ඇහුව කතා 02

ඊයේ (මැයි 20) බර්ටියා නිදාගන්නකොට රෑ 12.30 විතර වුනා. නිදාගන්න ගිහිල්ලා විනාඩි 10 ක් ගියේ නෑ මෙන්න මැසෙන්ජ්ර් කෝල් එකක් එනවා බර්ටියගේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්ගෙන්. පොරට ගිනි දවල් වෙන්න ඇති ඒ වෙලාව, මොකෝ ලංකාවේ නෙවෙයිනේ ඒකා ඉන්නේ. පොරත් බර්ටියගේ කතා, බර්ටියගේ බ්ලොග් එක එහෙම කියවනවා. මිනිහට පරණ කතාවක් මතක් වෙලා ඒක කියන්න තකහනියක්ම බර්ටියට කෝල් කරලා තිබ්බේ. ඉතින් බර්ටියා ඒකත් ඇහුව කතා ගොන්නට දාලා ලියලා දාන්න හිතුවා, මොකද මේකත් ලියන්නම වටින කතාවක් නිසා.

මේ කතාව සිද්ධ වෙන්නේ 97, 98 කියන කාලෙදි. එතකොට බර්ටියලා උසස් පෙළ කරනවා. මතකද ඔය කාලේ ටවුන් වල තැනින් තැන තිබ්බ සල්ලි දාලා, සල්ලි දාලා කතා කරන ෆෝන් බොක්ස්. අපි ඔය ලේසියට කියන්නේ කොයින් බොක්ස් කියලා. මුල් කාලෙදි රුපියල් දෙකක් දාලා විනාඩි දෙකක්ද කොහෙද කතා කරන්න පුළුවන්. පස්සේ දෙක පහ වුනා. ඔය ඉතින් වැරදියට හිතන්න එපා. රුපියල් දෙක රුපියල් පහ දක්වා ගණන් ඉස්සුවා. අද වෙනකොට නම් ආසාවට සල්ලි දාලා කතා කරන ෆෝන් බොක්ස් එකක් දකින්න නෑනේ. ජංගම දුරකතන නැති ඒ කාලේ මේවා අපිට හරිම වැදගත්. හදිස්සියකට පණිවිඩයක් කියන්න, ගෑණු ළමයත් එක්ක මලක් කඩාගන්න තිබ්බේ මේවා තමයි අපිට. වැඩි ගාණකුත් නෑනේ. අනික රෑ 8 පස්සේ රුපියල් 5 ට විනාඩි 5 ක් ද කොහෙද දුන්නා. බර්ටියගේ ඉස්කෝලෙත් මේ වගේ ෆෝන් එකක් හයි කරලා තිබ්බා. එක සැරයක් ඉස්කෝලේ කැන්ටිම කරන්න ආපු හාදයා ටී, ප්ලෙන්ටි ගන්න කොට ටෝකන් එකක් විදිහට යකඩ කෑලි වගයක් දුන්නා. ඒ දවස් වල ප්ලෙන්ටියක් රුපියලද කොහෙද කැන්ටිමේ.

දවස් දෙකක් යන කොට අපි හොයා ගත්තා මේ යකඩ පතුරු 3ක් දාලා විනාඩි දෙකක් කතා කරන්න පුළුවන් කියලා. සතියක් යනකොට කැන්ටිමේ යකඩ ටෝකන් දෙන එක නවත්තන්න වුනා, මොකද කැන්ටිමේ ටොකන් නැත්තටම නැති වෙච්ච නිසා. ටෙලිකොම් එකෙන් ඇවිල්ලා ෆෝන් එකේ සල්ලි පෙට්ටිය ගෙනිහිල්ලා ගනින කොට කට්ටියට පට්ට ආතල් එකක් ගන්න ඇති අපේ අපේ ඉස්කෝලේ එවුන්ගේ අම්මලා තාත්තලා මතක් කර කර. හරි හරි මේක අතුරු කතාවක්. අපි එමු අපේ ඔරිජිනල් කතාවට. මේ කතාව බර්ටියට කියපු මල්ලි හෙණ අණ්ඩපාලයා. පොරට හෙණ ක්‍රිමිනල් මයින්ඩ් එකක් පහල වෙලා ඔය ගම්පහ ටවුන් එකේ තිබ්බ ෆෝන් වලින් කොල් ගන්න බැරිවුනහම ආපහු වැටෙන් සල්ලි ටික එකතු කරගන්න අන්ඩර් වර්ල්ඩ් ගේම් එකක් ගහලා තිබ්බා. ඒක කරපු ක්‍රමය නම් බර්ටියා කියන්න යන්නේ නෑ. කොහොමත් අතේ වියදමට රුපියල් 15 ක් 20 ක් හොයාගන්න පොරට පුළුවන් වෙලා තිබ්බා ඒ වැඩෙන්. රුපියල් 15 ක් 20 ක් කියන්නේ හෙණ ගාණක් එතකොට. පොරගේ වැඩේ වාසි හින්දා අපේ ඉස්කෝලේ ෆෝන් එකටත් මේ ගේම දුන්නා. ඒ වැඩේත් හරි ගියා කියමුකෝ.

ඒත් කරුමේ කියන්නේ සල්ලි ටික එකතු වෙලා තිබ්බට මොකක් හරි හේතුවක් නිසා සල්ලි ටික හිරවෙලා. මූත් සල්ලි ටික ගන්න බලාගෙන පයින් පාරක් ගහලා. යකඩ බොක්ස් එකනේ. ඔයිට පොඩ්ඩක් එහා පැත්තෙන් තමයි අපේ ඉස්කෝලේ පිනාගේ ඔෆිස් එක තියෙන්නේ. කරුමේ කියන්නේ මේකා ගැහුව පයින් පාර පිනාට ඇහැලා. පයින් ගහලා දුවන්නත් බෑනේ. සල්ලි ටික එකතු කර ගන්න ඉන්නත් එපායෑ. පිනා ඔෆිස් එකෙන් ඔළුව දාලා බලනකොටත් මේකා ෆෝන් එක ගාව ඉන්නවලු.

දෙයියනේ කියලා පිනාගෙන් හොද දෙකක් අහගත්ත මේකට පිනා දුන්නා අපූරු දඩුවමක්. පොර දැන් ෆොන් එක ඉස්සරහා දණ ගහගෙන් ෆොන් එකට වැදගෙන ඉන්නවා. කොහොමද ආතල් එක. ඔෆිස් එක ගාව නිසා තමන්ගේ වැඩ වලට ඔෆිස් එකට යන සර්ලට ටීචර්ලට මේකව ශෝ කේස් එකේ දාලා වගේ. ඒ විතරක් නම් මදෑ. එතනින් එහාට මෙහාට යන එවුන්ට මේකව පේනවා. දැන් ඉතින් පීරියඩ් දෙකක්ද කොහෙද මේකා වැදගෙන ඉන්නවා කොයින් බොක්ස් එකට. දැන් තමයි කතාවේ වැදගත්ම කෑල්ලට එන්නේ.

ඔහොම ගිහිල්ලා ඉන්ටවල් එකත් ඉවරවුනා. ඉන්ටවල් එක ඉවර වුනා කියෙන්නේ ගොඩක් වෙලාවට AL ක්ලාස් වල එවුන් ගෙදර යන්න පටන් ගන්න වෙලාව. බර්ටියල නම් ඊට කලිනුත් ගෙදර යනවා. මේ බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තමයි ආර්ට් ක්ලාස් තිබ්බේ. කොහොමත් කොල්ලෝ ගෙදර යන විත්තිය දන්න නිසා අපේ පිනත් වේවැලත් අරගෙන රවුමක් ගහන වෙලාව ඉතින් ඕක. උඩ තට්ටුවේ ඉදලා බැහැලා එන පඩිවෙල තියෙන්නෙත් අපේ එකා වැදගෙන ඉන්න කොයින් බොක්ස් එක ඉස්සරහමයි. මේ කියන සිද්ධිය වෙලා තියෙන්නෙත් ඔය කියන තැනමයි.

ඉන්ටර්වල් එක ඉවරවෙලා ටිකකින් පිනා එනවා වේවැලත් අරගෙන. එය වෙලාවට පැනලා යන්න ඇවිල්ලා මාට්ටු වුනොත් බඩු පැකට් තමයි. කන්න පුළුවන් රාත්තල් ගාණට ඉතින්.

වේවැලත් අරන් හිමින් සැරේ වට පිට බල බල ආපු පිනා කොයින් බොක්ස් එක ගාවට ඇවිල්ලා, කොයින් බොක්ස් එකට දණ ගහගෙන ඉන්න එකා දිහත් බලලා නෝණ්ඩි සහගත හිනාවකුත් දාලා පඩිපෙළින් උඩට නගින්න හැදුවා විතරයිලු පැනලා යන්න පොත් ටිකත් අරන් ආපු එකෙක් මාට්ටුයිලු. බඩු පැකට් තමයි ඉතින්. ආපු එකාට ආපහු දුවගන්නත් සිහියක් පතක් නැහැයිලු.

පිනා: මෙහේ එනවා තමුසේ. කොහෙද යන්න යන්නේ?

පැනලා යන්න ආපු එකා: ස ... ස.. සර්

පිනා: කියනවා බලන්න තමුසේ කොහෙද යන්න හදන්නේ කියලා.

අපේ පැනලා යන්න ආපු එකා පිනා දිහා බලලා දුක් මූණක් දාලා කියනවලු

පැනලා යන්න ආපු එකා: සර් අපේ තාත්තා කරන්නේ මේසන් වැඩ. මම ඉස්කෝලේ ඇවිල්ලා දහයමාරට විතර යනවා සර් තාත්තට අත් උදව් දෙන්න. ඒකට තමයි සර් මම මේ යන්න හැදුවේ

ඔය වෙලාවෙම ආර්ට් ක්ලාස් එකට ඉංශ්‍රීසි උගන්න සර් ක්ලාස් එකට යන්න බලාගෙන ඔතනට එනවා. අපි ඒ සර්ගේ ආදරණීය නාමය “කොමනා”.

පිනා: බලන්න රණසිංහ සර් මේ ළමයා

බර්ටියට මේ කතාව කියපු එකා කොයින් බොක්ස් එකට වැදගෙන දණ ගහගෙන ඉන්නවා. පොර ගාවම තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නෙත්. පිනා අල්ලන් ඉන්න එකා දිහාත් හොදට බලපු රණසිංහ සර්,

රණසිංහ සර්: ඇයි සර්? මොකද ප්‍රශ්නේ?

පිනා: බලන්න සර්. මේ දරුවගේ තාත්තා මේසන් වැඩලු කරන්නේ. මේ ළමයා ඉන්ටර්වල් එකෙන් පස්සේ ඉස්කෝලෙන් පැනලා යනවලු තාත්තට අත් උදව් දෙන්න. ඉතින් බලන්න මේ ජීවිත වල හැටි. අපි කොහොමද මෙහෙම ළමයින්ට යන්න දෙන්නේ?

රණසිංහ සර් ආයෙත් අල්ලගෙන ඉන්න එකා දිහා හොදට බැලුවලු.

රණසිංහ සර්: ඒකනේ සර්. කවදාහරි මේ ළමයාටත් අත් උදව් දෙන්න තමයි ඔහොම ගියොත් වෙන්නේ.

පැනලා යන්න කියපු එකා කතා අහලා දුක හිතුන පිනා අරෑට ගහන්නේ නැතුව ආපහු පන්තියට යන්න කිව්වලු. ඊට පස්සේ දණ ගහගෙන ඉන්න එකාවත් නැගිටලා යන්න පන්තියට යන්න කිව්වලු. රණසිංහ සරුත් පන්තියට යන්න ගියා.

දැන් තමයි හොදම කතාව. පැනලා යන්න ගිහිල්ලා අහුවෙච්ච එකා ඉන්නවා නේද? ඌ ඇවිල්ලා රණසිංහ සර්ගේ පුතා. ඒකා කරකවලා අඹරවලා අත අරිය කෙප්පෙට පිනා අහුවුනා. කතාව අහලා අන්ද මන්ද වෙච්ච රණසිංහ සරුත් මුකුත් කියලා නෑ. රණසිංහ සර් මේකා මගේ පුතා කිව්වා නම් අරෑට නැව් ගුටි තමයි කන්න වෙන්නේ. ඒ මදිවට සස්පෙන්ඩ් වෙන්නත් වෙනවා. රණසිංහ සර් ගෙදර ගිහිල්ලා අරකට නැව් ගුටි දුන්නද දන්නෙත් නෑ. ඔන්න එහෙමයි ඒ කතාව ඉවර වුනේ.

No comments: