පත්තරේ

බර්ටියා ඉස්කෝලේ යන කාලේ වැඩිය ඉන්ටර්නෙට් තිබුනේ නෑනේ. ඉතින් අපි අහවල් දේ ගැන දැනුම දියුණු කරගන්න පාව්ච්චි කලේ මුද්‍රිත මාධ්‍ය තමයි. දැන් නම් ඒවා හොයාගන්නවත් නෑ බර්ටියා දන්න තරමට. අපි ඉතින් බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කරගෙන මේවා අරගෙන බොහොම රහසිගත උපක්‍රම පාවිච්චි කරලා ඕවා එකිනෙකා අතර බෙදා හැරියා. ඉස්කොලේ ගෙනිහිල්ලා මාරු කරගන්න එක තමයි අමාරුම වැඩේ වුනේ. එක පාරටම ගෙට්ටුව ගාවදි බෑග් චෙක් කරන වැඩ සටහන් එහෙම තිබ්බා. ඕවායින් බේරිලා බොහොම අමාරුවෙන් තමයි මේ දැනුම දියුණු කරගන්න කාරණා ඉෂ්ඨ සිද්ධ කරගන්න පුළුවන් වුනේ.

බර්ටියා ඉස්සෙල්ලාම මේ පත්තරයක් බැලුවේ බර්ටියා ගණන් වලට ගිය ක්ලාස් එකේදී. බර්ටියට මතක විදිහට සමනද කොහෙද පත්තර පිටු කීපයක් උස්සගෙන ඇවිල්ලා තිබ්බා. ඕක අපේ සෙට් එකේම අතින් අතට මාරුවුනා.

ඒ දවස් වල ඒ කියන්නේ 96 දි විතර ගම්පහ ස්ටේෂන් එක ඉස්සරහා පත්තර විකුණණ කඩයක් තිබ්බා. ඒකේ ඔය නොයකුත් විදියේ අධ්‍යාපනික ප්‍රකාශන තිබ්බා. සීදේවි, නවරස වගේ ඒවා ඒ අතර තිබ්බා කියලා බර්ටියට තාමත් මතකයි.

ඔය අස්සේ ප්‍රියාදරී කියලා එකකුත් ආවා. එකෙන් නම් බොහොම පහළ මට්ටමේ අධ්‍යාපනයක් තමයි ලබා දුන්නේ. ඕක ආවේ 98 විතර. අපි AL කරනවා. අපේ පන්තියේ පිටිපස්සේ පොලිමේ සෙට් එක (බර්ටියා ඇතුලුව) රුපියල් පහ පහ දාලා තමයි ඔය පත්තරේ ගත්තේ. දීප්තියා තමයි පත්තරේ ගේන්නේ. අවසානයට එන්නේ බර්ටියට. බර්ටියා ඕක බලලා පත්තරේ ගිනි තියලා දාන එක තමයි කරන්නේ. අහුවුනොත් එහෙම එම්බාම් නැතිවම බර්ටියව එම්බාම් කරනවා බර්ටියගේ අම්මා.

ගම්පහ පත්තර කඩෙන් බර්ටියා පත්තරයක් ගන්න යන්නේ කල්යල් බලලා. ළඟ පාත ඉදලා කඩේ ගාව කවුරුවත් නැති වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ මදිවට පත්තර කඩේ අයියා ඉන්න වෙලාවක් වෙන්නත් ඕන. අක්කා හිටියොත් ඉල්ලන්න ලැජ්ජයි. ඔහොම පෙරුම් පුරලා වෙලාවක් ආපු ගමන් ටක් ගාලා පැනලා සල්ලි දික්කරන ගමන් අරක දෙන්න කියලා පත්තරේ පෙන්නනවා මිසක් නම් කියලා ඉල්ලන්නේ නෑ. පත්තරේ ලැබුණ ගමන් තුනට හතරට නවලා කලිසමේ සාක්කුවේ දාගන්නවා. ආයේ ගෙදරට යන්කම් එළිය දකින්න හම්බවෙන්නේ නෑ පත්තරේට. එක දවසක් බර්ටියා පත්තරයක් ගන්න යන්නකොට අලුත් පත්තරයක් තියෙනවා පත්තර ලෑල්ලේ. බර්ටියට එකේ නම නම් මතක නෑ. අම්මට හුඩු මේක හොද අලුත් එකක් වෙන්න ඇති කියලා හිතාගෙන අරක දෙන්න කියලා සුපුරුදු විදිහටම පෙන්නවා. කඩේ එකත් වචනයක් නොකියා පත්තරේ දෙනවා. බර්ටියත් ඕක දඩ බඩස් ගාලා නවලා කලිසමේ සාක්කුවේ දාගෙන ගෙදර ගිහිල්ලා ඕක හංගලා, වැඩ කටයුතු ඉවරවෙලා අනිත් අය නිදාගත්තහම පත්තරේ ගත්තා නිදහසේ කියවලා බලන්න.

පත්තරේ අතට අරන් දිග ඇරලා බැලුවහම බර්ටියට හික් ගෑවුනා. ඒක ඇවිල්ලා සංගීතය ගැන තියෙන පත්තරයක්. පත්තරේ පුරහම ස්වර ප්‍රස්තාරයි එක එක සින්දුයි මියුසික් කරන අය ගැන විස්තරයි තමයි තිබ්බේ. බර්ටියාට ආපු ආතල් එක කියලා වැඩක් නෑ. ඔච්චර කොමාන්ඩෝ ගේමක් දීලා ගත්තට වැඩේ හබක්.

මේවා ඉස්කෝලේ ගෙනියන්නේ බර්ටියා මේස් එක අස්සේ ගහගෙන. ඒ කාලේ අපි දිග කලිසමනේ ඇන්දේ ඒක හින්දා අවුලක් නැතුව වැඩේ කරන්න පුළුවන් වුනා. මේස් එක අස්සේ පත්තරේ ගහගෙන උඩ හරයට වෙන්න රබර් පටියක් දානවා. එතකොට මේස් එක පාත්වෙන්නේත් නෑ. පත්තරේ එළියට එන්නෙත් නෑ. පත්තරේ ගෙනියන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ එක අතුරුදහන්වෙලා යනවා. පත්තර පිටුවක්වත් දකින්න ලැබෙන්නේ නෑ. බර්ටියා බොහොම කලාතුරකින් තමයි මේ පත්තරයක් ඉස්කෝලේ ගෙනිච්චේ. සාමාන්‍යයෙන් බර්ටියා පත්තරේ කියවලා ඉවර වෙච්ච ගමන් ගිනි දෙයියන්ට පූජා කරලා දානවා බහිරව පූජාවක් විදිහට. පොරත් පත්තරේ බලලා යමක් ඉගෙන ගන්නේ නැතෑ ඉතින්. බර්ටියාගේ ඇදේ මෙට්ටෙට යටින් තඩි කාර්පට් එකක් ඇදේ ගානට නවලා දාලා තිබ්බා. ඔයා කාපට් එක අස්සේ තමයි බර්ටියා පත්තර ගෙනාවහම හංගන්නේ. ඒක කවුරුවත් කිසිම වෙලාවක ඇදලා බලන්නේ නැති නිසා ඒක බොහොම ආරක්ෂිත ස්ථානයක්.

දවසක් බර්ටියා අධ්‍යාපන (සීදේවි එකක්) ප්‍රකාශනයක් ගෙනල්ලා කාර්පට් එක අස්සේ හංගලා සෙල්ලම් කරන්න ගියා. එදා බර්ටියෙගේ අම්මා ගෙදර හිටියෙත් නෑ. ටිකක් වෙලා සෙල්ලම් කර කර ඉන්නකොට බර්ටියා අඳුනන අංකල් කෙනෙක් ආවා අත් ට්‍රැක්ටරේකුත් අරගෙන. නෑ නෑ රෑට පදින එකක් නෙමෙයි පාරේ පදින එකක්. ගෙදර වෙන කවුරුවත් නැති නිසා බර්ටියා ගෙදරට ගියා මොකද කියලා බලන්න. යකෝ අංකලයා ඇවිල්ලා තියෙන්නේ කාර්පට් එක අරගෙන යන්න ගෙදර තියෙන පාටියකට සාලෙට දාන්න.

කෙළවෙනවා කියන්නේ ඕවට තමයි. පත්තරේ පිටින් කාර්පට් එක ගෙනියන්න දෙන්න බෑනේ. අනිවා පහුවදාට සාක්කි පිටින් සීදේවි ගෙදර එනවා. ගුටි කන හැටි මැවිලා පේනවා බර්ටියට. අංකලයත් එක්කම කාමරේට ගිහිල්ලා කා(ර්)පට් එක එළියට අදින ගමන් හිමින් සැරේ අත දැම්මා පත්තරේ ගහලා තිබ්බ තැනට. අහුවුනේ නෑ. ඒකත් බර්ටියා අස්සෙම ගහලා. සාක්කි පිටින්ම යවනවට වඩා හොදයි මෙතන චාටර් වෙලා පත්තරේ අතට ගන්න එක හොදයි කියලා තිතරණය කරපු බර්ටියා අංකල්ට පොඩ්ඩක් ඉන්න කියලා කාපට් එක දිග ඇරලා පත්තරේ එළියට ගත්තා.

ඕක දැකපු අංකලයා “මොනවද පුතා මේ බලන්නේ” කියලා ඇහුවා. බර්ටියත් ඉතින් “මගේ එකක් නෙවේ අංකල්. මේක යාළුවෙක්ගේ” කියලා ඉදිරි පාදයෙන් ක්‍රීඩා කරමින් ආරක්ෂිත පහරක් එල්ල කලා. අංකලත් දැක්ක ගමන් අඳුරගන්න පොරත් ඒවා බලනවද කියලා බර්ටියට ඒ වෙලාවේ හිතුණා. ඒත් ඇහුවේ නෑ වැඩේ වකූර් වෙලා තියෙන නිසා. බර්ටියගේ පෙර පිනකට අංකලයා ඔය සිද්ධිය ඇන්ටා එක්ක කියලා තිබ්බේ නෑ. එහෙම වුනා නම් නැව් ගුටි තමයි. බර්ටියා නම් ඒ දවස් දෙක තුන පපුවේ බිත්තර තම්බ තම්බා හිටියේ කොයි වෙලාවේ කන්න වෙයිද කියලා. වාසනාවකට ඒකෙන් ගැලවුනා.

ඔහොම වුනා කියලා ඔය පත්තර බලන එකවත් පත්තරේ කා(ර්)පට් එක යට හංගන එකවත් නතර වුනාද? නැනේ. නෑනේ. එතනම තමයි දිගටම පත්තරේ හැංගුවේ. ඒත් ආයේ කවුරුවත් කාපට් එක ගෙනියන්න නම් ආවේ නෑ බර්ටියගේ වාසනාවට.

දවසක් ඉස්කෝලේදී උදේම ඉස්පිරිතාලේ යන්න වුනා ලෙඩෙක් අරගෙන. පොඩි එකෙක් උදේම පිනුමක් ගහලා තුවාල කරගෙන. බර්ටියයි කොමනයි ප්‍රථමාධාර කවය බාර ලැවෝසියර්ටත් විස්තරේ කියලා ත්‍රී වීල් එකකුත් හොයාගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා පොඩි එකාට මැහුම් තුන හතරකුත් දාගෙන ත්‍රී වීල් එකකම ඉස්කෝලෙට එනකොට පරක්කු වෙලා ආපු එවුන්ගේ බෑග් චෙක් කරනවා. කොමනත් ඔළුව දාලා බලලා විස්තරේ කියලා වීල් එක ඉස්කෝලේ ඇතුලට ගන්නකොටම එක පාරටම පත්තරයක් ආවා.

මළ මඟුලයි අපි දෙන්නටත් උතුර දකුණ මාරු වුනා. බර්ටියා ටක් ගාලා පත්තරේ අරන් සාක්කුවේ දාගත්තා. ප්‍රථාමාධාර කාමරේට ගිහිල්ලා පත්තරෙත් හංගලා පන්තියට යන්න හදනකොට පත්තරේ අයිතිකාරයා ආවා පත්තරේ හොයාගෙන. ඒකා කොමනගේ පන්තියේ එකෙක්. කොමනව දැකලා පත්තරේ වීල් එක ඇතුලට වීසී කරලා සර්ලට අහුවෙන එකෙන් බේරෙන්න. තව පොඩ්ඩනේ අපි දෙන්නත් ගස් යනවා.

පත්තරේ විස්තරේ ඉවරයි ඉතින්. බර්ටියා ගියා එහෙනම්.

KB 2020.09.11

No comments: