙන්න ඕන. ඒක නිසා ඉරිදට මාළු අල්ලන්න යන එක තහනම් දූපත් වාසීන්ට. බත්තලංගූණ්ඩුව කදවුරු භූමියක් ලෙස බොහොම ප්‍රසිද්ධයි. කාලයකට කලින් දූපත පිරෙන්න වන ගහණයක් තිබ්බත් අද වෙනකොට බොහොම අඩු ගහ කොළ ප්‍රමාණයක් තමයි දූපතේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ අතරින් ගස් කොළන් වලින් වට වෙච්ච එක ඉඩ ප්‍රමාණයක් තියෙනවා කදවුරු ගැසීම සදහාම වෙන්වෙච්ච.

බත්තලංගුන්ඩුවට යන එක ගැන බර්ටියට ඉස්සෙල්ලම කිව්වේ බර්ටියගේ ගමන් සගයා වන මලිතයා. මලිතයා ඒ ගැන විස්තර හොයාලා ගමන යන්න සෙට් වෙච්ච කීප දෙනෙක් කරලා වට්ස්ඇප් ගෲප් එකකුත් හැදුවා. මේකට මලිතයගේ ඉස්කෝලේ යාළුවෝ කීප දෙනෙක් ඇතුලුව අට දෙනෙක් විතර සෙට් වෙලා හිටියා. ලක්මාල් නැත්නම් පුයිමා, අමල් මලිතයගේ ඉස්කෝලේ කාලේ ඉදන්ම යාළුවෝ. බර්ටියා මේ දෙන්නා ගැන අහලා තිබ්බට කතා බහ කරලා අදුරගෙන හිටියේ නෑ. ඊලඟට නිලූක බර්ටියත් හොදට දන්න මලිතයත් එක්ක එකට ජාත්‍යාන්තර පාසලක වැඩ කරපු ගුරුවරයෙක්. ඒ ඇරනහම බර්ටියා නොදන්න රගුත්, සමීරත්, බානුත් මේ ගමනට එකතු වුනා.

පුයිමයි මලිතයයි ගමන සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වුනා. ගමනට ඕන කරන බඩු අරගන්න මේ කට්ටිය තමයි මහන්සි වුනේ. බර්ටියට ගමනට සෙට් වෙන්න තමයි තිබ්බේ. අපිට ආපු ලොකුම ගැටලුව නිවාඩු. මොකද මලිතට, බර්ටිට, නිලූකට නිවාඩු තිබ්බට අනිත් සෙට් එකට නිවාඩු තිබ්බේ නෑ. කොහොම හරි අපි දෙසැම්බර් මාසේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් මේ වැඩේට වෙන්කර ගත්තා. හරියටම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ 21, 22 දවස් දෙක.

බත්තලංගුන්ඩුව මුහුද වෙරල බෝට්ටුවේ සිට
ඊළඟ ප්‍රශ්නේ වුනේ ඉරිදට ආපහු එන්න බොට්ටුවක් නැති වීම. අපේ බජට් එකත් එක්ක බෝට්ටුවක් හොයා ගැනීම ලොකු ගැටළුවක් වුනා. මොකද ප්‍රයිවෙට් ගමනකට රුපියල් 40,000 විතර ගන්නවා. අපේ ඉන්නේත් 8 දෙනයි. අන්තිම යන්තම් තවත් කට්ටියකටත් එක්ක බොට්ටු රයිඩ් එක 40,000 වෙන් කරවා ගන්න අපිට පුළුවන් වුනා. ඒත් අපේ වෙලාව කියන්නේ අන්තිම මොහොතේ ඒ සෙට් එක එයාලගේ ටුවර් එක කැන්සල් කලා. අපේ එවුන් දෙන්නා නාහෙන් අඩලා අඩලා අන්තිමට බෝට්ටුවේ ගාන 25,000 ට බස්ස ගත්තා. දැන් ඒ වැඩෙත් හරි. ඊළගට තිබ්බ ගැටළුව ඒ දවස් වලා තිබ්බ වැසි සහිත කාලගූණය. ඒ මදිවට බත්තලංගුන්ඩුවටත් දෙසැම්බර් මාසේ වැහි කාලේ වුනා. මලිතයගේ තිබ්බ කුඩාරම් තුනටයි පුයිමා ගාවද කොහෙද තිබ්බ කුඩාරමයි එක්ක අපි වැස්සට මුහුණ දෙන්න තීරණය කලා.

දැන් මූලිකව සිද්ධ වෙන්න ඕන වැඩ ටික ඔක්කොම සිද්ධ කරලා ඉවරයි. මුලින්ම පාන්දර එකට විතර කොළඹින් ගමන පිටත් වෙන්න තීරණය කරලා තිබ්බත් පස්සේ රෑ 11 ට විතර හෙමින් සැරේ ගමන යන්න කට්ටිය තීරණය කලා. ගමන යන්න තිබ්බේ මලිතයගෙයි අමල්ගෙයි (බර්ටියට මතක විදිහට) වාහන දෙකේ. දෙසැම්බර් 20 සිකුරාදා හවස 7 ට විතර බර්ටියා ඕන කරන කලමනා ටිකත් පොදි බැදගෙන 9.30 විතර වෙනකොට මලිතයගේ ගෙදර ගියා. මලිතයගේ ගෙදරින් 10 ට විතර ආපු අපි දෙන්නා නිලූකලගේ ගෙදර ගිහින් නිලූකවත් දාගෙන කොල්ලුපිටිය පැත්තට ආවා. ඒ ඇවිල්ලා කොල්ලුපිටියේ කඩෙකින් කොත්තුවකුත් කාලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා අමල්ලා කට්ටිය ඉන්න තැනට ගියා. ටිකක් වෙලා කතා කර කර ඉදලා අපි ගමන යන්න පිටත් වුනා. දැන් වෙලාව රෑ 12.00 විතර ඇති. අපි ඉස්සෙල්ලම හයිවේ යන්න හිතුවත් ඒ වෙලාවේ පාරේ වාහන නැති නිසා අපි කොළඹ මීගමු පාරෙන් කල්පිටියට යන්න පිටත් වුනා. මීගමුව පහු වෙලා ටිකක් දුර ගිහිල්ලා කඩයක් ගාව නවත්තලා කට්ටිය කෑම කන අතරේ අපි තුන්දෙනා ප්ලේන්ටියක් ගැහුවා නිදිමත යන්නත් එක්ක.

බෝට්ටුවට බඩු පටවන ගමන්
එතනින් පස්සේ වාහනේ අරගෙන ගියේ නිලූක. පුත්තලම ටවුන් එකට කිලෝමීටර් ගාණක් මෙහායින් තමයි කල්පිටියට යන පාර තිබ්බේ. ඒකේ යන කොටත් වැහැපු වැස්සට සමහර තැන් යට වෙලා තිබ්බා. මේ සීන් එක හින්දා අපි ටිකක් බයෙන් තමයි ගියේ. කොහොමත් කිසිම කරදරයක් නැතුව පාන්දර 4.00 ට විතර අපි කල්පිටියට ආවා. ඒ ඇවිල්ලා ධීවර වරායට යන පාර හොයාගන්න පොඩි කට්ටක් කන්න වුනා. කොහොම හරි ඒ වැඩෙත් කරගෙන අපි කට්ටිය වරාය ගාව වාහනේ නවත්තලා එළියට බැස්සා.

ඊළගට කරන්න තිබ්බේ අපි යන බෝට්ටුවේ අයිතිකාරයට කතා කරලා අපි ඇවිල්ලා ඉන්නවා කියලා කියන එක. ඒකත් හරි. ඊට පස්සේ අපි බෝට්ටුවේ අයිතිකාරයා එනකම් පැයක් විතර බලන් හිටියා. පොර ආවට පොරත් එක්ක කතා කරලා පස්සේ අවශ්‍ය කරන අනිත් කටයුතු ටිකත් කරගත්තා. වාහන දෙක ධීවර වරාය ඇතුලේ නවත්තලා යන්න පුළුවන්. ඒකට දවසකට රුපියල් 50 ක් ද කොහෙද ගෙවන්න ඕන. ඊළඟට වරාය ඇතුලේ තියෙන වෙරළ ආරක්ෂක මුර පොලට අපේ නම් ලැස්තුවයි ජාතික හැදුනුම්පත් අංකයි දීලා අවසර ගන්න ඕන. ඒකට පොඩි ගාණක් ගෙවන්න ඕන.

උදේ කෑමයි තව ඕන කරන වතුරයි වරායේ තියෙන කැන්ටිමෙන් ගන්න පුළුවන්. වතුර බෝතලේට (ලීටර් 5 ලොකු බෝතල්) වලට පොඩි ඩිපොසිට් එකක් තියන්න ඕන. ඔය වැඩ ටික කරගන්න අස්සේ වරායේ ඈතින් නවත්තලා තිබ්බ අපි ගමන යන බෝට්ටුව වරායේ ජැටියට අරගෙන ආවා. අපේ වාහන දෙකත් වරාය ඇතුලට දාලා වාහන වල තිබ්බ අපේ බඩු මුට්ටු ටික බෝට්ටුවට පටව ගන්න එක තමයි අපිට ඊළගට කරන්න තිබ්බේ. මෙතන ඉදලා පැය තුනක ගමනක් තිබ්බා බත්තලංගුන්ඩුවට. තාම අහසේ වැහි බර ගතිය දකින්න තිබ්බා. අපේ එකම ප්‍රාර්ථනාව වුනේ වහින්න එපා කියන එක. කොහොම හරි උදේ 6.45 ට 7.00 විතර අපි කල්පිටිය ධීවර වරායෙන් පිටත් වුනා බත්තලංගුන්ඩුව කරා. ඉතුරු ටික අනිත් දවසේ කියන්නම්.

බර්ටියා සහ අමල්
මුහුදු ගමන
මලිතගෙන් තවත් නයෙක්

අම්පාර 2007 - P-6

අම්පාර 2007 බලන හැමෝම බලයි මොකක්ද මේ කියලා. මොකද බර්ටියා කතාව ඉවර කලානේ කළින් කොටසින්. ඇත්තටම මේ බ්ලොග් පොස්ට් එක අම්පාර 2007 කතාවේ දාන්න බැරි වෙච්ච ෆොටොස් වගයක් තමයි විස්තරත් එක්ක දාලා තියෙන්නේ. මොකද මේ කතාවේ සමහර දේවල් ගැන හොද දර්ශනයක් මවා ගැනීමේ හැකියාව මේ ෆොටොස් වලින් ලැබෙන නිසා. බලන්න ඒක එහෙම වෙනවද කියලා.

මේ ෆොටෝ එකේ තියෙන්නේ අපි පළවෙනි දවසේ නිදා ගත්ත ගල් පොත්ත. ගල් පොත්ත උඩ තියෙන පොකුණු දෙකත් එක්ක ගත්ත ෆොටෝ එකක් තිබ්බා නම් ගාෙඩක් වටිනවා (එක පොකුණක කෑල්ලක් මේ ෆොටෝ එකේ පේනවා). ඒත් 2007 ගමනේදි එහෙම ගත්ත ෆොටො එකක් නෑ. මොකද බර්ටියාට අනිත් අයගේ ෆොටොස් වලින් යැපෙන්න වුනා කැමරාවක් නැති නිසා. ෆොටොස් ගත්ත කට්ටියට ගොඩක් පින් ඉතින්. විශේෂයෙන්ම මොරින් අක්කගේ පුතා මිතුන්ට. මිතුන්ගේ තමයි මේ ෆොටෝස් ඔක්කොම. මේ ගල් පොත්ත උඩ පුරාණ කාලේ ගොඩනැඟිලි වල නටඹුන් කීපයක් තියෙනවා. සමහර විට පුරාණ පන්සල් වෙන්නත් පුළුවන්. නිධන් තියෙනවා කියලත් සමහරු කියනවා. එහෙම නිධානයක් රකින බලවේගයක් හීනෙන් පෙනිලද දන්නේ නෑ අපිට උඩින් තියෙන ගල් පොත්ත උඩ නිදා ගන්න එපා කිව්වේ. කව්රු දනී ද ඇත්ත නැත්ත හොයාගන්න විදිහක් නෑනේ.

මේ තියෙන්නේ අපි පළවෙනි දවසේ කන්ද නගින කොට කැලේ ගහක තිබ්බ දෙබර වදයක්. කොහොමද සයිස් එක. බැරි වෙලා හරි අපේ කටවල් වල සද්දෙට මේක ඇවිස්සිලා අපිට අනින්න ගත්තතා නම්? එහෙනම් අපි තාම ඒ කැලෑව ඇතුලේ පණ කඩා ගෙන දුවනවා. ස්භාදහමේ නිර්මාණ අති විශිෂ්ඨයි අපේ නිර්මාණ වලට වඩා. සෙල්ලම් නෑ නේද? මේ දෙබරෙට පොඩ්ඩක් උඩිහින් තිබ්බ මී වදයක් කඩන්න ගිහිල්ලා තමයි ඉන්දිකයා ඔළුව පලාගත්තේ. ඒ මී වදේ තිබ්බේ තරමක් උඩ. ගහට නගින්න විදිහක් තිබ්බෙත් නෑ. කඩාගන්න තියෙන ඕන කමට ගල් වලින් ගැහුවා. කරුමෙට එක ගලක් ඇවිල්ලා ඉන්දිකයගේ ඔළුවේ වැදුනා. හොද වෙලාවට ඒක දරුණු තුවාලයක් වුනේ නෑ. නැත්නම් කන්ද නැගිල්ල පැත්තකින් තියලා අපිට ඉස්පිරිතාලේ යන්න වෙනවා.
මේ දෙවෙනි දවසේ අපි නාමල් ඔයට යන්න කන්දක් නගින ගමන් ගත්ත ඡායා රෑපයක්. ඔය හරිය නඟින කොට බර්ටියාට පාන් කියාග ගන්න බැරුව තමයි හිටියේ. එච්චරටම මහන්සියි. ඒ මහන්සිය ඔක්කොම නැතිවෙලා ගියා මෙතන හුළං පාරක් වැදි වැදි වාඩිවෙලා මේ පහළින් පේන දර්ශනය බලන් ඉන්න කොට. ගොඩක් ලොකු ගස් එහෙම අපිට දකින්න හම්බවුනේ නෑ මේ හරියෙදි. ගොඩක් තැන් තණකොළ වගේ පඳුරු ජාතියකින් වැහිලා තිබ්බේ. ෆොටෝ එක‍ෙ ඒ තණකොළ වගේ පඳුරු වෙනවා

මේක තවත් එක නැග්මක්. මෙවැනි නැග්මවල් සිය ගාණක් තිබ්බා. සමහර වෙලාවට එක දිගට මේ වගේ නැග්ම වල් 15 - 20 තියෙනවා. කොහොමද සනීපේ? ඔය තියෙන ඔක්කොම බාධාවල් තරණය කරගෙන පහුකරගෙන තමයි බර්ටියා ඇතුළු පිරිස මේ ගමන ගියේ. දැන්නම් පුදුමත් හිතෙනවා මෙච්චර සෙල්ලමක් අපි දැම්මාද කියලත්. සමහර තැන්වල ලොකු වැල් දිගේ ඇවිදගෙන යන්නත් තිබ්බා. සමහර තැන්වල බොහොම පොඩි ඉඩකඩක් තමයි තිබ්බේ කකුල තියාගන්න. දැන් නම් මේ සෙල්ලම් දාන්න බැරිවේවි කියලා හිතනවා.
මේ තියෙන්නේ ගෝන්නු දෙන්නෙක් ලැගලා හිටපු තැනක්. අපි එන්න ටික වෙලාවකට කළින් තමයි උන් දෙන්නා මෙතනින් මාරු වෙලා තියෙන්නේ. බොහොවිට අපේ සද්දේ ඇහිලා වෙන්න ඇති. අපේ සද්දේ ඇහුන ගමන් ගෝන්නු දෙන්නට හිතෙන්න ඇති කමින් කලර් ඊස් නොට් ගුඩ් කියලා. හිටියොත් එන එවුන්ගේ බොක්කේ තමයි නවතින්න වෙන්නේ කියලා දෙන්නා ටක් ගාලා මෙතනින් මාරු වෙන්න ඇති. පොරවල් හැංගිලා බලාගෙන හිටියද යන්නේ නෑ අපිව කොචොක් කරන්න වගේ. කැළැව ඇතුලේ අපේ සද්දේ ගොඩක් දුරට ඇහෙනවා කිසිම අවුලක් නැතුව. තුවක්කුව පත්තු කරගන්න තිබ්බා නම් කෑම තමයි ඉතින්. වෙලාව තමයි බර්ටියගේ වගේම සත්තුන්ගෙත්. මොනා කරන්නද?
මේ අපි කැලේ අතරමං වෙලා (අතරමං කරලා කිව්වොත් තමයි හරියටම හරි වෙන්නේ) ඉන්න කොට ගත්ත ෆොටෝ එකක්. මේ අපේ කට්ටිය බත් විතරක් කන වෙලාව බඩගින්න වැඩි කමට. මේ වෙනකොට දෙකට විතර ඇති. උදේ කෑවට පස්සේ එක දිගටම ඇවිද්ද (කඳු නැගීම හා බැසිම) එක තමයිනේ කළේ. බඩගිනි වෙන එක අහන්න දෙයක් යෑ. මෙතන ඉදලා අපි තේත් හදන් බීලා තමයි ආපහු වැව් පිටියට යන්න පටන් ගත්තේ. මේ ඇවිල්ලා මනතුංග පවුල. මනයයි මනයගේ නෝන වජිරයි (සෝමා) මනතුංගගේ පුතා සඳුයි. අනිත් කෙනා වජිරගේ බාලම නංගිද කොහෙද.
කොහොමද නැගිල්ල? මේක නැගිල්ලට අපිට සෑහෙන වෙලාවක් ගියා. පේනවානේ කෙළවරක් පේන්නේ නෑ කියලා. සෑහෙන කාලයක් ශ්‍රමයක් මේ ගමනට ගත වුනා මේ වගේ නැග්මවල් ගොඩක් තිබ්බ නිසා. කකුල් වලට සෑහෙන්න සනීපයි. රෑට වින්ටෝජිනෝ ගාලා මසාජ් කරන්න වුනා පහුවදා ඇවිදින කොට කකුලේ මස් පෙරලෙන එක නවත්තන්න. ගමේ අයට නම් මේවා ගාණක් නෑ. ඒ කට්ටිය නිතර දෙවෙලේ මේ කන්ද නගිනවා එයාලගේ වැඩ වලට. අනික අපි වගේ නෙමෙයි ඇඟ මහන්සි කරලා වැඩ කරන කට්ටිය නේ. හැමෝම හේන් වැඩ කුඹුරු වැඩ කරන අය. ඊට අමතරව ගොඩක් කට්ටිය ඒ දවස් වල ග්‍රාම ආරක්ෂක බලකායේ (දැන් නම් සිවිල් ආරක්ෂක බලකායේ) වැඩ කලේ. ඒ කට්ටියට මේවා එච්චර ලොකු දේවල් නෙමෙයි.
තවත් බැසීමක්. බර්ටියාට මතක විදිහට දෙවෙනි දවසේ නාමල් ඔයට යනකොට තමයි මේ හරිය පහුකලේ. නැගිලි වගේම තමයි බැසිලිත්. බහින්න වුනහමත් එක දිගට හැතැප්ම දෙක තුන බහින්න තියෙනවා. එත් බැහිලි නම් එච්චර දරුණු විදිහට ඇඟට දැනෙන්නේ නෑ. එත් ගල් උඩින් බැහැල්ල තරමක් වේදනාකාරියි. අනික පරෙස්සම වෙන්න වෙනවා. කල්පනාවෙන බැස්සේ නැත්නම් පිනුම් ගහන්න තමයි වෙන්නේ. ගැලැවිච්ච ගලකට අඩිය තිබ්බොත් දෙවියන්ගේම පිහිටයි.

මේක ඇවිල්ලා ජුන්ඩයි බර්ටියයි එකට ගත්ත ෆොටෝ එකක්. අවසාන දවසේ නාමල් ඔය ඉදලා ගමට එන්න කන්ද නගින ගමන් මිතුන්ට කියලා ගත්තේ. බර්ටියාට කන්ද නගින කොට කකුලේ මස් පෙරලෙන්න අරගෙන ක්‍රෙප් බැන්ඩේජ් එකකුත් දාගෙන හෙමින් සැරේ තමයි කන්ද නගින්න වුනේ. සැරින් සැරේ ක්‍රෙප් බැන්ඩේජ් එක ලිහෙන කොට ඒක තද කරලා ආපහු බදින්නත් වුනා. ඒක නිසා කන්ද නගින බහින ගමන් කාට හරි ඇණයක් වෙන්න (බැන්ඩේජ් එක දාන්න කියන්න) බර්ටියාට සිද්ධ වුනා.
ගමට පල්ලම් බහින්න මොහොතකට කළින් ගත්ත ෆොටෝ එකක් මේක. අපි බහින්න හදන කොටම ශාමිනී (අපේ කැම්පස් එකේ යාළුවෙක්) කතා කලා. කන්ද මොබයිල් එක කනේ තියාගෙන බහින්න පුළුවන් කමක් නැති නිසා අපි ෆෝන් එක ස්පීකර් දාලා ශාම්ට සෑහෙන බයිටක් දුන්නා. ම් ම් ම් විනාඩි විස්සක විතර බයිටක්. ඔය කතාව ඉවර වෙලා තමයි අපි ආපහු ගමට එන්න තියෙන අමාරුම බැහිල්ල බහින්න පටන් ගත්තේ. මේ කොටසත් එක්ක අම්පාරේ 2007 ගමන ගැන විස්තර ඉවර වෙනවා. ඊට පස්සේ කීප සැරයක් අම්පාරේ ගියත් කඳු නගින්න ගියේ නෑ. ආයේ 2010 දි තමයි කන්ද නැග්ගේ. ඒ පාර ගියේ මලිත උගන්නපු ඉස්කෝලේ ළමයි කට්ටියකුත් (YES Team) එක්ක. ඒකත් බොහොම රසවත් අත් දැකීමක්. ඒක ගැන පහුවෙලා ලියන්නම්. එක දිගටම අම්පාර ගැන ලිව්වොත් ඒක නීරස වෙවි කියලා හිතෙනවා. එහෙනම් බර්ටියා යන්න යනවා අදට.

අම්පාර 2007 - P-5

නවගිරියාවේ වැව ගැන බර්ටියා මීට කළින් අහලාවත් තිබ්බේ නෑ. රන්ජන මොරින් අක්කලව ගොනාගොල්ලට දාලා ආවා. මලිතයා පරක්කු වෙලා වැවට එනවා කියලා තමයි පණිවිඩය ආවේ. ඔය අස්සේ මහතුන් අයියා අපිට රෑ කෑමට එන්නත් කියලා. කොහොම හරි හවස 4 ට විතර අපි කට්ටිය නවගිරියාවට යන්න පිටත් වුනා. ත්‍රී වීල් එකයි මොටර් සයිකල් දෙකයි මට මතක විදිහට. ඉස්සෙල්ලාම බාර් එකට ගියා වාත තෙල් ගන්න. ගන්න ගියහම කිසිම හොද දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. අඩු ගානේ බ්‍රැන්ඩි එකක් වත්. මොනවා කරන්නද කියලා අපි V.S.O.A අරක්කු බෝතල් තුනක් ගත්තා. කොච්චර වුනත් බර්ටියාට මේ භාන්ඩේ නම් අැල්ලුවේ නෑ. ඒත් බර්ටියා හිතුවා ඉස්කෝලේ යන කාලේ බ්ලු ලේබල් (අරක්කු) ගහපු පුරුද්දට V.S.O.A ගහන්න පුළුවන් වේවි කියලා. මොකද බර්ටියා ගොඩ කාලෙකින් home made brand මොනවාත් පාවිච්චි කරලා තිබ්බේ නැ. ඒ වගේම බර්ටියා හොදටම දන්නවා මලිතයා කීයටවත් V.S.O.A ගහන්නේ නෑ කියලා.

ඉස්සෙල්ලාම යන ගමන් රන්ජා අඳුරන කාවද ත්‍රී වීල් එකට දා ගත්තා. ඊළඟට ගියේ මිනිහා අඳුරන නවගිරියාව වැවේ මාළු බාන මනුස්සයෙක් හම්බවෙන්න. මිනිහා හවස 7 ට විතර වැව පැත්තේ එනවා කිව්වා. ඉතුරු කට්ටිය හවස 5.30 විතර නවගිරියාවට ගියා. සෑහෙන දුරක් ගිහිල්ලා ගිහිල්ලා යන්තම නවගිරියාය වැවට ආවා අපි. පායන කාලේ නිසා වැව හිදිලා. ඒක නිසා වැවේ සෑහෙන දුරකට යන්න අපිට චාන්ස් එක ලැබුණා. ඒත් ලව් ගෙඩි වලින් බේරිලා පරිස්සමින් තමයි අඩිය තියන්න වුනේ. ලව් ගෙඩි කියන්නේ නිකම් කටු කටු තියෙන ගෙඩි ජාතියක්. ඒවා ටක් ගාලා අපේ ඇඳුම් වල පැටලෙනවා. ඇනුනොත් රිදෙනවා. පෑගුනොත් තුවාල වෙන්නත් පුළුවන්. අපේ කට්ටිය කොහොමත් 7 දෙනෙක් විතර හිටියා. මමයි ජුන්ඩයි මනයයි ඉන්දිකයි රන්ජයි රන්ජගේ යාළුවයි.වැව් පිටියට බැහැලා ටිකක් වෙලා කරකැවිලා අපි දර ටිකක් හොයන්න පටන් ගත්තා. මොකද අඳුර වැටෙන්න කළින් ගිනි මැලයක් ගහගන්න ඕන වෙන නිසා. අනික් එක අල්ලන මාළු ටික පුච්ච ගන්නත් එපායැ. ඔය කාරණා දෙකටම ගිනි මැලය වැදගත් වෙනවා. ඉතින් කට්ටිය වගේ කරකැවිලා දරත් එකතු කරගෙන ගලක් උඩට වෙල චැට් එකක් දාන්න ගත්තා. අඳුර වැටෙන කොට ගිනි මැලෙත් ගහගත්තා. මාළු අල්ලන බුවා දැල එහෙම ගහලා එන කොට 7.30 විතර වුනා. ඔය අතර කට්ටිය ගෙනාපු රට කජු, බයිට් පැකට් එක්ක V.S.O.A ගහන්න පටන් ගත්තා. බර්ටියා එක උගුරයි හලා ගත්තේ. ඒකෙන්ම බර්ටියාට තේරුණා වැඩේ හරියන්නේ නෑ කියලා. වීදුරුවේ තිබ්බ ඉතුරු බීම ටික හෙමින් සැරේ බිමට හලපු බර්ටියා සද්ද නැතුව හිටියා. ඔය අතර මලිතයත් ආවා තවත් කව්ද එක්ක. බර්ටියා කිව්වා වගේම මලිතයා V.S.O.A එකට අතවත් තිබ්බේ නෑ. ජුන්ඩනන් ගහනවා ගුදම වගේ. ඒ වෙලාවේ නම් ඒකට මාළු අල්ලන බුවා ගියා මාළු දැළ අදින්න. දැළ අරන් ඇවිල්ලා මාළු ටික ගලවලා සුද්ද කරලා මැලේ දාලා පිච්චුවා. ඇත්තටම පුච්චපු මාළු වල හොද රහක් තිබ්බා.

අපේ වැඩ සටහන කිසිම අවුලක් නැතුව නැගලා ගියා රෑ 10.00 විතර වෙනකම්‍. මලිතයා රන්ජවයි රන්ජගේ යාළුවාවයි අරන් ගියා ගොනාගොල්ලට අක්කලව අරන් එන්න. එතකොටත් ඒකට පරක්කු වැඩියි. මොකද ඒ පැත්තට ටිකක් එල්.ටී.ටී.යි. කේස් තිබ්බා ඒ දවස් වල. කට්ටිය අක්කලව බස්සලා ආපහු එනවයි කියලා ගියේ. කොහොමත් අපි රෑට කන්ඩ මහතුන් අයියලාගේ ගෙදර යන්න ඕන. ඒක කීයට හරි සිද්ධ වෙන්න ඕන මොකද මහතුන් අයියලා බලාගෙන ඉන්නවා කෑමත් නොකා අපි කට්ටිය එනකම්. පැයකට විතර පස්සේ රන්ජගේ යාළුවා නම් ආවා ත්‍රී වීල් එක අරන්. මලිතයා නැවතිලා. රන්ජා මඟ එනවා කිව්වා. දැන් කටිටියි බලන් ඉන්නවා රන්ජා එනකම් මේකා නෑ. ෆෝන් එකතු වැඩ නෑ මේකගේ. පස්සේ බැරිම තැන රෑ 12.30ට විතර අපි එන්න ආවා මූව මගදී වත් හම්බවේවි කියලා. මනයගේ ගෙදරටත් ආවා. ඒත් රන්ජා නෑ. පස්සේ රන්ජගේ යාළුවා ආයේ ගියා රන්ජව බලන්න. දැන් මලිතයගේ අක්කටත් මළ පැනලා. අක්කලා නම් මහතුන් අයියලගේ දිහා ගිහිල්ලා ඇවිල්ලා.

තවත් බලන් ඉන්න බැරි නිසා අපි ගියා මහතුන් අයියලගේ ගෙදර. කොහොම හරි එහාට ගිහිල්ලා කෑම කනකොට පාන්දර 2.00 විතර ඇති. මනයා එහාට යනකොටත් ඉතුරු වෙච්ච V.S.O.A බෝතලයක් ගෙනිහිල්ලා. ජුන්ඩා අරක්කු එක්ක තරහක් ද මන්දා ඒකෙනුත් ගැහැවා. (පස්සෙයි අපි දැනගත්තේ ඒකා බීලා තියෙන්නේ බර්ටියයි මලිතයයි නොබීපු එකේ තරහට කියලා). අපි මහතුන් අයියලගේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා කෑම කනකොට අම්මට සිරි වෙන්න උලමා (යක් කුරුල්ලා) කෑ ගහනවා. උලමා කියන්නේ බකමුණු වර්ගයක් හරිම අඩු සංබ්‍යාවක් තමයි ඉන්නේ. ඒ වගේම උලමා ගැන පැහැදිලා විද්‍යාත්මක විස්තරයක් නෑ ගැමි කටකතා ජනශ්‍රැතියේ එන දේවල් ඇරෙන්න. එදා තමයි බර්ටියා උලමා කෑ ගහනවා ඉස්සෙල්ලාම ඇහුවේ. අම්මෝ ඔළුවේ ඉදන් කකුල් දෙකට යනකම්ම ඇඟ සීතල වෙලා යනවා ඒ මුසල සද්දේ ඇහුවහම. එච්චරටම අප්‍රසන්න සද්දයක් උලමගේ ඇඩිල්ල. සාමාන්‍ය ගැමි වහරේ උලමා කෑ ගහපුවහම මිනිහෙක් මැරෙනවා කියලා කතාවක් තියෙනවා. රන්ජනත් අතුරුදහන්වෙලා ඉතින් හිතාගන්න පුළුවන්නේ කට්ටියට අපිට හිතෙන දේවල්.

කාලා බීලා ඉවර වෙලා අපි ආපහු මනයගේ ගෙදරට ආවා. ඇවිල්ලා නිදාගන්නේ නැතුව කතා කර කර කර හිටියා මොකද නිදාගන්න තරම් හොද මානසික තත්වයක් අපිට තිබ්බේ නැති නිසා. ඔය අස්සේ ජුන්ඩට හොදට ඩොප්. ඒකා කණ සාක්කුවේ දාගෙන වමනේ දානවා. අන්තිමට වජිරාගෙන් දෙහි ගෙඩියක් ඉල්ලන් ජුන්ඩගේ ඔළුවේ අතුල්ලලා ඒකව ඇඳට දැම්මා. අනිත් පැත්තෙන් මලිතයගෙ අක්කා බනිනවා මලිතයට. වෙන කරන්න දෙයක් නැති නිසා, අපි හිතන් හිටියේ පාන්දරින් ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලන්න රන්ජනයා ඇක්සිඩන්ට්වත් වෙලාද කියලා. මේ අස්සේ රන්ජනගේ ගෙවල් පැත්තෙන් රන්ජගේ පවුල කෑ ගහන සද්දයක් ඇහෙනවා. "මුන් මගේ මිනිහව මුන් අරන් ගිහිල්ලා මරලා දැම්මද දන්නෙත් නෑ" අරකයි මේකයි. ඇයි උගේ අහවල් එක ගන්නනේ අපි. අනේ අම්මපා ගෑණුන්ටත් හිතෙන ගොන් කතා. අපි බොක්ක රත්වෙලා ඉන්නවා මේකා නැතුව, ගෑනි මඟුලක් කියවනවා. ටිකකින් රන්ජගේ යාළුවා (රන්ජගේ යාළුවා කිව්වට මේ මනුස්සයට අවුරුදු 60 ක් විතර වෙනවා) ආවා රන්ජගේ පවුලවත් ෂේප් කරලා. අපේ පපු වල නම් තාම බිත්තර තැම්බෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා අපි ටිකක් ඇල වුනා. උදේම නැගිට්ටා මොකද අක්කලා උදේම යන නිසා. මලිතයයි මනයයි ගිහිල්ලා අක්කලව බස් එකට දාලා ආවා. ඒ ආවට පස්සේ තමයි යන්තම් රන්ජා ගැන ආරංචියක් ලැබුනේ. බයික් එකේ තෙල් ඉවර වුනා කියලා මේකා පොලිස් චෙක් පොයින්ට් එකකට වෙලා නිදාගෙන. අපේ එවුන් නම් කියන්නේ මේකා කොහේ හරි කොටුවක් පැනලා කියලා.

කොහොම නමුත් කරදරයක් නැතුව ඒ ප්‍රශ්නෙ විසදුනා යන්තම්. අපිත් එදා හවස ආපහු යන්න හිතාගෙන හිටියේ. මනයලා අපිට උහනට ගෙනල්ලා දැම්මා. අනුරාධපුරේ ඉදලා අම්පාර යන ඩී. එස්. ගුණසේකර එකේ බස් එකට අපි හවස 5.30 ට විතර උහනින් නැග්ගා අම්පාරට යන්න.

මේ බස් එක අම්පාරට යනකොට තැන් දෙකක නවත්තලා චෙක් කරනවා ඒ දවස් වල. අපේ බෑග් චෙක් කරන නිසා බර්ටියා අර හිස් පතෙරාම් කොපුව කලිසමේ සාක්කුවක දාගෙන හිටයේ. බෑග් චෙක් කලාට අපිව අතගාලා චෙක් කරන්නේ නැති නිසා. පළවෙනි මුරපොලේ බස් එක නැවැත්තුවා. අපිත් බෑග් උස්සන් බැහැලා චෙක් කරන පොලීමේ යනවා. හමුදාවෙන් තමයි මේ චෙක් පොයින්ට් එකේ හිටියේ. බර්ටියාගේ බෑග් එක ඉස්සෙල්ලාම චෙක් කලා. ඊළගට හිටියේ ජුන්ඩා. ජුන්ඩගේ බෑග් එක චෙක් කරන කොට ඒකේ තිබ්බ උල් පිහිය මාට්ටු වුනා. පිහිය පෙන්නපු ආමි බුවා මේක මොකටද කියලා ඇහුමහම ජුන්ඩා ගත් කටටම කිව්වා පළතුරු කපන්න කියලා. අම්මට සිරි වෙන්න හමුදාවේ බුවත් පළතුරුම කපමු කියලා මේකට පෝලිමෙන් අයින් වෙලා ඉන්න කිව්වා. පිටි පස්සේ හිටපු මලිතයා ටක් ගාලා පැනලා අපි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අපි මේ research එකකට ගිහිල්ලා එන ගමන් කියලා යන්තම් ෂේප් එකක් දා ගත්තා.

අම්මෝ බර්ටියගේ කලිසම් සාක්කුවේ තිබ්බ බුලට් කේස් එකත් අහුවුනා නම් එහෙම අපි තාම කූඩුවේ කූරු ගනිනවා. අනේ අම්මෝ. අම්පාරට ගිහිල්ලා කොළඹට එන්න තිබ්බ බස් එකට නැගලා වාඩිවෙන්න බැලුවා. කරුමේ කියන්නේ මුළු බස් එකේම ෂීට් බුක් කරලා. හිටගෙන තමයි යන්න වෙන්නේ. කොළඹට යනකම් හිටගෙන යන්න අපි මැෂින් යෑ. අඩු ගානේ එක ෂීට් එකක් හරි තිබ්බා නම් අපිට ගජේ ගහන් හරි යන්න තිබ්බා. බස් එකත් යන්න පිටත් වුනා. මලිතයා නාමල් ඔය හන්දියට ටිකට් අරන් ජයාටයි මනයටයි කෝල් කලා අපිව ගන්න නාමල් ඔයට එන්න කියලා. අපි නාමල් ඔයෙන් බැහැලා ටිකක් දුර යනෙකාට ජයයි මනයයි ආවා අපිව ගන්න. අපි මනයලගේ ගෙදරට ගිහිල්ලා කාලා නිදා ගත්තා.

උදේ නැගිටලා මුණ එහෙම හෝදගෙන මලිතයා මනයත් එක්ක ගියා අම්පාරට හවසට කොළඹ එන බස් එකේ ෂීට් බුක් කරන්න. නැත්නම් අදත් බස් එකේ ෂීට් බුක් වෙලා තිබ්බොත් අබ සරණයිනේ අපිට. ෂීට් බුක් කරලා නිසා අපි හවස 7.00 ට විතර නාමල් ඔයට ගිහිල්ලා එතනින් තමයි බස් එකට නැග්ගේ. මගදි කන්න කියලා වජිරා අපිට බත් පාර්සල් තුනකුත් බැදලා දුන්නා. බස් එක ආවේ මහියංගණය පැත්තෙන්. මඟ නවත්තපු කඩයකින් අපි බත් මුල තුනත් ලෙහාගෙන කාලා ආතල් එකේ නින්දකුත් දාගෙන කොළඹ ආවා. පාන්දර 4.30 විචර බර්ටියා ගෙවල් ගාව බස් හොල්ට් එකෙන් බැහැලා ගෙදර ඇවිල්ලා ආයෙත් ඇදට වැටිලා නින්දක් දා ගත්තා. ඔය විදිහට තමයි බර්ටියා ගිය හොදම ත්‍රාසජනක චාරිකාවක් අවසන් වුනේ.

අම්පාර 2007 - P-4

තුන්වෙනි දවසේ උදේ නැඟිටලා බැලුවහම තමයි නාමල් ඔයේ හොදම ලස්සන දැක්කේ. ඈතින් පේන කඳු වැටියට උදෑසන හිරු එළිය පතිත වෙලා අතිශයින් චමත්කාර දසුනක් මවනවා. නාමල් ඔය උදෑසන මීදුම අස්සේ ලස්සනට හිනා වෙනවා. ඒ දසුන වචන වලින් විස්තර කරන්න අමාරුයි. බර්ටියා කියන මේ කතාවට ඒ දර්ශනය දැක්ක ඕනම කෙනෙක් එකඟ වෙනවා කිසිම කතාවක් නැතුව.

බර්ටියාට මේක බොහොම නැවුම් අත්දැකීමක් වුනා. අපි කට්ටිය හෙමින් සැරේ උදේ කිරි එක බොන ගමන් අද දවසේ වැඩසටහන ප්ලෑන් කළා. අද අපි ආපහු කහටගස්යායට යන්න ඕන. මොකද මලිතගේ අක්කට හෙට ආපහු ගාළු යන්න වෙලා තිබ්බා. ආපු පාර දිගෙම තමයි ආයේ අපිට යන්න තිබ්බේ. අපිට තිබ්බේ උදේට කෑම කාලා ආපහු කන්ද නගින්න පටන් ගන්න. බර්ටියා ඔය කඳු නගින වැඩ වලට හරි අකමැතියි. ඒත් කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකෝ නාමල් ඔයේ නවතින්න යෑ. වජිරා ඇතුළු කාන්තා පාර්ශවය උදේට කන්න ලෑස්ති කලා. බර්ටියාට මතක විදිහට උදේට කෑවේ බත්. අපි ඉතින් පෝලිමේ ඉන්නේ නැතුව විවෘත වැසිකිලියකට ගිහිල්ලා හුළං වැදි වැදී ඒ කටයුත්තත් ඉෂ්ඨ කරගෙන මූණ කට එහෙම හෝදගෙන ගමනට ලෑස්ති වුනා. මලිතයා කිව්ව විදිහට ගෑනු කට්ටිය හිටියේ නැත්තම් කට්ටිය රෙදිත් නැතුව තමයි ඉන්නේ. ඊළඟට ඉතුරු වුනේ උදේට කෑම කන එක තමයි. බත් තමයි අපි උදේට කෑවේ ආයේ දවල් වෙනකම් කන්න නැති නිසා.

උදේට කාලා ඉවර වෙලා අපි ඒ අවට අස්පස් කලා. දර අඟුරු ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් (ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල්) වැරදිලාවත් ඒ පරිසරයේ ඉතුරු නොකර යන්න අපි වග බලා ගත්තා. මොකද ඒ පරිසරය එච්චරටම වටිනවා‍. කිසිම කතාවක් නැතුව අපි ඒ පරිසරය අනාගත පරපුරට ඉතුරු කරන්න ඕන. ඒක අපේ යුතුකමක් වගේම වගකීමත් වෙනවා.

අපිට ආයිත් ආපු පාරෙම කැලේ මැද්දෙන් දැවැන්ත කඳු නැගිල්ලක් ඉතුරු වෙලා තිබ්බා. දවස් ගාණක් මහන්සිවෙලා හිටපු අපේ කකුල් වලට නම් මේක ලේසි පාසු වැඩක් වුනේ නෑ. ඇත්තටම ඒ නැග්ම නම් බර්ටියාට සෑහෙන්න අමාරු වුනා‍. බර්ටියාගේ කකුලේ ලොකු මස් පෙරලිල්ලක් ඇතිවෙලා බැන්ඩෙජ් එකක් දාන්න වුනා. බැන්ඩේජ් එකකින් දකුණු කකුලත් වෙලාගෙන හැරමිටියකුත් අරගෙන තමයි බර්ටියාට ගමනේ ඉතුරු ටික නගින්න වුනේ. මිතුන් පැපරාසි වැඩේ තව දුරටත් සාර්ථකව කරගෙන යන නිසා වෙච්ච දේවල් සෑහෙන ප්‍රමාණයක් කැමරා කාචේ සටහන් කරගන්න මිතුන්ට අවකාශ ලැබුනා. එහෙම ගත්ත ෆොටොස් තමා බර්ටියා බ්ලොග් එකට පාවිච්චි කරලා තියෙන්නේ. ජුන්ඩත් කැමරාවක් ගෙනිච්චත් මුළු ගමනටම ඒ කැමරාවෙන් ෆොටෝස් තුන හතරකට වඩා ගන්න බැරිවුනා. බර්ටියා හිතන්නේ ජුන්ඩාගේ කැමරාව කැලේ ගලක ගැහුවා නම් වඩාත් හොදයි කියලා. අඩු ගානේ උස්සන් යන බර හරි අඩු වෙනවා නේ.
ඔය විදිහට කොහොමත් අපි කට්ටිය පැය දෙකකට වැඩි කාලයක් කන්ද නැගලා ආපහු ගමට බහින තැනට ලඟා වුනා. කියලා වැඩක් නෑ. ඒකත් පට්ටම බැස්මක් තමයි ඒකත්. එක දිගටම කිලෝමීටර තුන හතරක් බහින්න ඕන. සමහර තැන් වලදි ඉළුක් ගාලවල් තියෙනවා. සමහර තැන්වල පඳුරු වැල් එහෙම අල්ලන් බහින්න වුනා. ඒත් සමහර තැන්වල දී අල්ල ගන්න වැලක් වත් තිබ්බේ නෑ. ඒ මදිවට බහින පාරේ තැනින් තැන ගලුත් ගැලවිලා. බොහොම පරිස්සමින් අමාරුවෙන් ඉතාමත් දුෂ්කර බැහැල්ලක් තමයි බහින්න තියෙන්නේ. සමහර තැන්වල පාර වේලිච්ච කොළ වලින් වැහිලා. ඒවා ලිස්සනවා මාරෙට. වැරදියට අඩියක් තිබ්බොත් ගලක් ගැලවුනොත් එහෙම සෑහෙන දුරක් රූටලා පහලට යන්න නොමිලේ අවස්තාවක් ලැබෙනවා කිසිම කරදරයක් නැතුව. ඊට පස්සේ නොමැරී ඉතුරු වුනොත් මූණ අත පය ලෙලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ. බර්ටියා පස්ස බිම තියලා හිමින් සැරේ රූටලා ගිය තැනුත් තිබ්බා. එක තැනක පාර හරහට ගහක් වැටිලා තිබ්බා. අර බෑවුමේ ගහ උඩට නැගලා ආයේ බහින්නත් වුනා. හොද වෙලාවට ගහ සෑහෙන්න ලොකු එකක්. බැරිවෙලා හරි කව්රු හරි ගහ උඩ ඉන්න වෙලාවක ඒක පෙරලුනා නම් හිටපු එකාව ආප්ප හැන්දෙන් තමයි ගලවන්න වෙන්නේ. වාසනාවට අපේ කාටවත් එහෙම අනතුරක් සිද්ධ වුනේ නෑ. ඔය විදිහට සෑහෙන වෙලාවක් කට්ටිය හෙමින් සැරේ පහලට බැස්සා. අනතුර වැඩි වුනත් මේ බැහිල්ල බර්ටියාට අමාරු වුනේ නෑ. නගින කොට වගේ හති දැමීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ.

ඔහොම පැයක් දෙකක් කන්ද බැස්සට පස්සේ ගමට එන පාරට එන්න අපිට පුළුවන් වුනා. දැන් නම් පාන් කියාගන්නවත් බෑ. මෙහෙම බැහැලා ඉවර වුනාට අපේ ගමන නම් ඉවර වෙලා තිබ්බේ නෑ. මෙතන ඉදගෙන තව සෑහෙන දුරක් යන්න තියෙනවා මනයලගේ ගෙදරට. ඒ වේලාවේ නම් තව අඩියක්වත් ඇවිදගන්න බැරි සයිස් එකේ තමයි අපි වැඩිහරියක් හිටියේ. අත පය රිදෙනවා. බර්ටියගේ කකුල් දෙකත් නොසෑහෙන්න රිදෙනවා. කන්ද නගිනකොට කෙණ්ඩ පෙරළුනත් එක්කනේ. තාමත් බැන්ඩේජ් එක දාගෙන තමයි බර්ටියා හිටියේ.

මෙතන ඉදගෙනත් මනයලගේ ගෙදරට තව සෑහෙන දුරක් යන්න ඕන. දැන්නම් හොදටම බඩගිනියි. ප්ලෙන්ටියක් බොන්න තිබ්බා නම් මරු. ඒත් මනයගේ ගෙදරට යන්න තියෙන දුර මතක් වෙනකොට ඇඟ දනවා. ඒ වෙලාවේ තමයි බර්ටියා දැනගත්තේ දවල්ට කන්න අපි යන්නේ මනයලාගේ ගෙදරට නෙමෙයි කියලා. බර්ටියාලා දවල්ට කන්න ගියේ සුබේලගේ ගෙදරට. බර්ටියා සුබේලගේ ගෙදරට ගිිහිල්ලා ඉස්සෙල්ලාම කලේ වතුර කළයක් විතර බීපු එක. ඊට පස්සේ කුරුම්බා ගෙඩියක් බීලා එහෙම තමයි බර්ටියා ඇතුළු පිරිස මූණ කට හෝදගන්න ගියේ. ඊට පස්සේ මිදුලේ පුටු තියාගෙන වාඩි වෙලා කෑම ලෑස්ති වෙනකම් කතා කර කර හිටපු එක. අම්මො කකුල් දෙකත් උඩ තියන් ඉන්න කොට දැනුන සනීපේ. ඔය අස්සේ ජයතිලකත් ආවා සුබේලගේ ගෙදරට. ටිකකින් කෑම බෙදලා අරන් ආවා. බර්ටියාට හොදට මතකයි වැව් මාළු තිබ්බා කියලා කෑම එකට මොකද බර්ටියා එදා තමයි ඉස්සෙල්ලාම වැව් මාළු කෑවේ. තම පිපිඤ්ඤා සම්බෝලෙකුයි පපඩමුයි පරිප්පුයි තිබ්බා. දවස් දෙකකට විතර පස්සේ තමයි මෙහෙම පිළිවෙලකට කෑමක් කන්නේ. බර්ටියයි මලිතයයි කෑවා හුස්ම ගන්න බැරිවෙනකම්ම. වැව් මාළු එක නම් මාර රසයි. ගෑවිච්ච තැන කන්න පුළුවන්. බර්ටියා නම් හිතන්නේ බර්ටියා වැව් මාළු එකට සියළු යුතුකම් ඉෂ්ඨ කලා කියලා.

දවල්ට කෑම කාලා පුටුව උඩට වෙලා ඉන්න ගමන් මලිතයා නිකමට වගේ ඇහුවා T-56 නැද්ද කියලා. බඩු හෑව්. බර්ටියාගේ කට කණ ගාවටම ගියා ඒක දැනගත්ත ගමන්. අපි ජයත් එක්ක ආයුදෙත් අරගෙන සුබේලගේ වත්තේ එහා කොනට (කන්ද පැත්තට වෙන්න) ගියා. ජයා T-56 ගලවලා අපිට විස්තර කරලා දුන්නා ඒක ගැන. ආපහු ඒක හයි කරලා අපි කීප දෙනෙකුට වෙඩිල්ලක් දෙකක් තියන්න අවස්තාවක් දුන්නා. ආයුදෙන් ඉලක්කේ අල්ලන විදිහ එහෙම ජයා අපිට විස්තර කලා. එහෙම කරලා ඈතින් තිබ්බ නුග ගහක උඩ කරුව අපේ ඉලක්කේ විදිහට සටහන් කළා. අවස්තා දෙක තුනකට පස්සේ බර්ටියාගේ අවස්තාවත් ආවා. බර්ටියා ගාණට තිතට නුග ගහේ උඩ කරුවට එක පාරින්ම ෂොට් එක තිබ්බා. කාටද ආඩම්බර. බර්ටියාට නේ වෙන මොකාටද? ඊට පස්සේ පඳුරු අස්සේ හොයලා හොයලා යන්තම හිස් පතොෙරොම් කොපුව හොයා ගත්තා. බර්ටියාට මතක විදිහට මිතුන්ගේ යාළුවා තමයි ඒක හොයලා දුන්නේ.

ඔය වැඩේ ඉවර වුනාට පස්සේ කට්ටිය ආපහු මනතුංගගේ ගෙදර එන්න පිටත් වුනා. මනයගේ ගෙදර ඇවිල්ලා ටික වෙලවක් ඉදලා බර්ටියයි ගියා දඹේ ඇලට ජුන්ඩයි මලිතයි එක්ක නාගන්න. දඹේ ඇලෙත් වතුර හිදිලා ඒ දවස් වල. තරමක් උඩහට වෙන්න වතුර පිරිච්ච වලක් තියෙනවා. එතනට ගියහම ගිලිලා නාගන්න පුළුවන්. අම්මෝ වතුරේ ගිලිලා ඉන්නකොට දැනෙන සනීපේ, කියලා වැඩක් නෑ.

ඔය අස්සේ රන්ජත් ඇවිල්ලා හිටියා මනයගේ ගෙදරට. අපි ඉතින් පොඩි චැට් එකක් දාලා තීරණය කළා හවසට උහන පැත්තේ ගිහිල්ලා තෙල් බෝතලයකුත් අරගෙන නවගිරියාවේ වැවට ගිහිල්ලා පොඩි ජොලියක් දාන්න කියලා. මලිතගේ අක්කට ගොනාගොල්ලට යන්න ඕන වුනා කාවද බලන්න. රන්ජගේ ත්‍රීවීල් එකෙයි මනයගේ බයික් එකෙයි කට්ටිය ගොනාගොල්ලට ගියා. මලිතයි රන්ජයි අක්කලාව දාලා ආපහු එනවා කිව්වා. මනයලා ආපහු ආවහම අපි සෙට් එකත් අර ත්‍රීවීල් එකටම නැගලා නවගිරියාව යන්න පිටත් වුනා. ඒ ගිය ගමන අවසාන වෙන්නේ කව්රුවත් හිතුවේ නැති විදිහට. ජීවිතයේ වැඩියෙන්ම බය දැනිච්ච දවසක් තමයි එදා. මේ වැඩේ දී අන්තිමට හිතපුවත් නැති මරාලයක් කඩා වැටුණා. අම්මෝ ඒක ගැන මතක් වෙනකොටත බර්ටියාගේ ඇඟ හිරිවැටෙනවා‍. එ ගැන දැනගන්න ඕනේ නම් අම්පාර 2007 - P-5 කියවන්න.

අම්පාර 2007 - P-3

අළුත් අවුරුද්දට කළින් තුන්වෙනි කොටස දානවා කිව්වනේ. පොරොන්දුවක් දුන්නහම කඩන්න හොද නැති නිසා බර්ටියා නොනගතය වෙලාවේ " අම්පාර 2007 - P-3" බ්ලොග් සටහන ලියන්න ගත්තා.

මේ දාලා තියෙන ෆොටෝ එකේ තියෙන තැන තියෙන්නේ නාමල් ඔයට යන අතර මඟ මහ කැලෑව තුලේ. මේක විශේෂ තැනක් වෙන්නේ එක්තරා හේතුවක් නිසා. මෙතන එක සීමාවක තියෙන ගල් ඔක්කොම එකට ඇලිලා තියෙන්නේ. හරියට කජු කෑල්ලක තියෙන රට කජු වගේ. එතන තියෙන තිරුවානා, කළුගල් වගේ දේවල් එකට ඇලවිලා එක ලොකු ගල් කීපයක් වෙලා (පහලින් දාලා තියෙන ෆොටෝ එක බලන්න). මමත් මලිතයාගෙන් අහලා බැලුවා මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. මලිතයා විස්තර කරපු විදිහට බොහොම කාලයකට ඉස්සරවෙලා (සමහර විට වසර මිලියන ගාණක් වෙන්නත් පුළුවන්) මෙතන ගිනි කන්දක් (කුඩා පරිමාණයේ) තිබිලා තියෙනවා, එහෙමත් නැත්නම් පෘතුවි කුහරය දක්වා දිවෙන පැල්මක්. අන්න ඒ ගිනි කන්දෙන් හරි පැල්මෙන් හරි ගලා ආපු ලෝදියක් එක්ක ඒ අවට පරිසරයේ තිබ්බ ලොකු කුඩා ගල් එකට කලවම් වෙලා කාලයකදි නිමිලා ගිහින් තියෙනවා. ඒවායින් ඉතුරු වෙච්ච පාෂාණ කොටස් තමයි මේ දකින්න ලැබෙන්නේ. අපි කුඩා හෝ පාෂාණ කොටසක් ගලවගන්න උත්සාහයක් දැම්මා Dr. රොහාන්ට ඒක පෙන්නන්න කියලා හිතාගෙන. එතකොට හරියටම විස්තරය දැනගන්න පුළුවන්නේ. ඒත් වැඩේ හරි ගියේ නෑ. අපිට වැඩේ කරගන්න සුදුසු ආයුධයක් තිබ්බේ නෑ.

මේ වෙනකොට වෙලාව හවස තුනට විතර ඇති. දැන්නම් හොදටම බඩගිනියි, මහන්සියි. ඒත් තාම ගමනේ ඉවරයක් නෑ. පොඩි විවේකයක් අරන් ඉස්සරහට යනකොට ජයතිලකලව හම්බවුනා. ජයාලව දැක්කහම අපිට මාර සැනසීමක් දැනුනේ. අපි පරක්කු හන්දා මහතුන් අයියයි ජයතිලකයි අපිව හොයන්න ඇවිල්ලා. වැඩියෙන්ම මහතුන් අයිය තමා හොයන්න යමු කියලා තියෙන්නේ. ජයතිලකලා තලගොයෙක් දඩයම් කරගෙන. ඒකත් ජයසිරි මංගලම්. කොහාම හරි තවත් විනාඩි 45ක විතර ගමනකින් පස්සේ අපි කට්ටිය කැළැව කෙළවර කරලා නාමල් ඔය වැව් පිටියට පය තිබ්බා. අම්මෝ පැය ගාණක අතිශයින්ම දුෂ්කර ගමනක අවසානය‍. පායන කාලේ හින්දා වැවේ වතුර මට්ටම හොදටම අඩුවෙලා. ඇත්තම කිව්වොත් අපි වැවේ තමයි ඇවිදගෙන ගියේ. අපිට තව ටික දුරයි අපි කදවුරු ගහන්න තීරණය කරලා තිබ්බ තැනට යන්න තිබ්බේ. කරුමේ කොච්චර අපේ පස්සෙන් එළවනද මන්දා? තනි අලියා වැච් පිටියේ එහා කෙළවරේ. දැන් ඉතින් මේකා යනකම් ඉන්න වෙනවා. අපි සද්ද නැතුව හිටියා හිටියා හරිගියේ නෑ. මළ කෙළියයි කෙළ බාල්දියයි කියන්න මේකා වැව් පිටියේ එහා පැත්තේ තියෙන කැලෑවට වැදුනා. හරි නම් වෙන්න ඕන අලියා අපිව පහුකරගෙන ගිහිල්ලා ආපහු අපි ආව කන්ද පැත්තේ කැලෑවට වදින එක. ඒකත් අපේ වෙලාව.

මොනා කරන්න අපිට ආපහු යන්නත් බෑනේ. අපි කඳවුර ගහන තැන වෙනස් කරලා වැවේ තව ටිකක් ඉස්සරහට ගියා. ජයතිලකත් කිව්වා රෑට තුවක්කුවත් තියන් ඇහැරගෙන ඉන්නම් මුකුත් අවුලක් වෙන එකක් නෑ කියලා. අපිත් ඉතින් ජයාව විශ්වාශ කරලා හිටියා. (මේ අපි අලියා යනකම් බලන් ඉන්නකොට ගත්ත ඡායා රූපයක්). දවල්ට උයන්නත් පරක්කු වැඩියි. ඒත් හොදටම බඩගිනියි. ඉතින් අපි තීරණය කලා අපි ගෙනාව මැගී නුඩ්ල්ස් ටික ලෑස්ති කරලා ගන්න.

මොරින් අක්කලා ඒක හදනකම් අපි ගියා දර ටිකක් එකතු කරගෙන් එන්න. රෑට ගිනි මැල දෙකක් වත් ගහන්න වෙනවා. මොකද කොයි පැත්තකින් වත් ආවරණයක් නැති නිසා. අනික අපි කූඩාරම් මොකුත්ම ගෙනල්ලා නෑ.

සෑහෙන්න මහන්සි වෙලා අපි සෑහෙන දර තොගයක් එකතු කරගත්තා. ලාෙකු සයිස් කොට තුන හතරකුත් එකතු කරගත්තා. කොට නැත්තම් මැලේ නිවිලා යනවා ඉක්මනටම වැව පැත්තෙන් එන හුළං පාරට. අපි දර හොයගෙන එනකොට නුඩ්ල්ස් ටික ලෑස්ති වෙලා ඉවරයි.බර්ටියයි මලිතයයි ජුන්ඩයි අපේ පංගුව ගලක් උඩ බත් ඔතන කොළයක් එළලා ඒකට බෙදා ගත්තා. අපිට කොහොමත් එහෙම කාලා පුරුදුයි ඉස්කෝලේ යන කාලේ ඉදලම. මලිතයා කටක් කාලා ලුණු ඩිංගක් මදියි කියලා අක්කගේ දුවට කිව්වා ලුණු පොඩ්ඩක් අරගෙන එන්න. ඒක ඕනේ නම් විනාඩියක් යන වැඩක්. අපි කොච්චර ඉක්මනට කෑවද කිව්වොත් ලුණු ටික අරන් දුව එනකොට අපේ නුඩ්ල්ස් ටික ඉවරයි. සෙල්ලම් නෑ. ඔය වැඩේ ඉවර වුනාට පස්සේ කාන්තා පාර්ශවය (මොරින් අක්කා, නෞචලී, වජිරා, සුදූ -වජිරගේ නංගි) උයන්න ගත්තා. මොකද අඳුර වැටුනහම වැඩ කරගන්න අමාරුයි. මනයලා පොල් ගාන්න ලී කෑල්ලකින් හිරමනයක් හදලා හිතාගන්නවත් බෑ. ගාණට හිරමනේක වගේ ලී කෑල්ලේ කට්ට කපලා. ජයත් දුම් ගහලා තිබ්බ තලගොයාව සුද්ද කරලා උයන්න ලෑස්ති කලා.

නාමල් ඔයේ ලස්සන විස්තර කරන්න බර්ටියාට වචන නෑ. ඇත්තටම ඒක වචන වලින් කියන්න බෑ. ඇහැට දකින්නම ඕන. බර්ටියා කලින් කිව්වා වගේ ඒක කීප දෙනෙකුට විතරක් ලැබෙන අවස්තාවක්. බලන්නකෝ නාමල් ඔයේදී ගත්ත මේ ෆොටෝ එක. ඇත්තටම ලස්සනයි නේද? වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි. බර්ටියාටත් වැව දැක්කහම ඉන්න බෑ. පනින්නමයි හිතෙන්නේ. දවසම ඇවිදලා දාඩිය දාලා කැලේ රිංගලා ඇඟ පුරාම ජරාව.

බර්ටියා වැවට පනින්න ඉස්සරවෙලා බර්ටියා අහලා බැලුවා මේකේ කිඹුල්ලු ඉන්නවාද කියලා? මනයා ගත් කටටම කිව්වා ඉන්නවා කියලා. කෙළියා තාප්පෙට කියහන්කෝ. අනිත් පැත්තට මනයා ඉදන් කිව්වා බය නැතුව බැහැලා නාපන් කියලා. මේක හතර බීරි කතාවක්නේ. කිඹුල්ලුත් ඉන්නවලු බය නැතුව නාපන් ලු. බර්ටියා මනයට සුද්ද සිංහලෙන් අමතන්න හදනකොට මනය විස්තරේ කිව්වා බර්ටියත් එක්ක. වැවේ කිඹුල්ලු හිටියට මිනිස්සුන්ට කිඹුල්ලු බයලු. මේකයි හේතුව නාමල් ඔය මිරිදිය ධීවර කර්මාන්තය කරන වැවක්. මිනිස්සු ඇවිල්ලා දැල් ගහලා මාළු අල්ලනවා. කිඹුල්ලු දැල් වල පැටලෙනවලු සැරින් සැරේ. එහෙම පැටලිච්ච වෙලාවට මිනිස්සු කරන්නේ පැටලිච්ච කිඹුලා පිටින්ම දැළ බදිනවලු ඔරු කදේ. බැදලා හබල අරන් සබ්බුව දෙනවලු කිඹුලට තරු විසික් වෙනකම්. ඔය හේතුව නිසා කිඹුල්ලු බයයි මිනිස්සුන්ගේ සද්දෙට. කතාව ඇත්ත කියලා බර්ටියා හිතන්නෙත්. මොකද බර්ටියා නාමල් ඔයේ බැහැලා නාලා පීනලා තියෙනවා ඇති තරම් උදේ, දවල්, රූ දොළහට එකට, පාන්දර කියලා වෙනසක් නැතුව‍. කවදාවත් අපිට කිඹුලෙක්ගෙන් කරදරයක් වෙලා නෑ. මොකද බර්ටියාගේ ඇඟේ මස් නැති එකක් යෑ කිඹුලට කන්න. කොහොම හරි ඔය කතාවෙන් පස්සේ කට්ටියම නාමල් ඔයට බැහැලා නා ගත්තා. අපිට බොන්න, උයන්න වතුරත් නාමල් ඔයෙන්ම තමයි ගත්තේ. මේ දක්වාම අපිට බඩේ කැක්කුමක තරම් දෙයක්වත් හැදිලා නෑ කැලේ වතුර පාවිච්චි කලා කියලා. නාමල් ඔයේ වතුරත් එහෙමම තමයි.

ඔය අවු අස්සේ අපි දැක්කා තඩි හාවෙක් අපි ඉන්න තැන කිට්ටුවෙන් තිබ්බ පඳුරු අස්සේ සෙල්ලම් දානවා. අපි වහාම මේ ගැන මහතුන් අයියව දැනුවත් කලා. මහතුන් අයියා කිව්වා දැන් බෑ අපි රෑ වෙලා බලමු කියලා. අපි නාලා කරලා 7.00 - 7.30 වෙනකොට කෑවා. තලගොයි මසුස් පරිප්පුයි බතුයි. තලගොයාගෙයි කුකුළගෙයි වෙනසක් කියන්න බෑ. ඊට පස්සේ වාත තෙල් සාත්තුව. කොහොම හරි අපි ගෙනාපු වාත තෙල් බෝතල් වලින් එකක් බිදිලා තිබ්බා. එකක් ඉවර වුනා කළින් දවසේ රූ ඇඟේ පතේ අමාරුවට පාවිච්චි කරලා. ඉතුරු එක අපි අවසාන කළා එදා රෑ කළින් වගේම. ඔය වැඩේ ඉවර වෙනකොට 10.00 විතර ඇති. ඊට පස්සේ අපි ටොච් කෑල්ලකුත් අරන් හාවව හොයන්න ගියා. ඉන්නවා ඉන්නවා හාවා කොහෙවත් ගිහිල්ලා නෑ. මහතුන් අයියා වන් ෂාෙට්ම වැඩේ දුන්නා. ඒ වෙලාවෙම හාවව සුද්ද කරලා ඉව්වා. තව විනාඩි දහයක් යනකොට හාවෙක් හිටියද කියලත් නෑ.

ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපි නිදියන්න තීරණය කළා. ගිනි මැලේට දර දාලා මැලේටම කිට්ටු වෙලා අපි නිදා ගත්තා. බර්ටිලා නිදාගන්න කොට බිමට එලන්න දෙයක් ගෙනිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් බර්ටියයි ජුන්ඩයි මලිතයි තුන්දෙනා තණකොළ ගොඩේම නිදාගන්න තීරණය කළා.

අවුලකට වුනේ වැව් පිටියේ වැලි මැක්කෝ හිටපු එකයි. මැක්කෝ සෙට් එක සැරින් සැරේ අපිට ෂොට් එක දෙන්න ගත්තා. අපිට තිබ්බ මහන්සියට නින්ද ගිය නිසා ඒ වෙලාවේ ඒක දැනුනේ නැතිවුනාට පහුවදා කහලා කහලා බිබිලි දාලා ආවා කට්ටයගෙම ඇඟ පුරාම. ඒ විතරක් නම් මදෑ උන් ඇලිලත් ඉන්නවා හමට. පාන්දරට වැව් පිටිය හීතලයි කළින් දවසේ හිටපු ගල් තලාවටත් වඩා. කිසිම ආවරණයක් නැතුව වැව් පිටියේ නිදියන්න ඇත්තටම අමාරුයි. පාන්දර දෙකට විතර බර්ටියා ඇහැරලා බලනකොට ගිනි මැළේ නිමිලා ගිහිල්ලා. ඒ මදිවට මුරට ඉන්නවා කියපු ජයත් හොදටම නිදි. තනි අලියා ආවා නම් එහෙම අපිට දුවන්න පාරවලුත් නෑ. එහෙම නැත්තම් කට්ටියට ස්ටිකර් ගැහුවා වගේ වැව් පිටියේ ඇළිලා ඉන්න තිබ්බා. බර්ටියා වට පිට බලනකොට ජුන්ඩත් ඇහැරිලා ඉන්නවා දැක්කා. පස්සේ අපි දෙන්නා ජයාව හොයගෙන ගිහින් මිනිහට ඇහැරෙව්වා. අලියා ආවොත් එහෙම අපි දෙන්නා අතින් වෙඩි තියන්න යෑ. ඊට පස්සේ ගිනි මැළෙත් අවුලොලා අපි ආයෙත් පොඩ්ඩක් නිදා ගත්තා.

ඉතුරු විස්තර අම්පාර 2007 - P-4 කොටසින් කියවමු. එහෙනම් සුභ සිංහල දෙමළ අළුත් අවුරුද්දක් වේවා කියලා බර්ටියා යනවා.

අම්පාර 2007 - P-2

අම්පාර 2007 - P-2 එක්ක බර්ටියා ඉක්මනටම ආවා. සමහරු බර්ටියට මරණීය තර්ජන එල්ල කරනවා දෙවෙනි කොටස ඉක්මනට ඕන කියලා. ඒක නිසා බර්ටියා දෙවෙනි කොටස ඉක්මනටම ලිව්වා හොදේ. අනික කල්ගියහම කතාවේ රසෙත් නැතිව යනවා. පළමු කොටස බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක ඉස්සෙල්ලාම කියවලා ඉන්න මොකද කතාව පටන් ගන්නේ අම්පාර 2007 - P-1 කොටසින්. හරි එහෙම නම් කතාවට බහිමු.

මේ තියෙන්නේ කන්ද උඩ ඉදන් දැක්ක අතිශයින් මනස්කාන්ත දර්ශනයක් (දැන් වචන වලින් කියනවා නම් සුපිරිම දර්ශනයක්). අම්පාරට හිරු උදාව. මේ වගේ ලස්සන දර්ශනයක් බලන්න ලැබෙන්නේ පින් කරලා තියෙන අයට විතරයි කියන එකයි බර්ටියාගේ වගේම මලිතයගෙත් හැඟීම. තවත් ලස්සන දර්ශන තියෙනවා. ඒවා ඉස්සරහට දාන්නම් හොදද? ඔක්කොම එක පාර දාන්න බෑ නේ.

ඇත්තටම දශමෙන් දශමේ ඉරේ වෙනස් වීම දැකීමේ හැකියාව බර්ටියාට මෙතනදී ලැබුණා. ඊට පස්සේ මලිතගේ ඉල්ලීම උඩ ජයතිලක (ජයා) එයා ගේ තනි උණ්ඩේ තුවක්කුව කෑලි වලට ගලවලා පෙන්නුවා. බර්ටියා කොහොමත් තුවක්කු වලට ආසා නිසා මේක බොහොම උවමනාවෙන් බලාගෙන ඉන්න බර්ටියා අමතක කළේ නෑ.

අපි හිටියේ කන්ද උඩ නිසා වෙඩි තියලා අත්හදා බැලිීම් කරන්න ගියේ නෑ. ටිකකින් ජයායි මහතුන් අයියයි දඩයෙම් යන්න පිටත් වුනා අපිට හෙමින් සැරේ නාමල් ඔයට එන්න කියලා. කට්ටිය උයනකම් බර්ටියයි මලිතයයි ජුන්ඩයි ගියා ගලේ පහල කැළෑව පැත්තට විවෘත වැසිකිලියක් හොයාගෙන. වතුර පාරක් හොයාගෙන ඒ වැඩෙත් සිද්ධ කරගෙන ඒ ළඟම තිබ්බ ගල් පොකුණ ගාවට ගියා නා ගන්න කියලා.. ඒ ගල් පොකුණ අඩි 40ක් විතර ගැඹුරුයි කියලා මලිතයා කිව්වා.

ඒ වගේම කිසිම දවසක් වතුර හිදෙන්නෙත් නෑ කියලා මලිතයා කිව්වා. සාමාන්‍යයෙන් මලිතලා කරන්නේ ලිදලා බැහැලා හරස් අතර ලී පොල්ලක් දෙකක් රදවනවා පොකුණේ අඩි 5ක් විතර පහලින් තියෙන කට්ටෙක. එතකොට කරදරයක් නැතුව ඒ ලී පොළු වලින් හිටගෙන නාන්න පුළුවන්. ඒත් මේ පාර ඒ පොළු තිබ්බේ නෑ‍. ඉතින් බර්ටියටයි මලිතයටයි සිද්ධවුනා කෙළින්ම පොකුණට බැහැලා නාගන්න. අම්මෝ දැන් නම් ඒක මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා‍. ජුන්ඩා නම් නෑවද නැද්ද කියලා මතක නෑ (ජුන්ඩා ඉතින් කොහොමත් නාන කරන මනුස්සයෙක් නෙමෙයිනේ). මේ පහලින් දාලා තියෙන්නේ ඒ ගල් පොකුණේ පින්තූරයක්.

ඔය වැඩ ඉවර කරගෙන උදේට කාලා බීලා ඉතුරු වෙලා තිබ්බ බත් ටිකත් මුට්ටියේම තියාගෙන ඒක පෝර උරයක දාගෙන අපි කට්ටිය නාමල් ඔයට යන ගමන පටන් ගත්තා. මේ ගමන යනකොට මූලිකත්වය ගත්තේ මනයා නෙමෙයි වෙන ගමේ පොරක්. අපිටත් ඕක ගාණක් වුනේ නෑ. ඇයි ඉතින් ගමේ ඒකානේ. කොහොම හරි අපි දැන් ගල් උඩින් පැන ගෙන බොහොම දුෂ්කර ගමනක් නාමල් ඔය දක්වා යන්න පටන් ගත්තා. ඇත්තටම මේ යාම බොහොම අමාරු වැඩක් වුනා. සමහර තැන් වලදී පාර හොයාගන්නත් අමාරු වුනා. රතු ගල, නිල් ගල වගේ නම් වගයක් කියවුනා කියලා නම් අදටත් බර්ටියාට මතකයි. කොහොම හරි අපි ගමන් කරලා තියෙන්නේ ගල් ඔය කඳු වැටිය දිගේ. කොහොම හරි ඔහොම ගිහිල්ලා අපි කන්දක් මුදුනට ආවා. මේ වෙන කොට බර්ටියාට පාන් කියාගන්නත් බැරි සයිස්. හොදටම මහන්සියි. ඇයි යකෝ පැය ගාණක් තිස්සේ ඇවිදිනවානේ දැන්. හැබැයි කන්ද මුදුනේ ඉදලා බලන කොට පේන දර්ශනේ නම් මරු. එතනට පේන ලස්සන දර්ශනෙත් බලාගෙන අපි ටිකක් වෙලා මහන්සි ඇරියා.

දැන් ඉතින් නැග්ග හරිය ආපහු බහින්නත් එපායැ කියලා ආපහු කටු පදුරු, ගල් මුල්, දෙබොක්කාවල් අස්සෙන් අපි පහලට බැස්සා. දැන් වෙලාව 1 ත් පහුවෙලා. ඒත් අපේ ගයිඩ් කාරයට පාර හොයාගන්න බැරි වෙලා. අපි එහාට යනවයි මෙහාට යනවයි. ගිහිල්ලා ගිහිල්ලා මාර අමාරුයි. බඩත්ගිනියි. ගෙනාපු වතුරත් ඉවර වෙලා. මිනිහා නම් කියනවා පාර හොයාගන්න බැරි මං මුලා වැල් පෑගිලා කියලා. මනය ඉදන් කියලා මෙතනින් පහලට බැස්සා නම් හරි කියලා. බර්ටියා කට ඇරන් හති දදා බලන් ඉන්නවා. මොකද ඒකා පාර දන්නේ නෑ නේ. දුක තමයි. අන්තිමයට අපි තීරණය කළා වතුර ටිකක් හොයාගෙන තේ ටිකක් හදාගෙන බොන්න. මොකද මේ වෙනකොට කට්ටියටම හොදටම මහන්සියි. විජලනය වෙන්නත් ඇවිල්ලා. වතුරත් නෑ. ඒ මදිවට රස්නෙත් එක්ක. වතුර හොයාගන්න ඇවිදන් යනකොට අපිට ගස් කපන මිනිස්සු ගහපු වාඩියක තිබිලා අහක දාපු ප්ලාස්ටික් කෑන් එකක් හම්බවුනා. එතන ඉදලා වැඩිදුරක් යන්න වුනේ නෑ දෙයියනේ කියලා අපිට වතුර වලක් සෙට්වුනා. ඒකේ තිබ්බ වතුර අපිට අමෘතය වගේ වුනා ඒ වෙලවේ. වතුර මෙච්චර රසවත් වේවි කියලා කවුද හිතන්නේ?. මනයා නම් අර දාගෙන ආපු බත් ටිකක් කෑවා කිසිම මාළුවක් පින්නක් නැතුව. බර්ටියාට නම් ඒ හපන්කම කරන්න බැරිවුනා. තේ ටික හදනකම් බර්ටියා ඇතුළු කීප දෙනෙක් එහෙම්මම බිම දිගාවෙලා නිදා ගත්තා. ගෙදරදී නිදා ගන්න කොට අපි කීයක් දේවල් බලනවාද? කැලේදී ඒවා මුකුත් නෑ. වැටුණා නිදාගත්තා.

තේ එක කට්ටියම අළුත් පණක් දුන්නා. ආයෙත් බඩු ටික එල්ල ගත්ත අපි කට්ටිය පල්ලම් බැස්සා. ඒ පාර නම් අපේ ගයිඩ් බුවාට හරි පාර අහුවෙලා තිබ්බා. අයෙත් ඉතින් ගමනේ යා තමයි. හැබැයි ඒ ගමන තරමක් ලේසි වුනා මොකද කඳු තිබ්බේ නෑ අපිට නගින්න. ගොඩක් දුරට තැනිතලා බිම්ක්. බර්ටියාට කොහොමටත් තැනිතලා බිමේ යන්න අමාරුවක් තිබ්බේ නෑ. මේ යන පාරේ සමහර තැන් විනාඩි කීපයකට කලින් වල් ඌරෝ හාරලා දාලා තිබ්බා. එක තැනකට අපි එන්න විනාඩි කීපයකට කළින් ගෝනනු දෙන්නෙක් ලැගලා ඉදලා තියෙනවා. එතන තනි මඩ වලක්. අපි කැලේ ඇතුලේ කතා කර කර ආපු සද්දේ නිසා අපිට සත්තු බලාගැනීමේ හැකියාව නම් ලැබුනේ නෑ. ඒත් සත්තු විනාඩි කීපයකට කළින් ඉදලා ගිය සලකුණු තිබ්බා. අපේ සද්දෙට කොහෙද සත්තු ඉන්නේ? මේ හේතුව නිසා සත්තු බැලීමේ වාසනාව නම් අපිට තිබ්බේ නෑ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී අපි නාමල් ඔයට බහින්න තියෙන අවසාන බැස්මට ආවා. ඇත්තටම එතනට බැස්සහම දිය පාරක් දිගේ තමයි ගමන් කරන්න තියෙන්නේ. පායන කාලේ නිසා දියපාර බොහොම තැන් වලින් හිදිලා ගිහිල්ලා තිබ්බා.

මේ දිය පාර දිගේ ගමන් කරන කොට එක විශේෂ ස්ථානයකට එන්න පුළුවන්. මම ඒ විශේෂ ස්ථානය ගැන අම්පාර 2007 - P-3 කොටසින් කියන්නම්.

කොහොම හරි මේ ගමන යනකොට බර්ටියාට අළුත් විස්තරයක් දැන ගන්න ලැබුණා අපේ අතරමංවීම ගැන. අපේ ගයිඩි කාරයා වුවමනාවෙන්ම තමයි අපිව අතරමන් වුනා වගේ එහෙ මෙහේ අරන් ගිහිල්ලා තියෙන්නේ. මිනිහා අපි කොළඹින් ආපු නිසා අපිට රැග් එකක් දෙන්න හිතාගෙන තමයි බොරුවට අපිට කැළේ පුරා ඇවිද්දවලා තියෙන්නේ. මෝඩ යකා. කොහාෙම වුනත් අපි ඒ සිදුවීම එච්චර ගණන් ගත්තේ නෑ. අනික ගණන් ගත්තා කියලා නිකරුණේ ගමේ මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න පුළුයන් යෑ. අපි නම් වැඩේ ඉවර වෙලා ආපහු එනවා. ඒත මනයා ගමේ ඉන්න එපායෑ. ඒත් බර්ටියාට තාමත් පුදුමයි මලිතයා අපේ ගයිඩ් එක්ක පැටලිච්ච නැති එක ගැන.

නාමල් ඔයට යන අතර මගදී ජුන්ඩාගේ කලිසම මොකක හරි පැටලිලා ඉරිලා ගියා කියලා මතකයි. වෙන කලිසමක් ගෙනල්ලා තිබ්බේ නැති නිසා තරමක අවුලක් වුනත් මලිතගේ අක්කගේ දුව මොලේ පාවිච්චි කරලා ඉදිකටු නූල් ගෙනල්ලා තිබ්බ නිසා අපි ඔය ගලක් උඩ වාඩිවෙලා ජුන්ඩගේ කලිසම අලුත් වැඩියා කරගත්තා. ජුන්ඩා ගාව විතරක් නෙමෙයි බර්ටියා ගාවවත් මලිතයා ගාවවත් වැඩිපුර ඇඳුමක් තිබ්බේ නෑ. කැලේ හිටපු දවස් ගාණම එකම ඇඳුම පිටින් තමයි අපි හිටියේ. ඒ තියා කැලේ හිටපු දවස් ගාණටම මූණ හේදුවෙත් නෑ. කැලේ ඉන්න කොට කැලේ විදිහට ඉන්න තමයි අපි තීරණය කරලා තිබ්බේ. අනික ඔය දත් බුරුසු අමතර ඇඳුම් එහෙම උස්සන් ආවහම බර වැඩිවෙනවානේ.

අනික කාන්තා පාර්ශවය නැත්තම් අපිට ඇඳුම් ඇදගෙන ඉන්න උවමනාවක් ඇතිවෙන්නෙත් නෑ ඉතින්. ඇත්තටම කැළේ හිටපු ඒ දවස් ටික කිසිම බරක් පතලක් නැතුව නිදහසේ ගතකළා කිව්වොත් ඒක තමයි හරි. බාහිර ලොකේ වෙන දේවල් ගැන හොයන්න අපිට උවමනාවක් තිබ්බේ නෑ. එදා දවසේ ඒ වටපිටාවේ වෙන දේවල් විතරයි අපිට වැදගත් වුනේ.

කතාව කියවන අය comments දැමීම අඩුයි කියලයි බර්ටියා හිතන්නේ. කියවන කට්ටිය හොදයි කියලා හරි බැනලා හරි comment එකක් දානවා නම් ඒක බර්ටියාට ලොකු හයියක් වෙනවා. අවුරුදු ගාණක් ගතවෙලා නිසා වෙච්ච දේවල් 100% මතක නැතක් 95% මතක තියෙනවා. ඒක නිසා කතාවේ රසවත් බව නම් අඩුවක් වෙන එකක් නෑ කියලා බර්ටියා හිතනවා. එහෙනම් ඉතින් බර්ටියා ගිහිල්ලා අම්පාර 2007 - P-3 එක්ක එන්නම්. අළුත් අවුරුද්දට කලින් එන්න පුළුවන් වේචි කියලා බර්ටියා හිතනවා.