සිරවුණු සුසුම් . . . . . . !

විදී සරණ ළදුන් නැතිනම් ගණිකාවන් දෙස බොහෝ දෙනා බලන්නේ වපර ඇසකින්. ඒත් ඔවුන් බොහොමයක් මේ තත්වයට පත්වීම පිටුපස දුක්මුසු වු කතා පුවතක් දැකිය හැක. බොහොමයක් තම එදා වේල සරි කරගැනීමටත් දුවා දරුවන්ට සිප් සතර කරවීමටත් ලොව පළමු වෘත්තිය ලෙස සැලකෙන මෙය යොදා ගනී. මෙය නම්බුකාරකමට මෙන්ම විනෝදය උදෙසා කරනා ගැහැණුන්ද නැතිවම නොවේ. කෙසේ නමුත් මේ ඔවුන් ගැන කම්පිත ඇසකින් දකින්නට දැරූ උත්සාහයක්,


රතු හැට්ටෙන් වැසුණු ළමැදේ
නෙරා ආ පුන් පියයුරු
දුටුව පිරිමින් මුසපත් කළ රාගය
අඳුරු කුටියක රමණයෙන්
කෙළවර වන අප්‍රමාණ රාත්‍රීන්
නැගෙන කෙදිරිලි හඩ
පරයා නිහඩ බව රාත්‍රියේ

කිසිවෙකුත් දුටුවේද
තැවරුණු වත්සුණු පොදින් සැඟවු වේදනාවන්
කිසිවෙකුට ඇසුණේද
ළමැදේ සිරවුණු සෝ සුසුම් හඩ
කිසිවෙකුට හැගේවිද
රාගයෙන් ඔබ්බට ප්‍රේමයක්
___________________________________________________________________
KB 2020.08.24

බුදු පියාණෙනි . . . . . .

මෝහයේ අඳුරු පට බිද දමා
තුන් ලොවම සඳහම් එළියෙන් ඒකාලෝක කළ
මහා උත්තම පුරුෂයා ඔබයි
බුදු සමිදුණි


ඉමක් නොදැක සසර කතර අතරමන්ව
මෝහයෙන් මුලාව සිටි සතුනට යා යුතු මඟ හෙළිකළ
මහා මුණිවරයාද ඔබමයි
නිදුකාණෙනි

සසර ගින්නෙන් දැවෙනා සියළු ප්‍රාණීන්ගේ
දුක් ගිනි නිවීමට
මේ ධරණි තලය මත ඇද හැළුණු
අමා වැස්සද ඔබයි
මාගේ බුදු පියාණෙනි

කල්පාන්තයක් සසර කතර එක්ව තරණය කළ
යසෝදරාව පමණක් නොව රාහුල පුතුද හැරපියා
සියලු ලෝ සතුන් උදෙසා විමුක්තිය සොයා ගිය
මහා පරිත්‍යාගශීලියා ද ඔබයි
තිලොවග පියාණෙනි

හදේ පිබිදෙන දහසක් සියපත්
තබා මුණි පාමුල බැතින්
දොහොත් මුදුන් තබා නමදිමි
මාගේ සම්බුදු පියාණෙනි
___________________________________________________________________
KB 2020.05.17

සංගණනය

කට්ටියට මතක ඇති 2001 අවුරුද්දෙදි ලංකාවේ ජන හා නිවාස සංගණනයක් තිබ්බා. ඕක තියෙන දවස්වල බර්ටියා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. දවසක් කැම්පස් එකේ නෝටිස් එකක් ගහලා තිබ්බා සංගණනයේ වැඩ වලට තාවකාලික සංගණන නිලධාරීන් බදවා ගන්නවා කියලා. ඒ කරන වැඩ වලට ගාණකුත් දෙනවා කියලා තමයි ඒ නෝටිස් එකේ තිබ්බේ. කීයක් හරි හොයාගන්න වැඩක් නිසා බර්ටියා, බටයා, බඩා, කැලුමා ඇතුළු අපේ සෙට් එකත් ඔය කියන දවසේ ඔය කියන රැස්වීමට සහභාගී වුනා.

බර්ටියට මතක විදිහට මේ රැස්වීම තිබ්බේ යුනියන් එකේ. ඕකට සංගණන දෙපාර්තුමේන්තුවෙන් නිලධාරින් කීප දෙනෙක් ඇවිල්ලා අපිව දැනුවත් කලා. සංගණන නිලධාරීන් විදිහට බදවා ගන්න කට්ටියට වගකීම් කීපයක්ම පැවරෙනවා. පළවෙනි රාජකාරිය සංගණන දිනයට කලින් තමන්ට අයිති ප්‍රදේශයේ ගෙයින් ගෙට ගිහිල්ලා තොරතුරු එකතු කරගන්න තියෙනවා. ඒ වැඩේට දෙනවා තඩි පොතක්. දෙවෙනි රාජකාරිය සංගණන දිනය දවසේ තමන්ට බාර ප්‍රදේශයේ කට්ටිය ගණන් කරන එක. ඊළගට පුරවපු තොරතුරු ටික එකතු කරලා සාරාංශයක් හදන්න ඕන. එකට වෙනම පත්‍රිකාවක් දෙනවා පුරවන්න. අන්තිමට පොතේ තියෙන ගණනුයි පත්‍රිකාවේ දාන එකතුවයි සමාන වෙන්න ඕන. ඔය වැඩ ටික කරනවට බර්ටියට මතක විදිහට රුපියල් 3000 ගාණක් ගෙවුවා. ආබාධිත කවුරු හරි ඉන්නවා නම් එක වෙනම කොළයක සටහන් කරගන්න ඕන. ඒක ආබාධිත පුද්ගලයෙකුට රුපියල් 5 ක් වෙනම ගෙවුවා.

අපිත් ඉතින් ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න මිනිස්සුනේ. මේක කියක් හරි හොයාගන්න හොද චාන්ස් එකක් නිසා අපිත් මේකට සෙට් වුනා. ඒ අස්සේ අපිට ආතල් එකක් ගන්නත් පුළුවන්නේ. ඒ මදිවට වැඩ ඔක්කොම ඉවරවුනාට පස්සේ සහතිකයකුත් දෙනවා කිව්වා. සංගණනය දවසේ කන්න බොන්නත් දෙනවා. අපිට ඔය මදෑ. කොහොමත් විවෘතයේ 30 විතර මේ වැඩේට සෙට්වුනා. ඒ හැමෝම වගේ අපි දන්න කියන කට්ටිය. ඉතින් අපිට ඔය පොත පුරවන්න ඕන කරන විස්තරත් කියලා දීලා, අපේ විස්තර අඩංගු පොඩි ඉල්ලුම් පත්තරයක් වගේ එකකුත් පුරවලා දෙන්න වුනා.

දවස් කීපයකට පස්සේ අපිට අදාල පොත් පත්‍රිකා තියෙන බෑග් එකක් සංගණන ඔෆිස් එකෙන් එවලා තිබ්බා. එකේ බර්ටියා කලින් කිවුව තඩි පොතයි අයිඩෙන්ටි කාඩ් එකක් වගේ එකකුයි තව සංගණය වැඩ වලට ඕන කරන පත්‍රිකා වගයකුයි තිබ්බා. අපි හැමෝටම කණ්ඩායම් නායකයෙක් හිටියා. එයා හරහා තමයි ඕවා බෙදලා දුන්නේ. බර්ටියට මතක විදිහට බර්ටියා හිටපු කණ්ඩායමේ නායකයා වෙලා හිටියේ මහේෂ් අයියා. ඊළඟට අදාල ප්‍රදේශත් වෙන්කරලා දුන්නා. සෙල්ලම් නැතිවෙන්න බර්ටියාගේ කෑල්ලේ ගෙවල් 101 තිබ්බා. අපි ඔක්කොටොම තිබ්බේ නාරාහේන්පිට ඇල්විටිගල තට්ටු නිවාස අවට ප්‍රදේශය තමයි. කොහොම හරි බර්ටියට තමයි වැඩිම ගෙවල් ගාණක් අයිතිවෙලා තිබ්බේ. එකෙත් හැටි කියපන්කෝ.

අර දීපු පොතේ මහ විස්තර ගොඩක් පුරවන්න තිබ්බා සංගණන දවසට කලින්. ඒක ඇවිල්ලා සති දෙකක විතර වැඩක්. ගෙදරක ඉන්න එක්කෙනෙකුට එක තීරුවක් වෙන්වෙලා තිබ්බා ඒ කෙනාගේ විස්තර පුරවන්න. නම, ගම, වයස, රස්සාව ආදී වශයෙන්. ඊළගට ගෙවල් වල විස්තර. ගෙවල් හදලා තියෙන්නේ මොනවා වලින්නද, වහලෙට හෙවිල්ලලා තියෙන්නේ මොනවද, වැසිකිළි තියෙනවද, ගෙදර තමන්ටම අයිතිද නැත්නම් කුළියටද ඉන්නේ වගේ දාහක් විතර විස්තර තිබ්බා පුරවන්න. කොහොම හරි ඔය වැඩේට යන්න වෙලාවක් හදාගන්න බර්ටියාට සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික පුහුණුවටත් පොල්ලක් තියන්න වුනා. අන්තිම අම්බානකට බැනුම් අහලා තමයි බර්ටියාට අන්තිම ප්‍රැක්ටිකල් ගෲප් එකට යන්න වුනේ.

ඔන්න ඉතින් අපි කට්ටිය සංගණන වැඩ පටන් ගත්තා. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලම වැඩේට බැහැලා හිටියා. කෙල්ලෝ ටික වැඩේට යන වෙලාවට අපෙන් කවුරු හරි කෙල්ලොත් එක්ක ගියා. කොහොමත් අපිට බාර ප්‍රදේශ ටික එක කිට්ටුව තිබ්බේ. ඉතින් අපි ගොඩක් වෙලාවට තව කවුරු එක්ක හරි තමයි වැඩේට බැස්සේ.

බර්ටියට තිබ්බේ නාරාහේන්පිට පැත්ත. ඒක ඇත්තටම දිවියලෝකෙයි අපායයි සාමාන්‍ය ලෝකයයි කියන තුනම අතර වගේ සීන් එකක්. එක පැත්තක තිබ්බා ඇල්විටිගල මහල් නිවාස වල කෑල්ලක්. නාරාහේන්පිට තියෙන ගොල්ෆ් ක්ලබ් එක පිටිපස්සේ තියෙන මුඩුක්කු නිවාස වගේම ඉහල පෙළේ ධනවත්තු (රටේ ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් මේ අතර හිටියා) ඉන්න හරියකුත් බර්ටියගේ ඒරියල් එකට අයිති වුනා. හැබයි මේ මුඩුක්කු නිවාස අස්සේ ගියාට අපේ කිසිම කෙනෙක්ට වචනෙකින් හරි කරදරයක් සිද්ධවුනේ නෑ. ඒ මිනිස්සු අර හිටිය මහා ධනපතියන්ට වඩා බොහොම ඉහලයි.

බර්ටියා තොරතුරු ගන්න වැඩේට වැඩිපුරම සෙට්වුනේ ගීතිකයා එක්ක. ඊට අමතරව බටයා, බඩා, ජොනා එක්කත් තොරතුරු ගන්න ගියා. අවසාන දවසේ ඇරෙන්න තනියම ගිය වෙලාවක් ඇත්තෙම නෑ මතක විදිහට. අපි වැඩ පටන් ගත්තේ නාරාහේන්පිට තිබ්බ පොඩි පැල්පත් ගෙවල් වලින්. බොහොම අඩු ආදායම් සහිත පවුල් විශාල ගාණක් ඒ අතර ජීවත් වුනා. ඒ මිනිස්සුන්ට හරිම කුතුහලයක් තිබ්බා මේ වැඩේ ගැන. සමහරු හොදටම බය වෙලා තිබ්බා මේ තොරතුරු එකතු කරගන්නේ ඒ මිනිස්සුන්ගේ ගෙවල් කඩන්නයි කියලා. අපිට ඉතින් ඒ මිනිස්සුන්ට විස්තර කරලා දෙන්න වුනා සංගණනය කියන්නේ මොකක්ද කියලා.

හැම ගෙදරකම ආයතනකම ඇතුල්වෙන තැන රතු පාට කොළයක් අලවලා තිබ්බා නොම්බරයකුත් එක්ක. ඒක ඊට මාස කීපයකට කලින් ග්‍රාම සේවා නිලධාරියා ඇවිල්ලා අලවපු එකක්. අපිට දීලා තිබ්බා සිතියමේ ඒ නම්බරේ පාවිච්චි කරලා එ කොටසට අදාල ඔක්කොම ගෙවල් ලකුණු කරලා තියෙනවා. ඒ නොම්බරේ තමයි අපි අපේ තොරතුරු ගන්න පොතට ඇතුලත් කරන්න ඕන.

ඒක දවසක් බඩත් එක්ක බර්ටියා ගියා ජොනාගේ එරියා එකේ ගෙදරකට. ඒ ගෙදර හිටියේ බර්ගර් මනුස්සයෙක්. ඒ මනුස්සයට සිංහල කතා කරන්න විතරයි පුළුවන්. කියවන්න බෑ. අපේ අයිඩෙන්ටි කාඩ් එකේ ඉදලා හැමදෙයක්ම සිංහලෙන්. මාර අවුල. පොර බනිනවා බනිනවා ආණ්ඩුවට කිසිම දෙයක් ඉංශ්‍රීසියෙන් නෑ කියලා. අපි ඉතින් මොනවා කරන්නද?

බඩාගේ ඒරියා එකේ තමයි පෝසත්ම මිනිස්සු ටික හිටියේ. ලංකාවේ ප්‍රසිද්ධම රත්තරන් බඩු ව්‍යාපාරිකයෙක්, ප්‍රසිද්ධ අකුරු හතරක ෆොටෝ එහෙම ප්‍රේම් කරන පොරක් එහෙම හිටියා. දෙයියනේ කියලා ඒ එක ගෙදරකින්වත් අපිට වතුර වීදුරුවක් වත් හම්බවුනේ නෑ. ඔන්න ඒ මිනිස්සුන්ගේ හැටි. අර එදා වේල හොයාගන්න බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න මිනිස්සු තේ එකකින්, බිස්කට් එකකින් සංග්‍රහ කරන්න අමතක කලේ නෑ අපිට. සමහරු දුවලා ගිහිල්ලා ළග තිබ්බ පෙට්ටි කඩෙකින් බීම බොතලක් අරගෙන එනවා. ඒ මිනිස්සු හරිම සන්තෝසෙන් ඒ දේවල් කලේ. අන්න ඒ වෙලාවට තමයි අපිට හරියටම තේරුනේ කවුද ඇති මිනිස්සු කියලා. සල්ලි බාගේ අතේ නැතත් ඒ මිනිස්සුන්ට හොද හදවතක් තිබ්බා. අර සල්ලි තියෙන මිනිස්සන්ට එහොම හදවත් තිබ්බේ නෑ.

ගොඩක් තරුණ ළමයි අර ගොල්ෆ් පිට්ටනියේ රස්සාවට යනවා. කැඩි වැඩේ කරලා කීයක් හරි හොයාගන්න. ඒ අතර මත් ද්‍රව්‍ය එක්ක දියවෙලා යන ජීවිතත් තිබ්බා. අපි යන අස්සේ වලිත් තිබිච්ච වෙලාවලුත් තිබ්බා. ඒ මරාගන්න අස්සෙත් කවුරු හරි කෙනෙක් ආවා අපිට පරෙස්සමට එක්කගෙන යන්න වලිය අස්සෙන්.

සංගණනය දවසේ සංගණන කටයුතු කරන්න තිබ්බේ රෑ. අපිව වාහනේකින් ගෙනල්ලා දැම්මා අදාල ප්‍රදේශවලට. අපිට එකතු වෙන්න තිබ්බේ නාරාහේන්පිට තිබ්බ ජල සංවර්ධන මණ්ඩලේ (මතක විදිහට) කාර්යාලකට. අපිට 8.30 එතනට එන්න කියලා තිබ්බා කෑම ගන්න. එදා තමයි අපිට තනි තනියම යන්න තිබ්බ දවස. බර්ටියත් හෙමින් සැරේ ගෙයින් ගෙට යමින් තම රාජකාරි කටයුත්ත කරගෙන යන්න පටන් ගත්තා. බොහොමයක් ගෙවල් වලින් තේ එකක් බීම විදුරුවක් දෙන්න හැදුවත් එදා නැවතිලා ඉදලා ඒවා බොන්න වෙලාවක් තිබ්බේ නෑ. අපිට හැකි ඉක්මනට වැඩේ ඉවර කරන්න කියලා උපදෙස් ලැබිලා තිබ්බේ. බර්ටියා වැඩෙන් බාගයක් ඉවර කරලා 8.30 අපේ තාවකාලික කාර්යාලයට ගියා රෑ කෑම ගන්න. ඒ වෙනකොටත් වැඩ ඉවර කරපු ගීතිකයා එතනට ඇවිල්ලා හිටියා. අපි රෑට කාලා ගීතිකයත් එක්කම ඉතුරු වැඩ කරන්න බර්ටියා පිටත් වුනා.කොහොම හරි වටේ ගහලා අලුතින් හදපු ප්ලැට් එකටත් ගිහිල්ලා වැඩ ටික ඉවර කරන්න ඔන්න මෙන්න තිබ්බේ.

තව ගෙවල් 5 විතර තමයි බර්ටියට ඉතුරු වෙලා තිබ්බේ. අන්තිම එක තිබ්බේ බිල්ඩිමක් හදන පොට් එකක්. එතනට ගිහිල්ලා සිකුරිටියගේ විස්තර ටික දාගෙන වෙන කවුද ඉන්නේ කියලා ඇහුවහම මේකා කියපි බිල්ඩින් එක හදන්න ආපු බාස්ලයි ගෝලයොයි දහයක් විතර ඉන්නවා කියලා. කෙලියා නේද තාප්පෙටම. මුන් සෙට් එකේ මූලික විස්තරත් පුරවන්න එපායෑ දැන්. අත ඇරලා බොරු කරන්නත් බෑ. සෙකුරිටියා එක්කම ගිහිල්ලා ඒ සෙට් එකට කතා කරලා විස්තර ටික අරගත්තා. පැය බාගයක් විතර ගියා ඒ වැඩේට. හරියටම එකොලොස් දෙනෙක් හිටියා. සෙක්කත් එක්ක දොළහයි. ඔය අස්සේ කරන්ට් එකත් ගියා. ඔය හරියේ විස්තර පිරෙව්වේ කුප්පි ලාම්පු එළියෙන්. අපේ කෙල්ලෝ කිවුවේ කරන්ට් ගිය වෙලාවේ ඒ මිනිස්සු කුප්පි ලාම්පුව හරි ටෝච් එක හරි අරන් එයාලව එක ගෙදරකින් තවත් ගෙදරකට එක්කන් ගියා කියලා.

ඔන්න යන්තම් ඒ වැඩේ ඉවර කරලා අපේ ඔෆිස් එකට එනකොට ඔෆිස් එක ගෙනිහිල්ලා වෙන තැනකට. වාහනයක් ඇවිල්ලා තිබ්බා අපිව එතනට ගෙනියන්න. අපේ ඉතුරු සෙට් එකතු එනකම් ඉදලා අර වාහනේ නැගලා අපි ගියා නාරාහේන්පිට තිබ්බ ඉස්කෝලෙකට ඉතුරු වැඩ ටික ඉවර කරන්න. එතනට පානුයි තේයි ගෙනල්ලා තිබ්බා. පාන් කාලා තේත් බීලා අපි සමරිය හදන්න පටන්න ගත්තා. ඒක පට්ට ආතල්. අපිට පුරවන්න තිබ්බ සාරාංශ සටහනයි පොතේ තියෙන විස්තර වලිනුයි එන එකතුව සමාන වෙන්නේ නෑ කියහල්ලකෝ. අපේ එවුන් ඉතින් ඕක සමාන කරන්න සමහරුන්ව මරලා දැම්මා, සමහරුන්ව රට ඇරියා වගේ දේවල් කලා ඉතින්. බර්ටියත් තුන් සැරයක් ට්‍රයි කරලා යන්තම් කාවවත් මරන්නේ රට අරින්නේ නැතුව හරියටම බර්ටියගේ වැඩේ ඉවර කලා.

ඊට පස්සේ අනිත් එවුන්ගේ වැඩවලටත් උදව්වක් දීලා බංකුවක් උඩට වෙලා නින්දක් දැම්මා. පහුවදා උදේ අපිට ට්‍රාන්ස්පොර්ට් හම්බවුනා කැම්පස් එකට. එතනින් මූණ කට හොදගෙන් කැන්ටිමෙන් පාන් බාගෙකුත් කාලා බර්ටියා ගෙදර එන්න ආවා. ඊට සතියකට විතර පස්සේ අපිට සල්ලි හබ්බවුනා. රුපියල් තුන්දාස් හාරසිය ගාණක්. එකෙන් බර්ටියා අතේ බදින ඔර්ලෝසුවක් අරන් ඉතුරු ටික බැංකුවට දැම්මා අලුතින් එකවුන්ට් එකක් ඇරලා.

මොනවා වුනත් ඒ තමන්ට අයිති නැති ඉඩම් කෑල්ලක ලෑලි වලින් යන්තම් ගේ කෑල්ලක් අටවගෙන ඉන්න ඒ මිනිස්සුන්ගේ හදවත් හරිම පොහොසත් කියලා බර්ටියා ඇතුළු අපේ කට්ටිය තේරුණා ඒ සති දෙකක් වගේ කාලෙට. අනිත් අය නම් හරිම දුප්පත් ඕන කරන හැමදේම තිබ්බත්. අදටත් ඒ දේ එහෙමම වෙන්න ඇති කියලා බර්ටියා හිතනවා.

KB 2020.08.03

බේබදු කතා 03

මෑතක ඉදලා බර්ටියා චැට් ගෲප් එකකට සෙට් වෙලා ඉන්නවා. මේ ගෲප් එකේ ඉන්නේ බර්ටියත් එක්ක එක වසරේ ඉදන් පහ වසරට යනකම් හිටපු සෙට් එක. එක පන්තියක සෙට් එකක් නෙමෙයි පන්ති පහක විතර කට්ටිය. මේ චැට් ගෲප් එක ඇවිල්ලා හිරු නොබසින චැට් ගෲප් එකක්, මොකද ඒකට ලෝකේ පුරාම රටවල් වලින් කට්ටිය එකතු වෙන හන්දා. කොයිවෙලාවේ බැලුවත් කවුරු හරි එකෙක් ඉන්නවා. පහුගිය දවසක දවාලක අපි චැට් එකක් දාගෙන පොඩි පහේ මඩක් එහෙම අනුමත කරගෙන ඉන්නකොට බේබදු කතා වගයක් එළියට ආවා. ඒ වෙලාවේ තමයි බර්ටියට තේරුනේ මිනිස්සු බිවුවහම කොච්චර පිස්සු කෙළිනවද කියලා. මේවායින් එකක් දෙකක් හැර අනිත් ඔක්කොම වගේ බර්ටියාගේ ආදරණීය මිතුරන්ගේ අත්දැකීම්.

පළවෙනි කතා සෙට් එක කිව්වේ අපේ ආදරණීය ඩොකී, රිද්මිකා නැත්නම් රිද්. එයාලා ගාවට ආපු ලෙඩෙක්ට ඒ වාට්ටුවේ දොස්තරලා මෙහෙම කියලා. දොස්තරලා කිවුවට අපේ එකී තමයි කියලා තියෙන්නේ.

රිද්: අංකල්, හෙට උදේම ඇවිල්ලා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙන්න ඕන. රෑ දහයෙන් පස්සේ කිසිම දෙයක් කන්න බොන්න එපා. අපි උදේම ඔයාව ඔපරේශන් එකට ගන්නවා.

ලෙඩා: හොදයි දොස්තර නෝනා.

මෙහෙම කියලා ගිය ලෙඩා පහුවදා උදේ ආවහම ඉන්න හිටින්න බැරි වෙන්න අරක්කු ගඳයිලු. අරක්කු කිවුවට කසියා ඉතින්. අපේ රිද් පොඩි එකා ඉතින්. ඕවා දන්නේ නෑ.

රිද්: අංකල්, අපි ඔයාට මුකුත් කන්න බොන්න එපා කිවුවා නේද? උදේ පාන්දරම බිව්වා නේද?

ලෙඩා: අනේ දොස්තර නෝනා. හොද සිහියෙන් ඉඳන් ඔපරේශන් එකකට මූන දෙන්න බයයි. ඒක නිසා පොඩි ශොට් එකක් දාලා ආවා ඉතින්. නෝනලටත් ලේසියිනේ. කොහොමත් ඔයාලා සිහි නැති කරනවා කිව්වානේ.

බය නැතිවයි ඉතින්. කපන්න කොටන්නනේ යන්නේ. ලෙඩත් අපේ රිද්ගේ හැටි දැනගෙනමද කොහොද පොඩි ෂොට් එකක් දාලා ඇවිල්ලා. ඉතින් කොහෙද ඔපරේෂන් කරන්නේ?

දවසක් රිද්මිකා එයාගේ මහත්තයා නාලකත් එක්ක නාලකගේ ඉස්කෝලේ සුහද හමුවීමකට ගිහිල්ලා. අපි ඔය ගෙට් ටු ගෙදර් කියන්නේ අන්න එහෙම එකකට. ඒකට ආව නාලකගේ යාළුවෙක්ට හොදටම වැඩිවෙලා. පොර ඇවිල්ලා නාලකට රිද්මිකාව අදුන්වලා දෙනවලු. පොර රිද්මිකාව පෙන්නලා නාලකට මෙහෙම කියනවලු.

යාළුවා: නාලක, " මචං මේ සයන්ස් කරන්න අපේ ඉස්කෝලෙට ආව ගර්ල් කෙනෙක් "

අපේ එවුන් දෙන්නට මැරෙන්න හිනා. රිද්මිකා ඒ ලෙවල් කරන කාලේ හීනෙන් විතරලු රත්නපුරේ පැත්තෙ ගිහිල්ලා තිබ්බේ.

එක සැරයක් ගම්පහ ඉස්පිරිතාලේ වැඩ කරන කොට ඩොකාලගෙ පාටියක් තිබිලා තියෙනවා වෙට් වෝටර් එකේ. බීලා වැඩිවෙලා වයර් මාරු වෙච්ච එක ඩොකෙක්, පොර ආපු වාහනෙත් හොටේල් එකේම තියලා පයින්ම පිටත්වෙලා ගම්පහට යන්න රෑ ජාමේ. කරුමෙට පොර හැරිලා තියෙන්නේ ගම්පහ පැත්තට නෙවෙයි ජා ඇල පැත්තට. රෑ දෙකට තුනට පොරගෙ වයිෆ් අනිත් උන්ට කෝල් කරලා පාටිය ඉවරද බලන්න. ඔන්න ඒ වෙලාවේ තමයි කට්ටිය කලබල වෙලා පොරව හොයන්න පටන් අරන් තියෙන්නේ. කට්ටිය හැමතැනම හොයලා ඒකල කිට්ටුවෙදි පොරව යන්තම් හොයාගෙන ආපහු ගෙදර ගෙනල්ලා දාලා තිබ්බාලු.

දවසක් පේශන්ට් කෙනෙක් ආවලු අතපයත් තුවාල කරගෙන. පොර ආපු වෙලාවේ ඉදලා හෝ ගාලා බනිනවලු ටෙලිකොම් එකට. උන්ගෙ ප්ලෑනින් හොද නෑ ලු. පාර මැදට කනු හිටවලා කියලා. අපේ එකිත් කට ඇරන් අහන් ඉන්නවා ඉතින්. පස්සෙ තමයි මීටර් වෙලා තියෙන්නේ මිනිහා බීලා ඉඳලා පාර අයිනක තියෙන ටෙලිෆොන් කණුවක වාහනේ හැප්පගෙන කියලා. ඒකයි මේ අබ්බානකට ටෙලිකොම් එකට බනින්නේ.

ඔය වගේ සීන් කෝන් එකක් අපේ බටයත් සිද්ධ වුනා. ඔව් ඔව් අර ග්‍රවුන්ඩ් එකේ දුවපු එකා තමයි. දවස් උදේම බර්ටියාට කෝල් එකක් ආවා බටයගේ පරණ ගෑණු ළමයගෙන් බටයා හැප්පිලා කියලා. ඒ පාර බර්ටියා මුට්ටියටත් කෝල් එකක් දීලා ඒකත් එක්කම දෙල්ගොඩ බටයගේ ගෙදර ගියා මේකා මැරිලද කියලා බලන්න. අපි දෙන්නා යනකොට මේකා ඉන්නවා ඔළුවත් අත ගලා අම්මගෙනුත් බැනුම් අහ අහා. අපි දෙන්නත් බැලුව මොකද වෙලා තියෙන්නේ කියලා. අම්මට කියන්න බැරි ඇත්ත අපිට කියනවනේ. කළින් දවසේ රෑ පාටියක ඉදලා එනකොට එක පාරටම ලයිට් කණුවක් පාර මැද්දට ආවලු. බලනකොට මේකට වැඩිවෙලා. ඒ මදිවට නිදි මතත් එක්ක, ඩ්‍රයිව් කරන් ඇවිල්ලා පාරක අයිනක තිබ්බ ටෙලිකොම් එකේ කණුවක ඇනලා. අපි බලන කොට වින්ඩ් ස්ක්‍රීන් එකෙත් මේකාගේ ඔලුව වැදිලා. ඒ මදිවට තොලත් කට ඇතුලින් පැලිලා. ඊට පස්සේ යන්තම් ටෙලිකොම් එකට අලාබෙත් ගෙවලා තොලත් දොස්තරකෙනෙකුට පෙන්නලා මැහුම් පහක්ද කොහෙද දා ගත්තා. ලයිට් කණු වුනත් රෑට ඇවිදින්න යන එක වැරදියි ඉතින්.

මේ කතාව බර්ටියට කිවුවේ අපේ චණ්ඩියා වන බෝම්බ රංගා. රංගාගේ මහත්තයා දවසක් යාලුවො එක්ක සෙට් වෙලා. රෑ කාර් එකක් තනියම ඩ්‍රයිවු කරගෙන ගෙදරට ඇවිල්ලා කිසිම අවුලක් නැතුව. මෙන්න යකෝ කාර් එක පිටිපස්සෙන් දෙන්නෙක් එනවලු බයික් එකක රංගගේ මහත්තයව බස්සන්න කියලා. හොඳටම වෙරි ඒ ඩබලටම . අන්තිමට ආයෙත් රංගගේ මහත්තයා ගිහිල්ලා ඒ දෙන්නව ඇරලවලා ඇවිල්ලා . ඔන්න බිව්වම වෙන දේවල්.

මේ කතා දෙකක් කිව්වේ රංගම වෙන්න ඕන. බර්ටියට හරියටම මතක නෑ. එක සැරයක් රංගගේ මහත්තයගෙ යාලුවෙක් හොඳටම බීලා කාර් එකේ යනකොට පොලිසිය නවත්තලා අහලා “ඔහොමද පාරෙ යන්නෙ?” කියලා . මූ ගත් කටටම කියලා “මෙච්චර ගානක් දීල වාහනයක් ගත්තේ මට ඕන විදියට පාරෙ යන්න” කියලා . “ආ ඇත්තද මහත්තයෝ” කියපු පොලිස් බුවා පොරව අරන් ගිහින් පොලිසිය ට. එතන පැමිණිලි ලියා ගන්න හදනකොටම පොත “හෝක්” ගාලා පැමිණිලි ලියන පොත උඩම වමනෙ දාලා . ඊට පස්සෙ ඉතින් වෙරි බහිනකම් කූඩුවේ ඉදලා දඩත් ගෙවලා තමයි පොර ඇවිල්ලා තියෙන්නේ.

මේ කතාව කියලා තියෙන්නේ රංගගේ කසින් කෙනෙක්. එයා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ කුරුණෑගල බොහොම ප්‍රසිද්ධ ඉස්කෝලෙකට . එයාලගෙ තිබිලා බැජ් පාර්ටි එකක් ඔස්ට්‍රේලියාවේ. ඉතිං කට්ටියම සෙට් වෙලා ඉන්න වෙලාවෙ, එක්කෙනෙක් ඇවිත් ප්‍රසිද්ධ කැබ් සේවාවකින් ගත්ත කාර් එකක. මොකද බීලා ඩ්‍රයිවු කරන්න බැරි නිසා. කරුමේ කියන්නේ කැබ් සේවාවේ කාර් එක අරන් ආපු එකත් ලංකාවේ එක්කෙනෙක් ලු. ඉතිං එයා අහලා මොකද්ද පාර්ටි එක කියලා. බලන්කොට පොරත් ඒ ඉස්කෝලෙම එකෙක්. මිනිහා වෙන හයර් යන එක පැත්තකින් තියලා එහෙමම පාර්ටියට සෙට් වෙලා. අන්තිමට රංගගේ මල්ලි එයාගෙ වාහනෙන් ඩ්‍රයිවර්වයි ඒකේ ආව එකයි දෙන්නවම ගෙදර ගිහින් දාලා.

අපේ රෑ තාරකාව මාලික තමයි මේ කතාව බර්ටියට කිවුවේ. හැබැයි මේක ඇවිල්ලා ත්‍රයි ලෝක විජය පත්‍ර නිසා වේචච දෙයක්. මාලිකයගේ යාළුවෙක් මේ ලගදි දවසක්ජොයින්ට් එකක් ගහලා කෙලින්ම හදට තමයි ගොඩ බැහැලා තියෙන්නේ. හඳට ගිහිල්ලා ගෙදර යන්න හදද්දී ගෙදරට යන පාර අමතක වෙලා කියහන්කෝ. වෙලාවත් රෑ එකට විතර ඇති. පස්සෙ ඌ වයිෆ් ට කෝල් කරලා අහලා “මම ඉන්නෙ කිරිබත්ගොඩ හන්දියේ. මෙතන ඉදන් කොහොමද ගෙදර එන්නෙ?” කියලා. වයිෆ් නිදා ගෙන ඉදලා තියෙන්නෙ. මල පැනපු වයිෆ් “මනුස්සයයෝ බිව්වනම් මෝඩ විහිලු කරන්නෙ නැතුව ගෙදර එනවා” කියලා අම්බානකට බැනලා ෆෝන් එක තියලා. ඒ පාර මූ ආයෙ කෝල් එකක් අරගෙන ඇත්ත විස්තරය කියලා. ඔන්න ඒ පාර තමයි වයිෆ් පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා පාර කියලා තියෙන්නේ. මු ඉතින් වයිෆ් පාර කියනවා අහගෙන ඒ විදිහට ගෙදර ඇවිත්. ඔන්න වැඩේ.

මේ ළගදි දවසක අපේ චැට් ගෲප් එකේ ලංකාවේ ඉන්න ටික සෙට් වුනා බොරලැස්ගමුව පැත්තෙදි. එදා අපේ පතියත් කරටි කැඩෙන්න ගහලා කරේ තියාගෙන තමයි එන්න වුනේ. හරියට නිකම් වේලෙන්න දාපු ගොරකා පැදුරක් වගේ. කෙලින් කරනවා ඇදගෙන වැඩෙනවා. කෙට්ටුවට හිටියට කටු ටික හරිම බරයි. අපිත් හොදටම බීලා හිටපු නිසා අපිටත් හරියට උස්ස ගන්න බෑ ඒකව. බොහොම අමාරුවෙන් එළියට අරන් ආවට පස්සේ එතන හිටපු කොල්ලෙක් ඒකව උස්සගෙන ඇවිල්ලා යන්තම් කාර් එකට දාගත්තා. අන්තිම ඒකව ගෙදර දාන්න ගිහිල්ලා පතියගේ අම්මගෙයි නංගිගෙයි දොසා රෝපණයටත් මූණ දෙන්න වුනා. ඔන්න අපිට හම්බවෙන ආතල්. ඔහොම වුනා කියලා බර්ටියාවත් පතියාවත් බොන එක නැවැත්තුවද? කොහොත්ම නෑ. අපි එහෙම නරක වැඩ කරන කට්ටියක් නෙවෙයිනේ ඉතින්. ඊට පස්සේ සතියෙත් අපි ආයෙමත් සෙට් වුනා ඉතින්. ‍

අපේ පල්ලේත් කිවුවා ඒ ලෙවල් කරන දවස් වල උගේ පන්තියෙත් හිටියලු ගංජා ගහන පොරක්. පොරට දවසක් ගන්ජා පාර ගහලා ටීවී එකේ රිමෝට් එක අරගෙන ඒක ඔබනවලු ඔබනවලු සිවිලින් ෆෑන් එක ඔෆ් කරන්න. ඔය මදෑ ඒ කතා. හැම දෙයක්ම මද පමණින් ගන්න ඕන කියන්නේ ඕක හින්දා තමයි.

KB 2020.07.26

රජෙකු වෙයන් නුඹ

තම දරුවන් රජුන් වනු දැකීම සෑම මවකගේම පියෙකුගේම බලාපොරොත්තුවයි. එනුමුදු ඒ තනන රජුන් කෙතරම් යහපත් කෙනෙක් වෙනවාද යන කරුණට තීරණාත්මක සාධකය වන්නේද දෙමව්පියන්මය.


ළපටි මුවඟ පිරි හරසරුල් රදවා
කිරි සිහින දකින් පුංචි පුතේ මගේ
රජෙකු වෙයන් නුඹ ......
දුකින් පිරි ජීවිත තලා පාගා දමන්නට නොව
රදවන්නට සිනහවක් ඒ ඇස් වලට
හදවතින් නැගෙන වේදනාවන්ටත්
දොර ගලා යන දුක් ගංඟාවලටත්
මහ මෙරක් ලෙසින් දැඩි නොවී
සුමුදු මල් පෙත්තක් වෙයන් නුඹ
දුක් කම්කටොලින් පීඩිත වු ජීවිත
තවත් තලන්නට නොව
මුදවා එයින් සුවපත් කරනට
හැකි රජෙකු වෙයන් නුඹ සැමදා
රට කරවන දිනන
___________________________________________________________________
KB 2017.09.12