එදා සෙනසුරාදා දවසක්. බර්ටියා අද කැම්පස් නොගිහින් දවල් වෙනකම් නිදියන්න තීරණය කරලා තිබ්බේ. ඒත් උදේ 8.00 පහුවෙලා ටික වෙලාවක් ගියා විතරයි බර්ටියාගේ කණ ගාවින් දුරකතනය නාද වෙන්න ගත්තා. නෑ නෑ වැරදීමක් නෙමෙයි. ඒ දවස් වල අද වගේ ජංගම දුරකතන ප්‍රචලිත නෑ. අනික රස්සාවක් නොකරන බර්ටියට මොන ජංගම දුරකතනද? බර්ටියා බොහොම කම්මැලිකමින් ඔළුව උස්ස ගත්තා. "අයියෝ . . . එලීෂට සිංහල තේරෙන්නේ නැද්ද මන්දා? මම කිව්වනේ දවල් වෙලා මිසක් කතා කරන්න එපා කියලා". බර්ටියා හිතින් බැණ බැණ රිසීවරය කනේ තියාගත්තා.
"ගුඩ් මො(ර්)නින් බර්ටි අයියේ, මං මේ මල්ෂි කතා කරන්නේ. ඔයා අද ගෙදර නේද?" මේ මොකද යකෝ මේ කියලා හිතින් හිතපු බර්ටියා "ඔව් නංගි මම ගෙදර ඉන්නේ අද" කියලා උත්තර දුන්නා. "මම තව පැයකින් විතර අපේ මාමත් එක්ක අයියලගේ ගෙදර එනවා" කියලා කියපු මල්ෂි ෆෝන් එක තිබ්බා. මොකක්ද යකෝ මේ උදේ පාන්දරම පාත්වෙච්ච අකරතැබ්බේ කියලා හිතින් හිත හිතා බර්ටියා ඇදෙන් නැගිට්ටා. ඒ පාර ආයෙමත් ෆෝන් එක කෑ ගහන්න ගත්තා. ඒ පාර නම් එලීෂා තමයි කතා කලේ. බර්ටියා එලීෂා එක්ක පොඩි මලකුත් කඩලා, මේ හදිස්සියේ මල්ෂි මෙහෙ එන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන කියලා හිත හිතා අම්මට කිව්වා යාළුවෙක් ගෙදර එනවයි කියලා. බර්ටියාගේ අම්මගේ තිබ්බ එක හොදක් තමයි යාළුවෙක් කිව්වහම ඒ කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් ඒක ප්‍රශ්නයක් කරනොගත්ත එක.
පැයක් ගියේ නෑ මල්ෂි බර්ටියගේ ගෙදර ආවා මාමා එක්ක. ඇවිල්ලා බර්ටියට මාමව අදුන්නලා දුන්නා. මාමා තරමක් තට්ටේ තිබ්බ පොරක්. බර්ටියා කළින් මාමව දැකලත් තියෙනවා ගම්පහ ස්ටේෂන් එකේදී. ඒත් ඒ මල්ෂිගේ මාමා කියලා බර්ටියා දැනගෙන හිටියේ නෑ. බර්ටියත් ඉතින් දෙන්නවම බර්ටියගේ අම්මට අදුන්වලා දුන්නා. බර්ටියගේ අම්මයි මල්ෂිගේ මාමයි ඉස්සරහ වවලා තිබ්බ මල් ගැන කතා කරද්දි මල්ෂි හොරෙන් සැරේ බර්ටියාගෙන් කසාද සහතිකය ඉල්ලා ගත්තා. ඊට පස්සේ සචින්තට දෙන්න කියලා ලියුම් කෑල්ලකුත් දුන්නා. වැඩි වෙලා නොහිට දෙන්නම යන්න ගියා. බර්ටියව දැන් කරකවලා අත ඇරියා වගේ. මොකක්ද මේ වෙච්ච දේ කියලා හිතාගන්නත් බෑ. මේක කොහොම හරි සචින්තට කියන්න ඕන. බර්ටියට අමිලව මතක් වුනා. අමිල කියන්නේ කැම්පස් එකේ ජංගම දුරකතනයක් පාවිච්චි කරපු බර්ටියගේ යාළුවෙක්. බර්ටියා අමිලට කොල් කරලා කිව්වා "මචං තරහ නැතුව සචින්තට කියපන් මට දැම්මම කෝල් එකක් දෙන්න කියලා". විනාඩි 10 විතර ගියහම කැම්පස් එකේ Block 4 එකේ තිබ්බ කාසි දාලා කතා කරන ෆෝන් එකෙන් බර්ටියට කොල් එකක් ආවා. බර්ටියා විස්තරය කියාගෙන යනකොට ලයින් එක කට්වුනා. මේ වැඩේ හරියන්නේ නෑ කියලා හිතපු බර්ටියා එවෙලේම කැම්පස් එකට යන්න තීරණය කලා. ඒ වෙලාවෙම ආයෙමත් සචින්ත කෝල් කලා. "මචං පොඩ්ඩක් ඉදපන් මම දැන් ගෙදරින් එනවා. පැය දෙකක් යනකොට මම කැම්පස් එකේ" කිව්ව බර්ටියා ඉක්මනට ලෑස්තිවෙලා ගෙදරින් එළියට බැස්සා. කිව්වා වගේම පැය දෙකක් යනකොට බර්ටියා කැම්පස් එකට ගියා. ඒ යනකොට නිමන්ත, මනීෂා, හංසි, සචින්ත හතර දෙනාම බෙන්ච් එකේ. බර්ටියත් බෙන්ච් එකේ වාඩිවෙලා මනීෂගේ තේ එකත් බොන ගමන් සම්පූර්ණ සිද්ධිය විස්තර කරලා අර ලියුම් කෑල්ල සචින්ත අතට දුන්නා.
ලියුම් කෑල්ලේ වැඩි දෙයක් තිබ්බේ නෑ. මල්ෂි බැන්ද විත්තිය නැන්දා දැනගත්තා කියලා ලියුමේ තිබ්බා. ඒ මදිවට සදුදා උදේට සචින්තට වික්ටෝරියා පා(ර්)ක් එක ගාවට ඇවිල්ලා නැන්දව මුණ ගැහෙන්න කියලත් ඒකේ තිබ්බා. කට්ටියම අන්දුන් කුන්දුන් වෙලා දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මල්ෂි නැන්දත් එක්ක කිව්වේ නැත්තම් එයාලා බැන්දා කියලා කොහොමටවත් දැනගන්න විදිහක් නෑ කියලා බර්ටියා කිව්වේ. මේක නිසා බර්ටියා සෑහෙන කෙන්තියකින් හිටියේ මල්ෂි එක්ක. කොහොමටත් සදුදා උදේට 7.30 වෙනකොට මරදානේ දුම්රිය පොළ ගාවට එන්න කතා වුනා තුන්දෙනාම. නිමන්ත කිව්වා අපි කොටාටත් එන්න කියමු කියලා. කොට කියන්නේ සචින්තලගේ ඉස්කෝලේ හොද යාළුවෙක්. ඒකගේ නම අසිත.උදේ 7.30 වෙනකොට නිමන්තයි බර්ටියයි මරදානේ ස්ටේෂන් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා. තාම සචින්තත් නෑ කොටත් නෑ. සචින්තයා ආවා 7.45 විතර වෙනකොට. කොටා කෙළින්ම වික්ටොරියා පා(ර්)ක් එකට එන්නම් කිව්වලු. තුන්දෙනා බොහොම අමාරුවෙන් සෙනඟ පිරිච්ච 154 බස් එකකට නැගලා ටවුන් හොල් එක ගාවින් අතපය නොකැඩි බැහැ ගත්තා. පා(ර්)ක් එකට යනකොට මල්ෂියි නැන්දයි ඇවිල්ලා හිටියා. ඒ තුන්දෙනාට ඕන දෙයක් කතා කරගන්න දීලා නිමන්තයි බර්ටියි ළඟ තිබ්බ බංකුවකින් වාඩිවුනා. විනාඩි 10 ක් විතර යනකොට කොටත් ආවා. නිමන්ත කොටාව බර්ටියට අදුන්වලා දුන්නා. අර තුන්දෙනාගේ කතාව පැයක් විතර ඇදුනා. කතාව ඉවර වෙලා සචින්ත බර්ටිලා හිටපු තැනට ආවා. මල්ෂි එයාගේ කසාදය ගැන නැන්දට කියලා. ගෑනුන්ට රහස් පරිස්සම් කරන්න බෑ කියන්නේ ඕකනේ. නැන්දා ඒක මාමා එක්ක කියලා. බර්ටියා කළින් කිව්වා වගේ නැන්දලගේ කිසිම කැමැත්තක් තිබිලා නෑ මල්ෂිගෙයි සචින්තගෙයි සම්බන්දෙට. බොරුවට උඩින් එහෙම පෙන්නලා විතරයි මල්ෂිගෙන් විස්තර දැනගන්න. මල්ෂි බැන්දා කියලා මාමා දැනගත්තට පස්සේ මාමා එයා අඳුරන නීතිඥයෙක්ට (lawyer) කෙනෙක්ට කතා කරලා. පොරගේ උපදෙස් එක්ක තමයි සෙනසුරාදා මල්ෂි බර්ටිගේ ගෙදර අැවිල්ලා තියෙන්නේ කසාද සහතිකය ඉල්ල ගන්න. මල්ෂිගේ අම්මලටත් නොදැනෙන්න දික්කසාද නඩුවක් දාන්න තමයි නැන්දලගේ කල්පනාව. මල්ෂිගේ අම්මලා මේක ගැන නොදන්නවා කියන එක නම් බර්ටියා කොහොමටවත් විශ්වාශ කලේ නෑ. මේක කට්ටියගෙම ප්ලෑන් එකක් කියලයි බර්ටියා කිව්වේ. කොහොම හරි දැන් සචින්ත අළුත්කඩේ උසාවියට යන්න ඕන අර lawyer බුවා හම්බවෙන්න. කොටාට නම් මේ ගමන එන්න පුළුවන් වුනේ නෑ. මොකද කොටාට එදා කට්කරන්න බැරි lecture එකක් තිබ්බ නිසා. බර්ටියි නිමන්තයි ඉතින් සුපුරුදු පරිදි සචින්තයත් එක්ක කට්ට කන්න තීරණය කරලා මල්ෂියි නැන්දයි එක්ක උසාවියට යන්න පිටත් වුනා.
උසාවියේ වැඩ කටයුතු ලේසි වුනේ නෑ. Lawyer ලොක්කව මුණ ගැහෙන්නත් සෑහෙන වෙලාවක් ගියා. ඒ තුන්දෙනා අවශ්‍ය කරන දේවල් කතා කරගන්න අතරතුර බර්ටියි නිමන්තයි එළියට වෙලා හිටගෙන හිටියා. බර්ටි බොහොම තද කෙන්තියකින් හිටියේ මල්ෂි එක්ක. ඊට පස්සේ කිසිම දවසක බර්ටියා මල්ෂිත් එක්ක කතා කලේ නෑ. ඇත්තටම බැලුවොත් ඒ කේන්තිය අසාධාරණ නෑ. මල්ෂිගේ කට පරිස්සම් කරන් හිටියා නම් මේ ප්‍රශ්නේ මේ තරම් දුර යන එක නවත්ත ගන්න තිබ්බා. Lawyer හම්බවෙලා දික්කසාද නඩුවට දිනයක් දාගත්තට පස්සේ මල්ෂිගේ නැන්දා කට්ටියව කඩේකට එක්කන් ගියා මොනාවා හරි කන්න. බර්ටියා කවදාවත් කන බොන වැඩ වලට පස්ස ගහන්නේ නැති එකා වුනාට එදා බර්ටියා මල්ෂිගේ නැන්දා අරන් දුන්න කෑම වලට අතක් වත් තිබ්බේ නෑ. ඊට දවස් කීපයකට පස්සේ මල්ෂිගේ මාමාට (තට්ටයාට) සචින්තව හම්බවෙන්න ඕන කියලා පණිවිඩයක් එවලා තිබ්බා. හැමදාම වගේ එදත් නිමන්තයි බර්ටියයි සචින්ත එක්ක කට්ට කන්න ගියා. මරදානේ හොටෙල් ඩී බඩජාරි එක ඉස්සරහා හිටගෙන තමයි සචින්තයි මාමයි කතා කලේ. සචින්ත කියපු විදිහට නම් මාමට ඕන වෙලා තිබ්බා සචින්ත අවුලක් නැතුව තමන්ගේ වැඩ කරනවද කියලා දැන ගන්න. බර්ටියටයි නිමන්තටයි පැත්තකට වෙලා කරන්න වැඩක් තිබ්බේ නැති හින්දා පාරෙන් එහා පැත්තේ බස් හොල්ට් එක කිට්ටුව හිටපු තරමක් ලස්සන කෙල්ලෙක්ට (අක්කා කෙනෙක් වගේ දැක්කේ) ලයින් එකක් දාන්න ගත්තා. වෙන කෙල්ලො වගේ නෙමෙයි මේ කෙල්ල ටක් ගාලා බර්ටියයි නිමන්තයි එක්ක හිනා වුනා. දෙන්නට හෙණ හැපි ඉතින් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑනේ ඉතින්. ඒත් තව පොඩි වෙලවක් යනකොට බර්ටියාට විතරක් නෙමෙයි නිමන්තටත් තේරුම් ගියා කෙල්ලගේ රස්සාව මොකක්ද කියලා. දෙන්නා ලයින් එක දැමිල්ල පැත්තකින් තියලා තට්ටයයි සචින්තයි ඉන්න පැත්තට හැරුණා. ඒ දෙන්නගෙත් කතාව ඉවරයි ඒ වෙනකොට. තුන්දෙනාම ආපහු කැම්පස් එකට ගිහිල්ලා කට්ටිය එක්ක විස්තරේ කිව්වා.මේ සිදුවීමට මාසෙකට විතර පස්සේ සචින්තටයි බර්ටිටයි ආයෙමත් උසාවි යන්න වුනා. එදා බර්ටියා දැනගන්න ඕනකමින් හිටපු දෙයක් දැනගන්න ලැබුණා. ඒ මේ දික්කසාදය කෙරෙන්නේ මොන පදනමක් උඩද කියන එක. ලංකාවේ නීතියේ හැටියට දික්කසාදය ගන්න පුළුවන් හේතු තුනක් තියෙනවා;
1. ද්වේශ සහගත ලෙස අතහැර යාම.2. විවාහයෙන් පසු ලිංගික බෙලහීනතාවය.
3. අනාචාරයේ හැසිරීම.
බර්ටියාට තිබ්බ ප්‍රශ්නේ මේ කොයි කාරණය මතද දික්කසාදය ගන්නේ කියන එක. දෙවනි කාරණය නම් කොහොමටවත් වෙන්න විදිහක් නෑ. තුන්වෙනි කාරණයට අවශ්‍ය දේවල් කෘතිමව හදන්න පුළුවන් වුනත් තට්ටයා එහෙම පහත් වැඩක් කරලා සචින්තගේ ජීවිතය එක්ක සෙල්ලම් නොකරයි කියන විශ්වාසේ කොච්චර වුනත් බර්ටියගේ ඔළුවේ තිබ්බා. එහෙමනම් නොම්මර 1. ඒත් ඒක කොයි විදියහටද පාවිච්චි කරන්නේ කියලා එදා තට්ටයා පැහැදිලි කලා. සචින්ත මල්ෂිව බැන්දට කැන්දන් ගියේ නෑනේ. මේ සිද්දිය වෙලත් දැන් ටිකක් කල් ගිහිල්ලත් එක්කනේ. මෙන්න මේක තමයි ද්වේශ සහගත ලෙස අතහැර යාම කියන කාරණයට පදනම වුනේ. එදා දවසෙත් නඩුව කල් ගියා. සචින්තට lawyer කෙනෙක් හොයන්න අවශ්‍යතාවයක් වුනේ නෑ. කොච්චර වුනත් ඒ හැම දෙයක්ම තට්ටයා බලාගත්තා. මේ විදිහට තවත් නඩු වාර කීපයකට පස්සේ සචින්තට දික්කසාදය ලබාගන්න පුළුවන් වුනා. එදා සචින්තගේ යාළුවෝ කට්ටියම උසාවි ඇවිල්ලා හිටියා. හැමෝම සතුටු වුනා මේක මේ විදිහට ඉවර වෙච්ච එක ගැන. අැත්තටම බැලුවොත් මල්ෂි හරිම ස්ථිර නැති චරිතයක්. මේ දෙන්නා බැදලා ළමයෙක් එහෙම ඉන්නකොට ප්‍රශ්නයක් අැති වුනානම් හැමදේම නරක අතට හැරෙන්න තිබ්බා. අර කතාවකුත් තියෙනවානේ හැමදේම වෙන්නේ හොදටයි කියලා. ඔය සිද්ධියෙන් මාස කීපයකට පස්සේ මල්ෂි කසාද බැදලා ඕස්ට්‍රේලියාවට ගියා. මල්ෂි ඊට පස්සේ කීප සැරයක්ම සචින්තට කතා කලත් සචින්ත වචනෙකින් දෙකකින් කතාව ඉවර කලා. ලංකාවට ආව වෙලවක සචින්තව මුණ ගැහෙන්න ඕන කිව්වත් සචින්ත ඒකට කැමති වුනේ නෑ. අද සචින්ත විවාහ වෙලා හොද ජීවිතයක් ගත කරනවා.
මෙම නිර්මාණයේ එන සියළුම නම්, ගම් හා ස්ථාන බර්ටියාගේ කල්පිත මනසේ වල් බිහිවු ඒවා මිසක මෙම සත්‍ය සිදුවීමට අදාල ඒවා නොවේ. බර්ටියා විසින් සත්‍ය කතාවට ලුණු, ගොරකා, මිරිස් කුඩු, රම්පේ හා කරපිංචා වැනි රස කාරක එක් කරන ලදි.
No comments:
Post a Comment