ලේබලුත් ගැහුවා

Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

මිතුරිය

     නෙත් කෙවෙණි පිරවු දුක් කඳුළු බිඳු
     මොහොතින් පිසදා සිනාසෙන නුඹ
     කොතරම් සොඳුරුද මා දයාබර මිතුරියේ
     කිව නොහැකි දුක් කඳක්
     හිරකරන් පපුතුරේ
     සිනාසෙන්නේ කෙලෙසදැයි පවසන්න
     යෙහෙළියේ
     හැරදමා ගිය හිමි වෙතින්
     තවත් එන දුක් ගැහැට
     දරාගෙන ගිරි කුළක් ලෙසින් මහ
     පිය නගන දිවිමගේ බිඳෙන් බිඳ ඉදිරියට
     කොහෙන්දෝ ඔබට මේ තරම් සිත සවිය?
     දරා තව තවත් වෙර පිය නගනු ඉදිරියට
     සඟවා ඔය දුක් සුසුම්
     පිපෙයි නුඹ ඉදිරියේ
     දහසක් අරවින්දයන් හෙට දිනේ.


මේ මගේ ආදරණීය මිතුරියක් වෙනුවෙන් ලියවුනු නිසදැසක්. මේ නිසැදැසින් සැබැවින්ම කියවෙන්නේ ඇගේ ජීවිතයයි. ජීවිතයේ බොහොමයක් එන දුක් ගැහැට ගිරිකුළක් මෙන් දරා ගන්නා ඇය සැම විටම සිනහවකින් පිරි මා දුටු සුන්දරම ගැහැණියක්. ___________________________________________________________________________________
KB 2021.06.22

පමා වූ ආදරය . . . . .


නීල් නෙතු අගින් ඇද හැලෙන
නිලුපුල් නෙතු කැල්මන්
බලා ඉවසා හිදින්නද
සැමදාම මා දුරින් හිද
රත් පැහැකළ දෙතොල් පෙති
රෝස පැහැවු සියමැළි දෙකොපුල්
උතුරවයි මා සිත ඔබට බැදි සෙනෙහස
ඇසට අසුවන මායිමක සිට
හිනැහුණත් නුඹ මෙලෙස
ඇයි නොමවුයේ වරම් ළංවෙන්න ඔය සිතට
පරතරය ඇති අප අතර
ළංවෙන්න නොමදෙයි ඉඩකඩක්
මන්ද පමා වුයේ මා මෙතරම්
එළි දකින්නට මෙලොව
හසුව රුදු සරදමට දෛවයේ . . . . . ! ___________________________________________________________________
KB 2021.06.22

මගේ දුවේ

මා දයාබර දියණියට

මගේ දුවේ නුඹ අවදියෙන්
දකින්න කටුක බව මේ ජීවිතේ
සේද සලුවෙන් වැසුණු - මල් සුවඳින් පිරුණු
සුන්දරත්වයට මතින්
සැඟවුණු කුරිරු බව දැනෙයි එවිට නුඹහට

බැටළු හම පොරවාගත් වෘකයින්ද
ලේ සුවඳට ඉවකරන පිසාචයින්ද
ගැවසෙයි නුඹ අසලම
ගිලගන්නට ඔය සොඳුරු දිවිය

මේ දිවි මඟ දෙපස පිපී දිලෙන්නේ
සිනා මල් පමණක්ම නොවන බවද
ඒ නෙලූ මලින් ගලන්නේ රක්ත වු රුධිරය බවද
වැටහේවි දිනෙක නුඹහට

සැමවිටම පසුවෙයන් විමසුමෙන්, අවදියෙන්
මඟහැරෙන එක් මොහොත
ගෙනෙයි යම් අනතුරක්
නුවණැස අවදියෙන් බලන් නුඹ පෙරමඟ
කෙම්බිමක් ඇත්තේද අත ළඟය සැමකළ
මංමුලා නොවී කිසිදා දිරියෙන් බලන් ඉදිරිය
ජවය ඔබ සතුය හැමවිටම
දිනන්නට නුඹ සිහින ___________________________________________________________________
KB 2021.05.29

සෙනෙහස් මල් කැකුළ

ආදරයක සොඳුරු වු අරුමය ඇරඹුමට මොදු වන සෙනෙහස් මල් කැකුළ

තොල් පෙති මත මිමිණූ
සුන්දරම කවියක්ව
රැදෙන්නට ඉඩදෙන්න
ඔය සවන් පත් අතර

පිපෙන්නට වෙරදරණ
සෙනෙහසේ මල් කැකුළ
පිපෙන්නට ඉඩදෙන්න
ප්‍රේමයේ පිණි පොදක් ඉස

පුදන්නට හිත පිරුණ
සෙනෙහසට ඉඩදෙන්න
සැමදාම රැදෙන්නට
ඔය සොඳුරු සිත් මඩල

දෙන්න ඔය සිනා පොද
රැදෙන රතු දෙතොල් මත
තරුවක්ව පායන්න
ඔය සොඳුරු සිත් අහස
මියෙන තුරු ආදරෙන්
___________________________________________________________________
KB 2021.03.25

එරෙහි වූ දෛවය

අපේ ජීවිත තුළ අප පතන ආදරය බොහෝවිට ලැබෙන්නේ නැත. විවිධාකර වු හේතුන් නිසා එය අපට නොලැබී යා හැක. ආගම, කුලය, ධනය, බලය, වයස, හඳහන්, දෙමව්පියන් වැනි කුමන හෝ හේතුවක් නිසා එය සිදුවී යා හැක. බොහොවිට දෙදෙනෙක් අතර ගොඩනැගෙන ආදරයට මෙවැනි දෑ බාධක නිසා බිදී යයි. එ කෙතරම් කණගාටුදායකද? එය කෙතරම් අවාසනාවන්තද? ශක්තිමත් සිත් ඇත්තවුන් කලාතුරකින් මේ බාධක ජයගෙන ඉදිරියට ගමන් කරයි.

තනිවුණු හදකට‍
බිදුණු සිතකට
සුවපත් සිතුවිලි
එක්කළ ඔබයි විහඟිය
පිරුණු ආදරය
ඔබේ සිත තුළ
දැනෙයි මට
බිදෙන් බිද දිනෙන් දින
එහෙත් එරෙහිය
අපට අප දෛවය
සිදුවේද දුරස් වී හිදිනට
කිසිදා යා නොවන
මාවත් දෙකක් අද්දර
කඳුළු පිරි නෙත් කෙවෙණි
රිදී ගිය සිතුවිලිත්
දරන් මා සිත තුළ
කෙළෙස යන්නද මා
නුඹ දමා දුරට
___________________________________________________________________
KB 2021.01.06

රැදවේද සෙනෙහසක්?

ආදරය කියන්නේ බොහොම සුන්දර දෙයක්. හැමෝම ආදරය විදින්න කැමතියි. ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන ආදරය වෙනත්ම ආරක් ගන්නවා. එය සුන්දර හැඟීම් වලින් ඒ දෙදෙනාගේ ජීවිතය පුරවනවා. ඒ වගේම ඒ ආදරය බිදිලා ගිය තැන එකතුවෙන්නේ දුක. සමහර විට වෛරය. බොහෝ විට අපි පතන ආදරේ අපට නොලැබෙන්න පුළුවන්. බර්ටියගේ ජීවිතය ඇතුලේ නම් ඒක එහෙමයි. සමහර වෙලාවට ආදරේ හිතේ තියාගෙන නිශ්ශබ්දව ඒක නොකියා ඉන්න වෙන වෙලාවලුත් තියෙනවා. අපි ආදරය කරන කෙනා වෙන කෙනෙකුට ආදරය කරන වෙලාවට ඒක එහෙමයි. ඒ වෙලාවට නිහඩව දුරින් ඉන්න එක තමයි සුදුසුම දේ වෙන්නේ. ඒ කෙනාගේ හොයාගෙන ගිය ආදරය බිදිලා ගිහිල්ලා නැවත තනිවුනත් අපේ ආදරය ඒ කෙනාට කියන්න බැරි අවස්තාවක් එන්න පුළුවන්. මේ එහෙම දෙයක්.

ජීවිතේ පිටු අතර හැදිනගත් හිතවතිය
බිඳීගිය දිවි මඟක අරුතක් සෙව් යුවතිය
නිවීගිය ගිනි දැල් මතින් රැ
පියමං කළා දුරකට
පිසලමින් කඳුළු සිය නෙත රැදුණු
සොඳුරු වූ ඔබ හද මඩල
විගස මා හැදිනගත්
බැඳුණා ඔබ සිතට මහද
ළංවුවත් දිනෙන් දින
නුඹ වෙතට මා තවත්
වෙනතක ගිහින් නුඹ
සොයා තව සෙනෙහසක්
රැඳුණා දුරින් මම
ඔබ තුටින් සිටිනු දැක
නොමවීය මට වරම් රැදෙන්නට නුඹ අසල
දෛවයේ සරදමට හසුවී යළිත් නුඹ
බිඳීගිය සෙනෙහසක දුක් සුසුම් රිදුම් මැද
සෙනෙහෙ බැදි ඔය සිතට
පෙර ලෙසම අපමණයි
හැකිය මට නවතින්න නුඹ ළඟින් හැමදාම
කියනු මැන මට ඉතින්
පිසදා ඔය නෙතු පියන්
රැදවේද ඔය සිතේ සෙනෙහසක් . . . . .
___________________________________________________________________
KB 2021.02.08

අවාරයේ ආ පෙම්වතී . . . .

ගෙවී ගිය දිවි මගේ
දුක් සතුට මතකයන්
සිහිකරන් යළි යළිත්
තනිකමෙන් ඉකි බිඳින
රිදුම් දෙන හදවතට
ගෙනාවේ ඔබයි සිසිලක්
අවාරයේ ආ පෙම්වති මගේ . . . .

දිලෙන නෙතු යුග සුපුල් දෙකොපුල්
මුදාලු නීල් වරලස
රත් පැහැ දෙතොල්
නටවන නිතඹත්
දඟ කරන අතැඟිලිත්
මත්කළා මගේ සිත අද
අවාරයේ ආ පෙම්වති මගේ . . . .

සොඳුරු බව දිවියට
එක්කළේ නුඹයි දිගැසිය
නිහඩ බව බිඳ දිවි පෙත‍ෙ
පැතිරූ මිහිරි හඩ දස අත
රැදෙන නෙතු මානයේ නිතර
පුදන හිත රැදි පෙම සොඳුරු
අවාරයේ ආ පෙම්වති මගේ . . . .
___________________________________________________________________
KB 2020.09.08

අඳුර

අඳුර විටෙක හරිම සුන්දරයි. විශේෂයෙන් කවි ලියන්නන්ට, ඒ වගේම අසම්මත ආදරයක් සොයා යන්නන්ට. එනමුත් අඳුර ඇතැම් විට අතිශයින්ම බියකරු මෙන්ම රුදුරු විය හැක. එයට හේතුවන්නේ බොහෝ දහවලට, එළියට අකමැති නපුරේ බලවේග රාත්‍රියට අවදිවෙන නිසා. අප නිසි පරිදි පාර සොයා නොගතහොත්, අපද ඒ අදුරේ බලවේගයන්හි තවත් එක් ගොදුරක් වනු නොඅනුමානයි.

ඉඟි කරමින් අඳුරට
හිරු කුමරු නික්ම ගිය කළ
දහවලේ නිදි වින්ද තරු කැට
දෙනෙත් ඇර ලොව දකින කල

දහවලේ ඇස් වසා
ලොවෙන් සැඟව සිටි
අඳුරට ලොබ බැදි රුදු සතුන්
අවදිවෙයි බිද හෙලා
උන් වටා ඇති කඩතුර

යොමු කරයි රුදුරු ඇස්
සොයමින් තවත් ගොදුරක්
සරයි ඇස් දසත
විිඳින්නට ලේ රසය දෙතොලට

නොවුනොත් මදක් විමසිලි
විය හැක ඔබත් ගොදුරක්
නොයනු මැන මාවත වූ අඳුරු
සොයන්න එළිය දෙන තරු කැට
බිඳ හෙලන මාවතේ රුදු අඳුර
___________________________________________________________________
KB 2020.07.10

පෙර දිනෙක සෙනෙහස

ආදරය යනු සියළු මනුෂ්‍යය සිත් තුල ඇතිවන්නා වු එක් සුවිශේෂි හැගිමකි. එයට කුලයක්, ජාතියක්, ආගමක්, වයසක්, දුප්පත් පොහොසත් බවක් බලනොපායි. එනමුදු මවුපියන් හෝ සමාජය හෝ ඒ දෙස බලන්නේ වෙනත් ආකල්පයකින් විය හැක. එම හේතුන් නිසා බොහෝ පෙම්වතුන්ට එක්වීම කෙසේ වෙතත් සිය සිත රැදි ආදරය ප්‍රකාශ කිරීමට තරම්වත් අවස්තාවක් නොලැබේ. සමහරක් විට ඔවුන් වෙන් වෙන් මාවත් ඔස්සේ පියනැගුවත් ජීවිතයේ යම් සංධිස්තානයකදී ඔවුන් යළි මුණ ගැසී නැවතත් ඒ ප්‍රේමය දලුලා වැඩිය හැක. සමාජය මෙවැනි සබදතා වපර ඇසින් බැලුවත් එම පෙම්වතුන්ට එය ගැටලුවක් නොවිය හැක. මෙය එවැනි සටහනක්.

සඳ එළියෙන් එකළු වු මාවතක දෙපිය නගා යමු අපි දෙදෙනා
අදත් පෙර පුරුදු සෙනෙහසින් . . . . .
පෙර දිනෙක වෙන් වුවද මාවත් දෙකක් අද්දර
අහඹුවක් වු හමුවකට මුල පුරා ඇත අප නැවත
ඔබට මා ද මා හට ඔබද හිමි නොවුවත්
එදා බැදි සෙනෙහස අදත් එලෙසින්ම රදයි අප සිත් තුළ
දෙනොදහක් අද්දර අත් පටලන්න වරම් නැති වුවද
ලොවම නිදන මේ පාළු රැයේ දෑත් පටලා ඇවිද යමු අප
අපව වෙන්කළ මේ කුරිරු ලොවෙන් සැඟවී
සිටින විට ඔබ තුරුල්ලේ පෙර ලෙසම සෙනෙහසින්
අමතකයි අහිමි බව අප අපට
___________________________________________________________________
KB 2020.02.06

සුපුන් සරා සඳ

බර්ටියා කාළයක් මීගමුවේ ජාත්‍යාන්තර පාසලක ඉගැන්නුවා. නෑ නෑ දැන් ඉන්න එක නෙවෙයි. බර්ටියට මතක විදිහට 2010 අවුරුද්දේ. ඔය ඉස්කෝලෙට ආවා විද්‍යාව උගන්නන්න අළුත් ගුරුතුමියක්. මේ ගුරුතුමිය ගැන බර්ටියට ආදර සිතක් පහල වුනා. ඇස් වලින් දොඩවපු ප්‍රේමයක් නම් තිබ්බේ නෑ. ඒත් ඒක පාර්ශවික ආදරයක් ඇති වුනා බර්ටියගේ සිතේ. බර්ටියගේ යාළුවෙක් වෙච්ච කල්හාරිට මේ ගැන කිවුවහම කල්හාරි කිව්වේ එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඔය හේතුව නිසා බර්ටියගේ ආදරය සදාකාලයටම අප්‍රකාශිත ප්‍රේමයක් බවට පත්වෙලා ගියා.

බර්ටියා ඒ ජාත්‍යාන්තර පාසලෙන් අයින් වෙන්න කලීන් මේ ගුරුතුමී අයින් වෙලා ගියා. දැන්නම් මේ ගුරුතුමිය රජයේ පාසලක උගන්නනවා. කළාතුරින් දවසක බර්ටියා දකිනවා මේ ගුරුතුමී එයාගේ ඉස්කෝලෙට ඇවිදගෙන යනවා. බර්ටියට දැන්නම් ඉස්සර තිබ්බ ආදරණීය හැඟීම් නැතිවෙලා ගිහිල්ලා. මේ බර්ටියා ඒ දවස් වල තිබ්බ ඒ ආදරය වෙනුවෙන් ලියපු නිසදැසක්.

අඳුරු අහස් කුසට පෑයූ
සුපුන් සරා සඳ ඔබය
වියළී ඉරි තැලුණු බිමට
ඇද හැළුණු වැසි දියද ඔබය
ගමන් වෙහෙස නිමා කළ
සුවිසල් තුරු හිසද ඔබය
සුවිසල් තටාකෙක පිපි
එකම සියපතද නුඹය
හඳපානේ වැලි තලාවල
මල් සැලූ අප්සරාවියද ඔබමය
වේදනාවෙන් පිරි මහද
සුවපත් කරනට ගලා ආ
සිහිල් පවන් පොදත්
ඔබමය දයාබරිය
මහද එකළු කළ සඳවතිය
අවසර දෙන්න මට
දිවි ඇති තුරාවටම
ඔබ හා සිනහවන්නට
ඉඩදෙන්න ඔබ හා සැප දුක
එක්ව උසුලන්නට
___________________________________________________________________
KB 2010.06.26

තනිවු රාධා

රාධා ක්‍රිෂ්ණා ආදර අන්දරය බොහොමත්ම ජනප්‍රිය පෙම් කතාවක්. එය විශාල නිර්මාණ ප්‍රමාණයකට දායකවි තිබෙන ප්‍රේම පුරාවෘත්තයක්. විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකක් විදිහට ක්‍රිෂ්ණ එහෙමත් නැත්නම් කෘෂ්ණ සලකනවා. හින්දු දෙවිවරු අතරින් වැඩිමනත්ම පුජාවට, ගෞරවයට ලක්වන දෙවියෙක් ලෙස ක්‍රිෂ්න නම් කරන්න පුළුවන්. ගෝවින්ද, මුකුන්ද, මධුසුධාන, සහ වාසුදේව යන නම්වලින් ද හඳුන්වනු ලබන්නේද ක්‍රිෂ්න දෙවියන්වමයි. නන්දා මාලිනියන්ගේ යමුනා ගංතෙර ගීතයේ මාතෘකවා වන්නෙත් අපි මේ කතා කරන ක්‍රිෂ්නා.

ශ්‍රී ජයදේව නමැති ඍෂි වරයා රචනා කළ ගීත ගොවින්දයට අනුව රාධා නම් රෑමත් තරුණියත් ක්‍රිෂ්නා නම් ගොපළු තරුණයත් අතර ඇතිවන්නා වු ප්‍රේමය රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තයේ දැක්වෙනවා. මොවුන් දෙදෙනා අතර ඇතිවන ප්‍රේමය කායික ඇසුරක් දක්වාම යන්නකි. ටික කලකින් ක්‍රිෂ්ණ ගෝපිකාවන් සමග ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. මේ ක්‍රිෂ්ණා හා රාධා අතර ඇතිවන ප්‍රේමය තවත් මානයකින් දැකීමකි.

දිවා කාලය සැඟව ගොස් සැදෑවත් එළඹ ඇත
පිරුණු දෑසින් කඳුලැල්
තවමත් සිටිමි මම බලා
සන්තාපයෙන් පෙර මඟ

එක්ව අතැඟිලා පටලා
ඇවිද යන්නට මල් පාවඩ මතින් වෘන්දා වනේ
පෙරුම් පුරමින් බලා සිටියෙමි මම
සතුටින් පිරුණු හදැතිව

පෙම්බස් දොඩමින් විදින්නට ප්‍රේමය
බලා සිටියෙමි නොඉවසිල්ලෙන්
බොහෝ දිනක් මේ රාධා
ඇයිද පමා ඔබ මෙතරම්
ඔබ කොහේ හෝ සැඟවුණිද මා දමා

ගොපළු ලියන්ගේ සුවදේ දැවටි
තවමත් ඔබ කෙළිදොලෙන්ද
යමුනා ගං තෙරේ
සොයමි මම තවමත් ඔබව ක්‍රිෂ්ණා
හද පිරි සෙනෙහසින්
රාධා තවමත් බලා සිටියි පෙර ලෙසම
ඔබ එනතුරා
___________________________________________________________________
KB 2020.09.08

නික්මීම

ගැහැණියක හා පිරිමියෙක් අතර ඇති වන අද්වීතීය බැදීමක් විටෙක ආදරය ලෙස හුවා දැක්විය හැක. දෙදෙනෙකු අතර ආදරය බිදී ගිය විට ඇතිවන්නේ විරහවයි. එය දුකට හේතුවන්නා වු කාරණයක් වන අතර මෙම දුක විටෙක වෛරයකට පවා පෙරලිය හැකිය. ඇතැමෙක් විරහා වේදනාවෙන් මිදීමට මදු විතට යොමු වේ. බර්ටියා තම විරහව අකුරට හැරවුයේ මේ අයුරිනි.

තොල් පෙති අග මිමිණු
කවියක්ම වීය නුඹ මට . . . . .
ඒ කවියේ මිහිරෙන්
මත්ව ගෙව් අල්ප වු කාලය
සොඳුරුයි කිව නොහැකි තරම්
ප්‍රභාෂ්වර වු හැඟුමන්
හදේ කැටි කොට
නික්ම ගියේ නුඹ
අනුන්ගේ බහකටමදැයි
නොසිතේ මට කිසිවිටෙකත්
___________________________________________________________________
KB 2020.09.02

සිරවුණු සුසුම් . . . . . . !

විදී සරණ ළදුන් නැතිනම් ගණිකාවන් දෙස බොහෝ දෙනා බලන්නේ වපර ඇසකින්. ඒත් ඔවුන් බොහොමයක් මේ තත්වයට පත්වීම පිටුපස දුක්මුසු වු කතා පුවතක් දැකිය හැක. බොහොමයක් තම එදා වේල සරි කරගැනීමටත් දුවා දරුවන්ට සිප් සතර කරවීමටත් ලොව පළමු වෘත්තිය ලෙස සැලකෙන මෙය යොදා ගනී. මෙය නම්බුකාරකමට මෙන්ම විනෝදය උදෙසා කරනා ගැහැණුන්ද නැතිවම නොවේ. කෙසේ නමුත් මේ ඔවුන් ගැන කම්පිත ඇසකින් දකින්නට දැරූ උත්සාහයක්,


රතු හැට්ටෙන් වැසුණු ළමැදේ
නෙරා ආ පුන් පියයුරු
දුටුව පිරිමින් මුසපත් කළ රාගය
අඳුරු කුටියක රමණයෙන්
කෙළවර වන අප්‍රමාණ රාත්‍රීන්
නැගෙන කෙදිරිලි හඩ
පරයා නිහඩ බව රාත්‍රියේ

කිසිවෙකුත් දුටුවේද
තැවරුණු වත්සුණු පොදින් සැඟවු වේදනාවන්
කිසිවෙකුට ඇසුණේද
ළමැදේ සිරවුණු සෝ සුසුම් හඩ
කිසිවෙකුට හැගේවිද
රාගයෙන් ඔබ්බට ප්‍රේමයක්
___________________________________________________________________
KB 2020.08.24

බුදු පියාණෙනි . . . . . .

මෝහයේ අඳුරු පට බිද දමා
තුන් ලොවම සඳහම් එළියෙන් ඒකාලෝක කළ
මහා උත්තම පුරුෂයා ඔබයි
බුදු සමිදුණි


ඉමක් නොදැක සසර කතර අතරමන්ව
මෝහයෙන් මුලාව සිටි සතුනට යා යුතු මඟ හෙළිකළ
මහා මුණිවරයාද ඔබමයි
නිදුකාණෙනි

සසර ගින්නෙන් දැවෙනා සියළු ප්‍රාණීන්ගේ
දුක් ගිනි නිවීමට
මේ ධරණි තලය මත ඇද හැළුණු
අමා වැස්සද ඔබයි
මාගේ බුදු පියාණෙනි

කල්පාන්තයක් සසර කතර එක්ව තරණය කළ
යසෝදරාව පමණක් නොව රාහුල පුතුද හැරපියා
සියලු ලෝ සතුන් උදෙසා විමුක්තිය සොයා ගිය
මහා පරිත්‍යාගශීලියා ද ඔබයි
තිලොවග පියාණෙනි

හදේ පිබිදෙන දහසක් සියපත්
තබා මුණි පාමුල බැතින්
දොහොත් මුදුන් තබා නමදිමි
මාගේ සම්බුදු පියාණෙනි
___________________________________________________________________
KB 2020.05.17

රජෙකු වෙයන් නුඹ

තම දරුවන් රජුන් වනු දැකීම සෑම මවකගේම පියෙකුගේම බලාපොරොත්තුවයි. එනුමුදු ඒ තනන රජුන් කෙතරම් යහපත් කෙනෙක් වෙනවාද යන කරුණට තීරණාත්මක සාධකය වන්නේද දෙමව්පියන්මය.


ළපටි මුවඟ පිරි හරසරුල් රදවා
කිරි සිහින දකින් පුංචි පුතේ මගේ
රජෙකු වෙයන් නුඹ ......
දුකින් පිරි ජීවිත තලා පාගා දමන්නට නොව
රදවන්නට සිනහවක් ඒ ඇස් වලට
හදවතින් නැගෙන වේදනාවන්ටත්
දොර ගලා යන දුක් ගංඟාවලටත්
මහ මෙරක් ලෙසින් දැඩි නොවී
සුමුදු මල් පෙත්තක් වෙයන් නුඹ
දුක් කම්කටොලින් පීඩිත වු ජීවිත
තවත් තලන්නට නොව
මුදවා එයින් සුවපත් කරනට
හැකි රජෙකු වෙයන් නුඹ සැමදා
රට කරවන දිනන
___________________________________________________________________
KB 2017.09.12

භීෂ්මයන්ගේ අවසන් වදන්

1990 ගණන් වල එක්තර ශ්‍රි ලංකීය රූපවාහිනී නාලිකාවක් හරහා විකාශය කෙරුණු මහාභාරත් කතා මාලාව බර්ටියාගේ අතිශයින් සිත් ගත් කතා මාලාවකි. එය දක්නට ලැබෙන්නේ හොද, නරක, යුක්තිය, අයුක්තිය, සාධාරණය, අසාධාරණය අතර දෝලනය වන්නාවු චරිත රාශියකි. මේ චරිත අතරින් චරිත තුනක් බර්ටියගේ සිතේ රැදුණා.

ඒ අතරින් එක චරිතයක් තමයි ක්‍රිෂ්ණාගේ චරිතය. පොතපතේ සදහන් වෙන්නේ ක්‍රිෂ්ණා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වලින් එකක් විදිහට සලකනවා. කුරු පාණ්ඩවයන් අතර ඇතිවන යුද්ධයේදි අර්ජුනගේ රථය පදවන්නේ ක්‍රිෂ්ණ විසින්. කුරු පාණ්ඩව යුද්ධය ආරම්භවීමට මොහොතක පෙර තම නෑදෑයන්ට විරුද්ධව අවි එසවීමට අර්ජුන පසුබට වෙනවා. ඒ අවස්තාවේදී ක්‍රිෂ්ණා තමන්ගේ දේවත්වය අර්ජුනට ප්‍රදර්ශනය කරමින් මෙම යුද්ධයේ අත්‍යාවශය එකක් බව අර්ජුනට පැහැදිලි කරවන්න භගවත් ගීතාව දේශනා කරනවා.

ඊළගට අර්ජුන. කුරු පාණ්ඩව යුද්ධයේ එන දක්ෂම (සුපිරි) ධනුර්ධයා. ඔහුගේ හැකියාවන්ට යන්තමින් හෝ සමකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් ඒ ඔහුගේම වැඩිමහල් සහෝදරයා වන කරණ්. නමුත් ඔහු සිටින්නේ ප්‍රතිවිරුද්ධ පිලේ. ඒ වගේම අර්ජුන ඔහු තමන්ගේ සහෝදරයා කියලා දන්නෙත් නෑ. ඒ ඇරණහම බර්ටියා කැමති තුන්වෙනි චරිතය අර්ජුනට සමකරන්න පුළුවන් දක්ෂයෙක්. අර්ජුනගේ ගුරුවරයා වන ආචාර්ය ද්‍රෝණටත් වඩා ඔහු දක්ෂයි.

තුන්වෙනි චරිතයට තමයි බර්ටියා වැඩියෙන්ම ආදරේ කරන්නේ. ඔහු හැමදෙනාගේම ආදරයට ලක්වු කෙනෙක්. තමන් සතු රාජ්‍යයේ සිට සියලුම දේවල් මෙන්ම අවසානයේ තමන්ගේ ජීවිතයද ඔහු තම ප්‍රිය හස්තිනාපුරය වෙනුවෙන් පුජා කරනවා. අර්ජුනයන්ගේ හී වර්ෂාවෙන් තුවාල ලබන ඔහු යුද්ධයේ අවසානය දක්වාම තම හී යහන මත ජීවත් වෙනවා. ඔහුත් මේ යුද්ධයේ ඉන්න දක්ෂම සෙන්පතියෙක්. දක්ෂ දුනුවායෙක්. ඒ තමයි පිතාමහ ගංඟා පුත්‍ර භීෂ්ම. ගංඟා පුත්‍ර හීෂ්මයන් වෙනුවෙන් තමයි මේ වදන් පෙළ ලියවෙන්නේ.

ලේ ගලන සිරුරින්
අඩපණව වැතිරී සිටිමි මම
හීතල යහන මත
නිවාගෙන පිපාසය
ගංඟා මාතාවගේ ඇසෙන් ගැලූ කඳුලින්
අහෝ මෑණියන් !
සිත් නොදෙන්නේ ඇයිද මට මියෙන්නට
නිමක් නොදැක මේ කුරිරු සටනේ කෙළවර
ක්‍රිෂ්ණා,
ධර්මයේ ශක්තිය ඔබයි සැමවිට
සොවින් කම්පිතව බිම තැබූ දුනු හී
ඔසවන්න දුන් සවිය අර්ජුනට
පුතණුවනි මා අර්ජුන,
හී යහන නුඹ තැනූ මට
සුමුදුය සුසිනිදුය
තවත් නොහඩන්න පුත, මිය ඇදෙන මා නමින්
අයුක්තිය, අධර්මය පරදවා
ගෙන එන්න සාමය
මතු දිනක මා නිදන ප්‍රිය හස්තිනාපුරයට
දනිමි එය හැකි බව
නුඹට පුත යුධිෂ්ඨිර
ධර්මයේ ශක්තිය සැම කල්හි සිත දරණ
___________________________________________________________________
KB 2019.12.01

අමාවකක් වු සිත් අහසට

ගංඟාවක් සේ එකාකාරව ගලා ගිය දිවිය
දිය ඇල්ලක් සේ හැඩ කළේ නුඹයි .....
පාළු වු හදවතට සිනා හඩ මුසු කළ
වදන් පෙළ නුඹයි

අමාවකක් වු සිත් අහසට එළිය දුන්
සඳවතියද නුඹයි ......
නිහඩ වු දිවියට සොඳුරු බව එක් කල
සුපිපි මල් ගොමුවද ඔබයි ......
පිපාසිතව හෙම්බත් වු දිවි මඟට ඇද හැලුණු
මුතු වැස්සත් නුඹයි ......

ගිලන් වු මහද සුවපත් කළ දයාවිය
රැදෙන්න දිවිය පුරාවට මා අසල
දුක සැප එක්ව විදිනට
___________________________________________________________________
KB 2017.12.27