අඳුරේ දඩයම්කරු 24 - රොසීටා මන්දිරය

සවස හතරට පමණ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ මන්දීරයෙන් පිටත් වු ලෝගන් ඇතුළු පිරිස රැගත් අශ්ව රථය වේගයෙන් පැරීසිය දෙසට ගමන් කළා. පැරීසියට ආසන්න පෙදෙසක වු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ හිතවතෙකුට අයත් වු අශ්වගාලක එම අශ්ව රථය නවතා තැබූ ඔවුන් එතැන් සිට ඔහුගෙන් ලබාගත් අශ්වයින්ගේ කර මතින් සිය ගමන පිටත් වුනා. සවස පහයි තිහ පමණ වන විට ඔවුන් තම අනිත් කණ්ඩායම හා හමුවීමට කතා කරගත් ස්ථානයට ළඟාවුනා. ඒ වන විටත් ඩේව් ඇතුළු පිරිස එහි පැමිණ සිටියා. ඒත් ඒ වන විටිත් සහන්‍යා එහි පැමිණ සිටියේ නෑ.

රැස්ව සිටි පිරිස වැඩි කතා බහකින් තොරවම කාලය ගෙවා දැම්මේ සහන්‍යාගේ ආගමනය බලාපොරොත්තුවෙන්. සවස හය පමණ වන විට කිසිදු උපද්‍රවයකින් තොරව ඇය එහි ළඟා වු ඔවුන්ගේ කාර්යයට වැදගත්වන තොරතුරු කිහිපයක්ද සමඟයි.

සහන්‍යා මොනවද ඔබද දැකගන්නට ලැබුණේ?

උතුමාණෙනි, මගේ ගණනය කිරිමට අනුව මේ වන විට “රොසීටා” මාළිගයට පැමිණ සිටිනවා විසිදෙනෙකුගෙන් පමණ වු පිරිසක්. එයින් කොටසක් පැමිණියේ අශ්ව රථ දෙකකින්. අනිත් පිරිස අශ්වයන්ගේ පිටේ. මෙසේ පැමිණි බොහෝ දෙනෙක් ආයුධ සන්නද්ධයි. ඔවුන් බොහෝ විට මෙහි පැමිණි ප්‍රධානීන්ගේ ආරක්ෂකයින් වෙන්න පුළුවන්. මම මාළිගය අසලටම ගමන් කළා කිසිවෙකුටත් නොදැනීම. ඔවුන් ප්‍රධාන පිවීසීම් දොරටුවේ දෙදෙනෙක් රදවා තිබෙනවා. අනිත් අය ගැන කිසිවක් නිවැරදිව පවසන්න බෑ. මාළිගාව තියෙන ඉඩම වල් වැදිලා තියෙන්නේ. ඒක නිසා කිසිවක් පැහැදිලිව දැකගන්නට හැකියාවක් නැහැ. මට අහන්නට ලැබුණු කරුණුවලට අනුව මෙම හමුව ආරම්භවීමට නියමිතව ඇත්තේ හවස හතට.

මේ තොරතුරු අපිට බොහොම වැදගත්වෙනවා. ඔබට ස්තූතියි සහන්‍යා.

උතුමාණෙනි, ඇයි මේ “රොසීටා” මාළිඟය අතහැර දමා තියෙන්නේ?

     ඩේව්, මීට වසර දහයකට පමණ පෙර “රොසීටා” මාළිඟයේ හිමිකරුවා       ඒ කියන්නේ නගරාධිපතිවරයාගේ සොයුරියගේ ස්වාමි පුරුෂයා, හදිසි      අනතුරකින් මිය ගියා. ඒත් එය මිනිමැරුමක්ද හදිසි අනතුරක්ද කියා      පැහැදිලිව කියන්නට හැකියාවක් නෑ. ඊට මාස කිහිපයකට පස්සේ විවිධ       කට කතා පැතිරුණා එහි හිමිකරුවගේ ඒ කියන්නේ රොබට්      කැලිස්ටර්ගේ අවතාරය එහි තියෙනවා කියලා. කට කතා වලට අනුව      නම් එහි වැඩ කරපු මෙහෙකරුවන් කිහිප දෙනෙක්ම මේ කියන      අවතාරය දැකලා බයවෙලත් තියෙනවා. ඔය සිද්ධි වලින් පස්සේ      නගරාධිපතිවරයාගේ සොයුරිය වන ජීන් කැලිස්ටර් ආර්ය්‍යාව සිය      සොහොයුරාගේ මන්දිරයේ පදිංචියට යනවා. රොසීටා මන්දිරය වල්      වැදිලා ගරා වැටෙනවා. ඒ මරණයෙයි මේ කටයුත්තයි අතර      සම්බන්ධයක් තියෙනවාද කියන්න මා නම් දන්නේ නෑ. සමහරවිට අපට      එය අද හොයාගන්න පුළුවන් වේවි. අපි යමු නේද ලෝගන්?

ඔව් උතුමාණෙනි, මේ වෙලාව සුදුසුයි අපේ කාර්යය ඇරඹීමට. ඇදිරි වැටීගෙන එනවා. අපිට කාටවත් නොපෙනී ගස් කොළන් අතරින් මාළිඟයට ලඟා වීමට හැකියාව ලැබේවී. මතක තියාගන්න අපිට ප්‍රධානියෙක් පණ පිටින් අල්ලා ගන්න ඕන. අපි පිටත් වෙමු.

ඒ සැනෙකින් ලෝගන් ඇතුළු පිරිස අවට වු පරිසරයේ අන්ධකාරය තුළ නොපෙනී ගියා. පරිසරයේ වු අඳුර හා අවට වු ගහ කොළ අතරින් ගමන් ගත් ඔවුන් කිසිවෙකුගෙත් ඇසට නොගැටී පැය භාගයක් පමණ කාලයක් ඇතුලත ඔවුන් “රොසීටා” මන්දිරය වෙතට ළඟා වුනා. අවට පරිසරය අඳුරු යක්ෂයාගේ ග්‍රහණයට අසුව තිබුණා. මදක් ඈතින් දැක්වෙන මාළිගය තුළින්වත් ඔවුනට ආලෝකයක් දැකගන්නට ලැබුණේ නෑ. මාළිගය අසලට පැමිණි ඔවුනට මාළිගා බිමට පිවිසෙන දොරටුව අසල සිටි මුරකරුවන් දෙදෙනෙක් දක්නට ලැබුණා.

ලෝගන්ගේ උරහිට තට්ටු කළ ඩේව්, ඔහුට මුරකරුවන් දෙදෙනා දක්වා සිටියා. අනිත් අයට එහිම රැදී සිටින ලෙස සංඥා මගින් දන්වාලු ඔහු, නයෝමි සමඟ ඉදිරියට ගියේ තමන්ගේ හරස් දුනු අතට ගනිමින්. තවත් තප්පර කිහිපයකට පසු ඒවායින් එක විටම වාගේ නික්මුණු “කුරාරි” විස තැවරු ඊතල දෙකක් මුරකරවන් දෙදෙනාගේ සිරුරුවලට ඇතුල් වුයේ ඔවුන් දෙදෙනා නිශ්ශබ්දවම බිම හෙලමින්. ලෝගන්ගේ සංඥාව අනුව එහි ළඟා වු අනිත් පිරිස ඉක්මනින්ම මාළිඟා බිමට ඇතුල් වී කණ්ඩායම් දෙකකට බෙදී තමන්ගේ ඉලක්කයන් කරා ගමන් කළේ සෙඩ්රික් හා බැටිස්ටාට එම දොරටුවේම රදවමින්.

