සංගණනය

කට්ටියට මතක ඇති 2001 අවුරුද්දෙදි ලංකාවේ ජන හා නිවාස සංගණනයක් තිබ්බා. ඕක තියෙන දවස්වල බර්ටියා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. දවසක් කැම්පස් එකේ නෝටිස් එකක් ගහලා තිබ්බා සංගණනයේ වැඩ වලට තාවකාලික සංගණන නිලධාරීන් බදවා ගන්නවා කියලා. ඒ කරන වැඩ වලට ගාණකුත් දෙනවා කියලා තමයි ඒ නෝටිස් එකේ තිබ්බේ. කීයක් හරි හොයාගන්න වැඩක් නිසා බර්ටියා, බටයා, බඩා, කැලුමා ඇතුළු අපේ සෙට් එකත් ඔය කියන දවසේ ඔය කියන රැස්වීමට සහභාගී වුනා.

බර්ටියට මතක විදිහට මේ රැස්වීම තිබ්බේ යුනියන් එකේ. ඕකට සංගණන දෙපාර්තුමේන්තුවෙන් නිලධාරින් කීප දෙනෙක් ඇවිල්ලා අපිව දැනුවත් කලා. සංගණන නිලධාරීන් විදිහට බදවා ගන්න කට්ටියට වගකීම් කීපයක්ම පැවරෙනවා. පළවෙනි රාජකාරිය සංගණන දිනයට කලින් තමන්ට අයිති ප්‍රදේශයේ ගෙයින් ගෙට ගිහිල්ලා තොරතුරු එකතු කරගන්න තියෙනවා. ඒ වැඩේට දෙනවා තඩි පොතක්. දෙවෙනි රාජකාරිය සංගණන දිනය දවසේ තමන්ට බාර ප්‍රදේශයේ කට්ටිය ගණන් කරන එක. ඊළගට පුරවපු තොරතුරු ටික එකතු කරලා සාරාංශයක් හදන්න ඕන. එකට වෙනම පත්‍රිකාවක් දෙනවා පුරවන්න. අන්තිමට පොතේ තියෙන ගණනුයි පත්‍රිකාවේ දාන එකතුවයි සමාන වෙන්න ඕන. ඔය වැඩ ටික කරනවට බර්ටියට මතක විදිහට රුපියල් 3000 ගාණක් ගෙවුවා. ආබාධිත කවුරු හරි ඉන්නවා නම් එක වෙනම කොළයක සටහන් කරගන්න ඕන. ඒක ආබාධිත පුද්ගලයෙකුට රුපියල් 5 ක් වෙනම ගෙවුවා.

අපිත් ඉතින් ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න මිනිස්සුනේ. මේක කියක් හරි හොයාගන්න හොද චාන්ස් එකක් නිසා අපිත් මේකට සෙට් වුනා. ඒ අස්සේ අපිට ආතල් එකක් ගන්නත් පුළුවන්නේ. ඒ මදිවට වැඩ ඔක්කොම ඉවරවුනාට පස්සේ සහතිකයකුත් දෙනවා කිව්වා. සංගණනය දවසේ කන්න බොන්නත් දෙනවා. අපිට ඔය මදෑ. කොහොමත් විවෘතයේ 30 විතර මේ වැඩේට සෙට්වුනා. ඒ හැමෝම වගේ අපි දන්න කියන කට්ටිය. ඉතින් අපිට ඔය පොත පුරවන්න ඕන කරන විස්තරත් කියලා දීලා, අපේ විස්තර අඩංගු පොඩි ඉල්ලුම් පත්තරයක් වගේ එකකුත් පුරවලා දෙන්න වුනා.

දවස් කීපයකට පස්සේ අපිට අදාල පොත් පත්‍රිකා තියෙන බෑග් එකක් සංගණන ඔෆිස් එකෙන් එවලා තිබ්බා. එකේ බර්ටියා කලින් කිවුව තඩි පොතයි අයිඩෙන්ටි කාඩ් එකක් වගේ එකකුයි තව සංගණය වැඩ වලට ඕන කරන පත්‍රිකා වගයකුයි තිබ්බා. අපි හැමෝටම කණ්ඩායම් නායකයෙක් හිටියා. එයා හරහා තමයි ඕවා බෙදලා දුන්නේ. බර්ටියට මතක විදිහට බර්ටියා හිටපු කණ්ඩායමේ නායකයා වෙලා හිටියේ මහේෂ් අයියා. ඊළඟට අදාල ප්‍රදේශත් වෙන්කරලා දුන්නා. සෙල්ලම් නැතිවෙන්න බර්ටියාගේ කෑල්ලේ ගෙවල් 101 තිබ්බා. අපි ඔක්කොටොම තිබ්බේ නාරාහේන්පිට ඇල්විටිගල තට්ටු නිවාස අවට ප්‍රදේශය තමයි. කොහොම හරි බර්ටියට තමයි වැඩිම ගෙවල් ගාණක් අයිතිවෙලා තිබ්බේ. එකෙත් හැටි කියපන්කෝ.

අර දීපු පොතේ මහ විස්තර ගොඩක් පුරවන්න තිබ්බා සංගණන දවසට කලින්. ඒක ඇවිල්ලා සති දෙකක විතර වැඩක්. ගෙදරක ඉන්න එක්කෙනෙකුට එක තීරුවක් වෙන්වෙලා තිබ්බා ඒ කෙනාගේ විස්තර පුරවන්න. නම, ගම, වයස, රස්සාව ආදී වශයෙන්. ඊළගට ගෙවල් වල විස්තර. ගෙවල් හදලා තියෙන්නේ මොනවා වලින්නද, වහලෙට හෙවිල්ලලා තියෙන්නේ මොනවද, වැසිකිළි තියෙනවද, ගෙදර තමන්ටම අයිතිද නැත්නම් කුළියටද ඉන්නේ වගේ දාහක් විතර විස්තර තිබ්බා පුරවන්න. කොහොම හරි ඔය වැඩේට යන්න වෙලාවක් හදාගන්න බර්ටියාට සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික පුහුණුවටත් පොල්ලක් තියන්න වුනා. අන්තිම අම්බානකට බැනුම් අහලා තමයි බර්ටියාට අන්තිම ප්‍රැක්ටිකල් ගෲප් එකට යන්න වුනේ.

ඔන්න ඉතින් අපි කට්ටිය සංගණන වැඩ පටන් ගත්තා. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලම වැඩේට බැහැලා හිටියා. කෙල්ලෝ ටික වැඩේට යන වෙලාවට අපෙන් කවුරු හරි කෙල්ලොත් එක්ක ගියා. කොහොමත් අපිට බාර ප්‍රදේශ ටික එක කිට්ටුව තිබ්බේ. ඉතින් අපි ගොඩක් වෙලාවට තව කවුරු එක්ක හරි තමයි වැඩේට බැස්සේ.

බර්ටියට තිබ්බේ නාරාහේන්පිට පැත්ත. ඒක ඇත්තටම දිවියලෝකෙයි අපායයි සාමාන්‍ය ලෝකයයි කියන තුනම අතර වගේ සීන් එකක්. එක පැත්තක තිබ්බා ඇල්විටිගල මහල් නිවාස වල කෑල්ලක්. නාරාහේන්පිට තියෙන ගොල්ෆ් ක්ලබ් එක පිටිපස්සේ තියෙන මුඩුක්කු නිවාස වගේම ඉහල පෙළේ ධනවත්තු (රටේ ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් මේ අතර හිටියා) ඉන්න හරියකුත් බර්ටියගේ ඒරියල් එකට අයිති වුනා. හැබයි මේ මුඩුක්කු නිවාස අස්සේ ගියාට අපේ කිසිම කෙනෙක්ට වචනෙකින් හරි කරදරයක් සිද්ධවුනේ නෑ. ඒ මිනිස්සු අර හිටිය මහා ධනපතියන්ට වඩා බොහොම ඉහලයි.

බර්ටියා තොරතුරු ගන්න වැඩේට වැඩිපුරම සෙට්වුනේ ගීතිකයා එක්ක. ඊට අමතරව බටයා, බඩා, ජොනා එක්කත් තොරතුරු ගන්න ගියා. අවසාන දවසේ ඇරෙන්න තනියම ගිය වෙලාවක් ඇත්තෙම නෑ මතක විදිහට. අපි වැඩ පටන් ගත්තේ නාරාහේන්පිට තිබ්බ පොඩි පැල්පත් ගෙවල් වලින්. බොහොම අඩු ආදායම් සහිත පවුල් විශාල ගාණක් ඒ අතර ජීවත් වුනා. ඒ මිනිස්සුන්ට හරිම කුතුහලයක් තිබ්බා මේ වැඩේ ගැන. සමහරු හොදටම බය වෙලා තිබ්බා මේ තොරතුරු එකතු කරගන්නේ ඒ මිනිස්සුන්ගේ ගෙවල් කඩන්නයි කියලා. අපිට ඉතින් ඒ මිනිස්සුන්ට විස්තර කරලා දෙන්න වුනා සංගණනය කියන්නේ මොකක්ද කියලා.

හැම ගෙදරකම ආයතනකම ඇතුල්වෙන තැන රතු පාට කොළයක් අලවලා තිබ්බා නොම්බරයකුත් එක්ක. ඒක ඊට මාස කීපයකට කලින් ග්‍රාම සේවා නිලධාරියා ඇවිල්ලා අලවපු එකක්. අපිට දීලා තිබ්බා සිතියමේ ඒ නම්බරේ පාවිච්චි කරලා එ කොටසට අදාල ඔක්කොම ගෙවල් ලකුණු කරලා තියෙනවා. ඒ නොම්බරේ තමයි අපි අපේ තොරතුරු ගන්න පොතට ඇතුලත් කරන්න ඕන.

ඒක දවසක් බඩත් එක්ක බර්ටියා ගියා ජොනාගේ එරියා එකේ ගෙදරකට. ඒ ගෙදර හිටියේ බර්ගර් මනුස්සයෙක්. ඒ මනුස්සයට සිංහල කතා කරන්න විතරයි පුළුවන්. කියවන්න බෑ. අපේ අයිඩෙන්ටි කාඩ් එකේ ඉදලා හැමදෙයක්ම සිංහලෙන්. මාර අවුල. පොර බනිනවා බනිනවා ආණ්ඩුවට කිසිම දෙයක් ඉංශ්‍රීසියෙන් නෑ කියලා. අපි ඉතින් මොනවා කරන්නද?

බඩාගේ ඒරියා එකේ තමයි පෝසත්ම මිනිස්සු ටික හිටියේ. ලංකාවේ ප්‍රසිද්ධම රත්තරන් බඩු ව්‍යාපාරිකයෙක්, ප්‍රසිද්ධ අකුරු හතරක ෆොටෝ එහෙම ප්‍රේම් කරන පොරක් එහෙම හිටියා. දෙයියනේ කියලා ඒ එක ගෙදරකින්වත් අපිට වතුර වීදුරුවක් වත් හම්බවුනේ නෑ. ඔන්න ඒ මිනිස්සුන්ගේ හැටි. අර එදා වේල හොයාගන්න බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න මිනිස්සු තේ එකකින්, බිස්කට් එකකින් සංග්‍රහ කරන්න අමතක කලේ නෑ අපිට. සමහරු දුවලා ගිහිල්ලා ළග තිබ්බ පෙට්ටි කඩෙකින් බීම බොතලක් අරගෙන එනවා. ඒ මිනිස්සු හරිම සන්තෝසෙන් ඒ දේවල් කලේ. අන්න ඒ වෙලාවට තමයි අපිට හරියටම තේරුනේ කවුද ඇති මිනිස්සු කියලා. සල්ලි බාගේ අතේ නැතත් ඒ මිනිස්සුන්ට හොද හදවතක් තිබ්බා. අර සල්ලි තියෙන මිනිස්සන්ට එහොම හදවත් තිබ්බේ නෑ.

ගොඩක් තරුණ ළමයි අර ගොල්ෆ් පිට්ටනියේ රස්සාවට යනවා. කැඩි වැඩේ කරලා කීයක් හරි හොයාගන්න. ඒ අතර මත් ද්‍රව්‍ය එක්ක දියවෙලා යන ජීවිතත් තිබ්බා. අපි යන අස්සේ වලිත් තිබිච්ච වෙලාවලුත් තිබ්බා. ඒ මරාගන්න අස්සෙත් කවුරු හරි කෙනෙක් ආවා අපිට පරෙස්සමට එක්කගෙන යන්න වලිය අස්සෙන්.

සංගණනය දවසේ සංගණන කටයුතු කරන්න තිබ්බේ රෑ. අපිව වාහනේකින් ගෙනල්ලා දැම්මා අදාල ප්‍රදේශවලට. අපිට එකතු වෙන්න තිබ්බේ නාරාහේන්පිට තිබ්බ ජල සංවර්ධන මණ්ඩලේ (මතක විදිහට) කාර්යාලකට. අපිට 8.30 එතනට එන්න කියලා තිබ්බා කෑම ගන්න. එදා තමයි අපිට තනි තනියම යන්න තිබ්බ දවස. බර්ටියත් හෙමින් සැරේ ගෙයින් ගෙට යමින් තම රාජකාරි කටයුත්ත කරගෙන යන්න පටන් ගත්තා. බොහොමයක් ගෙවල් වලින් තේ එකක් බීම විදුරුවක් දෙන්න හැදුවත් එදා නැවතිලා ඉදලා ඒවා බොන්න වෙලාවක් තිබ්බේ නෑ. අපිට හැකි ඉක්මනට වැඩේ ඉවර කරන්න කියලා උපදෙස් ලැබිලා තිබ්බේ. බර්ටියා වැඩෙන් බාගයක් ඉවර කරලා 8.30 අපේ තාවකාලික කාර්යාලයට ගියා රෑ කෑම ගන්න. ඒ වෙනකොටත් වැඩ ඉවර කරපු ගීතිකයා එතනට ඇවිල්ලා හිටියා. අපි රෑට කාලා ගීතිකයත් එක්කම ඉතුරු වැඩ කරන්න බර්ටියා පිටත් වුනා.කොහොම හරි වටේ ගහලා අලුතින් හදපු ප්ලැට් එකටත් ගිහිල්ලා වැඩ ටික ඉවර කරන්න ඔන්න මෙන්න තිබ්බේ.

තව ගෙවල් 5 විතර තමයි බර්ටියට ඉතුරු වෙලා තිබ්බේ. අන්තිම එක තිබ්බේ බිල්ඩිමක් හදන පොට් එකක්. එතනට ගිහිල්ලා සිකුරිටියගේ විස්තර ටික දාගෙන වෙන කවුද ඉන්නේ කියලා ඇහුවහම මේකා කියපි බිල්ඩින් එක හදන්න ආපු බාස්ලයි ගෝලයොයි දහයක් විතර ඉන්නවා කියලා. කෙලියා නේද තාප්පෙටම. මුන් සෙට් එකේ මූලික විස්තරත් පුරවන්න එපායෑ දැන්. අත ඇරලා බොරු කරන්නත් බෑ. සෙකුරිටියා එක්කම ගිහිල්ලා ඒ සෙට් එකට කතා කරලා විස්තර ටික අරගත්තා. පැය බාගයක් විතර ගියා ඒ වැඩේට. හරියටම එකොලොස් දෙනෙක් හිටියා. සෙක්කත් එක්ක දොළහයි. ඔය අස්සේ කරන්ට් එකත් ගියා. ඔය හරියේ විස්තර පිරෙව්වේ කුප්පි ලාම්පු එළියෙන්. අපේ කෙල්ලෝ කිවුවේ කරන්ට් ගිය වෙලාවේ ඒ මිනිස්සු කුප්පි ලාම්පුව හරි ටෝච් එක හරි අරන් එයාලව එක ගෙදරකින් තවත් ගෙදරකට එක්කන් ගියා කියලා.

ඔන්න යන්තම් ඒ වැඩේ ඉවර කරලා අපේ ඔෆිස් එකට එනකොට ඔෆිස් එක ගෙනිහිල්ලා වෙන තැනකට. වාහනයක් ඇවිල්ලා තිබ්බා අපිව එතනට ගෙනියන්න. අපේ ඉතුරු සෙට් එකතු එනකම් ඉදලා අර වාහනේ නැගලා අපි ගියා නාරාහේන්පිට තිබ්බ ඉස්කෝලෙකට ඉතුරු වැඩ ටික ඉවර කරන්න. එතනට පානුයි තේයි ගෙනල්ලා තිබ්බා. පාන් කාලා තේත් බීලා අපි සමරිය හදන්න පටන්න ගත්තා. ඒක පට්ට ආතල්. අපිට පුරවන්න තිබ්බ සාරාංශ සටහනයි පොතේ තියෙන විස්තර වලිනුයි එන එකතුව සමාන වෙන්නේ නෑ කියහල්ලකෝ. අපේ එවුන් ඉතින් ඕක සමාන කරන්න සමහරුන්ව මරලා දැම්මා, සමහරුන්ව රට ඇරියා වගේ දේවල් කලා ඉතින්. බර්ටියත් තුන් සැරයක් ට්‍රයි කරලා යන්තම් කාවවත් මරන්නේ රට අරින්නේ නැතුව හරියටම බර්ටියගේ වැඩේ ඉවර කලා.

ඊට පස්සේ අනිත් එවුන්ගේ වැඩවලටත් උදව්වක් දීලා බංකුවක් උඩට වෙලා නින්දක් දැම්මා. පහුවදා උදේ අපිට ට්‍රාන්ස්පොර්ට් හම්බවුනා කැම්පස් එකට. එතනින් මූණ කට හොදගෙන් කැන්ටිමෙන් පාන් බාගෙකුත් කාලා බර්ටියා ගෙදර එන්න ආවා. ඊට සතියකට විතර පස්සේ අපිට සල්ලි හබ්බවුනා. රුපියල් තුන්දාස් හාරසිය ගාණක්. එකෙන් බර්ටියා අතේ බදින ඔර්ලෝසුවක් අරන් ඉතුරු ටික බැංකුවට දැම්මා අලුතින් එකවුන්ට් එකක් ඇරලා.

මොනවා වුනත් ඒ තමන්ට අයිති නැති ඉඩම් කෑල්ලක ලෑලි වලින් යන්තම් ගේ කෑල්ලක් අටවගෙන ඉන්න ඒ මිනිස්සුන්ගේ හදවත් හරිම පොහොසත් කියලා බර්ටියා ඇතුළු අපේ කට්ටිය තේරුණා ඒ සති දෙකක් වගේ කාලෙට. අනිත් අය නම් හරිම දුප්පත් ඕන කරන හැමදේම තිබ්බත්. අදටත් ඒ දේ එහෙමම වෙන්න ඇති කියලා බර්ටියා හිතනවා.

KB 2020.08.03

No comments: