කසාදය-දික් - P-1

පාන්දර 5.00 හේ කනිසමට බෙල් එක වදිනවත් එක්කම සචින්ත ඇදෙන් බිමට බැස්සා. බැස්සත් නෙමෙයි පැන්නා වගේ තමයි. වෙනදා නම් බෙල් කීයක් වැදුනත් අම්මා ඇවිල්ලා ඇහැරවනකම් සචින්ත නැගිටින්නේ නෑ. කවදාවත්ම නැතුව දත් බුරුසුවත් කටේ ගහගෙන කුස්සිය පැත්තට එන සචින්තව දැක්කහම සචින්තගේ අම්මත් පොඩ්ඩක් කලබල නොවුනාම නෙමෙයි. ඒත් ඒ වගක් නොපෙන්වා "ඇයි පුතේ මේ උදෙන්ම ඇහැරිලා? නෑ අම්මේ අද උදේම මට විභාගයක් තියෙනවා, පරක්කු වුනොත් වෙලවට යන්න බැරිවෙනවා කිව්ව සචින්ත නාන කාමරේට වැදුනා. අම්මත් ඉක්මන් කරලා උයන්න ගත්තා. මොකද සචින්තට කෑම එක ලෑස්ති කරලා දෙන්න ඕන නිසා.

සචින්ත විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. රසායන විද්‍යාව හා උද්හිද විද්‍යාව තමයි සචින්තගේ ප්‍රියතම විෂයන් වුනේ. ඒකෙනුත් රසායන විද්‍යාවට සචින්ත විශේෂ ඇල්මක් හැකියාවක් දැක්වුවා. ඇත්තම කිව්වොත් මේ වේලාසනින් නැගිටිමට හේතුව එහෙම නැත්නම් මේ වෙනසට හේතුව ගෑණු ළමයෙක්. මීට සති දෙකකට කළින් තමයි විවෘතෙට අළුතෙන් ළමයි බදවා ගත්තේ. කැම්පස් වචන වලින් කිව්වොත් අළුත් නැවක් ආවේ. මේ නැවේ හිටපු කෙලිපැටික්කියකට සචින්තගේ හිත ගිහිල්ලයි තිබ්බේ. මේක කියාගන්න ක්‍රමයක් නැතුව තමයි මේ දවස් වල සචින්ත ලත වෙන්නේ. සචින්තගේ යාළුවෝ ටිකටවත් තාම සචින්ත මේ ගැන කියලා නෑ. කිව්වොත් නම් කට්ටිය උඩින් උදව් කරයි. හැබැයි ඉතින් අම්බානකට බයිට් වෙන්න වෙනවා. විගේෂයෙන්ම බර්ටියාගෙන්. ඒත් දැන්නම් සචින්තට වෙන විසදුමක් නෑ වගේ. අද නම් යාළුවොත් එක්ක විස්තරේ කියන්න හිතාගෙනයි තමයි සචින්ත ගෙදරින් ආවේ.

ඔක්කොටම කළින් උදේම මල්ෂිගේ මූණ බලලා ඉන්න ඕන කියලා සචින්ත තීරණය කරලා හෙමින් සැරේ ඉස්සරහා ගේට්ටුව පැත්තට ඇදුනා. සචින්තට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ, මල්ෂි එනවා උදේම සුරංඟනාවියක් වගේ. සචින්තව දැකපු මල්ෂි මලක් වගේ හිනාවෙලා "ගුඩ් මො(ර්)නින් සචින්ත අයියේ" කිව්වා. සචින්තගේ හිතේ ඇතිවෙච්ච සතුට කියලා නිම කරන්න බෑ. සචින්තත් බොහොම ආදර බර හිනාවක් දාලා "ගුඩ් මො(ර්)නින්" කියලා කිව්වා.

"අඩේ උඹ අපිටත් නොකියා පැණි හලන්න ගත්තා නේද?" ඒ බර්ටියාගේ බෝක්කු කට. සචින්තගේ යාළුවෝ සෙට් එක හොරෙන් ඔක්කොම බලන් ඉදලා. "හරි හරි බන් දැන් ඔය මදැ. මූට මල්ෂිව සෙට් කරලා දෙන්න ක්‍රමයක් බලමු". ඒ හඩ නිමන්තගේ සචින්තගේ ඉස්කෝලේ පරණ යාළුවෙක්. සචින්ත නම් බර්ටියාව නම් අඳුරගත්තේ කැම්පස් ආවට පස්සේ. මෙතන තව හිටියා සචින්තගේ කණ්ඩායමේ මනීෂයි හංසියි. ඊට අමතරව සචින්තගේ තවත් ඉස්කෝලේ යාළුවෙක් වෙච්ච චතුරයි චතුරගේ ගෑණු ළමයා වන ශම්මියි. ඒ ඇරුණහම ලෝ පැකල්ටියේ ප්‍රසන්න අයියත් මෙතන හිටියා.

තොපි කල්පනා කරන කොට බැරියෑ. මං කියන්න නම් වැඩක්? ඒ යොජනාව බර්ටියාගෙන්. බර්ටියා ඔය වගේ නුල් සූත්තර වැඩ වලට දක්ෂයි කොහොමටත්. මචං ලබන සතියේ අපි කෙමිස්ට්‍රි වලට කුප්පියක් දාමු. අනිවා මල්ෂිත් ඒවි කුප්පියට (කුප්පිය කියන්නේ නොමිලේ කරන ටියුෂන් එකක් වගේ වැඩක්). කුප්පිය ඉවර වුනහම අනිත් සෙට් එක යවලා මුන් දෙන්නව තනි කරමු. සචියා උඹ ගිහින් කෙල්ලගෙන් අහපන් තේරෙන්නෙ නැති මොනවා හරි තියෙනවාද කියලා. ඒකිගේ යාළුවෝ ටික අයින් කරන එක මං බලා ගන්නම් බර්ටියා එහෙම කිව්වා. ඒ වැඩේ අවුලක් පේන්න තිබ්බේ නැති නිසා අනිත් හැමෝමත් ඒ වැඩේට කැමති වුනා.

"හිටපන් අපි අදම කුප්පිය තියෙනවා කියලා පොස්ටර් එකක් ගහමු. මේවා කල් දදා ඉන්න ඕන වැඩ නෙවෙයි. මලිතයා හොයාගත්තා නම් වැඩේ පටස් ගාලා ගොඩ දාගන්න පුළුවන්" කියන ගමන් බර්ටියා යුනියන් එක පැත්තට හැරුණා.

කට්ටිය ප්ලැන් කරපු විදිහට වැඩ ටික හරියටම සිද්ධ වුනා. මල්ෂිවයි සචින්තවයි අයිනක තිබ්බ බෙන්ච් එකක තනි කරලා සචින්තගේ යාළුවො ටික යන්න ගියා. මල්ෂිගේ යාළුවෝ ටිකෙන් මල්ෂිව තනි කරන එක ඒ හැටි අමාරු වැඩක් නොවුනේ තාම රැග් සීසන් එක නිසා. අළුත් කව්රුත් තාමත් බයයි ජේෂ්ඨ උත්තමයින්ට. පැයකට විතර පස්සේ සචින්ත යාළුවෝ ටික හොයාගෙන ගියා. කට්ටිය කැන්ටිමේ තේ බොනවා. මොකද සචියා වුනේ? ඒ ප්‍රශ්නේ හංසිගෙන්. මුකුත් නෑ බන් ඒ සචින්තගේ උත්තරේ. මොන මඟුලක්ද බන් තොපි දෙන්නා පැයක් තිස්සේ බෙන්ච් එක උඩට වෙලා කළේ? ඒ පාර චතුරයා ඇහුවා. අපි කෙමෙස්ට්‍රි ගැන කතා කලා බන්. යකො තොට කෙමෙස්ට්‍රි ගැන කතා කරන්න අපි මෙච්චර මහන්සි වෙලා උඹවයි ඒකිවයි බංකුවක වාඩි කරන්න ඕනේද? නිමන්තට අම්බානකට තදවෙලා. මොනවා කරන්නද බන් මට ඒක අහගන්න තරම් හයියක් තිබ්බේ නෑ. අනිත් පාර අහපන් බන්. නැත්නම් උඹේ මධු සමය ගත කරන්නත් අපිට එන්න වෙයි. අපි යමු දැන් හොදටම හැන්දෑ වෙලා, මට එලීෂව එක්කගෙන යන්නත් තියෙනවා නුගේගොඩට කිව්ව බර්ටියා බෙන්ච් එකෙන් නැගිට්ටා.

ඔය අලකලංචි අස්සේ අප්‍රේල් මාසේ උදාවෙලා කැම්පස් එකේ අවුරුදු උත්සවය අත ළඟටම ආවා. කට්ටිය එදා හොදට විනෝද වුනා තරඟ වලට සහබාගී වෙලා. කට්ටියටම තිබ්බ වැදගත්ම වැඩේ තමයි සචින්තවයි මල්ෂිවයි තරඟ වලට ඇතුලත් කරන එක. බර්ටියත් අවුරුදු උත්සවයේ සංවිධායක කමිටුවේ හිටපු නිසා සචින්තගේ යාළුවන්ට මේ වැඩේ ලේසි වුනා. ඉදි කට්ටට නූල දැමීම, යෝගට් කෑම වැනි තරඟ වලට සචින්තටයි මල්ෂිටයි එකට සහබාගි වෙන්න ඉඩ ලැබුණා. මේකෙන් දෙන්නගේම හිත් වල තිබ්බ බය අයින් වෙලා කිට්ටුවෙන් ඇසුරු කිරීමේ අවස්තාව ලැබුණා. සචින්තට නම් කළින් ගෑනූ ළමයෙක් ඉදලා තිබ්බේ නෑ. දන්න තරමින් මල්ෂිටත් එහෙමයි. ඒක නිසා දෙන්නම අර නන්දා මාලිනී මහත්මියගේ සිංදුවක කියනවා වගේ "ආදරයේ කෝඩුකාරයෝ" වුනා. දැන්නම් සචින්තගේ ආදරය මල්ෂිට කියන්න හොදම කාලේ. මොකද තව දුර ගියොත් මේ කතාව අති උත්තම පරම පිවිතුරු සහෝදර ප්‍රේමයක් වෙන්න ඉඩ තිබ්බ නිසා. යාළුවෝ ටික කතා වෙලා ඊළඟ කුප්පිය තිබ්බ දවසට මල්ෂිට ආදරය ප්‍රකාශ කරන්න සචින්තට බල කලා. සචින්තටත් මේ විදිහට ඉදලා ඇති වෙලා තිබ්බේ. ඒක නිසා ඊළඟ දවසේ මල්ෂිට ආදෙරයි කියන්න සචින්තත් හිතා ගත්තා.

ඊළඟ සතියේ කෙමෙස්ට්‍රි කුප්පිය ඉවර වුනහම මල්ෂිගේ යාළුවො ටික වෙනදා වගේ නැතුව මල්ෂිව බලෙන්ම වගේ සචින්ත එක්ක දාලා ගියා. එදා නම් සචින්තගේ යාළුවො ටික සචින්තලව පෙනෙන නොපෙනෙන දුරින් නැවතිලා හිටියේ. සචින්තට මල්ෂිගෙන් ආදරය ගැන අහන්න බැරි වුනොත් හංසියි මනීෂයි යවලා වැඩේ ගොඩදාන්න තමයි කට්ටිය හිතාගෙන හිටියේ. පැයකට වඩා ගියත් සචින්තයා නැති නිසා කට්ටියා ඒ පැත්තට ගියා. කවුරුවත් නෑ දෙන්න හිටපු තැන. බලපන් ළඟ තියෙන පදුරු ටික හොල්ලලා, මුන් දෙන්නා ඇතුලෙද කියලා. මොනවද බර්ටි ඔයා කියන කතා. සචින්ත එහෙම ළමයෙක් නෙමෙයි ඒ දොස් මුරේ හංසිගෙන්. හරි හරි සචින්ත එහෙම නොවෙන්න පුළුවන්. ඒත මල්ෂි ගැන අපි දන්නේ නෑනේ. බර්ටියට ඕක කියලා කට ගන්න හම්බවුනේ නෑ. මොනවද බර්ටි අයියා ඔයා කියන කැත කතා ඒ සද්දේ එලීෂාගේ. බර්ටියාගේ ගෑණු ළමයා. ඒක තමයි බලන්න නංගි ඔයාවත් මෙයාට කියන ඔහොම කතා කියන්න එපා කියලා. අපි කියන දේ ගනන් ගන්නේ නෑ, මනීෂා හෝ ගාලා ගින්නට පිදුරු දාන්න ගත්තා. හරි හරි ඔය මදැ කට්ටියම අපි දැන් අපේ බෙන්ච් එකට යමු. සචින්ත එතනට එයිනේ. එහෙම කිව්වේ ප්‍රසන්න අයියා.

කට්ටිය බෙන්ච් එකට යනකොට සචින්ත බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්නවා. කොහෙද බොල තෝ ගියේ ගත් කටටම බර්ටියා ඇහුවා. මම හිතුවා අදත් අහගන්න බැරි වෙල උඹ මැහි තෙල් බෝතලයක් ගන්න ගියා කියලා. සචින්තට බර්ටියාගෙන් ගැලවීමක් ඇත්තෙම නෑ. ඇත්තට සචින්ත මොකද වුනේ හංසි බොහොම උනන්දුවෙන් සචින්තගෙන් ඇහුවා. සචින්ත ඒකට උත්තරයක් දුන්නේ නෑ. ඔළුව උස්සලා හිනාවුනා මිසක්. ඒ හිනාව ඇතුලේ හංසි අහපු ප්‍රශ්නෙට උත්තරේ තිබ්බ විත්තිය එතන හිටපු හැමෝම දැක්කා. ඉතින් උඹ කොහෙද ගියේ? නිමන්ත අැහුවා. මම මල්ෂිව බස් එකට දාලා එන්න ගියා. යකෝ මේ ඩිංගට ඔච්චර දුර ගියාද? පිස්සු බෝල බෝල. මේ උඹ හනිමුන් ගියේ නෑ නේද? යමන් කැන්ටිමට අද උඹ ගානේ අපිට පා(ර්)ටියක් ඕනේ කියලා බර්ටියා සචින්තවත් ඇදගෙනම බෙන්ච් එකෙන් නැගිට්ටා. මට නම් තේ බීලා මදි බන්, බාගයක්වත් ගහමුද උඹ ගෙවලා බලන් ඉදපන් මං බොන්නම්. බර්ටියා කට වහන්නෙම නෑ අද. බොන්න? අප්පට සිරි ඒකත් එලීෂටත් ඇහිලා. ගෑණුන්ට සැටලයිට් කන්ද මන්දා තියෙන්නේ.

"මොනවා බොන්නද කොකා කොලා එකක් මිසක්", බර්ටියා ෂේප් වෙන්න හිතන් කිව්වත් එලීෂාගෙන් ගැලවීමක් ලැබුනේ නෑ. "කොකා කොලා බොන්න ඔහොම හොරෙන් හොරෙන් කතා කරන්න ඕනයෑ සචින්ත අයියත් එක්ක. මං අල්ල ගන්නම් කෝ". ඔය කතාවෙන් පස්සේ කට්ටියම හෙමින් සැරේ කැන්ටිමට ඇවිල්ලා තේ බීලා විසිරිලා ගියා.

කාලය ගතවෙලා ගියා. සචින්තගෙයි මල්ෂිගෙයි ආදර කතාව ගලාගෙන යනවා. මල්ෂි හිටියේ හෝමාගම පැත්තේ. ඒත් මල්ෂිගේ නැන්දා කෙනෙක් හිටියා බර්ටියලගේ ගෙවල් පැත්තේ ඒ කියන්නේ ගම්පහ පැත්තේ. සමහර දවස්වලට මල්ෂි එහේ ඉදලත් කැම්පස් ආවා. ඔය අතරතුර මේ ආදරය ගැන මල්ෂිගේ නැන්දට කියන්න වුවමනාවක් මල්ෂිට ඇති වුනා. සචින්ත ඒකට වැඩිය කැමැති වුනේ නෑ. තාම උපාධිය ඉවරත් නෑ රස්සාවකුත් නෑ. ඒ අස්සේ ගෙදරට ආදරයක් ගැන කිව්වහම තවත් ප්‍රශ්නනේ. සචින්තගේ අම්මට තියෙන කරදරත් එක්ත මේ වගේ දෙයක බරක් අම්මට දෙන්න සචින්ත කොහොමටවත් කැමති වුනේ නෑ. කොහොම හරි වැඩි දවසක් යන්න කළින් මල්ෂි තමන්ගේ ආදර කතාව නැන්දත් එක්ක කියලා තිබ්බා. නැන්දත් සචින්තව හම්බවෙන්න ඕන කිව්වා. මල්ෂිට තිබ්බ ආදරය නිසාම සචින්තත් අකමැත්තෙන් හරි ගිහිල්ලා මල්ෂිගේ නැන්දව හම්බවෙන්න තීරණය කළා. ඒක බොහොම සාමාන්‍ය කතා බහක් කියලයි සචින්ත යාළුවන්ට කිව්වේ.

මෙම නිර්මාණයේ එන සියළුම නම්, ගම් හා ස්ථාන බර්ටියාගේ කල්පිත මනසේ වල් බිහිවු ඒවා මිසක මෙම සත්‍ය සිදුවීමට අදාල ඒවා නොවේ. බර්ටියා විසින් සත්‍ය කතාවට ලුණු, ගොරකා, මිරිස් කුඩු, රම්පේ හා කරපිංචා වැනි රස කාරක එක් කරන ලදි.

No comments: