වඩේ ගැන කතාවක්

මේක ඇවිල්ලා වඩේ ගැන කතාවක්. අපේ ගොඩක් අය වඩේ කන්න කැමතියි නේ. ගොඩක් කට්ටිය කෝච්චියේ යන එන කොට කම්මැලිකම යන්නත් එක්ක එහෙම නැත්නම් පොඩි බඩගින්නක් හැදුනහම කෝච්චියේ වඩේ විකුණන මනුස්සයෙක්ගෙන් වඩේ ටිකක් අරන් හප හපා එනවනේ. අනික වඩේ හොද කටගැස්මක්. මේක ඇවිල්ලා කෝච්චියේ වඩේ විකිණීම හා සම්බන්ධ කතාවක්. මේක වෙච්ච දවස් වල බර්ටියා විවෘතයේ ඉගෙන ගන්නවා. හවසට ගෙදර එනකොට නාවලින් 176 හෙට්ටියාවත්ත බස් එකක නැගලා මරදානින් බැහැලා ගම්පහට එන්න කෝච්චියක නගිනවා. මේ වෙලාවට කෝච්චියේ අම්බානකට සෙනඟ‍. දැන් වගේ බලවේග කට්ටලත් (Power set) නෑ ඒ දවස් වල. සමහර දවස් වලට පරණ කෝච්චිවල පෙට්ටි දෙකක් අස්සේ තියෙන යකඩ තැටිය උඩ තමයි එන්න වෙන්නේ. කොහොමත් හැමදාම වගේ අපි තුන් හතර දෙනෙක් හිටියා ගම්පහට එන්න. මුට්ටියා, ශශී, අපේ නිවුන්නු දෙන්නා ඒ ඇරුණහම තව ඉදලා හිටලා සෙට් වෙන කීප දෙනෙක් හිටියා තිලිණ, චමිලා, වවුලා වගේ. මේ කියන සිද්ධිය වුන දවසේ ශශීයි බර්ටියයි විතරයි හිටියේ.

ඒ දවස් වල මරදානෙන් හවස 6.05 පොල්ගහවෙල යන කෝච්චියක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේ කෝච්චියේ තමයි ගෙදර එන්නේ මොකද මේ කෝච්චියේ සෙනඟ ටිකක් අඩුයි. ඉස්සරහින්ම නැග්ගොත් සමහර වෙලාවට ඉදගන්නත් ලැබෙනවා. මේ කියන දවසෙත් අපි දෙන්නා මරදානට ඇවිල්ලා 6.05 කෝච්චියට නැග්ගා. එදා නම් සෙනඟ ටිකක් හිටියා. අපි දෙන්නා ඉතින් සුපුරුදු විදිහට කෝච්චි පෙට්ටි දෙකක් අස්සේ තියෙන තැටිය ගාවට සෙට් වෙලා කතාවක් දාගෙන ආවා. කෝච්චිය දෙමටගොඩ, කැළණිය පහු කරගෙන පොල්ගහවෙලට බලා ඇදෙනවා. හුණුපිටිය හරියෙදි කෝච්චියේ වඩේ විකුණන වෙලෙන්දෙක් ආවා වඩේ කූඩෙත් ඔළුවේ තියාගෙන එක අතකින් සිලි සිලි බෑග් එකකුත් එල්ලගෙන.

මිනිහා අපි දෙන්නා හිටපු තැනට ඇවිල්ලා වඩේ කූඩේ බිමින් තියලා සිලි සිලි බෑග් එක දිග ඇරලා ඒකෙන් වඩේ වගයක් අරගෙන අර වට්ටියේ අහුරන්න ගත්තා බොහොම ලස්සනට පිළිවෙලට‍. ඒ වැඩේ ඉවර වෙලා කපපු ලොකු ළුෑණු පෙති වගයක් අරගෙන අර වට්ටියේ අඩුක් කලා. වෙළදාම් කරන කොට පොඩි ප්‍රදර්ශනයකුත් තියෙන්න එපායෑ නැද්ද මං කියන්නේ. අපි දෙන්නත් ඕක දිහා කට ඇරගෙන බලන් හිටියාට අපිට වඩේ කන්න ඕන කියලා හිතුණේ නෑ (අපේ වාසනාව). මිනිහා ඒ වැඩේ ඉවර කරලා "වඩේ වඩේ" කියාගෙන ආපහු වෙළදාම පටන් ගත්තා. අපි ඉතින් හිතුවා ගෙදරින් ගෙනාපු වඩේ ටික තමයි වඩේ කාරයා කූඩේට අඩුක්කරගෙන ගියේ කියලා. මෙතනින් ඉවරයි මේ සිද්ධිය. ශශී බටුවත්තෙන් බැහැලා ගෙදර ගියා. බර්ටියත් ඉතින් ගම්පහ ගිහිල්ලා පොඩි රස්තියාදු පාරක් ගහලා ගෙදර ගියා.

කතාවේ දෙවනි කොටස ආරම්භ වෙන්නේ පහුවෙනිදා. පහුවදා උදේ බර්ටියා කැම්පස් එකට ගිහිල්ලා බෙන්ච් එකට වෙලා පොතක් බල බලා ඉන්න කොට ශශී ආවා. ශශී එක්ක අපේ නිවුන්නු දෙන්නත් ආවා, ධනොජා සහ ඔනෝජා. ශශී හරි බරි ගැහිලා වාඩි වෙලා "මාර වැඩක්නේ උමේෂ් වෙලා තියෙන්නේ" කියලා කිව්වා (ශශී මට බර්ටි කියලා කතා කරන්නේ නෑ). බර්ටියත් ඉතින් බැලුවා මොකක්ද මේ මාර වැඩේ කියලා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

ශශීලගේ තාත්තා වැඩ ඇරිලා එන්නෙත් කෝච්චියේ. සමහර වෙලාවට අපි එන කෝච්චියෙත් එනවා. ඊයේ ශශී කෝච්චියෙන් බැහැලා ගෙදර යන්න හදන කොට ශශීගේ තාත්තා එනවලු තෙල් පෙරාගෙන. ශශී ඉතින් අහලා මොකක්ද වුනේ කියලා. කොහොමහරි ශශීලගේ තාත්තට වාඩි වෙන්න තැනක් ලැබිලා ඊයේ. එහෙම වාඩිවෙලා එනකොට රාක්කේ උඩ තියලා තිබ්බ වඩේ කූඩයක් ශශීගේ තාත්තගේ ඇඟට පෙරලිලා. ඒ වඩේ වල තිබ්බ තෙල් වලින් තමයි ශශීගේ තාත්තා නාලා තියෙන්නේ. වෙලාවට වඩේ කාරයත් ඒ හරියේ ඉදලා. මිනිහා ඇවිල්ලා බිම වැටිච්ච වගේ ටිකයි ළුෑනු ටිකක් සිලි සිලි බෑග් එකකට දාගෙන අරගෙන යනකොට ශශීලගේ තාත්තා ඒ මිනිහට කියලා ඕවා විසිකරලා දාන්න, කාටවත් විකුනන්න එහෙම එපා කියලා. වඩේ කාරයත් කියලා ඔව් මහත්තයා මේ ටික අරගෙන ගිහිල්ලා විසික් කරලා දානවා කියලා. එහෙම කියපු වඩේ බුවා අපි දෙන්නා හිටපු තැනට ඇවිල්ලා විසික් කරන්න ගෙනිච්චි වඩේයි ළුෑනුයි ගානට විකුනන්න අඩුක්කර ගත්තා අර වඩේ කූඩේටම. අම්මට සිරි වෙනවා තාත්තට කෙළවෙනවා කියන්නේ ඕවට තමයි ඉතින්.

ඔන්න ඔහොමයි ඉතින් වුනා කියන්නේ. හැබැයි එදායින් පස්සේ අපි කවුරුවත් කෝච්චියේ විකුණන වඩේ කන එක නම් නැවැත්තුවා. ඇයි දෙයියනේ සල්ලි ගෙවලා කුණු ජරාව කන්න පුළුවන්ද? කොහොමටත් කෙනෙක් කන බොන දෙයකට ජරා වැඩ කරන්න හොද නෑ කියන එකයි බර්ටියාගේ අදහස. බ්ලොග් එක කියවන කට්ටියත් කෝච්චියේ යන එන ගමන් කෝච්චියේ විකුණන වඩේ කන අය නම් පොඩ්ඩක් කල්පනාවෙන් වඩේ කෑවොත් හොදයි. මොකද ගෙදර යන්න කළින් දොස්තර ගාවට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ යන කොට දොස්තර හොද ඉස්කෝල ඉල්ලලා වර්ජනය කරලා හිටියොත් එහෙම මාර අවුලක්නේ වෙන්නේ.

No comments: