බර්ටියා ඉස්කෝලේ යන කාලේ ගම්පහට ෆිල්ම් හෝල් තුනක් තිබ්බා. දැන් නම් ඊට වඩා වැඩියි. ටවුන් එකේ කොළඹ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙනවා එකක්. ඊළගට ජා ඇල පාරට වෙන්න තියෙනවා දෙකක්. මේ කියන සිද්ධියට සම්බන්ධ වෙන්නේ ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන එක. කට්ටියට මතකද දන්නේ නෑ 1998 සිංහල ෆිල්ම් එකක් ආවා ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා.
ඔය ෆිල්ම් එක එන්න මාස ගාණකට කලින් හෙණ මාකටින් පාරක් ගියා ෆිල්ම් එකට. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා තමයි ෆිල්ම් එක ආවේ. එතකොට බර්ටියා AL කරන්න ඉන්න කාලේ. බර්ටියා ඇතුලු පහේ කල්ලියත් වේලාසනින්ම ලෑස්ති වෙල හිටියේ ඔය ෆිල්ම් එක බලන්න. ඕක බලන්න වැඩිපුරම ඕනකම තිබ්බේ අපේ ගමයාටයි කොමනටයි. මුන් දෙන්නා ඕකේ පොස්ටර් ගම්පහ ගහලා තිබ්බ දවසේ ඉදන් යන්න ඕන කියනවා ඕක බලන්න. බර්ටියා නම් කොහොමත් වැඩි කැමත්තක් නෑ සිංහල ෆිල්ම් බලන්න. මුන් දෙන්නගේ කනකරච්චලේටම මේක බලන්න යන්න හා කියලයි තිබ්බේ.
මේකේ ඇත්ත නැත්ත කියන්න දන්නේ නෑ. ඒ දවස් වල කතාවක් තිබ්බා හෝල් එකක පෙන්නන පළවෙනි ෂෝ එකේ කෑලි කපන්නේ නෑ කියලා. ඒක නිසා මේ ෆිල්ම් එකේ පළවෙනි ෂෝ එකම බලන්න තමයි අපේ එවුන්ගේ අදහස වෙලා තිබ්බේ. ෆිල්ම් එක පෙන්නන්න පටන් ගත්තේ 1998 ජුනි මාසේ පස්වෙනිදා. එදා සිකුරාදා දවසක්. පහේ කල්ලිය එදා ඉස්කෝලෙත් නොයා ගම්පහට සෙට් වුනේ උදේ 10.30 ෂෝ එකම බලන්න හිතාගෙන. මොකද එතකොට කෑලි කපන්නේ නෑනේ. මාකටින් තිබ්බ විදිහට අපි ෆිල්ම් එක ගැන හොල්මන් වෙලා හිටියේ. මේක ඉතින් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි එකක් විදිහට ආවේ.
කට්ටිය සෙට් වෙලා උදේ 10.15 ට විතර හෝල් එක පැත්තට ගියහම තමයි හොදම සීන් එක දැක්කේ. අම්මට සිරි ෆිල්ම් හෝල් එකේ එළියේ හිටින් සෙනග. පෝලිම තියෙනවා හැතැප්මක් විතර. බර්ටියා ඒ ෆිල්ම් එකකට එච්චර සෙනඟ ඉන්නවා දැක්කාමයි. දැන් මාර අෆ්සෙට් එක. ආපහු යන්නත් මොකක්ද වගේ. කවුරු හරි දැකලා නෝණ්ඩි වෙයිද කියලත් සැකයි. ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන පහේ කල්ලියත් ගිහිල්ලා පෝලිමට සෙට් වුනා. අම්මෝ පෝලිම යනවා යනවා ඉවරයක් නෑ.
අපි ඉතින් ODC යන්න හිතාගෙන ආවේ. බැල්කනි යන්න කොහෙද අපිට සල්ලි. ටිකට් එක ගන්නත් ගෙදරින් කීයක් හරි මාටියා ගහන් ආවේ. ඒ කාලේ ODC ටිකට් එක රුපියල් 35 ද කොහෙද. දැන් 10.30 පහුවෙලා. වෙලාව පරක්කු වෙච්ච හින්දා හූ සද්දත් යනවා. ඊට වඩා සද්දෙට ෆිල්ම් හෝල් එකේ වැඩ කරන එවුන් කෑ ගහනවා. ඔහොම ගිහිල්ලා ටිකට් කවුන්ටරේ කිට්ටුවට වෙන්න තියෙන දැල අස්සට ආවා. එතනින් එහාට තනි පෝලිම. ඔතනට එන්නත් පට්ට ගේමක් දුන්නා තල්ලු කරගෙන පොර කාගෙන තමයි ඔතනට ආවෙත්. එතනට ඇවිල්ලා ඉන්නකොට මිනිස්සු පෝලිම පැනලා අර දැලේ එල්ලිලා උඩින් දැල අල්ලගෙන ගිහිල්ලා ටිකට් කවුන්ටරේ ගාවට පනිනවා. අපේ කොමනයි ගමයයිත් ඔය විදිහට පැන්නා. පොකයත් ඉස්සරහා. බර්ටියයි වවුලයිත් අමාරුවෙන් පෝලිම දිගේ ගිහින් ODC ටිකට් දෙකක් අරන් ඇතුලට පැන්නා.
දැන් 10.45 යි. ෆිල්ම් එකත් පටන් අරන්. හෝල් එකේ එකාගේ ටෝච් පාර දිගේ ගිහින් අමාරුවෙන් ෂීට් එකක් හොයා ගත්තා. ඒකත් මැදක තිබ්බේ. එතන ෂීට් හතරක්ද කොහෙද තිබ්බා. අනිත් එවුන් කොහෙද දන්නෙත් නෑ. බර්ටියයි වවුලයි එතනින් වාඩි වුනා. ෆිල්ම් එක දිහා බලනකොටම එක බලාපොරොත්තුවක් කඩවෙලා ගියා. ෆිල්ම් එක බ්ලැක් ඇන්ඩ් වයිට්. ගම කනවානේ ඉතින්. කමක් නෑ හොද වැඩිහිටියන්ට පමණයි කෑලි ටිකක් තියෙයි කියලා ෆිල්ම් එක බලනවා අපි දෙන්නා. ඔය අස්සේ තවත් කට්ටිය එනවා ෆිල්ම් එක බලන්න.පේළියේ මැදට වෙන්න බර්ටියා වාඩි වෙලා ඉන්නවා. ඊළගට හිස් ෂීට් එකක්. ඊළගට වවුලා. ඔය අස්සේ තවත් ඩබලක් ආවා ෆිල්ම් එක බලන්න. උන් දෙන්නටත් එක ළග වාඩි වෙන්න ෂිට් එකක් නෑ. එක ඩයල් එකක් ආවා අපේ පේලියට වාඩි වෙන්න. වවුලා නැගිටලා බර්ටියා ඉන්න තැන තිබ්බ හිස් ෂීට් එකට ආවා. අර ආපු කෙනත් ඇවිල්ලා ෆිල්ම් එක බලන්න වාඩි වුනා විතරයි මහා කසු කුසුවක් පැතිරිලා ගියා අපි ඉන්න අවට. බලනකොට එතන ඇවිල්ලා වාඩිවෙලා තිබ්බේ කෙල්ලෙක්. නිකම්ම නිකම් කෙල්ලෙකුත් නෙමෙයි රෑ සමනලියක් දවල් ඇවිල්ලා. සමනලිය හයර් කරපු එකා එක තැනක. කෙල්ලව තව තැනක. මුළු ODC එකටයි පළවෙනි පන්තියටයි ෆිල්ම් එක බලන්න ඇවිල්ලා හිටපු එකම කාන්තා පරාණේ ඒක.
මේ ආපු කෙල්ල එහෙම කෙනෙක් අපි දැනගත්තෙත් වටේ ඉන්න එවුන් කියපු කතා නිසා තමයි. උන් අපි දෙන්නට මාර උපදෙස් ටිකක් දුන්නා ෆිල්ම් එක බලන අස්සේ. අපිට පිටි පස්සේ හිටපු සෙට් එක මේ කෙල්ලව හොදට දැනගෙන හිටියා. ඒ කොහොමද කියන්න බර්ටියා නම් දන්නේ නෑ. සමහරවිට පරණ කස්ටරමර්ලා වෙන්න ඇති. එකෙක් ඉස්සරහට පාත් වෙලා අපි දෙන්නට කියාපි බය නැතුව අත ගාපන් කියලා. තව එකෙක් කිව්වා අඩු ගානට කතා කරගනින් කියලා. ඒ අස්සේ තවත් එකෙක් කියනවා දෙන්නම් කාසි වලට ගහපන් කියලා. අනේ අම්මෝ අපි දෙන්නට එතනින් නැගිටලා යන්න තිබ්බා නම් හොදයි කියලා හිතුනා ඒ වෙලාවේ.ඕවා ඔක්කොම අත ඇරලා අපි දෙන්නා ෆිල්ම් එක බලනවා. මෙලෝ රහක් නෑ ෆිල්ම් එකේ. අනුෂා දමයන්ති එහාට කරකැවෙනවා මෙහාට කරකැවෙනවා. කිසිම ගතියක් නෑ. ඒ අස්සේ ෆිල්ම් එක සමහර තැන්වලදි පාට වෙනවා. ආයේ කලු සුදු වෙනවා. ඉන්ටවල් එක වෙන්නත් ආවා, තාමත් කිසිම වැඩිහිටියන්ට පමණයි කෑල්ලක් නෑ. ඉන්ටවල් එකත් ආවා. ඔන්න යන්තමි ලයිට් ටික දැම්මා අපි දෙන්නත් වටපිට බැලුවා ටිකක්. කෙල්ලව ගෙනාපු එකා ඇවිල්ලා කෙල්ලව වෙන තැනකට එක්කරන් ගියා. අපිටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ආවා. පිටිපස්සේ හිටපු එවුන් කියපු විදිහට ගම්පහ ටවුන් එකේ එවුන් වැඩි හරියක් දන්නවා ඒ කෙල්ල ඩීල් වෙන කෙල්ලෙක් කියලා. කාගේ වුනත් ජීවිතයක් තමයි ඉතින්.
ඉන්ටර්වල් එක ඉවරවෙලා ෆිල්ම් එක පටන් ගත්තා. ෆිල්ම් එකේ ඉතුරු ටිකත් කට ඇරන් බලන් හිටියා වැඩිහිටියන්ට පමණයි කෑලි ටික එනකම්. ඔහේ නෑ. පරණ ෆිල්ම් එකක් ගත්තු කෑලි වගේකුත් මූට්ටු කරලා තිබ්බා ෆිල්ම් එකට. මෙලෝම රහක් නෑ. අපිටත් හොද පාඩම වැඩිහිටියන්ට පමණයි කෑලි බලන්න ගියාට. ෆිල්ම් එකත් ඉවර වුනා. අපිත් කට්ටියට යන්න දිලා හෙමින් සැරේ එළියට බැහැලා ඔරුතොට පාර පැත්තට ඇවිදන් ගියා ෆිල්ම් එක බලන්න නොගිය ගානට. ඊට පස්සේ තෝසේ කඩේකට ගිහිල්ලා තෝසේ පාරකුත් දාගෙන ෆිල්ම් එක හදපු එකාගේ අම්මවත් සිහි කර කර අපි ගෙවල් වලට ගියා. ඔන්න ඔහොමයි බර්ටියා ගර්ල් ෆ්‍රෙන්ඩ් බැලුවේ. බර්ටියගේ ජීවිතේට බලපු අන්තිම ජරාම ෆිල්ම් එකක් තමයි මේක. හොද වෙලාවට අතවරයක් නොවී බේරුණා බර්ටියයි වවුලයි.
No comments:
Post a Comment