ආදර කතාවක්

මේ කියන්න යන්නේ බර්ටියගේ ජීවිතේ තියෙන ලස්සනම වගේම දුක්බරම කතාවක්. කියවලා ඉවර වෙලා කට්ටිය හොටු හූර හූර අඩන්න නම් ලෑස්තිවෙන්න එපා. මේ ගැන දැන් බර්ටියාවත් හිතන්නේ නෑ. ඒත් ඒ මතකයන් අතරින් හීනියට ගලාගෙන යන දුකකුත් නැත්තේ නෑ. ජීවිතේ දුක්බර් අත්දැකීමුත් තියෙන්න එපායෑ නැද්ද?

මේ කතාව පටන්ගන්නේ 2003 අවුරුද්දෙදි. එතකොට බර්ටියා නාවල විවෘතයේ ඉගෙන ගන්නවා. උදේම ගිහින් අන්තර්ජාලය පැත්තේ රවුමක් එහෙම දාලා කැන්ටිමට ගිහිල්ලා උදේට කාලා අපේ සෙට් එකත් එක්ක අල චැට් එකකුත් දාලා ලයිබ්‍රිය පැත්තේ හරි කොහේ හරි අයිනක් අල්ලගෙන පාඩම් පාරක් දාන එක ඒ අතර වාරයෙත් ඉදහිට අල වෙන එක තමයි ඒ දවස් වල දින චරියාව වුනේ.

ඔහොම දැහැමින් සෙමින් බර්ටියා කාලය ගතකරන අතරේ කැම්පස් එකට නැවක් ආවා අලුතින්. ඒ කියන්නේ අලුතින් බැජ් එකක් එහෙමත් නැත්නම් කණ්ඩායමක් ආවා. ඔය සෙට් එකේ හිටියා ලස්සනට ඇහැට පේන ගෑනු ළමයි ටිකක්. බර්ටියට මතක විදිහට එක ගෑණු ළමයෙක් හිටියා ඒ කෙල්ලට අපි කාඩ් එක ගහලා තිබ්බේ බේකරි කියලා. මොකද අයියට බේකරියක් තියෙන නිසා. ඔය අතර හිටියා කෑගල්ල පැත්තෙන් ඇවිල්ලා හිටපු ටෙනීෂා කියලා හුරුබුහුටි ගෑණු ළමයෙක්.

බර්ටියත් ඉතින් මේ ගෑණු ළමයට ඇහැදාගෙන හිටියට කිසිම පොසිටිව් ගතියක් පෙනුනේ නෑ ඉතින්. ඒ කෙල්ලගේ හෙණ ඝනකම. කාලය ඔහොම හෙමිහිට ගෙවිලා යන අතර බර්ටියගේ යාළුවො දෙන්නෙක් වෙච්ච කිරියි, මියුරුයි අලුත් බැජ් එකේ ගෑණු ළමයි කීප දෙනෙක් අඳුනගත්තා. එතකොට නවකයින්ට දෙන පාර්ටි එක දීලා තිබ්බේ නැති නිසා ජූනියර් ළමයි බයෙන් බයෙන් තමයි සීනියර්ස්ලා එක්ක කතා කරන්නේ.

දවසක් උදේක බර්ටියා ඇතුලු පිරිස අපි හැමදාම ඉන්න බෙන්ච් එකේ වාඩිවෙලා ඉන්න කොට ඔය එක අඳුරන ගෑණු ළමයෙක් මනෝරි කියලා එතනට ඇවිල්ලා කිරියි මියුරුයි එක්ක චැච් එකක් දාගෙන ඉන්න ගමන් බර්ටියව පෙන්නලා කිව්වා මේ අයියා වගේ කසින් අයියා කෙනෙක් මටත් ඉන්නවා කියලා. ඔන්න ඔය වචන ටික තමයි හැම දෙයකම ඇරඹුම වුනේ. සාමාන්‍ය විදිහට ඉදලා හිටලා තිබ්බ කතාව ටික දවසකින් වෙනස් වුනා. හැමදාම මනෝරිගේ මූණ බලන්න ඕන කමක් බර්ටියට ඇතිවුනා. මනෝරිත් වෙනදාට වඩා අපේ බෙන්ච් එක පැත්තෙන් එහාට මෙහාට ගියා. මනෝරි කැම්පස් ආවේ නැති දවසට බර්ටියට ගොඩක් ලොකු පාළුවක් තනිකමක් දැනුනා. අපේ එවුනුත් ඉදලා හිටලා බර්ටියා ඉන්න තැනම මනෝරිට හින්ට් ගහන තැනටත් කතාව ඇදිලා ගියා.

ඔහොම ගිහිල්ලා එක දවසක උදේ වරුවක අපේ ගෝතයෝ සෙට් එකින් මිදිලා මනෝරිවත් එක්කගෙන ටිකක් ඈතින් තිබ්බ බෙන්ච් එකකට ගිහිල්ලා බොහොම අමාරුවෙන් බර්ටියගේ හිතේ තිබ්බ දේවල් මනෝරිත් එක්ක කිව්වා.

බර්ටියා: මනෝරි නංගි, මම ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නේ. මම ඒ බලාපොරොත්තු දිගටම තියාගත්තට කමක් නැද්ද නංගී?

මනෝරි: මට එහෙම එක පාරටම වචනයක් දෙන්න බෑනේ අයියේ. අපි දෙන්නා තමා හරියට අදුනන්නේත් නෑනේ හරියට.

බර්ටියා: එහෙනම් අපි කතාබහ කරලා අඳුනගම්මු නංගී. මට ඔයාගේ ටෙලිෆොන් නම්බර් එක දෙන්න මම කතා කරන්නම්.

මනෝරි: අයියේ ඔයා මට උදේට කතා කරන්න. බැරිවෙලා හරි වෙන කවුරු හරි ආන්සර් කලොත් ඔයා ෆොන් එක තියන්න. එහෙම නැත්නම් මම රෙඩ් ලයිට් කියලා කිව්වොත් හරි ඔයා ෆෝන් එක තියන්න

ඔන්න ඔය විදිහට කියලා මනෝරි එයාගේ ගෙදර නම්බර් එක බර්ටියට දුන්නා. ඒ දවස් වල ඉතින් අපිට මොබයිල් ෆෝන් තිබ්බේ නෑ. ලෑන්ඩ් ලයින් තමයි. අනික මොබයිල් ෆෝන් වල ගාණත් හරිම සැරයි. සිග්නල් කණුවක් හොයාගන්න ගස් බඩ ගාන්නත් වෙනවා සමහර විට. නෙට්වර්ක් එකක් වත් ඩිගිටල් නෑ එතකොට. අනාගත්තේ අදයි හිටියෙත් නෑ බර්ටියට මතක විදිහට. ඔය සිද්ධියෙන් පස්සේ ගෙදර ඉන්න දවස් වල උදේට බර්ටියයි මනෝරියි කතා කරනවා. දෙන්නගේ විස්තර දැන ගන්නවා. හා හා ඒ විස්තර අනිත් අයට ඕන නෑ. ඒවා අපි දෙන්නා දැනගත්තහම මදෑ.මනෝරිගේ ගෙවල් තිබ්බේ පිළියන්දල පැත්තේ. කැම්පස් එකට එන දවසට අපි දෙන්නා ටිකක් කතා කරනවා. ඒත් තාම වචනයක් දීලා තිබ්බේ නෑ. ඔහොම සතියක් දෙකක් විතර ගෙවිලා ගියා.

ඔහොම ඉදලා 2003 අවුරුද්දේ අගොස්තු මාසේ 12 වෙනිදා මනෝරි අපේ බෙන්ච් එකට ඇවිල්ලා කිරී අතට කොළයක් දීලා ගියා බර්ටියට දෙන්න කියලා. මුන් දෙන්නා බර්ටියත් පාට් එක දාලා ඒ කොළ කෑල්ලේ තිබ්බ එක කියවලා ඔන්න කෙළවෙලා කියලා බර්ටියා අතට ඒ කොළය දුන්නා. බර්ටියත් පපුවේ බිත්තර තම්බ තම්බා මේකටත් කෙළ වුනාද කියලා හිතාගෙන ඒ කොළ කෑල්ල අතට ගත්තා. ඒ4 සයිස් එකේ හාෆ් ශීට් එකක් පුරාවට නිසදැසක් ලියලා තිබ්බා. එකේ අන්තිම හරියෙන් මනෝරිගේ හිතේ බර්ටියට තියෙන ආදරය ලස්සනට ලියාලා තිබ්බා. අන්තිමට දිනය දාලා අත්සන් කරලා. මේක තමයි බර්ටියගේ කුළුදුල් පළවෙනි ආදරය වුනේ.

ඉස්කෝලේ යන කාලේ අනන්තවත් කෙල්ලෝ පස්සෙන් ගියාට ක්‍රෂ් තිබ්බට බර්ටියට ආදරක් තිබිලා නෑ ඒ වෙනකම්. ඔය හේතුව හන්දාමද මන්දා මනෝරිගේ ආදරේ බර්ටියට මහ මෙරක් වගේ වුනා. කැම්පස් එකේ දවස අපි ගෙව්වේ එකට. සමහර වෙලාවට අනිත් සෙට් එකෙන් මිදිලා අපි දෙන්නා අයිනක් අල්ලන් පාඩම් කරනවා. සමහර වෙලාවට පාඩම් කරනවට වඩා අපි කියෝ කියෝ හිටියා.

මනෝරි කතෝලික. ඒ අපි දෙන්නට ගැටලුවක් වුනේ නෑ. ඒත් මනෝරි හැමදාම කිව්වේ එයාගේ අම්මලා මේ සම්බන්දෙට කැමති වෙන එකක් නෑ කියලා. එහෙම වුනොත් මනෝරි සිස්ටර් කෙනෙක් වෙනවා කියලා තමයි බර්ටියත් එක්ක කියලා තිබ්බේ. බර්ටියා නම් කිව්වේ ඒ අවස්තාව එනකම් අපි ඉවසලා ඉම්මු කියලා. ඔහොම කාලය ගෙවිලා යන අතරේ බර්ටියට ජොබ් එකක් හම්බවුනා.

බර්ටියා ඒ ජොබ් එකට යන්න තීරණය කලා. බර්ටියගේ ජීවිතේ ගත්ත මෝඩ තීරණ වලින් එකක් කියලා අදටත් බර්ටියා පසුතැවෙනවා ඒ ගැන. දැන් ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නෑ. ජොබ් එකට ගියාට පස්සේ අපි දෙන්නා හම්බවෙන්නේ ඉරිදට විතරයි. ඒත් හැමදාම වගේ අපි උදේට කතා කරනවා. පැය ගණන් මල් කඩන්න අපිට පුළුවන්කමක් තිබ්බේ නෑ ඒ දවස් වල.

ඔහොම ඉන්න අතරේ මනෝරිටත් ජොබ් එකක් හම්බවුනා. ඒ අතරේ බර්ටියත් කර කර හිටපු රස්සාවෙන් අයින් වෙනවා. ඉස්සර වගේම අපි ඉරිදට හම්බවෙනවා. මේ වෙනකොට අපේ ආදරය අවුරුදු එකහමාරක් විතර වෙනවා.

එක සැරයක් විවෘතයේ exam halls වල අලුත්වැඩියාවක් තිබ්බ හන්දා අපිට exams තිබ්බේ මරදානේ ටෙක්නිල් කොලේජ් එකේ. මනෝරිට විභාගයක් තිබ්බ දවසක බර්ටියා මනෝරිටත් නොකියා පිටකොටුවට ගිහිල්ලා 120 ඒ. සී බස් ගහන තැනට වෙලා හිටියා එයා එනකම්. බර්ටියාව දැක්ක මනෝරි හොදටම පුදුම වුනා. අපි දෙන්නා පළවෙනි පාරට කැම්පස් එකෙන් එළියෙදි හම්බවුනේ. අපි දෙන්නා පළවෙනි පාරට ඒ. සී එකේ පිළියන්දලට ගියා. එයා බොහොම බයෙන් තමයි හිටියේ අදුරන කෙනෙක් බස් එකට නගීවී කියලා. ඒ තමයි අපි දෙන්නා පළවෙනි හා අන්තිම පාරට එකට ගිය ගමන.

ඔය සිද්ධිය වෙලා ටික දවසකට පස්සේ අපි දෙන්නා ඇල අයිනේ බෙන්ච් එකක කතා කර කර හිටියා. මනෝරි බර්ටියාගෙන් ඇහුවා උමේෂ් අයියේ, ඔයාට මගෙ මුකුත් වෙනසක් පෙනුනේ නැද්ද කියලා (මනෝරි බර්ටියට කවදාවත් බර්ටි කියලා කතා කරන්නේ නෑ). බර්ටියටත් ඒ වෙනකොට පොඩි පොඩි වෙනස්කම් ටිකක් පෙනිලා තිබ්බේ. ඒ දවස්වල බර්ටියව පොඩ්ඩක් මඟ අරින ගතියක් දැනිලා තිබ්බා. කෝල් කලෙත් අඩුවෙන්. බර්ටියා ඒත් කිව්වේ එහෙම දෙයක් දැක්කේ නෑයි කියලා.

ඒ පාර මනෝරි කිවුවා, අයියේ අපේ අම්මලා කවදාවත් මේ සම්බන්දෙට කැමති වෙන්නේ නෑ. ඒක හින්දා තවත් දුරට මේ සම්බන්ධය අරගෙන යන්නේ නැතුව අද මෙතනින් මේ සම්බන්ධය නතර කරමු කියලා මනෝරි කිවුවා. අන්න ඒ වචන ටික නම් බර්ටියා කවදාවත් මනෝරිගෙන් අහන්න බලාපොරොත්තු වෙලා හිටියේ නෑ. ඒ වචන ටික දරාගන්න බැරිතරම් දුකක් එකතු කලා හදවතට. ආදරයක් කැඩිලා යන එකේ වේදනවා කොච්චරද කියලා තේරුනේ එදා තමයි බර්ටියට.

ඔය ටික කිව්වට පස්සේ බර්ටියා මනෝරිට කිව්වේ, ඔයා විතරක් එන්න. මට ඔයාගේ අම්මලාගෙන්වත් ඔයාගේ නෑදෑයන්ගෙන් වත් වැඩක් වැඩක් නෑ. මට ඕන කරන්නේ ඔයා විතරයි කියන ටික. ඒත් මනෝරි ඒ වචන වලට ඇහුකම් නොදෙන තරමට හිත ගල් කරන් හිටියේ ඒ වෙනකොට. එයා මේ දවස මේ ‍වෙන්වීම ටික ටික ප්ලෑන් කරලා තිබ්බා. කොච්චර වුනත් එයා පැය ගාණක් බර්ටියට තුරුල් වෙලා ඇඩුවා හොදටම. බර්ටිගේ ඇස්වලත් කදුළු පිරිලා තිබ්බේ ඒ වෙනකොට‍.

මොන දේවල් කිව්වත් මනෝරිගේ හිත හදන්න එයාගේ තීරණය වෙනස් කරන්න බර්ටියට පුළුවන් කමක් ලැබූණේ නෑ. එදා හවස අපි දෙන්නා වෙන්වෙලා ගියේ ආයේ ආදරවන්තයෝ විදිහට මුණ නොගැහෙන්න. එදා මුළු රෑම බර්ටියා කාමරේ පුටුව උඩට වෙලා කල්පනා කලා මොකක්ද කරන්නේ කියලා. ඒත් ඒකට උත්තරයක් තිබ්බේ නෑ.

දවසක් හරි දෙකක් හරි බර්ටියට මනෝරිව කැම්පස් එකේදි දැකගන්න ලැබුණත් එතනින් එහාට දෙයක් තිබ්බේ නැ. ටික කාලයක් අපි දෙන්නා ඉද හිටපා ෆෝන් එකෙන් කතා කලා ඒ වෙනකොට අපි දෙන්නාටම මොබයිල් ෆෝන් තිබ්බ නිසා. ඒත් මනෝරි වැඩ කර කර හිටපු තැනින් අයින් වුනාට පස්සේ ඒකත් අතීතයටම එකතු වුනා.ගොඩ කාලෙකට පස්සේ බර්ටියා පිළියන්දල ටියුෂන් එකක් කරලා ගෙදර එන්න බස් එකට නැග්ග වෙලාවෙද මනෝරිව දැක්කා. ඉස්සර වගේම තාමත් ලස්සනයි. එදායින් පස්සේ මේ සටහන ලියන දිනය දක්වාම බර්ටියා මනෝරිව දැකලා නෑ. පහුකාලෙකදි මනෝරිගේ හොඳම යාළුවා වෙච්ච ආනන්දී කිව්වා මනෝරි බැදලා දැන් ළමයෙකුත් ඉන්නවා කියලා.

දැන් ඒ හැමදෙයක්ම අතීත කාලෙට අයිති වුනත් තාමත් ඒ මතක සුන්දරයි. ඒ වගේම සමහර වෙලාවට ඒ මතක හිත රිද්දනවා. තාමත් මතක් වෙනවා අපි දෙන්නා අතින් අල්ලන් ඇවිදගෙන ගිය හැකි, එකට බත් කාපු හැටි. කැම්පස් එකේ කවුවත් නැති තැනක හොදටම ළංවෙලා හිටපු හැටි. ඒ මතක සුන්දර වගේම අනිත් පැත්තට වේදනාකාරියි. රොහාන් ශාන්ත බුලේගොඩ ගායකයා එයාගේ සින්දුවේ මේ පද ටික කිව්වේ බර්ටියාටම වෙන්න ඇති නොදැනම හරි.

විස්මිත ගමන අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්..

KB 2020.06.11

No comments: