හෝඩිය

බර්ටියා යනු කුඩා කල සිටම පාඩම් වැඩ වලට කම්මැලි වු සත්වයෙකි. මෙහෙම ලිව්වොත් තමයි බර්ටියා ගැන හරිම අදහස එන්නේ. මේ කියන්න යන්නේ බර්ටියා පොඩි කාලේ වෙච්ච දෙයක්. මේ කියන සිද්ධිය වෙන්නේ 1984 විතර. බර්ටියට ගෙදරට වෙලා හිටපු කාලේ ඉවර වෙලා චුට්ටක් ලොකු මහත් වෙලා මේ කියන කොට ඉස්කෝලේ යන්න කාලේ හරි යාගෙන එන්නේ.

ඔහොම ඉන්න අස්සේ බර්ටියගේ අම්මට හිතුනා බර්ටියව ඉස්කෝලේ යවන්න කලින් සිංහල හෝඩියේ අකුරු ටිකක් බර්ටියට උගන්නලා තියන්න. ඒ කාලේ සිංහල තමයි ඉතින් වැදගත් වුනේ. බර්ටියා ඉංශ්‍රීසි කියලා එකක් තියෙනවද කියලාවත් ඒ දවස්වල දැනගෙන හිටියේ නෑ ඉතින්. බර්ටියගේ අම්මා බර්ටියට සිංහල හෝඩිය උගන්නන්න හිතන් සිංහල හෝඩි පොතකුයි තවත් මොනවා හරි එක්සයිස් පොත් දෙක තුනකුයි ගෙනල්ලා තිබ්බා.

හා හා පුරා කියලා දවසක් දා බර්ටියගේ අම්මා බර්ටියව අල්ලගෙන සිංහල හෝඩිය උගන්නන්න ගත්තා සාලේ මේසේ වාඩි කොරවගෙන. බර්ටියටත් ඒ දවස් වල එක තැනක වැඩිවෙලා ඉදලා පුරුද්දක් නෑ. දැන් කියලත් වෙනසක් නෑ ඉතින්. දැන් බර්ටියගේ අම්මා බර්ටියට සිංහල උගන්නනවා මේසේ උඩ සිංහල පොතත් දිග ඇරගෙන්. අම්මා ඉස්සෙල්ලා අකුරු පෙන්නලා අකුරේ නම කියනවා, බර්ටියා ආපහු කියනවා. ඔහොමයි මුලින් වැඩේ ගියේ.

අම්මා: “අ” යන්න

බර්ටියා: “අ” යන්න

අම්මා: “ආ” යන්න

බර්ටියා: “ආ” යන්න

ඔය විදිහට පාඩම පැයක් විතර ඇදිලා ගියා. පාඩම ඉවර වුනා විතරයි බර්ටියා මාරු. වැඩේ හොද හරිය පටන් ගන්නේ පස්සේ දවසක. පහුවදත් බර්ටියගේ අම්මා බර්ටියව අල්ලා ගත්තා පාඩම. කරුමේ කියන්නේ කලින් දවසේ කරපු කිසි දෙයක් බර්ටියට මතක නෑ. ඉතින් බැනුම් කෝටියයි.

තව දවසක් දෙකක් යනකොට බර්ටියගේ අම්මා බර්ටියට අකුරු ලියන්නත් කියලා දෙනවා. සුදු කොලෙ තියෙන පොතක පැන්සලෙන් ඉරි ගහලා අම්මා පළවෙනි අකුර ලියලා. ඉතුරු අකුරු ඔක්කොම බර්ටියා ලියන්න ඕන. අසාධාරණයි තමයි ඉතින්. බෑ කියලා මාරු වෙන්නයෑ. කන්න වෙනවනේ අම්බානකට.

බර්ටියත් ලියනවා. බැනුම් ලෝකයයි ඉතින්. අකුරු වටකුරු නෑ කියලා බනිනවා. ඊළගට හරියට රෑල දිගේ ලියලා නෑ කියලා බැනුම්. කණෙන් අදිනවා. ගුටි දෙනවා කියලා වැඩක් නෑ ඉතින්. අකුරු පටන් ගන්න කොට හරියට රවුම් කරගන්න බෑ. ආයෙත් ගුටි ඉතින් ඕකට. බර්ටියා මරන්නා වගේ තමයි අකුරු ලියන්නේ. ඔහොම අකුරු ලිවිල්ල දවසක් දෙකක් ගියා. ඒ මදිවට බර්ටියට කළින් කරපු ඒවා මතක නෑ. සිද්ධි ගොඩයි. ඒ වගේම පරිප්පු ලෝකයයි.

දවසක් මේ ගුටි කෑමේ සහ ඉගැන්වීමේ වැඩ සටහන යනකොට අහල පහළ ඉන්න බර්ටියගේ මාමා කෙනෙක් ඇවිල්ලා හිටියා. බර්ටියා කන පරිප්පුව ටිකක් වෙලා බලන් හිටපු මාමා,

“සුදු අක්කේ, උඹ ඔය කොල්ලව මරන් කන්න යන්නේ. ඔය වැඩේ හරියන්නේ නෑ. අපේ තාත්තට කියපන් ඇවිල්ලා කොල්ලට අකුරු ටික කියලා දෙන්න” කියලා කිව්වා.

ශාන්ත මාමාගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. බර්ටියට සීයා වෙන්නේ. ඒ වෙනකොට විශ්‍රාම ගිහිල්ලද කොහෙද හිටියේ. ඒක හරියටම කියන්න බර්ටියට මතකයක් නෑ. ඔය සිද්ධියෙන් පස්සේ බර්ටියාගේ අම්මා බර්ටියට උගන්නන්න ගියේ නෑ. ඊට දවස් දෙක තුනකට පස්සේ ගෙදර ඉස්තෝප්පුවට කළු ලෑල්ලක් ඇවිල්ලා තිබ්බා. බර්ටියා එතකොට ඒකට කළු ලෑල්ල කියන්නවත් දන්නේ නෑ. පහුකාලෙක ඒක දැනගත්තෙත්.

ඊට දවසකට පස්සේ සීයා ඇවිල්ලා බර්ටියට උගන්නන්න පටන් ගත්තා. ඉගැන්නුවා කිව්වට බර්ටියට ඉස්සෙල්ලාම කරන්න දුන්නේ පොල් ගස් අදින්න, රවුම් අදින්න වගේ දේවල්. පොල් ගස්, බෝල ඇද ඇද සති දෙකක් විතර ගියාට පස්සේ තමයි අකුරු ලියන්න ගත්තේ. ඒ වෙනකොට අකුරු රවුම් කරලා ලියලා එක ලොකු අමාරුවක් වුනේ නෑ. ඒ මදිවට මතකත් තිබ්බා. ගුටිකන්න බැනුම් අහන්න වුනෙත් නෑ. මුලින් මුලින් බර්ටියා අකමැත්තෙන් වැඩ කලත් පහුවෙනකොට අකමැතිගතිය නැතිවෙලා ගියා.

බර්ටියා හිතන විදිහට ඒක මොකක් හරි උපක්‍රමයක් අකුරු ලියන්න කළින් පාවිච්චි කරපු. කොහොම හරි බර්ටියා 1 වසරේ පිනිබිදු පන්තියට යනකොට බර්ටියට අකුරු ලියන්න පුළුවන් කම තිබ්බා. බර්ටියා පහ වසරේ ශිෂ්‍යත්වය කරනකොට ඔය සීයා ගොඩක් උදව් කලා පාඩම් වැඩ කරගන්න. ඔන්න ඔහොම තමයි බර්ටියා අකුරු ලියන්න ඉගෙන ගත්තේ ගුටි කාලා.

සීයා නම් අද වෙනකොට ජීවතුන් අතර නෑ. සාන්ත මාමා (බර්ටියයි බර්ටියගේ මල්ලියි ආදරේට කිව්වේ ලෑතරස් කියලා) නම් අද වෙනකොට බීලා බීලා ජීවිතේ නැති නාස්ති කරගෙන. ජීවිතේ ක්‍රියාත්මක වෙන විදිහ හරිම අද්භූතයි නේ ඉතින්.

No comments: