ගමයාට පොඩිකාලේ ඉදලම සිනිඳු දෙයක් දැක්කොත් මිරිකන්න පුදුම ආසාවක් තිබ්බා. ඒක හින්දා පුංචි කාලෙම හුණු පැකට් එකක් මිරිකලා ඇහැකට කෙළවගෙනයි හිටියේ. එහෙම වුනා කියලා සිනිදු දේවල් මිරිකන පුරුද්ද ගමයා අතඇරලා තිබ්බේ නෑ. ඒවා ගැන කියන්න ගියොත් එහෙම බර්ටියට හිරේ විලංගුවේ වැටෙන්න වෙන නිසා බර්ටියා ඒවා ගැන කතා කරන්නේ නෑ. ඒ ඇරුණහම ගමයාගේ කට කියන්නෙත් ගම්පහ ඉස්පිරිතාලේ කුණු කාණුව වගේ එකක් තමයි. ඒකෙන් කුණුහරුප දෙපැත්ත කැපෙන වචන පිට නොවුනේ ඒකා නිදාගන්න වෙලාවට කියලා විතරයි බර්ටියා හිතන්නේ.
මේ කියන්න යන මීටර් 1500 කතාව සිද්ද වුනේ බර්ටියගේ ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් වෙලාවේ. එතකොට තිබ්බේ සෞබ්‍යදාන ඒකකය නෙමෙයි රතු කුරුස පාසල් කවය. බර්ටියට මතක නෑ කොයි අවුරුද්දේ වුනාද කියලා. කොහොම හරි මේක වුනේ අපි උසස් පෙළ කරන්න (1997 හෝ 1998) ඉන්න කොට කියලා පොඩි මතකයක් තියෙනවා. ක්‍රීඩා උත්සවය තියෙන දවසට අපිට ස්කෝලේ සියළුම ප්‍රථමාධාර කටයුතු බාරවෙලා තියෙන නිසා අපේ සාමාජිකයන්ගෙන් වැඩිදෙනෙක් ක්‍රීඩා කටයුතුවලට සහභාගී වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. හැබැයි අපිත් පිට්ටනියට බැහැලා දවසම පුහුණවීම් කටයුතු කරනවා ප්‍රථමාධාර කටයුතු සම්බන්දයෙන්. මොකද අපේ ප්‍රථමාධාර කණ්ඩායමට හොද නමක් තිබ්බා ගම්පහින්ම පට්ට වැඩකාරයෝ ටිකක් කියලා. ඔය නම තියාගන්න ඕන නිසාම අපි අම්බානකට මහන්සිවෙලා අපේ පුහුණුවීම් කටයුතු කරනවා.ගොඩක් වෙලාවට පිට්ටනියේ කරන්නේ රෝගීන් ප්‍රවාහනය සම්බන්ධව පුහුණුවීම් තමයි. ප්‍රථමාධාර කණ්ඩායමේ හිටපු ජේෂ්ඨම සාමාජිකයන් හා නිලධාරි මණ්ඩලය විදිහට පහේ කල්ලියට තමයි පුහුණුවීම් බාරව තිබ්බේ. මේ කියන ක්‍රීඩා උත්සවය වෙනුවෙනුත් අපි දැඩිපුහුණුවීම් කටයුතු කළා.
කොහොමහරි මේ කියන නිවාසන්තර ක්‍රීඩා උත්සවය වෙලාවේ ගමයටත් හදිස්සියේම මීටර් 1500 රේස් එක දුවන අදහසක් පහළවෙලා තිබ්බා. බර්ටියට මතක විදිහට ගමයා හිටියේ පරාක්‍රම නිවාසයේ. මේකා හොරෙන්ම නමත් දීලා. අපි කව්රුවත් දැනගෙන හිටියෙත් නෑ මේක ගැන. කොහොමහරි තරගෙට යන්න පැය කීපයකට කලින් තමයි අපි සෙට් එකත් මේක දැනගත්තේ. මේ වගේ තරඟ තියෙනවෙලාවට අපිත් පිට්ටනියේ ඉන්න ඕන. කොයිවෙලාවේ කාට ප්‍රථමාධාර ඕනවේවිද කියන්න දන්නේ නැති නිසා අපිත් අවශ්‍ය කරන බෙහෙත්, වතුර, ගිලන් ඇඳ එහෙම අරගෙන පිට්ටනියට බහිනවා. ඔය අව් අස්සේ ගමයා 1500 දුවනවා කිව්වා විතරයි අපි නිකම් කරකවලා අත ඇරියා වගේ වුනා. මොකද මේච්චර දවසකට අපි දැක්කේ නෑ ගමයා සෙන්ටිමීටර් එකක්වත් දුවලා පුහුණුවීම් කරනවා.ගමයා කොට ෂෝටකුත් ගහලා දුවන්න දාන සපත්තු දෙකකුත් දාලා ජෝකර්ගේ මල්ලිගේ යාළුවෙක් වගේ දෙන්නම් වැඩේ කියලා ලෑස්තිවෙලා ඉන්නවා. ඔය අස්සේ ගමයා වවුලාගෙන් කබඩ් එකේ යතුර ඉල්ලගෙන. ටික වෙලාවකට පස්සේ වවුලා ඇවිල්ලා බලනකොට ගමයා හොරෙන් ග්ලුකෝස් කනවා.
මේක දැකපු වවුලා ඒ පාර සුද්ද සිංහලෙන්ම ගමයව අමතලා.
"මොකද හු...... හොරෙන් ග්ලුකොස් කන්නේ? තොට පිස්සුද? අපේ එකෙක්ට නොදෙන ග්ලුකෝස් වෙන කාට දෙන්නද?"
මීට වඩා හරබර වචන එළියට පැනලා තියෙනවා වවුලාගේ කටෙන් ඒවා මේකේ ලියන්න විදිහක් නෑ මොකද මේක එතකොට අසභ්‍ය ප්‍රකාශයක් වෙන හන්දා. කොහොමහරි ඔයිට ටික වෙලාවකට පස්සේ් කට්ටියම පිට්ටනියට බැස්සා අපේ ප්‍රථමාධාර කටයුතු වලටයි විශේෂයෙන්ම ගමයා දුවනවා බලන්නයි.
දැන් තරඟ පටන් අරන්. 1500 රේස් එකත් පටන් ගන්නත් වෙලාව. වවුලට අන්තිම මොහොතේ මතක් වුනේ යකෝ මූට වතුර එකක් ගහන්නවත් විදිහක් නෑනේ කියලා. ඒකා අපේ පොඩි මල්ලිලා දෙන්නෙක්ට කතා කරනා ගමයාට වතුර ගහන්න ෂොපින් බෑග් ටිකක් ගේන්න කියලා සල්ලි දීලා කොල්ලෝ දෙන්නව ළඟම තියෙන කඩේට ඇරියා. (වවුලා කොහොමත් කොල්ලෝ කඩේ අරින්න දක්ෂයි). බෑග් ගෙනල්ලා වතුර ගහන්නත් වෙලාව තියෙනවා මොකද 1500 රේස් එකට වට 15 විතර දුවන නිසා. දැන් ඔක්කොම ලෑස්තියි අපේ කටිටියත් පිට්ටනියේ තැන් තැන් වල ඩියුටි දාලා. මමත් තරඟ ආරම්භ කරන තැනට මීටර් 25 ක් විතර ඉස්සරහින් තවත් රතු කුරුසේ මල්ලිලා කීපදෙනෙකුත් එක්ක රාජකාරී කටයුතු වලට ලෑස්තිවෙලා හිටියා. අනික ඩියුටි කෙසේ වෙතත් ගමයා දුවනවා බලන්න එපායැ.
ඔන්න රේස් එක පටන් ගත්තා. ගමයා පළවෙනි වටය සාර්ථක ලෙස අවසන් කළා. දෙවෙනි වටය පටන් අරන් බර්ටියා ඉන්න හරියට ආවා විතරයි "මචං මගේ පපුව ලොක් වෙනවා" කිව්වා ගමයා එක පාරටම ඇදගෙන වැටුණා. ඒ මොහොතෙම බර්ටියා වහාම පැනලා ගමයව අල්ලගත්තා බිමට පතබාන්න නොදී. මේකව ට්‍රැක් එකෙන් එළියට ඇදගෙන එනකොට අපේ අනිත් එවුනුත් දුවගෙන ඇවිල්ලා. කට්ටිය මුට ප්‍රථමාධාර දීලා ලොක්වෙච්ච පපුව යන්තම් අන්ලොක් කරගත්තා. (ලොක් වෙන්න පපුවක් තිබ්බද කියලත් බර්ටයට ෂුවර් නෑ මොකද ලස්සන ගෑණු ළමයෙක් දැක්කොත් මු පපුව පූජා කරන්නමයි හදන්නේ. ඒ වෙනකොටත් සෑහෙන ගෑණූ ළමයි ගාණනකට මේකා උගේ හෘදය වස්තුව පූජා කරලා තිබ්බා).ඊට පස්සේ මූව ගිලන් ඇදට දා ගත්තා ප්‍රථමාධාර කාමරේට ගෙනියන්න. දැන් මේකා හොදටම කෙදිරි ගානවා. අමාරුව වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නෑ. අපිට තේරුණා මේකට ලැජ්ජාව වහගන්න බැරල් එකක් නැති නිසා අමාරුව වැඩිවෙලා කියලා. බර්ටියයි කොමනයි ඒ වෙලාවේ ගිලන් ඇඳ උස්සලා ගත්තා. අපි දෙන්නා මූව කෙළින්ම රූම් එකට අරන් යනවා වෙනුවට වටයක් ගහලා ඉස්කෝලේ මැද්දෙන්ම මේකව අරන් ගියා රතු කුරුස කාමරේට. අම්මෝ ඒ යනකොට ලස්සන සුද්ධ සිංහල වචන ගමයාගේ කටින් එළියට පැන්නේ එහෙම නෑ. ඉස්කොලේ සර්ලා මිස්ලත් හිනාවෙනවා මේ නාඩගම දැකලා.
ප්‍රථමාධාර කාමරේට අරන් ගිහිල්ලා මේකව ඇදට පෙරළුවා විතරයි අපේ කවය බාර ජයසේකර ගුරුතුමා දුවගෙන ආවා ගමයට මොකද කියලා බලන්න. සරුත් මොකද ගමගේ කියල ඇහුව විතරයි හොද කුණුහරුපයක් එළියට පැන්නා ගමයගේ කටින්. ගමයා හිතුවේ අපේ කව්රු හරි ඒක ඇහුවා කියලා. සර්ටත් හොඳටම හිනා. සර්ටත් වැඩේ තේරිලාද කොහෙද මේකව ඉස්පිරිතාලේ අරන් යන්න කියලා කිව්වා. මට මතක විදිහට වවුලයි පොකයයි තමයි මේකව ඉස්පිරිතාලේ ගෙනිච්චේ. ඉස්පිරිතාලේ ගිහිල්ලා මේකා අගේට ආපහු ආවා කිසිම අවුලක් නැතුව. වවුලා කිව්වා දොස්තර මුට කියපු කතා ටිකත්. ඒත් ඒවා මට මතක නෑ දැන්. මල්ලිලා ටික වතුර ගහන්න බෑග් අරන් එනකොට ගමයා බිම.
කොහොම හරි හැන්දෑ වෙනකොට මේක ඉස්කෝලේ පුරා විිතරයක් නෙමෙයි 231 කිරිඳිවැල ස්කූල් බස් එකටත් පැතිරිලා තිබ්බා. සෑහෙන දවසක් යනකම් ගමයාගේ කටින් හරිම සුන්දර වචන පිටවුනා මේක ගැන. සමහර වේලාවට ඒ වචන හොයා ගෙන ආවේ කොමනව නැත්නම වවුලව එහෙමත් නැත්නම් අහිංසක බර්ටියව. මේක ගමයා ගැන එක කතාවක් විතරයි. තව එන්න තියෙනවා ඉස්සරහට. ඒවත් හෙමින් සැරේ දිග අරින්නම් කෝ එහෙනම් බර්ටියා අදට ගියා.
No comments:
Post a Comment