අම්පාරට පළමු වරට

බර්ටියට පුළුවන්කමක් තියෙනවා නම් රස්සාවක් නොකර ඉන්න (ඇත්තටම එහෙම කරන්න නම් කවදාවත් පුළුවන් වෙයිද දන්නේ නෑ) බර්ටියා ඇවිදින්න පටන් ගන්නවා ලංකාව පුරාමත් ඊට පස්සේ ලෝකේ වටේමත්. බර්ටියාට ලොකු ආසාවක් තියෙනවා රුසියාව පැත්තේ කරක් ගහලා එන්න. බර්ටියාට රුසියාවට ගියොත් නොවරදවාම ලෙනින්ගේ ‍මිනිය බලන්නයි ටොල්ස්ටොයිගේ සොහොන බලන්නයි යනවා. එතකොට ඊජිප්තුවත් බර්ටියාගේ ලැයිස්තුවේ තියෙන එක රටක් තමක්. ලංකාව ගැන කතා කරන කොට බර්ටියට ලංකාවේ ගොඩක් තැන් වල ඇවිදින්න වාසනාව ලැබිලා තියෙනවා (ඇවිදින්න නොලැබුණු තැනුත් බොහොමයි). මේ තැන් අතරින් බර්ටියා වැඩියම කැමති අම්පාරේ කහටගස්යාය පැත්තේ රවුම් ගහන්න. ගම දිගේ කැළැව ඇතුලට ගිහිල්ලා දවසක් දෙකක් සම්පුර්ණයෙන්ම ස්භාදහමත් එක්ක එකතු වෙන අවස්තාව මේ ගමන් වලින් ලැබෙනවා. එයින් බර්ටියා ලබන වින්දනය අපූරුයි. ඒක වචන වලින් කියලා විස්තර කරන්න බෑ.

බර්ටියාට කහටගස්යායේ යන්න අවස්තාව ලැබුනේ බර්ටියාගේ ළගම මිතුරෙක් ‍වන මලිත නිසා. මලිතයා 1995 විතර ඉදන් අම්පාරේ කහටගස්යායට යනවා එනවා. මලිතයා කියන විදිහට ඒ දවස් කැලේ මැද්දෙන් වැටුණු අඩි පාරක් ‍දිගේ කිලෝ මීටර් පහක් හයක දුරක් අලිත් එක්ක හිනාවෙවි මලිතයා ඇවිල්ලා තියෙනවා. අලි විතරක් නෙමෙයි ඒ දවස් වල කො‍ටි කරදරත් (කකුල් දෙකේ කොටි) අඩුවක් නැතිවම තිබිලා තියෙනවා. එහෙම යන එන ත්‍රාසය විදගන්න බර්ටියාට නම් ලැබුනේ නෑ. මලිතයාව අඳුර ගත්ත කාලේ ඉදලා මලිතයා අම්පාර ගැන කියන විස්තර බර්ටියා අහන් ඉදලා තියෙනවා. මලිතයා කැම්පස් එකේ හිටපු කට්ටියෙන් කීප දෙනෙක්වම අම්පාරේ එක්කන් ගියත් 2007 වෙනකම් බර්ටියාට ඒ අවස්තාව ලැබුනේ නෑ.

කොහොම හරි කාලය ගතවෙලා ගිහිල්ලා 2007 වසරේ මුල් බාගයේදි වගේ (හරියටම දින වකවානු කියන්න නම් මතකයක් නෑ) ඉස්සෙල්ලාම අම්පාරේ යන්න අවස්තාවක් බර්ටියාට ලැබුණා. මලිතයගෙත් තියෙන්නේ හරි හදිස්සි වැඩ නිසා දවසක් හැන්දෑවක් මලිතයා කතා කරලා ඇහුවා හෙට අම්පාරේ යන්න පුළුවන්ද කියලා. බර්ටියට ඉතින් ගමන් යනකොට එරෙහි වන එකම දෙය ආර්ථිකය තමයි. හැබැයි ඒ වේලාවේ නම් යන්න පුළුවන් කමක් බර්ටියාට තිබ්බා. ඒ හෙට උදේ යමු කියලා මට කොළඹ එන්න ‍කිව්වා 10 ට විතර. ගෙදරින් අවසර ගැනීමේ ගැටළු මේ වෙනකොට බර්ටියාට නොතිබ්බ නිසා බර්ටියත් පහුවදා උදේ 10 වෙනකොට පිටකොටුවේ මධ්‍යම බස් නැවතුමේ හිටියා ඇදුම් කෑලි දෙකකුත් බෑග් එකක දාගෙන. මලිතයයි මායි අම්පාරට යන C.T.B එකක නැගලා වාඩිවුනා. නුවරත් පහු කරගෙන රජ මාවත හරහා බස් එක අම්පාර බලා ගමන් කරනවා.

අද වගේ නෙමෙයි ඒ දවස් වල තැනින් තැන චෙක් පොයින්ට් තියෙනවා පොලීසියෙනුයි ආමි එකෙනුයි ඉන්න. ඒවායේ බස් නවත්තලා බෑග් උස්සගෙන චෙක් පොයින්ට් එකට යන්න ඕන‍. පොලීසීයේ හරි ආමි එකේ එකේ හරි මහත්තුරු සර්වාංගෙම අතගාලා යන්න දුන්නට පසසේ ආයේ ගිහිල්ලා බස් එකට නගින්න ඕන. මහ ඔය හන්දියේ ලොකු චෙක් පොයින්ට් එකක් තිබ්බා ඒ දවස් වල. එතනින් එහාට පාර පාළු පාටයි. ‍‍මෝටාර් වැදිච්ච වෙඩි වැදිච්ච ගෙවල් වල බිත්තිත් පාර දෙපැත්තේ දකින්න පුළුවන්. මේ ‍ඔක්කොම බර්ටියාට අළුත් දේවල් වුනා‍. කොහොම හරි STF එකේ සෙට් එකකුත් බස් එකට නැග්ගා මහ ඔයෙන්. අපි දෙන්නා ඒ දෙන්නෙකු අපේ ෂිට් දෙක දීලා හිටගෙන ආවා මොකද වාඩි වෙලා ඇවිල්ලාම අපේ පශ්චාත් බාගය අැදුම් දෙනවා ඒ වෙනකොට. අම්පාර කිව්වට අපිට ඇත්තටම බහින්න තියෙන්නේ අම්පාරට කිලෝමීටර 16 විතර මෙහායින් තියෙන උහන කියන ටවුන් එකෙන්. හවස 4.00 විතර අපි දෙන්නා උහන ටවුන් එකෙන් බැහැගත්තා. ඊට පස්සේ මලිතයාගේ කහටගස්යායේ යාළුවට හම්බවෙන්න ගියා උහන පොලීසියට. යාළුවාගේ නම මනතුංග‍. ඒකා ඒ දවස් වල සිවිල් ආරක්ෂක සේවයේ වැඩ කලේ. ඒකගේ වැඩ ඉවර වෙන්නේ 5.30 කියලා අපිට එතකම් ඉන්න කිව්වා. මොකද ඒ දවස් වල කහටගස්යායට යන්න බස් එකක් වත් තිබ්බේ නෑ. අපිට මනයත් එක්ක බයික් එකක තමයි යන්න තිබ්බේ.

දැන් ඉතින් 5.30 වෙනකම් ඉන්න එපායෑ. අපි දෙන්නා ගියා උහනේ ටවුන් එකේ ඇවිදින්න. ඒ පාර මලිතයා ඉදන් කිව්වා මචං බෝතලයක් අරන් යමු කියලා. ඉතින් අපි දෙන්නා තීරණය කළා අළුත් දෙයක් විදිහට වොඩ්කා (Smirnoff vodka) බෝතලක් ගෙනියන්න. ගැටළුව වුනේ අපි හොයන වොඩ්කා එක උහනේ තියෙයිද කියන එකයි. උහනට බාර් තුනමයි තියෙන්නේ. එකක් උහන ටවුන් එකට කිලෝමීටරයක් විතර මෙහායින්. ඉස්සෙල්ලාම ඒ බාර් එකට ගිහිල්ලා බැලුවා, බඩු නෑ එකේ. එතන ඉදන් ආපහු ටවුන් එකට එන ගමන් කෙහෙල් ඇවරියක් ගත්තා ලෑලි තට්ටුවකින්. දැන් කෙහෙල් ගෙඩිත් කකා අපි දෙන්නා එනවා. එතකොට පාරේ අයිනේ පේර ගස් දෙක තුනක් තිබ්බා පේර පිරිච්ච. විනාඩි දෙකයි ගියේ ගස් වල තිබ්බා පේර අපේ අමාශගත වුනා. දෙන්නටම ලැජ්ජාවක් කියන කාරණයක් තිබ්බේ නෑනේ. කොහොමටත් කන බොන දේවල් වලදී අපි දෙන්නාටම ලැජ්ජාවක් කියන එකක් ගෑවිලාවත් තිබ්බේ නෑ. හැබැයි බර්ටියාගේ ස්වරූපය නම් අම්පාරේ මිනිස්සුන්ට පුදුම සහගත දර්ශනයක් වුනා. ඒක ගැන බර්ටියා විස්තර කියන්න යන්නේ නෑ.

‍ කෙහෙල් ගෙඩියි පේරයි කකා ගියා ටවුමෙන් පොඩ්ඩක් එහාට වෙන්න තියෙන බාර් එකට. ඒක වහලා. ඉතින් ආපහු හැරිලා එනකොට ළඟ තිබ්බ පෙට්ටි කඩයක වඩෙයි පැටිසුයි තියෙනවා දැකලා අපි දෙන්නා එතනට පාත් වුනා. උණු උණු බඩු. කඩේ හිටපු වයසක සීයා එක්ක කතාවකුත් දාගෙන එක්කෙනා කෑලී 10 කට 12 කට වග කිව්වා. හැබැයි රුපියල් 150 අපිට වියදම් වුනේ. ඊට පස්සේ ටවුන් එකේ තියෙන අවසාන බාර් එක හොයාගෙන ගියා. වෙලාවටම අවසාන බාර් එකේ අවසාන Smirnoff බෝතලේ අපි වෙනුවෙන් ඉතිරි වෙලා තිබ්බා. එතන තිබ්බ බඩු කඩෙකින් සැන්ඩි වලට Sunquick Orange & Apricot බෝතලයකුත් අපි අරගෙන අපි දෙන්නා පොලීසිය පැත්තට පා වුනා නැවත වරක්. ඒ යනකොට මනයත් වැඩ කරලා ඉවරයි. අනේ ඉතින් තුන්දෙනාම තව පැය බාගයක් විතර බලන් හිටියා මනයගේ යාළුවෙක් එනකම් මොකද අපි තුන්දෙනාටම එක බයික් එකේ යන්න අමාරු නිසා. කොහොම හරි යාළුවා ආවහම තුන්දෙනාම කහටගස්යායට එන්න පිටත් වුනා. අම්මෝ යනවා යනවා ඉවරයක් නෑ. කොහොම හරි ෂටල් එක, අලි වංගුව පහුකරගෙන අපි කහටගස්යායට ආවා.

ඒ දවස් වල පායන කාලේ. වතුරත් නෑ. මග දිය පාරක් ගාව නවත්තලා මනයයි මනයගේ යාළුවයි නාන්න ගත්තා. වතුර පාරේ වලක් හාරලා එකෙන් එන වතුරෙන් තමයි නෑවේ‍. කොහොම හරි ඒ නාන විදිහ බර්ටියාට දිරෙව්වේ නැති නිසා බර්ටියා නෑවේ නෑ ඒ වෙලවේ‍. කොහොම හරි නාලා ඉවර වෙලා අපි මනයගේ ගෙදරට ගියා. ඒ දවස් වල ඒ හරියට විදුලිය නෑ‍. ඉර එළියෙන් තමයි රෑට ලයිට් දාන්නේ (Solar Cells). රෑට කෑම කන්න කලින් මනයා බර්ටියාවයි මලිතයාවයි ‍දඹේ ඇලට එක්ක ගියා නාගන්න. එකෙත් එච්චර වතුර තිබ්බේ නෑ. ඒත් අපිට කරදරයක් නැතුව නාගන්න පුළුවන් වුනා. ගෙදර ගිහිල්ලා රෑට දඩ බත් එකක් ගිලලා දාලා අපි දෙන්නා නිදා ගත්තා පහුවදා උදේ 7 විතර වෙනකම්.

පහුවදා උදේ නැගිටලා මූණත් නොසෝදම එළියට බැහැලා අහල පහළ මලිතයා අදුරන තැන් වලට ගියා. කොහොමහරි ඔය වටේ පිටේ කැරකිලා මූණ කටත් හෝදගෙන මනයත් එක්ක මනයගේ හේන පැත්තේ ගියා. අප්පා ඒ යෑම නම් මාර අමාරු වුනා. කටු අකුල් අස්සෙන් රිංගගෙන මඩ ගොඩවල් උඩින් වැටි වැටි බොහොම අමාරු යෑමක් තමයි බර්ටියා ගියේ. මලිතයාට නම් ඒච්චර ගාණක් තිබ්බේ නෑ ඒකා මේ වායේ බඩ ගාලා පුරුදු නිසා. හේනට ගිහිල්ලා කරවිල වගයකුත් හොයාගෙන (ඒ කරවිල වලට කියන්නේ ගෙඩි කරවිල කියලා. බර්ටියා ඒවා දැක්කේ එදාමයි) හේනේ තිබ්බ කොටයක් උඩට වෙලා චැට් එකක් දාගෙන හිටියා.

එහෙම ඉදලා එන ගමන් අපිට වැසිකිලි යමේ දැඩි අවශ්‍යතාවයක් ඇති වුනා. ඒ දවස් වල එහේ වැඩිය වැසිකිලි නෑ. ඔය කැලේට යාම තමයි වැඩිපුර කරන්නේ. බර්ටියාටත් මේක අළුත් අත්දැකීමක්. ඒකත් විදගන්න එපායැ ඉතින්. ඒක නිසා අපි දඹේ ඇළ දිගේ ඉහලට ඇවිදගෙන ගියා අපේ රාජකාරියට සුදුසු ස්ථානයක් හොයාගෙන. කොහොමහරි තැනක් හොයාගෙන හුළං වැදි වැදි චැට් එකකුත් දාගෙන ඒ වැඩෙත් කරගෙන ඇළ දිගේම ආපහු මහපාර පැත්තට යන්න පටන් ගත්තා.

මලිතයාගේ සරම තාම කරේ. වටේටම නොමිලේ ෂෝ එකක් පෙන්න ගෙන තමයි ඒකා ගියේ. (හොද වෙලාවට ඒ හරිය කැලේ වුනේ නැත්නම් මිනිස්සු බය වෙන්නේ මහසෝනා දවාලේ ඇවිදින් කියලා). ඔහොම යනකොට එක පාරටම මිනිහෙක් හිටියා දොළපාරේ. මිනිහා කළුවට කළුමේ උපන් ඇදුමින්ම ආව මලිතයා දැකලා බය වෙලා ඇස් උඩට ගියා. බර්ටියාව දැක්කත් ඒ සෙතේ තමයි. බර්ටියා සුදුවට සුදුවේ දඩ සයිස් නේ ඉතින්. හැබැයි බර්ටියා ඇඳුම් ඇදගෙන හිටියේ. මේකා බයවෙලා දුවන්න කළින් මනයා පැනලා කතා කළා. බලනකොට මෑන් කුකුල් පැටව් විකුණන පොරක්. ඒ දවස් වල රස්නේ වැඩි නිසා කුකුල් පැටව් ටිකට වතුර පොවන්න ඈළට ගෙනල්ලා. කොහොම වුනත් මිනිහා බය වෙච්ච පාරට වතුර පෙව්වායින් ‍නොපෙව්වායින් කුකුළ් පැටව් ටිකත් අරන් මිනිහා මාරු වුනා.

කොහොම හරි දවල් 2ට විතර අපි ආපහු ගෙදර ගියා. ඇත්තටම කි‍ව්වොත් මේ පරිසරය බර්ටියාගේ හිතට තදින් අල්ලලා ගියා. රස්නේ තිබ්බට පරිසරය හරීම සුන්දරයි. මෙහෙ වගේ දූවිලි පිරිලා වාහන වල සද්දෙන් ගොරහැඩි වෙලා නෑ. විදුලිය නෑ කියන එක ඒ දවස් වල අපිට එච්චර දැනුනෙත් නෑ. පරිසරය විතරක් නෙමෙයි මනතුංග‍ේ යාළුකමක් බර්ටියාගේ හිතට ඇල්ලුවා. රස්සාවේ ගැටළු නැත්තම් බර්ටියා අදට වුනත් ඉන්න කැමති තැනක් තමයි එහේ. දැනුත් අවුරද්දකට සැරයක්වත් එහෙ ගිහිල්ලා එන්න බර්ටියා අමතක කරන්නේ නෑ.

හවස් වෙලා මනයයි රන්ජයි ෂෝට් ජයතිලකයි අපි දෙන්නායි අර අපි ගෙනාව වොඩ්කා බෝතලයට යුතුකම් ඉෂ්ඨ කරන්න එකතු වුනා. එහේ කට්ටියට අපි වොඩ්කා සන්කුවික් එක්ක බොනවා කිව්වහම මාර පුදුමයක් වුනා. එහෙ කට්ටියට පුරුදු ගල් ගහලා තමයි. මලිතයා කොහොමටත් ගල් ගහන්නේ නෑ. බර්ටියත් ගල් බීලම නෑ. කොහොම වුනත් බෝතලේ තිබ්බ ඒවායින් බින්දුවක්වත් අහක ගියේ නම් නෑ. බෝතලෙත් ඉවර කරලා වල්පල් මහ ගොඩකුත් දොඩවලා 11.00 විතර අපි නිදා ගත්තා. පහුවදා ආපහු එන්නත් එපායෑ.

පහුවදා 10.00 විතර මනයයි තවත් කව්රු හරි එක්කයි මෝටර් සයිකල් දෙකක නැගලා අපි දෙන්නා උහන හන්දියට ආවා අනුරාධපුරේ ඉදන් අම්පාරට යන බස් එක අල්ල ගන්න. අම්පාරට යන අතර තුරදි චෙක් පොයින්ට් දෙකක බස් එක නවත්තලා අපේ අහවල් ඒවා අතගාලා චෙක් කලා. එකේ අම්පාරට ගිහිල්ලා බැලුව කෙළින්ම කොළඹ යන්න බස් එකක් නෑ. ඒ පාර දෙහිඅත්ත කණ්ඩිය බස් එකකද කොහෙද නැගලා මහියංගණයට ඇවිල්ලා එතනින් නුවරට ආවා. එතනින් තමයි කොළඹ බස් එකක් ගත්තේ. මම යක්කලින් බැහැ ගත්තා. මලිතයා දිගටම කොළඹ ගියා බෝඩිමට යන්න.

අම්පාර උහන කහටගස්යාය බර්ටියාගේ ජීවිතයට මිහිරි මතකයන් එකතු කරපු තැනක්. ලබපු අළුත් අත්දැකීම් අනන්තයි අප්‍රමාණයි. ජීවිතය අළුත් යා‍ළුවෝ කට්ටියක් අඳුරගන්නත් ලැබුණා. ඒ වගේම පරිසරයේ විශ්මිත සුන්දරත්වය. ඒවා ගැන විස්තර කරන්න වචන නෑ. ඒ දේවල් බර්ටියාගේ ජීවිතයට දායක කළ මලිතයාට බර්ටියාගේ හද පිරි ස්තුතිය‍. අම්පාර එක්ක බැදුන කතා කීපයක්ම තියෙනවා. ඒවා හෙමින් සැරේ මේකට එකතු කරන්නම්. අද බ්ලොග් සටහනනම් තරමක් දිග එකක් වුනා. කමක් නෑ. බර්ටියාට බැණ බැණ කියවන්න බැරියැ. ටටා එහෙනම්.

No comments: