ඉස්කෝලේ කාලේ මං 1 - පැනීම

ආයුබෝවන් කට්ටියටම. ඉතින් කොහොමද? දවස් දෙක තුනක ඉදන් අළුතින් යමක් ලියන්න හිතුවට වැඩත් එක්ක ඒක කරගන්න හැකියාවක් ලැබුණේ නෑ. කොහොම හරි පෙබරවාරිය ඉවරවෙන්න කලින් තව සටහනක් ලියන්න ඕන කියලා හිතාගෙන හිටියේ. ඉතින් ඒක හෙමින් සැරේ ලියන්න ගත්තා. කියවලා බලන්න.

මේක බර්ටියගේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච දෙයක්. දන්නවනේ බර්ටියා ගියේ ගම්පහ තිබ්බ එකම පිරිමි පාසලට කියලා. දන්න අය ඒක මොකක්ද කියලා දන්න නිසා බර්ටියා අළුතෙන් ඒ ගැන කියන්න යන්නේ නෑ. බර්ටි උසස් පෙළ විභාගේ කරන කොට තමයි මේ සෙල්ලම අපි දැම්මේ. මට මතක විදිහට අපි 12 වසරේ එතකොට හිටිය‍ේ. මම දැනටමත් කියලා තියෙනවා පහේ කල්ලිය ගැන. බර්ටිගේ හොදම යා‍ළුවො සෙට් එක තමයි මේකේ හිටියේ. ඒ කියන්නේ වවුලා, කොමනා, ගමයා, පොකයා සහ බර්ටියා. අපි පස්දෙනා උසස් පෙළ කරන කොට පන්ති තුනක හිටියේ. බර්ටිය කලේ කෘෂී විද්‍යාව නිසා මම වෙනම පන්තියක. වවුලා වෙන පන්තියක. ඉතුරු තුන්දෙනා තව පන්තියක. කොහොම හරි අපි ‍ඔක්කොම හිටියේ විද්‍යා අංශයේ තමයි. අපි ඉතින් ඒ කාලේ කරන තරමක් කලේ පිස්සු වැඩ තමා. ඒවා එක එක තමා මේ හෙමින් සැරේ දිග ඇරගෙන යන්නේ.

අපේ ඒ දවස් වල ප්‍රයතම විනෝදාංශයක් වුනේ වේලාසනින් ගෙදර යෑම. වේලාසනින් ගෙදර යෑම නිළ වශයෙන් කරපු වෙලාවලුත් තිබ්බා. ඒත් වැඩි පුරම වේලාසනින් ගියේ නොනිළ විදිහට තමයි. ගොඩක් වෙලාවට ක්‍රිකට් තරඟයක් එහෙම තියෙන දවසට අපිට වේලාසනින් ගෙදර යෑමේ වුවමනාව ඇති වෙනවා. ක්‍රිකට් තරඟ නැතත් අපිට කම්මැලි හිතුනහම ගෙදර යන වෙලාවල් තිබ්බා. වාසනාවට බර්ටිගේ අම්මා වේලාසනින් ගෙදර ආවට බනින්නේ නෑ. බර්ටියා හිතන්නේ ඒ බර්ටි රස්තියාදුවේ නොගිහින් ගෙදරම එන නිසා වෙන්න ඇති. කට්ටිය ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් පැනලා එක්කො බර්ටිලගේ ගෙදර නැත්නම් වවුලගේ ගෙදරට තමා සෙට්වෙන්නේ. අපි දෙන්නම ඉස්කෝලෙට කිට්ටුවෙන් තමයි හිටියේ. ඒ නැතත් දුරයි කියලා අපේ එවුන්ට ගැටළුවක් ඇති වුනේ නෑ. වවුලගේ ගෙදරත් කොල්ලොම සෙට් එකක් හිටපු නිසා අපේ කඩා පාත්වීම ගෙදර කට්ටියට අවුලක් වුනේ නෑ. කොහාට ගියත් කිසිම කරදරයක් නැතුව කන බොන එක නම් අපේ එවුන් කළා. ආයේ නිකම් ඉතියෝපියාවෙන් සෙට් එකක් ගෙනල්ලා දැම්මා ‍වගේ තමයි. හිතාගන්න පුළුවන්නේ. අපේ සෙට් එක ගෙදරකට ගියහම ගෙදර ආර්ථිකේ මාසේකින් පස්සට යනවා කියලා තමයි හැමෝම කිව්වේ. අපිත් ඉතින් ඌරන්ට මොන සෙෘඛ්‍යයද කියලා කන එක තමයි කලේ.

තවත් ඉස්කොලේ දවසක්. එදා ගමයයි පොකයයි හිටියද කියන්න මතක නෑ. බර්ටියා පන්‍තියේ ඉදලා මොකක් හරි එකකට අපේ රතු කුරුස කාමරයට එනකොට වවුලයි කොමනයි බර කතාවක. කොමනා යන් කියනවා. වවුලා බෑ කියනවා. බර්ටිත් ඉතින් ඔළුව දාලා බැළුවා. කොමනා වේලාසනින් යමු කියනවා වවුලා බැහැයි කියනවා. ඒ පාර කොමනාගෙන් බර්ටිටත් ආරාධනාවක් ලැබුණා යන් කියලා. බර්ටිටත් කම්මැලි හිතිලා හිටියේ ඒ නිසා ගත් කටටම බර්ටි හා කිව්වා. ඊට පස්සේ වවුලටත් වද කරලා කැමති කරගෙන පොත් ටිකත් කිහිල්ලේ ගහගෙන වට පිට හොදට විපරම් කරලා බැස්සා පඩිපෙළෙන් පිට්ටනියට. පිට්ටනියේ කෙළවරේ ගෙට්ටුවක් තියෙනවා. ඒ දවස් වල එතන ආරක්ෂක නිලධාරියෙක් හිටියේ නෑ. තාප්පෙත් දැන් වගේ උස නෑ. අපිට ගෙට්ටුව වහලා තිබ්බට එතනින් පාරට පනින්න පුළුවන්. අපිත් ඉතින් අපේ ඔත්තු බලන චන්ද්‍රකා ඔක්කොම පාවිච්චි කරලා බොහොම පරෙස්සමට හිමින් සැරේ ගියා පිට්ටනියේ ගේට්ටුව ගාවට. එතනට යනකම් කිසිම අතුරු ආන්තරාවක් අපි තුන්දෙනාට ඇති වුනේ නෑ. ගේට්ටුව ගාවට ගියහම තමයි අපි තුන්දෙනාට තරු පෙනිලා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් සිහිවුනේ.

කොච්චර පරෙස්සමට වැඩේ කළත් අපි තුන්දෙනාට අමතක වෙච්ච දෙයක් තිබ්බා. අමතක වීමට හේතු වුනේ ඒ කාරණේ අවුරුද්දකට සැරයක් විතරක් වෙන දෙයක් නිසා. එදා තමයි අළුතින් ළමයි හය වසරට ඇතුලත් කරපු දවස. අපි තුන්දෙනාටම ඒක අමතක වෙලා තිබ්බා. හය වසර ළමයි ඉස්කෝල් ඇරිලා එනකම් අම්මලා තාත්තලා පහළොවක් විස්සක් විතර පිටි පස්සේ ගේට් එක ගාවට වෙලා මුර කරනවා. දැන් අපි තුන්දෙනා තරු ගනිනවා එකයි දෙකයි තුනයි කියලා. ආපහු යන්න විදිහකුත් නෑ. ගියොත් විනය කමිටුවට අතේ මාට්ටු වෙනවා. පැනලා යන්න විදිහකුත් නෑ අම්මාලා තාත්තලා ‍ක‍ට්ටියක් ගේට් එක ගාව. අල්ලලා දුන්නොත් එහෙම අපිව‍. තව තොප්පියයි. දඩුවම් තවත් වැඩි වෙනවා. අපි තුන්දෙනා මූණට මූණ බලා ගත්තා. මොකද බන් කරන්නේ කියලා අහනවා වගේ. උත්තරෙත් මූණු වලින්ම ලැබුණා. "ඕන රෙද්දක්, පනිමු බන්"

ඒ පාර ලැජ්ජාවයි බයයි පැත්තකින් තියලා කොමනා ඉස්සෙල්ලාම තාප්පෙන් පැන්නා. ඊළඟට වවුලා. අවසාන‍යට බර්ටියා වන මම. පැනලා වට පිටවත් බලන්නේ නැතුව දෙමව්පියො එතන නෑ කියලා හිතාගෙන අපි යන්න ගියා. කොහොම වුනත් අපි දැක්කා අම්මලා තාත්තලා තූෂ්නිම් භූතවෙලා අපි තුන්දෙනා දිහා බලාගෙන ඉන්නවා. වවුලා යන ගමන් කියනවා කට්ටිය අදම ළමයි ටික අස්කරගෙන වෙන ඉස්කෝලෙකට දායි කියලා. තව විනාඩි 10 ක් යනකොට අපි තුන්දෙනා හිටියේ වවුලාගේ ගෙදරට පාත්වුනා. එහෙන් මොනවද බඩට දාගෙන 1.30 විතර වෙනකම් ඉදලා අපි තුන්දෙනා පන්ති ගියා.

අපි කරපු ඔය වගේ වැඩ හින්දා තමයි අපේ ඉසකෝලේ කාලේ ලස්සන වුනේ. අපි දැනටත් එකතු වුනහම මේවා මතක් කරලා හිනාවෙනවා. අපි පිස්සු වැඩ කලාට අපි අපේ ඉගෙනීම් වැඩත් හරියට කරගත්තා. ඒක නිසා අපි අද හොද තැන්වල ඉන්නවා. අපේ ගුරු දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න. ඒකටත් එක්ක දැන් හැදෙන ළමයි. දැන් ළමයින්ට ජංගම දුරකථනයයි අන්තර් ජාලයයි ඇරුණහම වෙනදෙයක් නම් දෙයක් නෑ. අනේ මන්දා. මේ ළමයි යන්නේ කොයි අතද කියලා හිතාගන්නවත් බෑ. එහෙනම් අදට බර්ටියා යන්න යනවා. පස්සේ හමුවෙමු අළුත් කතාවක් එක්ක.

No comments: