ගුරු වෘත්තියේ අත්දැකීම් 2

බර්ටියා කාලයක් ජීව විද්‍යාව පන්ති කලා පානදුර. බර්ටියා අදුරන සර් කෙනෙක් තමයි වැඩේ සෙට් කරලා දුන්නේ. බර්ටියා ඒ සර්ගේ ආයතනයෙත් ටික කාලයක් පන්ති කලා. සමහර වෙලාවට ලමයින්ගේ ගෙවල් වලට ගිහිල්ලත් ක්ලාස් කලා. 2017 මාර්තු මාසේ අගට විතර වෙන්න බර්ටියට ක්ලාස් එකක් සෙට් වුනා මැයි මාසේ කේම්බ්‍රිජ් විභාගයට ලෑස්ති වෙන ළමයෙක්ගේ. මේ ගෑණු ළමයා පානදුරේ ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසලක ළමයෙක්. පොඩි පෙම් පළහිලව්වක ප්‍රශ්නයක් නිසා ගොඩ දවසක් ඉස්කෝලේ පාඩම් මඟ ඇරිලා. බර්ටියගේ යාළු සර් තමයි ඒ ළමයට ඉංශ්‍රිසි විෂයයි, ඉංශ්‍රීසි සාහිත්‍ය විෂයයි උගන්වන්නේ. ඒ ඇදුනුම් කමට තමයි බර්ටියට මේ ක්ලාස් එක සෙට් වෙන්නේ.

සාමාන්‍යයෙන් මාර්තු වෙනකොට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරලා ඉවරයි. පුනරීක්ෂන එක්ක පසුගිය ප්‍රශ්න පත්තර සාකච්චා කිරීම තමයි සාමාන්‍යයෙන් මාර්තු වෙන කොට සිද්ධ වෙන්නේ. මොකද අප්‍රේල් මාසෙ නිවාඩුත් වැඩියිනේ. මැයි මුලම කේම්බ්‍රිජ් විභාගය පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මාර්තු වෙනකොට විභාගට පෙනී සිටින ළමයෙක් තමන්ගේ වැඩ වලින් 90% විතර ඉවර කරලා තියෙන්න ඕන. ඕක තමයි හැබැ තත්වය.

කියන්න කණගාටුයි පින්වතුනි. මේ ගෑණු ලමයගේ තත්වය අතිශයින්ම ශෝචනීය තත්වයක තමයි තිබ්බේ. විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වෙලා නෑ. ප්‍රශ්න පත්තර හරියට කෙරිලා නෑ. විෂය නිර්දේශය ආවරණය වෙච්ච හරියෙත් ගැටලු තිබ්බා. ඔය ඔක්කොමත් එක්ක මේ ළමයට (මම මෙතන ඉදලා නෙත්මි කියලා කියන්නම්) අවසාන වාර පරීක්ෂනයට ලකුණ 40 ක් වගේ ගාණක් තමයි තිබ්බේ. යන්තම් නමට පාස් එකක්. පන්ති කරන්න ඉතුරු වෙලා තිබ්බෙත් දවස් කීපයයි. ඒ මාර්තු අග. බර්ටියට සතියේ දවස් වලා එන්න විදිහක් නෑ ඉස්කෝලේ වැඩ හන්දා. අප්‍රේල් මාසේ දවස් කීපයක් තමයි ඉතුරු වෙලා තිබ්බේ.

මොනවා වුනත් වාසනාව අපේ පැත්තේ තිබ්බා. මේ ගෑණු ළමයා හරිම උත්සාහවන්ත ළමයෙක්. මේ හැම ගැටළුවක් වෙලත් නෙත්මිට ඉලක්කයක් තිබ්බා. නෙත්මිට ඕන වෙලා තිබ්බා ජීව විද්‍යාවෙන් එක ලකුණක් හරි අයියට වැඩියෙන් ගන්න. මේ වෙනකොට නෙත්මිගේ අයියා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ගමන් හිටියේ. මුල් දවස් දෙකේ අපිට වැඩ කරන්න ලැබුණේ පැය දෙකක් වගේ කාලයක්. ඒත් බර්ටියට අප්‍රේල් නිවාඩුව ලැබුණහම අපිට එක දිගට පැය හයක් විතර වැඩ කරන්න ලැබූණා. ඒක හරිම වැදගත් වුනා අපේ වැඩ ටික ඉවර කරගන්න.

ඉස්සෙල්ලම අපි ඉවර කරපු පාඩම් වල පුනරීක්ෂ කරගෙන ගියා ඒවයේ තිබ්බ ගැටළු සාකච්චා කර කර. ඒ අතර අපි දිගටම පැරණි විභාග ප්‍රශ්න පත්තර කරන්න ගත්තා. මුල් දවස් කීපයෙදි නම් අපිට ඒවා ප්‍රශ්න පත්තරයට ආදාල කාලය අනුව කරන්න පුළුවන් වුනේ නෑ. මොකද සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙලා තිබ්බේ නැති හින්දා. බර්ටියා ඒ දවස් වල හැම පාඩමකටම ආදාල සටහන අතින් කොළ වල ලියලා තිබ්බේ. පහු කාලෙකදි තමා බර්ටියත් ඩිජිටල් වුනේ. ඔය සටහන් වල අවශ්‍ය පාඩම් ඔක්කොම නෙත්මි ඡායා පිටපත් කරගත්තා. ඔය විදිහට වැඩ කරලා අපිට ඉක්මනින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ හැකියාව ලැබුණා.

ඊලඟට ඉතුරු වෙලා තිබ්බේ ප්‍රශ්න පත්තර කරන්න තමයි. කේම්බ්‍රිජ් විද්‍යා විෂයකට ප්‍රශ්න පත්තර තුනක් තියෙනවා

  1. බහුවරණ ප්‍රශ්න පත්තරය (Multiple Choice) – One hour paper
  2. සිද්ධාන්ත ප්‍රශ්න පත්තරය (Theory) – One hour and forty-five minute paper
  3. ප්‍රායෝගික ක්‍රියාකරකම් ඇතුලත් ප්‍රශ්න පත්තරය (Practical or Alternative to practical) – One hour paper

මෙන්න මේ ප්‍රශ්න පත්තර තුනටම ආදාල දේවල් අපි කරන්න ඕන. විශේෂයෙන්ම කාලය කළමනාකරණය කරගැනීම සම්බන්ධ ගැටළු (Time management). මොකද ළමයෙක් විෂය කරුණු කොච්චර දැනගෙන හිටියත් කාලය කළමනාකරණය කරගන්න බැරි වුනොත් හොද ප්‍රතිඵලයක් ලබාගන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම් ළමයින්ට ආදාල කාලය ඇතුලත උත්තර ලියලා ඉවර කරන්න හැකියාව ලැබෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියන්නේ ටයිමින් කරනවා කියලා.

ඔන්න ඔය කෑල්ල තමයි අපිට කරන්න ඉතිරි වෙලා තිබ්බේ. ඒක කරන්න ඒ හැටි අමාරුවක් වුනේ නෑ. නෙත්මි හැමදාම කියන්නේ සර් උදෙන්ම එන්න කියලා. බර්ටියාත් ගම්පහ ඉදගෙන උදේ 8 වෙනකොට යනවා පානදුරට. ඒ ගිහිල්ලා එක දෙක වෙනකම් අපි දෙන්නා වැඩ කරනවා. බර්ටියා උදේට පන්තියට එනකොට නෙතුම්ලි සාමාන්‍යයෙන් පේපර් එකක් ඉවර කරලා, මාර්කින් ස්කිම් එක බලලා ඒක මාක් කරලා, ලකුණුත් දාලා ඒවයේ තියෙන ගැටලු සහගත් තැන් සටහන් කරලා තියෙනවා. බර්ටියට තියෙන්නේ ඒ ගැටළු සාකච්චා කරලා, එදාට කරන්න තියෙන පේපර් ගැන බලන්න.

මොනවා නැතත් කන්න බොන්න නම් හම්බවුනා ඒ දවස් ටිකේ. බර්ටියා උදේට කොහෙන් හරි කාලා යන්නේ. එහෙ ගියාම ආයෙත් මොනවා හරි කන්න ලැබෙනවා. දහයට විතර කිරි එකක් එක්ක මොනවා හරි හපන්න ලැබෙනවා. ඊළගට දවල් කෑම. කිසි කරදරයක් තිබ්බේ නෑ. නෙත්මි පේපර් එක කරන කම් බර්ටියා එහෙ පොත් කබඩ් එකෙන් පොතක් අරන් බලනවා. බර්ටියට මතක විදිහට අපි වැඩිම වුනොත් දවස් 12 පන්ති කරන්න ඇති. හැබැයි ඒ දවස් ටිකට මාර වැඩ ගොඩක් අපි ඉවර කලා. ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් තරමේ වැඩ තොගයක් අපි ඒ කෙටි කාලය ඇතුලත ඉවර කලා.

නෙත්මි හැම තිස්සෙම බැලුවේ තව පැයක් හරි වැඩ කරන්න. දැන් ගොඩක් ළමයි වැඩිපුර විනාඩි දහයක් වැඩ කරන්න ගියහම නාහෙන් අඩනවා. ඒ ගැටලු මුකුත් අපිට තිබ්බේ නෑ. නෙත්මිගේ අම්මත් මාර විදිහට උදව් කලා ඒ ළමයගේ වැඩ වලට. නිවාඩුවට ආපු වෙලාවේ නෙත්මිගේ අයියවත් බර්ටියට අදුන් ගන්න ලැබුණා. ඔය විදිහට කොහොම හරි අපේ වැඩ ටික ඉවර කරලා නෙත්මි විභාගේ ලිව්වා.

අගෝස්තු විතර තමයි කේම්බ්‍රිජ් විභාගේ ප්‍රතිඵල එන්නේ. අපි දෙන්නගේ දවස් 12 වැඩ වල ප්‍රතිඵල ඇවිල්ලා තිබ්බා. අවසාන වාර පරීක්ෂනයට ලකුණු 40 ක් අරන් බැනුම් අහපු ළමයා ලකුණු 91 අරගෙන තිබ්බා ජීව විද්‍යාවට. හරියටම කිව්වොත් A* එකක්. බර්ටියගේ ගුරු දිවියේ පළවෙනි A* එක නෙත්මි බර්ටියට දීලා තිබ්බා. බර්ටියට මාර සන්තොෂයයක් දැනුණා. ඒක වචනෙන් කියන්න බෑ. අපේ මහන්සියට ප්‍රතිඵල තිබ්බා. ළමයෙක් මහන්සිවෙලා වැඩ කරනවා නම්, තමන්ගේ ගුරුවරුන් කියන කරුණු හිතේ තියාගන්නවා නම් තමන්ට ඕන කරන ඉලක්කෙට ළගා වෙන්න පුළුවන් කියන එකට හොදම උදාහරණයක් තමයි මේ කතාව. නෙත්මි ජීව විද්‍යාව විතරක් නෙමෙයි කරපු අනිත් හැම විෂයක්මත් ඉහලින් පාස් වෙලා තිබ්බා. කියන්න අමතක වුනා නෙත්මි අයියට වඩා ලකුණු අරන් තිබ්බා ජීව විද්‍යාවට.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------
KB 2020.04.21

No comments: