ගමයා ඉස්කෝලේ කාලේ බර්ටියාට කතා කලේ ටකා කියලා (අර රොබින් හුඩ් එකේ හිටියේ. කට්ටියට මතක ඇති මම හිතන්නේ) දැනුත් ඉදලා හිටලා ඒකා ඒ ඇමතීම කරන්නේ බර්ටියා යන නම ඒකා නොදන්නා නිසාය (වාසනාවක මහිමය) ගමයා නිසා ගොඩක් අළුත් දේවල් පුරුදු වුනු කෙනෙක් වේ නම් ඒ මේක ලියන බර්ටියා ය. බර්ටියා සී.ටී.බී. (සිලෝන් ටකරන් බස්) වල සීසන් එකේ යන්න පුරුදු කළේ ගමයා හෙවත් ඩැනීය. තවත් ඕනෑම තැනක කට අරීමේ පුරුද්ද මෙන්ම කෙල්ලන් බයිට් කිරීමේ මනා හැකියාවත් බර්ටියාට ලබා දුන්නේ ගමයාය. ඒ අතින් බැලුවොත් ගමයා බර්ටියාගේ ගුරාය (නල්ල මලේ ගුරා). මේක ගමයා කියෙව්ව දවසක බර්ටියාට සිංහල භාෂාවේ ඇති ලස්සනම වදන් වලින් ඇමතීමක් ලැබෙන බව නම් ස්ථිරය. මොනවා වුනත් ඇත්ත කතා කරන්න එපායෑ. නේද? මේක ඇවිල්ලා 1500 වගේ දිග කතාවක් නෙමෙයි. කතා කීපයක් එකතුවක්.
ගමයා ගැන කියන විට ගමයා තිතට ඇඳුම් ඇන්ද පොරකි. මිනිහා දිග කලිසම අදින්නේ ඇඳ උඩට නැගලාය. අත් දිග ෂර්ට් එකේ අත් නමන්නේ අඩි රූල තියලාය. හැන්දෑවට ගෙදර යනකොට ෂර්ට් එක ඉරක්වත් නැති වෙන සයිස් එකට යට කල අහිංසක බර්ටියාගේ මතක ගබඩාවේ රැදී ඇත. සපත්තු දෙක මූණ පේන සයිස් එකට පොලිෂ් කරලාය. මේ දේවල් එක්ක 231 කිරිඳිවැල පාසල් බසයේ ජැකක් ගසාගෙන ගෙදර යාම ගමයා නිතිපතා කළ දෙයකි. මේ හේතුව නිසා සමහරු ගමයාව ජැක්සන් කියා ඇමතුවාත් බර්ටියාට මතකය. (මු මාව මරණවා මේක කියෙව්වට පස්සේ).
ගමයා එක දවසක් ඉස්කෝලේ අාවේ පැලැස්තර කීපයකින් ගත සරසාගෙන නොන්ඩි ගසමින්ය. අපි ඒ ලෙවල් කරන කිට්ටුව මට මතක විදිහට. පන්තියට යන්න කලින් රතු කුරුස කාමරේට ඇවිල්ලා නමට එක දාලා වල්පල් දොඩමින් ඉදලා අන්තිම බෙල් එකත් ගැහුවට පස්සේ පන්තියට දුවන එක තමයි අපේ පුරුද්ද වුනේ ඒ දවස් වල. මේක කලේ පන්තිය අතු ගාන එකෙන් මඟ අරින්න ඇති මහා අවශ්‍යතාවය නිසාවෙනි. ඉතින් අපිට කට්ටියට ඇති වෙච්ච ලොකුම ප්‍රශ්නය තමයි කළින් දවසේ කිසිම පැලැස්තරයක් නැතුව ගෙදර ගිය එකා අද පැලැස්තර ගසාගෙන අණ්ඩ කචල් කරගෙන පැමිණීම. අපිත් ඉතින් මේ කතාව අහගන්න ඕනේ නිසා රතු කුරුස කාමරේ තිබ්බ ඇදේ වාඩි වෙලා සිද්ධිය විපරම් කරන්න ගත්තා.
බර්ටියා: "මොකද හු..... වුනේ? බස් එකේ ජැකක් ගහන්න ගිහිල්ලා මිනිස්සු ගැහුවා නේද?"
ගමයා: "බයික් එකෙන් වැටුනා බන්"
කොමනා: "උඹට බයික් එකක් නෑනේ බන්. ඉතින් කොහොමද බයික් එකෙන් වැටෙන්නේ. බස් එකේ මිනිස්සු ගැහුවා නේද ඊයේ?"
වවුලා: "ඇත්ත කියපන් . . ."
ගමයා: "නෑ බන්"
වවුලා: "මොන හු.... එහෙනම්"
ගමයා: "ඊයේ රෑ කිරිඳිවැල පොලීසියේ ට්‍රැපික් ඕ.අයි.සී ගේ බයික් එකෙන් ගමනක් ගිහිල්ලා එනකොට රදාවානේ පොලිස් චෙක් පොයින්ට් එක ගාව බම්පරේ වැදිලා වැටුනානේ බන්. එතන හිටපු බාප්පලා දෙන්නා හිතුවේ මම ට්‍රැපික් ඕ.අයි.සී කියලා.උන් දෙන්නා මාව නැගිට්ටවලා ඇහුවා සර් තුවාලද කියලත්. මම නෑ නෑ අවුලක් නෑ කියලා මාරු වුනා බන්."
මේක අහගෙන හිටපු කොඩිකාර "අනේ පලයන් බන් ගමගේ අයියේ යන්න උඔ කොහෙද කිරිඳිවැල පොලීසියේ ඕ.අයි.සී ගේ බයික් එක එලවන්නේ?. උඔ ඒකව අදුරන්නෙත් නෑනේ. නිකන් උදේ පාන්දර නයි අරින්න එපා බන් ගමගේ අයියේ. උඔ හිතන් ඉන්නේ අපි මොක්කු කියලද? කොණ්ඩේ බැදපු චීන්නු නෙවෙයි අපි.
කොඩ්ඩගේ ඔය වචන ටිකෙන් ගමයගේ පොලිස් බයික් පැදිල්ලට එහෙමම තිත වැටුණා. ඒත් අපි මාස ගාණක් යනකම් ගමයාගෙන් ඇහුවා "සර් තුවාලද?" කියලා.
දවසක් අපි සෙට් එකම කොහේ හරි රස්තියාදුවක ගිහිල්ලා (මට මතක විදිහට ඉස්කෝලෙන් වෙලාසනින් පැනලා ඇවිල්ලා) වවුලාගේ ගෙදර එනවා පයින්ම. වවුලා හිටියේ ඉස්කෝලෙට ගොඩක් කිට්ටුවෙන් නිසා අපි යන්න තැනක් නැති වුනාම කෙළින්ම එහාට හරි බර්ටියාගේ ගෙදරට හරි සෙටමොල් වෙනවා. වවුලගේ අයියලා හරි අක්කා හරි ගෙදර හිටියොත් අපිට බයිට් ලෝකයක් තමා සෙට් වෙන්නේ. අපේ ගෙවල් වල අය මේ ඔක්කොම අදුරන නිසා ඉස්කෝලෙන් පැනලා ආවා කියලා කවදාවත් තර්ජන ගර්ජන දාන්නේ නෑ. එච්චරටම අපි කිට්ටුයි ඒ දවස් වල. දැනුත් එහෙමා තමයි ඉතින්.
වවුලගේ ගෙදරට එන්නේ අපි ප්‍රධාන පාරෙන් නෙමෙයි අහුමුලු වලින් රිංගගෙන. ඔය එන අස්සේ ගමයා වවුලව බයිට් කරන්න ගත්තා වවුලා ඉන්නේ කැලේ. යන්න එන්න හරි හමන් පාරක් නෑ. ඉරිදා පත්තරේ එන්නේ බදාදාට අරකයි මේකයි කියලා ගමයා වවුලව බයිට් කරනවා. කොහොම හරි ඔය වෙනකොට අපි ප්‍රධාන පාරට හැරෙන්න ඔන්න මෙන්න කියලා හිටියේ. ගමයා සාර්ථක විදිහට කැත හිනාවක් දාලා බලපන් අඩුගානේ පාරේ බස් එකක් වත් නෑ කිව්වා. (ඇත්තටම ඒ පාර බස් යන පාරක් නෙමෙයි). ගමයාට එහෙම කියලා කට ගන්න වුනේ නෑ තඩි ඒ.සී. බස් එකක් ආවා කෙළගෙන. වවුලත් අපි දිහා බලලා නෝන්ඩි හිනාවක් දාලා "බලපන් හු.... අපේ පාරේ යන්නේ නිකම් බස් නෙමෙයි ඒ.සී. බස්" කියලා කිව්වා. ගමයාගේ නොන්ඩිය එතනින්ම ඉවර වුනා. එතැන් සිට ගමයා සාර්ථක විදිහට අපි ඔක්කොගෙන්ම බයිට් වුනා.
අපි කට්ටියම ඒ ලෙවල් සයන්ස් කරපු නිසා සමහර විෂයන් එකට පාඩම් කළා. එදත් වවුලාගේ ගෙදර යන ගමන් පාඩම් කරපු සත්ත්ව විද්‍යා විෂය සම්බන්ධ දේවල් වගයක් කතා කර කර තමයි අපි ගියේ. බර්ටියට මතක විදිහට අපි පස්දෙනාම හිටියා මේ කියන වෙලාවේ. මොකක් හරි එකකට ගමයට තදවෙලා ගමයා එක පාරටම කෑ ගැහුවා "ඈ බොල හු.... බල්ලන්ට කොහෙද වෘෂණ කෝෂ?" කියලා. මාර වැඩේ කියන්නේ ගමයගේ කරුමෙටම වගේ එතකොටම බල්ලෙක් ආවා ඉස්සරහට. වවුලා බල්ලව පෙන්නලා කියනවා අන්න බලහන් අර එල්ලෙන්නේ වෘෂණ කෝෂ තමා කියලා. ඉතින් එදත් ගමයා අති සාර්ථක විදිහට කෙලෝ ගත්තා.
ඉරිදා දවසක හවස කට්ටිය සමාධියේ රසායන විද්‍යා පන්තිය ඇරිලා එනවා. බර්ටියා නම් එදා නෑ. මොකද බර්ටියා ඒ රසායන විද්‍යා පන්තියට නෙමෙයි ගියේ. ඔහොම එනකොට බ්‍රේක් නැති බයිසිකල් එකක් (පා පැදියක්)ගමයාගේ කකුල් දෙක අස්සේ ගිහින් (බයිසිකලෙත් දන්නවා හරි තැන යන්න) මේකා බයිසිකලේ පැද්ද මනුස්සයාගෙන් අහලා "හු... අස්සේ යනවද යකෝ?" කියලා. කරුමේ කියන්නේ වවුලා ඕකට කතාවක් හදපු එකනේ. "ඈ බන් ගමගේ උඔගේ කකුල් දෙක අස්සේ ඒකද තියෙන්නේ?" ඔය කතාව පහුවදා ඉස්කොලේ ආපු බර්ටියාගේ කණටත් ඇදිලා අවේ ලුණු ඇඹුල් ඔක්කොම එකතු වෙලා. ගමයා දීපු උත්තරයි අපේ එවුන් අහපු ප්‍රශ්නයි මේකේ දැම්මොත් එහෙම මිනිස්සු බර්ටියාගේ බ්ලොග් එක තහනම් කරනවා. ඒක නිසා බර්ටියා ඒවා කියන්නේ නෑ.
තවත් සැරයක් ගමයා හොදටම නොන්ඩි වුනා ගම්පහ කොළ පාට ටයි එක දාපු බාලිකාවේ ගෑණු ළමයෙක්ට ලියුමක් ලියලා. එතකොට අපි උසස් පෙළ කරන කාලේ. බර්ටියා ඇතුළු පිරිස ඒ ගෑණු ළමයාව නම් කරලා තිබ්බේ ඇව්රෝ එක කියලා (ඔය කාලේ තමයි කොටි ගහලා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ඇව්රෝ යානා දෙකක් කඩන් වැටුනේ). මේකා ඇව්රෝට ලියපු ලියුමේ තිබ්බේ තිබ්බ වැරදි ටික ඔක්කොම කෙල්ලෝ රතු පෑනෙන් මාක් කරලා ඒ ලෙවල් ක්ලාස් ඔක්කොටම යවලා තිබ්බා. ඒ අස්සේ මේකා ඒකේ සින්දු කෑල්ලකුත් ලියලා "තිබෙන තුරු මගේ ජිවිතේ ඔබට පමණයි ආදරේ" කියලා. කරුමෙට මේකට වැරදිලා ඔබට පමණක් වෙනුවට නමට පමණයි ආදරේ කියලා ලියලා. "අනිච්චං දුක්බේ". හිතාගන්නකෝ කෙල්ලො මොනවා කිව්වද කියලා. අපි අවුරුදු ගාණක් බයිට් කරන ඒවාට රිටන් එක දෙන්න කොළ පාට ටයි එක දාපු බාලිකාවේ ගෑණු ළමයි සැදි පැහැදි හිටියා. ඉතින් ඔහොම චාන්ස් එකක් ආවහම මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ කට්ටියට.
දවසක් බර්ටියයි පොකයයි වවුලයි ගමයාගේ ගෙදර ගියා පොඩි රස්තියාදුවකට. යනකොට ගමයා විතරයි ගෙදර හිටියේ. බඩගින්නකුත් තිබ්බ නිසා අපි තීරණය කලා මඤ්ඤොක්කා තම්බන්න. ඉතින් අපි මඤ්ඤොක්කා සුද්ද කරලා අමාරුවෙන් දර ලිපත් පත්තු කරගෙන මඤ්ඤොක්කා තම්බන්න ගත්තා. විනාඩි 5ක් ගියේ නෑ මෙන්න ලිප නිමිලා. අනේ අපි අයේ මහන්සිවෙලා ලිප පත්තු කරලා බලන් ඉන්නවා මඤ්ඤොක්කා තැම්බෙනකම්. යකෝ ආයෙත් ලිප නිමිලා. ඒ පාර අපි තීරණය කළා මුට්ටිය චෙක් කරලා බලන්න. අම්මට සිරි මුට්ටියේ අඩියේ හිලක්. ගමයා හිල්වෙච්ච මුට්ටියක් තමයි අරන් තියෙන්නේ මඤ්ඤොක්කා තම්බන්න. අනේ ඉතින් අපි ඒ මුට්ටිය අයින් කරලා වෙන මුට්ටියක දාලා මඤ්ඤොක්කා තම්බගෙන උස්මුරුත්තාව හැදෙනකම් මඤ්ඤොක්කා කෑවා. අපි ඉතින් සාගත හමුදාවෙනේ ඒ කාලෙ ඉදන්ම වැඩ කලේ. මොනවා බැරි වුනත් අපේ එවුන්ට හොදට කෑමේ උපන් හැකියාවක් තිබ්බා. ඒකට දැන් ඉන්න එවුන්. මෙලෝ රහක් නෑ.1999 පාසලේ ප්‍රථමාධාර කවයේ වාර්ෂික චාරිකාවට ඒ ලෙවල් ලියලා ගෙවල් වලට වෙලා හිටියත් අපිට සහභාගි වෙන්න අවස්තාවක් ලැබුණා අපේ කවය භාර ජයසේකර ගුරුතුමාට පින්සිද්ද වෙන්න. අපි ඔය කතරගම පැත්තට වෙන්න තමයි ඒ පාර රවුමක් ගියේ. කතරගම නැවතිලා හිටපු දවසේ අපිට වඩා බාල රතු කුරුස සමාජික මල්ලි කෙනෙක්ගේ ගෙදර අරන් යන්න ගත්ත දොදොල් පාර්සලයක් නැතිවුනා. මිනිහා ගිහිල්ලා අපේ සර්ට පැමිණිලි කරලා සර් ඇවිල්ලා කිව්වා ඔක්කොම බෑග් ටික චෙක් කරලා බලන්න කියලා. අපිට ඉතින් හිටපු පොඩි සෙට් එකව අපි නැවතිලා හිටපු කාමරෙන් එළියට දාලා අර පොඩි එකාවත් තියාගෙන බෑග් චෙක් කර කර දොදොල් පාර්සලය හොයනවා. ඔන්න එතකොට ගමයා එනවා වොෂ් රූම් එකේ ඉදන් තුවායත් කරේ දාගෙන. අපේ වවුලා එක පාරටම ඇහුවා "ගමගේ, මට තමුසෙව ෂුවර් නෑ තමුසේ නේද දොදොල් පාර්සලේ ඉස්සුවේ?" කියලා. ගමයා එක පාරටම කියනවා "ආ ඔව් බන් ඔන්න බලාගනින්" කියලා ඇදගෙන හිටපු සරම උස්සලා මහා අසිරිමත් දර්ශනයක් පෙන්නුවා. එතකොටම දඩාස් ගාලා සද්දයක් ඇහුණා. බලන කොට දොදොල් පාර්සලේ හොයන්න ආව පොඩි එකා ඒ අසිරිමත් දසුන දරාගන්න බැරිවෙලා කලන්තේ දාලා වැටිලා. අපිට ඕවා හුරු වුනාට පොඩි එවුන්ට හුරු නෑනේ. පව් අප්පා පොඩි එකා. මට තාමත් දුකයි ඒ පොඩි එකා ගැන
"මොනවා වුනත් ගමයා වගේ නයි ඇරිමේ විශිෂ්ඨයෙක් නම් මම කවදාවත් දැකලා නෑ. ඒ වගේම මනුස්සයෙක්ව බයිට් කරන්න එතකොට මිනිස්සුන්ට මඩ ගහන්න වගේ වැඩ වලට මිනිහා බොහොම දක්ෂයෙක්. මේ ළගදිත් රතු කුරුසේ රුස්වීමකට ගිහිල්ලා සාර්ථක විදිහට ගම්පහ රතු කුරුස පාසල් කව කවදාවත්ම තිබ්බේ නැති ඉස්කෝලවලත් මිනිහා රතු කුරුස පාසල් කව පිහිටෙව්වා. බර්ටියාට පස්සේ තමයි ඒවා නිවරදි කරන්න ලැබුනේ. වැදගත්ම දේ තමයි මේ මොන දේ වුනත් ඒකා හොද යාළුවෙක් වීම. ඒක එදා සිට අද දක්වාම වෙනස් වෙලා නෑ මිනිහගේ බොරු කිවිල්ල වාගේම.විස්තර ලියන්න ගිහිල්ලා කතාව දිග වැඩිවුනාද මන්දා. දිග වැඩිවුනත් බර්ටියා අදට මාරු වෙනවා ආයෙත් සුභ අළුත් අවුරුද්දක් කියාගෙනම. බුදු සරණයි.
No comments:
Post a Comment