භීෂ්මයන්ගේ අවසන් වදන්

1990 ගණන් වල එක්තර ශ්‍රි ලංකීය රූපවාහිනී නාලිකාවක් හරහා විකාශය කෙරුණු මහාභාරත් කතා මාලාව බර්ටියාගේ අතිශයින් සිත් ගත් කතා මාලාවකි. එය දක්නට ලැබෙන්නේ හොද, නරක, යුක්තිය, අයුක්තිය, සාධාරණය, අසාධාරණය අතර දෝලනය වන්නාවු චරිත රාශියකි. මේ චරිත අතරින් චරිත තුනක් බර්ටියගේ සිතේ රැදුණා.

ඒ අතරින් එක චරිතයක් තමයි ක්‍රිෂ්ණාගේ චරිතය. පොතපතේ සදහන් වෙන්නේ ක්‍රිෂ්ණා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වලින් එකක් විදිහට සලකනවා. කුරු පාණ්ඩවයන් අතර ඇතිවන යුද්ධයේදි අර්ජුනගේ රථය පදවන්නේ ක්‍රිෂ්ණ විසින්. කුරු පාණ්ඩව යුද්ධය ආරම්භවීමට මොහොතක පෙර තම නෑදෑයන්ට විරුද්ධව අවි එසවීමට අර්ජුන පසුබට වෙනවා. ඒ අවස්තාවේදී ක්‍රිෂ්ණා තමන්ගේ දේවත්වය අර්ජුනට ප්‍රදර්ශනය කරමින් මෙම යුද්ධයේ අත්‍යාවශය එකක් බව අර්ජුනට පැහැදිලි කරවන්න භගවත් ගීතාව දේශනා කරනවා.

ඊළගට අර්ජුන. කුරු පාණ්ඩව යුද්ධයේ එන දක්ෂම (සුපිරි) ධනුර්ධයා. ඔහුගේ හැකියාවන්ට යන්තමින් හෝ සමකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් ඒ ඔහුගේම වැඩිමහල් සහෝදරයා වන කරණ්. නමුත් ඔහු සිටින්නේ ප්‍රතිවිරුද්ධ පිලේ. ඒ වගේම අර්ජුන ඔහු තමන්ගේ සහෝදරයා කියලා දන්නෙත් නෑ. ඒ ඇරණහම බර්ටියා කැමති තුන්වෙනි චරිතය අර්ජුනට සමකරන්න පුළුවන් දක්ෂයෙක්. අර්ජුනගේ ගුරුවරයා වන ආචාර්ය ද්‍රෝණටත් වඩා ඔහු දක්ෂයි.

තුන්වෙනි චරිතයට තමයි බර්ටියා වැඩියෙන්ම ආදරේ කරන්නේ. ඔහු හැමදෙනාගේම ආදරයට ලක්වු කෙනෙක්. තමන් සතු රාජ්‍යයේ සිට සියලුම දේවල් මෙන්ම අවසානයේ තමන්ගේ ජීවිතයද ඔහු තම ප්‍රිය හස්තිනාපුරය වෙනුවෙන් පුජා කරනවා. අර්ජුනයන්ගේ හී වර්ෂාවෙන් තුවාල ලබන ඔහු යුද්ධයේ අවසානය දක්වාම තම හී යහන මත ජීවත් වෙනවා. ඔහුත් මේ යුද්ධයේ ඉන්න දක්ෂම සෙන්පතියෙක්. දක්ෂ දුනුවායෙක්. ඒ තමයි පිතාමහ ගංඟා පුත්‍ර භීෂ්ම. ගංඟා පුත්‍ර හීෂ්මයන් වෙනුවෙන් තමයි මේ වදන් පෙළ ලියවෙන්නේ.

ලේ ගලන සිරුරින්
අඩපණව වැතිරී සිටිමි මම
හීතල යහන මත
නිවාගෙන පිපාසය
ගංඟා මාතාවගේ ඇසෙන් ගැලූ කඳුලින්
අහෝ මෑණියන් !
සිත් නොදෙන්නේ ඇයිද මට මියෙන්නට
නිමක් නොදැක මේ කුරිරු සටනේ කෙළවර
ක්‍රිෂ්ණා,
ධර්මයේ ශක්තිය ඔබයි සැමවිට
සොවින් කම්පිතව බිම තැබූ දුනු හී
ඔසවන්න දුන් සවිය අර්ජුනට
පුතණුවනි මා අර්ජුන,
හී යහන නුඹ තැනූ මට
සුමුදුය සුසිනිදුය
තවත් නොහඩන්න පුත, මිය ඇදෙන මා නමින්
අයුක්තිය, අධර්මය පරදවා
ගෙන එන්න සාමය
මතු දිනක මා නිදන ප්‍රිය හස්තිනාපුරයට
දනිමි එය හැකි බව
නුඹට පුත යුධිෂ්ඨිර
ධර්මයේ ශක්තිය සැම කල්හි සිත දරණ
___________________________________________________________________
KB 2019.12.01

No comments: