ලේබලුත් ගැහුවා

Showing posts with label ගුරු වෘත්තිය. Show all posts
Showing posts with label ගුරු වෘත්තිය. Show all posts

ගුරු වෘත්තියේ අත්දැකීම් 04

     බර්ටියට, පහුගිය දවසක අළුත් විදිහේ ආරාධනාවක් එක්ක අළුත් අත්දැකීමක්      විදගන්න අවස්ථාවක් ලැබුණා. හැමෝම මේ දවස්වල කොරොනා වසංගතය හින්දා      පීඩා විදිනවා. ගුරුවරුන්ට හා ළමයින්ට ඒක වැඩිපුරම දැනෙනවා ඉස්කෝලවල      අධ්‍යාපන කටයතු කරගෙන යන්න විදිහක් නැති නිසා. අපි මාර්ග ගත ඉගැන්වීම්      කටයුතුවලට යොමුවුනත් ඒක එච්චරම ඵලදායි නෑ කියලා දැනිච්ච වෙලාවල්      අනන්තයි අප්‍රමාණයි. බර්ටියා ඒ ගැන නම් නෙවෙයි මේ කතා කරන්න හදන්නේ.

     බර්ටියා කලිනුත් කිව්වා කොරොනා වසංගතය ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන      කටයුතු වලට අනිසි විදිහට බලපෑවා. ඔය කාරණය බලපෑවා මේ මැයි හා ජූනි මාස      වල පවත්වන්නට යෙදුණු කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ (Cambridge O Level)      විභාගයටත්. ඒක ඇත්තටම අප්‍රේල් මාසේ අග හරියේ වෙන්න පටන් ගත්තා. විෂයන්      කීපයකට අදාලව විභාගෙත් තිබ්බා. ඒත් කොරොනා වසංගතය ලංකාව පුරාම වගේම පැතිරෙන්න පටන් අරන් තිබ්බ හින්දා හදිස්සියේම විභාගය නවත්තලා දාන්න බලධාරීන් තීරණය කළා. ඒක එක්තරා දුරකට හොද තීරණයක් කියලා බර්ටියා හිතනවා.

ඔය තීරණයත් එක්ක මේ භාගෙට විභාගේ ලියපු ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණයෙදි කේම්බ්‍රිජ් බලධාරීන් අවස්ථා දෙකක් ලබා දුන්නා. එකක් තමයි ළමයින්ට ඔක්තොම්බර් නොවැම්බර් විභාග වාරයට සහභාගී වෙන්න අවස්ථාව ලබාදීම. අනිත් එක ගිය අවුරුද්දේ කලා වගේ පහුගිය විභාගවල ලකුණු විමර්ශනය කරලා ඒ හරහා ළමයින්ට ප්‍රථිඵල ලබාදීම (මෙතන ඇතිවුන තත්වය මීට වඩා බොහොම සංකීර්ණයි). අපි ඕකට කියලා ශ්‍රේණිගත කරනවා (Grading) කියලා. බර්ටියා ඒ ගැන විස්තර කතා කරන්න යන්නේ නෑ. මේ විස්තර කිව්වේ බර්ටියා ඊළගට කියන්න යන දේ ගැන තේරුම් ගන්න මේ විස්තර පහසුවක් වෙන නිසා.

සති දෙකකට විතර කළින් බර්ටියාගේ හිතවත් ගුරුවරයෙක් කතා කළා බර්ටියට. කතා කරලා බර්ටියට පොඩි යෝජනාවක් කළා. ඒ ගුරුවරයා පන්ති කරන දරුවෙක් ඉන්නවා. ඒ දරුවත් මේ කියන කේම්බ්‍රිජ් විභාගය කරන්නේ. ඒ දරුවා ඉගෙන ගන්න පාසල තීරණය කරලා ඔක්තොම්බර් නොවැම්බර් වාරයකට නොයා ළමයින්ව ඒ පාසලේ තියෙන මාර්ග ගත විභාගයක් තියලා ඒකෙන් ලැබෙන ප්‍රථිඵල වලින් ළමයින්ව ශ්‍රේණිගත කරන්න. සරලව කිවුවොත් Grading කරන්න.

ඒ ගුරුවරයා බර්ටියට කතා කරලා කරලා බර්ටියාගෙන් මේකට උදව්වක් ඉල්ලුවා. බර්ටියා හිතුවේ ඒ ළමයට පුනරීක්ෂන මොනවා හරි කරන්න වෙන්න ඇති කියලා. ඒ ඇත්ත සිද්ධිය වෙනම එකක්. මාර්ග ගත විභාගය යන අතර සූම් (Zoom) තාක්ෂනය හරහා සම්බන්ධවෙන ඒ පාසලේම ගුරුවරයෙක් විභාගය අධික්ෂනය කරනවා. බර්ටියට කරන්න තිබ්බේ විභාගේ වෙලාවෙදි ඒ ගුරුවරයාගේ කැමරාවට නොපෙනෙන තැනක ඉදගෙන ඒ ළමයට විභාගෙට උදව් කරන්න. සරලව කිවුවොත් විභාගය වෙලාවට දරුවට උත්තර කියලා දෙන්න. බර්ටියා අන්දුන් කුන්දුන් වෙලා ගියා, මොකක්ද මේ කියන්නේ කියලා. මේ කාරණය බර්ටියාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධව යන හින්දා බර්ටියා එක හෙළාම බෑ කියලා කිවුවා. සල්ලි කොච්චර දුන්නත් බර්ටියාට නම් ඒ විදිහේ වැඩක් කරන්න හිත හදාගන්න බෑ.

     බර්ටියා මේකට එකට නොවිච්ච නිසා අර ගුරුවරයා තව කාරණා කීපයක් කිවුවා      බර්ටියා ඒවා අහපුවහම හා කියයි කියලා හිතලා වෙන්න ඇති. ඒ වෙනකොට ඒ      ගුරුවරයත් ඒදේම කරලා තිබ්බා. ඒ ගුරුවරයා නම් කිව්වේ තමන් සල්ලි      බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒ දේ කළේ කියලා. ඒ දරුවා ඒ ගුරුවරයා උගන්නපු      ළමයෙක් නිසයි කියලයි බර්ටියා එක්ක කිවුවේ. ඒ ළමයා වැඩ බැරි ළමයෙක්      නෙවෙයිලු. ඒත් ඒ පාසලේ ළමයගේ ගුරුවරයා තමන්ගේ ටියුෂන් පන්තියට එන      ළමයින්ට වේලාසනින් අර ප්‍රශ්න පත්තරේ දෙනවලු. ඒ ළමයින්ට වැඩි වාසිය      ලැබෙනවා ඒ කාරණය උඩ. සමහර ගුරුවරු තමන්ගේ ප්‍රශ්න පත්තරය මේ ගාණයි      කියලා ප්‍රසිද්ධියේම කියලත් තියෙනවලු. ඕවා තමයි බර්ටියට දැනගන්න ලැබුණු කාරණා. ඒවා කොච්චර දුරකට ඇත්තද කියන්න බර්ටියා දන්නේ නෑ. ඒත් වෙච්ච දෙයක් එක්ක ඒ කාරණා වල යම් ඇත්තක් ඇති කියලා මොලේ තියෙන ඕන කෙනෙකුට වැටහෙනවා.

අවසානයේ බර්ටියා කිව්වේ, තරහා වෙන්න එපා. මට නම් මේ දේ කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති වලට මේක විරුද්ධයි. ඒක නිසා එහෙම කරන්න කැමති කෙනෙක් හොයාගන්න කියලා බර්ටියා කතාව අවසාන කළා.

බර්ටියට හිතාගන්න බෑ මෙහෙම කරන්න පුළුවන් ගුරුවරු ඉන්නවද කියලා. බර්ටියා හැම තිස්සෙම හිතන්නේ ගුරුකම කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු දෙයක් කියලා. බර්ටියගේ ඉස්සෙල්ලාම ප්‍රින්සිපල් කිව්වේ “Teaching is a holy job” කියලා. බර්ටියත් ඒක ඉහළින්ම පිළිගන්න කාරණයක්. තමන්ගේ බත් පත කන්න නැති දරුවන්ට දෙන, තමන්ගේ අතේ තියෙන තුට්ටු දෙක දරුවෙක්ගේ උවමනාවලට වියදම් කරන, තමන්ගේ ගෙදර ගෙනල්ලා තියාගෙන දරුවන්ට උගන්නන ගුරුවරු අනන්ත දැකලා තියෙන බර්ටියාට මේ වගේ මිනිස්සුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. කීයක් හරි හොයාගන්න ටියුෂන් එකක් කරන එක කමක් නෑ. මොකද ගුරුවරයෙක්ට මහලොකු වැටුපක් ලැබෙන්නේ නැති නිසා. ඒත් තමන් රැකියාව කරන තැන වෙනුවෙන් හදන ප්‍රශ්න පත්‍රය විභාගයට කළින් 50,000 හරි 60,000 හරි කියලා විකුණනවා ඒ කෙනා ගුරුවරයෙක් නෙවෙයි නරුමයෙක්. ඒක හරිම ඛේදවාචකයක්. ඒත් හැමදෙයක්ම මුදලින් තීරණය කරන සමාජයක මේක සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්.

ගුරු වෘත්තියේ අත්දැකීම් 03

     බර්ටියා වෘත්තීයෙන් ජීව විද්‍යා ගුරුවරයෙක් කියලා බර්ටියගේ බ්ලොග් එක      කියවන අය නම් දන්නවා. ජීව විද්‍යාවට අමතරව සාමාන්‍ය විද්‍යාව, තොරතුරු      තාක්ෂනය හා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයනුත් බර්ටියා වැඩ කරන      ජාත්‍යාන්තර පාසලේ උගන්නනවා. අඩු ගානේ පීරියඩ් 30ක් වත් තියෙන්න      ඕනනේ. ඒකයි ඔච්චර විෂයන් ගොඩක්. බර්ටියා වැඩිපුරම කැමති කෙම්බ්‍රිජ්      විභාගය සඳහා ජීව විද්‍යාව උගන්නන්න. බර්ටියාට අද ඕනම පන්තියක් පාලනය      කරගැනීමේ හැකියාව තිබ්බත් බර්ටියා උගන්නන් පටන් ගන්න කාලේ ඒක එහෙම      වුනේ නෑ. අද කියන්න යන්නේ ඒ ගැන විස්තරයක්.

     බර්ටියා ගුරුවරයෙක් වෙන්න හිතාගෙන හිටපු එකෙක් නෙවෙයි. ඒත් රස්සාවක්      නැතුව වේලි වේලි ඉන්න කොට ලකියා තමයි ඒ දවස් වල ලකියා උගන්නපු      දෙමටගොඩ තිබ්බ ජාත්‍යාන්තර පාසලක උගන්නන්න සෙට් කරලා දුන්නේ. ඒ      උදව්ව බර්ටියට හැමදාටම මතක තියෙනවා. ලකියා ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට      කතා කරලා විස්තරය කියලා බර්ටියට කිව්වා ගිහින් ප්‍රින්සිපල්ව හම්බවෙන්න      කියලා. හැබැයි මැඩම් එක්ක කතා නොකර ප්‍රින්සිපල් සර්වම හම්බවෙන්න කියලා      තමයි ලකියා වගේම ශාමිනිත් බර්ටිට උපදෙස් දුන්නේ. ඒ දවස් වල බර්ටියගේ      විවෘතයේ යාලුවෝ 10 විතර එතන වැඩ කළා.

     බර්ටියත් 2007 දෙසැම්බර් මාසේ සෙනසුරාදා දවසක උදේම සහතික ටිකත්      උස්සගෙන දෙමටගොඩ තිබ්බ මේ කියන ජාත්‍යාන්තර පාසලට ගියා. ඒ තට්ටු තුනක ගොඩනැඟිල්ලක්. ගාමන්ට් එකක් ඉස්කෝලයක් කරලා. බර්ටියගේ වෙලාවට ප්‍රින්සිපල් සර්ම හිටියා. පරණ වාසනාවක් තිබිලා බර්ටියට රස්සාව හරි ගියා. මාසෙකට රුපියල් 9,000.00 දෙන්නම් කිවුවා, ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් මුකුත් නැතුව. . බර්ටියත් හා කිවුවා කීයක් හරි ලැබෙනවානේ කියලා හිතලා. ජනවාරි මාසේ පළවෙනිදා ස්ටාෆ් මීටින් එකක් තියෙනවා ඒකට එන්න පිනා කිවුවා

බර්ටියත් ඉතින් ජනවාරි මාසේ පළවෙනිදා ගියා ස්ටාෆ් මීටින් එකට ගියා. අපේ කට්ටියෙන් ලකියා, හීරා අයියා, ලාංකි නංගි, ශාමිනී, චාමිනී, චින්තා කට්ටිය හිටියා. අවුරුද්දේ පළවෙනිදා නිසා පිනා හැමෝටම රුපියල් 100 ගානේ බෙදුවා. ඊට පස්සේ හැම ස්ටාෆ් මීටින් එකකම අද දක්වාම අහන බයිලා ටික කිවුවා. ඒ බයිලා සදාකාලිකවම සමානයි ඉතින්. මුළු මැනේජ්මන්ට් එකම පිනයි පිනාගේ වයිෆයි නිසා දැන් වගේ ටොප් මැනේජ්මන්ට් එකෙන් එන වැල් බයිලා නෑ. ඒක නිසා ස්ටාෆ් මීටින් එක වැඩිම වුනොත් පැය භාගයයි. දැන් වගේ වැල් දුවන්නේ නෑ.

බර්ටියට හම්බවුනේ හය, හත, අට, නවය පන්ති වලට විද්‍යාව උගන්නන්න. ඒ ඉස්කෝලේ මුස්ලිම් නිසා මුල් දවස් වල ගෑණු ළමයි පිරිමි ළමයි වෙන්කරලා තිබ්බේ. ඔන්න ඉතින් ගේම. ඒ දවස්වල දැන් වගේ කඩ්ඩත් බෑ. බර්ටියා හරිම අමාරුවෙන්
තමයි ගේම ගහගත්තේ. හරියට අච්චු පොතක් වත් තිබ්බේ නෑ ඉස්කෝලෙන් දීලා. ඉන්ටර්නෙට් එකත් නෑ අද වගේ. ඒ දවස් වල බර්ටියට කොම්පියුටර් එකකුත් තිබ්බේ නෑ.

විෂය කරුණු දැනගෙන හිටියට ඉංශ්‍රිසි දැනුම අඩු නිසා එක දිගටම උගන්නගෙන
යන්න බෑ. සැරෙන් සැරේ පොත බලන්න ඕන වචන මතක කරගන්න. ළමයි අමතර ප්‍රශ්න ඇහුවට උත්තර දී ගන්න බෑ. බර්ටියට හොදට මතකයි නවය වසරේ පන්තියේ (නවය වසරේ ගෑණු ළමයි ඉන්න පන්තිය බර්ටියට තිබ්බේ) ගෑණු ළමයින්ට සිංහලෙන් පාඩම විස්තර කරලා දුන්නා. එක ගෑණු ළමයෙක් හිටියා ඒ ළමයට සිංහලත් බෑ. හිතාගන්නකෝ බර්ටියා වැටිච්ච අමාරුව. ආරම්භය ලැජ්ජා සහගතයි තමයි. ඒත් ඒවා කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ.

ගෙදර ගිහිල්ලා පහුවදාට කරන්න තිබ්බ පාඩම දහ සැරයක් විතර බලනවා. සමහර වචන වල තේරුම ඉංශ්‍රීසි සිංහල ශබ්ද කෝෂයෙන් බලලා පැන්සලෙන් අච්චු පොතේ ලියාගන්නවා. හරියට සටහනක් දෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ. අලුතෙන් දෙයක් දෙන්න වචන දන්නේ නෑ. හරියට ගලපලා ඉංශ්‍රීසි ටික ලියගන්න බෑ. අච්චු පොතේ තිබ්බ සටහනම යන්තම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි දෙන්නේ. අච්චු පොතක් නැති වුනොත් උගන්න ගන්න බෑ. හරිම දුක්බරයි ඉතින් ආරම්භය.

     හතේ පන්තියට උගන්නන්න බර්ටියට අච්චු පොතක් තිබ්බේ නෑ.      පන්තියේ ළමයෙක්ගේ අච්චු පොතකින් තමයි පාඩම කළේ. එක      සැරයක් අමතර පන්තියක් දැම්මා හතේ පන්තියේ විෂය නිර්දේශය      (Syllabus) එක ආවරණය කරගන්න. කරුමේ කියන්නේ එදාම අර      අච්චු පොත තියෙන ළමයා ඉස්කෝලේ ආවේ නෑ. පන්තියටම එක      අච්චු පොතයි තිබ්බේ. බර්ටියට ඉතින් අමතර පන්තිය කැන්සල්      කරන්න සිද්ධ වුනා එදා. මෙන්න ටිකකින් පිනා එනවා බර්ටියව      හොයාගෙන. ඇවිල්ලා බර්ටියට දෝස් මුරයක් දාලා ගියා එහෙම පන්ති      කැන්සල් කරන්න බෑ කියලා.

     ඒ ළමයි පන්ති කියලා ආවහම පන්ති කැන්සල් කලොත් හවස්      වෙනකම් යන්න විදිහක් නැහැයිලු. අපිට වගේ බස් වල ගිහිල්ලා      පුරුද්දක් නෑ ඒ ළමයින්ට. වැඩි හරියක් ළමයි ඉස්කෝලේ ඉන්නේ      ත්‍රී වීල් එකේ. අන්තිම ශෝචනීයයි ඒ දවස් වල තත්වය. කොහොම      හරි පිනා ගිහිල්ලා විද්‍යාව කරන ගෞරි ටීචර්ට කියලා තිබ්බා බර්ටියට      අච්චු පොතක් හොයලා දෙන්න කියලා. පහුවදා ගෞරි ටීචර් අච්චු පොතක් ගෙනල්ලා දුන්නා. යන්තම් අච්චු පොත් ප්‍රශ්නේ විසදිලා බර්ටියට හුස්මක් කටක් ගන්න පුළුවන් වුනා.

පිරිමි ළමයිගේ විනය අන්තිම සවුත්තුයි. පන්තියකට වේවැලක් අරන් යන්නේ නැතුව උගන්නන්න බෑ. අත දිග ඇරලා වේවැල පාවිච්චි කරන්න අපිට අවසර තිබ්බා. පොඩ්ඩක් එහා මෙහා බැලුවොත් වලියක්. බර්ටියට මුල් කාලේ පිරිමි ළමයින්ගේ පන්ති පාලනය කරගන්න බෑ. මාරම සද්දෙයි. අහල පහල පන්ති වල අයත් උගන්නන්නේ අමාරුවෙන්. බර්ටියා දෙතුන් සැරයක්ම බැනුම් අහලා තියෙනවා ප්‍රිනාගෙන් පන්තිය කොන්ට්‍රොල් නෑ කියලා.

එක සැරයක් පොර ස්ටාෆ් මීටින් එකකදිත් ඔය කතාව කියලා බර්ටියව නැති නාස්ති කරලම දැම්මා. එහෙම හිටපු බර්ටියා අද වෙනකොට ක්ලාස් කොන්ට්‍රොලින් වලින් හොදම තැනක ඉන්නවා කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ අර ලබපු අමිහිරි අත්දැකීම් වල ලද පන්නරය.

මොනවා වුනත් පිනා බර්ටිගේ උගැන්නිල්ලට වචනයක් කිව්වේ නෑ. පොර කිව්වේ බර්ටියා හොදට උගන්නනවා කියලා. පොර සමහර වෙලාවට ඇවිල්ලා උගන්නනවා බලන් ඉන්නවා. පොර කෙළින්ම කියනවා ළමයි අඩුවෙන් ළකුණු ගත්තට කමක් නෑ බර්ටියා උගන්නන විදිහ හොදයි කියලා. ඒ අතින් බර්ටියට යම් වාසනාවක් තිබ්බා.

පිනා නිතරම ලෙසන් ප්ලෑන් ලියන්න කිවුවත් අපි කවුරුවත් ඕවා
ලියන්න උනන්දු වුනේ නෑ. අපිට තිබිම ලොකුම ප්‍රශ්නේ තමයි වෙලාවට පඩි හම්බවෙච්ච නැති එක. දහවෙනිදට තමයි පඩි හම්බ වෙන්න තිබ්බේ. ඒත් ඕක ගන්න සෑහෙන දුකක් විදින්න වුනා. ළමයින්ගෙන් සල්ලි හරියට එකතු වුනේ නැතිවුනහම පඩි හම්බවෙන්න පරක්කුයි. පිනා තව එක එක බිස්නස් කරනවා. ඒවා නිතරම පාඩුයි. කෙළවෙන සීන් තමයි තියෙන්නේ. ඉතින් අපිට පඩි නෑ.

එක සැරයක් පොර මට්ටක්කුලියෙන් ඉඩම් අක්කර දෙකක් අරන් තිබ්බා ඉස්කෝලේ තිබ්බ බිල්ඩින් එක උගස් කරලා. අන්තිමට බලනකොට මට්ටක්කුලියේ ඉඩම ආණ්ඩුවේ එකක්. විකුණපු එකයි පිනාගේ ලෝයර්කාරයයි එකතු වෙලා පොරට ගේමක් දීලා. ඉතින් පඩි ලැබුණේ
නෑ අපිට වෙලාවට.

සමහර මාස වල රුපියල් 5000 විතර ලැබෙනවා. සමහර වෙලාවට චෙක් ලියලා දෙනවා. අපි ඉතින් ඉස්කෝලේ ඇරුණ ගමන් ළඟ තියෙන මහජන බැංකුවට දුවනවා චෙක් එකෙන් සල්ලි ටික ගන්න. පරක්කු වුනොත් එකවුන්ට් එකේ සල්ලි නැතිවෙන්න පුළුවන් නිසා. හැබැයි දැන් බර්ටියා වැඩ කරන ලොකු නමක් තියෙන ඉස්කෝලේ වගේ නෙවෙයි මිනිහා කවදාවත් අපිට හම්බවෙන තුට්ටු දෙකට විද්දේ නෑ එහෙම වුනා කියලා. අන්තිම සතේට සල්ලි බේරුවා පරක්කු වෙලා හරි. දැන් එවා ගැන කතා නොකර ඉමු ඉතින්.

එක ඇවිල්ලා මුස්ලිම් ඉස්කෝලයක්. සිංහල ස්ටාෆ් එක 15ක් විතර හිටියේ මුළු ඉස්කෝලෙටම. පොර සල්ලි හම්බවුනාහම ඉස්සෙල්ලම සල්ලි බේරුවේ සිංහල ස්ටාෆ් එකේ. පොර හැමදාම කියන්නේ සිංහල ටීචර්ස්ලා මුස්ලිම් අයට වඩා හොදට උගන්නනවා කියලා. පොරගේ කටේ හැම ස්ටාෆ් මීටින් එකකම කියන තව දෙයක් තිබ්බා. උගැන්වීම කියන්නේ ශුද්ධ වු රැකියාවක් (Teaching is a Holy Job) කියන එක. ඒක නම් බර්ටියා හැමදාටම පිළිගන්න දෙයක්.

වෙලාවට පඩි ගෙවන්නේ නැති නිසා අපි දෙයියනේ කියලා නිවාඩු ගත්තා. කැම්පස් එකේ විභාග වලට, ප්‍රැක්ටිකල් වලට යන්න, පරක්කු වෙලා ඉස්කෝලේ එන්න අපිට කිසිම කරදරයක් තිබ්බේ නෑ. සමහර වෙලාවට අපි කෝල් එකක්වත් දුන්නේ නෑ. අපෙත් වැරදි තමයි ඒවා. පොර ඉතින් ඒවට බර බරේ දැම්මට අපි ගණන් ගත්තේ නෑ. හැබැයි පොර කවදාවත් බර්ටියට වචනයක්වත් කිව්වේ නෑ නිවාඩු ගැන. බර්ටියා හවස පන්ති දාලා හරි විෂය නිර්දේශය ආවරණය කළා. පොර ඒක ගැන සැටිස්. පොර බර්ටියට කිව්වේ නිවාඩු ගත්තට ඔයා සිලබස් එක පන්ති දාලා කවර් කරන නිසා අවුලක් නෑ කියලා. ඔය නිවාඩු ප්‍රශ්නෙට වැඩිපුරම බැනුම් ඇහුවේ අපේ චින්තා තමයි.

     ඉගැන්වීම ගැන බොහොම දේවල් දැනගත්තේ මේ ඉස්කෝලේ ගෙවුන      අවුරුදු දෙක ඇතුලේ තමයි. අවුරුද්දක් විතර යනකොට ක්ලාස්      කොන්ට්‍රොලින් හදාගෙන සුද්දා වගේ උගන්නන්න බර්ටියාට      හැකියාවක් ලැබුණා. බර්ටියා ඒ තත්වෙට එන්න ගොඩක් මහන්සි      වුනා. එක සැරයක් 9 පන්තියේ රොෂානලා අපේ ශාමිනි එක්කද      කොහෙද කියලා තිබ්බා බර්ටියා ඉංශ්‍රීසි කතා කරන්නේ සුද්දෙක් වගේ      කියලා. ඒ වෙනකොට එක සිංහල වචනයක් පාවිච්චි කළේ නෑ බර්ටියා      උගන්නන්න.

     අපිත් එක්ක උගන්නපු හිරා නැත්තම් හිරෝෂ් අයියා බර්ටියට ලොකු      උදව්වක් වුනා උගන්නන වැඩ වලට. බර්ටියා විතරක් නෙවෙයි අනිත්      සෙට් එකත් නොදන්න වචනයක් අහගන්න මොනවා හරි උදව්වක්      ඉල්ලගන්න හිරා ගාවට තමයි දුවගෙන ගියේ. හිරා අපි හැමෝටම උදව්      කලා, උපදෙස් දුන්නා. සමහර වෙලාවට ජීවිතෙත් කියලා දුන්නා. බර්ටි උඹ මෙහෙම කරපන් කියලා කිව්වේ හිරෝෂ් අයියා. ඒ දේවල් හැමදාටම මතකයි.

අද වෙනකොට බර්ටියා ඉන්ටර්විව් එකකට ගියොත් ඕනම තැනකින් පාඩමක් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකට එකම විනාඩියකවත් පෙර සුදානමක් අවශ්‍ය වෙන්නේ නෑ. එතනට එන්න බර්ටියා සෑහෙන කට්ටක් කෑවා. අද වෙනකොට නම් තත්වය ලේසියි. ඉන්ටර්නෙට් තියෙනවා. ඕන තරම් උගන්නන්න ඕන කරන විඩියෝස් නෝට්ස් හොයා ගන්න පුළුවන්. එක ලොකු වාසියක් වගේම පහසුවක්. කාලය ඉතුරු වීමක්.

ඔන්න ඔහොම දුක්බර, ශෝචනීය ආරම්භයක් තමයි බර්ටියට තිබ්බේ. බර්ටියා අද ඉන්න තත්වෙට ඉන්න ගොඩක් දුක් වින්දා. මහන්සි වුනා. තවත් ඉතින් දුක් කරදරවල නම් අඩුවක් කියලා නෑ. පටන් ගන්න කොට ප්‍රශ්න ඇති වෙනවා. ක්ලාස් එක කොන්ට්‍රොල් කරගන්න බැරිවෙනවා. උගන්නන්න අමාරුයි. සද්දේ වැඩියි. ඒවා අවුලක් කරගන්න එපා. ඒවා හදාගන්න පුළුවන් තමන්ගේ උත්සාහයෙන්. හැබැයි උගන්නන්න පටන් අරන් අවුරුද්දක් ගියාට පස්සෙත් ඒ දේවල් එහෙම්ම නම් අන්න එතන අවුලක් තියෙනවා. එතන තියෙන්නේ ඒ ගුරුවරයගේ වැරැද්දක්. ඒක හදාගන්න බැරි නම් එයා හොද ගුරුවරයෙක් වෙන්නේ නෑ.

අනික කවුරු හරි හිතනවා නම් මේක පැය හයේ රස්සාව. මාස තුනක් නිවාඩු. එක හන්දා උගන්නන එක මාර ලේසියි කියලා, ඒ හිතන අයට ලොකු වැරදීමක් වෙලා. ඒ පැය හය කවර් කරන්න වෙන මහන්සිය දන්නේ ගුරුවරු විතරයි. අනිත් එක සමහරු හිතනවා උපාධියක් තිබ්බ පළියට උගන්නන්න පුළුවන් කියලා. ඒකත් ලොකු වැරදීමක්. උපාධි නැති මිනිස්සු උපාධි තියෙන අයටත් වඩා හොදින් උගන්නනවා බර්ටියා අනන්තවත් දැකලා තියෙනවා. උගැන්වීම කියන්නේ උපතින්ම ගෙන එන්න ඕන හැකියාවක් (Born Talent) කියලයි බර්ටියා හිතන්නේ. උපාධිය එකට උදව්වක් වෙනවා.

KB 2020.10.12

ගුරු වෘත්තියේ අත්දැකීම් 2

බර්ටියා කාලයක් ජීව විද්‍යාව පන්ති කලා පානදුර. බර්ටියා අදුරන සර් කෙනෙක් තමයි වැඩේ සෙට් කරලා දුන්නේ. බර්ටියා ඒ සර්ගේ ආයතනයෙත් ටික කාලයක් පන්ති කලා. සමහර වෙලාවට ලමයින්ගේ ගෙවල් වලට ගිහිල්ලත් ක්ලාස් කලා. 2017 මාර්තු මාසේ අගට විතර වෙන්න බර්ටියට ක්ලාස් එකක් සෙට් වුනා මැයි මාසේ කේම්බ්‍රිජ් විභාගයට ලෑස්ති වෙන ළමයෙක්ගේ. මේ ගෑණු ළමයා පානදුරේ ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසලක ළමයෙක්. පොඩි පෙම් පළහිලව්වක ප්‍රශ්නයක් නිසා ගොඩ දවසක් ඉස්කෝලේ පාඩම් මඟ ඇරිලා. බර්ටියගේ යාළු සර් තමයි ඒ ළමයට ඉංශ්‍රිසි විෂයයි, ඉංශ්‍රීසි සාහිත්‍ය විෂයයි උගන්වන්නේ. ඒ ඇදුනුම් කමට තමයි බර්ටියට මේ ක්ලාස් එක සෙට් වෙන්නේ.

සාමාන්‍යයෙන් මාර්තු වෙනකොට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරලා ඉවරයි. පුනරීක්ෂන එක්ක පසුගිය ප්‍රශ්න පත්තර සාකච්චා කිරීම තමයි සාමාන්‍යයෙන් මාර්තු වෙන කොට සිද්ධ වෙන්නේ. මොකද අප්‍රේල් මාසෙ නිවාඩුත් වැඩියිනේ. මැයි මුලම කේම්බ්‍රිජ් විභාගය පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මාර්තු වෙනකොට විභාගට පෙනී සිටින ළමයෙක් තමන්ගේ වැඩ වලින් 90% විතර ඉවර කරලා තියෙන්න ඕන. ඕක තමයි හැබැ තත්වය.

කියන්න කණගාටුයි පින්වතුනි. මේ ගෑණු ලමයගේ තත්වය අතිශයින්ම ශෝචනීය තත්වයක තමයි තිබ්බේ. විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වෙලා නෑ. ප්‍රශ්න පත්තර හරියට කෙරිලා නෑ. විෂය නිර්දේශය ආවරණය වෙච්ච හරියෙත් ගැටලු තිබ්බා. ඔය ඔක්කොමත් එක්ක මේ ළමයට (මම මෙතන ඉදලා නෙත්මි කියලා කියන්නම්) අවසාන වාර පරීක්ෂනයට ලකුණ 40 ක් වගේ ගාණක් තමයි තිබ්බේ. යන්තම් නමට පාස් එකක්. පන්ති කරන්න ඉතුරු වෙලා තිබ්බෙත් දවස් කීපයයි. ඒ මාර්තු අග. බර්ටියට සතියේ දවස් වලා එන්න විදිහක් නෑ ඉස්කෝලේ වැඩ හන්දා. අප්‍රේල් මාසේ දවස් කීපයක් තමයි ඉතුරු වෙලා තිබ්බේ.

මොනවා වුනත් වාසනාව අපේ පැත්තේ තිබ්බා. මේ ගෑණු ළමයා හරිම උත්සාහවන්ත ළමයෙක්. මේ හැම ගැටළුවක් වෙලත් නෙත්මිට ඉලක්කයක් තිබ්බා. නෙත්මිට ඕන වෙලා තිබ්බා ජීව විද්‍යාවෙන් එක ලකුණක් හරි අයියට වැඩියෙන් ගන්න. මේ වෙනකොට නෙත්මිගේ අයියා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ගමන් හිටියේ. මුල් දවස් දෙකේ අපිට වැඩ කරන්න ලැබුණේ පැය දෙකක් වගේ කාලයක්. ඒත් බර්ටියට අප්‍රේල් නිවාඩුව ලැබුණහම අපිට එක දිගට පැය හයක් විතර වැඩ කරන්න ලැබූණා. ඒක හරිම වැදගත් වුනා අපේ වැඩ ටික ඉවර කරගන්න.

ඉස්සෙල්ලම අපි ඉවර කරපු පාඩම් වල පුනරීක්ෂ කරගෙන ගියා ඒවයේ තිබ්බ ගැටළු සාකච්චා කර කර. ඒ අතර අපි දිගටම පැරණි විභාග ප්‍රශ්න පත්තර කරන්න ගත්තා. මුල් දවස් කීපයෙදි නම් අපිට ඒවා ප්‍රශ්න පත්තරයට ආදාල කාලය අනුව කරන්න පුළුවන් වුනේ නෑ. මොකද සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙලා තිබ්බේ නැති හින්දා. බර්ටියා ඒ දවස් වල හැම පාඩමකටම ආදාල සටහන අතින් කොළ වල ලියලා තිබ්බේ. පහු කාලෙකදි තමා බර්ටියත් ඩිජිටල් වුනේ. ඔය සටහන් වල අවශ්‍ය පාඩම් ඔක්කොම නෙත්මි ඡායා පිටපත් කරගත්තා. ඔය විදිහට වැඩ කරලා අපිට ඉක්මනින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ හැකියාව ලැබුණා.

ඊලඟට ඉතුරු වෙලා තිබ්බේ ප්‍රශ්න පත්තර කරන්න තමයි. කේම්බ්‍රිජ් විද්‍යා විෂයකට ප්‍රශ්න පත්තර තුනක් තියෙනවා

  1. බහුවරණ ප්‍රශ්න පත්තරය (Multiple Choice) – One hour paper
  2. සිද්ධාන්ත ප්‍රශ්න පත්තරය (Theory) – One hour and forty-five minute paper
  3. ප්‍රායෝගික ක්‍රියාකරකම් ඇතුලත් ප්‍රශ්න පත්තරය (Practical or Alternative to practical) – One hour paper

මෙන්න මේ ප්‍රශ්න පත්තර තුනටම ආදාල දේවල් අපි කරන්න ඕන. විශේෂයෙන්ම කාලය කළමනාකරණය කරගැනීම සම්බන්ධ ගැටළු (Time management). මොකද ළමයෙක් විෂය කරුණු කොච්චර දැනගෙන හිටියත් කාලය කළමනාකරණය කරගන්න බැරි වුනොත් හොද ප්‍රතිඵලයක් ලබාගන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම් ළමයින්ට ආදාල කාලය ඇතුලත උත්තර ලියලා ඉවර කරන්න හැකියාව ලැබෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියන්නේ ටයිමින් කරනවා කියලා.

ඔන්න ඔය කෑල්ල තමයි අපිට කරන්න ඉතිරි වෙලා තිබ්බේ. ඒක කරන්න ඒ හැටි අමාරුවක් වුනේ නෑ. නෙත්මි හැමදාම කියන්නේ සර් උදෙන්ම එන්න කියලා. බර්ටියාත් ගම්පහ ඉදගෙන උදේ 8 වෙනකොට යනවා පානදුරට. ඒ ගිහිල්ලා එක දෙක වෙනකම් අපි දෙන්නා වැඩ කරනවා. බර්ටියා උදේට පන්තියට එනකොට නෙතුම්ලි සාමාන්‍යයෙන් පේපර් එකක් ඉවර කරලා, මාර්කින් ස්කිම් එක බලලා ඒක මාක් කරලා, ලකුණුත් දාලා ඒවයේ තියෙන ගැටලු සහගත් තැන් සටහන් කරලා තියෙනවා. බර්ටියට තියෙන්නේ ඒ ගැටළු සාකච්චා කරලා, එදාට කරන්න තියෙන පේපර් ගැන බලන්න.

මොනවා නැතත් කන්න බොන්න නම් හම්බවුනා ඒ දවස් ටිකේ. බර්ටියා උදේට කොහෙන් හරි කාලා යන්නේ. එහෙ ගියාම ආයෙත් මොනවා හරි කන්න ලැබෙනවා. දහයට විතර කිරි එකක් එක්ක මොනවා හරි හපන්න ලැබෙනවා. ඊළගට දවල් කෑම. කිසි කරදරයක් තිබ්බේ නෑ. නෙත්මි පේපර් එක කරන කම් බර්ටියා එහෙ පොත් කබඩ් එකෙන් පොතක් අරන් බලනවා. බර්ටියට මතක විදිහට අපි වැඩිම වුනොත් දවස් 12 පන්ති කරන්න ඇති. හැබැයි ඒ දවස් ටිකට මාර වැඩ ගොඩක් අපි ඉවර කලා. ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් තරමේ වැඩ තොගයක් අපි ඒ කෙටි කාලය ඇතුලත ඉවර කලා.

නෙත්මි හැම තිස්සෙම බැලුවේ තව පැයක් හරි වැඩ කරන්න. දැන් ගොඩක් ළමයි වැඩිපුර විනාඩි දහයක් වැඩ කරන්න ගියහම නාහෙන් අඩනවා. ඒ ගැටලු මුකුත් අපිට තිබ්බේ නෑ. නෙත්මිගේ අම්මත් මාර විදිහට උදව් කලා ඒ ළමයගේ වැඩ වලට. නිවාඩුවට ආපු වෙලාවේ නෙත්මිගේ අයියවත් බර්ටියට අදුන් ගන්න ලැබුණා. ඔය විදිහට කොහොම හරි අපේ වැඩ ටික ඉවර කරලා නෙත්මි විභාගේ ලිව්වා.

අගෝස්තු විතර තමයි කේම්බ්‍රිජ් විභාගේ ප්‍රතිඵල එන්නේ. අපි දෙන්නගේ දවස් 12 වැඩ වල ප්‍රතිඵල ඇවිල්ලා තිබ්බා. අවසාන වාර පරීක්ෂනයට ලකුණු 40 ක් අරන් බැනුම් අහපු ළමයා ලකුණු 91 අරගෙන තිබ්බා ජීව විද්‍යාවට. හරියටම කිව්වොත් A* එකක්. බර්ටියගේ ගුරු දිවියේ පළවෙනි A* එක නෙත්මි බර්ටියට දීලා තිබ්බා. බර්ටියට මාර සන්තොෂයයක් දැනුණා. ඒක වචනෙන් කියන්න බෑ. අපේ මහන්සියට ප්‍රතිඵල තිබ්බා. ළමයෙක් මහන්සිවෙලා වැඩ කරනවා නම්, තමන්ගේ ගුරුවරුන් කියන කරුණු හිතේ තියාගන්නවා නම් තමන්ට ඕන කරන ඉලක්කෙට ළගා වෙන්න පුළුවන් කියන එකට හොදම උදාහරණයක් තමයි මේ කතාව. නෙත්මි ජීව විද්‍යාව විතරක් නෙමෙයි කරපු අනිත් හැම විෂයක්මත් ඉහලින් පාස් වෙලා තිබ්බා. කියන්න අමතක වුනා නෙත්මි අයියට වඩා ලකුණු අරන් තිබ්බා ජීව විද්‍යාවට.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------
KB 2020.04.21

ගුරු වෘත්තියේ අත්දැකීම් 1

කොහොමද ඉතින්? ගොඩ දවසකට පස්සේ තමයි බ්ලොග් එකට සටහනක් ලියන්න ගත්තේ. පහුගිය ටිකේම හිතේ කිසිම එකලාසයක් තිබ්බේ නැති නිසා ලියන්න හිටපු දේවල් කල් ගියා. දැනටත් හිත එකලාසයක් වෙලා නෑ‍. ඒත් අසනීපවෙලා කම්මැලිකමේ ඇඳට වෙලා ඉන්නවට වඩා මේකේ සටහනක් ලියන එක හොදයි කියලා හිතුන නිසා තමයි මේක ලියන්න ගත්තේ. අද සටහන ලියන්න යන්නේ නම් මගේ ජීවන වෘත්තියේදි මට ලැබිච්ච මතක සටහනක් ගැන. මතක සටහන් නම් ගොඩක් තියෙනවා ඒත් මේක විශේෂ එකක් වෙනවා. මේක බර්ටියා උගන්නපු ළමයෙක්ගේ උත්සාහය අගය කරන්න ලියන සටහනක්.

ගුරුවරයෙක් වෙනවා කියන එක බොහොම ලේසි රස්සාවක් කියලයි ගොඩක් අය හිතන්නේ. අර කතාවකට කියන්නේ පාක් එකක යනවා වගේ වැඩක් කියලා. ඒත් ඇත්තට ඒක ගම්පහ මල් වත්ත වගේ එකක් නම් නෙමෙයි. ගැලපෙන උදාහරණය තමයි ජුරාසික් පාක් වගේ එකක් කියන එක. ම් ම් ම් ගොඩක් අය හිතන් ඉන්නේ ගුරු වෘත්තිය කියන්නේ පැය 6 ක් වැඩ කරලා මාස 3ක් පඩිත් එක්ක නිවාඩු ලැබෙන රස්සාවක් කියලා. ඒත් ඒක ඇතුලේ හැංගිලා තියෙන අමාරුකම්, අවදානම, වගකීම් එක්ක සමහර වෙලාවට ඇතිවන දරාගන්න අමාරු පීඩනය, මානසික අවිවේකය කියන දේවල් ගුරු වෘත්තියේ හැබැවටම යෙදුනු කෙනෙක් ඇරෙන්න අනිත් කෙනෙක්නම් කොහොමටවත් දන්නේ නෑ.

මුදල් පස්සේ දුවන මෝඩ කළමනාකරනයක් ඉන්න වෙලාවට ඒ පිස්සන්ගෙන් එන රටේ නැති කොළ පුරවන්නත් ඕන උගන්නන එකට අමතරව. ඔන්න ඔය වගේ අමාරුකම් ගොඩක් ගුරු වෘත්තිය තුළ තියෙනවා. ඒවා ගැන පස්සේ දවසක වෙනම කතා කරමු. කොහොම වුනත් ගුරු වෘත්තිය තරම් වටිනා දෙයක් නම් මේ ලොකේ නෑ. බර්ටියා ඉස්සෙලාම උගන්නපු ආයතනයේ විදුහල්පතිවරයා කියන කතාවක් තමයි "It's a Holy Job" කියන එක. මම නම් ඒ කතාව හදවතින්ම පිළිගන්න දෙයක්. මේ කතා ඇති දැන් බර්ටියා කියන්න යන කතාවට එමු ආපහු.

බර්ටියා කදාන පැත්තේ තියෙන ජාත්‍යන්තර පාසලක උගන්නන දවස් වල (මීට අවුරුදු තුනකට විතර කළින්) වෙච්ච දෙයක් ගැන තමයි ලියන්න යන්නේ. ඒ දවස් වල කේම්බ්‍රජ් විභාගයේ මැයි ජුනි විභාග වාරයට තමයි අපි සුදානම් වෙවි හිටියේ. පන්තියේ ඔක්කොම ළමයි 11 හිටියා. එයින් 3 දෙනෙක් වානිජ විෂය දහරාවෙන් විභාගේ කලා. අනිත් අය විද්‍යාව විෂය දහරාවෙන් විභාගයට පෙනී සිටියා. මේ කට්ටිය එක්ක තමයි බර්ටිට වැඩ කරන්නත් වුනේ මොකද බර්ටියා ඉගැන්නුවේ ජීව විද්‍යාව (Biology) නිසා.

මේ ළමයි ඔක්කොම ගෙවල් වල හුරතල් වෙලා හැදිච්ච ළමයි. කිසිම බරක් පතලක් නෑ. මහන්සි වෙලා වැඩත් නෑ. ඔය කාරණය නිසා බර්ටියාට වගේම මේ පන්තියට උගන්නපු අනිත් ගුරු භවතුන්ටත් තරමක් ගැටළු සහගත තත්වයක් ඇතිවෙලා තිබ්බා. ඔය අතර දක්ෂ ළමයිත් හිටියා. අවුරුදු ගාණක් ඉහල ලකුණු ගත්ත හොද ළමයි හිටියා. ඒත් ගැටළුව වුනේ Cambridge වි‍භාග රටාවේ පිළිතුරු සැපයිම පිළිබදව ඔවුන්ට පැහැදිලි අවබෝධයක් නොමැති වීමයි. වෙනදා ලකුණු 75 - 80 ගන්න ළමයි ලකුණු 40 ට 50 ට බැස්සා.

මේක ගැන අපි ගුරු දෙගුරු හමුවීම් වලට කතා කළත් ළමයි එච්චරම මහන්සි වෙලා වැඩ කරන්න කැමති වුනේ නෑ. හේතුව අවුරුදු ගාණක් තිස්සේ මේ ළමයි සරළ විභාග රටාවකට හුරුවෙලා තිබීමයි. මොකද බර්ටියා මේ ජාත්‍යන්තර පාසලට යනකොටත් වාර අවසාන වි‍භගේ කිට්ටු වුනහම Study Guides කියලා වාර අවසාන විභාගයට එන ප්‍රශ්න වලට සමානම (සමහර වෙලාවට ඒවම) ගැටළු අඩංගු ප්‍රශ්න පත්‍තරයක් දෙනවා. ඉතින් ළමයිනුත් දන්නවා මොනවද ‍විභාගෙට තියෙන්නේ කියලා. ළමයිනුත් ලකුණු ගන්නවා. බර්ටියා ඇත්තටම මේ Study Guides වලට කැමති වුනේ නෑ. බර්ටියා ‍වගේම වසන්ත සර්, ඉන්දිකා ටීචර්, නසීහා ටීච වගේ කීප දෙනෙක් මේ ළමයි රවට්ටන රටාවට කැමති වුනේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි ඒ ගැන කළමනාකරණය එක්ක කතා බහත් කළා. ඒත් හොඳ පිළිතුරක් අපිට ලැබුනේ නෑ. කොහොම හරි අපි‍ මේ ඉස්කෝලෙට එනකොට ළමයි මේ රටාවට හුරුවෙලා ඉවරයි. ඉතින් ලොකු ගැටළු ගොඩක් අපිට ඉතුරු වෙලා තිබ්බා කොහොමද මේ ළමයිව Study Guides වලින් මුදවලා Cambridge විභාග රටාවට හුරුකරන්නේ කියලා. බර්ටියා නම් මේකට කළේ නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක්. බර්ටියා Study Guide එකක් දුන්නට එකේ තියෙන ගැටළු වැරදිලාවත් විභාගෙට නම් ආවේ නෑ (කොහොමද ටිකිරි මොළේ?).

ඔය අතරෙදි අපිට නොසිතු ගැටළු කීපයකට මූණ දෙන්න සිද්ධවුනා. එකක් තමයි අපේ විදුහල්පතිවරයාවෙලා හිටපු ඇමරිකන් ජාතික මහාචාර්ය ‍ග්‍රෙග් ගේ නික්ම යෑම. ඒ එක්කම විනය ගැටළු ගණනාවකුත් මතුවුනා විශේෂයෙන්ම හැංගි හැංගි තිබ්බ ආදර සම්බන්ධතා ගණනාවක් එක පාරම එළියට ඒම. ඔය අතරින් එක දක්ෂ ළමයෙක් හිටියා බර්ටියාගේ ජීව විද්‍යාව පන්තියේ. මේ ළමයටත් ආදර සම්බන්ධතාවයක් තිබිලා අපිට අහුවුනා. ඉතින් විනය කමිටුවේ සාමාජික‍යෙක් විදිහට බර්ටියාටත් අනිත් විනය කමිටු සාමාජික සමාජිකාවන්ටත් පැය ගාණක් මේ ළමයි එක්ක කතා කරන්න වුනා මේ දේවල් නිරාකරණය කරගන්න. අන්තිමට ළමයින්ගේ දෙමව්පියන් එක්කත් කතාකරලා පළවෙනි සහ අවසානවතාවට ඔවුන්ට සමාව දෙන්න විනය කමිටුව හා පරිපාලනය තීරණය කළා. මේ සමාව නිකම් හම්බවෙන එකක් නෙමෙයි. ඒ මොහොතේ පටන් සියළුම ආදර සම්බන්ධතා නවත්තලා දාලා තමන්ගේ ඉගෙනීම් කටයුතු වලට කැපවෙන පොරොන්දුව පිටතමයි මේ සමාව ලැබුණේ. මේ කටයුතු වලින් පස්සේ ගොඩක් ආදර සම්බන්ධතා නම් නැවතුනා. ඒත් ඉගෙනීම් වැඩවල ඒ හැටි ලොකු වෙනසක් නම් අපිට දකින්න ලැබුනේ නෑ ගොඩ දෙනෙක්ගෙන්.

බර්ටියගේ මේ කතාවේ කතා නායිකාව ඉමාෂි. ඉමාෂි මම උඩින් ‍කිව්ව ගොඩට වැටුණේ නෑ. මොකද ඒ ළමයා අම්මා එක්ක අපි ගාවට ඇවිල්ලා හදවතින්ම තමයි පොරොන්දු වුනේ. ඉමාෂි බොහොම දක්ෂ දරුවෙක්. ඒත් එයාටත් Cambridge විභාග රටාවට පිළිතුරු සැපයිීම අහුවෙලා තිබ්බේ නෑ. ඒක නිසා විභාගෙදි ලකුණු 40 යි 45 යි ලැබුණේ (පන්තියේ වැඩිම ළකුණු). මම ඕකට දීපු විසදුම තමයි හැකිතරම් පැරණි විභාග ගැටළු වලට පිළිතුරු ලිවීම. මේ දක්වාම කව්රුවත් ඒක කලේ නෑ. මේ සිද්ධියෙන් පස්සේ ඉමාෂි තමන්ගේ ආදර සම්බන්ධතාවට නැවතීම් ලකුණ තිබ්බ. තියලා නියම විදිහට තමන්ගේ ඉගෙනීම් කටයුුතු වලට යොමුවුනා. බර්ටියට මතක විදිහට මේ ළමයා කිසිම විෂයකට ටියුෂන් වලට ගියෙත් නෑ. හැකි හැම අවස්තාවේම ඇවිල්ලා ඇයට තියෙන ගැටළු ගුරුවරුත් එක්ක කතා කළා. පාඩම් කළා. ඒ වගේම පරණ විභාග ගැටළු වලට පිළිතුරු ලියලා ගෙනත් දෙන්න පුරුදු වුනා.

සමහර වෙලාවට බර්ටියාට උත්තර හරිද කියලා බලන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. බර්ටියා රෑ නිදි මරාගෙන ඉමාෂි ලියපු උත්තර නිවැරදි කළා. ඒකට හේතුව තමයි මහන්සිවෙලා ඉගෙන ගන්න ළමයෙකුට උදව් කරන එකෙන් බර්ටියා මාරම සතුටක් ලබපු එක. ඒ වගේම ඒක හොද ගුරුවරයෙකුගේ වගකීමක් වගේම යුතුකමක්. මේ වෙනකොට විභාගෙට ටික කාලයයි ඉතිරි වෙලා තිබ්බේ. ඉමාෂි හැර අනිත් ළමයි ඔක්කොම විභාගේ කල්දැම්මා ඔක්තොම්බර් නොවැම්බර් විභාග වාරයට. අපි ගොඩාක් මහන්සි වුනා. සමහර වෙලාවට හවස හතර විතර වෙනකම් ඉස්කෝලේ ඉවර වෙලත් වැඩ කලා. එහෙම කරලා විභාගෙට කළින් විශාල වැඩ ප්‍රමාණයක් කරගන්න අපිට හැකියාව ලැබුණා. විභාගෙත් ආවා. ඉමාෂි බොහොම හොදින් විභාගෙට උත්තර ලිව්වා. ඊට පස්සේ අපිට තිබ්බේ ප්රතිඵල එනකම් බලන්න එක තමයි. ‍පන්තියේ යාළුවන්ගෙන් මේ ළමයට සහයෝගයක් ලැබුනේ නම් නෑ‍. කියන්නත් කණගාටුයි මේ ළමයා ගැන ඉරිසියාවක් තමයි අනිත් ළමයි‍න්ගේ හිත්වල තිබ්බේ. පන්තියේ යාළුවෙක් නැතුව තනියෙන්ම තමයි ඉමාෂි අන්තිමට වැඩ කරගත්තේ. හොද වෙලාවට වටිනා ගුරුවරු ටිකක් ළමයව තේරුම් ගත්ත අම්මෙක් තාත්තෙක් ඉමාෂිට හිටියා. ඒක නිසා හැමදෙයක්ම හොද අතට පෙරළුනා.

බර්ටිට අද වගේ මතකයි ඉමාෂිගේ අම්මා ‍මට කතා කරලා ප්‍රතිඵල කිව්ව වෙලාව. ඉමාෂි එතකොටත් අඩනවා. බර්ටියගේ විෂයට A පාස් එක ළකුණු තුනක් මිස්වෙලා කියලා‍. ඉමාෂිට ලකුණු 77ක් ජීව විද්‍යාව විෂයට තිබ්බා. බර්ටිට නම් ඒක ලකුණු 100 කට වඩා වටිනවා අපි ටික කාලෙකදි කරපු වැඩ කොටසත් එක්ක. බර්ටි ඒකම ඉමාෂිටත් කිව්වා. ඉමාෂි හැම විෂයකටම හොද ලකුණු අරන් තිබ්බා. බර්ටිට හරියටම ඒවා කියන්න නම් මතකයක් නෑ. බර්ටියගේ ජිවිතේට හම්බවෙච්ච වටිනාම B පාස් එක තමයි ඒක. මහමෙරටත් වඩා ලොකුයි.

කාලයයි තාක්ෂනයයි එක්ක හැම දෙයක්ම වෙනස් වෙලා. අපේ ළමයි තාක්ෂණය එක්ක දියුණු වුනාට ළමයිගේ මනුස්ස ගති ගුණ දියුණු වෙලා නෑ. එවා අභාවයට ගිහිල්ලා. තමන්ගේ රට, භාෂාව, ඉතිහාසය වගේ දේවල් මේ ළමයි වැදගත් නෑ කියලා හිතනවා. අනිත එක අපේ ළමයි දැන් ඉස්සර වගේ නෙමෙයි. මහන්සිවෙලා වැඩ කරන්න කැමති නෑ. ජංගම දුරකතනයටයි පරිගණකයටයි හිරවෙලා. ඒ දෙකෙන් එහාට ජිවිතයක්, සුන්දර ජීවිතයක් තියෙනවා කියලා ඒ ළමයි දන්නේ නෑ‍. ගොඩක් අම්මලා තාත්තලාටත් එහෙම දෙයක් තියෙනවා කියලා කියන්න උවමනාවක් නෑ. පොතක් පතක් කියවන්නේ නෑ‍. කියවන කෙනෙක් දැක්කහම හිනා වෙනවා. මේ යන සමාජ රටාවත් එක්ක යන්ත්‍ර වෙලා ඒ මිනිස්සුත්. තවත් මොනවා කියන්නද? කතාව නම් දිග වැඩිවුනා. කමක් නෑ. එහෙනම් ගිහිල්ලා එන්නම්.