වලි බේරීම

     මේ දවස් වලා බර්ටියා ගෙදරට වෙලා ඉන්නේ. කොරෝනා නිසා      ඉස්කෝල වහලා හින්දා යමක් ලියන්න වෙලාව ඕන තරම් තිබ්බත්      බර්ටියා හොදටම කම්මැලි වෙලා ඉන්නේ. ඒක නිසා පහුගිය ටිකේම      බ්ලොග් එක ලියන්න බැරිවුනා.

     බර්ටියා ඉස්සර ඉස්කෝලේ යන කාලේ හිටපු ගෙදරට අල්ලපු ගෙදර      වත්ත තරමක් ලොකු එකක්. එහේ කට්ටියක් පදිංචිවෙලා හිටියා. ඒ      ගැන වැඩි විස්තර බර්ටියා ලියන්න යන්නේ නෑ. ඔය ගෙදර හිටපු      තාත්තයි ලොකු පුතයි මාසෙකට සැරයක් දෙකක් හොද වලියක්      දාගන්නවා. වලියේ සද්දේ වටේටම ඇහෙනෙවා ඉතින්. වලිය      ලොකුවට නැගලා ගිහින් එක පාරටම නතර වෙනවා. ඒ තාත්තා      පුතාගේ අතින් ගුටි කාපුවහම. නෑ නෑ. වැරදිලා නෙවෙයි ඇත්තටම      වලිය ගොඩාක් වෙලාවට අවසන් වෙන්නේ ඒ විදිහට.

     විශේෂ අවස්තාවලදි අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා තාත්තට      නෙලනවා. එක සැරයක් පුතා තාත්තට හෝස් එකෙනුත් ගහලා තිබ්බා.      ඔන්න ළමයගේ තරම ඉතින්. හැබයි ඒ ගහලා දවස් දෙකක් ගියේ නෑ      පොරට දෙයියන්ගේ ලෙඩ හැදුනා. කොහෙන් හරි ඕවා පලදෙන්නත්      එපැයි ඉතින්.

ඉතින් අර මනුස්සයා මහ හයියෙන් අඩන සද්දේ ඇහෙනවා එහා පැත්තේ ඉන්න අපිටත්. බර්ටියට සමහර දවස් වලට සිත් පහල වෙනවා මේ උද්වේගකර දර්ශනය නරඹන්න. ඒ වෙලාවට බර්ටියයි සමහර විට බර්ටියගේ මල්ලිකාරයයි දෙන්නම ගෙදර පිටිපස්සේ තියෙන වැලි දෙහි පඳුර පැත්තට නිරීක්ෂන චාරිකාවක් දානවා අම්මට හොරෙන්.

වැල් දෙහි පඳුර කටුත් ඇනගෙන තාප්පේ ගාවට රිංග ගත්තහම මේ උද්වේගකර ඇඟ කිලිපොලා යන දර්ශනය ටිකට් නැතුව නැරඹීමේ අවස්තාවක් අපිටත් ලැබෙනවා. එහෙම චාන්ස් ලැබෙන්නේ කලාතුරකින් ඉතින්. අම්මට හරි තාත්තට හරි අහුවුනොත් නැව් ගුටි තමයි කන්න වෙන්නේ.

අපි කවදාවත් මේ වලි බේරන්න ගියේ නෑ. ගෙදර මිනිස්සුන්ට කුලල් කාගන්න ඉඩදීලා අපි හොරෙන් හිල්මට් එකක් දාලා ආතල් එකක් ගත්තා මිසක් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන නෑ කියලයි බර්ටියගේ දෙමව්පියෝ හිතුවේ. මොකද අන්තිමට අපිම නරක මිනිස්සු වෙන්න තියෙන ඉඩකඩ වැඩියිනේ. අනික අහක යන මෝටාර් එකක් අපිට වැදුනොත් එපැයි කියන්නද?

ඔහොම කාලෙයක් ගියාට පස්සේ අපේ ගෙදරට ඉස්සරහා තියෙන ගෙදරට පදිංචියට කට්ටියක් ආවා. අම්මයි තාත්තයි ළමයි දෙන්නයි. මේ ගෙදර අම්මයි තාත්තයි අරහේ වලියන වෙලාවට බොහොම කරුණාවෙන් දුවලා යනවා අර වලි සමතය කරන්න. අර ගෙදර පිරිමියා ගිහිල්ලා ගොඩක් වෙලාවට පුතණ්ඩියව අල්ලගෙන අනම් මනම් කියලා වලිය සමතයකට පත්කරන්න ට්‍රයි එකක් දෙනවා ඉතින්. ගෑණු කෙනත් යනවා හස්බන්ඩා එක්කම වලිය බේරන්න. ඔහොම කීප සැරයක්ම දෙන්නා වලිබේරන්න ගියා ඉතින්.

     ඔන්න එක දවසක් සාර්ථක විදිහට වලියක් පටන් ගත්තා. එදා බර්ටියටත් සාර්ථක විදිහට      වැල් දෙහි පඳුර අස්සට රිංගලා හිල්මට් එක දාන්න අවස්තාවක් ලැබුණා. අම්මෝ වලිය      නැගලා යනවා දැන්. පුතණ්ඩියා තාත්තට සුද්ධ සිංහල වචන කියලා අමතනවා. තාත්තත්      රිටන් එක දෙනවා. මහ ගෑණිත් සෙට් වෙලා පුතාගේ පැත්තට වලිය නැගලා යන අතර තුර      අර මෝඩ ජෝඩුවත් එදා ආවා වලියට සමතයකට පත්කරන්න.

     මොකක් හරි දෙයක් නිසා එදා වලිය වෙනදට වඩා අතිශයින් දරුණු වුනා. එක පාරටම      පුතණ්ඩියා අතට අහුවෙච්ච ජෑම් බෝතලයකින් (නෑ යකෝ එකේ ජෑම් තිබ්බේ නෑ) කෙළලා      අරිනවා තාත්තට. පැයට කිලෝමීටර් 185 විතර වේගෙන් ආවා ජෑම් බෝතලේ වදිනවා දඩාස්      ගාලා ඔළුවේ. කරුමේ කියන්නේ බෝතලේ වදින්නේ අර වලිය බේරන්න ආව ඉස්සරහා      ගෙදර කපල් එකේ ගෑනු මනුස්යගේ. ඔන්න වලි බේරීමේ විපාක ඇස් පනාපිටම පටිසන්      දුන්නා.

     වලිය එතනින්න ඉවර වෙනවා. අර මනුස්සයා ගෑනිවත් අරන් දොස්තර ගාවට යනවා      තුවාලෙට බේත් දාගන්න. මතක විදිහට එච්චරම ලොකු තුවාලයක් වෙන්නේ නෑ. එදායින්      පස්සේ අර ඩබල වලිබේරන්න ආවේ නෑ කවදාවත්ම. අර තාත්තයි පුතයි ඊට පස්සෙත් රණ්ඩු      වුනා ඉතින්.

     අවවාදය - අල්ලපු ගෙදර වලි බලා ආතල් ගත්තාට කමක් නැත. ඔළුවට ආදරේ නම් වලි      බේරීමට යෑමෙන් වලකින්න.

KB 2020.11.18

No comments: