අඳුරේ දඩයම්කරු 23 – රහසිගත හමුව

වැඩි කාලයක් ගත නොකරම රථයේ රියදුරා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇතුළු පිරිස රහස් හමුව සිදුවන්නා වු ස්ථානයට ගෙනගියා. රාත්‍රි අඳුර පරිසරය ගිල ගනිමින් දසත ගලා යන්නට වුනා. එය ඇත්තටම රහස් හමුවකට කදිම රාත්‍රියක්. අඳුරටම මුවා වු ලෝගන් ඇතුළු පිරිස රහස් හමුව සිදුවන්නාවු නිවසට ඇතුළු වුයේ කිසිවෙකුගේ ඇසකට ලක්නොවෙමින්.

උතුමාණනි, අවසරයි, අසුන්ගන්න. මෙහි ඔබේ මැදුරේ වගේ පහසුකම් නෑ.

මඳ සිනහවක් සිය මුවට නගාගත් සහන්‍යා පවසා සිටියා. එයට සිනහවකින්ම පිළිතුරු දුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා එහි වු ආසනයක අසුන් ගනිමින් ඩේවිඩ්ව ඇමතුවා.

මොනවද ඩේවිඩ් ඔබ හොයාගත්තේ?

එයට පිළිතුරුක් නොදුන් ඔහු නයෝමි දෙසට බැල්මක් හෙලුවා. එම බැලුමේ අර්ථය වහා තේරුම්ගත් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා,

ඩේවිඩ්, මේ නයෝමි ජෙනෙවියර්. ලෝගන්ගේ පැරණි මිතුරියක්. ඇය ගැන සියයට සියක් විශ්වාසය තියන්න පුළුවන්. මාත් සමඟ බෙදාගන්න සෑම දෙයක්ම ඇයත් සමඟත් බෙදාගන්න ඔබලාට පුළුවන්. ඇරත් ඇය බොහෝ දුර බැහැරක සිට මෙහි පැමිණියේ ඉතාමත් වැදගත් කරුණු රාශියක් රැගෙනයි.

මේසේ පැවසු ග්‍රැන්ඩ් මාස්ටර්වරයා නයෝමි තමන්ට එළිදරවු කළ කරුණු ඩේව් ඇතුළු පිරිස ඉදිරියේ දක්වා සිටියා. මේ කරුණු අසා මදක් වේලා නිශ්ශබ්දව බලා සිටි ඩේව් සිය මුව විවර කළා.

මේ කරුණු වලින් සිද්ධවෙන්නේ අප සොයාගත් කරුණු තවත් තහවුරු වෙන එක. ඔබතුමා දුන්නු ලිපි, සටහන් හා අනිකුත් තොරතුරු ඉතා සියුම්ව විශ්ලේෂය කිරීමෙන් අනතුරුව අප සංවිධානයට එරෙහිව ක්‍රියාත්මකවන බලවේගයක් තිබෙන බව මට පෙනී ගියා. නයෝමි ගෙන ආ විස්තරත් එක්ක ඒ කාරණය තවදුරටත් තහවුරු වෙනවා. මම සහන්‍යාව පිටත් කළා පැරීසියේ තියෙන සුප්‍රකට තැබෑරුමක් වෙතට. එය පැරීසියේ ඉන්න මංකොල්ලකරුවන්, කුළී ඝාතකයන් හා වෙනත් නිතී විරෝධි ක්‍රියාවන්වන යෙදෙන්නන් අතර බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්.

     ඔබ ඔය කියන්නේ පැරීසියේ දකුණු පස සෙරීන් නදියට ආසන්නයෙන්      රතියෙන නිල් තරු දෙකේ තැබෑරුම ගැන නේද?

     ඔව් ලෝගන්. ඔබත් ඒ ගැන දන්නවා වගේ. සහන්‍යාට එහිදී කුළී      ඝාතකයන් දෙදෙනෙක් අතර සිදුවන්නා වු කතාබහක් අහම්බෙන් කණ      රවැටිලා තියෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් සඳහන් කරලා තියෙනවා      අප සංවිධානය ගැන. මේ කතාවෙන් මීට වඩා වැඩිදෙයක් ගැන කතා      නොවුනත් මේ කතාව අවසන් කරලා යන්න හදපු කුළී ඝාතකයව      සහන්‍යාට හමුවෙනවා තැබෑරුමට සැතැප්ම කීපයක් එහායින් තියෙන      පාළු පෙදෙසෙදි. කතාවේ ඉතිරි විස්තරය කියන්න මම සහන්‍යාටම අවස්ථාව ලබාදෙන්නම්.

ස්තුතියි ඩේව්. කුළී ඝාතකයා තැබෑරුමෙන් පිට වෙලා යනවාත් සමඟින්ම ඔහුට නොදැනීම මම ඔහුව ලුහුබැදගෙන ගියා උතුමාණනි. තැබෑරුමට එහායින් තියෙන පාළු පෙදෙසෙදී ඔහුටත් නොදැනීම මම ඔහුව කොටු කරගත්තා. මුලින්ම මේ ගැන කිසිම දෙයක් නොදන්නා වග මේ ඝාතකයා පැවසුවත් මම ඔහුගෙන් තොරතුරු ගන්න පාවිච්චි කරපු උපක්‍රම වැඩිවේලාවක් දරාගෙන ඉන්න ඔහුට හැකියාවක් ලැබුණේ නෑ. ඔහු දැනගෙන හිටියේ බොහොම පොඩි තොරතුරු ප්‍රමාණයක්. මගේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු සියල්ලම ගිරවෙක් වගේ වැමෑරුවා.

මොනවද ඔබට දැනගන්න ලැබුණේ සහන්‍යා?

ඇත්තටම ඔහු දැනගෙන හිටියේ ඉතාමත් අල්ප වු තොරතුරු ප්‍රමාණයක්. ඒ දේවල් අපට වැදගත්වන්නේ නෑ එක් දෙයක් හැරෙන්නට. මට සොයාගන්න ලැබුණු වැදගත්ම දෙය තමයි පැරිසීයේ විශේෂ ස්ථානයක හෙට රාත්‍රි දහයට යෙදිලා තියෙන රහසිගත හමුවීමක් ගැන තොරතුරු. මේ පුද්ගලයා කියන විදිහට මේ තමයි ඔවුන්ගේ පැරිස් මූලස්ථානය. ඒ වගේම ඔවුන්ගේ පැරිස් නායකයා මේ හමුවීමට පැමිණෙන බව.

ඔබ මේ ඝාතකයට යන්න දුන්නද?

ඔව් සෙඩ්රික්. මම ප්‍රශ්න කිරීම අවසානයේ ඔහුව ඇරියා අපායටම. මේ ඝාතකයා හවුල් අපෙන් දෙදෙනෙක් මරා දමන්නට. ඒක දැනගත්තහම ඔහුට කිසිම සමාවක් දෙන්න අවශ්‍යතාවයක් ඇතිවුනේ නෑ මට.

සහන්‍යා

උතුමාණෙනි ?

කොහෙද මේ රහස් හමුව තියෙන්නේ?

පැරීසියේ රොසිටා මන්දිරයේ.

මොනවා? ඔබට එය හොදටම විශ්වාසද?

ඔව්. මගේ ප්‍රශ්න කිරීම තුළ කුළී ඝාතකයාට කිසිම බොරුවක් කියන්න කිසිම ඉඩක් නෑ.

මේක මම හිතුවාටත් වඩා ලොකු ක්‍රමණ්ත්‍රනයක්. පැරීසියට සැතැප්ම නවයක් පමණ දකුණු දිගින් “රුන්ගීස්” වල තමයි රොසිටා මන්දිරය පිහිටා තිබෙන්නේ. එය පැරිසීයේ සිටින ලොකුම ධනවතෙකුට අයත් අතහැර
දැමූ මන්දීරයක්. ප්‍රශ්නය තියෙන්නේ එහි අයිතිකරුවා ගැන.

ඒ ඇයි?

ලෝගන් එය අයිති නගරාධිපතිවරයාගේ සහෝදරියට. මට හිතාගන්න බෑ මේ ක්‍රමණ්ත්‍රනය කෙතරම් දුරට ප්‍රංශය ආක්‍රමණය කරලද කියන්න. බැරිවෙලා හරි නගරාධිපතිවරයා මෙයට සම්බන්ධ නම් ඔහු අප ගැන යම්තාක් දුරකට තොරතුරු දන්නවා. මම දන්නේ නෑ නගරාධිපතිවරයා හෝ ඔහුගේ සහෝදරිය මේ ක්‍රමණ්ත්‍රනයකට සම්බන්ධද කියන්න. ඒක හරියටම දැනගන්නකම් අපි අනුමාන කරමු ඔවුන් මෙයට සම්බන්ධයි කියලා. ඒක තමයි කරන්න තියෙන හොදම විදිහ.

ඔබ හරි උතුමාණෙනි. අපි එසේ උපකල්පනය කරමු. මොකක්ද අපේ ඊළඟ පියවර?

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගෙන් එසේ අසා සිටියේ මෙතෙක් වේලා සියල්ලම නිශ්ශබ්දවම අසා සිටි ටාරා.

ලෝගන්, ඩේව්, ඔබලා හිතන්නේ මොකක්ද?

සහන්‍යා දැනගත්ත විදිහට මේ රොසිටා මන්දිරය තමයි මේ සංවිධානයේ ප්‍රංශයේ මූලස්ථානය එහෙමත් නැත්නම් රහස් තිප්පොළ වෙන්නේ. අපිට අවශ්‍ය කරන ලියකියවිලි බොහෝ විට මේ ස්ථානයේ තිබෙන්නට පුළුවන්. ඒ වගේම “අඳුරේ දූතයන්” සංවිධානයේ විශේෂ පුද්ගලයන් මේ හමුවට පැමිණෙන්නට පුළුවන්. මේ සංවිධානයේ ප්‍රංශ නායකයා පැමිණෙනවා කියන්නේ මෙම හමුවට සහභාගීවෙන්නේ මේ සංවිධානයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට වඩා ඔවුන්ගේ ලුතිනල්වරුන්වීමට බොහෝ ඉඩකඩක් තියෙනවා. මගේ අදහස නම් අපි මේ හමුව පටන් අරන් සුළු වෙලාවක් ඇතුලත පහරදීලා ඔවුන්ගේ නායකයා අල්ලගන්න ඕන. මෙයට සම්බන්ධ අනිකුත් සාමාජිකයින් මෙතනින් පිටතට නොයන්න අපි වග බලාගත යුතුයි.

ඔබ හරි ලෝගන්. මගේ අදහසත් එයමයි.

එසේ නම් ඔබලා දෙදෙනා මෙම පහර දීම සැලසුම් කරන්න.

උතුමාණෙනි, අපිට මෙම මන්දිරයේ සැලැස්මක් අවශ්‍යයි.

ගැටළුවක් නෑ. රෝසීටා මන්දිරයේ සැලැස්මක් අපේ ලේඛනාගාරයේ තිබ්බා. එහෙමනම් හෙට උදෑසන අටවෙනකොට අපි මෙහිම රැස්වෙමු. එසේ රැස්වෙලා අපේ සැලැස්ම සුදානම් කරමු. අපි දැන් මෙතනින් පිටවිය යුතුයි. හෙට උදෑසන අටවෙනකොට අපි මෙතනට එනවා. හැමෝම විවේක ගන්න. හෙට දිගු දවසක් වෙනවා නොඅනුමානයි.

මෙසේ පැවසූ ග්‍රැන්ඩ් මාස්ටර්වරයා ලෝගන් ඇතුළු පිරිසත් සමඟින් එම ස්ථානයෙන් පිටවී ගියා.

පසුදින උදෑසන අටවන විට මේ පිරිස නැවත වරක් රැස්වුයේ එදින රාත්‍රියට සිදුකිරීමට බලපොරොත්තුවන රහසිගත පහරදීමට අදාලා කරුණු සාකච්චා කරගැනීමටයි. ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා තම ලේඛනාගාරයෙන් රැගෙනවිත් තිබු “රොසිටා” මන්දිරයේ සැලසුම විනාඩි පහළවක් පමණ අධ්‍යනය කළ ලෝගන් හා ඩේවිඩ් තම පහරදීමේ ක්‍රියා පිළිවෙත බොහොම සීරුවෙන් සැලසුම් කරනු ලැබුවා. මේ කාර්යයට ඔවුන් දෙදෙනා පැය දෙකක පමණ කාලයක් මිඩංගු කළා. ඒ අතර තුරු අනෙක් පිරිස තමන්ගේ කාර්යයට අවශ්‍ය කරන අවි ආයුධ හා අනෙකුත් උපකරණ සුදානම් කිරීමට කටයුතු කළා. උදෑසන දහයට පමණ මේ පිරිස රැස්වුයේ ලෝගන්ගේ හා ඩේව්ගේ පහර දිමේ සැලැස්මේ විස්තර දැනගැනීමටයි.

“රොසිටා” මන්දිරය පිහිටා තිබෙන්නේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක්. මේ භූමියට ඇතුල්වීමට ඇත්තේ එක ඇතුල්විමේ දොරටුවක් පමණයි. එය අපට වාසියක් වනවා. ඊළඟට මේ මන්දිරයට ඇතුල්වීමට ප්‍රධාන දොරටු දෙකක් තිබෙනවා. ඒ නිසා අපිට මේ දොරටු දෙකෙන්ම එකවර ඇතුළු වී පහරදීම සිදුකරන්නට වෙනවා. ඒ සඳහා අපිට කණ්ඩායම් දෙකට බෙදෙන්න වෙනවා. මේ ඇතුල්වීමේ දොරටු දකින්නට පුළුවන් මේ ස්ථාන දෙකෙයි.

ඩේවිඩ්, මේසය උඩ දිග හැර තිබු “රොසිටා” මන්දිරයේ සැලැස්ම දක්වමින් පවසා සිටියා.

     පළමු දොරටුව තියෙන්නේ මන්දිරයේ ඉදිරිපසින්. එතනින් අපේ      පළවෙනි කණ්ඩායම, ඒ කියන්නේ මම, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා      සහන්‍යා මන්දිරයට ඇතුල්වෙනවා. දෙවෙනි දොරටුව තියෙන්නේ      මන්දිරයේ වම් පසට වෙන්නට.

     ඩේවිඩ් නැවත වරක් මන්දිරයේ සැලැස්ම දක්වමින් පවසා සිටියා.

     ඒ වම් පස දොරටුවෙන් අපේ දෙවෙනි කණ්ඩායම මන්දිරයට      ඇතුල්වෙනවා. ඒ කණ්ඩායමට අයිති ලෝගන්, නයෝමි හා ටාරා. අපිට      වඩා විනාඩි දෙකක කාලයක් ඔවුනට අවශ්‍ය වෙනවා මන්දිරයේ වම්පස දොරටුවට ළඟා වීමට. එහෙම නේද ලෝගන්?

ඔව්. ඒක හරි. මාළිගයට ඇතුල් වුණු පසුව අපි කෙළින්ම ගමන් කරන්න ඕන මාළිගයේ දෙවන මහලේ තියෙන රැස්වීම් ශාලාවට. අපි උපකල්පනය කරනවා මේ රැස්වීම තියෙන්නේ මේ ශාලාවේ කියලා. බැටිස්ටා, ඔබ සෙඩ්රික් සමඟ මන්දිරය පිහිටි බිමට අතුල්වන දොරටුව අසල රැක සිටිය යුතුයි. ඒ වගේම එම දොරටුවෙන් කිසිවෙක් පිටවී නොයා යුතුයි. ඒක ඉතාමත් වැදගත් කරුණක්. පැහැදිලිද?

පැහැදිලියි.

සෙඩ්රික් මෙන්ම බැටිස්ටාද එයට එකවරම පිළිතුරු දුන්නා. ලෝගන් තමන්ගේ සැලැස්ම දිගටම විස්තර සහිතව හැමදෙනාටම පැහැදිලි කරදෙනු ලැබුවේ ඔවුනට ඒ ගැන කිසිදු ගැටළුවක් ඇති කරගැනීමට කිසිදු ඉඩ කඩක් නොතබමින්.

මතක තියාගන්න. මේක බොහොම නිශ්ශබ්දව කරන මෙහෙයුමක්. හැමවිටම ඒ නිහඩ බව රැකගන්න උත්සාහ කරන්න. අපෙන් පිටවෙන එක වචනයක්, අපේ පයට පෑගී කැඩෙන එක දර කැබැල්ලක් මත අපේ මෙහෙයුමේ සාර්ථක අසාර්ථක බව රැදී තිබෙන්න පුළුවන්. ඒ නිසා හැමවිටම කල්පනාකරීවන්න. කිසිවිටකත් නොසැලකිලිමත් වෙන්න එපා. පැහැදිලිද?

එයට පිළිතුරක් ලැබෙනතෙක් පමා නොවු ලෝගන් සිය පැහැදිලි කිරීම දිගටම කරගෙන යනු ලැබුවා.

මෙය නිහඩ මෙහෙයුමක් නිසා කිසිවෙක් තමන්ගේ ගිනි අවි පාවිච්චි කරන්න එපා. තමන් කැමති නම් තමන්ගේ පිස්තෝල රැගෙන එන්න. ඒත් තුවක්කු ගේන්න එපා. එය අනවශ්‍ය බරක් මෙන්ම කරදරයක්. තමන් කැමති ලෙසකට පිහි, දුනු හා අසිපත් යොදාගන්න පුළුවන්. එය ඔබ කැමති විදිහක්. මේක රාත්‍රියේ කරන මෙහෙයුමක්. ඒ නිසා අඳුරේ තමයි අපිට ගමන් කරන්න වෙන්නේ. ඒ නිසා බොහොම කල්පනාකාරී වෙන්න. අපි මන්දිරයට සැතැප්ම දෙකක් පමණ දුරකින් අපේ අශ්වයින් නවතා එතැන් සිට පයින් ගමන් කරනවා. මන්දිරය අතහැර දමා ඇති එකක් නිසා එය බොහෝ විට කැලෑ වැදී තියෙන්න පුළුවන්. ඒ නිසා අවට පරිසරය ගැන හැමවිටම විමසිලිමත්ව පසුවන්න. මෙතන කී දෙනෙක් කොයි විදිහට ආරක්ෂාවට යොදා තිබෙනවද ඒ වගේම කී දෙනෙක් මේ රහසිගත සාකච්ඡාවට පැමිණෙනවද කියන කරුණු කිසිම දෙයක් අපි දන්නේ නෑ. ඒක අපිට තියෙන ලොකුම අවාසියක්. ඒත් අපිට කරන්න වෙන දෙයක් නෑ. මේ මෙහෙයුම අපිට ක්‍රියාත්මක කරන්නම සිද්ධවෙනවා වැඩිදෙනක්ගේ යහපත වෙනුවෙන්. පැහැදිලිද?

ඔව්. ඒ ගැන අපිට ගැටලුවක් නෑ ලෝගන්.

එසේ පැවසුවේ ටාරා.

සහන්‍යා ඔබට තව කාර්යයක් පැවරෙනවා.

ඒ මොකක්ද ඩේව්?

ඔත්තු බලන්න. මේ මන්දිරයට යන්න තියෙන්නේ කැළෑ පෙදෙසක් හරහා. ඔබට තියෙන්නේ මේ මඟ යම් තැනක සැඟවී සිට මෙහි යන එන්නන් ගැන දළ අදහසක් ලබාගන්න. එයට ඔබේ හැකියාවන් යොදාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ගල් කුළකින් ආවරණය වෙච්ච ආරක්ෂිත ස්ථානයක්.

ඩේව්, මේසය මත තිබු පැරිස් නගරය හා ඒ අවට ප්‍රදේශයේ සිතියමක වු ස්ථානයකට සිය ඇඟිල්ල තබමින් සහන්‍යාට දක්වා සිටියා.

මෙතන තමයි අපි අශ්ව අපේ අශ්වයන් නවතා යන්න තීරණය කරලා තියෙන්නේ. ඔබ සවස හය පමණ වන විට එතනදී අප හා එකතු වෙන්න. තව එකක් සහන්‍යා.

ඔව් ඩේව්.

ඉක්මන් හදිසි තීරණ ගන්න එපා. ඔබේ පැමිණීම කාටවත් දැන ගැනීමට ඉඩ තියන්න එපා.

හරි.

එහෙනම් දැම්මම පිටත්වන්න.

මොහොතකින් සිය අසු පිටට නැගගත් සහන්‍යා එයින් පිටව ගියා.

ඩේව්, හැමදේම ලෑස්තිද? ඔබලාගේ ආයුධ වල තත්වය කොහොමද?

අවශ්‍ය කරන හැමදෙයක්ම තියෙනවා උතුමාණෙනි.

එහෙම නම් සවස හතරට පමණ මෙතනින් පිටවෙන්න. පැරිස් නුවරය පැය දෙකක පමණ ගමනක් තියෙන්නේ. ඔබලාට සවස හයවෙනකොට අපි කතා කරගත් තැනට එන්න පුළුවන්. අපි ඔබලාව එතනදී හමුවෙන්නම්. ලෝගන් අපි එහෙනම් පිටත් වෙමු.

අනතුරුව තමන් පැමිණි අශ්ව රථයට නැගුණු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇතුළු පිරිස සිය මන්දිරය වෙතට පිටත්ව ගියා.

මන්දිරයට පැමිණීමෙන් අනතුරුව ලෙනෝරා හා එක්වු ඔවුන් සිය දිවා ආහාරය ගත්තා. එයින් අනතුරව ලෝගන්, නයෝමි සමඟ නව තාක්ෂනික අංශයට වෙත පිටත් වුයේ නයෝමිට අවශ්‍ය කරන ආයුධ කීපයක් ලබා ගැනීම සඳහායි.

ප්‍රධාන දොරටුව ඇරගෙන පරීක්ෂනාගාරයට ඇතුල් වු ලෝගන්ට දක්නට ලැබුණේ ගැඹුරු කල්පනාවක නියුතු වී සිටින කැතලීනායි.

කැතලීනා ..... කැතලීනා

ලෝගන්ගේ හඩත් සමඟ තිගැස්සුණු කැතලීනා ඒ දෙස හැරී බැලුවා.

ලෝගන්, ඔබ මොකද මේ පැත්තේ? කවුද මේ? ඔබේ පෙම්වතියක්ද?

කැතලීනා, මේ මගේ හොදම යෙහෙළියක්. පෙම්වතියක් නම් නෙවෙයි. මේ නයෝමි. නයෝමි මේ කැතලීනා. අපේ නව තාක්ෂණික අංශයේ ප්‍රධානියා. බොහොම දක්ෂ නව නිර්මාණ කරන්නියක්.

නයෝමි, කැතලීනාගේ රෝස පැහැති කම්මුල් සිප ගනිමින් ඇයට ආචාර කර සිටියා.

ඔබව හදුනා ගැනීමට ලැබීම සතුටක් කැතලීනා.

ඔබවත්. ලෝගන්, මොකද මේ පැත්තේ?

කැතලීනා, ඔබ එදා මට දුන්නු වර්ගයේ හරස් දුන්නක් ගන්න පුළුවන්ද නයෝමිගේ පාවිච්චියට?

මොකද මේ හදිස්සියේ? මට මතක විදිහට අපි තවත් එයින් දුනු දෙකක් නිර්මාණය කලා. බලමු ගබඩාවේ.

විශේෂ මෙහෙයුමක් තියෙනවා කැතලීනා. ඒකට පාවිච්චි කරන්න.

හරි ලෝගන්.

ලෝගන් හා නයෝමි කැටුව ආයුධ ගබඩාවට ගිය කැතලීනා එහි වු ලී කබඩයක් විවර කර එහි තිබු හරස් දුන්න දමා තිබු ලී පෙට්ටියක් නයෝමි අතට දුන්නා. එය විවර කළ නයෝමි එහි වු හරස් දුන්න අතට ගත්තා.

මේක බොහොම හුරුබුහුටියිනේ කැතලීනා.

ඒ වගේම ඕක බොහොම භයානකයි නයෝමි. ඔය ඊතල වල සතුරා පහසුවෙන් අඩපණ කළ හැකි මාරාන්තික විසක් අඩංගුයි. ඒ වගේම එයට අවශ්‍ය ප්‍රති විෂ තමයි මේ බෝතලයේ තියෙන්නේ.

කැතලීනා, හරස් දුන්න දමා තිබූ පෙට්ටියේ නොබිදෙන ලෙසට අසුරා තිබූ අවර්ණ දියරයක් සහිත බෝතලයක් දක්වමින් පවසා සිටියා.

ඊතල වලට අත තුවාල කර නොගන්න ප්‍රවේසම් වෙන්න.

ස්තුතියි කැතලීනා ඔබගේ උපකාරයට. අපි දැන් යන්න ඕන. මම නැවත වරක් ඔබව හමුවීමට එන්නම් මේ මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව.

කැතලීනා, අප යා යුතුයි දැන්. තව මොහොතකින් අපි පිටත්වෙනවා. අප පසුව හමුවෙමු.

කැතලීනාට ආචාර කළ ලෝගන් හා නයෝමි එයින් පිටව ගියා. නැවත වරක් සිය සිය අසුනේ අසුන්ගත් කැතලීනා සිය ගැඹුරු කල්පනාවට වැටුණා. ලෝගන් හා නයෝමි මාළිගාව යන විටත් ග්‍රැන්ඩ් මාස්ටර්වරයා හා සෙඩ්රික් සිය ගමනට සුදානම්ව සිටියා. තවත් මොහොතකින් තමන්ගේ ගමන් බෑගය හා අසිපත අතට ගත් ලෝගන්, නයෝමිත් සමඟ අශ්ව රථයට ගොඩවුනා. මොහොතකින් අශ්ව රථය වේගයෙන් පැරීසිය දෙසට ඇදී යන්නට වුයේ සිය ගමනාන්තය දක්වායි. එය සමහරවිට මේ මුළු ලෝකයේම අනාගතය තීරණය කළ එකක් විය හැකිව තිබුණා.
___________________________________________________________________________________

KB 2021.05.31

ගුරු වෘත්තියේ අත්දැකීම් 04

     බර්ටියට, පහුගිය දවසක අළුත් විදිහේ ආරාධනාවක් එක්ක අළුත් අත්දැකීමක්      විදගන්න අවස්ථාවක් ලැබුණා. හැමෝම මේ දවස්වල කොරොනා වසංගතය හින්දා      පීඩා විදිනවා. ගුරුවරුන්ට හා ළමයින්ට ඒක වැඩිපුරම දැනෙනවා ඉස්කෝලවල      අධ්‍යාපන කටයතු කරගෙන යන්න විදිහක් නැති නිසා. අපි මාර්ග ගත ඉගැන්වීම්      කටයුතුවලට යොමුවුනත් ඒක එච්චරම ඵලදායි නෑ කියලා දැනිච්ච වෙලාවල්      අනන්තයි අප්‍රමාණයි. බර්ටියා ඒ ගැන නම් නෙවෙයි මේ කතා කරන්න හදන්නේ.

     බර්ටියා කලිනුත් කිව්වා කොරොනා වසංගතය ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන      කටයුතු වලට අනිසි විදිහට බලපෑවා. ඔය කාරණය බලපෑවා මේ මැයි හා ජූනි මාස      වල පවත්වන්නට යෙදුණු කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ (Cambridge O Level)      විභාගයටත්. ඒක ඇත්තටම අප්‍රේල් මාසේ අග හරියේ වෙන්න පටන් ගත්තා. විෂයන්      කීපයකට අදාලව විභාගෙත් තිබ්බා. ඒත් කොරොනා වසංගතය ලංකාව පුරාම වගේම පැතිරෙන්න පටන් අරන් තිබ්බ හින්දා හදිස්සියේම විභාගය නවත්තලා දාන්න බලධාරීන් තීරණය කළා. ඒක එක්තරා දුරකට හොද තීරණයක් කියලා බර්ටියා හිතනවා.

ඔය තීරණයත් එක්ක මේ භාගෙට විභාගේ ලියපු ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණයෙදි කේම්බ්‍රිජ් බලධාරීන් අවස්ථා දෙකක් ලබා දුන්නා. එකක් තමයි ළමයින්ට ඔක්තොම්බර් නොවැම්බර් විභාග වාරයට සහභාගී වෙන්න අවස්ථාව ලබාදීම. අනිත් එක ගිය අවුරුද්දේ කලා වගේ පහුගිය විභාගවල ලකුණු විමර්ශනය කරලා ඒ හරහා ළමයින්ට ප්‍රථිඵල ලබාදීම (මෙතන ඇතිවුන තත්වය මීට වඩා බොහොම සංකීර්ණයි). අපි ඕකට කියලා ශ්‍රේණිගත කරනවා (Grading) කියලා. බර්ටියා ඒ ගැන විස්තර කතා කරන්න යන්නේ නෑ. මේ විස්තර කිව්වේ බර්ටියා ඊළගට කියන්න යන දේ ගැන තේරුම් ගන්න මේ විස්තර පහසුවක් වෙන නිසා.

සති දෙකකට විතර කළින් බර්ටියාගේ හිතවත් ගුරුවරයෙක් කතා කළා බර්ටියට. කතා කරලා බර්ටියට පොඩි යෝජනාවක් කළා. ඒ ගුරුවරයා පන්ති කරන දරුවෙක් ඉන්නවා. ඒ දරුවත් මේ කියන කේම්බ්‍රිජ් විභාගය කරන්නේ. ඒ දරුවා ඉගෙන ගන්න පාසල තීරණය කරලා ඔක්තොම්බර් නොවැම්බර් වාරයකට නොයා ළමයින්ව ඒ පාසලේ තියෙන මාර්ග ගත විභාගයක් තියලා ඒකෙන් ලැබෙන ප්‍රථිඵල වලින් ළමයින්ව ශ්‍රේණිගත කරන්න. සරලව කිවුවොත් Grading කරන්න.

ඒ ගුරුවරයා බර්ටියට කතා කරලා කරලා බර්ටියාගෙන් මේකට උදව්වක් ඉල්ලුවා. බර්ටියා හිතුවේ ඒ ළමයට පුනරීක්ෂන මොනවා හරි කරන්න වෙන්න ඇති කියලා. ඒ ඇත්ත සිද්ධිය වෙනම එකක්. මාර්ග ගත විභාගය යන අතර සූම් (Zoom) තාක්ෂනය හරහා සම්බන්ධවෙන ඒ පාසලේම ගුරුවරයෙක් විභාගය අධික්ෂනය කරනවා. බර්ටියට කරන්න තිබ්බේ විභාගේ වෙලාවෙදි ඒ ගුරුවරයාගේ කැමරාවට නොපෙනෙන තැනක ඉදගෙන ඒ ළමයට විභාගෙට උදව් කරන්න. සරලව කිවුවොත් විභාගය වෙලාවට දරුවට උත්තර කියලා දෙන්න. බර්ටියා අන්දුන් කුන්දුන් වෙලා ගියා, මොකක්ද මේ කියන්නේ කියලා. මේ කාරණය බර්ටියාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධව යන හින්දා බර්ටියා එක හෙළාම බෑ කියලා කිවුවා. සල්ලි කොච්චර දුන්නත් බර්ටියාට නම් ඒ විදිහේ වැඩක් කරන්න හිත හදාගන්න බෑ.

     බර්ටියා මේකට එකට නොවිච්ච නිසා අර ගුරුවරයා තව කාරණා කීපයක් කිවුවා      බර්ටියා ඒවා අහපුවහම හා කියයි කියලා හිතලා වෙන්න ඇති. ඒ වෙනකොට ඒ      ගුරුවරයත් ඒදේම කරලා තිබ්බා. ඒ ගුරුවරයා නම් කිව්වේ තමන් සල්ලි      බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒ දේ කළේ කියලා. ඒ දරුවා ඒ ගුරුවරයා උගන්නපු      ළමයෙක් නිසයි කියලයි බර්ටියා එක්ක කිවුවේ. ඒ ළමයා වැඩ බැරි ළමයෙක්      නෙවෙයිලු. ඒත් ඒ පාසලේ ළමයගේ ගුරුවරයා තමන්ගේ ටියුෂන් පන්තියට එන      ළමයින්ට වේලාසනින් අර ප්‍රශ්න පත්තරේ දෙනවලු. ඒ ළමයින්ට වැඩි වාසිය      ලැබෙනවා ඒ කාරණය උඩ. සමහර ගුරුවරු තමන්ගේ ප්‍රශ්න පත්තරය මේ ගාණයි      කියලා ප්‍රසිද්ධියේම කියලත් තියෙනවලු. ඕවා තමයි බර්ටියට දැනගන්න ලැබුණු කාරණා. ඒවා කොච්චර දුරකට ඇත්තද කියන්න බර්ටියා දන්නේ නෑ. ඒත් වෙච්ච දෙයක් එක්ක ඒ කාරණා වල යම් ඇත්තක් ඇති කියලා මොලේ තියෙන ඕන කෙනෙකුට වැටහෙනවා.

අවසානයේ බර්ටියා කිව්වේ, තරහා වෙන්න එපා. මට නම් මේ දේ කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති වලට මේක විරුද්ධයි. ඒක නිසා එහෙම කරන්න කැමති කෙනෙක් හොයාගන්න කියලා බර්ටියා කතාව අවසාන කළා.

බර්ටියට හිතාගන්න බෑ මෙහෙම කරන්න පුළුවන් ගුරුවරු ඉන්නවද කියලා. බර්ටියා හැම තිස්සෙම හිතන්නේ ගුරුකම කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු දෙයක් කියලා. බර්ටියගේ ඉස්සෙල්ලාම ප්‍රින්සිපල් කිව්වේ “Teaching is a holy job” කියලා. බර්ටියත් ඒක ඉහළින්ම පිළිගන්න කාරණයක්. තමන්ගේ බත් පත කන්න නැති දරුවන්ට දෙන, තමන්ගේ අතේ තියෙන තුට්ටු දෙක දරුවෙක්ගේ උවමනාවලට වියදම් කරන, තමන්ගේ ගෙදර ගෙනල්ලා තියාගෙන දරුවන්ට උගන්නන ගුරුවරු අනන්ත දැකලා තියෙන බර්ටියාට මේ වගේ මිනිස්සුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. කීයක් හරි හොයාගන්න ටියුෂන් එකක් කරන එක කමක් නෑ. මොකද ගුරුවරයෙක්ට මහලොකු වැටුපක් ලැබෙන්නේ නැති නිසා. ඒත් තමන් රැකියාව කරන තැන වෙනුවෙන් හදන ප්‍රශ්න පත්‍රය විභාගයට කළින් 50,000 හරි 60,000 හරි කියලා විකුණනවා ඒ කෙනා ගුරුවරයෙක් නෙවෙයි නරුමයෙක්. ඒක හරිම ඛේදවාචකයක්. ඒත් හැමදෙයක්ම මුදලින් තීරණය කරන සමාජයක මේක සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්.

මගේ දුවේ

මා දයාබර දියණියට

මගේ දුවේ නුඹ අවදියෙන්
දකින්න කටුක බව මේ ජීවිතේ
සේද සලුවෙන් වැසුණු - මල් සුවඳින් පිරුණු
සුන්දරත්වයට මතින්
සැඟවුණු කුරිරු බව දැනෙයි එවිට නුඹහට

බැටළු හම පොරවාගත් වෘකයින්ද
ලේ සුවඳට ඉවකරන පිසාචයින්ද
ගැවසෙයි නුඹ අසලම
ගිලගන්නට ඔය සොඳුරු දිවිය

මේ දිවි මඟ දෙපස පිපී දිලෙන්නේ
සිනා මල් පමණක්ම නොවන බවද
ඒ නෙලූ මලින් ගලන්නේ රක්ත වු රුධිරය බවද
වැටහේවි දිනෙක නුඹහට

සැමවිටම පසුවෙයන් විමසුමෙන්, අවදියෙන්
මඟහැරෙන එක් මොහොත
ගෙනෙයි යම් අනතුරක්
නුවණැස අවදියෙන් බලන් නුඹ පෙරමඟ
කෙම්බිමක් ඇත්තේද අත ළඟය සැමකළ
මංමුලා නොවී කිසිදා දිරියෙන් බලන් ඉදිරිය
ජවය ඔබ සතුය හැමවිටම
දිනන්නට නුඹ සිහින ___________________________________________________________________
KB 2021.05.29

අඳුරේ දඩයම්කරු 22 – අතීතයෙන් ආ මිතුරිය

     රහස් හමුවෙන් දිනකට පසුව සැන්දෑ කාලයක ලෝගන් හා ග්‍රෑන්ඩ්      මාස්ටර්වරයා කතා බහක නියුතුවෙමින් සිටියා. ප්‍රංශයේ වාසය කළ      තවත් දඩයක්කරුවෙක්ගේ මරණයක් පිළිබඳව එදින උදෑසන ග්‍රෑන්ඩ්      මාස්ටර්වරයාට දැනගන්නට ලැබී තිබුණා.

     ලෝගන්, මේක බරපතල ගැටළුවක්. අපේ සංවිධානයේ තවත්      සාමාජිකයෙක් මියගොස් සිටිනවා. මට දැන්නම් හොදටම පැහැදිලියි      මේක ක්‍රමණ්ත්‍රනයක් කියලා.

     කොහොමද ඔහු මියගිහින් තියෙන්නේ?

     පොලීසිය නම් කියන්නේ, මංකොල්ල කෑමක් කියලා. ඒත් එය එසේ      විය නොහැකියි. ඔහුව මරාදමන්නට සාමාන්‍ය මංකොල්ලකාරයෙකුට      හැකියාවක් නෑ. එකෙක් නෙවෙයි කීප දෙනෙකුටවත් හැකියාවක් නෑ.      ඔහු දක්ෂ සටන්කරුවෙක්. මේක අනිවර්යයෙන්ම රැක සිට කරපු පහර      දීමක් වෙන්න ඕන. මේ වසර ඇතුලත ප්‍රංශයෙන් පමණක්      දඩයක්කරුවන් හයදෙනෙක් ‍මිය ගිහිල්ලා තියෙනවා. එයින් එක්      අයෙක් මැන්ටිකෝර් පහරදීම නිසා. අනිත් පහම මේ වගේ අසාමාන්‍ය      මරණ.

පිටතින් දකින කෙනෙක්ට මේවා සමාන්‍ය මරණ වුනාට අපිට ඒවා අසාමන්‍යයි.

ඔබ හරි ලෝගන්. ඩේව් ඉක්මනට යමක් හොයාගත්තොත් හොදයි මේ ගැන. නැත්නම් නිරපරාදේ තව කීදෙනෙකුට මැරෙන්න වෙයිද දන්නේ නෑ.

අපිට බැරිද ඉතුරුවෙලා සිටින දඩයක්කරුවන් මෙහාට කැදවන්න?

ඒක කරන්න බෑ ලෝගන්. බැරිවෙලා හරි මෙතනම කුමණ්ත්‍රනකරුවෙක් සිටියොත්. ඔවුන් දැනගන්නවා අපි යමක් ගැන සැකකරන බව. එහෙම වුනොත් අපිට කිසිම දෙයක් සොයාගත් නොහැකිවෙනවා. අපේ කාර්යය පටන් ගත්ත තැනම අතහැරලා දාන්න වෙනවා අපිට.

එහෙම නම් අපිට ඔවුන්ට අනතුරු ඇඟවීමක් කරන්නවත් හැකියාවක් නෑ. අපි දන්නේ නෑ ඔවුන්ගෙන් කෙනෙක් මේ ක්‍රමණ්ත්‍රණයට හවුල් බව නොදන්නා නිසා.

කියන්න කණගාටුයි ලෝගන්. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්.

හදිස්සියේම ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ රාජකාරී කාමරයේ දොරට තට්ටු කර එයට ඇතුල් වුයේ බෙන්ජමින්. ඔහු එහි ඇතුල්වී ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට ආචාර කර සිටියා.

ඇයි බෙන්ජමින් මේ හදිස්සියේ?

උතුමාණනි, ඔබ හමුවීමට අමුත්තෙක් ඇවිල්ලා.

අමුත්තෙක්? ඒ කවුද?

ඇත්තෙන්ම කිවුවොත් ඒ අමුත්තියක්. ඇය තමන්ගේ නම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා උතුමාණනි. ඇයට වහාම ඔබතුමන්ව හමුවිය යුතු බව තරයේ ප්‍රකාශ කර සිටියා.

බෙන්ජමින්ගේ මේ ප්‍රකාශයෙන් අනතුරුව මොහොතක් කල්පනා කළ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා.

දැන් ඇය කොහෙද බෙන්ජමින්?

අමුත්තිය ප්‍රධාන දොරටුව ළඟ රැදී සිටිනවා. මා ඇයව මෙහි කැදවන්නද?

එපා බෙන්ජමින්. මා එන්නම් ප්‍රධාන දොරටුව අසලට. ලෝගන්,

කිසිවක් නොකියාම නැගී සිටි ලෝගන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පිටි පසින් ඉදිරියට ඇදුනා. සුළු මොහොතකට පසු මාළිගයේ ප්‍රධාන දොරටුව අසලට ආ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඉන් මාළිගයේ මිදුලට පිවිසුණා. ඔහුට මදක් පිටු පසින් සිය හිස ආවරණය කරගත් දඩයක්කරුවා හිටගෙන සිටියා. ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා මුණගැසීමට පැමිණ සිටි අමුත්තියත් ඔවුන්ට පිටුපා දැඩි කල්පනාවක නියුතුව සිටියා. ඇයත් ලෝගන් ලෙසින්ම හිස ආවරණය කරගෙන සිටියා.

ඔබ කුමන හේතුවක් නිසාද මා හමුවීමට ආවේ?

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා තමන්ට පිටුපා සිටින අමුත්තියගෙන් විමසා සිටියා. මොහොතකින් ඔහු දෙසට හැරුණු ඇය,

ඔබද අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ ප්‍රධානියා? එහෙමත් නැතිනම් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා?

මේ ප්‍රශ්නය ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගෙන් විමසන අතරම අමුත්තියගේ ඇස් යොමුවුනේ ඔහුට මඳක් පිටුපසින් සිටගෙන සිටි දඩයක්කරුවා වෙතයි.

ලෝගන්? මේ ඔබද? මා ඔබව මෙහි දකින්නට ලැබෙවි කියා නම් කිසිවිටෙකත් බලාපොරොත්තු වුයේ නම් නෑ. මා මෙහි පැමිණියේ ඔබව සොයමින්.

මෙසේ පැවසූ ඇය තම හිස වසා සිටි ආවරණය ඉවත්කර දැමුවා. අනතුරුව සිය හිස මදක් සලා දැමු ඇයගේ කළු පැහැති දිගු කෙස් වැටිය සැඳෑ සුළඟින් විසිරී ගියා.

නයෝමි? ඔබ?

ඉදිරියට දිව ආ නයෝමි ලෝගන්ව වැළඳගත්තා. මොහොතක් එලෙස සිටි ඇය ඊළඟ මොහොතේ ඔහුගෙන් මිදුණා.

නයෝමි, මම හිතුවේ නෑ ඔබව නැවත වරක් දකින්න ලැබෙයි කියලා. කොපමණ කාලයකට පසුවද?

මම හිතන්නේ වසර 80 කට පමණ පසුව.

ඔබට කාලය කාරුණික වී තිබෙනවා. මම ඔබව එදා දැක්කා වගේමයි.

ඔබත් එලෙසයි ලෝගන්. කාලයට වඩා සෙලීනා රැජිණ මට කාරුණික වුනා. එතුමිය ඔබට ලබාදුන් වරය මටද ලබාදුන්නා.

කෝ නිකොලස්?

ඔහු තව දුරටත් අපි අතර නෑ ලෝගන්. ඔහු කැමත්තක් දැක්වුයේ නෑ තමන්ට නියමිත කාලයට වඩා ජීවත්වෙන්න. මීට වසර 25 පමණ පෙර ඔහු අවසන් හුස්ම හෙලුවා. අපි ඔහුව දූපතේ එළිෂා වෙනුවෙන් නිර්මාණය කළ ස්මාරකය අසලින් මිහිදන් කළා.

මෙයින් අනතුරුව ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා දෙසට හැරුණු ලෝගන්, නයෝමිව ඔහුට හදුන්වා දුන්නා.

උතුමාණෙනි, මේ ඉන්නේ නයෝමි ජෙනෙවියර්. මගේ පැරණි මිතුරියක්. වරක් ඇය මගේ මඟපෙන්වන්නිය ලෙස කටයුතු කළා. නයෝමි, මේ ඉන්නේ අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයේ වර්තමාන ප්‍රධානියා ග්‍රෑන්ඩ් මාස්ටර් රොබට් ඩී. ලුකස් නයිට්වරයා.

හදුනා ගන්න ලැබීම සතුටක් උතුමාණෙනි.

ඔවුන් දෙදෙනාම අතට අතදී එකිනෙකාට ආචාර කරගත්තා.

අපි ඇතුළට යමු ලෝගන්. අපේ අමුත්තියට මහන්සිත් ඇති.

සිය රාජකාරී කාමරයට පැමිණ එහි අසුන් ගැනීමෙන් අනතුරුව ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා එහි වු සීනුව නාද කරනු ලැබුවා. අනතුරුව එහි පැමිණි බෙන්ජමින්ට යමක් පැවසු ඔහු ලෝගන් හා නයෝමි දෙසට හැරුණා.

මම හිතනවා ඔබ හදිස්සියේම පැමිණියේ ලෝගන්ව බලලා යන්න නොවේ යැයි කියලා.

ඇත්තම කිවුවොත් මම මෙහි පැමිණියේ ඔබතුමා හමුවන්න. ඔබතුමා මාර්ගයෙන් ලෝගන්ව සොයාගන්න. ලෝගන් මෙහි සිටීම හේතුවෙන් මා පැමිණි කාර්යය වඩාත් පහසුවුනා කියලා කියන්න පුළුවන්.

ඇත්තට නයෝමි, ඇයි ඔබ හදිස්සියේම පැමිණියේ? මම කොහොමටවත් හිතුවේ නෑ ඔබ ස්කැන්ඩිනේවි ප්‍රදේශයෙන් පිටතට පැමිණේවි කියලා.

මම විස්තරය මුල ඉදලම කියන්නම් ලෝගන්. මේ බොහොම වැදගත් කාරණාවක්. මීට අවුරුදු දෙකකට පමණ පෙර “සෙලීනා” රැජිණගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුනා.

මොනවා?

ඔව් ලෝගන්. ඇයව ඝාතනය කිරීමට කුලී ඝාතකයෙක් “එවිග්” දූපතට පැමිණියා. කෙසේ නමුත් ඝාතකයාගේ උත්සාහ සාර්ථක එකක් වුනේ නෑ. අපේ ආරක්ෂකයන්ට මේ කුලී ඝාතකයාව ජීව ග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකියාවක් ලැබුණා. අප ඔහුගෙන් ප්‍රශ්න කළත් එයට සාර්ථක පිළිතුරක් ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. අන්න ඒ හේතුව නිසා රැජිණට සිදුවුනා තමන්ගේ මායා බලය යොදා කුලී ඝාතකයාගෙන් ප්‍රශ්න කරන්න. අන්න එතනදී අපිට නොසිතු කරුණු රාශියක් දැනගන්නට ලැබුණා. ඒ තොරතුරුත් එක්ක මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි ඔත්තුකරුවන් කීප දෙනෙක් මේ කුලී ඝාතකයාගෙන් දැනගන්නට ලැබුණු මුලාශ්‍ර වලට පිටත් කර හැරියා. ඒ හරහා දැනගන්නට ලැබුණු කරුණු බොහොම බිහිසුණුයි. ඇත්තටම කිවුවොත් මේක බොහොම දරුණු කුමණ්ත්‍රනයක්. මේ කුමණ්ත්‍රනය එක එල්ලේම ඔබලාගේ සංවිධානයට සම්බන්ධවෙනවා.

මම ඔබට කිවුවේ ලෝගන්. අප සංවිධානයට එරෙහිව කුමණ්ත්‍රනයක් සිදුවෙනවා කියලා.

ඒ කියන්නේ ඔබලා මේ ගැන දන්නවා.

     අපි මේ ගැන ලොකු විස්තරයක් දන්නේ නෑ. ඒත් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට ටික කාලයක      ඉදලා සැකයක් තිබ්බා අපේ සංවිධානයට විරුද්ධව කුමණ්ත්‍රනයක් සිද්ධවෙනවා      කියලා. අපි ඒ ගැන දන්නේ බොහොම ටිකයි. මේ වෙනකොටත් අපි ඒ ගැන කරුණු      සොයමින් පවතිනවා.

     මීට අවුරුදු 25 කට පමණ පෙර අඳුරට බලවේගයක් හා ඒ බලවේගයට කැමති      පුද්ගලයින් කීපදෙනෙක් එකතුවෙලා සංවිධානයක් පිහිටවා ගන්නවා ප්‍රංශය මූලික      කොටගෙන. මේ සංවිධානය “අඳුරේ දූතයන්” නමින්. එහි ප්‍රධානියාවෙන්නේ      වෑම්පයරයෙක් එහෙමත් නැත්නම් ලේ උරා බොන්නෙක්. ඔවුන් කෙටි කාලයක්      ඇතුලත තේරුම් ගන්නවා ඔවුන්ගේ අනාගත සැලසුම් වලට එරෙහි වන්නට පුළුවන්      බලවේග දෙකක් මේ ලෝකේ තියෙනවා කියලා.

     ඒ මොනවාද නයෝමි?

     උතුමාණනි, එකක් ඔබලාගේ      සංවිධානය. ඒ කියන්නේ “අඳුරේ දඩයක්කරුවන්ගේ      සංවිධානය”. තව කෙනෙක් තමයි “සෙලීනා රැජිණිය”. අන්න ඒ පදනම් මතයි මේ      සංවිධානය කුළී ඝාතකයෙක් අපේ දූපතට එවන්නේ. ඔහුට කෙසේ හෝ හැකියාවක්      ලැබෙනවා ආලෝකයේ මං පෙත තරණය කරලා අපේ දූපතට පැමිණෙන්න. බොහෝ      විට මේ ඝාතකය ඒ සඳහා අඳුරු මායාවන් භාවිතා කරන්න ඇති කියලා අපි හිතනවා.      මේ හේතුව හින්දා අපිට අපේ ආරක්ෂාව කිහිප ගුණයක් තර කරන්න සිද්ධ වුනා. අපි ආලෝකයේ මං පෙත වසා දැම්මා නැවත එය විවෘත කරන්න බැරි විදිහට.

එතකොට ඔබ කොහොමද මෙහි ආවේ?

ඒක රහසක් ලෝගන්. ඒ ගැන ඔබට කියන්න අවසරයක් නෑ මට. අඩුම ගානේ මේ මොහොතෙදි අවසරයක් නෑ මට.

මීට දවස් කිහිපයකට පෙර රැජිනට සිය ඔත්තුකරුවෙකුගෙන් විශේෂිත වු ආරංචියක් දැනගන්නට ලැබෙනවා. අන්න ඒ ආරංචිය අරගෙන තමයි මම ලෝගන්ව සොයාගෙන ආවේ.

ඒ කියන්නේ ඔබ මේ ආරංචිය අරගෙන ආවේ ලෝගන්ට?

ඔව්. ඔබ සංවිධානය ඇතුලත මා විශ්වාස කරන අය සිටියේ දෙදෙනයි. ඉන් එක් අයෙක් තවදුරටත් ජීවතුන් අතර නෑ. ඉතිරි කෙනා ලෝගන්. මම ලෝගන් මගේ ජීවිතයටත් වඩා විශ්වාසයි. මෙහෙම කියනවට මට සමාවෙන්න උතුමාණෙනි. මෙහි එනකොට ඔබටවත් මේ විස්තර දැනුම් දෙන්න මගේ අදහසක් තිබ්බේ නෑ.

නෑ එයට සමාව ඉල්ලීමට අවශ්‍යතාවයක් නෑ. ඔබලා දෙදෙනා අතර ඇති අවබෝධය මට තේරුම් ගන්න පුළුවන්. ඒත් ඔබ දැන් මේ විස්තර මට කියන්නේ?

මේ කෙටි කාලය ඇතුලත මට පැහැදිලිව තේරුම් ගියා ලෝගන් ඔබව විශ්වාස කරනවා කියලා. ඒකයි මම මේ විස්තර ඔබත් සමඟ බෙදාගන්නේ.

මේ මාළිඟය ඇතුලත ඉන්න අයගෙන් අප සංවිධානයට එරෙහිව ඇති කුමණ්ත්‍රනයක් ගැන දන්නේ අපි තිදෙනා හැර තවත් එක් අයෙක් පමණයි.

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා මෙසේ පවසා නිමවෙනවාත් සමඟව කාමරයේ දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණා. අනතුරුව විවර වුණු දොරින් ඇතුලුවූ බෙන්ජමින් හා තවත් සේවකයෙක් ඔවුනට තේ පානය කිරීමට අවශ්‍ය දෑ රැගෙන ආවා.

හරි බෙන්ජමින්. ඔබට ස්තූතියි.

සේවකයින් දෙදෙනා එයින් පිටත්ව යෑමෙන් අනතුරුව තේ පානය කරමින් ඔවුන් තව දුරටත් මේ කුමණ්ත්‍රනය ගැන කතා බහක නියැලුනා.

දැනට අපි මේ ගැන හොයලා බලන්න විශේෂ කණ්ඩායමක් යොදවලා තියෙනවා. ඔවුන් කිසිවෙක්ම ප්‍රංශය තුළ ක්‍රියාත්මක නොවුණු අය.

ප්‍රශ්නේ තියෙන්නේ, මේ “අඳුරේ දූතයන්”කියන සංවිධානය කොතරම් දුරට ඔබ සංවිධානය තුළට කිදා බැහැලද කියන් එකයි උතුමාණෙනි. අපිට සැම විටම ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න සිද්ධවෙනවා. ඇත්තටම මා මෙහි පැමිණීමට හේතුවුයේ වෙනත් කාරණයක්.

ඒ මොකක්ද නයෝමි?

     හරියටම මාස තුනකින්, ඒ කියන්නේ සැප්තැම්බර් මස 13 වන දින      පුර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවෙනවා. මේ වගේ පුර්ණ ඒ වගේම බලවත්      චන්ද්‍ර ග්‍රහණයක් සිදුවෙන්නේ වසර පනහකට පමණ සැරයක් කියලයි      පොත පතේ දැක්වෙන්නේ. මේකට වගේ චන්ද්‍ර ග්‍රහණයක් හදුන්වන      විශේෂ නමක් තියෙනවා. එය “රුධිරයේ චන්ද්‍ර ග්‍රහණය” ලෙසයි      හදුන්වන්නේ. එදින රාත්‍රියට සඳ දැකගත හැකිවෙන්නේ ලේ      පැහැයෙන්. ඒකයි මෙයට “රුධිරයේ චන්ද්‍ර ග්‍රහණය” කියා      හදුන්වන්නේ.

     මෙය අපට සම්බන්ධවෙන්නේ කොහොමද?

     ලෝගන්, අපට ලැබී ඇති තොරතුරු අනුව “අඳුරේ දූතයන්” සංවිධානය      මේ චන්ද්‍ර ග්‍රහණය වෙලාවට අතීතයේ සිටි අතිශයින්ම දුෂ්ඨ මහා      මන්තරකරුවෙක්ටයි ඒ වගේම දරුණු වෑම්පයර් රජෙකුටයි පණදෙන්න      සූදානම් වෙනවා.

මොනවා?

ඔව් උතුමාණෙනි, මේ සංවිධානය මේ දුෂ්ඨයන් දෙදෙනා යොදාගෙන මේ ලෝක තලය මත තියෙන සියළුම අඳුරට එරෙහි බලවේග විනාශ කරලා දාන්න සූදානම් වෙනවා. “අඳුරේ දූතයන්” සංවිධානයට තියෙන ලොකුම හිසරදය ඔබලාගේ සංවිධානය. මගේ රැජිනත්, ඔබලාගේ සංවිධානයත් නොමැති වු විට ඔවුන්ට තමන්ට කැමති විදිහට මේ ලෝකය පාලනය කරන්න පුළුවන්. මේ විස්තර දැනගත්ත ගමන් රැජින මට අණ කලා ඔබට හමුවී මේ ගැන දැනුම් දෙන්න කියලා.

උතුමාණෙනි, අපි හිතනවාට වඩා විශාල ප්‍රශ්නයකට අපි මුහුණ පාලා තියෙන්නේ.

ඔව් ලෝගන්. මා කිසිදාක මේ “අඳුරේ දූතයන්” සංවිධානය ගැන අසා නෑ.

උතුමාණෙනි, ඔබතුමා පමණක් නොවෙයි මමවත් මේ සංවිධානය ගැන අසා නෑ.

ඔවුන් ඒක බොහොම දක්ෂ විදිහට සඟවා තිබෙනවා උතුමාණනි. රැජිනගේ ඝාතන ප්‍රයත්නය අසමත් වී කුලී ඝාතකයාව පණ පිටින් අල්ලාගන්නට ලැබුණු නිසයි අපටත් මේ ගැන දැනගන්නට ලැබුණේ. එසේ නැත්නම් මේ සියල්ල තවමත් ලෝකයට රහසක්.

නයෝමි, ඔබ දන්නවාද පණදීමේ කාර්යය සිද්ධවෙන්නේ කොහෙද කියලා?

තවම නෑ උතුමාණෙනි. ඒ පිළිබදව තොරතුරු තවම මගේ රැජින වෙත ලැබිලා නෑ. යමක් ලැබුණොත් එතුමිය එය මට දන්වාවි.

නැවත වරක් නයිට්වරයාගේ කාමරයේ දොරට තට්ටු කිරීමෙන් අනතුරුව එහි පිවිසුණේ බෙන්ජමින්. ඔහු බන්දේසියක තැබූ ලිපියක් රැගෙනවිත් තිබුණා.

මේ කුමක්ද බෙන්ජමින්?

උතුමාණෙනි, මොහොතකට පෙර මෙහි පැමිණි අයෙක් ඔබතුමා අතටම මේ ලිපිය දෙන්න යැයි පවසා සිටියා.

ඔබ ඔහුගේ නම ඇසුවේ නැද්ද බෙන්ජමින්?

ඔහු නමක් පැවසුවේ නෑ. ඒත් ලිපියේ ඇති මුද්‍රාව ඔබතුමා හදුනන බව ඔහු ප්‍රකාශකර සිටියා.

ලිපිය ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට පිළිගැන්වූ පසු එහි වු මුද්‍රාව දෙස මොහොතක් විමසිල්ලෙන් බලාසිටි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා එහි වු මුද්‍රාව බිද දමා ලිපිය විවෘත කර එය නිහඩවම කියවන්නට ගත්තා. එය කියවා අවසන් කළ ඔහු බෙන්ජමින් දෙසට හැරුණා.

බෙන්ජමින්, අපි ඊයේ හවස එළියට යන්න පාවිච්චි කළ අශ්ව රථය සුදානම් කරන්න. ඒ වගේම සෙඩ්රික්ට එන්න කියලා පණිවිඩයක් යවන්න. මම හිතන්නේ ඔහු ඇත්තේ නව තාක්ෂනික අංශයේ.

ලෝගන්, ඩේව්ට පොටක් පෑදිලා. ඔහුත් යමක් සොයාගෙන. නයෝමි, ඔබ නිවැරදිම වෙලාවට මෙහි පැමිණ තිබෙනවා. අපි දැම්මම යමු ඔවුන් මුණ ගැහෙන්න. මම හිතන්නේ අපිට නාස්ති කරන්න කාලයක් ඉතිරිවෙලා නෑ. නයෝමි, ඔබත් එන්න අප සමඟ. මට ඇත්තටම කණගාටුයි. ඔබට විවේක ගැනීමටවත් කාලයක් නොලැබීම ගැන.

ඒ ගැන වද වෙන්න එපා උතුමාණෙනි. මේ කාරණය මගේ විවේකයට වඩා බොහොම වැදගත්. මේක මේ මුළු ලෝකයටම වැදගත්වන කරුණක්.

අපි එහෙනම් පිටත්වෙමු.

තවත් විනාඩි දහයකට පමණ පසුව ග්‍රැන්ඩ් මාස්ටර්වරයා, ලෝගන්, නයෝමි හා සෙඩ්රික් රැගත් අශ්ව රථය මාළිගාවෙන් පිටත්වුනා.
___________________________________________________________________________________

KB 2021.05.24

අඳුරේ දඩයම්කරු 21 – ආගමනය

     දැවෙන චිතකය දෙස සෝබර මුහුණින් තවත් මොහොතක් බලා සිටි      ලෝගන් ආපසු හැරුණා. එළීෂාගේ ආදාහන කටයුතුවලදී ඇයට      ලබාදිය යුතු ඉහළම ගෞරවය ලැබෙන පරිදි සිදුකිරීමට රැජින අණකර      තිබුණු අතර එය බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන් යුතුව      සිදුකරනු ලැබුවා. ඇගේ දැවෙන චිතකය දෙස බොහෝ වේලාවක්      බලා සිටි ලෝගන්ගේ සිත දුක්බර හැඟිම් වලින් පිරීගොස් තිබුණා.      එළීෂාගේ පමණක් නොව ශර්මිලාගේ මතකයන්ද ඔහුගේ සිතට වද      දෙමින් තිබුණා. ඔහු තීරණය කළේ තව මොහොතක්වත් මේ දූපතේ රැදී      නොසිටිය යුතු බවයි. එයින් අනතුරුව ඔහු රැජින හමුවීමට ගියේ සිය      තීරණය රැජිනියට දැනුම් දීමේ අරමුණින්. දඩයක්කරුට අවශ්‍ය ඕනෑම      වේලාවක තමන් මුණ ගැසීමේ අවස්ථාව රැජිනිය විසින් ලබාදී තිබුණා.

     ඔහු එසේ යනවිට නයෝමි හා නිකොලස් සමඟ ඉදිරි කටයුතු ගැන කතා      බහක නියුතු වෙමින් සිටියා.

     ලෝගන්, අපි ඔබ ගැන තමයි කතා බස් කරමින් හිටියේ. මම හිතනවා      ඔබ කළයුතු දේ තීරණය කරලා ඇති කියලා. ඔබට සැමදාටම මෙහි      නැවතිය හැකියි, මගේ ආරක්ෂකයා ලෙස.

ස්තූතියි රැජිනියණි. මා ප්‍රංශයට යා යුතුයි. මෙහි මතකයන් මගේ හිත රිදවනවා වරින් වර.

මා එය බලාපොරොත්තු වු දෙයක් නම් නොවෙයි ලෝගන්.

මොහොතකින් රැජින ඉදිරියේ තම එක් දණක් බිම ඇණගත් ලෝගන් තමන් අත තිබූ “ඉන්ෆීරියුම්” අසිපත ඇයට පිළිගන්වා සිටියා. නමුත් එය ප්‍රතික්ෂේප කළ ඇය, ඔහුට නැගී සිටින ලෙස සන් කළා.

ලෝගන්, “ඉන්ෆීරියුම්” අසිපතේ අවසන් හා එකම හිමිකරුවා ඔබයි ලෝගන්. එය ඔබේ ඉදිරි සටන්වලට ප්‍රයෝජනවත් වේවි. මගේ කැදවීමට බොහෝ දුර ගෙවාගෙන ඔබ මෙහි පැමිණියා. කියන්න ඔබට අවශ්‍ය කුමක්ද?

මට කිසිවක් අවශ්‍ය නෑ රැජිනියනි. මම දැන් යා යුතුයි.

ඒත් මම හිතනවා මම ඔබට යමක් දිය යුතුයි කියා. මා මෙතෙක් කල් කිසිවෙකුට ලබා නොදුන් දෙයක් ඔබට ලබා දෙනවා. එයින් ඔබට සදාකාලයටම රුදුරු අඳුරේ බලවේගවලට එරෙහිව සටන් කරන්න හැකියාව ලැබේවි.

මේ කියමනෙන් ලෝගන් පමණක් නොව නයෝමි හා නිකොලස්ද පුදුමයට පත්වුනා.

ජීවිතයේ හා මරණයේ දේවතාවිය සෙලීනා නම් වු මා ඔබට සදාකාලයටම තරුණව සිටීමට වරමක් දෙනවා. ඔබ කිසිදා වයස යන්නේ නෑ. ඔබේ ගෙළ ඔබේ උරහිස් මත රැදී සිටින තාක්කල් ඔබ ජීවත්වේවි.

මෙසේ පැවසූ ඇය තම බල යෂ්ටිය ලෝගන් වෙතට එල්ල කොට එහි ගැබ්වු ශක්තිය ලෝගන් වෙතට යොමුකළා.

යම් දිනෙක මෙම වරය අනවශ්‍ය යැයි කියා සිතුනොත් ඔබ කළයුත්තේ සිහින හරහා මා ඇමතීමයි.

අනතුරුව ඇය නයෝමි දෙසට හැරුණා.

නයෝමි, ඔබවත් මා කැඳවුයේ ලෝගන්ව මෙන්ම සිහිනවලින්. ඔබ මාව ආරක්ෂා කළා අවශ්‍යම මොහොතේදී. ඔබ කැමතිද මගේ ආරක්ෂිකාව හා උපදේශිකාව ලෙස ඉදිරියට කටයුතු කරන්න? එය ඔබේ ඔබේ මුතුන් මිත්තන් විසින් අතහැර දැමු ඔබේ උරුමයයි.

මා එය පිළිගන්නවා රැජිනියනි.

නිකොලස්, ඔබට අවශ්‍ය කුමක්ද?

රැජිනියනි, මා කැමතියි මෙහේ නතරවෙන්න. එයට ඔබගේ අවසරය ලැබේවි කියා සිතනවා.

ඒ ගැන ගැටළුවක් නෑ නිකොලස්. ඔබට සදහටම වුවත් මගේ රාජධානියේ නවතින්න පුළුවන්.

ස්තුතියි ඔබතුමියට.

ලෝගන්, ඒ ආරාධනාව හැමදාටම ඔබට විවෘතයි.

ස්තුතියි රැජිනියනි. එහෙත් මා නැවත යා යුතුයි.

රැජිනට හිස නමා අචාර කොට ලෝගන් පිටවී ගියේ තමන්ගේ ගමනට අවශ්‍ය කටයුතු සුදානම් කරගැනීමටයි. පසුදින උදෑසනම ලෝගන් නැවත වරක් ප්‍රංශයට යෑමට පිටත්වුනා. ආලෝකයේ මං පෙත තරණය කිරිමට රැජින ඔහුට කුඩා භට කණ්ඩායමක් ලබා දී තිබුණා. ඔහු ගමනට සුදානම්ව, තමන්ව රැගෙන යාමට නියමිතව තිබූ යාත්‍රාවට ගොඩවීමට එහි වු කුඩා තොටුපලට පැමිණියා. ඒ වන විටත් නයෝමි හා නිකොලස් එහි පැමිණ සිටියා.

ලෝගන්, මම හිතන්නේ නෑ ඔබව අපට නැවත දැකගැනීමට හැකියාවක් ලැබෙයි කියලා.

ඒක කියන්න දන්නේ නෑ නිකොලස්. සමහරවිට අපි කවදා හෝ කොහෙදී හෝ නැවත වරක් හමුවේවි.

ලෝගන් වැළඳගෙන ආචාර කළ නිකොලස් ඔහු විසින් ලියන ලද සටහන් පොතක් ලෝගන් අතට දුන්නා.

මේක ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා අතට දෙන්න. අපේ ගමනේ සියළුම සටහන්, විස්තර මේකේ තියෙනවා. ඔබේ අමරණීයභාවය ගැන හැර.

අනතුරුව නයෝමි දෙසට හැරුණු ලෝගන්, ඇයවත් වැළදගෙන ආචාර කළා. අනතුරුව තම උරහිස හරහා දමාගෙන සිටි කටානා අසිපත අතට ගත් ඔහු එය නයෝමිගේ අතේ තබා, කිසිවක් නොකියාම තමන් වෙනුවෙන් සූදානම්කර තිබු කුඩා යාත්‍රාවට ගොඩවුනා. මොහොතකින් දියත් වූ යාත්‍රාව උදෑසන මීහිදුම මැද නොපෙනී ගියා.

ඔබ නැවත යා යුතු කාලය හරි. ඔබ අතීත මතකයන් අතර ගතකළ කාලය වුවමනාවටත් වඩා වැඩියි. මේ ඔබ නැවත යා යුතු කාලයයි.

ඈතින් පැහැදිලිව නැවත වරක් ඇසුණු වදන් පෙළට අනුගත විය යුතුව බව ඔහුට සිහිනයකින් මෙන් හැගී ගියා. එහෙත් එය එතරම්ම පහසු කටයුත්තක් නොවන බවද ඔහුද දැනී ගියා. කීපවරක් උත්සාහ කළත් තම ඇසි පිය හැරීමට ඔහුට හැකියාවක් ලැබුණේ නෑ. අනතුරුව තප්පර කිහිපයක විවේකයක් ගත් ඔහු සියළු වෙර වීරිය යොදා නැවත සිය ඇසි පිය හරින්නට උත්සාහ කළා. එවර නම් ඔහුගේ උත්සාහය සාර්ථක වන බවක් පෙනී ගියේ ඇසි පිය අතරින් යම් ආලෝකයක් දැකීමට ඔහුට හැකියාවක් ලැබුණු නිසයි. මොහොතකට අවට පරිසරය අපහැදිලි වී ගියද කෙමෙන් කෙමෙන් එය තවදුරටත් පැහැදිලි වෙන්නට පටන්ගත්තා. අවට පරිසරයේ වූ ආලෝකය ඔහුගේ ඇසට අපසුවක් ගෙන දුන්නද ස්වල්ප වේලාවකින් ඇස එයට හුරුවෙන්නට වුයෙන් පැහැදිලිවම තම අවට නිරීක්ෂනය කිරීමට හැකියාවක් ලැබුණා.

ඔහු පළමුවෙන්ම දුටුවේ තමන් අසලම පුටුවක් තබාගෙන එහි නින්දට වැටී සිටි සුරූපී තරුණියක්. තවත් මොහොතකට පසුව ඔහුට ඇයව හඳුනා ගැනීමට අවකාශ ලැබුණා.

කැතලීනා . . . . කැතලීනා . . . .

තරුණිය මොහොතකින් ඇස් ඇර ඔහු දෙස බැලුවා. ඇගේ ඇස්වලින් දකින්නට ලැබුණේ විශ්මයක්. මොහොතකින් ඇගේ වත මහත් වූ සිනහවකින් පිරී ගියා.

ලෝගන් . . . . .

ඔබ අවදියෙන් . . . . ඔබ ඇත්තටම අවදියෙන්ද? මට හීන පේනවා නොවෙයි නේද?

ඔව් කැතලීනා මම අවදියෙන්. කෙතරම් දිනක් මා මෙසේ සිටියද?

වහාම නැගී සිටි ඇය ලෝගන්ගේ නළලට සිය පිටි අල්ල තබා බැලුවා.

ඔබේ උණ පහව ගිහිල්ලා. මම දන්නේ නෑ ලෝගන්. දින පවා මගේ මතකයෙන් ගිලිහී ගිහිල්ලා. මම හිතන්නේ දින දහයක්. ඔව්, හරියටම දින දහයක් ඔබ මේ ඇදේ වැතිර සිටියා. ඔබ හොදටම උණින් පෙළුනා. මම හිතුවේ නෑ ඔබ නැවත අවදිවේවි කියලා. මම හිතුවේ ඔබ මියයයි කියලා.

මේසේ පැවසූ ඇය නැවත වරක් පුටුවේ වාඩිවී කඳුළු සලන්නට ගත්තා.

බයවෙන්න එපා. මට මැරෙන්නට බෑ. අඩු තරමේ මේ ඊට කාලය නොවෙයි.

ඔබට නම් විහිළු. මොනවද ඔබට මතක?

මැන්ටිකෝර්ගේ හිස් කබළ පලාගෙන යන්න මගේ අසිපත එල්ල කරනවා මතකයි. එපමණයි. ඊට පසු සිදුවූ කිසිවක් මා දන්නේ නෑ. කෝ මගේ අසිපත?

ඊට දවස් දහයකට පසුව තබා ඔබ අවදිවුයේ. මැන්ටිකොර්ගේ විෂ ඔබේ ශරීර ගතව තිබ්බා. එයට විරුද්ධව භාවිතා කරන්න ප්‍රති විෂක් හදන්න අප උත්සාහ කළත් එය සාර්ථකව කරගන්න අපිට හැකියාව ලැබුණේ නෑ. ඔබේ අසිපත ආරක්ෂිතව මෙහි තියෙනවා.

ප්‍රති-විෂ අත ළඟ තිබිලත් ඔබ එය පාවිච්චි කරලා නෑ එහෙනම්.

ප්‍රති-විෂ? අත ළඟ? මොකක්ද ලෝගන් ඒ කතාවේ තේරුම? මා දන්නා තරමින් නම් මැන්ටිකෝර් විෂ මර්දනය කළ හැකි ප්‍රති විෂක් ඇත්තේ නෑ. මා ඒ සඳහා කළ සියළු පරීක්ෂනයන් අසාර්ථක වුනා.

“කුරාරි”. එය මැන්ටිකෝර් විෂට විරුද්ධව ප්‍රති විෂක් ලෙස යොදාගත හැකියි. නව තාක්ෂනික අංශයේ ප්‍රධානිය එය දන්නේ නැද්ද?

ලෝගන්. මම රැයක් දවාලක් කෑමක් නැතුව ඔබ ළගට වෙලා ඉන්නවා. ඔබ දවස් දහයකට පස්සේ නැගිටලා මට සමච්චල් කරනවා. මම පැමිණිලි කරනවා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා.

මොනවද කැතලීනා ඔබ මා සමඟ පැමිණිලි කරන්නේ? කාත් එක්කද ඔබ කතා කරන්නේ?

කාමරයට පැමිණි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ හා ලෙනෝරාගේ ඇස ගැටුණේ මඳ සිනහවක් මුවේ නංවාගත් දඩයක්කරුවාවයි.

ලෝගන්? මේක නම් විශ්වාස කරන්න බැරි තරම් පුදුමයක්.

ක්ෂණයකින් ලෝගන් වෙතට දිව ආ ලෙනෝරා ඔහුව සිප වැළද ගත්තා.

ලෝගන්, අපි හිතුවා ඔබ යළිත් නැගිටින එකක් නෑ කියලා. දවස් දහයක් තිස්සේ ඔබෙන් කිසිදු වෙනසක් දැක්කේ නෑ. ජීවිතයත් මරණයත් අතර දෝලනයවෙමින් සිටියේ. දැන් ඔබ නැගිටිලා සුපුරුදු විදිහට.

ලොනෝරා, ඔබ දැනගෙන හිටියේ නැද්ද මම විශේෂයි කියලා?

ඒ ගැන මම දන්නවා ලෝගන්. ඒත් මේ මොහොත දක්වාම මම එය විශ්වාස කළේ නෑ.

ලෙනෝරා වෙනුවට පිළිතුරු දුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පවසා සිටියා.

මොනවා? එතකොට මීට මොහොතකට පෙර කියූ කතාව ඇත්තක්ද?

මොනවද කැතලීනා ඔබ මේ කියන්නේ?

ලෙනෝරා, මොහොතකට පෙර ලෝගන් කියා සිටියා ඔහුට මිය යා නොහැකි බව.

ඒක එක්තරා විදිහක ඇත්තක්. හැබැයි ඒ ගැන වෙන කිසිවෙක් දැනගත යුතු නෑ.

නැවත වරක් ලෙනෝරාට පෙර කැතලීනාට පිළිතුරු දුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පවසා සිටියා.

ඔබේ තුවාලයේ තත්වය කොහොමද?

මම හිතන්නේ දැන් ඒක සුවවී ඇති.

එහෙම වෙන්නේ කොහොමද ලෝගන්. මම ඊයෙත් ඔබේ තුවාලයට පිරිසිදු කර ඊට අවශ්‍ය ඹෟෂධ යෙදුවනේ.

ඇත්තටම කිවුවොත් මම, මගේම මතකයන් අතරේ අතරමංවෙලා හිටියේ. ජීවත්වෙනවද නොවෙනවද කියන එක ගැන පැහැදිලි තීරණයක් තිබ්බේ නෑ. ඒක බලපාන්න ඇති තුවාල ඉක්මනින් සුවනොවන්න.

අපි බලමු.

එසේ පැවසූ ලොනෝරා, කැතලීනා හා එක්ව ලෝගන්ගේ වම් උරහිසේ මැන්ටිකෝර්ගේ පහරදීමෙන් සිදුවු තුවාලය වෙලා තිබූ වෙළුම් පටි ඉවත්කර බැලුවා. ලෝගන් හැර අනිත් සියල්ලන්ම ඔවුන් දුටු දසුනින් පුදුමයට පත්වුනා. ලෝගන්ගේ උරහිසේ තුවාලයක් තබා තුවාල කැළලක්වත් දක්නට ලැබුණේ නෑ.

ලෝගන්, කොහොමද එහෙම වෙන්නේ?

එය තමයි සෙලීනා රැජිනයගෙන් මා ළඟ ත්‍යාගය. නැත්නම් වරය.

ඔය ප්‍රශ්න ඇහුවා ඇති, ලෝගන්ට කෑමට යමක් ගෙන්න. දැන් දවස් ගාණකින් හරියට කෑමක් නෑනේ ඔහුට.

කැතලීනාගෙන් තවදුරටත් නැගුනු ප්‍රශ්න වළකමින් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ප්‍රකාශකර සිටියා. ස්නානයකර, ආහාර ගැනීමෙන් අනතුරුව, ඔහු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා කතාවට වැටුණා.

පැරිස් නුවර වාසීන්ට ඔබතුමා මොනවද කිවුවේ?

නගරාධිපතිවරයත් එක්ක එකතුවෙලා අපි කිවුවා ඒක වෘකයෙක්ගේ වැඩක් කියලා. සමහර මිනිස්සු නම් ඒ කතාව පිළිගත්තේ නෑ. ඒත් එකෙන් ඇතිවිය හැකි බොහොමයක් ප්‍රශ්න වළකාගත හැකිවුනා. මැන්ටිකෝර්ගේ සිරුර මම කැතලීනාට ලබාදුන්නා. එය නිදර්ශකයක් ලෙස සංරක්ෂණය කරන්න. ලෝගන්, මගේ අදහසක් තියෙනවා අපි මේ සටන්කරන අද්භූත සතුන්ගේ හා අනිකුත් දෑ එකතු කරලා කෞතුකාගාරයක් නිර්මාණය කරන්න. හැබැයි රහසිගත් එකක්. ඒක අපේ අනාගත සාමාජිකයින්ට වැදගත්වේවි කියලා හිතනවා. පොත්වලින් කියවනවාට වඩා යම් අදහසක් ලබාගන්න ඔවුනට හැකිවේවි එයින්. මැන්ටිකෝර් තමයි එහි පළවෙනි නිදර්ශකය වෙන්නේ.

මේ ගැන කිසිදු අදහසක් පළනොකළ ලෝගන් මඳ සිනහවක් නැගුවා.

මම අර කිවුව කණ්ඩායම මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. මම ඔවුන් වෙනුවෙන් විල්පාන්ට් වලට මදක් දකුණට වෙන්න කැළෑබද ප්‍රදේශයක තියෙන නිවසක් වෙන් කරලා දුන්නා. ඒ කණ්ඩායමේ අවසාන සාමාජිකයා අද රෑ විල්පාන්ට් වලට ළගා වෙනවා. අපිට පුළුවන් හෙට ඔවුන්ව මුණ ගැහෙන්න. මම හිතනවා ඔබට එයට හැකියාවක් තියෙනවා කියලා.

ඒ ගැන කරදරවෙන්න එපා. මම සම්පූර්ණ සුවයෙන් ඉන්නේ. අපි හෙට කොයි වෙලාවටද යන්නේ?

අපි දහයට විතර යමු. මගේ සුපුරුදු අශ්ව රථය මේ ගමනට යොදා නොගෙන වෙනත් නිතර පාවිච්චි නොකරණ රථයක් මෙයට යොදා ගමු. මෙම මුණ ගැසීම් රහසිගතවන තරමට හොදයි. අපි මේ ගැන වැඩිපුර තොරතුරු දැනගන්න තාක්කල් කිසිවෙකු අපිට විශ්වාස කළ නොහැකියි.

ඒක ඇත්ත‍ උතුමාණෙනි. අපි ඒ විදිහට ක්‍රියාත්මක වෙමු.

මොවුන් දෙදෙනාගේ කතා බහ නිමවෙනවාත් සමඟම එහි දිව ආ සෙඩ්රික් ලෝගන්ව වැළඳගත්තා.

ලෝගන්, ඔබ සුවෙන් සිටිනු දැකීම මට ඉමහත් සතුටක්. මම බොහොම කණගාටුවෙන් හිටියේ එදා සටනෙදි ඔබ වෙනුවෙන් යමක් කිරීමට නොහැකිවීම ගැන.

ඒ ගැන හිතන්න එපා. ඔබ කරපු හරිය හොදටම ඇති. මොනවද ඔබ මේ දවස්වල කළේ?

මම ඔහුට කිව්වා සටන් පුහුණු පාසලට ගොස් පුහුණුවීම් කටයුතු කරන්න කියලා. එය සෙඩ්රික්ගේ අනාගත කටයුතුවලටත් හොදයිනේ.

ඒක හරි උතුමාණෙනි.

සෙඩ්රික්, හෙට උදෑසන අපිට එළියට යන්න තියෙනවා. දහය වන විට සුදානමින් සිටින්න.

හොදයි උතුමාණෙනි.

ඉන් අනතුරුව ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඔවුන්ගෙන් වෙන්වී ගියා. ලෝගන්ගෙන් ප්‍රශ්න රාශීයක් ඇසීමට සෙඩ්රික් සුදානම් වුවත් ‍ලේඛන අංශයේ භාරකරු ‍ජෙරාඩ් ලෝගන්ව සොයා එහි පැමිණි නිසා ඔවුන්ගේ කතාව නැවතීමට සිදුවුනා.

පසුදින දවල් දහයට පමණ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා, ලෝගන් හා ‍සෙඩිරික් කැටුව අසිපතේ මාළිගාවෙන් පිටවී ගියේ විල්පාන්ට්හි කැළෑබද පෙදෙසක පිහිටා තිබූ ස්ථානයකටයි. ඔවුන් ගමන සඳහා යොදාගත්තේද ග්‍රැන්ඩ් මාස්ටර්වරයා තම ගමන් බිමන් සඳහා කලාතුරකින් පමණක් යොදා ගන්නා අශ්ව රථයක්. විනාඩි විස්සක පමණ ගමනකින් පසු ඔවුන් එම ස්ථානයට ළඟාවුනා. එහි වු නිවසද වනයට ආසන්නයේම තිබූ බැවින් එය කිසිවෙකුගේ නෙත ගැටීමෙන් වැළකුණා. අශ්ව රථයෙන් බැසගත් ඔවුන් තිදෙනා එහි ඇතුල්වන විටත් එම කණ්ඩායම අදාළ අනිත් සමාජිකයිනුත් එහි එක් රැස්ව සිටියා. ඔවුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හිස නමා ආචාර කොට ඔහුව බොහොම උණුසුම් විදිහට පිළිගත්තා.

උතුමාණෙනි, මා සිතුවේ නෑ ඔබ අද මෙහි ඒවි කියලා.

නොඑන තැනට තමයි වැඩ කටයුතු යෙදී තිබුණේ. ඒත් ඒක නොසිතු විදිහට වෙනස්වුනා.

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ලෝගන් දෙස බලමින් පැවසුවා.

මං හිතන්නේ කට්ටිය මේ වෙනකොට එකිනෙකාව හදුනගෙන ඇති. ඒත් මෙතන අළුත් සාමාජිකයින් දෙදෙනෙක්ම සිටින නිසා එකිනෙකා නිසි පරිදි හදුනාගත්තොත් හොදයි කියලා මම හිතනවා. එහෙම හොදයි නේද?

සියලුදෙනාම තමන්ගේ හිස් සලා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ අදහසට සිය එකඟතාවය පළකළා.

හොදයි මම අතන වාඩිවෙලා ඉන්න ක්වින්ස්ටස්ගෙන්ම පටන් ගන්නම්.

මදක් එහායින් වු අසුනක අසුන්ගෙන සිටි අයෙක් පෙන්වමින් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා පැවසුවා.

ඔය ඉන්නේ ක්වින්ටස් ඩේවිඩ් මැක්ඇලිස්ටර්. කෙටියෙන් ඩේව් කියා හදුන්වනවා. ඔහු තමයි ඔහු පැමිණියේ රෝමයේ සිට. අප සොයාගන්නා කරුණු වැඩිදුර අධ්‍යනයට කරන්නේ ඩේව්. ඒ සඳහා විශේෂිත වු හැකියාවක් තියෙනවා. එහෙම නේද? ඒ විතරක් නෙවෙයි ඔහුට වතිකානුවේ රහස් ලේඛනාගාරයට පවා ඇතුල්වීමට අවසරය තියෙනවා.

තමා පැළඳගෙන සිටි හිස් වැස්ම ගලවා අන් අයට ආචාර කළ ඔහු මඳ සිනාවක් පෑවා.

ඔහුට වම් පැත්තෙන් සිටින්නේ ටාරා මැක්ලේන්. ඇය එංගලන්තයේ සිට පැමිණි දක්ෂ මායාකාරියක්. අඳුරේ නෙවෙයි, අන් අයගේ යහපත වෙනුවෙන් වැඩ කරන සටන්කාරියක්. මගේ දකුණු පැත්තෙන් සිටින්නේ සහන්‍යා චැඩ්වික්. ඇයට ඉන්දියානු සම්භවයක් තියෙනවා. ඇය බොහොම දක්ෂ සටන්කාරියක්. ඒ වගේම ඇයට වෙස් වලාගෙන කටයුතු කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා.

ටාරා හා සහන්‍යා දෙදෙනාම ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇතුළු පිරිසට ආචාර කර සිටියා.

මෙතන සිටගෙන සිටින හැඩි දැඩි පුද්ගලයා මාක් කැල්වින් බැටිස්ටා. ඔහු දක්ෂ වෙඩිකරුවෙක්. ඒ වගේම ඔහුට භාෂා පහක් චතුර ලෙස ලිවීමේ, කියවීමේ හා කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඔහුත් එංගලන්ත වැසියෙක්.

මේ ඉන්නේ සෙඩ්රික්. ස්කොට්ලන්තයේ සිට පැමිණියේ. දීප්තිමත් අනාගතයක් හිමි තරුණයෙක්. ඔහුත් මේ කාර්යයට එකතුවෙනවා. අවසානයට හොදම දේ තියාගත්තා මම. මේ ඉන්නේ ලෝගන්. අප සංවිධානයේ පැරණි ඒ වගේම පළපුරුදු සටන්කරුවෙක්. ඔහුගේ අවසාන ගොදුර වුනේ පැරීසියට විනකළ මැන්ටිකොර් සත්ත්වයෙක්. ඒ වගේම ඔහු මගේ හොඳ මිත්‍රයෙක් බොහෝ කළක සිටම.

එවිට නම් විශ්මය පළකරන හඩවල් කිහිපයක්ම පිරිස අතරින් පැන නැගුනා.

මටත් ඒ බව ආරංචි වුනා. ඒත් මා ඒ බව විශ්වාස කළේ නෑ. මැන්ටිකෝර් සත්ත්වයෙක් සමඟ සටන් වැදිලා පරාද කරන්න පුළුවන් මනුෂ්‍යයෙක් සිටිය හැකි බව මම විශ්වාශ නොකළ නිසා.

දැන් ඔබට ඒ කතාව විශ්වාස කරන්න වෙනවා ටාරා. එම සටන වෙනකොට මමත් ඒ අසල සිටියා.

සෙඩ්රික්ගේ කතාව හරි ටාරා. ඒ කතාව ඇත්ත. හරි, දැන් හැමොම එකිනෙකාව දන්නවා. මම මෙහෙම කියන්නම්. මම මේ කියන්නට යන කාරණාව තහවුරු කිරීමට මට පැහැදිලි සාක්ෂි නෑ. මට සැකයක් විතරයි තියෙන්නේ. ඔබලාට තියෙන්නේ මං රැගෙන ඇවිත් තියෙන සටහන් පොත් හා වාර්තා විශ්ලේෂනය කර ඒ ගැන නිගමනයකට ඒමට. මම හිතන්නේ ඒක ප්‍රධාන වශයෙන්ම ඩේව්ගේ කාරියක්. මම කියන දේ ඔබලාට පැහැදිලිද?

කාරණය පැහැදිලියි ග්‍රෑන්ඩ් මාස්ටර්තුමනි.

හරි. සෙඩ්රික් කරත්තේ ඇති සටහන් පොත් කිහිපයකුයි වාර්තා කිහිපයකුයි. අන්න ඒ ටික අරගෙන එන්න.

ඒ අතර තුර යම් සිදුවීමක් වුනොත් අපිට ඒ ගැන සොයබලා කටයුතු කරන්නට සිදුවේවි.

ඒ අතර කරත්තයෙන් අවශ්‍ය ලිපි ගොනු, සටහන් පොත් හා වාර්තා රැගෙන ආ සෙඩ්රික් ඒවා මේසය මත තැබුවා.

ස්තුතියි සෙඩ්රික්. මෙතන ඔබට අවශ්‍ය දේවල් තියෙනවා. ඔබට අදම වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්.

මම අදම වැඩ පටන් ගන්නම්.

ඔබලාට අවශ්‍ය නම් නව තාක්ෂනික අංශයට ඇවිල්ලා අළුත් ආයුධ හා වෙනත් උපකරණ ලබාගන්න පුළුවන්. එහෙමනම් අපි පසුව හමුවෙමු. විශේෂ අවශ්‍යතාවයක් වුනොත් මට පණිවිඩකරුවෙක් එවන්න. ලෝගන්, අපි යමු.

කාමරයේ සිටි පිරිසට ආචාර කළ ලෝගන්, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා සෙඩ්රික් සමඟ එතනින් පිටවුනා.
___________________________________________________________________________________

KB 2021.05.22