රෝහල් සේවය 02

බර්ටියා ඇතුළු පහේ කල්ලිය රෝහල් සේවය කරන දවස් වල ගම්පහ ඉස්පිරිතාලේ දැන් තියෙන තට්ටු ගොඩනැඟිල්ල තිබ්බේ නෑ. රෝහලේ යක්කල පාර පැත්තෙන් තියෙන දොරෙන් ඇතුල් වෙලා ටික දුරක් යනකොට ලොකු සල් ගහක් තිබ්බා. සමහර දවස් වල ගහේ පුරාම සල්මල් දකින්න පුළුවන්. ඔය සල් ගහ පහුකරන් ඉස්සරහට ගියහම කොළඹ පාරේ දොරටුව ගාවට වැටෙනවා. ඔය පාර ගාව තියෙන තට්ටු දෙකේ ගොඩනැඟිල්ලේ තමයි ඉස්සර OPD එක, ෆාමසිය සහ අනිත් එක එක වෛද්‍ය සායන තිබ්බේ. සමහර වෙලාවට බර්ටියා කොළඹ පාරෙන් ඇවිල්ලා යක්කල පාරට වැටෙන්න කෙටි පාරක් විදිහට ඕක පාවිච්චි කළා ඒ දවස් වල. දැන්නම් ඒ සෙල්ලම් දාන්න බෑ. සල්ගහ ගැන ලියන්න කියලා අටම්පහියේ සහෝදරියක් ඉල්ලීමකුත් කරලා තිබ්බා. සල් ගහ හරියට රෝහලට ඇතුල්වෙන තැන ඉස්සරහාමයි තිබ්බේ.

රාජ්‍ය ආයතන කියන්නේ චංචා කරන්න ලේසිම තැන් කියලයි බර්ටියා හිතන්නේ. ඒ වගේම මිනිස්සු ගියාම වැඩක් කරගන්න තියෙන අමාරුම තැන්. කලාතුරකින් තමයි හොද මනුස්සයෙක් දකින්න ලැබෙන්නේ. ගොඩක් ඉස්පිරිතාලත් එහෙමත්. කිසිම විස්තරයක් අහන්න බෑ, පොඩි දේටත් මහ සද්දෙට කෑ ගහනවා. නර්ස්ලගේ ඇටෙන්ඩන්ලගේ තියෙන උද්දච්චකම කියලා නිම කරන්න බෑ. ඉස්සර නම් දොස්තරලා මේ අතරින් වෙනස් විදිහට දැක්කා. ඒ අයගේ මනුස්සකම තිබ්බා. ඒත් අද වෙනකොට ඒකත් වෙනස් වෙලා ඒ අයත් අර නර්ස්ලා ඇටෙන්ඩන්ලා ගානට වැටිලා. ඔය හැම දේකම හොද අය නැතුවම නෙමෙයි. ඒ මිනිස්සු අර නරක එක්ක වැහිලා ගිහිල්ලා. බොහොමයක් රාජ්‍ය සේවකයිනට් අමතක ඒ අය අපේ බදු සල්ලි වලින් තමයි එයාලගේ වැටුප් ගන්නේ කියන එක. ඒ වෙනුවෙන් එයාලට යුතුකමක් තියෙනවා රාජකාරිය කරලා දෙන්න. අනවශ්‍ය දෙයක් පෞද්ගලික දෙයක් නෙවෙයිනේ මිනිස්සු ඉල්ලන්නේ එයාලගෙන්.

වංචාව ගැන කියනකොට ඇහින් දැකපු එක උදාහරණයක් කියන්නම්. එක දවසක් වවුලයි බර්ටියයි වොඩ් එකක වැඩ කලා. ලෙඩක් ඩිස්චාර්ජ් (ටිකට් කපනවා කියන්නේ) කලින් ලෙඩාට crape bandage එකක් දෙන්න ඕන. වාට්ටුවේ crape bandage ඉවර වෙලා. අපි දෙන්නට ගබඩාවට ගිහිල්ලා එකක් ගෙනත් දෙන්න කිව්වා. ඒ අස්සේ එතන නර්ස්ටත් එකක් ඕන කියලා අර ලෙඩාගේ ටිකට් එකට crape bandage 2 ක් දාලා, ගබඩාවෙන් crape bandage දෙකක් ගෙන්න ගත්තා. ඔන්න නොමිලේ දෙන බඩු වලට වෙන දේවල්. ඔය අපි දැක්ක දේවල්. තව කොච්චර එහෙම දේවල් වෙනවා ඇද්ද?

දවසක් අපි භික්ෂු වාට්ටුවට ගිහිල්ලා දවල්ට කාලා ඉවරවෙලා අපහු එනකොට මැරෙන්න ට්‍රයි එකක් දිහා වැඩේ හරියට කරගන්න බැරිවෙච්ච පොරක්ව ගෙනල්ලා තිබ්බා. මිනිහා මොනවා හරි බීලා තිබ්බේ. පොරට මොනවා හරි දෙයක් පොවනවා බීපුවා තනුක කරලා වමනේ කරන්න. අපා දුකක් ඒක. ඒවගේ දෙයක් දැක්කහම දැනෙනවා සිය දිවි හානි කරගන්න ගිහිල්ලා බේරුනොත් හම්බවෙන ආතල් එක කොහොමද කියලා. පිස්සු හැදෙනවා.

තවත් සිය දිවි හානි කරගැනීමේ කේස් එකක් දැක්කා බර්ටියා තවත් කවුරු එක්ක හරි පණිවිඩයක් අරන් කාන්තා වාට්ටුවකට ගිය වෙලාවක. එක බැදපු කෙල්ලෙක් මිනිහත් එක්ක රණ්ඩු වෙලා මැරෙන්න උපත් පාලන පෙති ගොඩක් බීලා. කවුරු හරි දැකලා වෙලාවට ඉස්පිරිතාලෙට ගෙනාපු හන්දා ජීවිතේ බේරගන්න පුළුවන් වෙලා. ඒත් බීපු බේත් වල සැරට ඒ ගෑනු ළමයගේ ගර්භාෂය ඇතුළු ළමයෙක් හදන්න ඕන කරන පද්ධතිය (reproductive system එක) දරුණු විදිහට තුවාල වෙලා. ඒ ගෑනු ළමයට කවදාවත් ළමයෙක් හදගන්න බැරිවෙනවා කියලා එතන හිටපු දොස්තරලා කියනවා අපිට ඇහුණා. ඉතින් බලන්න හදිස්සි කේන්තිය නිසා මුළු ජීවිතකාලෙම විදවන්න වෙලා.

දවසක් උදේක බස් එකක් ඇක්සිඩන්ට් වෙලා ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් ගෙනාවා. එක ලෙඩෙක්ට බේතක් දෙන්න තිබ්බා. ඒක ඉන්ජෙක්ෂන් එකක්. හැබැයි අපිට පුරුදු විදිහට අතිට නෙමෙයි ඒක දෙන්න ඕන පස්සට. පොරට අම්බානකට කිති. ඇගිල්ලක්වත් කිට්ටු කරන්න බෑ ඇඹරෙනවා. ඉන්ජෙක්ෂන් එක ගහන්නම දෙන්නේ නෑ. ඩොකාටයි නර්ස්ලාටයි මළ පැනලා. ඇත්තනේ. ඒ පාර පොරව එතන ලෙඩ්ඩු බලන්න ගන්න ඇඳට දාලා හතර වටින් අල්ලගෙන බොහොම අමාරුවෙන් ඉන්ජෙක්ෂන් එක ගැහුවා තට්ටමකට. සෙල්ලම් නෑ බේත් විදින එකත්. බර්ටියත් ඉතින් පොරගේ අත්දෙකින් අල්ලගෙන හිටියා බේත විදිනකම්.

එක දෙයක් දැක්කා ඉස්පිරිතාලේ හිටපු දවස් 14 ඇතුලේ කියන්නත් ලැජ්ජයි. ඒත් මේ වගේ දේවලුත් සමාජයේ වෙනවා කියලා දැනගන්න ඕන නිසා කියන්නේ. දවසක් බර්ටියයි ගමයයි 8 වාට්ටුවේද කොහෙද ඉන්නකොට ඒකේ හිටපු ඩොකෙක් අපි දෙන්නට කතා කලා වරෙන් යන්න ගමනක් කියලා (දමිත් අයියගේ බැජියෙක්). බර්ටියට ඒ අයියගේ නම නම් මතක නෑ දැන්. මොකක්ද බේතකුත් අරගෙන ඩොක්ට යන පස්සෙන් අපි දෙන්නත් ගියා. ඩොක්ට ගියේ භික්ෂු වාට්ටුවට. ගිහිල්ලා පොඩි හාමුදුරුකෙනෙක් ගාවට ගියා. පොඩි හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් කතා බහ කරලා වටේ ආවරණ කරන්න තිරය ඇදලා අර ගෙනිච්ච බේත පොඩි හාමුදුරුවන්ගේ ගුද මාර්ගයට ඇතුල් කලා. දැනගත්ත විදිහට ඒක වේදනා නාශකයක්යක්. වෙලා තියෙන සීන් එක තමයි පොඩි හාමුදුරුවන්ට කවුරු හරි ලොකු ඝන ගෙඩියෙක් අතවරයක් කරලා. ඒක නිසා පොඩි හාමුදුරුවන්ගේ ගුද මාර්ගය තුවාල වෙලා. ඔන්න ඉතින් කෙලෙස් නීහීන කරන්න එන ඇත්තන්ගේ වැඩ.

අපි කට්ටිය OPD බේත් දාන කාමරේ ඉන්නකොට ඕකේ දෙන්නෙක් වැඩ කලා. එක්කෙනෙක් බර්ටියා කලින් කියපු අක්කා. තව නිතර දෙවෙලේ දෙකක් දාලා ඉන්න පොරකුත් හිටියා ඕකේ. බර්ටියට දැන් මෙයාලගේ නම් මතක නෑ. පොරව හොයාගෙන සමහර වෙලාවට තුවාල කරගත්ත බේබද්දෝ එනවා හොර පාරෙන් බේත් දාගන්න. බේත් දාගෙන පොරට කීයක් හරි අත මිට මොළවලා යනවා. පට්ට සීන් තමයි. ඇත්තටම සමහර වෙලාවට බේත් දාගන්න එන මිනිස්සු අපිටත් සල්ලි දීපු වෙලාවල් තියෙනවා. අපි නම් කවදාවත් සත පහක්වත් අරන් නෑ ඒ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන්.

එක ගෑනු කෙනෙක් එනවා සතියකට දෙසරක් විතර කකුලේ තුවාලයකට බේත් දාගන්න. ඒ මනුස්සයට පොඩ්ඩක් මොළෙත් අෆ්සෙට් වගේ. තුවාලයක් කිව්වට ඒක නිකම් බෙණයක් වගේ. කතුර තුවාලේ ඇතුලට දැම්මත් අර මනුස්සයට වගේ වගක් නෑ තුවාලේ කෙළවරකුත් නෑ. පිස්සු වගේ අපිටත්. දියවැඩියා තුවාල එහෙම එනවා ජීවිතේ තියෙන අසුන්දරම අස්ථිරම බව අපිට මතක් කරලා දෙන්න. බේත් දාන කාමරෙන් අපි තුවාල ගැන ඉගෙන ගත්ත දේ බොහොමයි. දොස්තරලා මැනුම් දාන්න එහෙම එතනට ආවහම අපිටත් යමක් කියලා දෙන්නත් අමතක කලේ නෑ. ඒ අයට බොහොමත්ම ස්තුතියි අපිට දෙයක් දුන්නට. අපේ අයට මැහුම් කපන්නත් අවස්ථා කීපයක්ම ලැබුණා. දැන් නම් ඒවා අමතකත් වෙලා ගිහිල්ලා.

OPD එකේ ෆාමසි එකේ ඉන්නකොට වාසි වෙච්ච වෙලාවලුත් තිබ්බා. කීප සැරයක්ම අපි ඒ ලෙවල් වලට පන්ති යනකොට ගණන් උස්සපු කෙල්ලෝ ඇවිල්ලා හිටියා ගෙවල්වල අයත් එක්ක බේත් ගන්න. බේත් ගන්න ගියහම දන්නවනේ අර කවුන්ටරේ ඉස්සරහා තියෙන දිග පෝලිම් වල සැහෙන වෙලාවක් තෙරපිලා කට්ට කන්න ඕනනේ බේත් ටික ගන්න. ඕක පට්ට කට්ටක්. කීප සැරයක්ම අපිට පුළුවන් වුනා ඔය පෝලිමේ කට්ට කකා හිටපු අපිට පාට් දාපු කෙල්ලන්ට බේත් ටික පෝලිමෙන් පිට අරන් දෙන්න. රතු ටයි එකක් දාපු බාලිකාවේ ඩොටි එතකොට ගලහිටියේ කිරි, සීනී, තේ කොළ සෙට් එකේ කිරී අපි එහෙම බේත් අරන් දීපු කෙල්ලෝ දෙන්නෙක්.

ෆාමසි එකේ වැඩ කරපු එක අයියා කෙනෙක් හිටියා එක එක විජ්ජා වැඩ පෙන්නපු ඕකේ තිබ්බ කෙමිකල් වලින්. හරි හොද මනුස්සයා. මිනිහා අපිට කලින් රෝහල් සේවයට ආපු කෙල්ලන්ට ඕවා පෙන්නලා හෙණ වීරයා වෙලා හිටියේ. පොර අපිටත් ඕවා පෙන්නුවා. ඒත් පොර බාගෙට ඒවා පෙන්නගෙන එනකොට අපි කියනවා මේවා මේවා දැන්මහම තමයි ඕවා වෙන්නේ කියලා. දවසක් පොරගෙන් එතන වැඩකරන වෙන කෙනක් අපිව පෙන්නලා ඇහැව්වා ඇයි මෙයාලට විජ්ජා පෙන්නන්නේ නැද්ද කියලා. මිනිහා ඒ පාර කියනවා මෙයාලට ඒවා පෙන්නලා වැඩක් නෑ. මෙයාලා ඒවා ඔක්කොම දන්නවා කියලා. බර්ටියව පෙන්නලා කිව්වා මෙයා තමයි වැඩි පුරම දේවල් දන්නේ කියලා.

ඒ දවස් වල ඉස්පිරිතාලේ වැඩ කලා කුමාරි කියලා ඇටෙන්ඩන් අක්කා කෙනෙක්. හරිම ලස්සනයි. එයාලගේ යුනිෆෝම් එක නැතුව කැෂුවල් ඉන්නකොට හරියට ඒ ලෙවල් කරන කෙල්ලෙක් වගෙයි. අපේ සමීර මල්ලී දවසක් කුමාරි අක්කව කැෂුවල් පිට දැකලා මෙයා ඒ ලෙවල් කරන කෙල්ලෙක් වගේනේ කියලත් කියවුනා. කුමාරි අක්කට අපිත් එහෙන් මෙහෙන් ලයින් දැම්මට වැඩක් හරි ගියේ නෑ. පොකයගේ අම්මයි දමිත් අයියයි ඉන්න නිසා අපිට වැඩි සෙල්ලම් දාන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.

රෝහල් සේවයේ දවස් 14 නොදැනීම විනෝදයෙන් ගෙවිලා ගියා. ඔය අස්සේ මේට්‍රන් අම්මණ්ඩි එක්ක රණ්ඩු වෙච්ච අවස්තාත් තිබ්බා. රෝහල් සේවය අස්සේ කොමනා මාරුවෙලා ඩ්‍රයිවින් පුරුදු වෙන්න ගිය වෙලාවලුත් තිබ්බා. මොනවා වුනත් අපි සෙට් එක ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දමිත් අයියා, ලක්මාලි අක්කා, රන්නොළුව අයියා අතුලු ඩොකාලා ටික අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒවා දැන් අපිට මතක නැති එක වෙනම කතාවක්. ඒ වගේම පොකයගේ අම්මා, සන්ධ්‍යා අක්කා, ගුණදාස අයියා ඇතුලු කට්ටියත් අපිට ගොඩක් උදව් කලා. ගොඩක් අයගේ නම් දැන් මතක නෑ බර්ටියට. ඉතින් එහෙම අදට ඇති. ටටා

KB 2020.07.31

රෝහල් සේවය 01

කට්ටියටම මතක ඇති බර්ටියා බර්ටියගේ ඉස්කෝලේ ප්‍රථමාධාර කවයේ ප්‍රබල සාමාජිකයෙක් බව. ඕකට වෙලා නටපු පිස්සු තමා මතකයි එදා වගේම. ඕක ඇතුලට රිංගලා කට් කරපු පීරියඩ් ගාණ අනන්තයි අප්‍රමාණයි. එතකොට කරපු හොර වැඩ. මොනවා කලත් අපි සෙට් එකම ජාම බේරගෙන හිටියා කාටවත් චාටර් නොවී.

98 අපි උසස් පෙළ විභාගය ලියලා ඉවර වුනාට පස්සේ අපිට දවස් 14 ක් ගම්පහ මහ රෝහලේ (ඒ දවස් වල මූලික රෝහල) රෝහල් සේවයට යන්න අපේ ප්‍රථමාධාර කවය බාරව හිටපු අපේ ලැවෝසියර් සර් සෙට් කරලා දුන්නා. ඔය දවස් වල බර්ටියා ගෙදරට වෙලා හිටියේ. අපේ ගල් ඉබ්බෝ ටික මටත් නොකිය දවස් දෙක තුනක්ම රෝහල් සේවයට ගිහිල්ලා තිබ්බා. බර්ටියාට මේක දැනගන්න ලැබිලා අම්බානකට මල පැනලා කට්ටියට සුද්ද සිංහලෙන්ම ඇමතුවාට පස්සේ දවසක් ගමයා බර්ටියව හොයාගෙන ගෙදරටම ආවා ඊළග සදුදා ඉදලා රෝහල් සේවයට එන්න කියන්න.

ඔය වගේ කුණු කොන්තරත් වලට සැදී පැහැදී හිටිය බර්ටියත් සඳුදා (98 සැප්තැම්බර් 14) උදේම නැගිටලා සුදු ඇදුමත් ඇදගෙන බර්ටියගේ අම්මා බැදලා දුන්න බත් ගෙඩියත් බෑග් එකේ දාගෙන ගම්පහ පැත්තට ගියා. බර්ටියට අමතරව එදා ඇවිල්ලා හිටියේ වවුලයි, පොකයයි, ගමයයි. අපිට අත්සන් කරන්න පොතක් තිබ්බා මේට්‍රන්ගේ කාමරේ. ඒක අත්සන් කලාට පස්සේ බර්ටියටයි ගමයටයි 9 වාට්ටුවට යන්න කිව්වා. වවුලයි පොකයාවයි වෙන වාට්ටුවකට දැම්මා. බර්ටියත් ඉතින් නමෝ විත්තියෙන් කියලා ගමයත් එක්ක 9 වාට්ටුවට ගියා. අම්මේ අපිව දැක්කා විතරයි වාට්ටුවේ නර්ස්ලාටයි සිස්ටර්ටයි ගිය හිනාව. බලන කොට වාට්ටුවේ තිබ්බ පොඩි වීදුරු කුප්පි ඉවර වෙලා ඔය ලේ සාම්පල් එහෙම එකතු කරන්න ගන්න. ගිය ගමන් දෙන්නට හම්බවුනේ බෝතල් සුද්ද කරන ජොබ් එකක්.

ඔය එක එක විදින්න ගන්න දියර බේත් ජාති දාලා එන කුප්පි සුද්ද කරන්න තමයි වාට්ටුවේ සිස්ටර් අපිට බාර දුන්නේ. ඉස්සෙල්ලාම බෝතල් ටික විනාඩි 15 ක් විතර උණු වතුරේ දාන්න ඕන. එතකොට ඒවායේ ලේබල් වල තියෙන ගම් එක දියවෙලා ලේබල් එක අයින් කරන්න පුළුවන් ලේසියන්ම. ඊළගට ඔය සැමන් ටින් එහෙම කඩන්න ගන්න කටර් එකක් පිටිපස්සේ කෑල්ල පාවිච්චි කරලා බෝතලේ කට වටේ තියෙන යකඩ ආවරණය ගලවලා දාන්න ඕන. ඔය විදිහට උදේ පාන්දරම දෙන්නට බෝතල් 100 ක් විතර සුද්ද කරන්න ලැබුණා. ඒ අස්සේ බෝතල් 10 -15 දෙන්නා කුණු කූඩේටත් අත ඇරියා. ඔහොම කරලා යන්තම් ඒ වැඩේ ඉවර කරලා දෙන්නා පොඩ්ඩක් මාරු වුනා එළියට.

ඇත්තටම අපි මේ රෝහල් සේවයට ආවේ අපේ දැනුම දියුණු කරගන්න. ඒත් බොහොමයක් වාට්ටු වල හිටපු නර්ස්ලා සිස්ටර්ස්ලා කලේ අපේ ඔය වගේ වැඩගන්න ලෑස්ති වෙච්ච එක. උන්ට අපිට වචනයකවත් දෙයක් කියලා දෙන්න උවමනාවක් තිබ්බේ නෑ. වාට්ටුවේ ඉන්න ඇටෙන්ඩන්ලා ලව්වා කරගන්න ඕන දේවල් අපෙන් කරගන්න බැලුවා මිසක්. ඕකට තව හේතුවක් තිබ්බා. අපි එන්න කලින් රෝහල් සේවයට ආවා ගම්පහ තිබ්බ තවත් ප්‍රථමාධාර කණ්ඩායමක කෙල්ලෝ සෙට් එකක් ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා දවස් වල. ඒ සෙට් එක නම් කියන වැඩක් දෙයියනේ කියලා කරලා (අපේ වචන වලින් නම් හොදට මුට්ටිය අල්ලලා) හිටපු එක තමයි කරලා තියෙන්නේ. අපිට එහෙම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න ඕන කමක් තිබ්බේ නෑ ඉතින්.

දවල්ට කන වෙලාව ආපුවහම අපි කන්න ගියේ භික්ෂු වාට්ටුවේ තිබ්බ පොඩි කාමර කෑල්ලකට. එතන මේසේ උඩ බත් එක තියන් සුපුරුදු විදිහට අපි කන්න සෙට්වුනා. වවුලගෙයි පොකයගෙයි වාට්ටුවේ දෙයියන්ගේ ලෙඩ (නෑ නෑ වසූරිය නෙවෙයි පැපොල. අර ගහේ හැදෙන්නේ) හැදිලා හොදටම අමාරුවෙච්ච ලෙඩෙක් ඉදලා තියෙනවා. පොකයා හෙණ විද්‍යාත්මක වචනයක් කිව්වා ඒ වෙලාවේ ඒත් බර්ටියාට දැන් ඒක මතක නෑ. ඔය අස්සේ වවුලලා භික්ෂු වාට්ටුවේ ඉන්න හාමුදුරුකෙනෙකුත් අදුරගෙන ඒ වෙනකොට. ඒ හාමුදුරුවෝ හාමුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ බලාගන්න ඇවිල්ලා හිටියේ. හාමුදුරුකෙනක් වුනාට හෙණම ජොලි පොර ඉතින්. අපේ එවුන්ට බයිට් එකට ගන්න තියෙනවා නම් ජනාධිපති වුනත් කමක් නෑනේ ඉතින්.

දවස ඔහොම පලක් නැති දේවල් වලින් ගතවෙලා ගියා. වචනෙක දෙයක් ඉගෙන ගන්න ලැබුනේ නෑ. යන්න කලින් මේට්‍රන්ගේ ඔෆිස් එකට ගිහින් දවසේ අපි කරපු වැඩ ගැන පොඩි සටහනක් මේට්‍රන් ලව්වා අත්සන් කරගන්න ඕන. ඒකත් කරගෙන අපි ගෙවල් වලට ගියා.

පහුවදා ආපු අපි අපිට ඕන තැන්වල යන්න තීරණය කලා. බර්ටියයි වවුලයි OPD එකේ තිබ්බ ෆාමසියට රින්ගුවා. අනිත් දෙන්නා තුවාල වලට බේත් දාන කාමරයට රිංගුවා. ෆාමසියේ කියලා ලොකු දෙවල් ඉගෙන ගන්න තිබ්බේ නැතත් අපිට ජොලියේ ඉන්න පුළුවන් වුනා. ඒකනේ වැදගත්ම දේ ඉතින්. බේත් ජාති ගැන විස්තර ටිකක් දැන ගන්නත් පුළුවන් වුනා. ඔය ඉස්පිරිතාලෙන් තැල්මට ගාන්න දෙන් අමුතු ගඳක් එන බේත හදන විදිහත් බලාගන්න ලැබුණා. එතන වැඩ කරපු ඖෂධවේදියෝ (pharmacist) ටික හරිම හොදයි. අපිට බේත් ගැන විස්තරත් කියලා දුන්නා. අර නර්ස්ලා වගේ පුස් පාට් දැම්මේ නෑ අපිට. අපිත් ඉතින් කැමැත්තෙන්ම බේත් ඔතලා දුන්නා එයාලට. අපිට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ. ඒ අපේ හැටි.

ඔය දවස් වලා වරුණගේ ලොකු අයියා Internal කරන්න ඇවිල්ලා හිටියේ ගම්පහ ඉස්පිරිතාලෙට. අයියා මදිවට අයියගේ යාළුවෝ සෙට් එකත් ඇවිල්ලා හිටියා. ඒ සෙට් එක හිටියේ 8 වාට්ටුවේ. අපි ඉතින් දවල්ට කෑම කාලා ඔය පැත්තේ රස්තියාවක් ගහලා එනවා. දමිත් අයියා ඉතින් අපිව බයිට් එකට ගන්න එක තමයි කරන්නේ. දමිත් අයියගේ බැජ් එකේ ගර්ල් කෙනෙක් හිටියා ලක්මාලි කියලා. ලක්මාලි අක්කව වවුලට සෙට් කරලත් කතා හදනවා. ඉතින් කොහෙද? ඒ ඩොක්ටර්ස්ලා ටිකත් හරිම හොදයි. අන්න එයාලගෙන් නම් අපි දේවල් ඉගෙන ගන්න ලැබුණා. එයාලා ඉන්න හන්දා නර්ස්ලත් අපිට අනම් මනම් කියන්න ආවේ නෑ. අනික ඇටෙන්ඩන්ලා ගොඩක් අඳුන ගන්නත් ලැබුණා පොකයලගේ අම්මා ඒ දවස්වල ඉස්පිරිතාලේ වැඩ කරපු නිසා. ඒකත් වාසියක් වුනා අපිට. කවුරුවත් ලොකු ගෙම්බර් දාන්න ආවේ නෑ. පොඩි පොඩි ඒවා නම් ආවා මුල් දවස්වල.

දවසක් උදේ වැඩ පටන් ගන්න කලින් බර්ටියයි වවුලයි බේත් දාන කාමරේ හිටියා එකේ වැඩ කරන ඇටෙන්ඩන් අක්කත් එක්ක කයියක් ගගහා. ඒ අක්කා අපිත් එක්ක හොදටම ෆිට් ඉතින්. අපි ඉන්න කොට එයාලට අඩුවෙන්නේ වැඩ කරන්න වෙන්නේ. අපි බොහොම කැමත්තෙන් බේත් දාන එක කලා ඉතින්. ඔතන ඉදලා තමයි මැහුම් දාන්න කපන්න ඉගෙන ගත්තෙත්. ජීවිතේට දැකපු නැති තුවාල ටිකක් දැක ගන්න ලැබුණා ඔය දවස් 14 ඇතුලෙදි. ඔහොම කයිය ගහගෙන ඉන්නකොට එක පාරටම ඩොකෙක් පාත් වුනා වයසක අන්කල් කෙනෙකුත් එක්ක.

පොර බේත් දාන කාමරේ ඇතුලට ඇවිල්ලා අපෙනුත් විස්තර අහලා අර අක්කාගෙන් ලෝකල් ඇනෙස්තෙටික් (හිරි වැටෙන්න බේත ගහනවා කියන්නේ ඒකට) එකක් ඉල්ලුවා. බර්ටියා එදා තමයි ඒ වචනේ ඉස්සෙල්ලාම ඇහුවෙත්. ඩොකා අන්කල්ව පුටුවක වාඩි කරවලා අන්කල්ගේ කකුලත් එතන තිබ්බ බංකුව උඩින් තියලා බේත් බෝතලෙයි ඉන්ජෙක්ෂන් එකයි අරන් අපි දෙන්නටත් කතා කරලා “මේවා ලොකු දේවල් නෙවෙයි පුතා හොදට බලාගන්න” කියලා දමලා ඇරියා අර ඉන්ජෙක්ෂන් එක අන්කල්ගේ තුවාලෙට. අන්කල්ට එක පාරටම “හුක්” ගෑවුනා. අපි දෙන්නට මැරෙන්න හිනා. ඒත් හිනා වෙන්න විදිහක් නෑනේ. බේත් එක එක පැත්තකින් එළියටත් විද්දා ගහපු පාරට. ටික වෙලාවකට පස්සේ පොර තුවාලේ කපලත් පෙන්නුවා අපිට. ඒ කපන කොට ඒක අස්සේ හිරවෙලා තිබ්බ කටුවක් වගේ එකක් හොයාගන්නත් ලැබුණා ඩොකාට.

දවසක් උදේ මනුස්සයෙක් ආවා බල්ලෙක් කාලා. ගෙදරම හදපු බල්ලට මොකක් හරි චුන් එකක් ගිහිල්ලා අයිතිකාරයව කාලා. ඇඟ පුරාම තුවාල. සමහර ඒවා මැහුම් දාන්න ඕන සයිස් එකේ. ඒත් මැහුම් දාන්න කියලා නෑ. එදා හිටියේ බර්ටියයි ගමයයි. අපි ඉතින් ඇටෙන්ඩන් අක්කාගේන් ඇහුවා ඇයි මැහුම් දාන්නේ නැත්තේ කියලා. එදා තමයි අපි දැනගත්තේ සත්තු කාපු තුවාල වලට මැහුම් දැම්මහම ඒවා පැසවනවා කියලා. දවසක් බේත් දාන තැනට කෝපි කඩේ අබිලින් පාත්වුනා. පොරත් තුවාලෙකට බේත් දාගන්න ඇවිල්ලා. අපිත් එක කයියකුත් ගහලා ගියා පොර. ඒ කාලේ ෆොටෝ එකක් ගහන්න කැමරා ෆොන් තිබ්බ එකක් යෑ. ඒ කාලේ තිබ්බේ තඩි ගඩොල් භාග තමයි.

අපි බේත් දාන තැන ඉන්නකොට බීපු මිනිස්සු එනවට හරි කැමතියි. එහෙම සෙට් එක මැහුම් එහෙම දාගෙන ආපුවහම අපිට මැහුම් කපන්න එහෙම චාන්ස් එක ලැබෙනවා. හැබැයි ඉතින් මල වදේ පොරවල් ආවහම. ඇටෙන්ඩන් අක්කට බය නිසා අවුලක් නෑ අපිට. කවුරුවත් අපිත් එක්ක නම් රණ්ඩු වෙන්න ආවේ නෑ. සමහර දවස්වලට මිනිස්සු සල්ලිත් දෙන්න හදනවා. බොහොම දුප්පත් මිනිස්සු. බේත් ටික දාගෙන රුපියල් 5, 10 දෙන්න හදපුවා තාම මකතයි. අපි කවදාවත් සත පහක්වත් ඔතන ඉදලා බේත් ටික දැම්මට ගත්තේ නෑ. ඒ මිනිස්සුත් දන්නවා හරියට වැඩේ කරගන්න කීයක් හරි දෙන්න ඕන කියලා. ඔන්න ඉතින් රාජ්‍ය සේවයේ තරම.

තව සිද්ධි ගොඩක් තියෙනවා රෝහල් සේවයෙදි වෙච්ච. අනිත් දවසේ දාන්නම් ඒවා. දැනටත් දිග වැඩිද මන්දා. එහෙනම් පස්සේ හමුවෙමු.

KB 2020.07.18

භීෂ්මයන්ගේ අවසන් වදන්

1990 ගණන් වල එක්තර ශ්‍රි ලංකීය රූපවාහිනී නාලිකාවක් හරහා විකාශය කෙරුණු මහාභාරත් කතා මාලාව බර්ටියාගේ අතිශයින් සිත් ගත් කතා මාලාවකි. එය දක්නට ලැබෙන්නේ හොද, නරක, යුක්තිය, අයුක්තිය, සාධාරණය, අසාධාරණය අතර දෝලනය වන්නාවු චරිත රාශියකි. මේ චරිත අතරින් චරිත තුනක් බර්ටියගේ සිතේ රැදුණා.

ඒ අතරින් එක චරිතයක් තමයි ක්‍රිෂ්ණාගේ චරිතය. පොතපතේ සදහන් වෙන්නේ ක්‍රිෂ්ණා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වලින් එකක් විදිහට සලකනවා. කුරු පාණ්ඩවයන් අතර ඇතිවන යුද්ධයේදි අර්ජුනගේ රථය පදවන්නේ ක්‍රිෂ්ණ විසින්. කුරු පාණ්ඩව යුද්ධය ආරම්භවීමට මොහොතක පෙර තම නෑදෑයන්ට විරුද්ධව අවි එසවීමට අර්ජුන පසුබට වෙනවා. ඒ අවස්තාවේදී ක්‍රිෂ්ණා තමන්ගේ දේවත්වය අර්ජුනට ප්‍රදර්ශනය කරමින් මෙම යුද්ධයේ අත්‍යාවශය එකක් බව අර්ජුනට පැහැදිලි කරවන්න භගවත් ගීතාව දේශනා කරනවා.

ඊළගට අර්ජුන. කුරු පාණ්ඩව යුද්ධයේ එන දක්ෂම (සුපිරි) ධනුර්ධයා. ඔහුගේ හැකියාවන්ට යන්තමින් හෝ සමකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් ඒ ඔහුගේම වැඩිමහල් සහෝදරයා වන කරණ්. නමුත් ඔහු සිටින්නේ ප්‍රතිවිරුද්ධ පිලේ. ඒ වගේම අර්ජුන ඔහු තමන්ගේ සහෝදරයා කියලා දන්නෙත් නෑ. ඒ ඇරණහම බර්ටියා කැමති තුන්වෙනි චරිතය අර්ජුනට සමකරන්න පුළුවන් දක්ෂයෙක්. අර්ජුනගේ ගුරුවරයා වන ආචාර්ය ද්‍රෝණටත් වඩා ඔහු දක්ෂයි.

තුන්වෙනි චරිතයට තමයි බර්ටියා වැඩියෙන්ම ආදරේ කරන්නේ. ඔහු හැමදෙනාගේම ආදරයට ලක්වු කෙනෙක්. තමන් සතු රාජ්‍යයේ සිට සියලුම දේවල් මෙන්ම අවසානයේ තමන්ගේ ජීවිතයද ඔහු තම ප්‍රිය හස්තිනාපුරය වෙනුවෙන් පුජා කරනවා. අර්ජුනයන්ගේ හී වර්ෂාවෙන් තුවාල ලබන ඔහු යුද්ධයේ අවසානය දක්වාම තම හී යහන මත ජීවත් වෙනවා. ඔහුත් මේ යුද්ධයේ ඉන්න දක්ෂම සෙන්පතියෙක්. දක්ෂ දුනුවායෙක්. ඒ තමයි පිතාමහ ගංඟා පුත්‍ර භීෂ්ම. ගංඟා පුත්‍ර හීෂ්මයන් වෙනුවෙන් තමයි මේ වදන් පෙළ ලියවෙන්නේ.

ලේ ගලන සිරුරින්
අඩපණව වැතිරී සිටිමි මම
හීතල යහන මත
නිවාගෙන පිපාසය
ගංඟා මාතාවගේ ඇසෙන් ගැලූ කඳුලින්
අහෝ මෑණියන් !
සිත් නොදෙන්නේ ඇයිද මට මියෙන්නට
නිමක් නොදැක මේ කුරිරු සටනේ කෙළවර
ක්‍රිෂ්ණා,
ධර්මයේ ශක්තිය ඔබයි සැමවිට
සොවින් කම්පිතව බිම තැබූ දුනු හී
ඔසවන්න දුන් සවිය අර්ජුනට
පුතණුවනි මා අර්ජුන,
හී යහන නුඹ තැනූ මට
සුමුදුය සුසිනිදුය
තවත් නොහඩන්න පුත, මිය ඇදෙන මා නමින්
අයුක්තිය, අධර්මය පරදවා
ගෙන එන්න සාමය
මතු දිනක මා නිදන ප්‍රිය හස්තිනාපුරයට
දනිමි එය හැකි බව
නුඹට පුත යුධිෂ්ඨිර
ධර්මයේ ශක්තිය සැම කල්හි සිත දරණ
___________________________________________________________________
KB 2019.12.01

අමාවකක් වු සිත් අහසට

ගංඟාවක් සේ එකාකාරව ගලා ගිය දිවිය
දිය ඇල්ලක් සේ හැඩ කළේ නුඹයි .....
පාළු වු හදවතට සිනා හඩ මුසු කළ
වදන් පෙළ නුඹයි

අමාවකක් වු සිත් අහසට එළිය දුන්
සඳවතියද නුඹයි ......
නිහඩ වු දිවියට සොඳුරු බව එක් කල
සුපිපි මල් ගොමුවද ඔබයි ......
පිපාසිතව හෙම්බත් වු දිවි මඟට ඇද හැලුණු
මුතු වැස්සත් නුඹයි ......

ගිලන් වු මහද සුවපත් කළ දයාවිය
රැදෙන්න දිවිය පුරාවට මා අසල
දුක සැප එක්ව විදිනට
___________________________________________________________________
KB 2017.12.27


හෝඩිය

බර්ටියා යනු කුඩා කල සිටම පාඩම් වැඩ වලට කම්මැලි වු සත්වයෙකි. මෙහෙම ලිව්වොත් තමයි බර්ටියා ගැන හරිම අදහස එන්නේ. මේ කියන්න යන්නේ බර්ටියා පොඩි කාලේ වෙච්ච දෙයක්. මේ කියන සිද්ධිය වෙන්නේ 1984 විතර. බර්ටියට ගෙදරට වෙලා හිටපු කාලේ ඉවර වෙලා චුට්ටක් ලොකු මහත් වෙලා මේ කියන කොට ඉස්කෝලේ යන්න කාලේ හරි යාගෙන එන්නේ.

ඔහොම ඉන්න අස්සේ බර්ටියගේ අම්මට හිතුනා බර්ටියව ඉස්කෝලේ යවන්න කලින් සිංහල හෝඩියේ අකුරු ටිකක් බර්ටියට උගන්නලා තියන්න. ඒ කාලේ සිංහල තමයි ඉතින් වැදගත් වුනේ. බර්ටියා ඉංශ්‍රීසි කියලා එකක් තියෙනවද කියලාවත් ඒ දවස්වල දැනගෙන හිටියේ නෑ ඉතින්. බර්ටියගේ අම්මා බර්ටියට සිංහල හෝඩිය උගන්නන්න හිතන් සිංහල හෝඩි පොතකුයි තවත් මොනවා හරි එක්සයිස් පොත් දෙක තුනකුයි ගෙනල්ලා තිබ්බා.

හා හා පුරා කියලා දවසක් දා බර්ටියගේ අම්මා බර්ටියව අල්ලගෙන සිංහල හෝඩිය උගන්නන්න ගත්තා සාලේ මේසේ වාඩි කොරවගෙන. බර්ටියටත් ඒ දවස් වල එක තැනක වැඩිවෙලා ඉදලා පුරුද්දක් නෑ. දැන් කියලත් වෙනසක් නෑ ඉතින්. දැන් බර්ටියගේ අම්මා බර්ටියට සිංහල උගන්නනවා මේසේ උඩ සිංහල පොතත් දිග ඇරගෙන්. අම්මා ඉස්සෙල්ලා අකුරු පෙන්නලා අකුරේ නම කියනවා, බර්ටියා ආපහු කියනවා. ඔහොමයි මුලින් වැඩේ ගියේ.

අම්මා: “අ” යන්න

බර්ටියා: “අ” යන්න

අම්මා: “ආ” යන්න

බර්ටියා: “ආ” යන්න

ඔය විදිහට පාඩම පැයක් විතර ඇදිලා ගියා. පාඩම ඉවර වුනා විතරයි බර්ටියා මාරු. වැඩේ හොද හරිය පටන් ගන්නේ පස්සේ දවසක. පහුවදත් බර්ටියගේ අම්මා බර්ටියව අල්ලා ගත්තා පාඩම. කරුමේ කියන්නේ කලින් දවසේ කරපු කිසි දෙයක් බර්ටියට මතක නෑ. ඉතින් බැනුම් කෝටියයි.

තව දවසක් දෙකක් යනකොට බර්ටියගේ අම්මා බර්ටියට අකුරු ලියන්නත් කියලා දෙනවා. සුදු කොලෙ තියෙන පොතක පැන්සලෙන් ඉරි ගහලා අම්මා පළවෙනි අකුර ලියලා. ඉතුරු අකුරු ඔක්කොම බර්ටියා ලියන්න ඕන. අසාධාරණයි තමයි ඉතින්. බෑ කියලා මාරු වෙන්නයෑ. කන්න වෙනවනේ අම්බානකට.

බර්ටියත් ලියනවා. බැනුම් ලෝකයයි ඉතින්. අකුරු වටකුරු නෑ කියලා බනිනවා. ඊළගට හරියට රෑල දිගේ ලියලා නෑ කියලා බැනුම්. කණෙන් අදිනවා. ගුටි දෙනවා කියලා වැඩක් නෑ ඉතින්. අකුරු පටන් ගන්න කොට හරියට රවුම් කරගන්න බෑ. ආයෙත් ගුටි ඉතින් ඕකට. බර්ටියා මරන්නා වගේ තමයි අකුරු ලියන්නේ. ඔහොම අකුරු ලිවිල්ල දවසක් දෙකක් ගියා. ඒ මදිවට බර්ටියට කළින් කරපු ඒවා මතක නෑ. සිද්ධි ගොඩයි. ඒ වගේම පරිප්පු ලෝකයයි.

දවසක් මේ ගුටි කෑමේ සහ ඉගැන්වීමේ වැඩ සටහන යනකොට අහල පහළ ඉන්න බර්ටියගේ මාමා කෙනෙක් ඇවිල්ලා හිටියා. බර්ටියා කන පරිප්පුව ටිකක් වෙලා බලන් හිටපු මාමා,

“සුදු අක්කේ, උඹ ඔය කොල්ලව මරන් කන්න යන්නේ. ඔය වැඩේ හරියන්නේ නෑ. අපේ තාත්තට කියපන් ඇවිල්ලා කොල්ලට අකුරු ටික කියලා දෙන්න” කියලා කිව්වා.

ශාන්ත මාමාගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. බර්ටියට සීයා වෙන්නේ. ඒ වෙනකොට විශ්‍රාම ගිහිල්ලද කොහෙද හිටියේ. ඒක හරියටම කියන්න බර්ටියට මතකයක් නෑ. ඔය සිද්ධියෙන් පස්සේ බර්ටියාගේ අම්මා බර්ටියට උගන්නන්න ගියේ නෑ. ඊට දවස් දෙක තුනකට පස්සේ ගෙදර ඉස්තෝප්පුවට කළු ලෑල්ලක් ඇවිල්ලා තිබ්බා. බර්ටියා එතකොට ඒකට කළු ලෑල්ල කියන්නවත් දන්නේ නෑ. පහුකාලෙක ඒක දැනගත්තෙත්.

ඊට දවසකට පස්සේ සීයා ඇවිල්ලා බර්ටියට උගන්නන්න පටන් ගත්තා. ඉගැන්නුවා කිව්වට බර්ටියට ඉස්සෙල්ලාම කරන්න දුන්නේ පොල් ගස් අදින්න, රවුම් අදින්න වගේ දේවල්. පොල් ගස්, බෝල ඇද ඇද සති දෙකක් විතර ගියාට පස්සේ තමයි අකුරු ලියන්න ගත්තේ. ඒ වෙනකොට අකුරු රවුම් කරලා ලියලා එක ලොකු අමාරුවක් වුනේ නෑ. ඒ මදිවට මතකත් තිබ්බා. ගුටිකන්න බැනුම් අහන්න වුනෙත් නෑ. මුලින් මුලින් බර්ටියා අකමැත්තෙන් වැඩ කලත් පහුවෙනකොට අකමැතිගතිය නැතිවෙලා ගියා.

බර්ටියා හිතන විදිහට ඒක මොකක් හරි උපක්‍රමයක් අකුරු ලියන්න කළින් පාවිච්චි කරපු. කොහොම හරි බර්ටියා 1 වසරේ පිනිබිදු පන්තියට යනකොට බර්ටියට අකුරු ලියන්න පුළුවන් කම තිබ්බා. බර්ටියා පහ වසරේ ශිෂ්‍යත්වය කරනකොට ඔය සීයා ගොඩක් උදව් කලා පාඩම් වැඩ කරගන්න. ඔන්න ඔහොම තමයි බර්ටියා අකුරු ලියන්න ඉගෙන ගත්තේ ගුටි කාලා.

සීයා නම් අද වෙනකොට ජීවතුන් අතර නෑ. සාන්ත මාමා (බර්ටියයි බර්ටියගේ මල්ලියි ආදරේට කිව්වේ ලෑතරස් කියලා) නම් අද වෙනකොට බීලා බීලා ජීවිතේ නැති නාස්ති කරගෙන. ජීවිතේ ක්‍රියාත්මක වෙන විදිහ හරිම අද්භූතයි නේ ඉතින්.