ඉස්කෝලේ කාලේ මං 2 - ප්‍රහාරය

ආයුබෝවන් ! අළුත් මාසෙක අළුත් බ්ලොග් සටහනක් එක්ක ඔන්න බර්ටියා ආපහු ආවා. මේකත් බර්ටියාගේ පාසල් දිවියේ අත් දැකීමක් තමයි. හැබැයි මේක බර්ටියට වෙච්ච දෙයක් නම් නෙමෙයි. බර්ටියාගේ උසස් පෙළ පන්තියේ හිටපු යාළුවෙක් වන ප්‍රොපාට වෙච්ච වැඩක් ගැන තමයි කියන්න යන්නේ. බර්ටියා විද්‍යා විෂයන් වලට කැමත්ත දැක්වුවත් භෞතික විද්‍යාව බර්ටියා අකමැතිම විෂයක් වෙච්ච නිසා බර්ටියා උසස් පෙළ කෘෂි විද්‍යා අංශයෙන් කරන්න තීරණය කළා. ඒ දවස් වල අපි විෂයන් හතරක් කරන්න ඕන උසස් පෙළට. කෘෂි විද්‍යාව කරන අපි කළේ සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, කෘෂි විද්‍යාව එක්ක රසායන විද්‍යාව කියන විෂයන් හතර.

අපේ කෘෂි විද්‍යා පන්තියේ ඉස්‍කෝලේ පරණ ළමයි බොහොම අඩු ගණනක් තමයි හිටියේ. වැඩි ප්‍රමාණයක් හිටියේ වෙනත් ඉස්කෝල වලින් උසස් පෙළ හදාරන්න ආව අළුත් යාළුවෝ සෙට් එකක්. අපිට රසායන විද්‍යාව ඉගැන්‍නුවේ ‍"දෙවුම් බෝතලේ" කියන අන්වර්ථවත් නාමයෙන් හදුන්වපු ගුරුතුමිය. ඇත්තටම මේ ගුරුතුමිය බොහොම හොද කෙනෙක් (මෙහෙම කියන්න හේතු වෙච්ච කතාවකුත් තියෙනවා. ඒක මම වෙන දවසක් කියන්නම්). ඒත් මේ ගුරුතුමිය උගන්නපු මෙලෝ දෙයක් අපේ පන්තියේ එකෙක්ටවත් තේරුනේ නම් නෑ. යන්තම් හරි රසායන විද්‍යාව අල්ලගෙන හිටියේ මේ කතාවේ කථානායකයා වන ප්‍රොපයි දොළයයි තමයි‍. බර්ටියාට නම් රසායන විද්‍යාව සුද්දට ලුණු මිරිස් වගේ වුනා. දැනටත් බර්ටියා රසායන විද්‍යාවට අකමැති වෙන්න එක හේතුවක් තමයි මේක.

මේ සියන දේ වුනේ අපි 13 වසරේ ඉන්න කොට. එතකොට අපිට රසායන විද්‍යාව හොදටම එපා වෙලා තමයි හිටියේ. ඒ වෙනකොට අපි සටහන් ලියා ගන්නෙත් කොළවල. ගම්පහ ආශා එකෙන් රුපියල් 20 ක් දුන්නහම කටු වැඩ කරන කොළ 100 ක් ඒ දවස් වල ගන්න පුළුවන්‍. අපි ඒවයේ තමයි ඔය වෙනකොට සටහන් ලිව්වේ. මිස් කියවනවා අපි ලියනවා, අපි ලියනවා මිස් කියවනවා. ඕක තමයි ඒ දවස් වල රසායන විද්‍යා කාල පරිච්ඡේයේදි අපි කලේ. අන්තිම හරිය වෙන කොට අපි ලියනවා වගේ පෙන්නුවා මිසක් සටහන් ලිව්වෙම නෑ. බර්ටියා කළින් බ්ලොග් සටහනක කිව්වනේ බර්ටියා හිටියේ පන්තියේ අන්තිම පේළියේ හෙවත් "බ්ලු නගර්" වල කියලා. ඒකෙනුත් එහා මුල්ලෙම තමයි බර්ටියා වාඩිවෙලා හිටියේ. ඊළගට දොළයා. ඊට පස්සේ දීප්ති. අවසානයේ ‍ප්‍රොපා වාඩිවෙලා හිටියා. මේ ජායා රූපයේ උඩ බලන් ඉන්න එකා තමයි අපේ කතා නායකයා වන ප්‍රොපා.

මේ කියන දවසේ අපිට රසායන ‍විද්‍යා කාල පරිච්ඡේද 2ක් තිබ්බා. අපේ රසායන විද්‍යා ගුරුතුමිය ඇවිල්ලා පාඩම පටන් ගත්තා. අපිත් සුපුරුදු විදිහට අපේ වැඩේ කරගෙන ගියා. ඒ කියන්නේ සටහන් නොලියන එක. කොහොමත් ඔය වෙනකොට පන්තියෙන් බාගයක් විතර රසායන විද්‍යා සටහන් ලිව්වේ නෑ. කවදාවත් නැතුව අපේ රසායන විද්‍යා ගුරුතුමිය එක පාරටම "බ්ලු නගර්" එකට කඩා පැනලා ප්‍රොපාගේ පොත අරගෙන බැලුවා. මළා මෙලෝ සටහනක් පොතේ නෑ කියපන්කෝ ඉතින් (ප්‍රොපාත් නැගිටලා තමයි ටීචර්ට පොත දුන්නේ). ‍ බර්ටිට ටීචර් මොන ඒ වෙලාවේ මොනා කිව්වද කියන්න මතක නම් නෑ. "පටාස්" ගාන සද්දයක් එක්ක කෙමෙස්ට්‍රි ටීචර් ප්‍රොපාගේ කම්මුල ආදරයෙන් අත ගෑවා කියලා නම් හොදට මතකයි. ප්‍රොපා දාගෙන හිටපු කණ්නාඩි කුට්ටම ගුවනේ පාවෙලා ආවා දීප්තිගේ අතට. ඒත් එක්කම දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි "පටාස්" සද්දත් ශ්‍රවණය කිරීමේ හැකියාව අපිට ලැබුණා.

මේ වෙ‍නකොට ඒ පෝලිමේ හිටපු අපෙත් ඔළු ගිණි අරගෙන තිබ්බේ. ඇයි ඊළඟට අපේ පොත් බැලුවොත් එහෙම ටීචර් බොහොම ආදරෙන් අපේ කම්මුලුත් අතගාන බව අපිට සහසුද්දෙන්ම විස්වාශයි. කම්මුල් අතගාලා නැව‍තුනොත් ඇති. ඊළඟට පිනා ගාවට ගිහිල්ලා තමයි නවතින්නේ. අනේ අම්මො දෙයි‍යො බලලා වගේ කෙමෙස්ට්‍රි ටීචර් අපිට බැන බැන ඉස්සරහට ගියා. කොහොමත් ඒ පීරියඩ් එක ඉවර වෙනකම් ටීචර් අපිට දෙහි කැපුවා. අපිත් ඉතින් සද්ද නැතුව අහගෙන හිටියා. වෙන මොනා කරන්නද ඇටි කෙහෙල් කෑවා නම් විදවන්න එපායෑ. දැන් කට්ටියම තක්බිර් වෙලා ඉන්නේ. මොකද ඔය සිද්ධිය අපේ පන්තිභාර ශාන්ති මිස්ට ආරංචි වුනොත් එහෙම ආයෙමත් කට්ටියට ලුණු ඇඹුල් ඇතිව අහගන්න වෙන නිසා. ඊළඟ පීරියඩ් එකත් කෘෂි විද්‍යාව. අපේ පන්තිභාර මිස් ඇවිල්ලා උගන්නලා ගියා. හාවක් හූවක් නෑ‍. ඊට පස්සේ තමයි අපේ හෘදය වස්තූන් සාමාන්‍ය විදිහට වැඩකරන්න ගත්තේ.

පහුවදාත් කෙමෙස්ට්‍රි ටීචර් ආවා. පුරුදු විදිහට ඉගැන්නුවා. හැබැයි එදා නම් අපි ඔක්කෝම කිසිම පැකිලීමක් නැතුව සම්පූර්ණ සටහනම ලියාගත්තා. ඒ වෙච්ච දේවල් මිස්ගේ හිතෙත් ඉතුරුවෙලා තිබ්බේ නෑ. ඒ ගැන මොනයම් හෝ තරහක් අපේ හිත්වල තිබ්බෙත් නෑ. අපි දන්නවා සම්පූර්ණ වැරුද්ද අපේ අතේ කියලා. ඒ කාලේ අද වගේ ගුරුව‍රයෙක් දඩුවම් කළහම පහුවදාට දෙමව්පියො ඉස්කෝලෙට ඇවිල්ලා ගුරුවරයාට විරුද්ධව පැමිණිලි කරන්නවත් ඇයි දඩුවම් ‍කලේ කියලා අහන දේවල් වත් සිද්ධ වුනේ නෑ. ඒකට හේතු වුනේ අපි ඔය‍ෙෛ දේවල් ගෙවල් වල ගිහිල්ලා කිව්වේ නැති එකත් අපේ දෙමව්පියෝ අපි ගැන හරියට දැනන් හිටපු එකත්. වෙච්ච දේවල් කිව්වොත් එහෙම වෙන්නේ තව ගුටි දෙක තුනක් අම්මගෙන් හරි තාත්තාගෙන් හරි ඉල්ලන් කන්න. බර්ටියාගේ අම්මා නම් කියන්නේ උඔ මොකක් හරි වැරද්දක් කරන්න ඇති කියන එක (එහෙම කියලා නැවතුනොත් වාසනාව). අපිත් ඕවගේ දේවල් ගනන් ගත්තේ නෑ. අපි බනින ඒ‍වා ඒ කනෙන් අහලා අනිත් කනෙන් පිටකරනවා මිසක් කිසිම තරහක් හිතේ තියාගත්තේ නෑ. අපි අදත් ඒ ගුරුවරු දැක්ක තැන දණගහලා වදින්නේ ඒක නිසයි. ඒ ගුරුවරු අපි කරපු දේවල් වලට දඩුවම් නොකලා නම් දවසක හිරේ විලංගුවේ වැටිලා තමයි නතර වෙන්නේ. නැත්නම් කොහේ හරි කාණුවක් ගාව බල්ලෙක් වගේ මැරිලා යන්නත් ඉඩ තිබ්බා. බර්ටියා වගේම බර්ටියාගේ යාළුවොත් අද මේ තත්වේ ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහලා බැනලා හරි මාර්ගේ පෙන්නපු නිසා. ඒක ගැන කිසිම සැකයක් නෑ. අපි අපේ ගුරුවරුන්ට සදහටම ණයගැතියි අපිට යන්න හරි මාර්ගේ පෙන්නුවට.

ඒකටත් එක්ක අද. ළමයෙක්ට බැන්නොත් දඩුවමක් ‍කළොත් පහුවදාට ළමයගේ දෙමව්පියො ගුරුවරයාව හොයාගෙන එනවා ගුරුවරයාට දඩුවම් කරන්න. නැත්නම් පොලිසියට ගිහින් ගුරුවරයාට විරුද්ධව පැමිණිල්ලක් දාලා පොලිසියත් එක්ක එනවා. බර්ටියා මේ වෙනස හොදට දකිනවා මොකද අද බර්ටියාත් ගුරුවරයෙක් නිසා. දැන් ළමයි නිසි මාර්ගයේ නොයන්න එක හේතුවක් තමයි දෙමව්පියන් ගුරුවරයාගේ රාජකාරිය නිසි පරිදි ඉටුකරන්න ඉඩ නොදීම. ගුරුවරයාගේ රාජකාරිය ළමයාට විෂය කරුණු උගන්නන එක විතරයි කියලා කවුරු හරි කියනවාම් ඒක ලොකු වැරදීමයක්. ඊට වඩා දේවල් ගුරුවරයෙක්ගේ රාජකාරිය තුළ තියෙනවා. අද දෙමව්පියො දරුවගේ පොතක් පතක් බලන්නේ නෑ එච්චරටම අවිවේකයි හැබැයි ගුරුවරයාව හදන්න යනවා. අද දෙමව්පියන්ට හරි වැරද්ද තෝරා ගැනීමේ ගැටළුවක් තියෙනවා. දුවන්නන් වාලේ දුවන්න ගිහින් ඒ මිනිස්සුත් අතරමන් වෙලා අපේ ඉදිරි පරපුරත් අතරමන් කරලා දානවා. බර්ටියා නම් කි‍යන්නේ අවශ්‍ය තැනදී ළමයෙක්ට දඩුවම් කළ යුතුමයි කියලා. හැබැයි ඒක තරහින් කරන දඩුවමක් නොවිය යුතුයි. (බර්ටියා කෙන්ති ගිය වෙලාවට ළමයින්ට දඩුවම් ක‍රන්නේ නෑ කොහොමටවත්). අපේ සමහර ගුරුවරු වරද්ද ගන්නේ මෙතන. දඩුවම තමන්ගේ කේන්තිය පිටකරන විදිහක් ‍නොවිය යුතුයි කිසිම විටෙක. ගුරුවරයාට තමන්ගේ රාජකාරිය නිසි පරිදි සිද්ධ කරන්න දීලා දෙමව්පියො තමන්ගේ යුතුකම් කොටස හරියට සිද්ධ කරනවා නම් අප‍ේ සාමාජය මීට වඩා සුන්දර මනුස්සකම් පිරුණු එකක් වේවි.

No comments: