ඇඹිලිපිටියෙන් කෑම

මේ කියන දේ සිද්ධ වුන දවස් වල බර්ටියා රස්සාවක් නැතුව වේලී වේලී හිටියේ. දවසක් බර්ටියාට බටයා කෝල් එකක් දීලා කිව්වා අපේ ගැට කිඹුලගේ තාත්තා අන්තරා වෙලා කියලා. මලිතටත් පණිවිඩය කිව්වා, අපි කොහොම හරි මළ ගෙදර යන්න ඕනේ කියලා බටයා තරයේ කියා සිටියා. ලපයි සිපයි අර මොක්කුද මොනාද කරයි කියලා බර්ටියා බටයට යන් කියලා කිව්වත් බර්ටියාගේ පර්ස් එක හරියටම තිබ්බේ රුපියල් 200 යි. ඕකෙන් කොහෙද ඇඹිලිපිටි ගිහිල්ලා එන්නේ. බර්ටියා ඒ පාර මලිතයට කතා කරලා බර්ටියගේ අමාරුව කිව්වා. මලිතයා ඉතින් සුපුරුදු පරිදි කිව්වේ උඹ ඇදුමක් දාගෙන බෝඩිමට වරෙන් කියන එක. අනේ ඉතින් බර්ටියා හවස 4 විතර වෙනකොට මලිතයාගේ බෝඩිමට ගියා. ඒ දවස් වල බටයට තිබ්බේ නිසාන් වැනට් වෑන් එකක්. බටයා වැඩ ඉවර වෙලා ඕකත් අරගෙන හවස 7 විතර මලිතයගේ බෝඩිමට ආවා. අපි ඉතින් 7.30 ට විතර ඇඹිලිපිටිය බලා යන ගමන ආරම්භ කලා.

ඇඹිලිපිටියේ කිව්වට මළ ගෙදර තිබ්බේ මිද්දෙනියේ. ඇඹිලිපිටියෙන් හැරිලා ඇතුලට යන්න ඕන. අපි යන පාර දැනගෙන හිටියෙත් නෑ. කිඹුලටම කොල් කරලා තමයි පාර අහගත්තේ. අපි තුන්දෙනා රත්තනපුර පැත්තට එනකොට පොලීසියෙන් වාහනේ නැවැත්තුවා. අපි ඈත තියාම දැක්කා පොලීසිය ඉන්නවා. එතකොටත් අපි ගියේ 80 වට විතර. බටයා දන්න සෙල්ලම් දාලා 70 ට විතර වේගය අඩු කරගත්තත් පොලීසියෙන් අපිට දඩේ ගහන්න තමයි ලෑස්ති වුනේ. අපි ඉතින් කැම්පස් ID එහෙම පෙන්නලා මළ ගෙදරක යනවා කියලා යන්නතම් වැඩේ ෂේප් කරගත්තා‍. පොලීසියෙන් බටයගේ ලයිසන් එක ගත්තා නම් අපිට ඒක ගන්නම ආයෙත් එන්න වෙනවා. සෙල්ලම් වැඩක් යෑ ඒක. පොලීසියෙන් යන්තම් බේරුණා.

ඊට පස්සේ තව තැනකදී වංගුවක් ගන්න ගිහිල්ලා අපි වංගුවේ ස්ටිකර් වෙන්න ගිහිල්ලා යන්නතම් බේරුණා. බටයා දන්න සෙල්ලම් ඔක්කොම දාලා කපලා කපලා යන්තම් වාහනේ නවත්ත ගත්තා. අම්මෝ ඒ වංගුව ගන්න බැරිවුනා නම් අපි තුන්දෙනා තාමත් වංගුවේ ස්ටිකර් වගේ ඇලවිලා ඉන්න තිබ්බා. ඊට පස්සේ අපි ටිකක් හෙමින් ගියා. මගදි හම්බවෙච්ච පෙට්ටි කඩේකින් රෑටත් කාලා ආපහු ගමන පටන් ගත්තා. අන්තිමට යන්තම් පාර හොයාගෙන පාන්දර 1 ට විතර අපි මිද්දෙනියේ තිබ්බ කිඹුලගේ ගෙදරට ආවා. කිඹුලගේ තාත්තට අවසාන ගෞරව දැක්කුවට පස්සේ කිඹුලා අපිට ළග තිබ්බ ගෙදරකට එක්ක ගියා. අපි එවුන් කීප දෙනෙක්ම එතන හිටියා. ඇම්ඩා, කයි අප්පුවා එතකොට ජුන්ඩා මේ කට්ටියම පොඩි චැට් එකක් දාගෙන ඕමියක් බලනවා. බර්ටියයි මලිතයයිත් ගිය ගමන්ම ඕමියට සෙට්වුනා. බටයා පුටුවකට වැටුණා මොකද ආපහු වාහනේ එළවගෙන යන්නත් තියෙනවනේ එකට. පහුවෙලා හේමාලි නංගියි, බර්නාඩුයි, මොහොමඩ් චින්තකයි තුන්දෙනත් මළ ගෙදර ආවා. චින්තකයා ඔය දවස්වල යාළුවෙලා හිටියේ මුස්ලිම් ගෑණු ළමයෙක් එක්ක. ඒකයි පොරට මොහොමඩ් චින්තක කියන්නේ.

අපි ඕමි ගහනකොට කයි අප්පුවයි මලිතයයි අතර වලියක් යන්න ගිහිල්ලා ඒකත් බේරලා බටයට වෙන්න ගිය අතවරකිනුත් ඒකාව බේරගන්න ගත්තා. අතවරේ මොකක්ද කියලා අහන්න එපා ඒක කියන්න බෑ. ඔය අපි බටයව අතවරේකින් බේරගත්ත දෙවෙනි පාර. එක සැරයක් මාතර ගිහිල්ලා එනකොට බස් ඒකේදී කෙල්ලෙක්ගෙන් වෙච්ච අතවරේකින් අපි මූව බේරගත්තා (අතවර බටයව හොයාගෙන එනවාද මන්දා). ඊට පස්සේ කිඹුලා අපි තුන්දෙනාව ළග තිබ්බ ගෙදරකට එක්ක ගෙන ගියා නාගන්න කියලා. එහෙ වතුර ටැංකිවලට පුරවලා තියන්නේ. අපි තුන්දෙනා නාලා ඉවර වෙලා පොඩි නින්දක් දා ගත්තා. උදේ නැගිටලා මූණ කට හෝදගන්න බලනකොට කිඹුලා ඇවිල්ලා අපිට එක්කගෙන ගිහා මාළු වගයක් කපා ගන්න කියලා. මලිතයා ඉතින් පිහියත් ගාලා ඉවර වෙලා මාළු කපන්න ලෑස්ති වෙනකොට වටේම ඉන්න පොරවල් උපදෙස් දෙන්න ගත්තා මාළු කපන විදිහ ගැන. අම්බානකට තච වෙච්ච මලිතයා මාළු කපන එක උපදෙස් දුන්න පොරවල් වලටම කරගන්න දීලා පැත්තට වුනා. ඊට පස්සේ අපි මූණ හෝදගෙන උදේට කෑවා. උදේට කනකොට 10 ට විතර ඇති.

දැන් ඉතින් ආපහු යන්නත් එපායැ. යන්න කලින් නාන්න ඕනේ කියලා අපිට හිතුණා‍. තැන තැන තිබ්බ ටැංකි වලින් නාන්නේ නැතුව කිඹුලගෙන් විස්තර අහගෙන ළඟ පාත තිබ්බ වැවකට යන්න අපි තීරණය කලා. අපි තුන්දෙනාට අමතරව බර්නාඩ්ලා කට්ටියත් සෙට්වුනා වැඩේට. අපි ඉතින් වැවට යන්න ගත්තා. යනවා යනවා ඉවරයක් නෑ මේ යෑම. ඒ පාර වැවට යන එක පැත්තකින් තියලා මිනිස්සු නාන ඇල පාරකින් අපිත් නාගත්තා. නාලා අහවර වෙලා ආපහු කිඹුලගේ ගෙදරට ඇවිල්ලා අපි කොළඹ එන්න ලෑස්ති වුනා. කිඹුලට කියලා මාරු වෙන්න හැදුවට හරි ගියේ නෑ. මේකා දවල්ට කාලා මිසක් යන්න දෙන්න බෑ කිව්වා. ඒ පාර 12 ට විතර දවල්ට කෑවා කිඹුලගේ ගෙදරින්. දැන් ආපහු කොළඹ එන්න අපි තුන්දෙනාට අමතරව තව 5 ක් ඉන්නවා. බර්නාඩ්, මොහොමඩ් චින්තක, හේමාලි, ඇම්ඩා, සහ ජුන්ඩා. බටයගේ වෑන් එකේ පිටිපස්සේ එක ශීට් එකයි තියෙන්නේ. මුන් පස්දෙනාම කොහොම හරි ඕකේ පශ්චාත් භාගය ඔබා ගත්තා. යන්න පොඩ්චකට කළින් මොහොමඩ් ඉදන් කිව්වා අපේ ගෙදර ගිහිල්ලා යමු. මෙහාට හරි කිට්ටුවෙන් තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒකම අහපි මොනවද හදලා තියන්න ඕන කියලා. ඒ පාර අපි කාලම නැති කුරහන් තලප හදන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒකත් වැඩේ හරි කිව්වා. ඉතින් අපි කිඹුලගේ ගෙදරින් පිටත් වෙලා 1.30 විතර වෙනකොට මොහොමඩ් චින්තකගේ ගෙදරට ආවා.

අප්පට සිරි මොහොමඩ්ලගේ ගෙදර කුරක්කන් තලප විතරක් නෙමෙයි මඤ්ඤෙක්කයි බතුයිත් ලෑස්ති කරලා. කුරහන් තලප ගිලින්න සැමන් මාළුයක් සැරට හදලා තිබ්බා. බර්ටියා කෑම පටන් ගත්තේ කුරහන් තලප වලින්. ඊට පස්සේ බත් වලටත්, බත් වලින් මඤ්ඤෙක්කා වලටත් මාරු වුනා. දැන් නාහේ කිට්ටුවට විතර ඇවිල්ලා. කාලා ඉවර වෙනකොටම වගේ මොහොමඩ්ගේ අම්මා කිරි හට්ටි තුනක් ගෙනල්ලා තිබ්බා අතුරු පසට. දැන් කට්ටියම අයිස් ක්‍රීම් කන පොඩි කප් වලට කිරි බෙදාගෙන සීනි දාගෙන කනවා බොහොම වැදගත් විදිහට. බර්ටියත් කෑම මේසේ පුටුවක වාඩි වෙලා බලන් ඉන්නවා. මලිතයා බර්ටියට ඉතුරු වෙච්ච කිරි හට්ටි දෙක පෙන්නලා ඇහුවා කමුද කියලා?

බර්ටියා ඉතින් කන බොන වැඩ වලට බෑ කියලා අපහාස කරන චරිතයක් නෙමෙයිනේ. ඒ පාර අපි දෙන්නා වට පිට බලලා හොදි බෙදන දීසි දෙකක් හොයා ගත්තා. මලිතයා කිරි හට්ටිය මැද්දෙන් ඉරක් ඇන්දා. බාගයක් බර්ටියගේ දීසියට ඉතුරු බාගේ මලිතයගේ දීසීයට. ලුණු පොඩ්ඩකුයි සීනියි දා ගත්තා විනාඩි 5 ක් යනකොට කිරි හට්ටිය ඉවරයි. දෙවෙනි කිරි හට්ටිය කද්දී නම් සීනි ඉවර වෙලා මොහොමඩ්ගේ අම්මාට කියලා තව සීනි ටිකක් ගෙන්න ගත්තා. දෙවෙනි කිරි හට්ටියත් ඉවරයි. දැන් බර්ටියටයි මලිතයටයි පුටුවෙන් නැගිට ගන්නත් අමාරුයි. කොහොම හරි මොහොමඩ්ගේ අම්මාටයි තාත්තාටයි වැදලා කරලා අපි වෑන් එකට ආවා. දැන් බර්ටියයා මලිතයයි වෑන් එකට හේත්තුවක් දාගෙන ඉන්නවා, නැගගන්න බැරුව. ඇම්ඩා ආවා. මේකා අපි දෙන්නගේ කෑම දැකලා බය වෙලා හිටියේ. මේක ගත් කටටම කිවවා "බුදු අයියේ උඹලා දෙන්නට නම් මගේ වෙඩින් එක කියන්නේ නෑ, තරහා වෙන්න නම් එපා" කියලා. අපි සැලෙයිද ඕවට? නෑනේ නෑනේ. කොහොම වුනත් ඒකා වෙඩින් එක කිව්වේ නෑ අපිට. බර්ටියට බොහොම අමාරුවෙන් ඉස්සිලා වෑන් එකේ ඉස්සරහා ශීට් එකට නැග ගත්තා. වැඩි දුරක් යන්න වුනේ නෑ ආපහු වෑන් එක නැවැත්තුවා අපිට තුඹ කරවිල ගන්න. එතන ලස්සන ආනමාළු කැනක් තිබ්බා. ඒකෙනුත් ගෙඩි කීපයකට වග කියලා තමයි අපි දෙන්නා ආපහු වෑන් එකට නැග්ගේ.

ආපහු එන ගමන් හේමාලි නංගිව රත්නපුරේ එයාලගේ ගෙදරින් බැස්සුවා. බර්ටිලට තේ බොන්න ආරාධනාවක් ලැබුණා හේමාලිගෙන්. අනේ ඉතින් අපි කට්ටියත් වෑන් එකෙන් බැහැලා ඇවිල්ලා කෑම මේසෙන් වාඩිවෙන අතරේ වැදගත් මිනිස්සු ටික ගියා මූණ කට අත පය හෝදගෙන එන්න. තේ මේසේ කේක්, බිස්කට්, කෙසෙල් ගෙඩි, චොකලට් රෝල් වගේ කෑම ජාති හය හතක් තිබ්බා. මේසේ වාඩි වෙලා හිටියේ බර්ටියි මලිතයි බටයයි ජුන්ඩයි විතරයි. මලිතයා ඇහුවේ කමුද කියලා විතරයි. කට්ටිය මූණ හෝදගෙන එනකොට කෙසෙල් ගෙඩි දෙකක් විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඔක්කොම ටික ඉවර කරන්න අපිට විනාඩි පහක්වත් යන්න නැතුව ඇති. හිතාගන්න බෑ එච්චර කෑම ගොඩක් කොහාට බැස්සුවද කියලා. හොද වෙලාවට හේමාලි නංගිලට කඩයක් තිබ්බේ. නැත්නම් අනිත් එවුන්ට තේ විතරයි බොන්න වෙන්නේ.

බර්ටියා නම් හිතන්නේ හේමලි නංගිගේ ගෙදර මිනිස්සු බය වෙන්න ඇති මේ මොන සාගත හමුදාවක් ද කියලා. ඒ හින්ද මද කොහෙද හේමාලි නංගිගේ වෙඩින් එකත් අපි දෙන්නට කිව්වේ නෑ. තේ බීලා ඉවර වෙලා ගමනේ ඉතුරු ටික එන්න අපි සෙට් එක ආපහු වෑන් එකට නැග්ගා. කොහොමත් රෑ අටට විතර බර්ටියයි මලිතයයි විජේරාම හන්දියෙන් බැහැ ගත්තා. බටයා ඔය කොහොද අස්සකින් දාලා ගෙදර ගියා. මලිතයා බර්ටියට බයික් එකේ පිටකොටුවට ගෙනල්ලා දැම්මා. මලිතයගෙන් රුපියල් පනහක් ඉල්ලගෙන බර්ටියා නිට්ටඹුව බස් එකක නැගලා ගෙදර ආවා රෑ 10.30 විතර.

මෙහෙම කෑමක් බර්ටියා වුනත් ඊට කළින් කාලා තිබ්බේ නෑ. මේ සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගියත් අද වගේම මතකයි. ඔය කතාව අහපු අපේ මුට්ටියා බර්ටියාටයි මලිතයාටයි කාඩ් එකක් ගැහුවා ආහාර විනාශ කරන යන්ත්‍ර දෙක කියලා. කතාව ඉවරයි ඕං.

1 comment:

Unknown said...

ela.. keep it up...