ඇහුව කතා දෙකක්

මෙදා පාර නම් කියන්න යන්නේ බර්ටියා යාළුවන්ගෙන් අහපු කතා දෙකක්. පොඩි හරි ගත යුතු දෙයක් මේ කතාවල තියෙනවා කියලා බර්ටියා හිතනවා ඉතින්. එහෙම නැත්නම් කියවලා හිනා වෙන්න වත් බැරියෑ. මේ කතා දෙකම විවෘතය හා සම්බන්ධයි. හැබැයි බර්ටියා කතා දෙකම දැනගත්තේ දෙමටගොඩ තිබ්බ ජාත්‍යාන්තර පාසලේ වැඩ කරන දවස් වල. ඒ ඉස්කොලේ බර්ටියා වැඩ කරන කාලේ විවෘතයේ සෙට් එකක්ම බර්ටියා එක්ක වැඩ කළා. හීරා, මලිතයා, ලාංකි නංගි, ලකී, ජුන්ඩා, චින්තා නංගි, සුනාලි නංගි, නිලන්ති නංගි, මොහමඩ් චින්තක (මේ මාෙහොමඩ් කෑල්ල අපි එකතු කරපු එකක් හාෙදේ) එක්ක ගංඟා නංගිත් අපේ සෙට් එකේ හිටියා. වාර විභාග ඉවර වුනාට පස්සේ සමහර දවස් වලට අපි හවස් වෙනකම් ප්‍රශ්න පත්තර බැලුවා. එක දිගටම ප්‍රශ්න පත්තර බලලා කම්මැලි වෙච්ච වෙලාවට අපි සෙට් වෙලා පොඩි කතාවක් දානවා ඔලුව ටිකක් නිදහස් වෙන්නත් එක්ක. මේ ඒ වගේ වෙලාවල කියපු කතා දෙකක්.

පළවෙනි කතාව බර්ටියාට කිව්වේ අපි කාගෙත් හිතවතා වන හීරෝෂ් අයියා. අපි ආදරේට කියන්නේ හීරා කියලා. විවෘතයේ level 5 සත්ත්ව විද්‍යාව කරන කොට එක විෂයක් තියෙනවා මානව ජීව විද්‍යාව (Human Biology) කියලා. බර්ටියාට මතක විදිහට එක දිගට දවස් පහක් මේ විෂයේ ප්‍රායෝගික ක්‍රියාකරකම් (practicals) තියෙනවා. එක සැරයක් හීරා මේ ප්‍රැක්ටිකල් එක කරන කොට තමයි මේ පොල් මලේ කේස් එක සිද්ධ වෙලා තියෙන්නේ. හීරා කිව්ව විදිහට දවසක් මේ ප්‍රැක්ටිකල් එක කර කර ඉන්න අතර තුර එක පාරටම ගෑණු ළමයෙක් ඉකි ගගහා අඩන්න ගත්තලු. කව්රුවත් දන්නේ නෑ මොකක්ද හේතුව කියලා. ඒ අස්සේ අපේ සත්ත්ව විද්‍යා අංශයේ නාලනා මැඩම් ඇවිල්ලා මේ ගෑණු ළමයව වෙනම තැනකට එක්ක ගියාලු. දැන් කට්ටියට ප්‍රැක්ටිකල් එක ගැන නෙමෙයි මේ වෙච්ච සිද්ධිය ගැනයි කතාව. ඒ කට්ටියට විතරක් නෙමෙයි මේ කතාව කියන වෙලාවේ අපිත් හිටියේ මොකක්ද යකෝ මේ වුනේ කියලා හිත හිතා.

හීරා කිව්ව විදිහට මේ ප්‍රැක්ටිකල් එකේ තියෙනවා යම් කිසි රසායනික ද්‍රව්‍යක් එහෙමත් නැත්තම් chemical reagent එකක් පාවිච්චි කරලා pregnancy test එකක් කරන්න. හා හා reagent එක මොකක්ද කියලා අහන්න එපා මොකද හීරා අයියා ඒකේ නම කිව්වේ නෑ බර්ටියාට. අනික දැන් අළුත් ඒවා නෑතැ මේවට වඩා හොඳ. අපේ මේ කතාවට හේතු වෙච්ච අවිවාහක ගෑණු ළමයගේ pregnancy test positive වෙලා. ඒක තමයි ඒ ගෑණු ළමයා හොටු පෙරාගෙන ඉකි ග ගහා අඩලා තියනේනේ. ඒ පාර නාලනා මැඩම් වෙන ගර්ල් කෙනෙකුටත් මේ පරීක්ෂණය කරලා. අප්පට සිරි වෙනවා කියන්නේ ඒකත් ධනාත්මකයි. හැබැයි ඒ ගෑණු ළමයා නම් අඩලා නෑ. ඒ පාර නාලනා මැඩම්ම පරීක්ෂනය කරලා බලලා. ඒකත් ධනාත්මකයි. ඒ පාර ප්‍රැක්ටිකල් කරපු කොල්ලෙක්ටත් මේ pregnancy test එක කරලා‍. කෙළ වෙනවා කියන්නේ ඒකත් positive. අන්න ඒ පාර තමයි අපේ මැඩම්ලා කට්ටිය ස්ථිරවම කියලා තියෙන්නේ මේක පාව්ච්චි කරපු chemical reagent එකේ අවුලක් කියලා. ඒත් කතාවේ හොදම කෑල්ල අර අවිවාහක ගෑණු දරුවා ඇඩුවේ ඇයි කියන එක. සරලවම කිව්වොත් අදාල නෑනේ. ඒත් අදාල වෙලාද දන්නේ නෑ ඇඩුවේ නේද? පුළුවන් නම් දීපල්ලකෝ උත්තර මේවට. හීරා අපෙනුත් ඔය ප්‍රශ්නෙම ඇහුවා. අපේ කට්ටිය දීපු උත්තර බර්ටියා මෙතන කියන්න යන්නේ නෑ. අැත්තටම අඩන්න තරම් හේතුවක් ඒ ගෑණු දරුවට තියෙන්න ඇති නේද? බර්ටියා ඉතින් ඒ ගෑණු ළමයව මනින්න කරන්න යන්නේ නෑ අද කාලේ වෙන කොට ඔය වගේ දේවල් බොහොම සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ.

දෙවෙනි කතාව බර්ටියට කිව්වේ අපේ ජුන්ඩා මල්ලි. ජුන්ඩා ඇවිල්ලා අපේ ඉංජිනේරු හා තාක්ෂන පීඨයේ ශිෂ්‍යයෙක්. මේ ඇවිල්ලා අරක්කු හා සම්බන්ධ වෙච්ච කතාවක්. ජුන්ඩා ඉස්සර හිටියේ විවෘතය කිට්ටුවම බෝඩිමක. මේ බෝඩිමේ ජුන්ඩගේ බැජ් ඒකේ කීප දෙනෙක්ම නැවතිලා හිටියා. ඔය අතරින් හිරන්ත, දෙවටා හා ඇම්ඩා කියන චරිත තාමත් බර්ටියගේ මතකයේ තියෙනවා. හදිස්සියකට නවත්න්න තැනක් නැති ජුන්ඩලගේ සෙට් එකේ කට්ටිය නවතින්න එන්නේ මේ බෝඩිමට තමයි. බර්ටියත් දවසක් දෙකක් ඔය බෝඩිමේ රැය පහන් කරලා තියෙනවා. ඒ දවස් වල මේකේ හිටපු කට්ටිය අනිවා මාසෙකට සැරයක් වත් සෙට් වෙනවා. මොනවා කරන්නද පොත් එක්කම ඔට්ටු වෙලා වෙනසක් තියෙන්නත් එපායැ. ඔහොම සෙට් වෙච්ච වෙලාවක් ඉතුරු වෙච්ච කොටයක් (කොටයක් කියන්නේ බොන්න බැරි නිසා බෝතලේ ඉතුරු කරන අරක්කු ටිකට) තිබිලා තියෙනවා දුක් විද විද. එක දවසක් මේ බෝඩීමේ නිතර දෙවෙලේ නොයින්න පොරක් ජුන්ඩටද කොහෙද (බර්ටියට කෙනාව මතක නෑ) කතා කරලා අහලා තියෙනවා අර කොටේ තාම ඉතුරු වෙලා තියෙනවාද කියලා. ජුන්ඩත් ඔව් කියලා. ඒ පාර මේකා ජුන්ඩට කියලා මචං මායි තව එකෙකුයි අද බෝඩිමට එනවා‍‍. ඕක එහෙනම් තියපන් අපිට බොන්න කියලා. ජුන්ඩත් හා කියලා ෆෝන් එක තියලා. ඉතින් මේ කෙරිච්ච සංවාදය හෙම්බිරිස්සාවට කොත්තමල්ලි තම්බ තම්බ හිටපු හිරන්තයටත් දැනගන්න ලැබුණා. අපේ එවුන්ටත් ඔහොම දෙයක් දැනගන්න ලැබුණහම අර හිඟන්නට ප්‍රයිඩ් රයිස් එකක් ලැබුණා වගේ වැඩක්නේ. මේකා මොකද කලේ අරක්කු කොටේ වෙන බාේතලයකට දාලා අරක්කු බෝතලේට මුගේ හෙම්බිරිස්සාවට තම්බපු කොත්තමල්ලි පුරවලා තිබ්බ තැනින්නම තිබ්බා. දැන් ජුන්ඩයි හිරන්තයයි සද්ද නෑ.

අනේ ඉතින් අපේ කතා නායකයා හැන්දෑවේ 7 ට විතර යාළුවත් එක්ක බෝඩිමට අාවා රයිස් එකකුයි සැන්ඩි බාේතලේකුයි අරගෙන කොටේට වග කියන්න. ඇවිල්ලා මුණ කට එහෙම හෝද ගෙන රයිස් එකත් දිග ඇරගෙන සෙට්වුනා කොත්තමල්ලි බොන්න. ජුන්ඩයි හිරන්තයයි හෙම්බිරිස්සාව පිටින් දාලා ෂේප් වුනා. දැන් අපේ පාෙරවල් දෙක කොත්තමල්ලි කොකා කොලා එක්ක සැන්ඩි කරගෙන රයිස් කන ගමන් කතාව. අපි කතාව ලේසි වෙන්න දෙන්නගෙන් එකෙකුට සුරංග කියමු අනිකට මංජු කියමු, මොකද බර්ටියාට දැන් කට්ටියගේ අැත්ත නම් මතක නෑ. ඇත්තම කිව්වොත් මුං දෙන්නටම බොන්න බෑ. තනි ෂොට් එක ගහනකොට කරටිය කඩා ගන්න පොරවල් දෙකක් මේ.

සුරංග: මචං !
මංජු: ඇයි බන්?
සුරංග: ඇයි බන් අපිට අද වෙරි නැත්තේ?
මංජු: ඒ මචං අපි දැන් බීලා පුරුදු වෙලා. ඒකයි අපිට දැන් ගැහුවට වදින්නේ නැත්තේ

මංජුවට මේක කියලා කටගන්න හම්බවුනේ නෑ ජුන්ඩයි හිරන්තයයි අමාරුවෙන් තද කරගෙන හිටපු හිනාව කඩාගෙන එළියට පැන්නා. අනේ හුත්.... තොපි දෙන්නා මෙතන කොත්තමල්ලි බීලා තව එනවා පොරවල් වෙන්න‍. අඩු තරමේ තොපි දෙන්නට අරක්කුයි කොත්තමල්ලියි වෙන් කරලා අදුර ගන්න බෑනේ. ඒ වුනාට මහ ලොකු බේබ්දදෝ. හිරන්නතයා කැතම විදිහට මුන් දෙන්නවම නොන්ඩි කරලා දැම්මා.

ඇත්තනේ කතාව. යකෝ මුන්ට අරක්කු වලයි කොත්තමල්ලි වලයි වෙනස තේරෙන්නේ නැත්නම් තියන්න වටින්නේ නෑනේ. ඔන්න ජීවිතේට නොබ්ව්ව එකෙක් නම් කමක් නෑ කියමුකෝ. ඒ මදිවට ලොකු කතා කියන්නත් එනවා‍. කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සේ සුරංගයාටයි මංජුවටයි මාස ගාණක් යනකම් මූණ හංගගෙන තමයි කැම්පස් එක පැත්තේ යන්න වුනේ.

ඉතින් ඔන්න ඔහොමයි කතා දෙකම සිද්ධ වුනේ. බර්ටියා අැතුළු කට්ටියම මේ කතා අහලා බඩ අල්ලගෙන හිනා වුනා එදා නම්. බර්ටියා කොමඩු කන්න ගිහිල්ලා විදේශිකයෙක වෙච්ච කතාව ඊළඟ පාර කට්ටියට කියන්නම්. අදට ඔය අැති. තව සතියකින් විතර ඉස්කෝලේ වාර විභාග පටන් ගන්න හින්දා බර්ටියාට විවේකයක් නැතුව යනවා. කමක් නෑ අපි බලමුකෝ. ගිහිල්ලා එන්නම්. ආයුබෝවන් හැමෝටම.

No comments: