98 අපි උසස් පෙළ විභාගය ලියලා ඉවර වුනාට පස්සේ අපිට දවස් 14 ක් ගම්පහ මහ රෝහලේ (ඒ දවස් වල මූලික රෝහල) රෝහල් සේවයට යන්න අපේ ප්‍රථමාධාර කවය බාරව හිටපු අපේ ලැවෝසියර් සර් සෙට් කරලා දුන්නා. ඔය දවස් වල බර්ටියා ගෙදරට වෙලා හිටියේ. අපේ ගල් ඉබ්බෝ ටික මටත් නොකිය දවස් දෙක තුනක්ම රෝහල් සේවයට ගිහිල්ලා තිබ්බා. බර්ටියාට මේක දැනගන්න ලැබිලා අම්බානකට මල පැනලා කට්ටියට සුද්ද සිංහලෙන්ම ඇමතුවාට පස්සේ දවසක් ගමයා බර්ටියව හොයාගෙන ගෙදරටම ආවා ඊළග සදුදා ඉදලා රෝහල් සේවයට එන්න කියන්න.
ඔය වගේ කුණු කොන්තරත් වලට සැදී පැහැදී හිටිය බර්ටියත් සඳුදා (98 සැප්තැම්බර් 14) උදේම නැගිටලා සුදු ඇදුමත් ඇදගෙන බර්ටියගේ අම්මා බැදලා දුන්න බත් ගෙඩියත් බෑග් එකේ දාගෙන ගම්පහ පැත්තට ගියා. බර්ටියට අමතරව එදා ඇවිල්ලා හිටියේ වවුලයි, පොකයයි, ගමයයි. අපිට අත්සන් කරන්න පොතක් තිබ්බා මේට්‍රන්ගේ කාමරේ. ඒක අත්සන් කලාට පස්සේ බර්ටියටයි ගමයටයි 9 වාට්ටුවට යන්න කිව්වා. වවුලයි පොකයාවයි වෙන වාට්ටුවකට දැම්මා. බර්ටියත් ඉතින් නමෝ විත්තියෙන් කියලා ගමයත් එක්ක 9 වාට්ටුවට ගියා. අම්මේ අපිව දැක්කා විතරයි වාට්ටුවේ නර්ස්ලාටයි සිස්ටර්ටයි ගිය හිනාව. බලන කොට වාට්ටුවේ තිබ්බ පොඩි වීදුරු කුප්පි ඉවර වෙලා ඔය ලේ සාම්පල් එහෙම එකතු කරන්න ගන්න. ගිය ගමන් දෙන්නට හම්බවුනේ බෝතල් සුද්ද කරන ජොබ් එකක්.
ඔය එක එක විදින්න ගන්න දියර බේත් ජාති දාලා එන කුප්පි සුද්ද කරන්න තමයි වාට්ටුවේ සිස්ටර් අපිට බාර දුන්නේ. ඉස්සෙල්ලාම බෝතල් ටික විනාඩි 15 ක් විතර උණු වතුරේ දාන්න ඕන. එතකොට ඒවායේ ලේබල් වල තියෙන ගම් එක දියවෙලා ලේබල් එක අයින් කරන්න පුළුවන් ලේසියන්ම. ඊළගට ඔය සැමන් ටින් එහෙම කඩන්න ගන්න කටර් එකක් පිටිපස්සේ කෑල්ල පාවිච්චි කරලා බෝතලේ කට වටේ තියෙන යකඩ ආවරණය ගලවලා දාන්න ඕන. ඔය විදිහට උදේ පාන්දරම දෙන්නට බෝතල් 100 ක් විතර සුද්ද කරන්න ලැබුණා. ඒ අස්සේ බෝතල් 10 -15 දෙන්නා කුණු කූඩේටත් අත ඇරියා. ඔහොම කරලා යන්තම් ඒ වැඩේ ඉවර කරලා දෙන්නා පොඩ්ඩක් මාරු වුනා එළියට.ඇත්තටම අපි මේ රෝහල් සේවයට ආවේ අපේ දැනුම දියුණු කරගන්න. ඒත් බොහොමයක් වාට්ටු වල හිටපු නර්ස්ලා සිස්ටර්ස්ලා කලේ අපේ ඔය වගේ වැඩගන්න ලෑස්ති වෙච්ච එක. උන්ට අපිට වචනයකවත් දෙයක් කියලා දෙන්න උවමනාවක් තිබ්බේ නෑ. වාට්ටුවේ ඉන්න ඇටෙන්ඩන්ලා ලව්වා කරගන්න ඕන දේවල් අපෙන් කරගන්න බැලුවා මිසක්. ඕකට තව හේතුවක් තිබ්බා. අපි එන්න කලින් රෝහල් සේවයට ආවා ගම්පහ තිබ්බ තවත් ප්‍රථමාධාර කණ්ඩායමක කෙල්ලෝ සෙට් එකක් ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා දවස් වල. ඒ සෙට් එක නම් කියන වැඩක් දෙයියනේ කියලා කරලා (අපේ වචන වලින් නම් හොදට මුට්ටිය අල්ලලා) හිටපු එක තමයි කරලා තියෙන්නේ. අපිට එහෙම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න ඕන කමක් තිබ්බේ නෑ ඉතින්.
දවල්ට කන වෙලාව ආපුවහම අපි කන්න ගියේ භික්ෂු වාට්ටුවේ තිබ්බ පොඩි කාමර කෑල්ලකට. එතන මේසේ උඩ බත් එක තියන් සුපුරුදු විදිහට අපි කන්න සෙට්වුනා. වවුලගෙයි පොකයගෙයි වාට්ටුවේ දෙයියන්ගේ ලෙඩ (නෑ නෑ වසූරිය නෙවෙයි පැපොල. අර ගහේ හැදෙන්නේ) හැදිලා හොදටම අමාරුවෙච්ච ලෙඩෙක් ඉදලා තියෙනවා. පොකයා හෙණ විද්‍යාත්මක වචනයක් කිව්වා ඒ වෙලාවේ ඒත් බර්ටියාට දැන් ඒක මතක නෑ. ඔය අස්සේ වවුලලා භික්ෂු වාට්ටුවේ ඉන්න හාමුදුරුකෙනෙකුත් අදුරගෙන ඒ වෙනකොට. ඒ හාමුදුරුවෝ හාමුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ බලාගන්න ඇවිල්ලා හිටියේ. හාමුදුරුකෙනක් වුනාට හෙණම ජොලි පොර ඉතින්. අපේ එවුන්ට බයිට් එකට ගන්න තියෙනවා නම් ජනාධිපති වුනත් කමක් නෑනේ ඉතින්.
දවස ඔහොම පලක් නැති දේවල් වලින් ගතවෙලා ගියා. වචනෙක දෙයක් ඉගෙන ගන්න ලැබුනේ නෑ. යන්න කලින් මේට්‍රන්ගේ ඔෆිස් එකට ගිහින් දවසේ අපි කරපු වැඩ ගැන පොඩි සටහනක් මේට්‍රන් ලව්වා අත්සන් කරගන්න ඕන. ඒකත් කරගෙන අපි ගෙවල් වලට ගියා.පහුවදා ආපු අපි අපිට ඕන තැන්වල යන්න තීරණය කලා. බර්ටියයි වවුලයි OPD එකේ තිබ්බ ෆාමසියට රින්ගුවා. අනිත් දෙන්නා තුවාල වලට බේත් දාන කාමරයට රිංගුවා. ෆාමසියේ කියලා ලොකු දෙවල් ඉගෙන ගන්න තිබ්බේ නැතත් අපිට ජොලියේ ඉන්න පුළුවන් වුනා. ඒකනේ වැදගත්ම දේ ඉතින්. බේත් ජාති ගැන විස්තර ටිකක් දැන ගන්නත් පුළුවන් වුනා. ඔය ඉස්පිරිතාලෙන් තැල්මට ගාන්න දෙන් අමුතු ගඳක් එන බේත හදන විදිහත් බලාගන්න ලැබුණා. එතන වැඩ කරපු ඖෂධවේදියෝ (pharmacist) ටික හරිම හොදයි. අපිට බේත් ගැන විස්තරත් කියලා දුන්නා. අර නර්ස්ලා වගේ පුස් පාට් දැම්මේ නෑ අපිට. අපිත් ඉතින් කැමැත්තෙන්ම බේත් ඔතලා දුන්නා එයාලට. අපිට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ. ඒ අපේ හැටි.
ඔය දවස් වලා වරුණගේ ලොකු අයියා Internal කරන්න ඇවිල්ලා හිටියේ ගම්පහ ඉස්පිරිතාලෙට. අයියා මදිවට අයියගේ යාළුවෝ සෙට් එකත් ඇවිල්ලා හිටියා. ඒ සෙට් එක හිටියේ 8 වාට්ටුවේ. අපි ඉතින් දවල්ට කෑම කාලා ඔය පැත්තේ රස්තියාවක් ගහලා එනවා. දමිත් අයියා ඉතින් අපිව බයිට් එකට ගන්න එක තමයි කරන්නේ. දමිත් අයියගේ බැජ් එකේ ගර්ල් කෙනෙක් හිටියා ලක්මාලි කියලා. ලක්මාලි අක්කව වවුලට සෙට් කරලත් කතා හදනවා. ඉතින් කොහෙද? ඒ ඩොක්ටර්ස්ලා ටිකත් හරිම හොදයි. අන්න එයාලගෙන් නම් අපි දේවල් ඉගෙන ගන්න ලැබුණා. එයාලා ඉන්න හන්දා නර්ස්ලත් අපිට අනම් මනම් කියන්න ආවේ නෑ. අනික ඇටෙන්ඩන්ලා ගොඩක් අඳුන ගන්නත් ලැබුණා පොකයලගේ අම්මා ඒ දවස්වල ඉස්පිරිතාලේ වැඩ කරපු නිසා. ඒකත් වාසියක් වුනා අපිට. කවුරුවත් ලොකු ගෙම්බර් දාන්න ආවේ නෑ. පොඩි පොඩි ඒවා නම් ආවා මුල් දවස්වල.
දවසක් උදේ වැඩ පටන් ගන්න කලින් බර්ටියයි වවුලයි බේත් දාන කාමරේ හිටියා එකේ වැඩ කරන ඇටෙන්ඩන් අක්කත් එක්ක කයියක් ගගහා. ඒ අක්කා අපිත් එක්ක හොදටම ෆිට් ඉතින්. අපි ඉන්න කොට එයාලට අඩුවෙන්නේ වැඩ කරන්න වෙන්නේ. අපි බොහොම කැමත්තෙන් බේත් දාන එක කලා ඉතින්. ඔතන ඉදලා තමයි මැහුම් දාන්න කපන්න ඉගෙන ගත්තෙත්. ජීවිතේට දැකපු නැති තුවාල ටිකක් දැක ගන්න ලැබුණා ඔය දවස් 14 ඇතුලෙදි. ඔහොම කයිය ගහගෙන ඉන්නකොට එක පාරටම ඩොකෙක් පාත් වුනා වයසක අන්කල් කෙනෙකුත් එක්ක.
පොර බේත් දාන කාමරේ ඇතුලට ඇවිල්ලා අපෙනුත් විස්තර අහලා අර අක්කාගෙන් ලෝකල් ඇනෙස්තෙටික් (හිරි වැටෙන්න බේත ගහනවා කියන්නේ ඒකට) එකක් ඉල්ලුවා. බර්ටියා එදා තමයි ඒ වචනේ ඉස්සෙල්ලාම ඇහුවෙත්. ඩොකා අන්කල්ව පුටුවක වාඩි කරවලා අන්කල්ගේ කකුලත් එතන තිබ්බ බංකුව උඩින් තියලා බේත් බෝතලෙයි ඉන්ජෙක්ෂන් එකයි අරන් අපි දෙන්නටත් කතා කරලා “මේවා ලොකු දේවල් නෙවෙයි පුතා හොදට බලාගන්න” කියලා දමලා ඇරියා අර ඉන්ජෙක්ෂන් එක අන්කල්ගේ තුවාලෙට. අන්කල්ට එක පාරටම “හුක්” ගෑවුනා. අපි දෙන්නට මැරෙන්න හිනා. ඒත් හිනා වෙන්න විදිහක් නෑනේ. බේත් එක එක පැත්තකින් එළියටත් විද්දා ගහපු පාරට. ටික වෙලාවකට පස්සේ පොර තුවාලේ කපලත් පෙන්නුවා අපිට. ඒ කපන කොට ඒක අස්සේ හිරවෙලා තිබ්බ කටුවක් වගේ එකක් හොයාගන්නත් ලැබුණා ඩොකාට.
දවසක් උදේ මනුස්සයෙක් ආවා බල්ලෙක් කාලා. ගෙදරම හදපු බල්ලට මොකක් හරි චුන් එකක් ගිහිල්ලා අයිතිකාරයව කාලා. ඇඟ පුරාම තුවාල. සමහර ඒවා මැහුම් දාන්න ඕන සයිස් එකේ. ඒත් මැහුම් දාන්න කියලා නෑ. එදා හිටියේ බර්ටියයි ගමයයි. අපි ඉතින් ඇටෙන්ඩන් අක්කාගේන් ඇහුවා ඇයි මැහුම් දාන්නේ නැත්තේ කියලා. එදා තමයි අපි දැනගත්තේ සත්තු කාපු තුවාල වලට මැහුම් දැම්මහම ඒවා පැසවනවා කියලා. දවසක් බේත් දාන තැනට කෝපි කඩේ අබිලින් පාත්වුනා. පොරත් තුවාලෙකට බේත් දාගන්න ඇවිල්ලා. අපිත් එක කයියකුත් ගහලා ගියා පොර. ඒ කාලේ ෆොටෝ එකක් ගහන්න කැමරා ෆොන් තිබ්බ එකක් යෑ. ඒ කාලේ තිබ්බේ තඩි ගඩොල් භාග තමයි.අපි බේත් දාන තැන ඉන්නකොට බීපු මිනිස්සු එනවට හරි කැමතියි. එහෙම සෙට් එක මැහුම් එහෙම දාගෙන ආපුවහම අපිට මැහුම් කපන්න එහෙම චාන්ස් එක ලැබෙනවා. හැබැයි ඉතින් මල වදේ පොරවල් ආවහම. ඇටෙන්ඩන් අක්කට බය නිසා අවුලක් නෑ අපිට. කවුරුවත් අපිත් එක්ක නම් රණ්ඩු වෙන්න ආවේ නෑ. සමහර දවස්වලට මිනිස්සු සල්ලිත් දෙන්න හදනවා. බොහොම දුප්පත් මිනිස්සු. බේත් ටික දාගෙන රුපියල් 5, 10 දෙන්න හදපුවා තාම මකතයි. අපි කවදාවත් සත පහක්වත් ඔතන ඉදලා බේත් ටික දැම්මට ගත්තේ නෑ. ඒ මිනිස්සුත් දන්නවා හරියට වැඩේ කරගන්න කීයක් හරි දෙන්න ඕන කියලා. ඔන්න ඉතින් රාජ්‍ය සේවයේ තරම.
තව සිද්ධි ගොඩක් තියෙනවා රෝහල් සේවයෙදි වෙච්ච. අනිත් දවසේ දාන්නම් ඒවා. දැනටත් දිග වැඩිද මන්දා. එහෙනම් පස්සේ හමුවෙමු.
KB 2020.07.18
No comments:
Post a Comment