ලෝගන්, නයෝමි හා ටාරාට තමන්ගේ ඉලක්කය කරා යෑමට විනාඩි දෙකක අමතර කාලයක් ලැබී තිබුණා. එයින් අනතුරුව දෙපිරසම එකවරම එම දොරටු වලින් මාළිගාවට ඇතුල් වී ඉහළ මාලයට යෑමට නියමිත වී තිබුණා. ලෝගන් ඇතුළු පිරිසට තමන් ඇතුල් වීමට නියමිත දොරටුවට ආසන්නයේදි එහි රැදි සිටින ආරක්ෂකයින් තිදෙනෙකු එහි දල්වා තිබු පන්දමේ එළියෙන් දක්නට ලැබුණා. ඊළඟ මොහොතේදි තමන්ගේ ඉලක්ක නිශ්ශබ්දවම කතිකා කරගත් ඔවුන් තමන්ගේ ඉලක්කවලට නිවැරදිවම කුරුමාණම් ඇල්ලු ඔවුන් ක්ෂණයකින් තම දුනු දිය මුදා හැරියා. තම ඉලක්කවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට මොහොතක් පමාවු ඔවුන් තිදෙනා ඊළඟ මොහොතේ ආරක්ෂකයින් විසින් රැකවල් කරනු ලැබූ දොරටුව වෙත දිව ගියා.

ඔවුනට සිදුකිරීමට නියමිතව තිබු කාරියේ අපහසුම කොටස වුයේ ඉන් අනතුරුවයි. තමන්ගේ ඉණෙහි රදවාගෙන තිබු පිහිය අතට ගත් ලෝගන්, ප්‍රථමයෙන්ම විවරව තිබූ දොරටුවෙන් “රොසීටා” මාළිඟය වෙතට පිවිසියා. කිසිදු හඩක් නොනගා ඉදිරියට ගමන් කළ ලෝගන් කිසිදු අවහිරයකින් තොරවම මාළිගයේ ඉහළ මාලයට පිවිසෙන පිය ගැට වෙතට පිවිසුනා. ඉහළ මාලයේ දැලුවු පන්දම් වලින් ලද ආලෝකයෙන් පහත මාලයේ වු ඝන අඳුර යාන්තමට මැකී ගොස් තිබුණා.

අඳුරේම පිය ගැට පෙළ ඔස්සේ ඉහළට නැගුණු ඔවුනට දැකගත හැකිවුයේ එම මාලයේ තැන් තැන් වල දල්වා තිබු පන්දම්. පිය ගැට පෙළෙහි ඉහළට නගින විට ලෝගන්ට යම් අනතුරක සේයාවක් දැනී ගියත්, එවැනි කිසිවක් ඔහුගේ තියුණු දෑසට දැකගන්නට ලැබුණේ නෑ. කිසිදු ශබ්දයක් නොනගාම රැස්වීම් ශාලාව දෙසට පිය නගන ඔවුනට මාළිගයේ ඉදිරි පස පිය ගැට පෙළින් ඉහළට නැගුණු ඩේව් ඇතුළු කණ්ඩායම දැකගන්නට ලැබුණා. තමන් ඉදිරියට යන බව ඔවුනට සංඥා කළ ලෝගන්, නයෝමි හා ටාරා කැටුව සීරුවෙන් ඉදිරියට ඇදුණා.

ඊළඟ නිමේෂයේදි මාළිගාවම දෙදරුම්කමින් නැඟුණු අමානුෂික ගෙරවිලි හඩකින් මේ පිරිස සලිත වී ගියා. මහා හඩක් නංවමින් මාළිගයේ ඉහල මාලයේ සිට යම් කිසිවක් දෙවන මාලයට පතිත වුනා. නැවත වරක් නිශ්ශබ්දතාවය මාළිගය පුරාම පැතිර ගිය අතර එසේ ඉහළ මාලයෙන් දෙවන මාලයට පතිත වුයේ කුමක්දැයි ලෝගන් ඇතුළු පිරිසට මොහොතකින් දැක ගත හැකිවුයේ දෙවන මහලේ වු දැල්වෙන පන්දම් එළියෙන්. තවත් වරක් භීෂනාත්මක ගෙරවිල්ලකින් “රොසිටා” මාළිගය දෙදරුම් කවාගෙන ලෝගන් ඇතුළු පිරිස ඉදිරියේ නැගී සිටියේ දැවැන්ත නර වෘකයෙක්.

     ඇසි පියලන සැසින් සිය අසිපත අතට ගත් ලෝගන් නර වෘකයා ඉදිරියට පැන්නේ      තම කණ්ඩායමට ඉදිරියට යන ලෙස සංඥා කරමින්. නර වෘකයා සිය දිගැති      නියපොතු සහිත දකුණතින් වේගයෙන් එල්ල කළ පහර වළකමින් ඒ අත යටින්      රිංගා ගිය ලෝගන් එසේ යන අතරම නර වෘකයාගේ දකුණු කකුලට අසිපත් පහරක්      එල්ල කලේ නර වෘකයාගේ මුවට වේදනාත්මක කෙදිරියක් නංවමින්. ඒ පහරේ      වේදනාවත් සමඟින් කෝපයෙන් වියරු වැටුණු මේ නොමිනිස් සත්ත්වයා තවත්      දරුණු පහරවල් කීපයක්ම එල්ල කළත් ඒවා සියල්ලම ගැටුණේ හිස් අවකාශය      සමඟයි. ඊලඟ මොහොතේ නර වෘකයාගේ දෙකකුල් අතරින් රිංගා ගිය ලෝගන්      වහා නැගී සිටියා. මෘගයා. දෙසවත් නොබැලූ ඔහු ක්ෂණයකින් සිය අසිපත සිය වම්      උරහිසට යටින් වේගයෙන් පිටු පසට එල්ල කළා. මොහොතකින් සියුම් කෙදිරියක්      නැගු නර වෘකයා සදහටම නිහඩ වුනා.

     ලෝගන්ගේ අසිපත් පහර නර වෘකයාගේ ඉළ ඇට බිද දමමින් උගේ හෘදය වස්තුවට      ඇතුළු වී තිබුණේ මේ භීෂණාත්මක මෘගයා මොහොතකින් පරලොව යවමින්. තම      අසිපත මෘගයාගේ පපු කුහරයෙන් එළියට ඇදගත් ලෝගන් වේගයෙන් රහසිගත      හමුව පවත්වන්නට නියමිතව තිබු ශාලාව වෙතට දිව ගියේ තම කණ්ඩායමේ      සහයටයි.

     ශාලාවේ දොරටුව වෙත ලගාවන විටම එයින් එළියට ආ අඳුරු දූතයාගේ හිස      ක්ෂණයකින් සිද දැමු දඩයක්කරුවා ශාලාව ඇතුලට පිවිසෙන විට දක්නට ලැබුණේ එහි සිදුවන්නා වු දරුණු ගැටුමක්. සිය පපු පෙදෙසින් ඇදගත් කෙටි පිහියක් අතට ගත් ලෝගන් එය දමා ගැසුවේ ටාරාගේ පිටු පසින් ඇයට පහර දීමට තැත් කළ පුද්ගලයෙකුටයි. පිහි පහර පපුවටම වැදුණු ඔහු බිම ඇද වැටුණේ පසෙක වු විශාල මැටියෙන් නිමවු මල් බදුනක් සුනු විසුණු කර දමමින්.. ශාලාවේ මැදට වන්නට තිබූ විශාල මේසය හරහා ලිස්සා ගොස් කාමරයේ අනිත් පසට පැනගත් ලෝගන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා හා දරුණු සටනකට එළඹී සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුට වේගවත් පා පහරක් එල්ලා කළා. එහි වේගයට එය ලත් තැනැත්තා එහි වු ආසන කීපයක්ම පෙරළා ගෙන ඇද වැටුණා.

තම අසිපත සිය උරහිස හරහා වු කොපුවේ දමාගත් ලෝගන් සිය කුක්රි වර්ගයට අයත් පිහිය එළියට ඇදගත් ලෝගන් තවත් ආරක්ෂකයෙක් හා සටනට එළඹුනා. එය ඇත්තෙන්ම ඉතාමත් කෙටි සටනක්. ලෝගන් බොහොම වේගයෙන් හා ජවයෙන් යුතුව එල්ල කරන පහරවල් වලක්වා ගන්නට මේ ආරක්ෂකයාට කිසිම හැකියාවක් තිබුණේ නෑ. දඩයක්කරුවා එල්ල කළ පළමු හා දෙවන පහරවල් ඔහු අපහසුවෙන් වලක්වා ගත්තත් තෙවන පහර වළක්වා ගන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නෑ. ආරක්ෂකයා ලෝගන්ගේ පහර වැළක්වීමට ආරක්ෂිත උපක්‍රමයක් බාවිතා කළත් එය බිද හෙලමින් වේගයෙන් ආ ලෝගන්ගේ පිහිය ඔහුගේ හදවතට ගිලා බැස්සා. සිය පිහිය මළ සිරුරින් එළියට ඇදගත් ලෝගන් තවදුරටත් සටනට සුදානම් වුවත් ඔහුට සටන් වැදීමට තවත් කෙනෙකු ඉතිරිව සිටියේ නෑ.

ඇතිවු මේ බිහිසුණු සටනින් සහන්‍යා හා ඩේව් තුවාල ලබා සිටියත් ඒවා කිසිවක් බරපතල ඒවා වුයේ නෑ. සටන අවසානයේ අඳුරේ දූතයන් සංවිධානයේ ඉහල පෙළේ සාමාජිකයින් යැයි සිතිය හැකි දෙදෙනෙක් ජීව ග්‍රහයෙන් අල්ලා ගැනීමට ඔවුනට හැකියාව ලැබී තිබුනා. ඉන් එක් අයෙක් වුයේ ලෝගන්ගේ පා පහර වැදි සිහිසන් වු පුද්ගලයායි. ඊට අමතරව ඔවුනට නගරාධිපතිවරයාගේ සොයුරිය වු ජීන් කැලිස්ටර් ආර්ය්‍යාව ජීව ග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකියාව ලැබී තිබුණා.

ලෝගන්, ඔබ නම් සැබෑ දක්ෂයෙක්.

තමන්ගේ අතෙහි වු ගැඹුරු කැපුමට ප්‍රතිකාර කරමින් සිටි ලෝගන් හට සහන්‍යා පැවසුවා.

මම කවදාවත් අහලා නෑ නර වෘකයෙක් වගේ භයානක මෘගයෙක් එක්ක සටන් වැදිලා ඒ තරම් ඉක්මනින් ඌව මරාදමන්න පුළුවන් කෙනෙක් ගැන. මම හිතන්නේ නෑ ඒකට ඔබට විනාඩියක්වත් ගතවෙන්න ඇතියි කියලා. හරිම පුදුමයි.

සුපුරුදු ලෙසම මෙයට කිසිවක් නොකී ලෝගන්, නිහඩවම ඇයගේ තුවාලයට ප්‍රතිකාර කොට අවසන් කළා.

ඒක ඇත්ත සහන්‍යා.

එසේ පැවසුවේ ඩේව්.

හොද වෙලාවට ඔහු මේ සටනේ අපේ පැත්තේ ඉන්නේ. උතුමාණෙනි, අපේ ඊළඟ පියවර කුමක්ද?

මම හිතන්නේ අපි මෙතනින් පිටවුනොත් හොදයි ඩේව්. තව කවුරුවත් මෙහි එන්න ඉන්නවද දන්නේ නෑ. ඒ නිසා අපි මොවුන් දෙදෙනාවත් රැගෙන මෙතනින් පිටවෙමු. ඒත් තියෙන ගැටළුව මොවුන්ව කොහාටද රැගෙන යන්නේ කියන එක. මොවුන්ව අපි දන්නා එකම තැනකටවත් රැගෙන යන්න ඉඩක් නෑ.

මොවුන්ව ගෙනයා හැකි එක් තැනක් තියෙනවා. අපි එතනට යමු.

ලෝගන්, ඔබ යෝජනා කරන්නේ අතිශයින්ම භයානක දෙයක්. එය මගේ මතකයට ආවා. ඒත් මා එයට කැමති නෑ.

උතුමාණෙනි, අපට වෙන කළ හැකි දෙයක් නෑ. මොවුන්ව රැගෙන යා හැකි වෙන කිසිම ආරක්ෂිත තැනක් නෑ. ප්‍රශ්න කිරීමෙන් අනතුරව ඔවුන්ව එතනම රැදවිය හැකියි. අපිට ඒ ගැන කරදරවෙන්න දෙයක් නෑ. මෙය කරනවා නම් අප දැන්ම මෙතැනින් පිටව යා යුතුයි.

එහෙම නම් අපි එසේ කරමු.

ඔබලා මොකක් ගැනද මේ කියන්නේ?

ඩේව්, ඒක දිගු කතාවක්. මේ එයට අවස්ථාව නොවෙයි. මොවුන් දෙදෙනාව තදින් බැද දමන්න. ඒ වගේම ඔවුන්ට කෑගන්න බැරිවෙන්න කටවලුත් ආවරණය කරන්න. අර පහළ තියෙන අශ්ව කරත්තයක් අපි යොදාගමු අපේ මේ ගමනට. මම, ලෝගන්, නයෝමි හා ටාරා කැටිව මේ ගමන පිටත් වෙන්නම්. ටාරාගේ මායා බලය අපට අවශ්‍ය වෙනවා මේ කටයුත්තට. ඔබලාගේ තුවාලත් සමඟ මේ ගමන යන්න බෑ. එය අප හැමෝටම අනතුරුදායකයි. ඔබ දෙදෙනා සෙඩ්රික් හා බැටිස්ටා සමඟ අප මඟ රදවපු අශ්වයිනුත් රැගෙන ඔබලාගේ නිවහනට යන්න. අප එනතෙක් එහි රැදී සිටින්න. අපි දැන්ම පිටත්වෙමු. ඔබ ගොස් සෙඩ්රික්ට හා බැටිස්ටාට මෙහි එන්න කියන්න.

එසේය උතුමාණෙනි.

විනාඩි කිහිපයකට පසු එහි පැමිණි සෙඩ්රික් හා බැටිස්ටාට අවශ්‍ය උපදෙස් ලබාදුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඉන් අනතුරව ඔවුන් හා එකතු වී සිරකරුවන් දෙදෙනා පහළ භූමියේ නවතා තිබු අශ්ව රථයක් අසලට ගෙන ගියා. සිරකරුවන් දෙදෙනා එයට නැංවීමෙන් අනතුරුව ලෝගන් වෙතට හැරණු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා,

ලෝගන්, ඔබට සිද්ධවෙනවා රථය රැගෙන යන්න. මමවත් මේ දක්වාම ඔබ කියන තැනට ගිහිල්ලා නෑ. මම, නයෝමි හා ටාරා සමඟ සිරකරුවන් සමඟ එන්නම්. ඩේව්, හැමවිටම කල්පනාවෙන්. කිසිවෙකුට ඔබව ලුහුබැදගෙන ඒමට ඉඩක් තියන්න එපා. අපි හැකි ඉක්මනින්ම ඔබලා සමඟ එකතු වෙන්නම්.

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට අචාර කළ ඩේව්, සෙඩ්රික්, සහන්‍යා හා බැටිස්ටා සමඟ එතනින් පිටව ගියා. ටාරා. නයෝමි හා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා රථයේ සිරකරුවන් රදවා තිබු කොටසට නැග ගත්තා. මාළිගයේ ඇතුලතින් රැගෙන ආ පන්දම් දෙකක් රියදුරු ඇසුන යට රැදවූ ලෝගන් ඉන් අනතුරුව රියදුරු අසුනට නැගී, රථය මාළිගා බිමෙන් එළියට හිමින් සීරුවේ රැගෙන ගොස් ප්‍රධාන මාර්ගයට ඇතුළු කරනු ලැබුවා. අනතුරුව ඔහු වේගයෙන් රථය ධාවනය කරන්නට ලැබුවේ එම ස්ථානයේ සැතැප්ම පනහක් පමණ ඈතින් වගුරු බිමක් අසල වු ඔහු පමණක් දැන සිටියා වු රහස් ස්ථානයක් කරායි.

පැය කිහිපයකින් දුෂ්කර ගමනකින් අනතුරුව ලෝගන් සිය රථය නියමිත ස්ථානයකට රැගෙන ආවා. අනතුරුව රථය ප්‍රවේශම් සහගත ආවරණය වු ස්ථානයක නතර කළ ඔහු රියදුරු අසුන යටින් ගත් එක පන්දමක් දල්වා ගත්තා. අනතුරුව එය ඔහු අස්ව රථයෙන් බැස එම ස්ථානයට ආ නයෝමි අතට ලබා දී ඉතිරි පන්දම දල්වා ගත්තා. එයත් රැගෙන ග්‍රැන්ඩ් මාස්ටර්වරයා හා කැටුව සිරකරුවන් දෙදෙනා අශ්ව රථයෙන් බිමට බස්සවා ගත් ඔහු නැවත වරක් සිය පිරිස දෙසට හැරුණා.

මම ඉදිරියෙන්ම ගමන් කරනවා. ටාරා ඔබ මගේ පිටුපසින් එන්න. ඊළඟට සිරකරුවන් දෙදෙනා. උතුමාණෙනි, ඔබ මොවුන් දෙදෙනාගේ පිටුපසින් පැමිණෙන්න. නයෝමි ඔබ අවසානයට. හැමවිටම මගේ පිටුපසින් පැමිණෙන්න. කිසිම විටෙක මා යන පාරෙන් ඉවතට ගමන් කරන්න එපා. මඟ හැරෙන්නත් එපා. එය ඔබගේ විනාශයට මුලවේවි. පැහැදිලිද? හරි එහෙනම් අපි යමු. කිසිම දෙයකට කලබලවෙන්න එපා.

එසේ පැවසූ ලෝගන් ගිනි දැල්වෙන පන්දමද රැගෙන ඉදිරියට ගමන් කළා. විනාඩි කිහිපයක ගමනකින් අනතරුව ඔවුන් වගුරු බිමකට ඇතුල්වුනා. ලෝගන් කිසිදු චකිතයකින් තොරව වගුරු බිම හරහා ඉදිරියට ගමන් කළත් අනෙක් අයවලුන්ගේ සිත් මේ වන විට භීතියෙන් භ්‍රාන්තවී ගොස් තිබුණා.

පැයක පමණ කාලයක් පරිසරයේ වු යම් යම් සලකුණු බලමින් ඉදිරියට ඇදුණු ලෝගන්ගේ ගමන විශාල වෘක්ෂ දෙකක් අසලින් නිමවුනා.

ලෝගන්, අපි අතරමන් වෙලාද? මෙතනින් එහාට පාරක් නෑනේ.

ලෝගන් පිටුපසින් සිටි ටාරා විමසා සිටියා. ඇයට නිශ්ශබ්දව සිටින ලෙසට සංඥා කළ ඔහු තම කබායේ ඇතුලු සාක්කුවකින් කුඩා සටහන් පොතක් එළියට ගත්තා. පන්දමේ ආධාරයෙන් එහි සටහන් කර තිබූ යමක් සොයාගත් ලෝගන් තම සටහන් පොත ටාරා අතට දුන්නා.

ඔබට තියෙන්නේ, මේ ගස් දෙක දිහා එක එල්ලේ බලාගෙන මේ ලියලා තියෙන දේ තුන් සැරයක් ශබ්ද නගා කියන්න. බය වෙන්න එපා. හිත එකඟ කරගෙන කියන්න.

ලෝගන්ව පසුකරගෙන මදක් ඉදිරියට පැමිණි ටාරා එකට ලංව වැඩී ඇති විශාල වෘක්ෂ දෙකට මුහුණ ලා සිටගත්තා. තමන් තුල පොපියන භීතිය මැඩ ගැනීමට සිය ඇස්දෙක පියාගෙන සිත එකඟ කරගත් ටාරා ඊළඟ මොහොතේ එම මන්ත්‍රය හඩ නගා පැවසුවා.

"සින්ධාරියම් අරියෙනා ලයිතන් දේ දිෂ්”

“සින්ධාරියම් අරියෙනා ලයිතන් දේ දිෂ්”

“සින්ධාරියම් අරියෙනා ලයිතන් දේ දිෂ්”

ඒ හඩත් සමඟ මොහොතකට පරිසරයේ වු ගුප්ත නිහඩතාවය බිදී ගියා. එහෙත් එසේ වුයේ එකම එක මොහොතකට පමණයි. නැවතත් මරණය සිහිගන්වන ගුප්ත නිහඩතාවයක මුළු මහත් පරිසරයම ගිලී ගියා. ඊළඟ මොහොතේ හැමෝටම දැනුනේ භූමිකම්පාවක් සිදුවන අවස්තාවක මෙන් පොළොව කම්පනය වන බවක්. ඉන් අනතුරුව ඔවුනට දක්නට ලැබුණේ එකිනෙකට ලංව තිබු දැවැන්ත වෘක්ෂයන් දෙක එකිනෙකාගෙන් ඈත්වී යන බවක්. එයින් අනතුරුව එම වෘක්ෂයන් දෙක අතරින් වැටී තිබු අඳුරු පටු මං පෙතක් දක්නට ලැබුණා.

ටාරා ඒ දෙසට යෑමට හදන විටම ලෝගන් ඇයගේ අතින් අල්ලා ඇයව නවත්වා ඇයගේ ඉදිරියෙන් සිට ගත්තා. තවත් තප්පර කිහිපයකට පසු දිගු මිටක් සහිත ගිනිගෙන දැවෙන දිගු දෑකැත්තක් වැනි ආයුධයක් උරහිසේ තබා ගත්තා වු අඳුරු රුවක් එම මාර්ගයෙන් පිටතට පැමිණියේ ලෝගන් හැර එහි වු සියළු දෙනාවම භීතියට පත්කරමින්. එම රුව ඇත්තෙන්ම මතකයට රැගෙන ආවේ පුරාණ පොත් පත්වල දක්වා තිබු මාරයාගේ දසුනයි.

එම අද්භූත අඳුරු රුවට මුහුණ දි සිටගත් දඩයක්කරුවා.

මම ලෝගන්. “අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානයෙන්”. ඔබලාගේ නායකයා “බල්තසාර් බ්ලේක්” අපගේ සංවිධානයට ඔබලාගේ මානයට ඇතුල්වීමට අවසර දී තිබෙනවා. මා ලඟ සිරකරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගේම මගේ මිතුරුන් තිදෙනෙක් මෙහි සිටිනවා. අපිට මෙහි ඇතුළු වීමට අවසර අවශ්‍යයි.

“අඳුරේ දඩයක්කරුවන්ගේ සංවිධානය” !. බොහෝ කාලයකට පසුවයි මට ඒ නම ඇසුණේ.

අද්භූත රුව බොහොම කර්කශ වු යාන්ත්‍රික කට හඩකින් පැවසුවා.

ඔබලාට ඇතුළු වීමට අවසරයි. මා පසු පසින් එන්න. නවතින්න එපා කිසිම හේතුවකට.

ලෝගන් අද්භූත රුව පසු පසින් නොපෙනෙන මානයට ඇතුල්වුනා. අනිකුත් පිරිසත් ඔහු පිටුපසින් ඉදිරියට ඇදුණා. නයෝමි එහි ඇතුල්වෙනවාත් සමඟම නැවත වරක් ඇතිවු කම්පනයත් සමඟින් මෙම නොපෙනෙන මානයට පිවිසෙන්නා වු දොරටුව නැවත වරක් වැසී ගියේ ලෝගන් හැර අන් සියල්ලන්ම භීතියට පත් කරමින්.
___________________________________________________________________________________

KB 2021.07.31