ඉස්කෝලේ කාලේ මං 3 - සෝඩියම් කෑල්ල

ඔන්න ටික දවසකට පස්සේ අලුත් බ්ලොග් සටහනකුත් අරගෙන බර්ටියා ආපහු ආවා. මේ කතන්දරයත් සිද්ධ වුනේ බර්ටියා උසස් පෙළ කරන දවස් වල හොඳද. ඒ දවස් වල තමයි අල්ලන්න තියෙන හොඳම ගුස්ති ටික ඇල්ලුවේ. මේකත් සිද්ධ වුනේ රසායන විද්‍යාව කරපු වෙලාවක් තමයි. මෙතනදී තමයි බර්ටියා කළින් කියපු ඉස්කොලේ කාලේ මං 2 කතාවෙදි බර්ටියා කියපු අපේ රසායන විද්‍යා මිස්ගේ හොදකම දැන ගත්තේ. බර්ටියා කළිනුත් කිව්වනේ අපේ පාසල පිරිමි එකක් කියලා. ඉන්නෙත් නසරාණි පොරවල් තමයි. ඔය හේතුව හන්දා ද කොහෙද අපේ රසායන විද්‍යා ‍ගුරුවරු අපිව වැඩිය විද්‍යාගාරයට අරන් යන්න කැමති වුනේ නෑ. අපි ඉතින් ලැබ් එකේ කියලා වෙනසක් නෑ පිස්සු වැඩනේ කරන්නේ. ඔය හේතුව නිසාද කොහොද අපේ මිස් අපිව විද්‍යාගාරයට එක්කන් යන්නේ වුවමනාම කරන පරීක්ෂනයක් කරන්න විතරයි. අපි ඉතින් පරීක්ෂනය ඉවරවුනහම කරන්නේ ඉතුරු වෙලා තියෙන දේවල් එකට කළවම් කරලා පාට පාට අළුත් මිශ්‍රණ හදන එක තමයි කරන්නේ. මේ සිද්ධිය වුනේත් අපි එහෙම රසායන විද්‍යා පරීක්ෂනයක් කරන්න ගිය වෙලාවක. අපි ලැබ් එකට යන්න ගොඩක් ආසයි, මොකද එදාට ‍ලියාගන්න කම්මැලි සටහන් වලින් අපි ගැළවිලා‍ නේ.

ඔන්න ඉතින් දවසක් අපේ රසායන විද්‍යා ගුරුතුමිය අපිව ලැබ් එකට අරන් ගියයි කියමුකෝ. එදා අපි කලේ Alkali Metals ගැන‍. මේ කණ්ඩායට lithium, sodium, potassium, rubidium, cesium සහ francium කියන elements අයිති වෙනවා. එදා අපි කතා කලේ මේ chemical elements ගැන. මේ අතරින් sodium ගැන අපි හැමෝම වගේ දන්නවනේ. සෝඩියම් ජලයත් එක්ක බොහොම භයංකාර විදිහට ප්‍රතික්‍රයා කරනවා කියලා රසායන විද්‍යාව නෙමෙයි යම්තම් හරි විද්‍යාව කරපු හැමෝම දන්නවානේ.

අපේ ඉස්කොලේ රසායන විද්‍යා ලැබ් එක තිබ්බේ ඉස්කොලේ ඉස්සරහට වෙන්න. මේක කිට්ටුව සිමෙන්ති වලින් හදපු වතුර පිරිච්ච පොඩි පොකුණක් වගේ එකක් තිබ්බා. ඉතින් මේ කියන දවසේ අපි පරීක්ෂනය කර කර ඉන්න කොට මිස්ගේ ඇස් වහලා අපේ නසරාණි බුවාලා දෙන්නෙක් සෝඩියම් කෑල්ලක් අරගෙන ගිහිල්ලා අර පොකුණට දාලා ඇවිල්ලා. මුන් දෙන්නා ඇවිල්ලා තප්පර 10 ක් විතර ගියාට පස්සේ සෝඩියම් කෑල්ල මර හඩ දීගෙන පිපිරුවා. මිස් අන්දුන් කුන්දුන් වෙලා මොකක්ද කියලා බැලුවා. අපිත් මිස් වගේම අන්දුන් කුන්දුන් වෙලා බැලුවා. එහෙම නැත්නම් වැඩේ මාට්ටු වෙලා පරිප්පු, ‍පාන් නැතුවම කන්න ලැබෙනවානේ. අනිත් එක අපිත් එච්චර ලොකු සද්දයක් බලාපොරොත්තු වුනෙත් නෑ.

      අම්මට සිරි වෙන්න කියන්නේ විනාඩි පහක් ගියේ නෑ විනය බාර අනිල් ලොක්කා කඩාගෙන පැන්නා ලැබ් එකට පොඩි ක‍ොල්ලෙකුයි Prefect පප්පලා දෙන්නෙකුයි එක්ක. විනය බාර පොරව ළමයින්ට විතරක් නෙමෙයි ඉස්කොලේ ගුරුවරුන්ටවත් දිරවන චරිතයක් නෙමෙයි. මිනිහා ඇවිල්ලා බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් ජාතියේ පොරක්. කතා කරන්නේ ආගම ධර්මෙන්. කතා කරන කොට හිතෙනවා මේ දැන් එතනදීම රහත් වේවි කියලා. හැබැයි හැබැවටම නම් මිනිහා කුණු වලක් ගූ ගොඩක්.

මිනිහා ඇවිල්ලා අපේ ටීචරුත් එක්ක මෙහෙම කියනවා. "බලන්න ටීචර් මම Office එකේ උඩ තට්ටුවේ ඉදන් බලාගෙන හිටියේ." (එතන තමයි මිනිහා උගන්නන කලා විෂය දහරාවේ පන්ති තිබ්බේ). "මම අහම්බෙන් වගේ දැක්කා ළමයි දෙන්නෙක් එනවා පොකුණ ගාවට. ඇවිල්ලා ගත්තා රතිඤ්ඤයක්. අරන් පත්තු කරලා වීසි කළා. ඒක පිපිරුණා ඩෝන් ගාලා. මම ටක් ගාලා දුවගෙන ආවා මේ Prefect ලා දෙන්නත් එක්ක. පොකුණ ගාවදි මේ ළමයා කිව්වා (එහෙම කියලා මිනිහා එක්කන් ආපු පොඩි එකාව පෙන්නුවා), එයා රතිඤ්ඤා පත්තු කරලා වීසී කරලා දුවපු ළමයි දැක්කා" කියලා. ඒකයි මේ පොඩි එකාව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක කියන කොට අපිට මැරෙන්න හිනා. ඇයි දෙයියනේ මේ යකා කියනවා රතිඤ්ඤයක් පත්තු කරලා වීසි කරනවා දැක්කා කියලා‍ කොහොමද දෙයියනේ ඒක වෙන්නේ? පිපිරුණේ සෝඩියම් කෑල්ල. මේ යකා මෙතන බොරු විදිනවා. අපි ඉතින් ඕක අනිල් ලොක්කා එක්ක කියන්න යෑ, "නෑ බුදු සර් අපි සෝඩියම් කෑල්ලක් පොකුණට දැම්මේ, ඒක තමයි සද්දෙට පිපිරුණේ" කියලා. එහෙම නැත්නම් "කෝ සර් රතිඤ්ඤේ ඉතුරු වේච්ච කෑලි කියලා" අහන්න යෑ. නයි කයිද සාස් පාන් කිව්වලු. මොනා කරන්නද අපි ඉතින් පොත් හපාගෙන හිනාව නවත්තගෙන හිටියා. ඊට පසසේ මිනිහා පොඩි එකාට කිව්වා රතිඤ්ඤා පත්තු කරලා වීසී කරපු ළමයින්ව පෙන්නන්න කියලා. මේකා වටපිට බලලා ටීචර් ගේ ඉස්සරහම හිටපු ටෙරාව පෙන්නුවා‍. ටෙරා ඇත්තටම පන්තියෙන් එළියටවත් ගියේ නෑ. ටිචර් ගාවම තමයි හිටියෙත්. ‍‍‍‍ටෙරා නෑ කිව්වට අනිල් ලොක්කා ගනන් ගත්තේ නෑ. මිනිහා බලෙන්ම ටෙරාව එළියට ගන්නයි හැදුවේ. මෙන්න මේ වෙලවේ තමයි අපි හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වුනේ.

"මේ අනිල්, ඔයාට එහෙම මගේ ළමයි එළියට ගන්න බෑ. මේ ළමයි මාත් එක්ක මෙතන වැඩ කර කර හිටියේ. ඔයාට ගැටළුවක් තියෙනවා නම් ඒක හරි විදිහට විසදගන්න" කියන අපේ රසායන විද්‍යා ටීචර්ගේ බොහොම කෝපාවිශ්ඨ කට හඩ ඇසුණා. මේ සද්දෙට අපි විතරක් නෙමෙයි අනිල් ලොක්කත් ගල් ගැහිලා ගියා. මිනිහට හෙමින් සීරුවේ මාරුවෙලා යන්න සිද්ධවුනා වැරදි ක‍රයොත් නැතුවම. අපි ඉතින් පරීක්ෂනේ ඉතුරු ටික බොහොම සන්තෝසෙන් ඉවර කරලා බෙල් එක ගහපු ගමන් මේ වෙච්ච පුදුමය ගැන කතා කර කර පන්තියට ගියා. ඔතනින් එයාට ඔය රතිඤ්ඤා පත්තු කිරිල්ල ගැන හොයන්න කවුරුවත් ‍ආවේ නෑ. කොහොම හරි වෙන පන්තියකුත් ඔය සෙල්ලමම දාන්න ගිහිල්ලා ඊට සති දෙකකට විතර පස්සේ මාට්ටු වෙලා තිබ්බා (අපේ පන්තියේ හිටපු මී හරක්ගේ කටවල් වහන්න ඉන්න බැරි නිසා තමයි වැඩේ ලීක් වෙලා තිබ්බේ). අපේ රසායන විද්‍යාව ගුරුතුමිය ඕක දැනගත්තත් හිනාවෙලා නිකම් හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ අපිට. ටීචර් අපේ කොළුකම කියලා නිකම් ඉන්න ඇති කියලා තමයි අපි හිතුවේ. කොහොම හරි ටීචර් ගැන ලොකු පැහැදීමක් අපේ හැමදෙනාගෙම හදේ නොමැකෙන විදිහට තැම්පත් වුනා. අද වුනත් දැක්ක තැන අපි දැන ගහලා වදින්නේ ඒ ගුරු භක්තිය ගෞරවය නිසාමයි.

බර්ටියාට අද දක්වාම තියෙන ගැටළුම තමයි අනිල් ලොක්කා අර විදිහේ දැවැන්ත බොරුවක් කිව්වේ ඇයි කියන එක? ඒක අපි කොළු කමට කළ වැඩක්. ඒත් ඒක වැරද්දක් තමයි. ඒක ගැන ගැටළුයක් නෑ. ඒත් අච්චර බොරුවක් කියලා එතන හිටපු කාව හරි අල්ලගෙන දඩුවම් කරන්න තරම් අර ගුරුවරයා හිතේ තිබ්බ හැඟීම මානසිකත්වය. බර්ටියා ඒක තේරුම් ගන්න බැරි වුනා අද වෙනකම්ම. බැරි වෙලා හරි අපේ Chemistry Teacher අර විදිහට විරෝධය පෑවේ නැත්තම් ටෙරාට මොකද වෙන්නේ? ඌ ඒක අපි කළා කියලා කියන්නේ නැති බව නම් සියයට දෙසීයක්ම ෂුවර්. ඒත් ටෙරාට දඩුවම් කරනකම් අපිට බලන්න ඉන්න බෑනේ. එහෙම වුනානම් දේවල් කොච්චර දුර දිග යන්න තිබ්බද? කෙනෙක් වෙච්ච දේ හරියටම දන්නේ නැතුව බොරුව මත රැදිලා තමන් කරන උපකල්පන වලින් අනෙක් කෙනෙක් වැරද්දක් කලා කියලා කියන එක කොච්චර වැරදි දෙයක් ද බර්ටියාට හිතෙනවා. අද බර්ටියා ගුරුවරයෙක් විදිහට ළමයින්ගේ ගැටළු වල දී හැම පැත්තක් ගැනම හිතලා බලන්න පුරුදු වෙලා ඉන්නේ මේ දේවල් එක්ක ලැබිච්ච අත්දැකීම් හන්දා වෙන්න පුළුවන්.

No comments: