අඳුරේ දඩයම්කරු 18 – දුෂ්කර මඟක

     ලෝගන්ගේ කාමරයට පිවිසි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ප්‍රථමයෙන් දුටුවේ      දින දෙකක් තිස්සේ නිසොල්මන්ව සයනයේ වැතිර සිටින ලෝගන්ව.      අනතුරුව ලෝගන්ගේ සයනය අසලම අසුන්ගෙන ගැඹුරු කල්පනාවක      නියැලී සිටි සිය බිරිඳ ඔහුගේ ඇස ගැටුණා. ඇයගේ කල්පනාවට      බාධාවක් නොකර ඔහු ආපසු පිටවී යෑමට තීරණය කළත් ඔහුගේ      පාවහන්වලින් නිකුත් වූ හඩින් සිය ගැඹුරු කල්පනාවෙන් මිදුණු      ලෙනෝරා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා දෙසට සිය දෑස් යොමු කළා.

     කෙසේද ඔහුගේ තත්වය?

     කියන්න තරම් වෙනසක් නෑ. වරින් වර ඔහුගේ උණ ගතිය ඉහළ      යනවා. නැවතත් යථා තත්වයට පත්වෙනවා. ඔහුගේ තුවාල බොහොම      වේගයෙන් සුවවෙමින් පවතිනවා. ඒත් තාමත් ඔහුට සිහිය නෑ රොබට්.      මට වෙලාවකට හිතෙනවා ඔහුගේ ආත්මය යම් කිසි තැනක හිරවෙලාද      කියලත්. මා ඔහුව ඇදිනගෙන දින කීපයක් පමණයි ගතවුයේ. ඒත් ඔහු      අපේම කෙනෙක් කියා මට දැනෙනවා. මම ඇත්තටම ඔහු ගැන වද      වෙනවා රොබට්. ඔහු නැවත අපි අතරට පැමිණිම සැක සහිතයි රොබට්.

     සිය අසුනින් නැගිට ආ ලෙනෝරා සිය සැමියාගේ පපුවට හිස      තියාගත්තා. ඇගේ දෑසින් ගලා හැලුණු කඳුළුන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාගේ පපු පෙදෙස තෙත්වී ගියා. ලෙනෝරාගේ හිස ආදරයෙන් සිපගත් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ඇයව සිය පපුවට තවත් තද කරගත්තා.

ඔහු බොහොම ශක්තිමත් කෙනෙක් ලෙනෝරා. ඔහු ලේසියෙන් සටනකින් පරදින කෙනෙක් නෙවෙයි. මේ සටනත් ජයගැනීමෙන් පසු ඔහු නැවත අපි අතරට ඒවී. එතකම් අපිට ඉවසා සිටින්නට වෙනවා.

හිස ඔසවා සිය සැමියා දෙස බැලූ ලෙනෝරා කඳුලැලි අතරින් සිනාවක් සිය මුවට නගාගත්තා.

මම ඉන්නම් ඔහුත් සමඟ ටික වෙලාවක්. ඔබ විවේකයක් ගන්න.

ඕන නෑ රොබට්. මම ඇවිල්ලත් වැඩිවෙලාවක් නෑ. කැතලීනා නිදි වරාගෙන ඔහු ගාව රැදී සිටිනවා. මම බලෙන්ම වගේ ඇයව විවේකයක් ගන්න යැව්වා. මට අපහසුවක් නෑ රොබට්. කෝ සෙඩ්රික්?

ඔහුත් බොහොම විස්සොපයෙන් පසුවෙන්නේ. මම ඔහුට පුහුණු පාසල පැත්තට යන්න කිවුවා. එතකොට ඔහුගේ හිත ටිකක් නිදහස වේවි.

ඔව් ඒක හොදයි.

මමත් පුහුණු පාසලයි, තාක්ෂනික අංශෙටයි ඒ ගිහිල්ලා ඒ වැඩ කටයුතු ගැන බලලා එන්නම්. කැතලීනාත් මෙතනනේ.

හොදයි රොබට්.

නැවත වරක් තම බිරිදගේ හිස සිපගත් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා එතනින් පිටවී ගියා.

ලෝගන්ගේ පිස්තෝලවලින් නැගුණු වෙඩි හදින් සිය නින්ද බිදී ගිය නිකොලස් ඇතුළු පිරිස ක්ෂණයකින් නැගී සිට සිට සිය ආයුධ අතට ගත්තා. ඒත් ඔවුන්ට ඒ අඳුර අතරින් විශේෂ කිසිවක් දැකගැනීමට ලැබුණේ නෑ. අඩුම තරමේ ලෝගන්වත් ඔවුන්ගේ දෑස මානයේ රැදී සිටියේ නෑ. වහා ගිනි මැළයට දර කැබලි කීපයක් එක්කළ නිකොළස් එය හොදින් දැල්වීමට ඉඩ හරිමින් සිය පිස්තෝලය ඉදිරියට එල්ල කළා. ඔහු “ලෝගන්” යනුවෙන් හඩ නැගුවත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

විනාඩියක පමණ කාලයක් නිසොල්මන්ව ගෙවීගියේ කල්පයක් පරිද්දෙනි.

මේ පැත්තට එන්න එළියක් අරගෙන !

ඔවුන් නැවතී සිටි බිමට ඉදිරියෙන් වු පඳුරු සහිත වූ ප්‍රදේශය තුළින් නැගුණු ලෝගන්ගේ කටහඩ ඔවුන් වෙතට ගෙන ආවේ මහත් වූ අස්වැල්ලක්. තමන්ට අවශ්‍ය වුවහොත් දැල්වීමට රැගෙන ඇවිත් තිබූ පන්දමක් ගිනි මැළයට අල්ලා දල්වාගත් නිකොලස් එයත් රැගෙන ලෝගන්ගේ හඩ නැගුණු දෙසට විමසිල්ලෙන් ගමන් කළා. වැඩි දුරක් යන්නට පෙර ඔවුන්ට සිය එක් දණක් බිම ඇණගෙන යමක් පරික්ෂාකරමින් සිටින ලෝගන්ව දක්නට ලැබුණා. ඔවුන් ළඟට එනවිට ඔවුන් දෙස යාන්තමට හැරී බලමින් සිය අත දික්කළ ලෝගන්, නිකොලස්ගෙන් පන්දම ඉල්ලා සිටියා. පන්දම අතට ගත් ඔහු බිම වැතිර තිබූ සිරුර වෙත එල්ල කලේ එය හොදින් නිරීක්ෂනය කිරීමටයි.

බිම දිගින් අඩි දෙක හමාරක් පමණවූ කොළ පැහැති වාමන සිරුරක් වැතිර සිටිනු දක්නට ලැබුණා. එම සිරුරේ හිසෙහි වූ දිගටි කන්පෙති පන්දමේ එළියෙන් පැහැදිලිව දක්නට ලැබුණා.

මේ මොකෙක්ද මේ?

එම හඩ නැගුණේ පුදුමයට පත් වු නයෝමිගෙන්.

ඔය තමයි අර වනාන්තරයේ ඇතුලේ රෑට කඳවුරු බදින්නන් නැවත සොයා ගැනීමට නොලැබීමට හේතුව.

මෙසේ පවසමින් ලෝගන් පන්දමත් රැගෙන නැගී සිටියා. ඔහුගේ දකුණු අතේ ඔහුගේ අසිපත රැදී තිබුණා. එහි තලය දිගේ කොළ පැහැති රුධිරය බිඳු රූරා වැටුණා.

ඒ කිවුවේ?

ලෝගන්ට පෙර සිය හඩ අවදි කළේ නිකොලස්.

මුන්ට තමන් ගොබ්ලින්ලා කියන්නේ. බොහොම මිලේඡ්ඡ වාමන විශේෂයක්. මධ්‍යතන යුගයේ පටන් මොවුන් ගැන වරින් වර සදහන් වෙනවා. ඝන කැලෑවල ජීවත්වෙන්නේ. ඕනම සතෙක් ආහාරයට ගන්නවා. මිනිසුන් පවා ඔවුන්ගෙන් ගැලවී යන්නේ කලාතුරකින්. අතිශයින්ම භයානකයි. කටේ තියෙන උල් දත්, ඇඟිලි වල දක්නට ලැබෙන දිගු නියපොතු දඩයමටමයි හැඩ ගැහිලා තියෙන්නේ. රාත්‍රියට ඇස් හොදින් පේනවා. රතු පැහැති ඇස්. හරිම කපටි සත්ත්ව කොට්ඨාශයක්. නිශාචර විලෝපිකයන්. වනාන්තරයේ රාත්‍රීයට නවාතැන් ගත්ත මිනිසුන් අතුරුදහන්වෙන්න හේතුව පැහැදිලියි දැන්.

ඒ කියන්නේ මුන් ඒ මිනිස්සුන්ව ආහාරයට අරන්ද? ඒත් මම කවදාවත් අහලා නෑ මෙහෙම දෙයක්. මම අනන්තවත් කැලෑ හරහා ගිරි දුර්ග හරහා බොහෝ දෙනෙක්ට මඟපෙන්වලා තියෙනවා. ඒත් මමවත් විලියම්ස්වත් මෙහෙම දෙයක් අහලාවත් දැකලාවත් නෑ කිසිම දවසක.

ඒක නම් ඇත්ත ලෝගන් මහත්තයා. අපි කිසිම දවසක මෙහෙම අත්දැකීමක් විඳලා නෑ.

ඔබ අහලා නැති දේවල් ඕනෑ තරම් තියෙනවා නයෝමි. මම හිතන්නේ මුන් මිනී මස් වලට ඇබ්බැහිවෙලා. දැන් වනාන්තරය ඇතුලේ රෑට කවුරුවත් නවාතැන් ගන්නේ නැති නිසා මුන් තමන්ගේ දඩ බිම් පුළුල් කරලා. මම හිතන්නේ මුන් අපි දල්වපු ගිනි මැලයේ එළිය දකින්න ඇති. අපිට නින්ද යනකම් ඉදලා අපිවත් අල්ලගෙන ආහාරයට ගන්න හිතන්න ඇති. කීදෙනෙක් ආවද ලෝගන්?

හත් දෙනෙක් නිකොලස්. කිසිවෙක්ට පළායන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

කොයි වෙලාවෙද ඔබ මුන් ගැන දැනගත්තේ

ඔබත් සමඟ කතා කරමින් ඉන්නවිට. මට දැණුනා කවුරු හරි මේ අවට සැරි සරන බව. ඒත් මම මේ සිරුර පරීක්ෂා කරනකම් හරියටම දැනගෙන හිටියේ නෑ මේ ගොබ්ලින්ස්ලා කියලා. ඔබ නින්දට ගියාට පස්සේ මම බොහොම සාවධානව ඇහුම්කම් දෙමින් බලා සිටියා නියමිත වෙලාව එනකම්. මේ රාත්‍රීයේ නිහඩ බව ඒකට බොහොම ප්‍රයෝජනවත් වුනා. ඊළඟ මොහොතේ මම වැඩ පටන්ගත්තා. අඳුරේ වුවත් තැබූ වෙඩි පහරවල් හතරම සාර්ථකයි. ඉතුරු හරිය අසිපත බලාගත්තා.

ඔබ කොහොමද දන්නේ මේ ඝන අඳුරේ ඔබ තැබූ වෙඩි පහරවල් හරියටම වැදුණද කියලා? කාටවත් මේ අඳුරේ හරියටම වෙඩි තියන්න පුළුවන්ද?

නයෝමි මැතිණිය, ඔබ ලෝගන් ගැන නොදන්නා නිසයි ඔහොම කතා කරන්නේ. ඔහුගේ ඉලක්කයක් කිසිදාක වරදින්නේ නෑ. ඒ වගේම හෙට උදේට ඔබ මුන්ගේ මළ සිරුරු හෙවුවොත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව ගොබ්ලින් සිරුරු හතක් දක්නට ලැබේවි.

මේ පිළිතුරත් සමඟම මඟපෙන්වන්නිය පමණක් නොව ඇගේ සහකරුවාද තවදුරටත් පුදුමයට පත් වුණා. නැවත වරක් තමන් රැදී සිටිය ස්ථානයට පැමිණි ඔවුන් නින්දට පිවිසුණා. ලෝගන් සුපුරුදු ලෙසට ආරක්ෂාව සඳහා අවදිව සිටියා. රාත්‍රීය ගතවී ගියේ තවත් කිසිම අනතුරක් හෝ විශේෂ සිදුවීමකට ඉඩක් නොතබමින්.

පැය කීහිපයකට පසු හිරු වනානතරයේ ගස් අතරින් නැගී එන්නට වූයේ නව දවසකට පාර කපමින්. උදෑසන ආහාරය එහිදීම ගත් පිරිස වනාන්තරය හරහා ඉක්මනින්ම ගමන් කරන්නට වුයේ එය අතිශයින්ම අනතුරුදායක ස්ථානයක් ලෙස මේ වන විට වටහාගෙන තිබූ බැවින්ය.

ලෝගන්, ඔබලා දෙදෙනා කොහොමද ගොබ්ලින්ලා ගැන ඔය තරම් තොරතුරු දන්නේ?

සිය අසුන් හෙමින් සැරේ ලෝගන් අසලට ගෙන ආ නයෝමි ලෝගන්ගෙන් විමසා සිටියා.

මේ වගේ අද්භූත දේවල් අපට හුරුපුරුදුයි නයෝමි. මෙවන් අද්භූත, මිනිසාට හානිකර බලවේග හෝ සතුන් විනාශ කිරීම අපගේ කාර්යයයි.

ඒ කියන්නේ තවත් මේ වගේ අද්භූත දේවල් තියෙනවාද?

අනන්තවත්. අපි නොහිතන නොදකින බොහෝ දේවල් අඳුරු තිරපටකින් එහෙමත් නැත්නම් කඩතුරාවකින් වැහිලා තියෙනවා. ඒ ගැන නොදන්න කෙනෙකුට ඒ අඳුරු දේවල් වල ගොදුරක් වෙනවා නොඅනුමායි. එයින් මිනිසුන් ආරක්ෂා කිරීම තමයි අප කරන්නේ.

ඔබ සහ නිකොලස්?

නෑ නයෝමි. අපි තරමක් දුරට විහිදී ගිය සංවිධානයක් “අඳුරේ දඩයක්කරුවන්” නමින් හඳුන්වන. ලෝකයේ රටවල් කිහිපයකම අප පැතිර ගොස් තිබෙනවා. නිකොලස් අප සංවිධානයේ සාමාජිකයෙක්. ඒ වගේම මගේ හොඳ මිතුරෙක්. ඔහු අප සංවිධානයේ ලේඛනාගාරයේ භාරකරු. ඔහු මං වගේ සටන්කරුවෙක් නොවෙයි.

ඔබ මේ “ආලෝකයේ මං පෙතට” යන්නෙත් එවැනි අඳුරු බලවේගයක් සොයාගෙනද?

ඒක තවමත් හරියටම පැහැදිලි නෑ නයෝමි. ඇත්තටම කිවුවොත් අපි යන්නේ සිහිනයක් පසුපස.

සිහිනයක්? අඳුරු කාමරයක සිරකළ රැජිනක් එහෙමත් නැතිනම් දේවතාවියක් සොයාගෙනද ඔබ මේ යන්නේ?

නයෝමිගේ මේ කතාවෙන් තිගැස්සී ගිය ලෝගන් සිය අසු නවතා ඇය දෙස බැලුවා. සිය අසුත් නවතා මොහොතක් ලෝගන් දෙස බලා සිටි නයෝමි නැවතත් කිසිවක් නොකියාම ඉදිරියට ඇඳුනා.

මම කිවුව දේ හරි නේද?

මොහොතකට පසු ඇය ලෝගන්ගෙන් අසා සිටියා.

මමත් එහෙම හීනයක් දකිනවා ලෝගන්. ඒ විස්තරය තමයි මම ඔබෙන් ඇහුවේ. ඇත්තටම මම නැවත වරක් ගමට යන්නට හේතුවත් ඒකයි. ඒකයි මම ඔබලාට මඟ පෙන්වන්නත් ඉදිරිපත් වුනේ. මේක අහම්බයක් වෙන්න බෑ. අප දෙදෙනාම එකම විදිහේ හීනයක් දැකීමත් දෙදෙනාටම යන්න කියන්නේ එකම තැනක් වීමත් කිසිම විටක අහම්බයක් වෙන්න බෑ ලෝගන්.

ඔබ හරි නයෝමි. මේක අහම්බයක්වෙන්න බෑ. මම නිකොලස්ගෙන් අසා දැනගත් පරිදි මේ දේවිතාවිය නැත්නම් මේ රැජිණිය “ජීවිතයේ හා මරණයේ දේවතාවිය” ලෙස හදුන්වන්නේ. ඇය කුමක් හරි දෙයක් නිසා මගෙන් උදව්වක් ඉල්ලනවා. ඒ නිසා තමයි අපි මේ ගමන පිටත් වුනේ.

ඔය විදිහටමයි මටත් හීනේ පෙන්නේ. මම හිතන්නේ ඊයේ රෑ විශේෂයක් වුනා කියලා.

ඔව්. ඊයේ රාත්‍රියේ දැකපු හීනය වෙනදාට වඩා පැහැදිලියි. නිකොලස් නම් කිවුවේ අපි ඇයගේ බල ප්‍රදේශයට කිට්ටුවෙමින් ඉන්න නිසා හීනය වෙනදාට වඩා පැහැදිලි වෙන්න පුළුවන් කියලා. ඒත් මට හිතාගන්න බැරි ඇයට මගෙන් එහෙම නැත්නම් අපෙන් අවශ්‍ය කරන උදව්ව මොකක්ද කියලා.

මේ දේවල් මම කළින් ඔබට කිවුවේ නෑ. ඒ ඔබලා කවුදැයි නොදන්නා නිසා. දැන් මට ඔබලා කෙරෙහි යම් විශ්වාසයක් ගොඩ නැගිලා තියෙන නිසා මම ඒ ගැන කියන්නම්. ඔබ දැනටමත් අපේ ජීවිත බේරාගෙන තිබෙන නිසාත් අපි දෙදෙනාම දකින්තේ එකම විදිහේ හීනයක් නිසත් මම මේ ගැන ඔබට කියන්නම්. මේවා මගේ මිත්තණිය කියපු දේවල් තමයි. ඇත්තමද කියන්න මම දන්නේ නෑ. ඒත් මම හිතනවා මේ තොරතුරු ඔබට අවශ්‍යවේවි කියලා.

     මගේ මිත්තණිය කියන විදිහට මේ රැජිනගේ බලය ලැබෙන්නේ ඇය අත දරණ බලගතු      යෂ්ටියෙන් (Scepter). පුරාතණ කටින් කට එන කතා වල කියවෙන විදිහට මේ      යෂ්ටිය රත්තරනින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම එහි ඉහල කෙළවරේ      පැති සයකින් යුත් තාරකාවක් මැද කහ පැහැති බලගතු මැණිකක් රඳවලා තියෙනවලු.      එය තමයි මේ රැජිනගේ බලයේ මූලය වෙන්නේ. මේ යෂ්ටිය ඇගෙන් ලබා ගත්තොත්      එය ඇයට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්ලු. ඒ වගේම මේ වරක් ඇයගේ ප්‍රධාන      ආරක්ෂකයාව සිටි අයෙක් ඇයට ද්‍රෝහීවෙලා මේ යෂ්ටිය ඇගෙන් උදුරාගන්න      කැරැල්ලක් ගහලා තියෙනවා. ඒත් ඇගේ ආරක්ෂකයින් විදිහට ඉන්න ඔබලා “සයිරන්”      නමින් හැදින්වු සත්ත්ව කොට්ඨාශයට කැරුල්ල මැඩ පවත්වන්න හැකියාව ලැබිලා      තියෙනවා. ඒ වුනත් ඔවුන්ට මේ කැරලි නායකයාව අල්ලාගන්න ලැබිලා නෑ.

     කවුද මේ කැරළි නායකයා?

     ඔහුව හදුන්වන්නේ ස්ලෑන්ගාර්ඩ් නමින්. පුරාවෘත්ත වල දක්වන විදිහට ඔහුට      මනුෂ්‍යයෙක්ගේ වේශයෙන් වගේම පියාපත් සහිත සර්පයෙක්ගේ වේශයෙන්ද පෙනී      සිටින්න පුළුවන්. එතරම්ම බලසම්පන්න නෑ. ඒත් රැජිනගේ යෂ්ටිය ඔහු අතට ගියොත්      ඔහු ඉතාම බලසම්පන්න වේවි.

     ඔබ තව දුරටත් හිතනවාද මේවා පුරාවෘත්ත පමණක්ම කියා?

     නෑ ලෝගන්. මම ඊයේ රෑ දැකපු දේවල් එක්ක එහෙම හිතන්න බෑ.

මම හිතන්නේ මොකක් හරි දෙයක් නිසා රැජිනගේ බලයේ මූලය ඒ කියන්නේ මේ බලගතු යෂ්ටිය වෙන කෙනෙක්ගේ අතට ගිහින් තියෙනවා. ඒ නිසා ඔබ කියපු ස්ලෑන්ගාර්ඩ් නම් කැරළිකාරයට පුළුවන්වෙලා තියෙනවා ඇයව බලයෙන් පහකරලා හිරකරන්න. මේ දෙයින් මිදෙන්න ඇයට අපේ උදව් අවශ්‍ය ඇති. ඒත් මම දන්නේ අපි කොහොමද ඇයට උදව් කරන්නේ කියලා. ඒ වගේම ඔබේ මීට ඇති සම්බන්ධය මොකක්ද කියලා.

ලෝගන්, මම හිතනවා ඔබ හරි ඇති කියලා.

අපි බලමු අපිට මොකක්ද කරන්න පුළුවන් කියලා. අපි කලබල නොවී ඉදිරියට යමු.

හොඳයි. අද හවස් වෙන කොට අපිට ඩ්‍රාම්මෙන් නගරයට යන්න පුළුවන් වේවි. එහි රාත්‍රිය ගත කර පහුවදා උදේම ගමන පිටත් වෙන්න පුළුවන්.

එහෙම හොදයි.

එදින සවස හතර පමණ විට ඔවුන් කිසිදු උපද්‍රවයකින් තොරව ඩ්‍රාම්මෙන් නගරයට ළඟාවුනා. එහි වු අඳුරු අපිරිසිදු තානායමේ රාත්‍රිය ගත කළ ඔවුන් පසුදින උදෑසනින්ම සිය ගමන පිටත් වුනා. දිනෙන් දින කාලය ගතවී ගියේ ඔවුන්, ඔවුන්ගේ ඉලක්කය කරා බිදෙන් බිද ළගා කරමින්. ගමන පුරාම කාලගුණයෙන් එල්ල වූ කරදර නම් අපමණයි. ඔස්ලෝ හරහා එල්වරුම් වලට පිවිසුණු ඔවුන්ට එහි දින තුනක්ම රැදී සිටින්නට සිදූවුයේ අධික වර්ෂාපතනය නිසයි. සමහර ප්‍රදේශවලදී ඔවුනට බොහොම සෙමින් ගමන් කරන්නට වුයේ මාර්ගයෙහි වූ අබලන් අන්තරාදායක බව නිසාමයි. එල්වරුම් වල සිට සලෙන් වලට පිවිසෙන මාර්ගය කඳු අතරින් වැටී තිබූ පටු ඉතාමත් අන්තරාදායක එකක් වූයේ එහි ඉහළ කඳු මුදුන්වල සිට සමහර අවස්ථාවලදී ඇද හැලෙන පාෂාණ කොටස් නිසයි. වරක් එවැනි පාෂාණ කොටසක් වැදී විලියම්ස් තුවාල ලැබුවත් එය එතරම් බරපතල අනතුරක් වුයේ නෑ. එම මාර්ගය ඔස්සේ රාත්‍රී කාලයේද පන්දම් වල ආධාරයෙන් ඔවුන්ට ගමන් කිරීමට සිදුවුයේ එහි රාත්‍රීය ගත කිරීමට කිසිදු හැකියාවක් නොතිබූ නිසයි. බොහෝ බාධක මධ්‍යයේ දින විසි පහකට පසුව ඔවුන් ඉඩ්රේ නමින් හැදින්වූ කුඩා ගම්මානයට ළඟා වී තිබුණා. එතැන් සිට දින දෙකක පමණ දුරින් “ආලෝකයේ මං පෙත” පිහිටා තිබුණා.

ඉඩ්රේ ඉතාමත් කුඩා ගම්මානයක්. එහි කිසිදු නවාතැන් පොලක් තිබුණේ නෑ. ඒ නිසා ගම්මානයේ කෙළවරක ඔවුන්ට කඳවුරුක් තනා ගැනීමට සිදුවුනා. ගම්මානයෙන් මිලදී ගත් බැටළු මස්, එළවළු හා කුළු බඩු යොදාගෙන නිකොලස් ඉතා අනර්ඝ වු රාත්‍රී ආහාර වේලක් පිළියෙළ කර තිබුණේ ඔවුන්ගේ ගමන් වෙහෙස අවසන් කරන්නට මෙන්. ආහාරය අතර තුරු එයට එක්වූ අක්වවිට් බෝතලය ඔවුන්ගේ ගමන් වෙහෙස අවසන් කරන්නට බලපෑ මහත්වූ ආධාරකයක් වුනා.

නයෝමි මොකක්ද ඔබගේ අදහස අපේ ඉදිරි කටයුතු ගැන?

මෙතැන ඉදන් දවස් දෙකක දුරක් තියෙනවා “ආලෝකයේ මං පෙතට”. ඒ අතර තුර තමයි මගේ ගම පිහිටා තිබෙන්නේ. අපි එහේ නතරවෙලා විවේකයක් අරගෙන “ආලෝකයේ මං පෙතට” ඇතුල්වෙමු. මගේ මිත්තණියගෙන් මේ ගැන තවත් තොරතුරු දැන ගැනීමට හැකියාවක් ලැබෙයි සමහර විට.

මට මතක විදිහට ඔබ කිවුවා ඔබට මේ ගමන පැමිණෙන්නේ ඔබේ ගම්මානය දක්වා පමණයි කියලා.

දැන් කරුණු වෙනස්වෙලා නිකොලස්. මටත් එහි ඇතුල් වීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ ඒ බව දන්නවනේ දැනටමත්.

නිකොලොස් දෙසට හැරී සරදම් සහගත සිනාවක් පාමින් නයෝමි උත්තර දුන්නා.

අපිට අද කරදරයක් නැතුව රාත්‍රිය ගත කරන්නට පුළුවන් වේවි අපි ඉන්නේ ගම්මානය ඇතුලේ නිසා. ඒක නිසා රාත්‍රීයේ නොනිදා මුර කරන්න අවශ්‍ය නෑ. ඒත් කල්පනාවෙන් ඉන්න.

දැල්වෙන ගිනි මැළයට තවත් දර කැබලි කීපයක් එක් කරමින් නයෝමි පවසා සිටියා.

රාත්‍රීය කිසිදු උපද්‍රවයකින් තොරව ගතවී ගිය අතර උදෑසනින්ම ඔවුන් නැවත වරක් ගමනට පිවිසියා. ඉඩ්රේ වල සිට පැරඩිස් දක්වා ගමන බොහොම දුෂ්කර එකක් වුයේ ගමන් කිරීමට පැහැදිලි මාර්ගයක් නොවු බැවින්. නයෝමිගේ පාර මඟ පෙන්වීමට ඇති සුවිශේෂ හැකියාව හොදින් පැහැදිලි කරමින් ඇය ඔවුන් කිසිදු අවස්ථාවක අතර මං නොවී ඔවුන්ව නිසි මාර්ගයේම ඉදිරියට ගමන් කළා.

දින තුනකට පසු දහවල් කාලයේදී කුඩා කඳු ගැටයක් මතට නැගුණු ඔවුන්ට ඈතින් පෙනෙන කුඩා ගම්මානයක් දිස්වුනා.

අර තියෙන්නේ මගේ ගම “පැරඩිස්” එහෙමත් නැත්නම් පාරාදීසිය. අපිට තව පැය තුනකින් පමණ එහි යන්නට පුළුවන්. අපි අද එහේ විවේක ගෙන හෙට උදෑසනින්ම ගමන අරඹමු.

මෙසේ පැවසු නයෝමි, තම අසු සෙමින් එදෙසට මෙහෙයවමින් ඉදිරියට ගියා. ලෝගන් ඇතුළු පිරිස සුපුරුදු ලෙසින් ඇය පිටුපසින් සිය ගමන ආරම්භ කළා.

පැය තුනකට පමණ පසුව ඔවුන් සිවුදෙනා “පැරඩිස්” ගම්මානයට ඇතුල්වීමට ඇති පටු මං පෙතට පිවිසුනා. එතැන් සිට විනාඩි දහයක් පමණ ඉදිරියට ගිය ඔවුන්ට ගම්මානයට ඇතුල්වීමට හැකියාව ලැබුණා. ගමේ වැසියන්ගේ සමාචාරයට ලක්වෙමින් ඉදිරියට ගිය ඔවුන් තරමක් විශාල නිවසක් අසල නැවතුණා.

මේ තමයි මගේ නිවස. බහින්න ලෝගන්. මේ තමයි අදට අපේ ගමනේ නැවතුම් පොළ.

නයෝමි අසු පිටින් බසින විටම ඇයව පිළිගැනීමට මැදිවියේ කාන්තාවක් දිව ආවා. නයෝමිව තදින් වැළදගත් ඇය ඉකි ගසමින් කඳුළු සලන්නට වුනා.

අම්මා . . . . .

පෙරළා ඇයව වැළදගන්නවාත් සමඟින් නයෝමිගේ මුවින් එම හඩ පිටවුනා.

අපි දැනගෙන සිටියා ඔබ අද මෙහි එන බව. ඔබේ මිත්තණිය දවස් ගාණක සිට ඔබ මෙහි එන බව කියා සිටියා. ඇය අද උදෑසනම කිවුවා ඔබ තවත් පිරිසක් එක්ක අද මෙහි පැමිණෙන බව. ඇය කොහොම මේ දේවල් දන්නවද කියලා මට නම් හිතාගන්නවත් බෑ. අවුරුදු හතක්. මෙච්චර කාලයක් ඔබ අපිව බලන්න එන්නේ නැතිව සිටියේ කොහොමද?

නයෝමිගේ මව චෝදනාත්මකව පවසා සිටියා.

නයෝමිගේ මවගේ වදන් ඇසීමෙන් නයෝමි පමණක් නොව ලෝගන් ඇතුළු පිරිසද ඉමහත් පුදුමයට පත්වී සිටියා. මේ වන විට නයෝමිගේ පවුලේ සියළුම දෙනා ඇයව වැළද ගනිමින් උණුසුම් ලෙස ඇයව පිළිගන්නට වුනා. තවත් මොහොතකින් එහි පැමිණියේ නයෝමිගේ මිත්තණියයි.

මගේ රෝස මල. මම දැනගෙන හිටියා ඔබ අද මෙහි එනවා කියලා. මම ඒ බව හැමෝටම කිවුවා.

ලැජ්ජාවෙන් මුහුණු රතුවී ගිය නයෝමි සිය මිත්තණිය වැළඳගත්තා. ඇයගේ උණුසුමේ මොහොතක් ගත කළ ඇය

ආච්චි අම්මා, අම්මා මේ මගේ මිතුරන් පිරිසක්. මේ මගේ සහායකයා විලියම්ස්. මේ නිකොලස්. මේ ඉන්නේ ලෝගන්.

නයෝමි ඔවුන් එකිනෙකා සිය පවුලේ අයට අඳුන්වා දුන්නා. ලෝගන් දෙසට හැරණු නයෝමිගේ මිත්තණිය.

අවසානයේ ගැලවුම්කරුවා මෙහි පැමිණියා සිය කාර්යය උදෙසා. ඔබ “ආලෝකයේ මං පෙත” ඇතුල්වීමට ඔබ සුදානම්ද?

මේ ප්‍රශ්නයෙන් ගල් ගැසී ගිය ලෝගන්ගේ මුවට කිසිදු පිළිතුරුක් නැගුණේ නෑ.

ඔබ එයට සුදානම් බව මම දන්නවා. අපි නිවස ඇතුලට යමු. මම දන්නවා ඔබලා බොහොම වෙහෙස වෙලා ඉන්නේ කියලා. හැමදේම සුදානම්. එන්න.

ලෝගන්ගේ අතින් අල්ලාගත් මිත්තණිය ඔහුත් සමඟම නිවසට ඇතුල්වුනා.
___________________________________________________________________________________

KB 2021.04.01

අඳුරේ දඩයම්කරු 17 - මඟපෙන්වන්නිය

     අදට මෙතනට ඇවිල්ලා දවස් තුනක් වෙනවා. අපිට තාමත් බැරිවුනා මේ      ගමනට මඟ පෙන්වන්නෙක් හොයාගන්න. ආලෝකයේ මං පෙත කියපු      ගමන් එන ඔක්කොම ආපහු හැරිලා යනවා. මට මේ රටේ මිනිස්සුන්ගේ      එඩිතරකම ගැන ප්‍රශ්නයක් තියෙනවා ලෝගන්. අපි දැන් මොකක්ද      කරන්නේ? අපිට ආපහු හැරිලා යන්න වේවිද මෙච්චර දුරක් ආවට      පස්සේ?

     ලාර්වික් නගරයේ අඳුරු තැබෑරුමක කෙලවරක වු මේසයක වු අසුනක      අසුන්ගෙන සිටි නිකොලස්, තමා ඉදිරි පිට සිට දඩයක්කරුවාගෙන් අසා      සිටියා. මෙයට මද සිනාවක් පළකළ දඩයක්කරුවා,

     ඉවසන්න නිකොලස්. අපිට අද හෙටම මඟ පෙන්වන්නෙක් ලැබෙයි,      මට එහෙම දැනෙනවා.

     ඔබගේ සිහිනවලින් අලුත්යමක් කියවෙන්නේ නැද්ද?

නෑ. ඒවා පෙර පරිදිමයි. කිසිම වෙනසක් වෙලා නෑ.

දෙදෙනා මෙසේ සාමිචියේ යෙදි සිටින විට ඔවන් අසලට පැමිණි තැනැත්තියක්

“මේ මහත්වරු දෙන්නාද ආලෝකයේ මං පෙතට යන්න මඟ පෙන්වන්නෙක් සොයන්නේ?”

ඔව්, ඔබ කවුද?

මම නයෝමි. නයෝමි ජෙනෙවියර්. සංචාරක මඟපෙන්වන්නෙක්

ඇය දෙසට හැරුණු නිකොලස්, ඔබ?

ඇයි මම කාන්තාවක් නිසා ඔබ මට බැහැයි කියලා හිතනවද?

එහෙම දෙයක් නෙවෙයි. අපි මෙච්චර දවස් කතා කරපු කිසිම පිරිමියෙක් කැමති නොවුණු භයානකයි කියපු ගමනක් යන්න ඔබ කැමත්තක් දක්වන බව පෙන්වන එක පුදුමයට කරුණක් නොවෙයිද?

මගේ උපන් ගම තියෙන්නේ ආලෝකයේ මං පෙතට කිට්ටුවෙන්. ඒක නිසා ඒ ප්‍රදේශය මට හුරුයි. හැබැයි ආලෝකයේ මං පෙතට ඇතුල්වන ප්‍රදේශයට එනකම් විතරයි මට එන්න පුළුවන්. එතනට ඇතුල්වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.

ලෝගන් ඇයට ඉදිරියෙන් වු ආසනය දක්වා එහි අසුන්ගන්නා ලෙසට සංඥා කළා. ඇය එහි අසුන්ගත් පසුව ඇය වෙතට හැරුණු ඔහු,

මම ලෝගන්. මේ ඉන්නේ මගේ මිත්‍රයා නිකොලස්. අපිට කියන්න, මොනවද ඔබ දන්නේ ආලෝකයේ මං පෙත ගැන?

හඳුනගන්න ලැබීම සතුටක් ලෝගන්. මේ ගැන මම ගොඩක් දේවල් දන්නේ නෑ. අපේ ආච්චි අපි පුංචි කාලේ කියලා තියෙන විදිහට ඒ මං පෙත හරහා ගමන් කරන්න පුළුවන් වෙන්නේ තෝරාගත්ත අයෙක්ට පමණයි. එය කෙළවරවෙන්නේ “සෙලීන්” නම් ජීවිතයට හා මරණයට අධිපති බොහොම බලසම්පන්න දේවතාවියකගේ අඩවියෙන් කියලා තමයි අපේ පුරාවෘත්ත වල දැක්වෙන්නේ. ඇය දේවතාවියක් මෙන්ම රැජිනක් කියලත් පුරාවෘත්ත වල සටහන් වෙනවා. අලෝකයේ මං පෙත කෙළවර විශාල ජාලාශයක් මැද ඇති දූපතක පිහිටා ඇති ඇගේ මන්දිරය ආරක්ෂා කරන්නේ “සයිරන්” (Siren) නමින් හදුන්වන විශේෂ සත්ත්ව කොට්ඨාශයක් කියලා මම අසා තිබෙනවා.

නිකොලස් ඔබ මොනවද දන්නේ මේ “සයිරන්” කියන ජීවීන් ගැන?

ඔවුන් ගැන ඉස්සෙල්ලාම සඳහන් වෙන්නේ ශ්‍රීක මිත්‍යා කතාවල. මම හිතන්නේ ඔබ අහලා ඇති ඔඩිසියස් (Odysseus) ගැන?

ඔව්. ඔහු ට්‍රෝයි සටහන සහභාගී වුනු ශ්‍රීක රණ ශූරයෙක්නේ. මම දන්නා කරමට ඔහු ඇකීලියස් හා කරට කර සටන් කරපු රණ ශූරයෙක්.

ඔබ හරි ලෝගන්. ඔඩිසියස් ආපසු ග්‍රීසියට එන ගමනෙදි එක්තරා දූපතකදී ඔහුට මුණ ගැහෙනවා මේ සයිරන් කියන ජීවින් කොට්ඨාශය. ඔවුන්ගේ ගැයුම මිනිසුන් මෝහනයට පත්කරනවා කියලා තමයි හෝමර්ගේ “ඔඩිසි” කියන පොතේ සදහන් වෙන්නේ. මේ විදිහට මෝහනයට පත්කරන මිනිසුන් ඔවුන්ගේ ගොදුරු බවට පත්වෙනවා. මේ ජීවින් දිය කිඳුරියන්ට සමානයි. ශරීරයේ ඉහළ කොටස මනුෂ්‍යයෙක්ගේ විශේෂයෙන්ම කාන්තවකගේ වගේ. පහල කොටස මාළුවෙක්ගේ වගේ. මේ ජීවින් ජලයෙදි අතිශයින්ම දරුණු ජීවීන් කොට්ඨාශයක්. කියන විදිහට නම් ඔවුන්ට අසීමිත කාය ශක්තියක් තියෙනවා. ගැහැණු හා පිරිමි සතුන් දෙකොට්ඨාශයම ඉන්නවා. ගොඩබිමදී ඔවුන්ට මිනිසුන් ලෙස පෙනී සිටිමේ හැකියාව තියෙනවා. හැබැයි ගොඩබිම ඉන්න පුළුවන් කාල සීමාව සීමිතයි. දක්ෂ, වේගවත් වගේම බිහිසුණු සටන්කරුවන්. ඔවුන්ගේ නායකත්වය හැමවිටම දරන්නේ කාන්තාවක්. පිරිමියෙක්ට නායකත්වය ගන්න බෑ කිසිම අවස්තාවක.

මඟ පෙන්වන්නන් මේ ගමනට බෑ කියන එක සාධාරණයි. මේක කඳු වැටි කෑලෑ නිම්න අතරින් වැටී ඇති භයානක ගමනක්. ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බෑ.

එහෙනම් ඔබ මේ ගමන යන්න හදන්නේ ඇයි?

මට ආපහු ගමට යෑමේ අවශ්‍යතාවයක් පැන නැගී තියෙනවා. ඒකයි මම යන්න කැමති. ඔබලාට කවදාද ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය?

හැකි ඉක්මනින්. අපි දැනටමත් පරක්කුයි. කොහොමට ඔබගේ ගාස්තු?

ලෝගන්ට පෙර එයට පිළිතුරු දුන්නේ නිකොලස්.

මගේ ගාස්තුව විදිහට රන් කාසි දෙසීයක් අවශ්‍යයි. ඒ හැර ගමනේ සියළුම වියදම් ඔබලා දරන්න ඕන.

“රන් කාසි දේසියක්?” විශ්මයට පත්වූ හඩකින් නිකොලස් පවසා සිටියා.

ඔව්. ඔබට මඟපෙන්වීමට වෙන කිසිවෙක් ඉදිරිපත්වෙන්නේ නෑ. මම වුනත් මේ ගමන සඳහා ඉදිරිපත් වුනේ එය මගේ ගම ආසන්නට යන නිසයි. ඔබ මේ ගාණ වැඩියි කියලා සිතනවා නම් ඔබට වෙන කෙනෙක් හොයාගන්න පුළුවන්.

මොහොතක් වෙලා කල්පනාවේ ගැලී සිටි ලෝගන් ඊළඟ මොහොතේදී සිය හඩ අවදි කළා.

එකඟයි. කොහොමද මේ ගමන යන්න වෙන්නේ? අශ්වයන් පිටින්ද නැත්නම් අශ්ව රථයකින්ද?

අශ්වයන් පිටේ. අශ්ව රථයකින් යන්න අමාරුයි. හරියට පාරක් නෑ. අතිශයින් දුෂ්කරයි. අශ්වයන් මාරු කරගන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. එතනින් එහාට අමතර අශ්වයින් කීපදෙනෙක් රැගෙන යන එක නුවණට හුරුයි.

ඔබට ගමනට අවශ්‍ය සියළුම කටයුතු සූදානම් කරන්න වෙනවා. අපිට මේ ප්‍රදේශය ගැන දැනීමක් නෑ. මේ ඔබගේ ගාස්තුවෙන් බාගයක්. ඉතිරි කොටස අපිව ආලෝකයේ මං පෙතට ඇතුල්වෙන තැනට ගියහම ලබාදෙනවා. ගමන සංවිධානය කරගැනීමට හා අවශ්‍ය කරන ආහාර පාන ඇතුළු දේවල් මිලදී ගැනීමට අවශ්‍ය මුදල්ද මෙහි තියෙනවා.

නයෝමි වෙතට හමින් නිමකළ පසුම්බියක් දික්කරමින් ලෝගන් පවසා සිටියා. එම පසුම්බිය අතට ගත් ඇය එය විවර කර එහි වූ රන් කාසි අත්ලට හලා ගත්තා. මොහොතක් එදෙස බලාසිට නැවත එය පසුම්බියට දමා එහි කට තද කළ ඇය එය සිය කබායේ වු සාක්කුවකට දමා ගත්තා.

     හොදයි. කී දෙනෙක් ඉන්නවද ගමන යන්න?

     අපි දෙන්නා විතරයි. ඔබත් එක්ක තුන්දෙනයි.

     ඔබලා දෙන්නා විතරද මේ ගමන යන්නේ?

     ඔව් ඇයි?

     මම සිතුවාට වඩා ඔබ දෙදෙනා එඩිතරයි. එහෙම නැත්නම් මෝඩයි. කෙසේ වුවත්      හෙට උදේ දහය විතර වෙනකොට ගමන ආරම්භ කරන්න අපිට හැකියාව ලැබෙයි.      හෙට උදේ දහයට මෙතනදීම හමුවෙමු යැයි පැවසූ නයෝමි එතනින් පිටවී ගියා.

     කාලය ගතවී ගියේ බොහොම වේගයෙන්. පසුදින උදෑසන නවයයි තිහ පමණ වන      විට ලෝගන් හා නිකොලස් පෙර දින තමන් නයෝමි මුණ ගැසුණු අඳුරු තැබෑරුමේ      සුපුරුදු ස්ථානයේම අසුන්ගෙන සිටියා. හරියටම උදෑසන දහය වන විට ඔවුන්      හමුවීමට එහි පැමිණියේ නයෝමි.

ගමනට අවශ්‍ය සියළුම කටයුතු සුදානම්. අපිට පිටත් වෙන්න පුළුවන්.

හොදයි. අපි උදේ ආහාරය අවසන් කළ වහාම අපි ගමන පිටත්වෙමු. ඔබත් එකතුවෙන් අප සමඟ උදේ ආහාරයට. මොකක්ද ඔබ තෝරාගත්ත මාර්ගය?

ලෝගන් මේසය මත තබා තිබූ සිතියම දක්වමින් අසා සිටියා.

අපි ගමන පටන්ගන්නේ මෙතනින්. ඇය සිතියමේ ලාර්වික් නගරය දක්වමින් පවසා සිටියා. මෙතන සිට ඩ්‍රාම්මෙන්, ඔස්ලෝ, එල්වරුම්, සලෙන් හරහා ඉඩ්රේ වලට. එතැන් සිට දින දෙකක දුරින් තමයි ආලෝකයේ මං පෙත පිහිටා තිබෙන්නේ. මෙතන මගේ ගම “පැරඩිස්” (Paradis). “එල්වරුම්” තමයි අපිට අශ්වයින් ලබාගන්න පුළුවන් අවසාන ගම්මානය.

කෙතරම් දුරද සම්පූර්ණ ගමනට?

ඔක්කොම බැලුවොත් සැතැප්ම තුන්සිය විස්සක් විතර තියෙනවා. ඒ කියන්නේ මාසයක් විතර යනවා අපිට මේ දුර යන්න. ඒ කිසිම දෙයකින් අපේ ගමන පමා නොවුනොත්.

“මෙහේ තියෙන හොදම මත්පැන් වර්ගය මොකක්ද?” නිකොලස්, නයෝමිගෙන් විමසා සිටියා. එයට “අක්වවිට්” යනුවෙන් මඳ සිනාවකින් පිළිතුරු දුන් නයෝමි, තව දුරටත් ඒ ගැන විස්තර පැවසුවා.

අක්වවිට් (Akvavit) තමයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඒ මෙහේ තියෙන හොදම බීම වර්ගය. වොඩ්කා වල රසට යම් තරමකින් සමානයි. ඉතාමත් පැරණි බීමක්. දන්න විදිහට නම් පහලොස්වෙනි ශත වර්ෂයේ ඉදන් එන බීමක්. හදන්න ගන්නේ අර්තාපල් සහ ධාන්‍ය වර්ගයක පැසවීමකින් තමයි මේ බීම වර්ගය හදන්නේ. එයට විශේෂිත වු රසය ලැබෙන්නේ එයට එක් කරන විවිධ ඖෂධීය ගුණ සහිත ශාක හා කුළු බඩු වලින්. අක්වවිට් කියන වචනයේ තේරුම වෙන්නේ “ජීවයේ ජලය” යන්නයි.

ස්තුතියි නයෝමි. ඔබට බොහෝ දේ ගැන ලොකු දැනීමක් තියෙනවා වගෙයි.

එයට කිසිවක් නොපවසා සිනාසුණු නයෝමි, ලෝගන් සමඟින් එතැනින් පිටවී ගියා. තැබැරුමේ අයිතිකරුගෙන් ඉස්තරම් වර්ගයේ අක්වවිට් බෝතල් පහක්ම මිලදී ගත් නිකොලස් විනාඩි කීපයකට පසුව ලෝගන් හා එකතු වුනා. ඔවුන් තිදෙනා ගමන් කළේ අඳුරු තැබෑරුම තිබුණු තැනට ආසන්නයෙන් පිහිටා තිබූ අස්ව ස්තාලයක් වෙතයි. ඔවුන් එතනට ළගාවන විට පෙර දින නයෝමි විසින් වෙන්කර ගත් අසුන් ගමනට ලෑස්ති කර තිබුනේ නයෝමිගේ සහායකයා වන විලියම්ස් විසිනුයි.

     ලෝගන්, නිකොලස් මේ ඉන්නේ මගේ සහායකයා. විලියම්ස්. මම      හිතනවා ඔබලා ආයුධ සන්නද්ධයි කියලා. මම අලුතෙන් ආයුධ ගන්න      කරදර වුනේ නෑ.

     “ඒ ගැන වද වෙන්න එපා යැයි” පවසමින් විලියම්ස්ට අතට අත දී ආචාර      කළ ලෝගන් එතැන වූ කාල වර්ණ අශ්වයෙක් තොරාගත්තා.      අශ්වයාගේ සෑදලයේ රයිෆලය වෙනුවෙන් නිර්මාණය වු ස්ථානයේ එය      රැදවූ ලෝගන් සිය ගමන් බෑගය හා අසිපත කරේ එල්ලා ගෙන අසුපිටට      නැගගත්තා. ඔවුන්ගේ ගමනට අවශ්‍ය කළ ආහාර පාන ඇතුළු වෙනත්      ද්‍රව්‍ය තවත් අශ්වයෙක් පිට රදවා තිබුණා. සිය මත්පැන් බෝතල් පහෙන්      දෙකක් නොබිදෙන ලෙස ඇසිරු නිකොලස් එය සිය ගමන් බෑගයේ දමා ගත් අතර ඉතිරි බෝතල් තුන ආරක්ෂිතව ආහාර ද්‍රව්‍ය ඇතුලත් බෑගයක ඇසීරිමෙන් අනතුරුව සිට අසු පිටට නැගුණා. අනතුරුව අසුපිටට නැගුණු නයෝමි ගමනේ පෙරමුණ ගත් අතර ඇය පිටුපසින් ලෝගන් හා නිකොලස්ද අවසානයෙන් විලියම්ස්ද ගමනට පිටත්වුනා. ඔහුගේ අතේ බඩු භාණ්ඩ රදවා තිබූ අශ්වයාගේ කටකලියාවට සම්බන්ධ වු රැහැන රැදී තිබුණා.

මේ ගමන බොහොම දුෂ්කර ගමනක්. ඒ වගේම බොහොම අවදානම් මාර්ගයක තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. මංකොල්ලකරුවන් ඉන්නත් පුළුවන්. ඒ වගේම වෘකයන් වගේ දරුණු වන සතුන්. බොහොම කල්පනාවෙන් ගමන් කරන්න. හැමවිටම මා ගමන් කරන මාර්ගයේ ගමන් කරන්න. අතරමං වෙන්න ලේසියි. ඒ නිසා හැමවිටම කල්පනාවෙන්. කිසිම වෙලාවක කණ්ඩායමෙන් දුරස්වෙන්න එපා. හැම විටම තමන්ගේ ආයුධ සුදානමින් තබාගන්න.

ලෝගන් හා නිකොලස් දෙසට හැරී මෙසේ පැවසූ නයෝමි ගමනේ පෙරමුණ අරගත්තා. ඇය පිටුපසින් නිකොලස් ද ඉන් අනතුරුව විලියම්ස් අවසානයේ ලෝගන්ද ගමන පිටත් වුනා. ගමන අරබා හෝරාවකට පමණ පසුව පිටු පස බැලු ලෝගන්ට ලාර්වික් නගරය ඈතින් දැකගන්න ලැබුණා. වැඩි වේගයකින් ගමනේ නොයෙදුණු ඔවුන් එදින සැන්දෑ කාලය වන විට ලාර්වික් නගරයට සැතැප්ම 40 පමණ දුරකින් පිහිටියා වු කුඩා ගම්මානයකට ළඟා වුනා. එදින රාත්‍රිය ගම්මානයේ කෙළවරක වූ ගසක් යට ගත කළ ඔවුන් සිව්දෙනා පසුදා උදෑසනින්ම ගමන ආරම්භ කළා.

එදින ගමනාරම්භයෙන් පැයකට පමණ පසුව ඔවුන් විශාල ගංඟාවක් අභියසට පැමිණියත් එහි වූ පාලම දින කීහිපයකට පෙර ඇතිවූ ගං වතුරට විනාශ වී ගොස් තිබුණු නිසා ගංඟාවට හරහා ගමන් කිරිමට සුදුසු කිරිමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට ගංඟාවට සමාන්තර බොහෝ දුරක් ගඟ ඉහළට ගමන් කිරීමට සිදුවුනා. අවසානයේ ඉතාමත් අපහසුවෙන් ගඟ තරණය කළ ඔවුන් සිවුදෙනා සවස දෙක පමණ විට විශාල වනාන්තරයක් අභියසට පැමිණියා.

අපි අදට මෙතන නවතිමු. මම හිතාගෙන හිටියේ අද මේ වනාන්තරය පසු කරන්න. පාලම විනාශවී ගොස් තිබුණු නිසා අපේ කාලය බොහෝ වෙලාවක් නාස්ති වුනා.

අපිට තව පැය තුනක පමණ කාලයක් ආලෝකය ඉතිරිව තිබෙනවා. අපිට පුළුවන්නේ වනාන්තරය ඇතුලත කඳවුරක් තනාගන්න.

නිකොලස්, මම කැමතියි දහවල් කාලයේදී වනාන්තර පෙදෙස් පසු කරන්න. එතකොට අපිට තියෙන තර්ජන අඩුයි. රාත්‍රියේ තමයි බොහොමයක් වන සතුන් සිය දඩයම් සොයා යන්නේ. අපිට රාත්‍රියේ දුර දකින්න තියෙන ඉඩ කඩ සීමිතයි. සතුන්ට රාත්‍රියට ඇස් පේනවා. ඒ වගේම සතුන්ට තමන්ගේ ඇස් වලට වඩා දේවල් තියෙනවා පරිසරය දකින්න. විශේෂයෙන්ම ඉව. ඒක නිසා දහවලදී අපේ මේ වනාන්තරය තරණය කරන එක අපේ ආරක්ෂාවට හොදයි. අනික මේ වනාන්තරය රාත්‍රී කාලෙයේදී අද්භූත දේවල් වලට ප්‍රසිද්ධ තැනක්. ඒ නිසා අපි අද මෙතන රාත්‍රිය ගත කරමු.

හොදයි, එහෙම නම් අපි එහෙම කරමු. මම හිතන්නේ අර එහායින් තියෙන ගස් කීපය අපිට හොඳ ආවරණයක් වේවි.

ඔව්. ඒක හරි ලෝගන්. විලියම්ස් ඔබ අශ්වයින් ටික බැද දමා උන්ට කෑමට යමක් දෙන්න. ලෝගන් ඔබට පුළුවන්ද ගිනි මැලය අවුලවන්න? නිකොලස් රාත්‍රී ආහාරය?

මඟ පෙන්වන්නියගෙන් ලත් නියෝග අනුව පැයක් පමණ ගතවන විට ඔවුන්ට රාත්‍රිය ගත කිරීමට තීරණය කළ භූමිය ආරක්ෂිතව සකසා ගැනීමට හැකියාව ලැබුණා. රාත්‍රිය කාලය පුරාවටම ගිනි මැලය නොනිමී පවත්වා ගැනීමට තරම් දර ප්‍රමාණයක් අවටින් එක් රැස් කරගත් නිකොලස් ගේ සහයෝගයෙන් එකතු කරගත් ලෝගන් ගිනි මැලය අවුලවා ගත්තා.

වැඩි වෙලාවක් යන්නට පෙරම අඳුර හමුවේ සිය පරාජය පිළිගත් දිවා එළිය සිය අවසන් එළිය පොදද හකුලාගෙන පසු බැස නොපෙනී ගියා. මොහොතකට පසුව අවට පරිසරයේ වූ ඝන අන්ධකාරය මදකට හෝ බිදීගියේ දඩයක්කරුවා ඇතුළු පිරිස සිටි භූමියේ වූ එළියෙන් පමණයි.

ඇයි ඔබ මේ වනය අද්භූතයි කිවුවේ?

ඒ ගැන බොහොම කටකතා තියෙනවා ලෝගන්. කටකතා වල තියෙන විදිහට මේ වනයේ රාත්‍රියේ නැවතී සිටි කිසිම කෙනෙක් එයින් පිටවී ගොස් නෑ. සමහර අවස්ථාවල දහවල් කාලයේ මේ හරහා ගමන් කරන්නන්ට රාත්‍රියේ එහි නතරවූවන්ගේ බඩු බාහිරාදිය හමුවී තිබෙනවා.
හැබැයි කිසිම මිනිහෙක් හෝ අශ්වයෙක්ගේ හෝඩුවාවක්වත් එහි දක්නට ලැබිලා නෑ. ඒ නිසා මේ වනාන්තරය හරහා ගමන් කරන ඕනෑම කෙනෙක් ඒ කටයුත්ත සඳහා දහවල් කාලය යොදා ගන්නවා. මඟ පෙන්වන්නිය විදිහට මගේ වගකීම ඔබලාව ආරක්ෂිතව ගමන්නාන්තය කරා ඇරලවීම. ඒ නිසා මේ ක්‍රමය හොදයි.

ඔබේ කතාව මම පිළිගන්නවා. මේ වගේ අඳුරු වනයක රාත්‍රි කාලයක නැවතී සිටිමේ වැරැද්දට මගේ ජීවිතයේ තිබ්බ වටිනාම දේ මට නැතිවෙලා ගියා.

මෙසේ පවසා අඳුරු වනාන්තරය දෙස ඇසි පිය නොහෙලා මොහොතක් බලා සිටි ලෝගන් සිය අසිපත එළියට ඇද ගිනි මැලයේ එළියේ ආධාරයෙන් එය මුවහත් කරන්නට ගත්තා. ගිනි මැළයේ එළියෙන් එම අසිපත දිලිසෙන්නට පටන්ගත්තේ ඒ දෙස බලා සිටි මඟපෙන්වන්නිය මෙන්ම විලියම්ස්ද විශ්මයට පත්කරමින්.

ලෝගන්, මොකක්ද ඔය අසිපත? මම මීට කළින් කිසිම දවසක ඔය විදිහේ අසිපතක් දැකලා නෑ.

අසිපත දෙස පුදුමයෙන් බලා සිටි විලියම්ස් දඩයක්කරුවාගෙන් අසා සිටියා.

මේක මගේ මිත්‍රයෙක්ගෙන් මට ලැබුණු තෑග්ගක්. මේක ජපන් ජාතික “සමුරායිවරුන්” පාවිච්චි කරන විශේෂිත වූ අසිපතක්. මේකට කියන්නේ “කටානා” කියලා.

ඇයි ඒක විශේෂ? මඟපෙන්වන්නිය ලෝගන්ගේන් අසා සිටියා.

හේතු කීපයක් හන්දා. මේ අසිපතක් හදන්න අවුරුද්දක් විතර ගතවෙනවා. මේක හදන්න ගන්නේ බොහොම පිරිසිදු යපස් හා අඟුරු මිශ්‍රණයකින් නිර්මාණය කරපු වානේ විශේෂයක්. ජපන් භාෂාවෙන් හදුන්වන්නේ “ටැමහාගෙන්” (Tamahagane) කියලා. එකේ දළ තේරුම ගත්තොත් ආභරණ හදන්න ගන්න වානේ වගේ අදහසක්. ඊට පස්සේ බොහෝ වාරයක් රත් කිරීමෙන්, තැලීමට ලක්කිරීමෙන් මේ අසිපත නිර්මාණය කරනවා. මේ තලයේ දිග අඟල් 27. මිටත් එක්ක ඒක අඟල් 36 විතර වෙනවා. මේ අසිපතේ මිට හදලා තියෙන්නේ ඇත් දළවලින්. ෆීනික්ස් කියනව මනත්කල්පිත කුරුල්ලගේ හිසක හැඩය දිස්වෙන විදිහට තමයි මිට නිර්මාණය කරලා තියෙන්නේ. මගේ යාළුවා කිවුව විදිහට මේකට අවුරුදු දෙසීයක් විතර වයසයි. ඒ වගේම යම් කිසි අද්භූත බලයකුත් මේකේ තියෙනවා.

     ලෝගන්ගේ මේ විස්තරයෙන් පසු අවට පරිසරයම නිහඩ වී ගියා. පරිසරයේ      නිහඩතාවය බිදී ගියේ ගිනි මැලයේ දර කැබලි පුපුරා යෑමෙන් නැගුණු සද්දයෙන්      පමණයි. ඊළඟ මොහොතේ මඟපෙන්වන්නියගේ හඩින් ඒ නිහඩතාවය බිද වැටුණා.

     දැන් අපි නින්දට ගියොත් හොදයි. තුන්දෙනෙක් නිදාගන්න අතරෙදි එක් අයෙක්      ඇහැරිලා ඉදිමු වැඩි ආරක්ෂාවට. පැය දෙක හමාරකින් පමණ අනික් කෙනාට      ඇහැරවන්න. ඇහැරිලා ඉන්න කෙනා අත තමයි අනිත් අයගේ ආරක්ෂාව රදා      පවතින්නනේ. ඒක මතක තියාගන්න. මම ඉස්සර පළමු අවස්තාව ලබාගන්නම්. මම      ඊළඟට ඔබව ඇහැරවන්නම් විලියම්ස්.

     සිය හිස සලා එය පිළිගත් විලියම්ස්, ලෝගන් හා නිකොලස් සමඟ නින්දට වැටුණා.      සිය දිගු කබායෙන් තම සිරුර ආවරණය කරගත් නයෝමි සිය පිස්තෝලය උකුල මත      තබාගෙන අසල වු ගසකට පිට දුන්නේ අන් අයගේ ආරක්ෂාව තමන් වෙත පවරා ගනිමින්. අවට පරිසරය ඝන අන්ධකාරක පමණක් නොව දැඩි නිහඩතාවයකද ගිලී ගොස් තිබුණේ තනිව සිටින්නෙක්ගේ සිතට දැඩි භීතියක් කාන්දු කරමින්. කාලය ගතවී ගියේ ඉතාමත් සෙමින්.

තිගැස්සී ඇහැරුණු දඩයක්කරුවා දුටුවේ තමා දෙස බලා සිටින නිකොලස්.

නැවත වරක් ඔබේ හීනයද?

ඔව්. ඒත් මෙවර එය වඩාත් පැහැදිලියි.

මොනවා?

ඔව් නිකොලස්. දැන් මට ඔබ “සෙලීන්” නමින් හැදින්වූ ජීවයේ හා මරණයේ දේවතාවියගේ සාමාන්‍ය සෞම්‍ය වු ස්වරූපය වෙනදාට වඩා පැහැදිලියි. ඇය බොහොම සුන්දරයි. පේන විදහට ඇයව අඳුරු බිම්ගෙයක සිර කරලා ඉන්නේ. ඇයව බැඳ දමා ඇති දම්වැල් මට දුමාරය අතරින් පැහැදිලිව පේනවා. ඇය ඉන්නේ බොහොම විඩාබරව, බලයෙන් පිරිහිලා.

ලෝගන් මම හිතන්නේ ඔබ ඇයගේ බල ප්‍රදේශයට ටිකෙන් ටික කිට්ටුවෙන කොට මේ දර්ශනයන් තවත් පැහැදිලි වේවි කියලා.

සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඒත් නිකොලස් එතරම් බලවත් දේවතාවියක් සිරකරන්නේ කොහොමද?

ඒකත් වැදගත් ප්‍රශ්නයක් ලෝගන්. සමහර විට අපි කියවු පොත්වල සටහන් නොවු සතුරෙක් ඇයට ඇති. අපි මේ ගැන දන්නේ බොහොම ටිකයිනේ. බලයත් එක්ක පාවාදීම්, සතුරුකම් වගේ බොහෝ දේවල් ඇතිවෙන්න පුළුවන්. සමහරවිට මෙතනත් එහෙම දෙයක් ඇති. සමහරවිට අපේ මඟපෙන්වන්නිය මේ ගැන මීට වඩා විස්තර දන්නවා වෙන්න පුළුවන්. ඇය අපට නොකියන යම්දෙයක් මෙතන තියෙන්නත් පුළුවන් ලෝගන්. අපි බලමු ඇගෙන් දැනගන්න පුළුවන් කියලා.

ඔව්. අපි එහෙම කරමු. මම අවදිව සිටින්නම්. ඔබ දැන් නිදාගන්න.

හොදයි ලෝගන්.

ගිනි මැළයට කිට්ටුව එයට තවත් දර කැබැලි කීපයක් එක් කළ ලෝගන් සිය ඉණෙහි රදවා තිබූ පිස්තෝලවල ආරක්ෂිත අඟුල් මුදාහරිමින් අවට අන්ධකාරයට සිය දෑස් යොමු කරමින් අසල වු දර කොටයක් මත අසුන් ගත්තා. විනාඩි කීපයක් නිසොල්මන්ම අවට පරිසරයට සවන්දුන් ඔහු මොහොතකින් පිස්තෝල දෙක එය අඳුරට එල්ල කරමින් නැගී සිටියා. ඊළඟ මොහොතෙදී දඩයක්කරුවා අතේ වූ පිස්තෝල දෙක එකිනෙකා පරයා කතා කරන්නට ගත්තේ අවට පරිසරය ගිළගත් නිහඩතාවය සුණුවිසුනු කරවමින්. අවට පරිසරයේ නිහඩ බව බිද වැටුණේ වෙඩි හඩින්ම පමණක් නොවේ. එයට හේතුවුයේ ලෝගන්ගේ තැබූ වෙඩි පහරවලින් ඇතිවූ හඩට අනතුරුව මහ හඩින් නැගුණු වේදනාබර විලාපයන්ය.
___________________________________________________________________________________

KB 2021.03.25

අඳුරේ දඩයම්කරු 16 - මතකයන් අතර

     “අඳුරු වන පෙත තුළින් ආලෝකයේ මඟ දකින්න ලෝගන්. ඔබට එය කළ      හැකිය. මා හට ඉතිරිව ඇති කාලය සීමිතයි. ඉක්මන් කරන්න. මටත්, මගේ      ජනතාවටත් ඔබේ උපකාර අවැසියි. එය ඔබේ දෛවයයි ලෝගන්.      ආලෝකයේ මං පෙත සොයා එන්න.”

     ලෝගන් තිගැස්සී නෙත් හැර බැලුවා. වටපිට බැලූ ලෝගන්ට දකින්නට      ලැබුණේ අඳුර හැර රාත්‍රියේ දිදුලන තාරකා පමණයි. තවත් එක් සාර්ථක      දඩයම් චාරිකාවක් අවසන් කිරීමෙන් අනතුරුව ප්‍රංශයේ විල්පාන්ට් නගරයේ      පිහිටි අසිපතේ මාළිගය කරා ගමන් කරන අතර තුර රැය පහන් කිරීමට      ලෝගන් තෝරාගෙන තිබ්බේ රූස්ස ඕක් ගසක්.

     “මොකක්ද මේ හීනේ තේරුම? දැන් දවස් ගාණක් තිස්සේ මට මේ හීනය      පේනවා. කිසිම දෙයක් හරියට පැහැදිලි නෑ. මට හිතාගන්න බෑ මොකක්ද      මම කරන්න ඕන කියලා. මොකක්ද මේ ආලෝකයේ මං පෙත කියන්නේ?      ඒක තමයි තියෙන එකම හෝඩුවාව. සමහර විට ලේඛනාගාරයේ ඇති මේ      ගැන යම් හෝඩුවාවක්”

     එසේ සිතමින් නැවත වරක් තාරකා පිරි අහස දෙස බලමින් ලෝගන් නින්දට      පිවිසුනා. දඩයක්කරුවා මේ වන විට අසිපතේ මාළිගයට දින දෙකක පමණ      දුරින් සිටියේ. කිසිදු විශේෂ සිදුවීමකින් තොරව දින දෙකකට පසුව දඩයක්කරුවා විල්පාන්ට් හී අසිපතේ මාළිගයට පිවිසුනා. එහිදී සංවිධානයේ ග්‍රෑන්ඩ් මාස්ටරවරයා ලෙස කටයුතු කළ ජීන් ඩී බැල්ඩ්වින් මුණ ගැසුණා. ඔහු දඩයක්කරුවන්ගේ සංවිධානයේ ප්‍රධානියා වුවත් ඔහු ලෝගන්ගේ ළඟම මිතුරෙක් වුනා. ඔහු බොහොම උණුසුම් ආකාරයෙන් ලෝගන්ව පිළිගනු ලැබුවා.

කොහොමද ලෝගන්? දඩයම සාර්ථකද?

ඔව් උතුමාණනි. දඩයම නම් සාර්ථකයි.

මොකක්ද වෙලා තිබ්බේ ලෝගන්?

ලේ උරා බොන නොමළවුන්ගේ (Vampire) දඩයම් බිමක් වෙමින් තමයි නගරය පැවතියේ නගර වැසියන්ගෙම වැරැද්දෙන්. වසර ගාණක් සිරකර සිටි වෑම්පයර් කුමාරයෙක් නගර වැසියන්ම නිදහස කරලා. එතනින් එහාට කියන්න දෙයක් නෑනේ. ඔබට හිතාගන්න පුළුවන්නේ.

වෑම්පයර් කුමාරයට මොකද කළේ?

ඔහු බොහොම ශක්තිමත් වෙලා හිටියේ. කුමාරයෙක් නිසා මම හිතුවා ඔහු මට හොද සටනක් දේවි කියලා. ඒත් ඔහු මගේ බලාපොරොත්තු කඩ කරලා දැම්මා. අවසානයේ පපුව හරලා ලී උලක් සමඟ ගෙළ සිඳ දැමීමකින් ඔහුගේ ලේ පිපාසිත පාලනය අවසන් වුනා. සුපුරුදු විදිහට අළු වෙලා විසිරිලා ගියා.

හොදයි. දැන් කියන්න. මොකක්ද ඔබේ ප්‍රශ්නේ?

ප්‍රශ්නය? ඔබ කොහොමද දන්නේ?

මම කෙතරම් කාලයක සිටද ඔබව දන්නේ ලෝගන්? ඔබ මොකක් හරි ප්‍රශ්නෙකින් ඉන්නේ කියලා මට දැනෙනවා.

ඔබතුමා හරි. මට එකම සිහිනයක් නැවත නැවත මට පේනවා දින
ගණනක සිට. සිහිනෙන් කියැවෙනවා ආලෝකයේ මං පෙතක් ගැන.

“ආලෝකයේ මං පෙත”?

ඔව් උතුමාණනි.

මං එහෙම දෙයක් ගැන කිසිදා අසා නෑ. මම හිතන්නේ අපිට ලේඛනාගාරයෙන් යමක් හොයාගන්න පුළුවන් වේවි ඒ ගැන. අපි ලේඛනාගාරයේ භාරකරුත් එක්ක කතා කරමු. මම හිතන්නේ අපිට ඔහුගෙන් යමක් දැනගන්න පුළුවන් වේවි.

ලෝගන් සමඟ නැගී සිටි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා මාළිගයේ ඉහළ මාලයේ පිහිටි ලේඛනාගාරය වෙත ගමන් කළා. ඉහළ මාලයට පිවිසෙන විටම ඔවුන් දෙදෙනාට දැක ගැනීමට හැකිවුයේ ලේඛනාගාරයෙන් පිටතට එන එහි භාරකරු වූ නිකොලස් ඇල්බෙයාර්. ඔහු දැනුම ගබඩාවක් වන් වු පුද්ගලයෙක් වගේම හිටපු දක්ෂ දඩයම්කරුවෙක්. ඔවුන් දෙදෙනා දුටු ඔහු මදක් සිනාසි සිය හඩ අවදි කලා.

උතුමාණනි, මාව මුණ ගැහෙන්න එනවා වගේ. ලෝගන්, මට දැනගන්න ලැබුණා ඔබ සාර්ථක දඩයමක් කර මෙහි පැමිණි බව. මම මේ ඔබව මුණ ගැසීමට එන ගමන්.

ඔව් නිකොලස්. අපත් ඔබව මුණ ගැසීමට තමයි ආවේ. අපට විශේෂයෙන්ම ලෝගන්ට ඔබෙන් උදව් අවශ්‍ය වෙලා තියෙනවා. ඔබ අසා තිබෙනවාද “ආලෝකයේ මං පෙත” ලෙස හැදින්වෙන තැනක්?

සත්තකින්ම උතුමාණනි. මම ඒ ගැන අසා තිබෙනවා. ඔබට මොනවද දැනගන්න අවශ්‍ය ලෝගන්?

හැමදෙයක්ම නිකොලස්. හැමදෙයක්ම

උතුමාණෙනි අපි යමු එහෙම නම් ලේඛනාගාරයට.

ලේඛනාගාරයට පැමිණි නිකොලස් එහි කෙළවරක වු රාක්කයකින් විශාල පොතක් රැගෙන විත් ලෝගන් සහ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා අසුන් ගෙන සිටි ආසන අසල වු මේසය මත තැබුවා.

මට කියන්න සියලුම විස්තර. පොඩි දෙයක් වත් මඟ හරින්න එපා.

මේක ආරම්භ වුනේ මම අන්තිමට කරපු දඩයමට පිටත් වෙන්න දවස් දෙකකට කළින්. මම සාමාන්‍යයෙන් හීන දකින්නේ නෑ. මම හිතුවා මේකත් මම කලාතුරකින් දැකපු එක හීනයක් වෙන්න ඇති කියලා. ඒත් ඒක එහෙම වුනේ නෑ. එදා ඉදන් හැමදාම මට මේ එකම හීනේ පේනවා.

මොනවද ඔබට පෙන්නේ?

වැඩි දෙයක් නෑ. බොහොම සුන්දර කාන්තාවක්. ඇයව කොහේ නමුත් අඳුරු තැනක සිරකර ඇති බවකුයි පේන්නේ. ඇය හැම තිස්සේම කියන්නේ මෙන්න මේ වචන ටික. “අඳුරු මං පෙත තුළින් ආලෝකයේ මඟ දකින්න ලෝගන්. ඔබට එය කළ හැකිය. මා හට ඉතිරිව ඇති කාලය සීමිතයි. ඉක්මන් කරන්න. මටත්, මගේ ජනතාවටත් ඔබේ උපකාර අවැසියි. එය ඔබේ දෛවයයි ලෝගන්. ආලෝකයේ මං පෙත සොයා එන්න.”

ලෝගන්, ආලෝකයේ මං පෙත ගැන සඳහන් වෙන්නේ ස්කැන්ඩිනේවියානු ප්‍රවාද වල. ස්කැන්ඩිනේවියාව කියන්නේ උතුරු යුරෝපයේ රටවල් කීපයක් එකතු කළහම එයට දෙන නමක්. ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, අයිස්ලන්තය හා ෆින්ලන්තය කියන රටවල් තමයි මේ කලාපයට ඇතුලත්වෙන්නේ. මේ බලන්න.

තමා මේසය මත තැබූ පොත දිග හරිමින් නිකොලස් පවසා සිටියා. පොත මැද හරියේ වූ සිතියමකට ඇඟිල්ල තබා එය ලෝගන්ට හා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට පෙන්වා සිටියා. එය දෙස විමසිල්ලෙන් බැලූ ඔවුන්ට දකින්නට ලැබුනේ එහි සටහන්කොට තිබූ “ආලෝකයේ මං පෙත” යන වචනයයි.

ඔබ මේ කියන ප්‍රදේශය තියෙන්නේ නොර්වේ වල ඉදන් සැතැප්ම 50 විතර ඊසාන දිගට වෙන්න.

දැනෙන විදිහට මේ ගමන ඉතාමත් දුෂ්කරයි වගේ

ඒක හරි ලෝගන්. ස්කැන්ඩිනේවියානු කලාපය කියන්නේ බොහොම පැරණි ඉතිහාසයක් තියෙන ප්‍රදේශයක් වගේම බොහොම අද්භූත දේවල් ගැන අහන්න දකින්න ලැබෙන ප්‍රදේශයක්. ඔබ කියන මේ “ආලෝකයේ මං පෙත” වැටී තියෙන්නේ මෙන්න මේ කඳු ගැට දෙක මැද්දෙන්. එහෙම නමක් පාවිච්චි කළාට කවුරුවත් මේ මං පෙත හරහා යන්න පෙළඹෙන්නේ නෑ. ඒකට හේතුව එයට අරක්ගෙන තිබෙන අද්භූත ස්භාවය වගේම අතිශයෝක්තියකින් යුත් කට කතා.

මේ කලාපය ගැන කතා කරන කොට අපිට මතක් වෙන්නේ නොරිස් ජන කතා වල එන දෙවිවරු. එහෙම නැත්නම් බොහොම දරුණු ආක්‍රමණියන් කොට්ඨාශයක් වන වයිකින්වරුන් අදහපු දෙවිවරුන්. ඒ කියන්නේ ඕඩින් (Odin), දෙවිවරුන්ගේ නායකයා. එහෙම නැතිනම් සියලු දෙනාගෙම පියා (All father) විදිහට ඔහුව හදුන්වනවා. ඊළඟට තෝර් (Thor), බෝල්ඩර් (Balder), ලෝකී (Loki), සිෆ් (Sif) වගේ අපි හැමෝම දන්න නම්. හැබැයි මේ ප්‍රවාද වල ඉතාමත් කළාතුරකින් සඳහන් වෙන තවත් දෙවිවරු කිහිපදෙනෙක් ඉන්නවා.

නිකොලස්, මේ පාර කොහෙන්ද ඉවරවෙන්නේ?

පොතේ වු සිතියම දක්වමින් ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා එකවරම විමසා සිටියා.

     උතුමාණෙනි, ඒ ගැන පැහැදිලි සටහනක් නෑ. සමහරු කියනවා ඒ පාර      කෙළවර වන්නේ ස්වර්ගයෙන් කියලා. තවත් සමහරු කියනවා ඒක      ඉවරවෙන්නේ එක්තරා බලවත් දේවතාවියකගේ අඩවියෙන් කියලා.      සමහරු කියනවා ඇය ජීවත්වෙන්නේ විශාල විලක් මැද තියෙන දූපතක      කියලා. ඒ ගැන පැහැදිලි යමක් නෑ. ලෝගන් මට කියන්න ඔබ මේ      දකින කාන්තාව ගැන.

     එහෙම ලොකු විස්තරයක් කරන්න තරම් මගේ දර්ශනය පැහැදිලි නෑ.      මම කළින් කිවුවා වගේම ඇය බොහොම සුන්දරයි. දිගු කළු පැහැති      කොණ්ඩයක්. සමහර වෙලාවට ඇයව සිරකරලා තිබෙන තැන ඇති      අඳුර අතරින් පියාපත් වැනි යමක් දක්නට ලැබෙනවා. හරියටම පැහැදිලි      නෑ ඒ දර්ශනය.

     මේ බලන්න ලෝගන්, ස්කැන්ඩිනේවියානු ජන වහරේ කොටසක්      පමණක් කතා කරන දේවතාවියක් ඉන්නවා ඔබ කියන ස්වරූපයට      සමානව. හැබැයි ඒ ගැන දැක්වෙන කිසිම රෑප සටහනක් නෑ. ඇයව      හදුන්වන්නේ “සෙලීන්” යන නාමයෙන්. ශ්‍රීක භාෂාවට අනුව සඳ.      බොහොමයක් පැරණි ශිෂ්ඨාචාරවල සඳ ප්‍රභලම දේවත්වයක් ලෙසයි සලකන්නේ. මෙතනදිත් එහෙමයි. මේ පොතේ සටහන් වෙන විදිහට “සෙලීන්” කියන්නේ බොහොම බලවත් දේවතාවියක්. ඇයව හදුන්වන්නේ ජීවයේ හා මරණයේ දේවතාවිය හැටියට. ඇයට ස්වරූප දෙකක් තියෙනවා. එකක් මට හිතන විදිහට ලෝගන්ට සිහිනෙන් දකින්නට ලැබෙන ඇගේ සෞම්‍ය වු ස්වරූපය පියාපත් සහිතව දේව දූතියක් ආකාරයට.

අනික මොකක්ද නිකොලස්.

පැරණි සටහන් වල තියෙන විදිහට ඒක හරි භයානක ස්වරූපයක් ලෝගන්. ශරීරයෙන් අඩක් සාමාන්‍ය ස්වරෑපය අනිත් අඩ මරණයේ ස්වරෑපය. දැනෙන විදිහටම එය අතිශයින්ම භියකරුයි.

ඇය බලවත් දේවතාවියක් නම් ඇයට මගේ උදව් මොකටද? මම සාමාන්‍ය මනුස්සයෙක්.

අපි හිතන්නේ නැති විදිහට මේ දෙවිවරුන්ටත් අපිව උවමනාවෙන වෙලාවල් තියෙනවා ලෝගන්. සමහර විට ඔවුන්ගේ බලයේ මූලය විනාශ වීමක් හෝ සොරා ගැනීමක් වෙන්නත් පුළුවන්.

නිකොලස් මට තව විස්තර කියන්න මේ කලාපය ගැන.

ලොකු විස්තරයක් නෑ ලෝගන්. වනාන්තර වල අඳුරේ වගේම එළියේ බලවේගද දක්නට ලැබෙනවා. ජලයට අරක්ගත්තු දිය කිඳුරියන් වැනි භයානක සතුන් කොට්ඨාශයක් දකින්නට ලැබෙනවා සයිරන් (Siren) නමින් හදුන්වන. ඔවුන්ට මිනිස් වෙස් ගන්නත් පුළුවන්. ජලයෙදි අතිශයින්ම ප්‍රචණ්ඩයි. කිසිවෙක්ට ඔවුන්ව ජලයෙදි පරාද කරන්න බෑ. ඒ වගේම වනාන්තර වල විවිධාකරයේ අද්භූත සත්ත්වයන් සිටිනවා කට කතා වලට අනුව. ඔය වගේ බොහොමයක් හෙළිනොවුණු දේවල් මේ කලාපයේ දකින්නට ලැබෙනවා.

තිදෙනා අතර විනාඩියක පමණ නිශ්ශබ්දතාවයක් පැතිරී ගියා. අනතුරව ලෝගන් වෙතට හැරුණු ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා,

ලෝගන්, මොනවා කරන්නද කල්පනාව?

මම යන්න ඕන එහාට. මට මේ හීනයේ අවසානයක් දකින්න ඕන. මට මේ හීනය හරිම කරදරයක් වෙලා තියෙන්නේ.

මේක ලේසි වැඩක් වෙන්නේ නෑ. අපි කිසිම කෙනෙක් මේ කලාපය ගැන දන්නේ නෑ ලෝගන්. ඔබ තනියම යන එක එච්චරම නුවණට හුරු වැඩක් කියලා මම හිතන්නේ නෑ.

මට වෙන කරන්න දෙයක් නෑ උතුමාණෙනි. මට මේක කරන්නම වෙනවා.

නිකොලස්, මොකක්ද ලෝගන්ට සුදුසුම ගමන් මාර්ගය?

     උතුමාණෙනි, මම හිතන්නේ ඔහු මේ ගමන නොයන එකයි සුදුසු      කියලා. ඒත් මම හිතන්නේ ඔහුගේ අදහස වෙනස් කරන්න අපිට      හැකියාවක් තියෙනවා කියලා. ලෝගන්, ඔබ මෙහි සිට ජර්මනිය, හරහා      ඩෙන්මාර්කයයේ එහා කෙළවරේ තියෙන හර්(ත්)චල්ස් වරායෙන්      නොර්වේ දක්වා යන යාත්‍රාවකට ගොඩවෙන්න ඕන. පැරීසියේ සිට මේ      වරායට සැතැප්ම 875 විතර තියෙනවා. එතන් සිට ලාර්වික් වරායට      සැතැප්ම 104 පමණ. නැවත නොර්වේ රටේ අභ්‍යන්තරය සැතැප්ම      200 පමණ “ආලෝකයේ මං පෙතට”. ලේසි ගමනක් වෙන්නේ නෑ.      මාස දෙකකට වැඩි කාලයක් යාවී.

     මට වෙන කරන්න දෙයක් නෑ නිකොලස්. මට මේ ගමන යන්නම      වෙනවා.

     මම හිතුවා ඔබ ඔය අදහස කොහොමටත් වෙනස් කරන්නේ නෑ කියලා.      උතුමාණෙනි ඔබේ අවසරය තියෙනවා නම් මම කැමතියි ලෝගන්      එක්ක එකතු වෙන්න.

     ඔබ? එතකොට කවුද ලේඛනාගාරය බලාගන්නේ?

     මගේ දෙවෙනියා ඉන්නවා ඒ කටයුතු වලට උතුමාණෙනි. ඔහුට ඒ      කටයුතු බාර ගැනීමට කාලය හරි. මම කොහොමටත් කැමැත්තෙන් හිටියා හොද ගවේෂණ කටයුත්තක යෙදෙන්න. මේ ඒකට හොදම අවස්ථාව කියලා මම හිතනවා.

ලෝගන් මොකද ඔබ මේ අදහස ගැන කියන්නේ?

මගේ නම් අකැමැත්තක් නෑ ඔහුට හැකියාව තියෙනවානම්. දැන් වයසයිත් වගේ?

මඳ සිනහවක් සිය මුවට නගා ගනිමින් ලෝගන් පවසා සිටියා.

ගියහම බලාගන්න බැරි යැයි නාකියා කවුද කියලා.

එහෙනම් නම් මම ඔබ දෙදෙනාගේ ගවේෂණයට අවශ්‍ය කරන කටයුතු සුදානම් කරන්නම්. ඒකට දවස් කීපයක් ගතවෙයි මම හිතන්නේ. එතකම් ඔබේ වෑම්පයර් දඩයම ගැන විස්තර ටික නිකොලස්ට කියන්න. හැම දෙයක්ම හොදින් සිදුවෙයි කියලා මම හිතනවා. ඔබ දෙදෙනා ගමනට අවශ්‍ය කරන දෑ ලෑස්ති කරගන්න. මේක බොහොම දීර්ඝ ගවේෂණයක් වෙනවා නොඅනුමානයි. සීතලට හරියන්න අවශ්‍ය කරන්න ඇඳුම් ලෑස්ති කරගන්න කෝකටත්. අපි මේ කලාපය ගැන වැඩි විස්තර නොදන්නා නිසා හැම දෙයටම සුදානම් වෙන්න වේවි. ලෝගන් ඔබේ අවි ආයුධ පරීක්ෂා කර බලන්න. අවශ්‍ය උණ්ඩ උපකරණ ලබාගන්න. එහෙම නම් අපි පසුව හමුවෙමු.

මෙම සාකච්ජාවෙන් සතියකට පසුව දඩයක්කරුවා හා නිකොලස් “ආලෝකයේ මං පෙත” ගවේෂණ කටයුත්තට පිටත් වී ගියේ ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට සමුදෙමින්. දඩයක්කරුවා ස්පාඤ්ඤයේ නිෂ්පාදිත මොඩල 1752 වර්ගයේ කුඩා ප්‍රමාණයේ යකඩ බෝල යොදන මස්කට් (Muzzle-Loaded Service Musket) වර්ගයට අයත් තුවක්කුවක් සිය උරහිස් හරහා දමාගෙන සිටියා. ඊට අමතරව එංගලන්තයේ නිෂ්පාදිත ෆිලින්ට්ලොක් (Flintlock) වර්ගයේ පිස්තෝල දෙකක් සිය ඉණ දෙපැත්තේ එල්ලාගෙන සිටියා. ඊට අමතරව ඔහුගේ කටාන වර්ගයට අයත් අසිපතත් සිය උරහිස් හරහා රදවාගෙන තිබුණා. මීට අමතරව හරස් දුන්නක් හා එයට සරිලන ඊතලත් ඔහුගේ ගමන් බෑගයේ තිබුණා. මීට අමතරව නිකොලස් රේෆියර් (Rapier) වර්ගයේ අසිපතකින් හා පිස්තෝලයකින් සන්නද්ධව සිටියා. දීර්ඝ හා දුෂ්කර ගොඩබිම් හා මුහුදු
ගමනකින් අනතුරුව වර්ෂ 1765 මැයි මස 25 වන දින ඔවුන් දෙදෙනා ලාර්වික් වරායට ගොඩ බැස්සා

කැතලීනා, කොහොමද ඔහුගේ තත්වය?

ලෝගන්, සිහිසුන්ව වැතිර සිටි ඇද අසලම පුටුවක අසුන්ගෙන නොදැනීම නින්දට වැටී සිටි කැතලීනා සෙඩ්රික්ගේ කටහඩින් පිබිද දුක් මුසු මුහුණකින් සෙඩ්රික් දෙස බැලුවා.

කිසිම වෙනසක් නෑ සෙඩ්රික්. ඔහුට තවම සිහිය ආවේ නෑ. දවස් දෙකක් තිස්සේ ඔහු මෙහෙමයි. ප්‍රංශයේ සිටින හොදම වෛද්‍යවරයාටවත් කිසිම දෙයක් කරන්න බෑ කිව්වා ඔහු වෙනුවෙන්. ඔහු කොයි වෙලාවේ කොහොම මේ තත්වයෙන් මිදෙයිද දන්නේ නෑ. මම කොච්චර උත්සාහ කළත් මටත් බැරිවුනා ඔහුගේ ශරීරයේ තියෙන මැන්ටිකෝර් විෂ නසන්න පුළුවන් ප්‍රති විෂක් නිර්මාණය කරන්න.

ඔබ පොඩි විවේකයක් ගන්න කැතලීනා. මම ඉන්නම් ලෝගන් ගාවින්.

ස්තූතියි සෙඩ්රික්. කමක් නෑ. මම ඉන්නම්.

ඔබ ඊයේ ඉදලම දවසම මෙතන නිදි නැතුව ඉන්නවා. ඔබත් අසනීපවෙන්නට පෙර විවේකයක් ලබාගන්න. ඔහු මගේ ජීවිතය බේරාගත්තා කැතලීනා. මටත් ඔහු වෙනුවෙන් යමක් කරන්න දෙන්න.

හොදයි. මොනවා හරි වෙනසක් වුනොත් මට කියන්න. ඔහුගේ උණ වැඩි වෙන්න දෙන්න එපා. සැරින් සැරේ මුහුණයි හිසයි ජලයෙන් පිස දාන්න.

එසේ පැවසූ කැතලීනා ලෝගන් දෙස එක් වරක් බලා කාමරයෙන් පිටවී ගියා. ලෝගන් අසලට ආ සෙඩ්රික් ඔහු දෙස ශෝකයෙන් බලා කැතලීනා අසුන්ගෙන සිටි පුටුවේම අසුන්ගත්තා.
___________________________________________________________________________________

KB 2021.03.20

අඳුරේ දඩයම්කරු 15 - මැන්ටිකෝර් දඩයම

     පැරීසියට අළුත් දවසක් උදාවුයේ එහි පතිත වු හිරුගේ රැස් දහරත්      සමඟිනි. නගරයම නින්දෙන් පිබිදි සිය කටයුතු ආරම්භ කරන විටම      ලෝගන්ද අවදි වුයේ එදවස කෙසේ හමාරවේදැයි යන්න නොදැනයි.      සිය ජීවිත කාලය තුල කිසිම දිනක ඔහු මැක්ටිකෝර් සතෙක් දඩයම්කර      නොතිබිණි. කෙසේ නමුදු ඒ ගැන දශමයක හෝ පසුබෑමක් ඔහු සිත      තුළ නොවීය. ඔහුට වු එකම ගැටළුව වුයේ තමාට මේ සතා සොයාගත      නොහැකි වුවහොත් හෝ තමන්ගෙන් මිදී පළා ගියහොත් හෝ ඇතිවන      දරුණු තත්වයයි. ඒ ගැන සිතීමට තව දුරටත් කාලය මිඩංගු නොකළ ඔහු      ඉක්මනින්ම සුදානම් වී සිය කාමරයෙන් පිටතට පැමිණියේ ඉක්මනින්ම      තම කාර්යය සඳහා පිටත් වී යාමටයි.

     එසේ පිටතට පැමිණ නගරාධිපතිවරයා මුණ ගැහුණු ලෝගන් ඔහුගේ      විශේෂ අවසරයද සහිත ලිපියද රැගෙන සෙඩ්රික් සමඟ පැරිස් නගරයේ      පොලිස් ස්ථානය වෙත පිටත්වී ගියේ නගරාධිපතිවරයාගේම අශ්ව රථයකින්. පොලිස් ස්ථානය වෙත පැමිණි ලෝගන් හා සෙඩ්රික් එහි ප්‍රධානියා හමුවී තම අවශ්‍යතාවය දන්වා සිටියේ නගරාධිවරයාගේ ඉල්ලීම සහිත ලිපියත් සමඟයි

මම දන්නේ නෑ ඔබට මොනවද මේ ගැන කරන්න පුළුවන් කියලා. ඒත් මේ වෙන දේවල් එක්ක මම යක්ෂයෙක්ගෙන් වුනත් ලැබෙන උදව්වක් භාර ගන්නවා. මම ඔබට මේ පිළිබඳව පරීක්ෂන කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයාගේ සහය ලබාදෙන්නම්. ඔහු ඔබට කැමත්තෙන්ම උදව් කරාවි කියා මම හිතනවා. ඔහුටත් මේ මරණ හිසරදයක් වෙලා තියෙන්නේ. කෙළවරක් නැති මරණ.

මෙසේ පැවසූ පැරිස් නගරයේ පොලිස් ප්‍රධානියා සිය මේසය මත වූ සීනුවක් නාද කරනු ලැබුවා. මොහොතකින් එහි ඇතුළු වු පොළිස් භටයෙක් පොලිස් ප්‍රධානියාට සීරුවෙන් සිට ආචාර කරනු ලැබුවා.

කොස්තාපල් පිරැන්සේ

සර්

අර මේ දවස් වල වෙන අද්භූත මිනිමැරුම් ගැන පරීක්ෂනය කරන ඒඩ්‍රියන්ට එන්න කියන්න

හරි සර්

නැවත වතාවක් සිය ප්‍රධානියාට ආචාර කළ කොස්තාපල්වරයා එතනින් පිටවී ගියා. විනාඩි කීහිපයකට පසු පොලිස් ප්‍රධානියාගේ කාමරයට ඇතුල්වුයේ තරුණ පොලිස් නිලධාරියෙක්.

ලෝගන්, මේ ඉන්නේ පොලිස් බ්‍රිගේඩියර් (Brigadier of police) ඒඩ්‍රියන් බේන්. ඒඩ්‍රියන් මේ ලෝගන් සහ සෙඩ්රික්

ලෝගන් හා සෙඩ්රික් දෙස බලා මද සිනහවක් පෑ ඔහු පොලිස් ප්‍රධානියා දෙසට සිය වික්ෂිතව ගිය දෙනෙත් යොමු කළා.

ඒඩ්‍රියන්, ලෝගන්ව එවලා තියෙන්නේ නගරාධිපතිවරයා. ඔහු මෙවැනි අද්භූත මරණ ගැන විශේෂ හැදෑරීමක් කරන කෙනෙක් කියලා නගරාධිපතිවරයා දන්වලා තියෙනවා. ඒ වගේම ඔහුගේ කටයුතු වලට උදව් කරන්න කියලත් ඉල්ලීමක් කරලත් තියෙනවා.

සර්, මේක පොලිස් රාජකාරියක්. මම කැමති නැහැ . . . . .

ඒඩ්‍රියන්ගේ කතාව නිමවීමට පෙරම ඔහුව නිහඩ කළ පොලිස් ප්‍රධානියා

ඒඩ්‍රියන්, ඔබේ කැමති අකමැතිකම් වලින් මට වැඩක් නෑ. මේක නගරාධිපතිවරයාගේ ඉල්ලීමක්. අනික මේ දක්වාම ඔබට හා ඔබේ කණ්ඩායමට කිසිම දෙයක් හොයාගන්න බැරිවුනා මේ ගැන. නගරයේ මිනිස්සු හොදටම බය වෙලා. ප්‍රභූන් ප්‍රශ්න කරන්නේ මගෙන්. අපිට මොන විදිහකට හරි බොහොම ඉක්මනින් මේ ප්‍රශ්නේ ඉවර කරන්න වෙනවා. මේ කෙටි කාලය ඇතුලත ගොඩ ගැහිච්ච මරණ ප්‍රමාණයහොදටම වැඩියි. ඔබ, ලෝගන්ට අවශ්‍ය හැම සහයෝගයක්ම දෙන්න ඕන මේ මොහොතේ පටන්. ඒක මගේ නියෝගයක්. පැහැදිලිද ඔබට?

ඒඩ්‍රියන් දෙසට දැඩි බැල්මක් හෙළමින් පොලිස් ප්‍රධානියා විමසා සිටියා. කරකියා ගැනීමට දෙයක් නොමැති වු පොලිස් බ්‍රිගේඩියර්වරයා,

“පැහැදිලියි සර්” යන්න අපහසුවෙන් පැවසුවා.

හරි එහෙම නම් තමුන් මේ දෙන්නව එක්ක යන්න. ඒ අයට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන්න. කිසිම කරුණක් හංගන්න එපා. මේ ප්‍රශ්නේ මට කොහෙම හරි ඉවර කරන්නයි ඕන. දැන් තමුන්ට යන්න පුළුවන්.

පොලිස් ප්‍රධානියාට ආචාර කළ පොලිස් බ්‍රිගේඩියර්වරයා එතැනින් පිටවී යන විටම ලෝගන් සහ සෙඩ්රික්ද පොලිස් ප්‍රධානියාට මදක් හිස නමා ආචාර කරමින් බ්‍රිගේඩියර්වරයා පසුපසින් ගමන් කළා

ඒඩ්‍රියන් ඔවුන් දෙදෙනා කැටිව සිය රාජකාරී මේසය අසලට පිවිසියා. ඔහුගේ මේසය අසල වු ආසන වල
අසුන් ගන්නා මෙන් ලෝගන්ට හා සෙඩ්රික්ට සංඥා කරමින් ඔහුත් සිය අසුනේ අසුන් ගත්තා. මේ මැදහත්වීමට වු නොකැමැත්ත ඔහුගේ මුහුණේ බොහොම පැහැදිලිව දක්නට
ලැබුණා. ඒත් ඒ ගැන ඔහුට කළ හැකිවූ කිසිවක් තිබුණේ නෑ. ප්‍රධානියාගේ අණට ඉහළින් යෑම ඔහුට කිසිසේත්ම කළ නොහැකිවු දෙයක්.

මොනවද ඔබලාට දැන ගැනීමට අවශ්‍යය?

අපිට කියන්න මේ මරණ ගැන ඔබට දකින්නට ලැබුණු විශේෂ කරුණු?

විශේෂ කරුණු?

ලෝගන්ගේ මුහුණ දෙස බලමින් ඒඩ්‍රියන් විමසා සිටියා.

ඔව්. මොන වගේ අයද මරණයට පත්වෙලා තියෙන්නේ? හමුවූ සිරුරු වල ස්භාවය? ඒ වගේ කාරණා.

මරණයට පත් වූ අයගේ නම් විශේෂ දෙයක් කියන්න නෑ. ඔවුන් විවිධ තරාතිරම්වල විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින්. ඔවුන් අතර විශේෂ සම්බන්ධයක් නෑ. හැබැයි මේ සියළුම පහරදීම් සිදුවෙලා තියෙන්නේ රාත්‍රී කාලයේ. අවස්ථා කීහිපයකදී හැර අනිත් සියළුම අවස්ථා වලදී අපිට මේ සිරුරු වල කොටස් පමණයි දකින්නට ලැබුණේ. අනිත් ඒවා ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ.

මේ මරණයන් සිදුවු තැන්වල විශේෂ මොනවත් දක්නට ලැබුනද?

ඔව්. මේ තැන් හැමවිටම හුදෙකලා පාළු තැන්. ඒ නිසා අපිට කිසිම ඇසින් දුටු සාක්ෂියක් මේවන තෙක් ලැබිලා නෑ. ඒ නිසා මේ ගැන අපිට තියෙන තොරතුරු ප්‍රමාණය අල්පයි.

මේ වන විට කී දෙනෙක් මරලා දාලා තියෙනවද මේ විදිහට?

අපිට සිරුරු කොටස් තමයි බොහෝවිට දැකගන්නට ලැබුණේ. ඒ නිසා යම් කිසි වැරදීමක් වෙන්නත් ඉඩ කඩ තියෙන්න පුළුවන්. මේ වෙනකොට අපිට සිරුරු .....

ඒඩ්‍රියන් හට ඒ වාක්‍ය සම්පූර්ණ කිරීමට ඉඩ නොලැබුණේ එතැනට පැමිණි පොලිස් භටයෙක් ඔවුන්ගේ සාකච්ඡාවට බාධා කළ බැවිනි.

සර්, තවත් සිරුරු දෙකක් සොයාගන්න ලැබිලා අද උදේ

තවත් සිරුරු දෙකක්?

ඔව් සර්. මිනිස් හිස් දෙකක් හමුවෙලා තියෙනවා. සිරුරු කොටස් සමඟින්.

ඒ පාර කොහෙන්ද පිරැන්සේ?

අපිට පළවෙනි සිරුරු හමුවෙච්ච ස්ථානයට කිට්ටුවෙන්.

හරි. මම දැන් එනවා. කරත්තේ ලෑස්ති කරන්න කියන්න.

කොස්තාපල් පිරැන්සේ පිටව ගිය පසු ලෝගන් දෙස බැලූ ඒඩ්‍රීයන්,

ඔබගේ අවසාන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 17 ක්. මේ සිරුරු දෙකත් සමඟින්. මා දැන් එතැනට යන්න ඕන. ඔබ දෙදෙනාට කැමති නම් මාත් එක්ක එකතුවෙන්න පුළුවන්.

බොහොම ස්තූතියි. අපි ඔබේ රථය පිටුපසින් පැමිණෙන්නම්.

ඔබේ කැමැත්තක්

     විනාඩි දහයකට පමණ පසු ඔවුන් එම සිරුරු හමුවූ ස්ථානයට පැමිණියා.      ඒ වන විටත් එම ස්ථානයට පොලිස් භටයන් කීපදෙනෙකු පැමිණ තම      පරීක්ෂන කටයුතු සිදුකරමින් සිටියා. තමන් පැමිණි අශ්ව රථයෙන්      බැසගත් ලෝගන් සහ සෙඩ්රික් ඒඩ්‍රියන් පසු පස ගියා. එතැන      ඉදිරියෙන්ම රදවා සිටි පොලිස් භටයාට ලෝගන් හා සෙඩ්රික් දක්වා      ඔවුන් පැමිණ සිටින්නේ තමන් සමඟ බව දැන්වූ ඒඩ්‍රියන් ඔවුන් දෙදෙනා      සමඟ මළ සිරුරු හමුවූ ස්ථානයට ගමන් කළා.

     විශේෂ මොනවත් දක්නට ලැබෙනවද එඩ්වඩ්?

     එතැන පරීක්ෂන කටයුතුවල නිරතව සිටි පොලිස් භටයාගෙන් ඒඩ්‍රියන්      විමසා සිටියා.

     කිසිම දෙයක් නෑ සර්. කලින් විදිහමයි. හැම තැනම ලේ. සිරුරු කොටස් කීපයක් පමණක් ඉතිරි වෙලා තියෙනවා. හිස් වලින් පේන්නේ තරුණ වයසේ අය වගේ. ඒ වගේම මිනිස්සු දෙදෙනෙක්ගේ අඩි සටහන් තියෙනවා.

කවුද දැනුම් දුන්නේ?

උදේම අසලින් නගරයට යන්න ගිය වෙළෙන්දෙක්. ඔහුත් අහම්බෙන් වගේ තමයි මේ සිරුරු කොටස් දැක තිබෙන්නේ.

මේ සාකච්ඡාවෙන් අනතුරුව ලෝගන් දෙසට හැරුණු ඒඩ්‍රියන්,

කළින් විදිහමයි. කිසිම සාක්කියක් නෑ. සිරුරු කොටස්, ලේ. හිතාගන්නවත් බෑ. ඔබ මේ ගැන විශේෂඥයෙක් කිවුවනේ. මොනවද ඔබට හොයාගන්න පුළුවන්?

ලෝගන් දෙස බලමින් සමච්චල්සහගත සිනහවක් පළකරමින් ඒඩ්‍රියන් විමසා සිටියා. ඔහු දෙස බලා සුපුරුදු ලෙස මඳ සිනහවක් පළ කළ ලෝගන්, විනාඩි කීපයක් අවට පරිසරයට සිය උකුසු ඇස යොමු කරමින් නිරීක්ෂනය කළා. ඒ නිරීක්ෂනට අවට පරිසරයේ වු කිසිවක් මග හැරීගියේ නෑ. අනතුරුව ඒඩ්‍රියන් දෙස බැලූ ඔහු,

ඉස්සෙල්ලාම කියන්න ඕන මෙතන දෙන්නෙක් නෙවෙයි තුන්දෙනෙක් ඉදලා තියෙනවා. මෙතන තියෙන අඩි සටහන් තුන්දෙනෙකුට අයිතියි. දෙකක් එකම ප්‍රමාණයේ. හැබැයි එක් අයෙක් අනෙකාට වඩා බරින් වැඩියි. බලන්න මේ අඩි සටහන් දෙක දිහා.

ඒ අසල බිමේ වු අඩි සටහන් දෙකක් දක්වමින් ලෝගන් ඒඩ්‍රියන්ට පැවසුවා. මේ කියු දෙයින් විශ්මයෙන් විශ්මයට පත්වී ගිය ඒඩ්‍රියන් පමණක් නොව පොලිස් කොස්තාපල් එඩ්වඩ්ද ඒ දෙස බැලුවා.

බැලූ බැල්මට මේ අඩි සටහන් දෙකම එක සමානයි. ඒ බලන්න ඒවා මේ බිමේ කා වැදී ඇති ආකාරය. මේ දෙකම එකම ප්‍රමාණයේ. ඒත් එකක් අනිකට වඩා යම් ප්‍රමාණයක් ගිලා බැහැලා. ඒ නිසා ඒ පුද්ගලයා අනිකාට වඩා බරින් වැඩියි. ඒ වගේම එක් අයෙක්ව මෙතන සිට අන්න අර පැත්තට ඇදගෙන ගිහිල්ලා තියෙනවා. අර පඳුරු තියෙන හරිය පරික්ෂා කළොත් ඔබලාට තවත් සිරුරක් හෝ සිරුරක කොටස් දක්නට ලැබෙයි.

ඒත් ඔබ ඔය කියන ඇදගෙන ගිය පාර යාර කීපයක්වත් නෑ. ඔබ කොහොමද කියන්නේ අර පඳුරු අස්සේ මළ සිරුරක් තියෙනවා කියලා.

බලන්න මේ ඇදගෙන යෑමේ පාර ඉවර වෙන තැනට එහායින් තියෙන පඳුර පොඩි වෙලා ගිහින්. ඒ අසල ලේ පැල්ලම් කීපයක් තියෙනවා. ආයේ යාර කීපයක් එහායින් ලේ පැල්ලම් තියෙනවා. ඒ ලේ පැල්ලම් ගමන් කරන්නේ අර පඳුරු තියෙන දිසාවට. බලන්න පොඩ්ඩක් සෝදිසි කරලා.

ඊළඟ මොහොතෙදී ඒඩ්‍රියන්ගෙන් ලැබුණු අණ අනුව පොලිස් භටයින්
මළ සිරුරු හමුවු තැනට මදක් ඈතින් වු පඳුරු සහිත පෙදෙස සෝදිසි කරන්න පටන් ගත්තා. විනාඩි කීපයකට විතර පසුව එහි දිව ආ පොලිස් බටයෙක්.

සර්, තවත් මළ සිරුරක හිසක් හම්බවුනා. සිරුරේ කොටස් කීපයකුත් තියෙනවා.

මොනවා?

ඔව් සර්.

යමු බලන්න.

ඒඩ්‍රියන්, ලෝගන් හා සෙඩ්රික් ඇතුළු පිරිස් ඒ ස්ථානයට යනවිට එඩ්මන් එහි පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබුණා. ඒඩ්‍රියන්ව දුටු ඔහු කළින් වගේමයි සර්. හිස සහ සිරුරේ කොටස් කීපයක්. වෙන කිසිම දෙයක් නෑ.

අනතුරුව ලෝගන් වෙතට හැරුණු ඔහු,

මම හිතුවට වඩා බොහෝ දක්ෂයෙක් ඔබ. මම ඔබව අවතක්සේරු කළා. මේ මීනි මැරීම සිදුකරන්නේ සාමාන්‍ය මිනිසෙක් නම් වෙන්න බෑ.

ඒ ගැන මට දැන්ම යමක් කියන්න බෑ. අපට හම්බවුණු මළ සිරුරු හා මේ සෙන් නදිය (Seine River) එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?

එයට පිළිතුරක් නොදී මදක් වෙලාවක් කල්පනා කළ පොලිස් බ්‍රිගේඩියර්වරයා,

ඔබ ඒ ගැන අසනකන් මම ඒ ගැන අවදානය යොමු කලේ නෑ. මේ හැම මරණයක්ම සිදුවෙලා තියෙන්නේ මේ සෙන් නදිය අවටින්. ඒ වගේම ඒ ස්ථාන ජනාකීර්ණ ස්ථාන නෙවෙයි. පාළුයි. මිනිස්සු වැඩිය යන්නේ එන්නේ නෑ. ඇත්තටම මොකෙක්ද මේ?

මම ඔබට මෙහෙම කියන්නම්. මම දන්නේ නෑ ඔබ එය කොයි ලෙසකින් බාරගනීද එහෙමත් නැත්නම් විශ්වාස කරයිද කියලා. මේ ඝාතන කරන මෘගයා ඔබ කිසි දිනෙක් දැක නැති ඔබ හිතනනවාටත් වඩා අතිශයින්ම භයංකර සතෙක්. ලේ පිපාසිතයෙක්. අපි ඉක්මන් නොකළොත් මේ පහරදීම් ජානාකීර්ණ නොවන ස්ථාන වලට පමණක් සීමාවෙන්නේ නෑ.

මට තේරෙන්නේ නෑ ඔබ කියන දේ. ඒත් මම ඔබව විශ්වාස කරනවා.

ඒ ගැන වද වෙන්න එපා. ඔබට පුළුවන්ද අද හවස හය වන විට නගරය සම්පූර්ණයෙන්ම වසා දමන්න?

මට එහෙම දෙයක් කරන්න හැකියාවක් නෑ. ඒක නගරාධිපතිවරයා හරහා මගේ ප්‍රධානියා වෙතට එන්න ඕන.

හරි. ඒක ගැන මට යමක් කරන්න පුළුවන් වේවි. අපි දැන් යන්න ඕන. හැකි ඉක්මනින් මේ ස්ථානයෙන් පිටවෙන්න. හැම දෙයක්ම හොදින් සිදුවේවි කියලා මම හිතනවා.

පොලිස් බ්‍රිගේඩියර්වරයාට ආචාර කළ ලෝගන්, සෙඩ්රික් සමඟ ඒ ස්ථානයෙන් පිටවී සිය අශ්ව රථය වෙත පැමිණියා. ඔවුන් නැවත වරක් ගාර්ඩියන් මන්දිරය වෙතට ගමන් කළා.

ලෝගන්, ඔබ නොකියපු දේවල් ටිකක් තියෙනවා නේද ඒඩ්‍රියන්ට?

ඔව් සෙඩ්රික්. ඒ අවට සිංහයෙක්ගේ පා සටහන් දකින්න ලැබුණා. ඒකේ තේරුම මම කළින් කිවුවා වගේම මැන්ටිකෝර් සතෙක් පැරීසියේ දඩයම් කරනවා කියන එක. අපේ වාසනාවකට එක සත්ත්වයයි. මට දකින්නට ලැබුණේ එකම ප්‍රමාණයක පා සටහන්. ඒ වගේ ඌ හොදින් වැඩුණු එකෙක් කියලා ඒ සටහන් වලින් කියන්න පුළුවන්. ඌ අර තුන්වෙනි සිරුර උස්සගෙන පැන පැන ගිහිල්ලා තියෙන්නේ. ඒකයි බිම දිගේ ඇදගෙන යන පාරක් දකින්න ලැබුණේ නැත්තේ. ඌ එන්න එන්නම ලේ පිපාසිත. දවසින් දවස පහර දීම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔබ දැක්කද අර ඈතින් තියෙන කුඩා වනාන්තරයක් වැනි බිම් පෙදෙස.

ඔව්. අර දකුණට වෙන්න පිහිටා තිබූ කෑලෑ රොද නේද ඔබ කියන්නේ?

ඔව්. මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් දහවල් කාලයේ ඔය සතා සැඟවිලා ඉන්නේ ඔතන කියලා. හැබැයි කැලේ ඇතුලට යනවට වඩා හොදම දේ මැන්ටිකෝර් සතාව කැලෙන් එළියට ගන්න එක. මේ වගේ මෘග සතෙක් එක්ක උගේ පරිසරයේ සටන් කරනවට වඩා ලේසියි ඒ පරිසරයෙන් එළියට ගන්න එක. ඒක අපිට වාසිදායකයි. නැතිනම් වාසිය මේ මෘගයාට.

     කොහොමද ඒ කරන්නේ අපි?

     ඒකට අපිට ඇමක් පාවිච්චි කරන්න වෙනවා.

     ඇමක්. ඒ කියන්නේ? . . . . ආ ඔබ කියන්නේ කවුරු හරි මනුස්සයෙක්ව      ගොදුරක් විදිහට පාවිච්චි කරමුයි කියන එකනේ. ඒ වගේ භයානක      දේකට එකඟ වෙන්නේ කවුද?

     කෙනෙක් නම් ඉන්නවා. ඒත් මට විශ්වාසයක් නෑ ඔහු මේකට එකඟ      වේවි කියලා.

     සිහිබුද්ධියකින් පසුවන කෙනෙක් නම් ඔය වගේ දේකට එකඟ      වෙන්නේ නම් නෑ තමයි. හැබැටම කවුද ඒ?

ලෝගන් කිසිවක් නොපවසා සෙඩ්රික් දෙස බැලුවා.

අනේ දෙවියනි. ඔබ කියන්නේ මා ගැනද?

වෙන කවුරුවත් නෑනේ. ඔබ අකමැති නම් මම ලෙනෝරට හරි ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හරි කියන්නම් ඇමක් විදිහට ඉදිරිපත් වෙන්න කියලා.

නෑ නෑ. මම ඒක කරන්නම්. මම මොනවද කරන්න ඕන?

මම වේලාසනින් ගොස් ඒ අවට සැඟවී සිටින්නම්. ඔබට තියෙන්නේ ඇඳිරි වැටුණහම ඒ ඔය කෑළෑ රොද කිට්ටුවෙන් බීමත් අයෙක් මෙන් ශබ්ද නගමින් පොඩ්ඩක් එහාට මෙහාට ගමන් කරන්න. ඔබේ සද්දෙට අනිවාර්යයෙන්ම මැන්ටිකෝර් එළියට එනවා. ඉතුරු ටික මම බලා ගන්නම්.

වෙන කරන්න දෙයක් නෑනේ ලෝගන්. අපි මේක කරමු.

ගාර්ඩියන් මන්දිරය වෙතට ගිය ඔවුන් දෙදෙනා සිය සැලැස්ම නගරාධිපතිවරයාට, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හා ලෙනොරාට විස්තර කළා.

ලෝගන් මේක භයානක වැඩියි.

අපිට වෙන කරන්න දෙයක් නෑ ලෙනෝරා.

ලෝගන්, ලෙනෝරා දෙස බලමින් පැවසුවා.

මේ සතා එන්න එන්නම දරුණුවෙනවා. තව කල් අරින්න විදිහක් නෑ. අදම මේ දේ කරන්න වෙනවා. අපිට කළ හැකි වෙන කිසිවක් නෑ.

ලොනෝරා, ලෝගන් හරි. තත්වය අතිශයින්ම භයානකයි. මම ඔබට අවසර දෙනවා.

උතුමාණනි, සියල්ල හරි ගියොත් මේ සත්ත්වයාගේ සිරුර ඉවත් කරන්න හරි විනාශ කරලා දාන්න හරි කටයුතු යොදන්න වේවි. අපෙන් පිට කිසිවෙකුත් මේ දේවල් දැකගත යුතු නෑ. ඔබ හරි ලෝගන්. මම අවශ්‍ය කටයුතු සුදානම් කරන්නම්. මම හිතනවා මට ඔබේ සහය එයට ලැබෙයි කියලා. එහෙම නේද රෆායෙල්? අනිවාර්යෙන්ම. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. මම අද හවස නගරය වසා දැමීම ගැන නියෝගය පොලිස් ප්‍රධානියා වෙත දැන්මම යවන්නම්. මම හිතනවා හැමදෙයක්ම අද රාත්‍රියේදී අවසන් කරන්න පුළුවන් කියලා.

මමත් හිතනවා එහෙම වේවි කියලා. එහෙම නම් ඔක්කොම හරි. මම හවස පහවෙනකොට මෙතනින් පිටත් වෙනවා. සෙඩ්රික් ඔබට යාන්තමට ඇදිරි වැටෙන කොට එතනට ගිහිල්ලා මම කියපු විදිහට කරන්න. ඒ කියන්නේ හය හමාර පමණ වෙනකොට. කිසි දෙකට බය වෙන්න එපා. ඔබට නොපෙනුනත් මම ඔබ කිට්ටුවෙන්ම ඉන්නවා. හරි ලෝගන්.

මෙම කතා බහෙන් අනතුරුව තමා නවාතැන් ගෙන සිටින කාමරේට වැදුණු ලෝගන් කැතලීනාගෙන් ලැබුණු ආයුධ මල්ල විවෘත කර එයින් කේ-35 රයිෆලය පිටතට ගත්තා. අනතුරව එය කොටස් වලට ගලවා එය පිරිසිදු කර එහි මනා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන තුවක්කු තෙල් දමා නැවත එය නිස ලෙස සවිකර එයට නියමිත කැලිබරයේ අගට රසදිය යෙදු උණ්ඩ පිරෙව්වා. අනතුරුව සිය පිස්තෝල දෙකක් මේ අකාරයෙන්ම ගලවා තෙල් දමා එය ඒවා නිසි ලෙස සවි කළා. අනතුරව සිය අසිපත අතට ගෙන එය පරික්ෂා කර බැලුවා. එය සුපුරුදු ලෙසින් දිස්නය දෙමින් බැබලුණේ ඕනෑම අභියෝගකට සුදානම් ආකාරයෙන්. කැතලීනා ඔහුට නොකියාම බෑගයට දමා තිබූ උණ්ඩ රදවන පටිය අතට ගත් ලෝගන් එහි ඉහළ කැලිබරයේ වෙඩි උණ්ඩ රැදෙව්වා. මේ සියල්ලම සුදානම් කිරීමෙන් අමතරව පැයක් පමණ වේලා විවේක ගත් ලෝගන් ඉන් අනතුරව තම ගමනට සූදානම් වුනා.

වෙඩි උණ්ඩ රැදවූ පටිය සිය එක් උර හිසක් හරහා දමාගත් ඔහු අනිත් උරහිස හරහා සිය අසිපත රැදවුනු කොපුවේ පටිය දමා එය හොදින් තදකර ගත්තා. අනතුරව සිය ඉණ දෙපස පිස්තෝල දෙක රදවාගත් ඔහු සිය දිගු ලෝගුව පැළද ගත්තා. අනතුරව එහි ඇතුලු සාක්කුවකට තවත් වෙඩි උණ්ඩ කිහිපයක් දමා ගත් ඔහු පිහිය හා අනිකුත් කුඩා ආයුධ ඒවාට නියමිත තැන් වල රැදවූවා. අනතුරුව කැතලීනා ලබා දුන් කඹයද සිය උරහිස හරහා දමාගත් ඔහු සිය රයිෆලයද රැගෙන කිසිවෙකුටත් නොකියාම ගාර්ඩියන් මන්දිරයෙන් පිටවී ගියා.

සවස හයට පමණ පහයි තිහට පමණ ආයුධ සන්නද්ධව ගාර්ඩියන් මන්දිරයෙන් පිටවුණු සෙඩ්රික්, ලෙනොරා හා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා රැගත් අශ්ව රථය කෑලෑ රොදට සැතැප්ම කිහිපයක් මෙහායින් නැවතුනා.

අපි මෙතන ඉන්නවා සෙඩ්රික්. ලෝගන් කියපු විදහට අපිට මෙතනින් එහාට එන්න විදිහක් නෑ. ඔබ හෙමිහිට එතනට යන විට හොදටම අඳුර වැටෙයි. ඔබට දෙවි පිහිටයි දරුවෝ.

ග්‍රෑන්ඩ් මාස්ටර්වරයාට හා ලෙනෝරාට ආචාර කළ සෙඩ්රික් සෙමින් සෙමින් ඉදිරියට ඇදුණා. ඔහුගේ සිත විවිධාකාරයේ භයංකර සිතුවිලි වලින් පිරී යන්නට වුනා. තමන්ගේ සිරුරේ කොටස් ලේ විලක් මැද තිබෙනු ඔහුගේ මනසේ මැවී ගියා. තවත් අඩියක්වත් ඉදිරියට නොතියා මෙයින් පළායන්නට යැයි ඔහුගේ සිත ඔහුට කීපවරක්ම උපදෙස් දුන්නා. ඒත් ලෝගන් අවසානයට පැවසූ “කිසි දෙකට බය වෙන්න එපා. ඔබට නොපෙනුනත් මම ඔබ කිට්ටුවෙන්ම ඉන්නවා” යන වදන් පෙළ ඔහුට ඉදිරියට යන්නට අවශ්‍ය ශක්තිය ලබාදුන්නා.

අවට පරිසරය බිදෙන් බිද අඳුරෙන් පිරී යන්නට වුනා. පාළු පරිසරයේ ගුප්ත බව බිදෙන් බිද ඉහළ යමින් එය තව දුරටත් සෙඩ්රික්ගේ සිතට බියක් කාන්දු කළා. ඔහු මීට පෙර කිසිම දිනෙක මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණේ නෑ. ඔහු සිය ඉලක්කය වෙතට ළගාවන විට අවට පරිසරය අඳුර විසින් ගිලගෙන ලැබ තිබුණා. ලෝගන් පැවසූ ආකාරයට බේබද්දෙක් මෙන් ශබ්ද නගමින් එම කුඩා වන රොද අසලින් ගමන් කරන්නට වුනා.

අවට පරිසරයේ නිහඩ බව බිදී ගියේ සෙඩ්රික් නැගූ ශබ්දයෙන්ම පමණයි. කිසිදු හැල හොල්මනක් නොමැතිව කාලය ගෙවී ගියේ මේ කාරියෙන් ඇති පළක් නොවන බවක් ඇගවීමටයි. මොහොතකින් වනය තුළින් නැගී මහා ගෙරවුම් හඩකින් අවට පරිසරය දෙදරා ගියා. එම හඩ සෙඩ්රික්ගේ සිත භීතියෙන් පුරවා දැම්මා කිවුවොත් එය නිවැරදියි. ශබ්දය ආ දෙසට හිස හරවා බැලූ සෙඩ්රික්ට දැකගත හැකිවුයේ නිල් පැහැති ඇස් දෙකක් වන රොදින් එළියට පැමිණෙන අයුරුයි. ඊළඟ ගෙරවීම් හඩත් සමඟම ඒ නිල් පැහැති ඇස් දෙක සෙඩ්රික් දෙසට මහත් වු වේගයකින් ඇදී එන්නට වුනා.

     කරන්නේ මොනවා දැයි එකවරම සිතාගත නොහැකි වූ සෙඩ්රික් එක      වරම ආපසූ හැරී වන රොදින් ඉවතට දිව යන්නට පටන් ගත්තා. සතා      තමන් පසු පස එළවාගෙන එන බව ඔහු පිටු පසින් ඇසෙන ශබ්දයෙන්ම      සෙඩ්රික්ට වැටහී ගියා. තමාගේ වේගය මේ මෘගයාගේ වේගයට කිට්ටු      කිරීමටවත් නොහැකි බව ඔහුට ඊළග මොහොතේ දැනී ගියා.

     “ලෝගන් මොනවා කරනවාද මන්දා? තාමත් නෑ. මට මැරෙන්න තමයි      වෙන්නේ” තමාටම පවසාගත් සෙඩ්රික් තමන් මිය යනවා නම් සටනක් දී      මිය යා යුතු බවට අන්තිම තප්පරයේදි තීරණය කළා.

     ඊළඟ මොහොතේදි සිය දිවුම නවතා, තමා මෙතෙක් වෙලා ඉණේ      රඳවාගෙන තිබූ පිස්තෝලය අතට ගත් සෙඩ්රික් ආපසු හැරුණා.

     එසේ හැරෙන විටම ඔහු පිටු පසින් ඇසුණු වෙඩි ශබ්දය ඔහුගේ සිතට යම්      ඉස්පාසුවක් ගෙනාවා කිවුවොත් එය බොරුවක් නොවෙයි. තව දුරටත්      සතා තමා පසු පස එළවන්නේ නැති බව දැනුණු ඔහු වෙන්නේ කුමක් දැයි      බලා ගැනීමට මදක් ඉදිරියට ගියා.

     ලෝගන් සිය කඹයෙන් මද්දක් සාදා එය මැන්ටිකෝර් මෘගයාගේ ගෙලට      දමා සිරකර ගැනීමට සමත්වී සිටියා. එහි ඉතිරි කෙළවර ඒ වන විටක්      ගසක බැද තබා තිබුණා. සතාගේ හිසට නිවැරදි ලෙස ඉලක්ක කර ඔහු වෙඩි තබා තිබුණත් එය එතරම් ප්‍රතිථලදායක බවක් පෙනුණේ නෑ. සතා බිහිසුණු ලෙස දගලමින් සිය ගෙළට හිරවී තිබූ කඹය කඩා දැමීමට උත්සාහ කරමින් සිටියා. ඒ අතරම සිය දික්වූ ගෝනුසු දළයක් සහිත වලිගය කරකවමින් නොනවත්වාම ලෝගන්ට පහර දෙන්නට උත්සාහ කරමින් සිටියා. මැන්ටිකෝර් සත්ත්වයාගේ වවුලෙකු වැනි වු විශාල පියාපත් යුගලය ගුවනේ වේගයෙන් සැලෙමින් තිබුණේ කැතලීනා කඹයට මේ සත්ත්වයා තව වැඩිවේලාවක් රදවා ගැනීමට බැරි බවක් දක්වමින්.

මැන්ටිකෝර් සත්ත්වයාගේ දසුනින් සෙඩ්රික් බයින් ත්‍රස්තවී ගියා. ඌ ප්‍රමාණයෙන් ලෝගන් හිතුවාටත් වඩා විශාල වු සත්ත්වයෙක්. සිංහයෙක්ගේ සිරුරට සම්බන්ධ වු රුවුලකින් පිරි ඒ භීෂණාත්මක හිසින් නැගී ආ රාවය සිරුර භීතියෙන් වෙළා දැමුවා. ගෝනුසු දළයක් සහිත් දිගු වළිගය ඒ හීෂණාත්මක බව තව දුරටත් වැඩිකළා. “ලෝගන් කිවුවටත් වඩා මේ සතා බිහිසුණුයිනේ”, සෙඩ්රික් සිතින් තමාටම කියාගත්තා.

සෙඩ්රික් තමන් අසලින් සිටින බව දැක්ක දඩයක්කරුවා සිය රයිෆලය හා පතොරොම් පටිය ඔහු දෙසට විසි කළා.

සතාට දිගටම වෙඩි තියන්න. කල්පනාවෙන්. මට වෙඩි නොවදින්න වග බලාගන්න.

මෙසේ පැවසූ ලෝගන් සිය තමා පැළදි සිටි දිගු කබාය ගලවා පසෙකට දමා සිය බලැති “ඉම්ෆීරියුම්” අසිපත අතට ගත්තා. ලෝගන්ගේ අරමුණ වුයේ මැන්ටිකෝර් සත්ත්වයාගේ ගෝනුසු දළය මඟ හරවා ගනිමින් උගේ සිරුරට නැග ගැනීමයි. එය කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවුයේ මෘගයාගේ ශරීරයට සවිවුණු පියාපත් යුවල වරින් වර මේ මෘගයාව ගුවනට රැගෙන ගිය නිසයි. මේ හේතුවෙන් සෙඩ්රික්ට නිසි පරිදි සතාට ඉලක්කය ගැනීමටත් අසීරු වී තිබුණා.

මෘගයාගේ සිරුරට නැග ගැනීමට නම් සත්ත්වයා වරින් වර පියෑඹීම නතර කළ යුතුයි යන අදහස ක්ෂණයකින් දඩයක්කරුවාගේ සිතට නැගුණා. වේගයෙන් චලනය වන ගෝනුසු දළය වළකමින් ඉදිරියට පිනු ලෝගන් සිය පළමු අසිපත් පහර එල්ල කළේ මෘගයාගේ වම් පසින් ශරීරයට සවි වී තිබූ පියාපතටයි. මොහොතකින් නැඟුණු වේදනාත්මක මර හඩත් සමඟම වම් පස පියාපත මැන්ටිකෝර් සත්ත්වයාගේ සිරුරෙන් වෙන්වී බිමට වැටුණේ ලේ දහරාවක් අවට පරිසරයට විදිමින් එයින් ලෝගන්වත් නහවා දමමින්. මෙයත් සමඟ තව දුරටත් වියරු වැටුණු සත්ත්වයා මහ හඩින් කෑ ගසන්නටත් දඟලන්නටත් වුනා. එය සමාන්‍ය කඹයක් වුවා නම් එය මේ වන විටත් කැඩී බිදී ගොස් අවසන් බව ලෝගන්ට මෙන්ම සෙඩ්රික්ටත් වැටහී ගොස් තිබුණා. ඇත්තටම කැතලීනාගේ නිර්මාණය විශිෂ්ඨ එකක් වුයේ ඒ නිසයි. මේ වන විටත් සෙඩ්රික් තවත් වෙඩි පහරවල් කීපයක්ම එල්ලකර තිබ්බත් ඒවායින් මේ බිහිසුණු මෘගයාව අඩපණ කිරීමේ හැකියාවක් ලැබී තිබුණේ නෑ.

ඊළඟ මොහොතේ වියරුවෙන් දඟලන මෘගයාගේ ශරිර යටින් එහා පසට පැනගත් ලෝගන් උගේ දෙවන පියාපතත් සිඳ දැම්මා. ඊළඟ තප්පරයේදී දඟලන මෘගයාගේ පසු පස පාදයෙන් එල්ල කළ පහරක් වැදුණු ලෝගන් විසිවී ගොස් ඇද වැටුණා. ඔහු නැගිටගන්නටත් පෙර ඔහු හඹා ආ මැන්ටිකෝර් සත්ත්වයාගේ ගෝනුසු දළය ඔහුගේ වම් උරහිසට ඇතුල් වුනේ එහි වු අධි මාත්‍රික විෂ දඩයක්කරුවාගේ සිරුරට ඇතුළු කරමින්. තුවාළ ලැබ දුර්වලව සිටින සත්ත්වයා එම දළය ගලවා ගැනීමට පෙරම එය සිය තුවාල වු අතින් අපහසුවෙන් ග්‍රහණය කරගත් දඩයක්කරුවාගේ ඊළඟ අසිපත් පහර එල්ල වුයේ ගෝනුසු දළයටයි. සිදුණු වල්ගය පසකට විසිකර දැමූ ලෝගන් වහාම නැගී සිටියත් ඒ වන විටත් සත්ත්වයාගේ දළයේ
වූ විෂ ඔහුගේ ශරීරය අඩපණ කරමින් නැගී සිටින්නට වුනා. සිය දර්ශනය බොඳවී යන බවක් දැනුණු දඩයක්කරුවා තමාට තව වැඩි වෙලාවක්
ඉතිරිව නැති බව තේරුම් ගත්තා.

සිය අසිපත කොපුවේ ලාගෙන සිය දුබලතා අමතක කළ ලෝගන් ඊළඟ මොහොතේදී වියරු මෘගයා සිය ගාත් වලින් එල්ල කරන පහරවල් වලකමින් සතාගේ සිරුරට ගොඩවුනේ මහත්වු පරිශ්‍රමයක් දරායි. මැන්ටිකෝර් සත්ත්තයාගේ අධි විෂ මාත්‍රාව ලොග්න්ගේ සිරුර තව දුරටත් අඩපණ කරමින් තිබුණා. මරු විකල්ලෙන් දඟලන සත්ත්වයා ඊළඟ මොහොතේ සිය ගෙළ බැදී කඹය කඩාගෙන දඟලන්නට වූයේ ලෝගන්ට උගේ ගෙළ අසලට ගළාවීම තවත් අපහසු කරමින්.

ඊළඟ තප්පරයේදී මෘගයා තව දුරටත් තමාට වෙඩි තබමින් සිටි සෙඩ්රික් දෙසට හැරුණු මෘගයා වේගයෙන් ඒ දෙසට දිවයන්නට පටන් ගත්තා. සිය බමන සිරුරේ වූ ශක්තිය අපහසුවෙන් එක් තැන් කරගත් දඩයක්කරුවා මෘගයාගේ ගෙළ වෙත අපහසුවෙන් බඩගා ගා ගත්තා. අසිපත කොපුවෙන් මුදා එය සිය සිරුර ඉදිරියෙන් ඉහළට එසවූ ඔහු මහත් පරිශ්‍රමයක් දරා සිය අසිපත මැන්ටිකෝර් මෘගයාගේ හිස පිටුපසින් හිස් කබළ බිදගෙන යන පරිදි මහත් වැරෙන් උගේ හිසට ඇතුල් කළා.

ලෝගන්ගේ අසිපත මෘගයාගේ මොළය සිදුරු කරමින් ලේ විදිමින් උගේ කටින් පිටතට ආවේ මැන්ටිකෝර් සත්ත්වයාට ක්ෂණික මරණයක් ගෙන දෙමින්. මරහඩක් නංවමින් සඳහටම නිසල වූ ඒ බිහිසුණු අද්භූත මෘගයා සෙඩ්රික්ට පියවර කීහිපයක් පසු පසින් ඇද වැටුණා. සිය ශරීරයේ වු ශක්ති පොද ද සිදී ගිය දඩයක්කරුවාද එහිම ඇඳ වැටී නිසල වුණේ ඒ අවට පරිසරය සම්පූර්ණ නිහඩතාවයක ගිල්වමින්.
___________________________________________________________________________________

KB 2021.03.16

අඳුරේ දඩයම්කරු 14 - පැරීසිය

     බෙන්ජමින්, අපට වහාම කරත්තය ලෑස්ති කරන්න. අපි මේ දැන්ම      පැරීසියට යන්න ඕන.

     පහත මාළයට පැමිණි ලෙනොරා එලෙස අණ කිරිමෙන් අනතුරුව      දඩයක්කරුවා දෙසට හැරුණි.

     ලෝගන්, මම හිතන්නේ මගේ සැමියා ඔබට කිවුවා පැරීසියේ සිදුවු      අස්වාභාවික මරණ කීපයක් ගැන. මේ වන විට ඒ මරණ ගාණ ඉහළ      ගිහිල්ලා. පහුගිය දවස් කීපයකට පස්දෙනෙක් මරලා දාලා. එයින් එක්      අයෙක් අපේ කෙනෙක්.

ඒ කියන්නේ දඩයක්කරුවෙක්?

ඔව් ලෝගන්. මගේ සැමියා ඔබට වහාම පැරිස් නුවරට එන්න කියලා තමයි පණිවිඩය එවලා තියෙන්නේ. අපි දැන්ම පිටත්වුනොත් පැය දෙක හමාරකින් විතර පැරීසියට යන්න පුළුවන් වේවි.

හරි අපි යමු.

;මාත් එනවා.

සෙඩ්රික් කැමති නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක සෙල්ලමක් වෙන්නේ නෑ.

සෙඩ්රික් වෙත දැඩි බැල්මක් හෙලමින් ලෙනෝරා පවසා සිටියා. එවිටම වාගේ සේවකයින් දෙදෙනෙක් කිසියම් ආම්පන්න වගයක් රැගෙන ඔවුන් වෙත පැමිණියා. එයින් එක් අයෙක් ලෙනොරා අමතා,

මැතිණිය, කැතලීනා මැතිණිය මේ ආම්පන්න ටික එවා තිබුණා ලෝගන් මහතාට බාරදෙන්න කියලා.

හරි ඔහොම තියලා යන්න. කැතලීනාත් නියම වෙලාවට ආයුධ ටික එවලා තියෙනවා.

ඒක නම් ඇත්ත. මම මගේ ගමන් මල්ල අරගෙන එන්නම්.

හරි ලෝගන්. තව මොහොතකින් අස්ව රථය සූදානම් අපේ ගමනට.

තවත් විනාඩි කීපයකට පසු ඔවුන් පැරීසිය දක්වා පිටත් වුනා. ලෙනෝරා අස්ව කරත්තයේ රියදුරුට දුන් එකම උපදෙස වුයේ “හැකි ඉක්මනින් පැරීසියේ ගාර්ඩියන් මන්දරයට, කිසිම තැනක නවත්තන්න එපා” යන්නයි.

ඉතා වේගයෙන් රථය ධාවනය කළ එහි රියදුරා පැය දෙකක් ඉක්මවීමටත් මත්තෙන් පැරීසියේ ගාර්ඩියන් මන්දිරයට ළගාවුයේ ඔහුගේ හැකියාව හැමෝටම ප්‍රදර්ශනය කරමින්. ඒ වන විටත් ඔවුන් බලාපොරොත්තුවෙන් ග්‍රැන්ඩ්මාස්ටර්වරයා ගාර්ඩියන් මන්දිරයේ රැදි සිටියේය.

ලෝගන්, මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. මේ දවස් ටිකේම නගරයේ තැන තැන කාව හරි මරලා දාලා තියෙනවා. කවුරු කරනවද කොහොම වෙනවද කියලා කියන්න කිසිම කෙනෙක් දන්නේ නෑ. ඒ මදිවට බොහෝ සිරුරුවල කොටස් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.

ඊයේ රෑ මම මේ ගැන හොයන්න යොදවලා හිටපු අපේ සංවිධානයේ දඩයක්කරුවෙක්වත් මරලා දාලා. හියුගෝ, ඔහුගේ ආත්මය සමාදානයේ සැතපෙන්න ඕන. බොහොම දක්ෂයෙක්. ඔහුගේ මරණය අපිට ලොකු පාඩුවක් ලෝගන්. එන්න අපි ඇතුලට යමු. ඔබලාට මහන්සිත් ඇති. ලෙනෝරා? මම ඔබව නම් බලාපොරොත්තු වුනේ නෑ.

මේ වගේ අවස්තාවක මම ඔබ ළගින් ඉන්න ඕන රොබට්. ඒකයි මම ලෝගන් එක්කම ආවේ.

කමක් නෑ. අපි යමු. නගරාධිපතිවරයා බලා සිටිනවා. ඔහු අපි ගැන දන්නවා. ඔහුත් අපිට උදව් උපකාර සපයන අපිට හිතැති කෙනෙක්.

නගරාධිපතිවරයාගේ නිල නිවස වු ගාර්ඩියන් මන්දිරයේ ඉහල මාළයට
ගිය ග්‍රෑන්ඩ්මාස්ටර්වරයා ලෝගන් ඇතුළු පිරිස නගරාධිපතිවරයාට හදුන්වා දුන්නා.

මට මේක හරිම හිසරදයක් වෙලා තියෙන්නේ රොබට්. නගරයේ වැසියෝ භීතියෙන් භීතියට පත්වෙලා. සමහරු නගරය අත ඇරලා දාලා යන්න හදනවා. මට මේක හරිම කරදරයක් රොබට්. අපි මොකද කරන්නේ රොබට්?

අපි පිළියමක් යොදමු රෆායෙල්. මම ලෝගන්ව ගෙන්නුවෙත් ඒකමයි.

ඔහු ඔබේ සංවිධනයේ කෙනෙක්ද?

ඔව්. ඔහු හැබෑ දක්ෂයෙක් මේ වගේ අද්භූත කාර්යයන්වලට.

ලෝගන් වෙතට සිය අත දිගු කළ නගරාධිපති රෆායෙල් බර්නාඩ්.

හදුනාගැනීම සතුටක් ලෝගන්. ඒත් මීට වඩා හොද අවස්තාවක එහෙම වුනානම් හොදයි කියලා මම හිතනවා.

ඒකට කමක් නෑ. කොයි වගේ තැන්වලද මේ පහරදීම් කරලා තියෙන්නේ?

ගොඩක් වෙලාවට නගරයේ කෙළවරට වෙන්න තමයි. සෙනඟ අඩුවෙන් ගැවසෙන තැන්වල. ඒ නිසා අපිට කිසිම හෝඩුවාවක් දැනගන්න විදිහක් නෑ. පොලීසියත් බයයි මේ දවස් වල ඒ වගේ තැන්වල ගැවසෙන්න.

මට ඔය මැරිච්ච කෙනෙක්ගේ සිරුරක් බලන්න හැකියාවක් තියෙනවද?

ඔබේ වෙලාවට ඊයේ රෑ මැරිච්ච කෙනාගේ සිරුර තියෙනවා මෘත ශරීරාගාරයේ. ඒක වැඩිය විනාශවෙලා නෑ. මම ඔබව එහි රැගෙන යන්න කෙනෙක් එවන්නම්. රොබට් කියපු විදිහට ඔහු ඔබලගේ සංවිධානයේ කෙනක්, යැයි පවසමින් නගරාධිපතිවරයා එහි වූ සීනුවක් නාද කලා.

මොහොතකට පසුව නගරාධිපතිවරයාගේ සේවකයෙක් එහි ඇතුළුව ඔහුට ආචාර කළා.

ඇල්ෆ්‍රඩ් මේ මහත්තයව මෘත ශරීරාගාරයට එක්කන් යන්න. එතන ඉන්න දොස්තර ඇඩම්ස්ට කියන්න මම මේ මහත්තයට මළ සිරුරු බලන්න අවසර දුන්නා කියලා.

අනතුරුව ලෝගන් දෙසට හැරුණු නගරාධිපතිවරයා,

ඇල්ෆ්‍රඩ් ඔබව එක්ක යාවි එතනට.

එයට වචනයක්වක් නොකී දඩයක්කරුවා ඇල්ෆ්‍රඩ් පසු පසින් පිටවී ගියා.

ඔවුන් දෙදෙනා ගාර්ඩියන් මන්දිරය ඉදිරිපිට නවතා තිබූ අස්ව රථයට නගින විටම එහි දිව ආ සෙඩ්රික් රථයට ගොඩවුයේ “ලෝගන්, මාත් එනවා ඔබත් එක්ක” යනුවෙන් පවසමින්.

විනාඩි දහයකට පමණ පැරිස් නගරයේ පොලීසියට ආසන්නව පිහිටා තිබූ මෘත ශරීරාගාරය වෙත ඔවුන් පැමිණියා. නිහඩම ඇල්ෆ්‍රඩ් පසු පස ඇදුණු. එහි සිටිය අයවලුන් නගරාධිපතිවරයාගේ ප්‍රධාන සේවකයා ලෙස ඇල්ෆ්‍රඩ්ව දැන සිටි බැවින් ලෝගන්ට සහ සෙඩ්රික්ට කිසිදු බාධාවකින් තොරව මෘත ශරීරාගාරයේ මළ සිරුරු තබා තිබෙන ශාලාවට පිවිසෙන්න ඉඩ ලැබුණා. ඒ වන විටත් දොස්තර ඇඩම්ස් එහි රැදී සිටියා. එම ශාලාවෙන් ගැලු විවිධ රසායනික ද්‍රව්‍ය වල සුවඳින් ඔවුන්ගේ නාස් පුඩු පිරි ගියා.

දොස්තර මහත්තයා, නගරාධිපතිතුමා ඔබෙන් ඉල්ලීමක් කළා අද උදේ හොයාගත්ත මළ සිරුරු මේ මහත්තයාට පෙන්වන ලෙස.

ආ ඇල්ෆ්‍රඩ් . . . කවුද මේ මහත්තුරු?

අපි නැතිවෙච්ච අපේ මිතුරෙක්ව සොයනවා. අපි දැනගන්න කැමතියි මේ මළ සිරුර ඔහුගෙද කියලා.

දොස්තර මහතා වෙත බොහොම පැහැදිලි ලෙස ප්‍රංශ භාශාවෙන් පිළිතුරු ලබාදුන්නේ සෙඩ්රික්.

ආ . . . . එහෙමද? එහෙම නම් මේ පැත්තෙන් එන්න.

මේසය උඩ තබා තිබු පහනක් අතට දොස්තර මහතා ඒ අසලවු රාක්කයක තබා තිබු මළ සිරුරක් වසා තිබූ රෙද්ද ඉවත් කළා.

මේ තියෙන්නේ ඒ සිරුර තමයි. බලන්න මේ ඔබගේ මිතුරාද කියලා?

දොස්තර මහතාගේ අතේ වු පහන ඉල්ලාගත් ලෝගන් මළ සිරුර වෙත නැඹුරු වුනා. එහි හෘදය වස්තුව ආසන්නයේ ගැඹුරු තුවාලයක් දක්නට ලැබුණා. ඊට අමතරව මළ සිරුරේ යම් පැහැය වෙනස්වීමක් ලෝගන්ට දක්නට ලැබුණා.

දෙවියන්ට ස්තුතිවේවා. මේ අපේ යාළුවා නෙවෙයි දොස්තර මහත්තයා.

මෙතෙක් වෙලා මළ සිරුර දෙස බලා සිටි සෙඩ්රික් පැවසුවා.

මොනවා වෙලාද මේ මනුස්සයා මැරිලා තියෙන්නේ? ඔහු තව දුරටත් විමසා සිටියා.

මේ පපුව ගාව තියෙන තුවාලේ තමයි මේකට හේතුව. හෘදය වස්තුවට දැඩි ලෙස හානියට පත්වෙලා තියෙනවා ඒ නිසා.

මොන වගේ දේකින්ද මෙහෙම තුවාලවෙන්න පුළුවන්?

මටත් තාම හිතාගන්න බෑ. පිහියකින් මෙහෙම විශාල වටකුරු හැඩයේ තුවාලයක් කරන්න බෑ. ඒ මදිවට ඔහුගේ ලේ වලට යම්කිසි විසක් මුසුවෙලා තියෙනවා. හරියටම කිවුවොත් ගෝනුස්සන්ගේ ඇති විසට සමාන විසක්. ඒ මට හිතාගන්න බෑ එච්චර ඒ වගේ විෂ වර්ගයක් නිපදවන්න පුළුවන් සතෙක් ඉන්නවද කියලා. ඔහුගේ ශරීරයේ ඇති විෂ ප්‍රමාණය වගේ විශාල විසක් ඇතුල්වෙන්න බල්ලෙකුටත් වඩා විශාල ගෝනුස්සෙක් වෙන්න ඕන. ඒත් අපි කවුරුත් දන්නවා ඒ වගේ ගෝනුස්සෝ නැහැ කියලා. අඩු ගානේ මේ වෙනකම්වත් හිටියේ නෑ කියලා.

එහෙම නම් ඔබට බොහොම ස්තූතියි දොස්තර මහතාණෙනි. අපි ගිහින් එන්නම්.

දොස්තරවරයාට හිස මඳක් නවා අචාර කළ ඔවුන් මෘත ශරීරාගාරයෙන් පිටවී ආවා. ගාර්ඩියන් මන්දිරයට එනකම් ලෝගන් කිසිම වචනයක් පැවසූවේ නෑ. සෙඩ්රික් දෙවතාවක් පමණ ඒ ගැන විමසා සිටියත් ඔහු එයට පිළිතුරක් දුන්නේ නෑ.

ඔවුන් නැවත ගාර්ඩියන් මන්දිරයට පැමිණෙන විට නගරාධිපතිවරයා, ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා සහ ලෙනෝරා මන්දිරයේ පහළ මාළයේ අසුන්ගෙන කතා බහක නිරත වී සිටියා.

මොකක්ද තත්වේ ලෝගන්? ග්‍රෑන්ඩ් මාස්ටර්වරයා ලෝගන්ගෙන් විමසා සිටියා.

තත්වය නම් භයානකයි උතුමාණෙනි.

අසලවු අසුනක වාඩිවෙමින් දඩයක්කරුවා පැවසුවා.

මම හිතන්නේ ඔබ මේ අනතුර එහෙම නැත්නම් අඳුරේ බලවේගය මොකක්ද කියලා අඳුනගෙන.

ඔව් ලෙනෝරා. මට මළ සිරුරේ තුවාලය දැක්ක ගමන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගියා. මම එකම එක සැරයක් මේ වගේ තුවාල දැකලා තියෙනවා මගේ ජීවිත කාලයක තුල. ඒ වගේම ශරීරයේ සිදුවී තිබූ පැහැය වෙනස්වීමත් මගේ මතය සනාථ කළා.

ඔබ ශරීරයේ පැහැය වෙනස් වී තිබෙන බවත් දැක්කත් අර අඩු පහන් එළියෙන්?

පුදුමයට පත්වූ සෙඩ්රික් දඩයක්කරුගෙන් විමසා සිටියා.

ඔව්. දොස්තර ඇඩම්ස් කිව්වා ගෝනුසු විස ගැන කරුණු මගේ මතය තව දුරටත් සනාථ කළා.

මොකක්ද ලෝගන් ඔබ කියන්නේ? මට තාමත් පැහැදිලි නෑ.

පැරීසිය මූණ දීලා තියෙන්නේ ඉතාමත් දරුණු අඳුරු සත්ත්වයෙකුගේ ප්‍රහාරයකට. කිසිම සැකයක් නැතුව මට කියන්න පුළුවන් මේ මැන්ටිකෝර් සතෙකුගේ ප්‍රහාරයක් කියලා. සමහර විට එකෙකුට වැඩිය ඉන්නත් පුළුවන්.

මොනවා මැන්ටිකෝර්?

ඔව්, ලෙනෝරා. ඒ ගැන මට කිසිම සැකයක් නෑ.

ඒත් ප්‍රංශයේදි මැන්ටිකෝර් සතුන් ගැන කිසිම සදහනක් වෙන්නේ නෑ. ඒ තියා මේ සතුන් වදවෙලා ගිහිල්ලා කියලා හැමෝම හිතාගෙන ඉන්නේ.

මාත් හිතාගෙන හිටියේ එහෙම තමයි උතුමාණෙනි. ඒත් මේ කරුණු වලින් අපිට පෙනී යනවා ඒක එහෙම නෑ කියලා.

මොනවද ඔබලා මේ කතා කරන්නේ? මට මොනවත්ම තේරෙන්නේ නෑ. මැන්ටිකෝර්? ඒ මොකෙක්ද? මම කවදාවත් අහලා නෑ.

මැන්ටිකෝර් (The manticore or mantichore) සතුන් ගැන ප්‍රථමයෙන්ම සඳහන්වෙන්නේ පර්සියන් ලේඛනවල. මැන්ටිකෝර් කියන නමේ දළ අදහස තමයි මිනී කන්නා නැත්නම් මිනිසුන් කන්නා කියන එක. හතරවෙනි සියවසේදි විතර එක්තරා පර්සියන් රජ කෙනෙක් ඉන්දියාවෙදි මේ සතුන් ඉස්සෙල්ලාම දැක්කා කියලා තමයි පර්සියන් ලේඛන වල තියෙන්නේ.

මේ සතා මොන වගේ එකෙක්ද ලෝගන්?

ලෙනෝරා ලෝගන්ගෙන් විමසා සිටියා.

     මේ සතා සිංහයෙක්ට වඩා ප්‍රමාණයෙන් විශාල එකෙක්. මිනිස් හිසක්      සහ සිංහයෙක්ගේ සිරුරක් තියෙනවා. ඒ මිනිස් මුණ හැමවිටම ඝණ      රැවුලකින් ආවරණය වෙලා තියෙන්නේ. ඇස් නිල් එහෙම නැත්නම් අළු      පැහැති ස්භාවයක් ගන්නවා. සිරුර රතු පැහැයක් ගන්නවා. ඒ වගේම      සිංහයෙකුගේ වලිගය වෙනුවට ගොනුස්සෙක්ගේ වලිගයක් තියෙනවා.      ඒක තමයි මේ සතාගේ තියෙන භයානකම ආයුධය. අන්න ඒ හින්දා      තමයි අර දඩයක්කරුවගේ සිරුරේ හෘදය අසලම විශාල ගැඹුරු      තුවාලයක් වගේම ඔහුගේ ශරීරයේ ගෝනුසු විස තිබුණේ. ඒ විසට      කිසිම කෙනෙක් වැඩි වෙලාවක් ජීවත්වෙන්නේ නෑ. ඒ නැතත් හෘදයට      වෙන හානියෙන් ගොදුර මියයනවා.

     අමතරව තියුණු දත්, පාද වල උල්ව වැඩුණු දැඩි නියපොතු දකින්න      පුළුවන්. ලේඛන වල කියවෙන්නේ අලි ඇතුන් හැර අනිත් ඕනම      සතෙක්ට පහර දෙන්න ඔවුන්ට හැකියාව තියෙනවා කියලා. මොකක්      හරි නොකියවුණු නොලියවුණු හේතුවක් නිසා මේ සතුන් අලි ඇතුන්ට      පහර දෙන්නේ නෑ. ඒ වගේම වවුලෙක්ගේ වගේ විශාල ප්‍රමාණයේ තටු දෙකක් මුන්ට තියෙනවා. කිසිම අපහසුවක් නැතුව මිනිහෙක් අරගෙන ඉගිල්ලෙන්න මුන්ට පුළුවන්. මට හම්බවෙලා තියෙන සත්තු අතරින් අතිශයින්ම භයානක සත්තු ජාතිය වෙන්නේ මැන්ටිකෝර්ලා. පහරදෙන්න කිසිම හේතුවක් අවශ්‍ය නෑ. මැරීම ඔවුන්ගේ විනෝදාංශයක්.

අපි කොහොමද මේ සතාව විනාශ කරන්නේ ලෝගන්?

ඒක නම් ලේසි කටයුත්තක් වෙන්නේ නෑ රෆායෙල්. මා දන්නා තරමට මේ සතා බොහොම වේගවත්. ඒ වගේම ශක්තිමත්. එහෙම නේද ලෝගන්?

ඔව් උතුමාණෙනි. ඒ කරුණු නිවැරදියි. ඒ වගේම බොහොම කපටි සත්ත්වයෙක්. උගුලකට හසුකර ගැනීම ලේසි කාරියක් වෙන්නේ නෑ. ගොඩක් කතා වලා තියෙන්නේ මැන්ටිකෝර්ලව තරුණ අවධියේම විනාශ කරලා දාන්න ඕන කියලා. සාමාන්‍ය ආයුධවලින් ඔවුන් මරන්න බෑ කියලත් කියනවා.

දෙවියනේ ! රොබට් අපි මොකද කරන්නේ?

කලබලවෙන්න එපා. ලෝගන් ගාව තියෙන්නෙත් සාමාන්‍ය ආයුධ නෙවෙයි.

ඒක නම් එහෙම තමයි උතුමාණෙනි. අපිට මේ සතාව විනාශ කරන්නම වෙනවා. මේ සතා මිනිස් මසට අතිශයින්ම කෑදරයි. ඒක හින්දා ඉදිරියටත් අනිවාර්යෙන්ම මු දඩයම් කරනවා. අපි ඊට ඉස්සර වෙන්න ඕන.

ඹබ කවද්ද දඩයම අරඹන්නේ?

මේක ලේසි කටයුත්තක් නෙවෙයි. මට මේ මිනිස් සිරුරු හම්බවෙච්ච තැන් පරික්ෂා කරන්න ඕන. ඒකෙන් මේ සතා ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් වේවි. උගේ ප්‍රමාණය, මොන වගේ වයසකද ඌ ඉන්නේ වගේ කරුණු. අනික එක සතෙකුට වඩා ඉන්නවද කියලත් දැනගන්න ඕන. නැත්නම් අපි, විශේෂයෙන්ම මම ලොකු අමාරුවක වැටෙනවා. ඒ වගේම සතා ගැවසෙන හරිය ගැන අවබෝධයක් ලබාගන්නත් පුළුවන් මට. ඒ වැඩ ටික හෙට දවල් වරුවෙදි ඉවර කරගත්තොත් මට රාත්‍රියට දඩයමේ යන්න පුළුවන්. අන්න ඒක මම තනියම කරන්න ඕන වැඩක්. අවදානම හොදටම වැඩියි.

විස්තර දැනගන්න කටයුත්තෙදි මට ඔබට උදව් කරන්න පුළුවන් ලෝගන්. ඒ සදහා අවශ්‍ය කරන අවසරය මම ලබාදෙන්නම් විශේෂ ලියවිල්ලකින්. එතකොට පොලීසියටවත් බෑ ඔබට කරදර කරන්න. ඒ වගේම මම මේ ගැන පරීක්ෂන කරන පොලිස් නිලධාරියව ඔබේ සහයට ලබාදෙන්නම්. මම හිතනවා ඒක වඩා හොදයි කියලා, මොකද ඔහු මේ හැම මළ සිරුරක් තිබ්ච්ච තැනකටම ගිහින් තියෙන හින්දා. ඔහුටත් මේක හිසරදයක් වෙලා තියෙන්නේ. වෙන මොනවද ලෝගන්?

දැනට නම් එපමණයි නගරාධිපති තුමනි

ඔබලාට මහන්සිත් ඇති මෙතරම් දුර ගමන් කරලා. මම ඔබලාට නවතින්න කාමර සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ ප්‍රශ්න ඔක්කොට පැත්තකින් තියලා රාත්‍රී ආහාරය ගන්න යමු.
___________________________________________________________________________________

KB 2021.03.06