ඇස්ටරික්ස් (Asterix)

මාස පහකට විතර පස්සේ තමයි බර්ටියා ආයෙත් බ්ලොග් සටහනක් ලියන්න ගත්තේ. ගොඩ දවසකින් ආපු නැති හන්දා බ්ලොග් එක පුරාම මකුළු දැලුත් බැදිලා අප්පා. හා හා පුරා කියලා මේ අවුරුද්දට ලියන පළ‍වෙනි බ්ලොග් සටහන ලියන්න ගන්න‍ේ අවුරුදු ක‍ටේ තමයි ඉතින්. මේ සටහන තබන්නේ බාල, වැඩිහිටි, මහළු හැමෝම ආදරය කරන කාටූන් චරිතයක් ගැන. නෑ නෑ මේ කියන්න යන්නේ නම් බැට් මෑන් ගැන නෙමෙයි. ඒ ගැන පස්සේ ලියන්නම් කෝ. බර්ටියා අද කතා කරන්න යන්නේ ඇස්ටරික්ස් (Asterix) එහෙමත් නැත්නම් සූර පප්පා කියන කාටූන් චරිතය ගැන.

ඇස්ටරික්ස් යනු ප්‍රංශ ජාතික රෙනේ ගොසිනීග‍ේ මනසේ මැවුණු ප්‍රංශ ජාතික ඇල්බර්ට් උඩෙර්සෝගේ තෙලි තුඩින් කැන්වසය මත මැවුණු කල්පිත චරිතයකි. ඇල්බර්ට් උඩෙර්සෝ පළමුවෙන්ම නිර්මාණය ක‍ළේ අපි කවුරුත් දන්නා විශාල හා ශක්තිමත් ශරීරයක් සහිත සාමාන්‍ය ගෝල් සටන් කාමි‍යෙක් ලෙසයි. නමුත් රෙනේගේ සිතේ මැවී තිබුණේ එවන් චරිතයක් නම් නොවෙයි. ඔහුගේ සිතේ වුයේ ප්‍රමාණයෙන් කුඩා ශක්තියට වඩා බුද්ධියට මුල් තැන දෙන සටන්කාමී ග‍ෝල් වීරයෙකි. මෙහිදී උඩෙර්සෝ කියා සිටිය‍ේ මෙවන් කුඩා වීරයෙකුට ශක්තිමත් එහෙත් එතරම් බුද්ධිමත් නොවන සඟයෙකු අවශ්‍ය බවයි. ග‍ොසිනි මේ තර්කයට එකඟ වු අතර මේ සිදුවුයේ ඔබිලික්ස්ග‍ේ (Obelix) නැත්නම් ජිම් පප්පාග‍ේ උපතයි. ඇස්ටරික්ස් චරිතය අඩංගු පළමු චිත්‍ර කතා ප‍ොත "Asterix the Gaul" ලෙස වර්ෂ 1961 දී මුද්‍රණයෙන් එළි දක්වීය. සාර්ථක අ‍ලෙවියක් පෙන්නුම් කළ එහි පිටපත් 6,000 අලෙවි විය. ඉන් පසු නිකුත් වු සියළුම චිත්‍ර කතා ප‍ොත් විශාල ප්‍රමාණයෙන් අලෙවි විය‍. ඇස්ටරික්ස් 9 වන කතාව 1967 දී නිකුත් වු අතර පළමු දින දෙක ඇතුලත එහි පිටපත් මිලියන 1.2 ක් අලෙවි විය.

ඇස්ටරික්ස් යනු කුඩා, නිර්භීත එමෙන්ම නුවණැති හැම විටම ත්‍රාසජනක ක්‍රියාවලට ආශාවක් දක්වන සටන්කාමියෙකි. ගමේ විනෝදයට මෙන් නිතර ද‍ෙවේල‍ේ සිදුවන කළ ක‍ොලාහල වලට සහභාගි නොවන ඇස්ටරික්ස් හේතුවක් ඇතිවිට කිසිදු පැකිළීමකින් තොරව සටහන සහභාගී වෙයි. ආයුධයක් ඇතත් අතින් පයින් රෝමානු සොල්දාදුවන්ට පහර දීම ඔහුග‍ේ පුරුද්දයි. බද පටියේ රදවාගෙන සිටින කෙටි කඩුවට අමතර මැජික් පානය පිරවූ බෝතලයක් ද එහි රදවා ඇත. ඇස්ටරික්ස් වාසය කරන්න‍ේ ක්‍රිස්තු පුර්ව 50 සියවස‍ේ ග‍ෝල් දේශය‍ේ (වර්තමාන ප්‍රංශය) ආම‍ෝරිකා (Armorica) ප්‍රදේශයේ නමක් සදහන් න‍ොවන කල්පිත ගම්මානයකයි. ඇස්ටරික්ස්ග‍ේ සමීපතම සඟයා හා හොදම මිතුරා වන්න‍ේ ඔබිලික්ස්ය (Obelix). ඔබිලික්ස් යනු ප්‍රමාණයෙන් විශාල එනමුත් තමන් මහත පුද්ගලයෙක් ලෙස නොදකින චරිතයකි. ඔබිලික්ස්ගේ චරිතයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂන වන්නේ ඔහුග‍ේ අසාමාන්‍ය කාය ශක්තිය හා කෑමට දක්වන අධික ආශාවයි. ඔබිලික්ස්ග‍ේ කැමතිම ආහාරය වල් උෟරු මස්ය. වල් ඌරන් අල්ලා ගැනීමට දඩයමේ යෑම ඔබිලික්ග‍ේ මෙන්ම ඇස්ටරික්ස්ග‍ේ ද වි‍නෝදාංශයකි. ඔබිලික්ස්ගේ ආසාමාන්‍ය කාය ශක්තියට හේතුව ඔහු කුඩා කාලයේ මැජික් අර්ෂ්ඨ කල්ද‍ේරමට වැ‍ටීම බව වෙද පප්පාග‍ේ අදහසයි. ඔබිලික්ස් සුරතලයට ඇතිකරන සුරතල් බලු කුක්කාග‍ේ නම චුටි කුකුය (Dogmatix).

ඇස්ටරික්ග‍ේ ගම්මානය අවට සියළුම ප්‍රද‍ේශ රෝමන් හමුදා විසින් යටත් කරගෙන ඇතත් ඇස්ටරික්ස්‍ගේ ගම්මානය යටත් කරගැනීමට ඔවුන්ට කිසිම හැකියාවක් ලැබී නැත්ත‍ේ වෙද පප්පාග‍ේ මැජික් අරිෂ්ඨය‍ේ බලය නිසයි. මැජික් අරිෂ්ඨය පානයෙන් අසාමාන්‍ය කාය ශක්තියක් ලබා ගන්නා ගම්වාසීන් ර‍ෝමන් හමුදාවට එළව එළවා පහර දෙයි. ර‍ෝමානු අධිරාජ්‍යා වන ජූලියස් සීසර්ට මේ ගම්මානය හිසරදයක් වී ඇත්තේ මේ හ‍ේතුවෙනි.

මැජික් අරිෂ්ඨය වෙද පප්පා (the druid, Getafix) නිර්මාණයකි. එය පානය කිරීමෙන් ඇස්ටරික්ස් ඇතුලු ගම්වාසීන්ට කෙටි කාලයකට ආසාමාන්‍ය කාය ශක්තියක් ලැබේ. වෙද පප්පා ඩෲයිඩ් පූජකවරයෙකි (ඩෲයිඩ් පූජකවරයින් ආදී සෙල්ටික් (Celtic) ශිෂ්ඨාචාරයේ දක්නට ලැබුණු ඉහළ පුජක තනතුරකි). වෙද පප්පා උස සුදු පැහැදි දිගු රැවුලක් සහිත පුද්ගයෙකි. සුදු පාට ඇදුමකින් සැරසී සිටින ඔහු රතු පැහැති කර ආවරණයක් පළදී. ඔහුග‍ේ වයස පැහැදිලි නැත. කුඩා ප්‍රමාණයේ රත්තරන් දෑකැත්තක් ඉන‍ේ ගසාගනෙ වෙද පප්පාව ජුලියස් අයියා කීප අවස්තාවකදීම පැහැරගෙන යන්නේ මැජික් අරිෂ්ඨය‍ේ රහස දැන ගැනීම සදහායි.

ඇස්ටරික්ස් කතා පෙළ මේ වන විට භාෂා 100 කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. මේ වන විට ඇස්ටරික්ස් ප‍ොත් 37 එළි දක්වා ඇත. මේ වසරේ මුද්‍රණයෙන් පිටවු Asterix and the Race Through Italy එහි නවතම නිර්මාණයයි. අැස්ටරික් කතා පෙළ ඇසුරින් නිපද වු කාටුන් චිත්‍රපටි ගණන 09 වන අතර සජිවී චරිත සහිත චිත්‍රපට ගණන 04 කි.

Animation Movies

  1. Asterix the Gaul (1967)
  2. Asterix and Cleopatra (1968)
  3. The Twelve Tasks of Asterix (1976)
  4. Asterix Versus Caesar (1985)
  5. Asterix in Britain (1986)
  6. Asterix and the Big Fight (1989)
  7. Asterix Conquers America (1994)
  8. Asterix and the Vikings (2006)
  9. Asterix: The Mansions of the Gods (2014)
  10. Asterix: The Secret of the Magic Potion (2018)

Live Action Films

  1. Asterix and Obelix Take on Caesar (1999)
  2. Asterix & Obelix: Mission Cleopatra (2002)
  3. Asterix at the Olympic Games (2008)
  4. Asterix and Obelix: God Save Britannia (2012)

රෙනේ ගොසිනී වර්ෂ 1977 දී මියගිය අතර එතැන් පටන් රසිකයන්ග‍ේ ඉල්ලීම පරිදි ඇල්බර්ට් උඩෙර්සෝ දිගින් දිගටම මෙම කතා මාලාව එළි දැක්වීය. අද මෙම කටයුතු සිදු වන්න‍ේ ඇල්බර්ට් උඩෙර්සෝග‍ේ අධීක්ෂනය ය‍ටතේ ඔහු විසින් පුහුණු කළ වෙනත් ශිල්පීන් තිදෙනෙක් විසිනි.

2 comments:

Unknown said...

සර්, ටිංටිං කථා පෙල ගැනත් හොයල දාන්න. එයත් ප්‍රයෝජනවත්.

Unknown said...

This is nice. I love this carton series very much. Now only get know how it's commencement. Thank you.