ආදර කතාවක්

මේ කියන්න යන්නේ බර්ටියගේ ජීවිතේ තියෙන ලස්සනම වගේම දුක්බරම කතාවක්. කියවලා ඉවර වෙලා කට්ටිය හොටු හූර හූර අඩන්න නම් ලෑස්තිවෙන්න එපා. මේ ගැන දැන් බර්ටියාවත් හිතන්නේ නෑ. ඒත් ඒ මතකයන් අතරින් හීනියට ගලාගෙන යන දුකකුත් නැත්තේ නෑ. ජීවිතේ දුක්බර් අත්දැකීමුත් තියෙන්න එපායෑ නැද්ද?

මේ කතාව පටන්ගන්නේ 2003 අවුරුද්දෙදි. එතකොට බර්ටියා නාවල විවෘතයේ ඉගෙන ගන්නවා. උදේම ගිහින් අන්තර්ජාලය පැත්තේ රවුමක් එහෙම දාලා කැන්ටිමට ගිහිල්ලා උදේට කාලා අපේ සෙට් එකත් එක්ක අල චැට් එකකුත් දාලා ලයිබ්‍රිය පැත්තේ හරි කොහේ හරි අයිනක් අල්ලගෙන පාඩම් පාරක් දාන එක ඒ අතර වාරයෙත් ඉදහිට අල වෙන එක තමයි ඒ දවස් වල දින චරියාව වුනේ.

ඔහොම දැහැමින් සෙමින් බර්ටියා කාලය ගතකරන අතරේ කැම්පස් එකට නැවක් ආවා අලුතින්. ඒ කියන්නේ අලුතින් බැජ් එකක් එහෙමත් නැත්නම් කණ්ඩායමක් ආවා. ඔය සෙට් එකේ හිටියා ලස්සනට ඇහැට පේන ගෑනු ළමයි ටිකක්. බර්ටියට මතක විදිහට එක ගෑණු ළමයෙක් හිටියා ඒ කෙල්ලට අපි කාඩ් එක ගහලා තිබ්බේ බේකරි කියලා. මොකද අයියට බේකරියක් තියෙන නිසා. ඔය අතර හිටියා කෑගල්ල පැත්තෙන් ඇවිල්ලා හිටපු ටෙනීෂා කියලා හුරුබුහුටි ගෑණු ළමයෙක්.

බර්ටියත් ඉතින් මේ ගෑණු ළමයට ඇහැදාගෙන හිටියට කිසිම පොසිටිව් ගතියක් පෙනුනේ නෑ ඉතින්. ඒ කෙල්ලගේ හෙණ ඝනකම. කාලය ඔහොම හෙමිහිට ගෙවිලා යන අතර බර්ටියගේ යාළුවො දෙන්නෙක් වෙච්ච කිරියි, මියුරුයි අලුත් බැජ් එකේ ගෑණු ළමයි කීප දෙනෙක් අඳුනගත්තා. එතකොට නවකයින්ට දෙන පාර්ටි එක දීලා තිබ්බේ නැති නිසා ජූනියර් ළමයි බයෙන් බයෙන් තමයි සීනියර්ස්ලා එක්ක කතා කරන්නේ.

දවසක් උදේක බර්ටියා ඇතුලු පිරිස අපි හැමදාම ඉන්න බෙන්ච් එකේ වාඩිවෙලා ඉන්න කොට ඔය එක අඳුරන ගෑණු ළමයෙක් මනෝරි කියලා එතනට ඇවිල්ලා කිරියි මියුරුයි එක්ක චැච් එකක් දාගෙන ඉන්න ගමන් බර්ටියව පෙන්නලා කිව්වා මේ අයියා වගේ කසින් අයියා කෙනෙක් මටත් ඉන්නවා කියලා. ඔන්න ඔය වචන ටික තමයි හැම දෙයකම ඇරඹුම වුනේ. සාමාන්‍ය විදිහට ඉදලා හිටලා තිබ්බ කතාව ටික දවසකින් වෙනස් වුනා. හැමදාම මනෝරිගේ මූණ බලන්න ඕන කමක් බර්ටියට ඇතිවුනා. මනෝරිත් වෙනදාට වඩා අපේ බෙන්ච් එක පැත්තෙන් එහාට මෙහාට ගියා. මනෝරි කැම්පස් ආවේ නැති දවසට බර්ටියට ගොඩක් ලොකු පාළුවක් තනිකමක් දැනුනා. අපේ එවුනුත් ඉදලා හිටලා බර්ටියා ඉන්න තැනම මනෝරිට හින්ට් ගහන තැනටත් කතාව ඇදිලා ගියා.

ඔහොම ගිහිල්ලා එක දවසක උදේ වරුවක අපේ ගෝතයෝ සෙට් එකින් මිදිලා මනෝරිවත් එක්කගෙන ටිකක් ඈතින් තිබ්බ බෙන්ච් එකකට ගිහිල්ලා බොහොම අමාරුවෙන් බර්ටියගේ හිතේ තිබ්බ දේවල් මනෝරිත් එක්ක කිව්වා.

බර්ටියා: මනෝරි නංගි, මම ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නේ. මම ඒ බලාපොරොත්තු දිගටම තියාගත්තට කමක් නැද්ද නංගී?

මනෝරි: මට එහෙම එක පාරටම වචනයක් දෙන්න බෑනේ අයියේ. අපි දෙන්නා තමා හරියට අදුනන්නේත් නෑනේ හරියට.

බර්ටියා: එහෙනම් අපි කතාබහ කරලා අඳුනගම්මු නංගී. මට ඔයාගේ ටෙලිෆොන් නම්බර් එක දෙන්න මම කතා කරන්නම්.

මනෝරි: අයියේ ඔයා මට උදේට කතා කරන්න. බැරිවෙලා හරි වෙන කවුරු හරි ආන්සර් කලොත් ඔයා ෆොන් එක තියන්න. එහෙම නැත්නම් මම රෙඩ් ලයිට් කියලා කිව්වොත් හරි ඔයා ෆෝන් එක තියන්න

ඔන්න ඔය විදිහට කියලා මනෝරි එයාගේ ගෙදර නම්බර් එක බර්ටියට දුන්නා. ඒ දවස් වල ඉතින් අපිට මොබයිල් ෆෝන් තිබ්බේ නෑ. ලෑන්ඩ් ලයින් තමයි. අනික මොබයිල් ෆෝන් වල ගාණත් හරිම සැරයි. සිග්නල් කණුවක් හොයාගන්න ගස් බඩ ගාන්නත් වෙනවා සමහර විට. නෙට්වර්ක් එකක් වත් ඩිගිටල් නෑ එතකොට. අනාගත්තේ අදයි හිටියෙත් නෑ බර්ටියට මතක විදිහට. ඔය සිද්ධියෙන් පස්සේ ගෙදර ඉන්න දවස් වල උදේට බර්ටියයි මනෝරියි කතා කරනවා. දෙන්නගේ විස්තර දැන ගන්නවා. හා හා ඒ විස්තර අනිත් අයට ඕන නෑ. ඒවා අපි දෙන්නා දැනගත්තහම මදෑ.මනෝරිගේ ගෙවල් තිබ්බේ පිළියන්දල පැත්තේ. කැම්පස් එකට එන දවසට අපි දෙන්නා ටිකක් කතා කරනවා. ඒත් තාම වචනයක් දීලා තිබ්බේ නෑ. ඔහොම සතියක් දෙකක් විතර ගෙවිලා ගියා.

ඔහොම ඉදලා 2003 අවුරුද්දේ අගොස්තු මාසේ 12 වෙනිදා මනෝරි අපේ බෙන්ච් එකට ඇවිල්ලා කිරී අතට කොළයක් දීලා ගියා බර්ටියට දෙන්න කියලා. මුන් දෙන්නා බර්ටියත් පාට් එක දාලා ඒ කොළ කෑල්ලේ තිබ්බ එක කියවලා ඔන්න කෙළවෙලා කියලා බර්ටියා අතට ඒ කොළය දුන්නා. බර්ටියත් පපුවේ බිත්තර තම්බ තම්බා මේකටත් කෙළ වුනාද කියලා හිතාගෙන ඒ කොළ කෑල්ල අතට ගත්තා. ඒ4 සයිස් එකේ හාෆ් ශීට් එකක් පුරාවට නිසදැසක් ලියලා තිබ්බා. එකේ අන්තිම හරියෙන් මනෝරිගේ හිතේ බර්ටියට තියෙන ආදරය ලස්සනට ලියාලා තිබ්බා. අන්තිමට දිනය දාලා අත්සන් කරලා. මේක තමයි බර්ටියගේ කුළුදුල් පළවෙනි ආදරය වුනේ.

ඉස්කෝලේ යන කාලේ අනන්තවත් කෙල්ලෝ පස්සෙන් ගියාට ක්‍රෂ් තිබ්බට බර්ටියට ආදරක් තිබිලා නෑ ඒ වෙනකම්. ඔය හේතුව හන්දාමද මන්දා මනෝරිගේ ආදරේ බර්ටියට මහ මෙරක් වගේ වුනා. කැම්පස් එකේ දවස අපි ගෙව්වේ එකට. සමහර වෙලාවට අනිත් සෙට් එකෙන් මිදිලා අපි දෙන්නා අයිනක් අල්ලන් පාඩම් කරනවා. සමහර වෙලාවට පාඩම් කරනවට වඩා අපි කියෝ කියෝ හිටියා.

මනෝරි කතෝලික. ඒ අපි දෙන්නට ගැටලුවක් වුනේ නෑ. ඒත් මනෝරි හැමදාම කිව්වේ එයාගේ අම්මලා මේ සම්බන්දෙට කැමති වෙන එකක් නෑ කියලා. එහෙම වුනොත් මනෝරි සිස්ටර් කෙනෙක් වෙනවා කියලා තමයි බර්ටියත් එක්ක කියලා තිබ්බේ. බර්ටියා නම් කිව්වේ ඒ අවස්තාව එනකම් අපි ඉවසලා ඉම්මු කියලා. ඔහොම කාලය ගෙවිලා යන අතරේ බර්ටියට ජොබ් එකක් හම්බවුනා.

බර්ටියා ඒ ජොබ් එකට යන්න තීරණය කලා. බර්ටියගේ ජීවිතේ ගත්ත මෝඩ තීරණ වලින් එකක් කියලා අදටත් බර්ටියා පසුතැවෙනවා ඒ ගැන. දැන් ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නෑ. ජොබ් එකට ගියාට පස්සේ අපි දෙන්නා හම්බවෙන්නේ ඉරිදට විතරයි. ඒත් හැමදාම වගේ අපි උදේට කතා කරනවා. පැය ගණන් මල් කඩන්න අපිට පුළුවන්කමක් තිබ්බේ නෑ ඒ දවස් වල.

ඔහොම ඉන්න අතරේ මනෝරිටත් ජොබ් එකක් හම්බවුනා. ඒ අතරේ බර්ටියත් කර කර හිටපු රස්සාවෙන් අයින් වෙනවා. ඉස්සර වගේම අපි ඉරිදට හම්බවෙනවා. මේ වෙනකොට අපේ ආදරය අවුරුදු එකහමාරක් විතර වෙනවා.

එක සැරයක් විවෘතයේ exam halls වල අලුත්වැඩියාවක් තිබ්බ හන්දා අපිට exams තිබ්බේ මරදානේ ටෙක්නිල් කොලේජ් එකේ. මනෝරිට විභාගයක් තිබ්බ දවසක බර්ටියා මනෝරිටත් නොකියා පිටකොටුවට ගිහිල්ලා 120 ඒ. සී බස් ගහන තැනට වෙලා හිටියා එයා එනකම්. බර්ටියාව දැක්ක මනෝරි හොදටම පුදුම වුනා. අපි දෙන්නා පළවෙනි පාරට කැම්පස් එකෙන් එළියෙදි හම්බවුනේ. අපි දෙන්නා පළවෙනි පාරට ඒ. සී එකේ පිළියන්දලට ගියා. එයා බොහොම බයෙන් තමයි හිටියේ අදුරන කෙනෙක් බස් එකට නගීවී කියලා. ඒ තමයි අපි දෙන්නා පළවෙනි හා අන්තිම පාරට එකට ගිය ගමන.

ඔය සිද්ධිය වෙලා ටික දවසකට පස්සේ අපි දෙන්නා ඇල අයිනේ බෙන්ච් එකක කතා කර කර හිටියා. මනෝරි බර්ටියාගෙන් ඇහුවා උමේෂ් අයියේ, ඔයාට මගෙ මුකුත් වෙනසක් පෙනුනේ නැද්ද කියලා (මනෝරි බර්ටියට කවදාවත් බර්ටි කියලා කතා කරන්නේ නෑ). බර්ටියටත් ඒ වෙනකොට පොඩි පොඩි වෙනස්කම් ටිකක් පෙනිලා තිබ්බේ. ඒ දවස්වල බර්ටියව පොඩ්ඩක් මඟ අරින ගතියක් දැනිලා තිබ්බා. කෝල් කලෙත් අඩුවෙන්. බර්ටියා ඒත් කිව්වේ එහෙම දෙයක් දැක්කේ නෑයි කියලා.

ඒ පාර මනෝරි කිවුවා, අයියේ අපේ අම්මලා කවදාවත් මේ සම්බන්දෙට කැමති වෙන්නේ නෑ. ඒක හින්දා තවත් දුරට මේ සම්බන්ධය අරගෙන යන්නේ නැතුව අද මෙතනින් මේ සම්බන්ධය නතර කරමු කියලා මනෝරි කිවුවා. අන්න ඒ වචන ටික නම් බර්ටියා කවදාවත් මනෝරිගෙන් අහන්න බලාපොරොත්තු වෙලා හිටියේ නෑ. ඒ වචන ටික දරාගන්න බැරිතරම් දුකක් එකතු කලා හදවතට. ආදරයක් කැඩිලා යන එකේ වේදනවා කොච්චරද කියලා තේරුනේ එදා තමයි බර්ටියට.

ඔය ටික කිව්වට පස්සේ බර්ටියා මනෝරිට කිව්වේ, ඔයා විතරක් එන්න. මට ඔයාගේ අම්මලාගෙන්වත් ඔයාගේ නෑදෑයන්ගෙන් වත් වැඩක් වැඩක් නෑ. මට ඕන කරන්නේ ඔයා විතරයි කියන ටික. ඒත් මනෝරි ඒ වචන වලට ඇහුකම් නොදෙන තරමට හිත ගල් කරන් හිටියේ ඒ වෙනකොට. එයා මේ දවස මේ ‍වෙන්වීම ටික ටික ප්ලෑන් කරලා තිබ්බා. කොච්චර වුනත් එයා පැය ගාණක් බර්ටියට තුරුල් වෙලා ඇඩුවා හොදටම. බර්ටිගේ ඇස්වලත් කදුළු පිරිලා තිබ්බේ ඒ වෙනකොට‍.

මොන දේවල් කිව්වත් මනෝරිගේ හිත හදන්න එයාගේ තීරණය වෙනස් කරන්න බර්ටියට පුළුවන් කමක් ලැබූණේ නෑ. එදා හවස අපි දෙන්නා වෙන්වෙලා ගියේ ආයේ ආදරවන්තයෝ විදිහට මුණ නොගැහෙන්න. එදා මුළු රෑම බර්ටියා කාමරේ පුටුව උඩට වෙලා කල්පනා කලා මොකක්ද කරන්නේ කියලා. ඒත් ඒකට උත්තරයක් තිබ්බේ නෑ.

දවසක් හරි දෙකක් හරි බර්ටියට මනෝරිව කැම්පස් එකේදි දැකගන්න ලැබුණත් එතනින් එහාට දෙයක් තිබ්බේ නැ. ටික කාලයක් අපි දෙන්නා ඉද හිටපා ෆෝන් එකෙන් කතා කලා ඒ වෙනකොට අපි දෙන්නාටම මොබයිල් ෆෝන් තිබ්බ නිසා. ඒත් මනෝරි වැඩ කර කර හිටපු තැනින් අයින් වුනාට පස්සේ ඒකත් අතීතයටම එකතු වුනා.ගොඩ කාලෙකට පස්සේ බර්ටියා පිළියන්දල ටියුෂන් එකක් කරලා ගෙදර එන්න බස් එකට නැග්ග වෙලාවෙද මනෝරිව දැක්කා. ඉස්සර වගේම තාමත් ලස්සනයි. එදායින් පස්සේ මේ සටහන ලියන දිනය දක්වාම බර්ටියා මනෝරිව දැකලා නෑ. පහුකාලෙකදි මනෝරිගේ හොඳම යාළුවා වෙච්ච ආනන්දී කිව්වා මනෝරි බැදලා දැන් ළමයෙකුත් ඉන්නවා කියලා.

දැන් ඒ හැමදෙයක්ම අතීත කාලෙට අයිති වුනත් තාමත් ඒ මතක සුන්දරයි. ඒ වගේම සමහර වෙලාවට ඒ මතක හිත රිද්දනවා. තාමත් මතක් වෙනවා අපි දෙන්නා අතින් අල්ලන් ඇවිදගෙන ගිය හැකි, එකට බත් කාපු හැටි. කැම්පස් එකේ කවුවත් නැති තැනක හොදටම ළංවෙලා හිටපු හැටි. ඒ මතක සුන්දර වගේම අනිත් පැත්තට වේදනාකාරියි. රොහාන් ශාන්ත බුලේගොඩ ගායකයා එයාගේ සින්දුවේ මේ පද ටික කිව්වේ බර්ටියාටම වෙන්න ඇති නොදැනම හරි.

විස්මිත ගමන අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්..

KB 2020.06.11

අහුලපු කතා

අද බර්ටියා කියන්නේ යන්නේ බර්ටියගේ කතාවක් නම් නෙමෙයි. මේවා ඇවිල්ලා බර්ටියත් කාගෙන් හරි අහපු කතාවල්. ඒක නිසා මේක කතාවල මුල් අයිතිකරුවන් කවුද කියන්න බර්ටියා දන්නේ නෑ. සමහර විට සමහරු මේ කතාවල් අහලත් ඇති කාගෙන් හරි.

මේ කියන පළවෙනි කතාව බර්ටියට කිව්වේ බර්ටියගේ තාත්තා. ඉස්සර ඔය පොල් කොටන් වලින් ස්ටේජ් ගහලා නාට්‍ය පෙන්නන කාලෙක එක ටවුමක් හිටපු මුදලාලිලා සෙට් එකකකටත් නාට්‍යක් පෙන්නන්න හිතුනලු. බර්ටියා දන්න තරමට ඒ කාලේ මේ නාට්‍ය පෙන්නනවට කියලා තියෙන්නේ ටිටර් පෙන්නනවා කියලා (ඕක ඉතින් ඉංශ්‍රීසි භාෂාවේ එන theater කියන වචනේ බිදිලා ආපු එකක් වෙන්න පුළුවන්). ඉතින් මේ මුදලාලිලා කට්ටිය කතා සල්ලි එහෙම එකතු කරගෙන කොළඹින් නාට්‍ය කාණ්ඩායමක් ගෙන්නුවලු ගමට, ගමේ උදවියට මේ නාට්‍ය පෙන්නන්න හිතාගෙන.

මුදලාලිලට ඉතින් සල්ලි වලින් අවුලක් නෑනේ. ලොකුවට ස්ටේජ් එක එක එහෙම ගහලා වටේටම සැරසිලි කරලා කට්ටිය මේ ටීටර් එක පෙන්නන්න ලෑස්ති වෙලා ඉතින්. වටේටම ප්‍රැටෝල් මැක්ස් එහෙම ගහලා එළිය කරලත් එක්ක. ස්ටේජ් එකේ තිරෙත් වහලා ලස්සනට තියෙනවා. දැන් ටීටර් එක පටන් ගන්න තිබ්බේ හවස 6.30 කියමුකෝ. අහල ගම් හතේම සෙනඟ ඇවිල්ලා මේ ටීටර් එක බලන්න. අපේ භාෂාවෙන් කියනවානම් කට කපලා සෙනඟ.

මොකක් හරි අකරතැබ්බයක් වෙලා ටීටර් එක පටන් ගන්න බැරිවෙලා කියපු වෙලාවට. විනාඩි 10 ක් විතර ගියා. මිනිසුසුන්ගේ සද්දෙත් වැඩිවෙනවා එහෙන් මෙහෙන්. හූවක් දෙකකුත් වැදීගෙන යනවා ඇවිල්ලා ඉන්න කොලු කුරුට්ටන්ගෙන්. මේක බලන් හිටිය වැඩේට මූලික වෙච්ච මුදලාලි තව මුදලාලි කෙනෙකුට කිව්වා ඇවිල්ලා ඉන්න සෙනඟව පොඩ්ඩක් සන්සුන් කරලා ඉක්මනට වැඩේ පටන් ගන්නවා කියලා කියලත් කියන්න කිව්වලු.

ඔන්න ඉතින් එක මුදලාලි කෙනෙක් බයෙන් බයෙන් ස්ටේජ් එක උඩට නැගලා විස්තරේ කිව්වලු. ඇතිවෙච්ච හදිස්සි ප්‍රශ්නයක් හින්දා ටීටර් එක පටන් ගන්න ප්‍රමාද වුනා. දැන් ටීටර් එක පෙන්නන නළුවෝ ඇදුම් ඇද ගන්න ගමන් ඉන්නේ. නළුවෝ ටික ඇදුම් ඇදලා ලෑස්ති වෙච්ච ගමන් රෙද්ද පළල් කරලා නාට්‍ය පෙන්නවා කියලා මාරු වුනාලු. අර ලොකු මුදලාලි ආයෙත් පොඩි මුදලාලිට කියනවලු එහෙම කියන එක හරි නෑනේ. රෙද්ද පළල් කලා කිව්වහම කැතයි වගේනේ. ඒක වෙන විදිහකට කියන්න කිව්වලු. පොඩි මුදලාලි ආයේ ගිහිල්ලා කියනවලු සමාවෙන්න වැරදීමක් වුනේ. නළුවෝ ටික ලෑස්ති වුනා විතරයි රෙද්ද උස්සලාම නාට්‍ය පෙන්නනවා කියලා.

බර්ටියාගේ හොද බොක්කක් ඉන්නවා මුට්ටියා කියලා. මුට්ටියා තමයි දෙවෙනි කතාව බර්ටියට කිව්වේ. මුස්තාෆා කියලා පොරක් හිටියලු. දන්නවනේ මුස්ෆලා සතියකට දවසක් අනිවාර්යයෙන්ම පල්ලි යන්න ඕනනේ. මේ පොර පල්ලි යන්න හරිම කම්මැලියිලු. දෙතුන් සැරයක්ම කට් එක ගහලා හිටියට දවසක් ගෙඩි පිටින්ම පල්ලියේ පූජකතුමාට මාට්ටු වුනාලු. පල්ලියේ ලොක්කෝ වගේ ඉන්න සෙට් එක මුස්තාෆගේ ගෙදරටම ගිහිල්ලා කුදලන් ආවලු පොරව පල්ලියට.

කට්ටියම කතා වුනාලු මුස්තාෆට අමතක නොවන දඩුවමක් දෙන්න කියලා. දඩුවම වුනේ දවස් හතක් කෑමක් නැතුව කළුවර කාමරේකට දාලා වහලා තියන එකලු. අම්මට සිරි වෙන්න මුස්තාෆව දැම්මලු කළුවර කාමරේට දාලා දොර වැහුවලු. දවස් හතත් ඇතුලේ ඉතින්. වතුර විතරයි හම්බවෙන්නේ.

දවස් හතකට පස්සේ කාමරේ දොර අරිනකොට මුස්තාෆා එළියට එනවලු හිටියට වඩා හොදට. කට්ටියට හරි පුදුමයි. ඇයි දෙයියනේ දවස් හතක් වතුර විතරක් බිබි හිටපු එකා හිටියට වඩා හොදට එළියට එනකොට. කට්ටිය ඇහුවලු මොනවද කලේ කියලා. මුස්තාෆා කිව්වලු ඇයි අර කාමරේ මල්ලක මුද්දරස්පලම් තිබ්බේ. මම ඒවා කකා හිටියා කියලා මුස්තාෆා ෆුල් ජොලියේ උත්තර දුන්නලු. කට්ටිය උඩ බිම බලනවලු කොහෙන්ද මේ කාමරේට මුද්දරස්පලම් කියලා. කට්ටිය හොයලා බලන කොට කලබලේට මුස්තාෆව දාලා තියෙන්නේ පල්ලියේ සුන්නත් කරන කාමරේට.

ඇහුව කතා 03

බර්ටියා ලිව්ව ඇහුව කතා දෙක මතක ඇති කියලා. ඔය කතාව බර්ටියට කිව්වේ ඔය ටෙලිෆොන් පෙට්ටියට වැදගෙන හිටිය එකා. බර්ටියා ඔය කතාව දාලා දවසකට විතර පස්සේ ඕකේ කොමෙන්ට් එකක් දාලා තිබ්බා මේ විදිහට.

“ඔය රට ඉන්න එක්කෙනා කිව්වෙ නැද්ද පාවෙන තාපසයගෙ කලෙක්සන් එකෙන් සපත්තු ගත්ත කතාව.....”

බර්ටියා ඉතින් මෙහෙම රිප්ලයි එකක් දැම්මා.

“එහෙම එකක් නම් කිව්වේ නෑ බන්. මට කියපන් ඒ කතාවත් ලියලා දාන්න”

ඔය මැසේජ් එක දාලා විනාඩි පහක් ගියේ නෑ බර්ටියට කොමෙන්ට් එක දාපු අපේ ජනිත් මල්ලි කතා කරලා වෙච්ච විස්තරේ කිව්වා.

මේ කියන සිද්ධිය වෙනකොට බර්ටියා ඉස්කෝලෙන් අයින් වෙලා ටිකක් කල්. බර්ටියට මතක විදිහට මේ සිද්ධිය වෙලා තිබ්බේ බර්ටියලගේ ඉස්කෝලේ 80 වෙනි සංවත්සර ප්‍රදර්ශනයෙදි. බර්ටියා ඇතුලු පහේ කල්ලියත් මේ ප්‍රදර්ශනය දවස් වල ඉස්කෝලේ ප්‍රථමාධාර කවයේ වැඩ ඇවිල්ලා හිටියා. බර්ටියලගේ ඉස්කෝලේ වෙනුවෙන් සංවත්සර ප්‍රදර්ශනය කොහොමටත් සතියක් විතර තියෙනවා. ඕකට බර්ටියා කලින් කිව්ව කතා නායකයා ඇතුලු පොරගේ පන්තියේ සෙට් එක තාපසයෙක් ප්‍රදර්ශනය කරලා තියෙනවා.

අපි ඉතින් ලේසියට මේකට නමක් දාගමු කැලුම් කියලාවත්. කැලුමගේ පන්තියේ කොල්ලෙක් තාපසයට අන්දවලා තාපසයව කිසිම දෙයක ආධාරයක් නැතුව රදවලා තිබ්බලු. බර්ටියත් කියන එක තමයි දන්නේ මොකද බර්ටියත් තාපසයව බලන්න යන්න ලැබුනා කියලා මතකයක් නැති නිසා. ඉතින් මේක කොහොම කලාද කියන්න බර්ටියා දන්නේ නෑ. හැබැයි මුන් සෙට් එක මොකක් හරි සුකුරුත්තමක් දාලා තියෙන්න ඇති.

ඉස්කෝලේ ප්‍රින්සිපල් කියලා තිබ්බා මොනම දෙයකටවත් ප්‍රදර්ශනය බලන්න එන කට්ටියගෙන් සල්ලි එකතු කරන්න එපා කියලා. ඒත් හොරෙන් සැරේ මුන් පොඩි කලෙක්ෂන් එකක් දාලා තිබ්බා කාටත් නොදැනෙන්න. වැඩේ ජෝන් බාස්ට ගියේ මුන් සෙට් එක ප්‍රදර්ශනේ බලන්න ආපු කෙල්ලෝ සෙට් එකකට විහිළු කරලා ඒකේ පැමිණිල්ල ප්‍රින්සිපල්ට ගිය වෙලාවේ. කොහොම හරි ප්‍රින්සිපල් මුන්ගෙන් එකෙක්ට එන්න කියලා තිබ්බා ප්‍රින්සිපල්ව හම්බවෙන්න. කට්ටියම කොහොම හරි කැලුමව තල්ලු කරලා ඇරලා තිබ්බා ප්‍රින්සිපල් ගාවට. කලෙක්ෂන් වැඩෙත් නෝණ්ඩි වෙලා තිබ්බ හන්දා ඒ සල්ලි ටික ප්‍රිනාට දෙන්න වෙයි කියලා හිතාන එකතු කරගෙන තිබ්බ රුපියල් තුන්දාහක් විතරත් සාක්කුවේ දාගෙන කැලුමා ගිහිල්ලා පිනා හම්බවෙන්න.

කැලුමත් ඉතින් බොක්කේ බිත්තර තම්බ තම්බ පිනා ගාවට ගිහිල්ලා තියෙනවා රාජකීය කෑමක් කන්න ලැබෙයි කියලා හිතාගෙන. පිනා ඉතින් මූට හොදටම බැනලා ආපහු එවලා තිබ්බා. ඒ ඇරෙන්න එකතු කරගත්ත සල්ලි ටික ගැන අහලා තිබ්බේ නෑ. ඒත් මුගේ යාලුවොන්ට නම් කිව්වේ පිනා හොදටම බැනලා සල්ලි ටික ගත්තා කියලා.

එදා හවසම කොළම ගියා කැලුමා අළුත්ම අළුත් කිරි ටොයිස් සපත්තු දෙකක් අරන් තිබ්බා. කොහොම හරි ටික දවසක් යනකොට මොකක් හරි වෙලා වැඩේ ලීක් වෙලා විස්තරේ වටේටම ගිහිල්ලා තිබ්බා. කොහොමද මුගේ මොළේ?

ඇහුව කතා 02

ඊයේ (මැයි 20) බර්ටියා නිදාගන්නකොට රෑ 12.30 විතර වුනා. නිදාගන්න ගිහිල්ලා විනාඩි 10 ක් ගියේ නෑ මෙන්න මැසෙන්ජ්ර් කෝල් එකක් එනවා බර්ටියගේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්ගෙන්. පොරට ගිනි දවල් වෙන්න ඇති ඒ වෙලාව, මොකෝ ලංකාවේ නෙවෙයිනේ ඒකා ඉන්නේ. පොරත් බර්ටියගේ කතා, බර්ටියගේ බ්ලොග් එක එහෙම කියවනවා. මිනිහට පරණ කතාවක් මතක් වෙලා ඒක කියන්න තකහනියක්ම බර්ටියට කෝල් කරලා තිබ්බේ. ඉතින් බර්ටියා ඒකත් ඇහුව කතා ගොන්නට දාලා ලියලා දාන්න හිතුවා, මොකද මේකත් ලියන්නම වටින කතාවක් නිසා.

මේ කතාව සිද්ධ වෙන්නේ 97, 98 කියන කාලෙදි. එතකොට බර්ටියලා උසස් පෙළ කරනවා. මතකද ඔය කාලේ ටවුන් වල තැනින් තැන තිබ්බ සල්ලි දාලා, සල්ලි දාලා කතා කරන ෆෝන් බොක්ස්. අපි ඔය ලේසියට කියන්නේ කොයින් බොක්ස් කියලා. මුල් කාලෙදි රුපියල් දෙකක් දාලා විනාඩි දෙකක්ද කොහෙද කතා කරන්න පුළුවන්. පස්සේ දෙක පහ වුනා. ඔය ඉතින් වැරදියට හිතන්න එපා. රුපියල් දෙක රුපියල් පහ දක්වා ගණන් ඉස්සුවා. අද වෙනකොට නම් ආසාවට සල්ලි දාලා කතා කරන ෆෝන් බොක්ස් එකක් දකින්න නෑනේ. ජංගම දුරකතන නැති ඒ කාලේ මේවා අපිට හරිම වැදගත්. හදිස්සියකට පණිවිඩයක් කියන්න, ගෑණු ළමයත් එක්ක මලක් කඩාගන්න තිබ්බේ මේවා තමයි අපිට. වැඩි ගාණකුත් නෑනේ. අනික රෑ 8 පස්සේ රුපියල් 5 ට විනාඩි 5 ක් ද කොහෙද දුන්නා. බර්ටියගේ ඉස්කෝලෙත් මේ වගේ ෆෝන් එකක් හයි කරලා තිබ්බා. එක සැරයක් ඉස්කෝලේ කැන්ටිම කරන්න ආපු හාදයා ටී, ප්ලෙන්ටි ගන්න කොට ටෝකන් එකක් විදිහට යකඩ කෑලි වගයක් දුන්නා. ඒ දවස් වල ප්ලෙන්ටියක් රුපියලද කොහෙද කැන්ටිමේ.

දවස් දෙකක් යන කොට අපි හොයා ගත්තා මේ යකඩ පතුරු 3ක් දාලා විනාඩි දෙකක් කතා කරන්න පුළුවන් කියලා. සතියක් යනකොට කැන්ටිමේ යකඩ ටෝකන් දෙන එක නවත්තන්න වුනා, මොකද කැන්ටිමේ ටොකන් නැත්තටම නැති වෙච්ච නිසා. ටෙලිකොම් එකෙන් ඇවිල්ලා ෆෝන් එකේ සල්ලි පෙට්ටිය ගෙනිහිල්ලා ගනින කොට කට්ටියට පට්ට ආතල් එකක් ගන්න ඇති අපේ අපේ ඉස්කෝලේ එවුන්ගේ අම්මලා තාත්තලා මතක් කර කර. හරි හරි මේක අතුරු කතාවක්. අපි එමු අපේ ඔරිජිනල් කතාවට. මේ කතාව බර්ටියට කියපු මල්ලි හෙණ අණ්ඩපාලයා. පොරට හෙණ ක්‍රිමිනල් මයින්ඩ් එකක් පහල වෙලා ඔය ගම්පහ ටවුන් එකේ තිබ්බ ෆෝන් වලින් කොල් ගන්න බැරිවුනහම ආපහු වැටෙන් සල්ලි ටික එකතු කරගන්න අන්ඩර් වර්ල්ඩ් ගේම් එකක් ගහලා තිබ්බා. ඒක කරපු ක්‍රමය නම් බර්ටියා කියන්න යන්නේ නෑ. කොහොමත් අතේ වියදමට රුපියල් 15 ක් 20 ක් හොයාගන්න පොරට පුළුවන් වෙලා තිබ්බා ඒ වැඩෙන්. රුපියල් 15 ක් 20 ක් කියන්නේ හෙණ ගාණක් එතකොට. පොරගේ වැඩේ වාසි හින්දා අපේ ඉස්කෝලේ ෆෝන් එකටත් මේ ගේම දුන්නා. ඒ වැඩේත් හරි ගියා කියමුකෝ.

ඒත් කරුමේ කියන්නේ සල්ලි ටික එකතු වෙලා තිබ්බට මොකක් හරි හේතුවක් නිසා සල්ලි ටික හිරවෙලා. මූත් සල්ලි ටික ගන්න බලාගෙන පයින් පාරක් ගහලා. යකඩ බොක්ස් එකනේ. ඔයිට පොඩ්ඩක් එහා පැත්තෙන් තමයි අපේ ඉස්කෝලේ පිනාගේ ඔෆිස් එක තියෙන්නේ. කරුමේ කියන්නේ මේකා ගැහුව පයින් පාර පිනාට ඇහැලා. පයින් ගහලා දුවන්නත් බෑනේ. සල්ලි ටික එකතු කර ගන්න ඉන්නත් එපායෑ. පිනා ඔෆිස් එකෙන් ඔළුව දාලා බලනකොටත් මේකා ෆෝන් එක ගාව ඉන්නවලු.

දෙයියනේ කියලා පිනාගෙන් හොද දෙකක් අහගත්ත මේකට පිනා දුන්නා අපූරු දඩුවමක්. පොර දැන් ෆොන් එක ඉස්සරහා දණ ගහගෙන් ෆොන් එකට වැදගෙන ඉන්නවා. කොහොමද ආතල් එක. ඔෆිස් එක ගාව නිසා තමන්ගේ වැඩ වලට ඔෆිස් එකට යන සර්ලට ටීචර්ලට මේකව ශෝ කේස් එකේ දාලා වගේ. ඒ විතරක් නම් මදෑ. එතනින් එහාට මෙහාට යන එවුන්ට මේකව පේනවා. දැන් ඉතින් පීරියඩ් දෙකක්ද කොහෙද මේකා වැදගෙන ඉන්නවා කොයින් බොක්ස් එකට. දැන් තමයි කතාවේ වැදගත්ම කෑල්ලට එන්නේ.

ඔහොම ගිහිල්ලා ඉන්ටවල් එකත් ඉවරවුනා. ඉන්ටවල් එක ඉවර වුනා කියෙන්නේ ගොඩක් වෙලාවට AL ක්ලාස් වල එවුන් ගෙදර යන්න පටන් ගන්න වෙලාව. බර්ටියල නම් ඊට කලිනුත් ගෙදර යනවා. මේ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තමයි ආර්ට් ක්ලාස් තිබ්බේ. කොහොමත් කොල්ලෝ ගෙදර යන විත්තිය දන්න නිසා අපේ පිනත් වේවැලත් අරගෙන රවුමක් ගහන වෙලාව ඉතින් ඕක. උඩ තට්ටුවේ ඉදලා බැහැලා එන පඩිවෙල තියෙන්නෙත් අපේ එකා වැදගෙන ඉන්න කොයින් බොක්ස් එක ඉස්සරහමයි. මේ කියන සිද්ධිය වෙලා තියෙන්නෙත් ඔය කියන තැනමයි.

ඉන්ටර්වල් එක ඉවරවෙලා ටිකකින් පිනා එනවා වේවැලත් අරගෙන. එය වෙලාවට පැනලා යන්න ඇවිල්ලා මාට්ටු වුනොත් බඩු පැකට් තමයි. කන්න පුළුවන් රාත්තල් ගාණට ඉතින්.

වේවැලත් අරන් හිමින් සැරේ වට පිට බල බල ආපු පිනා කොයින් බොක්ස් එක ගාවට ඇවිල්ලා, කොයින් බොක්ස් එකට දණ ගහගෙන ඉන්න එකා දිහත් බලලා නෝණ්ඩි සහගත හිනාවකුත් දාලා පඩිපෙළින් උඩට නගින්න හැදුවා විතරයිලු පැනලා යන්න පොත් ටිකත් අරන් ආපු එකෙක් මාට්ටුයිලු. බඩු පැකට් තමයි ඉතින්. ආපු එකාට ආපහු දුවගන්නත් සිහියක් පතක් නැහැයිලු.

පිනා: මෙහේ එනවා තමුසේ. කොහෙද යන්න යන්නේ?

පැනලා යන්න ආපු එකා: ස ... ස.. සර්

පිනා: කියනවා බලන්න තමුසේ කොහෙද යන්න හදන්නේ කියලා.

අපේ පැනලා යන්න ආපු එකා පිනා දිහා බලලා දුක් මූණක් දාලා කියනවලු

පැනලා යන්න ආපු එකා: සර් අපේ තාත්තා කරන්නේ මේසන් වැඩ. මම ඉස්කෝලේ ඇවිල්ලා දහයමාරට විතර යනවා සර් තාත්තට අත් උදව් දෙන්න. ඒකට තමයි සර් මම මේ යන්න හැදුවේ

ඔය වෙලාවෙම ආර්ට් ක්ලාස් එකට ඉංශ්‍රීසි උගන්න සර් ක්ලාස් එකට යන්න බලාගෙන ඔතනට එනවා. අපි ඒ සර්ගේ ආදරණීය නාමය “කොමනා”.

පිනා: බලන්න රණසිංහ සර් මේ ළමයා

බර්ටියට මේ කතාව කියපු එකා කොයින් බොක්ස් එකට වැදගෙන දණ ගහගෙන ඉන්නවා. පොර ගාවම තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නෙත්. පිනා අල්ලන් ඉන්න එකා දිහාත් හොදට බලපු රණසිංහ සර්,

රණසිංහ සර්: ඇයි සර්? මොකද ප්‍රශ්නේ?

පිනා: බලන්න සර්. මේ දරුවගේ තාත්තා මේසන් වැඩලු කරන්නේ. මේ ළමයා ඉන්ටර්වල් එකෙන් පස්සේ ඉස්කෝලෙන් පැනලා යනවලු තාත්තට අත් උදව් දෙන්න. ඉතින් බලන්න මේ ජීවිත වල හැටි. අපි කොහොමද මෙහෙම ළමයින්ට යන්න දෙන්නේ?

රණසිංහ සර් ආයෙත් අල්ලගෙන ඉන්න එකා දිහා හොදට බැලුවලු.

රණසිංහ සර්: ඒකනේ සර්. කවදාහරි මේ ළමයාටත් අත් උදව් දෙන්න තමයි ඔහොම ගියොත් වෙන්නේ.

පැනලා යන්න කියපු එකා කතා අහලා දුක හිතුන පිනා අරෑට ගහන්නේ නැතුව ආපහු පන්තියට යන්න කිව්වලු. ඊට පස්සේ දණ ගහගෙන ඉන්න එකාවත් නැගිටලා යන්න පන්තියට යන්න කිව්වලු. රණසිංහ සරුත් පන්තියට යන්න ගියා.

දැන් තමයි හොදම කතාව. පැනලා යන්න ගිහිල්ලා අහුවෙච්ච එකා ඉන්නවා නේද? ඌ ඇවිල්ලා රණසිංහ සර්ගේ පුතා. ඒකා කරකවලා අඹරවලා අත අරිය කෙප්පෙට පිනා අහුවුනා. කතාව අහලා අන්ද මන්ද වෙච්ච රණසිංහ සරුත් මුකුත් කියලා නෑ. රණසිංහ සර් මේකා මගේ පුතා කිව්වා නම් අරෑට නැව් ගුටි තමයි කන්න වෙන්නේ. ඒ මදිවට සස්පෙන්ඩ් වෙන්නත් වෙනවා. රණසිංහ සර් ගෙදර ගිහිල්ලා අරකට නැව් ගුටි දුන්නද දන්නෙත් නෑ. ඔන්න එහෙමයි ඒ කතාව ඉවර වුනේ.

ගර්ල් ප්‍රෙන්ඩ්

මේ කියන්න යන්නේ බර්ටියා යාළු වෙලා හිටිය ගෑණු ළමයෙක් ගැන නම් නෙමෙයි. මේ කියන්නේ බර්ටියා චිත්‍රපටියක් බලන්න ගිහිල්ල වේචච සීන් කෝන් එකක්. මේ වගේ සීන් කෝන් දෙක තුනක්ම තියෙනවා. ඒ වගේම අහපු කතා දෙක තුනකුත් තියෙනවා ෆිල්ම් බලන්න ගිහින් වෙච්ච. ඒවා පස්සේ ලියන්නම්. මේක තමයි පළවෙනි එක.

බර්ටියා ඉස්කෝලේ යන කාලේ ගම්පහට ෆිල්ම් හෝල් තුනක් තිබ්බා. දැන් නම් ඊට වඩා වැඩියි. ටවුන් එකේ කොළඹ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙනවා එකක්. ඊළගට ජා ඇල පාරට වෙන්න තියෙනවා දෙකක්. මේ කියන සිද්ධියට සම්බන්ධ වෙන්නේ ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන එක. කට්ටියට මතකද දන්නේ නෑ 1998 සිංහල ෆිල්ම් එකක් ආවා ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා.

ඔය ෆිල්ම් එක එන්න මාස ගාණකට කලින් හෙණ මාකටින් පාරක් ගියා ෆිල්ම් එකට. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා තමයි ෆිල්ම් එක ආවේ. එතකොට බර්ටියා AL කරන්න ඉන්න කාලේ. බර්ටියා ඇතුලු පහේ කල්ලියත් වේලාසනින්ම ලෑස්ති වෙල හිටියේ ඔය ෆිල්ම් එක බලන්න. ඕක බලන්න වැඩිපුරම ඕනකම තිබ්බේ අපේ ගමයාටයි කොමනටයි. මුන් දෙන්නා ඕකේ පොස්ටර් ගම්පහ ගහලා තිබ්බ දවසේ ඉදන් යන්න ඕන කියනවා ඕක බලන්න. බර්ටියා නම් කොහොමත් වැඩි කැමත්තක් නෑ සිංහල ෆිල්ම් බලන්න. මුන් දෙන්නගේ කනකරච්චලේටම මේක බලන්න යන්න හා කියලයි තිබ්බේ.

මේකේ ඇත්ත නැත්ත කියන්න දන්නේ නෑ. ඒ දවස් වල කතාවක් තිබ්බා හෝල් එකක පෙන්නන පළවෙනි ෂෝ එකේ කෑලි කපන්නේ නෑ කියලා. ඒක නිසා මේ ෆිල්ම් එකේ පළවෙනි ෂෝ එකම බලන්න තමයි අපේ එවුන්ගේ අදහස වෙලා තිබ්බේ. ෆිල්ම් එක පෙන්නන්න පටන් ගත්තේ 1998 ජුනි මාසේ පස්වෙනිදා. එදා සිකුරාදා දවසක්. පහේ කල්ලිය එදා ඉස්කෝලෙත් නොයා ගම්පහට සෙට් වුනේ උදේ 10.30 ෂෝ එකම බලන්න හිතාගෙන. මොකද එතකොට කෑලි කපන්නේ නෑනේ. මාකටින් තිබ්බ විදිහට අපි ෆිල්ම් එක ගැන හොල්මන් වෙලා හිටියේ. මේක ඉතින් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි එකක් විදිහට ආවේ.

කට්ටිය සෙට් වෙලා උදේ 10.15 ට විතර හෝල් එක පැත්තට ගියහම තමයි හොදම සීන් එක දැක්කේ. අම්මට සිරි ෆිල්ම් හෝල් එකේ එළියේ හිටින් සෙනග. පෝලිම තියෙනවා හැතැප්මක් විතර. බර්ටියා ඒ ෆිල්ම් එකකට එච්චර සෙනඟ ඉන්නවා දැක්කාමයි. දැන් මාර අෆ්සෙට් එක. ආපහු යන්නත් මොකක්ද වගේ. කවුරු හරි දැකලා නෝණ්ඩි වෙයිද කියලත් සැකයි. ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන පහේ කල්ලියත් ගිහිල්ලා පෝලිමට සෙට් වුනා. අම්මෝ පෝලිම යනවා යනවා ඉවරයක් නෑ.

අපි ඉතින් ODC යන්න හිතාගෙන ආවේ. බැල්කනි යන්න කොහෙද අපිට සල්ලි. ටිකට් එක ගන්නත් ගෙදරින් කීයක් හරි මාටියා ගහන් ආවේ. ඒ කාලේ ODC ටිකට් එක රුපියල් 35 ද කොහෙද. දැන් 10.30 පහුවෙලා. වෙලාව පරක්කු වෙච්ච හින්දා හූ සද්දත් යනවා. ඊට වඩා සද්දෙට ෆිල්ම් හෝල් එකේ වැඩ කරන එවුන් කෑ ගහනවා. ඔහොම ගිහිල්ලා ටිකට් කවුන්ටරේ කිට්ටුවට වෙන්න තියෙන දැල අස්සට ආවා. එතනින් එහාට තනි පෝලිම. ඔතනට එන්නත් පට්ට ගේමක් දුන්නා තල්ලු කරගෙන පොර කාගෙන තමයි ඔතනට ආවෙත්. එතනට ඇවිල්ලා ඉන්නකොට මිනිස්සු පෝලිම පැනලා අර දැලේ එල්ලිලා උඩින් දැල අල්ලගෙන ගිහිල්ලා ටිකට් කවුන්ටරේ ගාවට පනිනවා. අපේ කොමනයි ගමයයිත් ඔය විදිහට පැන්නා. පොකයත් ඉස්සරහා. බර්ටියයි වවුලයිත් අමාරුවෙන් පෝලිම දිගේ ගිහින් ODC ටිකට් දෙකක් අරන් ඇතුලට පැන්නා.

දැන් 10.45 යි. ෆිල්ම් එකත් පටන් අරන්. හෝල් එකේ එකාගේ ටෝච් පාර දිගේ ගිහින් අමාරුවෙන් ෂීට් එකක් හොයා ගත්තා. ඒකත් මැදක තිබ්බේ. එතන ෂීට් හතරක්ද කොහෙද තිබ්බා. අනිත් එවුන් කොහෙද දන්නෙත් නෑ. බර්ටියයි වවුලයි එතනින් වාඩි වුනා. ෆිල්ම් එක දිහා බලනකොටම එක බලාපොරොත්තුවක් කඩවෙලා ගියා. ෆිල්ම් එක බ්ලැක් ඇන්ඩ් වයිට්. ගම කනවානේ ඉතින්. කමක් නෑ හොද වැඩිහිටියන්ට පමණයි කෑලි ටිකක් තියෙයි කියලා ෆිල්ම් එක බලනවා අපි දෙන්නා. ඔය අස්සේ තවත් කට්ටිය එනවා ෆිල්ම් එක බලන්න.

පේළියේ මැදට වෙන්න බර්ටියා වාඩි වෙලා ඉන්නවා. ඊළගට හිස් ෂීට් එකක්. ඊළගට වවුලා. ඔය අස්සේ තවත් ඩබලක් ආවා ෆිල්ම් එක බලන්න. උන් දෙන්නටත් එක ළග වාඩි වෙන්න ෂිට් එකක් නෑ. එක ඩයල් එකක් ආවා අපේ පේලියට වාඩි වෙන්න. වවුලා නැගිටලා බර්ටියා ඉන්න තැන තිබ්බ හිස් ෂීට් එකට ආවා. අර ආපු කෙනත් ඇවිල්ලා ෆිල්ම් එක බලන්න වාඩි වුනා විතරයි මහා කසු කුසුවක් පැතිරිලා ගියා අපි ඉන්න අවට. බලනකොට එතන ඇවිල්ලා වාඩිවෙලා තිබ්බේ කෙල්ලෙක්. නිකම්ම නිකම් කෙල්ලෙකුත් නෙමෙයි රෑ සමනලියක් දවල් ඇවිල්ලා. සමනලිය හයර් කරපු එකා එක තැනක. කෙල්ලව තව තැනක. මුළු ODC එකටයි පළවෙනි පන්තියටයි ෆිල්ම් එක බලන්න ඇවිල්ලා හිටපු එකම කාන්තා පරාණේ ඒක.

මේ ආපු කෙල්ල එහෙම කෙනෙක් අපි දැනගත්තෙත් වටේ ඉන්න එවුන් කියපු කතා නිසා තමයි. උන් අපි දෙන්නට මාර උපදෙස් ටිකක් දුන්නා ෆිල්ම් එක බලන අස්සේ. අපිට පිටි පස්සේ හිටපු සෙට් එක මේ කෙල්ලව හොදට දැනගෙන හිටියා. ඒ කොහොමද කියන්න බර්ටියා නම් දන්නේ නෑ. සමහරවිට පරණ කස්ටරමර්ලා වෙන්න ඇති. එකෙක් ඉස්සරහට පාත් වෙලා අපි දෙන්නට කියාපි බය නැතුව අත ගාපන් කියලා. තව එකෙක් කිව්වා අඩු ගානට කතා කරගනින් කියලා. ඒ අස්සේ තවත් එකෙක් කියනවා දෙන්නම් කාසි වලට ගහපන් කියලා. අනේ අම්මෝ අපි දෙන්නට එතනින් නැගිටලා යන්න තිබ්බා නම් හොදයි කියලා හිතුනා ඒ වෙලාවේ.

ඕවා ඔක්කොම අත ඇරලා අපි දෙන්නා ෆිල්ම් එක බලනවා. මෙලෝ රහක් නෑ ෆිල්ම් එකේ. අනුෂා දමයන්ති එහාට කරකැවෙනවා මෙහාට කරකැවෙනවා. කිසිම ගතියක් නෑ. ඒ අස්සේ ෆිල්ම් එක සමහර තැන්වලදි පාට වෙනවා. ආයේ කලු සුදු වෙනවා. ඉන්ටවල් එක වෙන්නත් ආවා, තාමත් කිසිම වැඩිහිටියන්ට පමණයි කෑල්ලක් නෑ. ඉන්ටවල් එකත් ආවා. ඔන්න යන්තමි ලයිට් ටික දැම්මා අපි දෙන්නත් වටපිට බැලුවා ටිකක්. කෙල්ලව ගෙනාපු එකා ඇවිල්ලා කෙල්ලව වෙන තැනකට එක්කරන් ගියා. අපිටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ආවා. පිටිපස්සේ හිටපු එවුන් කියපු විදිහට ගම්පහ ටවුන් එකේ එවුන් වැඩි හරියක් දන්නවා ඒ කෙල්ල ඩීල් වෙන කෙල්ලෙක් කියලා. කාගේ වුනත් ජීවිතයක් තමයි ඉතින්.

ඉන්ටර්වල් එක ඉවරවෙලා ෆිල්ම් එක පටන් ගත්තා. ෆිල්ම් එකේ ඉතුරු ටිකත් කට ඇරන් බලන් හිටියා වැඩිහිටියන්ට පමණයි කෑලි ටික එනකම්. ඔහේ නෑ. පරණ ෆිල්ම් එකක් ගත්තු කෑලි වගේකුත් මූට්ටු කරලා තිබ්බා ෆිල්ම් එකට. මෙලෝම රහක් නෑ. අපිටත් හොද පාඩම වැඩිහිටියන්ට පමණයි කෑලි බලන්න ගියාට. ෆිල්ම් එකත් ඉවර වුනා. අපිත් කට්ටියට යන්න දිලා හෙමින් සැරේ එළියට බැහැලා ඔරුතොට පාර පැත්තට ඇවිදන් ගියා ෆිල්ම් එක බලන්න නොගිය ගානට. ඊට පස්සේ තෝසේ කඩේකට ගිහිල්ලා තෝසේ පාරකුත් දාගෙන ෆිල්ම් එක හදපු එකාගේ අම්මවත් සිහි කර කර අපි ගෙවල් වලට ගියා. ඔන්න ඔහොමයි බර්ටියා ගර්ල් ෆ්‍රෙන්ඩ් බැලුවේ. බර්ටියගේ ජීවිතේට බලපු අන්තිම ජරාම ෆිල්ම් එකක් තමයි මේක. හොද වෙලාවට අතවරයක් නොවී බේරුණා බර්ටියයි වවුලයි.