ආඳා හෙවත් ලොරියා

ආයුබෝවන් කිව්වා හැමදෙනාටම. ගොඩ දවසකට පස්සේ තමයි බර්ටියා බ්ලොග් සටහනක් ලියන්න ගත්තේ. සටහනක් ලියන්න ඕනකමක් තිබ්බත් කම්මැලිකම දුවගෙන පැනගෙන ඉස්සරට ආව නිසා ලිවිල්ල දවසින් දවස පස්සට ගියා. ඒත් ඉතින් නොලියත් බෑනේ. බැදගත්ත බෙරේ ගන්න එපායෑ. අනික අපේ ආඳා මල්ලි බර්ටියාට සුද්ද සිංහලෙන් අමතලා මොනවා හරි ලියපන් කිව්වා. ඒක නිසා ජුනි මාසේ පළවෙනි බ්ලොග් සටහනෙන් ආඳා මල්ලි ගැනම කියලා වැඩේ පටන් ගන්න කියලා බැලුවේ. ආඳායි බර්ටියයි එක පන්තියේ හිටියේ උසස් පෙළ කරන කොට. ආඳා හය වසරේ ඉදලම බර්ටියා ගිය ඉස්කෝලේ හිටියත් බර්ටියා උසස් පෙළට වෙනකම්ම එක පන්තියක ඉදලා නෑ. සමහර වෙලාවට බර්ටියා ඇතුළු පිරිස ආඳාව ලොරියා කියලත් ඇමතුවා. ඒ ආඳාගේ තාත්තට ලොරියක් තිබ්බ නිසා. ආඳාගේ තිබ්බ ලොකුම අවුල තමයි ඒකට පටස් ගාලා කේන්ති යන එක. කොක්ක අතේ තියන් හිටියේ ඒ දවස් වල. දැන් ඒක ලිව්වා කියලා බර්ටියාව මරන්න හොයයිද දන්නේ නෑ. කොච්චර කේන්ති ගියත් ආඳා බොහොම හිත හොඳ මනුස්සයා. වැඩිය බොරු එහෙම කිව්වේ නෑ. ආඳා කියලා නම වැටෙන්න හේතුවෙලත් තිබ්බේ මේකා අත ඇරපු කෙබරයක්. පොඩි පන්තියක් ඉන්නකොට (6 වසර හරි 7 වසර හරි) මේකා කියලා ගෙවල් පල්ලෙහා ගැඹුරු ළිදක් තියෙනවා ඒකේ කඩුක්කන් දාපු ආඳෙක් ඉන්නවා කියලා. ඔය කතාවෙන් පස්සේ මේකා ආඳා වුනා. ආඳාට හොදට කාටුන් අදින්න පුළුවන්. මේ ආඳා කරපු වික්‍රම කීපයක්.

අපි උසස් පෙළ කරන්න ගියහම අපේ ඉස්කෝලෙට වෙන ඉස්කෝල වලින් ළමයි ගත්තා උසස් පෙළ පන්ති වලට. කෘෂි විද්‍යාව පන්තියටම පරණ ළමයි දහදෙනයි ද කොහෙද හිටියේ. බර්ටියා, දොළයා, ආඳා, දීප්ති, පණ්ඩුලයා, දරකඩියා, මේනකයත්, ආනන්දයා එක්ක තව දෙන්නෙක් ද කොහෙද හිටියා බර්ටියාට නම් වලින් කියන්න මතක නෑ. අපි ඉතින් ඔය අළුත් සෙට් එකට හීන් සැරේ නවක වදය පාරක් එහෙම දුන්නා ඉතින්. අනේ දරුණු දේවල් තිබ්බේ නෑ. බර්ටියාලා වැඩිපුරම කල්පනා කලේ බඩ පුරවා ගැනිම නිසා අපි සෑහෙන්න බිස්කට් එහෙම කෑවා අළුත් ළමයි ගාණේ. ඔය අළුතින් ආව සෙට් එකේ පොරක් හිටියා පොල්පිටිමූකලාන පැත්තේ. මිනිහා ආපු දවස්වලම සිරිපාල ගැන කතා කිව්ව නිසා අපි පොරට සිරිපාල කියලා කාඩ් එකක් ගැහුවා. පස්සේ සිරිපාල කෙටිවෙලා සිරා වුනා. සිරා ආපු මුල්ම දවස්වලම අපේ ආඳා මල්ලිට හිතුනා සිරාට අළුත් විදිහේ නවක වදයක් දෙන්න.

ඒක නිසා මේකා දවසක් සිරාට කිව්වා "සිරාේ තෝ හෙට එනකොට ජොකා නොදා එන්න ඕන කියලා. සිරත් ආඳාට තිබ්බ බයටමද කොහෙද පහුවදා සිරාවටම ජොකා නාෙදා ආවා. දැන් ඉතින් කට්ටිය හිතයි කොහොමද එහෙම කියන්නේ සිරා ජොකා ඇදලා එන්න ඇති බොරුවට අපිට නෑ කියන්න ඇති කියලා. එව්වා කොහෙද අපිත් එක්ක සහෝදරයා. එහෙම බොරු කරන්න බෑ, අපි ඒක බලලම මූ ජොකා දාලා නෑ කියන එක තහවුරු කරගත්තා.

දෙවෙනියට කියන්න යන සිද්ධිය සිද්ධ වුනේ 98 අවුරුද්දේ මුල විතර. ඔය අළුතින් ආපු සෙට් එකේ තවත් පොරක් හිටියා යාගොඩ පැත්තේ ඉදන් ආපු. මිනිහට අපි ගහලා තිබ්බ කාඩ් එක තමයි හිපා. මොකද පොර කළොත් කරන්නේ මහ හිපාචි වැඩක්ම තමයි. මොකක් හරි හේතුවක් නිසා හිපායි ආඳා මල්ලියි තරහා වුනා. ඒත් ගැටළුවක් තිබ්බේ නෑ. පස්සේ හිපා වුෂු ක්‍රීඩාව හදාරන්න පටන් ගත්තා. ඕක පටන් ගත්තට පස්සේ හිපා පොඩ්ඩක් විතර උඩ ගියා. මට හොදට මතකයි එදා බ්‍රහස්පතින්දා දවසක්. එදා අපේ විවේකය පටන් ගන්න මොහොතකට පෙර දෙන්නා අතර භයංකාර, ත්‍රාසජනක, ඇඟ කිලිපොලා යන උද්වේගකර ප්‍රේම ජවනිකාවක් පටන් ගත්තා. බර්ටියත් වැරදිලා වගේ ඒ වෙලාවේ පන්තියේ හිටිය නිසා මේ ත්‍රාසජනක පෙම් ජවනිකාව නැරඹීමේ අවස්ථාව බර්ටියාටත් ලැබුනා. පළවෙනි පාර එල්ල කලේ අපේ ආඳා මල්ලි. අපේ ආඳා මල්ලිත් දෙකේ දෙකේ පොර. සෙට් එක එහෙම දානවා ඒ දවස් වල. ඒක නිසා පළවෙනි පාර බොහොම සැරට වැදුනා හිපාට. ඒක වැදිච්ච පාරට හිපා විසිවෙලා ගිහිල්ලා පන්තියේ කළු ලෑල්ල හයියද කියලා බැලුවා. ඊළගට හිපා පැනලා පාරක් ඇන්නා ආඳාට. දැනෙන ප්‍රථිපලයක් නෑ. ආඳා ආයේ පයින් පාරක් ගැහුවා. හිපාට ඒකත් වැදුනා. මේ ටික වෙන්න තප්පර 15 ක් විතර යන්න ඇති.

තව පාරවල් එහාට මෙහාට විසි වෙන්න කලින් අපි පැනලා දෙන්නව අල්ලගෙන ප්‍රේම ජවනිකාව අවසන් කරලා දැම්මා. කොහොම හරි හවස ඉස්කොලේ ඇරෙන්න ටිකකට කලින් හිපාට වමනේ ගිහිල්ලා. ඒ වෙලාවේ බර්ටියා පන්තියේ හිටියේ නෑ. හිපා ඇවිල්ලා බර්ටියාට විස්තරේ කිව්වහම බර්ටියා කිව්වේ දැන්මම ඉස්පිරිතාලේ පලයන් කියලා. මොකද ආඳා ගැහුව පාරට හිපාගේ ඔළුව වැදුනනේ කළු ලැල්ලේ. වැරදිලා හරි ඒ ඔළුව අැතුලේ අබ ඇටයක තරම්වත් මොළයක් තිබ්බා නම් මොකක් හරි අවුලක් වෙන්න ඉඩ තිබ්බ නිසා තමයි බර්ටියා කිව්වේ ඉස්පිරිතාලේ පලයන් කියලා. එදා හවස අපිට සමාධියේ සරත් සර්ගේ සත්ත්ව විද්‍යාව පන්ති. පහේ කල්ලිය ඉතින් කඩේට ගිහිල්ලා මාරි බිස්කට් එකක් කාලා තේ එකක් බීලා ආපහු පන්තිය පැත්තට එනකොට හිපාව හම්බවුනා. මේකා ඉදන් කියනවා මචං මම හවස ලුණු කාලා හිටියේ, ඒකයි මට වමනේ ගියේ කියලා. බර්ටියා ඉතින් ගත් කටටම ඇහුවා ඈ බොල තොට ලුණු කැටයක් කෑව පලියට වමනේ යන්නේ තො බඩදරු වෙලාද කියලා. හිපා සද්ද නැතුව මාරු වෙලා ගියා. ඒත් ඒකට පහුවදා ඉදලා ගර්භනී කියලා කාඩ් එකක් වැදුනා. ඒකේ සම්පූර්ණ ගෞරවය අයිති වෙන්න මේ බර්ටියාට තමයි.

උසස් පෙළ කරන මුල් කාලේ ගම්පහ තිබ්බ කොළ පාට ටයි එක තියෙන බාලිකාවේ කලා අංශයේ ඉගෙන ගත්ත වසන්ති කියලා ගෑණු ළමයෙක්ට බර්ටියාගේ හිත ගිහිල්ලා තිබ්බා. ඒ ආදරය නිසා බර්ටියා සෑහෙන කට්ටක් කෑවා. සෑහෙන පිස්සු වැඩත් කලා. ඒත් අවාසනාවක මහත මේ ගෑණු ළමයාගෙන් බර්ටියාට සහනදායි උත්තරයක් ලැබුනේ නෑ. කොමනලා දොළයලා වැඩේට උපරිම සහයෝගය දුන්නත් වැඩේ හරි ගියේ නෑ‍. බර්ටියාගේ හිතේ ඇතිවෙච්ච දෙවෙනි ආදරයත් අවසන් ගමන් ගියා මේ ගෑණු ළමයගේ වෙනස් නොවෙන උත්තරෙත් එක්ක. ඔය අතරෙදි තමයි දැන ගත්තේ මේ ගෑණු ළමයා අපේ ආඳා මල්ලිගේ නෑයෙක් කියලා. ඉන්නෙත් මෝල පාර පැත්තේ කියලා. ඉතින් තදටම හිත රිදොගෙන හිටපු බර්ටියා ආඳාගෙන් සහයෝගයක් ඉල්ලුවා.

ආඳාත් ඉතින් උපරිම සහයෝගය දෙන්නම් කියලා කිව්වා. සතියකට පස්සේ විතර මේකා ඇවිල්ලා කියනවා අන්න වසන්තිලගේ අම්මත් උඹ ගැන දැනගෙන, උඹ ලේ වලින් ලියුමක් ලිව්වා කියලත් දන්නවා. උඹව හම්බවෙන්න ඕන කියලත් කිව්වා. ලබන සෙනසුරාදා වරෙන් අපේ ගෙදර කිව්වා. කිරි අප්පට කළේ පොළොවේ ගැහුවා කිව්වලු. මොකක්ද මේ නස්පැත්තිය බර්ටියට පාත්වෙච්ච. දැන් මොනවා කරන්නද වෙන්න නැන්දම්මාවත් හම්බවෙලා දුවව ඉල්ල ගන්න හිතාගෙන බර්ටියා සෙනසුරාදා උදේ තිබ්බ පන්තිය ඉවරවෙලා දොළයත් එක්ක ගියා ආඳලගේ ගෙදර. ගෙදර වසන්තිලගේ අම්මා තියා ආඳාවත් නෑ. අපි දෙන්නා ආපහු ගම්පහට යන්න යනකොට අපි දෙන්නා නගින්න ගිය බස් එකෙන් මේ නසරාණියා බැස්සා. මේකා ඒ පාර කියනවා වසන්තිගේ අම්මා අද ගෙදර නැහැයි කියලා. බර්ටියි දොළයයි ඉතින් ලස්සන සුද්ධ සිංහල වචන කීපයක් පාවිච්චි කරලා මේකව අමතලා ආඳත් එක්කම ආපහු ගම්පහට ගියා ඊළග පන්තියට යන්න. බර්ටිය කවදාවත් වසන්තිගේ අම්මව හම්බවුනේ නෑ‍. මේකා සුපුරුදු පරිද කෙබරයක් අත ඇරලා.

ඔය හැම දේමත් එක්ක කාලය ගෙවිලා ගියා. අපි වෙන්වෙලා ගියා. ඒත් අපේ යාළුකම තාමත් ඉතුරු වෙලා තියෙනවා. දැන් ආඳා වැඩ කන්නේ විදුලි බල මණ්ඩලයේ. ඉතින් විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වෙන එක අහන්න දෙයක් යැ. පහු ගිය දවසක (ගිය අවුරුද්දේ වෙසක් දවස් වල) බර්ටියා ඉන්න ගෙදර විදුලි බලය නැතුව ගියා. කොච්චර උත්සාහ කළත් හදාගන්න කෙනෙක් හොයාගන්නත් බැරිවුනා. එක මනුස්සයෙක් ආවත් මිනිහට මොකද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න බැරුව යන්න ගියා. අපි බර්ටියා කරුවලේ. පස්සේ තමයි බර්ටියාට මතක් වුනේ ආඳාව. බර්ටියා ඉතින් ජංගම දුරකතනයෙන් ආඳාගේ නොම්බෙර් හොයාගෙන මේකව අමතලා බර්ටියාගේ දුක කිව්වා. කියල කාව හරි දන්න කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා බර්ටියා වැටිලා ඉන්න අමාරුවෙන් ගොඩ එන්න. පැය දෙක තුනකට පස්සේ ආඳා බර්ටියා හිටිය ගෙදරට ඇවිල්ලා මීටරේ ගාව චෙක් කරලා ලෙඩේ හොයාගෙන වැඩේ ගොඩ දැම්මා. කතා දෙකක් නෑ හොඳ බාස්.

මේවා තමයි ඉතින් ආඳා ගැන මතක තිියෙන විස්තර. අපේ කෘෂි විද්‍යාව පන්තියේ කවුරුවත් හම්බ වුනෙත් නෑ ළගකදී පරණ විස්තර මතක් කරගන්න. මොනා කරන්නද ඉතින්, බර්ටියාට මතක තියන විදහට තමයි ලියන්නේ. මේ ටික කොටාගන්නත් පැය ගාණක් ගියා. සෑහෙන දවසක් නොලියා ඉදලා බර්ටියා කම්මැලි වෙලා කියලයි බර්ටියා හිතන්නේ. මේ මාසෙට බ්ලොග් සටහන් පහක් වත් ලියන්න බර්ටියාගේ අදහසක් තියෙනවා. බලමු උත්සාහ කරලා හරියයිද කියලා. සිංහලෙන් ටයිප් කරන්න සෑහෙන්න මහන්සි වෙන්නත් එපායෑ. කට්ටියට බර්ටියාගේ කතා එපා වෙලාද මන්දා. කියවන කට්ටිය කොමෙන්ට් එකක් වත් දාන්නේ නෑ. කියවන කව්රු කව්රුත් බැනලා හරි කොමෙන්ට් ඒක බර්ටියාගේ හිතට හොදයි. එහෙනම් අදට බර්ටියා ගිහිල්ලා එන්නම්.

No comments: