මිණි කිංකිණි

ඔන්න බර්ටියා අළුත් කතාවකුත් එක්ක ආවා කියමුකෝ ඉතින්. මේක ඇවිල්ලා බර්ටි කිංකිණි එක්ක දීපු ගේමක් ගැන කතාවක්. බර්ටියා හිතන්නේ කට්ටියට කිංකිණිව කට්ටියට මතක ඇති කියලා. කිංකිණි නංගිවයි එයාගේ යාළු‍වෝ සෙට් එක්ක අපි යාළු කරගත්තේ මාරි බිස්කට් එකක් පෙන්නලා කියලා බර්ටියා කියලා තියෙනවනේ. අපි උසස් පෙළ කරන දවස් වල ගම්පහ ඉස්පිරිතාලේ කිට්ටුව තියෙන පෞද්ගලික ආයතනයකට තමයි පහේ කල්ලිය සත්ත්ව විද්‍යාවට අමතර පංති ගියේ. පන්ති පටන් ගත්තේ 3.30 ට. අපි ඉතින් ළඟ තිබ්බ කඩේකින් මාරි බිස්කට් පැකට් එකකුයි ප්ලෙන් ටී එකකුයි අරන් මාරි බිස්කට් එක ප්ලේන්ටියේ පොඟවන් කාලා තමයි පන්ති යන්නේ ඒ දවස් වල (හැමදාම අනම් මනම් ගිලින්න අපිට සල්ලි තිබ්බේ නෑ ඒ දවස් වල). කිංකිණි සහ එයාගේ යාළුවෝ සෙට් එක එතන තියෙන මල් ශාලාව ඉස්සරහට වෙලා ඉන්නවා ජා ඇල සී.ටී.බී එකක් එනකම් (අපි ඉතින් සීසන් එකෙන් තමයි ගමන බිමන ඒ කාලේ).

කොහොම හරි මාරි බිස්කට් එකක් පෙන්නලා බොහොම බය සැක ඇතිව අමාරුවෙන් පාර පැනලා ගිහිල්ලා තමයි අපි ඉස්සෙල්ලාම කිංකිණිලා එක්ක කතා ‍කලේ. අනේ ඒ සෙට් එකත් කිසිම ගණන් ඉස්සිල්ලක් නැතුව අපිත් එක්ක කතා කළා. කිංකිණි නංගි අතුළු පිරිස ගියේ ගම්පහ වතුර ටැංකිය ගාව තිබ්බ කොළ පාට ටයි එකක් තිබ්බ කාන්තා පාසලට. අපි ඉස්කෝලේ යන කාලේ ඔය ඉස්කෝලේ කෙල්ලෝ එක්ක රණ්ඩු කරන එකමයි ‍කලේ. ඒකේ කට්ටිය කොච්චර හොදද කියනවා නම් මාස දෙක තුනකට සැරයක් අපිට මඩ ගන්න පුළුවන් දෙයක් හදලා දෙන්න තරම් එයාලා කාරුණික වුනා. මම ඒ කතා ගැන ලියන්න යන්නේ නෑ. ‍කිංකිණිට නම වගේම සුන්දර කට හඩක් සද්දයක් තිබ්බා. කොහොමත් ඒක අපේ ඉස්කොලේ තිබ්බ තඩි ඝාණ්ඨාරෙට වඩා සද්දයි කියලයි අපි ‍හැමෝම හිතුවේ. කොහොම අපි සැරින් සැරේ හම්බවුනා. කාලෙත් එක්ක මිතුරුකමුත් දුරස්ථ වෙලා ගියා.

අවුරුදු ගාණකට පස්සේ 2006 දෙසැම්බර් මාසේ දවසක දෙමටගොඩ බර්ටියා ඉස්සෙල්ලාම උගන්නපු ඉස්කොලේ සම්මුඛ පරීක්ෂනයට යන දවසේ දෙමටගොඩ දුම්රිය පොළ කිට්ටුවදී බර්ටියට කිංකිණිව හම්බවුනා අහම්බෙන්. පරණ යාළුක‍ම ආයේ අළුත් වෙලා ආවා. ඒ දවස් වල කිංකිණි වැඩ කළේ කොහුවල පැත්තේ තිබ්බ ණය දෙන ආයතනයක. ගම්පහ පැත්තේ තැන්වලට තමයි කිංකිණි වැඩිපුර ණය අරන් දීලා තිබ්බේ. ඔය දවස්වල ගම්පහ KRFC කියලා චිකන් වැඩ කෝටියක කෑම කඩයක් තිබ්බා. ඔය ‍‍‍කඩේට වැඩිය සෙනඟ ආවෙත් නෑ. කතා කර කර ඉන්න නියම තැන. වැඩ නැති දවස් වල හවසට ඔතනට සෙට්වෙලා කන එක තමයි අපි දෙන්නා කළේ. දෙන්නටම වැඩිය කන්න එහෙම බෑ. දවසක් අපි දෙන්නා කන තැනට ආපු ජුන්ඩත් බය වුනා අපේ කෑම දැකලා. ඒකා බය වෙලා ඇහුවා "උඹලා දෙන්නා මෙච්චර කෑවද?" කියලා. ඒ වෙනකොට අපි සාර්ථක විදිහට කොකා කොලා ලීටර් එක හමාරකුයි කුකුලෙකුයි අල බැදවා පීරිසි තුන හතරකුයි ඉවර කරලා තිබ්බේ. බය වෙන්නේ නැද්ද ඉතින්.

ඔහොම ගිහිල්ලා එක දවසක් සෙනසුරාදා දවසක් කිංකිණි කතා කරලා කිව්වා එයාගේ යාළුවෙකුට උදව්වක් ඕන වෙලා තියෙනවා කියලා. කිංකිණිට තනියම යන්න බැහැ කියලා බර්ටිටත් එන්න කිව්වා. බර්ටිටත් ඉතින් ගෙදර ඉන්න බැරි අසනීපයක් තිබ්බා ඒ දවස් වල. ඒ වගේම ඉල්ලන් කෑමේ මාර ආසාවකුත් තිබ්බා. ඉතින් බර්ටියත් බෑ නොකියා වැඩේට එන්ටර් වුනා ඉතින්. අපි දෙන්නා නිට්ටඹුව බස් එකක නැගලා ගියා නිට්ටඹුවට ගියා. යන ගමන් තමයි බර්ටියා සම්පූර්ණ තොරණේ සම්පූර්ණ විස්තරේ දැන ගත්තේ. වැඩේ පොලීසි ගිහින් නවතින කේස් එකක්. කෙල්ලෙක්ව පන්නගෙන එන්න තමයි බර්ටියට තියෙන්නේ කිංකිණිත් එක්ක. සරලවම කිව්වොත් කිංකිණිගේ යාළුවට නර්සින් හම්බවෙලා. ‍කෙල්ලට කොල්ලෙකුත් ඉන්නවා. වෙලා තියෙන්නේ කෙල්ලගේ ගෙදරින් කැමති නෑ කොල්ලට. ඒ මදිවට කෙල්ලට ගෙදරින් ‍හරියට වෙනස් කමුත් කරනවාලු. නර්සින් පත්වීමත් දීලා නෑ මේකි කොහොම හරි ඒක දැනගෙන පත්වීම ගන්න ගිහිල්ලා තියෙනවා (අපි යාළුවට නදී කියමුකෝ මෙතන ඉදන්).

දැන් තියෙන්නේ පත්වීම බාරගන්න යන්න කෙල්ලව අරන් යන්න. වැඩේ බර්ටියා හිතුවාට වඩා කිරිමිනල් කේස් එකක්. තරමක් හයානකයි. නිට්ටඹුවට ගියහම කෙල්ලගේ කොල්ලයි යාළුවෙකුයි ඇවිල්ලා හිටියා වෑන් එකක. දැන් වැඩේට යන්න තියෙන්නේ බර්ටියාටයි කිංකිණිටයි කොල්ලගේ යාළුවාටයි. ඉතින් අපි තුන්දෙනා වෑන් එකේ නැගලා කළගෙඩිහේන පැත්තේ කැලෑවක තියෙන කෙල්ලගේ ගෙදරට ගියා. අපි හිතන් හිටියේ ගෙදරට ගියා කෙල්ලගේ බඩු බෑග් දෙක නැත්නම් තුන වෑන් එකට දාගත්තා මාරු වුනා කියලා. අම්මට සිරිවෙන්න කියන්නේ නදීගේ ගෙදර යනකොට ඒකී බඩු කන්දරාවක් එ‍ළිය‍ේ ගොඩ ගහලා. කෙල්ලගේ තාත්තත් බැන ‍බැන එළියේ ඉන්නවා. අපි ගියා විතරයි තාත්තගේ බැනිල්ල දෙගුණ වුනා. දැන් අපිටත් බනිනවා. මළ කෙළියයි කෙළ බාල්දියයි ටිකයි කිව්වලු.

දැන් අපි දෙන්නා බැනුම් අහ අහා වෑන් එ‍කට බඩු පටවනවා. ඒ අස්සේ කොල්ලගේ යාළුවා වැඩෙන් බේරුණා මෑන් ආවේ හයර් එකට එකට කියලා. මුගේ ආච්චිට හාල් ගරන්න එපායැ ඉතින්. මුත් කියවනවා මමත් මෙහෙම දෙයක් දැනගෙන ආවේ නෑ. මෙහෙම එකක් දන්නවා නම් හයර් එක එන්නෙත් නෑ. මට දැන් මූව ලුණු මිරිස් හදන්න තරම් කේන්තියි. මොනවා කරන්නද මේවා ඉල්ලන් කන චීස් නේ. ටැප් තිබ්බට බර්ටියා ඇදගෙනමනේ නාන්නේ. ‍ටිකකින් නදීගේ තාත්තා ගිහිල්ලා ඒකිගේ පොඩි අක්කවත් එක්කගෙන එනවා. ඒ අම්මණ්ඩිත් දැන් මෙතන දෙක කරනවා. කෙල්ලගේ තාත්තා ගිහිල්ලා තියෙන්නේ අක්කාගේ මිනිහව අරන් එන්න. අපේ හොද වෙලාවට ඒකා ගෙදර ඉදලා නෑ. නැත්තම් අත පය මාසජ් කරගන්නත් තිබ්බා නො‍මිලේම. කොහොම හරි බඩු ටික වාහනේට දාලා කෙල්ලවත් දාගෙන එන්න එනකොට කෙල්ලගේ තාත්තා කියපි මේ කරන ඒවට ඔය ළමයි දෙන්නටත් පටිසන් දෙනවා කියලා. කිරි අප්පාට බල්ලෝම පැනපි. උදව් කරන්න ඇවිල්ලා බර්ටියා අහගන්න දේවල්. කොච්චර වුනත් කෙල්‍ලගේ තාත්තා හොද මනුස්සා. මොකද ඒ මනුස්සයා කොයිම වෙලාවකවත් අපි දෙන්නට කුණු හරුපයක් කියලා නම් බැන්නේ නෑ. හොද දේ හොදයි කියන්න එපායෑ මොකා වුනත්.

ක‍ළගෙඩිහේනේ හන්දියට ඇවිල්ලා ‍නදීගේ කොල්ලවත් නග්ග ගත්තා වෑන් එකට. දැන් කිංකිණිගේ කල්පනාව මුන් දෙන්නව කසාද බන්දන්න ‍(මේකිටත් ඕනේ නැති රෙද්දක් නෑනේ. උන් දෙන්නට බදින්න බැරි නම් මධු සමය ගත කරන්න ගියාම බර්ටියාට මොකද?) ඒ පාර ඒ වැ‍ඩේට වීදීය වත්තේ ඉන්න විවාහ රෙජිස්ටාර් ගාවට අාවා. සෙනසුරාදා නිසා ඒ වැඩේ හරි ගියේ නෑ. ඒ පාර අපි ආපහු නිට්ටඹුවට ගියා. නිට්ටඔුවේ කඩේකට ගිහිල්ලා මුන් දෙන්නා අපිට කන්න කියලා වඩේ දෙකක්ම අරන් දුන්නා. තව මතක් වෙන්න කියලා සත පහකට වැඩක් නැති කී ටැග් දෙකකුත් දීලා උන් තුන්දෙනා යන්න ගියා. මුන් දෙන්නා ‍වගේ ලේසියට තමන්ගේ වැඩේ කරගත්තාට පස්සේ උදව් කරපු මිනිස්සු අමතක කරපු කෙනෙක් එතකන් බර්ටියා දැකලා තිබ්බබේ නෑ.

ඔය සිද්ධිය ඉවර වුනාට පස්සේ බර්ටියයි කිංකිණියි අරුන්ගේ හත්මුතු පරම්පරාවට බැණ බැණ ගම්පහට ඇවිල්ලා KRFC කුඩු වෙන්න කාලා ගෙවල් වලට ගියා. හොදම කතාව කියන්නේ එදායින් පස්සේ අරුන් දෙන්නා කිසිම දවසක කිංකිණිට කෝල් එකක් වත් නොදීපු එකයි. අපේ මිනිස්සුන්ට අනිත් කෙනෙක් කරන උදව්වක් අමතක වෙන්න වැඩි දවසක් යන්නේ නෑ. අපි අමුතුම ජාතියක් කියන්නේ ඒකයි. එහෙනම් අදට ඇති. පස්සේ දවසක හමුවෙමු.

No comments: