බත්තලංගුන්ඩුව 03

ගිනි මැළය
අපි සෙට් එක කෑම්ප් එකට එනකොට වටෙන් පිටෙන්ම අදූර ගලාගෙන එනවා. දැන් තමයි අමාරු වැඩ ටික තියෙන්නේ. රෑට කෑම හදන්නත් ඕන. ඒ ඇරුනහම දවල් ගත්ත මාළුයි කකුළුවොයි හදන්නත් ඕන. කට්ටිය බාබකියු එකක් දාන කතාවකුත් තිබ්බා. ඒකට මොනවා වෙනවද දන්නෙත් නෑ. බෝතල් හතරකුත් තිබ්බා. ඒකත් ඉවර කරලා දාන ප්ලෑන් එකක් තමයි කට්ටියට තිබ්බේ. ඔය අස්සේ අපේ බෝට්ටුවේ වැඩ කරපු දෙන්නා අපේ උදව්වට ආවා.

උයන කරන වැඩ වලට ඒ දෙන්නා පට්ට සපෝට් එකක් දුන්නේ. කකුළුවෝ ටික උයලා අරගෙන, පොඩි මාළු ටික බැදලා, ඒ ඇරණහම දවාලේ ගත්ත තඩි මාළුවා බාබකියු දාන එකේ වැඩ වලින් වැඩි හරියක් කලේ මේ දෙන්නා තමයි. රෑට කෑම උයන කටයුතු වලින් වැඩි හරියක් කරට අරන් කලේ පුයිමා කිව්වොත් ඒක වැරදි නෑ. අනිත් කට්ටිය පුලුවන් විදිහට සපෝට් එකක් දුන්නා. බාබකියු දාන්න ඕන කරන අඟුරු අපි අරන් ගිහිල්ලා තිබ්බා. ඒකට ඕන කරන තැටිය තිබ්බේ බෝට්ටුවේ. බෝට්ටුවේ වැඩ කළ අයියලා දෙන්නාගෙන් එක්කෙනෙක් ගානට වැල්ලේ තැනක් සෙට් කරලා මාළු ටික බාබකියු දාන්න පටන් ගත්තා. අරන් ගිහිල්ලා තිබ්බ බාබකියු සොස් එක ගාලා වැඩේ කරන කොට හොද සුවදක් එනවා. ඒ සුවදත් එක්ක කිසි අවුලක් නැතුව පාන් බාගයක් කන්න පුළුවන්.

අනිත් බෝට්ටුවේ අයියා මාළු ටික බදින්න ගත්තා. ඔය අස්සේ අපි පොඩි ගිනි මැළ කෑල්ලකුත් ගහගත්තා. වෙනදා කැලේ ඉන්න කොට ගහන එක වගේ ලොකු එකක් නෙමෙයි. අපිට කෑළෑ සත්තු ගැන බය වෙන්න දෙයක් තිබ්බේ නෑ බත්තලංගුන්ඩුවෙදි. අපේ කයිවාරු කාරයා කළුකුවෝ උයන්ම් කියලා ගත්තට අන්තිමට පොර පැත්තක් අල්ලන් නිදි. අර බොට්ටුවේ අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඒකත් හදලා ගත්තේ. කොහොමත් බත් කාලත් ඉවර වුනාට පස්සේ තමයි කකුළුවෝ එක උයලා ඉවර වුනේ. එහෙම කියලා ඒක ඉතුරු වුනේ නෑ. පහුවදා මලිතයයි කයිවාරුවයි ඒක ඉවර කලා එක කකුළුවෙක් ඉතුරු වෙන්නේ නැති වෙන්න.

කඳවුරු බිම

ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපි ලොකු පොලිතින් එකක් වැල්ලේ එළලා එකේ සෙට් වෙන්න ලෑස්ති කලා. දැන් රෑ 8.00 විතර ඇති. ගිනි මැලයත් ඇවිලෙනවා. මහා එළියක් එකෙන් ආවේ නැතත් අපි අරන් ඇවිල්ලා තිබ්බා චාර් කරන බල්බ් වලින් අපිට ඇති තරම් එළිය තිබ්බා. අපි ඒවා දෙකක් එල්ලලා තිබ්බේ. පරණ අරක්කුත් අරන් අපේ වැඩේ පටන් ගත්තත් බර්ටියට එක ෂොට් එකෙන්ම පරණ අරක්කු එපා වුනා. ගත්ත ෂොට් එකේ ඉතුරු ටිකත් බිමට හලලා බර්ටියා මාළුවෙක් බඩට දාගෙන ෂේප් වුනා. වැඩේ දරුණුවටම නැතත් නැගලා ගියා. රෑට කාලා ටිකක් වෙලා ඉදලා 10.00 විතර බර්ටියා ෂේප් එකේ කුඩාරමකට රිංගුවා නින්දක් දාන්න කියලා හිතාගෙන.

අම්මෝ වැල්ලේ නිදියන එකත් සෙල්ලම් නෑ. කොදු අතපය ඔක්කොම රිදෙනවා. ඒ මදිවට යන එන පාරට වැලි තට්ටු ගණන් කූඩාරම ඇතුලේ. බෑග් එක ඔලුවට තියාගෙන බර්ටියා ඇතුලට වෙලා හිටියා. හරියට නින්ද ගියේ නැතත් නින්ද යනවා එනවා. බර්ටියා එක පාරක් ඇස් ඇරලා බලනකොට මලිතයත් ඇවිල්ලා බුදි. ඔය අස්සේ එළියෙන් සද්දේ ඇහෙනවා. අපේ පොට් එකට ගමේ පොරක් ඇවිල්ලා. අපේ එකෙක් පොරත් එක්කත් බොන්න සෙට්වෙලා. මිනිහා සින්දු කියනවා කියලා බෑගිරි ගහනවා මෙලෝ රහක් නෑ. ඒ අස්සේ මිනිහා මිනිහගේ පුරාජේරුවත් කියෝනවා. බලනකොට පොර මීගමුව පැත්තේ පොරක්. බර්ටියා ඊළග පාර ඇස් ඇරලා බලනකොට නිලූකයත් ඇවිල්ලා බුදි.

ආයි පාරක් බර්ටියා ඇහැරිලා වෙලාව බලනකොට දෙකට විතර ඇති. එලියේ සද්ද ඔක්කොම නැවතිලා. නින්ද යන්නෙත් නෑ. බර්ටියා ටොච් එකත් අරගෙන බොහොම අමාරුවෙන් එළියට රිංගුවා. ගිනි මැළයත් නිවිලා ගිහිල්ලා. සීතල සුලං පාරක් එනවා මුහුදු පැත්තේන්. අපේ එවුනුත් නිදි කුඩාරම් ඇතුලට වෙලා. කයිවාරු බුවා නම් අර පොලිතින් එක උඩම දොයි. බර්ටිය නින්ද යන්නෙත් නැති නිසා පොඩ්ඩක් මුහුද පැත්තට ඇවිදගෙන ගිහිල්ලා මග තිබ්බ ලී කොටයක් උඩට වෙලා අහස දිහා බලන් හිටියා. වැඩි වෙලා ඉන්නත් බෑ නිදිමත්ත් එනවා. ඔහොම ටිකක් වෙලා ඉදලා ආයෙමත් කූඩාරම ඇතුලට රිංගුවා.

නිදාගෙන ඉන්නකොට කූඩාරමේ රෙද්ද යටින් මොක්කුද මන්දා යනවා. සර්පයෝද දන්නේත් නෑ. බලනකොට පොඩි පොඩි සයිස් වල කකුළුවෝ වැල්ල අස්සෙන් රින්ගලා යනවා හතර අතේ. නූල් බදින්න වෙන වැඩ තමයි ඒවා. පහුවදා නිලූකයා ඉදන් කිව්වා රෑ වැල්ලේ කකුළුවෝ හිටියලු තවන් දාලා වගේ. අපරාදේ බර්ටියට ඒ සීන් එක බලා ගන්න බැරිව ගියා ඉතින්.

පාන්දර 4.30 විතර බර්ටියා ආයෙත් එළියට රිංගුවා අරක ඇතුලේ ඉන්න බැරිම තැන. ටික වෙලාවකින් මලිතයත් ඇවිල්ලා යමන් කිව්වා. බර්ටියත් ටෝච් එකත් අරන් ගියා වෙරළ පැත්තට. මෙහේ ඉතින් ටොයිලට් නෑනේ. උදේ පොළොවට එළියට වැටෙන්න කළින් අත්‍යාවශ්‍ය රාජකාරි ඉවර කරගන්නත් ඕනනේ. තරමක් එහාට වෙන්න පදුරු සහිත ප්‍රදේශයකට ස්ථාන ගත වෙච්ච අපි දෙන්නා ඒ කටයුත්තත් ඉවර කරගෙන මුහුදට බැස්සා ඔපරේශන් එකේ දෙවෙනි කොටස සිද්ධ කරගන්න. ඒ වේලාවේ දැනුන සැහැල්ලුව නම් කියලා නිම කරන්න බෑ. මතක තියාගන්න මුහුදු වතුරෙන් හොදන කොට පරෙස්සම් වෙන්න. වැඩේ ගානට සෙට් වුනේ නැත්නම් වැල්ලෙන් තමයි හෝදන්න වෙන්නේ.

ආපහු හැරේන් ........

හය විතර වෙනකොට එකා දෙන්නා නැගිටින්න ගත්තා. වැඩ ගොඩක් තියෙනවා ඉවර කර ගන්න. උදේට කන්න හදන්නත් ඕන. කෑම්ප් එක අස්කරන්නත් ඕන. අපිට යන වෙලාව ගැන ගැටළුවක් තිබ්බේ නෑ අපි බොට්ටුවක් හයර් එකට අරන් තිබ්බ නිසා. මේ වෙනකොට අපි ගෙනාව වතුර ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. යන්තම් උයන්න විතරයි වතුර ඉතුරු වෙලා තිබ්බේ. මොනා නැතත් අපි ගෙනාපු එක බෝතලයකුයි සෝඩා ලීටරේ බෝතල් 4 කුයි ස්ප්‍රයිට් බෝතල් 2 කුයි ඉතිරි වෙලා තිබ්බා. අපි ඉතින් උදේට දත් මැදලා සෝඩා වලින් තමයි මූණ කට හෝදා ගත්තේ.

ඔය වැඩ ටික ඉවර කරලා අපි පුයිමලා උයද්දී අපි කූඩාරම් ටික ගලවන්න ගත්තා. ඒවා ගලවන එක නම් ගේමක් නෙමෙයිග ඒත ඒවා පැක් කරලා අර පුංචි ඒවා දාලා තිබ්බ මල්ලට දාන්න පුළුවන් වෙන සයිස් එකට නමාගන්න එක නම් පට්ටම ගේමක්. අම්මෝ ඒකට විදපු දුකක්. සමහර කූඩාරම් දෙතුන් සැරය දිගඇරලා ආපහු නවන්න සිද්ධවුනා බෑග් වලට දාගන්න පුළුවන් වෙනකම්.

ඔය වැඩ අස්සේ අර ගමේ බුවා ආපහු ඇවිල්ලා හිටියා. පොර කියවනවා කියවනවා ඉවරයක් නෑ. පොරගේ ජීවිතේම එකම දුක් සීන් එකක්. ඇත්තටම මිනිස්සුන්ටත් වෙන දේවල්. පොර එක්තරා දවසක පොරගේ ගෑනීව දාලා ඇවිල්ලා වෙන ගෑනියෙක්ට සෙට්වෙලා. මිනිහා ඒ ගෑනිත් එක්ක එකතුවෙලා හොදට හම්බකරලා. යාන වාහන ඉඩම් කඩම් හැමදෙයක්ම අරගෙන. අන්තිමට ඒවා ඔක්කොම අර ගෑණියි ළමයිනුයි අරන් පොරව අත ඇරලා දාලා. මිනිහා මෙහේ ඇවිල්ලා ආයේ මාළු අල්ලනවා. මිනිහගෙන් තමයි සමහර විස්තර දැනගත්තේ දූපත ගැන.

බෝට්ටුවට නගින ගමන්

මේ දූපත අයිති වෙන්නේ මීගමුව චන්ද බල ප්‍රදේශයට. විශ්වාස කරහන්කෝ ඉතින්. අපිත් මුලදී විශ්වාස කළේ නෑ. ඒ වගේම දූපතේ සියලුව ඡන්දේ වැටෙන්නේ මීගමුවේ නම ගිය කුඩු ගෙන්නන පොරකට කිව්වහමත් විශ්වාස නැතුව ගියා. සමහර විට ඒවා එන්නෙත් මේ හරහා වෙන්න පුළුවන් ඉතින්. පහුගිය කාලේ සම්පූර්ණ දූපතම හෝටලයක පවරාගන්නවා කියලා කතාවකුත් තිබ්බලු. ඒ වෙනකොට නම් ඒ කතාව යට ගිහිල්ලා තිබ්බේ. කොයිම වෙලාවක හරි ඒක ආයෙත් එන්න පුළුවන් ඉතින්.

උදේටයි දවල්ටයි දෙකටම අපි නූඩ්ල්ස් හැදුවා. නූඩ්ල්ස් මදිවෙයි කියලා හාල් ටිකකුත් ලිපේ තිබ්බා. මූද පැත්තෙන් එන හුළගත් එක්ක උයන වැඩේ කරන එක ලේසි වුනේ නෑ. බොට්ටුවේ අයියලා දෙන්නා මාර සපෝට් එකක් දුන්නා ඒ වෙලාවෙත්. ඊළගට අපි උදේට කෑවා. උදේට බොන්න තේ තිබ්බෙත් නෑ ඉතින්. ඔය වෙලාවේ තමයි මලිතයයි කයිවාරුවයි කකුළුවෝ ටික කාලා ඉවර කලේ. ආයේ මූදේ නාන්න හිතුනත් හොද වතුර ටිකක් හොයාගන්න සෑහෙන්න දුරක් යන්න වෙන නිසා ඒ අදහස අත ඇරලා දැම්මා හිතුන පරක්කුවටම.

කෑම කාලා ඉවර වෙලා අපි කූඩාරම් ගහලා තිබ්බ තැන සුද්ධ කරලා දැම්මා. අපි පස්සෙත් තව අය මෙතනක එනකොට ඒක පිළිවෙලට පිරිසිදුවට තියෙන්න ඕන නිසා. ඔය වැඩ ටික ඉවර කරන කොට එකොළහට විතර ඇති මතක විදිහට. අපි බඩු ටිකත් කරගහගෙන ගියා බෝට්ටුව නවත්තලා තිබ්බා තැනට. අර පොඩි ඉනිමං කෑල්ල දිගේ බොහොම බයෙන් බයෙන් නැගලා යන්තම් බෝට්ටුවට පය ගහගත්තා. බඩු ටික ඔක්කොම පටවලා අපේ සෙට් එකත් නැගගත්තා බොට්ටුවට.

දැන් ඉතින් ආයෙමත් පැය තුනක දිග ගමනක් කල්පිටිය බලා. නැංගුරමත් අරන් බෝට්ටුව ඇතුලට දාගත්ත අපි ගමන පටන් ගත්තා. වැඩි වෙලා ඉන්න නම් හම්බවුනේ නෑ එකා දෙන්නා බංකු උඩ නිදියන්න පටන් ගත්තා. බර්ටියත් ඇලට් එකක් දැම්මා. ඔහොම ඇවිල්ලා ඇවිල්ලා සෑහෙන වෙලාවකට පස්සේ ඈතින් කල්පිටිය වරාය පේන්න ගත්තා. අපි ටිකෙන් ටික ගමනේ අවසානය කිට්ටු වෙනවා. දුකකුත් දැනනෙවා ඉතින්. මේ ගමන අමතක නොවන ගමනක් වුනා අපි වින්ද චමත්කාරයත් එක්ක.

කල්පිටියේ වරායේ බෝට්ටුව නැංගුරුම් දැම්මට පස්සේ අපේ වාහන දෙකත් ඒ ළගටම ගෙනල්ලා බඩු ටික පටෝ ගත්තා. ඩොල්පින් වාඩිය බෝට්ටුවේ අයිතිකාරයාටයි අපිට උදව් කරපු අයියලා දෙන්නයි ස්තූති කරලා ගණදෙනුත් පියවපු අපි ආපහු එන්න පටන් ගත්තා ගම් බිම් බලා ආයෙත් පාරක් මේ වගේ ගමනක් යන බලාපොරොත්තුවෙන්.

බර්ටියා ගමන් සගයා සමග
බත්තලංගුන්ඩුව වෙරළ
කල්පිටිය ධීවර වරාය ඇතුලත

බත්තලංගුන්ඩුව 02

කඳවුරු භූමිය
ගොඩ බිම ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා යනවා. කල්පිටිය වරායත් අපෙන් ඈත් වෙනවා. හිතට පොඩි බයක් එක්කම අමුතු කික් එකකුත් ආවා. බර්ටියා ජීවිතේ පළවෙනි පාරට තමයි මෙහෙම මුහුදු ගමනක් යන්නේ. තව ටිකක් දුර යනකොට බොට්ටුවේ වැඩ කරපු දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිල්ලා අපිට දාගන්න කියලා ලයිෆ් ජැකට් දුන්නා. තව පොඩ්ඩක් ඉස්සරහින් නේවි එකෙන් සමහර වෙලාවට චෙක් කරලා බලනවලු ලයිෆ් ජැකට් දාලද කියලා. ඔය යන ගමන් අපි උදේට කෑම කෑවා. පරාටායි රෝල්ස් වගයකුයි පැටිස් වගයකුයි තමයි කන්න අපි අරගෙන තිබ්බේ.

ටික ටික මුහුදේ ගැස්සිල්ල වැඩිවෙනවා අපි ගැඹුරු මුහුදට යනකොට. අපේ පැත්තකින් විල්පත්තු පේනවා. අපි ටිකක් වෙලා කයිවාරුවක් ගහගෙන හිටියත් ඒකත් එපා වෙලා ගියා. යනවා යනවා ඉවරයක් නෑනේ. කට්ටිය බොට්ටුවේ ගහලා තිබ්බ බංකු උඩට වෙලා සැපට නිදි. බර්ටියත් බංකුවකට වෙලා පොඩි නින්දක් දැම්මා. ඔහොම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ අපිට මූද මැද්දෙන් සෙල් ටවර් එකක් පේන්න ගත්තා. ඔව් ඒ තමයි අපේ ගමනාන්තය වන බත්තලංගුන්ඩුව දූපත.

තවත් පැයක විතර ගමනකින් පස්සේ අපි බත්තලංගුන්ඩුවට කිට්ටු වුනා. කොහොමත් ඒ වෙනකොට දහයමාරට එකොළහට විතර ඇති. ඒ පැත්තේ කිසිම වරායක් ජැටියක් ඇත්තේ නැහැ. අපේ බෝට්ටුව වෙරලට බොහොම කිට්ටු කරලා නැංගුරම් දැම්මා. ඊළගට බෝට්ටුවේ වහලේ උඩ දාලා තිබ්බ ඉනිමඟක් අරන් බෝට්ටුවේ ඉස්සරහා පැත්තට සෙට් කලා. ඕක දිගේ බිමට බැහැලා තමයි අපිට දූපතට යන්න තිබ්බේ. බැහැලා ඉවර වෙලා බර්ටියා මලිත ඇතුලු තුන් හතර දෙනෙක් අපිට කෑම්ප් ගහන්න තියෙන තැන බලන්න ගියා. එතන ඒ වෙලාවෙත් කට්ටි දෙකක් හිටියා. ඒ දෙගොල්ලම ආපහු යන්න ලෑස්ති වෙනවා. මොකද තව ටික වෙලාවකින් සෙනග ගෙනියන බෝට්ටුව එනවා දූපතට.

දවල්ට උයන ගමන්

අපි ආපහු බොට්ටුව තියෙන තැනට ආවා. කට්ටියක් බඩු බාගන්න අතරේ කට්ටියක් ගියා අලුත් මාළු ටිකක් හෝයා ගන්න. පැයකට විතර පස්සේ මාළු හොයන්න ගිය සෙට් එක ආපහු ආවා. පුයිමා එනවා තඩි මාළුවෙකුත් උස්සන්. තව පොඩි මාළු වගේකුයි කකුළුවෝ වගේකුයි ඕඩර් කරලා කට්ටිය ඇවිල්ලා. අපි ඉතින් අපේ බඩු ටිකත් අරගෙන ගම අස්සෙන් කැම්ප් කරන්න තිබ්බ තැනට ගියා. මොන නැතත් අපේ එවුන් නාන්න තරම් සෝඩයි ස්ප්‍රටුයි ගෙනල්ලා තිබ්බා. එක වැට් 69 බෝතලයයි පරණ පඹයෝ හතර දෙනයි තමයි නැටුම් තෙල් වලට තිබ්බේ. අහස පැහැදිලියි මේ වෙනකොට. වහින ලකුණක් තිබ්බේ නෑ. කලින් දවස් වල දිගටම වැස්සා කියලා තමයි එහෙ මිනිස්සු කිව්වේ. අපේ වෙලාවට වහින එකක් නෑ කියලා තමයි අපේ හිත් කිව්වේ.

දූපතටම තිබ්බේ කලින් මම කියපු ගොඩනැගිලි ටික තමයි. ඒ අරුණහම වෙන ගලින් බැදපු ස්ථීර ගොඩනැගිල්ලකට තිබ්බේ ටොයිලට් තුනක් විතරයි. ඒකෙනුත් දෙකක්ම ඉබ්බෝ දාලා වහලා තිබ්බේ. බර්ටියා හිතන්නේ මෙහේ මිනිස්සුන්ට මෙහෙම ටොයිලට් ගිහිල්ලා පුරුද්දක් නෑ කියලා. මේ ටොයිලට් වලටත් වතුර වෙනම ගේන්න ඕන. ළඟ පාත වතුර ටිකක් ගන්න තැනක් නෑ. බත්තලංගුන්ඩුවට කෙනෙක් එන්න හිතාගෙන ඉන්නවානම් සැප පහසුකම් අමතක කරලා තමයි එන්න ඕන. නවතින්න හොටේල් තියා කාමරයක් ගන්නවත් තැනක් එහේ නෑ. වතුර අන්තිම අමාරුයි. ඒක නිසා ඇති වෙන්න වතුර ගේන්න මතක තියාගන්න ඕන. ගේන වතුර ටිකත් පරෙස්සමින් පාවිච්චි කරන්න ඕන. මේක ඇතුලේ බඩු ගන්න තැනක් නෑ. පොඩි කඩ කෑල්ලක් තිබ්බට ඒකේ ඇති දෙයක් නෑ කියලා තමයි ආරංචි වුනේ. බර්ටියාට නම් කඩේ පැත්තට යන්න අවස්තාවක් ලැබූණේ නෑ ඉතින්.

වැට් 69 යේ අවසානය

බර්ටියා උඩින් කියපු හේතු හින්දා දුෂ්කර පරිසරයක් ඉන්න පුළුවන් අයට විතරයි බත්තලංගුණ්ඩුවේ කෑම්ප් කරන්න පුළුවන්. සීනි බෝල වලට චරිත වලට නම් මේ වැඩේ කරන්න අමාරුයි. විදුලි බලය නෑ දූපතට. දන්න තරමින් පොලිස් මුරපොලටයි නේවි එකේ මුර පොලටයි ජෙනි දෙකක් තිබ්බා.

අපි බඩු ටිකත් අරන් ගියා කෑම්ප් ගහන තැනට. එතන එක පැත්තකින් පොඩි ගස් ජාතියකින් ආවරණය වෙලා. අනිත් පැත්තෙන් මුහුද. නාගන්න ඕන වුනහම දුවලා ගිහින් මුහුදට පනින්න තමයි තියෙන්නේ. ඊළගට තිබ්බේ අපි ගෙනිච්ච ටෙන්ට් ටික ගහලා ලෑස්ති කරන්න. මලිතයා තමයි වැඩේ දැනගෙන හිටියේ. බර්ටියත් එක සැරයක් ඔය ටේන්ට් ගහලා තියෙන නිසා වැඩි වෙලාවක් යන්න කලින් අපි ගෙනිච්ච ටෙන්ට් පහ ගහලා ඉවර කලා. ඊළගට දවල් කෑම. කෑම හදන වැඩේ වැඩි බරක් බාර අරන් වැඩ කලේ පුයිමා තමයි. අනිත් අයත් පුයිමට සපෝට් එක දුන්නා. ඔය වැඩේ යන අතරෙම වැට් 69 බෝතලය අවසන් කරන්න අපි තීරණය කලා.

ගමන් යන කොට එක එක පොරවල් සෙට් වෙනවනේ. මෙතනත් හිටියා සද්දේ විතරක් තියෙන යුද්දේ නැති පොරක්. රටේ තියෙන වැඩ කරන්න බාර ගත්තට අනිත් මිනිස්සුන්ට තමයි වැඩේ කරන්න සිද්ධ වුනේ. මොක නැතත් පොරගේ කයිවාරුව තියෙනවා. හැබැයි රුවල් ඔරුවක වැඩක් නෑ. පොර ඉතින් වැඩ ටික අනිත් මිනිස්සුන්ට පටවලා මාරු වෙනවා. බෝතලෙත් ඉවර වුනා. උයන වැඩෙත් යනවා. උයන අස්සේ කව්ද කලිසම් කෑල්ලක් ගහගත්ත මාළු අල්ලන පොරක් කිව්වා අපෙන් කව්රු හරි දෙන්නෙකුට පොලිස් පොස්ට් එකට එන්න කියලා පණිවිඩයක් දුන්නා. මලිතයයි නිලූකයි ඒ වැඩේට යන්න පිටත් වුනා. ගිනි ගහන අව්වේ යන්න තියෙන හින්දා බර්ටියා කෑම්ප් එකේම හිටියා. පැයක් විතර ගියා මුන් දෙන්නා නෑ. තවත් පැය බාගයකට විතර පස්සේ මුන් දෙන්නා එනවා දාඩිය පෙරාගෙන. පොලිස් පෝස්ට් එක තිබිලා තියෙන්නේ දූපතේ එහා කෙලවරේ. මුං දෙන්නට ගිනි අවුවේ පාරත් හොයාගෙන ඒකට බඩගාන්න වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි හොදම කතාව. අපේ කෑම්ප් එකට ඇවිල්ලා ගිය මාළු අල්ලන පොරක් කියලා හිතපු කෙනා එක පොලිස් කාරයෙක් එකේ ඉන්න. පොරවල් දෙකයි එතන පෝස්ට් එකේ ඉන්නේ. ඒ දෙන්නත් ඉන්නේ සිවිල් පිට. අපේ පොරවල් දෙක එකෙක්ගේ එඩ්රස් එකට අනිත් එකාගේ ටෙලිෆොන් නම්බර් එක දීලා ඇවිල්ලා.

කදවුරු බිමට ඉදිරි පසින් ඇති මුහුදු තීරය

පොලිසියෙන් ඩයලොග් නම්බර් එකක්ම ඉල්ලලා. මොකද මොබිටෙල් වලට සිග්නල් නෑ එහාට. එයාටෙල් වැඩ. එයාටෙල් වලට ඉන්දියාවේ සිග්නලුත් අහුවෙනවා. හුට් ගැන නම් කියන්න දන්නේ නෑ. ඕක නිසා නිලුකයගේ එඩ්රස් එකට මලිතයගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා මුන් දෙන්නා ඇවිල්ලා. ඒ අස්සේ අතුරුදහන් වෙච්ච බුවා ගිහිල්ලා ගමේ පොරක්ව සෙට් කරගෙන. පොර නොම්බර එකේ ඇණයක් වුනා රෑ කෑම්ප් එක අස්සේ රිංගලා.

දවල්ට කාලා බීලා ඉවර වෙලා පොඩි රෙස්ට් එකක් අරගෙන අපි වෙරළට ගියා සෙල්ලම් කරන්න. අපිට එහා පැත්තට අලුතෙන් සෙට් එකක් ඇවිල්ලා හිටියා. කොහේ හරි කැම්පස් එකක කෙල්ලෝ වගයක්. අපි පොඩි ෆුට්බෝල් පාරක් ගහලා පිස්සුවක් නටලා මුහුදේ නෑවා පැය ගාණක්. මූදේ නාන එක නම් හරිම සනීපයි. එකම අවුල් තිබ්බේ ඇඟ ඇලෙනවා ගොඩට ආවහම ලුණු නිසා. අපි ඉතින් හොද වතුර ටිකක් නාගන්න තැනක් හොයන් ගියා ඊට පස්සේ. එහේ වෙරළ කිට්ටුවට තැනින් තැන මිනිස්සු වලවල් හාරලා ඒවට එකතු වෙන වතුර තමයි බොන්න නාන්න ගන්නේ. ඒ වතුර කිවුල් නෑ. අඩිය දෙක හාරනකොට වතුර එකතු වෙනවා. පායන කාලෙට මේ හාරන වල වල් ගාන වැඩි වෙනවා. අපිත් ඉතින් වතුර වලක් හොයාගෙන එහාටයි මෙහාටයි ඇවිද්දා. නිලූක වතුර වලක් දැකලා තිබ්බා අපි හිටපු තැනට කිට්ටුවෙන් එයාලා පොලිස් පෝස්ට් එකට ගිහිල්ලා එනකොට. අපිත් ඒ පැත්තට ගියා.

ඔහොම යනකොට අපිට වතුර වලක් සෙට් වුනා. බෝතල් කෑල්ලක් කපාගෙන එකෙන් තමයි නාගන්න වතුර ගන්න වුනේ. එකෙන් වලේ පැත්තකට බැහැලා වතුර අරන් දෙනවා. අනිකා නානවා. බොහොම කටු වැඩක්. එකෙක් නාගෙන ඉවර වෙනකොට ගමේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ඔතනින් නාන්න එපා කියලා. එතන වතුර හොද නැහැයිලු. තව වතුර වලක් තව ඉස්සරහින් මූද පැත්තට වෙන්න තියෙනවා එතනට යන්න කිව්වා. දැන් අපි වතුර වල හොයාගෙන යනවා යනවා යනවා. ඔහේ නෑ. දැනටම කිලෝමීටරයක් දෙකක් විතර ඇවිදලා. ඒ අස්සේ අපේ ඉස්සරහින් ගිය දෙන්නට තව කව්ද හම්බවෙලා බාල්දිකුත් දීලා දැන් ඒ ගොල්ල හෑරුව වලක් තියෙනවා කියලා තව පොඩ්ඩක් ඉස්සරහින්. ඒ පාර ඒ පැත්තට යන්න පටන් ගත්තා. යනවා යනවා ඉවරයක් නෑ. දැන් නම් ඇතිවෙලා. බර්ටියාට නම් දැන් නෑවේ නැතත් කමක් නෑ. අව්වයි දාඩියයි හොදටම. නිලුකයි බර්ටියයි ටිකක් පහුවුනා වෙරලේ තිබ්බ සිප්පි කටු බෙල්ලෝ අහුල අහුල. මලිතයයි අනිත් සෙට් එකයි අපිට සෑහෙන්න ඉස්සරහින් දැන්. බර්ටියා නම් දැන් නාන අදහස අත ඇරලා දාලා තමයි තිබ්බේ. මේක කරන්න පුළුවන් වැඩක් යෑ.

ගිනි මැලය

කොහොම හරි අපේ ඉස්සරහින් ගිය සෙට් එකට වතුර වල හම්බවෙලා තිබ්බා. අපි දෙන්නත් හෙමින් සැරේ ඒ පැත්තට ගියා. එකෙක් වලට බැහැලා වතුර අරන් දෙනවා. අනිකා නානවා. බර්ටියත් වතුර බාල්දි පහ හයක් දාගෙන නෑම ඉවර කලා. සෙල්ලම් දදා නාන්න වතුර නෑ ඉතින් එහේ. අන්තිම හරියෙදි වල ටික ටික කඩා වැටුණා. ඒ හැටි ඉතින්. වැල්ල නිසා තියෙන්නේ නෑ. අපෙත් නෑම ඉවරවෙලා තිබ්බ හන්දා හෙමින් සැරේ කෑම්ප් එක පැත්තට එන්න පටන් ගත්තා. දැන් වෙලාව හවස පහත් පහුවෙලා.

දූපතේ මිනිස්සු කියපු විදිහට කාලෙකට කලින් දූපත පුරාම ගස් තිබිලා තියෙනවා. ඒත් කාලෙත් එක්ක එපා නැතිවෙලා ගිහින්. මිනිස්සු කපලා වෙන්නත් පුළුවන්. අපි කැම්පින් කරන තැන තමයි යන්තම් ගස් ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ. වෙරළේ වැලි සමහර තැන්වල දුඹුරු පාටයි. ඒ කියන්නේ ඉල්මනයිට් තියෙනවා. සමහර විට ලොකු නිධියක් තියෙන්නත් පුළුවන්. දැක්ක නරකම දේ දූපතේ වෙරල පුරාම ප්ලාටික් බෝතල් පොලිතින් තියෙන එක. නැව්වලින් විසික් කරන බෝතල් හැම තැනට ගොඩ ගහලා. ඒ අස්සේ වීදුරු බෝතලුත් තියෙනවා සමහර තැන්වල. ඔන්න ඔහොමයි දූපතේ ඇතුලේ තත්වේ.

වෙරල පුරාම එක එක මාදිලියේ සිප්පි කටු, බෙල්ලෝ. ඇත්තටම ලස්සනයි. අපිත් ප්ලාස්ටික් බෝතල් දෙක තුනක් හොයාගෙන බෙල්ලෝ එකතු කර කර හෙමින් සැරේ කෑම්ප් එක පැත්තට ආවා. ඈතින් මුහුද පැත්තෙන් වැහි කලුවකුත් පේනවා. ඒ මේ පැත්තට ආවොත් අනිවා වහිනවා. එහෙම වුනොත් අපේ කූඩාරම් ඇති වෙන එකක් නෑ ඒ වැස්සට ඔරොත්තු දෙන්න. ඉතුරු ටික ඊළඟ කොටසින් කියන්නම්.

බත්තලංගුන්ඩුව 01

බත්තලංගුණ්ඩුව ගූගල් මැප් වල
ලංකාවේ වයඹ දිග මුහුදු තීරයේ කුඩා ප්‍රමාණයේ දූපත් ගණනාවක් පිහිටලා තියෙනවා. අන්තර්ජාලයේ සමහර වෙබ් පිටුවලට අනුව දූපත් 14 ක්. පල්ලිය වත්ත, උච්චිමුණේ, ඉප්පන්තිව්, බත්තලංගුන්ඩුව ඒ අතරින් කීපයක්. බර්ටියා අද කියන්න යන්නේ පහුගිය දවසක මේ බත්තලංගුන්ඩුවට ගියපු චාරිකාවක් ගැන. කට්ටියම දන්නවනේ බර්ටියා ඇවිදින්න බොහොම කැමති කෙනෙක් කියලා. මේ ගමන ගියේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ. බර්ටියා බත්තලංගුන්ඩුව ගැන දෙසැම්බර් වෙනකම් අහලා තිබ්බෙත් නෑ.

බත්තලංගුන්ඩුව දූපත පිහිටලා තියෙන්නේ කල්පිටියේ ඉදලා නාවික සැතපුම් 20 ක් එහෙම නැත්නම් කිලෝමීටර් 38 විතර දුරින් මුහුදේ. මේ දුපතේ වර්ග ඵලය හෙක්ටයාර 145.53 ක් වෙනවා. ජනගහණය සාමාන්‍යයෙන් 3000 ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. ඒ හැමදෙනෙක්ම තමන්ගේ ජීවිකාව වශයෙන් කරන්නේ මාළු අල්ලලා වෙලදාම් කරන එක තමයි. කල්පියේ නාවික වරායේ ඉදලා උදේ 8.30 එක යාත්‍රාවක් පිටත් වෙනවා බත්තලංගුන්ඩුවට. බෝට්ටුවට රුපියල් 270 ක් ගෙවන්න ඕන ගමන් වාරයකට. දූපතට අවශ්‍ය කරන සියලුම දේවල්, මගීන් ප්‍රවාහන කටයුත සිද්ධ කරන්නේ මේ යාත්‍රාව හරහා. ඒ ඇරුණහම ඉරිදා දවසට මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ බෝට්ටු ගමනට පැය තුනක විතර කාලයක් ගත වෙනවා. හැබැයි මෝටර් බෝට්ටුවකට නම් මේ දුර විනාඩි 45 පැයක් වගේ කාලයක් ඇතුලත ඉවර කරන්න පුළුවන්.

කල්පිය වරාය බෝට්ටුවේ සිට
දුපතේ පොලිස් මුර පොලක්, නාවික හමුදා මුර පොලක්, කුඩා පල්ලියක් හා පල්ලිය මගින් පවත්වාගෙන යන කුඩා පාසලක් තියෙනවා. මේවා තමයි මේ දුපතේ තියෙන ස්ථිර ගොඩනැගිලි. අනිත් හැම ගෙයක්ම පොල් අතු වලින් ගොඩ නැගිච්ච නිවාස තමයි. බර්ටියට මතක විදිහට එකම එක පොඩි කඩ කෑල්ලක් තියෙනවා දූපතේ. දූපතේ වෙසෙන වැඩි පිරිසක් කතෝලිකයෝ. ඒ අය අනිවාර්යයෙන් ඉරිදා පූජාවට සහභාගී වෙන්න ඕන. ඒක නිසා ඉරිදට මාළු අල්ලන්න යන එක තහනම් දූපත් වාසීන්ට. බත්තලංගූණ්ඩුව කදවුරු භූමියක් ලෙස බොහොම ප්‍රසිද්ධයි. කාලයකට කලින් දූපත පිරෙන්න වන ගහණයක් තිබ්බත් අද වෙනකොට බොහොම අඩු ගහ කොළ ප්‍රමාණයක් තමයි දූපතේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ අතරින් ගස් කොළන් වලින් වට වෙච්ච එක ඉඩ ප්‍රමාණයක් තියෙනවා කදවුරු ගැසීම සදහාම වෙන්වෙච්ච.

බත්තලංගුන්ඩුවට යන එක ගැන බර්ටියට ඉස්සෙල්ලම කිව්වේ බර්ටියගේ ගමන් සගයා වන මලිතයා. මලිතයා ඒ ගැන විස්තර හොයාලා ගමන යන්න සෙට් වෙච්ච කීප දෙනෙක් කරලා වට්ස්ඇප් ගෲප් එකකුත් හැදුවා. මේකට මලිතයගේ ඉස්කෝලේ යාළුවෝ කීප දෙනෙක් ඇතුලුව අට දෙනෙක් විතර සෙට් වෙලා හිටියා. ලක්මාල් නැත්නම් පුයිමා, අමල් මලිතයගේ ඉස්කෝලේ කාලේ ඉදන්ම යාළුවෝ. බර්ටියා මේ දෙන්නා ගැන අහලා තිබ්බට කතා බහ කරලා අදුරගෙන හිටියේ නෑ. ඊලඟට නිලූක බර්ටියත් හොදට දන්න මලිතයත් එක්ක එකට ජාත්‍යාන්තර පාසලක වැඩ කරපු ගුරුවරයෙක්. ඒ ඇරනහම බර්ටියා නොදන්න රගුත්, සමීරත්, බානුත් මේ ගමනට එකතු වුනා.

පුයිමයි මලිතයයි ගමන සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වුනා. ගමනට ඕන කරන බඩු අරගන්න මේ කට්ටිය තමයි මහන්සි වුනේ. බර්ටියට ගමනට සෙට් වෙන්න තමයි තිබ්බේ. අපිට ආපු ලොකුම ගැටලුව නිවාඩු. මොකද මලිතට, බර්ටිට, නිලූකට නිවාඩු තිබ්බට අනිත් සෙට් එකට නිවාඩු තිබ්බේ නෑ. කොහොම හරි අපි දෙසැම්බර් මාසේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් මේ වැඩේට වෙන්කර ගත්තා. හරියටම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ 21, 22 දවස් දෙක.

බත්තලංගුන්ඩුව මුහුද වෙරල බෝට්ටුවේ සිට
ඊළඟ ප්‍රශ්නේ වුනේ ඉරිදට ආපහු එන්න බොට්ටුවක් නැති වීම. අපේ බජට් එකත් එක්ක බෝට්ටුවක් හොයා ගැනීම ලොකු ගැටළුවක් වුනා. මොකද ප්‍රයිවෙට් ගමනකට රුපියල් 40,000 විතර ගන්නවා. අපේ ඉන්නේත් 8 දෙනයි. අන්තිම යන්තම් තවත් කට්ටියකටත් එක්ක බොට්ටු රයිඩ් එක 40,000 වෙන් කරවා ගන්න අපිට පුළුවන් වුනා. ඒත් අපේ වෙලාව කියන්නේ අන්තිම මොහොතේ ඒ සෙට් එක එයාලගේ ටුවර් එක කැන්සල් කලා. අපේ එවුන් දෙන්නා නාහෙන් අඩලා අඩලා අන්තිමට බෝට්ටුවේ ගාන 25,000 ට බස්ස ගත්තා. දැන් ඒ වැඩෙත් හරි. ඊළගට තිබ්බ ගැටළුව ඒ දවස් වලා තිබ්බ වැසි සහිත කාලගූණය. ඒ මදිවට බත්තලංගුන්ඩුවටත් දෙසැම්බර් මාසේ වැහි කාලේ වුනා. මලිතයගේ තිබ්බ කුඩාරම් තුනටයි පුයිමා ගාවද කොහෙද තිබ්බ කුඩාරමයි එක්ක අපි වැස්සට මුහුණ දෙන්න තීරණය කලා.

දැන් මූලිකව සිද්ධ වෙන්න ඕන වැඩ ටික ඔක්කොම සිද්ධ කරලා ඉවරයි. මුලින්ම පාන්දර එකට විතර කොළඹින් ගමන පිටත් වෙන්න තීරණය කරලා තිබ්බත් පස්සේ රෑ 11 ට විතර හෙමින් සැරේ ගමන යන්න කට්ටිය තීරණය කලා. ගමන යන්න තිබ්බේ මලිතයගෙයි අමල්ගෙයි (බර්ටියට මතක විදිහට) වාහන දෙකේ. දෙසැම්බර් 20 සිකුරාදා හවස 7 ට විතර බර්ටියා ඕන කරන කලමනා ටිකත් පොදි බැදගෙන 9.30 විතර වෙනකොට මලිතයගේ ගෙදර ගියා. මලිතයගේ ගෙදරින් 10 ට විතර ආපු අපි දෙන්නා නිලූකලගේ ගෙදර ගිහින් නිලූකවත් දාගෙන කොල්ලුපිටිය පැත්තට ආවා. ඒ ඇවිල්ලා කොල්ලුපිටියේ කඩෙකින් කොත්තුවකුත් කාලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා අමල්ලා කට්ටිය ඉන්න තැනට ගියා. ටිකක් වෙලා කතා කර කර ඉදලා අපි ගමන යන්න පිටත් වුනා. දැන් වෙලාව රෑ 12.00 විතර ඇති. අපි ඉස්සෙල්ලම හයිවේ යන්න හිතුවත් ඒ වෙලාවේ පාරේ වාහන නැති නිසා අපි කොළඹ මීගමු පාරෙන් කල්පිටියට යන්න පිටත් වුනා. මීගමුව පහු වෙලා ටිකක් දුර ගිහිල්ලා කඩයක් ගාව නවත්තලා කට්ටිය කෑම කන අතරේ අපි තුන්දෙනා ප්ලේන්ටියක් ගැහුවා නිදිමත යන්නත් එක්ක.

බෝට්ටුවට බඩු පටවන ගමන්
එතනින් පස්සේ වාහනේ අරගෙන ගියේ නිලූක. පුත්තලම ටවුන් එකට කිලෝමීටර් ගාණක් මෙහායින් තමයි කල්පිටියට යන පාර තිබ්බේ. ඒකේ යන කොටත් වැහැපු වැස්සට සමහර තැන් යට වෙලා තිබ්බා. මේ සීන් එක හින්දා අපි ටිකක් බයෙන් තමයි ගියේ. කොහොමත් කිසිම කරදරයක් නැතුව පාන්දර 4.00 ට විතර අපි කල්පිටියට ආවා. ඒ ඇවිල්ලා ධීවර වරායට යන පාර හොයාගන්න පොඩි කට්ටක් කන්න වුනා. කොහොම හරි ඒ වැඩෙත් කරගෙන අපි කට්ටිය වරාය ගාව වාහනේ නවත්තලා එළියට බැස්සා.

ඊළගට කරන්න තිබ්බේ අපි යන බෝට්ටුවේ අයිතිකාරයට කතා කරලා අපි ඇවිල්ලා ඉන්නවා කියලා කියන එක. ඒකත් හරි. ඊට පස්සේ අපි බෝට්ටුවේ අයිතිකාරයා එනකම් පැයක් විතර බලන් හිටියා. පොර ආවට පොරත් එක්ක කතා කරලා පස්සේ අවශ්‍ය කරන අනිත් කටයුතු ටිකත් කරගත්තා. වාහන දෙක ධීවර වරාය ඇතුලේ නවත්තලා යන්න පුළුවන්. ඒකට දවසකට රුපියල් 50 ක් ද කොහෙද ගෙවන්න ඕන. ඊළඟට වරාය ඇතුලේ තියෙන වෙරළ ආරක්ෂක මුර පොලට අපේ නම් ලැස්තුවයි ජාතික හැදුනුම්පත් අංකයි දීලා අවසර ගන්න ඕන. ඒකට පොඩි ගාණක් ගෙවන්න ඕන.

උදේ කෑමයි තව ඕන කරන වතුරයි වරායේ තියෙන කැන්ටිමෙන් ගන්න පුළුවන්. වතුර බෝතලේට (ලීටර් 5 ලොකු බෝතල්) වලට පොඩි ඩිපොසිට් එකක් තියන්න ඕන. ඔය වැඩ ටික කරගන්න අස්සේ වරායේ ඈතින් නවත්තලා තිබ්බ අපි ගමන යන බෝට්ටුව වරායේ ජැටියට අරගෙන ආවා. අපේ වාහන දෙකත් වරාය ඇතුලට දාලා වාහන වල තිබ්බ අපේ බඩු මුට්ටු ටික බෝට්ටුවට පටව ගන්න එක තමයි අපිට ඊළගට කරන්න තිබ්බේ. මෙතන ඉදලා පැය තුනක ගමනක් තිබ්බා බත්තලංගුන්ඩුවට. තාම අහසේ වැහි බර ගතිය දකින්න තිබ්බා. අපේ එකම ප්‍රාර්ථනාව වුනේ වහින්න එපා කියන එක. කොහොම හරි උදේ 6.45 ට 7.00 විතර අපි කල්පිටිය ධීවර වරායෙන් පිටත් වුනා බත්තලංගුන්ඩුව කරා. ඉතුරු ටික අනිත් දවසේ කියන්නම්.

බර්ටියා සහ අමල්
මුහුදු ගමන
මලිතගෙන් තවත් නයෙක්

බේබදු කතා 2

මැයි මාසේ දෙවෙනි බ්ලොග් සටහනත් අරගෙන බර්ටියා ආවා. මේ දවස් වල ඉස්කෝලේ නිවාඩු නිසා ගෙදරට වෙලා ඉන්න නිසා සටහනක් දෙකක් ලියන්න අවස්තාවක් ලැබුණා. බර්ටියා මීට කලිනුත් බේබදු කතාවක් ලියලා තිබ්බා. මේකත් ඒ වගේ කතාවක්. බර්ටියා බයක් නැතුව නිතරම සෙට් වෙන දෙන්නෙක් ඉන්නවා. එකෙක් මලිතයා. අනිකා බටයා. බටයා නම් මේ දවස් වල ට්‍රම්ප්ට පාන අල්ලන්න ගිහිල්ලා ඉන්න නිසා සෙට් වෙන්න වෙන්නේ අවුරුද්දකට සැරයක් වගේ. මේ බේබද්දෝ එක්ක ඉන්නවා බයිට් එක ඩයට් එක කරගත්ත අමද්‍යප බුවෙකුත්. ඒ තමයි අපේ මුට්ටියා.

මේ කියන දවස සෙනසුරාදා දවසක්. කලින් ඉදන්ම සෙට්විල්ලක් ගැන අපි සෙට් එක කතා වෙලා හිටියට වැඩේ ස්ථිර වෙලා තිබ්බේ නෑ. මේ කියන දවසේ උදේම බටයා කෝල් එකක් දීලා කිව්වා මලිතයා හවසට අසනීප වෙනවා කියලා. බර්ටියාටයි මුට්ටියටයි මලිතයගේ ගෙවල් පැත්තට එන්න කිව්වා දෙකට විතර. දැන් කට්ටිය බලයි අසනීප එකාට බොන්න පුළුවන්ද නැත්නම් කල් ඇතුව අසනීප වෙනවා කියලා කියන්න පර චින්ත විජාරන ඥානය තියෙනවද කියලා. එහෙම සීන් එකක් නෑ. එකේ තේරුම මලිතයා හවස කරන්න තියෙන ක්ලාස් ටික සේරම කැන්සල් කරලා බොන්න සෙට් වෙනවා කියන එක. ඒක තමයි සාමාන්‍යයෙන් අසනීප වෙනවා කියන එකේ තේරුම. බර්ටියත් ඔහොම අසනීප වෙන වෙලාවල් නැතුව නෙවෙයි.

බර්ටියට මතක විදිහට බටයා ඉන්දියාවේ ගිහිල්ලා එනකොට අරගෙන ආව බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලයක් තිබ්බා අපේ වැඩේට. අපි සෙට් එක මීට කලින් කවදාවත් ඔය බ්‍රෑන්ඩ් එක ගහලා තිබ්බෙත් නෑ. ඒ නිසා ඕක ටෙස්ට් කරලා බලන්න මාර ආසාවක් තිබ්බේ. ඇත්තටම සුපිරිම බීමක් තමයි ඒක. අපි තුන්දෙනාට කිසිම අවුලක් නැතුව විස්කි ලීටරයක් ගහනවා. වෙරි මුකුත් නෑ. ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ 750 ml බෝතලේ එක පාර ගහලා ඉවර කරන්න බැරිවුනා අපිට කිසිදවසක.

ඒ දවස් වල ගබඩාව තිබ්බේ බර්ටියගේ අල්මාරියේ. ඒ කාලේ ඕක ඇතුලේ අනිවා බෝතලයක් තිබ්බා. ඔය ටික අම්මට අහුවෙන්න නොදි බොහොම අමාරුවනේ හන්ගලා තිබ්බේ. බර්ටියත් දහයට එකොළහට විතර ලෑස්ති වෙලා පාරට බැස්සා. මුට්ටියාටත් කෝල් එකක් දීලා ඒකටත් එන්න කියලා බර්ටියා කොට්ටේ මලිතයගේ ගෙදරට ගියා.

බර්ටිය යනකොට අනිත් එවුන් දෙන්නා ඇවිත් හිටියේ නෑ. බර්ටියා මලිතයත් එක්ක කයියක් දාගෙන ඉන්න කොට සුපුරුදු පරිදි බටයා පාත් වුනා පරක්කු වෙලා මුට්ටියත් එක්කම. ඔන්න ඒ වෙලාවේ මලිතයගේ නෝනට අපේ ලාංකිකා නංගිට වැඩේ පත්තු වුනා. පත්තු වෙලා අපෙන් ඇහුවා සෙට් වෙන්න නේද යන්නේ කියලා. අපිත් ඉතින් හිනාවක් දාලා ෂේප් වුනා. ඊට පස්සේ කොහෙටද බොන්න යන්නේ කියලා කතා වෙනකොට ලංකි නංගී සද්දයක් දැම්මා කොහෙවත් යන්න ඕන නෑ ගෙදර ඉදන් බොන්න කියලා. අන්න ගෑණු. අපි ඒ පාර බටයගේ වාහනේම (ඒ දවස් වල තිබ්බේ නිසාන් වැනට් එකක්, ඔව් ඔව් අපි ඇඹිලිපිටි ගිය එක තමයි) නැගලා ළගම තිබ්බ සුපර් මාකට් එකට ගියා ඕන කරන කළමනා ටික අරගෙන එන්න. ඕන කරන බඩු ටිකත් අරන් ඇවිල්ලා අපි මලිතයගේ කුස්සියට රිංගලා උයන පිහින වැඩ ටික කරගත්තා. ඊළගට වීදුරු ටිකයි බෝතලෙයි බයිටුයි අනිත් බඩු ටිකයි අරගෙන උඩ තට්ටුවේ කාමරේකට සෙට් වුනා ඔපරේෂන් බ්ලැක් ඇන්ඩ් වයිට් දියත් කරන්න හවස 5.30 විතර.

අපි තුන්දෙනාට බෝතලේ හුටස් ගාලා නවලා ඉවර කරන පුරුද්දක් තිබ්බේ නෑ. අපි බිව්වේ අපිට ආතල් එක ගන්න. මොනවා හරි පරණ දෙයක් කතා කර කර හෙමින් සැරේ අපේ වැඩේ අපි අරගෙන යනවා. පෙරේතකමට බොන පුරුද්දක් අපි අතර තිබ්බේ නෑ.

මේ කියන දවසෙත් සුපුරුදු විදිහට අපි හතරදෙනා කයිවාරුවක් ගහගෙන බෝතලේ ගහනවා. මුලින් වෙනදා වගේ වැඩේ සරලව ෂේප් එකේ ගලාගෙන ගියා. ඒත් වැඩිවෙලා ගියේ ඔපරේෂන් බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ වේගය අඩු වෙලා ගියා. අපි තුන්දෙනාට කර්පට් වෙන්න වැදිලා ඒ වෙනකොට. මුට්ටියා නම් සුපුරුදු පරිදි රට කජු ඇටයක් හප හපා හිනා වෙවි ඉන්නවා. අපි තුන්දෙනාට කිසිම අවුලක් නැතුව විස්කි ලීටරයක් ගහනවා. වෙරි මුකුත් නෑ. ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ 750 ml බෝතලේ එක පාර ගහලා ඉවර කරන්න බැරිවුනා. ඒක නම් මාරම බීමක් තමයි. වෙනදා කිසි ගාණක් නැතුව ලීටරේ ඉවර කරන අපිව බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලේ කෝචොක් එක දානවා. ඔන්න බලන්න ඒකෙත් හැටි. දැන් කරන්න දෙයක් නෑ. අපි ගෙවල් වලට යන්නත් එපායැ. ඒ නිසා අපි තීරණය කළා වැඩේ මෙතනින් නවත්තන්න. දැන් වෙලාව රෑ 9.00 ට විතර ඇති.

මලිතයටයි ලාංකිටයි බායි කියලා අපි තුන්දෙනා වාහනේට නැග්ගා. දැන් ඉතින් පාර්ලිමන්ට් ජෝක්ස් පැත්තෙන් දාලා යන්න තියෙන්නේ. අපි තුන්දෙනා ටිකක් දුර යනකොට බටයා කියනවා මට අමාරුයි බන් කියලා. මෙහෙම කියලා බටයා ටික දුරක් ගිහල්ලා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක ගාව නැවත්තුවා, “මෙතන ටිකක් ඉදලා යමු” කියලා. අපි තුන්දෙනාම පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට බැහැලා වාඩි වුනා. බර්ටියටත් කෙළින් ඉන්නම බැරි කමට පෙරේතයා පොළොවේ ගැහුවා වගේ ග්‍රවුන්ඩ් එකේ බිම දිගා වෙලා අහස දිහා බලන් ඉන්නවා. පොඩ්ඩකින් බටයයි මුට්ටියයිත් බිම. මුට්ටියා නම් බිව්වේ නෑ. ඒකා නම් නිකම් බිම දිගා වුනේ. බටයට ඇරෙන්න අපි දෙන්නටම ලැයිසොන් නෑ. ඒක නිසා බටයා සෙට්ල් වෙනකම් අපිට යන්න විදිහක් නෑ. අපි තුන්දෙනා අහස දිහා බලාගෙන චැට් එකකුත් දාගෙන අහසේ තරු ගනිනවා.

ඔහොම ඉන්එන අස්සේ එකපාරටම බටයා නැගිට්ටා. “මට දුවන්න ඕන බන්” කිව්ව මේකා පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් වටේ දුවන්න ගත්තා. මේකා මොන මඟුලක දුවයිද දන්නෙත් නෑ. බර්ටියත් නැගිටගන්න බෑ. බර්ටියා මුට්ටියට කිව්වා “මචං මට නම් නැගිට ගන්න බෑ. උඹ පොඩ්ඩක් බලපන් මේකා කොහොද දුවන්නේ” කියලා. මුට්ටියත් කෙලින් වෙලා බලාගෙන හිටියා බටයා නටන්න හදන නාඩගම මොකක්ද කියලා. අවුලක් නෑ. ටිකක් වෙලා දුවපු මේකා ආපහු අපි ගාවට ආවා. ඇවිල්ලා කියනවා “දැන් හරි බන්” කියලා. ඔහොම තව පොඩ්ඩක් වෙලා හිටපු අපි තුන්දෙනා ආපහු වාහනේට නැග්ගා ගෙදර යන්න බලාගෙන.

ඒ යන අතර වෙන මුකුත් අකරතැබ්බ නම් වුනේ නෑ. මග කොහෙන්ද නවත්තලා අයිස් ක්‍රීම් අරගෙන කෑවා තව ටිකක් වෙරි බස්ස ගන්න. කොහොම හරි අපි කට්ටිය කරදරයක් නැතුව ගෙදර ගියා. බටයා ඉදලා හිටලා පිස්සු වැඩ කරනවා ඔය වගේ. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. අදට මේ ඇති. ටයිප් කරන්න කම්මැලියි අප්පා.

තීන්ත සහ වෙඩින්

මේ කියන සිද්ධිය වෙන කොට බර්ටියා ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ. අතේ සතේ නැතුව වේලී වේලී ගෙදරින් කීයක් හරි ඉල්ලගෙන Sunday Observer පත්තරේ අරගෙන ඒකේ තියෙන පුරප්පාඩු වලට ඇෆ්ලිකේශන් දාලා ඉන්නවා ඔය දවස් වල. කලාතුරකින් සම්මුඛ පරීක්ෂනයකට අඩගනවා. ගියාට පස්සේ දන්වලා එවන්නම් කියනවා. බර්ටියත් ගෙදර ඇවිල්ලා දන්වනකම් බලාගෙන ඉන්නවා

ඔහොම ගෙදරට වෙලා ඉන්කොට දවසක් අපේ වවුලා (ඔව් ඔව් ගරුඩා කාපු එකා තමයි) කතා කරලා කිව්වා වරෙන් ජනිතගේ ගෙදර යන්න එහේ තීන්ත ගාන්න එන්න කියලා අපි කට්ටියට කතා කලා කියලා. මට මතක විදිහට ඒකා ඒ දවස් වල වැඩ කලේ ගිනි තියන හමුදාවේ. ගෙදර වේලි වේලි කම්මැලිකමේ ඉන්න එකේ මාත් තීන්ත ගානකොට අදින්න ඇදුමකුත් දාගෙන අම්මගෙන් කීයක් හරි වැදලා වගේ ඉල්ලගෙන ටක් ගාලා යක්කලට දිව්වා අපේ කට්ටිය එන 231 බස් එකට යක්කලින් නැගගන්න. බර්ටියට මතක විදිහට බස් එකේ වවුලත් එක්ක නාමල් මල්ලියි අපේ කෑම දාස චමීර මල්ලියිත් හිටියා. බර්ටියා මේ ඉස්සර වෙලාම තමයි ජනිත්ගේ ගෙදර යන්නේ.

අපි සෙට් එක රදාවාන පහුවෙලා ටිකක් දුර යනකොට තියෙන අල්ලියවත්ත ජන්ශන් එක ගාවින් බැහැලා හෙමින් සැරේ අල චැට් එකකුත් දාගෙන ජනිත්ලගේ ගෙදරට ගියා. ඒ යනකොටත් සමීර මල්ලියි අමිල මල්ලියි ඇවිල්ලා ජනිතත් එක්ක වැඩ පටන් අරගෙන. අපිත් මජං කිට් එක දාගෙන තීන්ත ගාන වැඩේට සෙට් වුනා. බර්ටියයි කෑමදාසයි එක පැත්තක වවුලයි නාමලයි එක පැත්තක. ඔහොම කට්ටියම තැන් තැන් වල වැඩ. අපි දෙන්නා තීන්ත ගානවා ගානවා ඒත් බිත්තිය ඉවර වෙන පාටක් නෑ. දෙන්නම කතා වෙලා බිත්තියේ ජරාවෙලා නැති හරියේ තීන්ත ගාන එක අත ඇරලා දාලා ඒ හරියෙත් තීන්ත ගෑවා වගේ හිටියා. අවුලක් නෑ. කාටවත් මාට්ටුත් නෑ. අපි දෙන්නා පොරවල් දෙක වගේ තීන්ත ගාන එක ඉවර කරලා අනිත් එවුන් ඉන්න පැත්තට ගියා.

ඔය වෙලාවේ අපි ප්ලෙන්ටියක් එහෙම ගහලා රෙස්ට් එකක් අරන් ආපහු වැඩ පටන් ගත්තා. ඔය අස්සේ කෑමදාස ඉනිමග දිගේ නැගලා බිත්තියේ තියෙන දිය සෙවල සුද්ද කරනවා. දිය සෙවල තලියක් ගලෝ ගත්ත කෑමදාස ඇහුවා මම මේක කනවා කීයක් ඔට්ටුද කියලා. කව්ද මන්දා හා කිව්වා. මේ යකා ගලෝ ගත්ත දිය සෙවෙල් තලිය ජර බර ගාලා කන්න පටන් ගත්තා. ඔට්ටුව දාපු එකා එතනම රුපියල් 50 කට කෙලෝ ගත්තා. කෑම දාස ගැන දන්න එකෙක් කෑම ගැන සම්බන්ධ ඔට්ටුවක් නම් දාන්නේ නෑ ඒකත් එක්ක.

එක සැරයක් අපි සෙට් එක සිරීපාදේ නගින කොට පෑගිලා ගල් එහෙම ඇලිච්ච චුවින්ගම් එකක් හම්බවුනා අපේ කෑමදාසට. ඕක අතට ගත්තු කෑමදාස ඇහුවා කීයක් ඔට්ටුද මේක කනවා කියලා. එහෙම එකක් කයි කියලා කාටවත් හිතන්න බැරි නිසා අපේ වවුලා ඔට්ටුවක් දැමුමා. පටස් ගාලා චුවින් ගම් එකේ ඉතිරි වෙලා තිබ්බ කොළ කෑල්ල ගලවලා දාපු චමීරයා අරක කටේ දාගෙන හපන්න ගත්තා. එදායින් පස්සේ අපි කවදාවත් කෑම ගැන කෑමදාස එක්ක ඔට්ටු දාන්නේ නෑ.

දැන් කෑමදාස ඉනිමගේ නැගගෙන බිත්තියේ තීන්ත ගානවා. ඒ අස්සේ වවුලා ඉනිමඟ දිගේ නැගලා කෑමදාසගේ කලිසම ගලවලා ගියා. පොරත් ඉතින් කලිසම මුගේ නෙමෙයි වගේ දිගටම තීන්ත ගානවා. කරුමේ කියන්නේ ඔය වෙලාවෙම ජනිත්ගේ අම්මත් අපිට කන්න කතා කරන්නද කොහෙද ඒ පැත්තට ආවා. කෑමදාස ඔහේ තීන්ත ගානවා "ගැලෙව්වා නම් අන්දපන්" කියලා. අන්තිමට සමීර මල්ලි ඉනිමඟ දිගේ නැගලා අරුගේ කලිසම ඇන්දුවා. යන්තම් ජනිත්ලගේ අම්මට නෝන්ඩිනොවී බේරුණා.

කොහෙම හරි හවස 4.30 විතර වෙනකොට අපි තීන්ත ගාලා ඉවර කලා. සමීරයා ඉනිම‍ෙඟ් නැගගෙන බිත්තියේ අන්තිම හරියේ තීන්ත ගානවා. ඒ දවස් වල සමීරයා යාළුවෙලා හිටියේ හෙලන්ගේ කුකුල් කොටුවේ ඒකට වඩා අවුරුද්දක් වැඩිමල් කළු කෙල්ලෙක් එක්ක. වවුලා දන්න දවසේ ඉදන්ම ඕකට බාල්දිය දදා හිටියේ. දැන් වවුලයි බර්ටියයි සමීරයා තීන්ත ගාන තැන බිම ගල් ගොඩක් උඩ වාඩි වෙලා හිටියේ. ඔය අස්සේ වවුලා කළු අක්කා ගැන කතාවක් ඇදලා අරගෙන මොකක් හරි කුණු කතාවක් කිව්වා කළු අක්කා ගැන. මේකට කෙන්ති ගිය පාර අතේ තිබ්බ තීන්ත ගාණ බුරුසුවෙන් ඇදලා ඇරියා. කරුමේ කියන්නේ බුරුසුව ඇවිල්ලා වැදුනේ බර්ටියගේ මූණේ. බර්ටියා ඉතින් අරුන් දෙන්නටම සුද්ද සිංහලෙන් අමතන ගමන් මූණ හෝද ගන්න ගියා.

ඔය සිද්ධියෙන් දවස් දෙකකට විතර පස්සේ අපි කට්ටියම ජනිත්ගේ අක්කගේ වෙඩින් එකට ගියා. ඒක ඉවර වෙලා දවස් දෙකක් විතර ගියා විතරයි ජනිතයා ආයේ කෝල් කරලා කිව්වා හෝම් කමින් එකට යන්න එන්න කියලා. ඒකට යන්න තියෙන්නේ මතුගම පැත්තේ තැනකට. ඉතින් කට්ටියම කළින් දවසේ හැන්දෑවේ ජනිතලගේ ගෙදරට පාත් වුනා. ඔය අව් අස්සේ ජනිත්ට අපේ කොටාව (අමිල මල්ලිව) අමතක වෙලා. රෑ 11 විතර තමයි ජනිතට ඒකව මතක් වුනේ. කට්ටියම දඩ බඩස් ගාලා ජනිතගේ වෑන් එකට නැගලා කොස්කඳවල කොටාගේ ගෙදර ගියා.

මහ රෑ 12 ට විතර ගෙදරකට සෙට් එකක් කඩා පනින කොට කොහොමද කියලා හිතහන්කෝ? ගෙදරට ගියාට අමිලයා නෑ. අමිලයගේ අම්මා කඩා පැන්නා අපේ ඇඟට. ඒ අස්සේ අමිලයා එනවා අස්සක ඉදලා පොල්ලකුත් අරගෙන. මේකා හිතලා තියෙන්නේ ඒ දවස් වල ඒකා යාළු වෙලා ඉන්න කෙල්ලගේ තාත්තා ගේම ඉල්ලන්න ඇවිල්ලා කියලා. මේකා පොරට ගහන්න තමයි පොල්ල අරන් හැංගිලා ඉදලා තියෙන්නේ. දැන් නම් දෙන්නා පුල් සෙටල්. ඒ දවස් වල නයයි මුගටියයි වගේ.

ඒ අස්සේ අමිලයගේ අම්මා බනිනවා ඒකව එක්කගෙන යන්න එපා කියලා. හෙට අනිද්දා විභාගේ, පාඩම් කරන්නත් තියෙනවා. අපි සද්ද නෑ ඉතින්. අන්තිමට ජනිතා නාහෙන් අඩලා පහුවදා උදේ එවන්නම් කියලා අමිලයව එක්කගෙන ගියා. පහුවදා උදේ ගෙදර එන අදහසක් අමිලයගේ තුන් හිතකවත් නෑ කියලා අපි නම් ඒකා වාහනේට නගිනකොටත් දැනගෙන හිටියා.

පහුවදා උදේ අපි කට්ටිය ලෑස්ති වෙලා මතුගම යන්න බස් එකට නැග්ගා. දෙයියනේ කියලා අපි පිටිපස්සෙම සීට් එකට සෙට්වුනා. කරුමේ කියන්නේ ජනිතා එන්න කියලා තියෙන්නේ කොළඹ දෙල්ගොඩ දුවන බස් එකකට. ඒකා මී හරකා මතුගමටම ගියෙත් රූට් එකේ දුවන විදිහට කොට කොටා. අපිට තිත්ත වුනා මතුගමට යනකොට. ඒ මදිවට බස් එකේ කුණුහරුපයක්වත් කියන්න බෑ. ජනිතගේ අම්මයි අනිත් නෑදෑයොයි ඉන්නවනේ. මතුගමට ඇවිල්ලත් හෙන අස්සක තමයි හොම් කමින් එක තිබ්බේ. අපිට බස් එකෙන් බැහැලා වෙලක් දිගෙත් යන්න වුනා. ඒ අස්සේ කූඩැල්ලොත් ඉන්නවා. කොහොම කොහොම හරි කට්ටක් කාලා අපි එහාට ගියා. දැන් ඉතින් පිළි ගැනීමුයි අරවයි මේවයි ඉවර වෙලා අපි සෙට් එක එක මේසෙක වාඩිවුනා. අපි සෙට් එකක්ම හිටිය නිසා අපිට කම්මැලිකමක් තිබ්බේ නෑ. ෂොට් එකක් වත් දාගන්න විදිහක් නෑ ඉතින් ජනිතලගේ අම්මලා ඉන්න හන්දා. අනික ඒ දවස වල ගැහුවෙත් බර්ටියා විතරයි. ඒ දවස් වල ඉතින් දැන් වගේ හයි පයි බ්‍රෑන්ඩ් නෑ. අහුවෙන ඕන දෙයක් ගහනවා.

කොහොම හරි දවල්ට කාලා මංගල සභාව ඉවරවෙන්න ටිකකට කළින් පොඩි සංග්‍රහයකුත් හම්බවුනා. කේකුයි ආනමාළු කෙහෙල් ගෙඩියි. ඒවත් තඩි කෙහෙල් ගෙඩි. දඩ ඇවරි. ඕක බෙදනවා දැක්ක ගමන් ජනිතයා කිව්වා මුන් අපේ ගෙදර ඇවිල්ලා අයිස් ක්‍රීම් ලීටර් හතක් ඉවර කලා. ඒකට රීටන් එකක් දෙන්න ඕනයි කියලා.

අපේ මේසේ හිටපු කට්ටිය වැඩි හින්දද කොහෙද කෙහෙල් ඇවරි දෙකකුයි කේක් පිඟන් දෙකකුයිම තියලා ගියා. දැන් අපිත් කනවා. ජනිත් රිටන් එකක් දෙන්න ඕන කියලා කියනවා. අන්තිමට බලනකොට කේක් පිඟන් දෙකම අපි කාලා ඉවර කරලා අර තඩි ආනමාළු ඇවරි දෙකත් කාලා ඉවර කරලා කෙහෙල් ලෙලි ටික එක පිඟානක ගොඩ ගැහුවා තඩි කන්දක් වගේ. වටේ ඉන්න මිනිස්සු අපි දිහා කන්න වගේ බලන් ඉන්නවා. අපිටත් ඉතින් ලැජ්ජාවක් කියලා තියෙන එකක් යෑ. කොහොම හරි අපි එන්න ආවා ඒ ගෙදර මිනිස්සු ගහලා එලවන්න කලින්. ඔන්න ඔහොම තමයි අපි තීන්ත ගාලා මඟුල් ගෙදර ගියේ.