ගුරු වෘත්තියේ අත්දැකීම් 04

     බර්ටියට, පහුගිය දවසක අළුත් විදිහේ ආරාධනාවක් එක්ක අළුත් අත්දැකීමක්      විදගන්න අවස්ථාවක් ලැබුණා. හැමෝම මේ දවස්වල කොරොනා වසංගතය හින්දා      පීඩා විදිනවා. ගුරුවරුන්ට හා ළමයින්ට ඒක වැඩිපුරම දැනෙනවා ඉස්කෝලවල      අධ්‍යාපන කටයතු කරගෙන යන්න විදිහක් නැති නිසා. අපි මාර්ග ගත ඉගැන්වීම්      කටයුතුවලට යොමුවුනත් ඒක එච්චරම ඵලදායි නෑ කියලා දැනිච්ච වෙලාවල්      අනන්තයි අප්‍රමාණයි. බර්ටියා ඒ ගැන නම් නෙවෙයි මේ කතා කරන්න හදන්නේ.

     බර්ටියා කලිනුත් කිව්වා කොරොනා වසංගතය ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන      කටයුතු වලට අනිසි විදිහට බලපෑවා. ඔය කාරණය බලපෑවා මේ මැයි හා ජූනි මාස      වල පවත්වන්නට යෙදුණු කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ (Cambridge O Level)      විභාගයටත්. ඒක ඇත්තටම අප්‍රේල් මාසේ අග හරියේ වෙන්න පටන් ගත්තා. විෂයන්      කීපයකට අදාලව විභාගෙත් තිබ්බා. ඒත් කොරොනා වසංගතය ලංකාව පුරාම වගේම පැතිරෙන්න පටන් අරන් තිබ්බ හින්දා හදිස්සියේම විභාගය නවත්තලා දාන්න බලධාරීන් තීරණය කළා. ඒක එක්තරා දුරකට හොද තීරණයක් කියලා බර්ටියා හිතනවා.

ඔය තීරණයත් එක්ක මේ භාගෙට විභාගේ ලියපු ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණයෙදි කේම්බ්‍රිජ් බලධාරීන් අවස්ථා දෙකක් ලබා දුන්නා. එකක් තමයි ළමයින්ට ඔක්තොම්බර් නොවැම්බර් විභාග වාරයට සහභාගී වෙන්න අවස්ථාව ලබාදීම. අනිත් එක ගිය අවුරුද්දේ කලා වගේ පහුගිය විභාගවල ලකුණු විමර්ශනය කරලා ඒ හරහා ළමයින්ට ප්‍රථිඵල ලබාදීම (මෙතන ඇතිවුන තත්වය මීට වඩා බොහොම සංකීර්ණයි). අපි ඕකට කියලා ශ්‍රේණිගත කරනවා (Grading) කියලා. බර්ටියා ඒ ගැන විස්තර කතා කරන්න යන්නේ නෑ. මේ විස්තර කිව්වේ බර්ටියා ඊළගට කියන්න යන දේ ගැන තේරුම් ගන්න මේ විස්තර පහසුවක් වෙන නිසා.

සති දෙකකට විතර කළින් බර්ටියාගේ හිතවත් ගුරුවරයෙක් කතා කළා බර්ටියට. කතා කරලා බර්ටියට පොඩි යෝජනාවක් කළා. ඒ ගුරුවරයා පන්ති කරන දරුවෙක් ඉන්නවා. ඒ දරුවත් මේ කියන කේම්බ්‍රිජ් විභාගය කරන්නේ. ඒ දරුවා ඉගෙන ගන්න පාසල තීරණය කරලා ඔක්තොම්බර් නොවැම්බර් වාරයකට නොයා ළමයින්ව ඒ පාසලේ තියෙන මාර්ග ගත විභාගයක් තියලා ඒකෙන් ලැබෙන ප්‍රථිඵල වලින් ළමයින්ව ශ්‍රේණිගත කරන්න. සරලව කිවුවොත් Grading කරන්න.

ඒ ගුරුවරයා බර්ටියට කතා කරලා කරලා බර්ටියාගෙන් මේකට උදව්වක් ඉල්ලුවා. බර්ටියා හිතුවේ ඒ ළමයට පුනරීක්ෂන මොනවා හරි කරන්න වෙන්න ඇති කියලා. ඒ ඇත්ත සිද්ධිය වෙනම එකක්. මාර්ග ගත විභාගය යන අතර සූම් (Zoom) තාක්ෂනය හරහා සම්බන්ධවෙන ඒ පාසලේම ගුරුවරයෙක් විභාගය අධික්ෂනය කරනවා. බර්ටියට කරන්න තිබ්බේ විභාගේ වෙලාවෙදි ඒ ගුරුවරයාගේ කැමරාවට නොපෙනෙන තැනක ඉදගෙන ඒ ළමයට විභාගෙට උදව් කරන්න. සරලව කිවුවොත් විභාගය වෙලාවට දරුවට උත්තර කියලා දෙන්න. බර්ටියා අන්දුන් කුන්දුන් වෙලා ගියා, මොකක්ද මේ කියන්නේ කියලා. මේ කාරණය බර්ටියාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධව යන හින්දා බර්ටියා එක හෙළාම බෑ කියලා කිවුවා. සල්ලි කොච්චර දුන්නත් බර්ටියාට නම් ඒ විදිහේ වැඩක් කරන්න හිත හදාගන්න බෑ.

     බර්ටියා මේකට එකට නොවිච්ච නිසා අර ගුරුවරයා තව කාරණා කීපයක් කිවුවා      බර්ටියා ඒවා අහපුවහම හා කියයි කියලා හිතලා වෙන්න ඇති. ඒ වෙනකොට ඒ      ගුරුවරයත් ඒදේම කරලා තිබ්බා. ඒ ගුරුවරයා නම් කිව්වේ තමන් සල්ලි      බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒ දේ කළේ කියලා. ඒ දරුවා ඒ ගුරුවරයා උගන්නපු      ළමයෙක් නිසයි කියලයි බර්ටියා එක්ක කිවුවේ. ඒ ළමයා වැඩ බැරි ළමයෙක්      නෙවෙයිලු. ඒත් ඒ පාසලේ ළමයගේ ගුරුවරයා තමන්ගේ ටියුෂන් පන්තියට එන      ළමයින්ට වේලාසනින් අර ප්‍රශ්න පත්තරේ දෙනවලු. ඒ ළමයින්ට වැඩි වාසිය      ලැබෙනවා ඒ කාරණය උඩ. සමහර ගුරුවරු තමන්ගේ ප්‍රශ්න පත්තරය මේ ගාණයි      කියලා ප්‍රසිද්ධියේම කියලත් තියෙනවලු. ඕවා තමයි බර්ටියට දැනගන්න ලැබුණු කාරණා. ඒවා කොච්චර දුරකට ඇත්තද කියන්න බර්ටියා දන්නේ නෑ. ඒත් වෙච්ච දෙයක් එක්ක ඒ කාරණා වල යම් ඇත්තක් ඇති කියලා මොලේ තියෙන ඕන කෙනෙකුට වැටහෙනවා.

අවසානයේ බර්ටියා කිව්වේ, තරහා වෙන්න එපා. මට නම් මේ දේ කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති වලට මේක විරුද්ධයි. ඒක නිසා එහෙම කරන්න කැමති කෙනෙක් හොයාගන්න කියලා බර්ටියා කතාව අවසාන කළා.

බර්ටියට හිතාගන්න බෑ මෙහෙම කරන්න පුළුවන් ගුරුවරු ඉන්නවද කියලා. බර්ටියා හැම තිස්සෙම හිතන්නේ ගුරුකම කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු දෙයක් කියලා. බර්ටියගේ ඉස්සෙල්ලාම ප්‍රින්සිපල් කිව්වේ “Teaching is a holy job” කියලා. බර්ටියත් ඒක ඉහළින්ම පිළිගන්න කාරණයක්. තමන්ගේ බත් පත කන්න නැති දරුවන්ට දෙන, තමන්ගේ අතේ තියෙන තුට්ටු දෙක දරුවෙක්ගේ උවමනාවලට වියදම් කරන, තමන්ගේ ගෙදර ගෙනල්ලා තියාගෙන දරුවන්ට උගන්නන ගුරුවරු අනන්ත දැකලා තියෙන බර්ටියාට මේ වගේ මිනිස්සුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. කීයක් හරි හොයාගන්න ටියුෂන් එකක් කරන එක කමක් නෑ. මොකද ගුරුවරයෙක්ට මහලොකු වැටුපක් ලැබෙන්නේ නැති නිසා. ඒත් තමන් රැකියාව කරන තැන වෙනුවෙන් හදන ප්‍රශ්න පත්‍රය විභාගයට කළින් 50,000 හරි 60,000 හරි කියලා විකුණනවා ඒ කෙනා ගුරුවරයෙක් නෙවෙයි නරුමයෙක්. ඒක හරිම ඛේදවාචකයක්. ඒත් හැමදෙයක්ම මුදලින් තීරණය කරන සමාජයක මේක සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්.

No comments: