ගමයා 01 - මීටර් 1500

මේක ඇවිල්ලා බර්ටියා යාළුවෝ ගැන කියද්දි මතක් කල ගමයා ගැන කතාවක්. ගමයා නැත්නම් ඩැනී ගැන කතා ගොඩක් තියෙනවා. මොකද අපි අතර හිටපු විශිෂ්ඨම නයි අරින්නා තමයි ගමයා කියන්නේ. ඒක ගැන කිසිම සැකයක් නෑ. ගමයාව බර්ටියට ඉස්සෙල්ලාම සෙට්වුනේ 8 බී පන්තියේදි. කොහොමහරි ඒකා මගේ ළගම යාළුවෙක් වුනා උගේ කරුමෙටද බර්ටියගේ කරුමෙටද කියන්නනම් බර්ටියා දන්නේ නෑ. ගමයත් සෞබ්‍යදානෙට බැදිලා හිටපු නිසා අපේ යාළුකම සෑහෙන කාලයක් ඒ කියන්නේ අද එහෙමත් නැත්නම් වර්තමානය දක්වාම රැකිලා තියෙනවා.

ගමයාට පොඩිකාලේ ඉදලම සිනිඳු දෙයක් දැක්කොත් මිරිකන්න පුදුම ආසාවක් තිබ්බා. ඒක හින්දා පුංචි කාලෙම හුණු පැකට් එකක් මිරිකලා ඇහැකට කෙළවගෙනයි හිටියේ. එහෙම වුනා කියලා සිනිදු දේවල් මිරිකන පුරුද්ද ගමයා අතඇරලා තිබ්බේ නෑ. ඒවා ගැන කියන්න‍ ගියොත් එහෙම බර්ටියට හිරේ විලංගුවේ වැටෙන්න වෙන නිසා බර්ටියා ඒවා ගැන කතා කරන්නේ නෑ. ඒ ඇරුණහම ගමයාගේ කට කියන්නෙත් ගම්පහ ඉස්පිරිතාලේ කුණු කාණුව වගේ එකක් තමයි. ඒකෙන් කුණුහරුප දෙපැත්ත කැපෙන වචන පිට නොවුනේ ඒකා නිදාගන්න වෙලාවට කියලා විතරයි බර්ටියා හිතන්න‍ේ.

මේ කියන්න යන මීටර් 1500 කතාව සිද්ද වුනේ බර්ටියගේ ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් වෙලාවේ. එතකොට තිබ්බේ සෞබ්‍යදාන ඒකකය නෙමෙයි රතු කුරුස පාසල් කවය. බර්ටියට මතක නෑ කොයි අවුරුද්දේ වුනාද කියලා. කොහොම හරි මේක වුනේ අපි උසස් පෙළ කරන්න (1997 හෝ 1998) ඉන්න කොට කියලා පොඩි මතකයක් තියෙනවා. ක්‍රීඩා උත්සවය තියෙන දවසට අපිට ස්කෝලේ සියළුම ප්‍රථමාධාර කටයුතු බාරවෙලා තියෙන නිසා අපේ සාමාජිකයන්ගෙන් වැඩිදෙනෙක් ක්‍රීඩා කටයුතුවලට සහභාගී වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. හැබැයි අපිත් පිට්ටනියට බැහැලා දවසම පුහුණවීම් කටයුතු කරනවා ප්‍රථමාධාර කටයුතු සම්බන්දයෙන්. මොකද අපේ ප්‍රථමාධාර කණ්ඩායමට හොද නමක් තිබ්බා ගම්පහින්ම පට්ට වැඩකාරයෝ ටිකක් කියලා. ඔය නම තියාගන්න ඕන නිසාම අපි අම්බානකට මහන්සිවෙලා අපේ පුහුණුවීම් කටයුතු කරනවා.ගොඩක් වෙලාවට පිට්ටනියේ කරන්නේ රෝගීන් ප්‍රවාහනය සම්බන්ධව පුහුණුවීම් තමයි. ‍ප්‍රථමාධාර කණ්ඩායමේ හිටපු ජේෂ්ඨම සාමාජිකයන් හා නිලධාරි මණ්ඩලය විදිහට පහේ කල්ලියට තමයි පුහුණුවීම් බාරව තිබ්බේ. මේ කියන ක්‍රීඩා උත්සවය වෙනුවෙනුත් අපි දැඩිපුහුණුවීම් කටයුතු කළා.

කොහොමහරි මේ කියන නිවාසන්තර ක්‍රීඩා උත්සවය වෙලාවේ ගමයටත් හදිස්සියේම මීටර් 1500 රේස් එක දුවන අදහසක් පහළවෙලා තිබ්බා. බර්ටියට මතක විදිහට ගමයා හිටියේ පරාක්‍රම නිවාසයේ. මේකා හොරෙන්ම නමත් දීලා. අපි කව්රුවත් දැනගෙන හිටියෙත් නෑ මේක ගැන. කොහොමහරි තරගෙට යන්න පැය කීපයකට කලින් තමයි අපි සෙට් එකත් මේක දැනගත්තේ. මේ වගේ තරඟ තියෙනවෙලාවට අපිත් පිට්ටනියේ ඉන්න ඕන. කොයිවෙලාවේ කාට ප්‍රථමාධාර ඕනවේවිද කියන්න දන්නේ නැති නිසා අපිත් අවශ්‍ය කරන බෙහෙත්, වතුර, ගිලන් ඇඳ එහෙම අරගෙන පිට්ටනියට බහිනවා. ඔය අව් අස්සේ ගමයා 1500 දුවනවා කිව්වා විතරයි අපි නිකම් කරකවලා අත ඇරියා වගේ වුනා. මොකද මේච්චර දවසකට අපි දැක්කේ නෑ ගමයා සෙන්ටිමීටර් එකක්වත් දුවලා පුහුණුවීම් කරනවා.

ගමයා කොට ෂෝටකුත් ගහලා දුවන්න දාන සපත්තු දෙකකුත් දාලා ජෝකර්ගේ මල්ලි‍ගේ යාළුවෙක් වගේ දෙන්නම් වැඩේ කියලා ලෑස්තිවෙලා ඉන්නවා. ඔය අස්සේ ගමයා වවුලාගෙන් කබඩ් එකේ යතුර ඉල්ලගෙන. ටික වෙලාවකට පස්සේ වවුලා ඇවිල්ලා බලනකොට ගමයා හොරෙන් ග්ලුකෝස් කනවා.

මේක දැකපු වවුලා ඒ පාර සුද්ද සිංහලෙන්ම ගමයව අමතලා.

"මොකද හු...... හොරෙන් ග්ලුකොස් කන්නේ? තොට පිස්සුද? අපේ එකෙක්ට නොදෙන ග්ලුකෝස් වෙන කාට දෙන්නද?"

මීට වඩා හරබර වචන එළි‍යට පැනලා තියෙනවා වවුලාගේ ක‍ටෙන් ඒවා මේකේ ලියන්න විදිහක් නෑ මොකද මේක එතකොට අසභ්‍ය ප්‍රකාශයක් වෙන හන්දා. කොහොමහරි ඔයිට ටික වෙලාවකට පස්සේ් කට්ටියම පිට්ටනියට බැස්සා අපේ ප්‍රථමාධාර කටයුතු වලටයි විශේෂයෙන්ම ගමයා දුවනවා බලන්නයි‍.

දැන් තරඟ පටන් අරන්. 1500 රේස් එකත් පටන් ගන්නත් වෙලාව. වවුලට අන්තිම මොහොතේ මතක් වුනේ ‍යකෝ මූට වතුර එකක් ගහන්නවත් විදිහක් නෑනේ කියලා. ඒකා අපේ පොඩි මල්ලිලා දෙන්නෙක්ට කතා කරනා ගමයාට වතුර ගහන්න ෂොපින් බෑග් ටිකක් ගේන්න කියලා සල්ලි දීලා කොල්ලෝ දෙන්නව ළඟම තියෙන කඩේට ඇරියා. (වවුලා කොහොමත් කොල්ලෝ කඩේ අරින්න දක්ෂයි). බෑග් ගෙනල්ලා වතුර ගහන්නත් වෙලා‍ව තියෙනවා මොකද 1500 රේස් එකට වට 15 විතර දුවන නිසා. දැන් ඔක්කොම ලෑස්තියි අපේ කටිටියත් පිට්ටනියේ තැන් තැන් වල ඩියුටි දාලා. මමත් තරඟ ආරම්භ කරන තැනට මීටර් 25 ක් විතර ඉස්සරහින් තවත් රතු කුරුසේ මල්ලිලා කීපදෙනෙකුත් එක්ක රාජකාරී කටයුතු වලට ලෑස්තිවෙලා හිටියා. අනික ඩියුටි කෙසේ වෙතත් ගමයා දුවනවා බලන්න එපායැ.

ඔන්න රේස් එක පටන් ගත්තා. ගමයා පළවෙනි වටය සාර්ථක ලෙස අවසන් කළා. දෙවෙනි වටය පටන් අරන් බර්ටියා ඉන්න හරියට ආවා විතරයි "මචං මගේ පපුව ලොක් වෙනවා" කිව්වා ගමයා එක පාරටම ඇදගෙන වැටුණා. ඒ මොහොතෙම බර්ටියා වහාම පැනලා ගමයව අල්ලගත්තා බිමට පතබාන්න නොදී. මේකව ට්‍රැක් ‍‍එකෙන් එළියට ඇදගෙන එනකොට අපේ අනිත් එවුනුත් දුවගෙන ඇවිල්ලා. කට්ටිය මුට ප්‍රථමාධාර දීලා ලොක්වෙච්ච පපුව යන්තම් අන්ලොක් කරගත්තා. (ලොක් වෙන්න පපුවක් තිබ්බද කියලත් බර්ටයට ෂුවර් නෑ මොකද ලස්සන ගෑණු ළමයෙක් දැක්කොත් ‍මු පපුව පූජා කරන්නමයි හදන්නේ. ඒ වෙනකොටත් සෑහෙන ගෑණූ ළමයි ගාණනකට මේකා උගේ හෘදය වස්තුව පූජා කරලා තිබ්බා).

ඊට පස්සේ මූව ගිලන් ඇදට දා ගත්තා ප්‍රථමාධාර කා‍මරේට ගෙනියන්න. දැන් මේකා හොදටම කෙදිරි ගානවා. අමාරුව වැඩි වෙනවා ‍මිසක් අඩුවෙන්නේ නෑ. අපිට තේරුණා මේකට ලැජ්ජාව වහගන්න බැරල් එකක් නැති නිසා අමාරුව වැඩිවෙලා කියලා‍. බර්ටියයි කොමනයි ඒ වෙලාවේ ගිලන් ඇඳ උස්සලා ගත්තා. අපි දෙන්නා මූව කෙළින්ම රූම් එකට අරන් යනවා වෙනුවට වටයක් ගහලා ඉස්කෝලේ මැද්දෙන්ම මේකව අරන් ගියා රතු කුරුස කාමරේට. අම්මෝ ඒ යනකොට ලස්සන සුද්ධ සිංහල වචන ගමයාගේ කටින් එළියට පැන්නේ එහෙම නෑ. ඉස්කොලේ සර්ලා මිස්ලත් හිනාවෙනවා මේ නාඩගම දැකලා.

ප්‍රථමාධාර කාමරේට අරන් ගිහිල්ලා මේකව ඇදට පෙරළුවා විතරයි අපේ කවය බාර ජය‍සේකර ගුරුතුමා දුවගෙන ආවා ගමයට මොකද කියලා බලන්න. සරුත් මොකද ගමගේ කියල ඇහුව විතරයි හොද කුණුහරුපයක් එළියට පැන්නා ගමයගේ කටින්. ගමයා හිතුවේ අපේ කව්රු හරි ඒක ඇහුවා කියලා. සර්ටත් හොඳටම හිනා. සර්ටත් වැඩේ තේරිලාද කොහෙද මේකව ඉස්පිරිතාලේ අරන් යන්න කියලා කිව්වා. මට මතක විදිහට වවුලයි පොකයයි තමයි මේකව ඉස්පිරිතාලේ ගෙනිච්චේ. ඉස්පිරිතාලේ ගිහිල්ලා මේකා අගේට ආපහු ආවා කිසිම අවුලක් නැතුව. වවුලා කිව්වා දොස්තර මුට කියපු කතා ටිකත්. ඒත් ඒවා මට මතක නෑ දැන්. මල්ලිලා ටික වතුර ගහන්න බෑග් අරන් එනකොට ගමයා බිම.

කොහොම හරි හැන්දෑ වෙනකොට මේක ඉස්කෝලේ පුරා විිතරයක් නෙමෙයි 231 කිරිඳිවැල ස්කූල් බස් එකටත් පැතිරිලා තිබ්බා. සෑහෙන දවසක් යනකම් ගමයාගේ කටින් හරිම සුන්දර වචන පිටවුනා මේක ගැන. සමහර වේලාවට ඒ වචන හොයා ගෙන ආවේ කොමනව නැත්නම වවුලව එහෙමත් නැත්නම් අහිංසක බර්ටියව. මේක ගමයා ගැන එක කතාවක් විතරයි. තව එන්න තියෙනවා ඉස්සරහට. ඒවත් හෙමින් සැරේ දිග අරින්නම් කෝ එ‍හෙනම් බර්ටියා අදට ගියා.

යාළුවෝ

පහ වසරට එනකම් බර්ටියා ඉස්කෝලේ ගියේ ගම්පහ ඔරුතොට පාරේ තිබ්බ පොඩි ඉස්කෝලෙකට. ඒකේ ගෑනු පිරිමි දෙගොල්ලම ඉගෙන ගත්තා. බර්ටියා ඉස්සෙල්ලාම හිටියේ පිනිබිදු පන්තියේ. මතක විදිහට බර්ටියාට ඉස්සෙල්ලාම ලැබිච්ච යාළුවා වුනේ ආශා. බර්ටියා මුල් කාලේ අහිංසක ළමයා නිසා බර්ටියට යාළුවෝ ගොඩක් හිටියා. ඔය අතරින් පල්ලෙයා, කුෂාන්, සුරාජ්, නිපුණි, කමලනී, විමල්, සුරන්, ධනුෂ්ක මතකයේ රැදිච්ච කට්ටිය. ඔය වගේ නම් ලිස්ට් එකක්ම තියෙනවා කියන්න‍. නොකිව්වා කියලා කවුරුවත් තරහා වෙන එකක් නෑ. මේ අය තාමත් බර්ටියාගේ යාළුවෝ.

පහ වසර ශීෂ්‍යත්ව ෆොටෝ එක

පහ වසර ශිෂ්‍යත්වය අමාරුවෙන් ගොඩදාගෙන ගම්පහ නගරයේ එකම බාලක පාසලට ගියාට පස්සේ පොඩි අමුත්තක් දැනුණා. ඒත් පරණ ඉස්කෝලේ එකට හිටපු එවුන්ගෙන් දෙන්නෙක් මගේ පන්තියේ ඉන්න බව දැක්කම හිතට පොඩි කික් එකක් ආවා. කළින් ඉස්කෝලේ වගේ නෙමෙයි නසරාණි කොල්ලෝ ටිකක් හිටියා අළුත් ඉස්කෝලේ. බර්ටියා ජීවිතේට අහලා තිබ්බේ නැති වචනත් පාවිච්චි කළා සමහර ලමයි නම්. බර්ටියාට ඒවා තනිකරම අළුත් දේවල් වුනා. ඇත්තම කිව්ව‍ොත් ඒ කාලේ බර්ටියා බෝ පැළය වගේ කොල්ලෙක් තමයි. ඇත්තටම බර්ටියා ඒ දවස් වල අහිංසක චරිතයක්. පන්තියේ පාඩුවේ හිටපු බර්ටියට කාගෙන්වත් වැඩිය කරදරයක් වුනේ නෑ.

කළින් ඉස්කොලෙට ගිය පාසල් සේවේ වෑන් ‍‍එකේම තමයි බර්ටියා මේ ඉස්කොලෙටත් අවේ. වෑන් එකේ නම "කසුන්". වෑන් එක එළවපු කසුන් අයියත් බොහොම හොද මනුස්සයෙක්. කොහොමත් බැණ්ඩියමුල්ලෙන් වෑන් එකට නැගලා බෙල් එක ගහන්න විනාඩි 10 ක් විතර තියලා ඉස්කෝලෙට එන එක තමයි බර්ටියා කලේ. ටිකක් පහුවෙන කොට (බර්ටියට මතක විදිහට අට වසරෙදි වගේ) බර්ටියා වෑන් එකේ ගමන පැත්තක තියලා පයින් එන්න පටන් ගත්තා. මොකද ඒ දවස් වල බර්ටියා ස්කොලෙට තරමක් කිට්ටුව තමයි හිටියේ‍.

ඇත්තටම බර්ටියට මේ ඉස්කෝලෙට එනකොට මාස 2ක් විතර පරක්කු වුනා. බර්ටියගේ අම්මා කරපු මොකක්ද ගුලක් නිසා බර්ටියට ඉස්සෙල්ලාම ආවේ ගණේමුල්ලේ ගලහිටියාව පැත්තේ තියෙන මිශ්‍ර පාසලක්. බර්ටියගේ අම්මා බර්ටියව කෝච්චියේ යවන්න අකමැති වුන නිසා ආපසු අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තේ දවස් ගාණක් කාල් ගාල යන්නම් ගම්පහ තියෙන එකම පිරිමි පාසලට බර්ටියව දාගත්තා. බර්ටියා හැමතිස්සෙම හිිතන්නේ මේ ඉස‍්කොලේට එන්න ලැබීම බර්ටියා පූරුවේ කරපු පිනක් කියලා. බර්ටියා ඇවිල්ලා ‍වැටුනේ 6-B පන්තියට. එකේ හිටියා මෙවන් (මේවරයා) සහ ටෙරන්ත (ටෙරා). ටෙරත් බර්ටියා වගේම පහුවෙලා තමයි අවේ. මෙවරයානම් මේ වෙන කොට ගාණට හැදිලා ති‍බ්බා. කට ඇරියොත් කුණුහරුපයක් තමයි එළියට පනින්නේ. කොහොමහරි අපි තුන්දෙනා ඉස්සර විදිහට එකට හිටියා. පන්තියේ එවුන් නම් කිව්වේ අපි තුන්දෙනා සෙට් වුනොත් මිනියක් වුනත් මරයි කියලා. කාලයත් එක්ක පන්ති වෙනස් වුනා. අපි වෙන වෙන පන්ති වලට ගියා. පහු කාලයක දි මගේ හොඳම යාළුවා වෙලා හිටියේ උදාර. කාලයකදි ඒකත් වෙනස් වුනා. පන්ති වෙනස් වෙනවත් එක්ක අළුත් යාළුවොත් ඇති වුනා. ගමයා එහෙම පහුවෙලා සෙට් වෙච්ච එකෙක්.

පහේ කල්ලිය
කොහොම හරි බර්ටියා බර්ටියගේ ඉස්කෝලේ සෞඛ්‍යදාන කවයට බැදුනට පස්සේ අවසානයට ඉතුරු වෙච්ච පහක් හිටියා (බර්ටියත් එක්ක) අපේ අවුරුද්දෙන් (අන්තිම වෙනකොට සෞඛ්‍යදානේ රතු කුරුසේ වෙලා තිබ්බේ). ඔන්න ඔය පස‍්දෙනා එක්ක කරපු පිස්සු වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට නමකුත් වැටිලා තිබ්බේ පහේ කල්ලිය කියලා (නැපෝලියන්ටත් හිටියයි කියනවානේ පහේ කල්ලියක්). අපි සෙට් එක වැඩකට අතගැහුවොත් කොහොම හරි වැඩේ ගොඩදාලා මිසක් නතර වෙන්නේ නෑ.

පහේ කල්ලියේ පොටෝ එකක් තමයි මේ දාලා තියෙන්නේ. මේ පොටෝ එකේ මැදින් ඉන්නේ බර්ටියා. බර්ටිට දකුණු අත පැත්තෙන් ඉන්නේ කොමනා, වමින් ගමයා. ඉස්සරහා වාඩිවෙලා ඉන්නේ වවුලා. ඉතුරු එකා තමයි පොකයා. මේ ටික අදත් බර්ටියත් එක්ක ඉන්නවා.

දැන් නම් කට්ටියව ඉස්සර වගේ එක කොල් එකෙන් ගෙන්න ගන්න බෑ තමයි (කාලය මැව් වෙනසක අරුමේ) ඒත් සොයාගන්න පුළුවන් තැන්වල ඉන්නවා. තව රතු කුරුස කවයේ අපිට බාල මල්ලිලා ටිකක් ළගම හිතවත්තු විදිහට ඉතුරු වුනා. චමීර, ජනිත්, සමීර, අමිල මල්ලී (කොටා), ගනේපොල (මලකඩයා), නාමල්, ගයාන්, කොඩිකාර ඒ අතරින් විශේෂයි.

සාමන්‍ය පෙළ කරන කොට බර්ටියා ක්ලාස් ගියේ ගම්පහ සයන්ස් සෙන්ටර් ඒකට. එතන දි බර්ටියාට පරණ යාළුවෝ කීපදෙනෙක් වගේම අළුත් යාළුවෝ කට්ටියකුත් අදුරගන්න ලැබුණා. බර්ටියා කළින් ගිය ස්කෝලෙට ගිය පතිරාජ, ජීවන්, පල්ලාවල තුන්දෙනාම එහෙට ක්ලාස් ආවා. ඒ එක්කම සමන්, තාරක, අසේල, ගංඟා, චාමරී, පුෂ්පිනී, නයනා කියන අළුත් සෙට් එකත් අදුරගන්න හැකියාව ලැබුණා. කොඩිකාර සර්ටයි චානක සර්ටයි ගොඩාක් පින් ඕ ලෙවල් ගොඩදාලා දුන්නට. චානක සර් නම් අද අපි අතර නෑ. චානක සර් අපිට දුක ඉතුරු කරලා යන්න සදහටම යන්න ගිහිල්ලා.

සයන්ස් සෙන්ටර් සෙට් එක
ඒ ලෙවල් බර්ටියා හිටියේ කෘෂි විද්‍යා පන්තියේ. ඒකේ අපේ පන්තියේ හිටියා මරුම කට්ටියක්. සුපුරුදු පරිද අද වගේම ඒ කාලෙත් බර්ටියා නියෝජනය කළේ පසු පෙළ තමයි. අපි කට්ටිය හිටිය පිටි පස්සේ පේළිටය නමකුත් දාලා තිබ්බා "බ්ලු නගර්" කියලා. (නම දාපු හේතුව පස්සේ වෙලාවක කියන්නම්). පන්තියේ හිටපු සෙට් ඒක අතරින් දොළයා, ප්‍රොපා, ආඳා හෙවත් ලොරියා, දීප්ති, ටෙරා, සිරිපාල, ගංජා පොඩ්ඩේ, හිපා හෙවත් ගර්භනී වගේම අදට අප අතර නැති මේනකවත් ආදරයෙන් මතක් කරනවා. ඒ එක්කම ඒ ලෙවල් ක්ලාස් යද්දි බිස්කට් එකක සීන් එකක් නිසා අදුරගත්ත කිංකිණි නංගිත්, චමරි නංගිත් තාමත් මතකයි.

එක පාරක් විතරක් උසස් පෙළ කරපු බර්ටියා පරිගණක පාඨමාලාවක් හදාරන්න ගියා. ඒ කාලේ පිස්සු කොල්ලො කෙල්ලෝ කට්ටියක් සෙට් වෙලා හිටියා පුංච් බොරුල්ලේ TEI එකේ.මට මතක විදියට රුචිර, අමිල, ඉරෝෂි, ඉනෝකා, චම්පිකා හා ශශිකා තමයි ඔය සෙට් එකේ හිටියේ. තව පමුදිතයි, නයෝමි නංගියි හිටියා. ඒත් ඒ දෙන්නා මඟදී අතුරුදහන් වෙලා ගියා. ඒ කට්ටිය නම් දැන් කොහෙද කියන්නත් දන්නේ නෑ. ඉරෝෂිව විතරක් මුහුණු පොතේ හම්බවෙනවා.

විවෘතය ආවට පස්සේ අළුත් සෙට් එකක් ලැබුණා. එකෙනුත් ඉතිරිවෙලා ඉන්නේ බටයා, මුට්ටියා හා මලිත කියන මිල කරන්න බැරි මිත්‍රයෝ තුන්දෙනා තමයි. ඔය අතර කැළුම්, කැළුම්ගේ නංගි නෙළුම්, ශශී, ධනෝජා, ඔනෝජා, අමාලි, බඩා, වත්තලයා, සලියා, කළු මංජුල, ලකී‍, ගීතික, කිරී, මියුරු, ප්‍රභානි, යෝමේන්ද්‍රා, චමීර, දිසා, ශාමිනී, ලකී, හීරා, සිසිර, ලාංකිකා නංගි, ගාල්ලේ දිමුතු, ප්‍රභු අයියා, ජයසංකඛ අයියා, නිරෝෂන් අයියා, දිල්රුක්ෂි අක්කා, අජිත් අයියා, නේලක වගේ අමතක නොවන චරිිත ටිකකුත් හිටියා. මනෝරි කැම්පස් එකේ මාත් එක්ක හිටපු විශේෂම කෙනෙක්. කැම්පස් එකේ බර්ටියගේ තිබ්බ එකම ආදරේ තමයි මනෝරි. ඒ බර්ටියා අදටත් ආදරේ කරන කෙනා.

ANIS සෙට් එක

බර්ටියා ඉස්සෙල්ලම උගන්නපු ජාත්‍යාන්තර පාසලේ එකේ වැඩ කරපු සුනාලි නංගි, ගංඟා, ජුන්ඩා, නිලන්ති නංගි, චින්තා, ෂශ්නා, අස්මරා, නෂ්රුදා හා මපාසා අමතක නොවෙන චරිත. වැඩ කරන තැන්වලදි හිටපු යාළුව‍ෝ නම් ගොඩාක් තාවකාලිකයි. ඒක ගොඩ දෙනෙක්ට පොදු දෙයක් වෙන්න ඇති. පැය අටක් ඇතුලත වැඩත් එක්ක යාළුවෝ ඇතිකරගන්න වෙලාවක් ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒත් ගණේමුල්ල පැත්තේ බර්ටියා උගන්නපු ජාත්‍යාන්තර පාසලට ඔය කාරණය ආදාල නොවෙන තැනක්.

එතෙන්දි එක‍ේදි බොක්කටම වදින අදහස් අතින් සමාන කට්ටියකුත් සෙට්වෙනවා. එහෙම කටිටිය අතරින් වසන්ත සර් (වසන්ත සර්ව නම් කළින් ඉදන්ම දන්නවා), ශ්‍රීනාත් සර්, ඉන්දිකා ටීචර්, නදීශානී, නසීහා ටීචර් හා කුමාරි ටීචර් ප්‍රධාන තැනක් ගන්නවා. කුමාරි ටීචර් මෑතක් වෙනතුරුම බර්ටියාගේ බොස් වෙලා හිටියා. ඉතාමත් ප්‍රියමනාප බොහොම ලස්සන හිතක් තියෙන කෙනෙක් තමයි කුමාරි ටීචර් කි‍යන්නේ. ඒ ඇරුනහම ශමාලි, සමාධි, නිපුනි, අයේෂා, උපේක්ෂා, සචී, මයුරි, ටානියා, හසලි, චින්තිකා, මධුවන්ති, නෙළුම්, චන්දිකා ටිචර්, සුසිත් සර්, හිමාලි ටිචර්, මෙරායා ටිචර්, තිලක් සර්, නිලන්ත සර්, අනුර සර්, මනෝජා වගේම ප්‍රොෆෙසර් ග්‍රෙග්වත් ආදර‍යෙන් එකතු කරනවා මේ බ්ලොග් සටහනට. තව අමතක වෙච්ච කවුරු හරි ඉන්නවා නම් සමාව දෙනසෙක්වා.

ඔය මදෑ බර්ටියගේ යාළුවෝ ගැන කිව්වා ඇති වගේ. මේ කට්ටිය එක්ක බැදිච්ච කතා මල්ලකුත් තියෙනවා. හෙමින් සැරේ ඒවා එළියට ගන්නම්කෝ. එහෙනම් බර්ටියා අදට ගියා.

දිගහැරුම

     ටික කාලෙක ඉදන් බර්ටියටත් පොඩි කිසි කිසියක් ඇතිවෙලා තිබ්බා      බ්ලොග් එකක් ලියන්න. පහුගිය දවස් වල සයිබර් අවකාශයේ බ්ලොග්      එකක් කියවන කොට තමයි මේ මොන්ගල් අයිඩියා එක අවේ. ඉතින්      තකහනියක්ම බර්ටියගේ බ්ලොග් එක හැදුවා. ඒත් වචනයක් වත්      ලිව්වේ නෑ. වැ‍‍ඩේ ලත් තැනම ලොප්වෙලා ගියා. ඒත් මේ ඊයේ පෙරේදා      අළුතින් ‍බ්ලොග් එකක් කියවන කොට අර යට ගහලා තිව්බ අදහස අළු      ගසලා බසලා දාලා නැගිටලා ආවා. ඉතින් හා පුරා කියලා අදම මේක      ලියන්න තීරණය කලා.

     අඩේ අප්ප‍ා, බර්ටියා ගැන චුච්ටක් ලියන්න අමතක වුන‍ානේ. බර්ටියා      කියන්නේ මගේ Campus (විවෘතයේ) කාඩ් එක. අපේ සීනීයර් බැජ්      එකේ එවුන් තමයි ඕක මට සෙට් කලේ. ඕකේ කිරි කියලා කෑල්ලකුත් තිබ්බා. පහු කාලෙකදි ඒක හැලිලා ගියා. කොහොම හරි කාඩ් එක නැගලා ගිහිල්ලා බර්ටියා Union එකට ඉල්ලන කොට ඡන්ද පොස්ටරේ ගැහුවෙත් බර්ටි දිනවමු කියලා. වැඩි හරියක් එකේ ඉන්න එවුන් සයිබර් අවකාසේ ඉන්න නිසාම බර්ටියා කියන නමින්ම ලියන්න හිතුවා මේ බ්ලොග් එකත්.

බර්ටියා 5 වසරට යනකම් ගියේ ගම්පහ ඔරුතොට පාර පැත්තේ තියෙන පුංචි ඉස්කෝලෙට. පහ වසරේ සිස්සත්තේ (පහේ පන්තියට උගන්නපු ඩොරින් ටීචර්ටයි ධර්මදාස සර්ටයි ගොඩාක් පින්) ගොඩදා ගත්ත නිසා යන්තම් ගම්පහ ටවුමේ තියෙන එකම පිරිමි පාසලට යන්න පුළුවන් වුනා. එහෙදි තමයි සද්ද වහලා හිටපු අහිංසක කොල්ලා වැඩි දියුණු වෙලා අවේ. එකේ හෙණ නසරාණි සෙට් එකක් හිටියට ඒ හැමෝම ඉස්කොලේට ආදරේ් කලේ තමන්ගේ අම්මට වගේ. අද මේ තත්වේ මම ඉන්නේ ‍අපේ ඉස්කෝලේ නිසා බව කතා දෙකක් නෑ. කොහොමටත් අපි හොදට වගේම නරකටත් අංක එකේ හිටියා. ඒක ගැන අපිට ආඩම්බරයකුත් තිබ්බා.

     බර්ටියා කාලයක් විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තා විද්‍යාවේදී      උපාධියට. ඒත් ඒක ඉවරයක් කරගන්න බැරිවුනා බර්ටියා අතර මඟදි      රස්සාවකට ගියාට පස්සේ. දිගටම ඉගෙන ගන්න ලොකු කම්මැලිකමක්      ඇති වුනා. ඒක නිසා උපාධියේ වැඩ කටයුතු අතරමග නතරවුනා. නතර      වුනාටත් වඩා නිවැරදියි නතර කළා කියන එක.

     රස්සා කීපයක් කරලා බර්ටියා අන්තිමට නැවතුනේ ජාත්‍යාන්තර      පාසලක ගුරුවරයෙක් වෙලා. ඒ ගැන බර්ටියාට සැහෙන්න පුදුමයකුත්      තියෙනවා. මොකද කවදාවත් ගුරුවරයෙක් වෙන්න බර්ටියා හිතා      තිබුණේ නැති නිසා. රස්සාවක් නැතුව වේලී වෙලී ඉන්න කාලෙක අපේ      ලකීයා සෙට් කරලා දුන්න රස්සාව මේකය. පටන් ගත්ත කාලේ යහමින්      ඒ දවස් වල කට්ට කාලා බැනුම් අහලා නෝණ්ඩි වෙච්ච බර්ටියා අද ගුරුවරයෙක් විදිහට යම් තැනක ඉන්නවා කියලා බර්ටියගේ ගෝලයෝ සාක්කි. ඒක ඇවිල්ලා ජීවිතයේ ලබන අළුත්ම අත්දැකීමක් වුනා. ඒක ගැන පස්සේ කාලෙක ලියන්නම්.

තව නම් ඉතින් ‍විශේෂ කියලා දෙයක් නෑ ලියන්න. නිදහස් පාඩු වෙලාවක් අල්ලලා විස්තර ලියන්නම් කෝ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.

ටටා එහෙනම්, පස්සේ හම්බවෙමු.

මීට,

බර්ටියා (KB).