නැණ මඟට දිරියක්

     

ගොඩක් කාලෙකට පස්සේ තමයි බර්ටියා ආපහු බ්ලොග් එක ලියන්න ගත්තේ. හරියටම කිව්වොත් ගිය අවුරුද්දේ පෙබරවාරි මාසෙට පස්සේ ඒ කියන්නේ අවුරුද්දකුත් මාස හතරකට පස්සේ තමයි මේ බ්ලොග් සටහන ලියන්න ගත්නේ. ලියන්න ඕනකම තිබ්බත් ඊට වඩා කම්මැලිකම ඉස්සරහට ආව හින්දා කිසිම දෙයක් ලියන්න වුනේ නෑ. ලියන එක අත ඇරලා දාන්න හිතිච්ච වෙලාවලුත් තිබ්බා. ඒත් කොහොම හරි තවත් බ්ලොග් සටහනක් අරගෙන බර්ටියා ආපහු ආවා.

     මිනිස්සුන්ට හීන තියෙනවා. සමහරක් හීන හොද දේවල් ගැන වගේම සමහරක් හීන නරක දේවල් ගැන වෙන්න පුළුවන්. මේක බර්ටියාගේ හිතේ තිබ්බ සුන්දර හීනයක් හැබෑ කරගත්ත අවස්තාවක් ගැන ලියන්න යන්නේ. බර්ටියා ඉස්කෝලේ යන කාලේ ඉදලම සමාජ සේවා වැඩ කටයුතු කරන්න කැමතියි. ඒක නිසා බර්ටියා ඉස්කෝලේ සෞඛ්‍යදාන ව්‍යාපාරයෙයි රතු කුරුස සමාජයෙයි සාමාජිකයෙක් වෙලා හිටියේ. ඉස්කෝලෙන් අයින් වුනාට පස්සෙත් බර්ටියා කාලයක් ගම්පහ රතු කුරුස කොට්ඨාශයේ ස්වේඡ්ඡා සේවය කලා. රැකියාවක් කරන්න ගත්තට පස්සේ මේ වගේ දේවල් වෙනුවෙන් වැඩ කරන්න තිබ්බ කාලේ නැති වෙලා ගියා. ඒත් ඉතින් සමහරක් දේවල් තියෙනවානේ අත ඇරලා දාන්න බැරි. බර්ටියා දැනට ඉන්න ජාත්‍යාන්තර පාසලේ කළින් විදුහල්පතිනිය ඉන්නකොටත් අලුත් වැඩක් කරන්න අදහසක් ඇති වුනා. ඒත් එක එක දේවල් හින්දා ඒක අත පසු වෙලා ගියා. බර්ටියාගේ මේ අදහස වුනේ ලංකාවේ තියෙන අඩු පහසුකම් සහිත ඉස්කෝලේක ඉන්න දරුවන්ට ඉගෙනුම් කටයුතු කරන්න යම්කිසි ආධාරයක් කරන්න. ඉස්සෙල්ලාම බර්ටියා කල්පනා කලේ අම්පාර වගේ දුෂ්කර පැත්තක තියෙන පාසලකට උදව්වක් කරන්න. බර්ටියා මේක ගැන ඒ වෙන කොට දහය වසරේ ඉන්න ළමයිනුත් එක්කත් කතා කරලා තිබ්බේ. ඒ ළමයිනුත් මේ කටයුත්තට කැමත්ත ප්‍රකාශ කරපු නිසා බර්ටියා එවකට පාසලේ හිටපු විදුහල්පතිනියත් එක්කත් මේ ගැන කතා කරලා අවශ්‍ය කරන අවසරය ලබාගෙන තිබ්බත් දවසින් දවස මේ කටයුත්ත පස්සට ගියා.

     ඔහොම කාලය ගලාගෙන යද්දි ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් විතර බර්ටියාගේ පාසලට අලුතින් විදුහල්පතිනියක් පත්වෙලා ආවා. ඒ අතරම පාසලේ ඉහළ පරිපාලනයෙන් පසුගිය වතාවේ පොළ කරලා එකතු කර ගත්ත සල්ලි වලින් කොටසක් යම් කිසි සමාජ සේවා වැඩකට යොදවන්න කියලා දැනුම් දීමකුත් ලැබුණා. ඔය අතරෙදි මේ පරණ අදහස ආයෙත් බර්ටියාගේ ඔළුවට ගැහුවා. මේක බර්ටියා ඉස්සෙල්ලාම කතා කලේ ප්‍රියදර්ශනී ගුරුතුමියත් එක්ක. ප්‍රියදර්ශනී ගුරුතුමියත් මේ වැඩේට කැමති වුන හින්දා අපේ විදුහල්නිය නයෝමි පෙරේරා මහත්මියත් එක්කත් මේ ගැන කතා කලා. එතුමියගේ අවසරයත් උදව්වත් ඇතුව බර්ටියත් ප්‍රියදර්ශනී ගුරු මහත්මියත් මේ ගැන ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න තීරණය කළා. ඒ අතර තුර බර්ටියා ලාංකි නංගිට කිව්වා මේ වැඩේට අවශ්‍ය කරන පාසලක් හොයලා දෙන්න කියලා ගාල්ල පැත්තෙන්. ලාංකි නම් කිව්වේ එයා දැනට වැඩ කරන පාසලේත් මේ වගේ ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන ළමයි ඉන්නවා කියලා. බර්ටියා කිව්වා අපේ විදුහල්පතිතුමියටත් දැනුම් දීලා ස්ථිර වචනයක් දෙන්නම් කියලා.

     ඊළගට කරන්න තිබ්බේ ගුරු මණ්ඩලයත් එක්ක කතා කරලා මේ ගැන අවසාන තීරණයක් ගන්න එක්ක. එතෙන්දි නම් එක එක කට්ටිය එක එක වෙන වෙන තැන් යෝජනා කළත් අවසානයේ සිද්ධ වුනේ බර්ටියාගේ යෝජනාව ක්‍රියත්මක කරන එක. මොකද ගොඩක් අයගේ සද්දේ තිබ්බට යුද්දේ නෑනේ. ඉතින් බර්ටියා ලංකි නංගිට කතා කරලා අපිට ළමයි 30 - 35 අතර ගාණනකට පොත්පත් ඇතුලු ඉස්කෝලේ අලුත් වාරයට අවශ්‍ය කරන බඩු බාහිරාදියා ලබාදෙන්න පුළුවන් කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ එහෙන් විස්තර එක්ක ඊ-මේල් එකක් ගෙන්න ගෙන ඒකත් එක්ක අවශ්‍ය කරන විස්තර වත්තල Main School ට යවලා අවශ්‍ය කරන අවසර ලබා ගත්තා. ඊට පස්සේ තමයි අමාරුම කටයුත්තට අත ගහන්න සිද්ධ වුනා. ඒ කියන්නේ ආධාර එකතු කරන වැඩේ. ඉස්කෝලේ ළමයින්ට මේක දැනුම් දුන්නට පස්සේ හොද ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන කියද්දී නිකිණිව විශේෂයෙන් මතක් කරන්න ඕන. නිකිණියි නිකිණිගේ අම්මයි පොත් පත් ඇතුළු ලිපි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලබා දුන්නා මේ කටයුත්තට. ගුරු මණ්ඩලයෙන් එකතු කළ සල්ලි වලින් පාසල් බෑග් අරගන්න අපි තීරණය කරලා තිබ්බා. අපේ සුජීවා අක්කා (ටීචර්) ඒ වැඩේ කරගන්න ගොඩක් මහන්සි වුනා. අන්තිමට මීගමුව දළුපොත පාරේ තිබ්බ් බෑග් මහන කඩයකින් මේ බෑග් 35 ගන්න අපිට හැකියාව ලැබුනා.

     ඉස්කෝලේ ළමයින්ගෙනුත් හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා වැඩේට. අපේ 11 වසර පන්තියේ ඉන්න සෙයිනබුයි එයාගේ නංගිලා දෙන්නයි වතුර බෝතල් 30 විතර අරගෙන දුන්නා. ඔය විදිහට එකතු කරගත්ත බඩු ටික, ලැස්තු ගත කරලා එක එක පන්තිවලට ගැලපෙන විදිහට ලෑස්ති කරගන්න අපි ඉස්කෝලේ නිවාඩු දවසක ඇවිල්ලා සෑහෙන්න මහන්සි වුනා. අපි ඒවා වෙන වෙනම පාසල් බෑග් වලට අහුරලා ලේබල් ගැහුවා. ප්‍රින්සිල් මැඩම්, සිතාරා ටීචර්, ප්‍රියදර්ශනි ටීචර් වගේම නිකිණි, රයාන්, මෙලනි ඇතුළු එදා අමතර පන්ති ඇවිල්ලා හිටපු ළමයි ටිකත් මේ වැඩේට ගොඩක් උදව් කළා.

     ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 14 වෙනිදා උදේ අපි මේ ගමන යන්න පිටත් වුනා. මේ ගමනට ප්‍රින්සිපල් මැඩම් ඇතුලු අපේ ටීචර්ලා දොළොස් දෙනෙක් විතරත් ළමයි දහ දෙනෙක් විතරත් සහභාගී වුනා. ප්‍රධාන පාසලෙන් අපිට ගමනට බස් රථයක් ලබා දීලා තිබ්බ නිසා අපේ වැඩේට ලොකු පහසුවක් වුනා. අපි කට්ටිය ඉතින් අධිවේගී මාර්ගයෙන් අධි වේගයෙන් ඉගිල්ලිලා යන ගමන් වැලිපැන්න Rest area එකෙන් උදේටත් කාලා ගාල්ලට යන්න පිටත් වුනා. අපේ දිල්රුක්ෂි ටීචර්ට පාන් කන්න පරිප්පු අරගෙන එන්න කිව්වට අපිට හැන්දක් ගේන්න කියන්න අමතක වුන නිසා එයා හැන්දක් ගෙනල්ලා තිබ්බේ නෑ පරිප්පු බෙදා ගන්න. ඒක තමයි පොඩි අවුලකට සිද්ධ වුනේ.

     අපි ගාල්ලට යනකොට දහයට විතර ඇති. ලාංකි නංගි කිව්වා වගේම වැඩ ටික ලෑස්ති කරලා තිබ්බා. අපි ඉතින් බඩු ටික අරගෙන ශ්‍රී සුමංගලෝද්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට ගියා. සම්ප්‍රදාය අනුකූලව සුපුරුදු විදිහට පොල් තෙල් පහන දැල්වුවාට පස්සේ ශ්‍රී සුමංගලෝද්‍ය විද්‍යාලයේ ගුරුතුමියක් පිළිගැනීමේ කතාව සිද්ධ කලා. ඊට පස්සේ අපේ ප්‍රියදර්ශනි ගුරුතුමිය, අපේ වැඩසටහනේ අරමුණු පැහැදිලි කලා. ඊට පස්සේ තමයි තෝරා ගත්ත දරුවන්ට අපි ගෙනාපු තෑගි ප්‍රධානය කිරීම සිද්ධ කලා. ලාංකිකා නංගිගේ ස්තුති කතාවෙන් පස්සේ අපිට ලෑස්ති කරලා තිබ්බ සංග්‍රයත් බුක්ති විදලා ඒ වෙලාවේ ඇවිල්ලා හිටපු ගුරු මණ්ඩලයත් එක්ක කතා බහ කලා. ඒ වැඩේ ඉවර වුනාට පස්සේ අපි කලේ ඉස්කෝලේ වටේ රවුමක් ගිය එක. අපේ ළමයින්ට නම් එහෙම ඉස්කෝලයක් දැකලා එකේ ඇවිදලා අත් දැකීමක් තිබ්බේ නෑ. ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපි කට්ටියම ගාල්ලේ මුහුදු වෙරළට ගියා ටිකක් විනෝද වෙන්න. ඇත්තටම අපි කට්ටිය ටිකක් නෙමෙයි ගොඩක් විනෝද වුනා, හොද වැඩක් කරලා ලබපු සතුටත් එක්ක.

     ආයෙත් දවසක් මේ වගේ වැඩක් කරන්න අදහසක් තියෙනවා. දැනටත් ඒ සදහා අවශ්‍ය කරන මූලික කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒත් රටේ තියෙන ආරක්ෂක තත්වය අපේ වැඩේට පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. නැණ මඟට දිරියක් වැඩසටහන් මල් ඵල ගන්නට ශක්තියක් වු අපේ විදුහල්පතිනියටත් ගුරු මණ්ඩලයටත් දරුවන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් බොහොම පින්. බර්ටියා ගිහිල්ලා එන්නම් එහෙනම්.

ගමනක මුල - OKI මීගමුව
පාසල් බෑග් අභ්‍යාස පොත් සමඟ
උදෑසන ආහාරහ වැලි පැන්න නැවතුම
කට්ටිය ආධාරත් අරන්
පැමිණ සිටි දරු දැරියන්
විදුහල්පති තුමිය පොත් තෙල් පහන දැල්වීම
පොල් තෙල් පහන දැල්වීම
ලාංකිකා ගුරුතුමිය පොල් තෙල් පහන දැල්වීම
අපේ අරමුණු පැහැදිලි කිරීම
වැඩ සටහනට සූදානම්ව
පාසල් බෑග් ලබාදීම
අපේ කට්ටිය
ස්තුති කතාව
සමූහ ඡායරෑපය
කෑම කොහෙද සිතාරා එතන

No comments:

Post a Comment