කසාදය-දික් - P-2

මෙතෙක් කතාව - සචින්ත විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිය හදාරන ශිෂ්‍යයෙක්. මල්ෂි විවෘතයට අළුතෙන් ආපු ශිෂ්‍යාවක්‍. දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙනවා‍‍. සචින්තගේ යාළුවන්ගේ උදව්වෙන් මේ දෙන්නාගේ ආදර කතාව ඉදිරියට යනවා. මල්ෂි තමන්ගේ ආදරය ගැන එයාගේ නැන්දත් එක්ක කියනවා. සචින්තට ගිහිල්ලා නැන්දව මුණ ගැහෙන්න වෙනවා. අද කතාව එතැන් සිට . . . . .

තවත් දවසක හිරු උදාවක්. කවදත් වේලාසනින් කැම්පස් එන බර්ටියා Computer Lab එකට ඔළුව දාලා අන්තර්ජාලයේ රවුමක් ගහලා ඉවරවෙලා කැන්ටිමෙන් මොනවා හරි අමාශගත කරගෙන තමයි බෙන්ච් එක පැත්තට එන්නේ. ඒ ඇවිල්ලත් පැය භාගයකට විතර පස්සේ තමයි නිමන්ත, මනීෂා, හංසි ඇතුළු බජාර් එක පාත් වෙන්නේ. ඔය ඔක්කොම කට්ටිය ආවට පස්සේ තමයි සචින්ත කැම්පස් එකට එන්නේ. සැමදා පරක්කුයි. කවදා හරි සචින්තයා පෝරුවට නගින්නෙත් වෙලාව පැනලා. ඒත් එදා බර්ටියා බෙන්ච් එකට එනකොට කවදාවත් නැතුව සචින්ත වේලාසනින් ඇවිල්ලා. බර්ටියාගේ හිතට අමුත්තක් දැනුනා. අද CAT එකක් වත් Practical එකක්වත් නෑ කට්ටියට. සචින්ත මෙච්චර වේලසනින් කැම්පස් එකට එන්න මොකක් හරි හේතුවක් තියන්න ඕන. මේ දේවල් බර්ටියාගේ හිතට ආවත් මේක ගැන අහන්න අනිත් කට්ටියත් එනකම් ඉන්න ඕන කියලා බර්ටියා තීරණය කළා. කට්ටිය උදේට කාලා ඉවර වෙලා පොතක් පතක් අතට ගන්න කලින් මේක ගැන අහන්න බර්ටියා ලෑස්ති වුනත් එලීෂා ආපු නිසා කතාව බර්ටියාට කතාව පටන් ගන්න බැරිවුනා. "අනේ බර්ටි අයියේ මාත් එක්ක කැන්ටිමට යන්න එන්න, මට තව පොඩ්ඩකින් Micro Practical (Micro=Microbiology)". "මචං, මං මෙයාව දාලා එනකම් උඹලා කොහාටවත් යන්න එපා, මට වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" කිව්ව බර්ටියා එලීෂවත් ඇදගෙන කැන්ටිම පැත්තට ගියා. (ඒ දෙන්නගේ ප්‍රේම කතාවෙන් අපිට වැඩක් නැති නිසා අපි බර්ටියා ආපහු එනකම් විනාඩි 10 ක් විතර ඉමු).

විනාඩි 10 කෙසේ වෙතත් විනාඩි 20 කට විතර පස්සේ බර්ටියා ආවා. ඇවිල්ලා හරි බරි ගැහිලා බෙන්ච් එකේ වාඩි වුනා. "මචං සචින්ත මොකක්ද අවුල? මුකුත් නෑ කියන්න නම් හදන්න එපා, උඹේ මූණ දැක්කහම කියන්න පුළුවන් අවුලක් කියලා. උඹේ මූණත් හරියට නයා මැරිච්ච අහිකුණ්ටියා වගේ. කියපන් බලන්න මොකක්ද ප්‍රශ්නේ කියලා?" බර්ටියා සචින්තට කටක් අරින්න නොතියාම ඇහුවා. සචින්තගෙන් සද්දයක් නෑ‍. "ඔව් සචින්ත ඔයා වෙනදා වගේ නෙමෙයි අද. ඇයි මේ?" ඒ හංසි. "පිස්සු කෙළින්න හදන්න එපා. උඹගේ වෙනසක් දැනිලා උඹලගේ අම්මා මොනවා හරි ඇහුවොත් මට බොරු කියන්න බෑ කියලා උඹ දන්නවනේ. ඒක නිසා ඇත්තම කියපන්." නිමන්තත් හඩ අවදි කලා. "නෑ බන් මල්ෂිට ප්‍රොපොසල් එකක් ගෙනල්ලා ගෙදරින්, අද එයාව බලන්න මනමාලයෙක් එනවා ගෙදරට. ඒකයි මම අවුලෙන් ඉන්නේ". "ආ ආ ඕක මොකක්ද මනමාලයා ඇවිල්ලා යයි සචින්ත. මල්ෂි කැමති ඔයාටනේ" ඒ මනීෂගේ ප්‍රතිචාරය. "මේක ටිකක් බරපතලයි බන්. මනමාලයා මල්ෂිලාගේ අම්මලා අඳුරන කෙනෙක් ඕස්ට්‍රේලියා වල වැඩ කරන්නේ". "ඒකත් එහෙමද? මොකද බන් ඕක හදිස්සියේම එළියට පැන්නේ? උඹ ගැන මොනවා හරි දැනගෙනද? මම කිව්වනේ ඕක අර නැන්දා කියන ගෑනිට කියන්න එපා කියලා. මට ඔය ගෑනිව සත පහකට විශ්වාස නෑ බන්" ආයෙත් බර්ටියා. "නෑ නෑ එහෙම නෑ, මල්ෂිට නැන්දව විශ්වාසයි". "අනේ පලයන් බන් යන්න, බලහන්කෝ නැන්දා උඹලා දෙන්නට ඇණේ ගැහුවේ නැත්තම් මම බොන එක නවත්තනවා ආයෙත් හම්බවෙනකම්. හරි හරි අපි යමු පාඩමක් දා ගන්න. ඉතුරු ටික වැඩේ පත්තු වුනොත් බලමු" කිව්ව බර්ටියා පුස්තකාලෙට යන්න නැගිට්ටා.

මේ කතාව සිද්ධ වෙලා දවස් දෙකකට විතර පස්සේ බර්ටියා එලීෂයි එයාගේ යාළුවෝ දෙන්නෙකුටයි Microbiology වල අමාරු හරියක් කියා දි දී ඉන්න කොට මනීෂයි හංසියි හදිස්සියෙන් වගේ බර්ටියව හොයන් ඇවිල්ලා මොනවද කිව්වා බර්ටියාගේ කණට කරලා. බර්ටියත් කලබල වෙලා එලීෂට ඉක්මනට එන්නම් කියලා මනීෂලත් එක්ක Block 4 වලට ආවා. ඒ එනකොට සචින්තයි මල්ෂයි එතන බෙන්ච් එකක වාඩිවෙලා ඉන්නවා. මල්ෂිගේ ඇස් දෙකත් රතු වෙලා, ඒ මදිවට ඇස්වල කඳුළු කැට පිරිලා. නිමන්ත, ප්‍රසන්න අයියා, චතුර, ශම්මි කට්ටියම වටවෙලා. බර්ටියා විතරයි අගක් මුලක් නොදන්නේ. "මොකද බන් වෙලා තියෙන්නේ. මල්ෂි හුරතලේට ඇති කරපු ගෝල්ඩ් පිෂ් එකාවත් මළාද?, කියපන්කෝ බන් සිංහලෙන් මගේ යකා අවුස්සන්නේ නැතුව". බර්ටියාට මල පැනලා අම්බානකට.

මචං බර්ටි, සචින්ත හෙමින් සැරේ කට හඩ අවදි කලා. "මල්ෂිට ගෙනාව ප්‍රොපොසල් එකට මල්ෂි ඇරෙන්න හැමෝම කැමති වෙලා. වැඩිකළක් යන්න කළින් Registration එක ගනීවි. මොකද බන් අපි කරන්නේ? මට මල්ෂිව නැතුව බෑ බන්". "හදිස්සි වෙන්න එපා බන්, හැම දේකටම විසදුමක් තියෙනවානේ". "මේකට වෙන විසදුම් නෑ බන්, අපි මුන් දෙන්නව බන්දවමු" ඒ විසදුම චතුරගෙන්. "අපි එච්චරටම හදිස්සි වෙන්න ඕන නෑ නේද?" බර්ටියා කොහොමටත් මේ වගේ බරපතල් දෙයකදි එක පාරටම තීරණ ගන්න කැමති වුනේ නෑ. "කසාද බදින්න?" ඒ මල්ෂි "එහෙම එක පාරටම බදින්නේ කොහොමද අපි?" "ඔයාට පුළුවන්ද සචින්තව නැතුව ඉන්න?" ඒ පාර කතා කලේ මෙච්චර වෙලා කතා නොකර හිටපු ශම්මි. "බෑ බෑ. මට සචින්තව නැති කරගන්න බෑ" හැරෙන තැපෑලෙන්ම උත්තරේ ආවා මල්ෂිගෙන්. "එහෙනම් මේක තමයි විසදුම" ආයෙත් ශම්මිගෙන් උත්තරයක් ලැබුණා. "වෙන කරන්න දෙයක් නෑ බන්, මුන් දෙන්නව අදම බන්දමු" චතුර තව දුරටත් "කසාදය" කියන පිළිතුර ඉදිරියට අරගෙන ආවා. "ප්‍රසන්න අයියා ඔයා මොකද කියන්නේ?" බර්ටියා ආයෙත් අැහුවා. "කරන්න දෙයක් නැත්තම් මේක කරමු බර්ටි" ඒ ප්‍රසන්න අයියගේ උත්තරය. "එහෙම නම් එහෙම කරමු, හැබැයි මම මේ වැඩේට එච්චර කැමති නෑ. තොපේ හදිස්සියනේ ඉතින්". බර්ටියා අකමැත්තෙන් වැඩේට හා කිව්වා. "දැන් කොහොමද මේක කරන්නේ? කොහාට ගිහිල්ලද කසාද බදින්නේ?" මනීෂගේන ප්‍රශ්න වැලක්. "මං අදුරන lecturer කෙනෙක් ඉන්නවා law පැකල්ටියේ. අපි එයාගෙන් අහමු, යන් බර්ටි" ප්‍රසන්න අයියා බර්ටිවත් ඇදගෙන law පැකල්ටිය පැත්තට ගියා.

තිබ්බ හොදටද කරුමෙට දන්නේ නෑ ප්‍රසන්නටයි බර්ටියාටයි වැඩි දුරක් යන්න හම්බවුනේ නෑ ප්‍රසන්න අයියා දන්න lecturer මඟ එනවා. "යකෝ මේ අපිට law කරපු මැඩම් නේද? මළා. මමයි එලීෂයි එකට day school එකේ ඉන්නවත් මැඩම් දැක්කා. මට නම් බෑ ඔතනට යන්න. ඔයා අහගෙන එන්න ප්‍රසන්න අයියේ. මම මෙහෙන් ඉන්නම්" කියපු බර්ටියා මග නැවතුනා‍. ප්‍රසන්න අයියා තනියම ගියා lecturer මැඩම්ව හම්බවෙන්න. විනාඩි 10 කට විතර පස්සේ ප්‍රසන්න අයියා එනවා හිනා වෙනා වෙවි. "මොකද වුනේ? බර්ටියා ඇහුවා. මැඩම් ගත් කටටම ඇහුවා උඹද marry කරන්න යන්නේ කියලා. මමත් ඉතින් ඔව් කිව්වා. "මොනවද ප්‍රසන්න අයියේ ඔයා කරන්නේ? ඔයා මගේ චරිතය සාතනය කරලනේ?". "හැබෑට උඹට එහෙම එකක් තිබ්බද බර්ටි? මැඩම් කිව්වා දෙන්නගේ වයස හරි නම් ප්‍රශ්නයක් නැතුව මැරි කරන්න පුළුවන් කියලා. Museum එක හරියේ Registrar කෙනෙක් ඉන්නවා කිව්වා. ගිහිල්ලා කාගෙන් හරි අහන්න කිව්වා". "එහෙනම් පරක්කු වෙන්නේ නැතුව දැම්මම යමු. දවල් වුනොත් කට්ටිය අතුරුදහන් වෙන්න පුළුවන්". "ප්‍රසන්න අයියේ, ඔයා ගිහිල්ලා කට්ටිය එක්කන් ඉස්සරහ ගේට්ටුව ගාවට එන්න. මම ගිහිල්ලා ගෑණිව ෂේප් කරලා එන්නම්. නැත්තම් මගේ පවුලත් අවුල් වෙනවානේ", කියලා බර්ටියා මාරු වුනා‍.

"සචින්ත උඹලා දෙන්නා කැමතියි නේද මේකට? අකමැති නම් පස්සේ කුණු කුණු නොගා දැම්මම කියපන්. ආයේ අපි බොරුවට එතනට ගිහිල්ලා හැරිලා එන්න ඕන නෑ නේ". නිමන්ත කැම්පස් එකෙන් එළියට බහින්න කළින් සචින්තගෙනුයි මල්ෂිගෙනුයි ඇහුවා. දෙන්නම අකමැත්තක් පෙන්නුවේ නැති නිසා, කට්ටියම 176 නැගලා හයිලෙවල් පාරට ඇවිල්ලා එතනින් කෞතුකාගාරය ගාවින් යන 138 කොටුව බස් එකකට ගොඩවුනා. කට්ටියම කෞතුකාගාරය ගාවින් බැහැලා හෙමින් සැරේ කොටුව පැත්තට යනවා විවාහ ලේකම් කෙනෙක්ගේ නාම පුවරුවක් තියෙනවාද බලා බලා. වැඩි දුරක් යන්න වුනේ නෑ කට්ටියටම ආණ්ඩුවේ කන්තෝරුවක් නාම පුවරුවක විවාහ රෙජිස්ටාර් කියලා තියෙනවා දැක ගන්න ලැබුණා. බර්ටියා ඇතුළු පිරිස ගෙට්ටුව ගාව හිටගෙන ඉන්න අතරේ ප්‍රසන්න අයියයි නිමන්තයි කන්තොරුව ඇතුලට ගියා විස්තර හරියටම දැනගෙන එන්න. විනාඩි 10 කට විතර පස්සේ දෙන්නා ආපහු ආවා. එතන විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉන්නවා. දෙන්නාගේම වයස හරි නම් ජාතික හැදුනුම් පත් තියෙනවා නම් සාක්ෂියට අත්සන් කරන්න අය ඉන්නවා නම් කසාදය කරන්න පුළුවන් කිව්වලු. සාක්ෂියට නම් 2 ක් නෙමෙයි 7 ක් ම ඉන්නේ. ප්‍රසන්න අයියා පස්සේ වෙලාවක නම් කිව්වේ ඒ ලේඩිගේ මුණයි කරේ දාලා තිබ්බ කුරුසයයි දැක්ක ගමන් වැඩේ හරි යයි කියලා හිතුනයි කියලා. ඉතින් කට්ටියම සචින්තයි මල්ෂියි එක්ක විවාහ ලේකම් නෝනාගේ කාමරයට ඇතුල් වුනා. දැන් කාමරේ කට කපලා කට්ටියා. ඇයි ඉතින් 9 දෙනෙක්ම ආවනේ මේ කසාදේ කරන්න‍. විවාහ රෙජිස්ටාර් නෝනා නීති රීති ඔක්කොම විස්තර කරලා දීලා අවශ්‍ය කරන කාරණා පහදලා දුන්නා. ඊළගට සචින්තගෙයි මල්ෂිගෙයි ජාතික හැදුනුම් පත් අරගෙන බලලා අවශ්‍ය කරන දේවල් තඩි පොතක ලිව්වා‍‍. ඊළගට අළුත් කපල් එකට නැගිටින්න කියලා දෙන්නගේ ප්‍රතිඥා දීලා අත්සන් කලා. සචින්තගේ පැත්තෙන් නිමන්තත් මල්ෂිගේ පැත්තෙන් ප්‍රසන්න අයියත් කසාදෙට අත්සන් කළා. ඊළඟට පොතෙන් කසාද සහතිකය ඉරලා අරගෙන සචින්තයි මල්ෂියි අතට දීලා සුභ පැතුවා. මේ වැඩ ඔක්කොම ඉවර වුනාට ප්‍රසන්න අයියා ලියුම් කවරෙක දාලා රු 500.00 රෙජිස්ටාර් නෝනාගේ අතේ තිබ්බා. රෙජිස්ටාර් නෝනා නම් සල්ලි ගන්න බැහැ කිව්වත් කව්රුවත් ඒක ආපහු ගන්න කැමති වුනේ නෑ. විවාහ සහතිකේ සචින්තගේ අතින් බර්ටියාගේ අතට ආවා වැඩි පරිස්සමට. කට්ටියම එළියට ඇවිල්ලා සචින්තටයි මල්ෂිටයි සුභ පැතුවා. ඊළඟට බර්ටියා කතා කළා "මචං මේක අපි 9 දෙනාගෙන් පිට කිසිම කෙනෙක් දැනගන්න ඕන නෑ. මම මේ ගැන එලීෂට වත් කියන්නේ නෑ. අවශ්‍ය වෙලාව එනකම් අපි සද්ද නැතුව ඉමු". හැමෝම ඒක අනුමත කළා.

කට්ටිය පාරේ ආපු 138 ක නැගලා නුගේගොඩට ඇවිල්ලා ආපහු කැම්පස් එකට ආවා. කැම්පස් එකට ඇවිල්ලා කට්ටියම කැන්ටිමට ගිහිල්ලා මහන්සිය යන්න හැමදාම බොන මෙලෝ රහක් නැති ප්ලේන්ටිය වෙනුවට කූල් එකක් බිව්වා. "මචං අපි යනවා. උඔලා දෙන්නව ගැට ගැහුවා කියලා ළමයි හදන්න නම් ලෑස්ති වෙන්න එපා. අපිට බෑ ක්ලිනික් වලයි කිරි පිටි පෝලින් වලයි ඉන්න", බර්ටියා දෙන්නටම සද්දයක් දැම්මා. අපි ගෙවල් වලට යමු නේද හංසි? දැන් ආයේ පාඩම් කරන්නත් වෙලවක් නෑනේ? මනීෂා හංසිගෙන් ඇහුවා. හංසිත් හා කිව්වා. එහෙනම් මාත් යනවා බන්, තොපි දෙන්නා හන්දා හන්දා මගේ පවුලත් කැඩෙනවා කිව්ව බර්ටියා එලීෂව හම්බවෙන්න ගියා. සචින්තවයි මල්ෂවයි බෙන්ච් එකේ තනි කරලා අනිත් කට්ටියත් යන්න ගියා, ගෙවල් වලට යන්න හිතාගෙන.

මෙම නිර්මාණයේ එන සියළුම නම්, ගම් හා ස්ථාන බර්ටියාගේ කල්පිත මනසේ වල් බිහිවු ඒවා මිසක මෙම සත්‍ය සිදුවීමට අදාල ඒවා නොවේ. බර්ටියා විසින් සත්‍ය කතාවට ලුණු, ගොරකා, මිරිස් කුඩු, රම්පේ හා කරපිංචා වැනි රස කාරක එක් කරන ලදි.

No comments: