වයින් බෝතලය

මේ කියන කතාව සිද්ධිය වෙලා වැඩි කාලයක් නෑ. බර්ටියට මතක විදිහට ගිය අවුරුද්දේ වගේ තමයි සිද්ධ වුනේ. අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා ගමයා කියලා (හරි හරි 1500 දුවපු එකා තමයි). පොරගේ නෝනගේ මාමා කෙනෙක්ද නොනගේ තාත්තද මන්දා (හරියටම මතක නෑ අප්පා) නැතිවුනා කියලා අපේ වවුලා කොල් කරලා කිව්වා. මළ ගෙදර තිබ්බේ පානදුරේ. කට්ටියම රෑ ජාමෙක මළ ගෙදර යන්න කතා වුනා මොකද පහුවදාට කට්ටියටම රස්සාවලට යන්න තියෙන හන්දා. කට්ටියම කිව්වට අන්තිමට පහක් හයක් වගේ තමයි හිටියේ. කට්ටිය පොකයගේ වෑන් එකේ යන්න තමයි තීරණය කරලා තිබ්බේ. මට මතක විදිහට වවුලයි, ජනිත් මල්ලියි, පොකයයි, මළකඩයයි හා බර්ටියා ඇතුළු සෙට් එක තමයි ගමන ගියේ. සමීර හරි අමිල හරි ගියාද කියලා කියන්න මතක නෑ.

ඔන්න ඉතින් කට්ටිය යක්කලින් ගමන ආරම්භ කරලා කයියකුත් දාගෙන යනකොට වවුලා හිමින් සැරේ වයින් බෝතලයක් ඇදලා ගත්තා. බර්ටියා වැඩිය වයින් වලට කැමති නැති වුනාට අවස්තාවක් අහුවුනොත් නොබී අත අරින්නෙත් නෑ ඉතින්. වයින් බෝතලේත් පොරොප්පේ පිටින්ම විරාජමාන වෙනවා. කවුරු හරි ඒක අරින්න සෙල්ලම් දාලා තිබ්බට පොරොප්පේ ඇරගන්න බැරිවෙලා. ඒක හින්දා බෝතලේ පොරොප්පෙත් පොඩ්ඩක් පල්ලෙහාට බැහැලා තමයි තිබ්බේ.

ඒ අස්සේ වවුලා පොඩි පිහියක් දික්කලා. ඒකේ තිබ්බා වයින් බෝතලේ අරින්න ගන්න ඉස්කුරුප්පුවක් තිබ්බා. බර්ටියත් ඉතින් වයින් බෝතලේ අරන් ඉස්කුරුප්පුව දාලා අරින්න බැලුවා. ම්හු හරියන්නේ නෑ. පොරොප්පේ කැඩෙනවා විතරයි. ඒ පාර බෝතලේ ගියා මළකඩයා අතට. හරි ගියේ නෑ. ඊළඟට ජනිත් මල්ලි. නෝ චාන්ස්. ආයේ වවුලා ඒක ඉල්ල ගත්තා. හරි ගියේ නෑ. ආපහු බෝතලේ බර්ටියා ගාවට. දැන් අපි කඩවතින් හයිවේ එකක දාලා හැටට හැටේ යනවා. දන්න සෙල්ලම් ඔක්කොම දාලාත් පොරොප්පේ ගලෝ ගන්න බැරිවුනා තාමත්. ඒ මදිවට ඉස්කුරුප්පු කටුවත් ඇදවෙලා ගිහිල්ලා. දැන්නම් ඒකෙන් කොහොමටවත් පොරොප්පේ ගලවන්න බෑ. ඒක කෑලී වලට කැඩි කැඩී යනවා.

මේ විදිහට ගියොත් එහෙම අපිට මළ ගෙදරට ගිහිල්ලා තමයි බෝතලේ ගහන්න වෙන්නේ. ඒ අස්සේ මළකඩයා විස්සෝප වෙනවා මගින් බියර් ටින් දෙක තුනක් අරගත්තේ නෑ කියලා. ඒ වෙලාවෙත් මළකඩයා දෙකක් දාලයි හිටියේ. එක පාරටම ජනිත් මල්ලි ගෙනාවා යෝජනාවක්. "උමේෂ් අයියේ පොරොප්පේ පල්ලෙහාට තල්ලු කරලා බෝතලේ ඇතුලට දාන්න" කියලා. කොහොමද ටිකිරි මොළේ. අනේ උගේ ටිකිරි. ඒ පාර ඉතින් බර්ටියා බෝතලේ අරන් අරන් දිග පිහි තලයක් දාලා බොහොම අමාරුවෙන් පොරොප්පේ බෝතලේ ඇතුලට තල්ලු කලා. වැඩි කරදරයක් දෙන්නේ නැතුව පොරොප්පේ බැස්සා බෝතලේ ඇතුලට.

අම්මෝ ඒ වේලාවේ දැනුන සතුට. මේ දවස් වල බෝතලයක් සෙට්වුනොත් දැනෙන්නෙත් ඒ සතුටම තමයි ඉතින්. බෝතලේ බර්ටියා අතින් මළකඩයා අතට මළකඩයා අතින් වවුලා අතට. වවුලා නම් ෂොට් දෙකද කොහෙද ගැහුවේ එපා කිව්වා. වයින් ටික අපි දෙන්නා අතර මාරුවෙන් මාරුවට වාෂ්පශීලී මුලද්‍රව්‍යයක් වගේ අතුරුදහන් වෙලා ගියා.

ඔය අවු අස්සේ අපි බණ්ඩාරගමින් දාලා පානදුරේ පැත්තට සම්ප්‍රාත්තවෙලා හිටියේ. ඊළඟට මළ ගෙදර යන්න පාර හොයාගන්න ඕන. මළ ගෙවල් දෙකක් එක ළඟ. එකක් අපි යන්න ඕන එක. කට්ටියට මතකද දන්නේ නෑ අර ගායිවක්ද කොහොද කතුරකින් ඇනලා මරලා දාලා තිබ්බේ. අනිත් මළ ගෙදර එහෙ. කොහොම හරි අපි අවුලක් නැතුව පාර හොයාගෙන අපි යන්න ඕන මළ ගෙදරට ගියා.

පොඩි ප්‍රශ්නෙකට තිබ්බේ තමා මිනිය ගෙනල්ලා නැති එක. අපි ඉතින් පැත්තකට වෙලා වාඩිවෙලා ගමයවත් අල්ලගෙන පොඩි අල වැට් එකකට සෙට් වුනා. අවුල කියන්නේ ගායිකාවගේ මළ ගෙදර යන්න ඕන සෙනඟ මෙහේ එනවා. මෙහෙට එන්න ඕන සෙනඟ එහේ යනවා. මළ ජංජාලයයි. ඔය අස්සේ අපිට රෑ කෑමටත් කතා කලා. අපිත් බැහැයි කිය කිය ගියා කෑම බෙදලා තියෙන තැනට. අපිට කන්න කිසිම බැරි කමක් තිබ්බේ නෑ. බොරුවට සෝබනේ දාන්න එපැයි ඉතින්.

කන්න ලෑස්ති කරලා තිබ්බේ ඉදි ආප්පයි පානුයි. ඒවා කන්න පොල් සම්බෝලයි, පරිප්පුයි, සැමන් හොද්දකුයි, අලයි ලෑස්ති කරලා තිබ්බා. ඔව් ඔව් තිබ්බ කෑම ජාති හොදට මතකයි. අපේ සෙට් එකටත් කන්නම බෑනේ. ඉදි ආප්ප එහෙම වාෂ්ප වෙලා යනවා හොඳියි පොල් සම්බෝලයි එක්ක. අහල පහල කන මිනිස්සුන්ගේ ඇස් උඩ යනවත් පේනවා. තව පොඩ්ඩක් වෙලා යනකොට ගමයා ළඟ වාඩිවෙලා හිටපු ගමයගේ වයිෆාගෙත් ඇස් උඩ ගියා. හොඳ වෙලාවට අපේ කෑම දාසයා හිටියේ නැත්තේ.

ඔය මිනිස්සු අපේ දිහා බැලුවට අපි සැලෙනවද සහෝදරවරුනි. කොහෙත්ම ඔහේ නෑ. අපේ කෑම අපි කාලා ඉවර කලා. කොහොමත් කෑම මේසේ තිබ්බ ඒවයින් සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. ආයේ එළියට ගිහිල්ලා කෝපි එකකුත් බීලා ගමයවත් බයිට් එකට අරන් පාන්දර එකට විතර අපි එන්න ආවා. නෑ නෑ එනකොට බොන්න වයින් තිබ්බේ නෑ. බාර් වහලා නිසා වෙන මොකුත් ගන්නත් බැරිවුනා.

ගුරු වෘත්තියේ අත්දැකීම් 2

බර්ටියා කාලයක් ජීව විද්‍යාව පන්ති කලා පානදුර. බර්ටියා අදුරන සර් කෙනෙක් තමයි වැඩේ සෙට් කරලා දුන්නේ. බර්ටියා ඒ සර්ගේ ආයතනයෙත් ටික කාලයක් පන්ති කලා. සමහර වෙලාවට ලමයින්ගේ ගෙවල් වලට ගිහිල්ලත් ක්ලාස් කලා. 2017 මාර්තු මාසේ අගට විතර වෙන්න බර්ටියට ක්ලාස් එකක් සෙට් වුනා මැයි මාසේ කේම්බ්‍රිජ් විභාගයට ලෑස්ති වෙන ළමයෙක්ගේ. මේ ගෑණු ළමයා පානදුරේ ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසලක ළමයෙක්. පොඩි පෙම් පළහිලව්වක ප්‍රශ්නයක් නිසා ගොඩ දවසක් ඉස්කෝලේ පාඩම් මඟ ඇරිලා. බර්ටියගේ යාළු සර් තමයි ඒ ළමයට ඉංශ්‍රිසි විෂයයි, ඉංශ්‍රීසි සාහිත්‍ය විෂයයි උගන්වන්නේ. ඒ ඇදුනුම් කමට තමයි බර්ටියට මේ ක්ලාස් එක සෙට් වෙන්නේ.

සාමාන්‍යයෙන් මාර්තු වෙනකොට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරලා ඉවරයි. පුනරීක්ෂන එක්ක පසුගිය ප්‍රශ්න පත්තර සාකච්චා කිරීම තමයි සාමාන්‍යයෙන් මාර්තු වෙන කොට සිද්ධ වෙන්නේ. මොකද අප්‍රේල් මාසෙ නිවාඩුත් වැඩියිනේ. මැයි මුලම කේම්බ්‍රිජ් විභාගය පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මාර්තු වෙනකොට විභාගට පෙනී සිටින ළමයෙක් තමන්ගේ වැඩ වලින් 90% විතර ඉවර කරලා තියෙන්න ඕන. ඕක තමයි හැබැ තත්වය.

කියන්න කණගාටුයි පින්වතුනි. මේ ගෑණු ලමයගේ තත්වය අතිශයින්ම ශෝචනීය තත්වයක තමයි තිබ්බේ. විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වෙලා නෑ. ප්‍රශ්න පත්තර හරියට කෙරිලා නෑ. විෂය නිර්දේශය ආවරණය වෙච්ච හරියෙත් ගැටලු තිබ්බා. ඔය ඔක්කොමත් එක්ක මේ ළමයට (මම මෙතන ඉදලා නෙත්මි කියලා කියන්නම්) අවසාන වාර පරීක්ෂනයට ලකුණ 40 ක් වගේ ගාණක් තමයි තිබ්බේ. යන්තම් නමට පාස් එකක්. පන්ති කරන්න ඉතුරු වෙලා තිබ්බෙත් දවස් කීපයයි. ඒ මාර්තු අග. බර්ටියට සතියේ දවස් වලා එන්න විදිහක් නෑ ඉස්කෝලේ වැඩ හන්දා. අප්‍රේල් මාසේ දවස් කීපයක් තමයි ඉතුරු වෙලා තිබ්බේ.

මොනවා වුනත් වාසනාව අපේ පැත්තේ තිබ්බා. මේ ගෑණු ළමයා හරිම උත්සාහවන්ත ළමයෙක්. මේ හැම ගැටළුවක් වෙලත් නෙත්මිට ඉලක්කයක් තිබ්බා. නෙත්මිට ඕන වෙලා තිබ්බා ජීව විද්‍යාවෙන් එක ලකුණක් හරි අයියට වැඩියෙන් ගන්න. මේ වෙනකොට නෙත්මිගේ අයියා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ගමන් හිටියේ. මුල් දවස් දෙකේ අපිට වැඩ කරන්න ලැබුණේ පැය දෙකක් වගේ කාලයක්. ඒත් බර්ටියට අප්‍රේල් නිවාඩුව ලැබුණහම අපිට එක දිගට පැය හයක් විතර වැඩ කරන්න ලැබූණා. ඒක හරිම වැදගත් වුනා අපේ වැඩ ටික ඉවර කරගන්න.

ඉස්සෙල්ලම අපි ඉවර කරපු පාඩම් වල පුනරීක්ෂ කරගෙන ගියා ඒවයේ තිබ්බ ගැටළු සාකච්චා කර කර. ඒ අතර අපි දිගටම පැරණි විභාග ප්‍රශ්න පත්තර කරන්න ගත්තා. මුල් දවස් කීපයෙදි නම් අපිට ඒවා ප්‍රශ්න පත්තරයට ආදාල කාලය අනුව කරන්න පුළුවන් වුනේ නෑ. මොකද සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙලා තිබ්බේ නැති හින්දා. බර්ටියා ඒ දවස් වල හැම පාඩමකටම ආදාල සටහන අතින් කොළ වල ලියලා තිබ්බේ. පහු කාලෙකදි තමා බර්ටියත් ඩිජිටල් වුනේ. ඔය සටහන් වල අවශ්‍ය පාඩම් ඔක්කොම නෙත්මි ඡායා පිටපත් කරගත්තා. ඔය විදිහට වැඩ කරලා අපිට ඉක්මනින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ හැකියාව ලැබුණා.

ඊලඟට ඉතුරු වෙලා තිබ්බේ ප්‍රශ්න පත්තර කරන්න තමයි. කේම්බ්‍රිජ් විද්‍යා විෂයකට ප්‍රශ්න පත්තර තුනක් තියෙනවා

  1. බහුවරණ ප්‍රශ්න පත්තරය (Multiple Choice) – One hour paper
  2. සිද්ධාන්ත ප්‍රශ්න පත්තරය (Theory) – One hour and forty-five minute paper
  3. ප්‍රායෝගික ක්‍රියාකරකම් ඇතුලත් ප්‍රශ්න පත්තරය (Practical or Alternative to practical) – One hour paper

මෙන්න මේ ප්‍රශ්න පත්තර තුනටම ආදාල දේවල් අපි කරන්න ඕන. විශේෂයෙන්ම කාලය කළමනාකරණය කරගැනීම සම්බන්ධ ගැටළු (Time management). මොකද ළමයෙක් විෂය කරුණු කොච්චර දැනගෙන හිටියත් කාලය කළමනාකරණය කරගන්න බැරි වුනොත් හොද ප්‍රතිඵලයක් ලබාගන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම් ළමයින්ට ආදාල කාලය ඇතුලත උත්තර ලියලා ඉවර කරන්න හැකියාව ලැබෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියන්නේ ටයිමින් කරනවා කියලා.

ඔන්න ඔය කෑල්ල තමයි අපිට කරන්න ඉතිරි වෙලා තිබ්බේ. ඒක කරන්න ඒ හැටි අමාරුවක් වුනේ නෑ. නෙත්මි හැමදාම කියන්නේ සර් උදෙන්ම එන්න කියලා. බර්ටියාත් ගම්පහ ඉදගෙන උදේ 8 වෙනකොට යනවා පානදුරට. ඒ ගිහිල්ලා එක දෙක වෙනකම් අපි දෙන්නා වැඩ කරනවා. බර්ටියා උදේට පන්තියට එනකොට නෙතුම්ලි සාමාන්‍යයෙන් පේපර් එකක් ඉවර කරලා, මාර්කින් ස්කිම් එක බලලා ඒක මාක් කරලා, ලකුණුත් දාලා ඒවයේ තියෙන ගැටලු සහගත් තැන් සටහන් කරලා තියෙනවා. බර්ටියට තියෙන්නේ ඒ ගැටළු සාකච්චා කරලා, එදාට කරන්න තියෙන පේපර් ගැන බලන්න.

මොනවා නැතත් කන්න බොන්න නම් හම්බවුනා ඒ දවස් ටිකේ. බර්ටියා උදේට කොහෙන් හරි කාලා යන්නේ. එහෙ ගියාම ආයෙත් මොනවා හරි කන්න ලැබෙනවා. දහයට විතර කිරි එකක් එක්ක මොනවා හරි හපන්න ලැබෙනවා. ඊළගට දවල් කෑම. කිසි කරදරයක් තිබ්බේ නෑ. නෙත්මි පේපර් එක කරන කම් බර්ටියා එහෙ පොත් කබඩ් එකෙන් පොතක් අරන් බලනවා. බර්ටියට මතක විදිහට අපි වැඩිම වුනොත් දවස් 12 පන්ති කරන්න ඇති. හැබැයි ඒ දවස් ටිකට මාර වැඩ ගොඩක් අපි ඉවර කලා. ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් තරමේ වැඩ තොගයක් අපි ඒ කෙටි කාලය ඇතුලත ඉවර කලා.

නෙත්මි හැම තිස්සෙම බැලුවේ තව පැයක් හරි වැඩ කරන්න. දැන් ගොඩක් ළමයි වැඩිපුර විනාඩි දහයක් වැඩ කරන්න ගියහම නාහෙන් අඩනවා. ඒ ගැටලු මුකුත් අපිට තිබ්බේ නෑ. නෙත්මිගේ අම්මත් මාර විදිහට උදව් කලා ඒ ළමයගේ වැඩ වලට. නිවාඩුවට ආපු වෙලාවේ නෙත්මිගේ අයියවත් බර්ටියට අදුන් ගන්න ලැබුණා. ඔය විදිහට කොහොම හරි අපේ වැඩ ටික ඉවර කරලා නෙත්මි විභාගේ ලිව්වා.

අගෝස්තු විතර තමයි කේම්බ්‍රිජ් විභාගේ ප්‍රතිඵල එන්නේ. අපි දෙන්නගේ දවස් 12 වැඩ වල ප්‍රතිඵල ඇවිල්ලා තිබ්බා. අවසාන වාර පරීක්ෂනයට ලකුණු 40 ක් අරන් බැනුම් අහපු ළමයා ලකුණු 91 අරගෙන තිබ්බා ජීව විද්‍යාවට. හරියටම කිව්වොත් A* එකක්. බර්ටියගේ ගුරු දිවියේ පළවෙනි A* එක නෙත්මි බර්ටියට දීලා තිබ්බා. බර්ටියට මාර සන්තොෂයයක් දැනුණා. ඒක වචනෙන් කියන්න බෑ. අපේ මහන්සියට ප්‍රතිඵල තිබ්බා. ළමයෙක් මහන්සිවෙලා වැඩ කරනවා නම්, තමන්ගේ ගුරුවරුන් කියන කරුණු හිතේ තියාගන්නවා නම් තමන්ට ඕන කරන ඉලක්කෙට ළගා වෙන්න පුළුවන් කියන එකට හොදම උදාහරණයක් තමයි මේ කතාව. නෙත්මි ජීව විද්‍යාව විතරක් නෙමෙයි කරපු අනිත් හැම විෂයක්මත් ඉහලින් පාස් වෙලා තිබ්බා. කියන්න අමතක වුනා නෙත්මි අයියට වඩා ලකුණු අරන් තිබ්බා ජීව විද්‍යාවට.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------
KB 2020.04.21

අප්‍රකාශිත ප්‍රේමය

මේක ඇවිල්ලා බර්ටියගේ අප්‍රකාශිත ප්‍රේමය ගැන ලියවෙච්ච සටහනක්. මේ සිද්ධිය වුනේ බර්ටියා දෙමටගොඩ පැත්තේ තිබ්බ ජාත්‍යාන්තර පාසලක වැඩ කරන කාලේ. හරියටම කිව්වොත් 2007 අවුරුද්දෙදි.

මේක තමා බර්ටියා ඉස්සෙල්ලම උගන්නපු ඉස්කොලේ. විවෘතයේ හෙණ සෙට් එකක් ඒ කාලේ මේ ඉස්කෝලේ ඉගැන්නුවා. ඒක හින්දා පාළුවක් තනිකමක් දැනුනේ නම් නෑ. ඒ දවස් වල දැන් වගේ කඩ්ඩත් බෑ. ඒ කාලේ බොහොම අමාරුවෙන් ශබ්දකෝෂය එහෙම පෙරලලා පාඩම් පොත දහ දොළොස් පාරක් බලලා කඩ්ඩ පොලිශ් කරගෙන උගන්නපු එක තමයි කළේ. ළමයි අනම් මනම් ඇහුවට උත්තර දෙන්නත් දන්නෙත් නෑ. සිංහලෙන් දැනගත්තට ඉංශ්‍රීසියෙන් විස්තර කරලා කියන්නත් අමාරුයි ඉතින්. සමහර වෙලාවට හොරෙන් සිංහලෙන් කියලා දීපු වෙලාවලුත් තිබ්බා සිංහල තේරෙන ළමයින්ට. බොහොම දුක්ඛිත පටන් ගැනීමක් ඒක. ඒ ගැන විස්තර පස්සේ ලියන්නම්.

ඔය ඉස්කෝලෙට ගිහිල්ලා මාස හයකට විතර පස්සේ තමයි බර්ටියා මේ කියන ගෑණු ළමයා ඔය ඉස්කෝලෙට ආවේ. එයයි එයාගේ යාළුවයි දෙන්නම පොඩි පන්ති වලට තමයි උගන්නන්න ආවේ. දෙන්නම සුන්දර මුස්ලිම් යුවතියන්. එකේ හිටපු ගොඩක් මුස්ලිම් ටීචර්ලා අපිත් එක්ක වැඩි කතා බහක් තිබ්බේ නෑ.

අපිත් ඉතින් ඔය කාවත් ගණන් ගත්තේ නෑ. විවෘතයේ එකට හිටපු සෙට් එක ගොඩක් එකේ හිටිය නිසා අපිට පාළුවක් දැනුනේ නෑ. මේ ගෑණු ළමයගේ යාළුවගේ නම සමීරා (ඇත්ත නම් නෙමෙයි මම පාවිච්චි කරන්නේ).

සමීරා තමයි අපිත් එක්ක ඉක්මනටම පිට් වුනේ. සමීරාගෙන් තමයි බර්ටියා ගේ හිත ගිය ලස්සන සුදු ගෑනු ළමයගේ නම දැනගත්තේ. එයාගේ නම සීනා කියලා කියමුකෝ. සමීරා කළු පාට ලෝගුව ඇන්දට සීනා ඇන්දේ සල්වාර් එක. එයා මූණ වහගෙන හිටියා සාළුවක් පාවිච්චි කරලා.

සීනා වචන පාවිච්චි කළේ හරිම අඩුවෙන්. එයා අපි කට්ටිය කියන පිස්සු කතා වලට හිනා වෙවි හිටියා මිසක් වැඩිය මුකුත් කිව්වේ නෑ. ඒ නිශ්ශබ්දතාවයට මම ගොඩක් ආසා කලා. මුල් දවස්වල අපි අතරේ හිනාවකට වැඩියෙන් දෙයක් තිබ්බේ නෑ. ඒවුනාට පහුවෙන කොට අපි අතර තිබ්බ හිනාව දුර දිග ගිහිල්ලා අපි ඇස් වලින් කතා කරන්න පටන් අරගෙන තිබ්බා. ඒ කතා හරිම සුන්දරයි. හැමොටම ඇස් වලින් කතා කරන්න බෑ කියලයි බර්ටියා හිතන්නේ.

සීනා අපේ ස්ටාෆ් රෑම් එක ගාව තිබ්බ පන්තියට ඉගැන්නුවා මට මතක විදිහට ඉංශ්‍රීසි. ස්ටාෆ් රෑම් එක කිව්වට ඒක නිකම් මේසයක් වටේ බන්කු ටිකක් දාලා තිබ්බ තැනක්. අපිට බොන්න වතුර ටිකක් වත් ගන්න තැනක් තිබ්බේ නෑ එකේ. මට ෆ්‍රී පිරියඩ් දෙකක්ම තියෙනවා සීනා ඒ ක්ලාස් එකට උගන්නන වෙලාවට. මම ඉතින් ඒ පන්තිය පැත්තට හැරිලා වාඩිවෙලා සීනා දිහා බලාගෙන ඉන්නවා.

එහෙම ඉන්න කොට අපේ ඇස් එකිනෙක ගැටෙනවා. ඒ වෙලාවට තමයි අපි ඇස් වලින් කතා කරන්න ගන්නේ. දහසක් දේ කියවෙන ඒ ඇස් දෙක හරිම සුන්දරයි. ඒ ඇස් දෙකට තමයි මම ඉස්සෙල්ලාම ආදරේ කරන්න ගත්තේ. සමහර වෙලාවට එයාට උගන්නන දේ අමතක වෙලත් යනවා. ඒ වෙලාවට හීන් හිනාවක් එනවා අපි දෙන්නටම. හෙමින් සැරේ මේ ඇස් වලින් දෙඩිල්ල ඉදිරියට යනකොට ඔය වැඩේ අපේ මලිතයට මාට්ටු වුනා.

ඊට පස්සේ මලිතයා තමයි සමීරාගෙන් සීනා ගැන විස්තර අහලා දැනගත්තේ. ඒ විස්තර අනුව සීනට දැනටමත් බදින්න වෙලා තිබ්බේ. ගෙදරින් කතා කරපු දෙයක්. සීනාගේ කැමැත්තක් නැති වුනත් එයාට කරන්න දෙයක් තිබ්බේ නෑ ඒ ගැන. තව මාස කීපයකින් එයාට බැදලා රට යන්න තිබ්බේ. මම ඔය දේවල් දැන ගත්තා කියලා එයාට තිබ්බ ආදරේ වෙනස් වුනේ නෑ. ඒත් මගේ ආදරය එයාට කියන්න මට හයියක් තිබ්බේ නෑ. එයා දැනගෙන හිටියා මම එයාට ආදරේ කරනවා කියලා. සමීරා සමහර වෙලාවට කරපු විහිළුත් එක්ක මටත් තේරුණා සීනගේ හිතෙන් ආදරක් තියෙනවා කියලා. ඒත් ඒ දවස් වල ඒ ආදරයට මාර්ගයක් තිබ්බේ නෑ. අද වගේ කාලෙක ඒක වුනා නම් කරන්න දේවල් ගොඩක් තිබ්බා.

මාස කීපයක් ඔය විදිහට ගතවෙලා ගියා. දවසක් සීනා අපේ කට්ටිය ඉන්න තැනට ආවා. ඒ සීනා ඉස්කෝලේ ආපු අවසන් දවස. අපි කට්ටියටම යනවා කියලා ගියා. මට යනවා කියන කොට ඇස්වල තිබ්බ කදුළු කැට මම හොදටම දැක්කා. ඒ තමයි මම එයාව දැක්ක අන්තිම දවස. මේ වෙනකොට එයා මේ ලොකේ කොහෙද කියන්න මම දන්නේ නෑ. අද වෙනකොට ළමයි හතර පස්දෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න ඇති. ඒත් ඒ නොකියූ ආදරය හරිම සුන්දරයි. එයා වෙනුවෙන්මයි මම මේ නිසදැස ලිව්වේ. ඔන්න ඔහොමයි ඒ නොකියූ ප්‍රේමය නිමාවෙලා ගියේ. බර්ටියගේ ජීවිතයට තිබ්බ එකම ඇස්වල කරපු ආදරය.

රෝස කුසුම ඔබය
පිපුණු එක් උදෑසනක
එනමුත් .....
හිරුවත් නොසිඹින දෙකොපුල්
වසාගෙන සුන්දරත්වය රෙදි පටින් .....
දෙවියන්ගේ නියමයට ද?
අනුන්ගේ බහකටද?
ඉරන්න කඩ තුරාව බිදින්න බාධකය
ඉඩ දෙන්න කෙස් රොදට
නිදහසේ සැලෙන්න හමන පවනේ
ඉඩදෙන්න හිරුට
සිඹින්න ඔය දෙකොපුල්
ඉඩදෙන්න වැසි දියට
සිත් සේ තෙමන්න ඔය සොඳුරු වත
ජීවිතය සුන්දර බව
ඔබටම දැනේවි .... එවිට

අනියා

මේ කියන්නේ බර්ටියත් එක්ක එකම ගුරු මණ්ඩලයේ ඉන්න ගුරුතුමියක් ගැන. ඇත්ත නම කියන්න යන්නේ නැ. අපි ආදරේට කියන්නේ අනියා කියලා. අනියට සිද්ධ වෙච්ච වැඩ කීපයක් තමයි අද බර්ටියා කියන්න යන්නේ. අනියටම හරියන යාළුවෙකුත් ඉන්නවා ඉතින්. ඒ සමානම ටියුබ් ලයිට් එකක්. මේවා ඉතින් විහිළුවට හරි ලිව්වා කියලා අනියා දැනගත්තොත් බර්ටියා වසලා හමාරයි. මේ කව්රුවත් මුහුණු පොතේ නැති එක බර්ටියගේ ලක් එක. අනිත් එක හොඳ වෙලාවට ඉස්කෝල නිවාඩු දීලා තියෙන්නේ.

පළවෙනි කතාව

මේක වෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලීන්. අපේ ගුරු මණ්ඩලයේ හිටපු තවත් ගුරුතුමියක් තමයි සිතාරා කියන්නේ. සිතාරා ටීචර්ගේ තාත්තා නැතිවුනා අවුරුදු දෙකකට විතර කලීන්. අපි කට්ටිය ඔක්කොම මළ ගෙදරත් ගිහිල්ලා අවසන් කටයුතු කරන කනත්තටත් ගියා. මේ ගමන් වලට යන්න අපිට වත්තලින් බස් එකත් ලැබුණා. මළ ගෙදරට අපි ගියේ ඕකීඩ් වලින් හදපු මල් වඩමකුත් අරගෙන. මේ ගමනට අපේ විදුහල්පතිතුමියත් සහබාගී වුනා. ඕන බස් එකෙන් අරන් බහින්න වුනෙත් බර්ටියාටම තමයි. බර්ටියා ඕකත් අරන් බිමට බැහැලා අනිත් කට්ටිය බස් එකෙන් බැහැලා එනකම් ඉන්නවා.

බර්ටියටත් කට කියන එක පියාගෙනම ඉන්න බෑනේ. බර්ටියා මල් වඩමත් උස්සගෙන එහා පැත්තේ හිටපු ටීචර් කෙනෙක්ට කිව්වා බර්ටියගේ මළ ගෙදර එනකොටත් ඒ ජාතියේම මල වඩමක් අරගෙන එන්න කියලා. එතකොට බර්ටියගේ පිටපස්සෙන් සද්දයක් ඇහුණා.

“මොනවද උමේස් සර් ඔය කියන්නේ? පිස්සුද?” අම්මට සිරි වෙන්න අපේ ප්‍රින්සිපල් මැඩම් ඒක අහගෙන ඉදලා. "ඕවා නම් මොනවද මැඩම්, පණ නම් තන අග කිරි බිදු වැන්නේ" කියලා හිතපු බර්ටියා හෙමින්ම සද්ද වහගත්තා.

හරි හරි දැන් කියන්න ගිය කතාවට එමුකෝ. කොහොම හරි මළ ගෙදර වෙලා අපි ආපහු ගියේ බස් එකේම තමයි. ඒක වත්තලට යන නිසා බර්ටියත් ජා ඇලින් බැහැගන්න හිතාගෙන ඒකේම ගියා. අනියත් කොප්පරා හන්දියට එන්න ඒකේ ආවා. කොප්පරා හන්දිට කිට්ටුවෙලා අනියා ෂීට් එකක් උඩ දාලා තිබ්බ බෑග් එක ගන්න කොටම ඒක අස්සෙන් බියර් කෑන් දෙකක් එළියට වැටුණා කියහන්කෝ.

ඕක අල්ල ගත්ත බර්ටියා අනියව බයිට් එකට ගත්තා මාසයක් විතර. මොනවද අනි...... ටීචර් ඔයා ස්කොලේ ගෙනල්ලත් බොනවද අරකයි මෙකයි කියලා බර්ටියා කතා ගොඩක් කිව්වා. අනියා නම් බැන්නෙම බර්ටියා ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා. ඇත්තටම ඒක ප්ලෑන් කරලා කරපු වැඩක් තමයි ඉතින්. බර්ටියට නිකන් ඉන්නත් බෑනේ. කනත්තට වෙලා ඉන්න බැරි එකේ ලක්කික සර්ත් එක්ක බර්ටියා බස් එකට ආවා. ඒ වෙලාවේ බස් එකේ කව්රුවත් නෑ. අපි දෙන්නා කලේ පාරේ තලලා දාලා තිබ්බ බියර් කෑන් දෙකක් අරගෙන අනියගේ බෑග් එකට දාපු එක. අපි ඕක ගෙදරම යවන්න ප්ලෑන් කලේ. ඒත් අපේ වෙලාවට බෑග් එක පෙරලිලා බියර් කෑන් දෙක එළියට ආපු එකෙන් වැඩේ අවුල් ගියා.

දෙවෙනි කතාව

දවසක් ෆ්‍රී පීරියඩ් එකක් වෙලාවේ බර්ටියා තුන්වෙනි තට්ටුවේ ඉදන් පහලට බැහැලා පොඩි රස්තියාදුවක් ගහලා අනියගේ පන්තිය පැත්තෙන් යනකොට අනියා පන්තියට වෙලා අහස පොලොව ගැටලන්න කල්පනාව. ඒ වෙනකොට අනියලගේ පන්ති ඉවරවෙලා ළමයිනුත් ගෙවල් වලට ගිහිල්ලා. බර්ටියත් ඉතින් අනියගේ පන්තියට ගිහිල්ලා “මොකද බන්?” කියලා ඇහුවා. “බලන්ඩ උමේෂ් සර්, මට මේ සයන්ස් පාඩමක් උගන්නන්න තියෙනවා. ඒත් මම මේ වීට් කියන්නේ මොනවද කියලා පෙන්නන්න විදිහක් නැතිව ඉන්නේ” ඒකයි මං මේ කල්පනා කලේ කියලා උත්තර දුන්නා. බර්ටියත් ඉතින් පොඩි සපොට් එකක් දෙන්න හිතාගෙන විද්‍යාව පොත දිහා බැලුවා.

ඒ පිටුවේ මැද හරියට වෙන්න පින්තූර තුනක් දාලා තිබ්බා. ඒ එකක් වීට් (තිරිඟු) පඳුරක පින්තූරයක්. බර්ටියා ආපු හිනාව බොහොම අමාරුවෙන් නතර කරගත්ත බර්ටියා “ඇයි බන් ඔය ගෙඩි පිටින්ම තිරිඟු පඳුරක් තියෙන්නේ? ඇයි ඇස් කටේ දාගෙනද පොත බලන්නේ කියලා ඇහුවා. ඔන්න එතකොට තමයි අනියටත් මීටර් වුනේ මෙච්චර වෙලා බලන් ඉදලා තියෙන්නේ තමන්ට ඕන කරන රූපේ දිහා කියලා. බර්ටියා ඉතින් හෙණ නෝන්ඩියක් දාලා එතනින් එන්න ආවා.

තුන්වෙනි කතාව

අනියට ක්ලාස් එකක් සෙට්වෙලා තිබ්බා කිඹුලා පිටිය පැත්තට වෙන්න. බර්ටියා ප්‍රින්සිපල් මැඩම් එක්ක යන්නෙත් ඒ පාරේ. ඉතින් දවසක් අනියත් අපිත් එක්ක එන්න සෙට්වුනා. එදා ප්‍රියත් හිටියා බර්ටියට මතක විදිහට. අපි ඉතින් කිඹුලාපිටිය පැත්තට එන ගමන් අනියගෙන් ඇහුවා කොහෙන්ද බහින්නේ කියලා. අනියා ඉතින් කිව්වා බෝධිය ගාවින් තමයි බහින්නේ කියලා. යකෝ මාසෙකට දවස් 20 විතර එන ඔය පාරේ ඔය කියන හරියේ බෝධියක් තියෙනවා කියලා බර්ටියට කිසිම මතකයක් නෑ. බෝධියක් නැතත් බෝ ගහක් ගාවින් හරි අනියව බස්සන්න හිතන් අපිත් ගියා දිගටම. අනේ දෙයියනේ ඉස්සරහින් තිබ්බ පොඩි බුදු පිළිමයක් පෙන්නලා අනියා කියනවා ඔන්න ඔය බෝධිය ගාවින් නවත්තන්න කියලා. අපි තුන්දෙනාම බඩවල් අල්ලන් හිනාවෙන්න ගත්තා අනියගේ බෝධිය දැකලා. අපි ඉතින් අනියව ඒ පෙන්නුව බෝධිය ගාවින් බස්සලා හිනාවෙවීම ගෙදර ගියා.

ඔන්න ඔය විදිහටයි අනියගේ කතා ටික ඉවර වෙන්නේ ඉතින්. තව හොද කතාව තියෙනවා අනියයි යාළුවයි බෑග් එකක් හොයන්න ගිය. බර්ටියට ඒක මතක නෑ හරියට. පස්සේ දවසක වෙන කතාවක් අරන් ආයේ දවසක එන්නම් ඉතින්.

P.S: අනියාගෙන් තර්ජනයක් ආවා අද (2020.04.20). බර්ටියට මොනවා හරි වුනොත් අනියා තමයි.

අප්‍රේල් මෝඩයා

ගොඩ කාලෙකට පස්සේ තමයි බ්ලොග් සටහනක් ලියන්නේ්‍. අවුරුද්දකට විතර පස්සෙද මන්ද? කොහොම වුනත් මේක මේ අප්‍රේල පළවෙනිදා වෙච්ච සීන් එකක්.

කොරොනා කේස් එක හින්ද හැමෝම ගෙවල් වලට වෙලානේ ඉන්නේ. ඒක ඉතින් බර්ටියාටත් පොදුයි. කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ බෝඩිමට වෙලා ඉන්නේ. වෙනදා පාන්දර හතරට විතර ඇහැරෙන බර්ටියා දැන් ඇහැරෙන්නේ අටත් පහුවෙලා. අප්‍රේල් පළවෙනිදා උදේ 8.30 ට විතර නැගිටිනකොට බර්ටියා ඉන්න කාමරේට එහා පැත්තෙන්ලොකු හිනාවක් ඇහුණා.කොහොමටත් බර්ටියාටත් නැගිටින්න හොඳටම කම්මැලියි. ඒක නිසා හිනාවට හේතුව හොයන්න නොගිහින් තව පොඩ්ඩක් ඇඳට වෙලා හිටියා. ඊට පැයකට විතර පස්සෙ මූණ හෝදන්න හිතාගෙන එළියට ආපු බර්ටියාට වෙච්ච සම්පූර්ණ සිද්ධිය දැන ගන්න ලැබුණා. බර්ටියාගේ කාමරේට එහා පැත්තේ කාමරේ ඉන්න රුවන් මල්ලි එයාගේ නෝනයි බබයි. පොර කාමරේ අයිති ගෙදර බුද්ධිකයට (අපි ඉතින් පොරට මන්ද බුද්ධික කියලා කියන්නේ) දාර ලණුවක් දිීලා . ඒක තමයි හිනාවට හේතුව.

මේ කතාව පටන් ගන්නේ මාර්තු තිස් එක් වැනි ද හැන්දෑවේ හතහමාරට විතර. කොරොනා කේස් හින්දා ගොඩක් අය ගමේ ගියත් අපේ බෝඩිමේ කීපදෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. කට්ටියම ඉන්නේ පට්ට කම්මැලිකමෙන්. මෙහෙම ඉන්නකොට සමහර දවස් වල හැන්දෑවෙ හයට හතට විතර අහල පහල බෝඩිං ‍කාමර වල ඉන්න කට්ටිය එක්ක හෙමින් සැරේ ඕමියක් ගහනවා. මේ කියන වෙලාවෙත් අපි කට්ටිය හෙමින් සැරේ ඕමියක් බල බලා හිටියේ. කලින් කිව්වා වගේ මේ කියනකොට වෙලාව හැන්දෑවේ හතහමාරට විතර ඇති. ඕමිය නැගලා යද්දි බුද්ධිකයා කිව්වා හෙට අප්‍රේල් පලවෙනිදා නේ, ඒක හින්දා කාටහරි ලණුවක් දෙන්න ඕන කියලා. අපිත් ඉතින් ඕකට මුකුත් කියන්න ගියේ නෑ ඕමිය ගහලා ඉවර කරලා කට්ටියම නිදාගන්න ගියා. ඒ කතාව අපිට එහෙමම අමතක වෙලා ගියා.

රෑ දහයට විතර විටකුත් කකා බුද්ධිකයා රුවනගේ කාමරේ පැත්තට ගිය වෙලාවේ රුවනා මූට කතා කරලා මෙහෙම කියලා.

“මචං හෙට උදේම ගමනක් යන්න තියෙනවා. මට තදට නින්ද යන නිසා ලේසියෙන් උදේට ඇහැරෙන්නේ නෑ. අඩු ගානේ ෆෝන් එකේ එලාම් එක තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ. නෝනත් බබා එක්ක ඇහැරගෙන ඉඳලා උදේ වරුවේ තමා පොඩ්ඩක් නිදා ගන්නේ. මචං උඹට පුලුවන්නං මාව උදේ හතරට විතර ඇරවපන්”.

“හරි මචං එල. මම හතර වෙනකොට උඹ ඇහැරවන්නම්” කියපු අපේ පොර නිදාගන්න ගිහිල්ලා.

පාන්දර 3 ට විතර කබ කඩ වඩා හිමින් සැරේ ආපු බුද්ධිකයා රුවන් මල්ලිගේ කාමරේ දොරට තට්ටු කළා රුවනව ඇහැරවන්න. ඒ වෙනකොටත් රුවන් මල්ලියි එයාගේ නෝනයි දෙන්නම ඇහැරන් ඉඳලා තියෙන්නේ. (ඔය ඉතින් වැරදියට මනේ හිතන්නේ. ඇහැරිලා හිටියේ එයාලගේ පොඩි බබා උදේ පාන්දර ඇහැරෙන හින්ද මිසක් උඹලා හිතන වෙන වල් සීන් එහෙකට නෙවෙයි).

දොරට තට්ටු කරළා කට්ටියව ඇහැරවපු අපේ කතා නායකයා හිමින් සැරේ යන්න හදනකොට රුවන් ආපහු කතා කරල “මචං උඹ යනවද” කියල අහලා. බුද්ධිකයා “ඔව්” කියලා යන්න යනකොට රුවනා ආයෙත් “වරෙන් වරෙන්” කියලා බුද්ධිකයව ගෙන්නගෙන. ඒ වෙනකොට දොරත් හිමිහිට අඩවල් කරපු රුවනා සරම කරට අරන් හොඳ ඩාන්ස් එකක් දාලා පෙන්නලා බුද්ධිකයට. ඔන්න එතකොට තමයි අරූට මොකක්ද සිද්ද වුනේ කියලා මීටර් වෙලා තියෙන්නේ. ඔන්න ඔහොමයි අප්‍රේල් පලවෙනිදා අනුන්ට ලණු දෙන්න ලෑස්ති වෙලා හිටපු එකා උදේ පාන්දරම අමුවටම ලණුව කෑවේ. ඊයේ දවසෙම අපේ කතාවට මාතෘකාව මේ ඔය සිද්ධිය. පොරම කියනවා ගිහිල්ලා නිදා ගන්න හදන කොටත් පොරටම හිනා යනවාලු මේ සිද්දිය මතක් වෙලා. මිනිහට හිතාගන්න බැහැලු කොහොමද මේ ලණුව උදේ පාන්දරම ගිල්ලේ කියලා.පොර දවස තිස්සේ බයිට් එකට සෙට් වුනා ඔය සිද්ධිය හින්දා. පොරත් හිනාවෙලා හිටියා මිසක් රණ්ඩුවට ආවේ නෑ. හැබැයි හවස් වරුවේ හෙමින් සැරේ කියලා රුවනට කියලා තිබ්බා තවත් ඌව බයිට් එකට ගන්න එපා කියලා.

ඔන්න ඔහොමයි මේ කතාව ඉවර වුනේ. යන්තම් කතාව ලියලා ඉවර කරගත්තා බර්ටියට වෙච්ච දේවල් අමතක වෙන්න කලින්. අමතක වුනොත් එහෙම කතාවේ රසය නැතුව යනවනේ ඉතින්.